Main Logo

Showing posts with label නිර්මාණය. Show all posts
Showing posts with label නිර්මාණය. Show all posts

Monday, 8 April 2013

නිර්මාණය කෙරෙන බොරු

වියුක්ත දැනුම ඉන්ද්‍රිය ගෝචර නො වේ. සරල රේඛාවක් යනු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක් නො වේ. දිගක් පමණක් ඇති පළලක් හෝ ඝනකමක් හෝ නොමැති ජ්‍යාමිතික සංකල්ප පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සාධාරණීකරණයට ලක් වූ සංකල්ප එකක්වත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සියළු බල්ලන් සාධාරණීකරණයෙන් ලබාගන්නා වූ බල්ලා සංකල්පය අහවල් බල්ලා හෝ බල්ලකු හෝ මෙන් පංචෙන්ද්‍රීියයන්ට ගෝචර නො වේ.

සාධාරණ බල්ලා යන සංකල්පය සිතෙන් මවාගත හැකිවත් නො වේ. එය සිතෙන් පණවා ගතයුත්තකි. එය පඤ්ඤත්තියකි. ප්‍රශ්නය වනුයේ බටහිර විද්‍යාවේ බොහෝ ප්‍රවාද එවැනි සිතෙන් මවාගත නෙහැකි සංකල්පවලින් ප්‍රකාශ කිරීම ය. ඕනෑම් අංශු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය මේ යැයි කියන විට ඕනෑම අංශු ගැන කියැවෙන්නේ සාධාරණ වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති ලෙස ය. එපමණක් නොව ගුරුත්වාකර්ෂණ බලය යන්න ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්පයකි.

එහි තේරුම නම් ඕනෑම අංශු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන්නක් වීම ය. එහෙත් බටහිර විද්‍යාව මහත් ආඩම්බරයෙන් කියන්නේ එහි දී ඉන්ද්‍රිය ගෝචර සංජානන ගැන හදාරණ බව ය. එපමණක් නොව පංචෙන්ද්‍රියයනට ගෝචර සංජානන මත දැනුම පදනම් වන බව ය. එසේ වුවත් එසේ ලබාගන්නේ යැයි කියනු ලබන සංජානන පිළිබඳ ප්‍රවාද ගෙතෙන්නේ වියුක්ත සංකල්ප ආධාරයෙනි. ඇතැම් විට සිතෙන්වත් මවාගත නොහැකි පඤ්ඤත්ති ඇසුරෙනි.

මෙය අප විසින් තවදුරටත් විස්තරාත්මක ව සාකච්ඡා කළ යුතු කරුණකි. බටහිර විද්‍යාවේ ඇති ප්‍රධාන ම විසංවාදය මෙලෙස ප්‍රකාශ කළ හැකි ය. බටහිර විද්‍යාව ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප මත රඳා පවතියි. දැනුම ලබාගැනීම ආරම්භ කරන්නේ බටහිර විද්‍යාවේ කියැවෙන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියවලට පමණක් ගෝචර සංජානන මත පදනම් වී ය. මෙය ම පට්ටපල් බොරුවක් බව අපි සඳහන් කළෙමු. එයට හේතුව බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් කුමක් කීවත් හුදු සංජානන නො තිබීම ය

සංජානනයක් සංකල්පයකින් තොර නො වේ. කලින් ලිපියක සඳහන් කර ඇති පරිදි නිල්බව යනුවෙන් නිල් නම් සංකල්පයෙන් තොර වූ හුදු සංජානනයක් නො මැත. කිසිම සංජානනයක් හුදු සංජානනයක් නො වේ. මෙය නිරන්තරයෙන් අවධාරණය කළ යුතු ය. එසේ වුවත් සංජානනවලින් තොර වූ සංකල්ප තිබිය හැකි ය. සියළු පඤ්ඤත්ති සංජානනවලින් තොර ය. හුදු සංජානන නොමැති වුවත් බටහිර විද්‍යාවෙහි කියැවෙන්නේ දැනුම ලබාගැනීම හුදු සංජානනවලින් ඇරඹෙන බව ය.

