Main Logo

Showing posts with label සිංහල බෞද්ධ. Show all posts
Showing posts with label සිංහල බෞද්ධ. Show all posts

Wednesday, 6 December 2017

මැතිවරණයට පෙර ජාතිකත්වය නොවීම

මැතිවරණයට පෙර ජාතිකත්වය නොවීම


මෙකල දේශපාලනය හරිම අවුල්. දේශපාලනඥයන් කටුස්සන්ටත් වඩා ඉක්මනට වෙනස් වෙනවා. උදේ කියපු දේ හවසට කියන්නේ නැහැ. හවසට කියන්නේ වෙන ම දෙයක්. රූපවාහිනි නාලිකාවලට නම් වඩා වැදගත් නත්තල. ඔවුන් නත්තල ගැන කතා කරන්නේ නොවැම්බර් අග සිට. නත්තල් ගීත නිතර ප්‍රචාරය වෙනවා. වෙළෙඳ සමාගම් නත්තලට භාණ්ඩ විකුණනවා. එක් නිවේදිකාවක් කියනවා අප නත්තල වෙනුවෙන් කාර්ය බහුල වෙලා කියලා. එහෙම කාර්ය බහුල වෙන අයත් ඇති. මේ රූපවාහිනියේ වැඩ. එහෙත් ඔවුන් හිතන තරම් අනෙක් බොහෝ අයට නත්තලට  වැඩක් නැහැ. නත්තල අද බටහිරයන්ගේ උත්සවයක්. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ හිම නොවැටෙන බටහිර ආසියාවේ වුවත් නත්තල් පින්තුර හිමෙන් වැහිලා. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ අයිස්ලන්තයේ ද කියා වෙලාවකට හිතෙනවා. බටහිරයන්ගෙ උත්සවයක් හැටියට නත්තල අප මත පටවනවා. මේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය.

Sunday, 14 September 2014

ඉතා සංවේගයෙන් ලියමි - 4


මේ ලිපි පෙළ අවසන් කළ යුතුව ඇත. එහෙත් සාකච්ඡා කළ යුතු සියල්ල සඳහන් වී නැත. අද මිනිසුන් රුපියල් ශත හඹා යන බව කියැවෙයි. එහෙත් එසේ වන්නේ අද සියල්ල ම පාහේ මිලට ගැනීමට සිදු වී ඇති නිසාත්, මිනිසුන්ගේ පංචෙන්ද්‍රිය පිනවීම ඉතා අධික වී ඇති නිසාත් ය. පංචෙන්ද්‍රිය පිනවීමට ද මුදල් අවශ්‍ය වෙයි. ඇතැම් විට ඒ සඳහා චණ්ඩිකම ද යොදා ගැනෙයි. ඒ අතර මිනිසුන්ගේ අනෙකා පරයා ඉහළට යෑමට ඇති අවශ්‍යතාව ද වෙයි. ඉහළ යෑම නිසා බොහෝ විට අනෙක් අයට නොමැති වරප්‍රසාද බලතල ආදිය හිමිවෙයි. එහෙත් සමහරු එයින් මානසික උත්තේජකයක් ද ලබති. නිස්සරණාධ්‍යාෂයෙන් කටයුතු කරන්නේ යැයි කියන අය ද බොහෝ විට තම ක්‍රියාකාරකම්වලින් මානසික ප්‍රබෝධයක් ලබති. සමාජයේ වැදගත්කම් පොරකම් ආදිය හේතුවෙන් යම් බලයක් දරන්නෝ ද වෙති. අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් ම  ඒ ඒ පුද්ගලයා සමාජ හිණිමගේ ඉහළට යැවීමට යොදා ගැනෙයි. කෙසේ වෙතත් ඒ සියල්ල පිටුපස ඇත්තේ  සාමූහිකත්වය පසුපසට දමා පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම ය. ප්‍රශ්නය රුපියල් ශත නොව පෞද්ගලිකත්වය ඉදිරියට ගැනීම ය. රුපියල් ශත එහි දී ආධාරකයක් ලෙස පමණක් ක්‍රියා කරයි. මෙරට සිංහල බෞද්ධ රටක් වුවත් නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය කී දෙනෙක් වෙත් ද? අති විශාල බහුතරයකට අවශ්‍ය වන්නේ මෙලෝ වශයෙන් “හොඳ” රැකියා, සැප පහසු යාන වාහන, විශාල ගෙවල් දොරවල් ආදිය හා පරලෝ වශයෙන් දිව්‍ය ලෝක සැපසම්පත් ය. දුකට හේතුව තණ්හාව යැයි අපි නිතර දෙවේලේ අසමු. එහෙත් තණ්හාව ඇතිවන්නේ පුද්ගලයන්ට ය. (එය මිනිසුන්ට පමණක් නොව අනෙක් සත්ත්වයනට ද පොදු ය). වඩාත් ප්‍රධාන වන්නේ මම ය. මමත්වය ය. 

