Main Logo

Showing posts with label වනසුන්දර. Show all posts
Showing posts with label වනසුන්දර. Show all posts

Friday, 23 November 2012

දහතුන හා මහින්ද චින්තන

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාකරන විට අමතක නොකළ හැකි අමතක නොකළ යුතු නමක් වෙයි. ඒ හිටපු වැඩ බලන අගවිනිසුරුවරයකු වූ රාජා වනසුන්දර මහතාගේ ය. ඒ මහතා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙන්වා දී ඒ අනුව තීන්දුවක් දුන්නේ ය. එපමණක් නොව පසු කලෙක දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල වන බවට විනිසුරුවන් වැඩි දෙනකු තීන්දු කළේ ය යන්න වැරදි බව සාධක සහිත ව පෙන්නුම් කළේ ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට නැවත ජනතා උද්ඝෝෂණයක් ඇති වී තිබෙන මේ අවස්ථාවෙහි ඒ මහතාගේ වියෝව ජාතිකවාදීන්ට ද ජාතියට ද ඉමහත් පාඩුවක් වෙයි. ඒ මහතාට පිදිය හැකි උසස් ම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ය. අපි ඒ මහතාට නිවන් සුව පතමු.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හා මහින්ද චින්තන පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ 2005 වසරේ දී ය. එයට පසුබිම් වී ඇත්තේ එකල තිබූ දේශපාලන බල තුලනය ය. ඕනෑම දේශපාලන ප්‍රකාශයක් කෙරෙන්නේ යම් දේශපාලන සන්දර්භයක ය. 1994 සිට ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයෙන් විජාතිකත්වයට පීලි පැන්නීමට ක්‍රියාකළ විජාතික බලවේගවල ඒජන්තියක වූ චන්ද්‍රිකා කුමාරතුංග සිංහලයන්ට හා රටට අහිතකර බොහෝ දේ කළා ය. ඒ මදිවාට 2002 සිට 2004 දක්වා පැවති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් ඊනියා සටන් විරාම ගිවිසුම මගින් රට දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට පාවාදීමට කටයුතු කළේ ය. 2005 මහින්ද චින්තන පළවූයේ මෙරට විජාතික බලවේගවල දේශපාලනය ජාතිකත්වය අභිබවා ගොස් ආධිපත්‍යය ඉසුළුෑ කලක ය. ශ්‍රී ල නි පක්‍ෂය පවා ජාතිකත්වයේ මාවතෙන් යම් පමණකින් වුව ඈත් ව සිටියේ ය. රාජ්‍ය නොවන සංවිධානවල වැටුප් ලබන කුලීකරුවෝ දේශපාලනයේ ඉහළින් වැජඹුනහ. ජාතිකත්වය වෙනුවෙන් කතාකිරීමට තිබුණේ ඉරිදා දිවයින හා දිවයින පුවත්පත් පමණ ය. ජාතිකවාදීන්ට තිබුණේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා තමන් මෙරට කසිකබල් උගතුන්ගේ නොව සාමාන්‍ය සිංහලයන්ගේ හෘදය සාක්‍ෂිය වීම පිළිබඳ අභිමානය පමණකි. යමක් කීමට ලිවීමට තරම් ශක්තියක් තිබූ උගත්තු බොහොමයක් රාජ්‍ය නොවන සංවිධානවලට හා විජාතිකත්වයට සේවය කළහ. එවැනි ශක්තියක් නොතිබූ සාමාන්‍ය සිංහලයන් අප සමග වී යැයි සිතමි.

