Main Logo

Showing posts with label කෞටිල්‍යය. Show all posts
Showing posts with label කෞටිල්‍යය. Show all posts

Sunday, 28 July 2013

ඉන්දියාවේ අභිලාෂය

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර හෙටට අවුරුදු 29ක් වෙයි. ගිවිසුම අහෝසි වී මෙම මස අන්තිමට අවුරුදු 29ක් විය. එයට හේතුව ඉන්දියාව දින තුනක් ඇතුළත කොටින් නිරායුධ කිරීමට අසමත්වීම ය. එයට අමතරව එහි පරස්පර, අර්ථ නොදක්වන ලද වචන ආදී දෝෂ රැසක් ද වෙයි. පළාත් හා පළාත් සභා ද ඒ ගණයට අයත් වෙයි. එහෙත් අපි තවමත් ඒ ගැන කතාකරමු. එපමණක් නො වේ. ගිවිසුමෙහි පළාත් සභා පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. එහෙත් පළාත් සභා මැතිවරණ 1987 දෙසැම්බර් 31ට පෙර සිදුවිය යුතු යැයි කියැවෙයි. නැති පළාත් සභා සඳහා මැතිවරණ පවත්වන්නේ කෙසේ දැයි කෞටිල්‍යයන්ගෙන් ම  දැනගත යුතු ව ඇත. කෙසේ වෙතත් ඊනියා ගිවිසුමේ ඒ වගන්තිය ද ඉටු නොවිණි. එහෙත් අපේ හමුදා නම් බැරැක්කවලට සීමා කෙරිණි. ඒ මදිවාට බටහිර විද්‍යාවෙහි මෙන් ඊනියා ගිවිසුමෙහි පට්ටපල් බොරු ද වෙයි. අවුරුදු සියයක් පමණ පැරණි වූ උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු දහස් ගණනක් දෙමළ කතාකරන ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි ව පැවති යැයි එහි සඳහන් වෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි දෙමළ ජනයාගේ සම්භවය 1650න් පසුව සිදු වී ඇති බව සාක්‍ෂි සහිතව පෙන්නුම් කළ හැකි ය. එහි මුස්ලිම් ජනයා පදිංචි කෙරුණේ එයට තරමක් කලින් සෙනරත් රජු දවස ය. සති කිහිපයකට පමණ පෙර අප පෙන්වාදුන් අන්දමට ගිවිසුම වලංගු යැයි තර්ක කළ ද, එහි 2.10 වගන්තියේ සඳහන් අන්දමට උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනෙක් පළාත්වල ඇති පොලිස් ව්‍යුහය ම තිබිය යුතු ය. ඒ අනුව පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ඉන්දු ලංකා ගිවිසුමට ද විරුද්ධ ය. ඉඩම් බලතල පැවරීම ඊනියා සාම්ප්‍රදායික වාසභූමි කෙප්පය මත පදනම්වන බැවින් එසේ කිරීම ද අනවශ්‍ය ය. ඉඩම් බලතල හා පොලිස් බලතල උතුරු පළාත් සභාවට පැවරීමේ ප්‍රතිඵලය වනුයේ එහි දෙවැනි හමුදාවක් ඇතිවීමත් ලංකාණ්ඩුවේ හමුදාවලට කඳවුරු පිහිටුවා ගැනීමට බිම් අඟලක්වත් අහිමිවීමත් ය. කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම වලංගු වුවත් ඉන්දියාව හා ලංකාව අතර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගිවිසුමක් නැති බව අවධාරණය කළ යුතු ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ අප ඉන්දියාවෙන් අවසර ගත යුතු නො වේ. ඉන්දු ලංකා ගිවිසුමෙහි අර්ථකථනය කර නොමැති පළාත් සභා පිහිටුවීම අවශ්‍ය නො වේ. අනෙක් අතට ඉන්දු ලංකා ගිවිසුමෙහි පරිපාලන ඒකක ලෙස පළාත් ගැන කතාකරනමුත් ඒ වන විට ව්‍යවස්ථාවෙන් පළාත් යනු කවරේදැයි අර්ථදක්වා නොතිබුණි. අද වන තුරුත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක පළාත් පරිපාලන ඒකක ලෙස හැඳින් වී නොමැත. ව්‍යවස්ථාවට අනුව පරිපාලන ඒකක වනුයේ දිස්ත්‍රික්ක ය. පළාත් සභා අවශ්‍ය ම යැයි යමකු පවසන්නේ නම් දහතුන ද වත්මන් පළාත්සභා පනත ද අහෝසිකර වෙන ම පළාත් සභා පනතක් ගෙනැවිත් සංක්‍රමණීය පිළිවෙතකට යටත් ව පළාත් සභා පවත්වාගෙන ගිය හැකි ය.    

