Main Logo

Showing posts with label සංඝරාජ. Show all posts
Showing posts with label සංඝරාජ. Show all posts

Wednesday, 26 June 2013

භික්‍ෂූන් වහන්සේ ඉවත් කිරීමේ ආරම්භය

බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අද අප යට වී ඇත. තවමත් මුළුමනින් ම යට වී නැතත් අද වන විට අපි ඉතා වැඩි දෙනෙක් සංස්කෘතියෙන් ක්‍රිස්තියානී වෙමු. ගිය සතියේ අප කී පරිදි මිනිසුන්ගේ සිරුරුවලට අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය පිනවීම මිස එසේ පිනවීමට ඇති කැමැත්ත තැවීම නො වේ. මිනිසුන්ගේ   සිරුරුවලට අවශ්‍ය වීම යන්නෙන් අදහස් වන්නේ පංචෙන්ද්‍රියන්ට අවශ්‍ය වීම පමණක් නො වේ. පංචෙන්ද්‍රියන්ට යමක් අවශ්‍ය වන්නේ මනස නමැති ඉන්ද්‍රිය ඒ සඳහා කැමැත්තක් දක්වන බැවිනි.

අප කලින් පෙන්වා දී ඇති පරිදි ඇස කණ ආදී අවයව ඉන්ද්‍රිය බවට පත්වන්නේ ඒ අවයව මනස සමග බැඳීමෙනි. එබැවින් සිරුරට අවශ්‍ය වීම යනු අවසාන විග්‍රහයෙහි දී මනසට අවශ්‍ය වීම මිස අනෙකක් නො වේ.  අපේ හෙළ බෞද්ධ සංස්කෘතියෙන් මෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ද කෙරුණේ මනසට තහංචි දැමීම ය. සියල්ලට ම   වඩා මනස ප්‍රධාන යැයි බුදුන් වහ්සේ වදාළහ. පන්සිල්   කිනම් සංස්කෘතියක උපත ලැබිණ ද, පෙහෙවස් සමාදම් වීම්, භාවනා කිරීම් ආදියෙන් කෙරුණේ මනස පාලනය කිරීම ය.

එහෙත් එය එක්තරා ආකාරයකින් ගතහෙහාත් ස්වාභාවික නො වේ. ස්වාභාවිකත්වය යනු මනසට රිසි පරිදි ක්‍රියාකිරීමට ඉඩදීම ය. ඇස පිනවීම යනු මනසේ ආධාරය ඇතිව ඇස නමැති ඉන්ද්‍රියට නොයෙකුත් රූප කෙරෙහි ඇල්මක් දැක්වීම ය. අනෙක් ඉන්ද්‍රිය පිනවීම් ගැන ද එසේ දත යුතු ය. මේ ඉන්ද්‍රියයන් පිනවීමෙන් ඈත්වීමට බෞද්ධ සංස්කෘතියෙන් අනුබල ලැබෙන්නේ නිවන අරමුණු කරගෙන ය. මිනිසුන් අපරාධ කරන්නේ නිවන අරමුණු කරගෙන නොව නිවනට පිටුපාමින් ය. කසිකබල් මාක්ස්වාදීන්ට, පශ්චාත් මාක්ස්වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට ආදීන්ට ඒ බව නොතේරෙන්නේ ඔවුන් අදහන විශ්වාස කරන මතවාද (ඒ ඇදහීමක් මිස අන් කිසිවක් නො වේ) විසින් ඔවුන් ඒ ස්ථාවරවලට ඇද දමනු ලැබ ඇති නිසා ය.   

ඇස පිනවීමට අපේ මනස අප යොමු කරද්දී එයට පිටුපෑමට නම් අපට යම් කිසිවකුගේ යම්කිසිවකගේ ඉගැන්වීමක් ආධාරයක් අවශ්‍ය වෙයි. බෞද්ධ සංස්කෘතිය විසින් කෙරුණේ එයයි. බුදුදහම අපට බුදුන්වහන්සේගේ කාලයේ සිට ම ලැබුණ ද දේවානම්පිය තිස්ස රජු සමයේ ලැබුණ ද අපට බෞද්ධ සංස්කෘතියෙන් උගන්වනු ලැබුයේ ඉන්ද්‍රිය පිනවීමට නොව ඉන්ද්‍රිය පිනවීම තැවීමට ය. බොහෝ විට යක්‍ෂ ගෝත්‍රිකයන් හා මෙරට විසූ විවිධ ගෝත්‍රිකයන් ද ඉන්ද්‍රිය පිනවීමට එතරම් නැඹුරුවක් නැතිව සිටියේ   යැයි විශ්වාස කළ හැකි ය.

