Main Logo

Showing posts with label වර්ජන. Show all posts
Showing posts with label වර්ජන. Show all posts

Sunday, 18 November 2012

සරසවි ඇදුරන්ගේ ව්‍යාජ ඉල්ලීම් හා දෙමළ ජාතිවාදය

අද වන විට සරසවි ඇදුරන්ගේ ඉල්ලීම්වල ව්‍යාජත්වය හෙළිදරවු වී ඇත. මේ වන විට පවත්නා ඇදුරු වර්ජනය 2010 ඔවුන් විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහි දී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ වැටුප් වැඩිකිරීම ය. එහෙත් 2011 මාර්තු මස පැවති සංකේත වර්ජනයේ දී තවත් ඉල්ලීමක් ඉදිරිපත් විය. එය 6% ඉල්ලීම විය. අද වන විට මෙරට අධ්‍යාපනයේ මහා අර්බුදයක් ඇතැයි කියමින් 6% වටා ජනතාව ඒකරාශි කිරීමේ අසාර්ථක උත්සාහයක ඇදුරු නායකයෝ යෙදී සිටිති. මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් ඇති බවට ගෙනෙන සාක්‍ෂි අතර උපකාරක පංති වටා රොක්වන සිසුන් ද කොළඹ පාසල්වලට සිසුන් ගෙන යන වෑන් රථ ද ඇතැම් පාසල්වල අඩුපාඩුකම් හා ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යෑම ද වෙයි. මේ එකක්වත් අධ්‍යාපනයේ ඇතැයි කියන අර්බුදයට සාක්‍ෂි නො වේ. දැනට අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ රාජකීය විදුහලේ සිසුහු ද උපකාර පංතිවල සහාය පතති. එයින් කියැවෙන්නේ රාජකීය විදුහලේ අධ්‍යාපනය කඩා වැටී ඇති බව ද? දැනට දශක ගණනක් තිසසේ පළල් වූ මධ්‍යම පංතියක් මෙරට වෙයි. මේ මධ්‍යම පංතියට කොළඹ හා නාගරික පාසල්වලට තම දරුවන් යැවීමේ හැකියාව ලැබී ඇත. ඒ අතර අධ්‍යාපනය හා මෙරට ආර්ථිකය අතර කිසිම සම්බන්ධයක් නැත. අධ්‍යාපනය අද පවත්නා ආකාරයෙන් අපට උරුම වී ඇත්තේ දේශීය සම්ප්‍රදායක නොව ඉංගිරිසින්ගේ හා බටහිර නූතනත්වයේ අවශ්‍යතාව පරිදි රැකියාවන්ට සිසුන් පුහුණු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ය. අපේ ආර්ථිකය ද එලෙස ම බටහිර අනුකරණය කිරීමේ දිශාවකට යොමු වී ඇත. අද බටහිර රටවල ද අධ්‍යාපනය හා ආර්ථිකය අතර තිබූ පැරණි සම්බන්ධය බිඳ වැටෙමින් පවතියි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එකල උපාධියක් ලබාගැනීම සඳහා අවුරුදු තුනක් නේවාසිකව ගතකර අදාළ විද්‍යාලවල (විශ්වවිද්‍යාලයෙහි ට්‍රිනිටි ආදී විද්‍යාල) තිබූ ගුරු උපකාරවල පිහිට ලබාගැනීම අවශ්‍ය වූ නමුත් අද තෘතීයික අධ්‍යාපනික සුදුසුකම් වෙනත් ආයතනයකින් ලබාගන්නා සිසුන්ට ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි අවුරුද්දක් පමණක් ගතකර කේම්බ්‍රිජ් උපාධියක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත. අද බටහිර ආර්ථිකයට අවශ්‍ය වන්නේ ශාස්ත්‍රවන්තයන් (ස්කොලර්ස් යන අරුතින්), ඊනියා විද්‍යාඥයන් ආදීන් නොව වෘත්තීයකයන් ය. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටීමේ ලක්‍ෂණයකි. යුරෝපීය වැඩවසම් ක්‍රමයෙහි බිහි වූ බටහිර විශ්වවිද්‍යාලවලට නූතනත්වයට මුහුණ දීමේ දී වෙනස්කම් කිරීමට සිදු වී ඇත.

