Main Logo

Showing posts with label ජනරළ. Show all posts
Showing posts with label ජනරළ. Show all posts

Monday, 16 April 2012

ඕස්ට්‍රේලියාවේ නොයෙල් මුදලිගේ

ඊනියා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්‍ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත්මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්‍ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. එහෙත් ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්‍ෂය වැඩිකල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්‍ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථයක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ වි පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය. (මාක්ස්වාදීහු සියළු දෙනා ම පාහේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු අද බටහිර ධනවාදී පාලකයන් සමග එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යැයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චත් මාක්ස්වාදීන් යැයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අයකු ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මොහු සතිපතා ඒ පක්‍ෂයේ පුවත්පත වූ ජනරළ පඩංගුවට අනුරාධපුරයේ තිබී යැයි කියන රජවරුන්ගේ හා භික්‍ෂූන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්‍ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ් යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත්් කොටසක් පෙරටුගාමී පක්‍ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ ජා පක්‍ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙයි. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්‍ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොටින් ආධාර කළ බව ද රහසක් නො වේ. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිටුපස ඕස්ට්‍රේලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ පක්‍ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයෙන් බටහිරයන් අපේක්‍ෂා කරන්නේ ඉතා ඉක්මණින් කැරළි ඇති කිරීම ය. ඒ සඳහා පෙරහුරු කටුනායක දී හා හලාවත දී දැනටමත් සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්‍ෂක හමුදා සමග ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පණවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පළවා හැර දේශපාලනය ගැන නොදන්නා සරත් ෆොන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි. ඒ සියල්ලෙහි ප්‍රධානියා එංගලන්තය ය. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ලේ නැකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට ගෝලයන් කටයුතු කරන අතර ගුරා ජ වි පෙ හා එ ජා ප ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනියි. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් සිංහල ගොවිකමට (කොම්පෝස් පොහොර යොදා කරන අකාර්යක්‍ෂම බටහිර කාබනික ගොවිකම නො වේ) වෙදකමට වැව් තාක්‍ෂණයට සංගීතයට දර්ශනයට ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන්නවුන් කොපමණ වෙත් ද? සිංහල සංගීීතය හා රාගධාරී සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? සමස්තයක් ලෙස ගත්කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පලිගනිති. ඔවුන්ට විශ්වවිිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී නියම ඩයස්ලාට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්‍ෂ පුස්තකාල සේවකයන්ගෙන් වුව ද පලිගැනීම ය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දඩබ්බර හා පතෝල නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නවලට පිලිතුරු බලාපොරොත්තුවන අය මුග්ධයෝ වෙති. මේ පලිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත.

ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කසිකබල් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 –- 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තාවන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පෑමිණ ගොස් ඇත. පසුගිය සතියේ ඔහු අතුරුදහන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ වි පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී (පෙරටුගාමී) සමාජවාදී පක්‍ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ට්‍රේලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක්් කරාවියැයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්‍ෂක අංශ විසින් යැයි පවසා ඇත. ඔහුට ලිංගික අතවර ද සිදුවිණි යැයි ඔහු කියා ඇත. ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට ඔහු ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යැයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. මේ ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යතාව දැන ගැනීමට අදාළ සිද්ධි මාලාව විග්‍රහ කරමු.

පසුගිය සතියේ කුමාර් මහත්තයා අතුරුදහන් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්‍රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන්බලපත්‍රය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම විසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සපේතැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ට්‍රේලියාවට යැවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගුණරත්නම්ගේ “බිරිය” සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ විවාහක පුරුෂයා නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර් ක්‍රමයටවත් පිළිගත හැකි සාක්‍ෂි ඉදිරිපත්කිරීමට නොහැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ටේ‍රිලියානු රජයත් මෙරට ඕස්ටේ‍රිලියානු මහා කොමසාර්ස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ අනුදුනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදෝ සිට අපරාධ පරීක්‍ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බල පත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදෑසන ම ඕස්ටේලියානු මහා කොමසාර්ස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. අද එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකිර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී් ඕස්ට්‍රේලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම් මහතාට නම් කීයක් තිබේ ද ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් ගමන් බලපත්‍ර කීයක් තිබේ ද ආදිය ගැන පසු දිනෙක ඔහුගේ (විවාහක නොවන?) බිරිය හෝ මහා කොමසාර්ස්වරිය හෝ කියන තෙක් අද අපට කළ හැක්කේ උපකල්පන කිරීම පමණකි.

