Main Logo

Showing posts with label ජයවර්ධන. Show all posts
Showing posts with label ජයවර්ධන. Show all posts

Sunday, 30 October 2011

ආණ්ඩුවට පාඩමක්

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තදින් ක්‍රියාකළ යුතු ය. කිහිප දෙනකු සිරභාරයට ගෙන ඇතත් ජනතාවගෙන් අති විශාල බහුතරයක් සිතන්නේ ප්‍රධාන සැකකරුවන් තවමත් අත් අඩංගුවට ගෙන නොමැති බව ය. එය ඇත්තක් විය හැකි ය. ඇතැම්විට ආණ්ඩුවට, එහි දී නෛතික හා වෛද්‍ය ගැටලු තිබෙනවා විය හැකි ය. භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර සිංහල ජාතිකත්වයට පටහැණිව විජය කුමාරතුංග සමග එකතු විය. ඔහු (භාරත) උපාසකයෙක් ද නො වී ය. එහෙත් දුමින්ද සිල්වාට දඬුවම් දීමට වේ නම්, ආණ්ඩුව කිනම් පසුබිමකවත් එසේ කිරීමට පසුබට නොවිය යුතු ය.

ලෝකයේ බිහිවූ දරුණුම ත්‍රස්තවාදී නඩයක්, බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහාය ලැබූ ත්‍රස්තවාදී නඩයක්, මානුෂික මෙහෙයුම්වලින් පරාජය කළ ආණ්ඩුවක් පාතාලයට, මැරයන්ට බිය වී ඇතැයි සිතිය නො හැකි ය. ආණ්ඩුව මේ අවස්ථාවේ දී ජනතාවට තමන් සැකකිරීමට ඉඩ නොතැබිය යුතු ය. පාතාලය හා මැරයන් පරාජය කිරීමට මුල් පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු ය. එහෙත් අප නොදන්නා යම්කිසි රහසක් රැකීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවක් පෙනෙයි. රාජ්‍ය රහසක් ඇත්නම් එය රැකීමේ වරදක් නැත. ඒ හෙළි කළයුතු යැයි බල කළ යුතු නො වේ. කොටි ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුවට විවිධ අභියෝග රැසකට එක්වර මුහුණ දීමට සිදු වී ඇත. පළමුවෙන් ම දෙමළ ජාතික සංධානය සමග පැවැත්වීමට බලකෙරෙන ඊනියා සාකච්ඡා ය. අප කිහිප වතාවක් කියා ඇති පරිදි දෙමළ නායකයන් සමග දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ගැන කතාකිරීම දිවිහිමියෙන් සටන් කළ රණවිරුවන් පාවාදීමකි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ ප්‍රශ්නයක් නැති බවත් මේ ඊනියා ප්‍රශ්නය දෙමළ වෙල්ලාලයන් රටේම නායකයන් කිරීමට තැත්කළ ඉංගිරිසි ආණ්ඩුකාරයන් හා නිලධාරීන් විසින් ඇතිකරන ලද ප්‍රශ්නයක් බවත් ඉංගිරිසින්ට හා දැන් ඔවුන්ගේ නායකත්වයෙන් බටහිරයන්ට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට, ඉතිහාසයට, ජීවන ක්‍රමයට, දැනුමට ආදී වශයෙන් ජාතිකත්වයට හිමි තැන අහිමි කිරීම බවත් අපි කරුණු සහිතව තර්කානුකුලව පෙන්වා දී ඇත්තෙමු. එංගලන්තයේ පමණක් නොව බිරිතානියේත් ඇමරිකාවේත්, කැනඩාවේත්, ඕස්ටේ‍ර්ලියාවේත්, නවසීලන්තයේත් ජාතිකත්වය පදනම් වී ඇත්තේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතිය මත ය. යුරෝපයේ සෙසු රටවල ජාතිකත්වය පදනම් වන්නේ වෙනත් ක්‍රිස්තියානි සංස්කෘති මත ය. ඒ රටවල ජාතිකත්වයෙහි වෙනත් කිසිම සංස්කෘතියකට අබමල් රේණුවක ඉඩක් නැත. එහෙත් කසිකබල් ඉංගිරිසි අධ්‍යාපනයක් ඉංගිරිසි හෝ සිංහල හෝ මාධ්‍යයෙන් පාසල්වලින් හෝ විශ්වවිද්‍යාලවලින් හෝ ලබාගත් මෙරට පඬියන්ට බහුසංස්කෘතික බහුබූතය නොමැතිව හුස්ම ගැනීමටවත් නො හැකි ය. විශේෂයෙන් ම තුට්ටු දෙකේ මාක්ස්වාදීහු මෙහි දී දෙමළ ජාතිවාදී කවටයන් බවට පත් වී සිටිති. ජනමාධ්‍ය නොවන්නට ඔවුන්ට මේ රටේ කිසිම තැනක් නැත. ජ වි පෙරමුණේ කුමාර ඕපාත කණ්ඩායමට ද ඒ ඉරණම වැඩිකල් නොගොස් අත්වනු ඇත. ඔවුන්ට කළ හැකි වන්නේ ට්‍රොට්ස්කිවාදී මැත දොඩවන්නන් සමග මැයි දිනයක් පැවැත්වීම හා පුවත්පත් සාකච්ඡා පැවැත්වීම පමණකි. ඊනියා ශිෂ්‍ය නායකයන් ඔවුන් සමග සිටිය ද එකී නායකයන්ට නායකකම මිස ශිෂ්‍යයන් නැතිවනු ඇත. මෙරට ශිෂ්‍යයෝ දෙමළ ජාතිවාදයට ආවඩන්නෝ නො වෙති.

අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් ඉංගිිරිිසින්ගේ හා බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය ඊනියා දෙමළ ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳාගත නොහැකි වූයේ පළමුවෙන් ම ප්‍රශ්නයක් නැතිවීමත් දෙවනුව දෙමළ ජාතිවාදී නායකයන් බටහිරයන්ගේ අනකොලු වී සිංහල බෞද්ධත්වය නැතිකිරීමට කටයුතු කිරීමත් හේතුවෙනි. බටහිරයෝ හා කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුලු දෙමළ ජාතිවාදීහු කිසි විටෙකත් සිංහලයන්ගේ හඬට කන්දීමට කැමති නො වුහ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී මානුෂික මෙහෙයුම් මගින් දෙමළ ජාතිවාදීන් බටහිරයන්ගේ ආධාරයෙන් අඩුම තරමෙන් ඉංගිරිසින් නිර්මාණය කළ උතුරු හා නැගෙනහිර පළාත්වල තම බලය තහවුරු කිරීමට යොදාගත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. එමගින් ඊනියා දෙමළ ප්‍රශ්නය ද විසඳනු ලැබිණි. හමුදා ක්‍රියාමාර්ග යනු දේශපාලන ක්‍රියාමාර්ග වන අතර හමුදා විසඳුම් ද දේශපාලන විසඳුම් වෙයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ධනවාදීහු හා ලෙනින් ස්ටැලින්වාදී සමාජවාදීහු ලෝකය බෙදාගත්හ. නැගෙනහිර යුරෝපය සෝවියට් කඳවුරට එකතු වූයේ අවසන් වශයෙන් ගත්කල එහි ප්‍රතිඵලයක් ලෙස ය. එය වෙනස්කිරීමට සාකච්ඡා පැවැත්වීමට කිසිවෙක් කටයුතු නො කළහ. එය අවසානයේ දී වෙනස් වූයේ ද බර්ලින් තාප්පය කඩා වැටුනේ ද චෙකොස්ලොවේකියාවේ හා යුගොස්ලේවේයාවේ ඇති වූ ක්‍රියාදාමවල ප්‍රතිඵල ලෙස ය. අද ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳීමට නැවතත් සාකච්ඡා ආරම්භකළ යුතු නො වේ. ඒ සියලු සාකච්ඡා අසාර්ථක වී ඇත. සාකච්ඡා නැවත ඇරඹුවත් ඒ අසාර්ථක වනු ඇත්තේ විසඳීමට දෙමළ ප්‍රශ්නයක් නැති බැවිනි. මානුෂික මෙහෙයුම් අවශ්‍ය වූයේ ම සාකච්ඡා අසාර්ථක වීම නිසා ය. හමුදාව දැන් දේශපාලන විසඳුමක් දී ඇත. එය පිළිගැනීමට දෙමළ ජාතිවාදීන් ද කුමාර් ඕපාත කණ්ඩායම ඇතුලු කසිකබල් මාජ්ස්වාදීන් ද අකමැති වන්නේ ඔවුන්ට බටහිරයන්ගේ හා රෝ ඔත්තු සේවයේ අනුග්‍රහය ලැබෙන බැවින් මිස ඔවුන්ට ඇති ශක්තියක් නිසා නොවන බව පැහැදිලි ය.

