මෙරට සියළු විශ්වවිද්‍යාල එක්වර විවෘත කර තිබෙන දිනයක් නැති තරම් ය. ඇතැම් විශ්වවිද්‍යාල කාල සටහනකට අනුව මෙන් වසා දැමෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සියල්ලට ම ප්‍රධාන වූ හේතුවක් වෙයි. එය විශ්වවිද්‍යාලවලට මෙන් ම ඉංගිරිසින් විසින් අපට ලබා දෙන ලද බොහෝ ආයතනවලට ද පොදු වෙයි. ඒ ආයතනවලට මෙරට මුල් බැස ගැනීමට (අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට) නොහැකි වී ඇත. බලෙන් පැළ කළ ඇපල් ගස් මෙන් ඒ රැක බලාගැනීමට කෘත්‍රිම පරිසරයක් ඉතා වෙහෙස මහන්සි වී නිර්මාණය කළ යුතු වෙයි. පාර්ලිමේන්තුව, ජනාධිපති ක්‍රමය, කැබිනට් මණ්ඩලය, ආණ්ඩුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, විශ්වවි්‍යාල, පාසල් පද්ධතිය ආදී රාජ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන ද මුල් අල්ලා නොමැතිවා පමණක් නොව පරිහානිය පමණක් උරුම කරගෙන ඇත. අපි බටහිරට අනුව ජීවත්වීමට උත්සාහ කරමු. එහෙත් අපේ සංස්කෘතිය අපට එයට ඉඩ නො දෙයි. අපට අපේ හර පද්ධතියෙන් ඈත්වීමට නො හැකි ය. එමෙන් ම බටහිර හර පද්ධතිය වැළඳ ගැනීමට ද නො හැකි ය. අපි එක්විට අසුන් දෙදෙනකු පිට යෑමට උත්සාහ කරමු. අප තවමත් නොවැටී සිටින්නේ අපේ දක්‍ෂකමකට නොව සියවස් ගණනකට පෙර ජීවත් වූ අපේ මුතුන්මිත්තන්ගේ හපන්කමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ අපට දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව පරාජය කළ අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ නො හැකි ඇයි? මුළු රටේ ම සියයට එකක්වත් ඡන්ද ඇතැයි සිතිය නොහැකි ජ වි පෙ ජනරළ කණ්ඩායමට විශ්වවිද්‍යාල පාලනය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ඇයි? විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය ව්‍යාජ උගතුන් අතට පත්වන්නේ ඇයි? උපකුලපතිවරුන් ජනාධිපතිවරුන් විසින් පත්කෙරෙන්නේත් ඒ පදවි ලබාගැනීම සඳහා උගතුන් යැයි කියාගන්නා අය තමන් විසින් නූගතුන් ලෙස හැඳින්වෙන දේශපාලනඥයන් පිටුපස යන්නේත් ඇයි? උපකුලපති තනතුරට පත්කිරීමට වෙනත් සුදුසු ක්‍රමයක් වේ යැයි සිතන්නෝ වෙත් ද? ඊනියා නිදහස් ලංකාවේ අයිවෝර් ජෙනිංග්ස්ගෙන් පසුව මහාචාර්ය මළලසේකර මහතා උපකුලපති නොවී මහාචාර්ය ආටිගල මහතා උපකුලපති වූයේ ඇයි? පොලීසිය දේශපාලනීකරණයට ලක්වූයේ ඇයි? රාජ්‍ය සේවකයන්් දේශපාලනඥයන්ගේ සේවකයන් බවට පත්වූයේ ඇයි? ප්‍රශ්න එයින් කෙළවර නැත. එහෙත් ප්‍රශ්න ඇත්තේ අපට පමණක් නො වේ. ඇමරිකාවට ද, එංගලන්තයට ද, ජපානයට ද, සිංගප්පුරුවට ද ප්‍රශ්න ඇත. ඒ ඔවුන්ගේ ප්‍රශ්නය. අපට ඔවුන්ගේ ප්‍රශ්න ද ඇත. ඒ අතර අපේ ප්‍රශ්න ද වෙයි.