කෙකරගාමී පක්‍ෂවලට දීර්ඝකාලීනව මෙරට කළහැකි දෙයක් නැත. ඒ පක්‍ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ ජා පක්‍ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් කුමාර් ගුණරත්නම් ගැන ක්‍රියා කළ අන්දම පිළිබඳ ව ඕස්ට්‍රේලියාව විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුදු හම ඇත්තන් හා ඇත්තියන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෆොන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරළිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්‍රමණවලින් කුමාර් මහත්තයා වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට හිස ගිණි ගත්තවුන් මෙන් සූදානම් විය යුතු ය. ඒ අතර නොයෙල් මුදලිගේලා වැනි ලංකාවෙන් ගොස් සිටින ඕස්ට්‍රේලියානු පුරවැසි මාක්ස්වාදී සමාජවාදීවාදීන්ට කළහැකි දෙයක් වෙයි. ඒ ඕස්ට්‍රේලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, එහි කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමටත් උර දී කටයුතු කිරීම ය.


Monday, 16 January 2012

විශ්වවිද්‍යාල අර්බුදය

මෙරට සියළු විශ්වවිද්‍යාල එක්වර විවෘත කර තිබෙන දිනයක් නැති තරම් ය. ඇතැම් විශ්වවිද්‍යාල කාල සටහනකට අනුව මෙන් වසා දැමෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සියල්ලට ම ප්‍රධාන වූ හේතුවක් වෙයි. එය විශ්වවිද්‍යාලවලට මෙන් ම ඉංගිරිසින් විසින් අපට ලබා දෙන ලද බොහෝ ආයතනවලට ද පොදු වෙයි. ඒ ආයතනවලට මෙරට මුල් බැස ගැනීමට (අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට) නොහැකි වී ඇත. බලෙන් පැළ කළ ඇපල් ගස් මෙන් ඒ රැක බලාගැනීමට කෘත්‍රිම පරිසරයක් ඉතා වෙහෙස මහන්සි වී නිර්මාණය කළ යුතු වෙයි. පාර්ලිමේන්තුව, ජනාධිපති ක්‍රමය, කැබිනට් මණ්ඩලය, ආණ්ඩුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, විශ්වවි්‍යාල, පාසල් පද්ධතිය ආදී රාජ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන ද මුල් අල්ලා නොමැතිවා පමණක් නොව පරිහානිය පමණක් උරුම කරගෙන ඇත. අපි බටහිරට අනුව ජීවත්වීමට උත්සාහ කරමු. එහෙත් අපේ සංස්කෘතිය අපට එයට ඉඩ නො දෙයි. අපට අපේ හර පද්ධතියෙන් ඈත්වීමට නො හැකි ය. එමෙන් ම බටහිර හර පද්ධතිය වැළඳ ගැනීමට ද නො හැකි ය. අපි එක්විට අසුන් දෙදෙනකු පිට යෑමට උත්සාහ කරමු. අප තවමත් නොවැටී සිටින්නේ අපේ දක්‍ෂකමකට නොව සියවස් ගණනකට පෙර ජීවත් වූ අපේ මුතුන්මිත්තන්ගේ හපන්කමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ අපට දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව පරාජය කළ අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ නො හැකි ඇයි? මුළු රටේ ම සියයට එකක්වත් ඡන්ද ඇතැයි සිතිය නොහැකි ජ වි පෙ ජනරළ කණ්ඩායමට විශ්වවිද්‍යාල පාලනය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ඇයි? විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය ව්‍යාජ උගතුන් අතට පත්වන්නේ ඇයි? උපකුලපතිවරුන් ජනාධිපතිවරුන් විසින් පත්කෙරෙන්නේත් ඒ පදවි ලබාගැනීම සඳහා උගතුන් යැයි කියාගන්නා අය තමන් විසින් නූගතුන් ලෙස හැඳින්වෙන දේශපාලනඥයන් පිටුපස යන්නේත් ඇයි? උපකුලපති තනතුරට පත්කිරීමට වෙනත් සුදුසු ක්‍රමයක් වේ යැයි සිතන්නෝ වෙත් ද? ඊනියා නිදහස් ලංකාවේ අයිවෝර් ජෙනිංග්ස්ගෙන් පසුව මහාචාර්ය මළලසේකර මහතා උපකුලපති නොවී මහාචාර්ය ආටිගල මහතා උපකුලපති වූයේ ඇයි? පොලීසිය දේශපාලනීකරණයට ලක්වූයේ ඇයි? රාජ්‍ය සේවකයන්් දේශපාලනඥයන්ගේ සේවකයන් බවට පත්වූයේ ඇයි? ප්‍රශ්න එයින් කෙළවර නැත. එහෙත් ප්‍රශ්න ඇත්තේ අපට පමණක් නො වේ. ඇමරිකාවට ද, එංගලන්තයට ද, ජපානයට ද, සිංගප්පුරුවට ද ප්‍රශ්න ඇත. ඒ ඔවුන්ගේ ප්‍රශ්නය. අපට ඔවුන්ගේ ප්‍රශ්න ද ඇත. ඒ අතර අපේ ප්‍රශ්න ද වෙයි.

