Main Logo

Sunday 9 October 2011

ජාතික ව්‍යාපාරය හා දිවයින

ඉරිදා දිවයින පුවත්පතට අවුරුදු තිහක් පිරුණු මේ මොහොතේ දිවයින විසින් ජාතික නිදහස සඳහා කරන ලද සේවයත් දිවයින හා ජාතික ව්‍යාපාරය අතර සම්බන්ධයත් ඇගයීම වැදගත් වෙයි. 1981 දී ඉරිදා දිවයින ආරම්භ කළ අවස්ථාවේ සිට අද දක්වා ගත වී ඇති කාලයෙහි දිවයින නොවන්නට මෙරට ඉතිහාසය මෙයට වඩා වෙනස්වන්නට තිබිණි. මෙරට සමස්ත පුවත්පත් ඉතිහාසයෙහි එවැන්නක් කිවහැකි වනුයේ පුවත්පත් අතළොස්සකට පමණකි. 1977 දී බිහි වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ ආණ්ඩුව මගින් මෙරට ඊනියා විවෘත ආර්ථිකයකට යොමු කරන ලදැයි කියැවෙයි. එමගින් රට බටහිර ධනවාදී ආර්ථිකයකට ද වඩා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට විවෘත කෙරිණි. 1506 සිට 1977 දක්වා අවුරුදු හාරසිය හැත්තෑවකට පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි යටත්විජිතවාදීනට කිරීමට නොහැකි වූ බටහිර සංස්කෘතිකකරණයක් ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව අවුරුදු දොළහක පමණ කාලයක දී සිදු කෙළේ ය. 1977 සිට රට බටහිර සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූවා නොව සංස්කෘතික ආක්‍රමණය රට තුළට වුවමනාවෙන් ම ගෙන්වා ගෙනු ලැබිණි. ගෙන්වා ගනු ලැබූ සංස්කෘතික ආක්‍රමණය එලෙස ම ගෙන්වාගනු ලැබූ ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවන්ට වඩා භයානක විය. එය ජේ ආර් ජයවර්ධන මහතා ලවා කරවා ගැනීමට හැකිවූයේ ඔහු ලබා තිබූ සංස්කෘතික පුහුණුව නිසා ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඡන්ද ඇති නිසා ම ජාතික ඇඳුමට ඇදී ගිය ජයවර්ධන මහතාට සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඒ සංස්කෘතිය ඔස්සේ ම පියවර ගැනීමට තරම් දේශපාලන අවබෝධයක් ද විය. විවෘත ආර්ථිකය යනුවෙන් හඳුන්වනු ලැබුව ද ඔහුගේ ව්‍යාපෘතිය විවෘත සංස්කෘතිය විය. සංස්කෘතික වශයෙන් කෙරෙන වෙනසක් නොමැතිව ආර්ථික වෙනසක් කළ නො හැකි ය. කොළඹ හා නගරවල කිහිප දෙනකුට පමණක් සීමා වී තිබූ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ගම්වලට ගෙන යනු ලැබුවේ විවෘත සංස්කෘතික ව්‍යාපෘතිය මගිනි. අප කුඩා කළ කාගිල්ස් මිලර්ස් යන වෙළෙඳසල් හා මහා හෝටලය (ග්‍රෑන්ඩි ඔරියන්ටල් හෝටලය), ගල්කිස්ස හෝටලය ආදිය යුරෝපීයයනට හා මෙරට පවුල් කිහිපයකට පමණක් වෙන් වී තිබිණි. එහෙත් අද පහළ මධ්‍යම පංතියේ අය ද ගෙදර යන ගමන් කාගිල්ස් යති. හෝටල්වල මගුල් කති. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට, ඊනියා විශේසඥයන් හමුවීමට, දරුවන් බිහිකිරීමට, පෞද්ගලික රෝහල්වලට යති. අවසානයේ ජයරත්න (රේමන්ඩ් වෙනුවට) ශාලාවේ පැය කිහිපයක් නිදාගෙන කනත්තට යති. ඒ අතරතුර ගෙදර ගතකරන ජීවිතයේ වැඩි කාලයක් රූපවාහිනී නැරඹීමට වෙන් කරති. ගැමුණු රජුගෙන් පසු සිංහල සමාජයෙහි වෙනසක් ඇතිකළ ප්‍රධාන පුද්ගලයා ජේ ආර් ජයවර්ධන බව පවසන්නේ ඔහුට කරන ගෞරවයක් ලෙස නම් නො වේ.