එකල දේශපාලනයෙහි ආධිපත්‍යය ඉසුළුෑ දෙමළ ජාතිවාදීන්ට (ඇතැම් සිංහලයෝ ද පොදුවේ රාජ්‍ය නොවන සංවිධානවල සේවකයෝ ද මේ කුලකයට අයත්වූහ.) අනුව මෙරට ජාතික ප්‍රශ්නයක් විය. දෙමළ ජනයාට 1948 න් පසුව ඊනියා සිංහල ආණ්ඩුවලින් සිදු වූ අසාධාරණකම් හේතුවෙන් විසඳාගත යුතුව ඇති ප්‍රශ්නයක් තිබූ බවත් එය සාමකාමීව විසඳාගත නොහැකි වූ කල දෙමළ තරුණයන් අවි අතට ගත් බවත් දෙමළ කොටි සංවිධානය සමග කෙරෙන සාම සාකච්ඡා මගින් පමණක් ප්‍රශ්නය විසඳාගත යුතු බවත් එහි දී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගත යුතු බවත් බලය විමධ්‍යගත කිරීම එකම විසඳුම බවත් එය පමණක් දේශපාලන විසඳුම විය යුතු බවත් උගත් සමාජයේ බොහෝ දෙනකුට ගිල්ලවා තිබිණි. මේ අධිපති මතවාදයෙන් යම් ප්‍රමාණයකට ප්‍රභාකරන් අවිගැනීම යුක්තියුක්ත කෙරුණු බව අවධාරණය කළ යුතු ය. අධිපති මතවාදය දැරූ හා වැපුරූ අයගෙන් ඇතැමුන් නොකර බැරි බැවින් අරන්තලාව ඝාතන, ශ්‍රී මහා බෝධියට හා දළදා මාළිගාවට පහර දීම ආදිය හෙළා දැක ප්‍රකාශ නිකුත් කරන්නට ඇත. එහෙත් ඔවුන්ගේ පදනම වූයේ ප්‍රභාකරන් අවි අතට ගැනීම යුක්ති සහගත බව ය. අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ 1948 න් පසුව වූ ඊනියා අසාධාරණකම් පිළිබඳ කතාව ව්‍යාජයක් බව සාධක සහිත ව පෙන්වා දී ඇති නමුත් අදත් ජාතිකවාදී (ජාතිවාදී නොව) කඳවුරේ ද ඇතැම්හු දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණකම් ගැන කතාකරති. ඊනියා ජාත්‍යන්තරයකට බිය වී මෙරට දේශපාලනය බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය යුතු ය යන අදහස ද උගතුනට කාවද්දා තිබිණි. එසේ වූ කල මහින්ද චින්තන ඊනියා ජාතික ප්‍රශ්නය පිළිබඳ ව නොබෙදුණු රටක් - බහුතර සම්මුතියක් - ගෞරවණීය සාමයක් යන මාතෘකාව යටතේ එකල තිබූ දේශපාලන බල තුලනය අනුව සාමකාමී දේශපාලන විසඳුමක් ගැන කතාකිරීම පුදුමයක් නො වේ. එසේ වුවත් මහින්ද චින්තන සාම සාකච්ඡාවලට පමණක් සීමා නොවූ බව ද අමතක නොකළ යුතු ය.

එහෙත් අද ඇති දේශපාලන සන්දර්භය වෙනස් ය. තවමත් බොහෝ උගතුන් ප්‍රශ්නය 1948 න් අතීතයට ගෙන යෑමට සූදානම් නැත. ඒ ඉංගිරිසින් බමුණු කුලයට අනුකරණය කිරීමට පුරුදු කර ඇති ආකාරය ය. චෙල්වනායගම් 1947 දී ද දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස් වීම ගැන කතා කළේ ය. ඒ ඊනියා සිංහල ආණ්ඩු දෙමළ ජනයාට අසාධාරණකම් කළේ යැයි කියන කාලයට පෙර ය. අවාසනාවකට බොහෝ ජාතිකවාදීහු (ජාතිවාදී නොව) ද 1948 න් පෙර මෙරට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන් ඉංගිරිසින්ගේ ආධාරයෙන් හා අනුබලයෙන් සිංහලයන්ට එරෙහිව කළ අසාධාරණකම් අමතක කරති. සිංහලයන් යටකරමින් දෙමළ වෙල්ලායන් මුළු රටේ ම නායකයන් කිරීමට ඉංගිරිසින් ගත් උත්සාහය ඊනියා ජාතික ප්‍රශ්නයේ මුල බවත් එය දහනවවැනි සියවසේ මුල්භාගයට දිව යන බවත් තවමත් බොහෝ ජාතිකවාදීන් තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවක් විය යුතු ය. අප නැවතත් අවධාරණය කරන්නේ විසඳීමට ඇති ප්‍රශ්නය සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්කෘතියට මෙරට හිමි විය යුතු තැන නො ලැබීම ය. ඉංගිරිසිහු ඉංගිරිසි උගත් වෙල්ලාලයන් රටේ ම නායකයන් කර ඔවුන් ඉංගිරිසින්ට විරුද්ධව අඩුම තරමෙන් 1817 සිට ජාතියක් ලෙස කිසිදු ජනවර්ගයකගේ සහාය නොලබමින් සටන් කළ සිංහලයන්ට විරුද්ධව යොදා ගනිමින් සිංහලයන්ට හිමි තැන නොදුන්හ. ලංකාවට සර්වජන ඡන්දය හිමිවීමෙන් පසු මේ තත්වය තරමක් වෙනස් වුව ද තවමත් සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි විය යුතු තැන ලැබී නැත. අදත් සිංහලයන් සටන් කරනුයේ යටත්විජිත පාලන සමයේ නැති වී ගිය ඒ උර්මය දිනා ගැනීමට ය. රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇති ආකාරයට, ජාතිකවාදීන් එදා සිට ම අවුරුදු විසි පහක් තිස්සේ කටේ කෙළ සිඳෙන තෙක් කියන ආකාරයට, දිවිනැගුම පනතෙන් පෙන්වා දී ඇති ආකාරයට, සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය 1972 ව්‍යවස්ථාවෙන් ඇති කළ, මෙරට ඒකීය භාවය 1987 දී නැතිකළ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන තෙක් රාජ්‍ය උත්සවවලට සහභාගි වීමෙන් වැළකී සිටීමට හැකි නායක භික්‍ෂූන් වහන්සේ කී නමක් මෙරට වැඩ වසත් ද? නායක භික්‍ෂූන් වහන්සේට එවැනි ශක්තියක් නැත්තේ ඇයි? සර්වජන ඡන්දයෙන් පසු ඉංගිරිසි උගත් දෙමළ බමුණු කුලයට යම් යම් වරප්‍රසාද නැති වූ විට ඔවුහු ඉංගිරිසින්ගේ ද ආධාරයෙන් ඒ සමස්ත දෙමළ ජනයාට ම කරන ලද අසාධාරණයක් ලෙස හැඳින්වුහ. තමන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා නොදී මෙරට ඇමතිවරුන් නොව රාජ්‍ය නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත් චෙල්වනායගම් වැන්නෝ අඩු තරමෙන් 1947 සිට ම වෙන ම රාජ්‍යයක් සඳහා සටන් කළහ. ඒකීය රාජ්‍යයක මුළු රටට ම බලපාන අයුරෙන් කිසිදු බාධාවකින් තොරව නීති පැනවිය හැකි එකම එක ආයතනයක් පමණක් තිබිය යුතු බව ය. ඒ ආයතනයට නොහැකි විය යුත්තේ යම් අයුරකින් වුවත් රටේ ස්වෛරීභාවය අහෝසි කරන නීීති පැනවීම පමණක් විය යුතු ය. පළාත්සභා පිහිටුවීමෙන් ඒකීය රාජ්‍යය නැති විය.

