Main Logo

Friday 22 September 2017

ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය  


ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය



මේ රටේ දේශපාලනය ගැන හිතන විට  කණගාටුවක් හා බයක් දැනෙනවා. ඒ රනිල් හරි මෛත්‍රිපාල හරි නිසා නො වෙයි. රනිල් සිංහල බෞද්ධ විරෝධීකම උපතින් ම ගෙන ආ අයෙක්. මෛත්‍රිපාල විධායක බලතල මිස ජනබලයක් නැති අයෙක්. මැතිවරණයක් තිබ්බොත් ඔහුගේ කල්ලියට වැලේ වැල් නැහැ. රනිලුත් ඒ තරමට ම නැති වුවත් පරදිනවා. ජ වි පෙ අර ජනකතාවල එන පිම්බුණු ගෙම්බා වගෙයි. මැතිවරණයක් තිබ්බොත් ඔවුන්ට යන එන මං නැති වෙනවා. ඒ හැමෝට ම හොඳයි මැතිවරණ නොපවත්වා ඉන්න එක.




මනාප ක්‍රමය ජ වි පෙරමුණට මෙන් ම රිෂාඩ් බදිඋද්දීන්ලටත් වාසියි. ආණ්ඩුවට පළාත් සභා මැතිවරණ කල්දැමීමට (නොපැවැත්වීමට) අවශ්‍ය වුණාම පෙරේදා අදාළ පනතට තුනෙන් දෙක ලබා ගැනීමට ඒ සියල්ලන් ම ආධාර කළා. එයට හිලවුවට මේ පක්‍ෂ කොට්ඨාස මනාප අනුපාතය 50:50 කරන්න කිවුවා. ආණ්ඩුව එකඟ වූවා. දැන් ඒ සියල්ලන් ම සතුටින් ඉන්නවා. දෙමළ ජාතික සංධානයත් මෛත්‍රිපාල කල්ලියත් පනතට ඡන්දය දීලා. මෛත්‍රිපාල කල්ලියේ ඉතා වැඩි දෙනකුගේ අවශ්‍යතාව වී ඇත්තේ රට ජාතිය ආගම බේරා ගැනීම නොව තම පුටුව හා එමගින් බඩ රැක ගැනීමයි.



මේ ඊනියා ජාතික ආණ්ඩුවට තුනෙන් දෙක තිබුණෙ යම්තමින්. එ ජා පෙරමුණට තිබුණෙ 106යි. මෛත්‍රිපාල කල්ලියට 45යි. විජේදාසයි අරුන්දිකයි ගියාට පස්සේ මුළු ගණන 149ට බහිනවා. ඩලස් අලහප්පෙරුම උජාරුවෙන් කියනවා ඒගොල්ලො ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කළාය කියලා. ඊනියා ජාතික ආණ්ඩුව නොව මේ ආණ්ඩුව කියන්නෙ මොකක් ද? එ ජා පෙ හා මෛත්‍රිපාල කල්ලිය විතරක් ද? දෙමළ ජාතික සංධානය හා ජ වි පෙ ආණ්ඩුවේ කිහිලි කරු දෙක. ඒ පක්‍ෂ දෙක නාමික ව ඉන්නෙ විපක්‍ෂෙ. ඒත් අවශ්‍ය වෙලාවට ආණ්ඩුවත් එක්ක ඡන්දෙ දෙනවා. ඒ පක්‍ෂ දෙකට මන්ත්‍රීවරුන් විසි දෙදෙනකු ඉන්නවා. එවිට තුනෙන් දෙක (150) පන්නන එක අමාරු නැහැ. තුනෙන් දෙක ලැබෙනවා.



