Main Logo

Saturday 30 September 2017

ව්‍යවස්ථාවට ජයම්පතිගේ සාක්කි අවශ්‍ය නැහැ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු




ව්‍යවස්ථාවට ජයම්පතිගේ සාක්කි අවශ්‍ය නැහැ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු



මහානායක හාමුදුරුවරු කිහිප නමක් ව්‍යවස්ථාවෙ ඇතැම් කරුණු ගැන ප්‍රශ්න කරලා. මෛත්‍රිපාල ඒක පත්තරෙන් දැකලා ව්‍යවස්ථාවෙ අපට පෙනෙන ප්‍රධාන උපදේශක ජයම්පති වික්‍රමරත්නගෙන් අහලා මේ හාමුදුරුවරු ඒකීය බව නැතිවෙනව කියන්නෙ ඇත්ත ද කියලා. ප්‍රශ්නෙ දෙසැරයක් ම අහලා. ජයම්පති දෙසැරෙ ම  එහෙම වෙන්නෙ නෑ සර් කියලා. මෛත්‍රිපාලයි ජයම්පතියි දන්නෙ නැති වුණාට දැනටමත් මේ රට ඒකීය නො වෙයි. දහතුන්වැනි සංශෝධනයෙන් ඒකීය බව නැති කළා. රනිල් විතරක් නොවෙයි ජේ ආරුත් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දු ගණන් ගත්තෙ නැහැ. දහතුනේ 154 G (2) (3) ව්‍යවස්ථා සඳහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට විනිසුරුවන් බහුතරයක් තීන්දු කරලා තියෙද්දි ජේ ආර් එහෙම කළෙ නැහැ. ඒ ව්‍යවස්ථාවල තිබුණු ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය කියන කොටස පමණක් ඉවත් කරලා පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කළා. ජේ ආර් ඒ සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කරලා තීන්දුවක් ගත යුතුව තිබුණත් එහෙම කළේ නැහැ. අද රනිල් බෑණා ජේ ආර් මාමා හිටගෙන කරපු දේ දුව දුව කරනවා.

Friday 29 September 2017

මංගලගේ කරුණාව  


මංගලගේ කරුණාව





මංගල සමරවීරට රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ පුදුම කරුණාවක් ඇති වෙලා. ඔහුගේ කරුණාව සරණාගතයන්ට ද එසේත් නැත්නම් වෛරය භික්‍ෂූන් වහන්සේට ද යන්න ප්‍රශ්නයක්. ඇතැමුනට අවශ්‍ය බෞද්ධයනට පහර ගැසීම බව ඉතා පැහැදිලියි. සිද්ධියෙන් පැය හතළිස්අටක් ගතවීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු අනියමින් බෞද්ධයනට පහර ගසමින් ආණ්ඩුවට ප්‍රශංසා කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ලෝකයේ තබා ලංකාවේවත් බෞද්ධයනට එකතු වීමට නොහැකී නිසා ජාත්‍යන්තර සංස්ථාපන සුපිරිව්‍යුහය තම යුදෙව් ක්‍රිස්තියානි පදනම සඟවමින් බෞද්ධයනට පහර දෙනවා. මංගල කියන්නෙ චන්ද්‍රිකා වගේ ම මේ සුපිරිව්‍යුහයේ ඉතා ම කුඩා දැත්තක් පමණයි. ඔහු ජෙනීවාහි දී ලංකාවට විරුද්ධ යෝජනාවක් ගෙන ඒමට ලංකාවේ ම සහාය දුන් දැත්ත.

Thursday 28 September 2017

සිංහලයාගේ පරම යුතුකම බුද්ධාගම පෝෂණය කිරීමයි




සිංහලයාගේ පරම යුතුකම බුද්ධාගම පෝෂණය කිරීමයි



මා මෙහිදී සඳහන් කරන්නේ බුදුදහම නොවන බව පැහැදිලි වෙන්න ඕන. ඒ වගේ ම ඇතැමුනට පැහැදිලි නැති වුවත් බුද්ධාගම යන්නෙන් මෙහි දී අදහස් කෙරෙන්නේ සිංහල බුද්ධාගමයි. එහෙමත් නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතියයි. මෙරට බුදුසසුන කියාත් කියන්න පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතිය හෙවත් සිංහල බුද්ධාගම එක තැනක තිබෙන්නක් නො වෙයි. සෑම සංස්කෘතියක් වගේ ම එයත් දිනෙන් දින වෙනස් වෙනවා. ඒ වෙනස් වීම පෝෂණයක් වෙන්නත් පුළුවන්, පරිහාණියට යෑමක් වෙන්නත් පුළුවන්.

Wednesday 27 September 2017

සිංහල වෙදකම


සිංහල වෙදකම





බටහිර විද්‍යාව යනු එකම දැනුමවත් ඊනියා විද්‍යාත්මක ක්‍රමය යනු දැනුම ලබාගැනීමට ඇති එකම ක්‍රමයවත් නො වෙයි. බටහිර විද්‍යාව යනු තවත් දැනුමක් පමණයි. බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුමෙහි එක් තාක්‍ෂණික දැනුමක්. එය රෝග හා රෝග නිවාරණය පිළිබඳ දැනුමක්. ආයුර්වේද වෙදකම හා සිංහල වෙදකම තවත් වෙදකම් දෙකක්. එයට අමතරව හෝමියෝපති වැනි තවත් වෙදකම් තියෙනවා. ඒත් අද මෙරටත් ආධිපත්‍යය ඇත්තේ බටහිර වෙදකමට. එය දේශපාලනය හා බලය මත පදනම් වූවක් මිස ඊනියා සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවීමක් මත පදනම් වූවක් නො වෙයි.

Tuesday 26 September 2017

පනස්හය ඉදිරියට ගෙන යෑම  


පනස්හය ඉදිරියට ගෙන යෑම



අද සැප්තැම්බර් විසිහයවැනි දා. බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරී අදට වසර පනස්අටක් වෙනවා. ඒ සම්බන්ධයෙන් හොරගොල්ලේ හරි වෙන කොහේ හරි පින්කමක් පැවැත්වෙනව ද කියලා මා දන්නේ නැහැ. චන්ද්‍රිකා නම් අම්මයි තාත්තයි කරපු වැඩට බණින නිසා ඇය මොකුත් කෙරුවත් වැඩක් නැහැ. මෛත්‍රිපාල, මහින්ද, දුමින්ද, අමරවීර, නිමල් සිරිපාල, ජී එල්, ඩලස් ආදී දැවැන්තයන් බණ්ඩාරනායක මහතා සමරනව ද?

