Main Logo

Showing posts with label සුසමාදර්ශ. Show all posts
Showing posts with label සුසමාදර්ශ. Show all posts

Monday, 9 December 2013

ගවුස් බටහිර ගණිතයේ හා විද්‍යාවේ කළ වෙනස


පැරණි ග්‍රීකයෝ එකල විවිධ රටවල තිබූ දැනුම් වියුක්ත ආකාරයකින් ඉදිරිපත් කළහ. ඒ සඳහා හොඳම උදාහරණය අද යුක්ලීඩීය ජ්‍යාමිතිය යනුවෙන් හැඳින්වෙන දැනුම් පද්ධතිය ය. ඔවුහු ඒ අතර ස්වසිද්ධාත්මක (axiomatic) ක්‍රමය ද ඉදිරිපත් කළහ. ස්වසිද්ධි (axioms) හෙවත් ප්‍රත්‍යක්‍ෂ කිහිපයක් මත පදනම් ව ඇරිස්ටෝටලීය න්‍යාය (logic)  යනුවෙන් හැඳින්වෙන න්‍යාය යොදාගනිමින් තර්කයෙන් යම් යම් නිගමනවලට පැමිණීමට ඔවුහු සමත්වූහ. මේ ස්වසිද්ධිවල සත්‍යාසත්‍යතාව ගැන අද ප්‍රශ්න නොකෙරෙන නමුත් එදා ඒ ස්වසිද්ධි සත්‍ය ලෙස පිළිගන්නා ලද බව පෙනී යයි. ඒවාට සිංහලෙන් ප්‍රත්‍යක්‍ෂ යන්න ද යොදාගැනෙන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ම ඒ සත්‍ය යැයි එකල පිළිගනු ලැබීම නිසා ය. සිංහල පාර්භාෂික ශබ්ද තැනූ අය ස්වසිද්ධි හෙවත් ඇක්සියම් යන්නෙහි ඒ අරුත ද සලකා ඇති බව පෙනී යයි.

ස්වසිද්ධි වෙනත් ප්‍රකාශවලින් නිගමනය කළ නොහැකි බව පැරණි ග්‍රීකයෝ පිළිගත්හ. ස්වසිද්ධියක් යැයි සැලකෙන්නක් වෙනත් ප්‍රකාශයක් හෝ ප්‍රකාශ හෝ ඇසුරෙන් ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් තර්කයෙන් නිගමනය කළහැකි වී නම් එය ස්වසිද්ධියක් නොවේ යැයි ග්‍රීකයෝ නිගමනය කළහ. යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සමාන්තර ස්වසිද්ධිය (parallel axiom) ගැන ග්‍රීකයෝ ද පහළොස්වැනි සියවසෙන් පසුව බටහිරයෝ ද සැක පහළ කළහ. ඒ ස්වසිද්ධියෙන් කියැවෙන්නේ දෙන ලද සරල රේඛාවක නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට ඇඳිය හැක්කේ එකම එක සමාන්තර සරල රේඛාවක් පමණක් බව ය. 

පැරණි ග්‍රීක ගණිතඥයෝ ද පසුව බටහිර ගණිතඥයෝ ද සමාන්තර ස්වසිද්ධිය වෙනත් ප්‍රකාශවලින් (ස්වසිද්ධිවලින්) නිගමනය කළ (අපෝහනය කළ - ලබාගත) හැකි දැයි සොයා බැලුහ. එහෙත් එය වෙනත් ස්වසිද්ධියකින් හෝ ස්වසිද්ධිවලින් හෝ ලබාගත නොහැකි විය. එබැවින් සමාන්තර ස්වසිද්ධිය ස්වසිද්ධියක් ලෙස ම සැලකිණි. කෙසේ වෙතත් සමාන්තර ස්වසිද්ධිය ස්වසිද්ධියක් දැයි සැක පහළ කරන්නට ඇත්තේ එහි සත්‍යතාව පිළිබඳ සැකයක් පහළ වූ නිසා ද යන්න පැහැදිලි නැත. 

දහනවවැනි සියවසේ බිහි වූ විශිෂ්ටතම බටහිර ගණිතඥයකු වූ ද බටහිර භෞතික විද්‍යාඥයකු වූ ද ගවුස් සමාන්තර ස්වසිද්ධිය වෙනත් ස්වසිද්ධියකින් අපෝහනය (නිගමනය) කිරීමට නොහැකි වූ විට ස්වසිද්ධිය යන්නට වෙනත් ම අදහසක් දුන්නේ ය. එය එක්තරා අයුරකින් ගත්කල වත්මන් පාරිභාෂික වදන් යොදාගන්නේ නම් ස්වසිද්ධි පිළිබඳ සුසමාදර්ශී වෙනසක් (paradigm shift)  ලෙස සලකමි. එතෙක් ස්වසිද්ධිය යන්න සත්‍යය සමග බැඳී තිබුණ නමුත් ඉන්පසුව ස්වසිද්ධියක සත්‍යාසත්‍යතාව ගැන සැලකීමට බටහිර ගණිතඥයෝ උනන්දු නො වූහ. ස්වසිද්ධියක් පද්ධතියෙහි අනෙක් ස්වසි්ද්ධි සමග අසංගත නොවී නම් එය ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ නම් ඒ ප්‍රමාණවත් විය. ප්‍රත්‍යක්‍ෂබව තවදුරටත් බටහිර ගණිතඥයන්ගේ සැලකිල්ලට යොමු නො වී ය. කෙසේ වෙතත් වියුක්ත ප්‍රකාශ වූ ස්වසිද්ධිවල ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නොවූ බව ද සඳහන් කළ යුතු ය. 

ගවුස්  සමාන්තර ප්‍රත්‍යක්‍ෂය වෙනුවට වෙනත් ප්‍රත්‍යක්‍ෂ දෙකක් ඉදිරිපත් කළේ ය. දෙන ලද සමාන්තර රේඛාවක නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට සමාන්තර ව එක් සරල රේඛාවක්වත් ඇඳිය නොහැකි ය යන්න එක් ප්‍රත්‍යක්‍ෂයක් විය. දෙවැනි ප්‍රත්‍යක්‍ෂය වූයේ එවැනි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට සමාන්තර ව සරල රේඛා එකකට වඩා ඇඳිය හැකි බව ය. දැන් සමාන්තර රේඛා පිළිබඳ ස්වසිද්ධි තුනක් විය. ඒ ස්වසිද්ධි වෙන වෙන ම යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක් ස්වසි්ද්ධි සමග ගත්විට ජ්‍යාමිති තුනකට පදනම් විය. එනම් ජ්‍යාමිතිය පිළිබඳ දැනුම් පද්ධති තුනක් විය. පැරණි යුක්ලීඩීය ජ්‍යාමිතියට අමතර ව තවත් ජ්‍යාමිති දෙකක් ඇති විය. ඒ ජ්‍යාමිති නිර්යුක්ලීඩීය ජ්‍යාමිති (non Euclidean)  යන නමින් හැඳින්වෙයි.

නිර්යුක්ලීඩීය ජ්‍යාමිතිවල ප්‍රමේයය, එනම් ස්වසිද්ධි මත පදනම් ව ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් ලබාගන්නා වඩා සාධාරණ (සාධාරණ අවශ්‍යතා මත පදනම් ව යන අදහසින්) නිගමන, යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ප්‍රමේයයන්ගෙන් වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් නිර්යුක්ලීඩිය ජ්‍යාමිතිවල ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව එක්කෝ අංශක 180 ට වැඩිය, නැත්නම් අඩු ය. ගවුස්ගේ සුසමාදර්ශී වෙනසින් පසුව බටහිර ගණිතඥයන්ට ස්වසිද්ධිවල සත්‍යාසත්‍යතාව ප්‍රශ්නයක් නො වී ය. බටහිර ගණිතයේ නිගමන භෞතික වශයෙන් (භෞතික යන්න පංචෙන්ද්‍රිය ගෝචර ලෙස දැනට සලකමු) සත්‍ය ද නැත් ද යන්න දැනගැනීමට  බටහිර ගණිතඥයන්ට අවශ්‍ය නො වේ. ඔවුන් සැලිකිලිමත් වන්නේ සංගතබව ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ වන්නේ ද ආදිය පිළිබඳ පමණකි. ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත දැනුම් පද්ධතියක් වූ බටහිර ගණිතයට පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවීම කෙසේවත් ප්‍රශ්නයක් නො වේ.

බටහිර ගණිතය පිළිබඳ ව ජනප්‍රිය පොතපතින් පමණක් හදාරා ඇති එහෙත් බටහිර ගණිතය හදාරා නොමැති මහාචාර්ය අමරතුංග මහතා සකල කලා භූෂණ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වැන්නන්ට ගවුස් විසින් කරන ලද සුසමාදර්ශී වෙනස ගැන වැටහීමක් නොමැති නම් මම ඒ ගැන පුදුම නො වෙමි. මෙරට ගණිත මහාචාර්යවරුන්ට ද ඒ ගැන කිසිම වැටහීමක් නැත. බටහිර රටවල ද ගවුස්ගේ සුසමාදර්ශී වෙනස ගැන කියන්නන් නැතැයි සිතමි. බටහිර ගණිතයේ ඇති ලක්‍ෂණ පෙරදිග කිසිම ගණිතයක තිබී නැත. එසේ වුවත් ඩී එස් සී උපාධිධාරී දන්ත වෛද්‍ය මහාචාර්ය අමරතුංග මහතා පෙරදිග සංයුක්ත ගණිතය හා බටහිර ගණිතය අතර සමානකම් දකියි. 

මා අමරතුංග මහතාටත් කාලෝ ෆොන්සේකා මහතාටත් බටහිර විද්‍යාව හා ගණිතය සම්බන්ධ කරුණු පිළිබඳ වාචික ව කෙරෙන විවාදයකට ආරධනා කර ඇති නමුත් ඔවුන් මෙතෙක් ඒ ආරාධනා කිසිවක් භාරගෙන නැත. ඇතැම් විට ඒ මහත්වරුන් මට වඩා බුද්ධිමත් බැවින් මා සමග වාදකිරීම ඔවුන්ගේ ගෞරවයට කැළලක් වන්නේ යැයි සිතනවා විය හැකි ය. මෙය, එනම් වාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නොවන බව, මෙරට උගතුන් අතර ඇති පොදු මතයක් බැවින් මට ඒ ගැන කම්පාවක් ද නැත. වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා දෙමළ බෞද්ධයන් ගැන කරන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳ වාදයකට මා ආරාධනා කළ විට ඒ මහතා ද එම ආරාධනය නො පිළිගත්තේ ය. ඒ පිළිබඳ ව ඉරිදා දිවයින පුවත්පත උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතාගෙන් විමසු විට ඒ මහතා කදිම පිළිතුරක් දී තිබිණි. මගේ මතකය අනුව උසස් අධ්‍යාපන ඇමතිතුමා කියා තිබුණේ මා ද වැදගත් පුද්ගලයකු බවත් එහෙත් මට වඩා වැදගත් වැඩදායක බුද්ධිමත් සුනිල් ආරියරත්න මහතා මා සමග විවාදයට නොඑළඹීම අනුමත කරන බවත් ය. උසස් අධ්‍යාපන ඇමතිතුමාට එවැනි තීරණයක් දීමට විශ්වවිද්‍යාල පනතින් බලතල පැවරී නැති නමුත් ඒ මහතා පැවසුවේ රටේ උගතුන් අතර ඇති මතයකි. 

