Main Logo

Showing posts with label සරසවි. Show all posts
Showing posts with label සරසවි. Show all posts

Sunday, 18 November 2012

සරසවි ඇදුරන්ගේ ව්‍යාජ ඉල්ලීම් හා දෙමළ ජාතිවාදය

අද වන විට සරසවි ඇදුරන්ගේ ඉල්ලීම්වල ව්‍යාජත්වය හෙළිදරවු වී ඇත. මේ වන විට පවත්නා ඇදුරු වර්ජනය 2010 ඔවුන් විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහි දී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ වැටුප් වැඩිකිරීම ය. එහෙත් 2011 මාර්තු මස පැවති සංකේත වර්ජනයේ දී තවත් ඉල්ලීමක් ඉදිරිපත් විය. එය 6% ඉල්ලීම විය. අද වන විට මෙරට අධ්‍යාපනයේ මහා අර්බුදයක් ඇතැයි කියමින් 6% වටා ජනතාව ඒකරාශි කිරීමේ අසාර්ථක උත්සාහයක ඇදුරු නායකයෝ යෙදී සිටිති. මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් ඇති බවට ගෙනෙන සාක්‍ෂි අතර උපකාරක පංති වටා රොක්වන සිසුන් ද කොළඹ පාසල්වලට සිසුන් ගෙන යන වෑන් රථ ද ඇතැම් පාසල්වල අඩුපාඩුකම් හා ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යෑම ද වෙයි. මේ එකක්වත් අධ්‍යාපනයේ ඇතැයි කියන අර්බුදයට සාක්‍ෂි නො වේ. දැනට අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ රාජකීය විදුහලේ සිසුහු ද උපකාර පංතිවල සහාය පතති. එයින් කියැවෙන්නේ රාජකීය විදුහලේ අධ්‍යාපනය කඩා වැටී ඇති බව ද? දැනට දශක ගණනක් තිසසේ පළල් වූ මධ්‍යම පංතියක් මෙරට වෙයි. මේ මධ්‍යම පංතියට කොළඹ හා නාගරික පාසල්වලට තම දරුවන් යැවීමේ හැකියාව ලැබී ඇත. ඒ අතර අධ්‍යාපනය හා මෙරට ආර්ථිකය අතර කිසිම සම්බන්ධයක් නැත. අධ්‍යාපනය අද පවත්නා ආකාරයෙන් අපට උරුම වී ඇත්තේ දේශීය සම්ප්‍රදායක නොව ඉංගිරිසින්ගේ හා බටහිර නූතනත්වයේ අවශ්‍යතාව පරිදි රැකියාවන්ට සිසුන් පුහුණු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ය. අපේ ආර්ථිකය ද එලෙස ම බටහිර අනුකරණය කිරීමේ දිශාවකට යොමු වී ඇත. අද බටහිර රටවල ද අධ්‍යාපනය හා ආර්ථිකය අතර තිබූ පැරණි සම්බන්ධය බිඳ වැටෙමින් පවතියි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එකල උපාධියක් ලබාගැනීම සඳහා අවුරුදු තුනක් නේවාසිකව ගතකර අදාළ විද්‍යාලවල (විශ්වවිද්‍යාලයෙහි ට්‍රිනිටි ආදී විද්‍යාල) තිබූ ගුරු උපකාරවල පිහිට ලබාගැනීම අවශ්‍ය වූ නමුත් අද තෘතීයික අධ්‍යාපනික සුදුසුකම් වෙනත් ආයතනයකින් ලබාගන්නා සිසුන්ට ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි අවුරුද්දක් පමණක් ගතකර කේම්බ්‍රිජ් උපාධියක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත. අද බටහිර ආර්ථිකයට අවශ්‍ය වන්නේ ශාස්ත්‍රවන්තයන් (ස්කොලර්ස් යන අරුතින්), ඊනියා විද්‍යාඥයන් ආදීන් නොව වෘත්තීයකයන් ය. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටීමේ ලක්‍ෂණයකි. යුරෝපීය වැඩවසම් ක්‍රමයෙහි බිහි වූ බටහිර විශ්වවිද්‍යාලවලට නූතනත්වයට මුහුණ දීමේ දී වෙනස්කම් කිරීමට සිදු වී ඇත.

