Main Logo

Wednesday 14 February 2018

මහින්ද මේ අවසාන අවස්ථාවයි



මහින්ද මේ අවසාන අවස්ථාවයි



අද රට මුහුණ පා ඇති තත්වය ගැන කියන්න මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න හිතුවත් ඒකෙන් වැඩක් නොවන නිසා අදහස අත්හැරියා. මේ ලිපිය ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුට මෙන් ම ජනමාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුට ද යවන නමුත් ඔවුන් ඒ නොකියවන බව පැහැදිලියි. ඔවුන් මේ ලිපිවල පළවන කිසිම දෙයකට ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මා වැන්නකු වැදගත් අදහසක් ප්‍රකාශ නොකරන බවයි. ජනමාධ්‍යවේදීන් මට වඩා ප්‍රබුද්ධ ඇසූ පිරූ තැන් ඇති බව මා පිළිගන්නවා.  ඔවුන් දෙවියන් ගැන විශ්වාසය තබන අයකුගේ අදහස්වලට කිසිම වැදගත් තැනක් දේවි යැයි හිතන්න බැහැ. මේ ලිපි ජනතාව අතරට යන්නේ නැහැ. දෙසියකට වඩා ඒ කියවන්නේ නැහැ. විමල්ට සහාය දෙන ප්‍රබුද්ධ දොස්තර මහාචාර්යවරයකුට අනුව අපට ඇත්තේ මෝඩ තර්ක. 

පාර්ලිමේන්තුව විසුරුචා හැරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බව රනිල් ඉවත් කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව මා කියා බොහෝ කල්. එහෙත් ඒ කිසිවක් ජනමාධ්‍යවේදී ප්‍රබුද්ධයන්ට දැනී නැහැ. ඒ මා නීතිඥයකු නොවන නිසා ද වෙන්නත් පුළුවන්. ජයම්පති තුනෙන් දෙකේ කතාව ඊයේ කී විට එය වැදගත් ප්‍රවෘත්තියක් වෙනවා. ජයම්පති මට වඩා ප්‍රබුද්ධයි. ඔහු ජනාධිපති නීතිඥයෙක්. මා ඔහු දන්නේ ඔහු සිසුවකු ව සිටි අවධියේ සිට. අද එක්තරා පුවත්පතක භාරකාර ආණ්ඩුවක් ගැන කියා තිබුණා. එයට චතුර අල්විසුත් ලොකු ප්‍රචාරයක් දුන්නා. මා ඔහුටත් මේ ලිපි යවනවා.

පොහොට්ටුවට ලැබුණේ 45%ට අඩු ඡන්දයක්. ඔවුන්ට බොහෝ සභාවල බලය ලබා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒ බහුතර ඡන්දයක් ලැබුණත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නැති නිසා. නුවරඑළියේ බලය ලබා ගැනීමට ආරුමුගම් තොණ්ඩමන් සමග එකතු වන පොදුජන පෙරමුණට අනෙක් සභාවල මෛත්‍රිපාලගේ කණ්ඩායම් සමග එකතු වෙන්න පුළුවන්. උදාහරණයකට හම්බන්තොට මහනගර සභාව ගන්න පුළුවන්. එහෙත් නාමල් රාජපක්‍ෂ එහි සභාපති පදවිය ගැන ප්‍රශ්නයක් මතුකර. මේ කොන්දේසි ගැන කතා කරන කාලයක් නො වෙයි.

මෙවර පොදු ජන පෙරමුණ දිනාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වුවත් ප්‍රතිශතයක් ලෙස 2011 දී තුන්වරකට පැවැත්වුණු පළාත් පාලන ආයතන මැතිවරණවල දී ලබාගත් ප්‍රතිශතයටත් 2015 මහින්දට ලැබුණු ප්‍රතිශතයටත් අඩුයි. මෙවර පොහොට්ටුවට ලැබුණු ඡන්ද හා මෛත්‍රිපාලගේ කණ්ඩායම් ලබාගත් ඡන්ද එකතු කළොත් 58%-68% පරාසයක පවතිනවා. මෛත්‍රිපාලට එ ජා ප ඡන්ද 3%ක් පමණ ලැබුණත් මෙය 55%කට වැඩි ප්‍රතිශතයක්. මෙයින් බහුතරය ජාතිකත්වයේ ඡන්ද. අප ඒ බව අමතක නොකළ යුතුයි. පහුගිය කාලයේ මෙරට ජාතිකත්වය සුළුවෙන් නමුත් වර්ධනය වී තියෙනවා. එය තවත් වර්ධනය කළ හැකියි. යමකු කියන්න පුළුවන් ඒ නලින් ද සිල්වාගේ මුග්ධ ජාතිකත්වය නොව චතුර අල්විස්ගේ ප්‍රබුද්ධ ජාතිකත්වය කියා. එයට කමක් නැහැ.