ප්‍රංශයේ සිටි දාර්ශනිකයකු වූ ද ගණිතඥයකු වූ ද දෙකාර්තේ (උසස් පෙළ සිසුන් ඉගෙන ගන්නා (කාටීසීය) ඛණ්ඩාංක ජ්‍යාමිතියෙහි නිර්මාතෘවරයා ඔහු ය.) ඉංගිරිසියෙන් හඳුන්වනු ලැබුයේ ඩෙ කාර්ටෙ(ස්) ලෙස ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නිර්මාණය කළ ජ්‍යාමිතිය කාටීසීය ජ්‍යාමිතිය ලෙස ද හැඳින්වෙයි. ඉංගිරිසි ලෝක ආධිපත්‍යය හමුවේ ප්‍රංශකාරයා ඉංගිරිසිකරණයට ලක් වී ඇත. ඒ කෙසේ වෙතත් දෙකාර්තේගේ ප්‍රසිද්ධ කියමනක් වෙයි. එය මෙසේ ය. “ මම සිතමි. එබැවින් මම වෙමි” . මෙය බටහිර දර්ශනයෙහි ප්‍රධාන සිතිවිල්ලක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත් මේ ප්‍රකාශය අවශ්‍ය නම් අනෙක් අතට ද කියවිය (ඒ සමාජ වටිනාකමක් අත්පත් කරගෙන ඇති පඬි කියැවීමක් නො වේ) හැකි ය. ඒ “මම වෙමි. එබැවින් මම සිතමි” යනුවෙනි. බටහිර ගණිතඥයන්ගේ භාෂාවෙන් නම් මෙය “මා සිතන්නේ මා වන්නේ ම නම් පමණකි” යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් මට කියවන්නට ලැබිණි. මට මතක අයුරෙන් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ “මම නො සිතමි, එබැවින් මම වෙමි” යනුවෙනි. එහෙත් එය  නිවැරදි යැයි සිතීමට නො හැකි ය. නොසිතන මා ඇත්තේ කෙසේ ද? ඉහත කී ප්‍රකාශය නිවැරදි නො වේ යැයි මා සිතන්නේ ද මා වන (ඇති,  පවතින) බැවිනි.

කෙසේ වෙතත් මේ ප්‍රකාශ මම, මමත්වය,  තණ්හාව, නිවන ආදිය සමග බැඳී ඇත. මමත්වය නැතිකිරීම, එනම් මමත්වය යන්න නිවැරදි නොවන බව දැනගැනීම ම නිවන් අවබෝධය යැයි සිතිය හැකි ය. එහෙත් එසේ මමත්වය, මා යන්න, මා යනුවෙන් පුද්ගලයකු පැවතීම, නිවැරදි නොවන බව දැනගන්නේ කවු ද? ඒ මා විය නො හැකි ය. එබැවින් ඉහත සඳහන් භික්‍ෂුන් වහන්සේගේ ප්‍රකාශය ගැටළු සහිත ව වුවත් මම නො සිතමි, එබැවින් මම නො වෙමි යනුවෙන් හා මම නො වෙමි, එබැවින් මම නො සිතමි යනුවෙන් සංශෝධනය විය යුතු යැයි සිතමි. නිවන් අවබෝධය එසේ වචනවලින් ප්‍රකාශ කළ නොහැකි වුවත් නිවන් අවබෝධයෙහි දී මා යනුවෙන් සත්ත්වයකු, පුද්ගලයකු පවතින්නේ යැයි ගැනීම නිවැරදි නොවන බව වැටහෙන අතර එසේ වැටහෙන්නේ ඊනියා මට විය නොහැකි බව පවතින්නේ යැයි සිතන මට සිතෙයි. 

