Main Logo

Showing posts with label නිවන. Show all posts
Showing posts with label නිවන. Show all posts

Wednesday, 17 September 2014

ඇත්ත හා බොරුව


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා ඇසූ ප්‍රශ්නවලට තවමත් පිළිතුරු දී නැත. ඔහු ඒ වෙනුවට තමන් නොදන්නා, තමන්ට තේරුම් ගැනීමට නොහැකි සුසමාදර්ශය, පශ්චාත්නූතනත්වය, පශ්චාත්නූතනවාදය ආදිය ගැන ලියයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා ආරම්භයේ දී ම පෙන්වා දී ඇති නමුත් අමරතුංග මහතාට එය ද නොතේරෙන බැවින් ඔහු කියන්නේ මා එසේ පෙන්වා දී නොමැති බව ය. ඔහු ඉදිරිපත් කළ ඊනියා අභියෝගවල කිසිම අභියෝගයක් නොතිබූ නමුත් මා එයට ද පිළිතුරු දී ඇත. කෙසේ වෙතත් අමරතුංග මහතා සුසමාදර්ශය පශ්චාත්නූතනවාදය ආදිය ගැන සඳහන් කරන විට මම නැවත වරක් ඒ ඊනියා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම අරඹා තිබුණෙමි. 

අමරතුංග මහතාගේ සුසමාදර්ශය, පශ්චාත්නූතනවාදය (ඔහු පශ්චාත්නූතනත්වය හා පශ්චාත්නූතනවාදය ආදිය අතර වෙනස දන්නේ ද?) ආදිය ගැන ප්‍රතිචාර දැක්වීම ඔහුගේ න්‍යාය පත්‍රයට කටයුතු කිරීමකි. ඔහු කුමක් ගැන කතා කළත් මේ ප්‍රශ්නය පිලිබඳ ව මගේ න්‍යාය පත්‍රයකට අනුව අදහස් ප්‍රකාශ කිරීම වැදගත් යැයි  සිතමි. එබැවින් මේ ලිපියත් මීළඟ ලිපියත් වෙන්වනු ඇත්තේ හැකිතාක් කෙටියෙන් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ඇයි ද යන්න නැවත වතාවක් පෙන්වා දීමට ය. අවශ්‍ය නම් පසුව විස්තරාත්මක ව ඒ සියල්ල පැහැදිලි කළ හැකි ය.

මෙහි දී අපි මුලට ම යමු. බෙරුව යනු කුමක් ද? වෙනත් වචනවලින් කිවහොත් ඇත්ත යනු කුමක් ද? දෙවනුව දැනුම යනු කුමක් ද? පෙර දැනුම ලබාගත්තේ (නිර්මාණය කළේ - සංස්කරණය කළේ ) කෙසේ ද? තෙවනුව බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ කුමක් ද? ඉතා කෙටියෙන් මේ ප්‍රශ්නවලට පළමුව පිළිතුරු දෙමු. මෙහි සඳහන් පළමු ප්‍රශ්නයට හැඳින්වීමක් කෙරී ඇති නමුත් එයට නිසි පිළිතුරක් මේ ලිපි පෙළෙහි මෙතෙක් දී නැත. එයට ප්‍රධාන හේතුව වූයේ අමරතුංග මහතා ඇත්ත යනු කුමක් දැයි පැහැදිලි කිරීමට පසුබට වීම ය. 

ඇත්ත යන වචනය බිඳී එන්නේ ඇති යන වචනයෙනි. වෙනත් වචනවලින් කිවහොත් ඇත්තේ ඇත්ත ය. එනම් ඇති දේ ඇත්ත ය. සංස්කෘත පඬිවරයකු මා සමග පැවසුවේ සත්‍යය යන්නෙහි ද එලෙස ම නිරුක්ති දැක්විය හැකි බව ය. සත්, එනම් පවතින, ඇති දේ සත්‍යය වෙයි. සත් යන්න සත්බව (ඉංගිරිසියෙන් ඔන්ටොලොජි) සමග බැඳී ඇත. දැන් අපේ ප්‍රශ්නය වනුයේ ඇති දේ යනු කුමක් ද යන්න ය. මෙයට පිළිතුරු සොයාගත හැක්කේ බුදුදහමෙන් නොව වෙනත් දහම්වලිනි. එයට හේතුව බුදුදහමට අනුව සියළු පෘථග්ජන දැනුම බුදුදහමට අනුව මුසා වීම ය. එබැවින් බුදුදහමෙහි මුසා ඇත්තෙන්, සත්‍යයෙන් වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පැන නො නගී. සියල්ල බොරු වූ කල ඇත්ත හා බොරුව වෙන්කිරීමේ අවශ්‍යතාවක් නැත. 

මෙයින් කියැවෙන්නේ බුදුදහමෙහි සඳහන් සම්‍යක්දෘෂ්ටිය බොරුවක්, මුසාවක් බව ද? එයට පිළිතුර ඔව් යන්න ය. මට තේරෙන බුදුදහමට අනුව අප සසර සැරිසරන්නේ අප සිතන බැවිනි. එනම් අප සිතට අරමුණු දැනෙන බැවිනි. වෙනත් වචනවලින් කිවහොත් අපි සිතට අරමුණු ගන්නෙමු. මම යනුවෙන් කෙනකු ඇතැයි අපි සිතමු. අපේ ප්‍රධාන ම අරමුණ වන්නේ මම යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ය. ඒ අරමුණ වැරදි ය.  මේ අරමුණු ගැනීම නැවතීම නිවන් අවබෝධය වෙයි. එහෙත් ඒ සඳහා, එනම් අරමුණු ගැනීම නැවැත්වීම සඳහා දෘෂ්ටියක්, මාර්ගයක් අවශ්‍ය වෙයි. ඒ දෘෂ්ටිය ද තවත් එක් දෘෂ්ටියකි. එය ද මුසාවකි. එහෙත් ඒ දෘෂ්ටිය නිවන් අවබෝධයට මග පෙන්වයි. එය සම්‍යක්දෘෂ්ටියක් වන්නේ එබැවිනි. එය නිවනට සාපේක්‍ෂව සම්‍යක්දෘෂ්ටියකි. මම යනුවෙන් කෙනකු නැති විට එසේ ඇතැයි ගැනීම වරදකි. නිවන් අවබෝධයේ දී සිදුවන්නේ මම නැතිකිරීම  නො වේ. එවැනි නැතිකිරීම් අයත්වන්නේ උච්ඡෙදවාදයට ය. නිවන් අවබෝධයෙහි දී නැති මම නැති බව අවබෝධ වෙයි. එහෙත් එසේ අවබෝධ  වන්නේ මට විය නො හැකි ය. 

බුදුදහමට අනුව සියළු පෘථග්ජන දැනුම් මුසා (බොරු) වුව ද පෘථග්ජනයන්ට ජීවත්වීම සඳහා ඒ බොරු අවශ්‍ය වෙයි. මේ බොරු පද්ධතීන් ලෙස පෘථග්ජනයන් අතර පවතියි. අපි ඒ පද්ධතිවලට සම්මුති (සම්මුති සත්‍ය නොව) යැයි කියමු. විවිධ ආගම්වල දහම් ද බටහිර විද්‍යාවද සම්මුති සඳහා උදාහරණ වෙයි. මේ සම්මුති අතර විසංවාද, පරස්පර පවතින නමුත් මිනිසුන්ට පරස්පර සහිත සම්මුති කිහිපයක එකවර ගැලී සිටීම ප්‍රශ්නයක් නො වේ. අනෙක් අතට පරස්පර, විසංවාද ආදිය ද ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායෙන් ලබාගන්නකි. මිනිසුන්ට එකවර ඇරිස්ටෝටලීය සම්මුතියහි සිටිමින් එයට විරුද්ධ සමස්තයක ගැලී සිටීම ප්‍රශ්නයක් නො වේ. ඇරිස්ටෝටලීය සම්මුතියෙහි දැඩිව ගැලී සිටින්නේ පරිගණක ය. එහෙත් පරිගණක මෘදුකාංග ලියන්නෝ ඇරිස්ටෝටලීය සම්මුතියෙහි දැඩිව නො ගැලෙති! එසේ වුවහොත් ඔවුහු ද යන්ත්‍ර බවට පත්වෙති. 


සම්‍යක්දෘෂ්ටිය ද  දියපහර තරණය කිරීමෙන් පසු පහුරක් මෙන් ඉවත දැමිය යුත්තක් මිස කරගහගෙන ගෙන යා යුත්තක් නො වේ. කෙසේ වෙතත් බුදුදහම හැරෙන්නට වෙනත් දහමකට අනුව ඇත්ත කුමක් ද? බොරුව කුමක් ද? මෙයට මූලික පිළිතුර අන් කිසිවක් නොව පංචෙන්ද්‍රියවලට හා මනසට ගෝචර දේ යන්න ය. පංචෙන්ද්‍රියවලට කිසිවක් සෘජුව ගෝචර නො වේ. පංචෙන්ද්‍රියවලට යමක් ගෝචර වන්නේ මනස ආධාර කරගනිමිනි. පැවැත්ම අවසාන විග්‍රහයෙහි දී මනස සමග බැඳී ඇත. එහෙත් මනස ද නො පවතියි! ඒ බුදුදහමෙහි ය. 

එහෙත් වෛදිකයන්ට මනස පැවතිණි. මම, ආත්මය ආදී සංකල්ප වෛදිකයන්ට ඇත්ත විය. බ්‍රහ්මන් ද ඇත්ත විය. බ්‍රහ්මන් සමග එකතු වීම ද ඇත්ත විය. අද්වෛත වේදාන්තය අනුව පවතින්නේ නිර්ගුණ් බ්‍රහ්මන් පමණකි. බ්‍රහ්මන් මනසට ගෝචර වුවත් පංචෙන්ද්‍රියවලට ගෝචර නැත. බ්‍රහ්මන් යන්න පංචෙන්ද්‍රියවලට ගෝචර නොවී මනසට ගෝචර වන සංකල්පයකි. බුදුදහමට අනුව ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මිනිස් ලොව උපන් අයකු තමන් බ්‍රහ්මන් යැයි සිතීමට හැකි ය. එසේ තමන් බ්‍රහ්මන් යැයි සිතන්නා ද අවසාන වශයෙන් ගත්කල පෘථග්ජනයෙක් පමණක් ම වෙයි. 

මුල දී මනසින් පමණක් ගන්නා දේ ද පංචෙන්ද්‍රිය හා මනසින් ගන්නා දේ ද ඇත යනුවෙන් ගැනීමට මිනිසුන් කටයුතු කර ඇති නමුත් යම් අවස්ථාවක දී මනසින් පමණක් ගන්නා දේ ඇතැයි යනුවෙන් ගැනීම ප්‍රතික්‍ෂෙප කර ඇති බව පෙනී යයි. ඒ අනුව ඇතැයි යනුවෙන් සැලකෙන්නේ පංචෙන්ද්‍රියවලට පමණක් ගෝචර දේ ය. පංචෙන්ද්‍රියවලට ගෝචර වීම යනු අවසාන විග්‍රහයෙහි දී මනසට ගෝචර වීමක් වන නමුදු මිනිසුන් එය ද නොසලකා හැර ඇති බව පෙනී යයි. පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් ඇතැයි යනුවෙන් සැලකීමටත් ඒ අනුව පංචෙන්ද්‍රියවලට ගෝචර වන්න ඇත්ත ලෙස සැලකීමටත් මිනිසුන් කටයුතු කර ඇත. 

ඒ නිර්ණායකය මිනිසුන්ට ඇත්ත හෙවත් සත්‍යය හා මිථ්‍යාව අතර වෙනසක් ඇතිකර ගැනීමට උපකාරි වී ඇත. පංචෙන්ද්‍රියවලට ගෝචර දේ (එනම් පංචෙන්ද්‍රියවලට හා මනසට ගෝචර දේ) ඇත්ත ලෙස සැලකෙන අතර එසේ නොමැතිව මනසට පමණක් ගෝචර වන දේ මිථ්‍යා ලෙසත් සැලකීමට ඇතැමුන් කටයුතු කර ඇත. එහෙත් සියළු මිනිසුන් ඒ නිර්ණායකය සැමදාමත් පිළිගත් බවක් මෙයින් නො කියැවෙයි. මෙහි දී වඩාත්ම බලපා ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ පිළිබඳ ව අවශ්‍ය සංකල්ප ගොඩනගාගත් පසු සියළු දෙනාට ම එකඟවීමට හැකි වීම ය.

