Main Logo

Showing posts with label අනුභූතිවාදය. Show all posts
Showing posts with label අනුභූතිවාදය. Show all posts

Wednesday, 11 April 2012

පිහිටුම් අවස්ථා

අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල ඇත යන්න තේරුම් ගැන සිංහල බෞද්ධයනට එතරම් අපහසු කරුණක් විය නො හැකි ය. චුල්ලඵන්ථක රහතන් වහන්සේගේ කතාව අසා ඇති සිංහල බෞද්ධයෝ උන්වහන්සේ එක්විට පන්සියයක් රූප මවාගෙන සිටි බව දනිති. ඇතැම් ඕල්කට් බෞද්ධයන් බටහිර දැනුමේ ව්‍යාජ හේතුවාදය හා ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වී ඒ කතාව විශ්වාස නොකරනවා විය හැකි ය. එහෙත් චතුස්කෝටික න්‍යාය ප්‍රායෝගිකව දන්නා සිංහල බෞද්ධයනට එය තේරුම් ගැනීම කිසිසේත් ම ගැටළුවක් නො වේ.

පසුගිය දිනෙක කැනඩාවේ වාසය කරන එක්තරා ඕල්කට් බෞද්යෙකු කියා සිටියේ සිංහලයන්ගේ දෙවි කෙනකුට එක්විට සිටිය හැක්කේ එක්තැනක පමණක් බවත් ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ නම් එක්විට සෑම තැනක ම සිටින බවත් එබැවින් අංශුවක් එක්විට කිහිප තැනක සිටින්නේ ය යන්න ක්‍රිස්තියානි සංකල්පයක් මිස සිංහල බෞද්ධ සංකල්පයක් නොවන බවත් ය. ඔහු විිද්‍යොදය විශ්වවිද්‍යාලයේ උගත්තකු වුවත් ඒ විශ්වවිද්‍යාලයේ ඉගැන් වූ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් බටහිර විද්‍යාව මිස සිංහල සංස්කෘතිය ඉගෙනගත් බවක් නො පෙනෙයි. එය ඉතා කණගාටුදායක තත්වයකි.

1959 දී විද්‍යොදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබුයේ ම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආභාසය ලැබූ උපාධිධාරීන් බිහිකිරීමට ය. එහෙත් අවාසනාවකට ඒ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ මහාචාර්යවරුන් හා කථිකාචාර්යවරුන් ලෙස එකල පත්වීම් ලැබුයේ බොහෝ විට පේරාදෙණියේ හෝ කොළඹ හෝ එකල පිළිවෙළින් මහාචාර්ය පදවියකට හෝ කථිකාචාර්ය පදවියකට හෝ පත්වීමක් ලැබීමට නොහැකි වූවන් ය. ඔවුන් ඒ විශ්වවිද්‍යාල ගොඩ නැගුයේ කොළඹ හා පේරාදෙණිය මත පදනම් වෙමින් මිස සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව නො වේ.

එය එක්තරා ආකාරයකින් මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීමට සමාන්තර ක්‍රියාවලියක් විය. කන්නන්ගර මහතා පළමු මධ්‍යම මහා විද්‍යාල පිහිටුවීමෙි දී තෝරාගත් විදුහල්පතිවරුන් පනස්දෙනකු අමතා කියා ඇත්තේ තමන් ඉගෙනගත් විද්‍යාලවලට සමානවන විද්‍යාල ඇතිකරන ලෙස ය. මේ විදුහල්පතිවරුන් ප්‍රභූ විද්‍යාලවල ඉගෙනගත් පුද්ගලයන් බැවින් ඔවුන් මධ්‍යම මහා විද්‍යාල ගොඩනගා ඇත්තේ ද ඒ ප්‍රභූ විද්‍යාලවල ආකෘතිය අනුගමනය කරමිනි. අපේ අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමේ දෙවැනි අවස්ථාව ද එසේ මගහැරී ගියේ ය. පළමු අවස්ථාව උදාවූයේ බෞද්ධ පාසල් ඇතිකිරීමට යෝජනා වූ විට ය.

