බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අද අප යට වී ඇත. තවමත් මුළුමනින් ම යට වී නැතත් අද වන විට අපි ඉතා වැඩි දෙනෙක් සංස්කෘතියෙන් ක්‍රිස්තියානී වෙමු. ගිය සතියේ අප කී පරිදි මිනිසුන්ගේ සිරුරුවලට අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය පිනවීම මිස එසේ පිනවීමට ඇති කැමැත්ත තැවීම නො වේ. මිනිසුන්ගේ සිරුරුවලට අවශ්‍ය වීම යන්නෙන් අදහස් වන්නේ පංචෙන්ද්‍රියන්ට අවශ්‍ය වීම පමණක් නො වේ. පංචෙන්ද්‍රියන්ට යමක් අවශ්‍ය වන්නේ මනස නමැති ඉන්ද්‍රිය ඒ සඳහා කැමැත්තක් දක්වන බැවිනි.
අප කලින් පෙන්වා දී ඇති පරිදි ඇස කණ ආදී අවයව ඉන්ද්‍රිය බවට පත්වන්නේ ඒ අවයව මනස සමග බැඳීමෙනි. එබැවින් සිරුරට අවශ්‍ය වීම යනු අවසාන විග්‍රහයෙහි දී මනසට අවශ්‍ය වීම මිස අනෙකක් නො වේ. අපේ හෙළ බෞද්ධ සංස්කෘතියෙන් මෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ද කෙරුණේ මනසට තහංචි දැමීම ය. සියල්ලට ම වඩා මනස ප්‍රධාන යැයි බුදුන් වහ්සේ වදාළහ. පන්සිල් කිනම් සංස්කෘතියක උපත ලැබිණ ද, පෙහෙවස් සමාදම් වීම්, භාවනා කිරීම් ආදියෙන් කෙරුණේ මනස පාලනය කිරීම ය.
එහෙත් එය එක්තරා ආකාරයකින් ගතහෙහාත් ස්වාභාවික නො වේ. ස්වාභාවිකත්වය යනු මනසට රිසි පරිදි ක්‍රියාකිරීමට ඉඩදීම ය. ඇස පිනවීම යනු මනසේ ආධාරය ඇතිව ඇස නමැති ඉන්ද්‍රියට නොයෙකුත් රූප කෙරෙහි ඇල්මක් දැක්වීම ය. අනෙක් ඉන්ද්‍රිය පිනවීම් ගැන ද එසේ දත යුතු ය. මේ ඉන්ද්‍රියයන් පිනවීමෙන් ඈත්වීමට බෞද්ධ සංස්කෘතියෙන් අනුබල ලැබෙන්නේ නිවන අරමුණු කරගෙන ය. මිනිසුන් අපරාධ කරන්නේ නිවන අරමුණු කරගෙන නොව නිවනට පිටුපාමින් ය. කසිකබල් මාක්ස්වාදීන්ට, පශ්චාත් මාක්ස්වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට ආදීන්ට ඒ බව නොතේරෙන්නේ ඔවුන් අදහන විශ්වාස කරන මතවාද (ඒ ඇදහීමක් මිස අන් කිසිවක් නො වේ) විසින් ඔවුන් ඒ ස්ථාවරවලට ඇද දමනු ලැබ ඇති නිසා ය.
ඇස පිනවීමට අපේ මනස අප යොමු කරද්දී එයට පිටුපෑමට නම් අපට යම් කිසිවකුගේ යම්කිසිවකගේ ඉගැන්වීමක් ආධාරයක් අවශ්‍ය වෙයි. බෞද්ධ සංස්කෘතිය විසින් කෙරුණේ එයයි. බුදුදහම අපට බුදුන්වහන්සේගේ කාලයේ සිට ම ලැබුණ ද දේවානම්පිය තිස්ස රජු සමයේ ලැබුණ ද අපට බෞද්ධ සංස්කෘතියෙන් උගන්වනු ලැබුයේ ඉන්ද්‍රිය පිනවීමට නොව ඉන්ද්‍රිය පිනවීම තැවීමට ය. බොහෝ විට යක්‍ෂ ගෝත්‍රිකයන් හා මෙරට විසූ විවිධ ගෝත්‍රිකයන් ද ඉන්ද්‍රිය පිනවීමට එතරම් නැඹුරුවක් නැතිව සිටියේ යැයි විශ්වාස කළ හැකි ය.
