අද බොහෝ දෙනා ගඩාෆිගේ මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙළඹෙනු දැකිය හැකි ය. ඒ අතර ඇතැමෙක් සුපුරුදු පරිදි බටහිරයන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන කතාකරති. ඔවුහු ප්‍රභාකරන්ගේ මානව අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කරන බටහිරයන් ගඩාෆිගේ මානව අයිතිවාසිකම් නොරැක්කේ ඇයි දැයි අසති. ප්‍රභාකරන් මියගියේ සටනේ දී ය. එබැවින් ඔහුගේ ඊනියා මානව අයිතිවාසිකමක් ගැන කතාකිරීමට පවා දෙයක් නැත. එබැවින් බටහිරයෝ මානුෂික මෙහෙයුම්වල අවසන් දින කිහිපයෙහි දී දෙමළ ජනයා’ගේ ඊනියා මානව අයිතිවාසිකම් නැති වී යැයි මැසිවිලි නගති. අවසන් දින කිහිපයෙහි දී තුන් ලක්‍ෂයකට වැඩි ජනතාවක් ප්‍රභාකරන්ගෙන් බේරාගත් හමුදාවට එරෙහිව බටහිරයන් බේගල් ඇද බාන්නේ ඔවුන්ට ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාට හා ෂවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඊනියා යුද්ධාපරාධ චෝදනා ගෙන ඒමට ඇති අවශ්‍යතාව සඟවාගත නොහැකිව ය. බටහිරයෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය නො කරති. ඔවුහු තම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරති. එහි දී ඔවුහු ලිබියාවේ දී තමන්ට විරුද්ධ වූ ගඩාෆි මරා දමති. ලංකාවේ දී තම නියෝජිතයකු වූ ප්‍රභාකරන් පරාජය කිරීමට එරෙහිව කටයුතු කරති. ඔවුහු හැකිනම් රනිල් වික්‍රමසිංහ හෝ කුමාර් මහත්තයා හෝ සම්බන්ධන් හෝ බලයට පත්කිරීමට කටයුතු කරති.
ඊනියා මානව අයිතිවාසිකම් යන්න බටහිරයන්ගේ තවත් ව්‍යාජ සංකල්පයක් පමණකි. දහසයවැනි සියවසේ දී බටහිර කතෝලික සංස්කෘතික දේශපාලන හා ආර්ථික ආධිපත්‍යයට එරෙහිව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය කරළියට එද්දී මානව අයිතිවාසිකම් යන සංකල්පය, ඒ ආකාරයෙන් ම සංකල්පගත නොවූවත්, වැදගත් විය. කතෝලික චින්තනයෙහි සමාජයට හා සාමුහිකත්වයට තිබූ ප්‍රධානත්වය වෙනුවට නැගී ආ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ප්‍රධාන තැන හිමි වූයේ පුද්ගලයාට ය. පාප් වහන්සේට එරෙහිව මාටින් ලූතර් කළ සටනෙහි හරය වූයේ ද පුද්ගලයාට මේ නිදහස දිනාගැනීම ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ආරම්භයෙහි පුද්ගලයා හා රාජ්‍යය අතර සටන ඉස්මතු විය. එබැවින් ම එය පුද්ගලයා හා කතෝලික පල්ලිය අතර ද තිබූ සටනක් විය. බටහිර ඊනියා මානව අයිතිවාසිකම්වල අරමුණ වූයේ පුද්ගලයා රාජ්‍යයෙන් හා පල්ලියෙන් නිදහස් කර ගැනීම ය. එහෙත් එය කිසි දිනෙක අත්පත් කරගත නොහැකි වූ නිදහසක් විය. බටහිර රටවල මිනිසුන්ට අද ඇති මානව අයිතිවාසිකම් කවරේ ද? රාජ්‍යය අද ඉතිහාසයේ කිසි දිනෙක නොවූ අයුරින් ශක්තිමත් වී ඇත. ඇමරිකාවේ එෆ් බී අයි ආයතනය ඇත්තේ පුද්ගලයන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නො වේ. බටහිර ලෝකයේ වෙනත් රටවල ද විවිධ ඔත්තු සපයන ආයතන රාජ්‍යය මගින් පවත්වාගෙන යනු ලබයි. පුද්ගලයන්ට අද සිතීමටවත් නිදහස නැත. රාජ්‍යය, මාධ්‍යය, කලාව, පාසල්, විශ්වවිද්‍යාල හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අද පුද්ගලයා වෙනුවෙන් සිතයි. බටහිර රටවල, විශේෂයෙන් ම ඇමරිකාවේ, තරම් නූගත් ජනකායක්, නොසිතන මිනිසුන් පිරිසක් ලෝක ඉතිහාසයේ ම වාසය කළ නැතැයි සිතිය හැකි ය. ඔවුන්ගේ සතිඅන්ත නිවාඩුව පමණක් නොව විදේශීය රටවල ගතකෙරෙන දීර්ඝ නිවාඩු ද වෙනත් අය සෑලසුම් කරති. මෙය ඉතා දීර්ඝ වශයෙන් විස්තර කළයුතු වුවත් තවමත් බුදුසසුනේ ආභාසයෙන් සිතන්නට යම් ප්‍රමාණයකට වුව හැකි මෙරට ජනතාවට ඒ කියා පෑම අවශ්‍ය නො වේ යැයි සිතෙයි. පුද්ගලයන්ට ඇති තෝරාගැනීමේ නිදහස පිළිබඳ මෙතරම් කතාකර ඇති යුගයක් මානව ඉතිහාසයෙහි නැත. එහෙත් අද බටහිර රටවල මිනිසුන්ට ඇති ඊනියා තෝරාගැනීමේ නිදහස කුමක් ද? එය කොකාකෝලා වෙනුවට පෙප්සිකෝලා තෝරාගැනීමට ඇති නිදහස ඉක්මවා යන්නක් නො වේ.