කෙසේ වෙතත් අද වන විට කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බටහිර විශ්වවිද්‍යාලවල තුන්වැනි පංතියේ අනුකාරක ආයතන බවට පත් වී ඇත. එය වෙනස් කිරීමට උත්සාහ ගැනීම පවා ඉතා අසීරු කාර්යයක් වන බව අත්දැකීමෙන් දනිමි. එබැවින් කලින් සඳහන් කළ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දෙවියන් ගැන එසේ සඳහන් කිරීම පුදුමයක් නො වේ. වඩා පින් සහිත දෙවියන්ට එක්විට අවස්ථා කිහිපයක පැවතිය හැකි බව මේ බුද්ධිවාදීන්, හේතුවාදීන් (rationalists) ලෙස තමන් හඳුන්වාගන්නෝ නො දනිති. එපමණක් නොව බුද්ධිවාදියා හෝ හේතුවාදියා හෝ යන්නෙන් කුමක් අදහස් වන්නේ දැයි ඔවුන්ගෙන් විමසුවොත් එයට ද නිසි පිළිතුරක් දීමට ඔවුහු අපොහොසත් වෙති. බටහිර දර්ශනයේ බුද්ධිවාදය (rationalism) යන්න අර්ථදැක්වෙන්නේ අනුභූතිවාදයට (empiricism) විරුද්ධව ය. එහෙත් මෙරට ඊනියා බුද්ධිවාදීන් මේ දර්ශන දෙකෙහි ම සංකලනයක් අනුභූතිවාදයට වඩාත් බරව අනුගමනය කරන බව පෙනී යයි.

ආධ්‍යාත්මික ශක්තිය වැඩිවත් ම අවස්ථා කිහිපයක ම පෙනී සිටීමේ හැකියාව ශරීර සහිත සත්වයන්ට අත්වන බව කිව හැකි ය. රහතන් වහන්සේගේ සෘද්ධි ශක්තිය වැඩිවත් ම එසේ අවස්ථා රාශියක පෙනී සිටීමේ හැකියාව වර්ධනය වන බව පෙනී යයි. බුදුන් වහන්සේ ද මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මය දෙසීමට දෙව්ලොව වැඩම කළ අවස්ථාවේ දී මිනිස් ලොවට වැඩම කිරීමේ දී දෙව්ලොව තමන්වහන්සේ ධර්ම දේශනාව නොකඩවා කරගෙන යන අයුරින් තවත් අවස්ථාවක පිහිටුවා එසේ මිනිස් ලොවට වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.

මේ අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව සෑම තැනම ඇත්තේ යැයි කියන දෙවියන් වහන්සේ කෙනකුගේ පැවැත්ම සමග සන්සන්දනය කළ නො හැකි ය. දෙවියන් වහන්සේට එක් තැනක පමණක් කිසි විටෙක පැවතිය නො හැකි ය. දෙවියන් වහන්සේ සෑම විට ම සෑම තැන ම ඇත. ඉන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සෑම විටම අපායේ ද සිටින්නේ ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් අවශ්‍ය පරිදි අවස්ථා කිහිපයක පෙනී සිටීම හා සෑම විට ම සෑම තැනක ම පෙනී සිටීම යනු එකම සංකල්පයක් යැයි කිවහැක්කේ ඊනියා බුද්ධිවාදීන්ට ය.

අවකාශයේ අවස්ථා කිහිපයක පෙනී සිටීම තේරුම් ගැනීමට සිංහල බෞද්ධයනට අපහසුවක් ඇතිවන්නට හේතුවක් නැත. එහෙත් ඉහත සඳහන් විස්තරය කියවන පඬියකු ක්වොන්ටම් අංශුවක් රහතන් වහන්සේ නමක සමග සන්සන්දනය කර තම පඬි බව විදහා දැක්වීමට අවස්ථාව කරගනු ඇත. පඬියා බක පණ්ඩිතයකු නම් ඇතැම් විට ඉතා නිර්දය ලෙස ක්වොන්ටම් අංශුවේ ආධ්‍යාත්මික ශක්තිය ඉතා වැඩි ද කියාත් ප්‍රශ්න කරනු ඇත. එසේත් නැත්නම් ක්වොන්ටම් අංශුව රහත් වී ඇත් ද කියා ප්‍රශ්න කරනු ඇත. අප කියා සිටින්නේ ක්වොන්ටම් අංශුවකට එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමට හැකි බව ය. එහෙත් නිව්ටෝනීය අංශුවකට හෝ වස්තුවකට හෝ එසේ පැවතීමේ හැකියාවක් නැත. නිව්ටෝනීය අංශුවක් හෝ වස්තුවක් හෝ එක්විට එක්තැනක පමණක් පවතියි. රහතන් වහන්සේගේ ශරීරය වෙනත් සත්වයකුගේ ශරීරය මෙන් ම නිව්ටෝනීය වස්තුවක් වෙයි. එහෙත් උන්වහන්සේට ඒ නිව්ටෝනීය ශරීරයත් සමග එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව ඇත. ක්වොන්ටම් අංශු කිහිපයක් එකතු වී නිව්ටෝනීය අංශුවක් බවට පත් වූ විගස එයට එකවිට කිහිප තැනක පෙනී සිටීමේ හැකියාව නැති වී යයි.