අද ආණ්ඩුව කළ යුත්තේ ඊනියා සාකච්ඡා සඳහා කාලය නාස්තිකරමින් රණවිරුවන් පාවාදීම නොව පැරණි රජදරුවන් කළ ආකාරයෙන් රට කරවීම ය. එහෙත් ආණ්ඩුවට ඒ සඳහා ජාතික වූ වැඩ පිළිවෙළක් නැත. එපමණක් නොව එවැනි ක්‍රියාදාමයකට එළඹීමට නමින් සිංහල බෞද්ධ වූ ඕල්කට් බෞද්ධයෝ ද අකමැති වෙති. ජේ ආර් ජයවර්ධන ඕල්කට් බෞද්ධයන්ගේ ද ඊනියා යථාර්ථවාදී උගතුන්ගේ ද ආධාරය ඇතිව එතෙක් කොළඹට පමණක් සීමා වූ අධාර්මිකබව මුළු රටට ම ගෙන ගියේ ය. අද පොදුවේ ගත්කල රට ම අධාර්මික වී ඇත. ධර්මය වල් වැදී ඇත. බොරුව, කුහකකම, ව්‍යාජය, දුෂණය, නාස්තිය, අල්ලස, කොමිස් කෑම, බොරු ආඩම්බරය, පවට ලජ්ජාව බය නැතිවීම ආදිය රටපුරා පැතිරී ඇත. මේවා දේශපාලනඥයන්ට පමණක් සීමා වී නැත. නිලධාරීහු හා වෙනත් සේවකයෝ ද තම තමන්ට හැකි අයුරෙන් රජයේ හා වෙනත් ආයතනවල වස්තුව ගසා කති. නිලධාරියාට කම්කරුවා පෙනෙන්නේ තරාතිරමෙන් පහත් අයකු ලෙස ය. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට විරුද්ධව අනධ්‍යයන සේවකයන් පැමිණිලි කිරීම පවා වරද වෙයි. ස්ත්‍රී දූෂණය මෙන් ම ලාභ ප්‍රයෝජන සඳහා ස්ත්‍රින් ඇඟ විකිණීම ද අද සුලබ වී ඇත. ඒ හැරෙන්නට හුදෙක් ඉන්ද්‍රිය පිනවීම සඳහා අනාචාරයේ හැසිරීම ද අද ප්‍රචලිත වී ඇත. රටපුරා නගරවල කාමර කුලියට දෙන තැන් බිහි වී ඇත්තේ හුදෙක් දේශීය හෝ විදේශීය හෝ සංචාරකයන් සඳහා නො වේ. මිනීමැරුම්, කොල්ලකෑම්, පවුල් පිටින් ඝාතනය කිරීම් වාර්තා නොවන දවසක් නැත. මේ සියල්ල හුදෙක් ඊනියා යුද්ධයක් නිසා ඇති වූ බව පෙන්වීමට සිංහල බෞද්ධ සංස්කෘතියට එදා සිට වෛර කරන කසිකබල් සතිඅන්ත පුවත්පතක හිටපු කතුවරයෙක් උත්සාහ දරයි. ජේ ආර් ජයවර්ධන, ඕල්කට් බෞද්ධයන් හා ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක බටහිර උගතුන් සමග එක්වී කරන ලද ව්‍යාපෘතියක අනිටු ඵල දැන් ලැබෙමින් පවති.