ඉන්පසු බටහිර විද්‍යාවේ කියැවෙන්නේ අපූරු කතාවකි. බටහිර විද්‍යාවට අනුව අපට සංකල්පවලින් තොර වූ සංජානන ලැබෙන්නේ පංචෙන්ද්‍රියයන්ගෙනි. එහෙත් මේ පංචෙන්ද්‍රිය විශ්වාස කළ නො හැකි ය. මෙහි දී පැන නගින ප්‍රධාන ම ප්‍රශ්නය වනුයේ විශ්වාසය දැනෙන්නේ කවර නම් ඉන්ද්‍රියයකට ද යන්න ය. ඒ ඉන්ද්‍රිය පංචෙන්ද්‍රියයන්ගෙන් එකක් නොවන බව ඉතා පැහැදිලි ය. ඇස යනු අවයවයක් පමණක් බවත පෙනීම යන්න හුදෙක් ඇසෙන් පමණක් සිදු කෙරෙන කාර්යයක් නොවන බවත් අවධාරණය කළ යුතු ය.

පෙනීම හා සම්බන්ධ ඉන්ද්‍රිය ගැන බටහිර විද්‍යාව කතා නොකරයි. කෙටියෙන් කිවහොත අවයවය හා ඉන්ද්‍රිය අතර වෙනස බටහිර විද්‍යාවේ ගැඹුරෙන් සකච්ඡා වන්නක් නො වේ. පංචෙන්ද්‍රිය මනසෙන් ස්වායත්ත නො වේ. මිය ගිය අයකුගේ කණ තිබුණ ද පෙනීමට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක නො වේ. එයට හේතුව මියගිය අයකුට මනසක් නො වීම ය. මනස හෙවත් මනෙන්ද්‍රිය නොමැති ව වෙනත් ඉන්ද්‍රියයක් නො මැත.

පංචෙන්ද්‍රිය විශ්වාස නොමැති බව කියන්නේ වෙනත් ඉන්ද්‍රියයක් නොව මනස ය. මනස වෙනත් ඕනෑම ඉන්ද්‍රියයක් සම්බන්ධයෙන් ඒ අවිශ්වාසය ඇති කර ගනියි. එපමණක් නොව මනස ද විශ්වාස නැති බව මනස දනියි. මනස ද සිංහල හා වෙනත් ඇතැම් බෞද්ධයනට අනුව මායාවකි. සිංහල බෞද්ධ දැනුමේ පදනමේ ම එය වෙයි. සියළු දැනුම් සිංහල බෞද්ධයනට අනුව මායාවන් ය. අපි සම්මුතියෙන් ඒ දැනුම් පිළිගන්නෙමු. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය වෙයි. මනස ද මායාවක් බව පිළිගැනීම සිංහල බෞද්ධයනට ප්‍රශ්නයක් නො වේ.

සිංහල බෞද්ධයනට අනුව අපේ සාමාන්‍ය මනසෙන් නිර්මාණය කෙරෙන, එසේත් නැත්නම් සංස්කරණය කෙරෙන, සියළු දැනුම් අවසාන විග්‍රහයෙහි දී මායාවන් වේ. ඒවා නැත. ඒ නො පවතියි. සංකල්පීය වශයෙන් ශූන්‍ය වෙයි. එබැවින් ඒ අසත් ය. එනම් බොරු ය. අප සියළු දැනුම් බොරු යැයි කියන්නේ එබැවිනි. එහෙත් එවැනි බොරු කීමෙන් වැළකීමට අපට නො හැකි ය. අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට කළ හැක්කේ එවැනි බොරු කීම පමණ ය. අප සාමාන්‍යයෙන් බොරු හෙවත් මුසාවාද යැයි කියන්නේ එවැනි බොරුවලට නො වේ.

සංකල්පීය වශයෙන් ශූන්‍ය වූ ද නොපවතින්නා වූ ද, අසත් වූ ද සංකල්ප හා ප්‍රවාද සත් හෙවත් පවතින්නේ යැයි සැලකීම බොරු වෙයි. පුටුවක් නොපවතින කල පුටුවක් ඇතැයි ගැනීම බොරුවකි. එහෙත් එවැනි බොරු කීම සම්මුතියට එකඟ ය. අප සම්මුතියෙන් කියන්නේ බොරු ය. එහෙත් පුටුවක් නැති තැනක පුටුවක් ඇතැයි කීම මුසාවාදයකි. සම්මුතියෙන් වුව ද පුටුවක් නැති තැනක (සම්මුති) පුටුවක් ඇතැයි කීම මුසාවකි.

