Main Logo

Sunday 9 October 2011

ආලෝකයේ වේගයට වැඩි අංශුවලින් දෙදරන සත්‍යය

අපි සති තුනකට පෙර ආලෝකයේ වේගයට වැඩි වේගයකින් කෙරෙන සංනිවේදන ගැන කතා කළෙමු. එහි දී ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කෙරෙන බව බටහිර භෞතික විද්‍යාවේ විශේෂයෙන් ම පැටළුණු අංශු සම්බන්ධයෙන් සාකචිඡා කිරීමේ දී පිළිගැනෙන බව පෙන්වා දුනිමු. එහෙත් එසේ සංනිවේදනය කෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව එහි දී කිසිවක් සඳහන් නො විණි. එයට හේතුව ඒ පිළිබඳ ව කිසිම හෝඩුවාවක් බටහිර භෞතික විද්‍යාවේ නො වීම ය.

බටහිර භෞතික විද්‍යාවේ දැනගෙන තිබුණේ ආලෝකයේ වේගයට අඩු වේගයකින් චලනය වන සාමාන්‍ය (සම්භාව්‍ය - classical) හා ක්වොන්ටම් අංශු ගැන ය. ෆෝටෝන ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ යැයි පිළිගැණිනි. ෆෝටෝන හෙවත් ආලෝකය කිරණ හා සම්බන්ධ විය. එබැවින් කිරණවල වේගය ආලෝකයේ වේගයට සමාන වූ අතර අංශුවල වේගය ආලෝකයේ වේගයට අඩුවිය. කිරණවල වේගය ආලෝකයේ වේගයට සමාන ය යන්න එක් අතකින් ගත්කල නිවැරදි නො වේ. මෙහි කිරණ යනු විද්‍යුත් චුම්බක කිරණ බැවින් හා ආලෝකය යනු විද්‍යුත් චුම්බක කිරණවලින් කොටසක් පමණක් බැවින් අප කිව යුත්තේ ආලෝකයේ වේගය විිද්‍යුත් චුම්බක කිරණවල වේගය බව ය.

එහෙත් සැප්තැම්බර් විසි දෙවැනි බ්‍රහස්පතින්දා ස්විට්සර්ලන්තයේ සර්න් පරීක්‍ෂණාගාරයෙන් නිකුත් වූ ආරංචි අනුව ඒ පරීක්‍ෂණාගාරයෙහි දී ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන අංශු නිරීක්‍ෂණය කෙරී ඇත. මෙය වැදගත් පුවතකි. බොහෝ බටහිර භෞතික විද්‍යාඥයෝ මෙය පිළිගැනීමට අකමැති වෙති. එයට හේතුව එමගින් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය බිඳ වැටෙන්නේ යැයි ඔවුන් සිතන බැවිනි. ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන අංශුවල පැවැත්ම සාපේක්‍ෂතාවාදයට එකඟ නො වේ.

සර්න් පර්යේෂනාගාරයේ කෙරුණු නිරීක්‍ෂණය වැරදි වීමට හැකි ය. එහි විද්‍යාඥයන් එකී පරීක්‍ෂණය කිහිප වරක් ම කර ඇතැයි කියැවෙයි. එය අනෙක් පරීක්‍ෂණාගාරවල ද කෙරිය යුතු බව කාගේත් අදහස වෙයි. එසේ කිරීමෙන් අනතුරුව ඒ ප්‍රතිඵලය ම ලැබෙන්නේ නම් පමණක් එය පිළිගත යුතු ය යන්න බටහිර භෞතික විද්‍යාඥයන් සියළු දෙනාගේ ම පාහේ අදහස වෙයි. ඒ අදහස ගැන අපට ප්‍රශ්නයක් නැත. එහෙත් අවාසනාවකට ඒ පරීක්‍ෂණය ලංකාවේ දී සිදුකළ හැක්කක් නො වේ.