Monday 25 September 2017

මුහුණු පොතෙන් ඉවත්වීම  


මුහුණු පොතෙන් ඉවත්වීම



තවත් රැවටීමක් එළිපත්තේ ලිපියට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇතැමුන් සිතන්නේ ප්‍රතිචාර මදි නිසා මා මුහුණු පොතෙන් ඉවත් වෙනවා කියා. එක් අයකු කියා තිබුණේ ආධ්‍යාත්මික බලයක් වර්ධනය කර ගැනීමට මුහුණු පොතෙන් ඉවත් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙත් ප්‍රතිචාර මදි නිසා ඉවත් වීම තර්කානුකූල නැහැ කියා. ඔහු මට තර්කය කියා දෙන්නේ ඔහුගේ තර්ක හැකියාවන් මා නොදන්නේ යැයි කියා හිතා ගෙන වෙන්න ඇති. තර්කය යනු කුමක් ද හේතුව යනු කුමක් ද යන්න ගැනවත් ඇතැමුන්ට කිසිම හැඟීමක් නැහැ. මේ සමහරුන් මගෙන් ඉගෙන ගත් අය. මා අදක්‍ෂ ගුරුවරයකු යන්න නම් ඉන් ගම්‍ය වෙන්න පුළුවන්.

තවත් රැවටීමක් එළිපත්තේ


තවත් රැවටීමක් එළිපත්තේ





මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවෙන්. ඊයේ අපේ වගකීම යනුවෙන් ලියැවුණු ලිපියට මුහුණු පොතේ  හොඳ ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඒ ලිපිය බෙදා හදා ගෙන (ෂෙයා) තියෙන පිරිස හා එයට කැමැත්ත දක්වා (ලයික්) ඇති පිරිස ඉතා ම අඩුයි. මුහුණ පොත පරිහරණය කරන්නන් බොහෝ විට කරන්නේ එකිනෙකාට බැණ වැදීම. මාත් කිසිවකු විවේචනය කර ලිපියක් පළ කළොත් එය බොහෝ දෙනා බෙදා හදා ගන්නවා. එයට කැමැත්ත පළ කරනවා. ඊයේ ලිපිය එවැන්නක්  නොවෙයි. එහි සඳහන් වුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ විට ජනමත විචාරණයක් පැවැත්විය හැකි බැවින් අප ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බව. මුහුණු පොත පරිශීලනය කරන්නන් වැඩට අකමැතියි. ඔවුන් කැමති ඊනියා ප්‍රතිචාර දැක්වීමට.

Sunday 24 September 2017

අපේ වගකීම


අපේ වගකීම



අද රට අපේ ඉතිහාසයේ ඉතාමත් ම භයානක අවස්ථාවට පත් වී තියෙනවා. මේ නිවට ආණ්ඩුව  පත්කරගන්න මොන යම් විධියකින් හරි සම්බන්ධ වුණු හැම දෙනෙක් ම මෙයට වග කිව කියන්න ඕන. මේ ආණ්ඩුව පත් කළෙ බටහිරයන් හා ඉන්දියාව. බටහිර ඔත්තු සේවා වගේ ම ඉන්දියාවෙ රෝ ඔත්තු සේවයත් එයට මුල් වුණා. ජා හෙ උරුමයෙ පඬියන් මොන යුග පෙරළි කතා කිව්වත් ඔවුන් අවසානයේ දී රෝ ඔත්තු සේවයේ නිවට ඉත්තන් වුණා පමණයි. ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ ශාඛාවක් පමණයි. ජ වි පෙ හා දෙමළ ජාතික සංධානය මේ නිවට ආණ්ඩුවෙ කිහිළි කරු දෙක. අප හැමදාමත් කී පරිදි චම්පක රණවක එ ජා පාක්‍ෂිකයකු වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

Saturday 23 September 2017

රොහින්ග්‍යා මුස්ලිමුන්ට සුදුසු නවාතැනක්


රොහින්ග්‍යා මුස්ලිමුන්ට සුදුසු නවාතැනක්



රොහින්ග්‍යා මුස්ලිමුන් ලංකාවට ගෙනෙන බවට ආරංචියක් පැතිර ගියා. මෙරට ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් ඒ පිටුපස සිටින බවත් කියැවුණා. ඒත් රොහින්ග්‍යා මුස්ලිමුන් ලංකාවට පැමිණි බවක් වාර්තාවන්නේ නැහැ. මේ මුස්ලිමුන්ට බෞද්ධයන් කරදර කරන බවටයි ලෝ පුරා ආරංචි පැතිර ගියේ. එහෙත් මුස්ලිමුන් බෞද්ධයන්ට අඩත්තේට්ටම් කළ බව ආරංචි වූයේ නැහැ. මේ රොහින්ග්‍යා මුස්ලිමුන්ට බටහිර ජනමාධ්‍ය සරණාගත නම එක් කළා. ඒ සමග බොහෝ දෙනා ඔවුන්ට අනුකම්පා කරන්න පටන් ගත්තා.

Friday 22 September 2017

ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය  


ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය



මේ රටේ දේශපාලනය ගැන හිතන විට  කණගාටුවක් හා බයක් දැනෙනවා. ඒ රනිල් හරි මෛත්‍රිපාල හරි නිසා නො වෙයි. රනිල් සිංහල බෞද්ධ විරෝධීකම උපතින් ම ගෙන ආ අයෙක්. මෛත්‍රිපාල විධායක බලතල මිස ජනබලයක් නැති අයෙක්. මැතිවරණයක් තිබ්බොත් ඔහුගේ කල්ලියට වැලේ වැල් නැහැ. රනිලුත් ඒ තරමට ම නැති වුවත් පරදිනවා. ජ වි පෙ අර ජනකතාවල එන පිම්බුණු ගෙම්බා වගෙයි. මැතිවරණයක් තිබ්බොත් ඔවුන්ට යන එන මං නැති වෙනවා. ඒ හැමෝට ම හොඳයි මැතිවරණ නොපවත්වා ඉන්න එක.