උදාහරණයක් ලෙස ගතහොත් පුටුව නම් සංකල්පය ගොඩනගාගත් පසු පුටුවක් ඇතිවිට සියළු දෙනාට ම එතැන පුටුවක් ඇතැයි ගැනීමට හැකිවීම ය. එහෙත් ඒ පුටුව යන සංකල්පයට එකඟ වන අයට ය. බසයක ඇති ආසනවලට අපි සාමන්‍යයෙන් පුටු යැයිි නො කියමු. එබැවින් බසයකට ගොඩ වූ දරුවකු තම මව අමතා අම්මෙ අතන පුටුවක් තියෙනවා කී විට අපි සිනහසෙමු. දරුවාගේ පුටුව යන සංකල්පය වැඩිහිටියන්ගේ පුටුව යන සංකල්පයෙන් වෙනස් වෙයි. 

වෙනත් වචනවලින් කිවහොත් පුටුව පිළිබඳ දැනුම සම්බන්ධයෙන් දරුවාගේ සම්මුතිය වැඩිහිටියන්ගේ සම්මුතියෙන් වෙනස් වෙයි. එහෙත් වැඩිකල් නොගොස් දරුවා වැඩිහිටීයන්ගේ සම්මුතියෙහි ගිලෙයි. ඔහු තම සම්මුතියට වැඩිහිටියන් නම්මා ගැනීමට නො වෙහෙසෙයි.  බොහෝ විට ඔහුට ඒ සඳහා ශක්තියක් ද නැත. වැඩිහිටියන්ගේ සම්මුතියෙහි ගිලෙන දරුවා පසු කලෙක බසයෙහි දී වාඩිවීමට පුටු නො පෙන්වනු ඇත. 

සම්මුති අතර අධිපතිවාදී හෙවත් ආධිපත්‍යය දරණ සම්මුති වෙයි. අප බොහෝ දෙනා කරන්නේ ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි අධිපතිවාදී සම්මුතියකට යටවීම ය. යම් කරුණක දී ආධිපත්‍යය දරණ සම්මුතියට විරුද්ධවීම බොහෝ විට සියතින් ගෙල සිඳ ගැනීමකි. අද ලෝකයේ ද  ලංකාවේ ද දැනුම සම්බන්ධයෙන් ගත්කල ආධිපත්‍යය දරන්නේ බටහිර සම්මුතීන් ය. බටහිර විද්‍යාව ද ඉන් එක් අධිපතිවාදී සම්මුතියකි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීම,  නාථ දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමට හැකි යැයි පැවසීම ඊනියා උගතුන්ගේ සමච්චලයට හේතුභූත වනවා පමණක් නොව සියතින් ගෙල සිඳගැනීමක් ද විය හැකි බව මා නොදන්නවා නො වේ. එහෙත් ආත්මයක් නැති තැන ආත්මයක් ඇතැයි කියන්නේ කිනම් ආත්මයක් ගලවා ගැනිමට ද?

ඇත්ත සම්බන්ධයෙන් අපි දැනට සම්මුතීන් දෙකක් සාකච්ඡාකර ඇත්තෙමු. එක් සම්මුතියකට අනුව මනසට ගෝචර වන්න ඇත්ත ය. අනෙක් සම්මුතියට අනුව පංචෙන්ද්‍රියවලට ගෝචර වන්න ඇත්ත ය. පසුව සඳහන් සම්මුතියෙහි දී මනසින් තොරව පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන නමුත් මනස එහි දී ප්‍රධානත්වයෙන් නො සැලකෙයි. ඒ සම්මුතියෙහි ඇති විශේෂත්වය නම් සංකල්ප පිළිබඳ එකඟතාවකට පැමිණි පසු බොහෝ දෙනාට  ඊනියා ඇත්ත පිළිබඳ එකඟතාවකට පැමිණීමට හැකි වීම ය. ඒ සම්මුතියට අනුව ගස්වැල් සුළඟ සාගර තාරකා හිරු සඳු පවතියි. ඇතැම් විට ඒ අපෙන් තොරව පවතින්නේ යැයි ද කියැවෙයි. ඊනියා යථාර්ථය, වාස්තවික යථාර්ථය ආදී සංකල්පවල මුල ඇත්තේ එහි ය. 

එහෙත් පළමු සම්මුතිය ගැන එවැන්නක් කිවහැකි නො වේ. ඇතැමුනට දෙවියන් පෙනෙයි. එහෙත් ඒ පිළිබඳ සියළු දෙනාට එකඟ විය නො හැකි ය. බොහෝ දෙනාට දෙවියන් නො පෙනෙයි. ප්‍රශ්නය ඇතිවන්නේ මෙහි දී ය. දෙවැනි සම්මුතියෙහි දී ආබාධයක් නොමැති අයට යම් සංකල්පයක් ගැන එකඟතාවකට පැමිණිය හැකි වුව ද පළමුවැනි සම්මුතියෙහි එසේ කළ හැකි නො වේ. එයට ප්‍රධාන හේතුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ය. මෙහි දී ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මා සලකන්නේ බහුතරයේ දැකීම ය. බොහෝ දෙනාට විවිධ හේතු නිසා දෙවියන් නො පෙනෙයි. එමෙන් ම දෙවියන් සමග සංනිවේදනය කිරීමට නො හැකි ය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ බහුතරය විසින් තමන්ට නොපෙනෙන්න මිථ්‍යාවක් ලෙස සැලකීම ය. 

බහුතරය විසින් සුළුතරය විවිධ රෝගීන් ලෙස හඳුන්වනු ලැබෙති. එහි දී විවිධ මානසික රෝග ද සංකල්පගත කෙරී ඇත. බටහිර විද්‍යාව ද ආධාර කරගනිමින් බහුතරය සුළුතරය මත තම ආධිපත්‍යය පතුරවති. යමකු මනස යම් ආකාරයකට දියුණු කිරීමෙන් යම් දක්‍ෂතා අත්පත් කරගෙන තිබිණ ද ඒ මිථ්‍යා ලෙස හංවඩු ගැසීමට බහුතරයට හැකි වී ඇත. එවිට සත්‍යය යනු බෙහෝ දෙනාට ගෝචර වන්න බවට පත්වෙයි. මෙහි දී බහුතරයට උපකාර වන කරුණක් ද වෙයි. ඒ ඇතැම් මානසික රෝගීන්  අන් අයට නොපෙනෙන කරුණු ගැන සඳහන් කිරීම ය. 

සියළු මානසික රෝගීන් දකින එහෙත් බහුතරය නොදකින සියල්ල බොරු යැයි ද විකෘති යැයි ද ගත්ත ද එයින් කියැවෙන්නේ බහුතරය නොදකින එහෙත් කිසියම් ආකාරයකින් වුව සුළුතරයක් දකින සියල්ල විකෘති බවවත් ඒ සුළුතරය මානසික රෝගීන් බවවත් නො වේ. ඉතා පැහැදිලිව මෙහි දී විකෘති යනුවෙන් බහුතරය විසින් ගැනෙන්නේ තමන්ට නොපෙනෙන දේ ය. විකෘතිය සුළුතරයකට පමණක් සීමාවන්නේ යැයි බහුතරය විසින් නිගමනය කෙරෙන්නේ කෙසේ ද? විකෘතිය සුළුතරයේ නොව බහුතරයේ ලක්‍ෂණයක් විය නොහැක්කේ ඇයි? 

සුළුතරයට ඇතැම් දේ දැකිය හැක්කේ ඔවුන් ආධ්‍යාත්මික ගුණයකින් හෙබි නිසා විය හැකි ය. එසේත් නැතහොත් සසරෙහි පුරුදු කළ හැකි යම් ගුණයක් නිසා විය හැකි ය. අප සියළු දෙනාට ම කවියන් විය නො හැකි ය. කවියන් විය හැක්කේ සුළුතරයකට ය. ඒ සුළුතරයට විශේෂිත දක්‍ෂතා ඇත. අවශ්‍ය නම් ඒ දක්‍ෂතාවලට ද විකෘතියක් යැයි කිව හැකි ය. එහෙත් සමාජය විසින් කවියෝ විකෘති මානසික චරිත ඇත්තවුන් ලෙස හඳුන්වනු නො ලැබෙති. 

මෙය බටහිර විද්‍යාඥයන්ට ද පොදු ය. ලංකාවේ විශේෂ දක්‍ෂතා ඇති බටහිර විද්‍යාඥයෝ නො වෙති. මෙරට ඇත්තේ අනුකාරක අහිනක් පමණකි. ඔවුහු යම් යම් දේ තමන් තේරුම් ගත් (නොගත් යැයි යන්න වඩා උචිත ය) අන්දමින් සිසුන්ට හා අනෙක් අයට කියා දෙති. ඔවුන්ට කිසි දිනෙක බටහිර විද්‍යාවේ නිර්මාණාත්මක ව යමක් කළ හැකි නො වේ. එහෙත් බටහිර රටවල දැනුමට අළුතෙන් කරුණු එකතු කළ හැකි සුළුතරයක් සිටිති. එහෙත් ඔවුන්ට  විකෘති මානසික චරිත ඇත්තවුන් යැයි  නො කියැවෙයි. ඔවුන්ට ඒ ඒ සමාජවල ඉහළ ම ගෞරවය ලැබෙයි. 

මෙයට හේතුව කුමක් ද? සුළුතරයේ ඇතැම් දක්‍ෂතා ඇගයීමටත් වෙනත් දක්‍ෂතා විකෘතීන් ලෙස සැලකීමටත් සමාජය පෙළඹී ඇත්තේ ඇයි? එය ඊනියා වාස්තවික තත්ත්වයක් ද? කිසිසේත් නැත. මේ සමාජ ආධිපත්‍යය දරණ මතවාද විසින් නිර්මාණය කෙරෙන්නකි. අද සමාජ ආධිපත්‍යය දරන්නන්ට අවශ්‍ය දැනුම ගැන මෙයින් කියැවෙයි. පහළොස්වැනි සියවසෙන් පසුව ලෝකයේ චින්තන ආධිපත්‍යය දරණු ලබන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසිනි. ඔවුන්ට අවශ්‍ය බටහිර විද්‍යාව නිර්මාණය කරන සුළුතරයට සමාජයේ වැදගත් පිළිගැනීමක් ලබාදීමට කටයුතු කරති. ඒ අතර ඔවුහු තමන්ගේ දැනුමට පටහැණි ව කටයුතු කරන සුළුතරය මානසික රෝගීන්, විකෘති මානසික චරිත ඇත්තවුන් ආදීන් ලෙස හඳුන්වති. ඔවුහු ඒ සු්‍රළුතරයට සිනහසෙති. සමච්චල් කරති. පහර දෙති. 

මෙරට ඉන්නා තමන් බෞද්ධ යැයි කියා ගන්නා මිසදුටුවන්ට නම් ප්‍රශ්නයක් වී ඇත. ඒ බුදුන්වහන්සේ හා සම්බන්ධයෙනි. බුදුන්වහන්සේ ඊනියා ආනුභවික විද්‍යාඥයෙක් නො වූහ. උන්වහන්සේ නිවන් අවබෝධ කළේ ආනුභවික ක්‍රම මගින් නො වේ. බටහිර විද්‍යාඥයන්ගේ ආනුභවිකය අන්කිසිවක් නොව  පංචෙන්ද්‍රිය ගෝචර වූවකි. එහි මානසික දියුණුවක් ආධ්‍යාත්මික දියුණුවක් නිසා අත්කරගත් දෙයක් නැත. එහෙත් බුදුන්වහන්සේගේ ආර්ය පර්යේෂණය ඒ ආනුභවිකය සමග සම්බන්ධයක් නැත. එසේ වුවත් මෙරට සිටින බෞද්ධයන් ලෙස පෙනී සිටින මිසදිටුවන් කිහිප දෙනකුට බුදුන්වහන්සේ ආනුභවික ප්‍රාඥයකු කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. පංචෙන්ද්‍රිය  ගෝචර නොවන බැවින් පුනබ්භවය නොපිළිගන්නා මේ මිසදිටුවෝ බුදුන්වහන්සේ ආනුභවික ප්‍රාඥයකු බවට පත්කිරීමට ගොස් තව තචත්  පවු පුරවා ගනිති.                                        


නලින් ද සිල්වා

2014-09-17

Wednesday, 2 April 2014

මනසෙන් තොර ප්‍රත්‍යක්‍ෂයක් නැත


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ඉතා කපටි විධික්‍රමයක් යොදාගනියි. ඔහු අහවල් පොත කියවන්න යැයි මට නිර්දේශ කරයි. එහෙත් කිසිවිටෙකත් ඒ පොතකින් කිසිම පාඨයක්, ගාථාවක්, ඡෙදයක් උපුටා නො දක්වයි. ඇතැම් විටෙක ඒ මහතා ඒ පොතක ඇත්තේ මෙය යැයි කියමින් යමක් ප්‍රකාශ කරයි. එහෙත් ඒ පෙතෙහි ඇත්තේ එවැනි දෙයක් නොවන බව පාඨකයා නො දනියි. බොහෝ පාඨකයන් ඒ පොත් සොයාගෙන පොත් නොකියවන බව දන්නා ඒ මහතා තමා පොත්වලින් උපුටා නොදක්වන්නේ විදුසර පුවත්පතේ පිටු පිරවීමට ඇති අකමැත්ත නිසා යැයි කියයි. පිටු පුරවා වුවත් පාඨකයන්ට තමා කියන දේ සාක්‍ෂි සහිතව පෙන්වීම ඒ මහතාගේ වගකීමකි.   