රට කරවීම යන්න වෙනුවට බටහිරයන්ගේ සංවර්ධනය යන සංකල්පය අද මුල් බැස ගෙන ඇත. ආණ්ඩුව අද රට සංවර්ධනය කරයි. තැන තැන පාරවල් ගොඩනැගිලි ඉදිකෙරෙයි. එහෙත් ඒ සමග මිනිස්සු ඇති නො කෙරෙති. රටේ සංවර්ධනය හා පෞද්ගලික සංවර්ධනය වෙනුවෙන් මිනිස්සු තනි තනිව හා සාමූහිකව පරිසරය ගසාකති. ඊනියා සංවර්ධනයක් අපේක්‍ෂා කරන ජනතාවට ඒ සංවර්ධනය ලබාදීමට කොහෙන් නමුත් ආයෝජන ලබාගැනීමට ආණ්ඩුව පෙළඹෙයි. එහි දී දූෂණ සිදුවීම ද වැළැක්විය නො හැකි ය. බටහිර සංවර්ධනය සමග දූෂණය අත්වැල් බැඳගෙන ඇත. අප රටේ පමණක් නොව දියුණු යැයි සම්මත රටවල ද දූෂණ මහා පරිමාණයෙන් සිදුවෙයි. එහෙත් ඒ දූෂණ ඔවුන්ගේ දළ ජාතික ආදායම සමග සැසඳූ විට එතරම් විශාල නො වෙයි. එසේ වුවත් අප වැනි රටවල දූෂණ රටට ම දැනෙයි. බටහිර සංවර්ධනය සමග ඇත්තේ විනාශය මිස අනෙකක් නො වේ. ස්වභාව ධර්මය මිනිසා වෙනුවෙන් මවා ඇතැයි සලකන බටහිරයන්ට සම්පත් ගසාකෑම හා නැතිකිරීම හැරෙන්නට වෙනත් දෙයක් කළ නො හැකි ය. තිරසාර සංවර්ධනය යන්න මිනිසුන් මුළාකිරීමට බටහිර බුද්ධිමතුන් නිර්මාණය කර ඇති ව්‍යාජ සංකල්පයක් පමණකි. බටහිර සංවර්ධනයට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. පරිසර සංරක්‍ෂණය, පරිසර කලමනාකරණය ආදී සංකල්පවලින් හෙළිවන්නේ බටහිරයන්ගේ උද්ධචිඡ භාවය පමණකි. පරිසරය සමග සහජීවනය මිස පරිසර සංරක්‍ෂණය, කලමනාකරණය ආදිය කළහැකි දේ නො වේ. බටහිර දැනුම විසින් මිනිසුන්ගේ නිහතමානීබව නැතිකර ඔවුන් උද්ධචිඡ තකතීරුවන් බවට පත්කෙරී ඇත. ආණ්ඩුව මෙන් ම මිනිසුන් ද අමාරුවට පත් වී ඇත්තේ ජේ ආර් ගේ ඔලමොට්ටල අදහස් අනුව ලංකාව සිංගප්පූරුවක් බවට පත්කිරීමට යෑමෙනි. ඒ සඳහා මුදල් ලබාගැනීමට ආණ්ඩුව ද මිනිස්සු ද කටයුතු කරති. අධික මුදල් ලැබෙන්නේ අධික දූෂණ ඔස්සේ ය. කුඩු විකුණා වුවත් මුදල් ලබාගෙන පෞද්ගලික ව හෝ රට වශයෙන් හෝ සංවර්ධනය වීමට යන්නේ නම් එහි කෙළවර භයංකාර ය. මිනිසුන්ට නිදහස හා විමුක්තිය ලැබෙන්නේ අයිතිකර ගැනීමෙන් නොව අත්හැරීමෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට ප්‍රභාකරන්ට ද වඩා ක්‍රියාත්මක වූයේ ජේ ආර් ය. ආණ්ඩුව ජේ ආර්ගේ ව්‍යාපෘතිය අත්හැරිය යුතු ය.

