Main Logo

Friday 16 February 2018

අවසාන දින කිහිපය



අවසාන දින කිහිපය


අද රටේ දේශපාලන තත්වය අවුල්. විදේශිකයන් ප්‍රසිද්ධියේ ම මෙරට දේශපාලනයට අත දානවා. රනිල් විරෝධී දේශපාලනඥයන්  එක් එක් අය ඒ ඒ වෙලාවට එක් එක් දේ කියනවා. උදේට කියපු දේ නොවෙයි හවසට කියන්නෙ. එ ජා ප තරමක ස්ථාවර බවකින් අදහස් ප්‍රකාශ කරනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල කණ්ඩායම විවිධ දේ කියවනවා. සංගත බවක් නැහැ. ඔවුන්ට තවමත් එකිනෙකා විශ්වාස නැහැ. එහෙත් සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද තියෙන්නෙ එතැන. පළාත් පාලන මැතිවරණයෙ පොදුජන පෙරමුණට 45%ක් ඡන්ද ලැබුණා. මෛත්‍රිපාල කණ්ඩායමට 13%ක් ලැබුණා. එතැන එකතු කළාම 58%ක් තියෙනවා. එහෙත් සිංහල බෞද්ධයන්ගේ ලක්‍ෂණ විදහා පාමින් ඔවුන් එකිනෙකාට නැහැ. උඩින් බොරු කියමින් ඉන්නවා.

ඒ අතර රාජිත එ ජා පෙරමුණට ලැබුණු 33%ට මෛත්‍රිපාලගෙ 13% එකතු කර ඊනියා ජාතික ආණ්ඩුවට 46%ක් තියෙන බව කියනවා. මෙය එකතු කිරීමක් ලෙස හරි. එහෙත් එය අඹ ගෙඩි 13ක් ඇපල් ගෙඩි 33කට එකතු කරලා 46යි කියනවා වගේ වැඩක්. ඒකාබද්ධ විපක්‍ෂෙ තියෙන්නෙත් අඹ ගඩි. එහෙත් අඹ ගෙඩි අඹ ගෙඩිවලට එකතු කරගන්න විධියක් නැහැ. මේවා කියන විට මහින්දවාදී පඬියන් මට බණිනවා. අවුරුදු තිස්පහකට මා මහින්දවාදීන්ගේ තරම් වෙනත් කිසිවකුගේ සමච්චලයට භාජනය වී නැහැ. මා නාථ දෙවියන් ගැන කියන විටවත් මෙතරම් සමච්චලයකට ලක් වුණේ නැහැ.

මහින්දවාදීන් හිතන්නේ කියන්නේ මා පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්‍ෂයට මෛත්‍රිපාල සමග එකතු වෙන්න කීවා කියා. මා එසේ කියා නැහැ. එහෙත් මහින්දවාදීන් මා කියන දේ පිළිගන්නේ නැහැ. ඔවුන්ට නිරවුල් ව යමක් අවබෝධ කරගන්න බැහැ. ඔවුන් බොරුව විශ්වාස කරන්නේ ජ වි පෙ හා ජාතික හෙළ උරුමය පාක්‍ෂිකයන් හිතවතුන් මෙන්. මා නාමල් රාජපක්‍ෂට බුලත් අතක් දෙන බවට සැකසූ ව්‍යාජ ඡායාරූපයක් ඔවුන් තොරතෝංචියක් නැතිව ප්‍රදර්ශනය කරනවා. මා කිසිදාක නාමල් මුණ ගැසී නැහැ. ඔහුට තබා මහින්දටවත් මා බුලත් අතක් තබා බුලත් කොළයක්වත්  දී නැහැ. බුලත් කොළයට ඡන්දය නම් දී තියෙනවා.

ඔය කියන ඡායාරූපයේ ජාතික ඇඳුම ඇඳ තියෙන්නෙ මැණික් කටුව ළඟ අත මුළුමනින් ම වැසී යන ආකාරයෙන්. ඒ සාමාන්‍යයෙන් දේශපාලනඥයන් ජාතික ඇඳුම අඳින ආකාරය. එහෙත් මා ජාතික ඇඳුම අඳින්නේ මගේ පියා ඇඳි ආකාරයට. මැණික් කටුව ළඟ අත විවෘත ව තියෙන ආකාරයට. විකෘති ඡායාරූපය නිර්මාණය කළ අයට ඒ වෙනස අමතක වෙලා. අපරාධ කාරයන්ට සියල්ල මනාව සැලසුම් කරන්න බැහැ. තමන්ගේ නොවන දෙයක් නිර්මාණය කිරීමේ දී ඕනෑම අයකුට වරදිනවා. කලාකරුවන්ටත් එසේ ම බව ඔවුන් දන්නේ නැහැ. අන් අයගේ අත්දැකීම් තමාගේ කරගන්නවා කියන්නෙ බොරුවක්. කලාකරුවන් පමණක් නොව විද්‍යාඥයන්ටත් සර්ව සම්පූර්ණ නිර්මාණ කරන්න බැහැ. විද්‍යාඥයන් ද කරන්නේ නිර්මණ බව බොහෝ දෙනා දන්නේ නැහැ.

