Main Logo

Showing posts with label අයිතිවාසිකම්. Show all posts
Showing posts with label අයිතිවාසිකම්. Show all posts

Wednesday, 12 December 2012

බලතල වෙන්කිරීමේ මිථ්‍යාව

අගවිනිසුරුවරියට විරුද්ධව ගෙනෙන ලද දෝෂාභියෝගී යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුවක් අද හෙට පත්කිරීමට නියමිත ය. ඒ කමිටුව එකොළොස් දෙනකුගෙන් සමන්වනු ඇතැයි ද ඉන් හත් දෙනකු ආණ්ඩු පක්‍ෂයෙන් ද ඉතිරි හතරදෙනා විරුද්ධ පක්‍ෂයෙන් ද පත්කෙරෙනු ඇතැයි ද අපේක්‍ෂා කෙරෙයි. කමිටුවේ සාමාජික මනන්ත්‍රීවරුන් ක්‍රියා කරනු ඇත්තේ විනිසුරුවන් ලෙස ය. බැලූ බැල්මට අගවිනිසුරුවරියට එරෙහිව ඇති චෝදනා බරපතළ ය. එහෙත් විනිශ්චයක් ලැබෙන තුරු චෝදනා ගැන කතාකිරීම නුසුදුසු යැයි කියැවෙයි. ඒ කෙසේ වෙතත් දෝෂාභියෝග හා පරමාධිපත්‍යය ගැන කතාකිරීමට අපට කිසිදු තහනමක් නැත. ඇතැමුන්ට අනුව දෝෂාභියෝගයට හේතුව දිවිනැගුම පනත පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ය. ශ්‍රෙෂ්ඨාධිකරණය කිනම් තීන්දුවක් දුන්නත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව එය ක්‍රියාත්මක කළ යුතු ය. දිවිනැගුම පනත පිළිබඳ ව දුන් තීන්දුව වෙනස්කිරීමට දෝෂාභියෝගයකට නො හැකි ය. දැනට පෙනී යන ආකාරයට සංශෝධන කිහිපයක් ගෙන ඒමෙන් සමස්ත පනත ද ඒ පනතෙහි ඇතැම් වගන්ති ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත හැකි ය. එය ආණ්ඩුව දෙදරවන ප්‍රශ්නයක් නො වේ. දිවිනැගුම තීන්දුව නිසා දෝෂාභියෝගය ගෙන ආවේ යැයි පැවසීම අවස්ථාවාදී දේශපාලනයෙහි හිතළුවක ප්‍රතිඵලයක් පමණකි. එය ආචාර්ය සරත් අමුණුගම මහතා නියෝජ්‍ය මුදල් ඇමති ලෙස පත්කළ අවස්ථාවේ දී ඇතැමුන් මෙවර අයවැය කියවීමට ජනාධිපතිතුමාට නොහැකි බැවින් එසේ පත්කළේ යැයි ප්‍රකාශකළ හිතළුව මෙනි. සිංහලයෝ ප්‍රවාද වෙනුවට හිතළු කීමට දක්‍ෂයෝ ය. එහෙත් දිවිනැගුම තීන්දුව හේතුකොටගෙන මෙරට ඒකීය රාජ්‍යයක් නොවන බව පැහැදිලි විය. පළාත් සභා ඒකීය රාජ්‍යයට පටහැණි ය.