මම නම් උපුටා දැක්වීමට කැමැත්තෙමි. එයට ප්‍රධාන හේතුව එවිට පාඨකයාට ම ඒ ඔස්සේ නිගමනවලට පැමිණීමට හැකි වීම ය. අමරතුංග මහතා මාර්තු 26 දින ලිපියෙහි මෙසේ කියයි. "මා සිතා සිටියේ අඩු තරමින් බුදුදහමේ මූලික සංකල්ප නලින් මහතා වටහාගෙන ඇත කියා ය. බුදුදහමේ සඳහන් ඉන්ද්‍රිය සයෙන් ක්‍රියාකාරීත්වයට අනුව මනස වෙන් කොට සැලකිය නොහැකි ය. අනෙකුත් ඉන්ද්‍රියයන් මෙන් මේ මනස තුළ ද සංඛාර, විඤ්ඤාණ ක්‍රියාදාමය සිදු නො වේ. එම නිසා යමක්‌ ප්‍රත්‍යක්‍ෂ කිරීමේ හැකියාව මනසට තිබිය නොහැකි ය. මනස නමැති දොරටුවෙන් ඇතුළු වන කෙළෙස්‌ සිතිවිලි ගැන බුදුන් දේශනා කොට ඇත. සයක්‌ වු ඉන්ද්‍රියයන්ට (සළායතන) අයත් මනසින් යමක්‌ ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි බව නලින් මහතා කියන ලෙස බ්‍රහ්මජාල හෝ වෙන සූත්‍රයක බුදුන් දේශනා කොට නැත. මා සිතා සිටියේ නලින් මහතා නො දන්නේ විද්‍යාව පමණක්‌ කියා ය. මේ දේවල් හරිහැටි වටහාගැනීමට මා නලින් මහතාට කියන්නේ මධුපිණ්‌ඩික සුත්ත (මඡ්ධිම නිකාය) පරිශීලනය කරන ලෙස ය. දැනුම ලබාගැනීමේ මාර්ගය අනුභූතිය (අත්දැකීම්) විය යුත්තේ මක්‌නිසා ද යන්න ඒ සූත්‍රයෙන් වටහාගත හැකි බව ද ඔහුට කියා දෙමි."

මේ කොටසෙහි මුල ඇති වාක්‍ය දෙකක් මෙසේ ය. “අනෙකුත් ඉන්ද්‍රියයන් තුළ සේ ම මේ මනස තුළ ද සංඛ්‍යාර, විඤ්ඤාණ ක්‍රියාදාමය සිදු නො වේ. එම නිසා යමක්‌ ප්‍රත්‍යක්‍ෂ කිරීමේ හැකියාව මනසට තිබිය නොහැකි ය.” මෙයින් කියැවෙන්නේ කුමක් දැයි මට නම් පැහැදිලි නැත. දෙවැනි වාක්‍යයෙහි එන එම නිසා යන්න එහි දී යොදාගන්නේ කෙසේ ද? පළමු වැනි වාක්‍යයෙන් හෝ යඑට කලින් වූ වාක්‍යවලින් හෝ දෙවැන්න ගම්‍යවන බවක් මට නම් නො තේරෙයි. අප වැනි දුහුනන්ගේ හිත සුව පිණිස මහාචාර්යතුමා ඒ වාක්‍ය අතර සම්බන්ධය පැහැදිලි කරන්නේ ද? මා මාර්තු 5 වැනි දා ලිපියෙන් උපුටා දැක්වූ බ්‍රහ්මජාල සූත්‍රයෙහි ගාථාවක කොටසක් නැවතත් උපුටා දක්වන්නේ අමරතුංග මහතාගේ ඉහත කී ඡෙදයෙහි දෙවැනි අර්ධය බොරුවක් බව පෙන්වීම සඳහා ය. අදාළ කොටස මෙසේ ය. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම් යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියනනාහු නම්, මේ -ගැඹුරු වූ සර්වඥ බුදු කෙනකුන් විසින් ම විනා සෙස්සන් විසින් නොදැක්ක හැකි වූ, එහෙයින් ම සෙස්සන් විසින් අවබෝධ කට නො හැකි වූ, ශාන්ත  වූ, ප්‍රණීත වූ, තර්කයෙන් බැස ගත නොහැකි වූ,  සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය.” (බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන 51 පිටුව 65 වැනි ගාථාව). 

මෙහි සඳහන් අන්දමට බුදුන් වහන්සේ යම් ධර්ම ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ විශිෂ්ට ඥානයකින් යැයි ද සඳහන් වෙයි. මේ සංවාදයෙහි දී මගේ කිසිම ලිපියක බුදුන් වහන්සේ මනසින් යමක් ප්‍රත්‍යක්‍ෂ කර ඇතැයි කියා නැත. මා එසේ කියා ඇත්තේ කිනම් ලිපියක දැයි අමරතුංග මහතා පවසන්නේ ද? සර්වඥ බුදුකෙනකුන් විසින් ම දත හැකි වූ ඒ ධර්ම බුදුන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂ කෙරුණු බව කීමට හේතු වූ ප්‍රධාන කරුණ වූයේ ත්‍රිපිටකයෙහි ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහනක් නැතැයි අමරතුංග මහතා වරක් ප්‍රකාශ කිරීම ය. මා ද අන්තර්ජාලය පරිහරණය නොකරනවා නො වේ. එහෙත් අන්තර් ජාලයෙහි ත්‍රිපිටකය යටතෙහි ප්‍රත්‍යක්‍ෂය සඳහන් නො වේ. අමරතුංග මහතා අන්තර්ජාලයෙන් කරුණු ගෙන ත්‍රිපිටකයෙහි ප්‍රත්‍යක්‍ෂයක් ගැන සඳහන් නොවන්නේ යැයි කීවේ දැයි නො දනිමි.  අප අන්තර්ජාලය පරිහරණය කළ යුත්තේ පරෙස්සමෙනි. එහි ඇතැම් විට වැරදි තොරතුරු ද අඩංගු වෙයි. මා මේ සංවාදයේ දී කියා ඇත්තේ පෘථග්ජනයන් මනසෙන් යම් යම් දේ ප්‍රත්‍යක්‍ෂ කරන බවත් රහතන් වහන්සේලාට ද බුදුන් වහන්සේට ද උන්වහන්සේලාට ආවේණික වූ ප්‍රත්‍යක්‍ෂ ඇති බවත් ය. එමෙන් ම ප්‍රත්‍යක්‍ෂය යනු දැනුම ලබාගැනීමේ විධික්‍රමයක් නොවන බව මා කියා ඇත. 

දැන් අපි මඩුපිණ්ඩික සූත්‍රයෙහි කියා ඇත්තේ කුමක් දැයි බලමු. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන පරිවර්තනයෙහි මජ්ජිම නිකාය යටතෙහි 154 වැනි පිටුවෙන් කොටසක් උපුටා දක්වමි. “ ඇවැත්නි, ඇස ද රූපය ද, නිසා චක්ඛුවිඤ්ඤාණය  ” විඳින දේ හඳුනාගනියි. හඳුනාගන්නා දේ හොඳ නරක වශයෙන් විනිශ්චය කරයි. විනිශ්චය කරන දේ පිළිබඳ තණ්හා දිට්ඨි ප්‍රපංච (සංකල්ප) ඇතිකර ගනියි. මෙසේ ප්‍රපංච ඇතිකර ගැනීම නිසා තණ්හා දිටඨි ප්‍රපංච අතීත අනාගත වර්තමාන ඇසින් බලාගත යුතු රූප විෂයයෙහි පුරුෂයා යටත්කරයි. කණ ද ශබ්දය ද ......, නාසය ද සුවඳ ද......, දිව ද රස ද ......, ශරීරය ද ස්පර්ශය ද......, මනස ද ධර්ම ද …......

මෙයින් කියැවෙන්නේ කුමක් ද? පළමුවෙන් ම චක්ඛු ආදී විඤ්ඤාණ ගැන කියැවෙයි. ඒ විඤ්ඤාණ ඇතිවන්නේ කොහේ ද? ඇස තිබූ පමණින් අපට රූප නො පෙනෙයි. රූප පෙනෙන්නේ විඤ්ඤාණය එකතු වීම නිසා ය. අනෙක් අතට තණ්හා දිට්ඨි ප්‍රපංච අතීත අනාගත වර්තමාන ඇසින් බැලීමක් ගැන කියැවෙයි. මෙහි අනුභූතියට අයත්වන්නේ අතීත ඇස ද වර්තමාන ඇස ද අනාගත ඇස ද? අතීත ඇස හෝ අනාගත ඇස හෝ අනුභූතියකට හසු නො වේ. අනුභූතියක් ගැන කතාකළ හැක්කේ වර්තමානය සම්බන්ධයෙන් පමණකි. අතීත ඇස ද අනාගත ඇස ද මනසේ ක්‍රියාකාරකම් නිසා ඇතිවෙයි. ඇස හා රූප මෙන් ම කණ හා ශබ්ද ගැන ද අනෙක් ඉන්ද්‍රිය ගැන ද කිවහැකි බව ඉහත සඳහන් ඡෙදයෙන් කියැවෙයි. ඒ සෑම අවස්ථාවක දී ම විඤ්ඤාණය අවශ්‍ය වෙයි. විඤ්ඤාණය මනසේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙයි. පංචෙන්ද්‍රියයන්ට මනස නොමැතිව ක්‍රියාකාරීත්වයක් නැත.

අවසාන වශයෙන් ඉහත සඳහන් ඡෙදයෙන් කියැවෙන්නේ මනස හා ධර්ම පිළිබඳ ව ය. මේ පෘථග්ජනයන්ගෙ මනස්් ගැන ය. එසේත් නොමැති නම් සම්මුති වශයෙන් ඇති මනස් ගැන ය. මා දකින අන්දමට නම් නැති මනස්  හෙවත් බොරුවක් වූ මනස් ගැන ය. මනස් පමණක් නොව ඇස් කණ් ආදිය ද බොරු සංකල්ප වෙයි. ඒ සියල්ල බොරු බව මුසා බව බුදුන් වහන්සේ ද්වායතානුපස්සනා සූත්‍රයෙහි දේශනා කර ඇති බව මා මාර්තු 12 වැනි දා ලිපියෙහි අදාළ ගාථාව උපුටා දක්වමින සඳහන් කර ඇත. මෙහි දී මනස ට අරමුණු වන්නේ ධර්ම ය. එහි දී විඤ්ඤාණය ඇතිවන්නේ ද මනසෙහි ය. එහි දී මනස අනෙක් ඉන්ද්‍රියන්ගෙන් ස්වායත්ත ව ක්‍රියාකරයි. අනෙක් ඉන්ද්‍රිය පහට මනස නොමැතිව ක්‍රියාත්මක වීමක් නැති වුවත් මනස වෙනත් ඉන්ද්‍රියයක් නොමැති ව ක්‍රියාත්මක විය හැකි ය. 

