Main Logo

Wednesday 25 May 2011

ඇළවෙන කුළුණ පාමුල

අද මුළු ලෝකය පුරා ම පතුරුවා හැර තිබෙන්නේත් මුළු ලෝකය මත ම බලහත්කාරයෙන් පටවා තිබෙන්නේත් යුරෝපයේ, විශේ’ෂයෙන් ම දකුණු යුරෝපයේ පහළොස්වැනි දහසය වැනි සහ දහහත්වැනි සියවස්වල ඇති වූ චින්තන පෙරළියෙන් කරළියට පැමිණි දැනුම ය. මේ දැනුම එක් පැත්තකින් සමස්තය අභිබවා පෞද්ගලිකත්වය පෙරට පැමිණීමේත්, පෙරදිගින් යුරෝපයට ගිය දැනුම අවශෝෂණය කරගැනීමේත්, පාප් වහන්සේගේ ආධිපත්‍යයට එරෙහිව ජර්මනිය ආදී රටවල ව්‍යාපාර මතුවීමේත් ප්‍රතිඵල විය.

මාටින් ලූතර් 1483 සිට 1546 දක්වා ජර්මනියේ විසී ය. ඔහු තම සුප්‍රසිද්ධ ප්‍රවාදය පාප්වහන්සේට ඉදිරිපත් කළේ 1517 දී ය. කලින් කියා ඇති පරිදි ඔහු දෙවියන් වහන්සේ පෞද්ගලිකකරණයට ලක් කළේ ය. සාමූහික ව දෙවියන් වහන්සේ ඇදහීම වෙනුවට ඔහු පෞද්ගලික ව දෙවියන් වහන්සේ ඇදහිය හැකි බව පෙන්වීය. එමගින් ද ඔහු පාප්වහන්සේට අභියෝග කළේ ය. බයිබලය පළමුවෙන් ම ජර්මන් භා’ෂාවට පරිවර්තනය කළේ ඔහු ය. ලතින් හා ග්‍රීක භාෂාවන්ට තිබූ ආධිපත්‍යය නැතිකිරීමටත් ජර්මන් භාෂාව වර්ධනය වීමටත් ඒ හේතුවක් විය. පසු කලෙක යුරෝපයේ ඊනියා ජාතික රාජ්‍ය බිහිවීමට මේ කරුණු ද බලපෑවේ ය.  

මාටින් ලූතර්ගේ සමය වන විට කතෝලික සභාව පිරිහී තිබිණි. එබැවින් යම්කිසි ආකාරයක ප්‍රතිසංස්කරණයක් කතෝලික සභාවට අවශ්‍ය විය. එහෙත් ලූතර් ඒ ප්‍රතිසංස්කරණය කළේ කතෝලික සභාවට එහා යමිනි. ඔහු නව ක්‍රිස්තියානියක් බිහි කිරීමේහි ලා මූලික විය. එහෙත් ඒ සඳහා පදනම වැටී තිබුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ආරමිභ වූ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඉතාලියෙහි ම ය. මා පෞද්ගලිකත්වයේ සංකේතය ලෙස සලකන ඩේවිඩ් ප්‍රතිමාව, 1505 දී මිචලාංජිලෝ අතින් ඉතාලියේ පිරෙන්ට්සි නගරයේ නිමවන විට ලුතර් පශ්චාත් උපාධිධාරී තරුණයෙක් විය. ජනප්‍රවාදය අනුව ඔහු පූජකවරයකු වීමට තීරණය කළේ ද1505 දී ය.

ලූතර්ට ක්‍රිස්තුස් වහන්සේ යනු එකම දෙවියන් වහන්සේ විය. ඔහුට වෙනත් දෙවියන් හෝ භූතයන් හෝ අවශ්‍ය නො වී ය. ක්‍රිස්තුස් වහන්සේ යුදෙව්වන් විසින් දෙවියන් වහන්සේ ලෙස නො සැලකිණි. මාටින් ලූතර් යුදෙව්වන්ට ඒ සම්බන්ධයෙන් කෙසේවත් සමාවක් නො දුන්නේ ය. ඔහු පළමුවෙන් යුදෙව්වන් ක්‍රිස්තියානීන් බවට පත්කිරීමට උත්සාහ කළේ ය. එය අසාර්ථක වීමෙන් පසුව මාටින් ලූතර් යුදෙව්වන්ට එරෙහිව දරුණු ප්‍රචාරයක් ගෙන ගියේ ය. ඔහුගේ ප්‍රශ්නය වූයේ යුදෙව්වන් ක්‍රිස්තුස්වහන්සේ තවත් අනාගත වක්තෘ කෙනකු ලෙස පමණක් සැලකීම ය.