Thursday 21 September 2017

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය


රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



තිබෙන නරක ආණ්ඩු ක්‍රමවලින් හොඳ එක ප්‍රජාතන්ත්‍රවාදය බවට මතයක් බටහිර තිබෙනවා. වින්ස්ටන් චර්චිල් ද එයට සමාන දෙයක් කියා තිබෙනවා. ඒ බටහිරයන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන දේ. අපට ඔය ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණෙත් එංගලන්තයෙන්. පාර්ලිමේන්තුව ඇති වුණේ එංගලන්තයේ. අගමැති, කතානායක ආදී ධුර ද අපට ලැබුණෙ එංගලන්තයෙන්. ධුරය විතරක් නොවෙයි රනිලුත් ලැබුණෙ එංගලන්තයෙන්. බටහිර දැනුම ද අපට වැඩියෙන් ලැබුණෙ එංගලන්තයෙන්. බටහිර විද්‍යාවත් එහෙමයි. නිව්ටන් හිටියෙත් එහෙ. එයාගෙ ගුරුත්වාකර්ෂණෙ ගඳ සුවඳ දන්න කවුරුන්වත් නැහැ. ඒත් ඒක අප ඇත්ත කියලා කියනවා. බටහිර විද්‍යාව ඊනියා සත්‍යය කියලා කියන්නෙ අපේ රටේ විතරක් නො වෙයි. ඇතැම් පඬියකුට නොතේරුණත්, අප සයන්ස් කියන දැනුම් පද්ධතියට විද්‍යාව කිව්වත් වෙන නමක් කිව්වත් අපට ඒක ඊනියා සත්‍යය වෙන්නෙ බටහිරයන් ඒක ඊනියා සත්‍යය හැටියට ගන්න නිසයි. මේ සියල්ල බටහිර ආධිපත්‍යය. පාර්ලිමේන්තුවෙන් ලැබෙන්නෙත් බටහිර ආධිපත්‍යය.

Wednesday 20 September 2017

වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්  


වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්



නීතිය දේශපාලනයෙන් වෙන් කරන්න පුළුවන් කියලා හිතුවට එහෙම කරන්න බැහැ. නීතිය විතරක් නොවෙයි අනෙක් හැම දේමත් දේශපාලනය එක්ක බැඳිලා. අපට දේශපාලනයෙන් වෙන් වෙන්න බැහැ. අප සෘජුව දේශපාලනයේ නොයෙදෙනවා වෙන්න පුළුවන්. අප දේශපාලනඥයන්ට අකමැති වෙන්න පුළුවන්. ඒත් අපට ජීවත් වන්න වෙලා තියෙන්නෙ දේශපාලනයත් එක්ක. අප ඒක අමතක කරන්න හොඳ නැහැ. නීතිඥයන් නීතිය ගැන වගේ ම දේශපාලනය ගැනත් සැලකිලිමත් විය යුතුයි.

Tuesday 19 September 2017

පරමාණු,  අණු හා දෙවියන් වහන්සේ


පරමාණු,  අණු හා දෙවියන් වහන්සේ



බටහිර විද්‍යාවේ ඌනිතවාදය (රිඩක්ෂනිසම්) ගැන අප කලින් දවසකත් (අගෝස්තු අටවැනි දා )   කතා කළා. එහි සඳහන් නොවූ තවත් වැදගත් කරුණු කිහිපයක් මා මෙහි සඳහන් කරනවා. පළමුව එහි සඳහන් වූ කරුණක් දෙකක් ගැන අවධානය යොමු කරනවා. “ඌනිතවාදයෙන් කියන්නේ යම් දැනුමක් එයට වඩා මූලික දැනුමකට, ප්‍රවාදයකට ඌනනය කිරීම. එයින් අදහස් වන්නේ යම් දැනුමක් වෙනත් ඊනියා මූලික දැනුමකින් තේරුම් ගැනීම. උදාහරණයක් ලෙස ගතහොත් පොළොවට වස්තු වැටෙන්නේ ය කියන දැනුම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් තේරුම් ගැනීම. පොළොවට වස්තු වැටීම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට ඌනනය කෙරෙන්නේ යැයි කියනවා. ඌනිතවාදය එක් පැතතකින් සමස්තය යනු කොටස්වල එකතුවක් ය යන්න මත රඳා පවතිනවා. එය සත්භව ඌනිතවාදය ලෙස හැඳින්වෙනවා. විධික්‍රම ඌනිතවාදයක් කියා එකකුත් තියෙනවා. ඒ අනුව යම් ඊනියා යථාර්ථයක් වෙවනත් ඊනියා යථාර්ථවලින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඌනිතවාදය ග්‍රීකයන්ගේ ස්වසිද්ධාත්මක විධික්‍රමයෙන් ගලා එන්නක්. ග්‍රීකයන් එකල තිබූ ජ්‍යාමිතික (භූමිතික)  දැනුම ස්වසිද්ධි කිහිපයකින් ප්‍රකාශ කළා. මේ ජ්‍යාමිතිය අද යුුක්ලීඩිය ජ්‍යාමිතිය ලෙස පාසලේ දී ද විශ්වවිද්‍යාලයේ දී ද ඉගැන්වෙනවා. එසේ වුවත් ඇරිස්ටෝටල් පවසා තිබෙනවා සමස්තය යනු කොටස්වල එකතුවක් නොවන බව. මෙවැනි පරස්පර කතා ඕනෑම දැනුම් පද්ධතියක තියෙනවා.”

Monday 18 September 2017

විස්සේ අවුල


විස්සේ අවුල


විස්ස ගැන අද තරමක කතාවක් පවතිනවා. විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ පළාත් සභා ඡන්ද කල් දැමීමට. බොරු කයිවාරු කියෙව්වත් ආණ්ඩුව මැතිවරණවලට බයයි. පහුගිය අවුරුදු දෙකට ආණ්ඩුව එක මැතිවරණයක්වත් පවත්වලා නැහැ. පවත්වපු සමුපකාර ඡන්දවලින් එ ජා ප පරාදයි. මෛත්‍රිපාලගේ කල්ලියට ඇපත් නැහැ. මෛත්‍රිපාල ඒක නොදන්නවා නො වෙයි. මෛත්‍රිපාලත් රනිලුත් එකතු වෙලා අද කරන්නෙ මැතිවරණ කල් දාන එක. මෛත්‍රිපාල රනිලුත් එක්ක එකතු වෙලා ශ්‍රී ල නි පක්‍ෂ සම්මේලන පැවැත්තුවට වැඩක් නැහැ. මෛත්‍රිපාලගෙ වෛරය හා බය නිසා රට අගාධයට යනවා.

