Main Logo

Showing posts with label සංවර්ධනය. Show all posts
Showing posts with label සංවර්ධනය. Show all posts

Saturday, 27 April 2013

ආපසු හැරී ඉදිරියට යමු!

කුඩා කාලයේ අපි සිතාගෙන සිටියේ හෘදයාබාද හැදෙන්නේ පොහොසත් උදවියට පමණක් යැයි කියාය. මන්ද එකල හෘදයාබාද රෝගීන් ගම්වලවත් ගමින් කොළඹට පැමිණ සිටි මගේ දෙමව්පියන් වැනි අය අතරවත් කලාතුරකින්වත් දකින්නට නොසිටි බැවිනි. නමුත් රැකියාව සඳහා කොළඹ පදිංචියට පැමිණ වසර හතලිහකට පමණ පසුව ත්‍රස්තවාදීන්ටවත් මරා දමන්ට බැරිවූ අපේ අම්මා රෝගාතුරව හිඳ මිය ඇදුනේ හෘදයාබාදයකිනි. කොළඹ ජීවිතය ඇගේ ගැමි සිරුරටත් ගැමි මනසටත් ඔරොත්තු නොදුනි. කෙසේමුත් ඇගේ පිහිටෙන් ඒ වනවිට අපි ඊනියා දියුණුවක් ලබා සිටියෙමු. අවසානයේ ඇගේ මාරයා වුනේ ඒ දියුණූව බව මම දැන් දනිමි. මගේ මවට ජීවත්වන්නට ලැබුනේ අවුරුදු හැට දෙකක් පමණක් මුත් උපන් ගමෙහිම වෙසෙමින් බණ භාවනා කරමින් ගොවිතැනින් දිවි ගෙවූ ඇගේ මවට, එනම් අපේ මිත්තණියට, අවුරුදු අසූ ගණනක් නිරෝගීව ආයු වළඳන්නට වාසනාව තිබිනි. මෙසේ තිබියදී අපි ඉගෙන ගන්නේ ගැමි ජීවිතය නොදියුනු යැයි සැලකීමටය. ජාතියක් වශයෙන් අපි කෙතරම් වැරදි දිසාවකට ගමන් කර ඇත්ද යන්න ඉන් පැහැදිලි විය යුතුය.

නගර අවට ජීවත්වන වැඩිහිටි කී දෙනෙක් අද දියවැඩියාව, හෘදයාබාද හා පිළිකා වැනි මාරාන්තික රෝග වලට ගොදුරුවී සිටිත්ද? ඉන් මිය ගොස් සිටිත්ද? අද රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙන්නේ මෙවැනි රෝගීන්ගෙන් නොවේද? මේ ව්‍යාදීන් අපේ සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් හා තදින් බැඳී ඇති බැවින් ඇත්තෙන්ම ඒවා හැඳින්විය යුත්තේ සමාජ රෝග ලෙස. මීට වසර තිහ හතලිහකට ඉහතදී මේ සමාජ රෝග මෙතරම් ව්‍යප්තව නොතිබිනි. එ පමණක් නොවේ එකල රටේ සිදුවුනු අපරාධද ගණනින් පමණක් නොව දාමරික බවින්ද මෙතරම් දරුණු නොවිනි. පරිසරයද අද තරමටම විනාශවී නොතිබිනි. මේ සියලු ව්‍යසනයන් සිදුවී ඇත්තේ වසර තිහක් හතලිහක් පමණවෙන ඉතා කෙටි කාලයක් තුල දීය. මේ දෑ අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරවූ සිදුවීම් නොවේ. පරිසර විනාශයද, සමාජ රෝග පැතිරීමද අපරාධ බහුලවීමද එකිනෙකින් වෙන් කල නොහැකි මිනිස්-පරිසර පද්ධතියක වෙන් කල නොහැකි සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් තුලින් බිහිවෙන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණ විසඳීමට නම් අපි අනිවාර්යයෙන්ම මේ සිද්ධීන් අතර ඇති පොදු බව හඳුනාගත යුතුය.

සමස්ථයක් ලෙස සැලකුවිට මේ සියලු ව්‍යසනයන්ට මූලික හේතුව අපි කෙළවරක් හෝ සංවරයක් හෝ නැතිව සිත කය පිනවීම අරභයා ලබන්නට තනන ඊනියා දියුණුව බව අවබෝධ කර ගැනීමට බෞද්ධයින්ට අපහසු නැත. පොළවේ පය ගසාගෙන සිටින වැඩිහිටි බොහෝ දෙනෙකු ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දනිති. නමුත් අපි මේ හොඳින් දන්නවා යැයි සිතන දේ විදග්ධ දැනුමක් ලෙස අපේ සිංහල බෞද්ධ සමාජයවත් පිළිගන්නේ නැත. එසේ නොපිළිගන්නේ ඒ බව පාසලේදීවත් විශ්ව විද්‍යාලයේදීවත් ඉගැන්වෙන්නේ නැති නිසාය.

කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට නොහැකි බව හා එසේ පිනවීමට යාමෙන් දුකක් මිස සැපක් නොලැබෙන බව බෞද්ධයින් දන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. සාමාන්‍ය සිංහල බෞද්ධයින් පවා අවබෝධ කරගෙන ඇති ඒ ගැඹුරු විදග්ධ දැනුම බටහිරුන්ට නැති බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ බව මම ඒ සමාජයේ ජීවත්වීම තුලින් දනිමි. බටහිරුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන් යමක් දැන ගන්නට ශක්තියක් නැත. යම් හෙයකින් ඔවුන් ඒ ගැන දැන ගෙන සිටියා නම් ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුයැයි අපට අද පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් ඉගැන්වෙනවාට කිසිම සැකයක් නැත. බටහිරුන් ඉන්ද්‍රීයන් පිනවීම අරභයා කෙරෙන ඊනියා සංවර්ධණයක් කරා හඹා යන්නේ ඔවුන්ට එහි නිෂ්ඵලබව නොවැටහෙන නිසාය. ඔවුන්ගේ ගමනෙහි ව්‍යාජත්වයක් නැත. නමුත් ඒ බව දැන දැනත් ඔවුන් පසු පස යන අපේ ගමනේ ව්‍යාජත්වයක් ඇත. අවාසනාවකට අපි ඉන් පැන නඟින ප්‍රශ්ණ විසඳන්නට බලන්නේත් ඔවුන් පසු පස යමිනි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම වැනි ප්‍රශ්න බටහිරුන් විසින් විසඳන්නට උත්සාහ කරන්නේ ඉන්ද්‍රීය පිනවීමත් එලෙසම පවත්වාගෙන යමිනි. එනම් ඒ සඳහා ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කරමිනි. ඔවුන් දැනුම ගොඩනඟන්නේ කොටස් වලට කඩා ගෙන නිසා පරිසර විනාශය පිළිබඳ ප්‍රශ්ණ පරිසර විද්‍යාඥයෝත් සමාජ රෝග පිළිබඳ ප්‍රශ්ණ වෛද්‍ය විද්‍යාඥයෝත් ආදී වශයෙන් වෙන් කර ගෙන විසඳන්නට තැත් කරනවා විනා එහි පොදු බවක් දැකීමට ඔවුන්ට හැකියාවක් නැත.
ඒ අනුව සමාජ රෝග වලට බටහිරුන් දෙන මූලික පිළිතුර රෝග වලට ප්‍රතිකාර කිරීමය. බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට හැකිවී නැතත් යම් දුරකට පාලනය කර ගැනීමට තාක්‍ෂණයේ උපකාරයෙන් බටහිර විද්‍යාව සමත් වී ඇත. ඒ නිසා හැටේ දශකයේ මැද භාගය වනතුරු වැඩි වෙමින් පැවතුනු හාර්දික රෝග නිසා සිදුවුනු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අද වෙන විට ඇමරිකාවට හැකිවී ඇත. නමුත් හෘදයාබාද නිසා රෝහල්ගතවුනු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දශකයේ මැද භාගය වනතුරුත් වැඩි වෙමින් පැවතිනි. ඉන් පෙනී යන්නේ හෘද රෝග වැලඳීම වලක්වා ගන්නට ඔවුන්ට නොහැකි වී ඇති බවය එනම් බටහිර සමාජයට ඒ සම්බන්ධයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට නොහැකි වී ඇති බවය. ගිලන්ව නමුත් නොමැරී ජීවත්වීම සාර්ථක පිළියමක් ලෙස සැලකිය නොහැකිය.

බරහිරුන් අපරාධ මර්ධනය කිරීමට තනන්නේද එවැනි ක්‍රියා කලාපයක් තුලිනි. එනම් මූලික වශයෙන් අපරාධ කරුවන් අල්ලා දඬුවම් කිරීම මඟිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ලෝකයේ වැඩිම පිරිසක් සිර බත් කන්නේ ඇමරිකානු සිර ගෙවල් වලය. ඉනුත් බහුතරයක් කළු ඇමරිකානුවෝය. ඇමරිකාවේ සිරකරුවන්ගේ ජනගහනය හැත්තෑවේ දශකයේ මැද භාගයේ සිට, එනම් තැචර්-රේගන් යුවල ලෝක ආර්ථිකය වෙනස් කල සමයේ සිට අද දක්වා සීග්‍රව වර්ධනය වෙමින් පවතී. ඉන් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ සිදුවෙන අපරාධ වැඩිවෙනවා මිස අඩුවී නැති බවය. බටහිරුන්ට ඔවුන්ගේ ඊනියා ආර්ථික සංවර්ධනයේත් අපරාධ බහුලවීමේත් ඇති සම්බන්ධතාව හඳුනා ගන්නට නොහැකිය. එපමණක් නොවේ සමාජ රෝග හා පරිසර විනාශය ඊට අදාල වන්නේ කෙසේද යන්න ගැනත් අවබෝධයක් නැත. මීට මුලික හේතුව ඔවුන්ට සමස්ථය දැකීමට ඇති නොහැකියාවය. ඔවුන් ඒ ඒ විශය සඳහා ඉදිරිපත් කරන විසඳුම් වලින් කෙරෙන්නේ ප්‍රශ්ණ යම් තරමකට කළමණාකරණය වීම පමණි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම ආදියට හේතුව සංවරයක් නැතිව සිත කය පිනවීමට යාම බව සිංහල බෞද්ධයින්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමය. එයට එකම පිළියම ඉන්ද්‍රීය සංවරය පිහිටුවා ගැනීමය. මේ දැනුම බටහිරුන්ට නැත. ඔවුන් ඉන්ධන භාවිතය අඩු කල යුතු යැයි කියන්නේ එමඟින් පරිසරයට එකතුවන විශවායු, පරිසර උශ්නත්වය ඉහල යාම, හා ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ඔවුන් විසින් ගොතා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. ඔවුන් එළවළු පළතුරු වැඩියෙන් ආහාරයට ගත යුතු යැයි පවසන්නේ සමාජ රෝග, ශරීර ශක්ති සමතුලිතතාව වැනි දෑ පිළිබඳ ඔවුන් විසින් ගොඩනඟා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. මේ කිසිම බටහිර දැනුමක් බෞද්ධයින්ගේ ඉන්ද්‍රීය සංවරය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ දැනුම හා කොහෙත්ම සම්බන්ධයක් නැත. ඒ නිසා මතු පිටින් එසේ යැයි පෙනුනත් සිංහල බෞද්ධයින් ඉන්ද්‍රීය සංවරය තුලින් ලබා ගන්නා විසඳුම් වලට බටහිරුන්ට ඔවුන්ගේ දැනුම තුලින් කෙදිනකවත් ලඟාවිය නොහැකිය. යන මඟ නොදැන අයාලේ යන බටහිර දැනුම පසු පස නොගොස් අප දන්නා මඟේ අපි ඉදිරියට යා යුතු වෙමු.

