Main Logo

Wednesday 20 September 2017

වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්  


වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්



නීතිය දේශපාලනයෙන් වෙන් කරන්න පුළුවන් කියලා හිතුවට එහෙම කරන්න බැහැ. නීතිය විතරක් නොවෙයි අනෙක් හැම දේමත් දේශපාලනය එක්ක බැඳිලා. අපට දේශපාලනයෙන් වෙන් වෙන්න බැහැ. අප සෘජුව දේශපාලනයේ නොයෙදෙනවා වෙන්න පුළුවන්. අප දේශපාලනඥයන්ට අකමැති වෙන්න පුළුවන්. ඒත් අපට ජීවත් වන්න වෙලා තියෙන්නෙ දේශපාලනයත් එක්ක. අප ඒක අමතක කරන්න හොඳ නැහැ. නීතිඥයන් නීතිය ගැන වගේ ම දේශපාලනය ගැනත් සැලකිලිමත් විය යුතුයි.




විසිවැනි සංශෝධනය ගැන අප සැප්තැම්බර් 1, 2, 18 දිනවල ලියා ඇති. අදාළ පනත පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව කතානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. ඒ තීන්දුවට අනුව විසිවැනි සංශෝධන පනතේ 2, 3, 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි. එසේ පටහැණි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12(1) හා 14(1) සමගයි. මෙයින් (3) හා (4) ජනතාවගේ පරමාධිපත්‍යය හා සම්බන්ධයි. 12(1) හා 14(1) මූලික අයිතිවාසිකම් හා සම්බන්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ගෙනෙන පනතක් (3) වැනි හෝ  තවත් ව්‍යවස්ථා කිහිපයක් හෝ සමග පටහැණි නම් එකී පනත සම්මත වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් මෙන් ම ජනමත විචාරණයකින් අනුමත වීම ද අවශ්‍යයි. විසිවැනි සංශෝධන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය වී තිබෙනවා.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි ව්‍යවස්ථාව අසූතුන්වැනි ව්‍යවස්ථාවේ සඳහන් නොවුණත් තුන්වැනි ව්‍යවස්ථාව හා හතරවැනි ව්‍යවස්ථාව එකට බැඳී තිබෙනවා. කෙසේ වෙතත් දැන් විස්ස සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි. හතරවැනි ව්‍යවස්ථාවෙන් ඡන්ද බලය පිළිබඳවත් කියැවෙනවා. එහි සඳහන් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ගැනයි. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා පාර්ලිමේන්තුව සඳහා පමණක් නොව පළාත් පාලන ආයතන සඳහාත් ඒ වලංගු බව. හතරවැනි ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මැතිවරණ ගැන පමණක් කියැවුණත් ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ පළාත් පාලන ආයතනවලටත් ඡන්ද බලය වලංගු වන බවයි.



අප තුන්වැනි ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ කුමක් ද යන්න පැහැදිලිව වටහා ගත යුතුයි. එහි සඳහන් අන්දමට පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටයි. ඒ පරමාධිපත්‍යය අනුලංඝනීයයි. පරමාධිපත්‍යයට ආණ්ඩුවේ බලය, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය අයත් වෙනවා. මේ බල ක්‍රියාත්මක වන ආකාරය හතරවැනි ව්‍යවස්ථාවෙන් කියැවෙනවා. 4(e) වගන්තියෙන් කියැවෙන්නේ ජනාධිපතිවරණයක දී, පාර්ලිමේන්තු මැතිවරණයක දී හා ජනමත විචාරණයක දී ඡන්ද බලය යොදා ගැනීම පිළිබඳවයි. ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ පළාත් පාලන ආයතන සඳහා ද ඡන්ද බලය වලංගු වන බවයි. එමෙන් ම ඡන්ද බලය නැති කිරීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙසත් සැලකෙනවා. 