Sunday 17 September 2017

රනිල්ගේ සූසැට බර


රනිල්ගේ සූසැට බර



අප මෙතෙක් කල් අසා තිබුණේ සූසැට බරණින් සැරසී වැස්සේ තෙම් ගෙන ගිය විසාකාව ගැන. සූසැට බරණත් තරමක බරක් වෙන්න ඇති. ඒත් පොතක පතක සඳහන් වන්නේ නැහැ ඒවාහි බර කොච්චර ද කියලා. ඒ කාලෙ හිටපු බමුණෙක්වත් ඒ බර හොයා ගන්න උනන්දුවක් දක්වලා නැහැ. බමුණොත් බටහිර උගතුන් විද්‍යාඥයන් තරමට ම නැති වුණත්  තරමක් වියුක්ත ව හිතපු පිරිසක්. ඔවුන් ගණිතයටත් (බටහිර ගණිතයක් ඒ කාලෙ තිබුණෙ නැහැ. තිබුණෙ වෛදික ගණිතය) උනන්දුවක් දැක්වූවා. කාන්තාවන්ගෙ සූසැට මායම් ගැන කිව්වෙත් බමුණො. සිංහලයන් බමුණු මත ප්‍රතික්‍ෂෙප කළා.

Saturday 16 September 2017

යුද්දෙන් දිනාගන්න බැරි වූ ඊළම හා පට්ටපල් බොරු  


යුද්දෙන් දිනාගන්න බැරි වූ ඊළම හා පට්ටපල් බොරු


අද බොහෝ දෙනා කතා කරන කරුණක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතිවාදීන් යුද්දෙන්  දිනාගන්න බැරි වූ දේ වෙනත් ආකාරයකින් දිනා ගන්න හදන බව. මෙය පට්ටපල් බොරුවක්. මා එය කියන්නේ විද්‍යාව පට්ටපල් බොරු කියන අර්ථයෙන්  නො වෙයි. ලංකා වෙබ් සංස්කාරක/පරිපාලක ධර්මසිරි වීරසිංහ නීල මහා යෝධයා නමින් කියන්නේ පට්ටපල් බොරු ය යන අර්ථයෙන්. ධනපාල නමැත්තා පසුගිය දා ලංකා වෙබ් අඩවියේ පළ කළ මඩ ගැහිල්ලකට අසංග නමින් දක්වන ලද ප්‍රතිචාරයකට  පිළිතුරක් ලෙස නීල මහා යෝධයා මෙසේ කියනවා.

Friday 15 September 2017

ආගම දහම හා සංස්කෘතිය - 4


ආගම දහම හා සංස්කෘතිය - 4



ආගම හා දහම යනු එකක් නොව දෙකක් බව මා මුල සිට ම කියා ඇති දෙයක්. අද අප ආගම යන වචනය යොදා ගන්නේ ඉංගිරිසි රිලිජන් යන්නෙහි පරිවර්තනයක් ලෙස. රිලිජන් යන්න යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යොදා ගැනෙන්නක්. එබැවින් අද ආගම යන්න යෙදෙන්නේ ඒ අර්ථයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික පසුබිමකයි. බුද්ධාගම හා බුදුදහම යනු දෙකක් බව කාහට වුවත් පිළිගැනීමට සිදුවෙනවා.

Thursday 14 September 2017

හාමුදුරුවරුන්ට අපහාස කරන අමන දේශපාලනඥයෝ


හාමුදුරුවරුන්ට අපහාස කරන අමන දේශපාලනඥයෝ



එංගලන්තය ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් වන්නා සේ ම ඉතාලිය කතෝලික රටක් වන්නා සේ ම ඉන්දියාව හින්දු රටක් වන්නා සේ ම සවුදි අරාබිය මුස්ලිම් රටක් වන්නා සේ ම ලංකාව සිංහල බෞද්ධ රටක්. ඉන්දියාව රටක් වුනේ ඉංගිරිසින් එහි ගියාට පස්සෙ. හින්දු ආගම ඇති වුණෙත් හයවැනි සියවසෙන් පස්සෙ. ක්‍රිස්තියානි මුස්ලිම් කතෝලික ආගම්වල ඉතිහාසය සිංහල බෞද්ධ රටේ ඉතිහාසය තරම් පැරණි නැහැ. ලෝකයේ තිබෙන අඛණ්ඩ පාරම්පරික ජීවමාන සංස්කෘතීන් අතර සිංහල බෞද්ධ සංස්කෘතිය පැරණි ම ජීවමාන සංස්කෘති දෙකෙන් එකක්. අනෙක චීන සංස්කෘතිය.



සිංහල බුද්ධාගම කියන්නෙ බුදුදහම නො වෙයි. සිංහල බුද්ධාගමේ හාමුදුරුවරුන් වැඩ ඉන්නේ අපට ධර්මයෙන් අනුශාසනා කරන්න පමණක් නො වෙයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ දවසේ සිට ම උන්වහන්සේලා රජවරුන්ට හා ජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. ඒ බව වෙනත් ආගමිකයන් මෙන් ම ජාත්‍යන්තරවාදී ඕල්කට් බෞද්ධයනුත් දැන ගන්නවා හොඳයි. සිංහල බෞද්ධයන් ඇතැම් විට හාමුදුරුවරුන් විවේචනය කරනවා. ඒ පෞද්ගලික ව මිස ප්‍රසිද්ධියේ නො වෙයි. හාමුදුරුවරුන් රහත් වී නැහැ. උන්වහන්සේලාත් පෘථග්ජන. උන්වහන්සේලා අතින් වැරදි වෙන්න පුළුවන්. එහි ඵල විපාක උන්වහන්සේ විඳිනු ඇති. උන්වහන්සේලා කෝටියක් සංවර සිල් නොව පන්සිල් බිඳ ගත්තත් අප පන්සිල් ගන්නේ උන්වහන්සේලගෙන් මිස අමන දේශපාලනඥයන්ගෙන් නො වෙයි. එහි පරස්පරයක් දැකිය හැක්කේ ජාත්‍යන්තරවාදී බෞද්ධයකුට පමණයි. ගුරු හාමුදුරු කෙනකු සිටින, ඕපපාතික ව පහළ නොවූ හාමුදුරුවරුන්ට සිංහල බෞද්ධයන් ගරු කරනවා, වඳිනවා. අද බොහෝ විට අමන දේශපාලනඥයන්ටත් සිසුන් හා වෙනත් අය වඳින නිසා ඔවුන් හිතනවා ඇති ඔවුනුත් අපේ වැඳුම් ගන්න බිහි වුණු අය ලෙස.