ඒ කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් මණ්ඩලයෙහි ලංකාව පිළිබඳ කෙරෙන ආවර්තික (වාරික) සමාලෝචනයට පෙර දෝෂාභියෝගය කතානායක තුමාට භාරදීමෙන් ආණ්ඩුව ඊනියා ජාත්‍යන්තරය හමුවේ වැඳ නොවැටෙන බව නැවත වරක් පෙන්නුම් කර ඇත. බොහෝ උගතුන් ලෙස හැඳින්වෙන අය සිතා සිටියේ මානව අයිතිවාසිකම් ආවර්තික සමාලෝචනය නිමවන තෙක් ආණ්ඩුව දෝෂාභියෝගය නොගෙනනු ඇති බව ය. එසේ ගෙන ආවොත් ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන එංගලන්තය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර යටත්විජිතවාදී රටවල් ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව අයහපත් බව පෙන්වීමට එය ද යොදාගනු ඇති බව ද එය ලංකාවට හානිකර ප්‍රතිඵල ගෙන එනු ඇති බව ද බොහෝ උගත්තු කියා සිටියහ. ජාත්‍යන්තරය නමැති ගෝනි බිල්ලා පෙන්වා ආණ්ඩුව බිය ගැන්වීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල උගත්තු සුපුරුදු පරිදි ක්‍රියා කළහ. දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී ද ඊනියා උගත්තු මේ තැටිය වාදනය කළහ. උගතුන්ට කන් නොදී මානුෂික මෙහෙයුම දියත්කර ජයගත් ආණ්ඩුවට මේ වන විට ඊනියා ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇතිවාට සැකයක් නැත. මේ ඊනියා ජාත්‍යන්තරය යනු හුඹසක් පමණකි. එයට බියක් ඇතිකර ගත යුතු නො වේ. ජනතාවගෙන් බහුතරය ආණ්ඩුව සමග නම් යටත්විජිතවාදී ජාත්‍යන්තරයට කළහැකි ඉටිගෙඩියක් නැත. මෙවර මානව අයිතිවාසිකම් නාඩගමේ දී ඇමරිකන් තානාපතිනියට දෝෂාභියෝගයට විරුද්ධව කතාකිරීමේ අවස්ථාව ද ලැබිණි. රටවල් බහුතරයක් ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළේ ය. එහෙත් මෙරට ජනමාධ්‍යවලට වඩා වැදගත් වූයේ ඇමරිකන් තානාපතිනියගේ ප්‍රකාශය ය. මෙය අපේ යටත්විජිත මානසිකත්වය නිසා ඇතිවන්නකි. අපට තවමත් වැදගත්වන්නේ එංගලන්තය කුමක් කියන්නේ ද යන්න ය. එසේත් නැත්නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නූතන නායකයා වූ ඇමරිකාව කියන්නේ කුමක් ද යන්න ය. බටහිර රටවල්වලට ලෝකයේ රාජ්‍ය වශයෙන් හෝ ජනගහණය වශයෙන් හෝ ගත්කල බහුතරයක් නැත. එසේ වුවත් ඔවුහු දේශපාලන ආර්ථික හා සංස්කෘතික වශයෙන් ලෝක ආධිපත්‍යය දරති. ඔවුන් බහුතරයේ ආධිපත්‍යය යැයි කියන්නකට විරුද්ධව කතාකරන්නේ ඔවුන්ට අඩුතරමෙන් බහුතරයක්වත් නැති නිසා විය යුතු ය. ඔවුන් දන්නේ අඩුතරයේ ආධිපත්‍යය ය. අප දැනගත යුතු කරුණක් නම් මෙරට මානව අයිතිවාසිකම් වාර්තාව ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ මානව අයිතිවාසිකම් වාර්තාවලට වඩා යහපත් බව ය.

මෙරට ද ක්‍රියාත්මක වන බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. එහෙත් ජනතාවට මේ පරමාධිපත්‍යය සෘජුව ක්‍රියාත්මක කළ නො හැකි ය. එහි දී බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත හිමිවන්නෝ ජනතාව වෙනුවෙන් ක්‍රියාකරති. එය බහුතරයේ ආධිපත්‍යය යැයි බටහිරයෝ නො කියති. කෙසේ වෙතත් බටහිර පොතේ කුමක් ලියා තිබුණත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම ය. අඩුම තරමෙන් එසේ කෙරෙන බව පෙන්වීම ය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල ජනතාවගේ ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් ද, විධායක පරමාධිපත්‍යය ජනාධිපතිතුමා විසින් ද ක්‍රියාත්මක කෙරෙයි. බොහෝ දෙනා සිතා සිටින්නේ ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය උසාවිය විසින් ක්‍රියාත්මක කෙරෙන බව ය. එහෙත් එය එසේ නො වේ. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙයි. එහෙත් පාර්ලිමේන්තුව අධිකරණ කටයුතු උසාවි ඔස්සේ ඛ්‍රියාත්මක කරගත යුතු වෙයි. එසේ වුවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ බලතල ආදී කරුණුවල දී පාර්ලිමේන්තුවට අධිකරණ පරමාධිපත්‍යය උසාවි නොමැතිව සෘජුව ම ක්‍රියාත්මක කළ හැකි ය. ව්‍යවස්ථාවෙහි ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවෙන් ස්වාධීන ව උසාවි ආදිය විසින් සෘජුව ක්‍රියාත්මක කෙරිය යුතු යැයි සඳහන් වී නොමැත. ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසින් ය. එහෙත් එසේ ක්‍රියාත්මක කෙරෙන්නේ උසාවි ඔස්සේ ය. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරිය යුත්තේ ජනතාවගේ නියෝජිතයන් විසින් ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජනාධිපතිතුමා ද ජනතාව විසින් පත්කරනු ලැබෙන ජනතාවගේ නියෝජිතයෝ වෙති. එහෙත් විනිශ්චයකාරවරු ජනතාවගේ නියෝජිතයෝ නො වෙති.

ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව හා උසාවි ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ගත්කළ එකම තලයක නොවන බව පැහැදිලි ය. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල වෙන්කෙරී ඇතැයි පොතේ සඳහන් වුව ද ඒ එසේ නො වේ. ඒ සියල්ල ජනතාව මගින් එක් වෙයි. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලක්‍ෂණයකි. කතෝලික චින්තනයෙහි වැදගත් වූයේ සමස්තය ය. කතෝලික යන වචනයෙහි තේරුම ද සමස්තය යන්න ය. එහෙත් පහළොස්වැනි සියවස අගභාගයේ දී බිහි කෙරුණු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සමස්තය වෙනුවට වෙන්කිරීම වැදගත් වෙයි. එසේ වුවත් ලෝකය එකිනෙකෙන් වෙන්කළ නො හැකි ය. එහි යම් එකමුතුවක් වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ලෙස බලතල වෙන්කරනු ලැබුව ද ඒවා ජනතාව ඔස්සේ එක්වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තරම් රැවටිලිකාල ක්‍රමයක් ලෝකයේ එදා මෙදා බිහි වී නැත. බටහිරයෝ රාජ්‍යය ආගමෙන් වෙන්විය යුතු යැයි කියති. ඒ අපට කියන්නක් මිස බටහිර රටවල ක්‍රියාත්මක කෙරෙන්නක් නො වේ. බටහිර රටවල රාජ්‍යය හා විවිධ ක්‍රිස්තියානි නිකාය එකට බැඳී ඇත. බැරැක් ඔබාමා ඉස්ලාම් භක්තිකයකු වී නම් ඔහුට කිසි දිනෙක ඇමරිකාවේ ජනාධිපති විය නො හැකි ය. බටහිර රටවලට යන ඕනෑම අයකුට ක්‍රිස්තියානි සංස්කෘතිය ඇඟේ වැදෙන තරමින් දැනෙයි. ඓහික (අනාගමික) රාජ්‍ය බටහිර දැකගත නො හැකි ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ ක්‍රිස්තියානි මූල ධර්ම මත ය. ඒ කතෝලික මූලධර්ම නොවන බව පැහැදිලි ය. එහෙත් බටහිරයෝ අපට ඓහික රාජ්‍යවල ඇති වැදගත්කම කියා දෙති!