ජානක වංශපුර

Sunday, 14 April 2013

අපේ සංවර්ධන මඟ

බටහිරුන් ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගොඩනඟන්නේ වසර පණහක් හැටක් පමණවෙන ඉතා කෙටි කාලයක් ඉහත සිටය. ඒ කතන්දර පවා මෑත අතීතයේ යම් ආර්ථික හා සමාජික සිදුවීම් විස්තර කිරීමට ගොතා ගත් දෑ මිස ඉදිරි අනාගතය ගැන අනාවැකි පල කිරීමට සමත් ඒවා නොවේ. කෙසේ වෙතත් ජාතියක් වශයෙන් අප පැමිණි දුරත් අප යා යුතු දුරත් සලකනවිට මේ ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගෙතෙන්නේ නොගිනිය හැකි කාල සීමාවක් තුලය. අපේ ඉදිරි දැක්ම අද ජීවත්වන සමාජයට පමණක් ලඝු නොවී පරම්පරා ගණනාවක් ඉදිරියට දිව යා යුතුය. මෙතෙක් කල් අප ජාතිය නොනැසී පැවතුනේ අපේ මුතුන් මිත්තන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ රට ජාතිය රැක ගන්නා ආකාරය ගැන අවබෝධයක් තිබුන බැවිනි. අපි තවත් වසර දහස් ගණනක් රැකෙන්නට නම් බටහිරුන්ගේ සංවර්ධනය පිළිබද අත්හදා නොබැලූ සංකල්ප ඉවතලා අපේ මුතුන්මිත්න්ට තිබූ දැනුම අවබෝධ කරගෙන ඒ මත විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කල යුතු වෙමු.
බටහිර ආර්ථික කටයුතු සිදුවෙන්නේ එමඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස් කල හැකිය යන විශ්වාසය මතය. අපිට ඇති ප්‍රශ්ණය ඔවුන්ගේ ආර්ථික වර්ධනය නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් සිදුවී යැයි පෙන්විය හැකිද යන්නය. මීට අවුරුදු පණහකට හෝ සියයකට හෝ ඉහත දී මිනිසුන් අද තරම් සතුටින් සැනසීමෙන් ජීවත් වුනේ නැතැයි නිගමණය කිරීමට සාධාරන ක්‍රමයක් ඔවුන්ට නැත. යමෙකු එසේ සිතනවා නම් එසේ සිතන්නේ ඔහුට අද හිමි ලෞකික සැප සම්පත් අහිමි වුනොත් සිදුවිය හැකි සිත් තැවුල ගැන ඇති දැනීම තුලින් මිස එදා තිබුන සතුටක් සැනසීමක් ගැන අවබෝධයෙන් නොවේ. ලෞකික සැප සම්පත් මත පදනම් වුන ජීවන තත්වයක් මැනීම සඳහා අපිට භාවිතා කල හැක්කේ අදට අදාල නිර්ණායකය. නමුත් පාරිභෝගික අවශ්‍යතා තව තවත් අළුතින් නිර්මාණය කිරීම මත පදනම් වුන ආර්ථික ක්‍රමයක් තුල ආර්ථිකය වර්ධනය වනවිට ජීවන තත්වය මනින නිර්ණායකද වෙනස්වීම වැලකිය නොහැකිය. ඒ අනුව බලන විට බටහිර ආර්ථික වර්ධනය යනු පසිඳුරන් පිනවීම අරභයා සැනසීමක් නොලැබ නොනැවතිව කෙරෙන උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි විය යුතුය. ඉන් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය කවදාත් ලඟා කර ගත නොහැකි කැරට් අලයකි.
බෞද්ධයින්ටද උසස් ජීවන තත්වයක් ගැන අදහසක් ඇත. ඒ අදහස ගොඩනැඟෙන්නේ ලෝකය අනිත්‍යය අනාත්මය දුකය යැයි සැලකීම තුලිනි. මීට අවූරුදු දෙදහසකට පෙරත් ඔවුන්ගේ පදනම එය වූ අතර අදින් අවුරුදු දෙදහසකට පසුවටත් එය වෙනස් නොවනු ඇත. බෞද්ධයින් උසස් යැයි සලකන ජීවන තත්වයේ නිර්ණායක කලින් කලට වෙනස් නොවේ. ඒ නිසා එය මිරිඟුවක් හෝ කැරට් අලයක් නොව අත් කර ගෙන පවත්වාගත හැකි තත්වයකි. එවැනි උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැක්කේ ලෞකික සම්පත් හඹා යන එමඟින් දුක නිවන්නට බලන සමාජයක නොවේ. නමුත් ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට නම් බෞද්ධයින් බටහිර ආර්ථික සංවර්ධන මඟට ඉඳුරාම වෙනස් මඟක් ගත යුතුය. ඔවුන්ගේ නිවන් දකින මඟත් දිවි ගෙවන මඟත් එකිනෙකට පරස්පර විය නොහැකිය.
රටේ ලෝකේ සිදුවන දේ දනිතැයි සිතන අපේ රටේ උගතුන් සිතන්නේ ආණ්ඩුවේ දූෂණය නැති කලොත් හෝ රජයේ ආයතනවල නාස්තිය හා ගසා කෑම නැවතුවොත් හෝ ආණ්ඩුවේ ඇමතිවරු ගණන අඩු කලොත් හෝ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කලොත් හෝ අපට මීට වඩා උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැකිය කියාය. මේ සියලු දේ කර ගත යුතු බව ඇත්තය. නමුත් ඒ කුමක් කලත් බටහිර ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයක් අනුකරණය කරනතාක් කල් බෞද්ධයින් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය ඔවුන්ට මිරිඟුවක් පමණක් වනු ඇත. දූෂණය හා නාස්තිය නතර කිරීමට දරන උත්සාහයට වඩා බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි. අද අපි දකින දූෂණය හා නාස්තිය බටහිර ආර්ථික ක්‍රමයේම ලක්‍ෂණය. ඒ පිළිබඳව සැකයක් ඇති අයෙක් මෑතදී මුලු බටහිර ලෝකයම ආර්ථික ආගාදයකට ඇද දමමින් ඒ රටවල මුල්‍ය ආයතන මඟින් සිදුකරන ලද වංචා කටයුතු ගැන අධ්‍යනයක් කර ඒ සැක දුරු කර ගත හැකිය. අපි ජාතියක් වශයෙන් බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගත්විට මේ දූෂණය හා නාස්තියද නිරාසයෙන්ම අප හැර යනු නිසැකය.
බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම යනුවෙන් අදහස් වෙන්නේ අපි තව වසර කිහිපයකින් අද මැලේසියාව හෝ වෙනත් දියුනු යැයි සැලකෙන ආසියානු රටක් සිටින තැනට පැමින ඉන් කාලයකට පසු ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් සිටින තැනට ආර්ථික වශයෙන් පැමිණීමට දරන උත්සාහය අත් හැර දැමීමය. අපේ සංවර්ධන කටයුතුවල තත් කාලීන ඉලක්ක විය යුත්තේ ප්‍රාදේශීයවත් දේශීයවත් ස්වයංපෝෂණයවීම හා සමාජ විශමතා අවම කිරීමය. ඒ ඉලක්ක සපුරා ගත යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් සහ අර පරිස්සමෙන් පරිභෝජනය කිරීම තුලය. වෙළඳ ආර්ථිකය වෙනුවට කෘෂිකර්මය ප්‍රධාන තැන ගත යුතුය. විදේශ ආයෝජන වෙනුවට දේශීය කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රධාන තැන ගත යුතුය. අපේ මඟ බටහිර මඟට ඉඳුරාම වෙනස්ය. ඒ මං දෙකේ එකවර ගමන් කල නොහැකිය. අපිට වැරදී ඇත්තේ අපි මේ ප්‍රතිවිරුද්ධවූ මං දෙකේ එකවර යාමට තැත් කරන නිසාය. එය කල නොහැකිය.
බටහිරුන් නිසැකයෙන්ම අපේ ගමන ආපස්සට යාමක් ලෙස අර්ථ දක්වනු ඇත. ඔවුන් එසේ පවසන්නේ ඔවුන් යන ගමන ඉදිරි ගමනක් යැයි උපකල්පණය කරමිනි. ඔවුන්ට එය ඉදිරි ගමනක් වන්නේ බටහිර ආර්ථිකය මඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස්වේ යැයි ඔවුන් සිතන හෙයිනි. නමුත් එය මුසාවක් බව අපි දනිමු. එක තැන දුවනවා මිස ඔවුන් යන ගමනක් නැත.
අපේ මඟ ගැනීමම සංස්කෘතික පෙරලියකි. එය ලෙහෙසි පහසු නොවේ. එය තනි තනිව යා හැකි ගමනක්ද නොවේ. ජාතියක් වශයෙන් අත්වැල් අල්ලා ගෙන යායුතු ගමනකි. නමුත් එය කවුරුවත් තලමින් පෙලමින් යන ගමනක් නොවේ. අපත් සෙසු ලෝකයාත් සතා සිව්පාවනුත් ගහ කොළත් රැකෙන රැකගෙන යන ගමනකි. අපිට ලොවටම පහන් ටැඹක්විය හැක්කේ ඒ ගමනේ නියමුවෝ වීම තුලිනි.

ජානක වංශපුර

Sunday, 7 April 2013

රට ගිය ඇත්තන්ගේ ජීවන තත්වය

සමහරු ජීවය පරදුවට තබා බෝට්ටුවල නැගී ගොස් සරණාගතයින්සේ විදේශගත වන්නේ කෙසේ හෝ තම ජීවන තත්වය ඉහල දමා ගැනීමේ අරමුණින්ය. අද අප රටේ බොහෝ තරුණයින් මේ ආකාරයට හෝ වෙනයම් ආකාරයකට හෝ බටහිර රටකට පැන ගැනීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත් විදේශගතවීමෙන් පසු මේ බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහල යන බව කිව යුතුය. අඩුම ගණනේ බොහෝ දෙනෙක් එසේ තම ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි සිතති. නමුත් විදේශගත වන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයටම නොවේ. බටහිරුන්ට තම ජීවන තත්වය උසස් වීමට භෞතික සැප පහසුකම් වලට අමතරව පුද්ගලික නිදහස, දේශපාලන නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි දෑද වැදගත්ය. අපිටද මේ සමහර දෑ වැදගත් වුනත් අපි ඒ පිළිබඳ දරන අදහස් බටහිරුන් ඒ ගැන දරන අදහස් හා සමාන නොවේ. කෙසේ වෙතත් ජීවන තත්වය යනු වාස්ථවිකවූ මැනගත හැකි දෙයක් නොවේ. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. එසේ නම් විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහල යන්නේ කෙසේද?
බටහිර රටවලට පැනගත් මා වැනි බොහෝ ශ්‍රී ලාංකිකයෝ එරට සංස්කෘතියට මුලු මනින් අවශෝෂණය නොවෙති. උත්සාහ කලත් ඔවුන් බහුතරයකට එසේ වෙනස්වීමටද නොහැකිය. ඔවුන් බහුතරයක් ඇසුරු කරන්නේ තමන් මෙන් එරටට පැනගත් ශ්‍රී ලාංකියන්මය. බොහෝ දෙනෙකු සුද්දන් ඇසුරු කරන්නේ අතේ දුරින්ය. ඔවුන් එකිනෙකා හමුවුන විට වැඩිපුර කථා බස් කරන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා තොරතුරු මිස තමන් වසන රටේ සිදුවන දෑ නොවේ. එක් ව කල් ගත කරන්නට ඇති බලවත් කැමැත්ත නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ නිතර තම නිවෙස්වල ශ්‍රී ලාංකික මිතුරන් කැඳවා සාද පවත්වති. ඒ සාදවල අසන්නේත් ගැයෙන්නේත් පරණ සිංහල සිංදුමය. මේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරයද බත්මය. බටහිර රටවල මේ පුරුද්ද එතරම් පහසු නොවුනත් ඔවුහු ලංකාවේ කෑම බීම ඒ විදිහටම උයා පිහාගෙන කන්නට වෙර දරති. හැකියාවක් ඇති බෞද්ධයෝ එමන් වාසය කරන ප්‍රදේශවල පංසල් තනා ගනිති. බටහිර රටවල ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල වාසය කරන්නේ සුද්දන් මෙන් නොවන බව රට නොගිය ශ්‍රී ලාංකිකයින් නොදන්නවා විය හැකිය. නමුත් ඇත්ත තත්වය එයය.
ඔවුන්ගේ ජීවන තත්වය උසස්වීමට බලපාන ප්‍රධාන කරුණ බටහිර ඇති ලෞකික සැප සම්පත්ය. ඊට බලපාන අනිත් වැදගත් කරුණ නම් ආශ්‍රයෙන් හෝ කෑමෙන් බීමෙන් හෝ වෙන කිසියම් අයුරකින් හෝ ඔවුන්ට තම සංස්කෘතික අංග යම් පමණකට හෝ එම රටවල පවත්වාගෙන යාමට ඇති හැකියාවය. ඇතැමුන්ට අනුව එය දුකින් සැප විඳීමකි. ඒ කෙසේ වෙතත් මෙලෙස තම සංස්කෘතියේ යන්තම් හෝ පය ගසා ගෙන සිටින නිසා පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයට නොව තම මවු රටේ වැසියන් සිතන ආකාරයටමය. ඔවුන්ට රට යෑම නිසා තමන්ගේ ජීවන තත්වය උසස් වී ඇතැයි හැඟෙන්නේ ඔවුන් රට යෑමට පෙරත් පසුත් ජීවත්වන්නේ අඩු ළුහුඩු කම් මත වුනත් එකම සංස්කෘතියක තුල බැවිනි. ඒ නිසා රට යෑම ඔවුන්ගේ ජීවන තත්වයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට හේතු වී නැත. ඒ නිසා ඔවුන් බටහිර රටේදී අත්පත් කරගන්නා ආර්ථික වෙනස ඔවුන්ට මැන ගත හැකිය. ඒ වෙනස ඔවුන්ගේ ඇඟට දැනේ. නමුත් ඔවුන්ගෙන් පැවත එන දෙවන හා තෙවන පරම්පරා වලට තමන්ගේ ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි කිව හැකිද?
පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් සැප සම්පත් ඇති බටහිර රටක හදා වඩා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙති. ඔවුන්ට බටහිර රටක අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ගැන සතුටු වෙති. මේ දෙමව්පියන්ට එසේ සතුටුවිය හැක්කේ ඔවුන් ලංකාවේ සිටියා නම් ඔවුන්ට අත්විය හැකි ජීවන තත්වයක් ගැන කල්පනා කරමිනි. මේ දෙමව්පියන් තවම ශ්‍රී ලාංකික සංස්කෘතියේ යන්තම් පය ගසා ගෙන සිටින නිසා ඔවුන්ට මෙවැනි සංසන්දනයක් කල හැකිය. ඔවුන්ට ඒ ජීවන තත්වය ගැන අවබෝධයක් ඇත. නමුත් ඔවුන්ගේ දු දරුවන් ජීවත්වන්නේ බටහිර සංස්කෘතියේය. ඒ දරුවන් තම ජීවන තත්වය අර්ථ දක්වන්නේ බටහිර සංස්කෘතියට අනුවය. ඔවුන්ගේ අර්ථ දැක්වීම පළමු පරම්පරාවේ අර්ථ දැක්වීමට වඩා වෙනස්ය. ඒ නිසා තම දෙමව්පියන්ගේ සංක්‍රමණය නිසා ඇතිවූයේ යැයි කියන ජීවන තත්වය උසස්වීම ගැන දරුවන්ට අවබෝධයක් නැත. ඔවුන්ට ඒ සැසඳීම වැදගත්ද නැත. මන්ද දරුවන් තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට නම් ඔවුන් ජීවත්වන බටහිර සංස්කෘතියේ අර්ථ දැක්වීම් අනුව ක්‍රියා කල යුතු බැවිනි. දෙමව්පියන් කෙසේ සිතුවත් ඔවුන්ගේ සංක්‍රමණය නිසා දරුවන්ට ඔවුන් ජීවත්වන බටහිර සමාජයේ (ජාතියෙන් සුදු නොවීම නිසා අවාසියක් වුනොත් මිස) වාසියක් අත්වී නැත. මේ දරුවන් බටහිර රටේ තම ජීවන සටන අරඹන්නේ මුල සිටමය. මේ බව බහුතරයක් පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන්ට පිළිගැනීමට අපහසු ඔවුන් තවම තම මවු රටේ සංස්කෘතික ආකල්ප තුලින් ජීවන තත්වය දිහා බලන බැවිනි.
රට ගිය ඇත්තන්ගේ මේ අත්දැකීම තුලින් බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ගැන පාඩමක් ඉගෙනගත හැකිය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කිව හැක්කේ, නැත්නම් එය ඇඟට දැනෙන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් නොවුනොත් පමණි. ජීවන තත්වයේ උසස්වීම පළමු පරම්පරාවේ සංක්‍රමණික දෙමව්පියන්ගේ ඇඟට දැනෙන්නේ ඒ නිසාය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් වුවහොත් වෙනස් කිරීමේ ක්‍රියා වලියට පෙරත් ඊට පසුත් ජීවන තත්ව සංසන්දනය කිරීමට නොහැකිය. ඔවුන්ගේ දරුවන්ට ඒ වෙනස නොතේරෙන්නේ ඒ නිසාය.
බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය. ඒනිසා බටහිර ආරේ ආර්ථික සංවර්ධනය තුල ඊනියා ජීවන තත්වය යන්නෙහි අර්ථ දැක්වීම නිරන්තරයෙන් වෙනස් කෙරේ. අර්ථ දැක්වීම වෙනස් නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් මැන ගැනීමට නොහැකි විය යුතුය. එය අතාර්කිකය. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ඊනියා ජීවන තත්වය උසස් වේ යැයි කියා බටහිර ආර්ථික විද්‍යාව අපව මුලා කරයි. මේ කථාව ඔවුන් කියන කථාවක් පමණක් නොවේ. අපිද බටහිර සංස්කෘතික ආධිපත්‍ය හමුවේ මේ කථාව පිළිගෙන සිටින්නෙමු. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පණයක් පමණි.