මහාවිහාරය බලවත් වීමෙන් පසු ඉන්ද්‍රිය පිනවීමට තව තවත් තහංචි පැනවී ඇති බව පෙනී යයි. ථෙරවාදී බුදුදහම මාධ්‍යමිකයන්ගේ විවේචන හමුවෙහි  භාරතයේ අසරණවත් ම ලංකාවේ මහාවිහාරයෙහි හා ආන්ද්‍ර ප්‍රදේශයෙහි භික්‍ෂූන් වහන්සේ එකතු වී ථෙරවාදය ආරක්‍ෂා කිරීමට ගත් පියවර අතර සිංහ ගෝත්‍රය බලවත් කිරීමත් අනෙක් ගෝත්‍රිකයන් විශේෂයෙන් ම යක්‍ෂ ගෝත්‍රය පහතට දැමීමත් අභයගිරියෙහි ඉඩකඩ වෙන් වු ථෙරවාද නොවන වෙනත් බෞද්ධ ගුරුකුලවලට තහංචි පැනවීමත් විය. රාමායණය මහාභාරතය ආදී කෘති කියවීම අගෞරවයට පාත්‍ර කෙරුණු අතර භික්‍ෂූන් වහන්සේ ජ්‍යොතිශය වෛද්‍යකර්මය ආදීයෙහි නිරතවීම ද  හෙළා දකිනු ලැබිණි.

ඒ හේතුවෙන් අපේ නිර්මාණශීලීත්වය මොට වී ගිය ද සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීමෙන් තවත් ඈතට ගෙන යනු ලැබූහ. අඩු වැඩි වශයෙන් අනුරාධපුර යුගයේ අවසන් භාගය වන විට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබිණි. මහාවිහාර භික්‍ෂූන් වහන්සේ එහි නියමුවෝ වූහ. අපේ පිරිවෙන්වල උගන්වනු ලෑබුයේ මහාවිහාර සම්ප්‍රදාය ය. මහාවිහාර ථෙරවාදය විසින් සිංහල බෞද්ධ ජනජීවිතය හැඩගස්වනු ලැබිණි. සියමට හෙවත් තායිලන්තයටත් මියන්මාරයට හෙවත් බුරුමයටත් ගෙනයනු ලැබුයේ මේ සම්ප්‍රදාය ය. අද ඒ රටවල පමණක් නොව ලාඕසයේ හා කාම්බෝජයේ ද චීනයේ ඇතැම් ප්‍රදේශයක ද ඇත්තේ මේ මහාවිහාර සම්ප්‍රදාය ය.

පසුකලෙක නුවර යුගයේ දී  අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සියමෙන් මෙරටට ගෙනෙනු ලෑබූ උපසම්පදාවත් සමග නැවත මෙරට තහවුරු වූයේ අනුරාධපුර යුගයේ බලයට පත් වූ මහාවිහාර සම්ප්‍රදාය හා ථෙරවාදය ය. පරම ධම්ම චෙතිය පිරිවෙණත් පසුව විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙණ් ද එකී මහාවිහාර ථෙරවාදී සම්ප්‍රදායෙහි ස්ථාපිත කෙරිණි. මේ සම්ප්‍රදායට සිංහල බෞද්ධයන්ගෙන් අභියෝග නොතිබුණා නො වේ.

