Main Logo

Showing posts with label බුදුදහම. Show all posts
Showing posts with label බුදුදහම. Show all posts

Thursday, 23 November 2017

හිතට වධ දෙන ප්‍රශ්න

හිතට වධ දෙන ප්‍රශ්න

ඊයේ (විසිදෙවැනි දා) ලිපියෙහි සඳහන් ජෝන් වීලර්ගේ සිතට වධ දුන් ප්‍රශ්නය හැරුණු විට තවත් සිතට වධ දෙන ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මට අනෙක් අයට තේරෙන විධියට යමක් කීමට නොහැකි වීම. වීලර් ආචාර්ය උපාධි හතළිස්පහක පමණ උපදේශක වී සිටියා. එමෙන් ම ෆයින්මාන් ඇතුළු නොබෙල් ත්‍යාගලාභී කිහිප දෙනකු ම ඔහුගේ ශිෂ්‍යයන්. මගේ ශිෂ්‍යයන් බොහෝ දෙනකු අද ඉන්න තැන් බැලුවම කියන්න පුළුවන් ඔවුන්ට මා කී කිසිවක් තේරී නැති බව. එය ඔවුන්ගේ වරදක් වෙන්න බැහැ. තවත් වධ දෙන ප්‍රශ්නයක් නම් සිංහල ජාතියේ අනාගතයයි. අද අපට නායකයකු නැහැ. මුහුණු පොතේ ඉන්න අය කියාවි නායකයන් ඉන්නවා කියා. ඒත් මුහුණු පොත් ප්‍රතිචාර මා කියවන්නේ ඉතා අකමැත්තෙන්. ඔවුන් ප්‍රශ්න දෙස බලන්නේ ඉතා මතුපිටින්.

Wednesday, 12 June 2013

දැනුම අවශෝෂණය කිරීම

අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය බටහිර විද්‍යාවේ දැනුම ලබාගැනීමේ ක්‍රමයට හාත්පසින් වෙනස් ය. බටහිර විද්‍යාව උද්ගමනය හා කතන්දර ගෙතීම තම විධික්‍රමය ලෙස සලකයි. බටහිර විද්‍යාවේ දර්ශනයෙහි සාමාන්‍යයෙන් දැනට සඳහන්වන, එනම් බටහිර විද්‍යාඥයන් වැඩිදෙනා පිලිගන්නා, අදහස කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාගේ ඊනියා අසත්‍යකරණ ප්‍රවාදය මත පදනම් වෙයි. පොපර්ට අනුව බටහිර විද්‍යාවේ දැනුම අසත්‍යකරණයට ලක්කළ හැකි ය. එහෙත් ලෝකයේ තිබූ හෝ තිබෙන හෝ අනෙක් දැනුම් පද්ධතීන් එසේ අසත්‍යකරණයට ලක්කළ නො හැකි ය. ඒ අනෙක් දැනුම් මිථ්‍යා ලෙස සැලකීමට බටහිරයන් යොමු වී ඇත. එහෙත් මේ මිථ්‍යා යැයි කියැවෙන දැනුම් ඊනියා විද්‍යාවට වඩා ලොවට හිතකර බවත් සංගත බවත් පෙනී යයි.

බටහිර විද්‍යාව පළමුවෙන් නිරීක්‍ෂණ කරන බව කියයි. මේ නිරීක්‍ෂණ, හුදු නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, එසේත් නැත්නම් සම්පරීක්‍ෂණ විය හැකි ය. ඒ කුමක් වුවත් යම්කිසි ගහණයක් සම්බන්ධයෙන් යම් ගුණයක් පූර්ණ වශයෙන් නිරීක්‍ෂණ කිරීමේ හැකියාවක් බටහිර විද්‍යාඥයන්ට නොමැත. එබැවින් ඔවුහු තම නිරීක්‍ෂණ යම් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයකට පමණක් සීමා කරති. ප්‍රායෝගික ව ගත්කල මුළු ගහණයෙහි ම අදාළ ගුණය නිරීක්‍ෂණ කිරීමට බටහිර විද්‍යාඥයන්ට පරම්පරා ගණනාවක දී වුවත් සිදුකළ නො හැකි ය.

මේ හේතුවෙන් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයක් මුළු ගහණයට ම පොදු යැයි උද්ගමනය කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.   එම උද්ගමනය යුක්තියුක්ත කිරීම උදෙසා ඔවුහු ඊනියා සංඛ්‍යානාත්මක ක්‍රම උපයෝගී කර ගනිති. අසවල් පරීක්‍ෂාව සිදුකිරීමෙන් තම උද්ගමනය යම් සම්භාවිතාවක් ඇතුළත නිවැරදි යැයි කීමට ඔවුහු පුහුණුු කෙරෙති. එහෙත් එය උද්ගමනයක් පමණක් බව අපට අමතක කළ නො හැකි ය. මේ බව වසන්කිරීමට මෙන් යම් ගහණයකින් නියැදි තෝරාගැනීම පිළිබඳ ඊනියා විද්‍යාත්මක ක්‍රම ගැන සඳහන්කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.

උද්ගමනය සාධාරණීකරණයක් බැවින් එහි ප්‍රතිඵලය වියුක්ත වෙයි. සමස්ත ගහණය සඳහා ම අදාළ නිරීක්‍ෂණ කළ හැක්කේ උසස් ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තකුට ය. පෘථග්ජන විද්‍යාඥයකුට කෙතරම් බුද්ධිමත් වුවත් ගහණය සඳහා ම නිරීක්‍ෂණ කළ නො හැකි ය. එබැවින් බටහිර විද්‍යාවේ උද්ගමනය ද තවත් වියුක්ත කතන්දරයක් පමණ ය. කෙසේ වෙතත් උද්ගමනයක් කිරීමෙන් පසුව අදාළ නිරීක්‍ෂණය තේරුම් ගැනීමට බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය වෙයි. මෙහි දී බටහිර විද්‍යාඥයන් ඒ ඊනියා තේරුම් ගැනීම කරනුයේ වියුක්ත කතන්දර ගෙතීමෙනි.