වංශපුර දේවගේ ජානක

ලිවින් ස්ටෑන්ඩර්ඩ්


එදා සිටම නගරවල තමන් දුප්පතුන් යැයි සිතනවුන් බහුලව සිටියත් ගම්වල එය එසේම නොවේ. මගේ දෙමව්පියන්ගේ උපන් ගමට හැත්තෑවේ දශකය මැද භාගයේත් විදුලි බලය නොතිබිනි, ගම මැදින් වූ පාරට තාර දමා නොතිබිනි, ඒ හරහා පලමු වරට බසයක් ධාවනය වුනේත් ඒ අවධියේමය. ගම් වැසි හැමෝම පාහේ ගොවිතැනින් ජීවත්වූ අතර එහි වූ බොහෝ නිවෙස් පොල් අතු සෙවිලි කල මැටියෙන් ඉදිකෙරුනු ඒවා විය. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් දුප්පතුන් යැයි කිසි විටෙකත් නොසිතූහ. ඒ ගමේ වැසි අනිත් මිනිසුන්ද එසේ නොසිතන්නට ඇතැයි සිතිය හැකිය. මෙවැනි ගම් අදද නගරයෙන් දුර බැහැරව පවතී.
දුප්පත්කම සාපේක්‍ෂයැයි අමුතුවෙන් කිව යුතු නැත. එදා ගම්මුන් ගණුදෙනු කල සමාජ වපසරිය බොහෝ දුරට ගමට සීමාවිනි. ඒ තුල ආර්ථික විශමතාවන් අඩුවූ බැවින් බොහෝ දෙනෙකුට තමන් දුප්පතුන් යැයි සිතන්නට ඉඩක් නොතිබිනි යැයි සිතිය හැකිය. නමුත් අද ගම්මුන් ගණුදෙනු කරන සමාජ වපසරියට නගරයද අයිතිය. ඊට හේතුව යාන වාහන, සුපිරි මාර්ග, රූපවාහිනී මෙන්ම දුරකතන හරහාද නගරය එදාට වඩා සාමාජීය වශයෙන් ගමට කිට්ටුවී තිබීමය. ගණුදෙනු කරන සමාජ වපසරිය විශාලවත්ම එහි දකින්නට ලැබෙන ආර්ථික විශමතාවන්ද වැඩි වීම ස්වාභාවිකය. ඒ නිසා ඒ ගම් වැසියන්ගෙන් යම් ප්‍රමාණයක් තමන් ගනුදෙනු කරන සමාජයේ ඇතැම් අයට සාපේක්‍ෂව තමන් දුප්පත් යැයි සිතීමට එදාට වඩා ඉඩ කඩක් අද ඇත. ගමේ දුප්පතුන් ඇති වීමට ගමේ සමාජ හා ආර්ථික සංයුතිය වෙනස්වීමද හේතු කාරක වේ. නගරබදව නම් දුප්පතුන් කවදත් සිටියහ. එහි ඔවුන් ගණනින් වැඩි වෙනවා මිස අඩුවෙන බවක් පෙනෙන්නට නැත. අප රටේ පමණක් නොව මේ කියන සාපේක්‍ෂ දුප්පත්කම අද දියුනු යැයි සැලෙකෙන බටහිර රටවලද පසුගිය දශක කිහිපය තිස්සේම වර්ධනය වී ඇති බව විශේෂඥයෝ පවසති. නමුත් බටහිර ආර්ථික විද්‍යාඥයින් ඇති නැති පරතරය වැඩිවීම එතරම් ප්‍රශ්ණයක් ලෙස නොසලකති. මන්ද යත් බටහිර ක්‍රමයට ආර්ථිකය වර්ධනය වනවිට සියලුදෙනාගේම ජීවන මට්ටම ඉහල යයි කියා ඔවුන් උපකල්පණය කරන බැවිනි. ඒ නිසා යම් තරමකින් ඇති නැති පරතරය වැඩි වූවත් එය එතරම් සැලකිය යුතු නැතැයි ඔවුහු කල්පනා කරති. ලවින් ස්ටෑන්ඩර්ඩ් නොහොත් ජීවන මට්ටම ඉහල යාම ඔවුන්ට වැදගත්ය. නමුත් බටහිර ආර්ථික වර්ධනය තුලින් සමාජයේ ජීවන මට්ටම ඉහල යනවායැයි කියන මේ කථාව හුදු උපකල්පණයක් පමණි.
යමක් ඉහල යනවා යැයි කිව හැක්කේ එය මනින්නට පුලුවන්නම් පමණි. මනින්නට මිණුම් දණ්ඩක් අවශ්‍යය. ඒ මිණුම් දණ්ඩ සියලු කාලවලට එක සමාන විය යුතුය. උදාහරණයක් වශයෙන් මීටර කෝදුව ගනිමු. එය කාලයත් සමඟ වෙනස් නොවේ යැයි ගත හැකිය. ඒ අනුව එකම කෝදුව භාවිතා කර කාලයේ අවස්ථා දෙකකදී යම් ගසක උස සංසන්දනය කර එය කොපමන වැඩී ඇත්දැයි බැලිය හැකිය. නමුත් එය කෙසේ අර්ථ දැක්වුවත් ජීවන මට්ටම මැනීමට එවැනි කාලයත් සමඟ වෙනස් නොවෙන මිණුම් දණ්ඩක් නැත. කාලය සමඟ වෙනස් වනවා නම් ඊට මිණුම් දණ්ඩක් යැයි කිව නොහැකිය. මිණුම් දණ්ඩක් නැතිව මනින්නට බැරිය. මනින්නේ නැතුව ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.
ජීවන මට්ටම කී පමණින්ම එය මනින ලද දෙයක් ලෙස හැඟේ. එය එසේ ගැනීම නිවැරදි නොවන මුත් එය අමතක කර ඊට බලපාන සාධක මොනවාදැයි කල්පනා කරමු. උදාහරණයක් හැටියට අද අපට ජංගම දුරකථන නැතිවම බැරිය. අද සමාජය හැඩ ගැසී ඇති ආකාරයට ජංගම දුරකථනයක් අයිති වීම හෝ නොවීම ජීවන මට්ටමට බලපාන සාධකයක් යැයි සැලකිය හැකිය. නමුත් මීට වසර පනහකට ඉහතදී කිසිවෙකුට ජංගම දුරකථන නොතිබිනි. නමුත් සමාජය එදා හැඩ ගැසී තිබෙුනේ ජංගම දුරකථන නොමැතිව ජීවත්වීමටය. ඒ නිසා අද ජංගම දුරකථනයක් නැතිවීම නිසා කෙනෙකුට ඇතිවිය හැකි අසහනය මීට වසර පනහකට කලින් සිටි සියලු දෙනාටම තිබුනියැයි කීම සාධාරණ නොවේ. ජීවන මට්ටම යන්නෙන් කුමක් අදහස් කලත් ඊට බලපාන සාධක සැම කලකම එක නොවේ. ඒ සාධක සමාජ සංස්කෘතික දේශපාලනික හේතු නිසා කලින් කලට වෙනස් වේ. නමුත් අපට නිතැතින්ම සිතෙන්නේ අද අපට ජංගම දුරකථන ඇති නිසා අපේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි කියාය. එය හුදෙක් වර්තාමානයේ ජංගම දුරකථන නැතිවුනොත් ඇතිවිය හැකි අසහනය සලකා අප එළෙඹෙන නිගමනයක් මිස ඒ නිසා අතීතයේ ජංගම දුරකථන නැතිවීම තුලින් එදා ජීවන මට්ටමට බලපෑමක් ඇති වූවායැයි සැලකිය හැකි නොවේ. ඒ අනුව පෙනී යා යුත්තේ එක් කලෙක ජීවන මට්ටම තවත් කලෙක ජීවන මට්ටම හා සාධාරනව සංසන්ධනය කල නොහැකි බවය. ඒනිසා ඊනියා සංවර්ධනයක් හෝ වෙනයම් හේතුවක් නිසා හෝ කලකදී ජීවන මට්ටම ඉහල ගියා යැයි කිව හැකිද?
කාලයේ අවස්ථා දෙකකදී ජීවන මට්ටම සැසඳිය නොහැක්කේ එහි නිර්ණායක නැත්නම් ඊට බලපාන සාධක මොනවාදැයි යන්න සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකාල්ප අනුව කලින් කලට වෙනස් වන නිසාය. වර්තමානයේ ජීවන මට්ටම අතීතය හා සැසඳිය නොහැකිවා මෙන්ම අනාගතයේ තිබිය හැකියැයි සිතන ජීවන මට්ටමක් අද ජීවන මට්ටම සමඟද සැසඳිය නොහැක. උදාහරණයක් වශයෙන් පරිසර දුෂණය නිසා අනාගතයේදී ස්වභාදහමින් ආවරණයවී රක්‍ෂිත කුටිවල ජීවත්වන්නට සිදුවුවහොත් එදා තිබිය හැකි ජීවන මට්ටම ගැන කුමක් කිව හැකිද? අද අපට එලිමහනේ සිටීමට ඇති නිදහස ගැන කල්පනාකර අනාගතයේ ජීවන මට්ටම පහල වැටේ යැයි නිගමනය කරමුද? නැත්නම් අද අව්වෙන් වැස්සෙන් විදින පීඩා සලකා අනාගතයේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි නිගමනය කරයිද? මේ ප්‍රශ්ණවලට සාධාරනව පිලිතුරු දිය නොහැකිය. අපි ඒ ඒ අවධියේ පැවැත්ම ගැන සිතනනේ ඒ ඒ අවධියට බලපාන සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකල්ප අනුවය. අපට අතීතයේ තිබුනු හෝ අනාගතයේ තිබිය හැකි ජීවන මට්ටමක් ගැන අවබෝධයක් අද ගත නොහැකිය. ඒ නිසා බටහිර ආර්ථික සංවර්ධනය නිසා ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.
නමුත් බටහිර ආර්ථික විශේෂඥයෝ ඊනියා ආර්ථික ක්‍රියාකාරීකම් තුලින් ජීවන මට්ටම ඉහල යනවා යැයි සිතති. දල ජාතික නිෂ්පාදනය ඉහල යෑම එහි දර්ශකයක් ලෙස පෙන්වා දෙති. නමුත් දල ජාතික නිෂ්පාදනය ඉහලයෑමෙන් පෙන්නුම් කරන්නේ ජීවන මට්ටම ඉහල යෑමක් නොවේ. බරහිර ආර්ථික ක්‍රමය තුල නිරන්තරයෙන් සිදුවන්නේ නැති පාරිභෝගික අවශ්‍යතා මැවීමකි. උදාහරණයක් වශයෙන් නව මාදිලියේ ජංගම දුරකථන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ දැනට තිබෙන අවශ්‍යතාවක් සපුරාලීම නොව මිනිසුන් තුල ඒ පිළිබඳ කලින් නොතිබුනු අශාවක් ජනිත කෙරීමය. එවිට ඒ සඳහා වෙළඳ පොලක් නිර්මාණයවේ. එසේ නිර්මාණය වුනු වෙළඳපොලේ ක්‍රියාකාරකම් තුලින් දල ජාතික නිෂ්පාදනය ඉහල යයි. නිශ්පාදකයින් විසින් මිනිසුන්ගේ ආශාවන් අවුලවනු ලබන අතර මිනිසුන් ඒ ආශාවන් මුදුන්පත් කර ගන්ට ඔවුන්ගේ නිශ්පාදන පරිභෝජනය කරති. මෙය චක්‍රයකි. දල ජාතික නිෂ්පාදනය දර්ශකයෙන් මූලික වශයෙන් පෙන්නුම් කරන්නේ මේ චක්‍රයේ කාර්යක්‍ෂමතාවයය. එය ඊනියා ජීවන මට්ටමට සම්බන්ධයක් නැත. නමුත් ආර්ථික විද්‍යාඥයින් අපට පෙන්වා දෙන්නේ අපේ ජීවන මට්ටම ඉහල දමා ගැනීමට දල ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගතයුතු බවය. සැබවින්ම ඉන් සිදුවෙන්නේ ආශාවන් නිර්මාණය කිරීම හා පරිභොජනය අතර ඇති චක්‍රය දිවවීමක් පමණි. මේ චක්‍රයේ කෙලවරක් නැත. බටහිරුන්ට අනුව දල ජාතික නිෂ්පාදනය කෙලවරක් නැතිව වර්ධනය විය යුත්තේද ඒ නිසයි. එය ජීවන මට්ටම හා යම් සම්බන්ධතාවක් තිබිනි නම් ඔවුන් කියන පරිදි ජීවන මට්ටම ඉහල යද්දී දල ජාතික නිෂ්පාදනය වර්ධනවන වේගය ක්‍රමයෙන් අඩු විය යුතු නොවේද?
බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ජීවන මට්ටමට කිසි සම්බන්ධයක් නැති වුනත් ඒ හරහා සමාජ විශමතාව වර්ධනයවන බව නම් සැබෑය. එමඟින් සමාජයේ සැලකිය යුතු කොටසක් තමන් දුප්පතුන්යැයි සිතන්නට සැලසේ. අද නගර මෙන්ම ගම්ද දුප්පත් වන්නේ ඒ නිසාය. ආර්ථික සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සමාජ විශමතාව අවම කිරීම සහ ස්වයංපෝශණය මිස මැනිය නොහැකි ඊනියා ලිවින් ස්ටෑන්ඩර්ඩයක් වැඩි කර ගැනීම නොවේ.