එහි දී කැපී පෙනුණු බුද්ධිමතකු වූයේ කුමාරතුංග මුනිදාස මහතා ය. කුමාරතුංග මුනිදාස මහතා අනුරාධපුර යුගයේ  මැද භාගයෙන් පමණ පසු මෙරට බිහි වූ ශ්‍රෙෂ්ඨතම බුද්ධිමතා බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැකි ය. ඒ බව වසර කිහිපයකට පෙර ද ඒ මහතා අනුස්මරණය කෙරුණු සම්මන්ත්‍රණයක දී මා පවසා ඇත. එහෙත් ඒ මහතා බුදුදහමට නොව සිංහල භාෂාවට සේවය කිරීම තම අරමුණ කරගත් බැවින් හා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හෙළ සංස්කෘතියට මිස හෙළ බෞද්ධ සංස්කෘතියට මාරුවීමට තරම් අවශ්‍ය දත්ත ඒ මහතාට නොතිබූ බැවින් එතුමාගේ මත සමාජය මෙන් ම උගතුන් විසින් ද නොසලකා හරිනු ලැබිණි. එතුමාට ලංකා විශ්වවිද්‍යාලයෙන්වත් එයට පෙර තිබූ විශ්වවිද්‍යාල ආයතනයෙන්වත් නිසි තැන නො ලැබිණි.

කුමාරතුංග මහතා ප්‍රමුඛ අතළොස්සකගේ විවේචන හමුවේ වුව ද විද්‍යොදය හා විද්‍යාලංකාර  ප්‍රධාන පිරිවෙන්වලට හා එයින් බිහිකෙරුණු භික්‍ෂූන්වහන්සේට මහාවිහාර ථෙරවාද සම්ප්‍රදාය රැකගත හැකි වූ අතර සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීම තැවීමට උන්වහන්සේගේ නායකත්වයෙන් දිගට ම යොමු වූහ. සිංහල බෞද්ධයෝ පොදුවේ ගත්කල බටහිරයන් අනුකරණය නො කළහ. මේ තත්වය වෙනස්වීමට පටන්ගත්තේ ඉංගිරිසින් විසින් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදීමෙන් පසුව ය.

පෘතුගීසි සමයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරටට හඳුන්වාදෙනු ලැබූ නමුත් මෙරට වෙහෙර විහාරවලට ඔවුන් පහර දුන් නමුත් ඔවුන්ගේ ඉන්ද්‍රිය පිනවන පෞද්ගලදකත්වය මුල්කරගත් සංස්කෘතිය රටපුරා පැතිර නො ගියේ ය. ලන්දේසීන් මෙරට ඔවුන්ගේ පාසල් පිහිටුවීමෙන් ද අපේ සංස්කෘතිය වෙනස්කිරීමට කටයුතු කළ නමුත් එය ද සාර්ථක නො වී ය. ඉංගිරිසිහු ඔවුන්ගේ පාසල් මෙරට පිහිටුවීමට කටයුතු කළා පමණක් නොව ඊනියා උසස් අධ්‍යාපනය ද හඳුන්වා දුන්හ. අපේ පරිහාණිය ඇරඹුණේ ඉන් පසුව ය.

මෙරට  සියවස් කිහිපයක් තිස්සේ විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. එහෙත් ඉංගිරිසි උසස් අධ්‍යාපනය හඳුන්වාදීමෙන් පසුව ඒ තත්ත්වය ක්‍රමයෙන් නැතිවීමට පටන්ගත්තේ ය. ඉංගිරිසි උගත් ඊනියා විඤ්ඤූන් පිරිසක් අප මත පටවනු ලැබූහ. මෙරට සංස්කෘතියෙන් යම් පමණකට වියෝ කරනු ලෑබූ මේ උගත්තු ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේ ඉවත් කර ඊනියා විඤ්ඤූන්  බට පත්වූහ. එහෙත් එයට දශක ගණනාවක් ගත වූයේ ය.

විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවනු ලැබූ දහනවවැනි සියවස අගභාගයේ දී ම වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය පිහිටුවනු ලැබිණි. මේ හේතුවෙන් මෙරට ඊනියා වෘත්තීයික පෙළැන්තියක් ඇති කිරීමට පියවර ගැනිණි. අද ද වෛද්‍යරු, ඉංජිනේරුවෝ හා නීතිඥයෝ මෙරට ප්‍රධාන බටහිර වෘත්තිකයෝ වෙති. මුල දී ම බටහිර විද්‍යාඥයන් බිහිකිරීමේ අවශ්‍යතාවක් ඉංගිරිසින්ට නො වී ය. එහෙත් මෙරට කිසි දිනෙක හරිහමන් බටහිර විද්‍යාඥයන් බිහි නොවීමට හේතුව එය නොව බටහිර විද්‍යාවේ චින්තනය අප රටට ආගන්තුක වීම ය.