ගවුස්ගේ සුසමාදර්ශී වෙනස අද වන විට බටහිර භෞතික විද්‍යාවට ද රිංගා ගෙන ඇත. මෙරට සිටින බටහිර වෛද්‍යවරුන් නොපිළිගත්ත ද, බටහිර විද්‍යාවේ දියුණුම අංශය බටහිර භෞතික විද්‍යාව වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව යනු තාක්‍ෂණික දැනුම් පද්ධතියක් මිස බටහිර ශුද්ධ විද්‍යාවේ දැනුම් පද්ධතියක් නො වේ. බටහිර භෞතික විද්‍යාවේ ද දියුණුම අංශ වනුයේ ක්වොන්ටම් භෞතිකය ඇසුරෙන් ගොඩනැගී ඇති තන්තු ප්‍රවාදය (string theory)  වැනි දැනුම් පද්ධති හා සාධාරණ සාපේක්‍ෂතාවාදය ඇසුරෙන් ගොඩනැගී ඇති විශ්වවේදය (cosmology) වැනි දැනුම් පද්ධතීන් ය. 

ක්වොන්ටම් භෞතික විද්‍යාව හා සාධාරණ සාපේක්‍ෂතාවාදය එකතු කිරීමට බටහිර භෞතික විද්‍යාඥයන් දැනට අවුරුදු අසූවකට වැඩි කලක් උත්සාහ ගෙන ඇති නමුත්  ඒ සාර්ථක වී නැත. එසේ වුවත් විශ්වවේදයෙහි දී තන්තු ප්‍රවාදයෙහි ඇති දැනුම යොදා ගැනීමට ඔවුහු පෙළඹෙති. ඔවුන් එසේ කරන්නේ ෙසෙද්ධාන්තිකව ය. එහි දී ඔවුහු ගණිතඥයන් මෙන් ක්‍රියාකරති. තමන් ඉදිරිපත් කරන ප්‍රවාදවල සත්‍යසත්‍යතාව ගැන විමසීමට ඔවුහු උනන්දු නො වෙති. ඔවුන්ට අවශ්‍ය ෙසෙද්ධාන්තික, ගණිතමය සංගත බව පමණකි. විශ්වය ආරම්භයේ පැවති තත්වයන් තවමත් පරීක්‍ෂණාගාරයක දී නිර්මාණය කිරීමට නොහැකි බව පවසමින් ඔවුහු තම ප්‍රවාද ඉදිරිපත් කරති. 

මෙහි දී පොපර්ගේ අසත්‍යකරණය කුණු කූඩයට ද පහත් තැනකට ඇද වැටෙයි. බටහිර විද්‍යාවේ දියුණුම අංශවල ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් කිසිසේත් ම වලංගු නො වේ. වියුක්ත චින්තනය ගැන මෙලෝ අත්දැකීමක්, වැටහීමක් නැති මෙරට කසිකබල් ඉතිහාසඥයන් ඊනියා පොපේරියානු අසත්‍යකරණයක් ගැන නන්දොඩවන විට ඔවුන් ගැන අනුකම්පා කිරීම හැර කරන්නට වෙනත් දෙයක් නැත. පාසලේ දී මගේ ප්‍රියතම විෂය වූයේත්, ඥනවිභාගය හැරෙන්නට තවමත් මා ප්‍රියකරන, එහෙත් හුදු කතන්දර වූ විෂය වනුයේත් ව්‍යවහාරික ගණිතය (ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව) හා ඉතිහාසය ය. මේ විෂය අතර සමානකම් මෙන් ම අසමානකම් ද මම හොඳහැටි දනිමි. 

බටහිර ඉතිහාසය යන විෂයය වියුක්ත දැනුම් පද්ධතියක් වීමට බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසන පට්ටපල් බොරු කතන්දරවලින් සමන්විත වෙයි. මහාවංසය ලියැවී ඇත්තේ සංයුක්ත දැනුම් පද්ධතියක් ලෙස ය. එහි අඩුපාඩුකම් ඇත. දෙමළ ජාතිවාදී ඉතිහාසඥයන් විසින් ඒ විවේචනය කෙරෙනුයේ ඔවුන්ගේ ඉල්ලීම් ඒ මගින් යුක්තියුක්ත කිරීමට නොහැකි බැවිනි. දෙමළ ජාතිවාදය පිටුපස සිටින බටහිරයන් මහාවංස භීතිකාවක් මවා ඇත්තේ ද එබැවිනි. මම මහාවංසය පිළිබඳ බටහිරයන් හා ඔවුන්ගේ දාසයන් ඉදිරිපත් කරන විවේචන දණ්ඩෙන් ගෙන ගැරඬි හැවක් මෙන් විසිකරමි. 

එහෙත් මෙරට සිටින මුග්ධ අනුකාරකයන් සිතන්නේ මහාවංසය පිළිබඳ බටහිර විවේචනය වාස්තවික එකක් යැයි අප විසින් පිළිගනු ලැබිය යුතු බව ය. බටහිර භෞතික විද්‍යාව ද වාස්තවික නොවන කල බටහිර ඉතිහාසය ඇතුළු බටහිර සමාජයීය විද්‍යාවන් ගැන කියනුම කවරේ ද? දෙමළ ජාතිවාදය යුක්තියුක්ත කරන බටහිර දැනුම මහාචාර්ය කාලෝ ෆොන්සේකාට ප්‍රියමනාප වීමට හැකි වුවත් සිංහල ජාතිකවාදියකු යැයි සිතිය හැකි මහාචාර්ය අමරතුංග මහතා බටහිර දැනුම පසුපස යන්නේ කිනම් පදනමකින් ද?   


එහෙත් මහාවංසය ගැන පමණක් නොව සමස්තයක් ලෙස ගත්කල මහාවිහාරික සම්ප්‍රදාය ගැන මගේ විවේචන වෙයි. මහාචාර්ය අමරතුංග මහතා ඇතුළු ථෙරවාදයේ ඊනියා ආරක්‍ෂකයන් මට විරුද්ධ වන්නේ මහාවිහාරික දැනුම් පද්ධතිය ගැන මගේ විවේචන දිරවාගත නොහැකි බැවිනි. එසේ වුවත් බටහිර විවේචනවලට විරුද්ධව මම මහාවිහාරය වෙනුවෙන් පෙනී සිටිමි. අවුරුදු පහළොවකට පෙර මගේ පියා මියගිය අවස්ථාවේ දී මා ලියූ අප මහාවිහාරයේ යන ලිපියේ ආත්මය සමග මම තවමත් බැඳී ඇත්තෙමි. ඉතිහාසය ද ප්‍රවාද මත පදනම් වන විට පට්ටපල් බොරු වෙයි. මහාවිහාර ඉතිහාසය ප්‍රවාද මත පදනම් වූ ඉතිහාසයක් නො වේ. එය ජනශ්‍රැතිය මත පදනම් වෙයි. ජනශ්‍රැතිය වැරදි විය හැකි ය. එහෙත් එය බටහිර වියුක්ත ප්‍රවාද මෙන් පට්ටපල් බොරු නො වේ. 


නලින් ද සිල්වා

2013-12-04

Wednesday, 20 November 2013

අනුකරණය හා ආරෝපණය


චින්තනයක සුසමාදර්ශ රාශියක් තිබිය හැකි ය. උදාහරණයක් ලෙස ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි (චින්තනය යනු කුමක් දැයි තේරුම් ගැනීමට මගේ ලෝකය හා ජාතිය සංස්කෘතිය හා චින්තනය ආදී කෘති කියවන්න) ඇති සුසමාදර්ශ කිහිපයක් නම් නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්ටයිනීය සාපේක්‍ෂතා සුසමාදර්ශය, ක්වොන්ටම් භෞතික සුසමාදර්ශය වෙයි. තාපගතිකය නිව්ටන්ගේ චලිත සමීකරණවලින් ලබාගත නො හැකි ය. එසේ වුවත් ඇතැම් නිව්ටෝනීය අදහස් තාපගතිකයෙහි යොදා ගැනෙයි. අයින්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයේ අවකාශය හා කාලය යන සංකල්ප අදාළ නිව්ටෝනීය සංකල්පවලින් සහමුලින් ම වෙනස් ය. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද අවස්ථිති රාමු පිළිබඳ සංකල්පය වෙයි. එහි ද චලිත සමීකරණ ලියැවෙන්නේ අවස්ථිති රාමුවල ය. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පමණක් නොව බොහෝ චින්තනවල යොදාගැනෙන්නේ ද්විකෝටික න්‍යාය ය. එමෙන් ම බෙහෝ දෙනා ලෝකය නිර්මාණය කරගන්නේ (තේරුම් ගන්නේ) එක්කෝ විවික්තව (discrete) ය. එසේත් නැත්නම් සන්තතිකව (continuous) ය.  විවික්තව ලෝකය නිර්මාණය කිරීමේ දී අංශුව (particle) යන සංකල්පය වැදගත් වෙයි. එකිනෙකින් වෙන් වූ අංශුවලින් සමන්විත ලෝකයක් නිර්මාණය කරගැනීමට මිනිසුන් පුරුදු වත ඇත්තේ අද ඊයේ නො වේ. අවුරුදු දහස් ගණනක සිට මිනිස්සු ඒ ක්‍රියාවලියෙහි යෙදී සිටිති. නිව්ටන් ආලෝකය දැක්කේ ද අංශු ලෙස ය. ඔහුගේ ලෝකයෙහි වූයේ ආලෝක අංශු ය. ඔහුගේ ආලෝකය පිළිබඳ ප්‍රවාදය ලවක ප්‍රවාදය (corpuscular theory) මෙහි තේරුම ම විවික්ත ස්වාධීන ඒකකයක් හෙවත් අංශුවක් යන්න ගෙන දෙයි) ලෙස හැඳින්වෙයි.   