අනෙක් අතට විඳින්නේ වේදනාව දැනෙන්නේ හඳුනාගන්නේ කවු දැයි යන ප්‍රශ්නය ඇසුවහොත් එයට ඇත්තේ එක පිළිතුරක් පමණකි. ඒ මනස ය. අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂය ගැන සඳහන් කරන්නේ  අන්තර්ජාලයේ එන නිර්වචනයක් ඇසුරෙන් විය හැකි ය. ඒ නිර්චනයට අනුව ප්‍රත්‍යක්‍ෂ යනු ඇස නමැති ඉන්ද්‍රිය අභිමුඛයෙහි යන්න ය. එහෙත් ඇස නමැති ඉන්ද්‍රිය අභිමුඛයෙහි ඇති බව දැනෙන්නේ ඇසට නො වේ. ඒ දැනෙන්නේ පෘථග්ජන මනසට ය. අනෙක් අතට මෙහි ඇස යන ඉන්ද්‍රිය අනෙක් ඉන්ද්‍රියයන්ට ද විස්තීරණය කළ හැකි ය. එවිට ප්‍රත්‍යක්‍ෂ යන්න අනෙක් ඉන්ද්‍රිය සමග මනසට ද අනෙක් ඉන්ද්‍රිය නොමැතිව ද මනසට යන්නට ද දැනෙන්නක් බව පැහැදිලි විය යුතු ය. මනස නොමැතිව ඇති පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂයක් නැත. අමරතුංග  මහතා මනස යනු මොළයට ඌනනය කළ හැක්කක් යැයි පවසන්නේ ද? විවිධ බ්‍රහ්ම ලෝකවල උපදින සත්ත්වයන්ගේ මනස් ගැන ඒ මහතාට කීමට ඇත්තේ කුමක් ද? 

බුදුදහම සාධාරණ ප්‍රවාද ගොඩ නගන්නක් නො වේ. බුදුන් වහන්සේගේ දේශනා යම් සන්දර්භයක් තුළ දේශනා කෙරිණි. මඩුපි්ණ්ඩික සූත්‍රයට ද කාලාම සූත්‍රයට ද වීමංසක සූත්‍රයට ද සන්දර්භ ඇත. දණ්ඩපාණී ශාක්‍යයාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස දෙවියන් බඹුන් මාරයන් ආදීන් සමග ගැටුමකට නොයන ධර්මය ලෙස කෙටියෙන් විස්තර කරන ලද්දක් පසුව භික්‍ෂූන් වහන්සේගේ දැනගැනීම සඳහා දීර්ඝ වශයෙන් කළ විස්තරයක් එකී සූත්‍රයෙහි අඩංගු වෙයි. මෙහි දී වඩා වැදගත්වන කරුණ නම් බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් අය සංජානන (ප්‍රපංච නිසා) නිසා නො කැළඹෙති. එයින් කියැවෙන්නේ පංචෙන්ද්‍රියන්ට හා මනසට ගෝචර වන දෙයින් ඔවුන් නොකැළඹෙන බව ය. එයට හේතුව ඒ සියල්ල මුසා බව ඔවුන් තේරුම් ගෙන සිටීම ය. අපට ඇත්තේ මනස විසින් ඇතිකෙරෙන මායාවකි. මේ මායාවට මුල මනස ය. 

කාලාම සූත්‍රයට ද සන්දර්භයක් ඇත. කාලාමයනට විවිධ ශාස්තෘවරු පැමිණ විවිධ දේශනා කළහ. කාලාමයනට ප්‍රශ්නය වූයේ ඔවුන් කුමක් පිළිගත යුතු ද යන්න ය. බුදුන් වහන්සේ එයට බුද්ධිවාදී පිළිතුරක් නොදුන්හ. පොතක පතක තිබූ නිසා කවුරුන්වත් කී නිසා ආදී හේතු නිසා යමක් නොපිළිගත යුතු යැයි දේශනා කළ උන්වහන්සේ යමක් පිළිගැනීමේ දී විඤ්ඤූන් එලොව මෙලොව වැඩ සඳහා කරන්නේ කුමක් ද, එලොව මෙලොව අයහපත හේතුවන නිසා නොකර සිටින්නේ කුමක් ද යන්න තේරුම් ගෙන ඒ අනුව තමන්ට ද එය අදාළ යැයි සිතන්නේ නම් ඒ අනුව කටයුතු කරන ලෙස ය. අමරතුංග මහතා ඒ විඤ්ඤූන් පිළිබඳ කතාව අමතක කරයි. මෙහි වැදගත් ම කරුණ වනුයේ එලොව මෙලොව යහපතට හෝ අයහපතට හෝ හේතුවන දේ තීරණය කරන්නේ කෙසේ ද යන්න ය. එය අවසාන වශයෙන් ගත්කල ඒ ඒ ධර්මයට සාපේක්‍ෂ ය. එලෙස ගත්කල කාලාම සූත්‍රය ද නිරපේක්‍ෂ නොවන චක්‍රිය දේශනයක් බව පැහැදිලි වනු ඇත. සනත් නානායක්කාර මහතා කාලාම සූත්‍රය වටහාගෙන නැතැයි කීම අමරතුංග මහතාගේ හුදු ප්‍රකාශයක් පමණකි. අමරතුංග මහතා කිසිම සාක්‍ෂියක් නැතිව එක්කෝ ප්‍රකාශ කරයි. එසේත් නැත්නම් විධාන කරයි. එසේත් නොමැති නම් නියෝග නිකුත් කරයි. වීමංසක සූත්‍රයට ද සන්දර්භයක් ඇත. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර ඇත්තේ අනුන්ගේ සිත් දැනගැනීමට නොහැකි භික්‍ෂූන් වහන්සේ සඳහා ය. එය හුදෙක් බුදුන් වහන්සේ රහත් ද නැත් ද යන්න තීරණය කිරීම සඳහා ඇති පරීක්‍ෂාවක් නො වේ.  බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ත්‍රිපිටක පරිවර්තනයෙහි මජ්ජිම නිකායෙහි 303 වැනි හා 305 වැනි පිටවල  ඒ පිලිබඳ විස්තර සඳහන් වෙයි. ඉඩ ඇති පරිදි මේ විස්තර උපුටා දක්වමි. 

අමරතුංග මහතා මෙන් නියෝග නිකුත් නොකරන බැවින් ඒ මහතා මෙන් බොහෝ දේ එක් ලිපියකින් කීමට මට නො හැකි ය. ඒ මහතා ගුරුත්වාකර්ෂණය පිළිබඳ දැනට කියා ඇති දේ ගැන විවේචනයක් පසුව කරමි. එහෙත් දැනට ඔහුගේ මේ පාඨය ඉදිරිපත්කර ප්‍රශ්නයක් දෙකක් අසමි. මේ ඡෙදය මා පසුව ද උපුටා දැක්වීමට ඉඩ ඇත. “ එහෙත් සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය ගුරුත්වාකර්ෂණීය සත්‍යයන් ද සැලකිල්ලට ගන්නා නිසා එහි දී අවකාශ-කාලය වක්‍රතාවයක්‌ ආරූඪ කර ගනී. තව ද සාපේක්‍ෂතාවාදය ගණිතමය මොඩලයක්‌ බව ද එනමුත් ඒවා ඉතා සාර්ථකව ප්‍රයෝගිකව යොදාගත හැකි බව ද කිව හැකි ය. අවකාශ-කාල සංකල්පය ද ගණිතමය මොඩලයක්‌ ලෙස ඉදිරිපත් වේ. මේ දේවල් නලින් මහතා නො දනී. එම නිසා මගේ පිළිතුරේ අඩංගු වූ ඉහත සඳහන් කරුණු බොරු බව ඔහු පවසයි. ඔහු නො දන්නවාට අද දින මේ විෂය හදාරන හැම දෙනෙක්‌ ම මේ මූලික කරුණු දැන සිටිය යුතු ය. අයින්ස්‌ටයින් විද්වතාණන් මේ මතවාද ඉදිරිපත් කළ කාලයේ ඒවාට අදාළ සාක්‌ෂි තිබුණේ නැත. එහෙත් දැන් ඒවා ඔප්පු වී හමාර ය. නලින් මහතා මගේ පිළිතුර වැරැදි යෑයි කියන්නේ ඔහු තාමත් ජීවන් වන්නේ සාක්‌ෂි නො තිබුණු කාලයේ බැවිනි. මේ කරුණු මා ලබාගෙත්තේ ඉහත සඳහන් පොතපතිනි. නලින් මහතා ගේ යල් පැනපු දැනුම නවීකරණය කරගැනීමට ඒ පත පොත කියවන මෙන් අවවාද කරමි.”  මගේ යල් පැනපු දැනුම යාවත්කාලීන (එය නවීකරණය කරගැනීම යනු අර්ථශූන්‍ය ප්‍රකාශයකි) කරගැනීම සඳහා අයින්ස්ටයින් විද්වතා මේ මතවාද ඉදිරිපත් කළ කාලයේ නොතිබූ අදාළ සාක්‍ෂි කවරේ ද? ඒවා ඔප්පු වූයේ කවදා ද? මේ මතවාද යනුවෙන් අමරතුංග මහතා අදහස් කරන්නේ කුමක් ද? අවකාශ - කාල වක්‍රතාවක් ආරූඪ කරගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අවකාශ - කාල සංකල්පය ගණිතමය මොඩලයක් පමණ ද? මොඩලයක් යනු කුමක් ද? මොඩලය නිරපේක්‍ෂ ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් හෝ පවතින්නේ ද? මා නොදන්නා තමා කියන මූලික කරුණු මොනවාදැයි කියා ඒ දන්නා භෞතික විද්‍යාව රුපික ව (විධිමත් ව) හැදෑරූ අයකු නම් කළ හැකි ද? මම ඔහුගෙන් ඉගෙනීමට කැමැත්තෙමි.

අමරතුංග මහතා අරාබි පරිවර්තන ගැන කියන කතා අරාබි නිසොල්ලාසය නොවුවත් එයින් කිසිවක් නොකියැවෙයි. ඉන්දියාවෙන් බටහිරට ගිය ගණිතය හා අද බටහිර ගණිතය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි. වෛදික ගණිතයෙහි බටහිර ගණිතයෙහි මෙන් වියුක්ත සංකල්ප  නැත. සාධාරණයකිරීම් නැත. වෛදිකයන්ට පෛතගරස් ප්‍රමේයය නො තිබිණි. එහෙත් ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයෙහි කර්ණය සෙවීම සඳහා සූත්‍ර නම් තිබිණි. අමරතුංග මහතා වා පිත්  සෙම් ගැන කියා තිබූ දෙයින් මම පුදුමයට පත්නොවීමි. ඒ ගැන ද පසුව කියමි. දැනට කිවයුත්තේ මගේ වෙදමහතා මට ප්‍රතිකාර කිරීමේ දී  රෝග විනිශ්චයක් ද කරන බව ය. ප්‍රතිකාරය හුදෙක් ඒ ලෙඩේට මේ බෙහෙත යන ආකාරයේ ඊනියා ආනුභවික අත්දැකීමක්  නො වේ. අනෙක් අතට සිංහල වෙදමහත්වරුන් ප්‍රතිකාර කරන්නේ රෝගයට නොව රෝගියාට ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් අවුරුදු විස්සකට පමණ ඉහත මේ සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා මහතා හා මා අතර දිවයින පුවත්පතෙහි පළවූ සංවාදයක් පිළිබඳ විස්තර ඉදිරිපත් කළ හැකි ය. මා තැත් කරන්නේ මගේ මමත්වය වඩාගැනීමට අයින්ස්ටයින් වැන්නන් පොඩ්ඩන් කිරීමට නො වේ. ඔවුන්ගේ චින්තනය හා කතන්දර ගෙතීම හෙළිදරවු කිරීම මගේ වෑයම වෙයි.                


නලින් ද සිල්වා

2014-04-02

Wednesday, 31 July 2013

ඇස් පෙනෙන්නෝ හා නොපෙනෙන්නෝ

අප මෙහි දී අදෘශ්‍යමානය යන්නෙන් අදහස් කරන්නේ ඇසට නොපෙනෙන දේ පමණක් නො වේ. මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල අදෘශ්‍යමාන ලෙස අපි සලකමු. අදෘශ්‍යමානය යන්නෙහි වචනාර්ථය පමණක් අපි නො සලකමු. අපට මෙහි දී වැදගත් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පවතින්නේ ද යන්න ය. එහෙත් අප අවධාරණය කළ යුතු දෙයක් වෙයි. ඒ පවතින්නේ ය යන්න ද අපේ නිර්මාණයක් සංකල්පයක් පමණක් බව ය. සියළු සංකල්ප ශූන්‍ය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. ඒ අපේ නිර්මාණ පමණකි. 

ඒ අර්ථයෙන් ගත්කල අදෘශ්‍යමානය පමණක් නොව දෘශ්‍යමානය ද නො පවතියි. ඒ සියල්ල පවතින්නේ අපේ සංකල්පීය ලෝකයෙහි පමණ ය. එහෙත් සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුව යන්න පවතින්නේ සංකල්පීය ව පමණ ය. එය පරමාර්ථ වශයෙන් නොපවතී යැයි කීමට මම අකමැත්තෙමි. සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. ඇතැමුන්ට අනුව නිවන පරමාර්ථ සත්‍යයකි. මම ද කලක් ඒ එසේ යැයි විශ්වාස කළෙමි. නිවන පරමාර්ථ වශයෙන් සත්‍යයක් යැයි ගත්ත ද නිවන පවතින්නේ යැයි කියන්නෝ වෙත් ද?