අපි තරහයි නාට්‍යය ගැන කී අයට සතුටු වෙන්න පුළුවන් තවම නාට්‍යය ඉවර නැහැ කියලා. ඊනියා නාට්‍යය ඉවර කරන්නෙ හරි නොකරන්නෙ හරි මහින්ද. මට නම් නාට්‍යයක් පෙනුනෙ නැහැ. එය මෛත්‍රිපාල හා රනිල් අතර වූ විරසයක්. ඒ විරසකය නාට්‍යයක් ලෙස දුටු අය ඉන්දීය හා එංගලන්ත මහා කොමසාරිස්වරු හා බටහිර තානාපතිවරු මෛත්‍රිපාලට හා රනිල්ට බලපෑම් කර විරසකය නැති කරනු දකින්න කැමති ඇති. එවිට නාට්‍යකරුවන්ට විරසකය නාට්‍යයක් ලෙස පෙන්නන්න පුළුවන්.

මා ඊයේ අහගෙන හිටියා බන්දුල ගුණවර්ධන හා විමල්ගෙ වසන්ත බණ්ඩාර (අර මහාචාර්යවරයා මේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වන්නෙ නැහැ) අපට කියනවා රනිල්ගෙ තනි ආණ්ඩුවක් පිහිටෙව්වොත් සංස්කෘතික පරිහානියක් ද වන බව. අප එය නොදැන සිටි දෙයක් ද? ජේ ආර් මාමා විවෘත කළ සංස්කෘතිය රනිල් බෑණා සංස්කෘතික සුනාමියක් බවට පත්කරාවි. අද කළ යුත්තේ ඒ සුනාමිය වැළැක්වීමත් විදේශීය තානාපතිවරුන්ගේ සැලැස්ම පරාජය කිරීම මිස කවුරුත් දන්නා සංස්කෘතික පරිහානිය ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නො වෙයි. ගුණදාස අමරසේකර කියා තිබුණා ආණ්ඩු වෙනස් වීම නිසා ඔහුට දැන් මැරෙන්න බයක් නැහැ කියලා. එය තවත් හිට් කෑල්ලක් වුවත් අප වැනි අයට මැරෙන්න සිදුවන්නේ එක්කෝ ඊනියා ජාතික ආණ්ඩුවක නැත්නම් රනිල්ගෙ තනි ආණ්ඩුවක වෙන්න පුළුවන්. අප රනිල් අගමැති වූ දින පටන් ම මෙන් ඔහු ඉවත් කළ යුතු බව කියන්නෙ රනිල් ගැන දන්න නිසා.  

අමරසේකරට බය නැතිව මැරෙන්න සලස්සන්න පුළුවන් මහින්දට විතරයි. පොහාට්ටුවට හා මෛත්‍රිපාලට දුන් ඡන්දය එකතු කරන්න පුළුවන් මහින්දට පමණයි. එය 55%ට වැඩි බව අමතක කරන්න එපා. ඔහු එය නොකළොත් එක්කෝ 33% ක ඡන්දයක් ඇතිව රනිල් තනිව ම ආණ්ඩුවක් පිහිටුවාවි. නැත්නම් මෛත්‍රිපාලගෙ 13%ත් එකතු කර ඊනියා ජාතික ආණ්ඩුව දිගට ම පවත්වා ගෙන යාවි. පඬියකු කියන්න පුළුවන් පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන්න බැහැ කියා. බටහිර පොතට අනුව එහෙමයි. එහෙත් ලංකාවේ බටහිර පොතට අනුව කිසිවක් සිද්ධ වෙන්නෙ නැහැ.

මහින්ද නිහඬ ව ඉන්නව කියන කතා නවත්තලා මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න දැන්වත් සහය දෙන්න ඕන. එසේ නොකළොත් ඔය හිතේ තියෙන 2020, 2025 බලාපොරොත්තු ඉටු වෙන එකක් නැහැ. ජේ ආර්ට බලය දීලා ආපහු ගන්න අවුරුදු 17ක් ගියා. රනිල් මැරෙන තෙක් බලයේ සිටීවි. මහින්දත් අපත් මතක තබා ගත යුතු කරුණක් නම් අද පනස්හයේ දරුවන් මෙරට පාලනය අත්පත් කරගත් අය බවත් එජාප අතරින් පතර පාලනය කරන පක්‍ෂය බවත් (මට මේ අවස්ථවෙදි මතක් වෙනවා බණ්ඩාරනායක ගුණ සමරු කමිටුවේ සභාපති ලෙස මහින්ද 1989 දී බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු තිහකට පසුව පළමු බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වීමට අප නිවසට පැමිණ මට ආරාධනය කළ සැටිත් මා ඒ දේශනය පනස්හයේ දරුවෝ යන මැයෙන් කළ සැටිත්- මහින්දත් මාත් දිනේෂුත් බන්දුලත් මෛත්‍රිපාලත් තවත් බොහෝ අයත් පනස්හයේ දරුවෝ). අප ඉතිහාසයේ කරන බරපතළ වරදකින් විදේශීය තානාපතිවරුන්ට පනස්හයේ දරුවන්ගේ උරුමය පාවා දෙනවා ද? නැත්නම් පනස්හයේ උරුමය ඉදිරියට ගෙන යමින් මෙරටට ජාතික ප්‍රතිපත්ති මත සකස් වූ අනාගතයක් උරුම කර දෙනවා ද?   



________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-14