හාමුදුරුවරුන්ගේ ශීලය වැදගත්. එහෙත් සිංහල බෞද්ධයන්ට එය එක් නිර්ණායකයක් පමණයි. සිංහල බෞද්ධයන්ට හාමුදුරුවරුන් ජාතියේ මුරදේවතාවුන් වහන්සේ. අපේ හාමුදුරුවරුන්ගේ වැදගත් කාර්යයක් වන්නේ ජාතිය, ඒ කියන්නේ සිංහල ජාතිය රැක ගැනීම. සමහර විට සිල් රැකීමටත් වඩා ජාතිය රැකීම වැදගත් වෙන්න පුළුවන්. සිංහල ජාතිය නොවන්නට ලොවේ ථෙරවාදයක් නැහැ. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. සිංහලයන්ට ජාතිය රැක ගැනීමට උපදෙස් දුන්නේ අවවාද අනුශාසනා කෙළේ සිංහල හාමුදුරුවරු. සිංහලයන් ජාතියක් වූයේ බටහිර ඊනියා ධනපති විප්ලවය ඇතිවීමට බොහෝ කලින්. යුරෝපයේ ජාතීන් ඇති වූයේ ඊනියා ධනපති විප්ලවයෙන් පසුව.



සරත් ෆොන්සේකා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට චීවර ධාරියකු පිස්සකු යැයි කියනවා. සරත් ෆොන්සේකා යුද්ධ දක්‍ෂයෙක්. ඒ ගැන වාදයක් නැහැ. ඔහු හමුදාපති ලෙස වැදගත් කාර්යයක් ඉටු කළා. එහෙත් ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු ඔහු රටට වින කරනවා.  කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව මගින් ඔහු රටට මහත් හානියක් කළා. ඊනියා යුද්ධාපරාධ කතා ඇති වූයේ ඉන් පසුව. අද ඔහු ජගත් ජයසූරිය ගැන ඊනියා යුද්ධාපරාධ කතා කියනවා. ඒ සියල්ල ඔහු හමුදාපති ව සිටි කාලයේ සිදු වූ දේ. ඒ සියල්ල යුද්ධාපරාධ නම් ඔහු එයට වග කිව යුතුයි. ඊනියා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ දී ආණ්ඩුව දක්වන මන්දගාමි භාවය ගැන දින කිහිපයකට පෙර හුසේන් කුමාරයා ජෙනීවාහි දී කතා කර තිබුණා. මෛත්‍රිපාල ඊයේ අදාළ පනතට අත්සන් කළා. මේ නිවට ආණ්ඩුවට බටහිරයන් නියම කළ කාර්යභාරය ගැන අප කියා බොහෝ කල්. අප කියන දේ අසන්නේ කවුද?



රන්ජන් රාමනායක බී එම් ඩබ්ලිව් සංඝ මුදලාලිලා ගැන කතා කර තිබුණා. හාමුදූරුවරුන් ගැන සිංහල බෞද්ධයනට නැති රුදාවක් කතෝලික රන්ජන් රාමනායකට තියෙන්නෙ කොහොම ද? රන්ජන් රාමනායක සාමාන්‍යයෙන් කරන්නේ අනුන් ලියා දෙන පිටපතක් අනුව රඟපෑම. සමහර විට පිටපත ඔහු ම ලියනවාත් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධයකු සමහර කතෝලික පියතුමන්ලාගේ පිළිවෙත පිළිබඳ යමක් කීවොත් කුමක් සිදු වේවි ද? සිංහල බෞද්ධ රටේ ඊනියා ප්‍රමුඛස්ථානය කෙසේ වෙතත් බලය ඇත්තේ කාට ද? සිංහල බෞද්ධයනට ද?



සිංහල බෞද්ධයනට එරෙහි වන ඇතැමුන් සිංහල බෞද්ධ පවුල්වල උපත ලත් අය. ඔවුන් අද රැකෙන්නේ ඔවුන්ට ප්‍රසිද්ධිය ලැබෙන්නේ කෙසේ ද? ඔවුන් සිංහල බෞද්ධයනට එරෙහි වන්නේ ඔවුන්ගේ ඊනියා මානව හිතවාදයක් නිසා ද? සිංහල බෞද්ධයනට එරෙහිව යන මේ සියලු දෙනා අවසාන වශයෙන් පදනම් වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි. ඒ දැනුම් ආධිපත්‍යයට ඔවුන් කිසි දිනෙක විරුද්ධ වන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා සමාජවාදයත් සේවය කරන්නේ බටහිර ආධිපත්‍යයට. අද සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ප්‍රධාන වශයෙන් ඇප කැප වී සිටින්නේ මාක්ස්වාදීන්.



අද අමන දේශපාලනඥයන් විවේචනය කරන්නේ සිංහල ජාතිය, සිංහල බුද්ධාගම වෙනුවෙන් කතා කරන පෙනී සිටින හාමුදුරුවරුන්. මෙය බොහෝ දෙනාට අමතක වන කරුණක්. ඊනියා දුසිලුන් ඇත්තේ සිංහල ජාතියට සිංහල බෞද්ධයනට වී ඇති අසාධාරණය ගැන කතා කරන හාමුදුරුවරුන් අතර පමණ ද? අමනයන්ගේ ව්‍යාපෘතිය ඉතා පැහැදිලියි. එය ඉංගිරිසි ආණ්ඩුකාරයන්ට තිබු ව්‍යාපෘතියමයි. කඩහපොල හාමුදුුරුවන්ට වෙඩි තැබුවේ උන්වහන්සේ සිංහල ජාතිය හා සිංහල බුද්ධාගම වෙනුවෙන් ක්‍රියා කළ බැවින්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ප්‍රශ්නය වූයේ කහකඩ හමුදාව ලෙස හැඳින්වුණු හාමුදුරුවරුන්. අදත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ අයට ප්‍රශ්නයක් වී ඇත්තේ සිංහල ජාතිය සිංහල බුද්ධාගම ගැන වැඩ කරන හාමුදුරුවරුන්. මොවුන් දන්නා කරුණ නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නම් එවැනි හාමුදුරුවරුන් මර්දනය කළ යුතු බව.