වංශපුර දේවගේ ජානක

Friday, 29 March 2013

සංවර්ධනයේ මුලාව

මත්තල ගුවන් තොටුපල ගැන වර්ණනා කරමින් අදාල ඇමතිතුමා පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව කියවනවිට ඒ ව්‍යාපෘතිය පිළිබඳවත් ආණ්ඩුව පිළිබඳවත් ඇති වන්නේ කළකිරීමකි. එපමණක් නොවේ පසුගිය කාලයේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කල මහා පාරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති තොගයක් ගැනම සාමාන්‍ය මිනිිසුන්ගේ පැහැදීමක් නැත. ඔවුන් අසන්නේ මේ ව්‍යාපෘති වලින් ලාභ තිබේද හෝ ඒ සඳහා ගත් ණය ගෙවන්නේ කෙසේද හෝ ඉන් සිදුවේ යැයි කියනු ලබන ආර්ථික සංවර්ධනය ඇති වේද වැනි ඊනියා ආර්ථික විශේෂඥයින් අසන ප්‍රශ්ණ නොවේ. සාමාන්‍ය මිනිසුන්ට දැනගන්නට අවශ්‍ය මෙවැනි මහා ඉදිකිරීම් කුමටද යන්නය. අද වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ උගතුන් අසන ප්‍රශ්ණවලටය. නමුත් ආණ්ඩුව නූගතුන් අසන ප්‍රශ්ණයද අවබෝධ කර ගත යුතුය.

මේ ව්‍යාපෘතිවලට පිඹුරුපත් සකස් කරන ආණ්ඩුවේ දේශපාලකයිනුත් ආණ්ඩුව විවේචනය කරන ඊනියා ආර්ථික විශේෂඥයිනුත් රටේ ඉදිරි දැක්ම ගැන දරන්නේ එකම ආකාල්ප බව පෙනේ. නමුත් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දැක්ම ඊට වෙනස්ය. අධික වියදම් දරමින් කඩිනමින් ඉදි කෙරෙන මේ ගුවන් තොටුපලවල් වරායවල් ක්‍රීඩාගාර පමණක් නොවේ රාත්‍රී රේස් ධාවන හා ජාත්‍යාන්තර උත්සවද ඔවුන් දකින්නේ පමණ ඉක්මවා යෑම් ලෙසය. නැත්නම් කම් සැපෙහි ගැලීම් ලෙසය. කොටින්ම අපට අනවශ්‍ය දෑ ලෙසය. බහුතරයක්වූ සාමාන්‍ය මිනිසුන්ට ආණ්ඩුවේ මහා ව්‍යාපෘති පිළිබද ඇති කණස්සල්ල මෙයයි. ඔවුන්ගේ ප්‍රශ්ණය අර උගතුන්ගේ ප්‍රශ්ණයට වඩා මුලින් ඇති එකකි.

අපි විවෘත වෙළඳ ආර්ථිකයකට යොමුවුනේ දැනට වසර හතලිහකට පමණ ඉහතදීය. එකල ඉන්දියාවත් චීනයත් මධ්‍යස්ත ආර්ථික ප්‍රතිපත්ති අනුගමණය කරමින් සිටියහ. නමුත් ඔවුන් විසින් මෑතකදී අත් කරගෙන ඇති බටහිර ආරේ ආර්ථික සංවර්ධනයට සමාන්තර සංවර්ධනයක් අපට වසර හතලිහක් ගෙවාගෙනවත් ලඟාවීමට හැකි වී නැත. එපමණක් නොවේ ආසියාවේ අනිත් රටවල් හා සසඳන විට අප ඊනියා නිදහස ලැබෙනවිට ඔවුන් හා කරට කර සිට අද පසුබා සිටින බව බොහෝ විශේෂඥයින්ගේ මතයය. මේ කාලය තුල විටින් විට රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොතිබුන බව ඇත්ත නමුත් අපේ අසල්වැසි සමහර රටවල් තරමට බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් අපට ඇති කර ගත හැකි නොවුනේ ඒ නිසාම නොවේ. අපේ නොහැකියාවක් ඇත. විශේෂයෙන්ම එය රටේ බහුතරයක් වන සිංහල බෞද්ධයින්ගේ නොහැකියාවකි. ඒ නොහැකියාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයකි.

අධි පාරිභෝගිකත්වය, පුද්ගල නිදහස වැනි ලක්‍ෂණ සහිත ධනවාදී ආර්ථික ක්‍රමයකින් ලඟා කරගන්නා සංවර්ධනය බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ලෙස හැඳින්විය හැකිය. අද බටහිර ආධිපත්‍ය හමුවේ ලොවපුරා බොහෝ රටවල් උත්සාහ කරන්නේ එවැනි සංවර්ධනයක් අත් කර ගැනීමටය. රජය මඟින් ඉඩ පහසුකම් සලසා දුන්නත් බටහිර ආර්ථිකය දුවවන්නේ පෞද්ගලික අංශය මිස රජය නොවේ. පෞද්ගලික අංශයද අවසානයේ ගත්කල තනි පුද්ගලයින්ගේ ක්‍රියා කාරකම්ය. නව පාරිභෝගික භාන්ඩ හෝ සේවා නිර්මාණය කර ඒ තුලින් එතෙක් කල් නොතිබුනු පාරිභෝගික අවශ්‍යතාවක් නිර්මාණය කර ඒ මත පදනම්ව ව්‍යාපාර ඇරඹෙන්නේත් ඒවා මහා වෙලඳ ව්‍යාපාර බවට දියුනු වන්නේත් බොහෝවිට එම විශයෙහි දක්‍ෂ තනි පුද්ගලයින් අතින්ය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයින් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අතර දුලබය. ඔවුන්හට පොදුවේ බටහිර චින්තනය තුල නව දැනුම නිර්මාණය කිරීමේ ඇති නොහැකියාව මීට හේතුව විය හැකිය. බටහිර ආර්ථිකය දිව වීමට පාරිභෝගිකයින්ගේ දායකත්වයද අවශ්‍යය. නමුත් සිංහල බෞද්ධ සමාජය අධි පරිභෝජනය හෙලා දකියි. මේ කරුණු නිසා අප රටේ බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් ඇති කර ගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පිටුවහලක් ලැබෙන්නේ නැත. අප රට දියුණු නොවන්නේ බුද්ධාගම නිසා යැයි හිටපු පාප්තුමෙකු පැවසූ බව සඳහන්වේ. එතුමා මොන අරමුණින් ඒ අදහස් දැක්වූවත් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය නිර්මාණ කරුවනුත් පාරිභෝගිකයිනුත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බිහි කරන්නේ නැති බව පැහැදිලිය.
නමුත් බටහිර ආර්ථික සංවර්ධණය පසුපස අප නොයායුත්තේ ඒ නිසා පමණක් නොවේ. බටහිර ආර්ථික විද්‍යාවටද බටහිරුන් අපේක්‍ෂාකරන සංවර්ධනය අත් කර දීමට නොහැකිය. අද දියුණු යැයි සලකන බටහිර රටවල පවා දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති. ඒ පරතරය අඩු කිරීම ආර්ථික සංවර්ධනයේ එක් මූලික අපේක්‍ෂාවකි. නමුත් ධනවාදී සංවර්ධනයට විභවයක් වන්නේද ඒ පරතරයමය. එනම් ආර්ථිකය සංවර්ධනය වන්නේ තමන් දුප්පතුන් යැයි සිතන පිරිසක් පරිභෝජනය හරහා සමාජයේ ඉහලට යන්නට තැත් කරන බැවිනි. දුප්පත් පොහොසත් පරතරය එම පරතරය නිසාම දිවෙන ආර්ථික ක්‍රමයකින් පියවිය හැකිනොවේ. එහි පරස්පර විරෝධීතාවක් ඇත. අද බටහිර ආරේ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරමින් සංවර්ධනය වන බොහෝ රටවල සාපේක්‍ෂ දුප්පත්කම වැඩිවෙමින් පවතින්නේ ඒ නිසා නොවේද?
බටහිර ආරේ ආර්ථික සංවර්ධනය මුලාවක් පමණි. අපි ඒ පසු පස බඩගාමින් යා යුතු නොවේ. අපි අපට අවේනිකවූ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගත යුතුය. ඊට අවශ්‍ය උපාංග දැනටමත් අපේ ආර්ථිකයේ ගිලී සැඟවී පවතී. එහි පදනම විය යුත්තේ ගොවිතැන මිස වෙලඳාම නොවේ. එහි හදවත විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාත ගොවියන් සහ සුළු හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් මිස අතලොස්සක්වූ මහා පරිමාණ සමාගම් නොවේ. එහි ආර්ථික මධ්‍යස්ථාන විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාතවූ ගම් මිස අතලොස්සක්වූ නගර නොවේ. සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සමාජ විශමතා අවම කරගනිමින් ස්වයංපෝෂණය වීම මිස ඊනියා උසස් ජීවන තත්වයක් ඇති කර ගැනීම නොවේ. බටහිරුන් ආර්ථික සංවර්ධනය හරහා අපේක්‍ෂා කරන ඊනියා උසස් ජීවන තත්වය ඔවුනට කෙදිනකවත් අත්පත් කරගත නොහැකිය.
අපට උරුම ආර්ථික ක්‍රමයකට ඇවැසි හැකියාවන් ආකල්ප හා සංකල්ප අදටත් අප ආර්ථිකයේ මුල් බැස තිබේ යැයි මම සිතමි. අපිට බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට නොහැකි මේ නිසාය. එසේ නමුත් අපි ආර්ථිකව නොවැටෙන්නේද ඒ නිසාය. සිදුවිය යුත්තේ බටහිර සංකල්ප යටපත් කර අපේ ආර්ථික ලක්‍ෂණ ඉස්මතු කර ගැනීමය. අවාසනාවකට මෙරට සාමාන්‍ය ජනයාට රට නොයායුතු ගමන් මඟ පිළිබඳ යම් වැටහීමක් තිබුනත් ඔවුන් බටහිර සංවර්ධන මායාවෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත. ආණ්ඩුවද ජනතාවත් ජාතික ව්‍යාපාරයත් හැර ගොස් මං මුලාවී සිටින බව පෙනේ. මත්තල ගුවන් තොටුපොලෙන් පිළිබිඹු වෙන්නේ එයයි.