පළාත් සභා පනතක් වෙන ම තිබුණත් දහතුන්වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ද යම් යම් කරුණුවල දී ව්‍යවස්ථාදායක බලය දී තිබුණත් (එමගින් පරමාධිපත්‍යය යම් ප්‍රමාණයකට දිය කර හැර ඇති නමුත්) මෙහි දී වැදගත් වන්නේ ඡන්ද බලයයි. තුන්වැනි ව්‍යවස්ථාවෙන් කියැවෙන ඡන්ද බලයට අර්ථ නිරූපණයක් ශ්‍රෙෂ්ඨාධිකරණ නඩු තීන්දවෙන් ලැබී තිබෙනවා. විසිවැනි සංශෝධනයෙන් ඇතැම් පළාත්වල ජීවත්වන්නන්ගේ ඡන්ද බලය යම් කාලයකට නැති වෙනවා. එසේ නැති වීම තුන්වැනි වගන්තිය සමග අනනුකූලයි. විස්ස සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ එබැවිනුයි.



මෙහි දී වැදගත් කරුණු දෙකක් මතුවෙනවා. පළමුව ශ්‍රෙෂ්ඨාධිකරණය 154 (G) (2) වගන්තිය මත පදනම් වෙලා නැහැ. ඇතැම් ජාතිකවාදී නීතිඥයන් ඒ වගන්තිය මත පදනම් වී තර්ක කිරීම කණගාටුදායකයි. මෙහි දී අවශ්‍ය වන්නේ නඩුව දිනීම පමණක් නො වෙයි. කිසිම අයුරකින් පළාත් සභාවල බලය තහවුරු කිරීමක්  අවශ්‍ය නැහැ. අප කලින් ලිපිවලින් අවධාරණය කෙළේ 154 (G) (2) හා (3) ව්‍යවස්ථා මත පදනම් වීම පළාත් සභාවල බලය තහවුරු කිරීමක් බව. ඇතැම් ජාතිකවාදී නීතිඥයන් ඒ ව්‍යවස්ථා මත පදනම් වුවත් ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ අදාළ පනත සම්පූර්ණ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කරන බැවින් 154 ( G )  ව්‍යවස්ථාවට වැඩි ප්‍රමුඛත්වයක් 82 හා 83 වැනි ව්‍යවස්ථාවලට ලැබෙන බවයි. මෙය ඉතාමත් වැදගත්. මේ නඩු තීන්දුව අනාගතයේ දී  ඉතා වැදගත් වේවි.



දෙවනුව ශ්‍රෙෂ්ඨාධිකරණය ඡන්ද බලය පළාත් පාලන ආයතනවලට ද විස්තීරණය (දික්) කරනවා. මෙය ඡන්ද බලය ගැන කෙරෙන නව අර්ථනිරූපනයක්.  අද පළාත් පාලන ආයතනවල ද මැතිවරණ නොපැවැත්වීම මේ නඩු තින්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේ පිළිබඳ ව නීතිඥයන් කියන්නේ කුමක් දැයි මා දන්නේ නැහැ. රනිල් ලබන වසරේ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පවත්වන බව කියනවා. ඔහු විවිධ අණ පනත් ගෙනැවිත් මෙය කල් දැමීමට කටයුතු කරාවි. ඔහුට ඡන්ද දිනන්න බැහැ. ඔහු විවිධ උපක්‍රමවලින් ඡන්ද බලය නැති කරනවා.



ආණ්ඩුව පළාත් සභාවල ඡන්දය කල් දැමීමට තවත් පනතක් ගෙන ඒමට සූදානම්. එහි දී ඒකාබද්ධ විපක්‍ෂය ඒ පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමු කළා ද කියා අසන්න වුවමනාවක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයට අවශ්‍ය පළාත් සභාවල බලය තහවුරු කිරීම ද? ආණ්ඩුව ඡන්ද පවත්වන එක කල් දමාවි. එහෙත් එහි දී අප දැනට දී ඇති නඩු තීන්දු හා වෙනත් තර්ක උපයෝගී කර ගත යුතුයි. කිසිම අයුරකින් පළාත් සභාවල බලය තහවුරු කිරීමට ක්‍රියා නොකළ යුතුයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 20