බටහිර විශ්වවිද්‍යාලවල ආරම්භයේ සිට ශාස්ත්‍රවන්තයට හා ඊනියා විද්‍යාඥයන්ට අමතර ව නව දැනුම නිපදවූවෝ සිටිය හ. දැනුදු සිටිති. එහෙත් මෙරට විශ්වවි්ද්‍යාල ආයතනය 1921 දී පිහිටුවනු ලැබුයේත් දහනවවැනි සියවසේ දී නීති විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබුයේත් හුදෙක් පරික්‍ෂණවලට සිසුන් පුහුණු කරන ආයතන ලෙස ය. 1942 දී මේ ආයතන තුන එක්කර (නීති විද්‍යාලය එසේම පවත්වාගෙන යන අතර) ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුයේත් පසුව කාර්මික විද්‍යාලය ඇසුරෙන් ඉංජිනේරු පීඨය පිහිටුවනු ලැබුයේත් දැනුම නිර්මාණය කරන්නන් බිහිකිරීමට නොව බටහිරින් ලැබෙන දැනුම ඉගෙන එය අනුකරණය කරන්නන් බිහිකිරීම සඳහා ය. ඒ අතර අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කිරීමට බැරිකම ද වෙයි. ඒ හේතුවල ප්‍රතිඵලය වූයේ ලංකා විශ්වවිද්‍යාලයෙන් බටහිර දැනුම අනුකරණය කරන ශාස්ත්‍රවන්තයන් හා ඊනියා විද්‍යාඥයන් බිහි කිරීම ය. අපේ සම්ප්‍රදායෙහි දැනුම නිර්මාණය කිරීමක් ගැන එකල කිසිවෙක් කතා නො කළහ. අවාසනාවකට විිද්‍යොදය හා විද්‍යාලංකාර පිරීවෙන් විශ්වවි්‍යාල බවට පත්වීමෙන් පසුව ඒ ආයතන ද ලංකා විශ්වවිද්‍යාලය අනුකරණය කර ආයතන පමණක් බවට පත්විය. මෙරට සමස්ත අධ්‍යාපනයෙහි ම ඇත්තේ අපට නොගැලපෙන අධ්‍යාපනයක් අපට ඔරොත්තු නො දෙන ආර්ථිකයක ලබා දීම ය. එහෙත් ඇදුරන්ගේ සමිති නායකයෝ එවැනි අර්බුදයක් ගැන කතා නො කරති. ඔවුන් කතාකරන්නේ ව්‍යාජ අර්බුදයක් ගැන ය. ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යන්නේ ගම්වල දෙමව්පියන්ට ද තම දරුවන් නාගරික පාසල්වලට යැවීමේ හැකියාව ලැබීම නිසා ය. මේ අතර පෙනී යන කරුණක් නම් බටහිර අර්ථයෙන් අද පාසල් දියුණු වී ඇති බව ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලට ද පිහිණුම් තටාකයක් නො වී ය. අද පිහිණුම් තටාක නාගරික පාසල් බොහොමයක ඇති අතර පාසල් සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් බවට පිහිණුම් තටාක පත් වී ඇත. සමස්තයක් ලෙස ගතහොත් අද පාසල්වල ද විශ්වවිද්‍යාලවල ද පහසුකම් වර්ධනය වී ඇත. සෑම දේශනාගාරයක ම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ නැතිවා විය හැකි ය. එහෙත් දක්‍ෂ ගුරුවරයකුට කළු ලෑල්ල හා හුණු කෑල්ල පමණක් ප්‍රමාණවත් වෙයි. අද පරිගණක නැති පීඨයක් විශ්වවිද්‍යාලවල නැත. එහෙත් පරිගණක හා වෙනත් උපකරන ඔස්සේ අප බටහිරට කෙතරම් ගැතිවන්නේ ද යන්න බොහෝ ඇදුරන්ගේ අවධානයට යොමු නො වෙයි. කෙටියෙන් කියන්නේ නම් මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් වෙයි. එය බටහිර අනුකරණය කරන පුහු ශාස්ත්‍රවන්තයන් හා තුන්වැනි පංතියේ විද්‍යාඥයන් බිහිකිරීමට පමණක් අධ්‍යාපනය යොමු වී තිබීම නිසා හටගත්තක් වෙයි. එහෙත් අරසවි ඇදුරන් කතාකරන්නේ එවැනි අර්බුදයක් ගැන නො වේ. ඔවුන්ට අනුව අර්බුදයක් ඇත. ඒ අර්බුදය රජය අධ්‍යාපනයට මුදල් වියදම් නොකිරීම නිසා සිදුවන්නකි. එහෙත් රජය අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන්නේ යැයි පෙන්වීමට ඔවුහු අසමත් වෙති. යුනෙස්කෝ වාර්තාවෙහි කිසි තැනක රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි සඳහන් නො වේ. එසේ සඳහන් වී නැති බව පෙන්වූ විට ඔවුහු අරුම පුදුම තර්කයක් ඉදිරිපත් කරති. එනෙම් යූනෙස්කෝ රැස්වීම්වලට සහභාගිවන්නේ ඒ ඒ රටවල ඇමතිවරුන් බැවින් එහි සඳහන් වන්නේ රජය වියදම් කළ යුතු මුදල් බව ය. යුනෙස්කෝ රුස්වීම්වලට පෞද්ගලික අංශයෙන් සහභාගි නොවීම හේතුවෙන් එවැනි නිගමනයකට පැමිණිය හැක්කේ අනුකාරක පුහු ඇදුරකුට පමණ ය.