ජේ ආර් ජයවර්ධන මහතා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එකල ප්‍රධාන ඒජන්තයා විය. එකල මුදල් ඇමති වූ රොනී ද මැල් මහතා කෙතෙක් වෑයම් කළ ද විවෘත ආර්ථිකය හඳුන්වා දීමට නොහැකි විය. වැඩිම වුවහොත් ඔහුට කළ හැකි වූයේ පට් පට් ගාල සම්තින් සොයන සූරසේනලාගේ පාදඩ ආර්ථිකයක් ඇති කිරීම ය. විවෘත ආර්ථිකයක් ඇතිකිරීමට, එනම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ආර්ථිකයට රට විවෘත කිරීම සඳහා පළමුව සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය විය. ජේ ආර් ජයවර්ධන මහතා එය සිදු කළේ ය. ඉංගිරිසින් මෙරට සිටි අවධියේ චාල්ස් ද සොයිසා මහතා වැනි ක්‍රිස්තියානි ධනවත්තු මහජනයා සඳහා රෝහල් ඉදිකර ආණ්ඩුවට භාරදුන්හ. එහෙත් අද සිංහල බෞද්ධ යැයි කියාගන්නා ධනවාදීහු පෞද්ගලික රෝහල් තනා නිදහස් අධ්‍යාපනයෙන් ම බිහි වූ බහුතරයක් සිංහල බෞද්ධ වූ බටහිර වෛද්‍යවරුන් සමග එකතු වී රෝගීන් ගසා කති. මේ ආර්ථික ක්‍රියාවලිය ඇතිකිරීමට සංස්කෘතික වෙනස් කීිරීමක් අවශ්‍ය විය. ජයවර්ධන මහතා ඒ ඉටු කළේ ය. අද වන විට බටහිර යටත්විජිතවාදී ඊනියා විවෘත ආර්ථිකය නව ක්‍රියාදාමයකට පීිවිස ඇත. ඒ ආර්ථික යටත්විජිතවාදය අද රට පුරා පැතිර යනු දැකිය හැකි ය. එය එසේ පැතිර යන්නේ අධික දුෂණවලින් ද ගහණව ය. එය අප රටට පමණක් විශේෂිත වූවක් නො වේ. ඊනියා දියුණු යැයි සම්මත රටවල ද ඒ ඊනියා දියුණුව හඹායන රටවල ද දූෂණය පවතියි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයට හා ඒ හා සමග බැඳුණු පරිසරය විනාශ කරන ඊනියා සංවර්ධනයට දූෂණයෙන් තොර පැවැත්මක් නැත. අද ක්‍රියාත්මක වන්නේ ඊනියා හෙජමොනික ධනවාදයක් නොව බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයේ අවසාන අදියර ය. ඒ මාක්ස්වාදී අර්ථයකින් නො වේ. බටහිරයන්ට කිසිදිනෙක පරිසරය සූරැකීමට නොහැකි බව අප කීවේ කාලයකට පෙර ය. පරිසරය ගසාකෑමෙන් තොරව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කරගත් ආර්ථිකයකට වර්ධනයක් නැත. අද ඔබාමා කියන්නේ ඕසෝන් ස්ථරය තවත් විවෘත නොකර ඇමරිකානුවන්ට රැකියා සැපයිය නොහැකි බව ය. තව තවත් පරිසරය විනාශකරන බටහිර ආර්ථිකයට මෙතෙක් බටහිරයන් අතින් සූරාකෑමට ලක් වූ ස්වභාව ධර්මය දඬුවම් දෙන යුගය එළඹී ඇත.

බටහිර ආර්ථිකය කඩා වැටීම වැඩිවත් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි රෞද්‍ර මුහුණ තව තවත් දර්ශනය වනු ඇත. අද ඊනියා මැද පෙරදිග හෙවත් බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ මුස්ලිම් රටවල ඉතා නග්න ආකාරයකට පෙනෙන්නට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ මේ ජඩ මුහුණ ය. බටහිරයන් මේ රටවල් ආක්‍රමණය කරන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙනි. එහි දී මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම යන කුණුහරුපය බටහිරයෝ තොර තෝංචියක් නොමැතිව මතුරති. කුණුහරුපයක් මතුරා තමන් අතින් ලෝක ආධිපත්‍යය ගිලිහී යෑම නැවැත්වීම බටහිරයන්ගේ දේශපාලනයෙහි විදේශ ප්‍රතිපත්තිය වෙයි. මේ දේශපාලනය යුක්තියුක්ත කරන මාක්ස්වාදීහු මෙරට වෙති. මේ කසිකබල් මාක්ස්වාදියෝ මෙරට දී දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුහු බටහිරයන්ට මෙරට ආක්‍රමණය කරන ලෙස ව්‍යංගයෙන් කියා සිටිති. මේ මාක්ස්වාදීන් කෙතරම් බටහිර ගැත්තන් වී ඇත් ද කිවහොත් බටහිරයන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් කියුබාව හා වෙනිසියුලාව ආක්‍රමණය කළහොත් ඔවුන් එය ද ඉවසනු ඇත. එපමණක් නො වේ. ඔවුහු දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නොව ඒ 2009 මැයි මාසයේ සතියක කාලයක් නොරුකිණිය යන අදහස පෙරදැරි කරගෙන ලංකාව ආක්‍රමණය කිරීමට මාන බලන බටහිරයන්ට උල්පන්දම් දෙති.

සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය යන ක්‍ෂෙත්‍රවල බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ සංරචකවල ජේ ආර් ජයවර්ධන ව්‍යාපෘතිය පටන්ගෙන නොබෝ කලකින් ම දිවයින පුවත්පත ඇරඹිණි. 1981 වන විට නව ජාතික ව්‍යාපාරයක් ඇරඹීමේ ලකුණු පහළ වී තිබිණි. එක් පැත්තකින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වූ ව්‍යාපාරය විය. තවත් පැත්තකින් ජඩ ආර්ථිකය විය. තුන්වැනුව දෙමළ ජාතිවාදී දේශපාලනය හා බටහිර දේශපාලන ව්‍යුහ විය. මේ සංරචක තුන ම බටහිරයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්නවත් ඒ සංරචක අතර තිබූ සම්බන්ධයවත් එකල නොදැන සිටි නමුත් උපාලි විජයවර්ධන මහතා ඉවකින් මෙන් ජාතිකත්වය වෙනුවෙන් පුවත්පතක් ආරම්භ කළේ ය. එකල සමාජ විශ්ලේෂණය සඳහා තිබුණේ එක්කෝ බටහිර ලිබරල් මතවාද ලෙස හැඳින්විය හැකි ප්‍රවාද සමූහයකි. එසේත් නැත්නම් මාක්ස්වාදී මතිමතාන්තර ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පරාජය කිරීම සඳහා ජාතික මතවාද, ජාතික සංකල්ප, ජාතික ප්‍රවාද අවශ්‍ය විය. එහෙත් ඒ නිර්මාණය කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයවත් එකල නොවූයේ ප්‍රවාද නිර්මාණය යන්න ද පසු කලෙක ඇති වූ සංකල්පයක් නිසා ය. 1948 දී දිනාගත් සීමිත දේශපාලන නිදහස කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව වැටහුණු බොහෝ දෙනා සිටි නමුත් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් නිදහස ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳ හෝඩුවාවක්වත් එකල නො වී ය. අනුරාධපුර යුගයේ ශ්‍රී විභූතිය ගැන කතාකිරීමත් සිංහල බෞද්ධ ජීවන රටාව ගැන කතාකිරීමත් හැරෙන්නට ජාතික ව්‍යාපාරයකට සංකල්ප, අදහස් ප්‍රවාද ආදිය නො වී ය. වැඩිම වුවහොත් මාක්ස්වාදය හා බුදුදහම එකතුකරන්නේ කෙසේ ද යන්න පමණක් එකල සාකච්ඡා විය. ඊනියා බෞද්ධ සමාජවාදය එකල ඇතැම් උගතුන් අතර ජනප්‍රිය මාතෘකාවක් විය. එහි දී මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇතැම් ඉතා ප්‍රාථමික අදහස් ද බලපෑවේ ය. බුදුදහම හා මාක්ස්වාදී සමාජවාදය චින්තන දෙකක උපත ලබා ඇති බව අදත් බොහෝ දෙනා තේරුම් නොගත් කරුණකි.

දිවයින පුවත්පත ආරම්භයේ සිට ම තම කාර්යභාරය කරගත්තේ ජාතික නිදහස දිනාගැනීම යැයි සිතමි. ඒ සඳහා කිසිවකුට විශේෂිත සැලැස්මක් තිබිණි යැයි මෙයින් අදහස් නො වේ. දිවයින පුවත්පතේ විවිධ පුද්ගලයන් සේවය කළ ද, එය පැදවූ නියමුවා වූයේ එඩ්මන් රණසිංහ මහතා ය. සමාජවාදීන්, ලිබරල්වාදීන් වූ ජනමාධ්‍යවේදීන් හවුල් කරගනිමින් රණසිංහ මහතා ජාතික නිදහස සඳහා වූ පුවත්පතක් ගොඩනැගීම ආරම්භ කළේ ය. දිවයින ඉරිදා සංග්‍රහය මෙන් ම දිවයින බදාදා අතිරේකය ද සංවාද මණ්ඩප බවට පත්විය. 1983 ජූලි කලබලවලින් පසු දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි හඳුනාගැනීමේ වගකීම ද විය. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය ඇරඹුණේ 1983 දී වත් 1981 දී වත් නො වේ. ත්‍රස්තවාදය හැත්තෑවේ දශකයේ අගභාගයේ ඇරඹී තිබුණේ ජ වි පෙරමුණේ ආභාසය ලබමිනි. අපකීර්තිමත් වඩුකොඩේ සම්මේලනය පැවත්වූයේ 1976 දී ය. අද බොහෝ දෙනා තිස් අවුරුදු යුද්ධයක් ගැන පුරුද්දට කතාකරන නමුත් 2009 වන විට දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයට අවුරුදු තිහකට වඩා ගෙවී තිබිණි. කෙසේ වෙතත් ප්‍රභාකරන් හා ආණ්ඩුව අතර යුද්ධයක් නො වී ය. එසේ හැඳින්වීම ම සංකල්පීය වශයෙන් වැරදි ය.