ඉහත සඳහන් ප්‍රකාශ මගේ පොරත්වය ප්‍රකාශ කිරීමේ මඟක් ලෙස යොදාගෙන ඇති බව කවුරුන් හෝ පවසන්නේ නම් මට එයට විරුද්ධ විය නො හැකි ය. එහෙත් මා ලියන කියන කිසිවකින් මට සමාජයේ උගතුන් අතර පොරත්වයක් නොලැබෙන බැවින් එය එතරම් ප්‍රශ්නයක් නො වේ. මා ලියන්නේ මට ඉන් සංතෝෂයක් ලැබෙන බැවිනි. එය ද නිවනට බාධාවක් විය හැකි ය. එහෙත් අන් අයගේ නිවන වෙනුවෙන් තමාගේ නිවන කල්දමා ගැනීම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයක් ද වෙයි. ඒ කුමක් වුවත් අද මෙරට ද පිටරට ද මමත්වය සාමූහිකත්වය පරයා ඉස්මතු වී ඇති බව පැහැදිලි ය. සිංහල බෞද්ධයන් අතර එකල ද මමත්වයක් තිබී ඇති නමුත් එය සාමූහිකත්වයට යට වූ මමත්වයක් විය. අද ඇති මමත්වය එසේ නො වේ. අද ද සාමුහිකත්වය සුනාමි අවස්ථාවෙහි දී මෙන් මතුවන නමුත් ප්‍රධාන වශයෙන් ඇත්තේ සාමුහිකත්වය යටකර ගත් මමත්වයකි. පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය පිනවීම (ඉන්ද්‍රිය පිනවීම යනු මනස පිනවීම ය. අනෙක් ඉන්ද්‍රිය - ආයතන - නොමැතිව මනස පමණක් පිනවීමට ද හැකි බව තේරුම් ගත යුතු ය) බටහිරින් අපට අවශ්‍ය පරිදි, එනම් සිංහල බෞද්ධ සංස්කෘතියට ගැලපෙන පරිදි අවශෝෂණය කර ගැනීමට අපට නොහැකි වී ඇත. අප කරන්නේ බටහිර පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය පිනවීම අනුකරණය කිරීමකි. අපි එහි දී පොරවල් වීම සඳහා සාමූහිකත්වයට එරෙහි ව ක්‍රියා කරමු. පවුල යන්න වෙනුවට තමා ආදේශ වූ විට සෙනෙහස පවුලෙන් පළා යයි. ඒ අතර අපේ නොවන අධ්‍යාපනයකින් අපි හෙම්බත් වී සිටිමු. පට්ටපල් බොරුවක් වූ බටහිර විද්‍යාව අපේ මිනුම් දණ්ඩ බවට පත් වී ඇත. මෙරට අධිපතිවාදී සංස්කෘතිය බටහිරින් අප මත පටවනු ලැබූ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය වන නමුත් බටහිර විශේෂඥයෝ ඒ බව සඟවා සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ගැන දොඩවති. පැරණි සිංහල සාහිත්‍යය යොමු වී තිබුණේ මිනිසුන් අවසන් වශයෙන් ගත්කල නිවනට යොමු කිරීම සඳහා ය. එහෙත් බටහිරින් ඊනීියා යථාර්ථවාදයක් කරපින්නාගත් වත්මන් සාහිත්‍යකරුවෝ මෙරට චින්තනයට එරෙහිව නිවන පැත්තකට දමා තම කෘතිවලින් කාගේ දෝ සමාජ යථාර්ථයක් නිරුපණය කිරීමට වෙහෙසෙති. ඒ අතර තවත් පොරවල් පිරිසක් සාහිත්‍යයේ අරමුණ විය යුත්තේ අධිපති දෘෂ්ටිවාදය පරාජය කිරීම යැයි මැත දොඩවති. එහෙත් ඔවුන් පරාජය කිරීමට උත්සාහ ගන්නේ අධිපති දෘෂ්ටිවාදය වූ බටහිර මතවාද නොව සිංහල බෞද්ධ මතවාද ය. මොවුහු සියල්ලෝ ම එකතු වී මිනිසුන් නිවනෙන් ඈත්කරති. නිවනෙන් ඈත් වූ මිනිසුන් සමාජයට පිළිලයක් වී ඇත. අප කළ යුත්තේ ඔවුන් නැවතත් නිවනට යොමු කරන මඟකට අවතීර්ණ වීම ය.


නලින් ද සිල්වා

2014-09-14

Sunday, 17 August 2014

මෙරට ආදීවාසීහු සිංහලයෝ ය


දශක දෙකකට අධික කාලයක් තිස්සේ අප කියා ඇති කරුණක් නම් මෙරට ප්‍රධාන ම ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදීම බව ය. එය ආර්ථිකයෙහි ද දේශපාලනයෙහි ද දැකගත හැකි ය. අද සිංහල බෞද්ධ නොවන, බොහෝ විට සිංහල බෞද්ධ විරෝධී සංවිධානවලට රටේ නීතිය කැඩීමේ දී ප්‍රශ්න මතු නො වේ. ඒ සංවිධාන ඊනියා මානව අයිතිවාසිකම් මුවාවෙන් බටහිරයන්ගේ ආධාරයෙන් රැකෙයි. එහි දී බටහිර රාජ්‍ය සංවිධානවල ද සහාය ඔවුන්ට ලැබෙයි. එහෙත් ඒ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්තියානි රටවල් ය, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. මෙරට දී සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ආධාරය මුස්ලිම් සංස්කෘතියට ද ලැබෙයි. එපමණක් නොව කාලයක් තිස්සේ වැදි ජනතාව ද සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව යොදා ගැනෙති. වැදි ජනතාව මෙරට ආදිවාසීන් ය යනුවෙන් මතයක් රටෙහි ඇතිකර තිබෙනවා පමණක් නොව වැදි ජනතාව ලෝකයේ පැවැත්වෙන විවිධ ආදිවාසී සම්මන්ත්‍රණවලට රැගෙන යන්නෝ ද වෙති. ඒ මදිවාට අද වැදි ජනතාවගේ ජාතික හැඳුනුම් පතෙහි ආදිවාසි යනුවෙන් සඳහන් කිරීමට ද ඉල්ලීමක් වෙයි.         