බටහිර විද්‍යාවේ වියුක්ත කතන්දර ගෙතීම ඇරඹුණේ කොපර්නිකස් හා ගැලීලියෝගෙන් පසුව ය. එය ශක්තිමත් ක්‍රමයක් බවට පත්කෙරුණේ නිවුටන් අතිනි. පොළොව ඉර වටා යෑම අපේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වේ. ලංකාවේ කිසිවකු තම දෑසින් පොළොව ඉර වටා යන බව නිරීක්‍ෂණය කර නැත. අඩුම තරමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බවවත් ලංකාවේ කිසිවකු විසින් නිරීක්‍ෂණය කෙරී ඇතැයි නො සිතමි. ඒ සියල්ල අප විශ්වාස කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබගත් දැනුමක් නිසා නොව අපට හා අපේ ගුරුවරුන්ට ද වැඩිහිටියන්ට ද බටහිරයන් සෘජුව හෝ වක්‍රව හෝ කියා දී ඇති බැවිනි.

කොපර්නිකස්ට පෙර භාරතයේ ජීවත් වූවෝ පොළොව ඉර වටා ගමන්කරන බව දැනසිටියෝ ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂයක් විය. ඒ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ලබාගත්තකි. භාවනාවෙන් යෝගී අභ්‍යාසවලින් ආදී වශයෙන් මේ රටවල සිටි පඬිවරුන්ට ඒ දැනුම ලබාගත හැකි විය. එහෙත් මේ දැනුම පළමුව නැගෙනහිර යුරෝපයටත්, දෙවැනුව දකුනු යුරෝපයටත් ගිය විට එහි වැසියන්ට (බුද්ධිමතුන්ට) එය ආධ්‍යාත්මික ව ලබාගැනීමට නොහැකි විය.  ඔවුන්ට එය මනසෙන් ග්‍රහණය කරගත හැක්කක් නො විය. ඔවුන්ට එය වියුක්ත කතන්දරයක් පමණක් විය. ඒ කතන්දරය ඔවුන්ට සුර්යග්‍රහණ ඇතුළු ග්‍රහණ ආදිය තේරුම් ගැනීමට යොදාගත හැකි විය.

මෙය එක් සංස්කෘතියක ඇති දැනුමක් තවත් සංස්කෘතියකට අවශෝෂණය කෙරෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමේ දී ද වැදගත් වෙයි. පොළොව සූර්යයා වටා යන්නේ ය යන දැනුම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමක් විය. එය ඇතැම් පඬිවරුන්ට ප්‍රත්‍යක්‍ෂ දැනුමක් විය. ඒ සංස්කෘතියේ විඤ්ඤූන් වූ එම පඬිවරුන්ගෙන් ලබාගත් දැනුම අනෙක් අයට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වුවත් විඤ්ඤූන්ගෙන් ලබගත් විශ්වාස කටයුතු දැනුමක් විය.

එහෙත් බටහිර පඬිවරුන් ඒ දැනුම ලබගත්තේ වියුක්ත කතන්දරයක් ලෙස ය. බටහිර සංස්කෘතියෙහි ඒ දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි පඬිවරු නො සිටියහ. එහෙත් එම සංස්කෘතියෙහි භාරතයෙහි තිබුණාට වඩා වියුක්ත චින්තනයක් විය. බටහිර පඬිවරු භාරතීයයන්ගේ ආධ්‍යාත්මික දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගත්තේ තම සංස්කෘතියට සාපේක්‍ෂව වියුක්ත දැනුමක් ලෙස ය. ඔවුන්ට එය උද්ගමනයක් ද විය. පොළොව ඉර වටා යෑම සියළු කාලයට ම නිරීක්‍ෂණය කළ නොහැකි වත ඔවුහු පරිමිත නිරීක්‍ෂණ යම් ප්‍රමාණයක් සියළු කාලයට ම සාධාරණ වූ දැනුමක් බවට පත්කර ගත්හ.       

අද අපි බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූ බටහිර විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට අනුකරණය කරන්නෙමු. ඒ අනුකරණය හේතුවෙන් මෙරට බිහිවන්නේ අනුකාරක බටහිර විද්‍යාඥයන් පිරිසක් පමණකි. ඔවුන්ට ආචාර්ය උපාධියක් ලබාගත හැකි වුවත් විද්‍යාවේ මධ්‍යයෙහි දැනුම නිර්මාණය කළ නො හැකි ය. මෙරටින් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි නොවන්නේ එබැවිනි. වියුක්ත චින්තනයක් නොමැති අපේ සංස්කෘතියෙහි බටහිර විද්‍යාව ජනප්‍රිය කළ නො හැකි ය. එය ඉතා සුළුවෙන් වියුක්ත ව සිතිය හැකි පඬියන් කිහිප දෙනකු හා බටහිර දැනුමෙන් සිහි විකල්කර ගෙන ඇති අනුකාරකයන් කිහිප දෙනකු අතර පමණක් ජනප්‍රිය වෙයි.

එහෙත් බුදුදහම එසේ නො වේ. සිදුහත් කුමරු කොහේ උපන්නත් එතුමා ඉප දී ඇත්තේ වෛදික සමාජයක නො වේ. වෛදික සමාජයක උපත ලැබුවේ නම් බමුණන්ගේ තරමක වියුක්ත දැනුමෙහි හා විශ්ලේෂණයෙහි කොටු වී එතුමාට බුද්ධත්වය ලබාගැනීමට නොහැකි වනු ඇත. සිදුහත් කුමරු ඉපදීමට පෙර පස්මහ බැලුම් බලා ඇත්තේ බුදුවීමට සුදසු සංස්කෘතියක උපත ලැබීමට ය. සිදුහත් කුමරු ඇස්කිමෝවරයකු ලෙස උපත ලැබීනම් බුදුවීමට නොහැකි වනු ඇත.

මහින්දාගමනයට පෙර මෙරට හෙළ බෞද්ධයන් සිටි බව අපි කීවෙමු. මේ අයට බෞද්ධයන් වීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියෙහි බුදුදහම බිහිවුවත් නැතත් එම සංස්කෘතිය බුදුදහමට තෝතැන්නක් වූ බැවිනි. මහින්දාගමනයෙන් පසුව හෙළ බෞද්ධ චින්තනයෙහි වෙනසක් සිදු වී නැත. සිදුව ඇත්තේ ක්‍රමයෙන් හෙළ බෞද්ධයන් සිංහල බෞද්ධයන් බවට පත්වීම ය. මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්නවලට කිසිදු ආයාසයකින් තොරව පිලිතුරු දීමට දේවානම්පිය තිස්ස රජුට හැකිවීීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට සංස්කෘතිය මහින්දාගමනයට පෙර සිට ම බුදුදහම පිලිගැනීමට සූදානමින් සිටි බව ය.