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම නිර්මාණට වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කරගනිමිනි. බටහිර විද්‍යාවේ බයිබල් කතාව ගණිතමය හා රසායනික සංකේත ඇසුරෙන් කියැවෙයි. අපේ දරුවන් පාසල් ගොස් උදේට පන්සිල් සමාදන් වී දවල් යොවදතංපව කියා ගෙදර යනතෙක් බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබන බව අධ්‍යාපන ඇමතිතුමා හෝ අමාත්‍යාංශය හෝ නො දනියි. අනාගමික අධ්‍යාපනයක් යනුවෙන් අධ්‍යාපනයක් ලෝකයේ නැත. දැනුම යම් සංස්කෘතියක නිර්මාණය වෙයි. සිංහලෙන් කෙටිකතා නවකතා ලියැවෙන්නේ බටහිර ඊනියා යථාර්ථවාදී, අධියථාර්ථවාදී ආදී සාහිත්‍යය දෙස බලාගෙන මිස ජාතකකතා අනුගමනය කරමින් නො වේ. එහෙත් මෙරට තවමත් වැඩියෙන් විකිණෙන්නේ ඒ පොත් නොව බණපොත් ය. බටහිර අධ්‍යාපනයෙන් ඔළු අවුල් කර නොගත් විශාල පිරිසක් තවමත් මෙරට වෙති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි විවිධ අංග වෙන්කරන බව මතුපිටින් කීව ද යටින් සියල්ල එකතු වෙයි. අද ඒ ඒ විෂයයෙහි විශේෂඥ දැනුමක් ලැබූ අය වෙතැයි කියැවෙයි. එහෙත් ෆෙයරාබන්ඩ් වෙනත් කරුණක දී පෙන්වා දෙන්නේ මේ විශේෂඥයන් උසාවියේ දී ඒ විෂය පිළිබඳ විශාරද දැනුමක් නොමැති නීතිඥයන්ගේ හරස් ප්‍රශ්න ඇසීම්වල දී ඇතැම් විට දුර්මුඛ වන බව ය. අගවිනිසුරුවරියට විරුද්ධව ඇති දෝෂාභියෝගය ගැන විමර්ශනය කිරීමට පත්කෙරෙන පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන්ට විනිසුරුවන් ලෙස ක්‍රියාකිරීමට සිදුවේ. එහෙත් ඔවුන් අතර නීතිඥයන් නොවන අය ද සිටිති. එහි දී සිදුවන්නේ උසාවියෙහි සිදුවන දෙයෙහි අනෙක් පැත්ත ය. මෙයින් පෙනී යන්නේ ඒ ඒ විෂයට දැනුම බෙදන ඊනියා විශේෂඥ දැනුම් පිටුපස එකතු කිරීමක් ද වන බව ය. බටහිරයන් අපට වෙන්කිරීමක් ගැන කතා කළ ද ඇත්තේ එකතු කිරීමකි.

Sunday, 6 November 2011

ඊනියා මානව අයිතිවාසිකම් පසෙක ලා යටත්විජිතවාදයට එරෙහි වෙමු

අද බොහෝ දෙනා ගඩාෆිගේ මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙළඹෙනු දැකිය හැකි ය. ඒ අතර ඇතැමෙක් සුපුරුදු පරිදි බටහිරයන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන කතාකරති. ඔවුහු ප්‍රභාකරන්ගේ මානව අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කරන බටහිරයන් ගඩාෆිගේ මානව අයිතිවාසිකම් නොරැක්කේ ඇයි දැයි අසති. ප්‍රභාකරන් මියගියේ සටනේ දී ය. එබැවින් ඔහුගේ ඊනියා මානව අයිතිවාසිකමක් ගැන කතාකිරීමට පවා දෙයක් නැත. එබැවින් බටහිරයෝ මානුෂික මෙහෙයුම්වල අවසන් දින කිහිපයෙහි දී දෙමළ ජනයා’ගේ ඊනියා මානව අයිතිවාසිකම් නැති වී යැයි මැසිවිලි නගති. අවසන් දින කිහිපයෙහි දී තුන් ලක්‍ෂයකට වැඩි ජනතාවක් ප්‍රභාකරන්ගෙන් බේරාගත් හමුදාවට එරෙහිව බටහිරයන් බේගල් ඇද බාන්නේ ඔවුන්ට ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාට හා ෂවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඊනියා යුද්ධාපරාධ චෝදනා ගෙන ඒමට ඇති අවශ්‍යතාව සඟවාගත නොහැකිව ය. බටහිරයෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය නො කරති. ඔවුහු තම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරති. එහි දී ඔවුහු ලිබියාවේ දී තමන්ට විරුද්ධ වූ ගඩාෆි මරා දමති. ලංකාවේ දී තම නියෝජිතයකු වූ ප්‍රභාකරන් පරාජය කිරීමට එරෙහිව කටයුතු කරති. ඔවුහු හැකිනම් රනිල් වික්‍රමසිංහ හෝ කුමාර් මහත්තයා හෝ සම්බන්ධන් හෝ බලයට පත්කිරීමට කටයුතු කරති.