මහාවිහාරය බලවත් වීමෙන් පසු ඉන්ද්‍රිය පිනවීමට තව තවත් තහංචි පැනවී ඇති බව පෙනී යයි. ථෙරවාදී බුදුදහම මාධ්‍යමිකයන්ගේ විවේචන හමුවෙහි භාරතයේ අසරණවත් ම ලංකාවේ මහාවිහාරයෙහි හා ආන්ද්‍ර ප්‍රදේශයෙහි භික්‍ෂූන් වහන්සේ එකතු වී ථෙරවාදය ආරක්‍ෂා කිරීමට ගත් පියවර අතර සිංහ ගෝත්‍රය බලවත් කිරීමත් අනෙක් ගෝත්‍රිකයන් විශේෂයෙන් ම යක්‍ෂ ගෝත්‍රය පහතට දැමීමත් අභයගිරියෙහි ඉඩකඩ වෙන් වු ථෙරවාද නොවන වෙනත් බෞද්ධ ගුරුකුලවලට තහංචි පැනවීමත් විය. රාමායණය මහාභාරතය ආදී කෘති කියවීම අගෞරවයට පාත්‍ර කෙරුණු අතර භික්‍ෂූන් වහන්සේ ජ්‍යොතිශය වෛද්‍යකර්මය ආදීයෙහි නිරතවීම ද හෙළා දකිනු ලැබිණි.
ඒ හේතුවෙන් අපේ නිර්මාණශීලීත්වය මොට වී ගිය ද සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීමෙන් තවත් ඈතට ගෙන යනු ලැබූහ. අඩු වැඩි වශයෙන් අනුරාධපුර යුගයේ අවසන් භාගය වන විට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබිණි. මහාවිහාර භික්‍ෂූන් වහන්සේ එහි නියමුවෝ වූහ. අපේ පිරිවෙන්වල උගන්වනු ලෑබුයේ මහාවිහාර සම්ප්‍රදාය ය. මහාවිහාර ථෙරවාදය විසින් සිංහල බෞද්ධ ජනජීවිතය හැඩගස්වනු ලැබිණි. සියමට හෙවත් තායිලන්තයටත් මියන්මාරයට හෙවත් බුරුමයටත් ගෙනයනු ලැබුයේ මේ සම්ප්‍රදාය ය. අද ඒ රටවල පමණක් නොව ලාඕසයේ හා කාම්බෝජයේ ද චීනයේ ඇතැම් ප්‍රදේශයක ද ඇත්තේ මේ මහාවිහාර සම්ප්‍රදාය ය.
පසුකලෙක නුවර යුගයේ දී අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සියමෙන් මෙරටට ගෙනෙනු ලෑබූ උපසම්පදාවත් සමග නැවත මෙරට තහවුරු වූයේ අනුරාධපුර යුගයේ බලයට පත් වූ මහාවිහාර සම්ප්‍රදාය හා ථෙරවාදය ය. පරම ධම්ම චෙතිය පිරිවෙණත් පසුව විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙණ් ද එකී මහාවිහාර ථෙරවාදී සම්ප්‍රදායෙහි ස්ථාපිත කෙරිණි. මේ සම්ප්‍රදායට සිංහල බෞද්ධයන්ගෙන් අභියෝග නොතිබුණා නො වේ.
එහි දී කැපී පෙනුණු බුද්ධිමතකු වූයේ කුමාරතුංග මුනිදාස මහතා ය. කුමාරතුංග මුනිදාස මහතා අනුරාධපුර යුගයේ මැද භාගයෙන් පමණ පසු මෙරට බිහි වූ ශ්‍රෙෂ්ඨතම බුද්ධිමතා බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැකි ය. ඒ බව වසර කිහිපයකට පෙර ද ඒ මහතා අනුස්මරණය කෙරුණු සම්මන්ත්‍රණයක දී මා පවසා ඇත. එහෙත් ඒ මහතා බුදුදහමට නොව සිංහල භාෂාවට සේවය කිරීම තම අරමුණ කරගත් බැවින් හා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හෙළ සංස්කෘතියට මිස හෙළ බෞද්ධ සංස්කෘතියට මාරුවීමට තරම් අවශ්‍ය දත්ත ඒ මහතාට නොතිබූ බැවින් එතුමාගේ මත සමාජය මෙන් ම උගතුන් විසින් ද නොසලකා හරිනු ලැබිණි. එතුමාට ලංකා විශ්වවිද්‍යාලයෙන්වත් එයට පෙර තිබූ විශ්වවිද්‍යාල ආයතනයෙන්වත් නිසි තැන නො ලැබිණි.