මෙය බටහිරයන් කියන අයුරෙන් ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණයක් නො වේ. මොන පුහුණුව ලබා තිබුණ ද ඕනෑම බටහිර භෞතික විද්‍යාඥයකුට තනිව ම තම පෞද්ගලික පරීක්‍ෂණාගාරයක දී ඒ කළ හැක්කක් නො වේ. ඒ සඳහා පුහුණුව ලත් කණ්ඩායමක් සිටිය යුතු අතර ඉහළ මට්ටමේ උපකරණ සහිත පරීක්‍ෂණාගාර් අවශ්‍ය වෙයි. එවැනි පරීක්‍ෂණාගාර ලෝකයේ ම ඇත්තේ තුනකි. ඉන් එකක් සර්න් පරීක්‍ෂණාගාරය වෙයි. තවත් එකක් ජපානයේ වෙයි. අනෙක ෆර්මි පරීක්‍ෂණාගාරය වෙයි. එයින් ජපානයේ ඇති පරීක්‍ෂණාගාරය එරට සුනාමියෙන් පසු මන්දගාමී වී ඇත. ෆර්මි පරීක්‍ෂණාගාරයේ උපකරණ ද සර්න් පරීක්‍ෂණාගාරයේ තරම් සියුම් නො වේ යැයි පැවසෙයි. බටහිර විද්‍යාඥයන් පරීක්‍ෂණ නැවතත් කිරීම පිළිබඳ කෙතරම් පුරසාරම් බස් දෙඩුවත් ඔවුන්ට අද මේ සම්බන්ධයෙන් යම් තරමකින් වුව ද පරීක්‍ෂණ කළ හැක්කේ පරීක්‍ෂණාගාර දෙකක දී පමණ ය. ඒ සර්න් හා ෆර්මි පරීක්‍ෂණාගාර ය.

සර්න් පරීක්‍ෂණාගාරයෙහි කළ පරීක්‍ෂණයෙහි දී න්‍යුට්‍රීනෝ අංශු ඉතාලියේ කිලෝමීටර 730ක දුරකට යවා ඇත. එහි දී හෙළි වී ඇත්තේ ඒ අංශු ආලෝකය එම දුර ගෙවීමට ගන්නා කාලයට නැනෝතත්පර 60ක් අඩුවෙන් කාලයක දී ඒ දුර ගෙවා ගොස් ඇති බව ය. කාලය සම්බන්ධයෙන් ගත්කල එ ඉතා සුළු වෙනසකි. මේ මැනීම වෑරදි විය හැකි බව ද දැනට මේ සුළු වෙනස නොසලකා හැරිය නො හැකි ය. සර්න් පරීක්‍ෂණාගාරයෙහි ඒ පරීක්‍ෂණය කිහිප වතාවක් ම කර ඇතැයි කියැවෙයි.

මෙහි දී කිවයුතු කරුණු කිහිපයක් වෙයි. අපේ ආසනික් පරීක්‍ෂණයෙහි දී මෙන් කිසිවෙක් සර්න් පරීක්‍ෂණයෙහි ප්‍රතිඵල එකහෙළා ම වැරදි යැයි කීමට ඉදිරිපත් නො වුහ. බටහිර භෞතික විද්‍යාඥයන්ට අවශ්‍ය ඒ පරීක්‍ෂණය ෆර්මි පරීක්‍ෂණාගාරයෙහි දී ද කර බැලීම ය. අප රටේ ආසනික් හැඳිනගැනීම සම්බන්ධයෙන් අපේ ක්‍රමය කුමක් දැයි අප කියද්දීත් අනෙක් බටහිර රසායනික වි්‍යාඥයෝ ඒ අනුව පරීක්‍ෂාකිරීමට ඉදිරිපත් නොවූහ. පසුව ආණ්ඩුවේ හා රේගුවේ අවශ්‍යතාව පරිදි එක් පරීක්‍ෂණාගාරයක දී එසේ පරීක්‍ෂණය කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එහෙත් අද වන විට අඩුම තරමෙන් පලිබෝධනාශකවල ආසනික් පමණක් නොව කැඩ්මියම් හා රසදිය ද ඇති බව හෙළි වී අවසන් ය. එසේ වුවත් ඒ රසායනික ද්‍රව්‍ය අඩංගු පලිබෝධනාශක මෙරටට ආනයනය කිරීම නවතා ඇත්දැයි කිසිවකුට නිශ්චිත ව කිව නො හැකි ය.

අනෙක් අතට බටහිර භෞතික විද්‍යාඥයෝ සර්න් පරීක්‍ෂණාගාරයෙහි උපකරණ අක්‍රීය යැයි කීමට තරම් පහත් තත්වයකට නො වැටුණ හ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඒ පරීක්‍ෂණය තව තවත් කරවීම පමණ ය. එහෙත් අපේ බටහිර රසායනික විද්‍යාඥයන් යැයි කියාගන්නා අය තැන තැන ඇවිද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ අදාළ උපකරණ ක්‍රියා විරහිත බව කියමිනි. ඔවුන් තවදුරටත් කීවේ ඒ පරීක්‍ෂණ කැලණියෙහි කෙරී නොමැති බවත් පලිබෝධනාශකවල, පසෙහි හා ජලයෙහි ආසනික් ඇති බව කියා ඇත්තේ දෙවිවරුන් පමණක් බවත් ය.

