Main Logo

Showing posts with label යුක්ලීඩීය. Show all posts
Showing posts with label යුක්ලීඩීය. Show all posts

Monday, 9 December 2013

ගවුස් බටහිර ගණිතයේ හා විද්‍යාවේ කළ වෙනස


පැරණි ග්‍රීකයෝ එකල විවිධ රටවල තිබූ දැනුම් වියුක්ත ආකාරයකින් ඉදිරිපත් කළහ. ඒ සඳහා හොඳම උදාහරණය අද යුක්ලීඩීය ජ්‍යාමිතිය යනුවෙන් හැඳින්වෙන දැනුම් පද්ධතිය ය. ඔවුහු ඒ අතර ස්වසිද්ධාත්මක (axiomatic) ක්‍රමය ද ඉදිරිපත් කළහ. ස්වසිද්ධි (axioms) හෙවත් ප්‍රත්‍යක්‍ෂ කිහිපයක් මත පදනම් ව ඇරිස්ටෝටලීය න්‍යාය (logic)  යනුවෙන් හැඳින්වෙන න්‍යාය යොදාගනිමින් තර්කයෙන් යම් යම් නිගමනවලට පැමිණීමට ඔවුහු සමත්වූහ. මේ ස්වසිද්ධිවල සත්‍යාසත්‍යතාව ගැන අද ප්‍රශ්න නොකෙරෙන නමුත් එදා ඒ ස්වසිද්ධි සත්‍ය ලෙස පිළිගන්නා ලද බව පෙනී යයි. ඒවාට සිංහලෙන් ප්‍රත්‍යක්‍ෂ යන්න ද යොදාගැනෙන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ම ඒ සත්‍ය යැයි එකල පිළිගනු ලැබීම නිසා ය. සිංහල පාර්භාෂික ශබ්ද තැනූ අය ස්වසිද්ධි හෙවත් ඇක්සියම් යන්නෙහි ඒ අරුත ද සලකා ඇති බව පෙනී යයි.

ස්වසිද්ධි වෙනත් ප්‍රකාශවලින් නිගමනය කළ නොහැකි බව පැරණි ග්‍රීකයෝ පිළිගත්හ. ස්වසිද්ධියක් යැයි සැලකෙන්නක් වෙනත් ප්‍රකාශයක් හෝ ප්‍රකාශ හෝ ඇසුරෙන් ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් තර්කයෙන් නිගමනය කළහැකි වී නම් එය ස්වසිද්ධියක් නොවේ යැයි ග්‍රීකයෝ නිගමනය කළහ. යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සමාන්තර ස්වසිද්ධිය (parallel axiom) ගැන ග්‍රීකයෝ ද පහළොස්වැනි සියවසෙන් පසුව බටහිරයෝ ද සැක පහළ කළහ. ඒ ස්වසිද්ධියෙන් කියැවෙන්නේ දෙන ලද සරල රේඛාවක නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට ඇඳිය හැක්කේ එකම එක සමාන්තර සරල රේඛාවක් පමණක් බව ය. 

පැරණි ග්‍රීක ගණිතඥයෝ ද පසුව බටහිර ගණිතඥයෝ ද සමාන්තර ස්වසිද්ධිය වෙනත් ප්‍රකාශවලින් (ස්වසිද්ධිවලින්) නිගමනය කළ (අපෝහනය කළ - ලබාගත) හැකි දැයි සොයා බැලුහ. එහෙත් එය වෙනත් ස්වසිද්ධියකින් හෝ ස්වසිද්ධිවලින් හෝ ලබාගත නොහැකි විය. එබැවින් සමාන්තර ස්වසිද්ධිය ස්වසිද්ධියක් ලෙස ම සැලකිණි. කෙසේ වෙතත් සමාන්තර ස්වසිද්ධිය ස්වසිද්ධියක් දැයි සැක පහළ කරන්නට ඇත්තේ එහි සත්‍යතාව පිළිබඳ සැකයක් පහළ වූ නිසා ද යන්න පැහැදිලි නැත. 

දහනවවැනි සියවසේ බිහි වූ විශිෂ්ටතම බටහිර ගණිතඥයකු වූ ද බටහිර භෞතික විද්‍යාඥයකු වූ ද ගවුස් සමාන්තර ස්වසිද්ධිය වෙනත් ස්වසිද්ධියකින් අපෝහනය (නිගමනය) කිරීමට නොහැකි වූ විට ස්වසිද්ධිය යන්නට වෙනත් ම අදහසක් දුන්නේ ය. එය එක්තරා අයුරකින් ගත්කල වත්මන් පාරිභාෂික වදන් යොදාගන්නේ නම් ස්වසිද්ධි පිළිබඳ සුසමාදර්ශී වෙනසක් (paradigm shift)  ලෙස සලකමි. එතෙක් ස්වසිද්ධිය යන්න සත්‍යය සමග බැඳී තිබුණ නමුත් ඉන්පසුව ස්වසිද්ධියක සත්‍යාසත්‍යතාව ගැන සැලකීමට බටහිර ගණිතඥයෝ උනන්දු නො වූහ. ස්වසිද්ධියක් පද්ධතියෙහි අනෙක් ස්වසි්ද්ධි සමග අසංගත නොවී නම් එය ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ නම් ඒ ප්‍රමාණවත් විය. ප්‍රත්‍යක්‍ෂබව තවදුරටත් බටහිර ගණිතඥයන්ගේ සැලකිල්ලට යොමු නො වී ය. කෙසේ වෙතත් වියුක්ත ප්‍රකාශ වූ ස්වසිද්ධිවල ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නොවූ බව ද සඳහන් කළ යුතු ය. 