බුදුදහම මෙරට ප්‍රචලිත වීමටත් ජනප්‍රියවීමටත් හේතුව රාජ්‍ය අනුග්‍රහයවත් වෙනත් කරුණක්වත් නොව මෙරට සංස්කෘතිය, එනම් හෙළයන්ගේ සංස්කෘතිය බුදුදහමෙහි පදනම් සංස්කෘතිය ම හෝ එයට ඉතාමත් සමීප සංස්කෘතියක් වීම ය. රාජ්‍ය අනුග්‍රහ සහිත ව වුවත් බටහිර විද්‍යාව මෙරට ජනප්‍රිය නොවන්නේත් මුල්බැස නොගන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර විද්‍යාව නිර්මාණය වන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඉතා දුරස්ථව පිහිටි නිසා ය.

භාරතයෙන් බුදුදහම නැතිවී යැමට මුස්ලිම් ආක්‍රමණය ආදිය හේතු වී ඇති නමුත් වෛදික සංස්කෘතිය බුදුදහමේ සංස්කෘතියට ආගන්තුක වීම වඩා වැදගත් හේතුව වී යැයි සිතිය හැකි ය. මුස්ලිම් ආක්‍රමණය හේතුවෙන් වෛදික සංස්කෘතිය හා හින්දු ආගම නැති නො වී ය. මුස්ලිම් ආක්‍රමණයට වෛදික සංස්කෘතිය හා හින්දු ආගම අතුගා දැමීමට නොහැකි විය. එයට හේතුව භාරතය යනු වෛදික සංස්කෘතියෙහි නිජභූමිය වීම ය. එහෙත් මුස්ලිම් ආක්‍රමණයට බුදුදහම භාරතයෙන් පහසුවෙන් ම අතුගා දැමීමට හැකි විය.

හින්දු ආගම භාරතයේ කෙතරම් මුල්බැසගෙන තිබේ ද යන්න සික් ආගමෙන් පැහැදිලි වෙයි. සික් ආගම යනු අන් කිසිවක් නොව ඉස්ලාම් ආගම වෛදික සංස්කෘතිය තුළට ගැනීමේ ප්‍රතිඵලයකි. අඩු තරමෙන් භාරතයේ එක් ප්‍රදේශයක ඉස්ලාම් ආගම තම සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට වෛදිකයන්ට හැකි විය. එහෙත් බුදුදහම භාරතයෙන් අතුගෑවී ගියේ ය. මුස්ලිම් ආක්‍රමණය එසේ අතුගෑවී යෑමට හේතුවක් වී ඇති නමුත් එය එකම හේතුව ලෙස සැලකිය නො හැකි ය. බෞද්ධ සංස්කෘතිය වෛදික භාරතයට ආගන්තුක විය.

මුස්ලිම් සංස්කෘතිය ද යම් ප්‍රමාණයකට භාරතයේ මුල් බැස ගෙන ඇත. අප සිතන තරම් මුස්ලිම් සංස්කෘතිය භාරතීය වෛදික සංස්කෘතියෙන් ඈත් නො වේ. සංස්කෘති දෙකෙහි ම ලෝක නිර්මාණයක් හා නිර්මාපකයෝ වෙති. සංස්කෘති දෙකම ආත්මවාදී වෙයි. ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද ඒ දැකිය හැකි නමුත් සමස්තය දක්නට නැත. ඇතැම් විට සාමූහිකත්වය අගයන කතෝලික සංස්කෘතිය භාරතයේ ද මුල් බැස ගැනීමට තිබිණි.

එහෙත් බුදුදහම ලෝක නිර්මාණයක් ප්‍රතික්‍ෂෙප කරයි. එහි නිර්මාපකයකු නැත. විශ්ලේෂණයක් ද කිඳා බැස නැත. තුන්වැනි සංගායනාවෙන් පසු විශ්ලේෂණයක් (විභජ්ජවාදයක්) එකතු වුණ ද එය එතරම් ජනතාව අතරට නො ගියේ ය. තුන්වැනි සංගායනාවේ විභජ්ජවාදයට එරෙහි ව ක්‍රියාකර ඒ පරාජය කිරීමට වෛදික බමුණෝ වැඩිකල් නොගොස් ම සමත්වූහ. බුදුදහම භාරතයේ ප්‍රචලිත වූයේ ධර්මාශෝක රජු දවස හා ඉන් පසුව ටික කලකට ය. අශෝක රජුට පෙර භාරතයේ කිසිම පෙදෙසක බුදුදහම මුල් බැසගෙන තිබූ බවක් කිව නො හැකි ය.

අශෝක සමයේ හා ඉන් පසුව භාරතයේ බුදුදහම පැතිර ගියේ රාජ්‍යානුග්‍රහයෙන් බව පැහැදිලි ය. එමෙන් ම පසු කලෙක මහායාන බුදුදහම පැතිරීමට ද රාජ්‍යානුග්‍රහය හේතු විය. රාජ්‍යානුග්‍රහය නැති වූ විට බුදුදහමට හා බෞද්ධ සංස්කෘතියට භාරතයේ වැදගත් තැනක් හිමි නොවූ බව කිව හැකි ය. මෙය ඉතා වැදගත් කරුණක් වෙයි. එහෙත් ලංකාවේ බුදුදහම ප්‍රචලිත වූයේ රාජ්‍යානුග්‍රහයක් නොමැතිව ය. බුදුදුහම මෙරට සංස්කෘතිය, එනම් හෙළ සංස්කෘතිය සමග ගහට පොත්ත මෙන් බැඳිණි. පසු කලෙක අග්නිදිග ආසියාවට බුදුදහම පැතිරී ගියේ ද ලංකාවෙනි. ආගමකින් සංස්කෘතියක් වෙනස් කළ හැකි ය. එහෙත් ආගමක් බිහිවන්නේ ම එයට අදාළ සංස්කෘතියක ය.

2013-06-12


නලින් ද සිල්වා

Sunday, 5 February 2012

බෞද්ධ පඬිවරු හා පරිසිද්ධි

ද්‍රව්‍යවාදීන්ට හා වෙනත් බොහෝ දෙනාට අනුව නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් පවතී. එය වාස්තවික යැයි ඔවුහු කියති. ඒ නිරපේක්‍ෂ වූ ද වාස්තවික වූ ද ලෝකය බොහෝ විට යථාර්ථය නමින් ද හැඳින්වෙයි. ලොවෙහි මිනිසුන් සිටියත් නැතත් එවැනි ලෝකයක් පවතින්නේ යැයි සාමාන්‍යයෙන් බටහිරයෝ විශ්වාස කරති. එය බටහිර ලෝකයේ අධිපතිවාදී මතය ද වෙයි. බටහිරයන් තම දේශපාලන බලය යොදාගනිමින් ඔවුන් ඒ ඒ රටවල පිහිටුවා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ඔස්සේ එය ලෝකයේ අධිපතිවාදී මතය බවට ද පත්කර ඇත.