පනත සම්මත කර ගැනීමේ ප්‍රීතිය සැමරීමට මෙන් ආණ්ඩුව ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. ඒකීය රාජ්‍යය හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ආරක්‍ෂා කරනවලු. ඒක ආරක්‍ෂා කරන්නෙ කොහොම ද? අප දැනටමත් ඒකීය නො වෙයි. මා ඒ බව කිහිප වතාවක් ම කියා තිබෙනවා. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයවත් එහි උපදේශක පඬියන්වත් ඒක පිළිගන්නෙ නැහැ. මුහුණු පොතේ සියයක් හමාරක් ඒ බව පිළිගත්තට වැඩක් නැහැ. ජනමාධ්‍ය ඒ මතයට කිසිම ප්‍රසිද්ධියක් දෙන්නෙ නැහැ. අද ජනමාධ්‍ය ක්‍රියා කරන්නෙ මාධ්‍ය හැටියට නො වෙයි. දැන්වීම් ප්‍රචාරක (ඇඩ්වටයිසින්) ආයතන හැටියට. ජනමාධ්‍ය කරන්නෙ මොන ක්‍රමයකට හරි තමන්ට ප්‍රචාරයක් ලබා ගැනීම. එමගින් තම ඇගයීම් (රේටින්) වැඩි කර ගැනීම. එලෙස මුදල් ඉපයීම. දේශපාලනය පමණක් නොව ජනමාධ්‍ය ද මුදල් උපයන මාර්ග  බවට පත් වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 G (2), (3) වගන්ති තිබෙනතාක් මෙරට ඒකීය රාජ්‍යයක් නො වෙයි.



ඩොයිලිත් බුද්ධාගමට ප්‍රමූඛස්ථානය දුන්න. ඩොයිලි අනුගමනය කරමින් රනිල්ලා විතරක් නොවෙයි ඩලස්ලාත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දේවි. ඒ අතර මහානායක හාමුදුරුවරුන්ට නොව කාදිනල් ඇතුළු බිෂොප්ලාට සවන් දේවි. දේශපාලනඥයන් දොහොත් හිස් මුදුණේ තබාගෙන පන්සිල් ගන්න එක ජනමාධ්‍යයෙ ප්‍රචාරය වෙනවා. අප රැවටෙනවා. ඔවුන් තිරුපති යන එක පැත්තකින් තබමු. මේ අයගෙන් කී දෙනෙක් යෙහොවාගේ සාක්‍ෂිකාරයො ද? පන්සිල් ගැනීමත් බොහෝ විට ප්‍රචාරක දැන්වීමක් පමණයි. අද රට (නො)පවතින්නේ රැවටීම, ජනප්‍රියතාව මත.



ආණ්ඩුව ඡන්ද නොපැවැත්වීමේ තම පවිටු අරමුණ ඉටු කර ගැනීමට හරි පළාත් සභාවල බලතල කිහිපයක් පාර්ලිමේන්තුවට අරගෙන. එය කර ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවකට ද පිටින් ගිහින්. අප ඒ ක්‍රියා මාර්ගය අනුමත කරන්නේ නැහැ. මැතිවරණ නොපැවැත්වීමට අප විරුද්ධයි. එහෙත් නීත්‍යානුකූල ව පළාත් සභා අහෝසි කළ යුතු බව දහතුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කටු ගා දැමිය යුතු බව අප කියනවා. සම්බන්ධන්ලා සුමන්තිරන්ලා පළාත් සභා ඡන්ද නොපැවැත්වීමට (කල් දැමීමට) පක්‍ෂ ව ඡන්දය දීමෙන් ඔවුන්ගේ කුහක පිළිවෙත හෙළිදරවු වෙනවා. ඔවුන්ට පළාත් සභා අවශ්‍ය සිංහලයන්ට විරුද්ධව ජනතා පරමාධිපත්‍යය නැති කිරීමට පමණයි. ඔවුන්ට වුවමනා බලය පමණයි. පළාත් සභා ඡන්දය නැති වුවත් ඔවුන්ට කමක් නැහැ.



එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ක්‍රියා කරන්නේ කෙසේ ද? ආණ්ඩු විරෝධී බව පමණක් ඒකාබද්ධ විපක්‍ෂයේ එක ම ප්‍රතිපත්තිය නොවිය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ දී ඇසුවේ පළාත් ආයතන පනත පළාත් සභාවලට යොමු කළා ද කියා. එයින් සිදුවන්නේ පළාත් සභාවල බලය තහවුරු කිරීම පමණයි. ඒ සියල්ලටමත් වඩා භායානක ප්‍රකාශයක් ඩලස් අලහප්පෙරුම මාධ්‍ය සාකච්ඡාවක දී  කළා. ඔහු කියා සිටියේ ආණ්ඩුව පළාත් සභාවල බලය පාර්ලිමේන්තුවට උදුරා ගැනීම වැරදි කියා. ඔහු විරුද්ධ වූයේ ක්‍රියා මාර්ගයට පමණක් නො වෙයි. ක්‍රියාවටත් ඔහු විරුද්ධ වුණා.



ඔහු ඒ බව තවදුරටත් තහවුරු කරමින් කියා සිටියේ ආණ්ඩුව පළාත් සභාවල බලතල පාර්ලිමේන්තුවට උදුරා ගැනීමෙන් ශක්තිමත් පළාත් සභා ඇති කිරීමට ඇති ඉඩකඩ අහුරා ඇති බව. මෙයින් කියන්නේ ඩලස් අලහප්පෙරුමට පළාත් සභා තවත් තහවුරු කිරීමට අවශ්‍ය බවයි. වෙනත් වචනවලින් කියනවා නම් පළාත් සභා තවත් ශක්තිමත් කිරීමට ඩලස්ට අවශ්‍යයයි. ඩලස් පළාත් සභා ශක්තිමත් කරන්නේ කිනම් ප්‍රශ්නයක් විසඳන්න ද? මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති අසාධාරණයක් විසඳන්න ද? එසේ නම් ඩලස්ට පුළුවන් ද ඒ අසාධාරණය මොකක් ද කියලා කියන්න. පළාත් සභාවලට විරුද්ධ අය සිංහල ජාතිවාදීන් යැයි ඩලස් කියනවා ද? ඩලස් ලක්මිණ පත්‍රයෙහි සේවය කළ කාලයේ සිට මා දන්නවා. එකල ඔහු හමුදා මෙහෙයුම්වලට විරුද්ධ වුණා.



ඒකාබද්ධ විපක්‍ෂයේ අද බලවතුන් වී ඇත්තේ දහතුනට පක්‍ෂ අය. ඔවුන්ට පළාත් සභා තවත් ශක්තිමත් කරන්න අවශ්‍යයයි. ඒ විතරක් නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂය අද ඔය අතුරු වාර්තාව ඉදිරිපත් කළ මෙහෙයුම් කමිටුවේත් නියෝජනය වෙනවා. රනිල් කියන්නේ සියල්ලන්ගේ සහායෙන් ව්‍යවස්ථාව සම්පාදනය කරන බව. ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ නියෝජනය වීමෙන් රනිල්ගේ කතාව තහවුරු වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය තවදුරටත් මෙහෙයුම් කමිටුවේ රැඳී සිටින්නේ කාගේ වුවමනාවට ද? 2012 දී පමණ ආණ්ඩුවට දහතුන ඉවත් කිරීමට නොහැකි වූයේ බොරු සමාජවාදීන් නිසා ද?  මේ සමහරුන් 2015 ජනවාරි අටවැනි දා පරාජයෙන් පසු මහින්ද රාජපක්‍ෂට මාස කිහිපයකට දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගැනීමට බැරි වූ අය. මේ ලිපියෙන් ඒ අයට කිිසිම තර්ජනයක් නැහැ. මේ ලිපියට ජනමාධ්‍යයෙන් ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. සියයකට හමාරකට වඩා ලිපිය කියවන්නෙත් නැහැ. රටේ අනාගතය ගැන හිතන විට කණගාටුවක් මෙන් ම බයක් ද දැනෙනවා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 22