රැල්ල, මල්ල හා බෙල්ල
මෙරට ජනගහණය කෝටි දෙකකට වැඩියි. සිංහලයන් එයින් සියයට හැත්තෑපහක් පමණ
වෙනවා. සිංහලයන්ගේ ප්‍රමුඛතාව මොකක් ද කියලා ඇහුවෙත් දෙන්න පුළුවන් හොඳ ම උත්තරය
තමයි ආත්මාර්ථකාමී බව. අපට රට ජාතිය ආදිය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇත්තේ පහළින්. අප
සිසුන් ව සිටිය දී පරාර්ථකාමය ද ආත්මාර්ථකාමයේ ම කොටසක් ද කියලා කතා බහ වුණා
මතකයි. ඒ අවුරුදු පනහකට පෙර. මා එකල මාක්ස්වාදියෙක්. කතා බහ ඇති වුණෙත්
මාක්ස්වාදීන් අතර. ඔවුන් කිසිවකුවත් දැන් මාක්ස්වාදීන් නො වෙයි. දැන් සීයලා වී
සිටින ඔවුන් සමහරකු පෝයට සිල් ගන්නවා. ඒත් ආත්මාර්ථකාමය වෙනුවෙන් ද? දිව්‍ය ලෝක සැප සම්පත් ලබා ගැනීමට ද? දැනුත් සරසවි සිසුන් අතර එවැනි සාකච්ඡා ඇති
වෙනව ද කියලා මා දන්නේ නැහැ. බෝසතුන් වහන්සේලා නම් අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ
නිවන කල් දැමූ අය. දේශපාලනඥයන් නම් තමන්ගේ මැති ඇමතිකම් වෙනුවෙන් අනුන්ගේ ඡන්දය
කල් දමන අය.