බටහිර විශ්වවිද්‍යාලවල ආරම්භයේ සිට ශාස්ත්‍රවන්තයට හා ඊනියා විද්‍යාඥයන්ට අමතර ව නව දැනුම නිපදවූවෝ සිටිය හ. දැනුදු සිටිති. එහෙත් මෙරට විශ්වවි්ද්‍යාල ආයතනය 1921 දී පිහිටුවනු ලැබුයේත් දහනවවැනි සියවසේ දී නීති විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබුයේත් හුදෙක් පරික්‍ෂණවලට සිසුන් පුහුණු කරන ආයතන ලෙස ය. 1942 දී මේ ආයතන තුන එක්කර (නීති විද්‍යාලය එසේම පවත්වාගෙන යන අතර) ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුයේත් පසුව කාර්මික විද්‍යාලය ඇසුරෙන් ඉංජිනේරු පීඨය පිහිටුවනු ලැබුයේත් දැනුම නිර්මාණය කරන්නන් බිහිකිරීමට නොව බටහිරින් ලැබෙන දැනුම ඉගෙන එය අනුකරණය කරන්නන් බිහිකිරීම සඳහා ය. ඒ අතර අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කිරීමට බැරිකම ද වෙයි. ඒ හේතුවල ප්‍රතිඵලය වූයේ ලංකා විශ්වවිද්‍යාලයෙන් බටහිර දැනුම අනුකරණය කරන ශාස්ත්‍රවන්තයන් හා ඊනියා විද්‍යාඥයන් බිහි කිරීම ය. අපේ සම්ප්‍රදායෙහි දැනුම නිර්මාණය කිරීමක් ගැන එකල කිසිවෙක් කතා නො කළහ. අවාසනාවකට විිද්‍යොදය හා විද්‍යාලංකාර පිරීවෙන් විශ්වවි්‍යාල බවට පත්වීමෙන් පසුව ඒ ආයතන ද ලංකා විශ්වවිද්‍යාලය අනුකරණය කර ආයතන පමණක් බවට පත්විය. මෙරට සමස්ත අධ්‍යාපනයෙහි ම ඇත්තේ අපට නොගැලපෙන අධ්‍යාපනයක් අපට ඔරොත්තු නො දෙන ආර්ථිකයක ලබා දීම ය. එහෙත් ඇදුරන්ගේ සමිති නායකයෝ එවැනි අර්බුදයක් ගැන කතා නො කරති. ඔවුන් කතාකරන්නේ ව්‍යාජ අර්බුදයක් ගැන ය. ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යන්නේ ගම්වල දෙමව්පියන්ට ද තම දරුවන් නාගරික පාසල්වලට යැවීමේ හැකියාව ලැබීම නිසා ය. මේ අතර පෙනී යන කරුණක් නම් බටහිර අර්ථයෙන් අද පාසල් දියුණු වී ඇති බව ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලට ද පිහිණුම් තටාකයක් නො වී ය. අද පිහිණුම් තටාක නාගරික පාසල් බොහොමයක ඇති අතර පාසල් සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් බවට පිහිණුම් තටාක පත් වී ඇත. සමස්තයක් ලෙස ගතහොත් අද පාසල්වල ද විශ්වවිද්‍යාලවල ද පහසුකම් වර්ධනය වී ඇත. සෑම දේශනාගාරයක ම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ නැතිවා විය හැකි ය. එහෙත් දක්‍ෂ ගුරුවරයකුට කළු ලෑල්ල හා හුණු කෑල්ල පමණක් ප්‍රමාණවත් වෙයි. අද පරිගණක නැති පීඨයක් විශ්වවිද්‍යාලවල නැත. එහෙත් පරිගණක හා වෙනත් උපකරන ඔස්සේ අප බටහිරට කෙතරම් ගැතිවන්නේ ද යන්න බොහෝ ඇදුරන්ගේ අවධානයට යොමු නො වෙයි. කෙටියෙන් කියන්නේ නම් මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් වෙයි. එය බටහිර අනුකරණය කරන පුහු ශාස්ත්‍රවන්තයන් හා තුන්වැනි පංතියේ විද්‍යාඥයන් බිහිකිරීමට පමණක් අධ්‍යාපනය යොමු වී තිබීම නිසා හටගත්තක් වෙයි. එහෙත් අරසවි ඇදුරන් කතාකරන්නේ එවැනි අර්බුදයක් ගැන නො වේ. ඔවුන්ට අනුව අර්බුදයක් ඇත. ඒ අර්බුදය රජය අධ්‍යාපනයට මුදල් වියදම් නොකිරීම නිසා සිදුවන්නකි. එහෙත් රජය අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන්නේ යැයි පෙන්වීමට ඔවුහු අසමත් වෙති. යුනෙස්කෝ වාර්තාවෙහි කිසි තැනක රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි සඳහන් නො වේ. එසේ සඳහන් වී නැති බව පෙන්වූ විට ඔවුහු අරුම පුදුම තර්කයක් ඉදිරිපත් කරති. එනෙම් යූනෙස්කෝ රැස්වීම්වලට සහභාගිවන්නේ ඒ ඒ රටවල ඇමතිවරුන් බැවින් එහි සඳහන් වන්නේ රජය වියදම් කළ යුතු මුදල් බව ය. යුනෙස්කෝ රුස්වීම්වලට පෞද්ගලික අංශයෙන් සහභාගි නොවීම හේතුවෙන් එවැනි නිගමනයකට පැමිණිය හැක්කේ අනුකාරක පුහු ඇදුරකුට පමණ ය.