සරත් ෆොන්සේකා මෙන් ම රන්ජන් රාමනායකත් එ ජා පක්‍ෂයේ සාමාජිකයන්. ඔවුන් හාමුදුරුවරුන්ට එල්ල කරන ප්‍රහාර ගැන පක්‍ෂ නායකයා නිහඬ ඇයි? රනිල්ටත් අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම ද? ඒ බැරි නම් දුර්වල කිරීම ද? මහානායක හිමිවරුන් ද විරුද්ධ වන විට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ඒ සඳහා නො වේද? රනිල්ගේ සංස්කෘතිය කුමක් ද කියන එක ඔහු කරන කියන දෙයින් පැහැදිලි වෙනවා. පස්දුන් රටේ ඉරටු තියෙන කොහු තියෙනවා ද කියලා අහගන්න ඕනෙ කාගෙන් ද? මේ ආණ්ඩුවේ නායකයා ලෙස පෙනී සිටින්නේ මෛත්‍රිපාල. සරත් ෆොන්සේකා මෙන් ම රන්ජන් රාමනායකත් ආණ්ඩුවේ. ආණ්ඩුවේ නායකයා ලෙස මෛත්‍රිපාල ඔවුන් පිළිබඳ ව කරන්නේ කුමක් ද? මහින්ද හිතවතුන් යැයි කියන්නන් තනතුරුවලින් ඉවත් කරන මෛත්‍රිපාල සිංහල බෞද්ධ හාමුදුරුවරුන්ට අපහාස කරන අයට කරන්නේ කුමක් ද? මෛත්‍රිපාලට මහින්ද කෙරෙහි මෛත්‍රියක් නැති කමෙන් සිංහල බෞද්ධකම නැති කිරීමට කටයුතු කරනවා ද?









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 14

        









 


Wednesday 13 September 2017

අපේ දැනුම හා ඔවුන්ගේ දැනුම  


අපේ දැනුම හා ඔවුන්ගේ දැනුම





බටහිර විද්‍යාව ඇතිවුණේ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඇති වුණු චින්තන විප්ලවයක ප්‍රතිඵලයක් ලෙස බව අප බොහෝ විය කියා තිබෙනවා. ගැලීලියෝ බටහිර විද්‍යාවේ පුරෝගාමියා ලෙස බොහෝ විට හැඳින්වෙනවා. ඔහු මියගියේ 1642 දී. නිව්ටන් උපන්නේත් 1642 දී. බටහිර විද්‍යාව ඇරඹුණේ බටහිර චින්තන විප්ලවය ඇරඹී අවුරුදු දෙසියකට පමණ පසුව. මේ අවුරුදු දෙසියෙහි මාටින් ලූතර්, ජෝන් කැල්වින් වැනි අය කතෝලික පල්ලියට විරුද්ධ ව ප්‍රොතෙස්තන්ත විප්ලවය ඇරඹුවා. අද විවිධ ක්‍රිස්තියානි නිකාය තිබෙනවා. අප වඩාත් ම දන්නේ ලන්දේසින් අපට ගෙනා රෙපරමාදු ආගම, ඉංගිරිසින්ගේ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත ආගම්. මැවුම් කරුවකු ගැන කතා කළත් නැතත් අප අද ආගම යන්න ව්‍යවහාර කරන්නේ බටහිරයන්ගේ අරුතෙන්. දැන් යෙහෝවාගේ සාක්‍ෂි කාරයන් ආදීන් ගැනත් දන්නවා. මේ සාක්‍ෂි කාරයන් දේශපාලනඥයන් අතර ඉන්නවා.

Tuesday 12 September 2017

විග්නේස්වරන්ගේ පුහු කතා හා මාධ්‍ය


විග්නේස්වරන්ගේ පුහු කතා හා මාධ්‍ය



ඊයේ සැප්තැම්බර් 11. මෙරට පඬියන්ට එය අමතක වුණා ද? ඔවුන් හා මාධ්‍ය පඬියන් තම සුපුරුදු පඬි බව ප්‍රදර්ශනය කරමින් එ ගැන කතා කෙළේ 9/11 යනුවෙන්. දළදා මාළිගාවට පහර දීම ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ ඝාතන අමතක වුවත් පඬියන්ට 9/11 අමතක වුණේ නැහැ. පඬියන්ට ඊයේ 9/11 අමතක වුණා ද? ඔවුන් දැන් ඊනියා ජාත්‍යන්තරවාදයෙන් කැඩිල ද? මට නම් 9/11 මතක් වෙන්නේ මෙරට මාධ්‍යයේ දීන බව විදහා දැක්වුණු සිද්ධියක් ලෙස.

Monday 11 September 2017

රැල්ල, මල්ල හා බෙල්ල


රැල්ල, මල්ල හා බෙල්ල



මෙරට ජනගහණය කෝටි දෙකකට වැඩියි. සිංහලයන් එයින් සියයට හැත්තෑපහක් පමණ වෙනවා. සිංහලයන්ගේ ප්‍රමුඛතාව මොකක් ද කියලා ඇහුවෙත් දෙන්න පුළුවන් හොඳ ම උත්තරය තමයි ආත්මාර්ථකාමී බව. අපට රට ජාතිය ආදිය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇත්තේ පහළින්. අප සිසුන් ව සිටිය දී පරාර්ථකාමය ද ආත්මාර්ථකාමයේ ම කොටසක් ද කියලා කතා බහ වුණා මතකයි. ඒ අවුරුදු පනහකට පෙර. මා එකල මාක්ස්වාදියෙක්. කතා බහ ඇති වුණෙත් මාක්ස්වාදීන් අතර. ඔවුන් කිසිවකුවත් දැන් මාක්ස්වාදීන් නො වෙයි. දැන් සීයලා වී සිටින ඔවුන් සමහරකු පෝයට සිල් ගන්නවා. ඒත් ආත්මාර්ථකාමය වෙනුවෙන් ද? දිව්‍ය ලෝක සැප සම්පත් ලබා ගැනීමට ද? දැනුත් සරසවි සිසුන් අතර එවැනි සාකච්ඡා ඇති වෙනව ද කියලා මා දන්නේ නැහැ. බෝසතුන් වහන්සේලා නම් අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල් දැමූ අය. දේශපාලනඥයන් නම් තමන්ගේ මැති ඇමතිකම් වෙනුවෙන් අනුන්ගේ ඡන්දය කල් දමන අය.