Sunday, 9 October 2011

ජාතික ව්‍යාපාරයක් නොව නව ජාතික ව්‍යාපාරයක්

අද මෙරට ඇත්තේ ජන පදනමක් ඇති එක් දේශපාලන පක්‍ෂයක් පමණකි. අනෙක් දේශපාලන පක්‍ෂ පවතින්නේ ජනමාධ්‍යවලට පින් සිදුවන්නට ය. අද දේශපාලනය කිරීම එතරම් අමාරු කාර්යයක් ද නො වේ. ජනමාධ්‍ය සමග මනා සම්බන්ධතාවක් ඇත්නම් පුවත්පත් සාකච්ඡා මගින් පමණක් වුවත් දේශපාලනයෙහි නිරත විය හැකි ය. එය තරමක් වෙනස් වන්නේ මැතිවරණ කාලවල දී ය. එවැනි අවස්ථාවල දී ගෙන්ගෙට ගොස් කරන මැතිවරණ ව්‍යාපාර කුඩා හා මහා රැස්වීම් සංවිධානය වැදගත් වෙයි.

දිවයින පුරා ජන පදනමක් ඇත්තේ ශ්‍රී ල. නි. පක්‍ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සංවිධානයට ය. එහි ද බොහෝ පක්‍ෂ පවතින්නේ ශ්‍රී ල. නි. පක්‍ෂය සමග ගැට ගැසීම නිසා ම පමණක් බව පැහැදිලි ය. බොහෝ කලක් මෙරට ආණ්ඩු කළ පක්‍ෂයක් වූ එ ජා පක්‍ෂයට අද ලබා ඇත්තේ රනිල් ඒරාෂ්ටකය ය. ගැමුණු රජුගෙන් පසුව මෙරට ජීවන ක්‍රමයෙහි දැනෙනසුළු වෙනසක් කළේ එ ජා පක්‍ෂයෙහි නායකයකු වූ ජේ ආර් ජයවර්ධන ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් වූ පෘතුගීසී, ලන්දේසි, ඉංගිරිසි ආණ්ඩුකාරවරුන්ට, පූජකවරුන්ට, නිලධාරීන්ට කළ නොහැකි වූ වෙනසක් නගරවලින් පිටත කිරීමට හැකිවූයේ යටත්විජිතවාදීන්ගේ හොඳම නියෝජිතයා වූ ජේ ආර් ජයවර්ධනට ය. එහෙත් ඔහු ඇතිකළ වෙනසට නායකත්වය දීමට රනිල් අපොහොසත් වීම ඇතැමුනට ප්‍රශ්නයක් විය හැකි ය. රනිල් තම මාමා තරමට මෙරට සංස්කෘතිය නො හඳුනයි. ජේ ආර් ජයවර්ධනට පෙර ඒ සඳහා ඉතා සුළුවෙන් නමුත් දායකත්වයක් ලබා දී තිබුණේ මෙරට බටහිර උගතුන් විසිනි. එහෙත් එය නගරවලට සීමා වූ දායකත්වයක් විය.