කුමාරතුංග මහතා ප්‍රමුඛ අතළොස්සකගේ විවේචන හමුවේ වුව ද විද්‍යොදය හා විද්‍යාලංකාර ප්‍රධාන පිරිවෙන්වලට හා එයින් බිහිකෙරුණු භික්‍ෂූන්වහන්සේට මහාවිහාර ථෙරවාද සම්ප්‍රදාය රැකගත හැකි වූ අතර සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීම තැවීමට උන්වහන්සේගේ නායකත්වයෙන් දිගට ම යොමු වූහ. සිංහල බෞද්ධයෝ පොදුවේ ගත්කල බටහිරයන් අනුකරණය නො කළහ. මේ තත්වය වෙනස්වීමට පටන්ගත්තේ ඉංගිරිසින් විසින් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදීමෙන් පසුව ය.
පෘතුගීසි සමයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරටට හඳුන්වාදෙනු ලැබූ නමුත් මෙරට වෙහෙර විහාරවලට ඔවුන් පහර දුන් නමුත් ඔවුන්ගේ ඉන්ද්‍රිය පිනවන පෞද්ගලදකත්වය මුල්කරගත් සංස්කෘතිය රටපුරා පැතිර නො ගියේ ය. ලන්දේසීන් මෙරට ඔවුන්ගේ පාසල් පිහිටුවීමෙන් ද අපේ සංස්කෘතිය වෙනස්කිරීමට කටයුතු කළ නමුත් එය ද සාර්ථක නො වී ය. ඉංගිරිසිහු ඔවුන්ගේ පාසල් මෙරට පිහිටුවීමට කටයුතු කළා පමණක් නොව ඊනියා උසස් අධ්‍යාපනය ද හඳුන්වා දුන්හ. අපේ පරිහාණිය ඇරඹුණේ ඉන් පසුව ය.
මෙරට සියවස් කිහිපයක් තිස්සේ විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. එහෙත් ඉංගිරිසි උසස් අධ්‍යාපනය හඳුන්වාදීමෙන් පසුව ඒ තත්ත්වය ක්‍රමයෙන් නැතිවීමට පටන්ගත්තේ ය. ඉංගිරිසි උගත් ඊනියා විඤ්ඤූන් පිරිසක් අප මත පටවනු ලැබූහ. මෙරට සංස්කෘතියෙන් යම් පමණකට වියෝ කරනු ලෑබූ මේ උගත්තු ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේ ඉවත් කර ඊනියා විඤ්ඤූන් බට පත්වූහ. එහෙත් එයට දශක ගණනාවක් ගත වූයේ ය.
විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවනු ලැබූ දහනවවැනි සියවස අගභාගයේ දී ම වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය පිහිටුවනු ලැබිණි. මේ හේතුවෙන් මෙරට ඊනියා වෘත්තීයික පෙළැන්තියක් ඇති කිරීමට පියවර ගැනිණි. අද ද වෛද්‍යරු, ඉංජිනේරුවෝ හා නීතිඥයෝ මෙරට ප්‍රධාන බටහිර වෘත්තිකයෝ වෙති. මුල දී ම බටහිර විද්‍යාඥයන් බිහිකිරීමේ අවශ්‍යතාවක් ඉංගිරිසින්ට නො වී ය. එහෙත් මෙරට කිසි දිනෙක හරිහමන් බටහිර විද්‍යාඥයන් බිහි නොවීමට හේතුව එය නොව බටහිර විද්‍යාවේ චින්තනය අප රටට ආගන්තුක වීම ය.
ක්‍රමයෙන් ඉංගිරිසි යටත්විජිත ආණ්ඩුවේ අනුග්‍රහය හා ආශිර්වාදය ලත් බටහිර වෛද්‍යවරු මෙරට පාරම්පරික වෙදවරුන් නොවැදගත් පිරිසක් බවට පත්කිරීමට සමත්වූහ. එයට අමතර ව ඉන්දීය ගැති මානසිකත්වයක් සහිත ඇතැම් සිංහල බෞද්ධයෝ සංගීතය හා ආයුර්වේදය ඉන්දියාවෙන් ලබාගැනීමට කටයුතු කළහ. යටත්විජිත සමයේ ප්‍රතිඵලයක් ලෙස අවාසනාවකට මතුවූයේ හෙළ බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යාපාරයක් නොව සිංහල බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යාපාරයකි. මෙය ගැඹුරින් පසුව විස්තර කළ යුත්තකි.