අනෙක් අතට ගලන ගඟක් එලෙස විවික්ත අංශු ලෙස දැකිය නො හැකි ය. මිනිසුන්ට සාපේක්‍ෂව ගඟක ඇත්තේ සන්තතික බවකි. මුළු මහත් බටහිර විද්‍යාව ම මෙන් ලෝකය නිර්මාණය කරගන්නේ එක්කෝ විවික්තව අංශු ආකෘතිය උපයෝගී කරගනිමිනි.  නැතහොත් සන්තතිකව ගංගා ආකෘතිය  අනුව යමින් ය. බටහිර භෞතික විද්‍යාව විසින් තරංග ආකෘතිය නිපදවනු ලැබ ඇත්තේ ගංගා ආකෘතිය අනුව ය. විද්‍යුත්චුම්බකවාදය යනු තරංග ලෙස ලෝකය දකින බටහිර විද්‍යා නිර්මාණයකි. බටහිර විද්‍යාවේ ඇත්තේ එක්කෝ අංශ ය. නැත්නම් තරංග ය. බටහිර ජීව විද්‍යාවෙහි ෙසෙල යන සංකල්පය නිර්මාණය කෙරී ඇත්තේ අංශු ආකෘතියෙහි ය. එහෙත් රුධිර ගලනය සිදුවන්නේ තරංග හෙවත් සන්තතික ආකෘතියෙහි ය.

ක්වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාවක් වුව ද එය නිර්මාණය වන්නේ චතුස්කෝටික න්‍යාය අනුව ය. එය බටහිර විද්‍යාඥයන් විසින් සවිඤ්ඤාණිකව කෙරෙන්නක් නො වේ. ක්වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාඥයන්ට නොතේරෙන්නේ ද එබැවිනි. ජනප්‍රිය පොතපතින් පමණක් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන දන්නා ඩී එස් සී උපාධිධාරි මහාචාර්ය අමරතුංග මහතාට මෙන් ම මහා ප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහතාට ද මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති බව ඔවුන් ලියන කියන දෙයින් පැහැදිලි වෙයි. මෙම ලිපි පෙළ අමරතුංග මහතා කේන්ද්‍ර කරගත්ත ද ඔහුට පමණක් නොව සීමාවුවක් නො වේ. තුන්වැනි සංගායනාවේ ආරක්‍ෂකයන් ද  ඉතා විසුරුණු අදහසක වූ ජාතික චින්තනය ද මෙහි දී විවේචනයට ලක් වෙයි.  

ගුණදාස අමරසේකර මහතා ගැන මෙහි දී කතාකිරීමට තරම්වත් දෙයක් නැත. ජාතික චින්තනයක් ගැන කතාකළ ද බටහිර සංකල්ප යොදා ගන්නා ඒ මහතා අද සභ්‍යත්වය හා සංස්කෘතිය අතර ජාතිය හිරකර ඇත. සැමුවෙල් හන්ටින්ග්ටන් ඉදිරියේ දී ඇමරිකාවට වෙනත් සංස්කෘතීන්ගෙන් එල්ලවන අභියෝගය පැහැදිලි කිරීම සඳහා සභ්‍යත්ව ගැටුම (clash of civilizations) නමින් පොතක් පළකළ අවස්ථාවෙහි එය ජාතික චින්තන පසසමින් ලියූ පොතක් ලෙස තේරුම් ගත් අමරසේකර මහතා අද සභ්‍යත්වය යන බටහිර සංකල්පය දිරවා ගැනීමට  නොහැකිව පසුවෙයි.    

සභ්‍යත්වය යන සංකල්පය බටහිරයන් නිර්මාණය කරගෙන ඇත්තේ ඔවුන්ට තමන් විසින් සභ්‍යත්වයක් නැතැයි හඳුන්වනු ලැබූ ආසියාතික හා විශේෂයෙන් ම අප්‍රිකානු ජනයාගෙන්  වෙන්වීම සඳහා ය. සභ්‍යත්වයක් ඇත්තේ බටහිරයන්ට මිස අපට නො වේ යන්න ඔවුන්ගේ මූලික උපකල්පනය විය. එහෙත් පසුව බටහිරයෝ සභ්‍යත්වය යන්නට වෙනත් අර්ථකථන ද දුන්හ. හන්ටින්ග්ටන්ට අනුව සභ්‍යත්වය යන්න මිනිස් යන්න ළඟට මිනිසුන් ගොනුවන ප්‍රවර්ගය (category) ය. මිනිසුන් ලෙස අප සියළු දෙනාම හඳුනාගත හැකි ය. ඊළඟට හඳුනාගත හැක්කේ එක් සභ්‍යත්වයකට හසුවන ජනයා ය. සභ්‍යත්වයක ජනකායකට තමන් ඒ සභ්‍යත්වයෙහි වේ ය යන හැඟීම (විඥානය) වෙයි. 

හන්ටින්ග්ටන්ට අනුව ථෙරවාද බෞද්ධ සභ්‍යත්වය යනුවෙන් සභ්‍යත්වයක් නැත. ඒ ථෙරවාදී බෞද්ධයන් තමන් එක් ප්‍රවර්ගයකට අයත් යැයි නොසිතන බැවිනි. ඔවුන්ට තමන් ථෙරවාදී සභ්‍යත්වයකට අයත් ය යන හැඟීම නැතැයි හන්ටින්ග්ටන් කියයි. එහෙත් යුරෝපීයයෝ තමන් ගැන යුරෝපීය සභ්‍යත්වයකට අයත් වූවන් ලෙසත් මුස්ලිමුන් එලෙස තමන් මුස්ලිම් සභ්‍යත්වයට අයත් වුවන් ලෙසත් සිතති යි හන්ටින්ග්ටන් කියයි. ඔහුට අනුව මහායානික බෞද්ධ යනුවෙන් ද සභ්‍යත්වයක් ඇත. අමරසේකර මහතා ඒ සියල්ල අමතක කර මෙරට දෙමළ ජනයා ද සිංහල සභ්‍යත්වයට ම අයත් යැයි කියයි. උදාහරණ මගින් සභ්‍යත්වය යනු කුමක් දැයි හඳුන්වනු වෙනුවට පළමුව සභ්‍යත්වයක් යනු කුමක් දැයි තේරුම් කිරීමට අමරසේකර මහතා උත්සාහ දරන්නේ නම් මැනවි.

මේ සියල්ල මෙහි දී ගෙනහැර දැක්වීමට සිදු වී ඇත්තේ දැනුම අවශෝෂණය පිළිබඳ ව තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට ය. මගේ ලෝකය කෘතියෙහි සංස්කෘතියක ඇති දැනුම ගැන කරුණු හතරක් කියැවෙයි. ඒ අනුකරණය, ආරෝපණය, අවශෝෂණය හා ඒ සංස්කෘතියෙහි ඇති දැනුම ඇසුරෙන් නිර්මාණය කිරීම ය. අනුකරණය යනු ඉවක් බවක් නැතිව ගෙඩිය පිටින් දැනුම ලබාගැනීම ය. අද බොහෝ දෙනා කරන්නේ එය ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම ගුණදාස අමරසේකර මහතා ද එසේ කර ඇති අවස්ථා එමට ය. 

බටහිර මානව විද්‍යාව නම් දැනුම පද්ධතිය ගොඩ නැඟුවේ ම බටහිරයන්ට අමතර ව තවත් මිනිසුන් ලෝකයේ ඇති බව බටහිරයන් තේරුම් ගැනීමෙන් පසුව ය. බටහිරයන්ට අවශ්‍ය වූයේ තමන්ගෙන් වෙනස් වූ ඒ අනෙක් මිනිසුන් ගැන අවබෝධයක් ලැබීමටත් ඒ අනෙක් මිනිසුන් පාලනය කරන්නේ කෙසේ දැයි දැනගැනීමටත් ය. එහෙත් ඒ බව තේරුම් නොගත් මාර්ටින් විකයමසිංහ මහතා බටහිර මානව විද්‍යාව ලංකා විශ්වවිද්‍යාලයෙහි ඉගැන්විය යුතු යැයි උද්ඝෝෂණය කළේ ය. ඒ මහතාත් අමරසේකර මහතාත් ඊනියා බටහිර යථාර්ථවාදී නවකතා හා කෙටිකතා ගැන කතාකළේ ඒ ඊනියා යථාර්ථය යනු බටහිර ඇසින් ලෝකය බැලීම නිසා නිර්මාණය කරගත්තක් බව නොදැන ඒ අනුකරණය කිරීමෙනි. යථාර්ථය ද මිනිසුන්ගේ නිර්මාණයකි. ඒ හේතුවෙන් ම යථාර්ථය ද සාපේක්‍ෂ වූවකි. තුන්වැනි සංගායනාවේ ක්‍ෂණික යථාර්ථය පිළිබිඹු කරන ධර්මවාදය හා ක්‍ෂණවාදය ද  අශෝක බුදුදහමට සාපේක්‍ෂ ය.

ආරෝපණයේ දී සිදුවන්නේ අපේ සංස්කෘතික අවයව (කෑලි) වෙනත් සංස්කෘතියක දැනුමට එකතු කිරීම ය. මෙරට සමාජයෙහි අද ඇත්තේ බෞද්ධ සංස්කෘතික කෑලි එකතුකරගත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියකි. ගුණදාස අමරසේකර මහතාගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි දැනුමට එකතු කෙරෙන සංස්කෘතික කෑලි කිහිපයකට පමණක් සීමා වෙයි. එය අමරසේකර මහතා අතින් විවේචනයට ලක්වෙන ජේ ආර් ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ට රාජ්‍යය සංකල්පයෙන් වෙනස් නො වේ. ජයවර්ධන මහතා යුදෙවු ක්‍රිස්තියානි දැනුමට ධර්මිෂ්ට රාජ්‍යය යන සංකල්පය එකතු කර ගත්තේ ය. ඒ ජාතික චින්තන සංකල්පය මෙන් ම ආරෝපණයකි. එනම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එකතු කර ගත් සිංහල බෞද්ධ කෑල්ලකි.

මා බුදුදහම විකෘති කරන්නේ යැයි අමරතුංග මහතා ද වෙනත් තුන්වැනි සංගායනාවේ බුදුදහම් සුසමාදර්ශයේ ආරක්‍ෂකයෝ නිතර කියති. එයට හේතුව මා වාස්තවික වූ යථාර්ථයක් වූ මනසක් ඇතැයි නො පිළිගැනීම ය. එවැනි මනසක් ඇතැයි බුදුන්වහන්සේ දේශනාකර ඇත්තේ කොහේ ද? අනත්තලක්ඛන සූත්‍රයෙහි යථාර්ථයක් වූ මනසක් ගැන නො කියැවෙයි. අටුවාවෙහි තිබූ පමණින් යමක් පිළිගැනීමට අප සූදානම් නැත. අටුවා ලියනු ලැබ ඇත්තේ භික්‍ෂූන් වහන්සේ වුව ද අප වැනිම වූ පෘථග්ජනයන් විසිනි. රහතන් වහන්සේ කෙනකු අතින් ලියැවුණ ද වැරදි තිබිය හැකි බව මගේ විශ්වාසය වෙයි. 