ජේ ආර් ජයවර්ධන එ ජා පක්‍ෂයට ඔරොත්තු නොදෙන්නෙක් විය. ඔහු එ ජා පක්‍ෂයට බැඳෙන්නට ඇත්තේ එකල එයට වඩා බටහිර ගැති පක්‍ෂයක් නොතිබූ බැවින් විය යුතු ය. ඔහු එ ජා පක්‍ෂයෙහි බලය අතට ගැනීම වැළැක්වීමට සේනනායකවරු මහත් උත්සාහයක් ගත්හ. සේනානායකලා මුළුමනින් ම ඉංගිරිසින්ගේ ප්‍රසාදයට ලක්වූවෝ නොවුහ. ඔවුහු සිංහල ප්‍රභූවරුන්ගේ දරුවෝ වූහ. විසිවැනි සියවස මුල ඔවුහු නිකම්මු වූහ. ඔවුහු ඕල්කට් බෞද්ධයන් මිස සිංහල බෞද්ධයන් නොවුව ද ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ද වැළඳ නොගත්හ. ජේ ආර් ජයවර්ධන එසේ නො වී ය. ඔහුගේ පියා ශ්‍රෙෂ්ඨාධිකරණ වින්ශ්චයකරුවෙක් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි භක්තිකයෙක් ද ඉංගිරිසින්ගේ ප්‍රසාදය දිනාගත්තෙක් ද විය. ජයවර්ධනලා ඉංගිරිසි සමාජයෙහි ද ප්‍රභූවරු වූහ. එ ජා පක්‍ෂයෙහි මුල සිටම සේනානායකලා හා ජයවර්ධනලා අතර ගැටුමක් විය. ජයවර්ධනලාට එ ජා පක්‍ෂයට වැඩි බටහිර ගැති පක්‍ෂයක් අවශ්‍ය වුව ද ඔවුනට එවැනි පක්‍ෂයක් ජනතාව කරා ගෙන යෑමේ හැකියාවක් නො වී ය. ජේ ආර් ජයවර්ධනට අවස්ථාවක් එනතුරු දත්මිටි කාගෙන එ ජා පක්‍ෂයෙහි රැඳී සිටීම හැරෙන්නට වෙනත් විකල්පයක් නො වී ය. බණ්ඩාරනායක මහතා හා සේනනානායකලා අතර ද ගැටුමක් විය. ඒ ගැටුමෙහි බණ්ඩාරනායක මහතා සිටියේ සේනානායකවරුන්ට වඩා ජාතිකත්වයට බරව ය. එබැවින් බණ්ඩාරනායක මහතාට එ ජා පක්‍ෂයෙන් කැඩී මුල දී ලිබරල්වාදී පක්‍ෂයක් පිහිටුවාගෙන ජනතාව අතරට යෑමේ ශක්තියක් විය. බණ්ඩාරනායක මහතා හා ජේ ආර් ජයවර්ධන ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක ඇති දැඩිවුණ ද ඉංගිරිසි සමාජයෙහි ඉංගිරිසින් විසින් ද පිළිගනු ලැබූ ප්‍රභූන් වුව ද මතවාදී වශයෙන් දෙදෙනා සිටියේ සේනානායකවරුන්ගේ දෙපසෙහි ය. එක් අයකු ඉංගිරිසින්ට, පසුව ඇමරිකානුවන්ට බරව සිටි අතර අනෙක් තැනැත්තා ජාතිකත්වයට බරව සිටියේ ය.

ජේ ආර් ජයවර්ධන බලයට පත්වීමෙන් පසුව රටේ ව්‍යවස්ථාව මෙන් ම එ ජා පක්‍ෂයේ ව්‍යවස්ථාව ද වෙනස් කළේ ය. රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම අවසානයේ දී ඔහුගේ අවශ්‍යතාවන්ට පටහැණි ව ගියේ ය. එම ව්‍යවස්ථාව, ඔහුට විරුද්ධව විශේෂයෙන් ම කොටි පරාජය කිරීමට යොදා ගැණිනි. ජේ ආර් ජයවර්ධනගේ විධායකය කොටින්ට එරෙහිව යොදා ගැනෙනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත. ඔහුගෙන් පසු එ ජා පක්‍ෂයේ බලය නැවතත් සේනානායක පිළට ගියේ ය. එවර ප්‍රේමදාස මහතා එ ජා පක්‍ෂයට නායකත්වය දුන්නේ ය. ඉන්පසු විජේතුංග මහතා කෙටිකලක් නායකත්වයට පත්විය. දැන් නැවතත් ජේ අර් ජයවර්ධන පිළෙහි රනිල් වික්‍රමසිංහ නායකත්වයෙහි වෙයි. එහෙත් එ ජා පක්‍ෂය රනිල් තරම් ඊනියා ජාත්‍යන්තරවාදී නො වේ. එසේ වුවත් රනිල්ට තරගයක් දීමට සේනානායක පිළේ කිසිවකුත් නැත. සජිත් පේ්‍රමදාස මෙන් ම කරු ජයසූරිය ද දේශපාලනයට ආගන්තුක වූ ව්‍යාජ ජාතිකත්වයක් ඇති පුද්ගලයෝ වෙති. එ ජා පක්‍ෂය රුවල් බිඳී ගිය නැවක් මෙන් අතරමං වී ඇත. මෙයින් කියැවෙනුයේ එ ජා පක්‍ෂය දේශපාලනයෙන් අයින් වී ඇති බව නො වේ. එහෙත් අද එ ජා පක්‍ෂයට ජයගනු නො හැකි ය. අද එ ජා පක්‍ෂය බලයට පත්කළ හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාට පමණ ය. ඒ රාජපක්‍ෂ මහතා දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමෙනි.