ක්‍රමයෙන් ඉංගිරිසි යටත්විජිත ආණ්ඩුවේ අනුග්‍රහය හා ආශිර්වාදය ලත් බටහිර වෛද්‍යවරු මෙරට පාරම්පරික වෙදවරුන් නොවැදගත් පිරිසක් බවට පත්කිරීමට සමත්වූහ. එයට අමතර ව ඉන්දීය ගැති මානසිකත්වයක් සහිත ඇතැම් සිංහල බෞද්ධයෝ සංගීතය හා ආයුර්වේදය ඉන්දියාවෙන් ලබාගැනීමට කටයුතු කළහ. යටත්විජිත සමයේ ප්‍රතිඵලයක් ලෙස අවාසනාවකට මතුවූයේ හෙළ බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යාපාරයක් නොව සිංහල බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යාපාරයකි. මෙය ගැඹුරින් පසුව විස්තර කළ යුත්තකි.

සිංහල බෞද්ධ මනස තිබුණේ යම් ප්‍රමාණයක අධ්‍යාපනයක් ලැබූ උගතුන් අතර ය. සිංහල බෞද්ධ මනස අඩු වැඩි වශයෙන් ඉන්දීය ගැති විය. එය අනුරාධපුර අගභාගයේ සිට පැවත එන්නකි. හෙළ බෞද්ධ මනස දැකගත හැකි වූයේ ගැමියන් අතර ය. හෙළ බෞද්ධ ගැමියන් අතර සිංහල පාරම්පරික වෙදකම ශක්තිමත් ව පැවතිණි. ආයුර්වේදය හා බටහිර වෙදකම නාගරිකයන් හා උගතුන් අතර පැතිරිණි.

හෙළ සංගීතයක් හෙළ බෞද්ධයන් අතර පැවතිණි. එහෙත් එයට ඉංගිරිසින්ගේ අනුග්‍රහයක් නො ලැබිණි. උගත් සිංහල බෞද්ධයෝ මහාවිහාර ථෙරවාද සම්ප්‍රදායෙහි පිහිටියෝ සංගීතය ගැන එතරම් උනන්දුවක් නො දැක්වූහ. එබැවින් සිංහල සංගීතයක් ගැන මුල දී උනන්දුවක් දැක්වූයේ කතෝලික හා ක්‍රිස්තියානි සිංහලයන් ය. පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ක්‍රිස්තියානිහු වූහ.

ඒ කුමක් වුවත් භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් සමාජයේ විඤ්ඤූන්ගේ තත්ත්වයෙන් ඉවත් කරනු ලැබූහ. හෙළ බෞද්ධ සංස්කෘතියේ වැදගත් ම අංග වූයේ වෙදකම හා ගොවිකම ය.  මහාවිහාර සම්ප්‍රදාය කුමක් වුවත් මෙරට භික්‍ෂූන් වහන්සේ වෙදකමෙන් ඉවත් නො වූහ. සංගීතය කෙසේ වෙතත් කලා ශිල්පවලින් ද ඉවත් නො වූහ. භික්‍ෂූන් වහන්සේ අතර ගායකයන් හා වාදකයන් නොමැති වුවත් අද ගීත රචකයන් වහන්සේ දැකිය හැකි ය. මේ හෙළ බෞද්ධ සම්ප්‍රදාය ය.

එහෙත් පාරම්පරික වෙදකමට පහර වැදෙත් ම භික්‍ෂූන් වහන්සේගේ විඤ්ඤූන් භාවය ද අභියෝගයට ලක්විය. තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ සිංහල බෞද්ධයන් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා එංගලන්තයට හා ඉන්දියාවට යෑම ඇරඹීමත් සමග ය. ගිහි උගතුන් පැරණි යුගවල ද සිටි නමුත් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නායකත්වය තිබුණේ භික්‍ෂූන් වහන්සේ අත ය. ඉංගිරිසි අධ්‍යාපනය ප්‍රචලිත වීමත් සමග ගිහි සිංහල බෞද්ධ උගත්තු පෙරට පැමිණියහ.