ආදායම් නූපදවන රජයේ ආයතනවලින් වැඩිම වැටුපක් ලබන්නෝ සරසවි ඇදුරෝ ය. අද වන විට මහාචාර්යවරයකුගේ වැටුප එක් ලක්‍ෂ පනස්දාහක් පමණක් වෙයි. ඇදුරන් කියන්නේ වැටුප් වැඩිකිරීමෙන් දක්‍ෂයන් විශ්වවිිද්‍යාලවලට බඳවාගත හැකි බව ය. එය පට්ටපල් බොරුවකි. 1993 දී ඇදුරන්ගේ වැටුප 200%කින් පමණ වැඩි වුවත් ඒ හේතුවෙන් බටහිර රටක ජීවත් වූ කිසිවෙක් අප රට විශ්විිද්‍යාලවලට නො බැඳුන හ. ඒ අතර අදත් පර්ිවාස කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ දී ප්‍රථම පංති සාමාර්ථ දිනාගත් අටදුම්කරුවෝ රාශියක් ඉල්ලුම් කරති. බඳවා ගැනීම හා රඳවා ගැනීමත් වැටුප්් වැඩිකිරීමත් අතර සම්බන්ධයක් නැත. එසේ ඇතැයි කීම ජනතාව මුලාකිරීමට සරසවි ඇදුරන් යොදාගත් උප්පරවැට්ටියක් පමණකි. ඇදුරන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කරගැනීමට නොහැකි වූ විට ඔවුහු 6% හි එල්ලුණහ. මේ ඉල්ලීම සමිති සම්මේලනය ඉදිරිපත් කළේ තම සාමාජිකයන් වූ වෘත්තිය සමිතිවල අදහස් නො විමසා ය. එය සම්මේලනයේ ව්‍යවස්ථාවට ද පටහැණි ය. එබැවින් ම එය නීති විරෝධී ය. අනෙක් අතට වෘත්තීය සමිති අරගලයක් ඇරඹීමෙන් පසු තව තවත් ඉල්ලීම් එකතු කිරීම සදාචාර විරෝධී ය. සම්මේලනයේ නායකයාට සදාචාරයක් නැතිවිට එය එසේ වීම අරුමයක් ද නො වේ. ඊනියා යුනෙස්කෝ වාර්තා ගැන කතාකරමින් ආණ්ඩුව අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නැතැයි බොරු කියමින් ඉදිරිපත් කරන ලද එය ඔවුන්ගේ ඉල්ලීමක් පමණක් නො වී ය. ඉල්ලීම පිටුපස පරාජිත දේශපාලනඥයෝ වූහ. එ ජා පක්‍ෂ ආණ්ඩු තිබූ සමයෙහි රජය අධ්‍යාපනයට වෙන්කරන ලද මූදල් අඩු වූ නමුත් එ ජා ප නායකයෝ නිර්ලජ්ජිතව 6% ඉල්ලූහ. පාසල් ගිනිතබා ඇදුරන් හා සිසුන් මරා අධ්‍යාපනය කඩා කප්පල් කළ ජ වි පෙ නායකයෝ ද අධ්‍යාපනය දියුණු කිරීමට යැයි කියමින් 6% වටා එල්ලුණ හ. තම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම යුක්තියුක්ත කිරීමට නොහැකි වූ ඇදුරෝ විජාතික බලවේගවල මෙහෙයවීමෙන් ජනතාව ආකර්ෂණය කරගැනීම සඳහා වෘත්තීය සමිති අරගලය ආරම්භ කර ටික කලක් ගත වීමෙන් පසුව සදාචාර විරෝධී ව 6% ඉල්ලුහ. මෙරට විජාතික බලවේග ඇදුරන් හරහා ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව පැහැදිලි විය. ඔවුහු අධ්‍යාපනයෙහි නැති අර්බුදයක් මවා පෑහ. විජාතික බලවේගවලට අවශ්‍ය වූයේ මළ කඳන් ය. අරාබි වසන්තය ඔවුන්ගේ ආදර්ශය විය. ඔවුහු මාස තුනක් තිස්සේ වැඩවර්ජනයක් ගෙන යෑමට ඇදුරන්ට උපකාර කළහ. පැහැදිලිව ම අද ඇදුරු සම්මේලනයට බාහිර අරමුදල් ලැබෙයි. බාල තම්පෝ ප්‍රසිද්ධියේ ම ඇදුරන්ට රුපියල් ලක්‍ෂ පහක් දී ඇත. අප්‍රසිද්ධියේ දී ඇති අරමුදල් කවරේ ද? මේ අරමුදල් පිළිබඳ කිසිම පාරදෘශ්‍යභාවයක් නැත. රජය මේ අරමුදල් පිළිබඳ විමසා බැලිය යුත්තේ මෙය හුදෙක් වෘත්තීය සමිති අරගලයක් නොවීම නිසා ය. විජාතික බලවේග සරසවි ඇදුරන් පිටුපස සිටින්නේ ඇයි? ඇතැම් ඇදුරෝ විශේෂයෙන් ම ඇදුරියෝ අධ්‍යයනික වසන්තයක් ගැන කතා කළේ අරාබි වසන්තය සිහිකරමිනි.