සිංහල බෞද්ධ මනස තිබුණේ යම් ප්‍රමාණයක අධ්‍යාපනයක් ලැබූ උගතුන් අතර ය. සිංහල බෞද්ධ මනස අඩු වැඩි වශයෙන් ඉන්දීය ගැති විය. එය අනුරාධපුර අගභාගයේ සිට පැවත එන්නකි. හෙළ බෞද්ධ මනස දැකගත හැකි වූයේ ගැමියන් අතර ය. හෙළ බෞද්ධ ගැමියන් අතර සිංහල පාරම්පරික වෙදකම ශක්තිමත් ව පැවතිණි. ආයුර්වේදය හා බටහිර වෙදකම නාගරිකයන් හා උගතුන් අතර පැතිරිණි.
හෙළ සංගීතයක් හෙළ බෞද්ධයන් අතර පැවතිණි. එහෙත් එයට ඉංගිරිසින්ගේ අනුග්‍රහයක් නො ලැබිණි. උගත් සිංහල බෞද්ධයෝ මහාවිහාර ථෙරවාද සම්ප්‍රදායෙහි පිහිටියෝ සංගීතය ගැන එතරම් උනන්දුවක් නො දැක්වූහ. එබැවින් සිංහල සංගීතයක් ගැන මුල දී උනන්දුවක් දැක්වූයේ කතෝලික හා ක්‍රිස්තියානි සිංහලයන් ය. පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ක්‍රිස්තියානිහු වූහ.
ඒ කුමක් වුවත් භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් සමාජයේ විඤ්ඤූන්ගේ තත්ත්වයෙන් ඉවත් කරනු ලැබූහ. හෙළ බෞද්ධ සංස්කෘතියේ වැදගත් ම අංග වූයේ වෙදකම හා ගොවිකම ය. මහාවිහාර සම්ප්‍රදාය කුමක් වුවත් මෙරට භික්‍ෂූන් වහන්සේ වෙදකමෙන් ඉවත් නො වූහ. සංගීතය කෙසේ වෙතත් කලා ශිල්පවලින් ද ඉවත් නො වූහ. භික්‍ෂූන් වහන්සේ අතර ගායකයන් හා වාදකයන් නොමැති වුවත් අද ගීත රචකයන් වහන්සේ දැකිය හැකි ය. මේ හෙළ බෞද්ධ සම්ප්‍රදාය ය.
එහෙත් පාරම්පරික වෙදකමට පහර වැදෙත් ම භික්‍ෂූන් වහන්සේගේ විඤ්ඤූන් භාවය ද අභියෝගයට ලක්විය. තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ සිංහල බෞද්ධයන් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා එංගලන්තයට හා ඉන්දියාවට යෑම ඇරඹීමත් සමග ය. ගිහි උගතුන් පැරණි යුගවල ද සිටි නමුත් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නායකත්වය තිබුණේ භික්‍ෂූන් වහන්සේ අත ය. ඉංගිරිසි අධ්‍යාපනය ප්‍රචලිත වීමත් සමග ගිහි සිංහල බෞද්ධ උගත්තු පෙරට පැමිණියහ.
එසේ වුවත් විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රධාන කොටගත් පිරිවෙන් පද්ධතියට මහාවිහාර සම්ප්‍රදායේ උගත් භික්‍ෂූන් වහන්සේ පරපුරක් සන්තතික ව බිහිකිරීමේ හැකියාව විය. යටත්විජිත යුගයේ සියළු බාධක මධ්‍යයේ භික්‍ෂූන් වහන්සේ මෙරට විඤ්ඤුන් වහන්සේ වූහ. විශේෂයෙන් ම හෙළ බෞද්ධ ගැමියන්ගේ විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. උන්වහන්සේට මෙරට බෞද්ධයන් පවු තැවීමේ මගට යොමුකර ඉන්ද්‍රිය පිනවීමෙන් ගලවා ගැනීමට හැකිවිය.
නලින් ද සිල්වා
2013-06-26