ඇමරිකාවේ සාමාන්‍ය පුරවැසියකුට රාජ්‍ය ආයතනයකට එරෙහිව මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ නිදහසක් තිබේ ද? වියුක්තව ගත්කල පාසලේ හා විශ්වවිද්‍යාලයේ ඉගැන්වෙන දේශපාලන විද්‍යාව හා වෙනත් සමාජයීය විද්‍යාවන් අනුව එවැනි නිදහසක් පොතෙහි වියුක්තව සඳහන් වෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මූලික වශයෙන් වියුක්ත සංස්කෘතියකි. වියුක්තව ඇති නිදහස සංයුක්තව මිනිසුන් භුක්ති විඳින්නේ කෙසේ ද? මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අධිකරණයට යෑම සාමාන්‍ය පුරවැසියකුට පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා යන වියදම, ගතකළ යුතු කාලය, නීතිඥයන් හමුවීමට ගතවන කාලය මෙන් ම ද’ක්‍ෂ නීතිඥයකු සොයාගැනීමට වෙහෙස වීම ද සාමාන්‍ය මිනිසකුට දැරිය හැකි සීමාව ඉක්මවා යයි. පොතෙහි ඇති මානව අයිතිවාසිකම් සාමාන්‍ය මිනිසකුට සාමාන්‍ය ජීවිතයේ දී හමු නො වේ. ලංකාවේ මේ තත්වය ඇමරිකාවේ තරම් නරක නැත්තේ බටහිර නීතියෙහි ඇති ගුණයක් නිසා නොව සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් කාලාන්තරයක් තිස්සේ පුරුදු කෙරී ඇති ජීවන ක්‍රමය නිසා ය.
කෙසේ වෙතත් ගඩාෆිට ලිබියාවේ දී නැතිවීමට තිබූ බටහිර ක්‍රිස්තියානි මානව අයිතිවාසිකම් කවරේ ද? ඔහු ලිබියාවේ රාජ්‍ය නායකයා විය. එංහලන්තයේ එලිසබෙත් වින්ඩ්සර් මහත්මියට ඒ රටේ දී නැතිවිය හැකි මානව අයිතිවාසිකම් කවරේ ද? රාජ්‍ය නායකයකු බටහිර ක්‍රිස්තියානි අර්ථයෙන් රාජ්‍යයට විරුද්ධව බලාපොරොත්තු වන්නේ කිනම් නිදහසක් ද? ගඩාෆි අවුරුදු හතළිහක වැඩි කාලයක් ලිබියාවේ රාජෘ නායකයා විය. ඔහු ඇතැම් විටක ඇමරිකාව සමග සූරතල්වීමට ක්‍රියා කළ ද, පොදුවේ ගත්කල, ඔහු බටහිර විරෝධී විය. ඔහු බටහිර රාජ්‍ය නායකයන් හැඳින්වූයේ සොර මුළක් ලෙස ය. ඔහුට අනුව බටහිරයෝ ත්‍රස්තවාදියෝ වූහ. බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාචාරය හා දේශපාලන විද්‍යාව පොතපතට සීමා වූවක් බව අමුතුවෙන් කිවයුතු නො වේ. අපි කසිකබල් මාක්ස්වාදීන් මෙන් මේ සියල්ල ධනවාදයට ලඝු නො කරමු. ධනවාදය ද බිහිවූයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි උපත දහසයවැනි සියවසෙහි බටහිර කතෝලික වැඩවසම් සංස්කෘතියට විරුද්ධව සිදුවිය. අනුරාධපුරයෙහි ඊනියා වැඩවසම් සමාජයක් දකින්නෝ බටහිර ලිබරල්වාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ ගෝලබාලයෝ ය. සිතීමට නොහැකි මේ පුස්සන්ගෙන් අනුරාධපුර යුගයෙහි දී රටෙහි ඊනියා ඉඩම් අයිතියක් තිබිණි ද යන්න සිතාබලන ලෙසටවත් ඉල්ලීමට නො හැකි ය.