අද සිසුන් ලවා ඊනියා වසන්තයක් ඇතිකිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇත. එහෙත් එසේ කිරීමට මග පෑදී ඇත්තේ කෙසේ ද? මා අසා ඇති අන්දමට ආටිගල මහතා එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වීමට ඉතා සියුම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත. අද විශ්වවිද්‍යාල භූමියක පඳුරකට පයින් ගැසුවහොත් මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් කිහිප දෙනකු විසිවන නමුත් එදා සාමාන්‍යයෙන් එක් අධ්‍යයනාංශයකට සිටියේ එක් මහාචාර්යවරයකු පමණ ය. ඔහු අදාළ අධ්‍යනාංභයේ ප්‍රධානියා ද විය. ඔවුහු උපකුලපති තෝරන මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. උපකුලපති වීම සඳහා මේ සාමාජිකයන් වැඩි පිරිසක් දිනාගත යුතු විය. එසේත් නැතහොත් තමන්ට ඡන්දය දෙන අය අදාළ මණ්ඩලයේ සාමාජිකයන් බවට පත්කරගත යුතු විය. අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් ඡන්දහිමියන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීම අපහසු කටයුත්තක් ද නො වී ය. බටහිර වෛද්‍ය පීඨයේ අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් බටහිර වෛද්‍යවරයකු වූ ආටිගල මහතාට ශාස්ත්‍ර පීඨයේ මළලසේකර මහතා පරදවා උපකුලපති වීමට හැකි විය. අද ද බටහිර වෛද්‍ය පීඨවල අනවශ්‍ය ආකාරයට අධ්‍යයනංශ ඇත. එසේ තිබීම ඊනියා ශාස්ත්‍රීය තර්ක විතර්ක මගින් යුක්තියුක්ත කිරීමට ද අදාළ පුද්ගලයෝ දනිති. උපකුලපති තනතුර දේශපාලනීකරණයට ලක්වූයේ අද ඊයේ නො වේ. කලින් ක්‍රමය අනුව අද විශ්වවිද්‍යාලයක අධ්‍යයනංශ සංඛ්‍යාව තුන්හාර සියයක් ඉක්මවීමට තිබිණි. දේශපාලනීකරණය යනු හුදෙක් දේශපාලනඥයන්ගේ අණසක පැතිරවීම නො වේ. දේශපාලනය බලය සමග සම්බන්ධ වී ඇත. මළලසේකර මහතා මෙන් ම ආටිගල මහතා ද බෞද්ධයෙක් විය. ඒ මහතා විද්‍යාලංකාර සභාවේ සභාපති වී යැයි සිතමි. එහෙත් බටහිර ජීවන ක්‍රමය හමුවේ සතර අගතියෙන් මිදිය හැකි බෞද්ධයෝ කෙතෙක් වෙත් ද? ඡන්දය විසින් අවුල් කෙරී ඇත්තේ පාර්ලිමේන්තුව පමණක් නො වේ. මහානායක හිමිවරුන්ගේ පත්වීම් ද ඡන්දය මගින් අවුල් කෙරී ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දය යන්න ව්‍යාජයක් බව එරට වැසියෝ තේරුම් ගනිමින් සිටිති. ඔවුන් මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරන්නේ උදාසීනත්වයෙනි. එහෙත් මෙරට ජනාධිපතිවරණයේ දී පමණක් නොව සමානච්ඡන්දයෙන් කටයුතු සිද්ධ කළ යුතු භික්‍ෂු නායක පදවිවලට තෝරා පත්කර ගැනීම්වල දී ද ඡන්්දයට ඉතා විශාල මූල්‍යමය වටිනාකමක් ලැබෙයි. ඒ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැස ගැනීමක් යයි සිතන්නේ ද? මැතිවරණ දුෂණවලින් තොර වූ පාර්ලිමේන්තු මැතිවරණයක් ලංකාවේ පවත්වා ඇත් ද? 1952 මැතිවරණයේ දී ද මුදල් බෙදු බව, ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙනයෑමෙන් හා වෙනත් ක්‍රමවලින් බලපෑම් ඇතිකළ බව මම අත්දැකීමෙන් ම දනිමි. ඡන්ද රැස්වීම් කඩාකප්පල් කිරීම් රාජ්‍ය මණ්ත්‍රණ සභා යුගයේ ද සිදු වී ඇත. සමානච්ඡන්දයෙන් ප්‍රශ්න විසඳූ අපේ සංස්කෘතියට ඡන්දය හඳුන්වා දීමෙන් පසුව එය අවශෝෂණය කරගන්නේ කෙසේ දැයි නොදැනීම අපේ අභාග්‍යයකි.