ඒ කුමක් වුවත් අද අප එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයට ය. පළමු යුග තුන ගැන සඳහන් කෙරෙන ප්‍රභාකරන් මහුගේ සියලා, බාප්පලා හා මස්සිනාලා කෘතියේ හතරවැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් ද සහිතව ය. දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය ය. එය අද ඊයේ නොව තුන්වැනි ජොර්ජ් රජුගේ කාලයේ සිට ම වෙයි. අනෙක් අතට දෙමළ ජාතිවාදය පසුපස නේරුගේ කාලයේ සිට ඉන්දියාව වෙයි. ඒ පරාජය කිරීමට පසුගිය දා උපන් හත්වැනි ජෝර්ජ් රජ වන තෙක් හෝ රජිව් ගාන්ධිගේ තවමත් නූපන් මුණුබුරා හෝ මිණිබිරිය හෝ ඉන්දියාවේ අගමැති තනතුරට පත්වන තුරු හෝ බලා සිටිය යුතු නො වේ. අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදයේ කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළෙමු. එය එතෙක් ඊනියා දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් ඉරා දැමීමකි. එයට හේතුව ඒ සියළු දේශපාලන ක්‍රියාවල අවසානය ප්‍රභාකරන් වීම ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලන ක්‍රියාවලියකි. දෙමළ ජාතිවාදයේ පළමු, දෙවැනි හා තුන්වැනි යුග ප්‍රභාකරන් සමග අවසන් වූයේ දෙමළ ජාතිවාදය හමුදා දේශපාලන වශයෙන් පරාජය කිරීමෙනි. එහෙත් අප ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුළත් කරගැනීමට නොහැකි වීමෙන් ද එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ද ඉන්දියාවේ ද මැදිහත්වීමෙන් ද දෙමළ ජාතිවාදය තවමත් දේශපාලන වශයෙන් පවතියි.  එය හැකිතාක් ඉක්මණින් දේශපාලනික ව පරාජය කළ යුතු ය. එහෙත් අපට තවමත් එංගලන්තයේත් ඉන්දියාවේත් අභිලාෂය හඳුනාගැනීමට නොහැකි වී ඇත.


එංගලන්තය බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද යොදා ගනිමින් තම සංස්කෘතියට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි සිංහල බෞද්ධ සංස්කෘතිය  නැතිකිරීමට බැරිනම් දුර්වල කිරීමට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් උත්සාහ කරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වට්ටවා එ ජා ප - දෙමළ ජාතික සංධාන ආණ්ඩුවක් පිහිටුවීම උතුරට හා නැගෙනහිරට බලය බෙදාදීම එහි පළමු පියවර වෙයි. නේරුගේ ද සිහිනයක් ව පැවති ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම සැබෑකර ගැනීමට ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගනියි. එදත් අදත් ඉන්දියාවට අවශ්‍ය අන්දමට දේශපාලනය කරන නායකයෝ මෙරට වෙති. සම්බන්ධන් හා රාවුෆ් හකීම් ඉන් දෙදෙනෙක් වෙති. ඊනියා දෙමළ කතාකරන ජනයාගේ අභිලාෂය යැයි කියමින් පළමුව බලය බෙදීම, දෙවනුව සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකිරීම, තුන්වැනුව ඊළම පිහිටුවීම, හතරවැනුව දේශසීමා ගැටුම් ඔස්සේ ලංකාව හා ඊළම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම ඉන්දියාවේ අභිලාෂය වෙයි. වෛදිකයන්ගේ සදාතනික බ්‍රහ්මන් මෙන් සදාතනික බලාපොරොත්තුව වූ ලංකාවෙන් හා දකුණු ආසියාවෙන් බුදුදහම අතුරුදන්කිරීමට ඔවුන් ඒ සමග ක්‍රියා කරනු ඇත. මෙරට දෙමල ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැත. ඇත්තේ ඉංගිරිසි මකියාවේලීන්ගේ හා ඉන්දීය කෞටිල්‍යයන්ගේ ප්‍රශ්නයකි. කෞටිල්‍යයෝ එහි දී ඉංගිරිසි කතාකරන, බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වෙල්ලාලයන් යොදා ගැනීමට එදත් අදත් උත්සාහ ගනිති. එංගලන්තයට කෙසේ වෙතත් ඉන්දියාවට ප්‍රභාකරන් අවනත නො වී ය. ඔහුගේ කුලය ද ප්‍රශ්නයක් විය. ඉන්දියාව අද එයින් පාඩමක් ඉගෙන ඇත. ඔවුන් කොටින් සමග සම්බන්ධ යැයි කියන සේනාධිරාජා වෙනුවට “ උභය කුල පාරිශුද්ධ” විග්නේස්වරන් උතුරේ මහඇමති අපේක්‍ෂක ලෙස තෝරාගැනීමට සම්බන්ධන්ට ඔහුම කියන පරිදි බලකර ඇත්තේ විග්නේස්වරන්ගේ ඊනියා නීති දැනුම නිසා නොව ඉන්දියාවට ඔහු විශ්වාස බැවිනි. එහෙත් ඒ සමග දෙමළ ජාතික සංධානය කැඩී යෑම වැළැක්විය නොහැකි ය. අප අපේ පාඩම් ඉගෙන ගන්නේ නම් කෞටිල්‍යයන් ද මකියාවේලීන් ද පරාජය කිරීම මහෞෂධයනට ප්‍රශ්නයක් නො වේ.   