පෙරදිග ලෝකයේ ද ඈත අතීතයේ ද්‍රව්‍යවාදීහු සිටියහ. ඒ අතර පෙරදිග මෙන් ම බටහිර ද විඤ්ඤාණවාදීන් ද වාසය කර ඇත. විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය යනු මනසේ නිර්මාණයක් වෙයි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ද්‍රව්‍යවාදයේ මෙන් ම විඤ්ඤාණවාදයේ ද විවිධ ප්‍රභේද ඇති බව ය. බෞද්ධයන් අතර ද විවිධ ගුරුකුල තිබූ බවත් ඇතැමුන් විඤ්ඤාණවාදීන් වූ බවත් තවත් සමහරුන් ද්‍රව්‍යවාදීන් වූ බවත් පැහැදිලි ය. මේ අතර ක්‍ෂණයකට බාහිර ලෝකයක් තිබෙන බව පිළිගත් අය ද සිටිය හ. අද ද මේ ඇතැම් ගුරුකුල පවතින බව පැහැදිලි ය.

ථෙරවාද බෞද්ධයන් නමින් තමන් හඳුන්වාගන්නවුන් අතර ද විවිධ කරුණු ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ මත ඇති බව පැහැදිලි ය. නිවන වචනයෙන් කිවහැකි යැයි ඇතැම්හු කියති. ඇතැමුන්ට අනුව නිවන වචනයෙන් කිවහැකි නො වේ. ඇතැම් උගතුන් යැයි කියන්නන්ට අනුව සංසාරයක් ද නැත. සියල්ල මේ භවයට පමණක් සීමා වෙයි. තවත් භවයක් නැතැයි කියන්නෝ ද පඬිවරුන් ලෙස පිළිගැනෙන අය අතර වූහ. දැනුදු වෙති. බෞද්ධ දර්ශනය පිළිබඳ ඇතැම් මහාචාර්යවරුන්ට අනුව පිරිනිවන් පෑමෙන් පසුව ද රහතන් වහන්සේ භවයක වෙසෙති. රහතන් වහන්සේ මේ භවයෙහි නිවන් දැක පවතින (ජීවත්වන) ආකාරයට උන්වහන්සේට වෙනත් භවයක ද පැවතිය හැකි ය. මේ පඬිවරුන්ට අනුව රහතන් වහන්සේ ඒ භවයෙන් චුත නොවන අතර අමරණීය ද වෙති.

මේ සියළු මත ඒ ඒ ගුරුකල විසින් කරන ලද අර්ථදැක්වීම්වල ප්‍රතිඵල වෙයි. බොහෝ විට මේ මත ප්‍රකාශවන්නේ විරුද්ධ ගුරුකුල හෝ වෙනත් ආගම් හෝ විසින් මතු කෙරන ප්‍රශ්නවලට හා මතවලට සැපයෙන පිළිතුරු හෝ ඒ මතවලට අනුගත වීම් හෝ ලෙස ය. එදා තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආත්මය ය. බූදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු බ්‍රහ්මණයන් ඈසූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමට භික්‍ෂූන් වහන්සේට සිදුවිය. එසේ පිළිතුරු දීමේ දී ද බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථකථන සැපයීමේ දී ද භික්‍ෂූන් වහන්සේ විවිධ ගුරුකුලවලට බෙදුණ හ.

එමෙන් ම ඇතැම් අවස්ථාවල භික්‍ෂූන් වහන්සේට එදා අධිපති මතවාදය බවට පත්ව තිබූ බ්‍රාහ්මණ මතයට අනුගත වීමට සිදු විය. එය අද ද වෙනත් ආකාරයකින් සිදුවන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. විශ්වවිද්‍යාලවල සේවය කළ බෞද්ධ දර්ශනය, බුදුදහම ආදී විෂය පිළිබඳ බොහෝ මහාචාර්යවරු බටහිරයන්ට අවශ්‍ය ආකාරයට තම මතවාද සකස් කර ඇති බව පැහැදිලි ය. බටහිරයෝ බුදුදහම දුක මුල් කරගත් අසුබවාතී ආගමක් ලෙස හඳුන්වති. තම ආචාර්ය උපාධි සඳහා බටහිර රටවලට යන බෞද්ධ පඬිවරු මේ මතය නිවැරදි කිරීමට උත්සාහ ගන්නේ පටිච්ච සමුප්පදාය ඔස්සේ නොව බුදුදහම ද වෙනත් දහමක් මෙන් ම ඊනියා සුබවාදී ආගමක් බවට පත්කිරීමෙනි.

මේ පඬිවරු නිවන් දැකීමෙන් පසු නැවත භවයක් නැති බව පිළිගැනීමට අකමැති වෙති. ඒ එහි බටහිරයන් කියන ආකාරයට ගූඪ භාවයක් ඇති බැවිනි. නැවත භවයක් නැත්නම් ඊනියා සුඛයක් විඳීම පිළිබඳ ප්‍රශ්නය මතුවෙයි. මේ පඬිවරුන් පෙන්වීමට උත්සාහ ගන්නේ බුදුදහම තරම් සුබවාදී ආගමක් තවත් නැත යන්න ය. ඒ සඳහා ඔවුහුූ පිරිනිවන් පෑමෙන් පසු නැවත භවයක් ඇති කරති. එය විඳීමක් ඇති තැනක් ද නැති තැනක් ද යන්න පැහැදිලි නැති වුවත් තවත් භවයක් ඇති බව පැහැදිලි ය. එය පටිච්ච සමුප්පදායට විරුද්ධ වුවත් මේ පඬිවරුන්ට ඉන් කම් නැති. අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් කියැවෙන්නෙහි භව පච්වයා ජාති යන්න ද ඇති බවත් භවයක් ඇත්නම් (ආත්මයක් නැතිව වුවත්) ඉපදීමක් ඇති බවත් පඬිවරුන්ට නොතේරෙන්නෙහි ද? අනෙක් අතට අවිද්‍යාව නැත්නම් ඒ හේතුවෙන් සංඛාර ද ආදී වශයෙන් භවයක් ද නැති බව පඬිවරුන්ට පැහැදිලි නැත.

