Main Logo

Sunday 30 October 2011

ආණ්ඩුවට පාඩමක්

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තදින් ක්‍රියාකළ යුතු ය. කිහිප දෙනකු සිරභාරයට ගෙන ඇතත් ජනතාවගෙන් අති විශාල බහුතරයක් සිතන්නේ ප්‍රධාන සැකකරුවන් තවමත් අත් අඩංගුවට ගෙන නොමැති බව ය. එය ඇත්තක් විය හැකි ය. ඇතැම්විට ආණ්ඩුවට, එහි දී නෛතික හා වෛද්‍ය ගැටලු තිබෙනවා විය හැකි ය. භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර සිංහල ජාතිකත්වයට පටහැණිව විජය කුමාරතුංග සමග එකතු විය. ඔහු (භාරත) උපාසකයෙක් ද නො වී ය. එහෙත් දුමින්ද සිල්වාට දඬුවම් දීමට වේ නම්, ආණ්ඩුව කිනම් පසුබිමකවත් එසේ කිරීමට පසුබට නොවිය යුතු ය.

ලෝකයේ බිහිවූ දරුණුම ත්‍රස්තවාදී නඩයක්, බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහාය ලැබූ ත්‍රස්තවාදී නඩයක්, මානුෂික මෙහෙයුම්වලින් පරාජය කළ ආණ්ඩුවක් පාතාලයට, මැරයන්ට බිය වී ඇතැයි සිතිය නො හැකි ය. ආණ්ඩුව මේ අවස්ථාවේ දී ජනතාවට තමන් සැකකිරීමට ඉඩ නොතැබිය යුතු ය. පාතාලය හා මැරයන් පරාජය කිරීමට මුල් පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු ය. එහෙත් අප නොදන්නා යම්කිසි රහසක් රැකීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවක් පෙනෙයි. රාජ්‍ය රහසක් ඇත්නම් එය රැකීමේ වරදක් නැත. ඒ හෙළි කළයුතු යැයි බල කළ යුතු නො වේ. කොටි ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුවට විවිධ අභියෝග රැසකට එක්වර මුහුණ දීමට සිදු වී ඇත. පළමුවෙන් ම දෙමළ ජාතික සංධානය සමග පැවැත්වීමට බලකෙරෙන ඊනියා සාකච්ඡා ය. අප කිහිප වතාවක් කියා ඇති පරිදි දෙමළ නායකයන් සමග දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ගැන කතාකිරීම දිවිහිමියෙන් සටන් කළ රණවිරුවන් පාවාදීමකි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ ප්‍රශ්නයක් නැති බවත් මේ ඊනියා ප්‍රශ්නය දෙමළ වෙල්ලාලයන් රටේම නායකයන් කිරීමට තැත්කළ ඉංගිරිසි ආණ්ඩුකාරයන් හා නිලධාරීන් විසින් ඇතිකරන ලද ප්‍රශ්නයක් බවත් ඉංගිරිසින්ට හා දැන් ඔවුන්ගේ නායකත්වයෙන් බටහිරයන්ට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට, ඉතිහාසයට, ජීවන ක්‍රමයට, දැනුමට ආදී වශයෙන් ජාතිකත්වයට හිමි තැන අහිමි කිරීම බවත් අපි කරුණු සහිතව තර්කානුකුලව පෙන්වා දී ඇත්තෙමු. එංගලන්තයේ පමණක් නොව බිරිතානියේත් ඇමරිකාවේත්, කැනඩාවේත්, ඕස්ටේ‍ර්ලියාවේත්, නවසීලන්තයේත් ජාතිකත්වය පදනම් වී ඇත්තේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතිය මත ය. යුරෝපයේ සෙසු රටවල ජාතිකත්වය පදනම් වන්නේ වෙනත් ක්‍රිස්තියානි සංස්කෘති මත ය. ඒ රටවල ජාතිකත්වයෙහි වෙනත් කිසිම සංස්කෘතියකට අබමල් රේණුවක ඉඩක් නැත. එහෙත් කසිකබල් ඉංගිරිසි අධ්‍යාපනයක් ඉංගිරිසි හෝ සිංහල හෝ මාධ්‍යයෙන් පාසල්වලින් හෝ විශ්වවිද්‍යාලවලින් හෝ ලබාගත් මෙරට පඬියන්ට බහුසංස්කෘතික බහුබූතය නොමැතිව හුස්ම ගැනීමටවත් නො හැකි ය. විශේෂයෙන් ම තුට්ටු දෙකේ මාක්ස්වාදීහු මෙහි දී දෙමළ ජාතිවාදී කවටයන් බවට පත් වී සිටිති. ජනමාධ්‍ය නොවන්නට ඔවුන්ට මේ රටේ කිසිම තැනක් නැත. ජ වි පෙරමුණේ කුමාර ඕපාත කණ්ඩායමට ද ඒ ඉරණම වැඩිකල් නොගොස් අත්වනු ඇත. ඔවුන්ට කළ හැකි වන්නේ ට්‍රොට්ස්කිවාදී මැත දොඩවන්නන් සමග මැයි දිනයක් පැවැත්වීම හා පුවත්පත් සාකච්ඡා පැවැත්වීම පමණකි. ඊනියා ශිෂ්‍ය නායකයන් ඔවුන් සමග සිටිය ද එකී නායකයන්ට නායකකම මිස ශිෂ්‍යයන් නැතිවනු ඇත. මෙරට ශිෂ්‍යයෝ දෙමළ ජාතිවාදයට ආවඩන්නෝ නො වෙති.

අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් ඉංගිිරිිසින්ගේ හා බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය ඊනියා දෙමළ ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳාගත නොහැකි වූයේ පළමුවෙන් ම ප්‍රශ්නයක් නැතිවීමත් දෙවනුව දෙමළ ජාතිවාදී නායකයන් බටහිරයන්ගේ අනකොලු වී සිංහල බෞද්ධත්වය නැතිකිරීමට කටයුතු කිරීමත් හේතුවෙනි. බටහිරයෝ හා කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුලු දෙමළ ජාතිවාදීහු කිසි විටෙකත් සිංහලයන්ගේ හඬට කන්දීමට කැමති නො වුහ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී මානුෂික මෙහෙයුම් මගින් දෙමළ ජාතිවාදීන් බටහිරයන්ගේ ආධාරයෙන් අඩුම තරමෙන් ඉංගිරිසින් නිර්මාණය කළ උතුරු හා නැගෙනහිර පළාත්වල තම බලය තහවුරු කිරීමට යොදාගත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. එමගින් ඊනියා දෙමළ ප්‍රශ්නය ද විසඳනු ලැබිණි. හමුදා ක්‍රියාමාර්ග යනු දේශපාලන ක්‍රියාමාර්ග වන අතර හමුදා විසඳුම් ද දේශපාලන විසඳුම් වෙයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ධනවාදීහු හා ලෙනින් ස්ටැලින්වාදී සමාජවාදීහු ලෝකය බෙදාගත්හ. නැගෙනහිර යුරෝපය සෝවියට් කඳවුරට එකතු වූයේ අවසන් වශයෙන් ගත්කල එහි ප්‍රතිඵලයක් ලෙස ය. එය වෙනස්කිරීමට සාකච්ඡා පැවැත්වීමට කිසිවෙක් කටයුතු නො කළහ. එය අවසානයේ දී වෙනස් වූයේ ද බර්ලින් තාප්පය කඩා වැටුනේ ද චෙකොස්ලොවේකියාවේ හා යුගොස්ලේවේයාවේ ඇති වූ ක්‍රියාදාමවල ප්‍රතිඵල ලෙස ය. අද ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳීමට නැවතත් සාකච්ඡා ආරම්භකළ යුතු නො වේ. ඒ සියලු සාකච්ඡා අසාර්ථක වී ඇත. සාකච්ඡා නැවත ඇරඹුවත් ඒ අසාර්ථක වනු ඇත්තේ විසඳීමට දෙමළ ප්‍රශ්නයක් නැති බැවිනි. මානුෂික මෙහෙයුම් අවශ්‍ය වූයේ ම සාකච්ඡා අසාර්ථක වීම නිසා ය. හමුදාව දැන් දේශපාලන විසඳුමක් දී ඇත. එය පිළිගැනීමට දෙමළ ජාතිවාදීන් ද කුමාර් ඕපාත කණ්ඩායම ඇතුලු කසිකබල් මාජ්ස්වාදීන් ද අකමැති වන්නේ ඔවුන්ට බටහිරයන්ගේ හා රෝ ඔත්තු සේවයේ අනුග්‍රහය ලැබෙන බැවින් මිස ඔවුන්ට ඇති ශක්තියක් නිසා නොවන බව පැහැදිලි ය.