මේ අමන කතා මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන් කෙතරම් විශ්වාස කළේ ද යතහොත් ඔවුහු විදුසර පුවත්පතට ද අපට ප්‍රසිද්ධිය ලබාදෙන්නේ යැයි කියමින් චෝදනා කළහ. එහෙත් ඒ ඊනියා විද්‍යාඥයන්ට ම ඇතැම් කුහකයන් විසින් තමන් නොමග යවා ඇති බව පිළිගැනීමට දැන් සිදු වී ඇත. මේ අතර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඔස්සේ මා අපකිර්තියට පත්කිරීමට කටයුතු කළෝ ද වූහ. කිසි දිනෙක අලුත් ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත්කර නැති හුදු තාක්‍ෂණ ශිල්පීන් වූ මෙරට කසිකබල් බටහිර විද්‍යාඥයන්ට බටහිර සැබෑ විද්‍යාඥයන්ගෙන් ඉගෙනීමට තවත් බොහෝ දේ ඇත. බටහිර විද්‍යාවේ හා බටහිර විද්‍යාඥයන්ගේ කෙතෙක් වැරදි තිබුණ ද බටහිර ජීවත්වන සැබෑ බටහිර විද්‍යාඥයන්ගෙන් මෙරට ව්‍යාජ බටහිර වි්‍යාඥයන්ට ආදර්ශයට ගැනීමට කරුණු වෙයි.

මෙහි දී කිවයුතු වැදගත් ම කරුණක් වෙයි. මා දන්නා තරමින් සර්න් පරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයන් මේ වැදගත් පරීක්‍ෂණය පිළිබඳ ව සාම්‍ය සමාලෝචනයට බඳුන්කළ පත්‍රිකාවක් පළකර නැත. පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන් මේ පරීක්‍ෂණය සම්බන්ධ තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව දැනට ලැබී ඇති තොරතුරු අනුව හෙළි වෙයි. සර්න් විද්‍යාඥයන්ගෙන් සාම්‍ය සමාලෝචනයට ලක්කළ පත්‍රිකා ඉල්ලීමට මෙරට බටහිර විදාඥයන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. කැලණියේ අපෙන් ආසනික් පැවතීම සම්බන්ධ පරීක්‍ෂණ පිළිබඳ ව සාම්‍ය සමාලෝචනයට ලක්කළ පත්‍රිකා ඉල්ලූ මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට සර්න් විද්‍යාඥයන්ට අඩු තරමෙන් මේ සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් කළ හැකි ය.

ඒ කෙසේ වෙතත් සර්න් පරීක්‍ෂණය නිවැරදි නම් ඉන් මුළු මහත් බටහිර විද්‍යා ලෝකය ම කැලඹෙනු ඇත. න්‍යුට්‍රෝන අංශුව හේතු කොටගෙන ද බටහිර භෞතික විද්‍යාඥයන්ට එහි ආරම්භයේ සිට ම ප්‍රශ්න තිබී ඇත. එහි ස්කන්ධය කෙතෙක් ද යන්න නොවිසඳුණ එක් ප්‍රශ්නයකි. ඇතැමුනට අනුව ෆෝටෝනයකට මෙන් න්‍යුට්‍රිනෝවට ද ස්කන්ධයක් නැත. ස්ලන්ධයක් තිබිිණි ද එය ඉතා කුඩා විය යුතු ය. න්‍යුට්‍රීනෝව වර්ග තුනකින් එක් වර්ගයකට එක් අවස්ථාවක දී අයත් වුවත් ඒ අංශු සූර්යයාගේ සිට පොළොවට ළඟාවන විට වර්ගය වෙනස්වන බව බටහිර භෞතික විද්‍යාඥයෝ දනිති. එනම් ඔවුන්ගේ ප්‍රවාද හා සංකල්ප අනුව න්‍යුට්‍රීනෝවල වර්ගය එසේ වෙනස්විය යුතු ය. සර්න් පරීක්‍ෂණාගාරයෙන් ඉතාලියට යැවුණු න්‍යුට්‍රීනෝවල ද එසේ වර්ගය වෙනස්විණි දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ විද්‍යාඥයන් සාම්‍ය සමායෝජනයට ලක්කරන පත්‍රිකාවක ඒ බව සඳහන් කරනු ඇත.