ගවුස්  සමාන්තර ප්‍රත්‍යක්‍ෂය වෙනුවට වෙනත් ප්‍රත්‍යක්‍ෂ දෙකක් ඉදිරිපත් කළේ ය. දෙන ලද සමාන්තර රේඛාවක නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට සමාන්තර ව එක් සරල රේඛාවක්වත් ඇඳිය නොහැකි ය යන්න එක් ප්‍රත්‍යක්‍ෂයක් විය. දෙවැනි ප්‍රත්‍යක්‍ෂය වූයේ එවැනි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට සමාන්තර ව සරල රේඛා එකකට වඩා ඇඳිය හැකි බව ය. දැන් සමාන්තර රේඛා පිළිබඳ ස්වසිද්ධි තුනක් විය. ඒ ස්වසිද්ධි වෙන වෙන ම යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක් ස්වසි්ද්ධි සමග ගත්විට ජ්‍යාමිති තුනකට පදනම් විය. එනම් ජ්‍යාමිතිය පිළිබඳ දැනුම් පද්ධති තුනක් විය. පැරණි යුක්ලීඩීය ජ්‍යාමිතියට අමතර ව තවත් ජ්‍යාමිති දෙකක් ඇති විය. ඒ ජ්‍යාමිති නිර්යුක්ලීඩීය ජ්‍යාමිති (non Euclidean)  යන නමින් හැඳින්වෙයි.

නිර්යුක්ලීඩීය ජ්‍යාමිතිවල ප්‍රමේයය, එනම් ස්වසිද්ධි මත පදනම් ව ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් ලබාගන්නා වඩා සාධාරණ (සාධාරණ අවශ්‍යතා මත පදනම් ව යන අදහසින්) නිගමන, යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ප්‍රමේයයන්ගෙන් වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් නිර්යුක්ලීඩිය ජ්‍යාමිතිවල ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව එක්කෝ අංශක 180 ට වැඩිය, නැත්නම් අඩු ය. ගවුස්ගේ සුසමාදර්ශී වෙනසින් පසුව බටහිර ගණිතඥයන්ට ස්වසිද්ධිවල සත්‍යාසත්‍යතාව ප්‍රශ්නයක් නො වී ය. බටහිර ගණිතයේ නිගමන භෞතික වශයෙන් (භෞතික යන්න පංචෙන්ද්‍රිය ගෝචර ලෙස දැනට සලකමු) සත්‍ය ද නැත් ද යන්න දැනගැනීමට  බටහිර ගණිතඥයන්ට අවශ්‍ය නො වේ. ඔවුන් සැලිකිලිමත් වන්නේ සංගතබව ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ වන්නේ ද ආදිය පිළිබඳ පමණකි. ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත දැනුම් පද්ධතියක් වූ බටහිර ගණිතයට පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවීම කෙසේවත් ප්‍රශ්නයක් නො වේ.

බටහිර ගණිතය පිළිබඳ ව ජනප්‍රිය පොතපතින් පමණක් හදාරා ඇති එහෙත් බටහිර ගණිතය හදාරා නොමැති මහාචාර්ය අමරතුංග මහතා සකල කලා භූෂණ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වැන්නන්ට ගවුස් විසින් කරන ලද සුසමාදර්ශී වෙනස ගැන වැටහීමක් නොමැති නම් මම ඒ ගැන පුදුම නො වෙමි. මෙරට ගණිත මහාචාර්යවරුන්ට ද ඒ ගැන කිසිම වැටහීමක් නැත. බටහිර රටවල ද ගවුස්ගේ සුසමාදර්ශී වෙනස ගැන කියන්නන් නැතැයි සිතමි. බටහිර ගණිතයේ ඇති ලක්‍ෂණ පෙරදිග කිසිම ගණිතයක තිබී නැත. එසේ වුවත් ඩී එස් සී උපාධිධාරී දන්ත වෛද්‍ය මහාචාර්ය අමරතුංග මහතා පෙරදිග සංයුක්ත ගණිතය හා බටහිර ගණිතය අතර සමානකම් දකියි. 