අද ආණ්ඩුව කළ යුත්තේ ඊනියා සාකච්ඡා සඳහා කාලය නාස්තිකරමින් රණවිරුවන් පාවාදීම නොව පැරණි රජදරුවන් කළ ආකාරයෙන් රට කරවීම ය. එහෙත් ආණ්ඩුවට ඒ සඳහා ජාතික වූ වැඩ පිළිවෙළක් නැත. එපමණක් නොව එවැනි ක්‍රියාදාමයකට එළඹීමට නමින් සිංහල බෞද්ධ වූ ඕල්කට් බෞද්ධයෝ ද අකමැති වෙති. ජේ ආර් ජයවර්ධන ඕල්කට් බෞද්ධයන්ගේ ද ඊනියා යථාර්ථවාදී උගතුන්ගේ ද ආධාරය ඇතිව එතෙක් කොළඹට පමණක් සීමා වූ අධාර්මිකබව මුළු රටට ම ගෙන ගියේ ය. අද පොදුවේ ගත්කල රට ම අධාර්මික වී ඇත. ධර්මය වල් වැදී ඇත. බොරුව, කුහකකම, ව්‍යාජය, දුෂණය, නාස්තිය, අල්ලස, කොමිස් කෑම, බොරු ආඩම්බරය, පවට ලජ්ජාව බය නැතිවීම ආදිය රටපුරා පැතිරී ඇත. මේවා දේශපාලනඥයන්ට පමණක් සීමා වී නැත. නිලධාරීහු හා වෙනත් සේවකයෝ ද තම තමන්ට හැකි අයුරෙන් රජයේ හා වෙනත් ආයතනවල වස්තුව ගසා කති. නිලධාරියාට කම්කරුවා පෙනෙන්නේ තරාතිරමෙන් පහත් අයකු ලෙස ය. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට විරුද්ධව අනධ්‍යයන සේවකයන් පැමිණිලි කිරීම පවා වරද වෙයි. ස්ත්‍රී දූෂණය මෙන් ම ලාභ ප්‍රයෝජන සඳහා ස්ත්‍රින් ඇඟ විකිණීම ද අද සුලබ වී ඇත. ඒ හැරෙන්නට හුදෙක් ඉන්ද්‍රිය පිනවීම සඳහා අනාචාරයේ හැසිරීම ද අද ප්‍රචලිත වී ඇත. රටපුරා නගරවල කාමර කුලියට දෙන තැන් බිහි වී ඇත්තේ හුදෙක් දේශීය හෝ විදේශීය හෝ සංචාරකයන් සඳහා නො වේ. මිනීමැරුම්, කොල්ලකෑම්, පවුල් පිටින් ඝාතනය කිරීම් වාර්තා නොවන දවසක් නැත. මේ සියල්ල හුදෙක් ඊනියා යුද්ධයක් නිසා ඇති වූ බව පෙන්වීමට සිංහල බෞද්ධ සංස්කෘතියට එදා සිට වෛර කරන කසිකබල් සතිඅන්ත පුවත්පතක හිටපු කතුවරයෙක් උත්සාහ දරයි. ජේ ආර් ජයවර්ධන, ඕල්කට් බෞද්ධයන් හා ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක බටහිර උගතුන් සමග එක්වී කරන ලද ව්‍යාපෘතියක අනිටු ඵල දැන් ලැබෙමින් පවති.