අපි දැන් ක්වොන්ටම් අංශුවක් විවිධ කාලවල පවතින්නේ කෙසේ ද යන ප්‍රශ්නය සාකච්ඡා කරමු. ක්වොන්ටම් අංශුවට එක්විට විවිධ කාලවල පැවතිය හැකි ද යන්න ම ඇරිස්ටෝටලීය න්‍යාය අනුව පරස්පර විරෝධී ප්‍රශ්නයකි. එක්විට යනු කාලය සම්බන්ධයෙන් ගත්කල යම්කිසි සමුද්දේශ රාමුවක නිශ්චිත අගයකි. එසේ කාලය නිශ්චිත අගයක් ගන්නා විට විවිධ කාලවල පැවතීම යනු කාලය ගන්නා වෙනත් අගයන්හි ද අංශුව පැවතීමකි. එවිට කාලයට නිශ්චිත අගයක් ඇති අතර වෙනත් අගයන් ද ඇත. එහෙත් චතුස්කෝටිකයෙහි එය ගැටළුවක් නො වේ. අංශුව එක් තැනක පිහිටීම මෙන් ම වෙනත් තැනක ද පිහිටීම චතුස්කෝටික න්‍යායෙහි ප්‍රශ්නයක් නොවන්නා සේ ම අංශුව කාලයෙහි එක් අගයක දී මෙන් ම වෙනත් අගයන්හි දී ද පැවතීම ගැටළුවක් නො වේ. එහෙත් මේ ප්‍රශ්නය එතැනින් කෙළවර වන්නේ ද නැත.

අපට මෙහි දී තවත් ප්‍රශ්න ඇසිය හැකි ය. ක්වොන්ටම් අංශුවකට නිශ්චිත පිහිටුමක් තිබෙන අවස්ථාවක දී එයට කාලය සම්බන්ධයෙන් විවිධ අගය ගත හැකි ද? එසේත් නැතහොත් ක්වොන්ටම් අංශුවට කාලය සම්බන්ධයෙන් එක් අගයක් ඇති විට, එනම් එක්විට, අංශුවට පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා තිබිය හැකි ද? එසේත් නැත්නම් අංශුව විවිධ කාලවල පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා ගන්නේ ද? මෙවැනි ප්‍රශ්න බටහිර භෞතික විද්‍යාඥයන් අසා ඇති බවක් මම නො දනිමි. මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර අපට කාලය සම්බන්ධයෙන් වඩා මූලික ප්‍රශ්නයකට පිළිතුරු දීමට සිදුවෙයි.

අයින්ස්ටයින් විද්වතා කාලය හා අවකාශය එකම මට්ටමක ලා සැලකී ය. එහෙත් සිිංහල බෞද්ධයන් කාලය හා අවකාශය යන සංකල්ප නිර්මාණය කරගන්නේ එකම මට්ටමක පිහිටා නො වේ. අවකාශය යන්න වඩාත් සරල සංකල්පය වෙයි. ඒ සම්බන්ධයෙන් බටහිර ලෝකයට දළ වශයෙන් ගත්කල සංකල්ප දෙකක් වෙයි. එකක් නිව්ටෝනීය සංකල්පය ලෙස හැඳින්විය හැකි ය. නිව්ටෝනීය සංකල්පයෙහි අංශු වස්තු විකිරණ ආදිය නැතත් පවතින අවකාශයක් වෙයි. අංශු වස්තු විකිරණ ආදිය පවතින්නේ මේ අවකාශයෙහි ය. අංශු ආදිය නැති අවකාශය ඇතැම් විට නිරපේක්‍ෂ අවකාශය නමින් ද හැඳින්වෙයි. නිව්ටෝනීය දැනුමට අනුව මේ අවකාශය ද වාස්තවික ව පවතියි. ඒ දැනුමෙහි ද්‍රව්‍ය පවතින්නාක් සේ ම අවකාශය ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතියි. එබැවින් අවකාශයට ද ද්‍රව්‍යවාදී පැවැත්මක් වෙයි.