බටහිරයන්ගේ ආදිවාසි ව්‍යාපෘතියට එක් අතකින් සිංහලයන් ද වගකිව යුතු ය. සිංහලයන්ගේ ඉතිහාසය විජය කුමරුට සීමා කිරීම නිසා අදත් බොහෝ සිංහලයන්ට තමන්ට ඉන් ඔබ්බට යන ඉතිහාසයක් ඇති බව නො වැටහෙයි. විජය පැමිණීමට පෙර මෙරට තිබූ සංස්කෘතිය මහාවංශය විසින් වුවමනාවෙන් ම අමතක කෙරී ඇත. පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් විසින් උපුටා පළකෙරී ඇති වරිග පූර්ණිකාවේ කොටස් අනුවත් මෑතක දී කුරගල හා වෙනත් ප්‍රදේශවල කරන ලද කැණීම් අනුවත් පැහැදිලිවන කරුණ නම් විජය යනු මුහුදු කොල්ලකරුවකු බවත් ඔහු පැමිණෙන විටත් මෙරට බුදුදහම හා බෞද්ධ සංස්කෘතියක් තිබූ බවත් ය. වරිග පූර්ණිකාවට අනුව කුවේණි නමින් හැඳින්වෙන පාලිකාවගේ මව රත්නවලී නමින් ද ප්‍රසිද්ධියට පත් වී ඇති රහත් මෙහෙණින් වහන්සේ නමකි. ඒ මෙහෙණින් වහන්සේගේ ආවාසය තිබූ තැන අද රුවන්වැලි සෑය දක්නට ඇත. වරිග පූර්ණිකාවට අනුව මහාවංශයෙහි කුවේණි නමින් හැඳින්වෙන පාලිකාව විජය හා පිරිසට සමාව දී ඇත. එහෙත් ඇය ඔහු හා විවාහ වූ බවක් සඳහන් නො වේ. (යාපනයට පැමිණි ආර්ය චක්‍රවර්තීන් ද මුහුදු කොල්ලකරුවන් බව අමතක නොකළ යුතු ය.)  මහාවංශය අනුව පමණක් නිගමනයකට පැමිණියත් වැදි ජනතාව බිහි වී ඇත්තේ විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙනි. මහාවංශය අනුව විජයට පෙර මෙරට මිනිස් වාසස්ථාන තිබී නැත. වැදි ජනතාව හා සිංහලයන් බිහි වී ඇත්තේ එක ම කාල පරිච්ඡෙදයක ය. එසේ නම් මහාවංශය අනුව වුව ද  වැදි ජනතාව මෙරට ආදිවාසීන් යැයි කිසිසේත් කිවහැකි නො වේ. 

කෙසේ වුවත් මෙරට ඉතිහාසයෙන් යගු කෞරාණ (යක්‍ෂ ගෝත්‍රිකයන් - ඉංගිරිසි ට්‍රයිබ් නොවන බව අනුකාරක නිවට පුස්සන්ගේ දැනගැනීම සඳහා අවධාරණය කළ යුතු ය) හා නාග ආදී වෙනත් ජනයා (හෙළයන්) අකාමකා දැමීමටත් සිංහල ඉතිහාසය විජයගෙන් ඇරඹි බවටත් සිංහලයන් බෞද්ධ වූයේ මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කිරීමෙන් පසුව බවටත් කතාවක් ගොතා ඇති බව පැහැදිලි ය. ඒ කතාව ගෙතීම තුන්වැනි සියවසේ පමණ අරඹන ලද බවත් හතරවැනි සියවසේ දීපවංශය ලියන විට යම් ප්‍රමාණයකට තහවුරු වී ඇති බවත් පස්වැනි සියවසේ මහාවංශය ලියන විට මුළුමනින් ම තහවුරු වී ඇති බවත් සිතාගත හැකි ය. මහාවංශය අවසන් වන්නේ බු ව 847 දී හෙවත් ක්‍රි ව 304 දී මහසෙන් රජු මිය යැමත් සමග ය. මහසෙන් රජුට යගු කෞරාණ සම්භවයක් තිබී ඇති අතර එතුමා මහාවිහාරයට එරෙහි ව යම් අරගලයක ද යෙදී ඇත. එහෙත් දඹදිවෙන් පැමිණි පිරිස් අවසානයේ දී ඔහු පරදවා ජයගෙන ඇත. ඒ සමග මෙරට ඉතිහාසය වෙනස් කෙරී ඇත. මහාවංශය පසු කලෙක ලියැවුණ ද එය මහසෙන් රජු “දමනය” කිරීමෙන් හා ඔහුගේ ඇවෑමෙන් අවසන් කිරීමෙන් පැහැදිලි වනුයේ ඉන්පසු තාවකාලික ව සීගිරි කාශ්‍යප වැනි යගු කෞරාණ සම්භවයක් ඇති රජවරුන් රජවුව ද දඹදිවෙන් පැමිණි අයට මෙරට යගු කෞරාණ ඉතිහාසය ඉතිහාසයෙන් අතුගා දැමීමට හැකි වී තිබෙන බව ය. එහි දී මහින්දාගමනයට පෙර තිබූ බෞද්ධ සංස්කෘතිය ගැන සඳහන් කිරීම ද යටපත් කෙරී ඇත. 