අද ඊනියා වමේ පක්‍ෂ නැත. ඒ පක්‍ෂ අද අනුර බණ්ඩාරනායක මහතාගේ වචනවලින් නම් ත්‍රිරෝද පක්‍ෂ ය. වමේ පක්‍ෂ දියවී යෑම පටන්ගත්තේ මුල දී ලිබරල් පක්‍ෂයක් වූ ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමෙන් පසුච ය. ඊනියා වමේ පක්‍ෂවලට ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්වයට තරගයක් දියහැකි නො වේ. වමේ පක්‍ෂ සභාග දේශපාලනය නිසා දිය වී ගියා නොව ජාතිකත්වයට මුහුණ දීමට නොහැකිව පළා ගියා වෙයි. කුමාර් ගුනරත්නම්ගේ නායකත්වයෙන් යුත් ජ වි පෙරමුණේ ඊනියා ජාත්‍යන්තරවාදී මෙන් ම දෙමළ ජාතිවාදි වූ කණ්ඩායම අද පැහැදිලිව ම තවත් වමේ පක්‍ෂයක් බවට පත් වී ඇත. අනෙක් බොහෝ වමේ පක්‍ෂ මෙන් නොව ගුණරත්නම් - ඕපාත කණ්ඩායමට ඇමරිකාවේ සහය ලැබෙයි. අද ඔවුන් ඉටුකරමින් සිටින්නේ ඇමරිකාවේ හා ඉන්දියානු ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ අවශ්‍යතාව ය. නීත්‍යානුකූල නොවන සංවිධානයක් වූ ඊනියා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වූ උදුල් ප්‍රේමරත්න රොබට් බ්ලේක් හමු වූ බව කියැවෙයි. ඒ එසේ වුවත් නැතත් බ්ලේක් ලංකාවට පැමිණියේ සිංහල හා දෙමළ තරුණයන් එකතුකර ආණ්ඩු විරෝධී කැරලිකාර කණ්ඩායමක් බිහිකිරීමට ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන දෙඩෙව්ව ද ඇමරිකාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඔවුහු තමන්ට අවශ්‍ය පරිදි බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය රැකගැනීම සඳහා ඕනෑම ත්‍රස්තවාදයකට ආධාර කරති. අද එ ජා පක්‍ෂයට ඡන්දයෙන් රටේ බලයට පත්වීමට නොහැකි බව දන්නා බ්ලේක්ලා ද කෞටිල්‍යලා ද (රෝ සංවිධානය) උත්සාහ ගන්නේ කැරළි ඇතිකර ඉන්පසු ඒ කැරළිකරුවන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් රැක ගැනීමට කියමින් ආර්ථික සම්බාධක පැණවීමට පමණක් නොව අවශ්‍ය නම් රට ආක්‍රමණය කිරීමටත් ය.

