බටහිර භෞතික විද්‍යාවට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහනවවැනි සියවස අගභාගයේ දී නම් 1930 පමණ වන තෙක් එය ජයකෙහෙළි නැංවී යැයි කීම පරස්පර යැයි සිතන පඬියෝ මෙරට සිටිති. කණකොකා හැඬීම ආරම්භ වීමත් සමග බටහිර භෞතික විද්‍යාව කඩා වැටීම ආරම්භ විණි යැයි සිතන්නන්ට නම් ඉහත සඳහන් ප්‍රකාශ දෙකෙහි පරස්පරයක් දැකිය හැකි ය. කණකොකා හැඬීම ආරම්භ වූයේ ම ප්ලෑන්ක් නම් විද්‍යාඥයා ආලෝකයට අංශුවල ගුණ ඇති බවත් ආලෝකය තරංග වශයෙන් පමණක් නොව ක්වොන්ටා (Quanta) හෙවත් පොදි (පැකට්ටු) වශයෙන් ද ගමන්කරන බව ප්‍රකාශ කිරීමත් සමග ය.
වත්මන් ක්වොන්ටම් භෞතිකයේ ආරම්භය එසේ සිදුවිණි. ක්වොන්ටම් භෞතිකය ගැන නොදන්නවුන් නොදැන සිටිය ද ක්වොන්ටම් භෞතිකය බටහිර භෞතික විද්‍යාවෙහි සංස්කෘතියට හා චින්තනයට එරෙහිව යයි. එය බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පටහැණි වෙයි. එහි න්‍යාය ඇරිස්ටෝටලීය නොවන බව දන්නේ පිටරට සිටින බටහිර භෞතික විද්‍යාඥයන් හා දාර්ශනිකයන් කිහිප දෙනකු පමණ ය. ජනප්‍රිය පොත් කියවා (ඇතැමුන් කියවා ඇත්තේ සෝවියට් රුසියාව පැවති කාලයේ රුසියන් බසින් නිකුත්කර පසුව ඉංගිරිසියට පෙරළුෑ ජනප්‍රිය පොත් කිහිපයක් පමණකි) බටහිර විද්‍යාව නොව බටහිර විද්‍යාව ගැන තම තම නැණ පමණින් ඉගෙන ලූලා නැති වලට කණයන් වීමට දඟලන පඬියෝ මේ කිසිවක් නො දනිති. මේ කණයන් මහාචාර්යවරුන් අතර ද දැකගත හැකි ය.
ක්වොන්ටම් භෞතිකය යම්තමින් වුව ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි රැකුණේ, තවත් පරස්පරයක් ලෙස පඬියන්ට පෙනී ගිය ද, චීන සංස්කෘතියෙන් ආභාසය ලත් බෝර්ට පින් සිදුවන්නට ය. ඔහු යින් යැන් දර්ශනය මත පදනම් ව ක්වොන්ටම් භෞතිකය බටහිර ඉන්ද්‍රියානුභූතවාදයෙහි (positivism) රඳවා ගත්තේ ය. එහෙත් එයට බටහිර යථාර්ථවාදීහු (realists) තරයේ විරුද්ධ වූහ. එහි දී බෝර්ගේ ප්‍රධාන විරුද්ධවාදියා වූයේ අන් කිසිවකු නොව අයින්ස්ටයින් ය. අද වන විට ක්වොන්ටම් භෞතිකය බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පාවෙන එහෙත් පදනමක් නැති හුදෙක් ගණනය කිරීම්වලට සීමාවන උපයෝගිතාවට බර දැනුම් පද්ධතියක් බවට පත් වී ඇත.