එහෙත් යගු කෞරාණ සංස්කෘතිය සිංහලයන් අතර නොනැසී පවතින බව අපට දැකගත හැකි ය. යගු කෞරාණයන් ඉතා සහනශීලී මනුෂ්‍යයන් බව ද බුදුන් වහන්සේ අනුව යමින් අන්‍ය මතවලට ගරුකළ බව ද පැහැදිලි ය. පණ්ඩුකාභය රජු විවිධ විශ්වාස දැරූ අයට අනුරාධපුර නගර සැලැස්මට අනුව ඒ ඒ ප්‍රදේශ වෙන්කර දීමෙන් ද ඒ බව පැහැදිලි වෙයි. එහෙත් වෙනත් මත දරණ ලෝකයක එලෙස රාජ්‍යයක් පවත්වාගෙන යෑම අසීරු ය. දඹදිවෙන් මෙරටට පැමිණි සංස්කෘතියෙන් සිදු වී ඇත්තේ හෙළයන්ට යම් ස්ථාවරත්වයක් ලබා දීම ය. අශෝක බුදුදහම (විභජ්ජවාදය, ධර්මවාදය, ක්‍ෂණවාදය ආදිය ඇතුළත් ථෙරවාදය) හා අදාළ බෞද්ධ සංස්කෘතිය හෙළයන් සිංහලයන් බවට පත්කිරීමෙහි ලා කාර්යභාරයක් ඉටුකර ඇත. සිංහල සංස්කෘතිය යනු හෙළ සංස්කෘතියට දඹදිවෙන් පැමිණි සංස්කෘතිය (විජයගේ වෛදික සංස්කෘතිය හා ථෙරවාද සංස්කෘතිය) අවශෝෂණය කිරීමෙන් ලැබුණකි. හෙළයන් සිංහලයන් බවට පත්කිරීමෙහි ලා මහාවංශය මෙන් ම බුද්ධඝෝෂ හිමියන් ඇතුළු ආන්ද්‍ර ප්‍රදේශ ථෙරවාද භික්‍ෂූන් වහන්සේ ද විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. හෙළයන් සිංහලයන් නොවන්නට මෙරට මුස්ලිම් හෝ කතෝලික හෝ රටක් බවට පත් වී ඉතිහාසය විජයගෙන් නොව වත්හිමි කුමරුගෙන් හෝ දොන් ජුවන් ධර්මපාලගෙන් හෝ ඇරඹීමට ඉඩ තිබිණි. සිංහලයන්ගේ හෙළ ගතිය මතුකරමින් ඔවුන් මුස්ලිමුන්ට තම ආගම ඇදහීමට කිසිම බාධාවකින් තොරව ඉඩ දී ඇති අතර පසුව මුස්ලිමුන් කතෝලිකයන්ගෙන් ආරක්‍ෂා කිරීමට ද කටයුතු කර ඇත. එහෙත් මහාවංශය අනුව යමින් ථෙරවාදය (බුදුදහම) ආරක්‍ෂා කිරීම සඳහා වත්හිමි කුමරු සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ද සිංහල බෞද්ධයන් පසුබට වී නැත. සිංහල රජවරුන් කතෝලික ආගම ව්‍යාප්ත කිරීමෙහි ලා ද සහාය වී ඇත්තේ හෙළ බෞද්ධ සංස්කෘතියට අනුව ය. එහෙත් මහාවංශය අනුව යමින් පෘතුගීසින්ට ද පසුව ලන්දේසීන්ට ද අවසානයේ දී ඉංගිරිසින්ට ද විරුද්ධ ව සිංහලයෝ ථෙරවාදය රැකගැනීම සඳහා සටන් වැදුණහ. මෙරට ආදිවාසීහු හෙළයෝ ය. ඔවුහු බුදුන් වහන්සේ ජීවමානව වැඩවිසූ සමයෙහි ම හෙළ බෞද්ධ වූහ. වෛදිකයන්ගේ ආගමනයෙන් හා අශෝක (තුන්වැනි සංගායනාවේ) බෞද්ධ සංස්කෘතියෙහි බුදුදහම හඳුන්වාදීමෙන් පසුව ඔවුහු සිංහල බෞද්ධයෝ වුහ. සිංහල බෞද්ධ වීම නිසා ම සිංහලයෝ පොදුවේ ගත්කල මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ නොවුහ. හෙළයන්ගේ සිට සිංහල බෞද්ධ වීම දක්වා ඇත්තේ අඛණ්ඩ ඉතිහාසයකි. 