අද සිසුන් ලවා ඊනියා වසන්තයක් ඇතිකිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇත. එහෙත් එසේ කිරීමට මග පෑදී ඇත්තේ කෙසේ ද? මා අසා ඇති අන්දමට ආටිගල මහතා එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වීමට ඉතා සියුම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත. අද විශ්වවිද්‍යාල භූමියක පඳුරකට පයින් ගැසුවහොත් මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් කිහිප දෙනකු විසිවන නමුත් එදා සාමාන්‍යයෙන් එක් අධ්‍යයනාංශයකට සිටියේ එක් මහාචාර්යවරයකු පමණ ය. ඔහු අදාළ අධ්‍යනාංභයේ ප්‍රධානියා ද විය. ඔවුහු උපකුලපති තෝරන මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. උපකුලපති වීම සඳහා මේ සාමාජිකයන් වැඩි පිරිසක් දිනාගත යුතු විය. එසේත් නැතහොත් තමන්ට ඡන්දය දෙන අය අදාළ මණ්ඩලයේ සාමාජිකයන් බවට පත්කරගත යුතු විය. අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් ඡන්දහිමියන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීම අපහසු කටයුත්තක් ද නො වී ය. බටහිර වෛද්‍ය පීඨයේ අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් බටහිර වෛද්‍යවරයකු වූ ආටිගල මහතාට ශාස්ත්‍ර පීඨයේ මළලසේකර මහතා පරදවා උපකුලපති වීමට හැකි විය. අද ද බටහිර වෛද්‍ය පීඨවල අනවශ්‍ය ආකාරයට අධ්‍යයනංශ ඇත. එසේ තිබීම ඊනියා ශාස්ත්‍රීය තර්ක විතර්ක මගින් යුක්තියුක්ත කිරීමට ද අදාළ පුද්ගලයෝ දනිති. උපකුලපති තනතුර දේශපාලනීකරණයට ලක්වූයේ අද ඊයේ නො වේ. කලින් ක්‍රමය අනුව අද විශ්වවිද්‍යාලයක අධ්‍යයනංශ සංඛ්‍යාව තුන්හාර සියයක් ඉක්මවීමට තිබිණි. දේශපාලනීකරණය යනු හුදෙක් දේශපාලනඥයන්ගේ අණසක පැතිරවීම නො වේ. දේශපාලනය බලය සමග සම්බන්ධ වී ඇත. මළලසේකර මහතා මෙන් ම ආටිගල මහතා ද බෞද්ධයෙක් විය. ඒ මහතා විද්‍යාලංකාර සභාවේ සභාපති වී යැයි සිතමි. එහෙත් බටහිර ජීවන ක්‍රමය හමුවේ සතර අගතියෙන් මිදිය හැකි බෞද්ධයෝ කෙතෙක් වෙත් ද? ඡන්දය විසින් අවුල් කෙරී ඇත්තේ පාර්ලිමේන්තුව පමණක් නො වේ. මහානායක හිමිවරුන්ගේ පත්වීම් ද ඡන්දය මගින් අවුල් කෙරී ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දය යන්න ව්‍යාජයක් බව එරට වැසියෝ තේරුම් ගනිමින් සිටිති. ඔවුන් මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරන්නේ උදාසීනත්වයෙනි. එහෙත් මෙරට ජනාධිපතිවරණයේ දී පමණක් නොව සමානච්ඡන්දයෙන් කටයුතු සිද්ධ කළ යුතු භික්‍ෂු නායක පදවිවලට තෝරා පත්කර ගැනීම්වල දී ද ඡන්්දයට ඉතා විශාල මූල්‍යමය වටිනාකමක් ලැබෙයි. ඒ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැස ගැනීමක් යයි සිතන්නේ ද? මැතිවරණ දුෂණවලින් තොර වූ පාර්ලිමේන්තු මැතිවරණයක් ලංකාවේ පවත්වා ඇත් ද? 1952 මැතිවරණයේ දී ද මුදල් බෙදු බව, ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙනයෑමෙන් හා වෙනත් ක්‍රමවලින් බලපෑම් ඇතිකළ බව මම අත්දැකීමෙන් ම දනිමි. ඡන්ද රැස්වීම් කඩාකප්පල් කිරීම් රාජ්‍ය මණ්ත්‍රණ සභා යුගයේ ද සිදු වී ඇත. සමානච්ඡන්දයෙන් ප්‍රශ්න විසඳූ අපේ සංස්කෘතියට ඡන්දය හඳුන්වා දීමෙන් පසුව එය අවශෝෂණය කරගන්නේ කෙසේ දැයි නොදැනීම අපේ අභාග්‍යයකි.
