රැල්ල, මල්ල හා බෙල්ල
මෙරට ජනගහණය කෝටි දෙකකට වැඩියි. සිංහලයන් එයින් සියයට හැත්තෑපහක් පමණ
වෙනවා. සිංහලයන්ගේ ප්‍රමුඛතාව මොකක් ද කියලා ඇහුවෙත් දෙන්න පුළුවන් හොඳ ම උත්තරය
තමයි ආත්මාර්ථකාමී බව. අපට රට ජාතිය ආදිය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇත්තේ පහළින්. අප
සිසුන් ව සිටිය දී පරාර්ථකාමය ද ආත්මාර්ථකාමයේ ම කොටසක් ද කියලා කතා බහ වුණා
මතකයි. ඒ අවුරුදු පනහකට පෙර. මා එකල මාක්ස්වාදියෙක්. කතා බහ ඇති වුණෙත්
මාක්ස්වාදීන් අතර. ඔවුන් කිසිවකුවත් දැන් මාක්ස්වාදීන් නො වෙයි. දැන් සීයලා වී
සිටින ඔවුන් සමහරකු පෝයට සිල් ගන්නවා. ඒත් ආත්මාර්ථකාමය වෙනුවෙන් ද? දිව්‍ය ලෝක සැප සම්පත් ලබා ගැනීමට ද? දැනුත් සරසවි සිසුන් අතර එවැනි සාකච්ඡා ඇති
වෙනව ද කියලා මා දන්නේ නැහැ. බෝසතුන් වහන්සේලා නම් අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ
නිවන කල් දැමූ අය. දේශපාලනඥයන් නම් තමන්ගේ මැති ඇමතිකම් වෙනුවෙන් අනුන්ගේ ඡන්දය
කල් දමන අය.
අපට රට ජාතිය ආගම දෙවැනි තුන්වැනි ගණයේ හැඟීම් ගෙන දෙනවා. ථුපාරාමයේ
පැරණි සෙල්ලිපියක් කොන්ක්‍රීට් දමා ඇති බවට ප්‍රවෘත්තියක් ඇහුණා. අනුරාධපුරයට
වන්දනාවේ යන සමහරු වටිනා ස්මාරක ලිප් ගල් හැටියට යොදා ගන්නවා. මේ ගැන එතරම් පුදුම
වෙන්න දේකුත් නැහැ. අපට ලැබෙන්නේ ජාතිකත්වයට ගරු නොකරන අධ්‍යාපනයක්. වරක්
කතෝලිකයකු මගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ පන්සල්වල හැම තැනම තම තමන්ගේ නම සඳහන් කර
ගන්නේ ඇයි ද කියා. අහවලා විසින් මේ මල් අසුන අහවලාට පින් පිණිස කරවන ලදී. අහවලා
විසින් මේ පිගන් කෝප්ප පූජා කරන ලදී ආදී වශයෙන් අපට දැකගන්න පුළුවන්.
සිංහලයන්ට ලිඛිත ඉතිහාසයක් තියෙනවා. මේ ලිඛිත ඉතිහාසයටත් ප්‍රධාන
හේතුවක් වී ඇත්තේ ඒ ඒ රජවරුන් තම වැඩ ගැන ගලේ කොටා තැබීම. අර ථූපාරාමයේ
සෙල්ලිපියත් රජකුගේ වැඩක් ගැන. මේ සෙල්ලිපි එදා මොන අර්ථයකින් කෙටුවත් අද ජාතියේ
ඉතිහාසය තහවුරු කිරීමට ආධාරයක් වෙනවා. අදත් පොදු යැයි කියන වැසිකිළියක් විවෘත
කිරීමට ගියත් අහවල් තැනැත්තා බලා සිටිය දී අහවලාගේ යෝජනාවට අනුව අහවලා විසින්
තනවනු ලැබ අහවලා විසින් විවෘත කරන ලදී යනුවෙන් ඉදිවෙන ඵලක සමහරවිට අනාගත දිනෙක ප්‍රයෝජනවත්
වේවි.
මේ ලියන මටත් අත්මාර්ථකාමීත්වයක් තියෙනවා. දැන් පිළිගැනීමක් නැති
වුවත් කලකට ඉහත ලිපි ලිවීම නිසා මා සමාජයේ යම් පිළිගැනීමකට ලක් වුණා. එකල ඒ ගැන
සතුටක් නොතිබිණි යැයි කීම බොරුවක්. අද ඒ පිළිගැනීම නැති වීම ගැන කණගාටුවක් නැතිවා
නො වෙයි. දැන් පුරුද්දට ලියනවා. එය මානසික අල්ලසක් වෙන්න පුළුවන්. සිංහලයන්ගේ
ආත්මාරථකාමී බව පෝලිමේ දී වාහන පැදවීමේ දී පුතා හරි දුව හරි පාසලට ඇතුළත් කිරීමේ
දී ආදී වශයෙන් හැම තැන ම දකින්න පුළුවන්. එවැනි ජාතියකින් ආත්මාර්ථකාමී නොවන
දේශපාලනඥයන් බිහි විය හැකි ද?
පහුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් වූයේ ආණ්ඩුවේ දොළොස් දෙනකු පමණ
විපක්‍ෂයට එක් වීමට තිබූ සූදානමයි. ඔළුගෙඩි මාරු කිරීමෙන් ආණ්ඩු මාරු කිරීමක් ගැන
ඇතැමුන් කතා කළා. එහෙත් අද එකී මැති ඇමතිවරුන් තව ටිකක් කල් ආණ්ඩුවේ ම ඉන්න තීරණය
කරලා. මේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇතැමුන් කියන්නේ නරක ආණ්ඩුක්‍රම අතර ඇති හොඳ
ම ක්‍රමය කියායි. ඒ කුමක් වුවත් අද මෙරට නම් දේශපාලනය රැකියාවක්. එයටත් වඩා ව්‍යාපාරයක්.
ජනතාවට සේවය කිරීම යන්න බොරුවක්. ජනතාව යනුවෙන් සංයුක්ත කවුරුන්වත් නැහැ. ඒ
වියුක්ත සංකල්පයක්. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඕනෑම අයකුට ඕනෑම බොරුවක් කියන්න
පුළුවන්.
අප්පච්චි මළා වැන්නන් මෛත්‍රිපාලට එකතු වූයේ ජනතාව වෙනුවෙන් ද?
අප්පච්චි මළාට කිසිම ජාතිකත්වයක් නැති බව මා
තේරුම් ගත්තේ 1998 දී අප වෙල්ලස්සේ කුමරු සැමරීමට ඔහුගේ
වැයික්කියට ගිය අවස්ථාවේ දී. ඔහු අපට තර්ජනය කර වෙල්ලස්සේ කුමරු සැමරීම නැවැත්වීමට
උත්සාහ කළා. ඔහු චන්ද්‍රිකා සමග වේල්ස් කුමාරයට ගරු බුහුමන් දැක් වවා. මෛත්‍රිපාල කල්ලිය ආණ්ඩුවට එකතු වුනේ එදා රැල්ල
ඒ පැත්තට බව තේරුම් ගෙන. අනෙක් අතට තම බෙල්ල ආරක්‍ෂා කර ගැනීමට. සුසිල් ප්‍රේමජයන්තගේ
ලේකම්කම නැති කර තිබියදීත් ඔහු මෛත්‍රිපාල සමග ගියා. දැන් ඔහු ඒ ගැන වෙන කතා
කියනවා. අද මෛත්‍රිපාලට කිසිම ජන බලයක් නැහැ. පහුගිය ශ්‍රී ල නි ප සම්මේලනයට
පැමිණි පිරිසෙන් කී දෙනකු රනිල්ගේ ද? අද
මෛත්‍රිපාල කල්ලියේ ඇතැමුන් විපක්‍ෂයට එකතු වීමට කතා කරන්නේ රැල්ල අනෙක් පැත්තට බව
තේරුම් ගෙන. ඒත් ඔවුන් ආණ්ඩුවේ ම රඳවා ගන්නත් පුළුවන්. මෛත්‍රිපාලට ඔවුන්ට
අවුරුද්ද අවසානයේ දී කරන්න යන දේ ගැන බොරු බලාපොරොත්තු ඇති කරන්න පුළුවන්. එහෙමත්
නැත්නම් කවුරුන් හරි මැදිහත් වී බැඳුම්කර සල්ලි හරි වෙනත් සල්ලි හරි දෙන්න
පුළුවන්. ඕන නම් බැඳුම්කර සල්ලිවලින් ම බැඳූම්කර සල්ලිවලට විරුද්ධව කතා කරවන්නත්
පුළුවන්. බෙල්ල ආරක්‍ෂා කර ගැනීමට මේ ඇතැමුන් රැල්ල හා මල්ල (මුදල්) අතර දෝලනය
වෙනවා. ඒ ඊනියා ජනතාවක් වෙනුවෙන් නොව ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන්.
ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුව මාරු කරන එක ලෙහෙසි වැඩක් නො වෙයි. ඒ සඳහා
මල්ලට වඩා රැල්ල ලොකු විය යුතුයි. අද මෛත්‍රිපාල නැතිව ආණ්ඩු මාරු කිරීමක්
ගැන හිතන්න අමාරුයි. ඒ සඳහා වෙනත් විකල්ප
ඇති. මට නම් දැනට වෙනත් විකල්පයක් ගැන කියන්න බැහැ. ආත්මාර්ථකාමීත්වය රජයන ජාතියක
රජය ආත්මාර්ථකාමී නොවන්නේ නැහැ. ජාතිය රැකීම සඳහා අද රාජ්‍ය නායකයාගේ
ආත්මාර්ථකාමීත්වයට ගැලපෙන විසඳුම් සොයන්න වෙලා.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 සැප්තැම්බර් 11