බටහිර ලෝකයෙහි අවකාශය පිලිබඳ ඇති දෙවැනි සංකල්පය අයින්ස්ටයිනීය අවකාශය ලෙස හැඳින්විය හැකි ය. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් කර ගෙන ඇත. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අවකාශය නිර්ණය වන්නේ අංශු ද්‍රව්‍ය විකිරණ ආදිය හේතුකොට ගෙන ය. අංශු ද්‍රව්‍ය විකිරණ ආදියෙන් තොරව අයින්ස්ටයිනීය අවකාශය නො පවතියි. අංශුවක් නිර්මාණය වූ වහා ම එයට අදාළ ව අවකාශය ද (සාපේක්‍ෂතාවාදී අදහස් අනුව අවකාශ - කාලය ද) නිර්ණය වෙයි. අංශුවකින් වස්තුවකින් විකිරණයෙන් තොරව අවකාශය නොපවතියි. ඒ අතර ම කිවයුත්තේ අවකාශයක් නොමැතිව අංශුවක් ද නොපවතින බව ය. අංශුවක් නිර්මාණය වන්නේ ම අවකාශය (අවකාශ –- කාලය) නිර්මාණය කරමිනි. ඉන්පසු වෙනත් අංශු නිර්මාණය වුවහොත් අවකාශ –- කාලය ද වෙනස් වෙයි.

එපමණක් නො වේ. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අංශුවක් හෝ වස්තුවක් හෝ චලනය වීමේ දී ද අවකාශ –- කාලය වෙනස් වෙයි. මෙය නිව්ටෝනීය අවකාශය සමග සසඳා බැලිය යුතු ය. අංශු චලනය වූ පමණින් නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු නිර්මාණය වූ පමණින් ද නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු හා වස්තු දෙන ලද නිව්ටෝනීය අවකාශයක, අවකාශය වෙනස් නොකරමින් චලනය වෙයි. එහෙත් අයින්ස්ටයිනීය අවකාශයෙහි අංශු හා වස්තු චලනය වනවා පමණක් නො වේ. අංශු හා වස්තු හේතුවෙන් ද එහි චලනය හේතුවෙන් ද අවකාශය (අවකාශ - කාලය) වෙනස් වෙයි.

අයින්ස්ටයිනීය සංකල්ප යොදා ගැනීමේ දී අවකාශය යන්න තනිව යොදා නො ගැනෙයි. ඒ අවකාශ - කාලය යනුවෙන් කාලයත් සමග යොදා ගැනෙයි. එසේ වුවත් අයින්ස්ටයිනීය සංකල්පවල ද අවකාශයට ඇත්තේ නිව්ටෝනීය අවකාශයේ දී මෙන් ම ද්‍රව්‍යමය පැවැත්මකි. එක්කෝ අවකාශය අංශුවක් හෝ වස්තුවක් හෝ වටා පවතින්නක් ලෙස ගත හැකි ය. නැතහොත් අවකාශය අංශු දෙකක් හෝ වස්තු දෙකක් අතර පවතියි. එසේත් නොමැති නම් විකිරණයක් හේතුවෙන් අවකාශය පවතියි. නැතහොත් විකිරණයක් හා වස්තුවක් අතර හෝ විකිරණ දෙකක් අතර හෝ අවකාශයක් පවතියි. මෙහි දී පැවතීම යන්න යොදා ගැනෙන්නේ බටහිර අර්ථයකිනි. එනම් අවකාශයට ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වුව පැවැත්මක් ඇත. සාපේක්‍ෂ වුවත් නිරීක්‍ෂකයා සිටියත් නැතත් එක් අංශුවක් පමණක් තිබුණ ද ඒ අංශුවට සාපේක්‍ෂව අවකාශයක් පවතියි. එය බටහිරයන්ට යථාර්ථයක්, වාස්තවිකත්වයක් හා අවශ්‍ය නම් පරමාර්ථයක් ලෙස පවතියි.

සාපේක්‍ෂතාවක් ගැන කතා කළ ද මෙහි පැවැත්ම සම්බන්ධයෙන් ඇත්තේ නිරපේක්‍ෂතාවකි. අංශුවක් වස්තුවක් විකිරණයක් ඇත්නම් අවකාශයක් (අවකාශ - කාලයක්) වෙයි. එහෙත් සිංහල බෞද්ධයනට මේ පැවැත්ම සම්මුති පැවැත්මක් වෙයි. එය හුදෙක් තවත් සංකල්පයක් පමණකි. සංකල්පයක් ලෙස ගත්කල එය ශූන්‍ය වෙයි. සංකල්පය හා ඉන් කියැවෙන්න නිරීක්‍ෂකයාගේ නිර්මාණයකි. එය විඤ්ඤාණයේ මායාවක් පමණකි.