චිත්ත යනු මොනවා ද? චිත්තයක් ක්‍ෂණ කිහිපයකට පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? චිත්ත වීථි යනු මොනවා ද? චිත්ත පෙරහැරක චිත්ත ඇතිවන්නේ කෙසේ ද? චිත්ත වීථිය සන්තතික ද? එය සමන්විත වන්නේ විවික්ත වූ චිත්ත රාශියකින් ද? මනස මනසේ ම නිරාමාණයක් ය යන්නට වඩා චිත්තය පරමාර්ථ ධර්මයක් ලෙස සැලකීම උචිත ද? අපට නිවන් අවබෝධ කරගැනීමෙන් පසුවත් තේරුම් ගැනීමට නොහැකි වූ ද ප්‍රත්‍යක්‍ෂ නො වූ ද එහෙත් බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ විස්තර කිරීම සඳහා අප සංකල්ප  නිර්මාණය කර ඇත. සන්නිවේදනයේ දී මේ සංකල්ප අවභ්‍ය වෙයි. චිත්ත චෛතසික මනස ආ දිය ද එවැනි සංකල්ප පමණක් වෙයි.     

මාර්ටින් වික්‍රමසිංහ මහතා පුනරුත්පත්තිය පුනබ්භවය නො පිළිගත්තේ ය. අමරසේකර මහතා ද නො පිළිගනියි. එහෙත් අමරතුංග මහතාට අනුව බුදුදහම විකෘතිකරන්නේ පුනබ්භවය පිලිගන්නා මා මිස අමරසේකර මහතා නො වේ. එයට එකම හේතුව මා අටුවාවේ ඇති ඇතැම් කරුණු නො පිළිගැනීම ය.  අමරතුංග මහතාට අනුව අමරසේකර මහතාගේ සුන්දර අදහසක් වූ ජාතික චින්තනයේ පුනබ්භවයක් නැත. 

වික්‍රමසිංහ මහතාගේත් අමරසේකර මහතාගේත් ප්‍රශ්නය මට තේරුම් ගත හැකි ය. ඔවුන්ගේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනය වෙයි. ඔවුන්ගේ දැනුම යුදෙව ක්‍රිස්තියානි දැනුම වෙයි. ඔවුන් කර ඇත්තේ එයට බෞද්ධ කෑලි එකතු කිරීම ය. එහෙත් ඔවුහු ඊනියා විද්‍යාත්මක චින්තනයේ දාසයෝ වෙතිෂ වූහ. පුනබ්භවය බටහිර විද්‍යාවට අනුව පෙන්නුම් කළ නො හැකි ය. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන කෑලි තම යුදෙවු ක්‍රිස්තියානි දැනුමට එකතු කිරීමට ඒ මහත්වරු අකමැති වෙති. එබැවින් පුනබ්භවය නැති බෞද්ධ  කෑලි ගැන පමණක් උනන්දු වීමට සිදු වීම ඔවුන්ගේ අවාසනාවක් වදය හැකි ය.                

බටහිර විද්‍යාව  ඇතිවීමට (නිර්මාණය කිරීමට) පෙර භාරතයේ හා චීනයේ තිබුණේ බොහෝ දුරට සංයුක්ත වූ දැනුමකි. භාරතයේ බමුණන්ට යම් වියුක්ත දැනුමක් තිබුණ  නමුත් එය බටහිරයන්ගේ වියුක්ත මට්ටම අසළකටවත් නො පැමිණියේ ය. චීන ජාතිකයන්ට බමුණන්ට තරමටවත් වියුක්ත දැනුමක් නො වී ය. භාරතයේ හා චීනයේ තිබූ දැනුම ගැන බටහිරයන් උනන්දුවක් දක්වා ඇත්තේ පහළොස්වැනි සිය වසේ පමණ සිට ය. එහෙත් බටහිරයන්, විශේෂයෙන් ම ග්‍රීකයන් ඈත අතීතයේදීත් අනෙක් රටවල තිබූ දැනුම ගැන  උනන්දුවක් දක්වා ඇත. ඔවුහු මධ්‍යධරණීය මුහුද අවට තිබූ රටවල ද පැරණි මිසරයේ ද තිබූ දැනුම ග්‍රීක සංස්කෘතියට අවශෝෂණය කර ගත්හ.


නලින් ද සිල්වා

2013-11-20

Wednesday, 13 November 2013

දැනුම අවශෝෂණය කිරීම


බටහිර සංස්කෘතිය නැඟීමට පෙර පුරාණ සංස්කෘතීන් කිහිපයක ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු යැයි අමරතුංග මහතා පවසයි. බොහෝ ලේඛකයන් අනුගමනය කරන කපටි පිළිවෙතක් අමරතුංග මහතා ද මෙහි දී අනුගමනය කරයි. මෙහි අපි යනුවෙන් හැඳින්වෙන්නේ ඒ මහතා පමණක් නොවන බව පැහැදිලි ය. ඔහු සියුම් ව කරන්නේ පාඨකයන් ද තමා දරණ මතය පිළිගන්නා බව කීම ය. එමගින් බොහෝ පාඨකයෝ මහාචාර්යවරයකු සමග එකම මතයක් දරන්නේ ය යන මතයෙන්  එක්තරා අයුරකින් මානසික නිද්‍රාශීලීභාවයකට පත්වෙති. කොහොමටත් සිතන්නට පුරුදු නොකරන අධ්‍යාපනයකින් බිහිවන්නෝ ඉන්පසු අමරතුංග මහතා කියන දේ ප්‍රශ්න නො කරති.

චීනය ඉන්දියාව වැනි රටවල තාරකා විද්‍යාව, ගණිත ශ්‍රාස්ත්‍රය, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්ට අදාළ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවත් වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය හා මුද්‍රණ යන්ත්‍රය පළමුව චීනයේ නිෂ්පාදනය වූ බවත් අමරතුංග මහතා කියයි. ඒ මහතා ඇතැම් බටහිරයන් කියන මේ කරුණු පුනරුච්චාරණය කරන්නේ ලංකාවේ මහාචාර්යවරයකුට ම සුදුසු ආකාරයෙනි. මෙරට බොහෝ බටහිර උගත්තු මේ සම්බන්ධයෙන් අමරතුංග මහතා දරණ මතය ම දරණ බව ද සඳහන් කළ යුතු ය.

මෙහි දී අපට උගත් මහාචාර්යවරයාගෙන් ප්‍රභ්න කිහිපයක් ඇසීමට ඇත. පළමුවෙන් ම අද ඉන්දියාවෙන් හෝ චීනයෙන් හෝ එවැනි දැනුම් නිර්මාණය නොවන්නේ ඇයි ද යන්න ය. බොහෝ උගතුන් එයට දෙන පිළිතුර නම් මේ වන විට ඒ රටවල ඒ සඳහා පහසුකම් නොමැති බව ය. එහෙත් චීනයෙන් හා ඉන්දියාවෙන් පහසුකම් ඇතැයි කියන බටහිර රටවලට දේශීය බටහිර විද්‍යාඥයෝ විශාල වශයෙන් ඇදී යති. ඔවුන්ගෙන් කී දෙනකුට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත් ද? ඔවුන්ගෙන් කී දෙනකු බටහිර විද්‍යාවේ හරිහමන් දැනුමක් නිර්මාණය කර ඇත් ද? එදා විද්‍යාවේ ජයකෙහෙළි නැංවී යැයි කියන ඉන්දියානුවන්ට හා චීනුන්ට අද එසේ කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඉන්දියානු හා චීන ශිෂ්‍යයෝ බටහිර රටවල දී පරීක්‍ෂණවලින් ඉහළින් සමත්වන නමුදු දැනුම නිර්මාණයෙහි දී යුරෝපීයයන් මෙන් දක්‍ෂතාවක් නො දක්වති.  ලංකාවෙන් බටහිරට යන ශිෂ්‍යයෝ ද එසේ ම වෙති.

අනෙක් අතට චීනයේ වසර ගණනාවක් තිස්සේ චීන දැනුම ගැන අධ්‍යයනය කර ඒ පිළිබඳ වෙළුම් රාශියක් පළකළ ජෝසෆ් නීඩ්හම් මහතා ඉතා වැදගත් ප්‍රශ්නයක් අසා ඇත. අමරතුංග මහතාට ඒ ප්‍රශ්නය පිළිබඳ දැනුමක් ඇත් දැයි මම නො දනිමි. නීඩ්හම් මහතා අසා ඇත්තේ විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කී චීන ජාතිකයන්ට බටහිර (නවීන) විද්‍යාවට හිමිකම් කීමට නොහැකි වූයේ ඇයි ද යන්න ය. පැහැදිලිව ම නීඩ්හම් මහතා චීන විද්‍යාව හා බටහිර විද්‍යාව අතර වෙනසක් දකියි. නීඩ්හම් මහතාට අමරතුංග මහතාට තරම් වැටහීමක් නොතිබූ බැවින් ඒ ප්‍රශ්නය ඇසී දැයි නො දනිමි.

නීඩ්හම් මහතා කිසි තැනක චීන විද්‍යාව දියුණු වී ඉන්දීය විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක් හෝ සමග සම්බන්ධ වී හෝ නොවී හෝ බටහිර විද්‍යාව ඇති වූ බවක් සඳහන් නො කරයි. මා මෙයින් කියන්නේ අප නීඩ්හම් මහතා කියා ඇති දේ අවසාන වාක්‍යය ලෙස පිළිගත යුතු බව නො වේ. එක් එක් අයගේ නම් සඳහන් කරමින් තමා බොහෝ ඇසු පුරූ තැන් ඇත්තකු ය යන අදහස පාඨකයාට ලැබෙන පරිදි ලියන අමරතුංග මහතා තමා නීඩ්හම් ගැන අසා නැතැයි කියන්නේ ද? ඒ මහතාට තමා ඉහළින් අගයන ගුණදාස අමරසේකර මහතාගෙන් නීඩ්හම් යනුවෙන් මිතුරකු මාර්ටින් වික්‍රමසිංහ මහතාට සිටි බව දැනගත හැකි ය.

කෙසේ වෙතත් නීඩ්හම් මහතා තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ද සැපයී ය. ඔහුට අනුව චීනයේ බටහිර විද්‍යාව බිහිනොවූයේ එහි ධනවාදය නොතිබූ බැවිනි. නීඩ්හම් මහතා තම ප්‍රශ්නයට දී ඇත්තේ ඉතා ම බංකොළොත් පිළිතුරකි. බටහිර විද්‍යාව බටහිර ඇතිවූයේ එහි ධනවාදය තිබූ නිසා නො වේ. ගැලීලියෝ මියගියේ 1642 වසරෙහි දී ය. නිව්ටන් උපන්නේ ද ඒ වසරෙහි දී ය. ඒ වන විට ඉතාලියේ හෝ එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක හෝ ධනවාදය බිහි වී නො තිබිණි. ගැලීලියෝට හෝ නිව්ටන්ට හෝ ධනවාදය අවශ්‍ය නො වී ය. අවාසනාවකට අමරසේකර මහතා ධනවාදය ඇතිවූයේ බටහිර විද්‍යාව ඇතිවීමට පසුව යැයි නොදන්නා බව පසුගිය  ඉරිදා පුවත්පතකට කරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

අනෙක් අතට අද බටහිර ඇති ගණිතය ඉන්දියාවේ තිබූ ගණිතයෙහි වර්ධනයක් නො වේ. පැරණි භාරතීය ගණිතය වියුක්ත ගණිතයක් නො වී ය. යම් යම් ගණිත කර්ම සිදුකිරීම  සඳහා සූත්‍ර රාශියක් පැරණි භාරතීය ගණිතයෙහි විය. (සූත්‍ර යනු අසා ඇති දේ ය. බුදු දහමෙහි සඳහන් සූත්‍ර බොහෝ විට බුදුන්වහන්සේගෙන් ඈසූ දේ ය.) උදාහරණයක් වශයෙන් ගතහොත් බටහිර ගණිතයෙහි දක්නට ලැබෙන පෛතගරස් ප්‍රමේයයෙහි ප්‍රතිඵලය පැරණි භාරතීයයෝ දැන සිටියහ. එහෙත් ඒ දැනුම එ ඒ සෘජු කෝණී ත්‍රිකෝණය සඳහා වූ සංයුක්ත දැනුමක් විය. ඕනෑම සෘජු කෝණී ත්‍රිකෝණයක් සඳහා වියුක්ත ව ප්‍රතිඵලය සාධනය කිරීමට තබා ප්‍රකාශ කිරීමටවත් පැරණි භාරතීය ගණිතඥයෝ දැන නො සිටියහ.