1930 යනු දළ වශයෙන් ගත්කල බෝර් - අයින්ස්ටයින් විවාද බෝර්ගේ ජයග්‍රහණයෙන් කෙළවර වූ වසර ය. දහනවවැනි සියවසේ අවසාන දශකයේ සිට 1930 පමණ දක්වා අවුරුදු තිස්පහක් පමණ ක්වොන්ටම් භෞතික විද්‍යාව ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තේ ය. එහෙත් එතැන් සිට ක්වොන්ටම් භෞතික විද්‍යාව ක්‍රියාත්මක වන්නේ ගණක යන්ත්‍රයක් ලෙසින් යැයි කිවහොත් නිවැරදි ය. එහි ෙසෙද්ධාන්තික, දාර්ශනික ගැඹුරක් නැත. ක්වොන්ටම් භෞතිකය යථාර්ථවාදීව හෝ ඉන්ද්‍රියානුභූතවාදීව හෝ තේරුම් ගත නොහැකි බව මේ වන විට බටහිර භෞතික විද්‍යාඥයන්ට වැටහිය යුතු නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හිරවී සිටින ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නැත.
1930 පමණ වන තෙක් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ද වර්ධනය විය. 1905 දී විශේෂ සාපේක්‍ෂතාවාදය ද 1915 දී සාධාරණ සාපේක්‍ෂතාවාදය ද එළිදැක්වීමට අයින්ස්ටයින් සමත් විය. ක්වොන්ටම් භෞතිකය මෙන් නොව සාපේක්‍ෂතාවාදය හුදෙක් එක් පුද්ගලයකුගේ, එනම් අයින්ස්ටයින්ගේ දායකත්වයෙන් බිහිවූවක් විය. 1916 වන විටත් විශ්වවවේදය (Cosmology) බිහිවී තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය විශ්වයට ම යොදා ගැනීමේ ප්‍රතිඵලය විය. හබල් හෝ අද ඇතැම් බටහිර විශ්වවේදීන් සිතන අයුරින් නම් ඔහුට පෙර වෙනත් අය හෝ විශ්වය ප්‍රසාරණය වීමේ අදහස ඉදිරිපත් කර තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග අගේට ගැළපිණි.
එහෙත් මේ අතර බටහිර භෞතික විද්‍යාවට ප්‍රධාන ප්‍රශ්නයක් පැන නැගෙමින් තිබිණි. එය ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵලයක් විය. සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නම් ඒ සියල්ල එක්කරන ඉතා සාධාරණ ප්‍රවාදයක් තිබිය යුතු බැව් බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙය මුළුමනින් ම ඒක දේව නිර්මාණයකින් ගලා එන්නක් බව පැහැදිලි ය. ඌනිතවාදය (reductionism) ද, එනම් සියල්ල ප්‍රත්‍යක්‍ෂ කිහිපයකට ඌනනය කිරීම ද දේව නිර්මාණය මත පදනම් වෙයි. අනේකහේතුවාදී හෙවත් බහුහේතුවාදී වූ සිංහල බෞද්ධ චින්තනයෙහි සියල්ල විස්තර කරන එක් ප්‍රවාදයකට ඉඩක් නැත.
බටහිර භෞතික විද්‍යාඥයන් එලෙස එක් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමේ දිශාවට කලින් පියවර නගා තිබිණි. ආරම්භයේ දී ම ගැලීලියෝ පොළොව මත සිදුවන දෑ හා ග්‍රහ වස්තුවල සිදුවන දෑ එකම ප්‍රවාදයකින් විස්තර කළ හැකි බව අඩුම තරමෙන් දුරේක්‍ෂ සම්බන්ධයෙන් එතරම් තර්කානුකූලව නොවන නමුත් අනෙක් අය ඒත්තුගන්වා තිබිණි. පසුව නිව්ටන් නැති ගුරුත්වාකර්ෂණයක් පොළොව මත මෙන් ම පිටත ද ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේ ය.
බටහිර විද්‍යාඥයන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් කෙතරම් උද්දාමයට පත්ව සිටියේ ද කිවහොත් ඔවුන් ඒ ප්‍රවාදය හැඳින්වූයේ සර්වත්‍ර නියමයක් (universal law) ලෙස ය. ඉන් පසු කලෙක මැක්ස්වෙල් ෆැරඩේගේ පරීක්‍ෂණ මත පදනම් ව චුම්බකත්ව හා විද්‍යුත් ගුණ එක් කෙළේ ය. අයින්ස්ටයින් අවකාශය හා කාලය එක් කෙළේ ය. පසුව බටහිර භෞතික විද්‍යාවට දුර්වල අන්තර්ක්‍රියා (weak interactions) හා ශක්තිමත් අන්තර්ක්‍රියා (strong interactions) එකතු විය. එවිට බටහිර භෞතික විද්‍යාවේ බල වර්ග හතරක් විය. එනම් විද්‍යුත්චුම්බක බලය, දුර්වල බලය, ශක්තිමත් බලය හා ගුරුත්වාකර්ෂණ බලය විය.
අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකවාදය එක්කිරීමට ඩිරැක් නම් ඉංගිරිසි භෞතික විද්‍යාඥයා සමත් විය. එහි ප්‍රතිඵලයක් වූ ක්වොන්ටම් විද්‍යුත්ගතිකය (Quantum Electrodynamics) මෙතෙක් බිහි වී ඇති ඉතාමත් සාර්ථක බටහිර භෞතික විද්‍යා ප්‍රවාදය ලෙස හැඳින්වෙයි. එහෙත් එය සාර්ථක වන්නේ හුදෙක් පරීක්‍ෂණවල මිනුම් ගැන කියන ප්‍රවාදයක් ලෙස මිස දාර්ශනික පදනමක් ඇති ප්‍රවාදයක් ලෙස නො වේ. සලාම් (දැනට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත් වූ එක ම ඉස්ලාම් භක්තිකයා හා එක ම පකිස්ථාන ජාතික ජන්මයක් හිමි ව සිටි තැනැත්තා) සහ ග්ලැෂෝ විසින් දුර්වල බල විද්‍යුත් චුමිබක බල එකතු කරනු ලැබිණි. එහෙත් අද වන විටත් ඊනියා ගුරුත්වාකර්ෂණ බලය වෙනුවට අද ඇති අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතික විද්‍යාව එකතු කර ඒකිකෘත ප්‍රවාදයක් (unified theory) නිර්මාණය කරගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් අසමත් වී ඇත. එබැවින් ඊනියා ගුරුත්වාකර්ෂණය හා අනෙක් බල එකිනෙකින් වෙන් වී පවතියි. මෙය දෙවියන් වහන්සේ ඇදහුවත් නැතත් එක් තැනකින් කෙරෙන පටන් ගැනීමක් ගැන විශ්වාස කරන බටහිරයන්ට මහත් හිසරදයකි.
බටහිරයන්ට අවශ්‍ය කෙසේ වුවත් ඒකිකෘත ප්‍රවාදයක් ගොඩ නැගීමය. අයින්ස්ටයින්ට ද ඒ අභිලාෂය විය. ඔහු 1930 පමණ සිට මිය යන තුරුම විද්‍යුතය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග එකතුකිරීමට අසාර්ථක උත්සාහයක නිරත විය. අද වන විට පැහැදිලිව පෙනෙන කරුණ නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය යා දෙක නොරත රත මෙන් එකිනෙක සමග පෑහීමක් නො වීම ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතමය භෞතික විද්‍යාව හදාරණ සිව්වැනි වසරේ ශිෂ්‍යයකු මේ පිළිබඳ මූලික අධ්‍යයනයකින් පසු ඒ ක්‍ෂෙත්‍ර නොගැළපෙන (incompatible) බවට කරුණු දක්වා ඇත.
ක්වොන්ටම් භෞතිකය, සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග පමණක් නොව විශේෂ සාපේක්‍ෂතාවාදය සමග ද නො ගැළපෙයි. ඩිරැක් විශේෂ සාපේක්‍ෂතාවාදය ක්වොන්ටම් භෞතිකයට යොදාගත් බව ද ඩිරැක් සාපේක්‍ෂතාවාදී සමීකරණය එහි ප්‍රතිඵලයක් බව ද සැබෑ ය. එහෙත් පසුගිය සියවසේ විසි ගණන්වල පැවති බෝර් - අයින්ස්ටයින් විවාදවල දී අයින්ස්ටයින් හා ඔහුගේ සහායකයන් ඉදිරිපත් කළ අයින්ස්ටයින් - පොඩොල්ස්කි - රොසන් පරස්පරය (EPR paradox) මේ ක්‍ෂෙත්‍ර දෙක අතර ඇති නොගැළපීම තව තවත් මහත් කර ඇත.
ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පරස්පරය ක්වොන්ටම් භෞතිකයේ පැටළුණු අංශු (entangled particles) සම්බන්ධයෙන් වෙයි. ක්වොන්ටම් භෞතිකයට අනුව පැටළුණු අංශු දෙකකින් එකක යම් ගුණයක් මැනගතහොත් ඒ ක්‍ෂණයෙහි ම අනෙක් අංශුව ද එම ගුණයට අදාළ වූ පිහිටුමකට (අවස්ථාවකට) පැමිණෙයි. මෙයින් කියැවෙන්නේ එක් අතකින් දෙවැනි අංශුවෙහි අදාළ ගුණය මැනීමට පෙර ඒ අගය කුමක් දැයි නිරීක්‍ෂකයා දන්නා බවත් එය බෝර්ගේ කෝපන්හේගන් විවරණයට පටහැණි බවත් ඉන් යථාර්ථවාදය තහවුරු වන බවත් යැයි අයින්ස්ටයින් කියා සිටියේ ය. එමෙන් ම අනෙක් අතට අංශු දෙක අතර සංනිවේදනයක් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බවක් ඉන් ගම්‍ය වන්නේ යැයි පැවසූ අයින්ස්ටයින් තම සාපේක්‍ෂතාවාදය අනුව එය එසේ සිදුවිය නොහැකි යැයි කියා සිටියේ ය.
බෝර් ඒ පිළිබඳ ව කියා සිටියේ පැටළුණු අංශු එක් සමස්ත පද්ධතියක් මිස අංශු දෙකක් නොවන බව ය. සමස්ත පද්ධතියක අංශු එකිනෙකින් කෙතරම් දුරෙන් පිහිටිය ද ඒවා පද්ධතියක් ලෙස එකට ක්‍රියා කරන බව බෝර් කියා සිටියේ ය. මේ පරස්පරයට පසු කලෙක ජෝන් බෙල් නම් අයිරිෂ් ජාතික භෞතික විද්‍යාඥයා ගණිතමය ප්‍රකාශනයක් ලබා දුන්නේ ය. එය අද බෙල් අසමානතා නමින් හැඳින්වෙයි. මෙරට යථාර්ථවාදීන් නොදැන සිටිය ද 1982 දී පමණ ප්‍රංශ ජාතික ඇස්පෙ හා පිරිස විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු පැටළුණු අංශු අතර සංනිවේදනයක් වන බවත් අයින්ස්ටයින්ට වඩා බෝර් කී දේ පිළිගත හැකි බවත් අඩුම තරමෙන් ස්ථානීය යථාර්ථයක් නැති බවත් බටහිර භෞතික විද්‍යාඥයන් සුළු පිරිසකට වුවත් වැටහී ඇත.
එහෙත් බෝර් නිවැරදි බවක් මෙයින් ගම්‍ය නො වේ. අංශු පද්ධතියක් ලෙස ගත්ත ද ඒ අතර අන්තර්ක්‍රියාවක් වන්නේ කෙසේ ද යන්න ඔහු විස්තර නො කළේ ය. එහෙත් අපට වඩා වැදගත් වන්නේ පැටළුණු අංශු අතර ක්‍රියාකාරීත්වය විශේෂ සාපේක්‍ෂතාවාදය සමග නො ගැළපීම ය. අද වන විට න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩ වේගයකින් චලනය වන බවට තොරතුරු ලැබෙමින් පවතියි. බෝර් කෙසේ කීවත් පැටළුණු අංශු අතර අන්තර්ක්‍රියා ක්‍ෂණික ව සිිදු නොවී ආලෝකයට වැඩි වේගයකින් සුළු වුවත් යම්කිසි කාලයකින් පසුව සිදුවන්නේ යැයි විශ්වාස කළ හැකි ය. මේ පිළිබඳ පත්‍රිකාවක් මෙවර කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදයට ඉදිරිපත් කෙරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ බටහිර විද්‍යාඥයන්ගේ ඒකිකෘත ප්‍රවාදය ඉටු නොවන මංගල්‍යයක් බව ය.