Sunday 10 September 2017

ධර්මසිරි හා ධර්මසිරි


ධර්මසිරි හා ධර්මසිරි

ධර්මසිරි සෙනෙවිරත්න හා ධර්මසිරි වීරසිංහ කියන්නේ දෙන්නෙක්. වීරසිංහ ලංකා වෙබ් අඩවියේ සංස්කාරක/පරිපාලක පමණක් නොව නීල මහා යෝධයා නමින් එම වෙබ් අඩවියට ලියන්නෙක්. සෙනෙවිරත්න නම් මට හමුවී තිබෙනවා. දෙදෙනාගෙන් ධර්මසිරි කවුරුන් දැයි දැනගැනීම ඔබට භාරයි. 

Saturday 9 September 2017

රොහින්ග්‍යා මුස්ලිමුන්




රොහින්ග්‍යා මුස්ලිමුන්



අසාද් සාලි, මුජිබර් රහමන් හා මරික්කාර් මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට යම් උද්ඝෝෂණයක යෙදී ඇති බව වාර්තා වෙනවා. මියන්මාරයේ මුස්ලිමුන්ට හිරිහැර කරන බව කියමින් එරට ඇතැම් මුස්ලිමුන් බංග්ලාදේශයට පැන යනවා. මියන්මාරය අවුන් සාං සු කීගේ පාලනය යටතේ පවතිනවා. ඇය බටහිර නියෝජිතවරියක්. ඇයට වසර කීිහිපයකට පෙර 1991 දී බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණා. නොබෙල් සාම ත්‍යාගය බටහිර අවශ්‍යතා සපුරාලන අයට දෙන තෑග්ගක්.

Friday 8 September 2017

ලලිත් හිරබත් කන්නේ කා වෙනුවෙන් ද?


ලලිත් හිරබත් කන්නේ කා වෙනුවෙන් ද?



මා මෙහි කියන දේට මේ ලිපි කියවන බොහෝ දෙනා එකඟ නොවන්න පුළුවන්. මේ ලිපි කියවන සුළු පිරිසෙන් බහුතරය ඒකාබද්ධ විපක්‍ෂයට පක්‍ෂ අය. එහෙත් ඔවුන් අකමැති වුවත් ඒ සාකච්ඡා නොකර බැහැ. ලබන මැතිවරණයේ දී මට තරග කිරීමේ ආශාවක්වත් ඊනියා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමේ අවශ්‍යතාවක්වත් නැහැ. ඡන්දය හෝ නායකයන්ගේ කැමැත්ත හෝ මගේ ප්‍රශ්නයක් නො වෙයි.

Thursday 7 September 2017

මේ ආණ්ඩුව මෙන් ම ව්‍යවස්ථාවත් අසමත්  


මේ ආණ්ඩුව මෙන් ම ව්‍යවස්ථාවත් අසමත්



මේ ආණ්ඩුව අසමත් බව බොහෝ දෙනා දන්නවා. ආණ්ඩුව වැඩ බැරි ටාසන්ලාගෙන් පිරුණු එකක්.  ආණ්ඩුව මොන පුරසාරම් දෙඩුවත් එයට මුදල් නැහැ. ජාත්‍යන්තරය ජයගත් බව කීවත් ඔවුන්ගෙන් ලැබෙන ආධාරයක් නැහැ. ජී එස් පී + යනු ආණ්ඩුවේ ඇත්තන්ගේ ම බසින් නම් ළුෑණු බිකක් පමණයි. එයින් පරිප්පු කොපමණ ප්‍රමාණයක් ගත හැකි ද කියා ඉන්දියාවෙන් ඇසිය යුතුයි. ආණ්ඩුව පත් කර ගැනීමෙන් ජනතාව නම් හොඳ පරිප්පුවක් දිනපතා කනවා.

Wednesday 6 September 2017

නව ව්‍යවස්ථාවක් එපා, දහතුනත් එපා  


නව ව්‍යවස්ථාවක් එපා, දහතුනත් එපා



දහතුනෙන් එහාට යෑමට දෙන්නේ නැහැ කියන එක අද ඇතැමුන්ගේ සටන් පාඨයක් වෙලා. නව ව්‍යවස්ථාවක් එපා යනුවෙන් මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ උන්වහන්සේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන නිසා නො වෙයි. සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල පිරිසක් දහතුන අනුමත කරන්නේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූ බොහෝ දෙනා ද දහතුන ප්‍රතික්‍ෂෙප කරනවා. අද දහතුනට පක්‍ෂව කතාකරන්නන් සමහර දෙනකු තමන් ජාතික ව්‍යාපාරයෙහි ද ඉන්න බව පෙන්වීමට උත්සාහ දරනවා. දහතුනට පක්‍ෂ අය එදා ඉන්දු ලංකා ගිවිසුමටත් පක්‍ෂ වුණා. වර්ධරාජ පෙරුමාල්ගේ ආණ්ඩුවේ ඇමතිකම් දරා හෝ නොදරා හෝ රනිල් නිසා යහපාලනයේ තැනක් ගැනීමට බැරුව ජාතික ව්‍යාපරයෙහි පතාක යෝධයන් බවට පත් වී ඇති පිරිස් ද දහතුන වෙනුවෙන් කතා කරන බව පේනවා.  ජාතික ව්‍යාපාරයෙහි ඇතැමුනට මොවුන් පෙනෙන්නේ යෝධයන් ලෙසයි. තමන් අඟුටුමිට්ටන් වූ පමණින් ජාති ද්‍රෝහීන් ජාතික ව්‍යාපාරයෙහි යෝධයන් බවට පත් කිරීම හෙළා දැකිය යුතු වෙනවා. 

