Main Logo

Saturday, 23 September 2017

රොහින්ග්‍යා මුස්ලිමුන්ට සුදුසු නවාතැනක්


රොහින්ග්‍යා මුස්ලිමුන්ට සුදුසු නවාතැනක්



රොහින්ග්‍යා මුස්ලිමුන් ලංකාවට ගෙනෙන බවට ආරංචියක් පැතිර ගියා. මෙරට ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් ඒ පිටුපස සිටින බවත් කියැවුණා. ඒත් රොහින්ග්‍යා මුස්ලිමුන් ලංකාවට පැමිණි බවක් වාර්තාවන්නේ නැහැ. මේ මුස්ලිමුන්ට බෞද්ධයන් කරදර කරන බවටයි ලෝ පුරා ආරංචි පැතිර ගියේ. එහෙත් මුස්ලිමුන් බෞද්ධයන්ට අඩත්තේට්ටම් කළ බව ආරංචි වූයේ නැහැ. මේ රොහින්ග්‍යා මුස්ලිමුන්ට බටහිර ජනමාධ්‍ය සරණාගත නම එක් කළා. ඒ සමග බොහෝ දෙනා ඔවුන්ට අනුකම්පා කරන්න පටන් ගත්තා.




එහෙත් ඒ ඊනියා සරණාගතයන් භාර ගැනීමට ඉන්දියාවවත් පකිස්ථානයවත් බංග්ලාදේශයවත් කැමති වුණේ නැහැ. සෞදි අරාබිය වැනි රටක් එයට කිසි දිනෙක කැමති වන්නේ නැහැ. අවුං සාන් සු කී බටහිර නියෝජිතයකු වුවත් මේ ප්‍රශ්නයේ දී  මුල දී තරමක් තදින් හිටියා. එහෙත් දැන් බටහිර බලපෑම් හමුවේ ඇය අඩියක් දෙකක් පස්සට ගෙන ඇති බවක් පෙනෙනවා. මේ ප්‍රශ්නයේ දී ලෝක මුස්ලිම් සහෝදරත්වය  ද එතරම් දෙයක් කෙළේ නැහැ.



මේ ඊනියා සරණාගතයන් යැවිය යුත්තේ, නැත්නම් භාරගත යුත්තේ කිනම් රට ද? සැප්තැම්බර් 09 වැනි දා ලිපියෙන් අප කියා ඇති පරිදි මියන්මාරයේ මුස්ලිමුන් එරටට ගෙන ආවේ ඉංගිරිසින්. ඒ දහහත්වැනි සියවසේ බටහිර බෙංගාලයෙන්. එසේ ගෙන එනු ලැබූ ඇතැම් මුස්ලිමුන් වත්මන් බංග්ලාදේශයේත් පදිංචි කරනු ලැබුවා. ඒ මුස්ලිමුන් එකල බිරිතානි යටත් වැසියන්. ඒ හැරෙන්න ඔවුන්ට රටක් තිබුණේ නැහැ.



බටහිරයන් එදා නිල වශයෙන් ලෝකය බෙදා ගෙන පාලනය කරද්දී රටවැසිකම් තිබුණේ නැහැ. අප සියළු දෙනා එක්කෝ බිරිතානි යටත්වැසියන්, නැත්නම් ලන්දේසි, ස්පාඤ්ඥ ආදී යටත්වැසියන්. රටවැසියා කියන සංකල්පයවත් එදා තිබුණේ නැහැ. කොහොමටත් ඉංගිරිසියෙන් රටවැසියා කියා වචනයක් නැහැ. රටවැසියාට ඉංගිරිසියෙන් කියන්නේ සිටිසන් කියායි. සිටිසන් යනු පුරවැසියා, පුරයක වාසය කරන්නා ලෙස කියන්න පුළුවන්. ඉස්සර රෝමයේ නායකයන් ජනතාව ඇමතුවේ රෝමන්ස් ඇන්ඩ් කන්ට්‍රිමන් කියායි. රෝමය කියන්නේ නගරයක් මිස රටක් නොවෙයි. කන්ට්‍රිමන් කියා කිව්වේ රටවැසියන්ට නො වෙයි. එහි තිබුණේ ගමේ වැනි අර්ථයක්. එය ගම්වැසියා කියා පරිවර්තනය කර ගන්න පුළුවන්.



කල් යෑමේ දී බටහිර රටවල් හා ඊනියා ජාතීන් (නෛතික ජාතීන්) ඇති වුණාට පසු සිටිසන් යන්න රටවැසියන්ට යොදා ගනු ලැබුවා. එය නගරය පරාජය කර රට ඉදිරියට ඒමක්. අප සිංහලෙන් ද රටවැසියන්ට පුරවැසියන් කියලා දැන් කියන්නෙ අනුකාරක උගතුන්ට පින් සිද්ද වෙන්න! බටහිරයන් ඒ කාලෙ තම තමන්ගේ යටත්විජිතවල සිටියවුන් තමන්ගෙ වෙනත් යටත්විජිතවලට ගෙන ගියා. බටහිර බෙංගාලයේ මුස්ලිමුන් වත්මන් බංග්ලාදේශයට හා මියන්මාරයට ගෙන ගියේ බිරිතානි යටත්වැසියන් ලෙස. බිරිතානි යටත්විජිතවල විසූ සියල්ලන් එකල බිරිතානි යටත්වැසියන් (සබ්ජෙක්ට්ස්). කාලයක් පොදු රාජ්‍ය මණ්ඩලය කියන රටවල රටවැසියන්ට එංගලන්තයේ හා ඕස්ත්‍රේලියාවෙ ඡන්ද බලය හිමිවුණා. ඒ බිරිතානි යටත්වැසියන් ලෙස. අප නිදහස ලැබුවාට පසුවත් මේ දීන අයිතිය අපට තිබුණා. ජාතියක් නැති මාක්ස්වාදියකු ලෙස මා එංගලන්තයේත් ඕස්ත්‍රේලියාවෙත් මේ දීන අයිතිය අනුව හැත්තෑවේ දශකයේ ඡන්දය දුන්නා!