Wednesday, 25 May 2011

ඇළවෙන කුළුණ පාමුල

අද මුළු ලෝකය පුරා ම පතුරුවා හැර තිබෙන්නේත් මුළු ලෝකය මත ම බලහත්කාරයෙන් පටවා තිබෙන්නේත් යුරෝපයේ, විශේ’ෂයෙන් ම දකුණු යුරෝපයේ පහළොස්වැනි දහසය වැනි සහ දහහත්වැනි සියවස්වල ඇති වූ චින්තන පෙරළියෙන් කරළියට පැමිණි දැනුම ය. මේ දැනුම එක් පැත්තකින් සමස්තය අභිබවා පෞද්ගලිකත්වය පෙරට පැමිණීමේත්, පෙරදිගින් යුරෝපයට ගිය දැනුම අවශෝෂණය කරගැනීමේත්, පාප් වහන්සේගේ ආධිපත්‍යයට එරෙහිව ජර්මනිය ආදී රටවල ව්‍යාපාර මතුවීමේත් ප්‍රතිඵල විය.

මාටින් ලූතර් 1483 සිට 1546 දක්වා ජර්මනියේ විසී ය. ඔහු තම සුප්‍රසිද්ධ ප්‍රවාදය පාප්වහන්සේට ඉදිරිපත් කළේ 1517 දී ය. කලින් කියා ඇති පරිදි ඔහු දෙවියන් වහන්සේ පෞද්ගලිකකරණයට ලක් කළේ ය. සාමූහික ව දෙවියන් වහන්සේ ඇදහීම වෙනුවට ඔහු පෞද්ගලික ව දෙවියන් වහන්සේ ඇදහිය හැකි බව පෙන්වීය. එමගින් ද ඔහු පාප්වහන්සේට අභියෝග කළේ ය. බයිබලය පළමුවෙන් ම ජර්මන් භා’ෂාවට පරිවර්තනය කළේ ඔහු ය. ලතින් හා ග්‍රීක භාෂාවන්ට තිබූ ආධිපත්‍යය නැතිකිරීමටත් ජර්මන් භාෂාව වර්ධනය වීමටත් ඒ හේතුවක් විය. පසු කලෙක යුරෝපයේ ඊනියා ජාතික රාජ්‍ය බිහිවීමට මේ කරුණු ද බලපෑවේ ය.  

මාටින් ලූතර්ගේ සමය වන විට කතෝලික සභාව පිරිහී තිබිණි. එබැවින් යම්කිසි ආකාරයක ප්‍රතිසංස්කරණයක් කතෝලික සභාවට අවශ්‍ය විය. එහෙත් ලූතර් ඒ ප්‍රතිසංස්කරණය කළේ කතෝලික සභාවට එහා යමිනි. ඔහු නව ක්‍රිස්තියානියක් බිහි කිරීමේහි ලා මූලික විය. එහෙත් ඒ සඳහා පදනම වැටී තිබුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ආරමිභ වූ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඉතාලියෙහි ම ය. මා පෞද්ගලිකත්වයේ සංකේතය ලෙස සලකන ඩේවිඩ් ප්‍රතිමාව, 1505 දී මිචලාංජිලෝ අතින් ඉතාලියේ පිරෙන්ට්සි නගරයේ නිමවන විට ලුතර් පශ්චාත් උපාධිධාරී තරුණයෙක් විය. ජනප්‍රවාදය අනුව ඔහු පූජකවරයකු වීමට තීරණය කළේ ද1505 දී ය.

ලූතර්ට ක්‍රිස්තුස් වහන්සේ යනු එකම දෙවියන් වහන්සේ විය. ඔහුට වෙනත් දෙවියන් හෝ භූතයන් හෝ අවශ්‍ය නො වී ය. ක්‍රිස්තුස් වහන්සේ යුදෙව්වන් විසින් දෙවියන් වහන්සේ ලෙස නො සැලකිණි. මාටින් ලූතර් යුදෙව්වන්ට ඒ සම්බන්ධයෙන් කෙසේවත් සමාවක් නො දුන්නේ ය. ඔහු පළමුවෙන් යුදෙව්වන් ක්‍රිස්තියානීන් බවට පත්කිරීමට උත්සාහ කළේ ය. එය අසාර්ථක වීමෙන් පසුව මාටින් ලූතර් යුදෙව්වන්ට එරෙහිව දරුණු ප්‍රචාරයක් ගෙන ගියේ ය. ඔහුගේ ප්‍රශ්නය වූයේ යුදෙව්වන් ක්‍රිස්තුස්වහන්සේ තවත් අනාගත වක්තෘ කෙනකු ලෙස පමණක් සැලකීම ය.