එසේ වුවත් විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රධාන කොටගත් පිරිවෙන් පද්ධතියට මහාවිහාර සම්ප්‍රදායේ උගත් භික්‍ෂූන් වහන්සේ පරපුරක් සන්තතික ව බිහිකිරීමේ හැකියාව විය. යටත්විජිත යුගයේ සියළු බාධක මධ්‍යයේ භික්‍ෂූන් වහන්සේ මෙරට විඤ්ඤුන් වහන්සේ වූහ. විශේෂයෙන් ම හෙළ බෞද්ධ ගැමියන්ගේ විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. උන්වහන්සේට මෙරට බෞද්ධයන් පවු තැවීමේ මගට යොමුකර ඉන්ද්‍රිය පිනවීමෙන් ගලවා ගැනීමට හැකිවිය.


නලින් ද සිල්වා

2013-06-26

Saturday, 23 June 2012

සඟ විනය සහ පුහු විරුවෝ

මේ ලිපියට නිමිති දෙකක් වෙයි. එකක් භික්‍ෂුන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම වළක්වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව සඳහන් පුවතයි. දෙවැන්න මාදුළුවාවේ සෝභිත හිමියන්ට සැත්තෑවිය පිරීම නිමිත්තෙන් පවත්වල ලද උත්සවය හා එහි දී කෙරී ඇති බවට වාර්තා වූ දේශන හා අනුශාසනා ය. අපි පළමු ව දෙවැන්න සාකච්ඡා කරමු. වර්තමානයෙහි මෙරට විරුවන් බුද්ධිමතුන් ජාතිවාදීන් ආදී බොහෝ දෙනකු බිහිකෙරෙන්නේ ජනමාධ්‍ය මගිනි. එපමණක් නොව දේශපාලනය ද කෙරෙන්නේ පුවත්පත් සාකච්ඡා මගිනි. ඒ අයට ජනමාධ්‍යවේදීන් යැයි කියාගන්නවුනට සරිලන භාවිතයක් තිබීම හෝ නොතිබීම හෝ මෙහි දී බලපායි. එමෙන් ම අධිපති මතවාදයට ගැලපෙන අයුරින් ප්‍රකාශ කිරීම හා ලිපි ලිවීම ද මෙහි දී වැදගත් වෙයි. පුහු පඬියන් ලොවට පෙන්වීමට උත්සාහ කරන්නේ මෙරට අධිපති මතවාදය සිංහල බෞද්ධ මතවාදය බව ය. එහෙත් එය ද සිංහල බෞද්ධ මතවාදයට එරෙහිව කෙරෙන තවත් ප්‍රචාරයක් පමණකි. මෙරට අධිපති මතවාද දෙකක් වෙයි. එකක් විවිධ අර්ථකථන සහිත වුවත් දළ වශයෙන් ලිබරල් මතවාදය ලෙස විස්තර කළ හැකි ය. මා දකින ආකාරයට එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි මතවාදය මත පදනම් වී ඇත. එය මෙරට පමණක් නොව ලෝකයේ ම අධිපති මතවාදය වෙයි. දෙවැනි අධිපති මතවාදය මාක්ස්වාදී මතවාදය වෙයි. එයට ද විවිධ අර්ථකථන ඇති නමුත් එය කතෝලික චින්තනය මත පදනම් වෙයි. කතෝලික චින්තනය මත පදනම් වන තවත් මතවාදයක් වනුයේ ෆැසිස්ට්වාදය ය. ප්‍රභාකරන් දෙමළ ජාතිවාදී ෆැසිස්ට්වාදියෙක් විය. කෙසේ වෙතත් මේ මතවාද සියල්ල විජාතික මතවාද වෙයි. අද ජනමාධ්‍ය මගින් තැන ලැබෙන්නේ ලිබරල් මතවාදයට හා මාක්ස්වාදී මතවාදයට ය. ජාතික මතවාදයක් සඳහා වූ ලිපි කීයක් සතියකට පුවත්පත්වල පළවන්නේ ද? විද්‍යුත් නාලිකාවල ජාතික මතවාදයකට ඇති ඉඩකඩ කවරේ ද?