අවාසනාවකට එසේ සිතන්නෝ වෙති. ඇතැමුන්ට අනුව නිවන යනු සත්ත්වයන්ට සදාකාලික ව පැවතිය (ජීවත්විය) හැකි වූවකි. එහෙත් නිවන් අවබෝධ කළ තැනැත්තා නැවත නූපදි යි. එසේ නිවන් අවබෝධ කරගන්නා තැනැත්තකු ද නැති වුවත් සම්මුති වශයෙන් ඇති තැනැත්තා නිවන් අවබෝධයෙන් පසු නැවත භවයක ජාතියක්, ජන්මයක් නො ලබයි. නිවන් අවබෝධය යනු චුති චිත්තයෙන් පසුව වෙනත් චිත්ත ඇතිවීම නැවැත්වීම ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණක් නම් චිත්තය යන්න ද අපේ සංකල්පයක් බව ය. 

චුති චිත්තය නිවන් අවබෝධයත් සමග ඇති වීම අනිවාර්ය නොවන බැවින් නිවන් අවබෝධයත් සමග පරිනිර්වාණය සිදු වීම අනිවාර්ය නො වේ. එබැවින් බුදුන් වහන්සේ ද රහතන් වහන්සේ ද නිවන් අවබෝධයෙන් පසුව ද යම් කාලයක් ජීවත් වෙති. ඒ කාලයෙහි උන්වහන්සේට ක්‍රියා සිත් ජනිත වෙයි. අවශ්‍ය වූ විටෙක නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඒ කුමක් වුවත් නිවන යනුවෙන් තැනක් නැත. නිවන් යෑමෙන් (අවබෝධයෙන්) අප යන තැනක් ගැන නො කියැවෙයි. 

අපට ඇත්තේ සම්මුති සත්‍ය ය. ඒ සම්මුති සත්‍ය පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. අප පුටුවක් ඇතැයි කියන්නේ සම්මුතියෙනි. අප දන්නා සියල්ල සම්මුති වශයෙන් පමණක් සත්‍ය වන අතර සම්මුති වශයෙන් පමණක් පවතියි. දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවතින දෙයින් කොටසක් පමණක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවත්නා දේවල කුලකයේ උප කුලකයක් පමණකි.  

දෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අද්‍යශ්‍යමානය යනුවෙන් ගන්නා දේ අප බොහෝ දෙනකුගේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් ඇතැමුනට අප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ යැයි කියන දේ මනේන්ද්‍රියට දැනෙයි. අපේ මනස්වලට ඒ හසු නොවන බැවින් අපි එසේ මනේන්ද්‍රියන්ට ගෝචරවන දේ ඇතැයි, පවතින්නේ යැයි නො පිළිගනිමු. වෙනත් අයට එසේ ඇතැම් දේ මනේන්ද්‍රියට ගෝචර වන්නේ යැයි කියන්නේ ඔවුන්ගේ මනසේ ඇතිවන භ්‍රාන්තියක් නිසා යැයි අපි කියමු.

එය අන්ධ මනුෂ්‍යයකු අපට කිසිවක් නො පෙනෙන්නේ යැයි කීමට සමාන ය. එවැන්නකු කියනු ඇත්තේ ඊනියා පෙනෙන දේ ඇතැමුන්ගේ භ්‍රාන්තියක් පමණක් බව ය. කිසිවක් නොපෙනෙන ලෝකයක ඇතැම් දේ පෙනෙන්නේ යැයි කීම භ්‍රාන්තියක් නොවන්නේ ද? එහෙත් අන්ධ මනුෂ්‍යයෝ එසේ නො කියති. එයට හේතුව අති විශාල බහුතරයක් පෙනෙන දේ ඇතැයි කීම ය. යම් හෙයකින් අන්ධ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව අති විශාල වී නම් හා පෙනෙන අයගේ සංඛ්‍යාව ඉතාමත් සුළුතරයක් වී නම් සමාජයෙහි ඒ සුළුතරය ගැන කිනම් මතයක් ඇතිවීමට ඉඩ තිබිණි ද? 

බහුතරය යන්න ද බොහෝ විට සමාජ බලයක් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එලෙස බහුතරය සමාජ බලයක් ලෙස ගැනීමෙනි. අඩුම තරමෙන් එසේ ගන්නා බවට මතයක් ඇති කිරීමෙනි. බහුතරය සමාජ බලයක් විය යුත්තේ අසන පිරිස් නැතිවා නො වේ. අද මෙරට ඇතැමුන් අසන ප්‍රශ්නයක් නම් බහුතරය සිංහල වූ නිසා සිංහලයන්ගේ මතය සමාජයට බලයෙන් පිළිගැන්විය යුතු ද යන්න ය. එය එසේ විය යුතු නො වේ. බහුතර මතය ගලා එන්නේ කිනම් සාධක මත ද යන්න එහි දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය වෙයි. 

කෙසේ වුවත් එහි තවත් පැත්තක් ද වෙයි. අප සමාජය මත සුළුතරයේ මතය බලයෙන් පැටවිය යුතු ද? එහි දී විදේශීය රටවල සහාය ලබාගැනීම කෙසේ යුක්තියුක්ත කරන්නේ ද? එසේත් නැත්නම් විදේශිය රටවල් තම මතය බහුතරය මත පැටවීමට සුළුතරය යොදා ගන්නේ ද? විදේශීය රටවල දේශපාලන හා ආර්ථික ශක්තිය යොදා ගැනීම යුක්තියුක්ත කළ හැකි ද? අද ලංකාවේ සිදුවන්නේ එවැන්නකි. විදේශික බලවේග සිංහල බහුතරය මත තම මතය පැටවීමට දෙමළ සුළුතරය යොදා ගනියි. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වුව ද එකඟ නොවනමුත් අද මෙරට සිදුවන්නේ ඒ ක්‍රියාදාමය ය. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම මතය සිංහලයන් මත පැටවීමට දෙමළ හා මුස්ලිම් සුළුතරය යොදා ගැනීමට උත්සාහ කරති. 

කෙසේ වෙතත් ඇස් නොපෙනෙන්නන්ගේ ලෝකයක ජීවත්වන ඇස් පෙනෙන්නන් සුළුතරයකට  මුහුණ පෑමට සිදුවන ගැටළු සිතාගත හැකි ය. ඇස් පෙනෙන සුළුතරයට විදේශීය සහායක් නොලැබුණහොත් (ඔවුන්ට ඇස් පෙනෙන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වේ.) ඔවුන් මානසික වශයෙන් ප්‍රශ්න ඇති අය, විකාර කියවන්නන් ආදීන් වශයෙන් හැඳින්වෙනු ඇත. එලෙස ම මිනිසුන්ගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන දේ ගෝචරවන්නේ යැයි පවසන සුළුතරය පංචෙන්දිය්‍රට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි කියන ලෝකයක මානසික රෝගීන් ලෙස හඳුන්වනු ලැබීම බලාපොරොත්තු විය යුත්තකි.

පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යනු හුදෙක් අවයව පහට ගොදුරු වීමක් නොවන බව අවධාරණය කළ යුතු ය. ඉන්ද්‍රියයක් යනඑ අවයවයකට වැඩි දෙයකි. ඉන්ද්‍රියයක් ඇති වන්නේ අදාළ අවයව මනස සමග එකතු වීමෙනි. මනස නොමැතිව කිසිම ඉන්ද්‍රියයක් නැත. මෘත ශරීරයකට ද අවයව පහ ඇත. එහෙත් මෘත ශරීරයකට පංචෙන්ද්‍රිය නො වේ. මෙහි දී සැලකිය යුත්තක් නම් බටහිර විද්‍යාව කුමක් කීව ද සිංහල බෞද්ධයනට මනස යන්න ද ඉන්ද්‍රියයක් බව ය. එහෙත් මනස නම් ඉන්ද්‍රිය සමග බද්ධ වූ අවයවයක් නැති බව අප කලකට පෙර සඳහන් කර ඇත.  

මනස හදවත සමග හෝ මොළය සමග හෝ බද්ධ වී නැත. මනස ඇත්තේ හදවතෙහි යැයි කිවහැකි නො වේ. එමෙන් ම මස මොළයට ඌනනය කළහැක්කක් ද නො වේ. මනස යන ඉන්ද්‍රියට පැවතීමට (සම්මුති වශයෙන් බව නිතර ම කිවයුතු නො වේ. එහෙත් වරදවා තේරුම් ගැනීම වැළැක්වීම සඳහා ඒ බව විටින් විට කිවයුතු වෙයි.) අවයවයක් අවශ්‍ය නො වේ. නො එසේ නම් සිත මිස කය නැති බඹ ලොවක් තිබිය නො හැකි ය. (එය තර්කයක් නොවන බව ද මම දනිමි. එයට හේතුව අප අති විශාල බහුතරයට බඹ ලොව පැවැත්ම ගැන  කිසිම දැනුමක් හෝ විශ්වාසයක් හෝ නැති බැවිනි.) 

එහෙත් මනසක පැවැත්ම ගැන අපට අවබෝධයක් ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ ප්‍රායෝගික ව ය. එහි දී ද අප යොදා ගන්නේ ජීවත්වන්නකු හා මෘත ශරීරයක් අතර ඇති වෙනස ය.  නරක් නොවුණු මෘත ශරීරයක මොළය ද ඇතුළු සියළු අවයව වෙයි. එහෙත් මෘත ශරීරයට කිසිවක් නො දැනෙයි. මෘත ශරීරයක් හා ජීවත්වන්නකු අතර ඇති වෙනස ද එයයි. සිහි නැති පුද්ගලයකුට ද කිසිවක් නොදැනෙන්නේ යැයි කිසිවකු කියනු ඇත. සිහි නැති පුද්ගලයකු සහ මෘත ශරීරයක් අතර ඇති වෙනස කුමක් ද? 

බටහිර වෛද්‍ය විද්‍යාව එයට කියනු ඇත්තේ සිහි නැති පුද්ගලයකුගේ හදවත හා මනස ක්‍රියාකරන බව ය. හදවත ක්‍රියා නොකළත් මනස ක්‍රියා කරන බව ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිය යෑම යනු මොළය මිය යෑම ය. මෙහි දී මිය යෑම යන වචනය යොදා ගැනීම තරමක ප්‍රශ්නයකි. මොළය මිය යෑම යනු මොළය අක්‍රීය වීම විය හැකි ය. මෙයින් කියැවෙන්නේ මනස යනුවෙන් සංකල්පයක් නොයොදා ගෙන මිය යෑම තේරුම් ගත හැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය හෝ එසේ ක්‍රියාකාරි වීමේ ප්‍රතිඵලයක් හෝ වෙයි. 

එය එසේ යැයි පිළිගත්ත ද පංචෙන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙයි. අදාළ අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ඇස කණ ආදී අවයවවලට ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් මොළය යනු ද අවයවයකි. එසේ නම් මොළය හා වෙනත් අවයවයක් අතර ඇති වෙනස කුමක් ද? මොළයට එතරම් විශේෂත්වයක් අත්වන්නේ ඇයි? අනෙක් අවයවයකට මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ක්‍රියාකාරි වීමට නොහැකි වුවත් වෙනත් කිසිම අවයවයක ක්‍රියාකාරීත්වය නොමැතිව මොළයට ක්‍රියාකාරී විය හැක්කේ කෙසේ ද? 

මෙහි දී පැන නගින ප්‍රශ්න දෙකක් වෙයි. මොළය නම් අවයවය ඇති සියළු සතුන්ට මනසක් වේ ද? එසේත් නැත්නම් මනස යන වචනය යොදා ගැනීමට අකමැත්තක් වේ නම් මොළය ඇති සියළු සතුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් නැත් ද? අනෙක් සතුන්ගේ ද මොළය හැරෙන්නට අනෙක් අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය හා බැඳී ඇත් ද? මනස යනුවෙන් කුමක් කියැවෙන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැතිව වුව ද මෑතක් වන තුරුම බටහිර විද්‍යාව කියා සිටියේ මිනිසුනට හැරෙන්නට අනෙක් සතුන්ට මනසක් නැති බව ය. 