Saturday, 7 July 2012

නූතනත්වයට පරිසරය රැකීමට බැහැ

තවත් පරිසර සම්මේලනයක් රියෝ ද ජෙනෙයිරෝ නගරයේ පැවැත්විණි. එය බටහිර විද්‍යාඥයන්ගේ නොව එයට ඉහළ මට්ටමක වූ රාජ්‍ය නායකයන්ගේ සම්මේලනයකි. එම නගරයෙහි පළමු රාජ්‍ය නායක පරිසර සම්මේලනය පවත්වා අවුරුදු විස්සක් ගිය තැන පවත්වන ලද මේ රැස්වීම ද තවත් රැස්වීමක් පමණක් විය. බටහිර විද්‍යාඥයන්ගේ ද, ලොවෙහි රාජ්‍ය නායකයන්ගේ ද පරිසර රැස්වීම් තව තවත් ඉදිරියේ දී පැවැත්වෙනු ඇත. එහෙත් ඒ සියල්ලක් ම ප්‍රතිඵල රහිත රැස්වීම් පමණක් බවට පත්වනු ඇත. අවුරුදු පන්සියයකට පමණ පෙර ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පරිසරය රැකිය නො හැකි ය. අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ අප විසින් දිවයින හා විදුසර පුවත්පත්වලට ලියන ලද ලිපි මගින් මේ බව හෙළි කෙරී ඇත. මේ ඇතැම් ලිපි පරිසරය හා බටහිර ආකල්ප නමින් පොතක් ලෙස පළ වී ඇත. පරිසරය පිළිබඳ අපේ අදහස් ද පසුගිය අවුරුදු විසිපහේ විකාශය වී ඇත. එහෙත් ඒ විකාශය වී ඇත්තේ එක් දිශාවකට ය. අද අපට මේ සියල්ල පිළිබඳ ප්‍රවාද ඇත. ඒ ප්‍රවාද බටහිර ප්‍රවාද මෙන් ම ප්‍රත්‍යක්‍ෂ නො වේ. ඒ ප්‍රවාද ද උද්ගමනය මත පදනම් වෙයි. එබැවින් ම බටහිර ප්‍රවාදවල මෙන් ම එහි ද වැරදි තිබිය හැකි ය. ප්‍රත්‍යක්‍ෂ යනු අත්දැකීම්වත් සංජානනවත් ඊනියා පරීක්‍ෂණවලින් ලබාගන්නා ප්‍රතිඵලවත් නොවන බව ද අවධාරණය කළ යුතු ය. අපේ පැරණි බෙහෙත් වට්ටෝරු අවසානයෙහි අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂ යැයි සඳහන් වන්නේ ඒ දෙක දෙකක් නිසා ය. ඒ කෙසේ වෙතත් අපේ ප්‍රවාද ගෙතෙන්නේ ගහණයක පොදු ගුණය මෙන්ම සාමාජිකයන්ගේ විශේෂිත ගුණ ද සලකන සිංහල බෞද්ධ චින්තනයක ය. එය බටහිර ප්‍රවාද ගෙතෙන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හාත්පසින් ම වෙනස් ය. අපේ පරිසර ප්‍රවාදය සමස්තයක් ලෙස ගත්කල පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළ හැකි ය.

ලෝකයේ විවිධ රටවල විවිධ කාලවල ජීවත් වූ මිනිස්සු සාධාරණ වශයෙන් (පොදුවේ) ගත්කල පරිසරය සමග සහජීවනයෙන් විසූහ. අපි එයට සතා සිවුපාවා සර්පයා ගහකොළ සමග වූ ගතික සමතුලිතතාවක් යැයි කියමු. සමහර විට ඇතැම් මිනිසුන් පිරිසක් පරිසරය සමග සහජීවනයෙන් තම පැවැත්ම සකසාගත නොහැකි වී විනාශ වන්නට ද ඇත. එහෙත් ඒ සංස්කෘතීන් යම් ප්‍රදේශයකට පමණක් සීමා වීම නිසා සෙසු ලෝකයාට එයින් වූ හානිය එතරම් බරපතළ නො වී ය. දැනට අවුරුදු පන්සියයකට පමණ පෙර පළමුව ඉතාලියේ නව චින්තනයක් ගොඩනැගීම ආරම්භ විණි. එය යුරෝපයේ එවකට පැවති කතෝලික චින්තනයට විරුද්ධව බිහිවිණි. ඕනෑම චින්තනයකට දර්ශනයක්, ආකල්ප හා ඥාන විභාගයක් වෙයි (මගේ ලෝකය බලන්න). දැනුම නිර්මාණය කෙරෙන්නේ චින්තනයක ය. දේශපාලන ව්‍යුහ, ආර්ථික සම්බන්ධතා හා සංස්කෘතිය ද ගොඩ නැගෙන්නේ චින්තනයක් පදනම් කර ගනිමිනි. එහෙත් එයින් කියැවෙන්නේ සියල්ල චින්තනයට ඌනනය කළහැකි බව නොවේ. දැනුම ඇතුළු සංස්කෘතිය, ආර්ථික ව්‍ය්‍රහ, දේශපාලනය විසින් චින්තනය ද වෙනස් කෙරේ. ඒ චක්‍රීය සම්බන්ධයක් වෙයි. ඉතාලියේ පහළොස්වැනි සියවසේ දී සිදුවූයේ පාප්වහන්සේගේ දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව ව්‍යාපාරයක් ඇරඹීම ය. එහෙත් එය ඉතාලියේ විසූ පොදු ජනයා විසින් නොව විශේෂිත කලාකරුවන් අතින් ඇරඹුණේ පාප්වහන්සේට එරෙහිව කරන ලද අරගලයක් ලෙස නො වේ. මිනිසුන්ට පොදු ගුණ මෙන් ම විශේෂිත වූ ගුණ ද ඇත. අපි එකිනෙකා සමග සමාන වන අතර එකිනෙකාගෙන් වෙනස් වෙමු. වත්මන් බටහිර විද්‍යා දැනුම එකී පොදු ගුණ මිස විශේෂිත වූ ගුණ නොසලකයි. එබැවින් ම එහි වැරදි වැඩිය.

කලාකරුවෝ සාමාන්‍යයෙන් අන් අයට වඩා සංවේදී වෙති. ඔවුහු න්‍යාය මත, සංකල්ප මත, ප්‍රවාද මත පිහිටා තම කෘති බිහි නොකරති. අපට සුපුරුදු බසින් කිවහොත් ඔවුහුූ මොළයට වඩා හදවත යොදා ගනිති. ඔවුන්ට ඊනියා සංකල්ප, ප්‍රවාද, ලබාදෙන්නේත් සම්ප්‍රදායන් නිර්මාණය කෙරෙන්නේත් දාර්ශනිකයන් විසිනි. දාර්ශනිකයෝ හදවතට වඩා මොළය යොදා ගනිති. අනෙක් පිරිස සාමාන්‍යයෙන් මේ කොටස් දෙක අතර වෙති. මිචලාංජිලෝ් පාප් වහන්සේට විරුද්ධ වී යැයි කිව නො හැකි ය. එහෙත් ඔහු අතින් 1505 දී ඉතාලියේ පිරෙන්ට්සි් (ෆ්ලොරන්ස්) හි බිහි වූ ඩේවිඩ් ප්‍රතිමාව නූතනත්වය සංකේතවත් කරන්නක් ලෙස මම දකිමි. ලෙනාදෝ දා විංචි තරමක විප්ලවකාරි පුද්ගලයෙක් විය. අදත් දා විංචි කෝඩ් මගින් ආන්දෝලනයට ලක්වන්නේ ඔහු විසින් ගොඩ නගනු ලැබූ ක්‍රිස්තු චරිතය යැයි සිතමි. මොවුන් විසින් අරඹන ලද නව චින්තනය අපි ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. 1517 දී මාටින් ලූතර් පාප් වහන්සේට අභියෝග කළේ මේ චින්තනය මත පිහිටමිනි. ඉන්පසු දහහත්වන සියවසේ මුල් භාගයේ දී ගැලීලියෝ ගැලීලි වියුක්තය මත පදනම් වී නිරීක්‍ෂණ කිහිපයක් මගින් උද්ගමනය ඔස්සේ සාධාරණීකරණය කරන අයුරු පෙන්වා දුන්නේ ය. ඉතාලියෙන් එංගලන්තයට ගිය නව චින්තනය නිව්ටන් හා ෂේක්ස්පියර් බිහිකිරීමට දායක විය. එංගලන්තයේ අටවැනි හෙන්රි රජු පාප් වහන්සේගේ ආධිපත්‍යයෙන් මිදී තමන් ම නායකයා වූ එංගලන්ත සභා පල්ලිය ඇති කර මාටින් ලූතර් ඇරඹි ගමන් මගේ ඉදිරියට ගියේ ය. එංගලන්තයේ ක්‍රොම්වෙල් එරටට ම ආවේණික වූ විප්ලවයක් මගින් රජුගේ බලය හීන කළේ ය. රජුන්ට හා රදළයන්ට තිබූ බලය අවම කර පාර්ලිමේන්තුව බලය ලබාගත්තේ රජු ද රදළයන්ගෙන් සමන්විත ඊනියා සාමි මන්ත්‍රී මණ්ඩලය ද තබාගනිමිනි. එංගලන්තයෙන් ප්‍රංශයට ගිය නව චින්තනය රජුන් හා වැසියන් ගිලටීනයට බිලිකළ භීෂණ යුගයක් ඔස්සේ ජනරජයක් පිහිටුවීමට දායක විය. ප්‍රංශයේ බිහි වූ ඊනියා ආලෝකනනය ප්‍රංශයන්ට ආවේණිකව නව චින්තනය යොදා ගැනීමක් විය. හේතුවාදය (හේතුඵල ධර්මතාව නොවේ), කාටීසීය තාප්පය පදනම් කරගත් දෙකාර්තේගේ දර්ශනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ම වර්ධනයන් විය. විසිවැනි සියවසේ ක්වොන්ටම් භෞතිකය සූත්‍රගත කිරීම, බටහිර ගණිතයේ අසම්පුර්ණ බව පෙන් වූ ගර්ඩ්ල් ප්‍රමේය හා අවසානයේ දී පශ්චාත්නූතනවාදය මගින් පෙන්නුම් කරන ලද්දේ බටහිර නූතනත්වයේ කඩා වැටීම ය. එහෙත් බෝර්වත් ගර්ඩ්ල්වත් තමන් නූතනත්ව රාමුවෙන් පිටතට පැන ඇති බව නොදත්තේ මිචලාංජිලෝ තමන් කතෝලික චින්තනයෙන් පිට පැන්න බව නොදත්තාක් මෙනි. අද බටහිරට ප්‍රශ්නය වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කඩාවැටෙන මුත් නව චින්තනයක් ගොඩනැගීමේ හැකියාවක් නොමැතිවීම ය.