පළාත් පාලන මැතිවරණයේ දී කිසිවකුටවත් කිසිවකු සමග එකතු වීමට මා කොහේවත් කියා නැහැ. මා මැතිවරණයට බොහෝ කලක සිට මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට කියා ඇත්තේ රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට පාර්ලිමේන්තුවේ සහාය දෙන්න, ශක්තිය දෙන්න කියා. මෛත්‍රිපාලට තමාගේ ම වූ විශාල ජනබලයක් නැහැ. මැතිවරණයේ දී පෙන්නුම් කෙරුණේ එය 13%ක් බවයි. ඔහුට විධායක බලය ලැබී ඇත්තේ එ ජා පෙරමුණේ ඡන්දවලන්. ඔහුට 13%කින් 33%ක් එළවන්න බැහැ. ඔහුට මහින්දගේ ශක්තිය අවශ්‍යයයි. අප ඒ ශක්තිය ලබා දීමට කිව්වේ මැතිවරණයට කලින්. මැතිවරණයේ දී තරග කරන්නේ කෙසේ ද යන්න අප කිසිවකුට කියා නැහැ. මා ආරාධනා ලැබුණු පරිදි පොහොට්ටුවේ රැස්වීම් සුළු ගණනක පමණක් කතා කළා. මහින්දවාදීන් පාර්ලිමේන්තුවේ ශක්තිය ලබා දීම යන්න පළාත් පාලන මැතිවරණයේ දී එකතු වෙන්න කියා කී ලෙසින් තේරුම් ගන්නවා. මට ලෝවැඩ සඟරාවේ තම තම නැණ පමණින් දැන ගත යුතු යන කවි පදය සිහිවෙනවා.

ඒ කුමක් වුවත් අප තේරුම් ගත යුත්ත නම් 58% එකතුවේ සිංහල ඡන්ද, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද තියෙන බව. අද 58%, 33%ට යට වෙන්න යනවා. පාර්ලිමේන්තුවේ අගමැති කිරීමට මන්ත්‍රීන් 113ක් අවශ්‍ය නැහැ. රනිල් අගමැති වූයේ මන්ත්‍රීන් හතළිස් ගණනක් තියාගෙන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) හා 43(3) ව්‍යවස්ථා අනුව කටයුතු කර එක්සත් ජනතා සංධානයේ නිමල් සිරිපාල සිල්වා හෝ වෙනත් අයකු හෝ අගමැති කරන්න පුළුවන්. අද පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරුන් නැහැ. ඉන්නේ එක්සත් ජනතා සංධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 96 දෙනකු. ඔවුන්ගෙන් ආණ්ඩුවක් පිහිටුවා විශ්වාසභංග යෝජනාවකට ඉඩ නොතබා ඉතිරි අවුරුදු දෙකේ භාරකාර සම ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න පුළුවන්. 113ත් සොයා ගැනීමට අපහසු වන එකක් නැහැ.

එහෙත් කඹ ඇදිල්ලක් ඇති බව පැහැදිලියි. මේ කඹ ඇදිලි කෙණෙහිලිකම් නිසා සිංහලයන් ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද වැටී තියෙනවා. 1818 සිදු වු දෙය 2018 දීත් සිදුවීමට ඉඩකඩ තියෙනවා. 1815 වෙනත් අයුරකින් 2015 දී ක්‍රියාත්මක වුණා. දැන් 1818 වෙනත් ආකාරයකට 2018 දී ක්‍රියාත්මක වීමට යනවා. අපට තව දින දෙක තුනකට වඩා ඉතිරි වී නැහැ. මේ දින දෙක තුනේ දී නිවැරදි තීරණය නොගත්තොත් එක් එක් අයගේ 2020, 2025 බලාපොරොත්තු ඉටු වන්නේ නැහැ. අද ජනතාවගෙන් බහුතරයකට රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට අවශ්‍යයයි.  සිංහල බෞද්ධයන්ගෙන් නම් අති විශාල බහුතරයකට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල් තනතුරින් පහ කරන්න අවශ්‍යයයි. එහෙත් ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ  ඇතැමුනට අව්‍යාජ අවශ්‍යතාවක් තිබේ ද යන්න ප්‍රශ්න කරන්න වෙනවා. ඒ අය කතානායකගේ දෙපැත්තේ ම ඉන්න බව තේරුම් නොගෙන මහින්දවාදීන් මට සමච්චල් කිරීම තේරුමක් නැහැ.      


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-16