පැරණි භාරතයේ තිබූ දැනුම අරාබීන් හරහා යුරෝපයට ගිය බව සැබෑ ය. එහෙත් ඒ දැනුම හෝ චීනයෙන් ලැබුණු දැනුම හෝ වෙනත් එවැනි දැනුමක් හෝ බටහිරයෝ ගෙඩිය පිටින් අනුකරණය නො කළහ. ඔවුහු ඒ සියළු දැනුම් තම නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කළහ. අමරතුංග මහතා ඒ බව නොදන්නවා විය හැකි ය. ඒ මහතා චින්තනය යන සංකල්පයට ගරහයි.  ඒ මහතා වරක් කියා තිබුණේ මා අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන සොඳුරු අදහස අවලස්සන කර ඇති බව ය. මේ පිළිබඳ පැහැදිලි කිරීමට ද මේ අවස්ථාවක් කර ගනිමි.

මට ජාතික චින්තනය යන අදහස අවලස්සන කිරීමට අවශ්‍යතාවක් නො වී ය. එයට හේතුව 1986 වසරේ දී ම මා චින්තනය යන සංකල්පය ඉදිරිපත්කර තිබීම ය. 1986 පළ කළ මගේ ලෝකය කෘතියෙහි ද චින්තනය යන සංකල්පය විස්තර කර ඇත. මා අද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වන්න එදා හැඳින්වූයේ යුදෙවු චින්තනය ලෙස ය. පසුව බටහිරයන්ගේ වත්මන් චින්තනය චින්තන තුනක සංකලනයක් බව අවබෝධ වීමෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි යන්න ව්‍යවහාරයට ගත්තෙමි.

අමරසේකර මහතා ජාතික චින්තනය යන අදහස 1986 දී ඉදිරිපත් කලේ රුසියන් ජාතිකයකුගෙන් ලබාගත් නැෂනල් තෝට් (national thought) යන්න සිංහලට පරිවර්තනය කරමිනි. ඔහුට ඒ පිළිබඳ පැහැදිලි සංකල්පයක් නො වී ය. විසිරුණු අදහස් මිස සංකල්ප හඳුන්වාදීමෙ හැකියාවක් නැති  අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ඉතාමත් ලිහිල් ආකාරයකින් යොදා ගත්තේ ය. අර රුසියන් ලේඛකයාට අනුව රුසියන් විප්ලවය ජයග්‍රහණය කළේ මාක්ස්වාදය මත නොව රුසියන් ජාතික චින්තනය මත පදනම් වී ය. 

අමරසේකර මහතාට ජාතික චින්තනය යනු කුමක් දැයි පැහැදිලි කිරීමට පවා නොහැකි වූ බව එකල දිවයින බදාදා අතිරේකය කියවූවෝ දනිති. ඒ මහතා සාමාන්‍යයෙන් කරන ආකාරයට බටහිර ලේඛකයන්ගේ අදහස් සිංහලට පරිවර්තනය ඒ ඔස්සේ ඊනියා ජාතික චින්තනය තේරුම් කිරීමට උත්සාහ ගත්තේ ය. විශේෂයෙන් ම එරික් ෆ්‍රොම්ගේ අදහස් ඒ මහතාට ප්‍රයෝජනවත් විය. ෆ්‍රොම්ගේ සිවිලිසේෂන් කොන්ෂස්නස් ~ (civilisation consciousness) යන්න සභ්‍යත්ව විඥානය ලෙස පරිවර්තනය කරගත් අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ෆ්‍රොම් ඇසුරෙන් තේරුම් කිරීමට උතාසාහ කළේ ය. සතියකට පෙර ඒ මහතා ජාතිය යන්න ඊනියා සභ්‍යත්ව විඥානය ඔස්සේ තේරුම් කිරීමට කලින් කී පුවත්පත මගින් අසාර්ථක උත්සාහයක් ගෙන තිබිණි.

මට මෙරට ජාතික චින්තනය යන්න සිංහලයන්ගේ චින්තනය විය. එය අද වන විට සිංහල බෞද්ධ චින්තනය ලෙස හැඳින්වෙයි. ලිහිල් විසුරුණු අදහස් කෑලි මත නොව සංකල්ප මත පදනම් වූ මට ප්‍රධාන සංකල්පය වූයේ චින්තනය ය. සිංහල බෞද්ධ චින්තනය යන්න අපට වැදගත් වුවත් ප්‍රධාන වුවත් එය තවත් එක් චින්තනයක් පමණක් විය. දැනුම නිර්මාණය කෙරෙන්නක් බවත් එය චින්තනය මත පදනම් ව සංස්කෘතියකට සාපේක්‍ෂව සිදුවන්නක් බවත් මම සඳහන් කළෙමි. එමෙන් ම දැනුම නිර්මාණය කෙරෙන්නේ අවිද්‍යාව (බුදු දහමෙහි සඳහන්) නිසා බවත් සඳහන් කළෙමි. මේ සියළු සංකල්ප වර්ධනය කිරීමට යම් කාලයක් ගත වූ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

මා කළ වරද වූයේ චින්තනය යන සංකල්පයෙන් ලබාගත් සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය අමරසේකර මහතාගේ ජාතික  චින්තනය යන විසිරුණු අදහස සමග එකට භාවිතා කිරීම සහ එසේ කිරීමට ඉඩ හැරීම ය. බොහෝ දෙනා තේරුම් ගත්තේ මගේ සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය හා අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන විසිරුණු අදහස එකක් ලෙස ය. ඇතැම් අවස්ථාවල මෙරට ජාතික චින්තනය යන අදහස ගෙන දෙන ආකාරයට ජාතික චින්තනය යන්න යොදා ගැනීමෙන් මා මගේ අනන්‍යතාව පළුදු කරගත් බව ද මම පිළිගනිමි. 

මේ අදහස් මෙසේ පළකිරීමට සිදු වී ඇත්තේ අමරතුංග මහතාගේ ප්‍රකාශ නිසා ය. අමරසේකර මහතා මගේ සංකල්ප ද ඒ මහතාගේ අදහස් ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස අවශෝෂණය යන්න ම ගනිමු. අමරසේකර මහතාට කිසි දිනෙක චින්තනය යන සංකල්පය නො වී ය. ඔහුට සැමදාමත් තිබුණේ ජාතික චින්තනය යන විසුරුණු අදහස පමණ ය. දැනුම එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට හෝ චින්තනයකින් තවත් චින්තනයකට අවශෝෂණය කිරීම ඒ මහතා සාකච්ඡා කළ කරුණක් නො වේ. දැනුම හෝ දැනුම නිර්මාණය කිරීම ආදිය අමරසේකර මහතාගේ විෂය පථයෙහි නො වී ය. දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය අමරසේකර මහතා ඇළුම් කළ විෂයයක් නො වී ය.   
එහෙත් අනුකරණය යන්න නම් ඒ මහතා දිගින් දිගට යොදාගත් අදහසක් බව කිව යුතු ය. එසේ වුවත් අනුකරණය යන්න පැහැදිලිව දැනුම සම්බන්ධයෙන් හෝ අවශෝෂණය සග සංසන්දනය කරමින් හෝ ඔහු යොදා නොගත්තේ ය. මා මගේ ලෝකය කෘතියෙහි දැනුම සම්බන්ධයෙන් අවශේෂණය යන්න අනුකරණය සමග යොදා ගෙන ඇත්තේ 1986 තරම් ඈත කාලයක ය. සේ වුවත් සති දෙකකට පෙර කලින් සඳහන් පුවත්පතට ම  අමරසේකර මහතා දැනුම සම්බන්ධයෙන් අවශෝෂණය යන්න යොදා ගන්නේ තමන්ගේ ම සංකල්පයක් ලෙස ය.   


මම ද වෙනත් දැනුම් පද්ධතීන්ගෙන් ඇතැම් සංකල්ප සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කර ඇත්තමි. ඒ සඳහා හොඳම උදාහරණය කූන්ගේ සුසමාදර්ශය (paradigm) යන්න ය. එක් චින්තනයක සුසමාදර්ශ කිහිපයක් ඇති බව මගේ වැටහීම ය. ඒ බව මම නොයෙකුත් අවස්ථාවල ප්‍රකාශ කර ඇත්තෙමි. සිංහල බෞද්ධ චින්තනයෙහි ද සුසමාදර්ශ කිහිපයක් වෙයි. අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි සිංහල බෞද්ධ චින්තනයෙහි ප්‍රධාන සුසමාදර්ශය වී ඇත්තේ තුන්වැනි සංගායනාවේ හෙවත් මහාවිහාරයෙහි සුසමාදර්ශය ය. අභයගිරි සුසමාදර්ශය ද සිංහල බෞද්ධ චින්තනයෙහි එක් සුසමාදර්ශයක් විය. මේ සුසමාදර්ශ අතර ද දැනුම් අවශෝෂණ සිදුවෙයි.