ලූතර් ජර්මනිය පුරා යුදෙව්වන් කෙරෙහි වෛරය පැතිරවීමට මුල පිරුවේ ය. මේ අතර එංගලන්තයේ හා වෙනත් යුරෝපීය රටවල ද යුදෙව්වන්ගේ වෙලෙඳ ව්‍යාපාර හා පොලී ගැනීම් පිළිබඳ ව විරෝධයක් විය. පසුගිය සියවසේ යුරෝපයේ, විශේෂයෙන් ම ජර්මනියේ, පැතිරී ගිය යුදෙව් විරෝධයේ මුල එයට  අවුරුදු හාරසීයකට තරම් ඔබ්බට ලූතර්ගේ කාලයට දිව යයි. යුදෙව්වන් කෙරෙහි විරෝධයක් දැක්වුව ද මාටින් ලූතර් ඇතුළු අනෙක් නව ක්‍රිස්තියානිහු යුදෙව්වන්ගෙන් වියුක්ත දෙවියන් වහන්සේ පිළිබඳ අදහස ලබාගත්හ.  ලූතර් මිය යාමෙන් සියවසක් ගතවීමට පෙර දහහත්වන සියවසේ දී ගැලීලියෝ ගැලීලිට වියුක්ත අදහස්් ද ඇතුළත් කර බටහිර විද්‍යාව නිර්මාණය කිරීමට පසුබිම සැකසුනේ එසේ ය. ලූතර් 1546 දී මියගිය අතර ගැලීලියෝ 1642 දී මිය ගියේ ය.  

බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි බටහිර විද්‍යාව බිහිව ඇත්තේ තරමක පරස්පර ආකාරයකට යැයි යමකුට සිතෙන්නේ නම් පුදුමවීමට හේතුවක් නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ම පරස්පරික යැයි කිසිවකුට කිවහැකි ය. එක් පැත්තකින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පෞද්ගලිකත්වය ඉස්මතු කෙරෙයි. අනෙක් පැත්තෙන් වියුක්ත චින්තනය එහි වැදගත්කමක් අත්කර ගනියි. සාධාරණීකරණය (පොදුකරණය – generalization) පදනම් වන්නේ වියුක්ත චින්තනයෙහි ය. වියුක්ත චින්තනය නොමැතිව බටහිර විද්‍යාවක් නැත. එමෙන් ම පෞද්ගලිකත්වය, පංචෙන්ද්‍රිය පිනවීම (පංචෙන්ද්‍රිය පිනවීම යනු පංචෙන්ද්‍රිය සමග එකතු වූ මනස පිනවීම මිස අනෙකක් නො වේ) නොමැතිව බටහිර ක්‍රිස්තියානි නූතනත්වයවත් නව ක්‍රිස්තියානියවත් නැත.

කතෝලික ආගමේ යම් පමණක වුව ද ඉන්ද්‍රිය දමනයක් විය. සරල ජීවිතය, අල්පෙච්ඡතාව ආදිය ද එහි ලක්‍ෂණ විය. පසුකාලීනව ඇතැම් පාප්වහන්සේලා ඇතුළු පූජකවරුන් ඒ මග නොගිය නමුත් සභාවේ අවධාරණය කෙරුණේ ඉන්ද්‍රිය දමනය හා සැහැල්ලු ජීවිතය ය. පූජකවරුන්ට විවාහය තහනම් විය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි දැනුවත් ව එයට වඩා වෙනස් මගක් අනුගමනය කෙරිණි. මාටින් ලූතර් පූජකවරයා විවාහ වී මුළු මහත් කතෝලික සභාවට ම අභියෝගයක් එල්ල කළේ ය. ඔහු බියර් පානයට ඇලුම් කළේ ය. පෞද්ගලිකත්වය ඉස්මතු කළේ ය. එහෙත් ඒ අතර ක්‍රිස්තුස් වහන්සේ නැවතත් වියුක්ත දෙවි කෙනකුන් බවට පත්කිරීමට කටයුතු කළේ ය.