තර්කය සඳහා දෙමළ ජනයාට 1948න් පසුව ඊනියා සිංහල ආණ්ඩුවලින් අසාධාරණයක් වීම නිසා ඔවුන් සටනට අවතීර්ණව කෙමෙන් ආයුධ සන්නද්ධ සටනක් සඳහා තල්ලු වී ගිය බව පිළිගත්ත ද, පැහැදිලි විය යුතු කරුණ නම් අඩුම තරමෙන් එදා සිට පැවති සාකච්ඡා, අවිගත් ත්‍රස්තවාදය, මෙහෙයුම් ආදී සියල්ල එක් සමස්තයක් බව ය. ඒ සියල්ල දේශපාලන විසඳුම් ය. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ මේ සමස්ත ක්‍රියා දාමයේ එක් අවස්ථාවක දී ය. ඊනියා ජාතික ප්‍රශ්නය ගැන මහින්ද චින්තන වලංගු වන්නේ සමස්ත ක්‍රියා දාමයෙහි 2005 සන්දර්භයෙහි ය. ඒ සමස්ත ක්‍රියා දාමය අවසන් කළ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඊනියා ජාතික ප්‍රශ්නය සම්බන්ධ ඇතැම් මහින්ද චින්තන වලංගු නො වේ. අද සන්දර්භයෙහි සාම සාකච්ඡා වලංගු නො වේ. දෙවැනි ලෝක යුද්ධ ජයග්‍රහණයෙන් පසු හිට්ලර්ගේ ගෝලබාලයන් යුරෝපය පිළිබඳ සාකච්ඡාවක් ඉල්ලවේ නම් චර්චිල් හොඳ කුණුහරුප දෙකක් කීමට තිබිණි. මෙහි දී මා ද සහභාගි වූ සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනය ගැන ද සඳහන් කළ යුතු ය. තිස්ස විතාරණ මහතා ඒ පිළිබඳ ව කුමක් සිතාගෙන සිටිය ද අපට එය සමස්ත ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණක් විය. අප සැමදාමත් විශ්වාස කළේ දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු බවත් ඒ කළ හැකි බවත් ය. එසේ වුවත් හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන තෙක් රට තුළ විදේශිකයන්ගේ සහභාගීත්වයෙන් තොරව යම් යම් දේ සාකච්ඡා කිරීමේ වරදක් නැතැයි මම සිතුවෙමි. එහෙත් ඒ මානුෂික මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වීමට පෙර තිබූ සන්දර්භයෙහි ය. හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන බවට මගේ තදබල විශ්වාසයක් විය. රණවිරුවන් කිලිනොච්චිය ජයගැනීමෙන් පසු තවදුරටත් සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනයට සහභාගි වීමේ අවශ්‍යතාවක් නැතැයි දැනගත් මම ඒ සන්දර්භයෙහි සම්මේලන සාකච්ඡාවලින් ඉවත් වීමි. උදය ගම්මන්පිල මහතා ද ඒ අවස්ථාවේ දී සාකච්ඡාවලින් ඉවත් වූ බව ඔහුට කරන ගෞරවයක් ලෙස සටහන් කළ යුතු ය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන පමණක් නොව සර්වපාක්‍ෂික සම්මේලනය ද දේශපාලනික ව අවලංගු ය. ඔක්තෝබර් විප්ලවයෙන් පසු සාර්ගේ ගෝලයන් සමග සාකච්ඡාවකට ට්‍රොට්ස්කි එකඟ වීමට තිබිණි යැයි තිස්ස විතාරණ මහතා කියන්නේ ද? මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට හෝ සර්වපාක්‍ෂික සම්මේලනවලට හෝ සඟ වෙද ගුරු නියෝජනත්වයකින් තොරව පත්කරන ලද උගත් පාඩම් කොමිසම්වල නිගමනවලට හෝ ආපසු යෑමේ අවශ්‍යතාවක් නැත. දහතුන්වැනි සංශෝධනය අද වන විට දේශපාලනික වශයෙන් අහෝසි වී ඇත. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ම නීති විරෝධී ව ය. 1987 දේශපාලන බල තුලනය මත ඉන්දියාවට යටත්වී සම්මත කළ දහතුන 2009 න් පසු දේශපාලනික ව වලංගු නො වේ. එය නෛතිකව ද අහෝසි කළ යුතු ය. එහි දී ඉන්දියාව හා බටහිර රටවල් විරුද්ධ වනු ඇත. මානුෂික මෙහෙයුම්වල දී ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඒ රටවලට මුහුණදුන් ආකාරයට මෙහි දී ද ක්‍රියාකිරීමට ජනාධිපතිතුමාට බාධාවක් නැත.