එහෙත් දැන් දැන් මේ මතය වෙනස්වනු දැකිය හැකි ය. සුපුරුදු පරිදි බටහිර විද්‍යාවේ එක් ප්‍රවාදයක් වෙනුවට වෙනත් ප්‍රවාදයක් ආදේශ වෙයි. මිනිසුන් නොවන සතුන්ට මනස් නැතැයි කී බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු සතුන්ගෙන් කිහිප දෙනකුට වුවත් මනසක් ඇතැයි කීම එතරම් ම පුදුමයට කරුණක් නො වේ. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් කිහිප දෙනා මනස යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි අපි නො දනිමු. එය බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියන මොළය ද? එසේත් නැත්නම් වෙනත් කිසිවක් ද?  එය අවයවයක් සමග බැඳී ඇත් ද?     


අනෙක් ප්‍රශ්නය වනුයේ මොළයක් යනුවෙන් කිවහැකි අවයවයක් නැති සතුන්ට මනසක් නැත් ද යන්න ය. මනසක් නැත්නම් මේ ජීවීන් සංසාර ගමනක නො යෙදෙන්නේ ද? ඔවුන්ට මීළඟ භවයක් නැත් ද? බුදුදහමෙහි සියළු සතුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ කවුරුන් ද? ඒ සතුන්ට මනසක් ඇත් ද? නැත් ද? මේ ප්‍රශ්න පිළිබඳ ව බටහිර විද්‍යාව ද බුදුදහම ද විශ්වාස කරන අය කියන්නේ කුමක් ද? ඔවුන්ට සංගත පිළිතුරු දිය හැකි ද?



නලින් ද සිල්වා

2013-07-31

Sunday, 5 February 2012

බෞද්ධ පඬිවරු හා පරිසිද්ධි

ද්‍රව්‍යවාදීන්ට හා වෙනත් බොහෝ දෙනාට අනුව නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් පවතී. එය වාස්තවික යැයි ඔවුහු කියති. ඒ නිරපේක්‍ෂ වූ ද වාස්තවික වූ ද ලෝකය බොහෝ විට යථාර්ථය නමින් ද හැඳින්වෙයි. ලොවෙහි මිනිසුන් සිටියත් නැතත් එවැනි ලෝකයක් පවතින්නේ යැයි සාමාන්‍යයෙන් බටහිරයෝ විශ්වාස කරති. එය බටහිර ලෝකයේ අධිපතිවාදී මතය ද වෙයි. බටහිරයන් තම දේශපාලන බලය යොදාගනිමින් ඔවුන් ඒ ඒ රටවල පිහිටුවා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ඔස්සේ එය ලෝකයේ අධිපතිවාදී මතය බවට ද පත්කර ඇත.

පෙරදිග ලෝකයේ ද ඈත අතීතයේ ද්‍රව්‍යවාදීහු සිටියහ. ඒ අතර පෙරදිග මෙන් ම බටහිර ද විඤ්ඤාණවාදීන් ද වාසය කර ඇත. විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය යනු මනසේ නිර්මාණයක් වෙයි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ද්‍රව්‍යවාදයේ මෙන් ම විඤ්ඤාණවාදයේ ද විවිධ ප්‍රභේද ඇති බව ය. බෞද්ධයන් අතර ද විවිධ ගුරුකුල තිබූ බවත් ඇතැමුන් විඤ්ඤාණවාදීන් වූ බවත් තවත් සමහරුන් ද්‍රව්‍යවාදීන් වූ බවත් පැහැදිලි ය. මේ අතර ක්‍ෂණයකට බාහිර ලෝකයක් තිබෙන බව පිළිගත් අය ද සිටිය හ. අද ද මේ ඇතැම් ගුරුකුල පවතින බව පැහැදිලි ය.

ථෙරවාද බෞද්ධයන් නමින් තමන් හඳුන්වාගන්නවුන් අතර ද විවිධ කරුණු ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ මත ඇති බව පැහැදිලි ය. නිවන වචනයෙන් කිවහැකි යැයි ඇතැම්හු කියති. ඇතැමුන්ට අනුව නිවන වචනයෙන් කිවහැකි නො වේ. ඇතැම් උගතුන් යැයි කියන්නන්ට අනුව සංසාරයක් ද නැත. සියල්ල මේ භවයට පමණක් සීමා වෙයි. තවත් භවයක් නැතැයි කියන්නෝ ද පඬිවරුන් ලෙස පිළිගැනෙන අය අතර වූහ. දැනුදු වෙති. බෞද්ධ දර්ශනය පිළිබඳ ඇතැම් මහාචාර්යවරුන්ට අනුව පිරිනිවන් පෑමෙන් පසුව ද රහතන් වහන්සේ භවයක වෙසෙති. රහතන් වහන්සේ මේ භවයෙහි නිවන් දැක පවතින (ජීවත්වන) ආකාරයට උන්වහන්සේට වෙනත් භවයක ද පැවතිය හැකි ය. මේ පඬිවරුන්ට අනුව රහතන් වහන්සේ ඒ භවයෙන් චුත නොවන අතර අමරණීය ද වෙති.

මේ සියළු මත ඒ ඒ ගුරුකල විසින් කරන ලද අර්ථදැක්වීම්වල ප්‍රතිඵල වෙයි. බොහෝ විට මේ මත ප්‍රකාශවන්නේ විරුද්ධ ගුරුකුල හෝ වෙනත් ආගම් හෝ විසින් මතු කෙරන ප්‍රශ්නවලට හා මතවලට සැපයෙන පිළිතුරු හෝ ඒ මතවලට අනුගත වීම් හෝ ලෙස ය. එදා තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආත්මය ය. බූදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු බ්‍රහ්මණයන් ඈසූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමට භික්‍ෂූන් වහන්සේට සිදුවිය. එසේ පිළිතුරු දීමේ දී ද බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථකථන සැපයීමේ දී ද භික්‍ෂූන් වහන්සේ විවිධ ගුරුකුලවලට බෙදුණ හ.

එමෙන් ම ඇතැම් අවස්ථාවල භික්‍ෂූන් වහන්සේට එදා අධිපති මතවාදය බවට පත්ව තිබූ බ්‍රාහ්මණ මතයට අනුගත වීමට සිදු විය. එය අද ද වෙනත් ආකාරයකින් සිදුවන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. විශ්වවිද්‍යාලවල සේවය කළ බෞද්ධ දර්ශනය, බුදුදහම ආදී විෂය පිළිබඳ බොහෝ මහාචාර්යවරු බටහිරයන්ට අවශ්‍ය ආකාරයට තම මතවාද සකස් කර ඇති බව පැහැදිලි ය. බටහිරයෝ බුදුදහම දුක මුල් කරගත් අසුබවාතී ආගමක් ලෙස හඳුන්වති. තම ආචාර්ය උපාධි සඳහා බටහිර රටවලට යන බෞද්ධ පඬිවරු මේ මතය නිවැරදි කිරීමට උත්සාහ ගන්නේ පටිච්ච සමුප්පදාය ඔස්සේ නොව බුදුදහම ද වෙනත් දහමක් මෙන් ම ඊනියා සුබවාදී ආගමක් බවට පත්කිරීමෙනි.

මේ පඬිවරු නිවන් දැකීමෙන් පසු නැවත භවයක් නැති බව පිළිගැනීමට අකමැති වෙති. ඒ එහි බටහිරයන් කියන ආකාරයට ගූඪ භාවයක් ඇති බැවිනි. නැවත භවයක් නැත්නම් ඊනියා සුඛයක් විඳීම පිළිබඳ ප්‍රශ්නය මතුවෙයි. මේ පඬිවරුන් පෙන්වීමට උත්සාහ ගන්නේ බුදුදහම තරම් සුබවාදී ආගමක් තවත් නැත යන්න ය. ඒ සඳහා ඔවුහුූ පිරිනිවන් පෑමෙන් පසු නැවත භවයක් ඇති කරති. එය විඳීමක් ඇති තැනක් ද නැති තැනක් ද යන්න පැහැදිලි නැති වුවත් තවත් භවයක් ඇති බව පැහැදිලි ය. එය පටිච්ච සමුප්පදායට විරුද්ධ වුවත් මේ පඬිවරුන්ට ඉන් කම් නැති. අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් කියැවෙන්නෙහි භව පච්වයා ජාති යන්න ද ඇති බවත් භවයක් ඇත්නම් (ආත්මයක් නැතිව වුවත්) ඉපදීමක් ඇති බවත් පඬිවරුන්ට නොතේරෙන්නෙහි ද? අනෙක් අතට අවිද්‍යාව නැත්නම් ඒ හේතුවෙන් සංඛාර ද ආදී වශයෙන් භවයක් ද නැති බව පඬිවරුන්ට පැහැදිලි නැත.

එහෙත් පඬිවරුන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව බුදුදහමේ සියල්ල විනිවිද දැකිය හැකි බව පෙන්වීම ය. බුදුන් වහන්සේ එව බලව යනුවෙන් දේශනා කර ඇති බව පැහැදිලි ය. එහෙත් එයින් කියැවෙන්නේ ද්විකෝටික න්‍යායට අනුව එව බලව යන්න හෝ ඉන්ද්‍රිය ගෝචර භාවය අනුව එව බලව යන්න හෝ නො වේ. බටහිරයන්ට සියල්ල ඇරිස්ටෝටලීය ද්විකෝටිකයට අනුගත වී ඉන්ද්‍රිය ගොාචර විය යුතු ය. එහෙත් නිවන එවැන්නක් නො වේ. බුදුන් වහන්සේ නිවන යනු කුමක් දැයි කිසි විටෙක දේශනා කර නැත. නිවන් අවබෝධ වන්නේ ලෝභ, ද්වේ’ෂ මෝහ නැතිකිරීමෙන් බව පැහැදිලි ය. එහෙත් ඒ පිලිබඳ ව එයට වඩා යමක් කියන්නේ කෙසේ ද? දර දමන තෙක් ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළහ. උපමාවක් අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග්ගැස්සීම නිවැරදි නොවුනත් දර නොමැතිව ගින්න නිවීමෙන් පසුව යන තැනක් නැති බව අමතක නොකළ යුතු ය.

බටහිරයන්් බුදුදහමේ ගූඪත්වය පිළිබඳ නගන චෝදනාවලට මුහුන දීමට නොහැකි මෙරට බොහෝ බෞද්ධ උගත්තු බුදුදහම ඊනියා විනිවිද පෙනෙන දහමක් බවට පත්කිරීමට උත්සාහ කරති. එහෙත් බුදුන් වහන්සේගේ විනිවිද දැක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසුන අයට මිස ද්විකෝටිකය අනුව තර්ක කරන්නන්ට හා පංචෙන්ද්‍රිය ඇසුරු කරගත් දැනුමක් පිළිබඳ ඊනියා පර්ය්ෂණ කරන්නවුන්ට නො වේ. නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි බව කියන පඬිවරුන් එසේ කරන්නේ ද නිවන පිළිබඳ ඇතැයි කියන ඊනියා ගූඪත්වයෙන් ගැලවීමට ය. බටහිරයෝ ඇරිස්ටෝටලීය න්‍යායට හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයන්ට හසු නොවන දෑ ගූඪ ලෙස සලකති. මෙරට බෞද්ධ පඬිවරුන් ද එසේ කරන්නේ ඔවුන් ලබා ඇති පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතුවෙන් ඔවුන් ලත් නිවටකම හේතුවෙනි. ඊනියා විද්‍යාඥයන් එසේ කරනවාට ද වඩා බුදුදහම ගැන ප්‍රාමාණික උගතුන් යැයි හඳුනා ගැනෙන්නන් ගූඪත්වයක් ගැන බටහිරයන් සිතන ආකාරයෙන් කටයුතු කර බුදුදහම ඒ ගූඪත්වයෙන් මුදා ගැනීමට වැරදි අර්ථකථන ලබාදීම කණගාටුදායක ය.

ඇතැම් බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන්ට අනුව ප්‍රවාදවලට වඩා ඔවුන් ෆැක්ට්ස් (facts) නමින් හඳුන්වන දෑ සත්‍ය වෙයි. ෆැක්ට් යන්නට නිල පාරිභාෂික ශබ්දමාලාවේ ඇත්තේ පරිසිිද්ධිය යන්න ය. මෙවැනි වචනයක් පැරුන්නන් අතර තිබිණි දැයි නො දනිමි. එවැනි වචනයක් පැරණි සිංහලයන් යොදා ගත්තේ නම් ඒ ගැන සොයා බැලිය යුතු ය. කෙසේ වෙතත් පරිසිද්ධිය යන්න සිිද්ධිය යන වචනයට පරි යන උපසර්ගය යොදා ගැනීමෙන් තනාගෙන ඇති බව පැහැදිලි ය. එය පරිපූර්ණ යන වචනය මෙනි. පරිසිද්ධිය යන්න සිද්ධියට වඩා තහවුරු වූ අර්ථයක් ගෙන දෙයි. එයින් පරිසිද්ධිය යන්න අප අත්දැක ඇති සැකයකින් තොර සත්‍ය වූ සිද්ධියක් යන තේරුමක් ගෙන දෙන්නේ යැයි සිතමි.