ආදායම් නූපදවන රජයේ ආයතනවලින් වැඩිම වැටුපක් ලබන්නෝ සරසවි ඇදුරෝ ය. අද වන විට මහාචාර්යවරයකුගේ වැටුප එක් ලක්‍ෂ පනස්දාහක් පමණක් වෙයි. ඇදුරන් කියන්නේ වැටුප් වැඩිකිරීමෙන් දක්‍ෂයන් විශ්වවිිද්‍යාලවලට බඳවාගත හැකි බව ය. එය පට්ටපල් බොරුවකි. 1993 දී ඇදුරන්ගේ වැටුප 200%කින් පමණ වැඩි වුවත් ඒ හේතුවෙන් බටහිර රටක ජීවත් වූ කිසිවෙක් අප රට විශ්විිද්‍යාලවලට නො බැඳුන හ. ඒ අතර අදත් පර්ිවාස කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ දී ප්‍රථම පංති සාමාර්ථ දිනාගත් අටදුම්කරුවෝ රාශියක් ඉල්ලුම් කරති. බඳවා ගැනීම හා රඳවා ගැනීමත් වැටුප්් වැඩිකිරීමත් අතර සම්බන්ධයක් නැත. එසේ ඇතැයි කීම ජනතාව මුලාකිරීමට සරසවි ඇදුරන් යොදාගත් උප්පරවැට්ටියක් පමණකි. ඇදුරන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කරගැනීමට නොහැකි වූ විට ඔවුහු 6% හි එල්ලුණහ. මේ ඉල්ලීම සමිති සම්මේලනය ඉදිරිපත් කළේ තම සාමාජිකයන් වූ වෘත්තිය සමිතිවල අදහස් නො විමසා ය. එය සම්මේලනයේ ව්‍යවස්ථාවට ද පටහැණි ය. එබැවින් ම එය නීති විරෝධී ය. අනෙක් අතට වෘත්තීය සමිති අරගලයක් ඇරඹීමෙන් පසු තව තවත් ඉල්ලීම් එකතු කිරීම සදාචාර විරෝධී ය. සම්මේලනයේ නායකයාට සදාචාරයක් නැතිවිට එය එසේ වීම අරුමයක් ද නො වේ. ඊනියා යුනෙස්කෝ වාර්තා ගැන කතාකරමින් ආණ්ඩුව අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නැතැයි බොරු කියමින් ඉදිරිපත් කරන ලද එය ඔවුන්ගේ ඉල්ලීමක් පමණක් නො වී ය. ඉල්ලීම පිටුපස පරාජිත දේශපාලනඥයෝ වූහ. එ ජා පක්‍ෂ ආණ්ඩු තිබූ සමයෙහි රජය අධ්‍යාපනයට වෙන්කරන ලද මූදල් අඩු වූ නමුත් එ ජා ප නායකයෝ නිර්ලජ්ජිතව 6% ඉල්ලූහ. පාසල් ගිනිතබා ඇදුරන් හා සිසුන් මරා අධ්‍යාපනය කඩා කප්පල් කළ ජ වි පෙ නායකයෝ ද අධ්‍යාපනය දියුණු කිරීමට යැයි කියමින් 6% වටා එල්ලුණ හ. තම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම යුක්තියුක්ත කිරීමට නොහැකි වූ ඇදුරෝ විජාතික බලවේගවල මෙහෙයවීමෙන් ජනතාව ආකර්ෂණය කරගැනීම සඳහා වෘත්තීය සමිති අරගලය ආරම්භ කර ටික කලක් ගත වීමෙන් පසුව සදාචාර විරෝධී ව 6% ඉල්ලුහ. මෙරට විජාතික බලවේග ඇදුරන් හරහා ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව පැහැදිලි විය. ඔවුහු අධ්‍යාපනයෙහි නැති අර්බුදයක් මවා පෑහ. විජාතික බලවේගවලට අවශ්‍ය වූයේ මළ කඳන් ය. අරාබි වසන්තය ඔවුන්ගේ ආදර්ශය විය. ඔවුහු මාස තුනක් තිස්සේ වැඩවර්ජනයක් ගෙන යෑමට ඇදුරන්ට උපකාර කළහ. පැහැදිලිව ම අද ඇදුරු සම්මේලනයට බාහිර අරමුදල් ලැබෙයි. බාල තම්පෝ ප්‍රසිද්ධියේ ම ඇදුරන්ට රුපියල් ලක්‍ෂ පහක් දී ඇත. අප්‍රසිද්ධියේ දී ඇති අරමුදල් කවරේ ද? මේ අරමුදල් පිළිබඳ කිසිම පාරදෘශ්‍යභාවයක් නැත. රජය මේ අරමුදල් පිළිබඳ විමසා බැලිය යුත්තේ මෙය හුදෙක් වෘත්තීය සමිති අරගලයක් නොවීම නිසා ය. විජාතික බලවේග සරසවි ඇදුරන් පිටුපස සිටින්නේ ඇයි? ඇතැම් ඇදුරෝ විශේෂයෙන් ම ඇදුරියෝ අධ්‍යයනික වසන්තයක් ගැන කතා කළේ අරාබි වසන්තය සිහිකරමිනි.