නලින් ද සිල්වා

2013-07-28

Thursday, 9 June 2011

ඉන්දීය බලපෑම්

ඉන්දියාව නැවතත් ලංකාවට හොට දැමීමට උත්සාහ කරයි. අපේ අසල් වැසියා වූ ඉන්දියාව අපේ මිත්‍රයෙක් නො වේ. ඉන්දියාවට අපේ ඥාති සම්බන්ධයක් තිබීමට හැකි ය. එහෙත් ඥාතීන් අතර දරුණු විරුද්ධකාරයන් සිටින බව ද අපි දනිමු. අපට හිතවත් මිතුරන්, ගුරුවරුන්, උපදේශකයන්, ශාස්තෘවරුන් ඉන්දියාවේ බිහිවී නැත. සිදුහත් කුමරු හා අශෝක රජුගේ පුත් මිහිඳු කුමරු ඉපදුණේ ඉන්දියාවේ නො වේ. සිදුහත් කුමරු ඉපදී ඇත්තේ දඹදිව මිස අඩුතරමෙන් භාරතයේවත් නො වේ යැයි මම විශ්වාස කරමි. ඉන්දියාව යනු ඉංගිරිසින් විසින් පිහිටුවන ලද රාජ්‍යයක් මිස අනාදිමත් කාලයක් තිස්සේ පවතින රාජ්‍යයක් නො වෙි.