අද විශ්වවිද්‍යාලවල ඇත්තේ අළුත් ප්‍රශ්න නො වේ. එදත් අදත් ඇත්තේ එකම ප්‍රශ්නයකි. ප්‍රශ්නය දේශපාලනය වෙයි. එනම් බලු පොරයක් වූ බල පොරය ය. බලයට පත්වීම හා හැකිතාක් බලයේ රැඳී සිටීම, තනතුරුවලට පොරකෑම සහ ඒවාහි එල්ලී සිටිම, තම ආධිපත්‍යය තමන්ට වඩා බලයෙන් අඩු යැයි සිතන්නන් මත පැතිරවීම, ජාතික වූ අරමුණක් රහිත ව වැඩකිරීම, පෞද්ගලික අරමුණු පමණක් ඇති වීම ආදිය බොහෝ කලක සිට විශ්වවිද්‍යාලවල පවති. එය බොහෝ සිසුන්ට ද ඇදුරන්ට ද අදාළ වෙයි. එදාට වඩා අද පක්‍ෂ දේශපාලනය ද පෞද්ගලික අභිමතාර්ථ සාධනයෙහි දී යොදා ගැනෙයි. එදා ඩොරික් සූසා, ඔස්මන්ඩ් ජයරත්න වැනි ඇදුරෝ සෘජුව ම සිසුන් සමග දේශපාලනය සාකච්ඡා කළහ. ඔවුන්ට හරි හෝ වැරදි හෝ වේවා ජාතික (ජාතිකත්ව නොවූවත්) අරමුණු විය. ඔවුහු සිසුන්ට දේශපාලන පංති ද පැවැත්වූහ. එහෙත් ඔවුහු රට (පංතිය) වෙනුවෙන් මිස පෞද්ගලික බලයක් සඳහා දේශපාලනය නො කළහ. අවසානයේ දී ඔස්මන්ඩ් ජයරත්න තමා සභාපතිත්වය දැරූ කමිටුවේ වාර්තාවේ නිරදේශ අනුව ඇතිකළ මණ්ඩපයක මණ්ඩපාධිපති ධුරය හෙබවුව ද ඔහු දේශපාලනය කළේ ඒ සඳහා නො වේ. එමෙන් ම ඒ තනතුර ඔහු පසුපස පැමිණි එකක් විය. ඔහු තනතුර පසුපස නො ගියේ ය. අද අවාසනාවකට විශ්වවිද්‍යාලවල කණ්ඩායමක් ලෙස ජාතිකත්ව නොවූව ද යම් ජාතික ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන්නේ ජ වි පෙරමුණේ ජනරළ කණ්ඩායම පමණකි. වෙනත් අයුරකින් කියන්නේ නම් ජාතික දේශපාලනයක් මත ක්‍රියාකරන සිසුන් කිහිප දෙනා ආකර්ෂණය කිරීමට එම කණ්ඩායම සමත් වී ඇත. එහෙත් මේ සිසුනට ඇත්තේ එකම එක ජාතික ප්‍රතිපත්තියක් පමණකි. ඒ කිසියම් හේතුවක් නිසා සමාජයට වෛර කිරීම ය. විශ්වවිද්‍යාල සිසුහු හෝ ඇදුරෝ හෝ අනිවාර්යයෙන් ම රටේ බුද්ධිමත් ම පිරිස නො වෙති. ඔවුහු විභාගවලින් නම් සමත් වී සිටිති. පෙර සියළු ඇදුරෝ ම පාහේ තම විෂයයෙහි උගත්තු වුහ. එහෙත් අද ඇදුරන්නේ සමහරු පමණක් උගත්තු වෙති. බොහෝ දෙනා තම විෂයයේ ප්‍රාමාණික නොව සුළු ප්‍රමාණයක පමණක් දැනුමක් ලද්දෝ වෙති. ඔවුහු කිසිසේත් ම විශේෂිත පුද්ගලයෝ නො වෙති. උසස්වීම සඳහා චක්‍රලේඛයක් ඇසුරෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් වෙයි. ඒ පිළිබඳ ව නම් බොහෝ අය ප්‍රාමාණික උගත්තු වෙති. අවසානාවකාට එදා ද නව ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කළ ඇදුරෝ නො වු හ. සිසුන් අති විශාල බහුතරයකට උසස් පෙළ තරඟකාරීත්වය නිසා ම රටේ දේශපාලනය ගැන අවබෝධයක් ලබාගැනීමට ඉඩක් ලැබී නැත. ඔවුන් බොරු කියා රැවටීම අසීරු කරුණක් නො වේ. දේශපාලන අවබෝධයක් නැති මේ තරුණ තරුණියන් බොරු කියා ආවේගකාරී ක්‍රියාවලට පෙළඹවීම ජනරළ සිසු නායකයන්ට පහසු කටයුත්තක් වන්නේ වෙනත් දේශපාලනයක් ක්‍රියාත්මක නොවන නිසාත් එසේ ක්‍රියාත්මක වීමට උත්සාහ කරන අයකුට ජනරළ නායකයන් ඉඩ නොදෙන නිසාත් ය. බොහෝ විට සිසුන් අතර ගැටුම් ඇතිවන්නේ ජනරළ නායකයන්ගේ අනෙක් අයට ඉඩ නොදෙන ප්‍රතිපත්තිය හේතුකොටගෙන ය.