විජාතික බලවේගවලට අවශ්‍ය මේ ආණ්ඩුව වැට්ටවීම ය. එයට හේතුවක් වෙයි. ඒ වෙනත් කිසිවක් නොව මේ ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ය. බටහිරයෝ අරාබිකරයේ වේවා ආසියාවේ වෙනත් තැන්වල වේවා තමන් කැමති නැති ආණ්ඩු පවත්වාගෙන යෑමට අවස්ථාව නො දෙති. අද බටහිරයෝ හා මෙරට විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බලයෙන් පහකිරීමට කටයුතු කරති. කටුනායක සිද්ධිය එහි පළමු අවස්ථාවේ විය.  එහි දී මිනිස් බිල්ලක් ගත් නමුත් එය දිගින් දිගට නො ගියේ ය. අද මේ බලවේග සිංහල බෞද්ධ සංස්කෘතිය මැඩලීම සඳහා ඇදුරන් යොදා ගනියි. ඇදුරු සම්මේලනයේ සභාපතිවරයා පසුගිය අවුරුදු පහළොවක පමණ කාලයක ක්‍රියාකර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව ය. කිසිසේත් ම යුක්තියුක්තකළ නොහැකි ඉල්ලීම් පදනම් කරගනිමින් නැති අර්බුදයක් මවාපාමින් හැකිනම් ජනතාව ආකර්ෂණය කරමින් බටහිරයන්ගේ අණට කීකරු නොවී ත්‍රස්තවාදය පැරදවූ ආණ්ඩුව වැට්ටවීමට බටහිර බලවේග හා මෙරට විජාතික සිංහල විරෝධී බලවේග අද ඇදුරන් යොදාගනියි. අද සම්මේලනයේ නායකයෝ තම සමිති නොවිමසා ම තම ව්‍යාජ ප්‍රශ්නය එක්සත් ජාතින්ගේ සංවිධානයට ගෙන යති. මේ නායකයන්ට අවශ්‍ය කුමක් දැයි ඉතා පැහැදිලි ය. දෙමළ ජාතිවාදය දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නිසා ඇතිවූවක් නොවන බවත් බටහිරයන් නිර්මාණය කළ එකක් බවත් අපි කීවෙමු. අද එය සනාථ වී ඇත. එලෙස ම ඇදුරන්ගේ ප්‍රශ්නය ද ව්‍යාජ ප්‍රශ්නයක් බවත් එහි පිටුපස ඇත්තේ විජාතික බලවේග බවත් පැහැදිලි ය. ඇදුරන්ගේ ප්‍රශ්නය ව්‍යාජයක් වුවත් ආණ්ඩුව සමග සම්බන්ධ ඇදුරන් තිදෙනක් ආණ්ඩුව නොමග යවමින් සම්මේලනයට නොයෙකුත් දේ ලබාදීමට පසුගිය කාලයේ කටයුතු කළහ. අද ඔවුන්ගෙන් එක් අයකු හැළී ඇත. එමෙන් ම අද ආණ්ඩුව දන්නා කරුණක් නම් ඒ ඇදුරන් දෙදෙනා ආණ්ඩු නොමග යැවූ අය බව ය. අධ්‍යාපනය සඳහා ආණ්ඩුව හැකි ප්‍රමාණයෙන් මුදල් වියදම් කරයි.  ආණ්ඩුවට අධ්‍යාපනයට පමණක් නොව වෙනත් කටයුතු සඳහා ද මුදල් වැය කිරීමට සිදුවෙයි. ඉන් ප්‍රධාන ම එක වනුයේ රටේ ආරක්‍ෂාව ය. අද විජාතික බලවේග විසින් මෙහෙයවෙන සම්මේලනයේ නායකයන්ට අවශ්‍ය ඊනියා 6% ගැන කියමින් හැකිනම් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කරන මුදල් අඩු කිරීම ය. අද ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි සම්මේලනයේ ඉල්ලීම් ව්‍යාජ ඒවා වීමත්, අර ඇදුරන් දෙදෙනා ආණ්ඩුවේ කපටි ආරක්‍ෂයන් බව ආණ්ඩුව තේරුම් ගැනීමත්, තවත් දිය හැකි දෙයක් නැතිවීමත්, සම්මේලනය අධ්‍යාපනයේ ව්‍යාජ අර්බුදයක් මවාපාමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බව ආණ්ඩුව දැන් දන්නා නිසාත් ය. නීති විරෝධීව ඇදුරන් උසස් පෙළ ඇගයීම්වලින් වළක්වන සම්මේලනය අද පෞද්ගලික ආයතනවල දේශන පැවැත්වීමට ඇතැම් වර්ජිත ඇදුරන්ට ඉඩ දී ඇත. අවුරුදු හතළිහක් පමණ කාලයක් තිසසේ ඇදුරු වර්ජනවලට විරුද්ධ වූ සිංහල බෞද්ධ විරෝධී ඇදුරෙක් අද වර්ජනයට සහාය දෙමින් විශ්වවිද්‍යාල වසා තැබීමට අනුබල දෙන්නේ එමගින් තම ආයතනයට සිසුන් බඳවා ගැනීමට ය. ඇදුරු නායකයන්ට අද තම නිරුවත වසාගැනීමට නොහැකි වී ඇත.