රේඛීය චින්තනයක් මත පදනම් වූ බටහිර විද්‍යාවෙහි මනස ගැන කිසිම සඳහනක් නොමැතිව, පංචෙන්ද්‍රිය අවිශ්වාස බව සඳහන් කෙරෙයි. එසේ වුවත් ඊනියා වාස්තවික ලෝකයක දැනුමක් ගැන කියන බටහිර විද්‍යාව අවිශ්වාසය ඇතිවන්නේ මනසට බවට ඉඟියක්වත් නොකර පංචෙන්ද්‍රිය හා ඒ ඇසුරෙන් ලබාගන්නා දැනුම අවිශ්වාස යැයි සඳහන් කරයි. දැන් මේ අවිශ්වාස වූ දැනුම, නිවැරදි නොවිය හැකි දැනුම, නිවැරදි කර ගත හැකි ද? එසේ නම් ඒ කරගන්නේ කෙසේ ද? පැහැදිලිව ම ඒ දැනුම නිවැරදි කරගත හැකිනම් ඒ කළ හැක්කේ අවිශ්වාස වූ පංචෙන්ද්‍රිය ඇසුරෙන් විය නො හැකි ය.

පංචෙන්ද්‍රිය මත පමණක් පදනම් වන්නේ යැයි කියන සංජානන මගින් දැනුූම ලබාගැනීම ආරම්භ කළ යුතු යැයි කියන බටහිර විද්‍යාව ඊළඟ මොහොතේ පංචෙන්ද්‍රිය (කාහට දෝ) අවිශ්වාස යැයි කියා ඒ පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා නිවැරදි නොවිය හැකි දැනුම නිවැරදී කරගත හැකි යැයි කියයි. බටහිර විද්‍යාවට අනුව එසේ කළ හැක්කේ බටහිර විද්‍යාව ඇසුරෙන් ය. ඒ සම්බන්ධයෙන්් මාක්ස්වාදීන් මහත් උජාරවෙන් කියන කියමනක් වෙයි. මාක්ස්ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව දෘෂ්‍යමානය යථාර්ථය නම් විද්‍යාවක් අනවශ්‍ය ය.

මෙයින් කියන්නේ කුමක් ද? දෘශ්‍යමානය යනු අප පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නේ යැයි කියන දැනුම ය. ඒ දැනුම අවිශ්වාස බවත් නිවැරදි නොවිය හැකි බවත් බටහිර විද්‍යාව කියයි. මෙහි දී නිවැරදි හා වැරදි යනුවෙන් බටහිර විද්‍යාවේ දී කියැවෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ව ද අපේ අවධානය යොමු විය යුතු ය. වැරදි ය යනුවෙන් මෙහි දී කියැවෙන්නේ අපේ දෘශ්‍යමානය ඊනියා යථාර්ථය නොවන බව හෝ අඩුම තරමෙන් නොවිය හැකි හෝ බව ය. වැරදි හා නිවැරදි යන්න අර්ථදැක්වෙන්නේ, එසේත් නොමැති නම් මැනෙන්නේ, ඊනියා යථාර්ථය යන මිණුම් දණ්ඩට සාපේක්‍ෂ ව ය.

එහෙත් අප කල්තබා දන්නා වූ ඊනියා යථාර්ථයක් නැත. එසේ නම් අප ඊනියා යථාර්ථය මිණුම් දණ්ඩ ලෙස යොදා ගන්නේ කෙසේ ද? මෙයට පිළිතුරක් බටහිර විද්‍යාවේ නැත. බටහිර විද්‍යාවට අනුව ඊනියා යථාර්ථයක් ඇත. අප එලෙස යථාර්ථයක් ඇති බව දන්නේ කෙසේ ද? යථාර්ථය නොදැන යථාර්ථයක් ඇති බව දන්නේ කෙසේ ද? ඊනියා යථාර්ථයක් ඇති බව අපේ උපකල්පනයක් පමණකි. ඒ උපකල්පනය කෙරෙන්නේ මනස විසිනි!

එහෙත් බටහිර විද්‍යාවෙහි ඒ බවක් නො කියැවෙයි. එහි කියැවෙන්නේ මනසෙන් ස්වායත්ත වූ ඊනියා යථාර්ථයක් ඇති බවත් ඒ යථාර්ථය යම් නියමවලට යටත් බවත්, අපට ඒ නියම හා එමගින් ඊනියා යථාර්ථය දැනගත හැකි බවත්, එහි දී පංචෙන්ද්‍රිය ගෝචර දැනුමෙන් අප ආරම්භ කළ යුතු බවත්, එහෙත් ඒ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ලබාගැනීමේ දී යෙදාගන්නා පංචෙන්ද්‍රිය අවිශ්වාස බවත්, එලෙස ලබාගන්නා වූ දැනුම නිවැරදි නොවිය හැකි බවත්, එනම් ඒ දැනුම ඊනියා යථාර්ථය නොවිය හැකි බවත්, එසේ වුවත් අපට බටහිර විද්‍යාව මගින් යථාර්ථය අවබෝධ කළ හැකි බවත් ය.