කැරැල්ල විශ්වවිද්‍යාලවලින් ආරම්භකිරීමට විශාල ඉඩකඩක් ඇත. අද විශ්වවිද්‍යාලවල ජ වි පෙ හා එ ජා ප හිතවත් ආචාර්යවරු එකට වැඩකරති. පසුගිය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිටුපස සිටියේ ද ඒ කණ්ඩායමයි. බොහෝ ආචාර්යවරුන් ඒ ක්‍රියාමාර්ගයට පිවිසියේ තම වැටුප වැඩිකර ගැනීමේ චෙිතනාවෙන් පමණකි. එහෙත් ඒ පිටුපස ඊනියා ජාත්‍යන්තරවාදී සිංහල විරෝධී දේශපාලනයක් ද විය. අද අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද තම වැටුප් වැඩිකරගැනීමට කටයුතු කරති. අප එය නුදුටුවා නො වේ. එහෙත් ජාතිකත්වයේ දීර්ඝකාලීන පැවැත්ම නොව ආණ්ඩුවේ කෙටිකාලීන පැවැත්ම ගැන පමණක් සිතන සමහරුන් අතර අපේ විශ්ලේෂණවලට තැනක් නොතිබිණි. මේ අතර ජ වි පෙ හා ඊනියා අන්තරේ පෞද්ගලික වෛද්‍ය වි්‍යාලය මුල්කරගෙන නැවතත් තිරිමාවිතාන කෙනකු බිල්ලට දී ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ගේ අවශ්‍යතාවට ආණ්ඩුව පෙරළීමට උත්සාහ දරති. ආණ්ඩුව මෙහි දී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු ය. ජ වි පෙරමුණේ සෝමවංශ - ටිල්වින් - අනුර කණ්ඩායමට අද යන එන මං නැත. එක්කෝ ඔවුන් තරුණයන් අතර තම බලය රඳවා ගැනීමට ගුණරත්නම් - ඕපාත කණ්ඩායමට වඩා “විප්ලවවාදී” විය යුතු ය. ඔවුන් ඒ සඳහා මුල දී උත්සාහ දරණු ඇත. ඔවුන්ට ද ඒ සඳහා ඇමරිකානු හා රෝ ආධාර ලැබෙනු ඇත. බටහිරයන්ට හා කෞටිල්‍යයලාට අවශ්‍ය කවුරුන් ලවා වුව ද තම අරමුණ ඉටුකර ගැනීමට ය. සෝමවංශ කණ්ඩායම ඒ තරඟයෙන් පරාජය වුවහොත් (පරාජයවීමට ඇති ඉඩකඩ වැඩිය) ඔවුන්ට නැවතත් ආණ්ඩුවට එකතුවීම හැරෙන්නට ඇති විකල්පය ත්‍රිරෝද පක්‍ෂයක් බවට නොව පාපැදි පක්‍ෂයක් බවට පත්වීම ය.

අවුරුදු තිහකට ආසන්න කාලයක් තිසසේ දිවයින පුවත්පත ඔස්සේ ගෙනගිය ජාතික ව්‍යාපාරය ද දැන් අවසන් වෙමින් ඇත. එහි ජයග්‍රහණ බොහෝ ය. එහෙත් රට අධාර්මික ය. ඒ අරුතින් ජේ ආර් ජයවර්ධන ජයගෙන ඇත. ජාතික ව්‍යාපාරයෙහි මතවාද ජනතාවගේ හදවත්හි කොණක ඇත. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බලවත්ව තිබෙනතාක් ජනතාව ඒ මතවාද මුළු හදින් වැළඳ නොගනු ඇත. බටහිර සමස්ත සංස්කෘතිය හා ජීවන ක්‍රමය කඩාවැටෙන ලකුණු පහළ වී ඇත. ඒ මාක්ස්වාදී අරුතකින් නො වේ. කඩාවැටෙන බටහිරට නව ජීවන ක්‍රමයක් ඇති කිරීම ගැන හෝඩුවාවක්වත් නැත. එසේ කඩාවැටීමෙන් පසු ජනතාව තිස් අවුරුදු ජාතික ව්‍යාපාරයේ මතවාද වැළඳ ගනු ඇත. එහි දී දේශපාලන පක්‍ෂවලට ඩැහැගත නොහැකි නව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නගිනු ඇත. ඒ නව ජාතික ව්‍යාපාරයට අත්තිවාරම දැමීම අද කාර්යභාරය වෙයි. එහෙත් නව ජාතික ව්‍යාපාරයට පැරණි ජාතික ව්‍යාපාර අමතක කළ නො හැකි ය. එසේ අමතක කරන්නෝ ධර්මය ගැන කියමින් වෙනෙකක් ම කරති.