Saturday, 2 July 2011

ජ වි පෙ හා ජර්මන් තානාපතිගේ මොණර රැඟුම

බටහිර රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින බොහෝ තානාපතිවරුන් සිතන්නේ ලංකාව ඔවුන්ගේ පිළිකන්නය කියා ය. අප රට කරවන්නේ කෙසේ ද? මෙරට තිබෙන ප්‍රශ්න කවරේ ද, ඒවාට විසඳුම් මොනවාද ආදී දහසක් දේ පිළිබඳ උපදෙස් අපට ඔවුන්ගෙන් ලැබේ. ඒ උපදෙස් අප පිළිගත යුතු යැයි ඔවුහු තරයේ විශ්වාස කරති. ඇතැම් විට උපදෙස් නොපිළිපදින්නේ යැයි ඔවුන්ට තේරුම් ගියහොත් ඔවුහු අපට තර්ජනය කරති. අපේ ආර්ථිකය, ඇත්තට ම අප අනුගමනය කරන අප රටේ ඇති ඔවුන්ගේ තකතීරු ආර්ථිකය, විනාශ කිරීමට කටයුතු කරති. ඇඟලුම් ප්‍රශ්නයේ දී යුරෝපීය හවුල හැසුරුණු ආකාරය එයට කදිම නිදසුනක් වෙයි. එහෙත් යුරෝපීයයෝ හා අනෙක් බටහිරයෝ අප රටේ සුවිශේෂත්වය නො දනිති. ආර්ථික සම්බාධක පැමිණවීමෙන් පමණක් අප වැට්ටවීමට නොහැකි බව ද ඔවුහු නො දනිති.

බටහිරයෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන්ගේ අණසකට යටත් නොවන බව දනිති. එහෙත් බටහිරයන් තමන්ගේ් අරමුණ කරා හෙමින් හෙමින් වුවත් යති. ඒ අරමුණ අන් කිසිවක් නොව මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීීම ය. ඒ අරමුණ ඉටුකර ගැනීමට ඔවුන් නොකරණ දෙයක් නැත. එය ආක්‍රමණයක් කරා වුවද යා හැකි ය. බටහිරයන්ට එහි දී අවශ්‍ය වනු ඇත්තේ ආක්‍රමණයට නිමිත්තක් පමණ ය. මෙරට බටහිරයන්  දියත් කිරීමට නියමිත ආක්‍රමණයෙහි නිමිත්ත සෙවීම හෝ සකස් කිරීම හෝ මේ දිනවල එ ජා පක්‍ෂයෙහි ද ජ වි පෙරමුණෙහි ද කාර්යභාරය වී ඇත. රජය පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සකස්කර ඇති විශ්‍රාම වැටුප් පනතට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ජ වි පෙරමුණ හා එ ජා පක්‍ෂය සමත් විය. ඒ හේතුවෙන් අහිංසක සේවකයෙක් ද මියගියේ ය. ඒ පිළිබඳ ව ජ වි පෙ හා එ ජා ප සමහරුන් හැරෙන්නට අනෙක් සියල්ලන් ම කණගාටුවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. ඊනියා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් ද උද්ඝෝෂණවලට සහභාගි වී ඇති බව පැහැදිලි ය. උද්ඝෝෂකයන් පළමුවෙන් පහර දී තිබුණේ අවි රහිත පොලිස් නිලධාරීන්ට වීම මෙහි දී වැදගත් කරුණක් වෙයි. පොලීසිය මෙයට වඩා කල්පනාකාරී ව හැසුරිණි නම් මේ විනාශය මගහරවා ගැනතමට තිබිණි. එහෙත් එපමණකින් මරණයේ වගකීම ජ වි පෙරමුණෙන් අත් නො හැරෙයි.

ජ වි පෙ අද යැපෙන්නේත් එදා යැපුනේත් රැකියා විරහිත හා අඩු ආදායම්ලාභී ආවේගශීලී තරුණයන් මත ය. එහෙත් මේ තරුණයන් ජ වි පෙ සාමාජිකයන් වන්නේ යැයි වරදවා වටහා ගත යුතු නො වේ. මේ තරුණයෝ බොහෝ විට ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන පවුල්පල දරුවෝ වෙති. දරුවන්් ද බොහෝ විට ඡන්දය දෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට ය. එහෙත් ඇතැම් අවස්ථාවල දී ඔවුන් තම දේශපාලන අරමුණු සඳහා යොදවා ගැනීමට ජ වි පෙරමුණට හැකියාවක් ඇත. මේ තරුණයන් පමණක් නොව උගතුන් යැයි සම්මත පිරිස් ද තම වුවමනාවන් වෙනුවෙන් යොදාගැනීමට ජ වි පෙරමුණට ඇතැම් අවස්ථාවල හැකිවෙයි. මෙය ඊනියා උගතුන්ට නොතේරෙන කරුණක් විය හැකි ය. දොශපාලන අත්දැකීම් නොමැති උගතුන් ද බළල් අත්කරවා ගැනීම ජ වි පෙරමුණට නොහැකි කාර්යයක් නො වේ.  