මා අමරතුංග මහතාටත් කාලෝ ෆොන්සේකා මහතාටත් බටහිර විද්‍යාව හා ගණිතය සම්බන්ධ කරුණු පිළිබඳ වාචික ව කෙරෙන විවාදයකට ආරධනා කර ඇති නමුත් ඔවුන් මෙතෙක් ඒ ආරාධනා කිසිවක් භාරගෙන නැත. ඇතැම් විට ඒ මහත්වරුන් මට වඩා බුද්ධිමත් බැවින් මා සමග වාදකිරීම ඔවුන්ගේ ගෞරවයට කැළලක් වන්නේ යැයි සිතනවා විය හැකි ය. මෙය, එනම් වාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නොවන බව, මෙරට උගතුන් අතර ඇති පොදු මතයක් බැවින් මට ඒ ගැන කම්පාවක් ද නැත. වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා දෙමළ බෞද්ධයන් ගැන කරන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳ වාදයකට මා ආරාධනා කළ විට ඒ මහතා ද එම ආරාධනය නො පිළිගත්තේ ය. ඒ පිළිබඳ ව ඉරිදා දිවයින පුවත්පත උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතාගෙන් විමසු විට ඒ මහතා කදිම පිළිතුරක් දී තිබිණි. මගේ මතකය අනුව උසස් අධ්‍යාපන ඇමතිතුමා කියා තිබුණේ මා ද වැදගත් පුද්ගලයකු බවත් එහෙත් මට වඩා වැදගත් වැඩදායක බුද්ධිමත් සුනිල් ආරියරත්න මහතා මා සමග විවාදයට නොඑළඹීම අනුමත කරන බවත් ය. උසස් අධ්‍යාපන ඇමතිතුමාට එවැනි තීරණයක් දීමට විශ්වවිද්‍යාල පනතින් බලතල පැවරී නැති නමුත් ඒ මහතා පැවසුවේ රටේ උගතුන් අතර ඇති මතයකි. 

ගවුස්ගේ සුසමාදර්ශී වෙනස අද වන විට බටහිර භෞතික විද්‍යාවට ද රිංගා ගෙන ඇත. මෙරට සිටින බටහිර වෛද්‍යවරුන් නොපිළිගත්ත ද, බටහිර විද්‍යාවේ දියුණුම අංශය බටහිර භෞතික විද්‍යාව වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව යනු තාක්‍ෂණික දැනුම් පද්ධතියක් මිස බටහිර ශුද්ධ විද්‍යාවේ දැනුම් පද්ධතියක් නො වේ. බටහිර භෞතික විද්‍යාවේ ද දියුණුම අංශ වනුයේ ක්වොන්ටම් භෞතිකය ඇසුරෙන් ගොඩනැගී ඇති තන්තු ප්‍රවාදය (string theory)  වැනි දැනුම් පද්ධති හා සාධාරණ සාපේක්‍ෂතාවාදය ඇසුරෙන් ගොඩනැගී ඇති විශ්වවේදය (cosmology) වැනි දැනුම් පද්ධතීන් ය. 

ක්වොන්ටම් භෞතික විද්‍යාව හා සාධාරණ සාපේක්‍ෂතාවාදය එකතු කිරීමට බටහිර භෞතික විද්‍යාඥයන් දැනට අවුරුදු අසූවකට වැඩි කලක් උත්සාහ ගෙන ඇති නමුත්  ඒ සාර්ථක වී නැත. එසේ වුවත් විශ්වවේදයෙහි දී තන්තු ප්‍රවාදයෙහි ඇති දැනුම යොදා ගැනීමට ඔවුහු පෙළඹෙති. ඔවුන් එසේ කරන්නේ ෙසෙද්ධාන්තිකව ය. එහි දී ඔවුහු ගණිතඥයන් මෙන් ක්‍රියාකරති. තමන් ඉදිරිපත් කරන ප්‍රවාදවල සත්‍යසත්‍යතාව ගැන විමසීමට ඔවුහු උනන්දු නො වෙති. ඔවුන්ට අවශ්‍ය ෙසෙද්ධාන්තික, ගණිතමය සංගත බව පමණකි. විශ්වය ආරම්භයේ පැවති තත්වයන් තවමත් පරීක්‍ෂණාගාරයක දී නිර්මාණය කිරීමට නොහැකි බව පවසමින් ඔවුහු තම ප්‍රවාද ඉදිරිපත් කරති. 