නලින් ද සිල්වා

2014-08-17

Sunday, 2 June 2013

මේ සිංහල බෞද්ධ රටයි - 2

මෙරටට සංක්‍රමණය වූ මුස්ලිම් ජනයා සිංහල රජු යටතේ වෙන ම අනන්‍යතාවක් සහිත ව ජීවත්වූහ. ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වී ඇති බව පැහැදිලි ය. යම් අයුරකින් ඔවුන් එක් ප්‍රදේශයකට ගොනු වී නම් මෙරට ඉතිහාසය වෙනත් මගක් ගැනීමට ද ඉඩ තිබිණි. ඔවුන් වෙන ම අනන්‍යතාවක් සහිත ව වෙන ම භාෂාවක් (දෙමළ) කතාකරන පිරිසක් ලෙස ජීවත් වුව ද ඔවුන්ට වෙන ම පාලකයකු සිටි බවක් ඉතිහාසයේ සඳහන් නො වේ. ඔවුන් යම්කිසි ආකාරයකින් සිංහල කතාකිරීමට පුරුදු විණි නම් ඔවුන් මේ වන විටත් ඇතැම් විට සිංහල මුස්ලිම් වීමට ඉඩ තිබිණි. එහෙත් යුදෙවුවනට මෙන් ම මුස්ලිම්වරුනට ද ලෝකයේ කොතැනක ජීවත්වුවත් රැකගත යුතු සංස්කෘතියක් වෙයි. එහි වරදක් නැත. යුදෙවුවන් ඔවුන්ගේ සංස්කෘතිය නැතිකර ගත්තේ නම් මේ වන විට ලෝකයේ වියුක්තව සිතිය හැකි බුද්ධිමතුන් නැති වී යෑමට ඉඩ තිබිණි. තම සංස්කෘතිය රැකගන්නා අතර ඔවුන්ට ඒ ඒ රටවලට පක්‍ෂපාතිවිය හැකි විය යුතු ය. සියළු යුදෙවුවන් පක්‍ෂපාති වන්නේ ඊශ්‍රායලයට පමණක් නම් එහි දී ප්‍රශ්නයක් ඇති වෙයි. මෙරට වසන මුස්ලිම් ජනයා තම සංස්කෘතිය රැකගන්නා අතර රටට පක්‍ෂපාති විය යුතු ය. මෙරට බෞද්ධ උරුමය ඔවුන්ගේ ද උරුමය ලෙස සැලකීමට ඔවුන් පුරුදුවන්නේ නම් හා බෞද්ධ සංස්කෘතිය දෙස ආක්‍රමණශීලීව නොබලන්නේ නම් හා කිසිම ප්‍රදේශයක් මුස්ලිම් ප්‍රදේශයක් ලෙස නොසලකන්නේ නම් සිංහල – මුස්ලිම් ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳා ගත හැකි ය. විශේෂයෙන් ම නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා තමන් එහි පදිංචි කරනු ලැබුයේ සිංහල රජුන් විසින් බව ද ඉංගිරිසින් 1817 – 18 නිදහස් සටනෙන් පසුව සිංහලයන් විශාල වශයෙන් ඝාතනය කර ඉතිරි අය එම පළාත්වලින් පිටමං කිරීමට වාතාවරණය සැකසූ බව ද මතක තබාගත යුතු ය. ඒ අතර සිංහලයන් ද මුස්ලිම් ජනයා බෞද්ධ උරුමය තම උරුමය ලෙස සැලකීමට විරුද්ධ නොවිය යුතු ය. බටහිර විද්‍යාව තමන්ට ද අයත් ලෙස සලකන, එය ඉතා වුවමනාවෙන් ඉගෙන ගන්නා සිංහල බෞද්ධයනට මෙරට මුස්ලිමුන් රුවන්වැලි සෑය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමට විරුද්ධ විය නො හැකි ය. මෙරට මුස්ලිමුන් රුවන්වැලි සෑය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමෙන් සිංහල බෞද්ධයන්ගේ උරුමයට අබමල් පියල්ලක වුව හානියක් සිදු නො වේ.    

අද ලෝකයේ ථෙරවාද බෞද්ධ හා මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇතිවෙමින් පවතින බව රහසක් නො වේ. සිංහල – මුස්ලිම් ප්‍රශ්නය ද මෙහි කොටසක් පමණකි. ලංකාවේ පමණක් නොව, මියන්මාරය, තායිලන්තය වැනි වෙනත් ථෙරවාද රටවල මෙන් ම මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයේ ද මේ ප්‍රවණතාව දකින්නට ඇත. මෙය අහම්බයකින් ඇතිවූවක් යැයි නොසිතිය යුතු ය. මෙය පිටුපස බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඇතැයි කී විට ඇතැමුන් සිනහසෙනු ඇත. විශේෂයෙන් ම ජාති හිතෛෂී යැයි කියාගන්නා වෙබ් අඩවියක මගේ ලිපි පළකිරීමෙන් පසු ඒවාට ප්‍රතිචාර දක්වන පඬියන් මට සිහිනෙන් ද පෙනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය ආදී වශයෙන් අවළාද නගනු ඇත. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අංගයක් වූ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මා ඉගෙනගත් දෙයක් වෙයි. එනම් සාධාරිත ප්‍රපංච හඳුනාගැනීම ය. තමන් බටහිර නූතනත්වයේ කිමිදී ඇතැයි සිතන බොහෝ දෙනා සාධාරිත ප්‍රපංච ගැන කිසිවක් නො දති. ඔවුන්ට වියුක්ත ව සිතීම යනු විෂය නොවන ක්‍රියාවලියකි. අප ථෙරවාදී රටවල් යනුවෙන් හඳුන්වන්නේ තුන්වැනි සංගායනාවෙන් පසු අශෝක රජු විසින් හඳුන්වාදෙනු ලැබූ බුදුදහම ඇති රටවල් ය. තුන්වැනි සංගායනාවේ බුදුදහමෙහි ධර්මවාදය, ක්‍ෂණවාදය, යථාර්ථය වැනි ආත්මවාදී සංකල්ප තිබුණ ද, ථෙරවාදී රටවල් සාධාරණ වශයෙන් ගත්කල අනාත්මවාදී වෙයි. එමෙන් ම ඒ රටවල නිර්මාණවාදයක් නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට දාර්ශනික වශයෙන් අභියෝගයක් එල්ල කළ හැක්කේ ථෙරවාදයට ය. අනෙක් පැත්තෙන් වර්තමානයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හමුදාමය වශයෙන් අභියෝගකරන්නේ මුස්ලිම් රටවල් ය. මුස්ලිම් හා ථෙරවාදී ජනතාව අතර ගැටුම් ඇතිකිරීමෙන් බටහිරයන්ට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරාගැනීමේ අවස්ථාව උදාවෙයි.