විජාතික බලවේගවලට අවශ්‍ය මේ ආණ්ඩුව වැට්ටවීම ය. එයට හේතුවක් වෙයි. ඒ වෙනත් කිසිවක් නොව මේ ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ය. බටහිරයෝ අරාබිකරයේ වේවා ආසියාවේ වෙනත් තැන්වල වේවා තමන් කැමති නැති ආණ්ඩු පවත්වාගෙන යෑමට අවස්ථාව නො දෙති. අද බටහිරයෝ හා මෙරට විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බලයෙන් පහකිරීමට කටයුතු කරති. කටුනායක සිද්ධිය එහි පළමු අවස්ථාවේ විය.  එහි දී මිනිස් බිල්ලක් ගත් නමුත් එය දිගින් දිගට නො ගියේ ය. අද මේ බලවේග සිංහල බෞද්ධ සංස්කෘතිය මැඩලීම සඳහා ඇදුරන් යොදා ගනියි. ඇදුරු සම්මේලනයේ සභාපතිවරයා පසුගිය අවුරුදු පහළොවක පමණ කාලයක ක්‍රියාකර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව ය. කිසිසේත් ම යුක්තියුක්තකළ නොහැකි ඉල්ලීම් පදනම් කරගනිමින් නැති අර්බුදයක් මවාපාමින් හැකිනම් ජනතාව ආකර්ෂණය කරමින් බටහිරයන්ගේ අණට කීකරු නොවී ත්‍රස්තවාදය පැරදවූ ආණ්ඩුව වැට්ටවීමට බටහිර බලවේග හා මෙරට විජාතික සිංහල විරෝධී බලවේග අද ඇදුරන් යොදාගනියි. අද සම්මේලනයේ නායකයෝ තම සමිති නොවිමසා ම තම ව්‍යාජ ප්‍රශ්නය එක්සත් ජාතින්ගේ සංවිධානයට ගෙන යති. මේ නායකයන්ට අවශ්‍ය කුමක් දැයි ඉතා පැහැදිලි ය. දෙමළ ජාතිවාදය දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නිසා ඇතිවූවක් නොවන බවත් බටහිරයන් නිර්මාණය කළ එකක් බවත් අපි කීවෙමු. අද එය සනාථ වී ඇත. එලෙස ම ඇදුරන්ගේ ප්‍රශ්නය ද ව්‍යාජ ප්‍රශ්නයක් බවත් එහි පිටුපස ඇත්තේ විජාතික බලවේග බවත් පැහැදිලි ය. ඇදුරන්ගේ ප්‍රශ්නය ව්‍යාජයක් වුවත් ආණ්ඩුව සමග සම්බන්ධ ඇදුරන් තිදෙනක් ආණ්ඩුව නොමග යවමින් සම්මේලනයට නොයෙකුත් දේ ලබාදීමට පසුගිය කාලයේ කටයුතු කළහ. අද ඔවුන්ගෙන් එක් අයකු හැළී ඇත. එමෙන් ම අද ආණ්ඩුව දන්නා කරුණක් නම් ඒ ඇදුරන් දෙදෙනා ආණ්ඩු නොමග යැවූ අය බව ය. අධ්‍යාපනය සඳහා ආණ්ඩුව හැකි ප්‍රමාණයෙන් මුදල් වියදම් කරයි.  ආණ්ඩුවට අධ්‍යාපනයට පමණක් නොව වෙනත් කටයුතු සඳහා ද මුදල් වැය කිරීමට සිදුවෙයි. ඉන් ප්‍රධාන ම එක වනුයේ රටේ ආරක්‍ෂාව ය. අද විජාතික බලවේග විසින් මෙහෙයවෙන සම්මේලනයේ නායකයන්ට අවශ්‍ය ඊනියා 6% ගැන කියමින් හැකිනම් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කරන මුදල් අඩු කිරීම ය. අද ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි සම්මේලනයේ ඉල්ලීම් ව්‍යාජ ඒවා වීමත්, අර ඇදුරන් දෙදෙනා ආණ්ඩුවේ කපටි ආරක්‍ෂයන් බව ආණ්ඩුව තේරුම් ගැනීමත්, තවත් දිය හැකි දෙයක් නැතිවීමත්, සම්මේලනය අධ්‍යාපනයේ ව්‍යාජ අර්බුදයක් මවාපාමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බව ආණ්ඩුව දැන් දන්නා නිසාත් ය. නීති විරෝධීව ඇදුරන් උසස් පෙළ ඇගයීම්වලින් වළක්වන සම්මේලනය අද පෞද්ගලික ආයතනවල දේශන පැවැත්වීමට ඇතැම් වර්ජිත ඇදුරන්ට ඉඩ දී ඇත. අවුරුදු හතළිහක් පමණ කාලයක් තිසසේ ඇදුරු වර්ජනවලට විරුද්ධ වූ සිංහල බෞද්ධ විරෝධී ඇදුරෙක් අද වර්ජනයට සහාය දෙමින් විශ්වවිද්‍යාල වසා තැබීමට අනුබල දෙන්නේ එමගින් තම ආයතනයට සිසුන් බඳවා ගැනීමට ය. ඇදුරු නායකයන්ට අද තම නිරුවත වසාගැනීමට නොහැකි වී ඇත.