ලූතර් ජර්මනිය පුරා යුදෙව්වන් කෙරෙහි වෛරය පැතිරවීමට මුල පිරුවේ ය. මේ අතර එංගලන්තයේ හා වෙනත් යුරෝපීය රටවල ද යුදෙව්වන්ගේ වෙලෙඳ ව්‍යාපාර හා පොලී ගැනීම් පිළිබඳ ව විරෝධයක් විය. පසුගිය සියවසේ යුරෝපයේ, විශේෂයෙන් ම ජර්මනියේ, පැතිරී ගිය යුදෙව් විරෝධයේ මුල එයට  අවුරුදු හාරසීයකට තරම් ඔබ්බට ලූතර්ගේ කාලයට දිව යයි. යුදෙව්වන් කෙරෙහි විරෝධයක් දැක්වුව ද මාටින් ලූතර් ඇතුළු අනෙක් නව ක්‍රිස්තියානිහු යුදෙව්වන්ගෙන් වියුක්ත දෙවියන් වහන්සේ පිළිබඳ අදහස ලබාගත්හ.  ලූතර් මිය යාමෙන් සියවසක් ගතවීමට පෙර දහහත්වන සියවසේ දී ගැලීලියෝ ගැලීලිට වියුක්ත අදහස්් ද ඇතුළත් කර බටහිර විද්‍යාව නිර්මාණය කිරීමට පසුබිම සැකසුනේ එසේ ය. ලූතර් 1546 දී මියගිය අතර ගැලීලියෝ 1642 දී මිය ගියේ ය.  

බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි බටහිර විද්‍යාව බිහිව ඇත්තේ තරමක පරස්පර ආකාරයකට යැයි යමකුට සිතෙන්නේ නම් පුදුමවීමට හේතුවක් නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ම පරස්පරික යැයි කිසිවකුට කිවහැකි ය. එක් පැත්තකින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පෞද්ගලිකත්වය ඉස්මතු කෙරෙයි. අනෙක් පැත්තෙන් වියුක්ත චින්තනය එහි වැදගත්කමක් අත්කර ගනියි. සාධාරණීකරණය (පොදුකරණය – generalization) පදනම් වන්නේ වියුක්ත චින්තනයෙහි ය. වියුක්ත චින්තනය නොමැතිව බටහිර විද්‍යාවක් නැත. එමෙන් ම පෞද්ගලිකත්වය, පංචෙන්ද්‍රිය පිනවීම (පංචෙන්ද්‍රිය පිනවීම යනු පංචෙන්ද්‍රිය සමග එකතු වූ මනස පිනවීම මිස අනෙකක් නො වේ) නොමැතිව බටහිර ක්‍රිස්තියානි නූතනත්වයවත් නව ක්‍රිස්තියානියවත් නැත.

කතෝලික ආගමේ යම් පමණක වුව ද ඉන්ද්‍රිය දමනයක් විය. සරල ජීවිතය, අල්පෙච්ඡතාව ආදිය ද එහි ලක්‍ෂණ විය. පසුකාලීනව ඇතැම් පාප්වහන්සේලා ඇතුළු පූජකවරුන් ඒ මග නොගිය නමුත් සභාවේ අවධාරණය කෙරුණේ ඉන්ද්‍රිය දමනය හා සැහැල්ලු ජීවිතය ය. පූජකවරුන්ට විවාහය තහනම් විය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි දැනුවත් ව එයට වඩා වෙනස් මගක් අනුගමනය කෙරිණි. මාටින් ලූතර් පූජකවරයා විවාහ වී මුළු මහත් කතෝලික සභාවට ම අභියෝගයක් එල්ල කළේ ය. ඔහු බියර් පානයට ඇලුම් කළේ ය. පෞද්ගලිකත්වය ඉස්මතු කළේ ය. එහෙත් ඒ අතර ක්‍රිස්තුස් වහන්සේ නැවතත් වියුක්ත දෙවි කෙනකුන් බවට පත්කිරීමට කටයුතු කළේ ය.