ථෙරවාදී රටවල බෞද්ධයන් මුස්ලිමුන්ට එරෙහි වන විට බටහිරයන්ට තම සුපුරුදු ගීය ගයමින් ථෙරවාදී බෞද්ධයන් අන්තවාදීන් හිංසකයන් මැරයන් ආදී වශයෙන් පුවත්  මැවීමට අවස්ථාව උදාවෙයි. ලෝ පුරා පුවත් ප්‍රචාරය කිරීමේ අධිකාරිය බටහිරයන් සතු බැවින් ලොවෙහි ප්‍රචාරය වන්නේ ථෙරවාදී බෞද්ධයන්ගේ ඊනියා නොපණත්කම් ය. එහෙත් බටහිරයෝ තම රටවල මුස්ලිමුන්ට කෙරෙන අසාධාරණකම් ගැන කිසිවක් නො කියති. පසුගියදා ලංඩනයේ වුලිච් ප්‍රදේශයේ හමුදා භටයකු මරා දැමීමෙන් තරමක් දුරට වුවත් හෙළි වූයේ බටහිරයන් මුස්ලිමුන්ට කරන අසාධාරණකම් ය. එහෙත් බටහිර පුවත් සේවාවන් වැඩි ප්‍රචාරයක් දෙන්නේ භටයා මරා දැමීම පිළිබඳව ය. අප මේ කරුණු සඳහන් කරන්නේ සිංහල බෞද්ධයන් කල්පනාවෙන් කටයුතු නොකළහොත් මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස පවතින අවසාන කාලය මෙය වනු ඇති බව කීමට ය. අනෙක් පැත්තෙන් ථෙරවාදී බෞද්ධයන් නිවැරදි ව කටයුතු කිරීමෙන් අද පිරිහෙමින් පවතින ලෝකයට පණිවුඩයක් දීමටත් ලෝකය බේරාගැනීමටත් හැකිවනු ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා මුස්ලිම් සංස්කෘතිය අතර ඇත්තේ ලෝක ආධිපත්‍යය සඳහා කෙරෙන සටනකි. සියවස් ගණනාවක් මුළුල්ලෙහි පැවති මේ ගැටුම ලෙනින්වාදී රටවල කඩාවැටීමෙන් පසු නැවත ඉස්මතු වී ඇත. මුස්ලිම් සංස්කෘතිය හා චින්තනය සියවස් පහකට පමණ පෙර බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පරාජය කෙරිණි. ඉන්පසු ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යම් අභියෝගයක් එල්ලවූයේ කතෝලික චින්තනයෙහි බිහි වූ මාක්ස්වාදයෙන් හා ෆැසිස්ට්වාදයෙනි. එහෙත් අද වන විට මාක්ස්වාදය ද ෆැසිස්ට්වාදය ද අතුගෑවී ගොස් ඇත. එබැවින් නැවතත් මුස්ලිම් සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අභියෝගයක් වෙයි. අශෝක රජුගේ ධර්මවිජය සංකල්පය ලංකාවේ ක්‍රියාත්මක වූයේ අභ්‍යන්තර ව පමණ ය. එය බාහිර රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නො වී ය. එබැවින් ථෙරවාදී රටවල් මුස්ලිම් රටවල් මෙන් බාහිර දිග්විජයක හෝ ධර්මවිජයක හෝ නිරත නො වෙයි. ථෙරවාදී රටවල් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හමුදාමය වශයෙන් තර්ජනයක් නොවන්නේ එබැවිනි.

දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ, විශේෂයෙන් ම මුල දී ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ ද ඇමරිකානුවන්ගේ ද නිර්මාණයක් බවත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ද එය ක්‍රියාත්මක වන්නේ ඉංගිරිසින්ගේ හා ඇමරිකානුවන්ගේ අනුග්‍රහයෙන් බවත් අපි නොයෙක් වතාවල පෙන්වා දී ඇත්තෙමු. ඉංගිරිසින්ට හා ඇමරිකානුවන්ට දෙමළ ජනයාට සිදු වී ඇතැයි කියන අසාධාරණ පිලිබඳ ව ඇති කැක්කුමක් නැත. මේ ඊනියා අසාධාරණකම් ඉංගිරිසින්ගේ නිර්මාණයකි. ඉංගිරිසින්ට ලෝකයේ අනෙක් මිනිසුන්ගේ දුක් වේදනා ගැන කිසිම අනුකම්පාවක් එදත් නැත. අදත් නැත. මෙයින් අදහස් කරන්නේ පෞද්ගලිකව ඇතැම් ඉංගිරිසින් අන් අය ගැන කල්පනා නොකරන්නේ ය යන්න නො වේ. ඉංගිරිසි ආණ්ඩු ක්‍රියා කර ඇත්තේ සිත් පිත් නැති ව ය. අද බටහිරයන් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ විසුරුණු දෙමල ජනයා, එ ජා ප, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ හා වෙනත් මාක්ස්වාදී පක්‍ෂ, රාජ්‍ය නොවන සංවිධාන, පුහු පඬියන්, හා ආණ්ඩුවේ ම සිටින චන්ද්‍රිකාවාදීන් හා රෝසපාට සමාජවාදීන් යෙදා ගනිමිනි. එහෙත් බොහෝ සිංහලයෝ මෙහි දී බටහිරයන්ගේ මැදිහත්වීම නො පිළිගනිති. එයට හේතුව ඔවුන් ලබන හා ලබා ඇති බටහිර අධ්‍යාපනයෙන් ඒ බව සැඟවීම ය. අපට සටන්කිරීමට සිදු වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග මිස දෙමළ ජනයා සමග නො වේ. පඬියන් ඩයස්පෝරාව ලෙස උජාරුවෙන් හඳුන්වන විසුරුණු දෙමළ ජනයා ද බටහිරයන්ගේ ම නිර්මාණයකි. දෙමළ ජාතිවාදය නිර්මාණය කෙරුනේත් පවත්වාගෙන යන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය. අද එහි දී බටහිරයන්ට ඉන්දියාවේ ද සහාය ලැබෙයි. ඉන්දියාව, භාරතය ආදී කිනම් නමකින් හැඳින්වුව ද එහි විවිධ වංශවල පාලකයන් හැමදාමත්, ඉතා ඈත අතීතයේ සිට ම, ක්‍රියාකර ඇත්තේ මෙරට ඒ ඒ කාලයේ තිබූ සංස්කෘතියට එරෙහිව දිග්විජය කිරීමට ය.  

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව වෙනත් දේශපාලන සංශෝධන ද ඔවුන් ඈත අතීතයේ සිට ම අප මත බලහත්කාරයෙන් පටවා ඇත. ඔවුන්ගේ එක් සංශෝධනයක් මත හිඳිමින් අපට තවත් සංශෝධනයක් පරාජය කළ නො හැකි ය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව අප කියන්නේ අවුරුදු කිහිපයක සිට ය. එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු ය. එය නැති ප්‍රශ්නයකට ඉන්දියාව ඇට වූ උගුළකි. එහි නීත්‍යානුකූල නොවන බව ගැන නීතිඥයන් නොවූවත් අපට කිසිවකු කියා දිය යුතු නො වේ. දහතුන් වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවේ තිබිය දී උතුරු පළාතේ පළාත්සභා ඡන්දය නොපැවැත්විය  යුතු ය. හැකිනම් දහතුන්වැනි සංශෝධනය ම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු ය. එහෙත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් අද නැත. ආන්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණ ද ඇතැම් මන්ත්‍රීවරු සිංහල බෞද්ධ රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට ජන්මාන්තර ව වෛර කරති. ඒ ඔවුන්ගේ කසිකබල් මාක්ස්වාදී හා ලිබරල්වාදී අධ්‍යාපනය හා පුහුණුව හේතුකොටගෙන ය. බලලෝභී දේශපාලනඥයන් ජාතික ව්‍යාපාරය නැතිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද සිංහල බෞද්ධයන් ආවේගශීලීව කටයුතු කිරීමත් ඊනියා සිංහල බෞද්ධ නායකත්වය වෙනත් අය විසින් මෙහෙයවනු ලැබීමත් දැකිය හැකි ය. මෙරට සිංහල බෞද්ධ රටක් වනුයේ නමින් පමණකි. සිංහල බෞද්ධ නායකයන් යැයි කියාගන්නා අය ද සිංහල බෞද්ධ සම්ප්‍රදායෙන් පිටත කටයුතු කිරීම කණගාටුදායක ය. ඇතැම් රජුන් දවස මෙරට මාඝාතය නමින් සතුන් නොමරණ නීතියක් ක්‍රියාත්මක විය. ඒ අශෝක රජු විසින් අපට ලබා දෙන ලද බෞද්ධ සංස්කෘතිය යටතේ ය. එහෙත් ඒ නීතිය අද ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නයක් වෙයි. ගව ඝාතනය නැවැත්විය හැකි නම් යහපත් ය. එහෙත් අද එය නීතිය මගින් ක්‍රියාත්මක කළ හැකි ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත. භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යෑමවත් මෙවැනි ප්‍රශ්න හමුවේ සියදිවි නසාගැනීමවත් අනුමත කළ හැකි නො වේ. ජ වි පෙරමුණෙන් කැඩී ආ බොහෝ දෙනාට තවමත් ජාතිකත්වයට පැමිණීමට නොහැකි වී තිබීම කණගාටුදායක ය. අප බුද්ධිමත්ව ක්‍රියාත්මක නොවුණහොත් දහතුන අපේ උරචක්‍රමාලය වනු ඇත.

2013-06-02

නලින් ද සිල්වා