Sunday, 15 July 2012

සරසවි අවුල


කිසිවකු මෙරට සරසවිවල අවුලක් නැත්තේ කවදා දැයි ඇසීමට ඉඩ ඇත. බොහෝ විට සරසවිවල අවුල්වලට හේතුව දේශපාලනය ය. බොහෝ ශිෂ්‍ය සංවිධාන එදා මෙන් ම අද ද දේශපාලන පක්‍ෂ විසින් හැසිරවෙයි. එදා ලංකා සමසමාජ පක්‍ෂය, නව සමසමාජ පක්‍ෂය, විවිධ කොමියුනිස්ට් පක්‍ෂ විසින් ශිෂ්‍ය සංවිධාන මෙහෙයවිණි. ශිෂ්‍ය ක්‍රියාකාරියකු හා පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙය මම අත්දැකීමෙන් ම දන්නෙමි. අද අවිශිබමණ්ඩලයේ (අන්තරයේ) නායකත්වය ඊනියා පෙරටුගාමී පක්‍ෂයට සම්බන්ධ ය. එහෙත් එකී පක්‍ෂය දේශපාලන වශයෙන් දුර්වල ය. එබැවින් ශිෂ්‍ය සංවිධාන අද එතරම් ක්‍රියාකාරී නො වේ. වර්තමානයෙහි සරසවිවල අවුල් ඇති කරන්නෝ ආචාර්යවරු ය. එහෙත් ඒ සියලු ආචාර්යවරුන් නො වේ. අද අවාසනාවකට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ තීරණ ගැනීමේ දී බලපාන්නේ ඊනියා පෙරටුගාමී පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ, හිතවත් ආචාර්යවරුන් වීම රටේ ම අභාග්‍යයකි. මේ පක්‍ෂවලට රටේ එතරම් සහායක් (එ ජා පක්‍ෂයට ද භේද බින්න වී කිසිවක් කරකියා ගත නොහැකි තත්වයකට පත් වී ඇත) නොමැති වුවත් විශ්වවිද්‍යාලවල එ ජා පක්‍ෂයට හිතවත් ආචාර්යවරු යම් ප්‍රමාණයක් සිටිති. ශ්‍රී ල නි පක්‍ෂයට කිසි දිනෙක ශිෂ්‍යයන් අතර හෝ ආචාර්යවරුන් අතර හෝ පදනමක් නොමැති විය. මෙය වෙන ම විශ්ලේෂණය කළ යුතු කරුණකි. ශ්‍රී ල නි ප බලයේ සිටින අවස්ථාවල අවස්ථාවාදී බලලෝභී පිරිසක් පක්‍ෂයට, විශේෂයෙන් ම ඇමතිවරුන්ට සමීපවන නමුත් ඔවුහු පක්‍ෂය රුකීමට කිසිවිටෙකත් ඉදිරිපත් නො වෙති. ශ්‍රී ල නි පක්‍ෂයට සැබවින් ම හිතවත් ආචාර්යවරුන් කිහිප දෙනකු සිටින නමුත් ඇමතිවරුන් වඩා විශ්වාස කරන්නේ බලය ඇති කාලයට පක්‍ෂය වටා රොක්වී ඉහඳ තබන වංචනිකයන් ය. අවශ්‍ය නම් මොවුන් ගැන නම් ගම් සහිතව කිව හැකි ය.

විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් ගැන රටේ ඇත්තේ මහත් ගෞරවයකි. මහජනයාට අනුව නම් විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරය බුද්ධිමත්තු වෙති. උගත්තු වෙති. දක්‍ෂයෝ වෙති. විභාගවලින් ඉහළින් සමත් වූවෝ වෙති. එසේ නොවන මා වැන්නන් ද නැතිවා නො වේ. එහෙත් මා දැන් විශ්වවිද්‍යාලයීය සේවයේ නොමැති බැවින් විශ්වවිිද්‍යාලයීය බුද්ධිමතුන්ගේ ප්‍රතිශතය සුළුවෙන් වුවත් ඉහළ ගොස් ඇත. බොහෝ විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් මෙන් ම ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු ප්‍රබුද්ධයන් මා ගැන දන්නේ ආණ්ඩුවට කඩේ ගොස් සේවා කාලය දික්කර ගත් තැනැත්තකු ලෙස ය. ඔවුන් මේ ලිපිය ද ආණ්ඩුවට කඩේ යෑමක් ලෙස සලකනු ඇත. මේ ආණ්ඩුවේ බොහෝ ප්‍රතිපත්ති ගැන මගේ පැහැදීමක් නැති වුවත් දැනට මම මේ ආණ්ඩුව ආරක්‍ෂා කරමි. මේ ආණ්ඩුව වෙනුවට පත්කර ගැනීමට සුදුසු විකල්පයක් නැත. අඩුම තරමෙන් ජනාධිපතිතුමා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ය. එතුමා දෙමළ ජාතිවාදයට හා ඒ පිටුපස සිටින එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ට හා ඉන්දියාවට නොනැමෙනතාක් මගේ ඡන්දය ආණ්ඩු පක්‍ෂයට හිමිවනු ඇත. මා එසේ කරන්නේ ආණ්ඩුවේ දුෂණ නාස්තිය ආදිය පිළිබඳව නොදැන නොවේ. මනාප ක්‍රමයට පෙර පැවති මහා මැතිවරණයක දී එක්තරා ඡන්ද කොට්ඨාශයකට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෝ් දෙදෙනාම පිරිසිදු චරිත ඇත්තෝ නො වුහ. එදා ප්‍රචාරය වූ එක් කවියක් වූයේ ඌත් වලා, මූත් වලා, ගමේ වලා, අපට හොඳා යන්න ය. මේ ආණ්ඩුවට ජාතික සංවර්ධන සැලැස්මක් නැත. එසේ ඇති පක්‍ෂයක් හැකිනම් පෙන්වන්න. එහෙත් දෙමළ ත්‍රස්තවාදය පැරදවූයේ මේ ආණ්ඩුව ය. අවාසනාවකට ආණ්ඩුවේ සිටින චන්ද්‍රිකාගේ පැරණි ඇමතිවරු බලය බෙදීම ගැන කතාකරති. ජනාධිපතිතුමා ඔවුන්ට ඉඩදුනහොත් ජනතාව වෙනත් දේශපාලන පක්‍ෂවල හවුලකට බලය දෙනු ඇත.

විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් කෙරෙහි ඇති ගෞරවයත් ඇතැම් විට තමන් අනුගමනය කරන දේශපාලන පක්‍ෂයත් හේතුකොටගෙන ඇතැම් ජනමාධ්‍යවාදීහු කිසිදු සොයා බැලීමක්, විචාරයක් නොමැතිව ආණ්ඩුව හා ඇමතිවරුන් අප්‍රසාදයට ලක්කිරීම සඳහා තම පෑන මෙහෙයවති. ඉසෙඩ් ලකුණූ ප්‍රශ්නය එයට හොඳ උදාහරණයකි. 2001 දී ද නව නිර්දේශයක් හා පැරණි නිර්දේශයක් විය. එහි දී මහාචාර්ය තටිල් මහතා ඉසෙඩ් ලකුණු ක්‍රමය යෝජනා කර ඇත. අද ඇතැමුන් සිතන්නේ එය ඔහු සොයාගත් (ගණිත භා’ෂාවෙන් නම් ව්‍යුත්පන්න කළ) සූත්‍රයක් කියා ය. එහෙත් ඔහු කර ඇත්තේ මෙරට උගතුන් සාමාන්‍යයෙන් කරන්නාක් මෙන් යම් සූත්‍රයක් ලංකාවට හඳුන්වාදීම පමණ ය. 2001 ඔහු කර ඇත්තේ නව නිර්දේෂයට අනුව පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු හා පැරණි නිර්දේෂයට අනුව පෙනී සිටි සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඒවා නිර්දේෂය සැලකිල්ලට නොගෙන අනුපිළිවෙළින් සකස් කර ලැයිස්තුවක් පිළියෙළ කර ඒ අනුව සරසවිවලට සිසුන් ඇතුළත් කරගැනීමට උපදෙස් දීම ය. එය වැරදි ය. එහෙත් එදා ඒ පිළිබඳ සාකච්ඡාවක් නොවූ බැවින් ඔහුගේ නිර්දේශය පිළිබඳ වැටහීමක් මා ඇතුළු පිරිසකට නො වී ය. අප සිතා සිටියේ ඔහුගේ නිරදේශය නිවැරදි බව ය. 2011 දී ද නව නිර්දේශයකට හා පැරණි නිර්දේශයකට අනුව සිසුහු පරීක්‍ෂණයට පෙනී සිටියහ.