හුදෙක් පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් පමණක් ඉස්මතු වූ ලෝකයක ගැලීලියෝ කෙනකු පහළ වීමේ හැකියාවක් නැත. ගැලීලියෝ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් අත් නොහළේ ය. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් යනු පංචේන්ද්‍රියවලට ගෝචර අත්දැකීම් බව පුන පුනා කිවයුතු වෙයි. අද ද මෙරට සිටින බටහිර විද්‍යාවේ කසිකබල් පඬියෝ ඊනියා අනුභූතිවාදයක් (empiricism) ගැන කතාකරති. ඔවුන් මේ පංචේන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන සිතන්නේ, කියන්නේ ඒවා මනසින් තොර ලෙස ගැනීමනි. පංචේන්ද්‍රිය ඔස්සේ ලැබෙන අත්දැකීම් මනසෙන් ස්වායත්ත වේ ය යන උපකල්පනයක් ඔවුන් සතු වෙයි. එහෙත් අප මේ ලිපි පෙළෙහි සඳහන් කර ඇති ආකාරයට මනසෙන් තොර, එනම් සංකල්පවලින් තොර කිසිදු සංජානනයක් නො වේ. හැකිනම් සංකල්පයකින් තොර සංජානනයක් සඳහා උදාහරණයක් රසල්ගේ හෝ වෙනත් බටහිර පඬියකුගේ හෝ පොතකින් ලිපියකින් කරුණු දක්වමින් (අපේ පඬියන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පඬියකුගෙන් උපුටා ගැනීමක් නොකර කිසිවක් ප්‍රකාශකළ නො හැකි ය) ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරමි. ඒ සමග අර ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන දුසිම ද එවීමට කටයුතු කරන්නේ නම් මැනවි. එහි දී බරපැන ප්‍රශ්නයක් වී ඇත්නම් මම එය දැරීමට පොරොන්දු වෙමි.

ගැලීලියෝ හෝ ඔහුගේ මිතුරා හෝ ඉතාලියේ පීසා නුවර ඇළවෙන කුළුණින් වස්තු අත්හැරියේ පෞද්ගලිකව එතැන රැස්ව සිටි සියළු දෙනාට බලාගැනීමට ය. ඒ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමකි. බටහිර විද්‍යාවේ ඊනියා අනුභූතිවාදයේ උපත ද ඇළවෙන කුළුණ පාමුල එසේ සිදුවිය. එසේ නම් වියුක්තිය එකතු කරනු ලැබුයේ කොතැනක දි ද? එය ද පීසා නුවර ඇළවෙන කුළුණ පාමුල ම සිදු විය. එහි දී වියුක්තිය කිහිප ආකාරයකින් එකතු කරනු ලැබිණි.

ගැලීලියෝගේ පරීක්‍ෂණය කළ යුතුව තිබුණේ රික්තයක ය. අසමාන ස්කන්ධ, අසමාන හැඩවලින් යුත් වස්තු එක ම උසකින් නිශ්චලතාවේ සිට එකවිට අතහරිනු ලැබූ විට එකවිට පොළොවට වැටෙන්නේ රික්තයක ය. එසේ නැතහොත් වායු ප්‍රතිරෝධය හේතුවෙන් වස්තු එක් එක් අවස්ථාවල දී පොළොවට වැටෙනු ඇත. පිහාටුවක් හා පොල් ගෙඩියක් එසේ අත්හරිනු ලැබුවහොත් පොල් ගෙඩිය ඉක්මණින් වැටෙන බව අපි දනිමු. පරීක්‍ෂණය රික්තයක කළ යුතු වුවත් ගැලීලියෝ හෝ මිතුරා හෝ කුළුණ වටා රික්තයක් නිර්මාණය කළේ නැත. අපට එහි දී සිදුවන්නේ රික්තයක් ඇතැයි උපකල්පනය කිරීමට ය. වෙනත් වචනවලින් කිවහොත් අපට රික්තයක් මනසෙහි මවාගැනීමට සිදු වෙයි.

රික්තයක් නැති තැන රික්තයක් මවා ගැනීමට සිදුවන්නේ වියුක්ත ව ය. එතැන රික්තයක් දැකීම කිසිසේත් ම ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාවක් නො වේ. දෙවනුව ගැලීලියෝ වස්තු වැටීමේ අත්දැකීම සියල්ලන්ගේ, එනම් ඕනෑම අයකුගේ අත්දැකීමක් බවට පත් කළේ ය. කවුරු බලා සිටියත්, කවුරු නිරීක්‍ෂණය කළත් අදාළ වස්තු එක්විට පොළොවට වැටෙන බව ගැලීලියෝ ඒත්තු ගැන්වී ය. වෙනත් වචනවලින් කිවහොත් එය නිරපේක්‍ෂ සාධාරණ අත්දැකීමක් විය. තුන්වෙනුව වස්තුවල ස්කන්ධය පමණක් නොව පාට, හැඩය, සුවඳ ආදිය ද මෙහි දී කිසිදු බලපෑමක් නොකරන බව ගැලීලියෝ හෙළි කළේ ය. 