හුදෙක් පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් පමණක් ඉස්මතු වූ ලෝකයක ගැලීලියෝ කෙනකු පහළ වීමේ හැකියාවක් නැත. ගැලීලියෝ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් අත් නොහළේ ය. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් යනු පංචේන්ද්‍රියවලට ගෝචර අත්දැකීම් බව පුන පුනා කිවයුතු වෙයි. අද ද මෙරට සිටින බටහිර විද්‍යාවේ කසිකබල් පඬියෝ ඊනියා අනුභූතිවාදයක් (empiricism) ගැන කතාකරති. ඔවුන් මේ පංචේන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන සිතන්නේ, කියන්නේ ඒවා මනසින් තොර ලෙස ගැනීමනි. පංචේන්ද්‍රිය ඔස්සේ ලැබෙන අත්දැකීම් මනසෙන් ස්වායත්ත වේ ය යන උපකල්පනයක් ඔවුන් සතු වෙයි. එහෙත් අප මේ ලිපි පෙළෙහි සඳහන් කර ඇති ආකාරයට මනසෙන් තොර, එනම් සංකල්පවලින් තොර කිසිදු සංජානනයක් නො වේ. හැකිනම් සංකල්පයකින් තොර සංජානනයක් සඳහා උදාහරණයක් රසල්ගේ හෝ වෙනත් බටහිර පඬියකුගේ හෝ පොතකින් ලිපියකින් කරුණු දක්වමින් (අපේ පඬියන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පඬියකුගෙන් උපුටා ගැනීමක් නොකර කිසිවක් ප්‍රකාශකළ නො හැකි ය) ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරමි. ඒ සමග අර ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන දුසිම ද එවීමට කටයුතු කරන්නේ නම් මැනවි. එහි දී බරපැන ප්‍රශ්නයක් වී ඇත්නම් මම එය දැරීමට පොරොන්දු වෙමි.

ගැලීලියෝ හෝ ඔහුගේ මිතුරා හෝ ඉතාලියේ පීසා නුවර ඇළවෙන කුළුණින් වස්තු අත්හැරියේ පෞද්ගලිකව එතැන රැස්ව සිටි සියළු දෙනාට බලාගැනීමට ය. ඒ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමකි. බටහිර විද්‍යාවේ ඊනියා අනුභූතිවාදයේ උපත ද ඇළවෙන කුළුණ පාමුල එසේ සිදුවිය. එසේ නම් වියුක්තිය එකතු කරනු ලැබුයේ කොතැනක දි ද? එය ද පීසා නුවර ඇළවෙන කුළුණ පාමුල ම සිදු විය. එහි දී වියුක්තිය කිහිප ආකාරයකින් එකතු කරනු ලැබිණි.

ගැලීලියෝගේ පරීක්‍ෂණය කළ යුතුව තිබුණේ රික්තයක ය. අසමාන ස්කන්ධ, අසමාන හැඩවලින් යුත් වස්තු එක ම උසකින් නිශ්චලතාවේ සිට එකවිට අතහරිනු ලැබූ විට එකවිට පොළොවට වැටෙන්නේ රික්තයක ය. එසේ නැතහොත් වායු ප්‍රතිරෝධය හේතුවෙන් වස්තු එක් එක් අවස්ථාවල දී පොළොවට වැටෙනු ඇත. පිහාටුවක් හා පොල් ගෙඩියක් එසේ අත්හරිනු ලැබුවහොත් පොල් ගෙඩිය ඉක්මණින් වැටෙන බව අපි දනිමු. පරීක්‍ෂණය රික්තයක කළ යුතු වුවත් ගැලීලියෝ හෝ මිතුරා හෝ කුළුණ වටා රික්තයක් නිර්මාණය කළේ නැත. අපට එහි දී සිදුවන්නේ රික්තයක් ඇතැයි උපකල්පනය කිරීමට ය. වෙනත් වචනවලින් කිවහොත් අපට රික්තයක් මනසෙහි මවාගැනීමට සිදු වෙයි.

රික්තයක් නැති තැන රික්තයක් මවා ගැනීමට සිදුවන්නේ වියුක්ත ව ය. එතැන රික්තයක් දැකීම කිසිසේත් ම ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාවක් නො වේ. දෙවනුව ගැලීලියෝ වස්තු වැටීමේ අත්දැකීම සියල්ලන්ගේ, එනම් ඕනෑම අයකුගේ අත්දැකීමක් බවට පත් කළේ ය. කවුරු බලා සිටියත්, කවුරු නිරීක්‍ෂණය කළත් අදාළ වස්තු එක්විට පොළොවට වැටෙන බව ගැලීලියෝ ඒත්තු ගැන්වී ය. වෙනත් වචනවලින් කිවහොත් එය නිරපේක්‍ෂ සාධාරණ අත්දැකීමක් විය. තුන්වෙනුව වස්තුවල ස්කන්ධය පමණක් නොව පාට, හැඩය, සුවඳ ආදිය ද මෙහි දී කිසිදු බලපෑමක් නොකරන බව ගැලීලියෝ හෙළි කළේ ය. 