එහෙත් පඬිවරුන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව බුදුදහමේ සියල්ල විනිවිද දැකිය හැකි බව පෙන්වීම ය. බුදුන් වහන්සේ එව බලව යනුවෙන් දේශනා කර ඇති බව පැහැදිලි ය. එහෙත් එයින් කියැවෙන්නේ ද්විකෝටික න්‍යායට අනුව එව බලව යන්න හෝ ඉන්ද්‍රිය ගෝචර භාවය අනුව එව බලව යන්න හෝ නො වේ. බටහිරයන්ට සියල්ල ඇරිස්ටෝටලීය ද්විකෝටිකයට අනුගත වී ඉන්ද්‍රිය ගොාචර විය යුතු ය. එහෙත් නිවන එවැන්නක් නො වේ. බුදුන් වහන්සේ නිවන යනු කුමක් දැයි කිසි විටෙක දේශනා කර නැත. නිවන් අවබෝධ වන්නේ ලෝභ, ද්වේ’ෂ මෝහ නැතිකිරීමෙන් බව පැහැදිලි ය. එහෙත් ඒ පිලිබඳ ව එයට වඩා යමක් කියන්නේ කෙසේ ද? දර දමන තෙක් ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළහ. උපමාවක් අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග්ගැස්සීම නිවැරදි නොවුනත් දර නොමැතිව ගින්න නිවීමෙන් පසුව යන තැනක් නැති බව අමතක නොකළ යුතු ය.

බටහිරයන්් බුදුදහමේ ගූඪත්වය පිළිබඳ නගන චෝදනාවලට මුහුන දීමට නොහැකි මෙරට බොහෝ බෞද්ධ උගත්තු බුදුදහම ඊනියා විනිවිද පෙනෙන දහමක් බවට පත්කිරීමට උත්සාහ කරති. එහෙත් බුදුන් වහන්සේගේ විනිවිද දැක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසුන අයට මිස ද්විකෝටිකය අනුව තර්ක කරන්නන්ට හා පංචෙන්ද්‍රිය ඇසුරු කරගත් දැනුමක් පිළිබඳ ඊනියා පර්ය්ෂණ කරන්නවුන්ට නො වේ. නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි බව කියන පඬිවරුන් එසේ කරන්නේ ද නිවන පිළිබඳ ඇතැයි කියන ඊනියා ගූඪත්වයෙන් ගැලවීමට ය. බටහිරයෝ ඇරිස්ටෝටලීය න්‍යායට හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයන්ට හසු නොවන දෑ ගූඪ ලෙස සලකති. මෙරට බෞද්ධ පඬිවරුන් ද එසේ කරන්නේ ඔවුන් ලබා ඇති පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතුවෙන් ඔවුන් ලත් නිවටකම හේතුවෙනි. ඊනියා විද්‍යාඥයන් එසේ කරනවාට ද වඩා බුදුදහම ගැන ප්‍රාමාණික උගතුන් යැයි හඳුනා ගැනෙන්නන් ගූඪත්වයක් ගැන බටහිරයන් සිතන ආකාරයෙන් කටයුතු කර බුදුදහම ඒ ගූඪත්වයෙන් මුදා ගැනීමට වැරදි අර්ථකථන ලබාදීම කණගාටුදායක ය.

ඇතැම් බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන්ට අනුව ප්‍රවාදවලට වඩා ඔවුන් ෆැක්ට්ස් (facts) නමින් හඳුන්වන දෑ සත්‍ය වෙයි. ෆැක්ට් යන්නට නිල පාරිභාෂික ශබ්දමාලාවේ ඇත්තේ පරිසිිද්ධිය යන්න ය. මෙවැනි වචනයක් පැරුන්නන් අතර තිබිණි දැයි නො දනිමි. එවැනි වචනයක් පැරණි සිංහලයන් යොදා ගත්තේ නම් ඒ ගැන සොයා බැලිය යුතු ය. කෙසේ වෙතත් පරිසිද්ධිය යන්න සිිද්ධිය යන වචනයට පරි යන උපසර්ගය යොදා ගැනීමෙන් තනාගෙන ඇති බව පැහැදිලි ය. එය පරිපූර්ණ යන වචනය මෙනි. පරිසිද්ධිය යන්න සිද්ධියට වඩා තහවුරු වූ අර්ථයක් ගෙන දෙයි. එයින් පරිසිද්ධිය යන්න අප අත්දැක ඇති සැකයකින් තොර සත්‍ය වූ සිද්ධියක් යන තේරුමක් ගෙන දෙන්නේ යැයි සිතමි.

කෙසේ වෙතත් ඉංගිරිසියෙන් ෆැක්ට් යන්න යෙදෙන්නේ සැකයකින් තොර සත්‍ය වූ අත්දැකීමක් යන්න හැඟවීම සඳහා ය. ඇතැමුන් ඉට් ඊස් අ ෆැක්ට් (සිංහල වචනවලින් එහෙත් ඉංගිරිසි සම්ප්‍රදායට අනුව නම් එය පරිසිද්ධියකි) ආදී වශයෙන් ප්‍රකාශ කිරීමේ දී මේ සැකයකින් තොර නිර්මාණයක් නොවන අත්දැකීමක් (තමන්ගේ හෝ අනෙක් විශ්වාසවන්තයකුගේ) යන්න ගම්‍ය වෙයි. එබැවින් ඇතැමුන්ට පරිසිද්ධි යනු සත්‍යම සිද්ධි වෙයි. ඔවුහු බොහෝ විට ප්‍රවාද යනු ඉන්ද්‍රිය ගෝචර දෑ නොවන බව දනිති. එබැවින් ඔවුන්ට පරිසිද්ධි වඩා වැදගත් ය.