මෙහි දී පොපර්ගේ අසත්‍යකරණය කුණු කූඩයට ද පහත් තැනකට ඇද වැටෙයි. බටහිර විද්‍යාවේ දියුණුම අංශවල ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් කිසිසේත් ම වලංගු නො වේ. වියුක්ත චින්තනය ගැන මෙලෝ අත්දැකීමක්, වැටහීමක් නැති මෙරට කසිකබල් ඉතිහාසඥයන් ඊනියා පොපේරියානු අසත්‍යකරණයක් ගැන නන්දොඩවන විට ඔවුන් ගැන අනුකම්පා කිරීම හැර කරන්නට වෙනත් දෙයක් නැත. පාසලේ දී මගේ ප්‍රියතම විෂය වූයේත්, ඥනවිභාගය හැරෙන්නට තවමත් මා ප්‍රියකරන, එහෙත් හුදු කතන්දර වූ විෂය වනුයේත් ව්‍යවහාරික ගණිතය (ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව) හා ඉතිහාසය ය. මේ විෂය අතර සමානකම් මෙන් ම අසමානකම් ද මම හොඳහැටි දනිමි. 

බටහිර ඉතිහාසය යන විෂයය වියුක්ත දැනුම් පද්ධතියක් වීමට බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසන පට්ටපල් බොරු කතන්දරවලින් සමන්විත වෙයි. මහාවංසය ලියැවී ඇත්තේ සංයුක්ත දැනුම් පද්ධතියක් ලෙස ය. එහි අඩුපාඩුකම් ඇත. දෙමළ ජාතිවාදී ඉතිහාසඥයන් විසින් ඒ විවේචනය කෙරෙනුයේ ඔවුන්ගේ ඉල්ලීම් ඒ මගින් යුක්තියුක්ත කිරීමට නොහැකි බැවිනි. දෙමළ ජාතිවාදය පිටුපස සිටින බටහිරයන් මහාවංස භීතිකාවක් මවා ඇත්තේ ද එබැවිනි. මම මහාවංසය පිළිබඳ බටහිරයන් හා ඔවුන්ගේ දාසයන් ඉදිරිපත් කරන විවේචන දණ්ඩෙන් ගෙන ගැරඬි හැවක් මෙන් විසිකරමි. 

එහෙත් මෙරට සිටින මුග්ධ අනුකාරකයන් සිතන්නේ මහාවංසය පිළිබඳ බටහිර විවේචනය වාස්තවික එකක් යැයි අප විසින් පිළිගනු ලැබිය යුතු බව ය. බටහිර භෞතික විද්‍යාව ද වාස්තවික නොවන කල බටහිර ඉතිහාසය ඇතුළු බටහිර සමාජයීය විද්‍යාවන් ගැන කියනුම කවරේ ද? දෙමළ ජාතිවාදය යුක්තියුක්ත කරන බටහිර දැනුම මහාචාර්ය කාලෝ ෆොන්සේකාට ප්‍රියමනාප වීමට හැකි වුවත් සිංහල ජාතිකවාදියකු යැයි සිතිය හැකි මහාචාර්ය අමරතුංග මහතා බටහිර දැනුම පසුපස යන්නේ කිනම් පදනමකින් ද?   


එහෙත් මහාවංසය ගැන පමණක් නොව සමස්තයක් ලෙස ගත්කල මහාවිහාරික සම්ප්‍රදාය ගැන මගේ විවේචන වෙයි. මහාචාර්ය අමරතුංග මහතා ඇතුළු ථෙරවාදයේ ඊනියා ආරක්‍ෂකයන් මට විරුද්ධ වන්නේ මහාවිහාරික දැනුම් පද්ධතිය ගැන මගේ විවේචන දිරවාගත නොහැකි බැවිනි. එසේ වුවත් බටහිර විවේචනවලට විරුද්ධව මම මහාවිහාරය වෙනුවෙන් පෙනී සිටිමි. අවුරුදු පහළොවකට පෙර මගේ පියා මියගිය අවස්ථාවේ දී මා ලියූ අප මහාවිහාරයේ යන ලිපියේ ආත්මය සමග මම තවමත් බැඳී ඇත්තෙමි. ඉතිහාසය ද ප්‍රවාද මත පදනම් වන විට පට්ටපල් බොරු වෙයි. මහාවිහාර ඉතිහාසය ප්‍රවාද මත පදනම් වූ ඉතිහාසයක් නො වේ. එය ජනශ්‍රැතිය මත පදනම් වෙයි. ජනශ්‍රැතිය වැරදි විය හැකි ය. එහෙත් එය බටහිර වියුක්ත ප්‍රවාද මෙන් පට්ටපල් බොරු නො වේ. 