අප බොහෝ කලක සිට බටහිර විද්‍යාඥයන්ට, මාක්ස්වාදීන් ඇතුළු සියළු ද්‍රව්‍යවාදීන්ට, කරන අභියෝගයක් වෙයි. එනම් මනසෙන් තොරව, මනසට බාහිරව පවත්නා යථාර්ථයක් ඇති බව හැකිනම් මනසෙන් තොරච සාධනය කරන්න යන්න එ අභියෝගය වෙයි. එ අභියෝගය කිසිවකු මෙතෙක් පිළිගෙන නොමැති බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඒ අභියෝගය කිසිදා කිසිවකු පිළිනොගන්නා බවත් මම දනිමි. මනසෙන් තොරව අප යමක් පෙන්වන්නේ කෙසේ ද? අපේ සියළු සංකල්ප, ප්‍රවාද, අදහස්, මතිමතාන්තර ආදිය මනසෙහි ම උපදියි.

මනසෙන් ස්වායත්ත ව පවතින ඊනියා යථාර්ථයක් ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දිය හැකි අයකු ඇත්දැයි මම නො දනිමි. එසේ සිටියත් එය අපේ අභියෝගයට වැදගත් නො වේ. මනසෙන් ස්වායත්ත ව ඊනියා යථාර්ථයක් ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දීමේ අර්ථයක් නැත. ඒ බව පෙන්වා දිය යුත්තේ හැකි නම් මනසෙන් ස්වායත්ත ව ය. මනසෙන් ස්වායත්තව, මනස යොදා නොගනිමින්, ලෝකයේ ඉතාමත් දෘඪ ම ද්‍රව්‍යවාදියාටවත් කටයුතු කළ නො හැකි ය.

ඒ කෙසේ වෙතත්, බටහිර විද්‍යාඥයෝ තම ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ සාධාරණිකරණයට ලක්කරති. ඕනෑම අංශු දෙකක් සඳහා ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කෙරෙන්නේ ඕනෑම අංශුවක් පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යැයි ගැලීලියෝගේ පීසා නුවර පරීක්‍ෂණ සාධාරණයකිරීමෙනි (පොදු බව යන අරුතින්). ගැලීලියෝගේ පර්යේෂණ ඇහැට කණට පෙනෙන, එනම් දෘශ්‍යමාන වස්තු කිහිපයක් පමණක් සම්බන්ධයෙන් විය. ඔහු ඒ පරීක්‍ෂණ රික්තයක නො කළේ ය.

එහෙත් බටහිර විද්‍යාඥයන් ඒ පරීක්‍ෂණ සාධාරණයකිරීමට ලක්කළේ රික්තයක සිතින්වත් මවාගත නොහැකි වියුක්ත වස්තු සඳහා ය. ඕනෑම අංශුවක් රික්තයක පොළොව ආසන්නයේ දී එකම නියත ත්වරණයකින් පොළොවට වැටීමක් ගැලීලියෝ විසින් නිරීක්‍ෂණය නො කෙරිණි. ඔහු විසින් රික්තයක් නොවන අවකාශයක කරන ලද්දේයැයි කියන පරීක්‍ෂණවල නිරීක්‍ෂණ උද්ගමනය කිරීමෙන් බටහිර විද්‍යාඥයෝ ඕනෑම අංශුවක් හෝ වස්තුවක් හෝ පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යැයි කියති. වියුක්ත සංකල්පයක් වූ ඕනෑම අංශුවක් යන්න රික්තයක නොව වායුගෝලයෙහි වුව ද නිරීක්‍ෂණය කළහැකි නො වේ.

(13/04/03)

Saturday, 10 September 2011

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්

මෙරට විශ්වවිද්‍යාල හයක් කඩිමුඩියේ ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්වයට පත්කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව ද ඒ සමග පැවසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්ථාවෙහි මට මතක් වූයේ අවුරුදු හතළිස් අටකට පෙර මා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිිද්‍යාලයේ බටහිර විද්‍යා පීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුල් වී වැඩිකල් නොගොස් අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක් මෙසේ ය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රී ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නො සිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක් උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු බීපු වෙලාවට කී අමන බයිලාවක් ලෙස අමතක කළ හැකි නො වේ. සමස්ත සරසවි ජීවිතය ම එහි ගැබ් වී තිබිණි යැයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් බව ය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්ඩප දෙකක් විය. එකක් පේරාදෙණියේ හන්තාන කඳුපාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහි ම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්ථාව ලැබිණි.

ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් නොවූ බව මම වැඩිකල් නොගොස් ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නො වේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහිකර ඇත. එහෙත් අනෙක් විෂයන් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික් සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොන තරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇතිවුවක් නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටවූ අවධියේ සිට ම දක්නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයක වුවත් නව සංකල්පයක් ප්‍රවාදයක් බිහිකළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවති සමුළුවක දී සංකාර යන්නට නව අර්ථකථනයක් දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්න ය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම් එකතුකිරීමට නො වේ. යම් කරුණක් පිළිබඳ ව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතුකර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් යැයි මම කිසිසේත් නො කියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහිකර ගත හැකි නො වේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිනොවන බව උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කළ යුතු ය. ඇදුරන්ගේ වැටුප් වැඩිකිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිකළ හැකි නො වේ. ඇල්බට් අයින්ස්ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට් කාර්යාලයක සේවය කළ අයකු ලෙස ය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්වයට පැමිණ සිටියේ ස්‍රළු වැටුපකට පේටන්ට් කාර්යාලයෙහි සේවය කරමින් සිටිය දී ය. අයින්ස්ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක් නො වේ. පහසුකම් පිළිබඳ තත්වය ද එසේම ය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක් වැයවන බව සැබෑ ය. එහෙත් ලෝක පූජිත අදහස් බිහිකිරීමට ලෝක මට්ටමේ පහසුකම් අවශ්‍ය නො වේ.

අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස් (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහිකරන්නන් නො වීම ය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. එක් කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක් ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැගීමට ය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දැලා යැයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින් ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලුහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා ඒ අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්වරයකු (අද මේ තනතුරු නැත) ලෙස ගතකළ ආටෝප සහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයන් කොටසක් ශාස්ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිට ම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමට ය. ඔවුන් සියළු දෙනා ම අයින්ස්ටයින්ලා වී යැයි මම නො කියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වී ය යනු මගේ මතකය වෙයි. ශාස්ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙක ම කෙරෙහි අවධානය යොමුකළ අය ද සිටියහ. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස් පරිසරයට ද ඇතැම්හු ඇළුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින් ම වලංගු නො වේ.

මට ද අවුරුදු පහළොවේ සිට ම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු වීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස් ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිට ම මට විය. එය ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් ඔබ්බට ගියේ ය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස් තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක් නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස් ඉදිරිපත් කෙරී නැත. අනෙක් බොහෝ අයගේ නම් බිත්තිවල නොලියැවුණ ද ශාස්ත්‍රීය ගවේෂණය සඳහා යොමු වූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස් බිහි වී නැත. මෙයට හේතු දෙකක් වෙයි. 1921 සිට ම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස් ඉදිරිපත් කිරීම නො වේ. අප නව අදහසක් ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්ත අදහසක් විය. සඳකඩ පහන ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස් මේ ගණයට නිදසුන් වෙයි. අප කිසි විටෙකත් වියුක්ත අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්කෘතියෙන් ද පිටිවහලක් නොලැබෙන බව ය. දෙවැනි කරුණ ඒ නිසා ම පැන නගින්නක් විය හැකි ය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්ත නව අදහස් ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකි ය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්ටමේ අනුකරන පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නො හැකි ය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීන්, ටින්කර් බාසුන්නැහැලා පමණක් වෙමු. ගුණදාස අමරසේකර මහතා වුව ද මේ ශාස්ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක් නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසා ය.

අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්ටමේ ඇදුරන් බිහිකරගත හැකි යැයි මම විශ්වාස නො කරමි. ඒ නිසා ම ඊනියා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ද බිහිකරගත නො හැකි ය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්ටමක ජාතික විශ්වවිද්‍යාලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයේ විශ්වවිිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල් ම ආයතන වී ඇත්තේ මහාවිහාරය හා අභයගිරිය ය. නාලන්දා තක්‍ෂිලා ද ඉන්පසු ඇතිවිය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්ටමේ නව අදහස් එකල අනුරාධපුරයෙන් බිහි වී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තු ම නව අදහස් ඉදිරිපත්කළ විට ඒ ඇත්තේ කිනම් පොතක දැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොර බැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහිකළ හැකි තරුණයන් පිරිසක් අපට අපේ සංස්කෘතිය පසුබිම් කරගෙන බිහිකළ හැකි යැයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක් නිරූපණය නොවන බව දැන දැනම ය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක් බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහි වූ සාර්ථක ම කතාවක් බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශූන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන් ම යම් යම් දෑ පැහැදිලි කර ගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතු ය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත්නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වා දීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත්කළ හෝ තැත්කරන හෝ පුස්සන් අපට අනවශ්‍ය ය.