ලංකාවට ලන්දේසීන් දෙමළ වෙල්ලාලයන් ගෙන ආවේ එකල ඔවුන්ට ලංකාවේ මුහුදුකරය මෙන් ම කෝරමණ්ඩළ වෙරළ ද අයත් ව තිබුණ නිසා. පසුව ඉංගිරිසින් වත්මන් නැගෙනහිර පළාතේ දෙමළ වැසියන් ද එයටත් පසුව කඳුකරයේ දෙමළ වැසියන් ද වත්මන් දකුණු ඉන්දියාවෙන් ගෙනැවිත් පදිංචි කළා. ඉංගිරිසින් ගෙන ආ සියල්ලන් ම බිරිතානි යටත්වැසියන් ලෙස ලංකාවේ ජීවත් වුණා. 1948 දී නිදහස ලැබීමෙන් පසුව අපට රටවැසියන් යනු කවුරුන් දැයි හඳුනාගැනීමට (නිර්වචනය කිරීමට) සිදු වුණා. එවකට පැවති රජය වතු කම්කරුවන්ගේ රටවැසිකම අහෝසි කළා. එසේ කිරීමට අපට අයිතියක් තිබුණා. ඔවුන් මෑතක දී ලංකාවට ගෙනෙනු ලැබූ අය.  එ ජා ප ආණ්ඩුවට පුළුවන්කම තිබුණා එංගලන්තයෙන් ඉල්ලා සිටීමට මේ රටවැසියන් නොවන පිරිස ගෙන යෑමට. එහෙත් සේනානායකලා එසේ කෙළේ නැහැ. පසුව විවිධ ගිවිසුම් යටතේ ඇතැමුන්ට මෙරට රටවැසිකම ලබා දුන්නා. එයටත් පසුව තොණ්ඩමන්ගේ ඡන්ද ලබා ගැනීමට ජේ ආර් ඉතිරි ව සිටි සියලු වතු කම්කරුවනට රටවැසිකම ලබා දුන්නා. පසුගිය දවස්වල පඬියන් වතු කම්කරු ඡන්දය අහෝසි කිරීම ලෙස හැඳින්වූයේ අප සියලු දෙනා බිරිතානි යටත්වැසියන් යන නාමයෙන් මිදී ලංකාවේ රටවැසියන් බවට හැඳින්වෙද්දී ඉතා මැතක ම ඉංගිරිසින් මෙරටට ගෙනා වතු කම්කරුවන් මෙරට රටවැසියන් වීමට තරම් සුදුසු නොවන බවට සැලකීමයි.



බටහිරයන් නිසා ලෝකය අවුල් වූ අන්දමට මේ සියල්ල උදාහරණ. මියන්මාරය නේ වින්ගේ ආණ්ඩුව පවතින කාලයේ 1980දී රොහින්ග්‍යා මුස්ලිමුන්ගේ රටවැසිකම නැති කළා. ආණ්ඩුව කීවේ ඒ මුස්ලිමුන් තම රටට ගෙනා පිරිසක් බවත් ඔවුන්ට තම රටේ රටවැසික දීමට නොහැකි බවත්. අදත් ඒ මුස්ලිමුන් මියන්මාරයේ රටවැසියන් නො වෙයි. ඒ මුස්ලිමුන් මියන්මාරයේ බෞද්ධයන්ට හිරහැර කරනවා. ඒ මුස්ලිමුන් බහුල ප්‍රදේශවල. තමන් මියන්මාරයේ රටවැසියන් නොවන බවත් නොතකා ඔවුන් බෞද්ධයන්ට හිරහැර කරන්න පටන් ගත්තා. මේ මුස්ලිමුන්ට එරෙහිව හමුදාව ක්‍රියාත්මක වීමෙන් අද මුස්ලිම් ආක්‍රමණකියන්ට රට අත්හැර යෑමට සිදුවෙලා. ඔවුන් අද සරණාගතයන් ලෙස අනුකම්පාව ඉපදෙන ආකාරයකට කටයුතු කරනවා.



එංගලන්තයට පුළුවන් මේ ප්‍රශ්නය  එක පෑන් පහරින් විසඳන්නට. ඔවුන් මියන්මාරයට ගෙන ගිය මුස්ලිමුන්ගෙන් පැවත එන්නන් වහාම එංගලන්තයට ගෙන යන්න පුළුවන්. එය අමානුෂික යෝජනාවක් කියලා අර ඊනියා සංහිඳියාවක් සාමයක් ගැන කියවන පඬියන් කියන්න පුළුවන්. එහෙම නොවන්නට නම් කළ යුත්තේ එකී මුස්ලිමුන් තම ආගම අදහන අතර මියන්මාරයේ සංස්කෘතියට අවශෝෂණය වීමයි. අද ලෝකයේ හුඟක් ප්‍රශ්න මේ සංස්කෘතික අවශෝෂණය නැති නිසා සිදුවන සංස්කෘතික ගැටුම්.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 23