විශ්වවි්‍යාල ප්‍රතිපාදන කොමිසම විද්වත් කණ්ඩායමක් පත්කර සිසුන් ඇතුළත් කිරීමට සුදුසු ක්‍රමයක් නිර්දේශ කරන මෙන් ඉල්ලා ඇත. කොමිසමට කලින් දී තිබූ අධිකරණ නියෝගයක් හේතුකොටගෙන එක ලැයිස්තුවක් අවශ්‍ය වී යැයි කියැවෙයි. විද්වත් කමිටුව ඒ සඳහා යම් ස්‍රත්‍රයක් නිර්දේශ කර ඇත. එය ද වැරදි බව මගේ වැටහීම ය. එහෙත් ඇතැම් ප්‍රබුද්ධ යැයි කියාගන්නා දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදීන් කියා සිටියේ 2001 ක්‍රමයට 2011 දී ද ක්‍රියාත්මක නොවී කොමිසම අවුලක් ඇති කළ බව ය. 2001 ද වැරදි ක්‍රමයක් අනුගමනය කර ඇති නමුත් 2001 සහ 2011 අතර පැහැදිළි වෙනසක් වෙයි. එදා නව නිර්දේෂයට අනුව සිසුන් පෙනී සිටියේ විෂය තුනකට ය. එහෙත් පැරණි නිර්දේශය අනුව සිසුහු විෂය හතරකට පෙනී සිටිය හ. එපමණක් නොව පැරණි නිරදේශයට අනුව තිබූ ශුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය උද්භිද විද්‍යාව සත්වවිද්‍යාව වැනි විෂය නව නිර්දේෂයට අනුව නො වීය. එබැවින් මහාචාර්ය තටිල් මහතාට එදා අනුපිළිවෙළට ඉසෙඩ් ලකුණු සකස් කිරීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් කල්පනා කිරීමට නොහැකි වන්නට ඇත. එහෙත් මෙදා ඒ බාධකය නො තිබිණි. එසේ වුවත් විද්වත් කමිටුව ද මේ පිළිබඳ ව කල්පනා කර නැති බව පැහැදිලි ය. අවාසනවකට මෙහි දී ඌත් වලා, මූත් වලා කවිය අදාළ නොවේ. ඉසෙඩ් අවුලට වගකිව යුත්තේ ඇමතිවරුන් නොව ඇදුරන්ම ය. බොහෝ ඇදුරන්ට කල්පනා කිරීමට නොහැකි ය.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය කලින් වතාවේ වැඩ වර්ජනය කළ අවස්ථාවේ දී ද මම එයට විරුද්ධ වීමි. මේ ඊනියා ප්‍රබුද්ධ කථිකාචාර්යවරුන් එහි දී මට විරුද්ධව ක්‍රියා කළ ප්‍රබුද්ධ ආකාරය දන්නෝ දනිති. සම්මේලනය එදා ද අද ද කියා සිටින්නේ සරසවි ඇදුරන් විශේෂිත පුද්ගලයන් කොටසක් බව ය. මට නම් ඔවුන්ගේ විශේෂිත බවක් නො පෙනේ. ඒ හැරෙන්නට වර්ජන තීන්දුවට සම්මේලනය එළඹුණේ මා දැන සිටි එහි ව්‍යවස්ථාව අනුව නො වේ. ඒ ව්‍යවස්ථාව පසුව සංශෝධනය වී දැයි නො දනිමි. එසේ නොවේ නම් අද ද සම්මේලනය වර්ජන තීන්දුවකට පැමිණ ඇත්තේ ව්‍යවස්ථානුකූල ව නො වේ. එමෙන් ම එදා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට තිබිය දී වර්ජනය ආරම්භ කෙරිණි. විශ්වවිද්‍යාලයීය ඇදුරකු යනු පාසල් ගුරුවරයකුට වඩා බොහෝ දේ උගත් ඇදුරකු නො වේ. ඔවුන් අතර ඇත්තේ උගත්කමේ ප්‍රමාණාත්මක වෙනසක් නො වේ. සරසවි ඇදුරෝ දැනුම නිර්මාණය කරන්නෝ ද වෙති. දැනුම නිර්මාණය කිරීම යනු අවසාන වශයෙන් ගත්කල ප්‍රවාද සංකල්ප නිර්මාණය කිරීමකි. ඇදුරන් අතිවිශාල බහුතරයකට එසේ කිරීමට නොහැකි ය. එහෙත් අඩුම තරමෙන් ඒ දිශාවට යොමුවන පර්යේෂණ කරන්නෝ වෙත් ද? ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක් විසඳීමට බටහිර නිෂ්පාදනය කෙරුණු දැනුම අනුකාරිකව යොදා ගැනීම හැර කරන වෙන පර්යේෂණ කවරේ ද? ඇදුරන් කරන පරීක්‍ෂණ වැනි පරීක්‍ෂණ පර්යේෂණ ආයතනවල නිලධාරීහු ද කරති. ඉගැන්වීම පාසල් ගුරුවරු ද කරති. සම්මේලනය කියන මේ වෙනස සරසවි ඇදුරන් ඒ දෙකම කිරීම ද? සම්මේලනයට අනුව පරිවාස කථිකාචාර්යවරයකු වීමට ප්‍රථම පංතියේ හෝ ද්විතීය (ඉහළ ශ්‍රෙණියේ) උපාධියක් තිබිය යුතු ය. එමෙන් ම සේවයේ ස්ථිර වීම සඳහා පශ්චාත් උපාධියක් තිබිය යුතු ය. අද ඇතැම් වෙනත් ආයතනවලට ද බඳවා ගැනීමේ දී උපාධිය පිළිබඳ නිර්ණායක ප්‍රායෝගික වශයෙන් ගත්කල වෙනස් නො වේ. සම්මේලනයේ නිලධාරීහු සියල්ලෝ ම ඒ නිර්ණායක සපුරා ඇත් ද?