පැරණි දඹදිවට ආර්යයන් (පඬියන්ගේ දැනගැනීම සඳහා ආර්ය සංස්කෘතිය ගෙන ආ පුද්ගලයන්) පැමිණීමෙන් පසු එකල දඹදිව තිබූ සංස්කෘතිය යම් ප්‍රමාණයකට වෙනස් කෙරිණි. ආර්යයන් අසුපිට ගොස් කරන යුද්ධවල දක්‍ෂයන් වූ නමුත් යාග හෝම ඉක්ම වූ සංස්කෘතියක් ඔවුන්ට නො තිබිණි. එහෙත් දඹදිව මනස වර්ධනය කළ භාවනා, යෝග අභ්‍යාස ආදිය ප්‍රගුණ කළ සංස්කෘතියක්් විය. ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව ආර්ය හා අනාර්ය (ආර්යයන් පැමිණීමට පෙර වූ යන අරුතින් මිස ද්‍රවිඩ යන අරුතින් නො වේ) සංස්කෘතීන් මිශ්‍රවීමෙන් වෛදික සංස්කෘතිය ද භාරතය ද බිහිවන්නට ඇතැයි සිතිය හැකි ය. සිදුහත් කුමරු උපදින සමයෙහි දඹදිව ඊසාන දිග තිබී ඇත්තේ අර්ධ වෛදික සංස්කෘතියකි. ලෞකික වශයෙන් ගත්කල බුදුන්වහන්සේත් නිඝන්ඨනාථ පුත්තයනුත්, වෛදික බ්‍රාහ්මණ සංස්කෘතියට විරුද්ධව පැරණි අනාර්ය සංස්කෘතිය නැවත ඉස්මතු කළහ. කිසි ලෙසකින්වත් මෙය බුදුන්වහන්සේගේ ලෝකෝත්තර මාර්ගය සමහ සංසන්දනය කළයුතු නො වේ. වැඩිකල් නොගොස් ම වෛදිකයෝ බුදුදහමත්, එපමණට නොවූවත් ජෛනාගමත් භාරතයෙන් පිටමං කළහ. අවසානයේ දී බුදුසසුන රැකුණේ කිසි දිනෙක අර්ධ වෛදික තත්වය නොඉක්ම වූ ලංකාවෙහි ය. යම් අයුූරකින් මිහිඳු හිමියන් වඩින විට ලංකාව වෛදික වී තිබිණි නම් බුදුසසුන ලංකාවෙහි පිහිටුවීමටවත් අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඉංගිරිසින් පැමිණීමට පෙර වෛදික භාරතය රාජවාංශික රාජධානි එකතුවක් විය. මේ එක් එක් රාජවංශයක් හා ඔවුන් විසින් පාලනය කෙරුණු ප්‍රදේශයෙහි ජනතාව එකම ජනවර්ගයකට අයත් වූ බවක් මෙයින් නො හැඟෙයි. ඇතැම් රාජවංශයක් කලක් එක් ප්‍රදේශයක් පාලනය කර පසුව ඒ ප්‍රදේශයෙහි වෙනත් රාජවංශයකට පැරදී වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී රාජධානි පිහිටුවා ගත් අවස්ථා ද ඉතිහාසයෙහි සඳහන් වෙයි. අශෝක රජු වුව ද මෞර්ය වාංශික රජකු වූ අතර ඔහු තම වංශය විසින් පාලනය කෙරුණු ප්‍රදේශය විශාල කරගත් පුද්ගලයෙක් විය. භාරතයේ කිසි දිනෙක ජාතික රාජ්‍යයක් ඇති නො වී ය. ඉංගිරිසින්ගේ ආක්‍රමණයෙන් පසු ඔවුන් ඉන්දියාවේ නෛතික ජාතික රාජ්‍යයක් ඇති කළහ. එය අංශභාග ජාතික රාජ්‍යයක් විය. රාජ්‍යයේ වැසියෝ ඉන්දියානුවෝ වූහ. එහෙත් ඔවුහු එක් භාෂාවක් පමණක් කතාකළ පිරිසක් නො වුහ. විවිධ භාෂා කතා කළ සංස්කෘතික වශයෙන් විවිධ වූ ජනතාව ඉන්දියාව නම් ඊනියා ජාතික රාජ්‍යයයෙහි කොටු වී සිටියහ. ඒ අතර මහාරාජා නමින් තමන් හඳුන්වාගත් පිරිසකගේ වාංශික රාජ්‍ය කිහිපයක් ද ඉන්දීය භූමි භාගයෙහි ම තවදුරටත් පැවතිණි. ඉන්දියාවට නිදහස ලබාදීමේ දී මේ මහාරාජාවරුන්ගේ රාජ්‍ය එකතුකිරීම පිලිබඳ ප්‍රශ්නයක් ද වූ නමුත් අවසානයේ දී ඉන්දියාව හා පකිස්ථානය නමින් රාජ්‍ය දෙකක් පිහිටුවා අවුලක් ඇතිකර ඉංගිරිසිහු නාමික ව ඉන්දියාවෙන් පිටව ගියහ.

එහෙත් වැඩිකල් නොගොස් ඉන්දියාව නමින් ඉතිරි වූ කොටසෙහි තව තවත් අවුල් පැන නැගිණි. නව ඉන්දියාව අර්ධ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් විය. එහි ප්‍රාන්ත බෙදා තිබූ අයුරු ඇතැම් ජනවර්ගවලට, විශේෂයෙන් ම දෙමළ ජනවර්ගයට, රුචි නො වී ය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට අගමැති ජවහර්ලාල් නේරු මහතාට භාෂා මත පදනම් ව (ජනවර්ග නොවන බව අවධාරණය කළ යුතු ය) ඉන්දීය රාජ්‍යය නැවතත් ප්‍රාන්තවලට බෙදීමට සිදුවිය. තමිල්නාඩුව දෙමළ භාෂාව කතාකරන ජනතාව විශාල බහුතරය වූ ප්‍රාන්තය විය. මේ අතර උතුරේ හින්දි භාෂාව කතාකරන ජනයාගේ සංඛ්‍යාව ඉතා විශාල වීම හා ඔවුන් අතිවිශාල ප්‍රදේශයක පදිංචිවීම හේතුකොටගෙන හින්දි භාෂාව කතාකරන ජනයා ප්‍රාන්ත කිහිපයකට අයත් විය. කෙසේ වෙතත් හින්දි සමස්ත ඉන්දියාවේ ම එකම රාජ්‍ය භාෂාව වෙයි. එහි ඉංගිරිසි ද නැවත තීරණයක් ගන්නා තෙක් රාජ්‍ය භාෂාවක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහෙත් ඉංගිරිසියට හින්දි භාෂාවට ඇති තැන ඉන්දියාවේ නෛතික ව නැති බව අවධාරණය කළ යුතු ය.