නලින් ද සිල්වා

2013-12-04

Saturday, 22 September 2012

ජ්‍යාමිති හා භූමිතික

අපි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය ගැන සඳහන් කළෙමු. එය සෘජු කෝණ දෙකක් යැයි සඳහන් ප්‍රමේයයක් යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි වෙයි. මේ ප්‍රමේයය රඳා පවතින්නේ, එනම් පදනම් වන්නේ යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි කියැවෙන ස්වසිද්ධි මත ය. විශේෂයෙන් ම සමාන්තර ස්වසිද්ධිය යැයි කියැවෙන ස්වසිද්ධිය මත ය. සමාන්තර ස්වසිද්ධියට වැදගත් ඉතිහාසයක් ඇත. එම ස්වසිද්ධියෙන් කියැවෙන්නේ දෙන ලද සරල රේඛාවකට සමාන්තර ව එම රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ එකම එක සරල රේඛාවක් පමණක් ඇඳිය හැකි බව ය. එයින් ඉතා පැහැදිලිව කියැවෙන්නේ එලෙස එක් සමාන්තර රේඛාවක් ඇඳිය හැකි බව හා සමාන්තර රේඛා එකකට වඩා ඇඳිය නොහැකි බව ය.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් බව සාධනය කිරීමට මේ ස්වසිද්ධිය යොදා ගැනෙයි. එහි දී ත්‍රිකෝණයෙහි එක් ශීර්ෂයක් ඔස්සේ එහි දී හමු නොවන පාදයට සමාන්තර ව සරල රේඛාවක් අඳිනු ලැබෙයි. ඉන් පසුව සමාන්තර සරල රේඛා හා තිර්යක් රේඛා සම්බන්ධයෙන් ඒකාන්තර කෝණ හා අනුරූප කෝණ සමාන යන ප්‍රමේය උපයෝගී කරගනිමින් හා සරල රේඛාවක ඕනෑම ලක්‍ෂ්‍යයක දී සෘජු කෝණ දෙකක් වේය යන ප්‍රමේය යොදා ගනිමින් සමානයන්ට සමානයන් එකතු කළ විට සමානයන් ලැබේය යන ඇරිස්ටෝටලීය න්‍යායයෙහි ප්‍රතිඵලය ඔස්සේ ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් බව සාධනය කෙරෙයි. මේ ඇරිස්ටෝටලීය ප්‍රතිඵලය අන් කිසිවක් නොව A=B හා C=D නම් A+C=B+D යන්න ය. මේ ප්‍රතිඵලය ලබාගත්තේ කෙසේ ද යන්න ගැන බොහෝ දෙනා විමසිලිමත් නො වෙති. ඇතැම් විට ඔවුන් එය තවත් ස්වසිද්ධියක් යැයි සිතනු ඇත. එහෙත් ඇරිස්ටෝටලීය න්‍යායෙහි කියැවෙන අනෙක් ප්‍රතිඵල මෙන් ම එය ද උද්ගමනයෙන් ලබාගන්නකි.

ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට සමාන වන්නේ යැයි සාධනය කිරීම යුක්ලීඩීය ස්වසිද්ධි වෙනත් ප්‍රමේය හා ඇරිස්ටෝටලීය න්‍යාය මත රඳා පවතියි. මෙයින් සමාන්තර ස්වසිද්ධිය කාලයක් තිස්සේ බටහිර ගණිතඥයන්ගේ නොමඳ අවධානයට ලක්වූවකි. ඔවුහු එය අනෙක් ස්වසිද්ධීන්ගෙන් වෙනස්වන්නේ යැයි සිතුහ. ඒ ස්වසිද්ධියක් නොව ඇරිස්ටෝටලීය න්‍යාය මගින් අනෙක් ස්වසිද්ධීන්ගෙන් ලබාගත හැකි ප්‍රතිඵලයක් යැයි ඔවුහු කල්පනා කළහ. ඒ අනුව එය අනෙක් ස්වසිද්ධීන්ගෙන් ලබාගැනීමට බටහිර ගණිතඥයෝ උත්සාහ කළහ.

එහෙත් දහනවවැනි සියවසේ දී ඔවුන්ට සමාන්තර ස්වසිද්ධිය ද යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක් ස්වසිද්ධි මෙන් ම තවත් ස්වසිද්ධියක් බවත් එය අනෙක් ස්වසිද්ධීන්ගෙන් ලබාගත හැකි ප්‍රතිඵලයක් නොවන බවත් අවබෝධ විය. එබැවින් ඒ ස්වසිද්ධිය ද යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි තවත් ස්වසිද්ධියක් ලෙස සලකණු ලැබිණි. ඉන්පසු බටහිර ගණිතඥයන්ට අපූරු අදහසක් ඇතිවිය. මේ වන විට ග්‍රීකයන්ගේ කාලයෙහි මෙන් නොව ජ්‍යාමිතිය බටහිර ගණිතයෙහි කොටසක් බවට පත් වී තිබිණි. ග්‍රීකයන්ට යුක්ලීඩීය ජ්‍යාමිතිය යම් ප්‍රමාණයකට වුව භෞතික වූ අවකාශය නිරුපණය කරන්නක් විය. ග්‍රීකයන්ට එය ගණිතමය යුක්ලීඩීය ජ්‍යාමිතිය නොවූ බව අමතක නොකළ යුතු ය. ඔවුන්ට එය ජ්‍යාමිතිය විය. ඔවුන්ට එය භෞතික අවකාශයේ ජ්‍යාමිතිය වූ අතර වෙනත් ජ්‍යාමිති නො වී ය.