අද සරසවි ඇදුරන්ගේ සියළු දීමනා සහිත මාසික වැටුප දළ වශයෙන් ගත්කල රුපියල් පනස්දාහ හා එක්ලක්‍ෂ පනස්දාහ අතර වෙයි. එයට අමතරව ඉගැන්වීමට හැරෙන්නට අනෙක් සෑම කාර්යයකට ම මෙන් දීමනා ලැබෙයි. ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, පිළිතුරු පත්‍ර බැලීම, වැනි රාජකාරියට අයත් කාර්යයයන්ට ද දීමනා ලැබෙයි. සප්ත වාර්ෂික නිවාඩුව ආදිය ද මෙයට එකතු කළ විට මසක මධ්‍යන්‍ය දළ දීමනාව ගණනය කිරීම ප්‍රතිපාදන කොමිසම භාරගන්නේ ද? සරසවි ඇදුරන්ගේ දිමනා සහිත වැටුප පසුගිය අවුරුදු කිහිපයෙහි සෑහෙන ප්‍රමාණයකින් වැඩි වී ඇත. සම්මේලනය වැටුප් වැඩිකිරීමක් සිදු නොවී ඇතැයි කියන්නේ වචන හරඹයක යෙදෙමින් මූලික වැටුප ගැන සඳහන් කරමිනි. එහෙත් මූලික වැටුප් වැඩි නොකළත් දීමනා සහිත වැටුප (පඩි නඩි) වැඩි වී ඇත. අනෙක් අතට මූලික වැටුප වැඩි කිරීම සමස්ත රාජ්‍ය අංශයේ ම වැටුප් වැඩිකිරීමකින් තොරව සිදු කළ නොහැකි ය. ඉන් ඇතිවන ප්‍රතිවිපාක ගැන සැලිකිළිමත් නොවී ෂයිලොක් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඇතැම් ඇදුරන් ආණ්ඩුව අස්ථායී කිරීමේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බව ය. සම්මේලනයේ නායකත්වය දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ දී සිටියේ කොතැනක ද? නිදහස් අධ්‍යාපනය ගැන කටමැත දොඩන්නන්ගෙන් කී දෙනෙක් රටේ නිදහස වෙනුවෙන් පෙනී සිටියෝ ද? සරසවි ඇදුරන්ගෙන් කී දෙනෙක් බටහිරයන්ගේ මතිමතාන්තර වමනය කරමින් දෙමළ ජාතිවාදයට රට පාවාදීමට කටයුතු කරත් ද? අවසාන වශයෙන් බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට කටයුතු කරන්නෝ කෙතෙක් වෙත් ද? සරසවි ඇදුරන්ගෙන් රටට සිදු වී ඇති සෙත කුමක් දැයි කවුදෝ අසා තිබුනේ කට කහනවට විය නො හැකි ය. අධ්‍යාපනයට වෙන්කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර එය වැඩිකරන ලෙස ඉල්ලන්නේ ප්‍රතිශත ගණනය කරන ආකාරය පිළිබඳ හරි වැටහීමක් නොමැතිව ය. අයවැය ලේඛනයේ වැය ශීර්ෂ සෑම වසරක ම එකම නම් ප්‍රතිශත සැසඳිය හැකි ය. ශීර්ෂ වෙනස්වන විට ප්‍රතිශතවලට නිරපේක්‍ෂ අගයන් නැත.