අභාවප්‍රාප්ත මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාට අනුව මෙරට සංඝරාජ පදවිය පොළොන්නරු යුගයේ ඇතිකරන ලද්දකි. නුවර යුගයේ අපට වැලිවිට සිරි සරණංකර සංඝරාජ හිමිපාණන්වහන්සේ හමුවෙති. එහෙත් මහානායක පදවි ඒ සංඝරාජ පදවිය නො වේ. වල්පොල රාහුල හිමියන්ගේ භික්‍ෂුවගේ උරුමය පොතේ මහානායක පදවි ගැන සඳහන් වෙයි. ඒ පදවි පමණක් නොව විහාරාධිපති පදවි හා විවිධ නායක පදවි ද ඉංගිරිසින් විසින් ඇතිකරන ලද්දේ වෙයි. ඇතැම් නායක පදවි පිරිනැමුවේ ඉංගිරිසින්ට ඔත්තු සැපයීම ද සේවයක් ලෙස සලකමිනි. ඉංගිරිසින් දැනසිටි එක්කරුණක් විය. එනම් මෙරට භික්‍ෂූන්වහන්සේ ශක්තිමත් ව සිටිනතාක් සිංහලයන් ආධ්‍යාත්මිකව පැරදවිය නොහැකි බව ය. ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම වැරදි ආකාරයෙන් යොදාගෙන මෙරට දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය ලබාගත්ත ද, ඔවුන්ට මුල දී සංස්කෘතික ආධිපත්‍යය ලබාගත නොහැකි විය. සංස්කෘතික ආධිපත්‍යය ලබාගැනීම සඳහා ඉංගිරිසිහු එක් අතකින් පාසල් පද්ධතියක් ඇතිකර එය යොදාගත්හ. (අද ඒ සඳහා ජනමාධ්‍යය ද යොදාගැනේ). අනෙක් අතින් විවිධ උපක්‍රම මගින් සඟ සසුන දුර්වල කිරීම සඳහා විවිධ පියවර ගත්හ. අද වන විට එය බොහෝ දුරට සාර්ථක වී ඇත. එහෙත් සිංහල බෞද්ධයෝ් දහනව වැනි සියවසේ අවසාන කාර්තුවේ සිට තම සංස්කෘතියට මෙරට හිමි තැන ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටිති. 1817 –- 18 හා 1848 නිදහස් සටන් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ දේශපාලන සංරචකයට එරෙහිව සංවිධානය වූ අතර පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහා වාද එකී යටත්විජිතවාදයේ සංස්කෘතික සංරචකයට එරෙහිව පැවැත්වුණේ විය. පංච මහා වාද අපේ නිදහස් සටනේ ම වැදගත් කොටසක් විය. එහි නායකත්වය දැරුවෝ භික්‍ෂූන් වහන්සේ වූහ. අනගාරීක ධර්මපාලතුමා මෙන් ම ඕල්කට්තුමා ද ඒ වාදවල ප්‍රතිඵලයක් විය. පංච මහා වාද හා අනගාරික ධර්මපාල ව්‍යාපාරය සිංහල බෞද්ධ නිදහස් සටන් වූ නමුත් ඕල්කට් ව්‍යාපාරය එසේ නො වී ය. එහි සිංහල කම බෞද්ධකමින් උදුරා දැමිණි. ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබූ ඊනියා උගතුන්ගේ සහාය අවසානයේ දී ලැබුණේ ඕල්කට් ව්‍යාපාරයට ය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඕල්කට් බෞද්ධයෝ බිහිවූහ. මෙරට විශාල පිරිසක් සිංහල බෞදධයන් වූ නමුත් ඔවුහු ආධිපත්‍යයෙහි දී ඕල්කට් බෞද්ධයන්ට පරාජය වූහ. පංච මහා වාදවල හා අනගාරිකතුමාගේ ජාතික ව්‍යාපාරය පරාජය වූ අතර ඩී බී ජයතිලක මහතාගේ ද සහාය ලබාගත් සේනානායකලාගේ දේශපාලනය ජයග්‍රහණය කළේ ය. ධර්මපාලතුමා කළකිරී රට අත්හැර ගියේ ය. සේනානායකලා විද්‍යාලංකාරය සමග ගොඩනැගුණු ජයතිලක මහතා ද අවසානයේ දී මෙරට දේශපාලනයෙන් ඉවත් කර ඉන්දියාවට යැවූහ.