එහෙත් දහනවවැනි සියවස වන විට බටහිර ගණිතයෙහි ස්වසිද්ධි භෞතිකයෙන් ස්වායත්ත වී තිබිණි. ස්වසිද්ධි ඊනියා සත්‍ය වීය යුතු ය යන්න බටහිර ගණිතයෙන් ක්‍රමයෙන් ඉවත් කෙරීම හේතුවෙන් ස්වසිද්ධිවලට සත්‍යවීමට අවශ්‍යතාවක් නො වී ය. මෙය බටහිර ගණිතයෙහි ඒ වන විට සිදු වී තිබි ඉතා වැදගත් වෙනසකි. ස්වසිද්ධිවල ඊනියා සත්‍යතාව සෙවීමට අවශ්‍ය නොවූ අතර අවශ්‍ය වූයේ ස්වසිදාධි හා සාධනය කරන ලද ප්‍රමේය එකක් හෝ කිහිපයක් හෝ මත පදනම් වී ඇරිස්ටෝටලීය න්‍යාය ඇසුරෙන් වෙනත් ප්‍රමේය හා ප්‍රතිඵල සාධනය කිරීම ය. ඊනියා භෞතික සත්‍යතාව ඉවත් වී ගණිතමය සත්‍යතාව ආදේශ වී තිබිණි. ගණිතමය සත්‍යතාව යන්නෙන් අදහස් කෙරෙන්නේ ස්වසිද්ධිවල ඊනියා (භෞතික) සත්‍යතාවක් ගැන නොසොයා ස්වසිද්ධි හා ඒ මත ම පදනම් වූ ප්‍රමේය යොදා ගනිමින් ඇරිස්ටෝටලීය න්‍යාය ඇසුරෙන් ලබාගන්නා ප්‍රතිඵලවල සත්‍යතාව ය. එහි දී වැදගත් වන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය පරස්පරතාවලින් තොරව නිවැරදිව යොදා ගෙන ඇත් ද යන්න පමණ ය. ලබාගත් ප්‍රතිඵලවල ඊනියා භෞතික සත්‍යතාවක් සෙවීමට බටහිර ගණිතඥයන්ට අවශ්‍යතාවක් නො වී ය.

බටහිර ගණිතයෙහි ස්වසිද්ධිවල ඊනියා භෞතික සත්‍යතාවක් නොසෙයූ බැවින් සමාන්තර ස්වසිද්ධිය ද සත්‍ය ද නැත් ද යන්න බටහිර ගණිතඥයන්ට වැදගත් නො වී ය. දෙන ලද සරල රේඛාවකට සමාන්තර ව එම සරල රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ භෞතික ව ඇඳිය හැක්කේ එක් සරල රේඛාවක් පමණක් ද යන්න බටහිර ගණිතඥයන්ට භෞතික ව වැදගත් වූ කරුණක් නො වී ය. සමාන්තර ස්වසිද්ධිය ද ජ්‍යාමිතියෙහි අනෙක් ස්වසිද්ධිවලින් ස්වායත්ත වූ තවත් ස්වසිද්ධියක් පමණක් බව දැනගැනීමෙන් පසුව බටහිර ගණිතඥයන්ට එම ස්වසිද්ධිය වෙනස් කිරීමට හැකි ය යන අදහස පහළ විය. ඒ අනුව ඔවුහු එම ස්වසිද්ධිය දෙයාකාරයකින් වෙනස් කළහ. එක් ආකාරයකට අනුව දෙන ලද රේඛාවකට සමාන්තර ව ඒ රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ රේඛාවට සමාන්තර ව එකදු සරල රේඛාවක්වත් ඇඳිය නොහැකි විය. අනෙක් ආකාරයට කළ වෙනසින් කියැවුණේ දෙන ලද රේඛාවකට සමාන්තරව එම රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ වුවමනා තරම් රේඛා ඇඳිය හැකි බව ය.

එවිට සමාන්තර ස්වසිද්ධිය ආකාර තුනකින් ප්‍රකාශ විය. ඒ ආකාර තුන අනුව ජ්‍යාමිති ද තුනක් ලැබිණි. සමාන්තර ස්වසිද්ධිය මුල් ආකාරයෙන් ම ගැනීමෙන් ලැබුණේ යුක්ලීඩීය ජ්‍යාමිතිය ය. අනෙක් ආකාර දෙකෙන් ලැබුණු ජ්‍යාමිති යුක්ලීඩීය නොවන හෙවත් නිර්යුක්ලීඩීය විය. නිර්යුක්ලීඩීය ජ්‍යාමිතිවල ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් නොවීය. එය ස්වසිද්ධියේ ආකාරය අනුව එක්කෝ සෘජු කෝණ දෙකකට වැඩි විය. නැත්නම් සෘජුකෝණ දෙකකට අඩු විය. මෙහි දී කිවයුතු කරුණක් නම් නිර්යුක්ලීඩීය ජ්‍යාමිතිවල ත්‍රිකෝණ නිර්මාණය කෙරෙන්නේ සරල රේඛාවලින් නොවන බව ය.