ගඩාෆි මරා දමනු ලැබුවේ නේටෝව විසිනි. ඔබාමා ම පවසා ඇති ආකාරයට නේටෝ හමුදාවලට නායකත්වය දී ඇත්තේ ඇමරිකාව ය. නේටෝව නොවන්නට ගඩාෆි අද ද ලිබියාවේ රාජ්‍ය නායකයා ය. ඔහු ලිබියාවේ රාජ්‍ය නායක ධුරයෙන් ඉවත්කිරීමට බෙන්ගාසි කැරළිකරුවන් සංවිධානය කරනූ ලැබුයේ බටහිරයන් විසිනි. බටහිරයෝ හුදෙක් බෙංගාසීන්ට ආධාර කළ පිරිසක් නොවුහ. ඔවුහු ගඩාෆිට විරුද්ධව කැරුල්ලක් සංවිධානය කර එයට ආයුධ සපයා එය මෙහෙයවීම ද කළහ. නේටෝව නොතිබිණි නම් කුමක් වීමට තිබිණි යන්න හුදු හිතළු ප්‍රශ්නයක් යැයි යමකුට කිව හැකි ය. ඒ එවැනි තත්වයක් දැන් ඇතිකර සිදුවන්නේ කුමක් දැයි ඊනියා බටහිර විද්‍යාවට අනුව පරීක්‍ෂා කළ නොහැකි බැවිණි. එහෙත් එවැනි අවස්ථාවල අපි වෙනත් පදනම්වල පිහිටා පිළිතුරු සොයා ගන්නෙමු. අනෙක් අතට බටහිර විද්‍යාඥයන් කෙතරම් කෑමොර ගැසුවත් කිසිම පරීක්‍ෂණයක් නැවත වතාවක් කළ හැකි නො වේ. බටහිරයන් විසින් බෙංගාසීන් මෙහෙයවනු ලැබුයේ ඉංගිරිසින් ඇතුළු බටහිරයන් අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ සිංහල බෞද්ධයන්ට එරෙහිව දෙමළ ජාතිවාදීන් යොදාගන්නා ආකාරයට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග ඉන් සිහි විකල් වී ඇති බටහිරයෝ හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධුරයෙන් පහකිරීමට කටයුතු කරති.
ඇමරිකාව ඇතුළු බටහිරයන් ලිබියාවේ දී කර ඇත්තේ ඔවුන්ගේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙනත් රටක නායකයකු ඝාතනය කිරීමකි. ඒ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී ආක්‍රමණයකි. එයට ඊනියා නව යටත්විජිතවාදය යැයි කියන්නෝ බටහිරයන්ගේ ලිබරල්වාදී හා මාක්ස්වාදී ගෝලබාලයෝ ය. බටහිරයන් පසුගිය කාලයෙහි තමන්ට විරුද්ධ වූ බින් ලාඩන්, සදාම් හුසේන් හා ගඩාෆි ඝාතනය කළහ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය සිරියාව ය. අවසානයේ දී ඔවුන් ඉරානයට ද යනු ඇත. බටහිරයන් ලෝකයේ බටහිර නොවන ජාතීන්ට කියන්නේ ඒ ජාතීන්ගේ නායකයන් තෝරන්නේ ඔවුන්් මිස ඒ රටවල ජනතාව නොවන බව ය. ඔවුන් ඒ අනෙක් රටවල රාජ්‍ය නායකයන්ට කියන්නේ නායකත්වයෙහි රැඳී සිටීමට නම් ඔවුන් කියන ආකාරයට කටයුතු කිරීමට ය. මේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය නොවේ නම් වෙන කුමක් ද? අද ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය ආර්ථික වශයෙන් කඩාවැටෙමින් ඇත. එහෙත් ඒ කසිකබල් මාක්ස්වාදී ප්‍රවාදවලට අනුව නො වේ. ඒ රටවල ධනවාදයට විරුද්ධව ක්‍රියාත්මක වන ඊනියා කම්කරු පංතියක් නැත. ආර්ථික වශයෙන් කඩාවැටුණත් ලෝක දේශපාලන ආධිපත්‍යය ඇත්තේ බටහිරයන්ට ය. ඒ ආධිපත්‍යය තහවුරු කරගන්නේ බටහිර විද්‍යාව මගිනි. අවුරුදු පන්සියයකට පමණ පෙර ඇරඹි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තවමත් අවසන් වී නැත. අනෙක් රටවල ජනතාවට තම නායකයන් පත්කර ගැනීමට ඉඩ නොදෙන පොළොවට හා එහි සතා සර්පයා සිවුපාවාට අපරාධ කර ඇති ලෝකය අගාධය කරා ගෙන යන ඔබාමා ඇතුළු මානව විරෝධී පරිසර විරෝධී වත්මන් නායකයන් අත් අඩංගුවට ගෙන උපරිම දඬුවම් දිය යුතු ය. එහෙත් ඒ කරන්නේ කවු ද? එයට ශක්තිය ඇත්තේ කාට ද? අවාසනාවකට බටහිර නොවන්නන්ට ඒ ශක්තිය වර්තමානයේ නැත. එහෙත් මාක්ස්වාදී නොවන අර්ථයකින් වුවත් බටහිර ආධිපත්‍යය අවුරුදු පනහකට අඩු කාලයක දී වැටෙනු ඇත.