ලංකාවේ තත්වය මෙයට වඩා සම්පුර්ණයෙන් ම වෙනස් ය. මෙරට එක්සේසත් ජාතික රාජ්‍යයක් පළමුවරට ඇතිවූයේ පණ්ඩුකාභය රජු දවස ය. එකළ ධනපති ක්‍රමයක් තිබුණේ ද යන්න ජාතික රාජ්‍ය පහළ වූයේ ධනපති ක්‍රමය බිහිවීමෙන් පසුව යැයි සුද්දන්ගෙන් උගත් වඳ අනුකාරකයකුට සුදුසු ප්‍රශ්නයකි. ඇතැමි අවස්ථාවල ඈප කෙනකු නැත්නම් මාපා කෙනකු බලවත් වී රජුට විරුද්ධ ව කැරළි ගසා “ප්‍රාන්ත රාජ්‍ය” පිහිටුවා ගත් අවස්ථා ද නැතිවා නො වේ. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් එළාර එවැන්නකුවත් නොවූ බව ය. ඔහු විජිතපුරය මධ්‍යස්ථානය කරගත් විදේශික ආක්‍රමණියකු පමණක් විය. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ එක්සේසත් ජාතික රාජ්‍යය පිහිට වූ අතර මෙරට අලිඛිත ව්‍යවස්ථාව ද සම්පාදනය කළේ ය. 1506 දී මෙරටට පැමිණි පෘතුගීසීන්ට එක්සේසත් රාජ්‍යය යන්න අවබෝධ කරගත නොහැකි වූ බැවින් ඔවුහු යුරෝපීය දෘෂ්ටි කෝණයකින් ඒ සඳහා විවිධ අර්ථකථන සැපයුහ. 1650න් පසුව ලන්දේසීන් මෙරටට කෝරමණඩල වෙරළින් ගෙන ආ කෘෂිකාර්මික කම්කරුවෝ (වෙල්ලාලයෝ) සිංහල සංස්කෘතියට එක්වීමෙන් වළකනු ලැබූහ. එතෙක් මෙරට සංක්‍රමණය වූවෝ සිංහල සංස්කෘතිය තුළ කිඳා බැස ගත්හ. ලන්දේසීන් තොග වශයෙන් ගෙන් වූ වෙල්ලාලයෝ යථා කාලයේ දී යාපනයේ විසූ සිංහලයන් දෙමළ සංස්කෘතියට ඇතුල් කරමින් වර්තමාන දෙමළ ජනවර්ගය ඇතිකිරීමට මුල් පියවර ගත්හ. එදා ද ඉන්පසු ඉංගිරිසින්ගේ ද අද දෙමළ ජාතිවාදීන්ගේ ද (ඇතැම් සිංහලයෝ ද ඒ ගණයට අයත් වෙති) අවශ්‍යතාව වී ඇත්තේ මේ දෙමළ පිරිස ගොඩනගා ඇති ජාතියට ඇතුල්වීම වැළැක්වීම ය. අද ඇත්තේ ඊනියා ජාතියක් ගොඩනැගීමේ ප්‍රශ්නයක් නොව ගොඩනගා ඇති ජාතියෙන් පිරිසක් බැහැර කිරීමට බටහිරයන් හා ඉන්දියානුවන් ක්‍රියා කිරීම ය.