එහෙත් මෙයට ද වඩා ප්‍රශ්නයක් වෙයි. ඒ බලලෝභී ඇදුරන්ගේ ක්‍රියා වෙයි. මේ බලලෝභින්ට ජනරළ දේශපාලනය අවශ්‍ය වෙයි. අද ශිෂ්‍යයන් සංවිධානය කිරීමේ වඩාත් ම හැකියාව ඇත්තේ ජනරළ ජ වි පෙට ය. පසුගිය වසරේ ඒ තිබුණේ ජ වි පෙට ය. මේ ඇදුරෝ ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ නො වෙතිෂ එහෙත් බලය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෙනත් බලධාරීන් වටා කැරකෙති. ඔවුන් අතර ඇදුරියෝ ද වෙති. උසස් අධ්‍යාපන ඇමතිවරයා ඔවුන්ට සවන් දෙන බව පැහැදිලි ය. එහි වරදක් නැත. වරද ඇත්තේ ඔහු ඒ ප්‍රමාණයට ශ්‍රී ල නි පාක්‍ෂික ඇදුරන්ට සවන් නො දීම ය. අද විශ්වවිද්‍යාලවල ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මේ කැරකෙන ඇදුරන්, ජනප්‍රියවාදී ඇදුරන් හා ජ වි පෙ ඇදුරන් ජනරළ කණ්ඩායමට සහාය දී තනතුරු ලබාගැනීමේ හා පැවතීමේ අපේක්‍ෂාවෙන් නින්දිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ය. මේ ඇදුරන් බොහෝ විට එකට ක්‍රියාකරනු දැකිය හැකි ය. ඔවුහු ජනරළ නායකයන් ආරක්‍ෂා කරති. කැරකෙන ඇදුරෝ බලධාරීන් සමීපයට යෑමට විවිධ උපාය අනුගමනය කරති. මේ ඇදුරෝ ද බොරු කියති. මොවුහු බොරු කියා අනෙක් ඇදුරන් පමණක් නොව අධිකරණය වුව ද නොමග යැවීමට පසුබට නො වෙති. ජනරළ නායකයෝ හා මේ ඇදුරෝ බොරුව හා බොරුව මත පමණක් පදනම් වෙති. බටහිර දැනුමේ නිවට දාසයන් වූ මේ ඇදුරන්ට ජාතිකත්වය නයාට අඳුකොළ මෙනි. අවශ්‍ය නම් තවත් විස්තර ලබාදිය හැකි ය.