එහෙත් මොවුන් තේරුම් නොගන්නා කරුණ නම් ඊනියා පරිසිද්ධි ද ප්‍රවාදයක් හෝ අඩුම තරමෙන් සංකල්පයක් මත රඳා පවතින බව ය. ඔවුන් සිතන්නේ පරිසිද්ධි වාස්තවික බව ය. ඔවුන් පරිසිද්ධි නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත යැයි සිතනු විය හැකි ය. එහෙත් එය නිවැරදි නො වේ. අපි බහුල අත්දැකීමක් ගනිමු. පළමුවෙන් ඉර හෙවත් සූර්යයා යන්න ගනිමු. අප සියළු දෙනා ම පාහේ සූර්යයා දැක ඇත. එහෙත් එය ඊනියා පරිසිද්ධියක් ද? අප සියළු දෙනා ම දකින්නේ එකම සූර්යයා ද? බටහිර තාරකා විද්‍යාව බිහිවීමට පෙර බොහෝ දෙනාට සූර්යයා තවත් තාරකාවක් නො වී ය. සූර්යයා අහසෙහි අනන්‍ය වූ දෙයක් විය. බෞද්ධ සාහිත්‍යයෙහි නම් වෙනත් සූර්යයන් ගැන මෙන් ම සත්වයන් වාසය කරන ලෝක ගැන ද කියැවෙයි. ඇතැමුන් එකල සූර්යයා අපට ආලෝකය හා උණුසුම ගෙන දෙන්නක් ලෙස සලකන්නට ඇත. එහෙත් තවත් අයට ඒ සූර්ය දිව්‍ය රාජයා විය. සූර්ය දිව්‍ය රාජයා හා සූර්යයා යනු එකම සංකල්පයක් නො වේ. එබැවින් ඒ ඒ සංකල්ප යොදා ගත් අය දුටුවේ එකම දෙයක් නො වේ.

එමෙන් ම එකල බොහෝ දෙනාට සූර්ය දිව්‍ය රාජයා හෝ සූර්යයා හෝ පොළොව වටා යන්නක් විය. නිශ්චල පොළොව වටා සූර්යයා යන්නේ යැයි ඔවුහු සිතූහ. නැගෙනහිරෙන් පායන සූර්යයා බටහිරෙන් බැස යන්නේ යැයි යන්න බොහෝ දෙනාට ඊනියා පරිසිද්ධියක් වූවාට සැකයක් තිබිය නො හැකි ය. නැගෙනහිර හා බස්නාහිර යන සංකල්ප මෙන් ම උදාගිර අවරගිර යන සංකල්ප ද සූර්යයාගේ මේ දෛනික ගමන ඇසුරෙන් ම නිර්මාණය වී ඇත. එහෙත් භාරතයේ විසු ඇතැමුන් පොළොව සූර්යයා වටා යන බව හා පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව එකල ද දැන සිටියහ. විශේෂයෙන් ම ආධ්‍යාත්මික ව ශක්තිමත් ව සිටිය අයට පොළොව ඉර වටා යන ගමනක් පිළිබඳ ව වැටහීමක් තිබෙන්නට ඇත. එසේත් නැත්නම් ඒ පිළිබඳ ව දෙවිවරුන්ගෙන් ලත් දැනුමක් ඔවුන්ට තිබෙන්නට ඇත. ඒ කුමක් වුවත් මෙහි පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව අත්දුටු අය පරිසිද්ධියක් දැන සිටියෝ ද?

අද බොහෝ දෙනා එලෙස තේරුම් නොගත්තාට සූර්යයා පොළොව වටා යන්නේ ය යන්න එදා බොහෝ දෙනාට අනුව ඊනියා පරිසිද්ධියක් විය. මේ සියල්ල සංස්කාර බව දැන සිටි සිංහලයන්ට පරිසිද්ධිය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නොවන්නට ඇත. එහෙත් බොහෝ සිංහලයන්ට ද සූර්යයා පොළොව වටා යන බවට සැකයක් නොතිබෙන්නට ඇත. එහෙත් පසුව භාරතයේ තිබූ පොළොව තම අක්‍ෂය වටා මෙන් ම සූර්යයා වටා ද භ්‍රමණය වන්නේ ය යන දැනුම කොපර්නිකස් මගින් යුරෝපයට ගිය විට එය එහි ප්‍රචලිත විය. ඉන්පසු ඒ දැනුම නැවතත් පෙරදිගට පැමිණියේ බටහිර අධිපතිවාදී දැනුමක් ලෙස ය.

දැන් ඊනියා පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව ද එසේත් නැත්නම් පොළොව සූර්යයා වටා යන බව ද? පොළොව සූර්යයා වටා යන බව අප කී දෙනකුගේ අත් දැකීම ද? අප අත්දැක නොමැති දෙයක් පරිසිද්ධියක් විය හැකි ද? පරිසිද්ධියක් විය හැක්කේ සිද්ධියකට යැයි සිතමි. පොළොව සූර්යයා වටා යන බව සිද්ධියක් ද? අප කිසිවකුටවත් පොළොවේ සිට අත්දැකීමට නොහැකි දේ සිද්ධි ද? එහෙත් බටහිර අධ්‍යාපනයක් ලත් අති විශාල බහුතරයකට පොළොව ඉර වටා යන බව ඊනියා පරිසිද්ධියකි.