මිනිසුන්ගේ දේශපාලන ක්‍රියාවලි ඉතා සංකීර්ණ ය. පෞද්ගලිකත්වය ඉස්මතු කරන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් මුළු මහත් සමාජය ම මෙන් ආත්මාර්ථකාරී කෙරී ඇත. එය විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරයාගේ සිට ඇඟලුම් සේවකයා දක්වා ම එකලෙස ක්‍රියාත්මක වෙයි. එයට හේතුව පුද්ගලාභිමාර්ථ වශයෙන් ගත්කල ඔවුන් අතර ගුණාත්මක වෙනසක් නොමැති බැවිනි. ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර ඇත්තේ ප්‍රමාණාත්මක වෙනසක් පමණකි. එක් අයකුට මෝටර් බයිසිකලයක් අවශ්‍ය වන අතර අනෙකාට මොන්ටෙරෝ රථයක් අවශ්‍ය වෙයි. බටහිර අධ්‍යාපනය යොමු වී ඇත්තේ සහතික පත් ඇති ඊනියා ලොක්කන් බිහිකිරීමට මිස මිනිසුන් බිහිකිරීමට නොවන බැවින් මේ තත්වය උද්ගත වී ඇත. මැතිවරණයක දී ඡන්දය දීම හා ඊනියා උද්ඝෝෂණවලට සහභාගි වීම එකක් නොව දෙකකි. ශ්‍රී ල නි පක්‍ෂයට මැතිවරණයක දී ඡන්දය දෙන අයකු තම වැටුප පිළිබඳ ප්‍රශ්නයක දී ආණ්ඩු විරෝධී (ඒ එසේ නොවේ යැයි කීව ද අවසානයේ දී සිදුවන්නේ එයයි) ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන්නේ රට හැටියට නොව පුද්ගලයා ලෙස සිතීමෙනි. ඉතා වැඩි පිරිසකට අවශ්‍ය වන්නේ තම පෞද්ගලික වැටුප හා සේවා පහසුකම් වැඩිකරගැනීම මිස එසේ කිරීමේ දී රටට කුමක් වේද යන්න නො වේ. රටට නොව තම ආයතනයේ සේවය කරන අනෙක් අයගේ වැටුපට කුමක් වේ ද තම වැටුප පමණක් වැඩිකර ගැනීමෙන් ආයතනයේ ස්ථායිතාවට කුමක් වේද යන්න පිළිබඳව සිතන අය කෙතෙක් වෙත් ද? ජ වි පෙරමුණට ඒ පිළිබඳ ෙසෙද්ධාන්තික විශ්ලේෂණයක් නැතිවුවත් ඔවුහු තම පැවැත්ම සඳහා ආයතන අස්ථායි කිරීමට ක්‍රියාකරන බව පැහැදිලි ය.

රට ගැන නොසිතා තම වැටුප ගැන පමණක් සිතන පිරිස වැඩි බැවින් ජ වි පෙරමුණට තම අරමුණු ඉටු කරගැනීම සඳහා යොදාගත හැකි පිරිස් සෑම තැනක ම ඇත. මේ පිරිසගෙන් ඇසුවහොත් ඔවුන් කියනු ඇත්තේ ඔවුන්ගේ උද්ඝෝෂණ හා වෙනත් ක්‍රියාමාර්ග දේශපාලනික නොවන බවත් ඒ හුදෙක් වැටුප් වැඩිකිරීම් හා සේවා පහසුකම් වැඩිකිරීම් සඳහා බවත් ය. එය ඇත්තකි. ඔවුන්ට දේශපාලනික වශයෙන් ජ වි පෙරමුණට ආධාර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. එසේ වුව ද ඔවුහු නොදැනුවත් ම ජ වි පෙරමුණේ අතකොළු බවට පත්වෙති. එහි දී අතකොළුව බවට මහාචාර්යවරයා මෙන් ම ඇඟලුම් සේවකයා ද පත්වෙයි. ඊනියා උගත්කම එහි දී බලනොපායි. උගතුන් ඉත්තන් කරගැනීමට නොහැකිය යන මුසාවක් පමණකි. රට ගැන හෝ ආයතනය ගැන හෝ නොතකා තම පුද්ගල සාධකය ගැන පමණක් සිතන උගතකු වුව ද ඉත්තකු බවට පත්වීමට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. ජ වි පෙරමුණට අවශ්‍ය වන්නේ රට ගැන හෝ ආයතනය ගැන හෝ නොසිතා තමා ගැන (තම පවුල ගැන) පමණක් සිතන පුද්ගලයෙකි. ඒ පුද්ගලයාගේ දේශපාලනය ජ වි පෙරමුණට සාධකයක් නො වේ. ජ වි පෙ ඒ ඒ සටන්වලදී තම සාමාජිකයන් යොදවන ආකාරය ඉතා හොඳින් දනියි. ඔවුහු කටුනායක උද්ඝෝෂණවලට විශ්වවිද්‍යාල සිසුන් හා වෙනත් ආයතනවල වැඩකරන හෝ නොකරන හෝ හිතවතුන් සාමාජිකයන් යැවූහ. සරසවි ඇදුරන් අතර ඔවුන් ක්‍රියාකාරි වන්නේ වෙනත් ම ක්‍රමයකට ය.