කෙසේ වෙතත් ඉංගිරිසියෙන් ෆැක්ට් යන්න යෙදෙන්නේ සැකයකින් තොර සත්‍ය වූ අත්දැකීමක් යන්න හැඟවීම සඳහා ය. ඇතැමුන් ඉට් ඊස් අ ෆැක්ට් (සිංහල වචනවලින් එහෙත් ඉංගිරිසි සම්ප්‍රදායට අනුව නම් එය පරිසිද්ධියකි) ආදී වශයෙන් ප්‍රකාශ කිරීමේ දී මේ සැකයකින් තොර නිර්මාණයක් නොවන අත්දැකීමක් (තමන්ගේ හෝ අනෙක් විශ්වාසවන්තයකුගේ) යන්න ගම්‍ය වෙයි. එබැවින් ඇතැමුන්ට පරිසිද්ධි යනු සත්‍යම සිද්ධි වෙයි. ඔවුහු බොහෝ විට ප්‍රවාද යනු ඉන්ද්‍රිය ගෝචර දෑ නොවන බව දනිති. එබැවින් ඔවුන්ට පරිසිද්ධි වඩා වැදගත් ය.

එහෙත් මොවුන් තේරුම් නොගන්නා කරුණ නම් ඊනියා පරිසිද්ධි ද ප්‍රවාදයක් හෝ අඩුම තරමෙන් සංකල්පයක් මත රඳා පවතින බව ය. ඔවුන් සිතන්නේ පරිසිද්ධි වාස්තවික බව ය. ඔවුන් පරිසිද්ධි නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත යැයි සිතනු විය හැකි ය. එහෙත් එය නිවැරදි නො වේ. අපි බහුල අත්දැකීමක් ගනිමු. පළමුවෙන් ඉර හෙවත් සූර්යයා යන්න ගනිමු. අප සියළු දෙනා ම පාහේ සූර්යයා දැක ඇත. එහෙත් එය ඊනියා පරිසිද්ධියක් ද? අප සියළු දෙනා ම දකින්නේ එකම සූර්යයා ද? බටහිර තාරකා විද්‍යාව බිහිවීමට පෙර බොහෝ දෙනාට සූර්යයා තවත් තාරකාවක් නො වී ය. සූර්යයා අහසෙහි අනන්‍ය වූ දෙයක් විය. බෞද්ධ සාහිත්‍යයෙහි නම් වෙනත් සූර්යයන් ගැන මෙන් ම සත්වයන් වාසය කරන ලෝක ගැන ද කියැවෙයි. ඇතැමුන් එකල සූර්යයා අපට ආලෝකය හා උණුසුම ගෙන දෙන්නක් ලෙස සලකන්නට ඇත. එහෙත් තවත් අයට ඒ සූර්ය දිව්‍ය රාජයා විය. සූර්ය දිව්‍ය රාජයා හා සූර්යයා යනු එකම සංකල්පයක් නො වේ. එබැවින් ඒ ඒ සංකල්ප යොදා ගත් අය දුටුවේ එකම දෙයක් නො වේ.

එමෙන් ම එකල බොහෝ දෙනාට සූර්ය දිව්‍ය රාජයා හෝ සූර්යයා හෝ පොළොව වටා යන්නක් විය. නිශ්චල පොළොව වටා සූර්යයා යන්නේ යැයි ඔවුහු සිතූහ. නැගෙනහිරෙන් පායන සූර්යයා බටහිරෙන් බැස යන්නේ යැයි යන්න බොහෝ දෙනාට ඊනියා පරිසිද්ධියක් වූවාට සැකයක් තිබිය නො හැකි ය. නැගෙනහිර හා බස්නාහිර යන සංකල්ප මෙන් ම උදාගිර අවරගිර යන සංකල්ප ද සූර්යයාගේ මේ දෛනික ගමන ඇසුරෙන් ම නිර්මාණය වී ඇත. එහෙත් භාරතයේ විසු ඇතැමුන් පොළොව සූර්යයා වටා යන බව හා පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව එකල ද දැන සිටියහ. විශේෂයෙන් ම ආධ්‍යාත්මික ව ශක්තිමත් ව සිටිය අයට පොළොව ඉර වටා යන ගමනක් පිළිබඳ ව වැටහීමක් තිබෙන්නට ඇත. එසේත් නැත්නම් ඒ පිළිබඳ ව දෙවිවරුන්ගෙන් ලත් දැනුමක් ඔවුන්ට තිබෙන්නට ඇත. ඒ කුමක් වුවත් මෙහි පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව අත්දුටු අය පරිසිද්ධියක් දැන සිටියෝ ද?

අද බොහෝ දෙනා එලෙස තේරුම් නොගත්තාට සූර්යයා පොළොව වටා යන්නේ ය යන්න එදා බොහෝ දෙනාට අනුව ඊනියා පරිසිද්ධියක් විය. මේ සියල්ල සංස්කාර බව දැන සිටි සිංහලයන්ට පරිසිද්ධිය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නොවන්නට ඇත. එහෙත් බොහෝ සිංහලයන්ට ද සූර්යයා පොළොව වටා යන බවට සැකයක් නොතිබෙන්නට ඇත. එහෙත් පසුව භාරතයේ තිබූ පොළොව තම අක්‍ෂය වටා මෙන් ම සූර්යයා වටා ද භ්‍රමණය වන්නේ ය යන දැනුම කොපර්නිකස් මගින් යුරෝපයට ගිය විට එය එහි ප්‍රචලිත විය. ඉන්පසු ඒ දැනුම නැවතත් පෙරදිගට පැමිණියේ බටහිර අධිපතිවාදී දැනුමක් ලෙස ය.

දැන් ඊනියා පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව ද එසේත් නැත්නම් පොළොව සූර්යයා වටා යන බව ද? පොළොව සූර්යයා වටා යන බව අප කී දෙනකුගේ අත් දැකීම ද? අප අත්දැක නොමැති දෙයක් පරිසිද්ධියක් විය හැකි ද? පරිසිද්ධියක් විය හැක්කේ සිද්ධියකට යැයි සිතමි. පොළොව සූර්යයා වටා යන බව සිද්ධියක් ද? අප කිසිවකුටවත් පොළොවේ සිට අත්දැකීමට නොහැකි දේ සිද්ධි ද? එහෙත් බටහිර අධ්‍යාපනයක් ලත් අති විශාල බහුතරයකට පොළොව ඉර වටා යන බව ඊනියා පරිසිද්ධියකි.

Saturday, 19 November 2011

අපට විපක්‍ෂ වූවෝ හා පක්‍ෂ වූවෝ

බටහිර විද්‍යාව එලෙස හැඳින්වීමට දැන් බොහෝ දෙනා පසුබට නොවන බව පෙනී යයි. ටික කලකට පෙර බටහිර විද්‍යාව හඳුන්වනු ලැබුයේ එක්කෝ විද්‍යාව නමින් ය. එසේත් නැතහොත් නූතන විද්‍යාව නමින් ය. විද්‍යාව යන්නෙන් ගම්‍ය වූයේ එනමින් හඳුන්වනු ලැබූ දැනුම් පද්ධතිය හැරෙන්නට අනෙක් දැනුම් පද්ධතීන් විද්‍යාව නොවන බව ය. නුතන විද්‍යාව යන්නෙන් පැරණි විද්‍යාවන් ද තිබූ බව ගම්‍ය විය හැකි නමුත් භාවිතයේ දී එයින් එවැන්නක් ගම්‍ය නො වී ය. එයින් අදහස් වූයේ නූතනයෙහි, එනම් පසුගිය සියවස් කිහිපයක ඉදිරිපත් කෙරුණු විද්‍යාව ය. නූතනත්වයෙහි විද්‍යාව නූතන විද්‍යාව විය. වෙනත් අදහසක් එයින් ගම්‍ය නො වී ය. නූතන විද්‍යාවට එරෙහිව පැරණි විද්‍යාවක් ගැන කතාකළ අයකු ගැන දැනගැනීමට නොහැකි විය.

එහෙත් එයින් අදහස් වූයේ වෙනත් දැනුම් පද්ධතීන් නැති බව නො වේ. වෙනත් දැනුම් පද්ධති ගැන මිනිස්සු දැන සිටියහ. අඩුම තරමෙන් ආයුර්වේදය, සිංහල වෙදකම ගැන සියළු දෙනාම පාහේ දැන සිටියහ. ඒ දැනුම් පද්ධතීන් වූ බවට කිසිවකුට සැකයක් තිබිණි යැයි සිතිය නො හැකි ය. එහෙත් ඒ විද්‍යාත්මක දැනුම, එසේත් නැත්නම් නූතන විද්‍යාත්මක දැනුම නො වි ය. බොහෝ බටහිර වෛද්‍යවරුන්ට එය මිථ්‍යාවක් විය. එහෙත් සිංහල වෙදකමෙන් ද රෝග සුව වන බව බටහිර වෛද්‍යවරු ද දැන සිටියහ. එයින් යම්කිසි ආකාරයක ප්‍රයෝජනයක් සිදුවන බව ද ඒ වෛද්‍යවරුන් නොදැන සිටියා නො වේ.

අද බටහිර විද්‍යාව ගැන වෙනත් දෙයක්, එනම් එහි ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්, වෙනත් දැනුම් පද්ධතියක නැති සත්‍යයක් ආදී වශයෙන් විශේෂයක් තිබීමක් ගැන කතාකළ නොහැකි ඇතැම් බටහිර විද්‍යාඥයෝ එහි ඇති ප්‍රයෝජ්‍යතාව, විශ්වාසනීයත්වය ගැන කතාකිරීමට පෙළඹී සිටිති. එහෙත් ඔවුන් නොදැන සිටිය ද පැරණි සමාජයෙහි වාසය කළ අය ඒ සමාජයෙහි දැනුමෙහි තිබූ ප්‍රයෝජ්‍යතාව ගැන දැන සිටියහ. එමෙන් ම ඒ පිළිබඳ විශ්වාසයක් ද ඇති කරගෙන සිටියහ. එසේ නොවන්නට ඒ දැනුම් පද්ධතීන් අදට ද ඉතිරි වී ඇත්තේ කෙසේ ද?

අද ඒ දැනුම් පද්ධතීන් බටහිර දැනුම පසුපස ඇති ආකාරයට දේශපාලන බලයක් ද නැත. දේශීය කෘෂිකර්මය ගැන අදාළ ඇමතිවරයා ද කතාකරන්නේ නමට පමණකි. බටහිර කෘෂිකර්්මයට එරෙහිව ඇමතිවරයාට කළහැකි විශේෂිත කාර්යයක් ද නැත. අද ආධිපත්‍යය ඇත්තේ බටහිර කෘෂිවිද්‍යාවට මිස දේශීය ගොවිකමට නො වේ. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් ගලා එන මේ ආධිපත්‍යයට එරෙහිව දුර්වල ඇමතිවරයකුට කළහැකි කාර්යය කුමක් ද? දේශීය වෙදකම ද (ආයුර්වේදය ද ඇතුළත් ව) එසේම ය. 1956න් පසු දේශිය වෙදකමට, ඇත්තටම සිංහල වෙදකමට වඩා ආයුර්වේදයට ඊනියා වැදගත්කමක් දීමට ආණ්ඩු කටයුතු කළේ ය. අද දේශීය වෙදකම පිළිබඳ ව වෙනම ඇමතිවරයෙක් වෙයි. එහෙත් මෙරට වැසියන් 1956 දීට වඩා අද දේශීය වෙදකමට නැඹුරු වී තිබේ යැයි කිව හැකි ද?

1956 දී සිංහල වෙදකමට තිබූ වැදගත්කම අද එයට නැත. අඩුම තරමෙන් ආයුර්වේදයටවත් නැත. එදා ලංකාව පුරා ගම්පහෙන් බිහි වූ ආයුර්වේද වෛද්‍යවරු විසිරී සිටියහ. ඒ වෛද්‍යවරුන් හඳුන්වනු ලැබුයේ ගම්පහ වෙදමහත්වරුන් නමිනි. අද යක්කළින් බිහිවන වෛද්‍යවරුන් ඇත්තේ කොහේ ද? ඔවුන් තැන තැන විසිරී ඇති බව කවුරුත් දනිති. මෙහි දී අපට ප්‍රශ්නය වන්නේ එය නොව ඔවුන්ගේ අනන්‍යතාව ය. ප්‍රතිශතයක් ලෙස ගතහොත් අද ගම්බදව ද වැඩි පිරිසක් බටහිර දෛ්‍යවරුන් වෙත යන බව රහසක් නො වේ. මේ සම්බන්ධයෙන් ඇතැම් බටහිර වෛද්‍යවරුන් විසින් කරන ලද සමී’ක්‍ෂණවල ප්‍රතිඵල ද වෙයි.