Sunday, 9 October 2011

ජාතික ව්‍යාපාරය හා දිවයින

ඉරිදා දිවයින පුවත්පතට අවුරුදු තිහක් පිරුණු මේ මොහොතේ දිවයින විසින් ජාතික නිදහස සඳහා කරන ලද සේවයත් දිවයින හා ජාතික ව්‍යාපාරය අතර සම්බන්ධයත් ඇගයීම වැදගත් වෙයි. 1981 දී ඉරිදා දිවයින ආරම්භ කළ අවස්ථාවේ සිට අද දක්වා ගත වී ඇති කාලයෙහි දිවයින නොවන්නට මෙරට ඉතිහාසය මෙයට වඩා වෙනස්වන්නට තිබිණි. මෙරට සමස්ත පුවත්පත් ඉතිහාසයෙහි එවැන්නක් කිවහැකි වනුයේ පුවත්පත් අතළොස්සකට පමණකි. 1977 දී බිහි වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ ආණ්ඩුව මගින් මෙරට ඊනියා විවෘත ආර්ථිකයකට යොමු කරන ලදැයි කියැවෙයි. එමගින් රට බටහිර ධනවාදී ආර්ථිකයකට ද වඩා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට විවෘත කෙරිණි. 1506 සිට 1977 දක්වා අවුරුදු හාරසිය හැත්තෑවකට පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි යටත්විජිතවාදීනට කිරීමට නොහැකි වූ බටහිර සංස්කෘතිකකරණයක් ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව අවුරුදු දොළහක පමණ කාලයක දී සිදු කෙළේ ය. 1977 සිට රට බටහිර සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූවා නොව සංස්කෘතික ආක්‍රමණය රට තුළට වුවමනාවෙන් ම ගෙන්වා ගෙනු ලැබිණි. ගෙන්වා ගනු ලැබූ සංස්කෘතික ආක්‍රමණය එලෙස ම ගෙන්වාගනු ලැබූ ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවන්ට වඩා භයානක විය. එය ජේ ආර් ජයවර්ධන මහතා ලවා කරවා ගැනීමට හැකිවූයේ ඔහු ලබා තිබූ සංස්කෘතික පුහුණුව නිසා ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඡන්ද ඇති නිසා ම ජාතික ඇඳුමට ඇදී ගිය ජයවර්ධන මහතාට සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඒ සංස්කෘතිය ඔස්සේ ම පියවර ගැනීමට තරම් දේශපාලන අවබෝධයක් ද විය. විවෘත ආර්ථිකය යනුවෙන් හඳුන්වනු ලැබුව ද ඔහුගේ ව්‍යාපෘතිය විවෘත සංස්කෘතිය විය. සංස්කෘතික වශයෙන් කෙරෙන වෙනසක් නොමැතිව ආර්ථික වෙනසක් කළ නො හැකි ය. කොළඹ හා නගරවල කිහිප දෙනකුට පමණක් සීමා වී තිබූ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ගම්වලට ගෙන යනු ලැබුවේ විවෘත සංස්කෘතික ව්‍යාපෘතිය මගිනි. අප කුඩා කළ කාගිල්ස් මිලර්ස් යන වෙළෙඳසල් හා මහා හෝටලය (ග්‍රෑන්ඩි ඔරියන්ටල් හෝටලය), ගල්කිස්ස හෝටලය ආදිය යුරෝපීයයනට හා මෙරට පවුල් කිහිපයකට පමණක් වෙන් වී තිබිණි. එහෙත් අද පහළ මධ්‍යම පංතියේ අය ද ගෙදර යන ගමන් කාගිල්ස් යති. හෝටල්වල මගුල් කති. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට, ඊනියා විශේසඥයන් හමුවීමට, දරුවන් බිහිකිරීමට, පෞද්ගලික රෝහල්වලට යති. අවසානයේ ජයරත්න (රේමන්ඩ් වෙනුවට) ශාලාවේ පැය කිහිපයක් නිදාගෙන කනත්තට යති. ඒ අතරතුර ගෙදර ගතකරන ජීවිතයේ වැඩි කාලයක් රූපවාහිනී නැරඹීමට වෙන් කරති. ගැමුණු රජුගෙන් පසු සිංහල සමාජයෙහි වෙනසක් ඇතිකළ ප්‍රධාන පුද්ගලයා ජේ ආර් ජයවර්ධන බව පවසන්නේ ඔහුට කරන ගෞරවයක් ලෙස නම් නො වේ.

ජේ ආර් ජයවර්ධන මහතා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එකල ප්‍රධාන ඒජන්තයා විය. එකල මුදල් ඇමති වූ රොනී ද මැල් මහතා කෙතෙක් වෑයම් කළ ද විවෘත ආර්ථිකය හඳුන්වා දීමට නොහැකි විය. වැඩිම වුවහොත් ඔහුට කළ හැකි වූයේ පට් පට් ගාල සම්තින් සොයන සූරසේනලාගේ පාදඩ ආර්ථිකයක් ඇති කිරීම ය. විවෘත ආර්ථිකයක් ඇතිකිරීමට, එනම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ආර්ථිකයට රට විවෘත කිරීම සඳහා පළමුව සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය විය. ජේ ආර් ජයවර්ධන මහතා එය සිදු කළේ ය. ඉංගිරිසින් මෙරට සිටි අවධියේ චාල්ස් ද සොයිසා මහතා වැනි ක්‍රිස්තියානි ධනවත්තු මහජනයා සඳහා රෝහල් ඉදිකර ආණ්ඩුවට භාරදුන්හ. එහෙත් අද සිංහල බෞද්ධ යැයි කියාගන්නා ධනවාදීහු පෞද්ගලික රෝහල් තනා නිදහස් අධ්‍යාපනයෙන් ම බිහි වූ බහුතරයක් සිංහල බෞද්ධ වූ බටහිර වෛද්‍යවරුන් සමග එකතු වී රෝගීන් ගසා කති. මේ ආර්ථික ක්‍රියාවලිය ඇතිකිරීමට සංස්කෘතික වෙනස් කීිරීමක් අවශ්‍ය විය. ජයවර්ධන මහතා ඒ ඉටු කළේ ය. අද වන විට බටහිර යටත්විජිතවාදී ඊනියා විවෘත ආර්ථිකය නව ක්‍රියාදාමයකට පීිවිස ඇත. ඒ ආර්ථික යටත්විජිතවාදය අද රට පුරා පැතිර යනු දැකිය හැකි ය. එය එසේ පැතිර යන්නේ අධික දුෂණවලින් ද ගහණව ය. එය අප රටට පමණක් විශේෂිත වූවක් නො වේ. ඊනියා දියුණු යැයි සම්මත රටවල ද ඒ ඊනියා දියුණුව හඹායන රටවල ද දූෂණය පවතියි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයට හා ඒ හා සමග බැඳුණු පරිසරය විනාශ කරන ඊනියා සංවර්ධනයට දූෂණයෙන් තොර පැවැත්මක් නැත. අද ක්‍රියාත්මක වන්නේ ඊනියා හෙජමොනික ධනවාදයක් නොව බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයේ අවසාන අදියර ය. ඒ මාක්ස්වාදී අර්ථයකින් නො වේ. බටහිරයන්ට කිසිදිනෙක පරිසරය සූරැකීමට නොහැකි බව අප කීවේ කාලයකට පෙර ය. පරිසරය ගසාකෑමෙන් තොරව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කරගත් ආර්ථිකයකට වර්ධනයක් නැත. අද ඔබාමා කියන්නේ ඕසෝන් ස්ථරය තවත් විවෘත නොකර ඇමරිකානුවන්ට රැකියා සැපයිය නොහැකි බව ය. තව තවත් පරිසරය විනාශකරන බටහිර ආර්ථිකයට මෙතෙක් බටහිරයන් අතින් සූරාකෑමට ලක් වූ ස්වභාව ධර්මය දඬුවම් දෙන යුගය එළඹී ඇත.