මිනිස්සු ද අනෙක් සත්තු ද ලෝභ, ද්වේෂ, මෝහ සිත් ඇතිව ම උපදිති. ඔවුන් සියළු දෙනාට ම ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාව අඩු වැඩි වශයෙන් පවතී. අනෙක් සතුන් ට ලෝකය දැනුවත් ව වෙනස් කළ නොහැකි වුවත් මිනිසුන්ට එසේ කළ හැකි ය. එය යම් පාලනයකට යටත් නොකළහොත් ඉන් අත්වන්නේ විනාශයකි. බොහෝ සංස්කෘතීන්හි මිනිසුන්ගේ ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාව හීලෑ කෙරෙයි. යුදෙව් චින්තනයේ ද කතෝලික චින්තනයේ ද මිනිසා ලෝකයේ ස්වාමියා ලෙස සැලකුණ ද ඉන්ද්‍රිය පිනවීමට අනුබල නොදෙන ලදී. එහෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඒ එසේ නො වී ය. ලොව බිහි වූ චින්තන අතරෙන් මිනිසුන්ගේ ලෝභය ද්වේෂය මෝහය වැඩිකිරීමට වඩාත් ම, සීමාරහිතව මෙන්, අනුබල දෙන චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විය හැකි ය. එයට වැඩියෙන් අනුබල දෙන චින්තන තිබිණි නම් අදාළ සංස්කෘතීන් මේ වන විට විනාශ වී ගොස් ය. එහෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අනෙක් චින්තන හා සංස්කෘතීන් මෙන් එක් පෙදෙසකට සීමා නොවී ලෝක ආධිපත්‍යය දරමින් විනාශකාරීව ලෝ පුරා පැතිරී ඇත. (අපට හෙට සිංගප්පූරුවක් වී අනිද්දා ඇමරිකාවක් වීමට අවශ්‍ය එබැවිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද මේ ආණ්ඩුව ද කිසිදා සිංහල බෞද්ධ චින්තනය මත පදනම් නො වී ය.) ධනපති ක්‍රමය ලෝභය හා ද්වේෂය පදනම් කර ගනිමින් හා ඒ තව තවත් වර්ධනය කරගැනීමට අනුබල දෙමින් එකී චින්තනයෙහි බිහි වී ඇති අතර බටහිර විද්‍යාව මෝහය මත වැඩියෙන් පදනම් වෙයි. වාස්තවික යථාර්ථයක් ඇතැයි ගැනීමට වඩා තවත් මෝහයක් වේ ද? ඊනියා කාර්මික විප්ලවය, ඉලෙක්ට්‍රොනික විප්ලවය ආදිය විසින් මිනිස්සු කුසීත ලෝභ ද්වේෂ සහගත පිරිසක් බවට පත් කෙරෙති. තමා ස්වභාව ධර්මයේ ස්වාමියා යන ආකල්පයෙන් මිනිසා ස්වභාව ධර්මය තම සුඛ විහරණය සඳහා යොදා ගනිමින් සීඝ්‍රයෙන් පරිසරය විනාශ කරමින් ස්වභාව ධර්මයෙන් ඇත් වෙයි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ම ඵල වෙයි. මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීම යුරෝපීය වහල් සමාජයේ ද යුරෝපීය වැඩවසම් සමාජයේ ද තිබී ඇත. ධනපති ක්‍රමය මූලික වභයෙන් ඒ සමාජ ක්‍රමවලින් වෙනස් වන්නේ ශ්‍රමය සූරාකෑම නිසා නොව, අනෙක් සතුන් ඇතුළු ස්වභාව ධර්මය මිනිස් සුඛ විහරණය සඳහා සූරාකෑම හේතුවෙනි. එසේ පරිසරය සූරා කෑමෙන් ගොඩ ගසා ගැනෙන ඊනියා ධනය මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීමෙන් පුද්ගලයන් හා රාජ්‍ය කිහිපයකට සීමා වෙයි. පාරිභෝගික සමාජය යනු පරිසරය හා ස්වභාව ධර්මය තම පරිභෝජනය සඳහා සූරාකන සමාජයකි. එහි අප විසින් සංතෘප්ත කෙරිය යුතු අවශ්‍යතාවලට සීමාවක් නැත. බටහිරයන් තම සුඛ විහරණය සඳහා අනාගත පරම්පරාව උගස් තබා ඇත.

මිනිසා විසින් සූරාකනු ලැබීම සඳහා ස්වභාව ධර්මය මවා (මැවී) ඇතැයි සැලකෙන චින්තනයකට යා හැකි දුර සීමාසහිත වෙයි. අද එය එහි ගමනාන්තයට සීඝ්‍රයෙන් පැමිණෙමින් ඇත. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හා ධනපති ක්‍රමයට පරිසරය සූරාකෑමෙන් තොරව, පරිභෝජනයෙන් තොරව පැවැත්මක් නැත. අද මුදාහැරී ඇත්තේ මිනිසුන්ගේ ඊනියා නිර්මාණ ශක්තියක් නොව මිනිසුන්ගේ අසීමිත ලෝභය, ද්වේෂය හා මෝහය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි එහි කිසිදු පාලනයක් සිදු නො වේ. ඒ චින්තනයට හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට කිසිදා පරිසරය ආරක්‍ෂා කළ නො හැකි ය. එසේ ආරක්‍ෂා කිරීම ම එහි විනාශයට හේතු වෙයි. එබැවින් රියෝ ද ජෙනෙයිරෝහි දී රාජ්‍ය නායකයන්ට ව්‍යාජ සම්මුතීන් කිහිපයකට එළඹීම හැරෙන්නට පරිසරය රැකගැනීමේ සම්මුතියකට එළඹිය නො හැකි ය. ඊනියා ධරණීය සංවර්ධනය යනු බටහිරයන්ගේ ව්‍යාජ සංකල්පයක් පමණකි. ධරණීය සංවර්ධනයක් විසින් පරිසරය සමග ගතික සමතුලිතතාවක් පවත්වාගනු ලැබිය යුතු ය. එහෙත් එසේ කළහොත් බටහිර සංවර්ධනය කඩා වැටෙයි. මාක්ස්වාදීන් අද පරිසරයේ ව්‍යාජ ආරක්‍ෂකයන් වීමට දැඟලුව ද මූලික ව කතෝලික චින්තනයෙහි බිහි වී ඇති මාක්ස්වාදයෙහි විශ්ලේෂණය කෙරී ඇත්තේ ශ්‍රමය මිස පරිසරය සුරාකෑම නො වේ. ඔවුන්ට අවශ්‍ය ධනය සාධාරණයැයි කියන ආකාරයකින් බෙදාහැරීම මිස පරිසරය සූරාකෑම නැවැත්වීම නො වේ. ලෝකය අර්බුදයකට ගොස් ඇත්තේ ශ්‍රමය නොව පරිසරය සූරාකෑම නිසා ය. සිංහල බෞද්ධ චින්තනයෙහි නම් මේ අර්බුදයට විසඳුම් ඇත.

Sunday, 30 October 2011

ආණ්ඩුවට පාඩමක්

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තදින් ක්‍රියාකළ යුතු ය. කිහිප දෙනකු සිරභාරයට ගෙන ඇතත් ජනතාවගෙන් අති විශාල බහුතරයක් සිතන්නේ ප්‍රධාන සැකකරුවන් තවමත් අත් අඩංගුවට ගෙන නොමැති බව ය. එය ඇත්තක් විය හැකි ය. ඇතැම්විට ආණ්ඩුවට, එහි දී නෛතික හා වෛද්‍ය ගැටලු තිබෙනවා විය හැකි ය. භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර සිංහල ජාතිකත්වයට පටහැණිව විජය කුමාරතුංග සමග එකතු විය. ඔහු (භාරත) උපාසකයෙක් ද නො වී ය. එහෙත් දුමින්ද සිල්වාට දඬුවම් දීමට වේ නම්, ආණ්ඩුව කිනම් පසුබිමකවත් එසේ කිරීමට පසුබට නොවිය යුතු ය.

ලෝකයේ බිහිවූ දරුණුම ත්‍රස්තවාදී නඩයක්, බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහාය ලැබූ ත්‍රස්තවාදී නඩයක්, මානුෂික මෙහෙයුම්වලින් පරාජය කළ ආණ්ඩුවක් පාතාලයට, මැරයන්ට බිය වී ඇතැයි සිතිය නො හැකි ය. ආණ්ඩුව මේ අවස්ථාවේ දී ජනතාවට තමන් සැකකිරීමට ඉඩ නොතැබිය යුතු ය. පාතාලය හා මැරයන් පරාජය කිරීමට මුල් පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු ය. එහෙත් අප නොදන්නා යම්කිසි රහසක් රැකීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවක් පෙනෙයි. රාජ්‍ය රහසක් ඇත්නම් එය රැකීමේ වරදක් නැත. ඒ හෙළි කළයුතු යැයි බල කළ යුතු නො වේ. කොටි ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුවට විවිධ අභියෝග රැසකට එක්වර මුහුණ දීමට සිදු වී ඇත. පළමුවෙන් ම දෙමළ ජාතික සංධානය සමග පැවැත්වීමට බලකෙරෙන ඊනියා සාකච්ඡා ය. අප කිහිප වතාවක් කියා ඇති පරිදි දෙමළ නායකයන් සමග දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ගැන කතාකිරීම දිවිහිමියෙන් සටන් කළ රණවිරුවන් පාවාදීමකි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ ප්‍රශ්නයක් නැති බවත් මේ ඊනියා ප්‍රශ්නය දෙමළ වෙල්ලාලයන් රටේම නායකයන් කිරීමට තැත්කළ ඉංගිරිසි ආණ්ඩුකාරයන් හා නිලධාරීන් විසින් ඇතිකරන ලද ප්‍රශ්නයක් බවත් ඉංගිරිසින්ට හා දැන් ඔවුන්ගේ නායකත්වයෙන් බටහිරයන්ට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට, ඉතිහාසයට, ජීවන ක්‍රමයට, දැනුමට ආදී වශයෙන් ජාතිකත්වයට හිමි තැන අහිමි කිරීම බවත් අපි කරුණු සහිතව තර්කානුකුලව පෙන්වා දී ඇත්තෙමු. එංගලන්තයේ පමණක් නොව බිරිතානියේත් ඇමරිකාවේත්, කැනඩාවේත්, ඕස්ටේ‍ර්ලියාවේත්, නවසීලන්තයේත් ජාතිකත්වය පදනම් වී ඇත්තේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතිය මත ය. යුරෝපයේ සෙසු රටවල ජාතිකත්වය පදනම් වන්නේ වෙනත් ක්‍රිස්තියානි සංස්කෘති මත ය. ඒ රටවල ජාතිකත්වයෙහි වෙනත් කිසිම සංස්කෘතියකට අබමල් රේණුවක ඉඩක් නැත. එහෙත් කසිකබල් ඉංගිරිසි අධ්‍යාපනයක් ඉංගිරිසි හෝ සිංහල හෝ මාධ්‍යයෙන් පාසල්වලින් හෝ විශ්වවිද්‍යාලවලින් හෝ ලබාගත් මෙරට පඬියන්ට බහුසංස්කෘතික බහුබූතය නොමැතිව හුස්ම ගැනීමටවත් නො හැකි ය. විශේෂයෙන් ම තුට්ටු දෙකේ මාක්ස්වාදීහු මෙහි දී දෙමළ ජාතිවාදී කවටයන් බවට පත් වී සිටිති. ජනමාධ්‍ය නොවන්නට ඔවුන්ට මේ රටේ කිසිම තැනක් නැත. ජ වි පෙරමුණේ කුමාර ඕපාත කණ්ඩායමට ද ඒ ඉරණම වැඩිකල් නොගොස් අත්වනු ඇත. ඔවුන්ට කළ හැකි වන්නේ ට්‍රොට්ස්කිවාදී මැත දොඩවන්නන් සමග මැයි දිනයක් පැවැත්වීම හා පුවත්පත් සාකච්ඡා පැවැත්වීම පමණකි. ඊනියා ශිෂ්‍ය නායකයන් ඔවුන් සමග සිටිය ද එකී නායකයන්ට නායකකම මිස ශිෂ්‍යයන් නැතිවනු ඇත. මෙරට ශිෂ්‍යයෝ දෙමළ ජාතිවාදයට ආවඩන්නෝ නො වෙති.

අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් ඉංගිිරිිසින්ගේ හා බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය ඊනියා දෙමළ ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳාගත නොහැකි වූයේ පළමුවෙන් ම ප්‍රශ්නයක් නැතිවීමත් දෙවනුව දෙමළ ජාතිවාදී නායකයන් බටහිරයන්ගේ අනකොලු වී සිංහල බෞද්ධත්වය නැතිකිරීමට කටයුතු කිරීමත් හේතුවෙනි. බටහිරයෝ හා කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුලු දෙමළ ජාතිවාදීහු කිසි විටෙකත් සිංහලයන්ගේ හඬට කන්දීමට කැමති නො වුහ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී මානුෂික මෙහෙයුම් මගින් දෙමළ ජාතිවාදීන් බටහිරයන්ගේ ආධාරයෙන් අඩුම තරමෙන් ඉංගිරිසින් නිර්මාණය කළ උතුරු හා නැගෙනහිර පළාත්වල තම බලය තහවුරු කිරීමට යොදාගත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. එමගින් ඊනියා දෙමළ ප්‍රශ්නය ද විසඳනු ලැබිණි. හමුදා ක්‍රියාමාර්ග යනු දේශපාලන ක්‍රියාමාර්ග වන අතර හමුදා විසඳුම් ද දේශපාලන විසඳුම් වෙයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ධනවාදීහු හා ලෙනින් ස්ටැලින්වාදී සමාජවාදීහු ලෝකය බෙදාගත්හ. නැගෙනහිර යුරෝපය සෝවියට් කඳවුරට එකතු වූයේ අවසන් වශයෙන් ගත්කල එහි ප්‍රතිඵලයක් ලෙස ය. එය වෙනස්කිරීමට සාකච්ඡා පැවැත්වීමට කිසිවෙක් කටයුතු නො කළහ. එය අවසානයේ දී වෙනස් වූයේ ද බර්ලින් තාප්පය කඩා වැටුනේ ද චෙකොස්ලොවේකියාවේ හා යුගොස්ලේවේයාවේ ඇති වූ ක්‍රියාදාමවල ප්‍රතිඵල ලෙස ය. අද ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳීමට නැවතත් සාකච්ඡා ආරම්භකළ යුතු නො වේ. ඒ සියලු සාකච්ඡා අසාර්ථක වී ඇත. සාකච්ඡා නැවත ඇරඹුවත් ඒ අසාර්ථක වනු ඇත්තේ විසඳීමට දෙමළ ප්‍රශ්නයක් නැති බැවිනි. මානුෂික මෙහෙයුම් අවශ්‍ය වූයේ ම සාකච්ඡා අසාර්ථක වීම නිසා ය. හමුදාව දැන් දේශපාලන විසඳුමක් දී ඇත. එය පිළිගැනීමට දෙමළ ජාතිවාදීන් ද කුමාර් ඕපාත කණ්ඩායම ඇතුලු කසිකබල් මාජ්ස්වාදීන් ද අකමැති වන්නේ ඔවුන්ට බටහිරයන්ගේ හා රෝ ඔත්තු සේවයේ අනුග්‍රහය ලැබෙන බැවින් මිස ඔවුන්ට ඇති ශක්තියක් නිසා නොවන බව පැහැදිලි ය.

අද ආණ්ඩුව කළ යුත්තේ ඊනියා සාකච්ඡා සඳහා කාලය නාස්තිකරමින් රණවිරුවන් පාවාදීම නොව පැරණි රජදරුවන් කළ ආකාරයෙන් රට කරවීම ය. එහෙත් ආණ්ඩුවට ඒ සඳහා ජාතික වූ වැඩ පිළිවෙළක් නැත. එපමණක් නොව එවැනි ක්‍රියාදාමයකට එළඹීමට නමින් සිංහල බෞද්ධ වූ ඕල්කට් බෞද්ධයෝ ද අකමැති වෙති. ජේ ආර් ජයවර්ධන ඕල්කට් බෞද්ධයන්ගේ ද ඊනියා යථාර්ථවාදී උගතුන්ගේ ද ආධාරය ඇතිව එතෙක් කොළඹට පමණක් සීමා වූ අධාර්මිකබව මුළු රටට ම ගෙන ගියේ ය. අද පොදුවේ ගත්කල රට ම අධාර්මික වී ඇත. ධර්මය වල් වැදී ඇත. බොරුව, කුහකකම, ව්‍යාජය, දුෂණය, නාස්තිය, අල්ලස, කොමිස් කෑම, බොරු ආඩම්බරය, පවට ලජ්ජාව බය නැතිවීම ආදිය රටපුරා පැතිරී ඇත. මේවා දේශපාලනඥයන්ට පමණක් සීමා වී නැත. නිලධාරීහු හා වෙනත් සේවකයෝ ද තම තමන්ට හැකි අයුරෙන් රජයේ හා වෙනත් ආයතනවල වස්තුව ගසා කති. නිලධාරියාට කම්කරුවා පෙනෙන්නේ තරාතිරමෙන් පහත් අයකු ලෙස ය. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට විරුද්ධව අනධ්‍යයන සේවකයන් පැමිණිලි කිරීම පවා වරද වෙයි. ස්ත්‍රී දූෂණය මෙන් ම ලාභ ප්‍රයෝජන සඳහා ස්ත්‍රින් ඇඟ විකිණීම ද අද සුලබ වී ඇත. ඒ හැරෙන්නට හුදෙක් ඉන්ද්‍රිය පිනවීම සඳහා අනාචාරයේ හැසිරීම ද අද ප්‍රචලිත වී ඇත. රටපුරා නගරවල කාමර කුලියට දෙන තැන් බිහි වී ඇත්තේ හුදෙක් දේශීය හෝ විදේශීය හෝ සංචාරකයන් සඳහා නො වේ. මිනීමැරුම්, කොල්ලකෑම්, පවුල් පිටින් ඝාතනය කිරීම් වාර්තා නොවන දවසක් නැත. මේ සියල්ල හුදෙක් ඊනියා යුද්ධයක් නිසා ඇති වූ බව පෙන්වීමට සිංහල බෞද්ධ සංස්කෘතියට එදා සිට වෛර කරන කසිකබල් සතිඅන්ත පුවත්පතක හිටපු කතුවරයෙක් උත්සාහ දරයි. ජේ ආර් ජයවර්ධන, ඕල්කට් බෞද්ධයන් හා ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක බටහිර උගතුන් සමග එක්වී කරන ලද ව්‍යාපෘතියක අනිටු ඵල දැන් ලැබෙමින් පවති.

රට කරවීම යන්න වෙනුවට බටහිරයන්ගේ සංවර්ධනය යන සංකල්පය අද මුල් බැස ගෙන ඇත. ආණ්ඩුව අද රට සංවර්ධනය කරයි. තැන තැන පාරවල් ගොඩනැගිලි ඉදිකෙරෙයි. එහෙත් ඒ සමග මිනිස්සු ඇති නො කෙරෙති. රටේ සංවර්ධනය හා පෞද්ගලික සංවර්ධනය වෙනුවෙන් මිනිස්සු තනි තනිව හා සාමූහිකව පරිසරය ගසාකති. ඊනියා සංවර්ධනයක් අපේක්‍ෂා කරන ජනතාවට ඒ සංවර්ධනය ලබාදීමට කොහෙන් නමුත් ආයෝජන ලබාගැනීමට ආණ්ඩුව පෙළඹෙයි. එහි දී දූෂණ සිදුවීම ද වැළැක්විය නො හැකි ය. බටහිර සංවර්ධනය සමග දූෂණය අත්වැල් බැඳගෙන ඇත. අප රටේ පමණක් නොව දියුණු යැයි සම්මත රටවල ද දූෂණ මහා පරිමාණයෙන් සිදුවෙයි. එහෙත් ඒ දූෂණ ඔවුන්ගේ දළ ජාතික ආදායම සමග සැසඳූ විට එතරම් විශාල නො වෙයි. එසේ වුවත් අප වැනි රටවල දූෂණ රටට ම දැනෙයි. බටහිර සංවර්ධනය සමග ඇත්තේ විනාශය මිස අනෙකක් නො වේ. ස්වභාව ධර්මය මිනිසා වෙනුවෙන් මවා ඇතැයි සලකන බටහිරයන්ට සම්පත් ගසාකෑම හා නැතිකිරීම හැරෙන්නට වෙනත් දෙයක් කළ නො හැකි ය. තිරසාර සංවර්ධනය යන්න මිනිසුන් මුළාකිරීමට බටහිර බුද්ධිමතුන් නිර්මාණය කර ඇති ව්‍යාජ සංකල්පයක් පමණකි. බටහිර සංවර්ධනයට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. පරිසර සංරක්‍ෂණය, පරිසර කලමනාකරණය ආදී සංකල්පවලින් හෙළිවන්නේ බටහිරයන්ගේ උද්ධචිඡ භාවය පමණකි. පරිසරය සමග සහජීවනය මිස පරිසර සංරක්‍ෂණය, කලමනාකරණය ආදිය කළහැකි දේ නො වේ. බටහිර දැනුම විසින් මිනිසුන්ගේ නිහතමානීබව නැතිකර ඔවුන් උද්ධචිඡ තකතීරුවන් බවට පත්කෙරී ඇත. ආණ්ඩුව මෙන් ම මිනිසුන් ද අමාරුවට පත් වී ඇත්තේ ජේ ආර් ගේ ඔලමොට්ටල අදහස් අනුව ලංකාව සිංගප්පූරුවක් බවට පත්කිරීමට යෑමෙනි. ඒ සඳහා මුදල් ලබාගැනීමට ආණ්ඩුව ද මිනිස්සු ද කටයුතු කරති. අධික මුදල් ලැබෙන්නේ අධික දූෂණ ඔස්සේ ය. කුඩු විකුණා වුවත් මුදල් ලබාගෙන පෞද්ගලික ව හෝ රට වශයෙන් හෝ සංවර්ධනය වීමට යන්නේ නම් එහි කෙළවර භයංකාර ය. මිනිසුන්ට නිදහස හා විමුක්තිය ලැබෙන්නේ අයිතිකර ගැනීමෙන් නොව අත්හැරීමෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට ප්‍රභාකරන්ට ද වඩා ක්‍රියාත්මක වූයේ ජේ ආර් ය. ආණ්ඩුව ජේ ආර්ගේ ව්‍යාපෘතිය අත්හැරිය යුතු ය.

Saturday, 17 September 2011

ශ්‍රී ල නි පක්‍ෂයට හැට පිරෙයි

ශ්‍රී ල නි පක්‍ෂය ගැන කතාකිරීම 1951න් ඇරඹිය නො හැකි ය. එම පක්‍ෂය පිහිටුවන ලද්දේ ඒ වර්ෂයේ වුව ද මෙරට ජාතිකත්වය අගය කළවුන් ජාතිකත්වයට පටහැණි වුව ද දේශපාලන පක්‍ෂයක් සොයමින් සිටියේ එයට බොහෝ කලකට පෙර සිට ය. ලංකා සමසමාජ පක්‍ෂය 1931 දී පිහිටුවන විට ද 1946 දී එ ජා පක්‍ෂය පිහිටුවන විට ද ජාතිකත්වය අගය කළ ඇතැමුන් ඒ පක්‍ෂවලට බැඳුනේ, එසේත් නැත්නම් හිතවතුන් වූයේ වෙනත් පක්‍ෂයක් නොතිබූ බැවින් බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසුව ජාතිකත්වය අගයන අයට දේශපාලන පක්‍ෂයක් ලැබිණි. එහෙත් මෙරට ජාතිකත්වයට දේශපාලන පක්‍ෂ නො ගැලපෙයි. දේශපාලන පක්‍ෂ ද අපට ලැබුණේ බටහිරිනි. මුලින් ම එංගලන්තයේ පිහිටුවන ලද දේශපාලන පක්‍ෂ අපට ලැබුණේ මාක්ස්වාදය ඔස්සේ ය. ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවන තුරු මෙරට දේශපාලන පක්‍ෂයක් බිහි නොවුණේ ද ජාතිකත්වය නිසා විය හැකි ය. ඒ කුමක් වුවත් අද ශ්‍රී ල නි පක්‍ෂයට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය නම් ජාතිකත්වයට සරිලන දේශපාලන ව්‍යුහ සකස් කරගන්නේ කෙසේ ද යන්න ය. දේශපාලන පක්‍ෂ අපටත් අප වැනි වෙනත් රටවලටත් නොගැලපෙන බව පැහැදිලි ය.