දහතුන අහෝසි කරමු

බමුණු කුලය පැරදවීම පහසු කාර්යයක් නො වේ. අද බොහෝ ප්‍රශ්නවලට මුල මේ බමුණු කුලය ය. බටහිර අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහළ යැයි සම්මත විවිධ ස්ථරවලට එකතු වී ඇති මොවුහු දැනුම්වත් ව හෝ නොමැතිව හෝ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය හා බටහිර ඒජන්තයන් විසින් විවිධ කටයුතු සඳහා මෙහෙයවනු ලැබෙති. සරසවි ඇදුරන් මේ බමුණු කුලයේ විවිධ තැන්වල ස්ථානගත වී ඇත. ඔවුන්ගේ ව්‍යාජ ඉල්ලීම් මත පදනම් ව ඔවුන් ලවා කෙරුණු අර ඩේ මේ ඩේ ෆෝරම්කාරයන් ඇතුලු ඉහළ බමුණු කුලයේ ජනතා සහායක් නොලැබූ ආණ්ඩු විරෝධී අරගලය තේරුම් ගැනීමෙන් පසුව ආණ්ඩුව කිසිවක් ලබා නොදී ඇදුරන් ආපසු සරසවිවලට යැවී යැයි සිතිය හැකි ය. ඉහළ බමුණු කුලය වර්ජනය නැවැත්වීමට විරුද්ධ බව ද පැහැදිලි ය. අයවැයෙන් අනෙක් රජයේ හා සංස්ථාවලට දෙන දීමනා හැරෙන්නට වෙනත් දීමනා ඔවුන්ට නො ලැබෙන බව කිව හැකි ය. ආණ්ඩුව ඇදුරන් පිළිබඳ ව කලකට පසු දැඩි ස්ථාවරයකට එළඹීම පිළිබඳ ව බමුණු කුලයෙන් පිටත සිටින අයට සතුටු විය හැකි ය. 6% පුස්සක් බවත් පණ්ඩිතමානී ව්‍යාජ ඉල්ලීමක් බවත් බමුණන්ට හැරෙන්නට අනෙක් අයට අවබෝධ වී ඇත. එහෙත් ඇදුරන් කියන්නේ ඔවුන්ගේ තකතීරු ඉල්ලීම සමාජගත වී ඇති බව ය. එය සමාජගත වී ඇති බව සැබෑ ය. එය පුස්සක් ලෙස සමාජගත වී ඇත. බටහිර අධ්‍යාපනයෙන් මුසපත් වී ඇති බමුණන් හැර අනෙක් අය පුස්ස හඳුනාගත්හ. අද රටට බලපාන තවත් ප්‍රශ්නයකට ද මුල බටහිර විද්‍යාවට වන්දනාමාන කරන තකතීරු බටහිර විද්‍යාඥයන් ය. කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම නාථ දෙවියන් හා විපස්සක දෙවියන් නමින් හැඳින්වෙන්නන්ගේ මාර්ගයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් එකතුවන ආසනික් බවත් එහෙත් ආසනික් නිසා ම වකුගඩු රෝගය නොසෑදෙන බවත් එයට කිවුල් ජලය හා කුඹුරු පස ද තිබීම අවශ්‍ය බවත් රටට ප්‍රකාශ කර කලක් ගත වී ඇත. ඒ පිළිබඳ ව පසුව බටහිර විද්‍යාවට අනුකුලව පර්යේෂණ කර අවස්ථා කිහිපයක දී ම කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් ඇති බව හෙළි කෙරී ඇත. එහෙත් තම පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුකූලව ක්‍රියාකරන ඇතැම් ඇදුරෝ එකී ද්‍රව්‍යවල ආසනික් නැතැයි පුන පුනා කියති. බටහිර විද්‍යාව ගැන දන්නා ඇතැම් ඇමතිවරු ද බටහිර විද්‍යාවට වන්දනාමාන කරන එහෙත් ඒ ගැන කිසිම අවබෝධයක් නැති ඇතැම් ඇමතිවරු ද අප වැරදි යැයි කියති. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික් පිළිබඳ ව රටට හෙළිකළ ආචාර්යවරුන්ට බටහිර විද්‍යාව කටගාගත් එහෙත් එහි දර්ශනය පිළිබඳ කිසිවක් නොදත් බමුණු කුලයේ ඇතැම්හු හිරිහැර කරතිෂ හැකි නම් ආසනික් කණ්ඩායම විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පිඹුරුපත් සකස් කරති. කෙසේ වෙතත් ආසනික් හැරෙන්නට ආවර්තතා වගුවේ අනෙක් හැම මූල ද්‍රව්‍යයක් ම වකුගඩු රෝගයට හේතුව යැයි කියන මේ ඇදුරෝ අද කෘෂිරසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්ගේ ඒජන්තයන් බවට පත් වී සිටිති. ඔවුහු කෘෂිරසායනික ද්‍රව්‍ය ගෙන්වන්නන් සමග එකතු වී ආසනික් හෙළිදරවු කළ කණ්ඩායමට ආරාධනා නොකර ඕස්ටේ‍ර්ලියාවෙන් හා ජපානයෙන් ඊනියා විද්්වතුන් ගෙන්වා ගන්නොරුවේ හා වෙනත් තැන්වල ඒකපාක්‍ෂික සම්මන්ත්‍රණ පවත්වා ආසනික් කතාව බොරු යැයි කීමට උත්සාහ දරති. මේ ඒජන්තයන්ගෙන් කී දෙනෙක් ඇදුරන්ගේ වර්ජනයේ දී බමුණු කුලයේ සාමාජිකයන් ලෙස වර්ජනයට සහභාගි වූවෝ ද? මා දන්නා තරමින් ඔවුන්ගෙන් කිසිවෙක් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පුස්ස බිඳීමට ඉදිරිපත් නො වු හ. කොන්ද පණ නැති මේ බමුණෝ හා බැමිණියෝ ඇමතිවරුන්ට සමීප වෙමින් ඉච්චා බස් දොඩමින් බමුණු හිණිමඟේ ඉහළට යෑමට උත්සාහ දරති. මේ අතර ඇතැම් පඬියෝ අප වකුගඩු රෝගයට එකම හේතුව ආසනික් යැයි කී බවක් පවසා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නා වෙනත් පළාත්වල වකුගඩු රෝගය නැත්තේ ඇයි දැයි අපෙන් අසති. ඔවුන්ගේ නිල් කණ්නාඩිවලට අප වකුගඩු රෝගයට තවත් හේතු දෙකක් ඇති බව කියා ඇති බව, ලියා ඇති බව නො පෙනෙයි. ඔවුහු ද අවසාන වශයෙන් ගත්කල බමුණෝ ම වෙති. මේ බමුණන්ට හා බැමිණියන්ට බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ නමින් පළ වී ඇති පොතෙහි සඳහන් කරුණු ගැන විවාදයකට ආරාධනය කරමු.

මේ බමුණු කුලයේ ඇත්තන් ගැන තවදුරටත් කතාකිරීම අවශ්‍ය නමුත් අවුරුදු විසිපහක් තිස්සේ ජාතියට තර්ජනයක්ව පවතින පළාත් සභා හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද කතාකිරීමට අවශ්‍ය වෙයි. අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි දහතුන්වැනි ව්‍යවස්ථාව බටහිරයන්ගේ ද අනුග්‍රහය ඇතිව ඉන්දියාව විසින් තර්ජනයෙන් හා ගර්ජනයෙන් පරිප්පු දේශපාලනයක් ඔස්සේ අප මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. ඉන්දියාවට එරෙහිව ඇමරිකාව තමන්ට ආධාර කරනු ඇතැයි ජේ ආර් ජයවර්ධන බලාපොරොත්තු වුව ද එය ඉටු නො වී ය. රජිව් ගාන්ධි මෙරටට විශේෂයෙන් පැමිණ අපකිර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ තමන් මෙරට යුවරජු යැයි සිතා සිටි දික්සිත් නම් උද්ධච්ච තානාපතිවරයාගේ ද ආධාරයෙනි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කුණු කූඩයට දැමිය යුතුව තිබූ ඉන්දු ලංකා ගිවිසුම මත පදනම් විය. එදා ද බමුණු කුලය ඒ ගිවිසුම සමග සිටි බවත් ගිවිසුම වෙනුවෙන් පෙත්සන් අත්සන් කළ බවත් ලිපි ලියූ බවත් අමතක නොකළ යුතු ය. එදා භාරතයේ බමුණෝ බුදුන්වහන්සේටත් බුදුදහමටත් විරුද්ධ වූහ. අද මෙරට බමුණෝ රට යටත්විජිතයක් බවට පත්කර සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ක්‍රියාකරති. භාරතයේ සාම්ප්‍රදායික බමුණු කුලයේ රජිව් ගාන්ධිට මෙරට වත්මන් බමුණන් බෞද්ධ සංස්කෘතියට එරෙහිව එකතුවීම කිසිසේත් ම අහම්බයක් නො වේ. එදත් අදත් බමුණන් වැඩකරන්නේ බෞද්ධයන්ට හා බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය.