ඊනියා මානව අයිතිවාසිකම් යන්න බටහිරයන්ගේ තවත් ව්‍යාජ සංකල්පයක් පමණකි. දහසයවැනි සියවසේ දී බටහිර කතෝලික සංස්කෘතික දේශපාලන හා ආර්ථික ආධිපත්‍යයට එරෙහිව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය කරළියට එද්දී මානව අයිතිවාසිකම් යන සංකල්පය, ඒ ආකාරයෙන් ම සංකල්පගත නොවූවත්, වැදගත් විය. කතෝලික චින්තනයෙහි සමාජයට හා සාමුහිකත්වයට තිබූ ප්‍රධානත්වය වෙනුවට නැගී ආ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ප්‍රධාන තැන හිමි වූයේ පුද්ගලයාට ය. පාප් වහන්සේට එරෙහිව මාටින් ලූතර් කළ සටනෙහි හරය වූයේ ද පුද්ගලයාට මේ නිදහස දිනාගැනීම ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ආරම්භයෙහි පුද්ගලයා හා රාජ්‍යය අතර සටන ඉස්මතු විය. එබැවින් ම එය පුද්ගලයා හා කතෝලික පල්ලිය අතර ද තිබූ සටනක් විය. බටහිර ඊනියා මානව අයිතිවාසිකම්වල අරමුණ වූයේ පුද්ගලයා රාජ්‍යයෙන් හා පල්ලියෙන් නිදහස් කර ගැනීම ය. එහෙත් එය කිසි දිනෙක අත්පත් කරගත නොහැකි වූ නිදහසක් විය. බටහිර රටවල මිනිසුන්ට අද ඇති මානව අයිතිවාසිකම් කවරේ ද? රාජ්‍යය අද ඉතිහාසයේ කිසි දිනෙක නොවූ අයුරින් ශක්තිමත් වී ඇත. ඇමරිකාවේ එෆ් බී අයි ආයතනය ඇත්තේ පුද්ගලයන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නො වේ. බටහිර ලෝකයේ වෙනත් රටවල ද විවිධ ඔත්තු සපයන ආයතන රාජ්‍යය මගින් පවත්වාගෙන යනු ලබයි. පුද්ගලයන්ට අද සිතීමටවත් නිදහස නැත. රාජ්‍යය, මාධ්‍යය, කලාව, පාසල්, විශ්වවිද්‍යාල හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අද පුද්ගලයා වෙනුවෙන් සිතයි. බටහිර රටවල, විශේෂයෙන් ම ඇමරිකාවේ, තරම් නූගත් ජනකායක්, නොසිතන මිනිසුන් පිරිසක් ලෝක ඉතිහාසයේ ම වාසය කළ නැතැයි සිතිය හැකි ය. ඔවුන්ගේ සතිඅන්ත නිවාඩුව පමණක් නොව විදේශීය රටවල ගතකෙරෙන දීර්ඝ නිවාඩු ද වෙනත් අය සෑලසුම් කරති. මෙය ඉතා දීර්ඝ වශයෙන් විස්තර කළයුතු වුවත් තවමත් බුදුසසුනේ ආභාසයෙන් සිතන්නට යම් ප්‍රමාණයකට වුව හැකි මෙරට ජනතාවට ඒ කියා පෑම අවශ්‍ය නො වේ යැයි සිතෙයි. පුද්ගලයන්ට ඇති තෝරාගැනීමේ නිදහස පිළිබඳ මෙතරම් කතාකර ඇති යුගයක් මානව ඉතිහාසයෙහි නැත. එහෙත් අද බටහිර රටවල මිනිසුන්ට ඇති ඊනියා තෝරාගැනීමේ නිදහස කුමක් ද? එය කොකාකෝලා වෙනුවට පෙප්සිකෝලා තෝරාගැනීමට ඇති නිදහස ඉක්මවා යන්නක් නො වේ.