සිංහල ජාතිය පණ්ඩුකාභය රජු දවස බිහිවුණ ද සිංහල බුදුදහම මිහිඳු හිමියන් විසින් සකස් කෙරුණ ද, මෙරට ජාතිකත්වය අපට ලබාදුන්නේ ගැමුණු රජු ය. ගැමුණු රජු ජාතියේ වීිරයා වන්නේ අපට ව්‍යවස්ථාවක් සකස්කර දුන් නිසාත් සිංහල බෞද්ධ රාජ්‍යය තහවුරු කළ නිසාත් ය. එදා සිට ඉංගිරිසින් මෙරට ආක්‍රමණය කරන තුරු ම අප රට කරවනු (රට කරවීම යන්න අපේ සංකල්පය වෙයි. සංවර්ධනය යනු පරිසරයට විරුද්ධ සංකල්පයකි) ලැබුයේ ගැමුණු ව්‍යවස්ථාව අනුව ය. සියළු ජාතික වීරයන් හැඩගැසුණේ ගැමුණු රජු ආදර්ශයට ගනිමිනි. බෞද්ධයකු ලෙස යුද්ධ කරන්නේ කෙසේ දැයි මුළු ලෝකයට ම කියා දුන්නේ ගැමුණු රජු ය. ඉංගිරිසි යටත්විජිත යුගයේ බිහි වූ කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා ආදී ජාතික වීරයෝ ගැමුණු රජුගේ ආභාසය ලත් අය වූහ. ඔවුහු අපේ නායකයෝ වූහ. එහෙත් ඉන් පසු අපට නායකයන් ලබාදුන්නේ ඉංගිරිසින් විසිනි. මුල් කාලයේ අපට ලැබුණේ සංස්කෘතියෙන් මෙන් ම ආගමෙන් ද ක්‍රිස්තියානි වූ බර්ගර් ජනවර්ගයට අයත් නායකයන් ය. ඔවුහු ඊනියා ලාංකික ජාතියක් ගොඩනැගීමට වෑයම් කළහ. ඔවුන්ට පසුව ලාංකික ජාතියේ නායකයන් වූයේ දෙමළ වෙල්ලාලයන් ය. ඉංගිරිසි කතාකරන සිංහල නායකයන්ට ඉංගිරිසි ආණ්ඩුවෙන් හිමිවූයේ තුන්වැනි තැන ය.

දහනවවැනි සියවසේ අගභාගයේ දී සිංහල බෞද්ධයෝ 1848 නිදහස් අරගලයෙන් පසුව නැවත වරක් සංවිධානය වූහ. එහි ගිහි නායකයා වූයේ අනගාරික ධර්මපාලතුමන් ය. එහෙත් වැඩිකල් එතුමන්ට ඒ අරගලය කරගෙන යෑමට නොහැකි විය. ඇමරිකාවෙන් පැමිණි ඕල්කට්තුමා ප්‍රමුඛ පරම විඥානාර්ථවාදියෝ ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය ඩැහැගෙන ගසා කෑවෝ ය. ධර්මපාලතුමා ඉන්දියාවට ගිය අතර ඕල්කට් බුද්ධාගම මෙරට උගත් බෞද්ධයන් අතර තහවුරු විය. ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඒ අතර ඕල්කට් බුද්ධාගමේ නායකයන් ලෙස පළමුව ඩී බී ජයතිලක මහතා ද පසුව සේනානායකවරුද ඉදිරියට පැමිණියහ. ඔවුන්ට මුල දී ඉංගිරිසින් අතර හෝ රටේ ජනතාව අතර හෝ තැනක් නො වී ය. එහෙත් ඕල්කට් බුද්ධාගමේ පිහිටෙන් ඔවුහු සිංහලයන් අතර නායකත්වයට පත්වූහ. සේනානායකවරු තමන්ට මුල දී උපකාර කළ ඩී බී ජයතිලක මහතා පසුව ඉන්දියාවට යැවීමට සමත්වූහ.

ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඕල්කට් බෞද්ධයන්ට රටේ නායකත්වය හිමි විය. එයට සර්වජන ඡන්දය ඉහළින් ම බලපෑවේ ය. බොහෝ ජාතිකවාදීහු මාක්ස්වාදයේ යටත්විජිත විරෝධයට ද ඕල්කට් බෞද්ධයන්ගේ අමද්‍යප ව්‍යාපාරය වැනි ව්‍යාපාරවලට ද රැවටුණහ. එහෙත් එසේ නොරැවටුණු ජාතිකවාදීහු විශාල ප්‍රමාණයක් මෙරට වාසය කළහ. ඔවුහු නායකයකු සොයමින් කල් ගත කළහ. සිංහල ජාතිකවාදය දෙමළ ජාතිකවාදය මෙන් නොව පහත සිට උඩට ක්‍රියාත්මක වෙයි. නායකයා පැමිණ අනුගාමිකයන් පිරිසක් ඇතිකර ගැනීමක් මෙහි දී සිදු නො වේ. මාක්ස්වාදී පක්‍ෂ ගැන මෙන් ම එ ජා පක්‍ෂය සම්බන්ධයෙන් ද කිව හැක්කේ නායකයන් අනුගාමිකයන් සොයාගත් බව ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය එසේ නො වී ය. බණ්ඩාරනායක මහතා එ ජා පක්‍ෂයෙන් අස් වී ශ්‍රී ල නි පක්‍ෂය ආරම්භ කල සැණින් ජනතාව ඒ වටා රොක් නො වූහ. සිංහල ජාතිකවාදීහු බණ්ඩාරනායක මහතාට කල් දුන්හ. එතුමාට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්කර ගැනීමට කල් දුන්හ. බණ්ඩාරනායක මහතා 1952 දී මහා මැතිවරණය තරඟ කළ අවස්ථාවේ දී එතුමාගේ ශ්‍රී ල නි පක්‍ෂයට එතරම් ආසන සංඛ්‍යාවක් නො ලැබිණි. ල ස ස පක්‍ෂයට ලැබුණු ආසන සංඛ්‍යාව ම ශ්‍රී ල නි පක්‍ෂයට ද ලැබිණි. එහෙත් 1953න් පසුව ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය වෙනස් විය. ශ්‍රී ල නි පක්‍ෂය ඉන් පසු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු ය යන ප්‍රතිපත්තිය අනුගමනය කළේ ය.

ශ්‍රී ල නි පක්‍ෂය වටා සිංහල ජාතිකත්වය එක්වීමට පටන් ගත්තේ ඉන් පසුව ය. මින්නේරිය ආසනයේ පැවති අතුරු මැතිවරණයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ජයගත්තේ ය. ඉන් පසු පරාජයට වඩා ජය ශ්‍රී ල නි පක්‍ෂයේ උරුමය විය. මට තේරුම් යන අයුරින් ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය සකස්් කරවීමට සිංහල ජාතිකත්වය සමත් විය. 1956 මේ සියල්ලෙහි එක්තරා උචිචස්ථානයක් විය. ශ්‍රී ල නි පක්‍ෂයට විප්ලවකාරී සමසමාජ පක්‍ෂය භාෂා පෙරමුණ ආදී පක්‍ෂ එකතුවීමෙන් ම එ පෙ නම් සංවිධානය බිහිකරනු ලැබිණි. 1954 දී පමණ සිංහල ජාතිකවාදීහු ඩඩ්ලි සේනානායක මහතා හමුවී සිංහල ජාතිකත්ව පක්‍ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටියහ යැයි කියැවෙයි. එහෙත් හර්තාලයෙන් බැට කා සිටි ඩඩ්ලි සේනනායක මහතා ඒ අවස්ථාවේ දී බණ්ඩාරනායක මහතාට ආරාධනය කරන ලෙස සිංහල ජාතිකවාදීන්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ල නි පක්‍ෂයට ක්‍රම ක්‍රමයෙන් සිංහල ජාතිකවාදීහු ගොනුවූහ. එහි දී සිංහලයන් මෙන් ම මුස්ලිම් ජනයා ද දෙමළ ජනයා ද ශ්‍රී ල නි පක්‍ෂයට බැඳුණු බවත් අදාළ ජන අනුපාතවලින් ඒ බව හෙළිදරවු වන බවත් සඳහන් කළ යුතු වෙයි. කෙසේ වෙතත් 1956 වන විට සිංහල ජාතිකත්වයේ අවශ්‍යතාව ශ්‍රී ල නි පක්‍ෂය ඔස්සේ ඉටු කර ගැනීමට ජාතිකවාදීහු සූදානම් ව සිටියහ. ඒ සූදානම මහජන එක්සත් පෙරමුණ දක්වා පුළුල් විය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයට හෝ මහජන එක්සත් පෙරමුණට හෝ ජාතිකත්වය මත ගොඩනැගුණු ප්‍රතිපත්ති මාලාවක් තිබිණි යැයි කිවහැකි නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට හිසක් නොමැති වී යැයි ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ නිසා විය හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිය ජාතිකත්වය, යටත්විජිත විරෝධය, බටහිර ලිබරල්වාදය හා මාක්ස්වාදී සමාජවාදය මතුපිටින් මුසුකර ගැනීමෙන් සකස් විය. ඒ හේතුවෙන් ම එහි පරස්පර හා අවිනිශ්චිත භාවයන් විය. අවාසනාවකට සිංහල ජාතිකත්වය යන්න පිළිබඳව ද ජාතිකවාදීන්ට ද නිශ්චිත පැහැදිලි හැඟීමක් නො වී ය. සිංහල බෞද්ධ ජාතිකත්වයෙහි දේශපාලන පක්‍ෂ තිබිය නොහැකි බව බොහෝ ජාතිකවාදීනට ද අවබෝධ නො වී ය. පක්‍ෂ නොතිබීම ඒකාධිපතිවාදයට අත වැනීමක් ලෙස අනුරාධපුර යුගයේ වැඩවසම් සමාජයක් දකින පඬියන් ප්‍රකාශ කරනු ඇත. මාක්ස්වාදී සමාජවාදය සිංහල ජාතිකත්වයට නුහුරු වූවක් නොවන බව ඇතැමුන් කියා සිටියේ බටහිර කෙටිකතාව හා ජාතක කතාව අතර සාම්‍යයක් දුටු පදනමෙන් මිස ගැඹුරෙන් ඒ ගැන කරන ලද හැදෑරීමකින් පසුව නො වේ. මාක්ස්වාදී සමාජවාදය හා සිංහල බෞද්ධ ජාතිකත්වය යා දෙක නොරත රත සමග පෑහීමක් නොවන අයුරින් වෙයි. ජනසතුව යනු රාජ්‍ය සතුවක් මිස ජනභාරකරත්වයක්වත් නොවන බව අදත් බොහෝ අයට නො තේරෙයි.

කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතාගේ හා මහත්මියගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මෙරට ජාතිකත්වයට යම් සේවයක් ඉටුවිණි. එය නැතිකර ශ්‍රී ල නි පක්‍ෂය පීලිපන්නවා විජාතිකත්වයට සේවය කරන පක්‍ෂයක් ලෙස සකස්කිරීමේ අවශ්‍යතාව මෙරට සතිඅන්ත කසිකබල් පුවත්පතක කතුවරයකුට හා තවත් අයට තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් ආණ්ඩුවේ වෙති. බණ්ඩාරනායක යුවළගේ දරුවකු වුව ද පනස්හයේ දරුවකු නොවූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එංගලන්තයෙන් මෙරටට ආනයනය කරනු ලැබුයේ ඒ අවශ්‍යතාව පරිදි ය. ඇය සිංහල බෞද්ධ විරෝධී ස්ත්‍රියකි. විජය කුමාරතුංග මහතා ද එසේ ම විය. ඔවුන් බලයේ සිටි කාලය ශ්‍රී ල නි පක්‍ෂයේ දුර්දාන්ත කාල පරිච්ඡෙදයක් විය. එහෙත් ජාතිකවාදීන්ට මේ බලවේග පරදවා 1951 දී බණ්ඩාරනායක මහතා සමග එ ජා පක්‍ෂයෙන් ඉවත් වූ ඩී ඒ රාජපක්‍ෂ මහතාගේ පුතකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයා බවටත් රටේ නායකයා බවටත් පත්කිරීමට හැකි විය. ශ්‍රී ල නි පක්‍ෂයට හා සන්ධානයට වෙනත් කිසිවක් නැතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අතිමහත් ගෞරවය හිමිවෙයි. හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ජාතික බලවේගවල නායකත්වයෙන් රට නැවතත් එක්සේසත් කිරීමේ ගෞරවය ශ්‍රී ල නි පක්‍ෂයේ ද නායක මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවෙයි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ අනෙක් බොහෝ දෙනකුගේ ක්‍රියාකාරකම් පිළිබඳ ව අපට කිසිසේත් ම සෑහීමකට පත්විය නො හැකි ය. මහා පරිමාණයේ දුෂණ ගසාකෑම් පක්‍ෂයේ ඇතැමුන් අතින් සිදුවෙයි. අද රට කරවනුයේ ජාතිකත්වය මත පිහිටා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය යටතේ විජාතික බලවේගවලට රට සූරාකෑමට ඉඩ දීම පංචානන්තරීය පාපකර්මයක් ලෙස සැලකිය හැකි ය. හැට පිරෙන මේ මොහොතේ පක්‍ෂය බටහිර සංවර්ධන ආකෘතියට නොව රට කරවීමට යොමු විය යුතු ය.