අද විශ්වවිද්‍යාලවල ඇත්තේ අළුත් ප්‍රශ්න නො වේ. එදත් අදත් ඇත්තේ එකම ප්‍රශ්නයකි. ප්‍රශ්නය දේශපාලනය වෙයි. එනම් බලු පොරයක් වූ බල පොරය ය. බලයට පත්වීම හා හැකිතාක් බලයේ රැඳී සිටීම, තනතුරුවලට පොරකෑම සහ ඒවාහි එල්ලී සිටිම, තම ආධිපත්‍යය තමන්ට වඩා බලයෙන් අඩු යැයි සිතන්නන් මත පැතිරවීම, ජාතික වූ අරමුණක් රහිත ව වැඩකිරීම, පෞද්ගලික අරමුණු පමණක් ඇති වීම ආදිය බොහෝ කලක සිට විශ්වවිද්‍යාලවල පවති. එය බොහෝ සිසුන්ට ද ඇදුරන්ට ද අදාළ වෙයි. එදාට වඩා අද පක්‍ෂ දේශපාලනය ද පෞද්ගලික අභිමතාර්ථ සාධනයෙහි දී යොදා ගැනෙයි. එදා ඩොරික් සූසා, ඔස්මන්ඩ් ජයරත්න වැනි ඇදුරෝ සෘජුව ම සිසුන් සමග දේශපාලනය සාකච්ඡා කළහ. ඔවුන්ට හරි හෝ වැරදි හෝ වේවා ජාතික (ජාතිකත්ව නොවූවත්) අරමුණු විය. ඔවුහු සිසුන්ට දේශපාලන පංති ද පැවැත්වූහ. එහෙත් ඔවුහු රට (පංතිය) වෙනුවෙන් මිස පෞද්ගලික බලයක් සඳහා දේශපාලනය නො කළහ. අවසානයේ දී ඔස්මන්ඩ් ජයරත්න තමා සභාපතිත්වය දැරූ කමිටුවේ වාර්තාවේ නිරදේශ අනුව ඇතිකළ මණ්ඩපයක මණ්ඩපාධිපති ධුරය හෙබවුව ද ඔහු දේශපාලනය කළේ ඒ සඳහා නො වේ. එමෙන් ම ඒ තනතුර ඔහු පසුපස පැමිණි එකක් විය. ඔහු තනතුර පසුපස නො ගියේ ය. අද අවාසනාවකට විශ්වවිද්‍යාලවල කණ්ඩායමක් ලෙස ජාතිකත්ව නොවූව ද යම් ජාතික ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන්නේ ජ වි පෙරමුණේ ජනරළ කණ්ඩායම පමණකි. වෙනත් අයුරකින් කියන්නේ නම් ජාතික දේශපාලනයක් මත ක්‍රියාකරන සිසුන් කිහිප දෙනා ආකර්ෂණය කිරීමට එම කණ්ඩායම සමත් වී ඇත. එහෙත් මේ සිසුනට ඇත්තේ එකම එක ජාතික ප්‍රතිපත්තියක් පමණකි. ඒ කිසියම් හේතුවක් නිසා සමාජයට වෛර කිරීම ය. විශ්වවිද්‍යාල සිසුහු හෝ ඇදුරෝ හෝ අනිවාර්යයෙන් ම රටේ බුද්ධිමත් ම පිරිස නො වෙති. ඔවුහු විභාගවලින් නම් සමත් වී සිටිති. පෙර සියළු ඇදුරෝ ම පාහේ තම විෂයයෙහි උගත්තු වුහ. එහෙත් අද ඇදුරන්නේ සමහරු පමණක් උගත්තු වෙති. බොහෝ දෙනා තම විෂයයේ ප්‍රාමාණික නොව සුළු ප්‍රමාණයක පමණක් දැනුමක් ලද්දෝ වෙති. ඔවුහු කිසිසේත් ම විශේෂිත පුද්ගලයෝ නො වෙති. උසස්වීම සඳහා චක්‍රලේඛයක් ඇසුරෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් වෙයි. ඒ පිළිබඳ ව නම් බොහෝ අය