උදාහරණයක් වශයෙන් ගෝලාකර පෘෂ්ඨයක ජ්‍යාමිතිය සලකමු. එහි සරල රේඛා ඇඳිය නො හැකි ය. ගෝලයක පිහිටි ලක්‍ෂ්‍යයක් එහි තවත් ලක්‍ෂ්‍යයකට සරල රේඛාවකින් යා කළ නො හැකි ය. ඇතැමකුට සිතෙනු ඇත්තේ එය කළ හැකි ය කියා ය. එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්ත නම් ලක්‍ෂ්‍ය දෙක යා කරන රේඛාව මුළුමනින් ම ගෝලය මත පිහිටිය යුතු ය යන්න ය. ඒ රේඛාවට ගෝලය පසාරු කර යා නො හැකි ය. අප එහි දී සළකන්නේ ගෝලයහෙි, එනම් අදාළ පෘෂ්ඨයෙහි ජ්‍යාමිතිය මිස වෙනත් අවකාශයක ජ්‍යාමිතියක් නො වේ. මෙය වියුක්ත ගෝලයක් ලෙස ගන්නේ නම් මැනවි.

ගෝලාකර පෘෂ්ඨයක ලක්‍ෂ්‍ය දෙකක් යා කරන පෘෂ්ඨය දිගේ මැනෙන කෙටිම දුර ඇති රේඛාව මහා වෘත්තයක් නමින් හැඳින්වෙයි. මහා වෘත්තයක් යනු ගෝලයේ ප්‍රභින්න ලක්‍ෂ්‍ය දෙකක් හා කේන්ද්‍රය අඩංගු තලයේ හා ගෝලාකාර පෘෂ්ඨයේ ඡෙදනයෙන් ලැබෙන වෘත්තයකි. මහා වෘත්තයක කේන්ද්‍රය ගෝලයේ කේන්ද්‍රයම වෙයි. වෙනත් අයුරකින් කියන්නේ නම් මහා වෘත්තයක් යනු ගෝලාකාර පෘෂ්ඨයේ හා ගෝලයෙහි කේන්ද්‍රය ඔස්සේ යන තලයක ඡෙදනයෙන් ලැබෙන වෘත්තයකි. මහා වෘත්තයක ලක්‍ෂ්‍ය දෙකක් අතර දුර මැනෙන්නේ වෘත්තය දිගේ මිස ලක්‍ෂ්‍ය දෙක යා කරන ගෝලය පසාරු කරමින් යන සරල රේඛාවක් දිගේ නො වේ.

සාධාරණ වශයෙන් පෘෂ්ඨයක් ගත්කල එහි පිහිටි ලක්‍ෂ්‍ය දෙකක් අතර පෘෂ්ඨයේ ම පිහිටි වක්‍රයක් දිගේ දිග මැනෙන කෙටිම දුර ඇත්තේ භූමිතිකයකට (ගඑඔඩඑසඉච) ය. භූමිතිකයක් අර්ථදැක්වෙන්නේ එලෙස වක්‍රය දිගේ මැනෙන දිග අවමයක් වන වක්‍රයක් ලෙස ය. ගෝලාකර පෘෂ්ඨවල භූමිතික මහා වෘත්ත වන අතර තල පෘෂ්ඨයක භූමිතික සරල රේඛා වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ලෝක ගෝලයේ දේශාංශක හා නිරක්‍ෂය මහා වෘත්ත වෙයි. නිරක්‍ෂය හැරෙන්නට අනෙක් අක්‍ෂාංශක මහා වෘත්ත නො වේ. එයට හේතුව අක්‍ෂාංශක ද වෘත්ත වුව ද ඒවා මහා වෘත්ත නො වීම ය. අක්‍ෂාංශකයක් පිහිටි තලයක් ගෝලයේ කේන්ද්‍රය ඔස්සේ නොයන බව පැහැදිලි ය. අපේ පහසුවට ගත්ත ද මේ ගෝලය භෞතික යැයි කියැවෙන ගෝලයක් මිස
ගණිතමය ගෝලයක් නො වේ.