රට කරවීම යන්න වෙනුවට බටහිරයන්ගේ සංවර්ධනය යන සංකල්පය අද මුල් බැස ගෙන ඇත. ආණ්ඩුව අද රට සංවර්ධනය කරයි. තැන තැන පාරවල් ගොඩනැගිලි ඉදිකෙරෙයි. එහෙත් ඒ සමග මිනිස්සු ඇති නො කෙරෙති. රටේ සංවර්ධනය හා පෞද්ගලික සංවර්ධනය වෙනුවෙන් මිනිස්සු තනි තනිව හා සාමූහිකව පරිසරය ගසාකති. ඊනියා සංවර්ධනයක් අපේක්‍ෂා කරන ජනතාවට ඒ සංවර්ධනය ලබාදීමට කොහෙන් නමුත් ආයෝජන ලබාගැනීමට ආණ්ඩුව පෙළඹෙයි. එහි දී දූෂණ සිදුවීම ද වැළැක්විය නො හැකි ය. බටහිර සංවර්ධනය සමග දූෂණය අත්වැල් බැඳගෙන ඇත. අප රටේ පමණක් නොව දියුණු යැයි සම්මත රටවල ද දූෂණ මහා පරිමාණයෙන් සිදුවෙයි. එහෙත් ඒ දූෂණ ඔවුන්ගේ දළ ජාතික ආදායම සමග සැසඳූ විට එතරම් විශාල නො වෙයි. එසේ වුවත් අප වැනි රටවල දූෂණ රටට ම දැනෙයි. බටහිර සංවර්ධනය සමග ඇත්තේ විනාශය මිස අනෙකක් නො වේ. ස්වභාව ධර්මය මිනිසා වෙනුවෙන් මවා ඇතැයි සලකන බටහිරයන්ට සම්පත් ගසාකෑම හා නැතිකිරීම හැරෙන්නට වෙනත් දෙයක් කළ නො හැකි ය. තිරසාර සංවර්ධනය යන්න මිනිසුන් මුළාකිරීමට බටහිර බුද්ධිමතුන් නිර්මාණය කර ඇති ව්‍යාජ සංකල්පයක් පමණකි. බටහිර සංවර්ධනයට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. පරිසර සංරක්‍ෂණය, පරිසර කලමනාකරණය ආදී සංකල්පවලින් හෙළිවන්නේ බටහිරයන්ගේ උද්ධචිඡ භාවය පමණකි. පරිසරය සමග සහජීවනය මිස පරිසර සංරක්‍ෂණය, කලමනාකරණය ආදිය කළහැකි දේ නො වේ. බටහිර දැනුම විසින් මිනිසුන්ගේ නිහතමානීබව නැතිකර ඔවුන් උද්ධචිඡ තකතීරුවන් බවට පත්කෙරී ඇත. ආණ්ඩුව මෙන් ම මිනිසුන් ද අමාරුවට පත් වී ඇත්තේ ජේ ආර් ගේ ඔලමොට්ටල අදහස් අනුව ලංකාව සිංගප්පූරුවක් බවට පත්කිරීමට යෑමෙනි. ඒ සඳහා මුදල් ලබාගැනීමට ආණ්ඩුව ද මිනිස්සු ද කටයුතු කරති. අධික මුදල් ලැබෙන්නේ අධික දූෂණ ඔස්සේ ය. කුඩු විකුණා වුවත් මුදල් ලබාගෙන පෞද්ගලික ව හෝ රට වශයෙන් හෝ සංවර්ධනය වීමට යන්නේ නම් එහි කෙළවර භයංකාර ය. මිනිසුන්ට නිදහස හා විමුක්තිය ලැබෙන්නේ අයිතිකර ගැනීමෙන් නොව අත්හැරීමෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට ප්‍රභාකරන්ට ද වඩා ක්‍රියාත්මක වූයේ ජේ ආර් ය. ආණ්ඩුව ජේ ආර්ගේ ව්‍යාපෘතිය අත්හැරිය යුතු ය.