Tuesday 5 September 2017

දහම ආගම හා සංස්කෘතිය 3


දහම ආගම හා සංස්කෘතිය 3



අප නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? නිවන යනු තවත් අදහසක් පමණ ද? එය ඊනියා වාස්තවික යථාර්ථය වැන්නක් ද? වාස්තවික යථාර්ථය යනු පවත්නා දෙයක් යැයි බොහෝ අය කියනවා. ඒ පවත්නා දෙය තේරුම් ගැනීමට දැනුම අවශ්‍ය බව කියනවා. ඒ වාක්‍යය එතරම් නිරවුල් නැහැ. දැනුම යනු කුමක් ද? ඊනියා දැනුම ඊනියා මිථ්‍යාවෙන් වෙනස් වන්නේ කෙසේ ද? ඊනියා වාස්තවික යථාර්ථයක් ඇත්නම් දැනුම යනු අන් කිසිවක් නොව ඒ වාස්තවික යථාර්ථය දැන ගැනීමයි. බටහිරයන්ට අනුව බටහිර විද්‍යාව මේ යථාර්ථය දැන ගැනීමට ඇති මගයි. බටහිර විද්‍යාව යථාර්ථය නොවූවත් යථාර්ථයට ළඟා වෙමින් පවතින්නේ යැයි ඔවුන්ගෙන් සමහරකු කියනවා.

Monday 4 September 2017

මේ සරත් හා ඒ සරත්                          



මේ දිවයින ඉරිදා සංග්‍රහයෙහි 2009 දෙසැම්බර් මස මුල සතියෙහි පළ වූ ලිපියක්. එය මට ලබා දුන් අයට පින්. මේ ලිපිය ගැන අද පළ වූ   මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක් නම් ලිපියෙහි සඳහන් වෙනවා. 



මේ සරත් හා ඒ සරත්

                                                                                                     

ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක්‌ ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක්‌ නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක්‌ තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශෙද්‍රdaහී නඩයකට එකතු වූ සරත් ය.

මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්  


මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්



සරත් ෆොන්සේකා ගැන මා බොහෝ දේ කියා තිබෙනවා. 2010 ජනාධිපතිවරණ සමයේ දී ඔහු සිරභාරයට ගත යුතු යැයි මා යෝජනා කළා. පළමුවෙන් ම එසේ කෙළේ කුරුණෑගල දී මහින්දට පක්‍ෂව පැවැත් වූ රැස්වීමක දී. ඒ ජනාධිපතිවරණයේ දී ම එක් රුපවාහිනී සාකච්ඡාවක දී මා කියා සිටියා සරත් ෆොන්සේකාට එරෙහි ව එක්සත් රාජ්‍යයෙහි ප්‍රාන්තයක යුද අපරාධ පිළිබඳ නඩුවක් පවරා තිබූ බවත් එය ඒ වන විට අස්කර ගෙන ඇති බවත්. නඩුව අස්කර ගැනීම හා ඊනියා පොදු අපේක්‍ෂකයා වීම අතර සම්බන්ධයක් නැතැයි නොසිතිය යුතු බවත් මා ඒ සාකච්ඡාවේ දී පවසා සිටියා. 

Sunday 3 September 2017

ව්‍යවස්ථා විරෝධී ව්‍යාපාරය  



ව්‍යවස්ථා විරෝධී ව්‍යාපාරය



නව ව්‍යවස්ථාවට විරුද්ධත්වය පෑම යනු කුමක් ද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පරාජය කිරීම එහි එක් අංගයක් පමණකි. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නො වේ. දැනට අප ජීවත් වන්නේ සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක බව පැහැදිලියි.  දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙරුණේ සන්ධීය රාජ්‍යයක් ඇති කිරීමයි. ඒ පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි විනිසුරුවන් හතර දෙනකු එක හෙළා ප්‍රකාශ කෙළේ එකී සංශෝධනයෙන් සන්ධීය රාජ්‍යයක් බිහිවන බවයි. විනිසුරුවන් හතර දෙනකු තීරණය කෙළේ එයින් සන්ධීය රාජ්‍යයක් බිහි නොවන බවයි. එක් විනිසුරුවකු පාරින්ද රණසිංහ ප්‍රකාශ කෙළේ 154 G(2) (b), 154 G(3) (b) ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම   ව්‍යවස්ථාවට පටහැණි බවයි. ඉන් ජනතා පරමාධිපත්‍යය දිය වී යන බවයි.

Saturday 2 September 2017

විස්සට මුහුණ දීම  


විස්සට මුහුණ දීම



ඊයේ පළ වූ ලිපිය මා සිතූ පරිදි ම වැඩි දෙනකුගේ අවධානයට යොමු වී නැහැ. සමහර විට එය ඊනියා නැගලා යන මාතෘකාවක් නොවන්න පුළුවන්. ඒ වුනත් මා පොරොන්දු වූ පරිදි එහි ඉතිරි කොටස මෙහි පළ කරනවා. මේ කතාවත් බොහෝ දෙනාට ප්‍රියජනක නොවිය හැකියි. විශේෂයෙන් ම සෙංකෝලය උස්සන් දුවන දේශපාලනඥයන්ට හා ඒ අය අගය කරන්නන්ට මෙහි දැක්වෙන අදහස් කාලීන නොවන්න පුළුවන්. විස්ස මගින් ආණ්ඩුව පෙරලන්නට උත්සාහ කරන අයට ද මේ ප්‍රතිගාමී අදහස් විය හැකියි.

Friday 1 September 2017

විසි පැන හෙවත් විස්සේ ප්‍රශ්නය


විසි පැන හෙවත් විස්සේ ප්‍රශ්නය



විසිවැනි සංශෝධනය පළාත් සභා දෙකක දී සම්මත වුණේ නැහැ. අදාළ සංශෝධනය ඒ පළාත් සභා දෙකට ආපසු යැවීමට ආණ්ඩුව තීරණය කරලා. විසිවැනි සංශෝධනයෙන් පළාත් සභා මැතිවරණ කල් දැමීමට කටයුතු කෙරෙනවා. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි.  එහෙත් මෙහි එයට වඩා ප්‍රශ්නයක් තියෙනවා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවලට ව්‍යවස්ථා සම්පාදනයේ දී මැදිහත් වෙන්න පුළුවන්. වත්මන් ව්‍යවස්ථාව ඒකීය නොවේ යැයි අප කියන්නේ එබැවිනුයි. අද විස්ස ගැන මතු වී ඇත්තේ මේ ඒකීය නොවන බව. පළාත් සභා එකක් හරි විස්සට විරුද්ධ වුවොත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකකින් මිස එය සම්මත කරගන්න බැහැ. විස්ස ආපසු පළාත් සභා දෙකකට යවන්නේ එබැවිනුයි.