න්‍යුට්‍රීනෝවේ ස්කන්ධය ශූන්‍ය නම් එය චලනය විය යුත්තේ ආලෝකයේ වේගයෙනි. එහෙත් එයට ඉතා කුඩා වුව ද ස්කන්ධයක් ඇත්නම් දැනට බටහිර භෞතික විද්‍යාවේ කියැවෙන ආකාරයට නම් එහි වේගය ආලෝකයේ වේගයට අඩු විය යුතු ය. එහෙත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි විද්‍යාඥයන් අපට ජනමාධ්‍ය ඔස්සේ කියන්නේ න්‍යුට්‍රීනෝ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව ය. මේ තත්වය යටතේ බටහිර භෞතික විද්‍යාඥයන් කෙසේ ක්‍රියාකරනු ඇත්දැයි අපට කිවහැකි නො වේ. අපට කිවහැක්කේ ඔවුන් පළමුව ඒ පරීක්‍ෂණය ෆර්මි පරීක්‍ෂණාගාරයෙහි දී සිදුකිරීමට කටයුතු කරන බව පමණ ය.

මේ පරීක්‍ෂණ නිවැරදි නම් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතවාදය අඩුම තරමෙන් සංශෝධනය විය යුතු ය. ඇතැම් විට එය බොහෝ දුරට ප්‍රතික්‍ෂෙපවීමට ද සුළු ඉඩක් ඇත. අද ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකුට ඉතිහාසගත වීමේ අවස්ථාව උදා වී ඇත. ඒ සර්න් පරීක්‍ෂණයේ ප්‍රතිඵල තේරුම් කරන ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමෙනි. ඒ ප්‍රවාදය කුමක් වුවත් බටහිර භෞතික විද්‍යාඥයන් අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප නොකරනු ඇත. ඔවුන් නිව්ටෝනීය ගුරුත්වාකර්’ණ ප්‍රවාදය උගන්වන අයුරින් සාපේක්‍ෂතාවාදය ද තවදුරත් උගන්වනු ඇත. අනෙක් දැනුම් පද්ධතිවල මෙන් ම බටහිර භෞතික විද්‍යාවේ ද පරස්පර තිබීම වැළැක්විය නො හැකි ය.

අප ලෝකය ග්‍රහණය කරගන්නේ ය යන කතාව අමූලික අසත්‍යයක් බව මේ සියල්ලෙන් පැහැදිලි වෙයි. අපි අපෙන් තොරව පවතින ලෝකයක් ග්‍රහණය නොකරන්නෙමු. අප කරන්නේ අපේ ඉන්ද්‍රිය ඔස්සේ සංකල්ප හා ප්‍රවාද යොදාගනිමින් ලෝකයක් නිර්මාණය කිරීම ය. ඒ ලෝකය අප නිර්මාණය කරන්නේ මනසෙන් ය. මනසට වඩා වැදගත් ඉන්ද්‍රියක් අපට නැත. එහෙත් බටහිර විද්‍යාඥයෝ මනස ඉන්ද්‍රියක් ලෙස සෑලකීම ම ප්‍රතික්‍ෂෙප කරති.

නිව්ටන් නිර්මාණය කළ සරල සුන්දර ලෝකය අද නැත. අප ඉන්ද්‍රිය ගෝචර ලෝකය ගැන පමණක් කතාකළ ද අප ඉන්ද්‍රිය ඔස්සේ දකින ලෝකය නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මගින් නිර්මාණය කරගත නොහැකි බව අපි දනිමු. එනම් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හා ඉන්ද්‍රිය මගින් නිර්මාණය කෙරෙන ලෝකය අතර පරස්පර වෙයි. ඉන්ද්‍රිය ගෝචර නොවන ක්වොන්ටම් ලෝකයෙහි මේ පරස්පර තව තවත් වැඩිවෙයි. සර්න් පරීක්‍ෂණයෙන් කියැවෙන්නේ ඒ බව ය. ඊනියා වාස්තවික සත්‍යයක් කරා යෑමට බටහිර විද්‍යාවට ද නොහැකි බව මේ සියල්ලෙන් පැහැදිලි වෙයි.