වස්තු පොළොවට වැටීම ඒ ඒ නිරීක්‍ෂකයාට හෝ ඒ ඒ වස්තුවේ ගුණවලට හෝ සාපේක්‍ෂ නො වීය. කිනම් නිරීක්‍ෂකයාට ද කිනම් වස්තුවලට ද පොදු ගුණයක් විය. එනම් එකවිට එක උසකින් නිශ්චලත්වයෙන් අත්හරිනු ලැබූ වස්තු එකවිට පොළොවට වැටීම ය. මෙහි දී තවත් වැදගත් දෙයක් සිදුවිය. ඕනෑම නිරීක්‍ෂකයකු එකම අයුරකින් නිරීක්‍ෂණය කරන්නේ ය යන්නෙන් එයටත් වඩා වියුක්තයක් ගොඩනගා ගැණිනි. එනම් නිරීක්‍ෂකයකු සිටියත් නැතත් එක උසකින් එකවිට නිසලතාවේ තිබී වැටෙන වස්තු එකවිට පොළොවට ළඟාවන බව ය. ඊනියා වාස්තවිකත්වය (objectivity) බටහිර විද්‍යාවට එක්වූයේ එලෙස ය.  

නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වාස්තවික ලෝකයක් ඇත යන්නත් ඒ වාස්තවික ලෝකයේ ඊනියා නියමවලට අනුව වස්තු ඔබමොබ යනඑන බවත් බටහිර විද්‍යාවට ඇතුල් විණි. පෞද්ගලිකත්වය මත පදනම් වූ නිරීක්‍ෂණ ඔස්සේ පෞද්ගලිකත්වය ඉක්මවූ නිරපේක්‍ෂ වාස්තවිකත්වයකට වියුක්තය ඔස්සේ බටහිර විද්‍යාව මාරු වූයේ එලෙස ය. එය සාමුහිකත්වයක් නො වී ය. සාමුහිකත්වයක් නැති නිරපේක්‍ෂතවක් හා වාස්තවිකත්වයක් විය. මෙය හුදු පෞද්ගලික අනුභූතියක් නො වී ය. එය කිසිවකුගේ අනුභූතියක් නො වෙයි. අවශ්‍ය නම් එය වියුක්ත දෙවියන් වහන්සේගේ අත්දැකීම වෙයි. යුදෙව්වන්ගෙන් ගත් වියුක්ත දෙවියන් හා චින්තනය නැවතත් කරළියට ගෙන ආවේ යුදෙව්වන්ට වෛර කළ මාටින් ලූතර් නම් නව ක්‍රිස්තියානියේ පූජකවරයා ය.  

පෞද්ගලිකත්වය ඉස්මතු කර වසර එකසිය පණහක් ගතවීමට පෙර පෞද්ගලික අත්දැකීම් ඉක්මවූ නිරපේක්‍ෂ වාස්තවිකත්වයක් ගොඩනගා ගැනීම පරස්පරයකි. බටහිර විද්‍යාව හා බටහිර ක්‍රිස්තියානී නූතනත්වයට ගැලීලියෝගේ කාලයේ සිට ම මේ පරස්පරය විය. මේ නිරපේක්‍ෂ වාස්තවික කතා බටහිර දැනුමේ දී හැඳින්වෙන්නේ පාරආඛ්‍යාන (meta narratives) නමින් ය. බටහිර විද්‍යාව හැකි සෑම විටෙක ම පාරආඛ්‍යාන පිටුපස දිවී ය. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය විශ්වයේ සියළු වස්තු හා අංශුවලට බලපාන පාරආඛ්‍යානයකි. මාක්ස්ගේ ඊනියා සමාජ විකාශන ප්‍රවාදය ද පාරආඛ්‍යානයකි. එහෙත් මේ පාරආඛ්‍යාන අද කඩා වැටෙමින් පවතියි. එයට හේතුව බටහිරයන්ට පාරආඛ්‍යාන පිළිබඳව ආඛ්‍යානයක් ගොඩ නගාගැනීමට නොහැකි වීම ය.