මෙරට ජාතික ව්‍යාපාරයේ ගමන්මග ජයග්‍රහණවලින් මෙන් ම බොහෝ විට පරාජයන්ගෙන් ද ගහණ ය. 1956 දී එහි ජයග්‍රහණයක් දැකගත හැකි විය. එහෙත් ජාතික ව්‍යාපාරයට හැමදාමත් සටන් කිරීමට සිදු වූයේ ලෝක ආධිපත්‍යය දැරූ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය සමග ය. බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුමෙන් ජාතික ව්‍යාපාරයට සැමදාමත් බැට කෑමට සිදු විය. බටහිර දැනුම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වුව ද කතෝලික චින්තනය බටහිර රටවල දුර්වල වුව ද, පාප්වහන්සේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ රෝමය ඇතුළත වූ වතිකානුවේ සිරකරුවකු වුව ද අප වැනි රටවල කතෝලික චින්තනය ද බලවත් විය. විශේෂයෙන් ම පෘතුගීසීන් හා ස්පාඤ්ඤයන් යටතට පත් වූ රටවල කතෝලික සංස්කෘතියට බලයක් වෙයි. එමෙන් ම බොහෝ විට එවැනි පෙදෙස්වල මාක්ස්වාදයට දේශපාලනික බලයක් නැති වුවත් මතවාදී බලයක් තිබෙනු දැකිය හැකි ය. අපේ රටේ ජාතික ව්‍යාපාරයේ ජයග්‍රහණ හා පරාජයන් විශේලේෂණය කරද්දී ඉහත සඳහන් කරුණු වැදගත් වෙයි.

නූතන ජාතික ව්‍යාපාරය ජේ ආර් ජයවර්ධන ව්‍යාපෘතිය හා දෙමළ ජාතිවාදය සමග බැඳෙයි. එහෙත් එයට මෙරට සිංහල සංස්කෘතිය සමග අවුරුදු දෙදහස් පන්සියයකට එහා යන පාරම්පරික අඛණ්ඩත්වයක්් වෙයි. ගැමුණු කුමරු මේ ව්‍යාපාරයේ ප්‍රධාන චරිතය වෙයි. අපේ ජාතික ව්‍යාපරයෙහි ඈත සිට ම භාරතය විෂයයෙහි වූ ප්‍රවාහ දෙකක් දැකිය හැකි ය. එකක් භාරතයට පක්‍ෂපාති වූ අතර අනෙක එයට විරුද්ධ විය. පසු දිනෙක අවස්ථානුකූල ව මේ වෙනස සාකච්ඡා කළ යුතු ය. මේ සම්බන්ධයෙන් මට භෞතික ව හෝ ආධ්‍යාත්මික ව හෝ හමු වී ඇති විශිෂ්ටතම ඉතිහාසඥයා වූ දුටුවැව තිලකරත්න මහතාගේ නම සඳහන් කළ යුතු ය. ඉතාමත් සංකීර්ණ වූ මෙරට ජාතික ව්‍යාපාරයේ නූතන යුගයේ පුරෝගාමි චරිතයක් වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන් ය. අප දැනටත් පවත්වාගෙන යන චින්තන පර්ෂදය උන්වහන්සේගේ සභාපතිත්වයෙන් 1987 දී ඇරඹිණි. ජනතා විමුක්ති පෙරමුණේ විකෘති කිරීම් මැද අපි උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉතා අසීරු ගමනක යෙදුණෙමු. දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව මතවාදයක් ඇති කිරීමට අපට හැකි විය. එහෙත් අවාසනාවකට මෙන් දැනට වසර දහයකට පමණ පෙර උන්වහන්සේගේ ගමන් මග වෙනස් විය. මෙරට පල්ලි නිකායක් ඇතිවුණේ එකල ය. එය බලාපොරොත්තු නොවුවක් ද නො වීය. කාදිනල්තුමා හෝ ආචිබිෂොප්තුමා හෝ එදත් අදත් මහානායක හිමිපාණන් වහන්සේලාට වඩා බලවත් ය. ඇංග්ලිකන් පල්ලියේ බිෂොප්තුමා ද එසේ ම ය. අප එය කවදා වුව වෙනස් කළ යුතු ය. එහෙත් එය පුහු වීර කතා මගින් කළ හැක්කක් නො වේ.

අපේ ජාතික ව්‍යාපාරයේ ඕල්කට් බෞද්ධයෝ ද වෙති. එසේ නොවන්නට ආනන්ද විද්‍යාලය අද තිබෙන ආකාරයෙන් ඇති නොවී මෙරට ප්‍රධාන පාසල බවටත් විද්‍යාලංකාරය මෙරට දැනුම් කේන්ද්‍රය බවටත් පත්වීමට තිබිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිරිවෙණක් කරනු වෙනුවට විද්‍යොදය හා විද්‍යාලංකාරය බටහිර අච්චුවේ විශ්වවිද්‍යාල බවට පත් කෙරිණි. මෙරට ජාතික ව්‍යාපාරය සටන් කරන්නේ ලෝක ආධිපත්‍යය දරණ යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය සමග බව අමතක නොකළ යුතු ය. ජාතික ව්‍යාපාරය වැනසීමට දුර්වල කිරීමට බටහිරයන්ට දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික ශක්තිය වෙයි. සෝභිත හිමියන් මුල් යුගයේ මෙරට ජාතික ව්‍යාපාරයට විශාල සේවයක් කළ ද, දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ කාලයේ හා එයට කලකට පෙර උන්වහන්සේ ජාතික ව්‍යාපාරයේ නො වුහ. දෙමළ ජනයා ඊළාම් මාවතට තල්ලු කෙරී ඇත්තේ සිංහලයන් විසින් යැයි උන්වහන්සේ කියා ඇතැයි පේරාදෙණියේ සිංහල අංශයේ කතෝලික පවුලක උපන් හිටපු මහාචාර්යවරයකු පවසන්නේ නිකම් ම යැයි මම නො සිතමි. බොහෝ විට මෙරට විරුවන් නම් කෙරෙන්නේ විජාතික බලවේග විසින් බව පමණක් සඳහන් කරමි.

වත්මන් ජාතික ව්‍යාපාරය ජාතික හෙළ උරුමය හා එකල විමල් විරවංශ මහතා ද ඇතුළත් වූ ජ වි පෙ මගින් දේශපාලනීකරණය විය. එය ජාතික ව්‍යාපාරය දුර්වල කරන්නක් විය. ජාතික හෙළ උරුමය මැතිවරණය සඳහා භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත්කළ විට චින්තන පර්ෂදය එයට විරුද්ධ විය. එහෙත් අපි භික්‍ෂූන් වහන්සේලාට නීති නො පැමිණවීමු. අප සම්ප්‍රදායේ සිංහල භික්‍ෂූන් වහන්සේ රාජ්‍ය පාලකයන්ගේ අනුශාසකයන් මිස රාජසභාවෙහි කටයුතු කරන්නෝ නො වෙති. එහෙත් ඒ පිළිබඳ තීරණ ගත යුත්තේ භික්‍ෂූන් වහන්සේ මිස ගිහියන් නො වේ. පනත් මගින් භික්‍ෂූන් වහන්සේ මන්ත්‍රීවරුන් වැළැක්වීම ක්‍රිස්තියානි සංකල්පයක් වූ උන්වහන්සේලාගේ ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. එය සඟ විනය පිළිබඳ ප්‍රශ්නයකි්. උන්වහන්සේට රිය පැදවීම කැප ද ආදී වශයෙන් ඇති ප්‍රශ්න පාර්ලිමේන්තු අණපණත් මගින් තීරණය කිරීමට යෑම යනු මෙරට භික්‍ෂූ ගෞරවය කෙළසීමකි. භික්‍ෂූන් වහන්සේ නමකට සඟ විනය මගින් සම්මත ඇවතුම් පැවතුම් වේ. සඟ විනය තීරණය කෙරෙන්නේ ඉංගිරිසින්ගේ ක්‍රිස්තියානි පාර්ලිමේන්තුවෙන් නො වේ. සඟ විනය පාර්ලිමේන්තුව යටතට ගැනීම සඟ සසුනට එල්ල කරණ මරු පහරකි. විජාතික බලවේග හා ජඩමාධ්‍ය විසින් බිහි කෙරෙන සඟ සසුනේ ගෞරවය කෙළසන විවිධ පුස්සන් පරාජය කරමු.