නලින් ද සිල්වා

2013-11-13

Friday, 23 November 2012

චින්තනය හා සුසමාදර්ශ


චින්තනය යන්න මා යොදාගන්නේ සිතීම යන අර්ථයෙන් නො වේ. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් විසින් නිර්මාණයකෙරී ඇති විද්‍යාව, කලාව, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, වෙදකම, ඉංජිනේරු ශිල්පය, ලිංගිකත්වය ආදී සියල්ල බැඳ තබන හුයක් වේ නම්, ඒ චින්තනය වෙයි. චින්තනය යන්න සමස්තය ගැන කියැවෙන සංකල්පයකි. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් නිරාමාණ කරන්නේ යම් චින්තනයක ය. චින්තනයකට, ඥාන විභාගයක්, දාර්ශනික පසුබිමක් හා ආකල්ප වෙයි. ඒ එකිනෙකට බැඳී ඇති අතර එකිනෙකින් ස්වායත්ත නො වේ. එමෙන් ම ඒ සංස්කෘතියෙහි ම කොටස් වෙයි. ඥාන විභාගය ද ආකල්ප ද දාර්ශනික පසුබිම ද දැනුමෙහි කොටස් ලෙස ගත්විට බිහිවන්නේ චින්තනයක ය. එහි ඇත්තේ චක්‍රීය (cyclic) ස්වභාවයකි. ආකල්ප ආදිය නිර්මාණයවන විට චින්තනය ද වෙනස්වන බව පැහැදිලි විය යුතු ය. කිසිම සමාජයක ස්ථිතික චින්තනයක් නැත. එමෙන් ම චින්තනය යනු සියළු දෙනා බැඳගන්නා ඒකශෛල පබ්බතයක් වැනි දෙයක් ද නො වෙයි. එහෙත් ඕනෑම සමාජයක විශාල බහුතරයක් සතු පොදු චින්තනයක් දැකගත හැකි ය. ඒ ඒ සමාජයේ ඇතැම් පුද්ගලයන් පොදු චින්තනයෙන් බැහැරව කටයුතුු කරන බව ද පැහැදිලි ය. එමෙන්ම ඇතැම් පුද්ගලයන් අතින් සමාජයක චින්තනය වෙනස්කරන ක්‍රියාවලින් ද සිදු විය හැකි ය. චින්තනයක් එක රැයකින් වෙනස් නොවන බව ද පැහැදිිලි විය යුතු ය.

චින්තනයට සියල්ල ඌනනය කළ හැකි ය යන්නක් ද මෙයින් නො කියැවෙයි. චින්තනය යනු සමස්තය ගැන කියැවෙන සංකල්පයකි. එහෙත් යම් චින්තනයකට අයත් සියළු දෙනා කිසිම වෙනසකින් තොරව එකම චින්තනයකට අයත්වන බවක් ද නොකියැවෙයි. ප්‍රාදේශීය වශයෙන් ගුරුකල ආදී වශයෙන් පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස් වෙති. එසේ වුවත් ඒ වෙනස්කම් අතර පොදු බවක් ද වෙයි. බටහිරයන්ට මේ තත්වය අවබෝධ කරගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්කෝ සෑම දෙනාම අනෙක් සෑම දෙනාගෙන් ම වෙනස් වෙති. එසේ්ත් නැත්නම් සියල්ලෝම එකම ආකාරයේ වෙති. බටහිර නූතනත්වයට අනුව සියළු මිනිස්සු සමාන වෙති. අප සියළු දෙනාට ම පොදු බවක් ඇත. අප සියළු දෙනාට ම එකම ශාරීරික උෂ්ණත්වයක් ඇතැයි බටහිර වෛද්‍ය විද්‍යාවේ දී උපකල්පනය කෙරෙන්නේ එබැවිනි. බටහිර පශ්චාත්නූතනවාදී අදහස් බිහිවන්නේ ඒ එසේ නොවන බව තේරුම් ගැනීමත් සමග ය. එහෙත් බටහිරයන්ට හුරු පුරුදු ඇරිස්ටෝටලීය න්‍යායට අනුව ඔවුහු එහි දී අනෙක් අන්තයට ගොස් පොදු බවක් නැතැයි යන අන්තයට යති.

එහෙත් අපි මේ අන්ත දෙක ම ප්‍රතික්‍ෂෙප කරමු. මිනිසුන් වශයෙන් අප අතර පොදු බවක් ඇති අතර එකිනෙකා අතර වූ වෙනස්කම් ද වෙයි. සිංහලයන් වශයෙන් ගත්ත ද ඒ එසේම ය. ඒ වෙනස්කම් ඇති නිසා සිංහල යනුවෙන් ජාතියක් නැත3යි කීමට මොවුහු උත්සාහ කරති. එහෙත් ඒ අතර දෙමළ ජනයාගේ එකිනෙකා අතර ඇති සියළු වෙනස්කම් මැද දෙමළ යනුවෙන් ජනවර්ගයක් ඇති බව ඔවුහු පිළිගනිති. එලෙස ම මිනිසුන් යනුවෙන් සත්ව වර්ගයක් ඇති බව ද ඔවුහු විශ්වාස කරති. බටහිරයන්ට අද කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගැනීමට හැකි වී ඇත්තේ මේ කසිකබල් පශ්චාත්නූතනවාදී අදහස් මත පිහිටමිනි. යම් කුලකයක අවයව අතර සමානකම් මෙන් ම අසමානකම් ද ඇත යන්න බටහිරයන්ට තේරුම්ගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්කෝ කුලකයේ සාමාජිකයෝ සමාන වෙති. නැත්නම් සියල්ලෝ අසමාන වෙති. එවිට පො1දු බවක් නැති හෙයින් කුලකයක් ද නො මැත. මීළඟ ලිපියෙන් මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙමි. එවිට සාධාරණීකරණය පිලිබඳ ව ද තව දුරටත් දැනගත හැකි වනු ඇත.

චින්තනයක සුසමාදර්ශ කිහිපයක් පැවතිය හැකි ය. අද බටහිර චින්තනය අප විසින් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නමින් හැඳින්වෙයි. ඒ චින්තනයෙහි නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්ටයිනීය සුසමාදර්ශය මෙන් ම ක්වොන්ටම් සුසමාදර්ශය ද වෙයි. ක්වොන්ටම් සුසමාදර්ශය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඇත්තේ විකෘති ස්වභාවයකින් ය යනු මගේ වැටහීම ය. ඒ සුසමාදර්ශය වැඩෙනු ඇත්තේ සිංහල බෞද්ධ හෝ වෙනත් ථෙරවාදී චින්තනයක ය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් මෙන් ම බටහිර සාහිත්‍යය හා කලා ශිල්ප ද ගොඩනැගී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ඒ චින්තනය බටහිර එක රැයකින් පහළ වූවා නො වේ. අවුරූදු පන්සීියකට පමණ පෙර බටහිර යුරෝපයේ පැවතියේ කතෝලික චින්තනය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කලින් සඳහන්කර ඇති ආකාරයෙන් සකස් වෙමින් වර්ධනයවූයේ කතෝලික චින්තනය ක්‍රමයෙන් පසුබස්ස වමිනි. තවමත් කතෝලික චින්තනය මුළුමනින් ම පරාජය වී ඉවත් ව ගොස් නැත. අද දා වින්චි කෝඩ් පොතින් හා චිත්‍රපටියෙන් පෙන්නුම්කරන්නේ මේ අරගලය තවමත් තිබෙන බව ය. ඒ කෘතිවලට විරුද්ධවන්නේ කතෝලික චින්තනයෙහි පදනම් වෙමිනි. තවමත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට තමන්ට අවශ්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කරගැනීමට නොහැකි වී ඇත. ඉහත සඳහන් කෘතීන් වත්මන් බටහිර චින්තනයට අවශ්‍ය ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කිරීමෙහි ලා යම් කාර්යභාරයක් ඉටුකරයි.

කතෝලික චින්තනය මත පදනම් වූ දේශපාලන දර්ශන දෙකක් ම විසිවැනි සියවසෙහි යුරෝපයෙහි දැකගත හැකි විය. එනම් ෆැසිස්ට්වාදය හා මාක්ස්වාදය ය. මාක්ස්වාදීන් මේ කියමන සමග කෙසේවත් එකඟ නොවනු ඇත. එහෙත් ඒ දෙකම පැන නැගුණේ එකම මූලාශ්‍රයෙන් ය. එහි මුල ඇත්තේ හෙගල් විද්වතා ය. ඔහුගේ දර්ශනය කතෝලික චින්තනය මත පදනම්විය. එහි නැවත වතාවක් සමස්තයට යෑමේ ප්‍රවනතාවක් විය. එහි න්‍යාය කතෝලික චින්තනයෙහි මෙන් ම ත්‍රිකෝටික විය. කාල් මාක්ස් පඬිවරයා කෙළේ හෙගල් පඬිවරයාගේ විඥානවාදී පදනමෙන් ද්‍රව්‍යවාදී පදනමකට මාරුවීම ය. ඒ කතෝලික චින්තනයෙහි වෙනත් සුසමාදර්ශයක් පමණක් විය. කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතාකළ ද මාක්ස්වාදීන්ට කිසි දිනෙක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනගාගත හැකි නො වේ. ඔවුන්ගේ හා ෆැසිස්ට්වාදීන්ගේ සමස්තයෙහි සමාජය මිස තනි තනි පුද්ගලයන් නැත. ඒ සමස්තය යුරෝපීය මධ්‍යකාලීන සමාජවල පාප්වහන්සේගේ ආධිපත්‍යය යටතේ පැවති සමස්තයෙන් වෙනස් නො වේ. හිට්ලර් මෙන් ම ස්ටැලින් ද ඒ ඒ සමාජවල ඉටුකෙළේ පාප් වහන්සේගේ කාර්යභාරය ය. ෆැසිස්ට්වාදය මෙන්ම මාක්ස්වාදය ද නැවතත් කතෝලික චින්තනය වෙත යුරෝපය කැඳවා ගෙන යෑමේ ප්‍රවණතා විය. ඒ දෙකම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ රාජ්‍ය විසින් යථා කාලයේ දී පරාජය කරනු ලැබිණි. අද කතෝලික චින්තනය බටහිර ලෝකයෙහි ආධිපත්‍යයක් නො දරයි. අද පාප්වහන්සේට ද ජීවත්වීමට සිදු වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක පමණක් නො වේ. එතුමාගේ පැවැත්ම සඳහා ම අද එතුමාට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි රාජ්‍ය වෙනුවෙන් සේවයකිරීමට සිදු වී ඇත. සෝවියට් ක්‍රමය බිඳවැට්ටවීමේ දී (එවකට සිටි) පාප්වහන්සේ පෝලන්තයේ සිදුකළ කාර්යභාරය බොහෝ අයට මතක ඇත.