ජේ ආර් ජයවර්ධන අවසානයේ දී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ හමුදා ආරක්‍ෂාව යටතේ මන්ත්‍රීවරුන් කොළඹ හෝටලයක සිට පාර්ලිමේන්තුවට රැගෙන යෑමෙනි. එයට විරුද්ධ ව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වූ බවත් ආණ්ඩූවට ඇඳිරි නීති පැනවීමට සිදු වූ බවත් අද ආණ්ඩුවේ සිටින කුමාර් රූපසිංහගේ ජනවේගකාරයන් ඇතුලු ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂික ඇමතිවරුන්ට ද මතක්කර දිය යුතුව ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ල නි පක්‍ෂයට, ම එ පෙරමුණට, ජ වි පෙරමුණට ඉන් කැඩී ගිය ජා නි පෙරමුණට මෙන් ම ජාතික හෙළ උරුමයට ද දහතුනට විරුද්ධ වීමට නියමිත ව ඇති බව සඳහන්කිරීමට ය. ජනවේගකාරයන්ට අවශ්‍ය නම් දහතුන ආරක්‍ෂාකරගැනීමට කියමු. එහෙත් ඔවුන්ට මන්ත්‍රීධුර ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී ල නි පක්‍ෂය ඉඩදිය යුතු නො වේ. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවයට තර්ජනයකි. බමුණන් කියනු ඇත්තේ අපට ඒකීය රාජ්‍යය හිමිවූයේ ඉංගිරිසින්ගෙන් බව ය. එහෙත් බමුණන් නොදන්නා කරුණ නම් එක්සේසත් රාජ්‍යය මෙරට අනාදිමත් කාලයක සිට ඇති බවත් ඒ රාජ්‍යය අද බටහිරයන්ගේ වහර අනුව වුවත් ඒකීය රාජ්‍යයක ප්‍රභේදයක් බවත් ය. අවුරුදු විසිපහකට පෙර ද දහතුනේ ඇති ආදීනව අපි පෙන්වා දුනිමු. එකල ආරම්භ කළ කාලය සඟරාව අද වෙබ් අඩවියක් ලෙස පමණක් පවත්වාගෙන යන නමුත් චින්තන පර්ෂදය ඒ ඔස්සේ දහතුන මගින් ජනතා පරමාධිපත්‍යය නැතිවන බව පැහැදිලි කර දුන්නේ ය. එදා කී දේ අද අත්දැකීම් ඔස්සේ තහවුරූ වී ඇත. දිවිනැගුම පනත සම්මත කරගැනීමට නම් එයට පළාත්සභාවල ද අනුමැතිය තිබිය යුතු බව භ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. මෙයින් සිදුවන්නේ පාර්ලිමේන්තුවට මුළු රටට ම බලපාන පරිදි පනත් සම්මත කර ගැනීමට තිබූ තනි අයිතිය නැතිවීම ය. පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුවත් එය රටේ නිතිය බවට පත්වීම වැළැක්වීමට තනි පළාත්සභාවකට හැකි ය. අද රටේ සියලු පළාත්සභාවල බලය ආණ්ඩු පක්‍ෂයට වෙයි. එහෙත් එය එසේ නොවන දිනයක් ද තිබිය හැකි ය. දිවිනැගුම පනත කාගේත් ඇස් හරවන නරක පූර්වාදර්ශයක් සපයයි. පාර්ලිමේන්තුවේ බලය සීමිත බවත් පාර්ලිමේන්තුව ඔස්සේ ක්‍රියාත්මක වන ජනතා පරමාධිපත්‍යයේ තටු කපා ඇති බවත් පැහැදිලි ය. එදා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයට යොමු කළ අවස්ථාවේ දී අධිකරණයේ විනිසුරුවෝ හතරදෙනෙක් පනත ව්‍යවස්ථාවට එකඟ නොවන බවට තීන්දු කළහ. පනත ව්‍යවස්ථාවට එකඟ බවට තීන්දුවක් දුන්නේ ද