Main Logo

Sunday 4 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2



අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2

අප වෙල්ලස්සෙ ගියෙ බෙංගමුවෙ නාලක හාමුදුරුවොත් එක්ක. උන්වහන්සේත් ඕමාරේ කස්සප හාමුදුරුවොත් පැකේජය පරද්දවන්න කළුතර සිට කතරගමට පයින් වැඩියා. දෙපාවල දිය පට්ටා මතු වුණා. කමලදාස චර්මරෝග වෛද්‍යතුමා උන්වහන්සේලාගේ සෞඛ්‍යය ගැන පමණක් නොව වෙනත් අවශ්‍යතා ගැන ද සොයා බැලුවා. උන්වහන්සේලා පසුව රිය පෙරහැරක වැඩියා කැලණියේ සිට කතරගමට ඒ සමග තුරුවිල හාමුදුරුවො මුහුදු මගින් කිරින්දට වැඩම කළා. ඒ හාමුදුරුවරුන්ගේ උත්සාහය නොතිබෙන්න පැකේජය පරාද කරන්න බැහැ. එහෙත් පැකේජය පරාද කිරීමේ ගෞරවය ලැබෙන්නේ වෙනත් හාමුදුරුවරු දෙනමකට. ඉන් එක් නමක් කළේ ඉඳහිට ප්‍රකාශ නිකුත් කිරීම පමණයි. එයත් තරමක ප්‍රමාදයකින්.

එහෙත් ඒ හාමුදුරුවරු දෙනම ප්‍රභූ හාමුදුරුවරු. ප්‍රභූ හමුදුරුවරු කියන්නේ ප්‍රභූ පන්සල්වල නායක හාමුදුරුවරුන්ට. ප්‍රභූ පන්සල් කියන්නේ ප්‍රභූන් යන පන්සල්වලට. ප්‍රභූන් ඇති කරනු ලැබුයේ සුද්දන් විසින්. නාලක හාමුදුරුවන්වත් කස්සප හාමුදුරුවන්වත් ප්‍රභූ හාමුදුරුවරුන් නො වෙයි. මෙයින් පෙන්වන්නේ අප තවමත් සුද්දන් දුන් මානසිකත්වයෙන් නිදහස් වී නැති බවයි. සුද්දන්ගෙන් ලැබුණු ආචාර්ය උපාධිය නොවන්නට මට මෙරට විසුමක්වත් වන්නේ නැහැ. අදත් මට පිළිගැනීමක් නැහැ. මා ප්‍රභූවරයකුවත් ප්‍රභූවරයකු වීමට උත්සාහ ගන්නකුවත් නො වෙයි. අනගාරික ධර්මපාලතුමා ප්‍රභූ පවුලක නොඉපදෙන්නට කිසිවකු එතුමා ගණන් නොගැනීමට තිබුණා. එක්සත් රාජ්‍යවලින් පැමිණි ඕල්කට්තුමා බෞද්ධ ප්‍රභූන්ගේ ගෞරවයට පාත්‍ර වුණා.

අද පැවැත්වෙන නිදහස් උත්සවයට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි වන්නේ නැහැ කියා වාර්තා වෙනවා. ඒ කුමන අදහසකින් කුමන ප්‍රතිපත්තියක් මත පිහිටා ගත් එකක් දැයි මට තේරෙන්නේ නැහැ. මා ඊයේ කිව්වේ මහින්ද එඩ්වඩ් ගැන එතෙක් කිසිවක් නොකී බවයි. එහෙත් අද ඒකාබද්ධ විපක්‍ෂය එඩ්වඩ් සහභාගි වන නිසා නිදහස් උත්සවයට සහභාගි නොවන බව කියා තිබෙන බවට ආරංචියක් තියෙනවා. ඒ ඔවුන්ගේ ජාතිකත්වය නිසා ගත් තීරණයක් ද? එහෙත් මේ අයගෙන් කී දෙනකු චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේ මැති ඇමතිවරුන් ලෙස 1998 දී චාල්ස් පැමිණි නිදහස් උත්සවවලට සහභාගි වුණා ද? මේ අවුරුදු විස්සෙ ඔවුන්ගෙ ජාතිකත්වය වර්ධනය වී තිබෙනවා නම් හොඳයි.

චන්ද්‍රිකා එදා ජාතිය ඇමතුවෙ ඉංගිරිසියෙන්. ඒකට එදා ඇමති මණ්ඩලයේ කී දෙනකු විරුද්ධ වුණා ද? ඉංගිරිසියෙන් ඇමතුවෙ චාල්ස්ට තේරෙන්න. සමහර විට ඇය චාල්ස් ජාතිය කියා හිතන්න ඇති. ඇගේ පුතා විමුක්ති සිංහලයකු වී ඉපදීම ගැන ලජ්ජා වන්නේ අම්මා නිසා. ඒකෙ අර්ථ කිහිපයක් තියෙනවා. ඔබට ඕනෑ අර්ථයක් ලබා ගන්න. අපට නිදහස තව දුරයි.