ප්‍රාමාණික උගත්තු වෙති. අවසානාවකාට එදා ද නව ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කළ ඇදුරෝ නො වු හ. සිසුන් අති විශාල බහුතරයකට උසස් පෙළ තරඟකාරීත්වය නිසා ම රටේ දේශපාලනය ගැන අවබෝධයක් ලබාගැනීමට ඉඩක් ලැබී නැත. ඔවුන් බොරු කියා රැවටීම අසීරු කරුණක් නො වේ. දේශපාලන අවබෝධයක් නැති මේ තරුණ තරුණියන් බොරු කියා ආවේගකාරී ක්‍රියාවලට පෙළඹවීම ජනරළ සිසු නායකයන්ට පහසු කටයුත්තක් වන්නේ වෙනත් දේශපාලනයක් ක්‍රියාත්මක නොවන නිසාත් එසේ ක්‍රියාත්මක වීමට උත්සාහ කරන අයකුට ජනරළ නායකයන් ඉඩ නොදෙන නිසාත් ය. බොහෝ විට සිසුන් අතර ගැටුම් ඇතිවන්නේ ජනරළ නායකයන්ගේ අනෙක් අයට ඉඩ නොදෙන ප්‍රතිපත්තිය හේතුකොටගෙන ය.
එහෙත් මෙයට ද වඩා ප්‍රශ්නයක් වෙයි. ඒ බලලෝභී ඇදුරන්ගේ ක්‍රියා වෙයි. මේ බලලෝභින්ට ජනරළ දේශපාලනය අවශ්‍ය වෙයි. අද ශිෂ්‍යයන් සංවිධානය කිරීමේ වඩාත් ම හැකියාව ඇත්තේ ජනරළ ජ වි පෙට ය. පසුගිය වසරේ ඒ තිබුණේ ජ වි පෙට ය. මේ ඇදුරෝ ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ නො වෙතිෂ එහෙත් බලය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෙනත් බලධාරීන් වටා කැරකෙති. ඔවුන් අතර ඇදුරියෝ ද වෙති. උසස් අධ්‍යාපන ඇමතිවරයා ඔවුන්ට සවන් දෙන බව පැහැදිලි ය. එහි වරදක් නැත. වරද ඇත්තේ ඔහු ඒ ප්‍රමාණයට ශ්‍රී ල නි පාක්‍ෂික ඇදුරන්ට සවන් නො දීම ය. අද විශ්වවිද්‍යාලවල ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මේ කැරකෙන ඇදුරන්, ජනප්‍රියවාදී ඇදුරන් හා ජ වි පෙ ඇදුරන් ජනරළ කණ්ඩායමට සහාය දී තනතුරු ලබාගැනීමේ හා පැවතීමේ අපේක්‍ෂාවෙන් නින්දිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ය. මේ ඇදුරන් බොහෝ විට එකට ක්‍රියාකරනු දැකිය හැකි ය. ඔවුහු ජනරළ නායකයන් ආරක්‍ෂා කරති. කැරකෙන ඇදුරෝ බලධාරීන් සමීපයට යෑමට විවිධ උපාය අනුගමනය කරති. මේ ඇදුරෝ ද බොරු කියති. මොවුහු බොරු කියා අනෙක් ඇදුරන් පමණක් නොව අධිකරණය වුව ද නොමග යැවීමට පසුබට නො වෙති. ජනරළ නායකයෝ හා මේ ඇදුරෝ බොරුව හා බොරුව මත පමණක් පදනම් වෙති. බටහිර දැනුමේ නිවට දාසයන් වූ මේ ඇදුරන්ට ජාතිකත්වය නයාට අඳුකොළ මෙනි. අවශ්‍ය නම් තවත් විස්තර ලබාදිය හැකි ය.