ඇමරිකාවේ සාමාන්‍ය පුරවැසියකුට රාජ්‍ය ආයතනයකට එරෙහිව මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ නිදහසක් තිබේ ද? වියුක්තව ගත්කල පාසලේ හා විශ්වවිද්‍යාලයේ ඉගැන්වෙන දේශපාලන විද්‍යාව හා වෙනත් සමාජයීය විද්‍යාවන් අනුව එවැනි නිදහසක් පොතෙහි වියුක්තව සඳහන් වෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මූලික වශයෙන් වියුක්ත සංස්කෘතියකි. වියුක්තව ඇති නිදහස සංයුක්තව මිනිසුන් භුක්ති විඳින්නේ කෙසේ ද? මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අධිකරණයට යෑම සාමාන්‍ය පුරවැසියකුට පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා යන වියදම, ගතකළ යුතු කාලය, නීතිඥයන් හමුවීමට ගතවන කාලය මෙන් ම ද’ක්‍ෂ නීතිඥයකු සොයාගැනීමට වෙහෙස වීම ද සාමාන්‍ය මිනිසකුට දැරිය හැකි සීමාව ඉක්මවා යයි. පොතෙහි ඇති මානව අයිතිවාසිකම් සාමාන්‍ය මිනිසකුට සාමාන්‍ය ජීවිතයේ දී හමු නො වේ. ලංකාවේ මේ තත්වය ඇමරිකාවේ තරම් නරක නැත්තේ බටහිර නීතියෙහි ඇති ගුණයක් නිසා නොව සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් කාලාන්තරයක් තිස්සේ පුරුදු කෙරී ඇති ජීවන ක්‍රමය නිසා ය.

කෙසේ වෙතත් ගඩාෆිට ලිබියාවේ දී නැතිවීමට තිබූ බටහිර ක්‍රිස්තියානි මානව අයිතිවාසිකම් කවරේ ද? ඔහු ලිබියාවේ රාජ්‍ය නායකයා විය. එංහලන්තයේ එලිසබෙත් වින්ඩ්සර් මහත්මියට ඒ රටේ දී නැතිවිය හැකි මානව අයිතිවාසිකම් කවරේ ද? රාජ්‍ය නායකයකු බටහිර ක්‍රිස්තියානි අර්ථයෙන් රාජ්‍යයට විරුද්ධව බලාපොරොත්තු වන්නේ කිනම් නිදහසක් ද? ගඩාෆි අවුරුදු හතළිහක වැඩි කාලයක් ලිබියාවේ රාජෘ නායකයා විය. ඔහු ඇතැම් විටක ඇමරිකාව සමග සූරතල්වීමට ක්‍රියා කළ ද, පොදුවේ ගත්කල, ඔහු බටහිර විරෝධී විය. ඔහු බටහිර රාජ්‍ය නායකයන් හැඳින්වූයේ සොර මුළක් ලෙස ය. ඔහුට අනුව බටහිරයෝ ත්‍රස්තවාදියෝ වූහ. බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාචාරය හා දේශපාලන විද්‍යාව පොතපතට සීමා වූවක් බව අමුතුවෙන් කිවයුතු නො වේ. අපි කසිකබල් මාක්ස්වාදීන් මෙන් මේ සියල්ල ධනවාදයට ලඝු නො කරමු. ධනවාදය ද බිහිවූයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි උපත දහසයවැනි සියවසෙහි බටහිර කතෝලික වැඩවසම් සංස්කෘතියට විරුද්ධව සිදුවිය. අනුරාධපුරයෙහි ඊනියා වැඩවසම් සමාජයක් දකින්නෝ බටහිර ලිබරල්වාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ ගෝලබාලයෝ ය. සිතීමට නොහැකි මේ පුස්සන්ගෙන් අනුරාධපුර යුගයෙහි දී රටෙහි ඊනියා ඉඩම් අයිතියක් තිබිණි ද යන්න සිතාබලන ලෙසටවත් ඉල්ලීමට නො හැකි ය.