පාසල් පද්ධතිය හා ජනමාධ්‍ය ඔස්සේ බටහිර දැනුමේ ප්‍රබලත්වය ගැන මිථ්‍යාවක් සමාජය ඔස්සේ වපුරද්දී, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට වූ රටක මෙරට දේශීය වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට ඇති ආයතන ද ක්‍රමයෙන් බටහිරකරණයට ලක්වෙයි. මෙරට උසස් අධ්‍යාපන ඇමති දේශී්ීයත්වයක් ගැන එතරම් දෙයක් දන්නා බවක් පෙනෙන්නට නැත. ඔහු දන්නේ ඉංගිරිසියෙහි හා තොරතුරු තාක්‍ෂණයෙහි ඇති වැදගත්කම ය. 1956න් පසුව මෙරට ඇතැම් ඇමතිවරුන් අතර නොවුවත් ජනතාව අතර ජනවාර්ගික වශයෙන් ගත්කල ජාතිකත්වය පිළිබඳ හැඟීමක් අද වන විට වර්ධනය වී තිබුණ ද, බොහෝ දෙනා පැරණි සිංහලයන්ගේ වාරි තාක්‍ෂණය හා දාගැබ් කර්මාන්තය ගැන ආඩම්බරයෙන් කතාකළ ද, දැනුම සම්බන්ධයෙන් ගත්කල අද අපි එදාට වඩා බටහිර ගැත්තන් බවට පත්වී සිටින්නෙමු.

එහෙත් ඒ සියළු බාධක මධ්‍යයෙහි ද අදත් ජනතාවගෙන් යම් කොටසක්් දේශීය වෛද්‍යවරුන්ගේ පිහිට පතා යන්නේ ඒ වෙදකමෙහි ඇති ප්‍රයෝජ්‍යතාව නිසා පමණක් නොව ඒ පිළිබඳ ඇති විශ්වාසය ද නිසා ය. දේශීය වෙදකමට අද ඇති තවත් බාධක මහත් ර්ශියකි. කලක් කොළඹ වෛද්‍ය පීඨයෙහි ඉගැන්වූ මහාචාර්යවරයකු තම දේශනවල දී කියා ඇත්තේ ඇතැම් රෝග සුවකළ නොහැකි බවත්, ඇතැම් රෝග නිසි ප්‍රතිකාර දීමෙන් සුවකළ හැකි බවත් තවත් රෝග කිසිදු ප්‍රතිකාරයක් නැතිවත් සුවවන බවත් ය. ඔහුට අනුව ආයුර්වේදයෙන් සුවවන්නේ කිසිදු ප්‍රතිකාරයක් නැතිව වුව ද සුවවන රෝග ය! ආයුර්වේදයේ ප්‍රයෝජ්‍යතාව ගැන ඔහුට ඇත්තේත් ඔහු බටහිර වෛද්‍යවරුන්ට දී ඇත්තේත් එවැනි අදහසකි. එහි තේරුම අන්කිසිවක් නොව ආයුර්වේදය මිථ්‍යාවක් පමණක් බව ය. බටහිර විද්‍යාව පිළිබඳ එතරම් දැනුමක් නැතිව වුව ද බටහිර වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු (බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුම් වර්ගීකරණය අනුව තාක්‍ෂණයක් මිස විද්‍යාවක් නො වේ.) එවැනි අදහස් පවසන්නේ බටහිර දැනුමේ දාසයන් වීම නිසා බව පැහැදිලි ය. එවැනි විෂම මත අධ්පති මතවාදය බවට පත් වී තිබියදීත් තවමත් යම් පිරිසක් දේශීය වෛද්‍යවරුන් වෙත යන්නේ ඒ දැනුමෙහි ප්‍රයෝජ්‍යත්වය නිසා ය. අනෙක් අතට බොහෝ විට ඒ නිසා ම ඇතිවන විශ්වාසනියත්වය නිසා ය.

බටහිර විද්‍යාව ගැන අද වෙනත් දෙයක් කීමට නැතිව හුදෙක් ප්‍රයෝජ්‍යත්වය හා විශ්වාසනීයත්වය ගැන කතාකරමින් දේශීය දැනුම මිථ්‍යාවක් බව ප්‍රචාරය කරන අයට පැවසීමට ඇත්තේ බටහිර දැනුමේ ආධිපත්‍යය හමුවේ වුවත් මෙරට තවමත් යම් පිරිසකට දේශීය දැනුමෙහි ඇති ප්‍රයෝජ්‍යත්වය ගැන දැනුමක් ඇති බවත් ඒ පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති බව පමණක්් නොව සුළු පිිරිසකට වුවත් බටහිර දැනුමේ අයහපත් බව ගැන යම් අවබෝධයක් ඇති බවත් ය. බටහිර දැනුම හා තාක්‍ෂණය හේතුකොටගෙන අද රජරට ප්‍රදේශයේ වකුගඩු රේගය වැළඳී දහස් ගණන් ජනතාව මියයති. මේ රෝගයට ප්‍රධාන හේතුව බටහිර කෘෂිවිද්‍යාව මත පදනම් ව ගොවීන් කෘෂි රසායන ද්‍රව්‍යවලට පුරුදු කිරීම ය. කෘෂි රසායනවල ඇති ආසනික් රජරට ප්‍රදේශවල ඇති පස හේතුවෙන් කිවුල සහිත ජලයට මිශ්‍ර වී රජරට වකුගඩු රෝගය ඇතිකරන බව අද රහසක් නො වේ. මෙරට බටහිර වෛද්‍ය විද්‍යාවේ චර්මරෝග පිළිබඳ විශේෂඥවරු රජරට වකුගඩු රෝගීන්ට ආසනික් විෂවීම පිළිබඳ සා’ක්‍ෂි දරති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කෘෂිරසායනවල ඇති ආසනික් වුව ද එය එකම හේතුව නො වේ. රජරට ඇති කුඹුරු පස නමින් හැඳිනේවෙන පස හා කිවුල් ජලය නොවන්නට ආසනික් කෘෂි රසායන මගින් පැතිරී ගිය ද මේ රෝගය නො වැළඳෙයි.

බටහිර විද්‍යාවෙන් වී ඇති එකම හානිය රජරට වකුගඩු රෝගය වැළඳී අහිංසකයන් දහස් ගණනින් මිය යෑම නො වේ. පරිසර හානිය, වෙනත් රෝග ද පැතිර යෑම, මිනිසුන් සිත් පිත් නැති රොබෝ බවට පත්කිරීමට දරණ උත්සාහය ද ඒ අතර වෙයි. බටහිර දැනුම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් වෙන්කළ හැකි නො වේ. බටහිර දැනුමට හා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට පරිසරය රැකගත හැකි නො වේ. බටහිරයන්ට අද කිසිම ප්‍රශ්නයකට දුර දිග යන පිළිතුරක් දිය හැකි නො වේ. ඔවුන්ට අද කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. පරිසර කළමනාකරණය අද ශබිදකෝශයට එකතු වී ඇත්තේ එබැවිනි.

අනෙක් බොහෝ දැනුම් පද්ධතීන් අවුරුදු දහස් ගණනක් පැවතී ඇත. බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදී ආධිපත්‍යය නොවන්නට ඒ දැනුම් පද්ධති තවත් බොහෝ කල් පැවතීමට ඉඩ තිබිණි. අද ඒ දැනුම් පද්ධති බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයට හසු වී මියැදෙමින් පවතියි. අපට බටහිර දැනුම් පද්ධතිය ගැන කිවහැක්කේ කුමක් ද? එයට අවුරුදු දහස් ගණනක් පැවතිය හැකි ද? කිසිසේත්ම නැත. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මුළු ලෝකය ම විනාශයට ඇදගෙන යමින් පවතියි. අද අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය පරාජය කිරීමට තරම් දේශපාලන හෝ ආර්ථික හෝ ශක්තියක් නැත. අප එය පිළිගත යුතු ය, එහෙත් එයින් කියැවෙන්නේ අප කිසිවක් නොකර සිටිය යුතු බව නො වේ. අපි අපේ දැනුම් පද්ධතිය වර්ධනය කරගන්නා අතර එය මහජනතාවට ද නොයෙකුත් බාධක හමුවේ නමුත් බෙදාහැරීමට කටයුතු කරමු. එහෙත් ඒ අතර ස්වභාව ධර්මය හා බටහිර දැනුමේ පරස්පර විසින් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පරාජය කරනු ලැබීම බලා සතුටු වෙමු.

බටහිර දැනුමේ දාසයන්ට අමතර ව අප සමග සිටින්නේ යැයි අඟවමින් අපට පහර ගසන්නෝ ද වෙති. ඇතැමුන් අප විවේචනය කරන්නේ අප මෙහි දී ආගම්වලට පහර ගසන්නේ යැයි කියමිනි. ඔවුහු තම වෙබ් අඩවවිල ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නොවීමට අපට උපදෙස් දෙති. එහෙත් එහි කිසිදු සත්‍යයක් නැත. අප යුදෙව් ක්‍රිස්තියානි ආදී වශයෙන් යොදාගන්නේ සංස්කෘතිකාර්ථයකින් මිස ආගමිකාර්ථයකින් නො වේ. එහෙත් ඇතැම්හු ඒ බව නො දනිති. නැතහොත් නොදන්නා බව අඟවති. මේ අතර ඇතැම්හු අපට පහර ගැසීමට බලාපොරේත්තු වන්නේ අප බෞද්ධයන් නොවන බව කියමිනි. අපි කිසිම ආකාරයක ආත්මවාදීහු නො වෙමු. අඩුම තරමෙන් දැනුම සම්බන්ධයෙන්වත් ආත්මවාදීහු නො වෙමු. කාලය යන්න පඤ්ඤත්තියක් පමණක් වන කල ක්‍ෂණයක් යනුවෙන් වාස්තවික වූ කාල අන්තරයක් ඇතැයි ගැනීමට අපි විරුද්ධ වෙමු. අපේ දැනුම පිළිබඳ දැනුමේ එක් මුල්ගලක් වනුයේ සංකල්පීය වූ සියළු දැනුම් සාපේක්‍ෂ බවත් ඒ නිර්මාණය කරන බවත් සංකල්පීය ලෝකය ඒ හේතුවෙන් ම ශූන්‍ය වන බවත් ය. ඒ අතර බුදුදහමේ සඳහන් වන නිවන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදිය සංකල්ප නොවන බව අපි කියා සිටිමු. සංකල්පීය දැනුම තර්කයෙන්, ලෞකික අත්දැකීමෙන් ලබාගත හැකි වුවත් අනිත්‍ය ආදී නිර්සංකල්පීය දැනුම එසේ ලෞකික ක්‍රම භාවිතයෙන් ලබාගත නොහැකි බවත් අපි කියා සිටිමු. එක් ක්‍ෂණයකට වුවත් පවතින ඊනියා වාස්තවික යථාර්ථයක් වූ ධර්ම නැති බවත් එසේ පවතින්නේ යැයි කියන දහමක් වේ නම් ඒ ආත්මවාදී බවත් අපි පවසමු.

අපත් සමග සිටින්නේ යැයි බොරුවට කියමින් අප විවේචනය කරන්නන්ට එතරම් නිරවුල් දැනුමක් නැති බවත් ඒ බොහෝ දෙනාට දේශපාලන හෝ පෞද්ගලික හෝ න්‍යාය පත්‍ර ඇති බවත් අපි දනිමු. පොපර්ගේ අසත්‍යෙක්‍ෂණය (falsification) හෙවත් අසත්‍යකරණයට ලක්කිරීම ගැන මෙලෝ හසරක දැනුමක් නැතිව ඒ ගැන ලියන්නන් මෙන් ම සංස්කෘතිකාර්ථයකින් හෝ වෙනත් අර්ථයකින් හෝ සාපේක්‍ෂවීමක් ගැන කතා නොකර අපේ විද්‍යාවන් ගොඩනැගීම ගැන ලියන්නන්ගෙන් ද අවසානයේ දී සිදුවනු ඇත්තේ බටහිර දැනුමට දාසකම් කිරීම පමණකි.