කතෝලික චින්තනයෙහි බටහිර විද්‍යාව බිහිවීමේ ඉඩක් නො තිබිණි. එහෙත් පහළොස්වැනි සියවසේ දී පමණ බටහිරයන්ට තම චින්තනය වෙනස්කරගැනීමේ අවශ්‍යතාවක් විය. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආසියාවෙන් ලැබුණු දැනුම ය. අපි මේ ක්‍රියාවලිය කලින් සාකච්ඡා කළෙමු. පාප් වහන්සේ හා කතෝලික පල්ලිය මුල සිටම බටහිර විද්‍යාවට විරුද්ධ වූයේ චින්තනයේ තිබූ වෙනස්කම හේතුවෙනි. පසු කලෙක ඩාවීනීය පරිණාමවාදයට ද විරුද්ධ වූයේ කතෝලික චින්තනය මත පදනම් වෙමිනි. පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූවක් විය. බොහෝ දෙනා පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි මැවුම්වාදයට විරුද්ධ යැයි සිතන්නේ පරිණාමවාදයෙහි දෙවියන් වහන්සේ කෙනකුගේ මැදිහත්වීමක් නොමැති බැවිනි. එහෙත් එහි ඇත්තේ ඒක රේඛීය චින්තනයකි. මිනිස් පරිණාමය ගැන ඩාවීනීය පරිණාාමවාදයෙහි සඳහන් නොවෙතත් අද මානව විද්‍යාවේ කියැවෙන අදහස් අනුව සියළු මිනිසුන් පරිණාම වී ඇත්තේ එක් කාලයක අප්‍රිකාවේ වාසයකළ මිනිස්වර්ගයාට අයත් ස්ත්‍රියකගෙනි. ඇයගේ මුතුන් මිත්තන් ඔස්සේ ආපස්සට යන අපට අවසානයේ දී ඒක ෙසෙල ජීවයක් හමුවේ. ඒ ජීවය ද පසුකරමින් ආපස්සට ගියවිට අපට රසායනික පරිණාමය ද එය ද ඉක්මවා ගිය කල අවසානයේ දී මහා පිපිරුම ද හමුවෙයි. බටහිර විද්‍යාවේ පරිණාමය පටන්ගැනෙන්නේ මහා පිපිරුමෙනි. මහා පිපිරුම ඇතිවූයේ කෙසේ ද යන්නට බටහිර විද්‍යාව පිළිතුරක් නො දෙයි. මහා පිපිරුමෙන් පටන්ගෙන මන්දාකිණි හා තාරකා ඇති වී ඉන්පසු පෘථිවිය වැනි ග්‍රහවස්තු ඇති වී එහි ජීවය පහළ වී අවසානයේ දී මනුෂ්‍යයා ඇතිවීම බයිබලයේ සඳහන්වන එක් උත්පත්ති කතාවකින් ආකෘතික වශයෙන් වෙනස් නො වේ. බටහිර විද්‍යාවේ දෙවියන් වහන්සේ කෙනකු අතින් සිදුවන මැවීමක් නැත. එහෙත් ලෝකය (විශ්වය) මැවුනේ වෙයි. බටහිර විද්‍යාවේ ලෝකෝත්පත්තියෙහි සිට පරිණාමය දැක්වෙන්නේ බයිබලයේ උත්පත්ති කතාවක් පරිදි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් බටහිර විද්‍යාවේ ඒ ප්‍රවාද නිර්මාණය වී ඇත්තේ බයිබලයට එකඟව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ග්‍රීක යුදෙව් චින්තනයෙහි නිර්මාණය කෙරී ඇත.

එපමණක් නොව නිව්ටන්ගේ අවස්ථිති සමුද්දේශ රාමු (inertial frames of reference) ද බාහිර බල ද පිටුපස ඇත්තේ දෙවියන් වහන්සේ ය. මුල් අවස්ථිති සමුද්දේශ රාමුව හෙවත් නිරපේක්‍ෂ අවකාශයෙහි (absolute space) සමුද්දේශ රාමුව යනු දෙවියන් වහන්සේගේ සමුද්දේශ රාමුව මිස අනෙකක් නො වෙයි. බටහිර විද්‍යාවෙහි සෑම පද්ධතියක ම සෑම ක්‍ෂෙත්‍රයක ම පාහේ බාහිර බලවේග ගැන සඳහන්වෙයි. එහි අභ්‍යන්තර ව ප්‍රශ්නයක් විසඳීම ගැන සඳහන් නොවීමෙන් පෙන්නුම් කරන්නේ සෑම අවස්ථාවක ම සිටින්නා වූ දෙවියන් වහන්සේ ප්‍රශ්න විසඳීමෙහි දී අද ද බාහිර ව මැදිහත් වන්නේ ය යන්න ය. මුළු මහත් බටහිර විද්‍යාවෙහි ම මුල ඇත්තේ දෙවියන් වහන්සේ ය. මේ සම්බන්ධ යම් විස්තරයක් විද්‍යා කතන්දර කෘතියෙහි වෙයි.

බටහිර විද්‍යවට පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියනි චින්තනයෙහි ලක්‍ෂණ මගේ ලෝකය කෘතියෙහි යුදෙව් චින්තනය යටතෙහි දැකිය හැකි ය. (දැනට අවුරුදු විස්සකට පමණ පෙර මා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හැඳින්වූයේ යුදෙව් චින්තනය ලෙස ය.) මෙහි දී ඉන් එක් ආකල්පයක් ගැන පමණක් සඳහන් කෙරෙයි. ග්‍රීක යුදෙව් චින්තනයෙහි එක් ආකල්පයකට අනුව මිනිසා තමා ස්වභාව ධර්මයෙහි ස්වාමියා ලෙස ද, ස්වභාව ධර්මය තමා වෙනුවෙන් නිර්මාණය වී ඇති ලෙස ද සලකයි. ඒ පරණ තෙස්තමේන්තුවෙන් එන අදහසකි. දෙවියන් වහන්සේ ලෝකය මවා ඒ ආදම්ට භාර දුන්නේ ඔහුගේ ස්වාමීත්වය යටතට ගැහැණිය වූ ඒවා ද ඇතුළු සියල්ල පත්කරමින් ය. බටහිර මිනිසා අද ලෝකය දෙස බලන්නේ මේ ආකල්පයෙනි. මේ හේතුවෙන් බටහිරයෝ තම ඉන්ද්‍රිය පිනවීම සඳහා බටහිර විද්‍යාව ද යොදා ගනිමින් මුළු ලෝකය ම (ස්වභාව ධර්මය) සූරාකති. ඒ අතර පරිසරය රැකගැනීම පිළිබඳ කතාකරති. බටහිර විද්‍යාවෙන් හා එයට පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි රැකගත හැකි පරිසරයක් නැත. පරිසරය රැකගනිමින් බටහිර විද්‍යාවට වර්ධනය විය නොහැකි අතර, මිනිසුන්ට රිසි සේ ඉන්ද්‍රිය පිනවීම ද නො කළහැකි ය.

බටහිර විද්‍යාව යනු මිනිසා විසින් නිර්මාණය කෙරී ඇති තවත් දැනුම් පද්ධතියක් පමණකි. බටහිර විද්‍යාව පිළිබඳ දාර්ශනිකයන් සඳහන් කරන ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වැනි සුවිශේෂ ලක්‍ෂණ එහි නොමැත. එමෙන් ම බටහිර විද්‍යාව වර්ධනය වන්නේ ධනපති ක්‍රමය නිසා ද නො වේ. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර විද්‍යාවේ වර්ධනයට හේතුව බටහිරයන් විසින් නිර්මාණයකෙරී ඇති ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ය. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එයට පදනම් වූ චින්තනය නිසා මිස එහි ඇතැයි කියැවෙන වෙනත් මහේශාඛ්‍ය ගුණයක් නිසා නො වෙයි.

Thursday, 9 June 2011

රජරට වකුගඩු රෝගය වැළඳී මියගිය බටහිර විද්‍යාව

බටහිර විද්‍යාව පිළිබඳ මගේ විචේචනය ඇරඹී දැනට අවුරුදු විසිපහකට වැඩිවෙයි. මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු දැනටමත් ලියැවී ඇති අතර ඉදිරියේ දී තවත් දේ ලියැවෙනු ඇත. මේ දිනවල මේ සම්බන්ධයෙන් ලියැවෙන කරුණු විදුසර පුවත්පතෙහි පළවෙයි. අද අප පාලනය කෙරෙන්නේ මූලික වශයෙන් ම බටහිර විද්‍යාව වටා නිර්මාණය වී ඇති බටහිර දැනුම් පද්ධතියෙනි. බටහිර විද්‍යාව ලෝකයේ අධිපතිවාදී දැනුම බවට පත්වූයේ එහි ඇති විශේෂිත ගුණයක් නිසා නොව බටහිර දේශපාලන ආධිපත්‍යය නිසා ය. අපට ඉතා පොහොසත් නිල වෙදකමක් ඇති නමුත් එයට තැනක් නැත. අපේ පැරණි හෙළ නිල වෙදකම සමග සංසන්දනය කරන කල අඟුටුමිට්ටකු වැනි වූ බටහිර වෛද්‍ය විද්‍යාවට අද මහේශාඛ්‍ය තත්වයක් ලැබී ඇත්තේ හුදෙක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදී දේශපාලනයේ බලමහිමයෙන් ය. අපේ හෙළ ගොවිකම ද පසෙකට දමා අපට ආසනික්, රසදිය අ්දී වස කවන ඊනියා කෘෂිකර්මය අපේ කරුමයක් බවට පත්කර ඇත්තේත් බටහිර දේශපාලන ආධිපත්‍යය විසිනි. මේ මහේශාඛ්‍ය බව රැකගැනීම සඳහා බටහිරයන් යොදාගන්නා ප්‍රධාන අවියක් වී ඇත්තේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නමැති පට්ටපල් බොරුව ඔස්සේ බටහිරයන් අපේ දැනුම් මිථ්‍යා බවට පත්කර ඇත. අපි මේ බව නොයෙකුත් අවස්ථාවල කියා ඇත්තෙමු. අපට පසුගිය දා මේ බොරුව බටහිරයන්ගේ බසින් ම, එනම් ඊනියා පර්යේෂණ මගින් ම සනාථ කිරීමේ අවස්ථාව එළඹිණි. ඒ සමග නෛසර්ගික පරස්පර හා අපේ කරුණු දැක්වීම් හමුවෙහි මෙතෙක් පණ අදිමින් සිටි බටහිර විද්‍යාව මිය ගියේ ය.

අපේ දැනුමේ පදනම ආධ්‍යාත්මික ශක්තිය බව අපි දැන් අත්දැකීමෙන් ම දනිමු. අවුරුදු ගණනක් ඉතා විශාල මුදලක් වැයකර බිහිකරණ හෘදය රෝග විශේෂඥයන්ට වඩා සමත් වෙදමහත්වරුන් ආධ්‍යාත්මික ශක්තියෙන් මාස කිහිපයකින් බිහිකර ගත හැකි බව අද අපි දනිමු. මේ සියළු විස්තර එක් තීරුවකින් කියා නිමකළ හැකි නො වේ. එහෙත් ඕනෑම අයකුට එවැනි වෙදමහතකු වියහැකි යැයි මෙයින් නො කියැවෙයි. බටහිර වෛද්‍ය පීඨයකට ඇතුල්වීමට ඕනෑම අයකුට නොහැකිවාක් මෙන් අපේ හෙළ නිල වෙදකම ඉගෙනීම ද ඕනෑම අයකුට කළ හැකි නො වේ. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තියක් තිබිය යුතු ය. පස්පව්වල ගිළී සිටින අයකුට හෙළ නිල කම කිසි ලෙසකින්වත් නො පිහිටනු ඇත. මෙය අරක්කු බී මස් කා ගිනි පෑගී යැයි කියන ආකාරයෙන් කළහැකි යැයි සිතන පඬියකු වේ නම් හැකි නම් ඒ අයුරින් හෙළ නිල වෙදකම ඉගෙන ගන්නා ලෙසට අභියෝග කරමු.