විනිසුරුවන් හතරදෙනකු පමණ ය. එක් විනිසූරුවෙක් එක් පැත්තකටවත් එකඟ නොවී තින්දුවක් දුන්නේ ය. ඉතා පැහැදිලිව ම ශ්‍රෙෂ්ඨාධිකරණය වැඩි ඡන්දයකින් පනත ව්‍යවස්ථාවට එකඟ බවක් නො කීවේ ය. එහෙත් ජයවර්ධන ඉතා කපටි ලෙස ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි එක් පැත්තකටවත් පක්‍ෂව තීන්දුවක් නොදුන් විනිසුරුවරයාගේ තීරණය ද පනත ව්‍යවස්ථාවට එකඟ යැයි කී තීරණයක් ලෙස පෙන්නුම් කරමින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එබැවින් පනතේ නීත්‍යානුකූල බව පිළිබඳව ම ප්‍රශ්න ඇති බව වනසුන්දර විනිශ්චයකාරතුමා පෙන්වා දී ඇත. දිවිනැගුම පනත පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පැහැදිලි වන්නේ රටේ ස්වෛරීභාවයට හා ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක් වූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අහෝසි කළ යුතු බව ය. මේ බව අප සැප්තැම්බර් 26 වැනි දා “දි අයිලන්ඩ්” පුවත්පතට සැපයූ ලිපියකින් පැහැදිලිවම කියා ඇත. ඒ ලිපිය බොහෝ දෙනා අමතක කළ ද අද ප්‍රශ්නයේ බැරූරුම්කම යම් පිරිසකට අවබෝධ වී ඇත. දහතුන අහෝසි කළ යුතුව තිබුණේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ විගස ම යැයි අප කියා ඇත්තේ ද ඇතැමුන් මෙන් අද ඊයේ නො වේ. එදා ආණ්ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමට බාධා තිබෙන්නට ඇත. එහෙත් අද එසේ නො වේ. ආණ්ඩු පක්‍ෂයේ කිහිප දෙනකු ඡන්දය නොදී සිටිය ද අද ආණ්ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමේ හැකියාව ඇත. අද දිවිනැගුම පනත ඔස්සේ ආණ්ඩුවටත් ජනතාවටත් ප්‍රායෝගික අත්දැකීමක් ලැබී ඇත. ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යය හා පාර්ලිමේන්තුවට මුළු රටටම බලපාන අයුරින් බාධාවකින් තොරව පනත් සම්මත කිරීමට තිබිය යුතු අයිතිය තහවුරු කරමින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට වහාම පියවර ගත යුතු ය.

දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති සරත් ෆොන්සේකාගේ කටයුතු ගැන කතාකිරීමට තරම් දෙයක් නොමැති වුව ද දහඅටවැනි දා පවත්වන ලද එක්සත් භික්‍ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලදැයි කියන රැස්වීම ගැන කෙටි සටහනක් කළ යුතුව ඇත. අද මෙරට ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනකි. එහි දී ව්‍යාජ සිංහල බෞද්ධ බලවේගයක්වත් ගොඩ නොනගා විජාතික බලවේගවලට සටනක් කළ නොහැකි ය. මේ සජිත්, සෝභිත හිමි ආදීන්ට ගොඩ නැගීමට නොහැකි වූ ව්‍යාජය නැවත සරත් ෆොන්සේකා ලවා ගොඩනැගීමට බමුණන්, විජාතික බලවේග කරන අසාර්ථකවන උත්සාහයක් පමණකි.