ගෝලයක පිහිටි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට වැඩි ය. ගෝලයක ත්‍රිකෝණයක් සෑදෙන්නේ එකිනෙක ඡෙදනය කරන මහා වෘත්ත තුනක් මගිනි. ඕනෑම පෘෂ්ඨයක ත්‍රිකෝණයක් සෑදෙන්නේ ඒ පෘෂ්ඨයෙහි එකිනෙක ඡෙදනය කරන භූමිතික තුනක් මගිනි. තල පෘෂ්ඨයක සරල රේඛා භූමිතික වන අතර ගෝලාකාර පෘෂ්ඨයක භූමිතික වනුයේ මහා වෘත්ත ය. ගෝලයක පිහිටි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට වැඩි බව ඊනියා භෞතික පෘථිවි ගෝලය සැලකීමෙන් සත්‍යාපනය කළ හැකි ය.

පෘථිවි ගෝලයේ නිරක්‍ෂයෙන් හා දේශාංශක දෙකකින් සෑදෙන ත්‍රිකෝණයක් ගනිමු. මේ ත්‍රිකෝණයෙහි දේශාංභකයක් නිරක්‍ෂය සමග සෘජු කෝණයක් සාදන බව පෙනී යනු ඇත. ඕනෑම දේශාංශකයක් නිරක්‍ෂය සමග ඡෙදනය වීමේ දී සෘජු කෝණයක් තනයි. වෙනත් වචනවලින් කිවහොත් ඕනෑම දේශාංශකයක් නිරක්‍ෂයට ලම්බ වෙයි. දැන් කලින් සලකා බැලූ ත්‍රිකෝණයෙහි කෝණ තුනෙන් දෙකක් ම සෘජු කෝණ බව පෙනී යනු ඇත. ඉතිරි කෝණය උත්තර ධ්‍රැවයෙහි දී හෝ දක්‍ෂිණ ධ්‍රැවයෙහි දී හෝ දේශාංශක දෙක අතර සෑදෙන කෝණය වෙයි. එය නිශ්ශූන්‍ය බැවින් ත්‍රිකෝණයෙහි කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට වැඩි වෙයි. කඩදාසියක් ගෙන ගෝලයක හරස්කඩක් ඇඳ එහි දේශාංශක දෙකක් හා නිරක්‍ෂය ලකුණු කිරීමෙන් මෙය තවදුරටත් පැහැදිලි වනු ඇත.

පැහැදිලිව ම ගෝලාකර පෘෂ්ඨයක ජ්‍යාමිතිය යුක්ලීඩීය ජ්‍යාමිතියක් නො වේ. යුක්ලීඩීය ජ්‍යාමිතිය යනු ජ්‍යාමිති රාශියකින් එක් ජ්‍යාමිතියක් පමණකි. අප මෙහි දී සැලකුවේ ද්විමාන ජ්‍යාමිති පමණ ය. එනම් තලයක හෝ වෙනත් පෘෂ්ඨයක හෝ ජ්‍යාමිති ය. වක් නොවූ කඩදාසියක ජ්‍යාමිතිය යුක්ලීඩීය ජ්‍යාමිතියක් යැයි කියැවෙයි. ගෝලාකාර පෘෂ්ඨයක එසේත් නැත්නම් බිත්තරයක පෘෂ්ඨයෙහි ජ්‍යාමිතිය නිර්යුක්ලීඩීය වෙයි. එහෙත් ත්‍රිමාන ජ්‍යාමිති ද වන බව අපි දනිමු. අප ජීවත්වන්නේ ත්‍රිමාන ජ්‍යාමිතියක් ඇති අවකාශයක ය. ගඩොලක් ත්‍රිමාන වස්තුවකි. එහි ජ්‍යාමිතිය යුක්ලීඩීය යැයි සැලකෙයි.

එහෙත් අප මතක තබාගත යුතු කරුණක් නම් අප මෙහි දී ද ඉහත සඳහන් අවස්ථාවන්හි දී ද භෞතික හා ගණිතමය අවකාශ පටලවා නොගත යුතු බව ය. ගණිතමය යුක්ලීඩීය ද්විමාන ජ්‍යාමිතිය වියුක්ත වූවකි. තල කඩදාසියක ජ්‍යාමිතිය යුක්ලීඩීය ද්විමාන යැයි සැලකෙන්නේ යැයි අපි කීවෙමු. එය එසේ වන්නේ ඉතා සන්නිකර්ෂණව ය. තල කඩදාසියක් යනු ඊනියා භෞතික වස්තුවකි. එවැනි වස්තුවක් ඊනියා යථාර්ථයක් ලෙස පවතින්නේ යැයි ඉන් නො කියැවෙයි. අපි සම්මුතියෙන් තල කඩදාසියක් භෞතික වස්තුවක් ලෙස ගනිමු. තල කඩදාසියක ජ්‍යාමිතිය ද්විමාන යුක්ලීඩීය ජ්‍යාමිතියක් වන්නේ සන්නිකර්ෂණව ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය අනුව තල කඩදාසියක ජ්‍යාමිතිය යුක්ලීඩීය විය නො හැකි ය. එය යුක්ලීඩීය ජ්‍යාමිතියෙන් ඉතා සුළුවෙන් නමුත් වෙනස් වෙයි.