වස්තු පොළොවට වැටීම ඒ ඒ නිරීක්‍ෂකයාට හෝ ඒ ඒ වස්තුවේ ගුණවලට හෝ සාපේක්‍ෂ නො වීය. කිනම් නිරීක්‍ෂකයාට ද කිනම් වස්තුවලට ද පොදු ගුණයක් විය. එනම් එකවිට එක උසකින් නිශ්චලත්වයෙන් අත්හරිනු ලැබූ වස්තු එකවිට පොළොවට වැටීම ය. මෙහි දී තවත් වැදගත් දෙයක් සිදුවිය. ඕනෑම නිරීක්‍ෂකයකු එකම අයුරකින් නිරීක්‍ෂණය කරන්නේ ය යන්නෙන් එයටත් වඩා වියුක්තයක් ගොඩනගා ගැණිනි. එනම් නිරීක්‍ෂකයකු සිටියත් නැතත් එක උසකින් එකවිට නිසලතාවේ තිබී වැටෙන වස්තු එකවිට පොළොවට ළඟාවන බව ය. ඊනියා වාස්තවිකත්වය (objectivity) බටහිර විද්‍යාවට එක්වූයේ එලෙස ය.  

නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වාස්තවික ලෝකයක් ඇත යන්නත් ඒ වාස්තවික ලෝකයේ ඊනියා නියමවලට අනුව වස්තු ඔබමොබ යනඑන බවත් බටහිර විද්‍යාවට ඇතුල් විණි. පෞද්ගලිකත්වය මත පදනම් වූ නිරීක්‍ෂණ ඔස්සේ පෞද්ගලිකත්වය ඉක්මවූ නිරපේක්‍ෂ වාස්තවිකත්වයකට වියුක්තය ඔස්සේ බටහිර විද්‍යාව මාරු වූයේ එලෙස ය. එය සාමුහිකත්වයක් නො වී ය. සාමුහිකත්වයක් නැති නිරපේක්‍ෂතවක් හා වාස්තවිකත්වයක් විය. මෙය හුදු පෞද්ගලික අනුභූතියක් නො වී ය. එය කිසිවකුගේ අනුභූතියක් නො වෙයි. අවශ්‍ය නම් එය වියුක්ත දෙවියන් වහන්සේගේ අත්දැකීම වෙයි. යුදෙව්වන්ගෙන් ගත් වියුක්ත දෙවියන් හා චින්තනය නැවතත් කරළියට ගෙන ආවේ යුදෙව්වන්ට වෛර කළ මාටින් ලූතර් නම් නව ක්‍රිස්තියානියේ පූජකවරයා ය.  

පෞද්ගලිකත්වය ඉස්මතු කර වසර එකසිය පණහක් ගතවීමට පෙර පෞද්ගලික අත්දැකීම් ඉක්මවූ නිරපේක්‍ෂ වාස්තවිකත්වයක් ගොඩනගා ගැනීම පරස්පරයකි. බටහිර විද්‍යාව හා බටහිර ක්‍රිස්තියානී නූතනත්වයට ගැලීලියෝගේ කාලයේ සිට ම මේ පරස්පරය විය. මේ නිරපේක්‍ෂ වාස්තවික කතා බටහිර දැනුමේ දී හැඳින්වෙන්නේ පාරආඛ්‍යාන (meta narratives) නමින් ය. බටහිර විද්‍යාව හැකි සෑම විටෙක ම පාරආඛ්‍යාන පිටුපස දිවී ය. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය විශ්වයේ සියළු වස්තු හා අංශුවලට බලපාන පාරආඛ්‍යානයකි. මාක්ස්ගේ ඊනියා සමාජ විකාශන ප්‍රවාදය ද පාරආඛ්‍යානයකි. එහෙත් මේ පාරආඛ්‍යාන අද කඩා වැටෙමින් පවතියි. එයට හේතුව බටහිරයන්ට පාරආඛ්‍යාන පිළිබඳව ආඛ්‍යානයක් ගොඩ නගාගැනීමට නොහැකි වීම ය.