බටහිර ආර්ථිකය කඩා වැටීම වැඩිවත් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි රෞද්‍ර මුහුණ තව තවත් දර්ශනය වනු ඇත. අද ඊනියා මැද පෙරදිග හෙවත් බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ මුස්ලිම් රටවල ඉතා නග්න ආකාරයකට පෙනෙන්නට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ මේ ජඩ මුහුණ ය. බටහිරයන් මේ රටවල් ආක්‍රමණය කරන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙනි. එහි දී මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම යන කුණුහරුපය බටහිරයෝ තොර තෝංචියක් නොමැතිව මතුරති. කුණුහරුපයක් මතුරා තමන් අතින් ලෝක ආධිපත්‍යය ගිලිහී යෑම නැවැත්වීම බටහිරයන්ගේ දේශපාලනයෙහි විදේශ ප්‍රතිපත්තිය වෙයි. මේ දේශපාලනය යුක්තියුක්ත කරන මාක්ස්වාදීහු මෙරට වෙති. මේ කසිකබල් මාක්ස්වාදියෝ මෙරට දී දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුහු බටහිරයන්ට මෙරට ආක්‍රමණය කරන ලෙස ව්‍යංගයෙන් කියා සිටිති. මේ මාක්ස්වාදීන් කෙතරම් බටහිර ගැත්තන් වී ඇත් ද කිවහොත් බටහිරයන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් කියුබාව හා වෙනිසියුලාව ආක්‍රමණය කළහොත් ඔවුන් එය ද ඉවසනු ඇත. එපමණක් නො වේ. ඔවුහු දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නොව ඒ 2009 මැයි මාසයේ සතියක කාලයක් නොරුකිණිය යන අදහස පෙරදැරි කරගෙන ලංකාව ආක්‍රමණය කිරීමට මාන බලන බටහිරයන්ට උල්පන්දම් දෙති.

සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය යන ක්‍ෂෙත්‍රවල බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ සංරචකවල ජේ ආර් ජයවර්ධන ව්‍යාපෘතිය පටන්ගෙන නොබෝ කලකින් ම දිවයින පුවත්පත ඇරඹිණි. 1981 වන විට නව ජාතික ව්‍යාපාරයක් ඇරඹීමේ ලකුණු පහළ වී තිබිණි. එක් පැත්තකින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වූ ව්‍යාපාරය විය. තවත් පැත්තකින් ජඩ ආර්ථිකය විය. තුන්වැනුව දෙමළ ජාතිවාදී දේශපාලනය හා බටහිර දේශපාලන ව්‍යුහ විය. මේ සංරචක තුන ම බටහිරයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්නවත් ඒ සංරචක අතර තිබූ සම්බන්ධයවත් එකල නොදැන සිටි නමුත් උපාලි විජයවර්ධන මහතා ඉවකින් මෙන් ජාතිකත්වය වෙනුවෙන් පුවත්පතක් ආරම්භ කළේ ය. එකල සමාජ විශ්ලේෂණය සඳහා තිබුණේ එක්කෝ බටහිර ලිබරල් මතවාද ලෙස හැඳින්විය හැකි ප්‍රවාද සමූහයකි. එසේත් නැත්නම් මාක්ස්වාදී මතිමතාන්තර ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පරාජය කිරීම සඳහා ජාතික මතවාද, ජාතික සංකල්ප, ජාතික ප්‍රවාද අවශ්‍ය විය. එහෙත් ඒ නිර්මාණය කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයවත් එකල නොවූයේ ප්‍රවාද නිර්මාණය යන්න ද පසු කලෙක ඇති වූ සංකල්පයක් නිසා ය. 1948 දී දිනාගත් සීමිත දේශපාලන නිදහස කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව වැටහුණු බොහෝ දෙනා සිටි නමුත් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් නිදහස ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳ හෝඩුවාවක්වත් එකල නො වී ය. අනුරාධපුර යුගයේ ශ්‍රී විභූතිය ගැන කතාකිරීමත් සිංහල බෞද්ධ ජීවන රටාව ගැන කතාකිරීමත් හැරෙන්නට ජාතික ව්‍යාපාරයකට සංකල්ප, අදහස් ප්‍රවාද ආදිය නො වී ය. වැඩිම වුවහොත් මාක්ස්වාදය හා බුදුදහම එකතුකරන්නේ කෙසේ ද යන්න පමණක් එකල සාකච්ඡා විය. ඊනියා බෞද්ධ සමාජවාදය එකල ඇතැම් උගතුන් අතර ජනප්‍රිය මාතෘකාවක් විය. එහි දී මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇතැම් ඉතා ප්‍රාථමික අදහස් ද බලපෑවේ ය. බුදුදහම හා මාක්ස්වාදී සමාජවාදය චින්තන දෙකක උපත ලබා ඇති බව අදත් බොහෝ දෙනා තේරුම් නොගත් කරුණකි.

දිවයින පුවත්පත ආරම්භයේ සිට ම තම කාර්යභාරය කරගත්තේ ජාතික නිදහස දිනාගැනීම යැයි සිතමි. ඒ සඳහා කිසිවකුට විශේෂිත සැලැස්මක් තිබිණි යැයි මෙයින් අදහස් නො වේ. දිවයින පුවත්පතේ විවිධ පුද්ගලයන් සේවය කළ ද, එය පැදවූ නියමුවා වූයේ එඩ්මන් රණසිංහ මහතා ය. සමාජවාදීන්, ලිබරල්වාදීන් වූ ජනමාධ්‍යවේදීන් හවුල් කරගනිමින් රණසිංහ මහතා ජාතික නිදහස සඳහා වූ පුවත්පතක් ගොඩනැගීම ආරම්භ කළේ ය. දිවයින ඉරිදා සංග්‍රහය මෙන් ම දිවයින බදාදා අතිරේකය ද සංවාද මණ්ඩප බවට පත්විය. 1983 ජූලි කලබලවලින් පසු දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි හඳුනාගැනීමේ වගකීම ද විය. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය ඇරඹුණේ 1983 දී වත් 1981 දී වත් නො වේ. ත්‍රස්තවාදය හැත්තෑවේ දශකයේ අගභාගයේ ඇරඹී තිබුණේ ජ වි පෙරමුණේ ආභාසය ලබමිනි. අපකීර්තිමත් වඩුකොඩේ සම්මේලනය පැවත්වූයේ 1976 දී ය. අද බොහෝ දෙනා තිස් අවුරුදු යුද්ධයක් ගැන පුරුද්දට කතාකරන නමුත් 2009 වන විට දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයට අවුරුදු තිහකට වඩා ගෙවී තිබිණි. කෙසේ වෙතත් ප්‍රභාකරන් හා ආණ්ඩුව අතර යුද්ධයක් නො වී ය. එසේ හැඳින්වීම ම සංකල්පීය වශයෙන් වැරදි ය.