අද උත්සවයට දෙමළ ජාතික සංධානය සහභාගි වන්නේත් නැහැ. ඔවුන් එයින් කියන්න අදහස් කරන්නේ, එඩ්වඩ්ට පණිවුඩයක් දෙන්නේ, මෙරට දෙමළ ජනයාට තවමත් නිදහසක් නැති බවයි. ඒ මා කියන අර්ථයෙන් නිදහසක් නො වෙයි. දෙමළ නායකයන් එදත් අදත් මෙහෙයවනු ලබන්නේ මූලික ව ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඉංගිරිසින් විසින්. ෆෙඩරල් පක්‍ෂය නමින් හැඳින්වුණු ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයෙහි භාණ්ඩාගාරික වූ ඊ එම් වී නාගනාදන් පළමු පාර්ලිමේන්තුවේ පළමු සැසියේ රාජාසන කතාවේ දී කිව්වේ මෙරට සිංහලයන්ට නිදහස ලැබී ඇති නමුත් දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස් වීමට ඇති බවයි. සුමන්තිරන්ලාට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් නිදහස් වීමට අවශ්‍ය නැහැ. චෙල්වනායගම් මෙන් ම සුමන්තිරන් ක්‍රිස්තියානි. එක් අයකු අංග්ලිකන් අනෙක් අය මැතෝදිස්ත. පාණදුරා වාදය කෙරුණේ ඒ දෙගොල්ලන්ට විරුද්ධව.

අපට පෙවරවාරි හතරවැනි දා ලැබුණේ වෙල්ලස්සේ කුමරයා බලාපොරොත්තු වූ නිදහස නො වෙයි. ඒ නිදහස තව හුඟක් ඈතයි. මා ඊයේ කී පරිදි අපට ලැබුණේ ඩොමීනියන් තත්වයක්. අප එයින් තරමක් ඉදිරියට ගියේ 1972 මැයි විසිදෙවැනි දා. අප ජනරජයක් වී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව ජනාධිපති විලියම් ගොපල්ලව වූ දා. එයට මුල් වූයේ බණ්ඩාරනායක මැතිණියයි.

පෙබරවාරි හතරවැනි දා මෙරට ඉංගිරිසින් විසින් ඇති කරනු ලැබූ ප්‍රභූ පංතියට ඔවුන් පැතු නිදහස ලැබුණා. ඔවුන් පෙත්සම් මගින් ගතුකම් කර නිවට කමින් තමයි ඒ නිදහස ලබා ගත්තෙ. ඒ නිදහසට ලේ හැලුවෙ නැහැ කියන එකේ ඇත්තක් තියෙනවා. කැප්පෙටිපොළ නිළමෙ පුරන් අප්පු කඩහපොළ හාමුදුරවෙන් ලේ හලපු නිදහස තවම අපට ලැබුණෙ නැහැ. ජ වි පෙ ලේ හලමින් අනුන්ගේත් ලේ හැලුවෙ මාක්සගෙ හිතළුවක් වෙනුවෙන්. අද නන්නත්තාර වී ඇති ඊනියා විද්වතුන් යන එන මං නැතිව ජ වි පෙරමුණට ආධාර කරන්නේ මිනී මැරුම් අමතක කරමින්. මොවුන්ගෙන් ඇතැමකු දයා පතිරණගෙ විශ්වවිිද්‍යාල සගයන්. අද ඔවුන් පල්ලිය හා එහි නියෝජිත කුරුස කාරයන් සමග එකතු වෙලා. එදත් ඇතැමුන්ගෙ මතයක් තිබුණ ජ වි පෙ පිටුපස පල්ලිය හිටීියා කියා. ඔවුන් හාමුදුරුවරුන් ඝාතනය කළා පමණක් නොව තරුණ භික්‍ෂූන් වහන්සේගේ භික්‍ෂූත්වයත් කෙළසුවා. තාප්ප උඩින් සෘද්ධි වෙන්න තරුණ හාමුදුරුවරුන්ට කියා දුන්නෙ ජ වි පෙ.

ඇතැමුන් කියන විධියට පෙබරවාරි හතරවැනි දා අයිවෝ ජෙනිංග්ස්ගෙ භාර්යාවගෙ උපන් දිනය. රනිල් කියන විධියට එහෙම නම් අද අප සමරන්නේ ජෙනිංග්ස්ගෙ භාර්යාවගේ උපන් දිනය. අයිවො ජෙනිංග්ස් තමයි මෙරට මුල් ව්‍යවස්ථාවේ නිර්මාතෘ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඩොයිලිගෙන් පසු අපට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු භයානක ම පුද්ගලයා ජෙනිංග්ස්. අප ඩොයිලිට මෙන් ම ජෙනිංග්ස්ටත් හසු වුණා. මෙරට ප්‍රභූන්ට නම් ජෙනිංග්ස්ට වඩා බුද්ධිමතකු නැහැ.

ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයේත් නිර්මාතෘ. පේරාදෙණිය ආශ්‍රයෙන් තමයි මෙරට අනෙක් විශ්වවිද්‍යාල ඇති වී තිබෙන්නේ. විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් මරලා ඒවා පේරාදෙණි ආකෘතියේ විශ්වවිද්‍යාල බවට පත්කරලා මෙරට පැවිදි පඬිවරුන් බිහි වීම වළක්වනු ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මනරම් භූමියක ගොඩනගලා තියෙනවා. එය ලෝකයේ ම රමණීය විශ්වවිද්‍යල දහය අතරට වැටෙනවා. එය සමහර විට ලෝකයේ ම වඩාත් ම අනුකාරක විශ්වවිද්‍යාල දහය අතරටත් වැටෙනවා ඇති. අපේ නිදහසට මග අහුරණ ප්‍රධාන ම ආයතනය ජෙනිංග්ස්ගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ජෙනිංග්ස් මෙරට පළමු ව්‍යවස්ථාවටත් පළමු විශ්වවිද්‍යාලයටත් දායක වීම කෙතරම් අභාග්‍යක් ද? (මතු සම්බන්ධයි)    


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-04