බටහිර විද්‍යාව යනු ඉතිහාසයේ එක් යුගයක එක් ප්‍රදේශයක බිහිවූ දැනුම් පද්ධතියකි. එහි මුල ඇත්තේ බටහිර භෞතික විද්‍යාව ය. එබැවින් ම බටහිර විද්‍යාවන් අතර වඩාත් ම වර්ධනය වී ඇත්තේත් බටහිර භෞතික විද්‍යාව ය. බටහිර රසායන විද්‍යාව ද ජෛවීය විද්‍යාවන් ද සමාජයීය විද්‍යාවන් පමණක් නොව සාහිත්‍ය විචාරය ද අවසානයේ දී බොහෝ දුරට බටහිර භෞතික විද්‍යාවේ නිව්ටෝනීය සුසමාදර්ශය මත පදනම් වන අතර එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත රැඳෙයි. බටහිර භෞතික විද්‍යාවේ සුසමාදර්ශ කිහිපයක් වෙතත් බටහිර රසායන විද්‍යාව හා ජෛවීය විද්‍යා තවමත් නිව්ටෝනීය සුසමාදර්ශය මත පමණක් පදනම් වෙයි. නිව්ටෝනීය සුසමාදර්ශය තමන්ට නොගැලපෙන බව අත්දැකීමෙන් ම හඳුනාගත් බටහිර ඇතැම් සමාජ විද්‍යා ක්වොන්ටම් සුසමාදර්ශය වෙත යනු පසුගිය දශක කිහිපයක කාලයෙහි අපි අත්දුටුවෙමු. ඊනියා පශ්චාත්නූතනවාදී අදහස්වල පසුබිමෙහි ඇත්තේ ක්වොන්ටම් සුසමාදර්ශය ය. එහෙත් ඒ සුසමාදර්ශයෙහි න්‍යාය සමග පෑහීමට බටහිරයන්ට නොහැකි වී ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව, භෞතික රසායන හා ජෛවීය විද්‍යාවන්හි ව්‍යවහාරික විද්‍යා හා තාක්‍ෂණවේදයන් පමණක් වෙයි. මේ අතර පරිගණක විද්‍යාව ආශ්‍රිත ව බිහි වී ඇති දැනුම් පද්ධතිවල බටහිර විද්‍යාවට පරිබාහිරව ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවිකත්වයක් යථාර්ථයක් වියුක්තයක් ගැන සඳහන් වුව ද පෞද්ගලිකකරණය ලෙස හැඳින්විය හැකි කස්ටමයිස්කිරීම යන්නෙන් කියැවෙන්නක් පරිගණක ක්‍ෂෙත්‍රයෙහි අද දක්නට ලැබේ.

ක්වොන්ටම් භෞතිකයෙහි සුසමාදර්ශය ද චින්තනය ද නිව්ටෝනීය සුසමාදර්ශයට මෙන් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ද පටහැණි ය. අයින්ස්ටයින් විද්වතා වැන්නන් ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට විරුද්ධවූයේත් ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ පද්ධතියක් ලෙස හැඳින්්වූයේත් එබැවිනි. අද බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් පමණක් නොව බටහිර භෞතික විද්‍යාඥයන් ද මහත් වෙර වෑයමක් දරන්නේ ක්වොන්ටම් භෞතිකය ඊනියා යථාර්ථවාදී වාස්තවිකවාදී රාමුවෙහි තබා ගැනීමට ය. බටහිර විද්‍යාවෙහි ඇත්තේ ඉමහත් පරස්පර ය. මේ පරස්පර එකින් එක විදුසර පුවත්පතෙහි විස්තර කෙරෙයි. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර අනුභූතියක් ගැන කතාකරන නමුත් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට බටහිර විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හා ප්‍රවාද යොදාගැනීම සුලභ කටයුත්තක් බවට පත් වී ඇත. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය වූව ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. ප්‍රවාද පමණක් නොව ඉලෙක්ට්‍රෝන අවස්ථිති රාමු ආදිය ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. බටහිර විද්‍යාවෙහි මේ පිළිබඳ ප්‍රශ්න කළේ ඕස්ට්‍රියානි ජාතික භෞතික විද්‍යාඥ්‍රකු හා දාර්ශනිකයකු වූ අර්නස්ට් මාක් විද්වතා ය. ඔහු ඊනියා ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියෙක් විය. එහෙත් බටහිර බිහිවන අනෙක් මතවාද, දර්ශන ආදිය මෙන් ම ඉන්ද්‍රියානුභූතවාදය ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හිර වී ඇත.

අපේ දැනුම පොතපතෙහි ලිවිය යුතු දැනුමකට වඩා ආධ්‍යාත්මික ව ම ලබාගත යුතු දැනුමකි. පැරණි සිංහලයන්ගේ දැනුම පොත්පත්වල සඳහන් නොවන්නේ එබැවින් විය හැකි බව අපි කියා ඇත්තෙමු. ආධ්‍යාත්මික ව දියුණු වූ අයට පංචෙන්ද්‍රිය වසා සිත එක් අරමුණකට යොමු කිරීමෙන් දැනුම ලබාගත (නිර්මාණය – - සංස්කරණය කළ) හැකි ය. එසේත් නැතහොත් මෛත්‍රී බුදුන් වහන්සේ ලෙස මතු බුදුවන නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් මගින් ඒ දැනුම ලබාගත හැකි ය. කැලණිය විශ්වවිද්‍යාලයේ කිහිප දෙනකු බටහිර වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගි කරගනිමින් එසේ ලබාගත් දැනුම අත්හදා බලා ඇත. අපට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු සම්‍යක්දෘෂ්ටික දේවතාවුන්ගෙන් ලබාගත් දැනුමක් වෙයි. බටහිර වෛද්‍යවරුන්ට හා බටහිර රසායනික විද්‍යාඥයන්ට රජරට වකුගඩු රෝගය වැළඳෙන්නේ කෙසේ දැයි කිව නොහැකි විය. ඔවුන්ගේ පර්යේෂණ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන හාරසීයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන් කර ඇතැයි කියැවෙයි. අපේ කණ්ඩායම රජරට වකුගඩු රෝගයට හේතුව රජරට කිවුල් ජලයට කෘෂි රසායනික ද්‍රව්‍ය මගින් එකතු වී ඇති ආසනික් බව හඳුනාගෙන ඇති අතර පළමු වරට කිවුල් ජලයේ ලවණ අතර ඇති ආසනේට් පරීක්‍ෂාකිරීමට ද ක්‍රමයක් යොදාගෙන ඇත. මේ දැනුම් අපට ලැබෙන්නේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් බව නො වළහා ප්‍රකාශ කරමු. අපේ සියළු පර්යේෂණ සඳහා තවමත් රුපියල් ලක්‍ෂ තුනක් වියදම් වී නැති බව අවධාරණය කරන්නේ මෙරටට ණය ලෙස ලැබෙන මුදල් ගසාකන්නේ දේශපාලනඥයන් පමණක් නොවන බව ප්‍රකාශ කිරීමට ය. මුදල් ගසාකන්නන් අතර ඇතැම් නිලධාරීහු ද ඊනියා උගත්තු ද වෙති.

බටහිරයෝ නොපෙනෙන දෙවියන් නැතැයි අපට කීහ. එහෙත් ඔවුහු එක් දෙවියකු ඉතිරිකර ගත්හ. මෙරට අනුකාරක පඬියෝ ද දෙවියන් නැතැයි කීහ. ඔවුන්ට බටහිරයන්ගෙන් තාන්නමාන තනතුරු ලැබිණි. මේ පඬියන් අතර ඊනියා බුද්ධිවාදී හේතුවාදී බෞද්ධයෝ ද වූහ. ඔවුහු දෙවියන් හින්දු ගොඩට තල්ලු කර දැමූහ. එහෙත් ඔවුන්ට මහාමංගල සූත්‍රය දේශනාකිරීමට නිමිත්ත වූ අඤ්ඤතරා දේවතා අමතක විය. නොපෙනෙන දෙවියන් නැතැයි කියන පඬියෝ නොපෙනෙන ඉලෙක්ට්‍රෝන ඇතැයි කියති. මොවුන් බටහිරයන් ඉදිරියේ එසේ කරන්නේ කකුල් අස්සේ නගුට ගසාගත් සුනඛයන් මෙනි. සුනඛයන්ට මස්ලේ නැති ඇටකටු ලැබෙන්නාක් මෙන් පඬියන්ට ද එතරම් සරු නැති ශිෂ්‍යත්ව හා අධිශිෂ්‍යත්ව ලැබෙයි. සංසාරය, කර්මය, ප්‍රතික්‍ෂෙප කරන ඊනියා මහා ලේඛකයන් ප්‍රාඥයන් සාහිත්‍ය කරුවන් සිටි හා සිටින රටක තවමත් තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් සිටින්නේ බටහිර කසිකබල් උගතුන්ගේ පිනට නොව මෙරට අසරණ අහිංසක ගැමියන් බටහිර දැනුමට යට නොවීමට ගත් උත්සාහයට පින් සිදුවන්නට ය. පඬියන් දන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය පමණකි. එහෙත් බුදුදහම මේ ද්විකෝටිකය ඉක්මවා යයි. ද්විකෝටිකයෙන් පුනබිභවය තේරුම් ගන්නට උත්සාහ ගන්නා තැනැත්තා තනි අතින් අප්පුඩි ගැසීමට සැරසෙන්නෙකි. දෙවියන්ගෙන් දැනුම ලබාගන්නේ යැයි කී විට කැලණිය විශ්වවි්‍යාලයේ හා වෙනත් විශ්වවිද්‍යාලවල ඇතැම්හු අපට නැති තැන සිනාසුනහ. අප දේවාල තනන්නේ යැයි කීහ. එහෙත් මෙරට විද්‍යාඥයන් යනු සුද්දා කියා දී ඇති ආකාරයට නියැදි එකතුකරන්නන් හා එකතු කළ නියැදි සුද්දාගේ පොතට අනුව පරීක්‍ෂණවලට ලක්කරන්නන් පමණක් බව අපි දනිමු. හැරත් මේ බොහොමයක් ඊනියා විද්‍යාඥයන් වී ඇත්තේ අහම්බෙනි. මොවුන් තම විෂයට එකතු කර ඇති දැනුම කුමක් ද? නැවත ඉපදී ඇති අපේ දැනුම හමුවේ බටහිර විද්‍යාව මියගොස් ඇත. එහෙත් බටහිර ආධිපත්‍යය මගින් මේ මළ මිනිය තව ටික කලක් ඔවුන්ගේ රසායනික ද්‍රව්‍ය ගිල්වා තබාගනු ඇත. එහෙත් ඒ වැඩි කලකට නො වේ.