ජ විපෙ මෑතක සිට ක්‍රියාකරන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි ය. බටහිරයන් අද බලා සිටින්නේ අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ සඳහා නිමිත්තකි. ඔවුන්ට ඒ සඳහා ඉතා තදියමක් ඇති බව ලංකාවේ ජර්මන් තානාපති ක්‍රියාකළ ආකාරයෙන් පෙනී යයි. කටුනායක ප්‍රදේශයේ ජර්මන් ජාතිකයන්ට සම්බන්ධකම් ඇති ආයතනවලට පොලීසිය පහර දී ඇත්තේ ඇයි දැයි තානාපතිවරයා අසා ඇත්තේ මෙරට විදේශ කටයුතු භාර අමාත්‍යාංශයෙන් නොව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨභය රාජපක්‍ෂ මහතාගෙනි. ජර්මන් තානාපතිවරයා තදියමට මොණර රැඟුමක් ප්‍රදර්ශනය කර ඇත. ඔහු පිල් විදහා නටා අපට අනවශ්‍ය ප්‍රදේශ ප්‍රදර්ශනය කර ඇත. ඔහුට අවශ්‍ය කුමක් ද යන්න අපි දනිමු. ජර්මන් දේපොළ හා ජීවිත බේරාගැනීමට යැයි කියමින් ලංකාවට පහරදීමට වුවත් ඔවුන් සූදානම් ය. මෙය ජර්මනියට පමණක් සීමාවුවක් නො වේ. බටහිර ජාතීන්ට පොදුවේ ගත්කල මේ අවශ්‍යතාව වෙයි.

අද ආණ්ඩුව ප්‍රවෙිසම් විය යුත්තේ විශේෂයෙන් ම මේ සම්බන්ධයෙනි. බටහිරයන් වෙනුවෙන් ක්‍රියාකර ඔවුන්ගෙන් පඩි ලබන රාජ්‍ය නොවන ආයතන රාශියක් මේ රටේ වෙයි. ඔවුහු ඊනියා මානව අයිතිවාසිකම් කඩවන්නේ කිනම් අවස්ථාවක දී දැයි බලා සිටිති. ඒ අතර බටහිරයන් බලා සිටින්නේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වීමට ය. එමෙන් ම බටහිරයන්ගේ දේපොළ ජීවිත හානි ගැන ද ඔවුහු උනන්දුවෙන් බලා සිටිති. ජ වි පෙ මේ සියල්ල සඳහා රට ගැන නොසිතා තම වැටුප ගැන සිතන සේවකයන් හැකි සෑම විටක ම ප්‍රකෝපකාරී ලෙස යොදාගනියි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයේ දී අද ආචාර්යවරුන් දිග්ගැසුණු වර්ජනයකට (සමහරුන්ට අනුව ජෙනරල් ස්ට්‍රයිකයකට - මොවුහු ජෙනරල් ස්ට්‍රයිකයක් යන්නෙහි තේරුමවත් නොදත් අඳබාල ක්‍රියාකාරීහු ය. ඇතැම් විට ලාල්කාන්ත ජෙනරල් ස්ට්‍රයිකයක් සඳහා සූදානම් වන්නේ දැයි අපි නො දනිමු.) ගෙන යෑමට ජ වි පෙරමුණට හිතවත් ආචාර්යවරුන් අර අඳින බව පෙනී යයි. එහි දී ඔවුන්ට කටුනායක මෙන් කලබල කිරීමට හැකියාවක් සෘජුව නොලැබුණත් ඔවුන්ගේ උපක්‍රමය වනු ඇත්තේ විශ්වවිද්‍යාල අකර්මන්‍ය කර ඉන්පසු ඒ විවෘත කරගැනීමට ඊනියා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය යොදා ගැනීම ය. ජ වි පෙට අවශ්‍ය මෘත දේහ ය. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මානව හිතවාදයක මුවාවෙන් අපේ රටට ඇඟිලි ගැසීමට ය.  ජ වි පෙ සෑමවිට ම විශ්වවිද්‍යාල වසා දැමීමට මගපාදා ඉන්පසු ඒ විවෘත කරගැනීමට උද්ඝෝෂණය කරයි. මෘත දේහ හඹා යයි. විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්ගේ සදාචාරාත්මක නොවන ප්‍රතිපත්ති විරහිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන බොහෝ දේ කීමට ඇත. ජ වි පෙ ක්‍රියාමාර්ග උත්සන්න වුවහොත් ඒ සියල්ල හෙළි කිරීමට සිදුවනු ඇත. විශ්වවිද්‍යාලවල ස්ථායී බව, රටේ දේශපාලන ස්ථායීභාවය හා ස්වෛරිභාවය වෙනුවෙන් ඒ හෙළිදරවු කළයුතු නම් ඉදිරියේ දී එසේ කිරීමට මැළි නොවෙමි.