පැහැදිලිව ම ඉන්දියාවේ හා ලංකාවේ රාජ්‍යය පිළිබඳ ඉතිහාසය වෙනස් ය. එබැවින් ඉන්දියාවේ ප්‍රාන්ත විසඳුම අපට කිසිසේත් නො ගැළපේ. එයට අමතරව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරටට නොගැලපීම පිළිබඳ කලින් ලියා ඇති තවත් කරුණු ද වෙයි. දහතුන්වැනි සංශෝධනය ඉන්දියාව අප මත බලෙන් පැටවුවකි. ංද ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ පොලිස් බලතල හා ඉඩම් බලතල ද ක්‍ර්‍රියාත්මක කර දහතුනට ද එහා යන ඊනියා විසඳුමක් ක්‍රියාත්මක කිරීම ය. ලංකාව සම්බන්ධ ප්‍රතිපත්තියේ දී ඉන්දියාව කරුණු දෙකක් මත පදනම් වෙයි. එකක් ඉන්දියාවට කලාපීය සුපිරි බලවතා වීමට ඇති අවශ්‍යතාව ය. අනෙක තමිල්නාඩුවේ බලපෑම ය. ඉන්දියාවට තම පැවැත්ම සඳහා ම ඇතැම් විට තමිල්නාඩුවේ ඉල්ලීම්වලට හිස නැමීමට සිදුවෙයි. ඉන් පැහැදිලිවන්නේ ඊනියා භාෂාව මත නිල වශයෙනුත් නොනිල වශයෙන් ජනවර්ග මත පදනම් වී ප්‍රාන්ත සභා ඇතිකිරීම ඉන්දියාව ගත් වැරදි ක්‍රියා මාර්ගයක් බව ය. අප ඉන්දියාවේ බලපෑම මත එරටට ද හිසරදයක් වී ඇති ව්‍යවස්ථාවක් අනුකරනය කළ යුත්තේ ඇයි?

අනෙක් අතට සිංහල ජනයා දහතුනට විරෝධය පළකර ඇත්තේ එක්වරක් පමණක් නො වේ. ඉන්දියාව දහතුනට එහා යන සංශෝධනයක් අපෙන් බලාපොරෙත්තු වන්නේ සිංහලයන්ගේ විරෝධතාව තුට්ටුකට මායිම් නොකරමිනි. ආණ්ඩු ප්‍රභාකරන් පරාජය කළේ එක් පැත්තකින් පොලිස් බලතල ඉඩම් බලතල දීමට එකඟ වීමට නොහැකි බැවිනි. දහතුනට එහා යන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇතැම් විට තාවකාලික ව ඉන්දියාවේ සහාය ඇතිව ඊනියා සාමයක් ඇතිකිරීමට තිබිණි. එහෙත් සිංහලයෝ එයට විරුද්ධ වූහ. ආණ්ඩුව ප්‍රභාකරන් පරාජය කළේ පොලිස් බලතල දීමට නොහැකි බැවිනි. ඒ අරමුණින් කොටින්ට විරුද්ධව සටන් කර කොටි පැරද වූ ආණ්ඩුවට අද ඉන්දියාව කියන්නේ පොලිස් බලතල හා වෙනත් බලතල දෙන ලෙස ය. මෙහි ඇති න්‍යාය (logic) කුමක් ද? ඊනියා දෙවැනි ලෝකය ජයගැනීමෙන් පසු එංගලන්තයට රුසියාවට ඇමරිකාවට තමන් දිනූ ප්‍රදේශ ආපසු දෙන ලෙස කීවේ නම් කුමක් සිදුවීමට තිබිණි ද? පොලිස් බලතල, ඉඩම් බලතල ආදිය දීමට විරුද්ධව කොටින්ට එරෙහි ව මෙහෙයුම් ජයගැනීමෙන් පසු ඉන්දියාව ඒ කොටින්ට ම පොලිස් බලතල දෙන්න යැයි අපට කරන බලපෑමට අප මුහුණ දිය යුත්තේ ඒ බලපෑම මුළුමනින් ම පරාජය කිරීමෙනි. ඉන්දියාව නිදහස දිනාගත් කාලයේ සිටම සූදානම් වූයේ කලාපයේ බලවතා වී අප රට තවත් භූතානයක් කිරීමට ය. ඒ වැරදී යෑමෙන් පසුව ද ඉන්දියාව තවමත් තම ප්‍රයත්නය අත්හැර දමා නැත. අද දෙමළ ජාතිවාදයට පැවැත්මක් ඇත්තේ බටහිරයන් හා ඉන්දියානුවන් එය පසුපස සිටින බැවින් මිස වෙනත් හේතුවක් නිසා නො වේ. ඉන්දියාවේ කෞටිල්‍යයෝ ලංකාව තම ග්‍රහණය යටතේ තබාගැනීමට වෑයම් කරති. මේ කෞටිල්‍යයන් පරාජය කිරීමට පැරණි පැකේජ් ඇමතිවරුන්ට හැකි ද යන්න අද ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව පැරණි පැකේජ් ඇමතිවරු දහතුනේ ගෝලයන් වීම ය.