ගඩාෆි මරා දමනු ලැබුවේ නේටෝව විසිනි. ඔබාමා ම පවසා ඇති ආකාරයට නේටෝ හමුදාවලට නායකත්වය දී ඇත්තේ ඇමරිකාව ය. නේටෝව නොවන්නට ගඩාෆි අද ද ලිබියාවේ රාජ්‍ය නායකයා ය. ඔහු ලිබියාවේ රාජ්‍ය නායක ධුරයෙන් ඉවත්කිරීමට බෙන්ගාසි කැරළිකරුවන් සංවිධානය කරනූ ලැබුයේ බටහිරයන් විසිනි. බටහිරයෝ හුදෙක් බෙංගාසීන්ට ආධාර කළ පිරිසක් නොවුහ. ඔවුහු ගඩාෆිට විරුද්ධව කැරුල්ලක් සංවිධානය කර එයට ආයුධ සපයා එය මෙහෙයවීම ද කළහ. නේටෝව නොතිබිණි නම් කුමක් වීමට තිබිණි යන්න හුදු හිතළු ප්‍රශ්නයක් යැයි යමකුට කිව හැකි ය. ඒ එවැනි තත්වයක් දැන් ඇතිකර සිදුවන්නේ කුමක් දැයි ඊනියා බටහිර විද්‍යාවට අනුව පරීක්‍ෂා කළ නොහැකි බැවිණි. එහෙත් එවැනි අවස්ථාවල අපි වෙනත් පදනම්වල පිහිටා පිළිතුරු සොයා ගන්නෙමු. අනෙක් අතට බටහිර විද්‍යාඥයන් කෙතරම් කෑමොර ගැසුවත් කිසිම පරීක්‍ෂණයක් නැවත වතාවක් කළ හැකි නො වේ. බටහිරයන් විසින් බෙංගාසීන් මෙහෙයවනු ලැබුයේ ඉංගිරිසින් ඇතුළු බටහිරයන් අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ සිංහල බෞද්ධයන්ට එරෙහිව දෙමළ ජාතිවාදීන් යොදාගන්නා ආකාරයට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග ඉන් සිහි විකල් වී ඇති බටහිරයෝ හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධුරයෙන් පහකිරීමට කටයුතු කරති.

ඇමරිකාව ඇතුළු බටහිරයන් ලිබියාවේ දී කර ඇත්තේ ඔවුන්ගේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙනත් රටක නායකයකු ඝාතනය කිරීමකි. ඒ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී ආක්‍රමණයකි. එයට ඊනියා නව යටත්විජිතවාදය යැයි කියන්නෝ බටහිරයන්ගේ ලිබරල්වාදී හා මාක්ස්වාදී ගෝලබාලයෝ ය. බටහිරයන් පසුගිය කාලයෙහි තමන්ට විරුද්ධ වූ බින් ලාඩන්, සදාම් හුසේන් හා ගඩාෆි ඝාතනය කළහ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය සිරියාව ය. අවසානයේ දී ඔවුන් ඉරානයට ද යනු ඇත. බටහිරයන් ලෝකයේ බටහිර නොවන ජාතීන්ට කියන්නේ ඒ ජාතීන්ගේ නායකයන් තෝරන්නේ ඔවුන්් මිස ඒ රටවල ජනතාව නොවන බව ය. ඔවුන් ඒ අනෙක් රටවල රාජ්‍ය නායකයන්ට කියන්නේ නායකත්වයෙහි රැඳී සිටීමට නම් ඔවුන් කියන ආකාරයට කටයුතු කිරීමට ය. මේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය නොවේ නම් වෙන කුමක් ද? අද ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය ආර්ථික වශයෙන් කඩාවැටෙමින් ඇත. එහෙත් ඒ කසිකබල් මාක්ස්වාදී ප්‍රවාදවලට අනුව නො වේ. ඒ රටවල ධනවාදයට විරුද්ධව ක්‍රියාත්මක වන ඊනියා කම්කරු පංතියක් නැත. ආර්ථික වශයෙන් කඩාවැටුණත් ලෝක දේශපාලන ආධිපත්‍යය ඇත්තේ බටහිරයන්ට ය. ඒ ආධිපත්‍යය තහවුරු කරගන්නේ බටහිර විද්‍යාව මගිනි. අවුරුදු පන්සියයකට පමණ පෙර ඇරඹි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තවමත් අවසන් වී නැත. අනෙක් රටවල ජනතාවට තම නායකයන් පත්කර ගැනීමට ඉඩ නොදෙන පොළොවට හා එහි සතා සර්පයා සිවුපාවාට අපරාධ කර ඇති ලෝකය අගාධය කරා ගෙන යන ඔබාමා ඇතුළු මානව විරෝධී පරිසර විරෝධී වත්මන් නායකයන් අත් අඩංගුවට ගෙන උපරිම දඬුවම් දිය යුතු ය. එහෙත් ඒ කරන්නේ කවු ද? එයට ශක්තිය ඇත්තේ කාට ද? අවාසනාවකට බටහිර නොවන්නන්ට ඒ ශක්තිය වර්තමානයේ නැත. එහෙත් මාක්ස්වාදී නොවන අර්ථයකින් වුවත් බටහිර ආධිපත්‍යය අවුරුදු පනහකට අඩු කාලයක දී වැටෙනු ඇත.