Main Logo

Thursday 1 February 2018

මැතිවරණයෙන් පසු



මැතිවරණයෙන් පසු


මේ පළාත් පාලන මැතිවරණය හොරකම පිළිගැන්වුණු මැතිවරණය ලෙස හඳුන්වන්න පුළුවන්. අද කවුරුත් පාහේ තමන් ඇරෙන්න අනෙක් අය හොරු කියලා කියනවා. අප සියලු දෙනා ම පාහේ අපේ වැරදි ගැන නොව අනෙක් අයගේ වැරදි ගැන කියනවා. අප අපේ දරුවන් පාසල්වලට ඇතුල් කිරීමට බොරු සහතික ඉදිරිපත් කරනවා. එවැනි සහතික පිළියෙළ කරන අයත් රටේ ඉන්නවා. ඔවුන් එමගින් ආදායමකුත් ලබනවා. එසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම අද සමාජයේ පිළිගත් දෙයක් බවට පත්වෙලා.

දැන් කවුරුත් දන්නවා හැම පක්‍ෂයක ම හොරු ඉන්න බව. හයවැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය කාලගෝට්ටියකට වඩා දෙයක් නොවන බව මන්ත්‍රීවරුන් ද ජනාධිපති ද දන්නවා. අද ප්‍රශ්නය කවුද හොරා යන්න නොව හොරා කවුද (හොරා යනු කවුද හොරාගේ අර්ථකථනය හෙවත් නිර්වචනය) යන්නයි. අද සිදුවන්නේ මන්ත්‍රීවරුන්ගේ හොරකම්, හොරකම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමයි. පළාත් පාලන මැතිවරණයේ දී සිදු වෙමින් පවතින්නේ එයයි. වෙනත් වචනවලින් කිවහොත් මන්ත්‍රීවරුන්ගේ හොරකම් “නීත්‍යානුකූල”  බවට පත්වෙමින් තියෙනවා. 

දේශපාලනය පහසුවෙන් ම හම්බකරන්න පුළුවන් රැකියාව බවට අද පත්වෙලා. එලෙස කී පළමු තැනැත්තා මා නොවෙයි. එහෙත් එය මුසාවක් නො වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ආයතන වැඩි ප්‍රමාණයක් ජය ගනීවි. ප්‍රශ්නය එය නො වෙයි. ප්‍රශ්නය මැතිවරණයෙන් පසුව සිදු වන්නේ කුමක් ද යන්නයි. එමෙන් ම මැතිවරණයට පෙර සිදු වූයේ කුමක් ද යන්නයි.

මැතිවරණ ප්‍රතිඵලවල කුමක් වුවත් දේශපාලනය එයට පමණක් සීමා වන්නේ නැහැ. අද මන්ත්‍රීවරුන්ට ඇති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ඊළඟ මැතිවරණයේ ඡන්ද ලබා ගැනීම සම්බන්ධයෙන් පමණයි. ඔවුන් ඒ සඳහා පමණක් ජනතාවට (ඡන්ද දායකයන්ට) සුළු වශයෙන් ඇහුම්කන් දෙනවා. එහෙත් ඒ අතර බොහෝ දෙනකුට මුදල් ඉපයීම වඩා වැදගත්. අද තිබෙන තත්වය යටතේ මන්ත්‍රීවරයකුට ඊළඟ මැතිවරණයට ඉදිරිපත් නොවීත් පරම්පරා ගණනාවකට ධනය හා වත්කම් ඉපයීමේ අවස්ථාව උදාවෙලා. අද රුපියල් ලක්‍ෂ තුන් හාර සියයක් යන්න සුළු මුදලක්. අද කතා කරන්නේ රුපියල් කෝටිවලින්.

අද බහුතරයක් දේශපාලනඥයන් කටයුතු කරන්නේ මුදල් හා වත්කම් ඉපයීම පදනම් කරගෙනයි. මහජන ඡන්දය ඒ සඳහා බලපත්‍රයක් පමණයි. බලපත්‍රය ලබා දුන් පසු ඡන්දදායකයාට මන්ත්‍රීවරයා පාලනය කිරීමේ කිසිම හැකියාවක් නැහැ. මන්තීවරයාට ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍යතාවක් නැත්නම්, පරම්පරා ගණනාවකට වත්කම වැඩි කර ගත හැකි නම් ඊළඟ මැතිවරණයක් ගැන සිතීමට අවශ්‍ය වන්නේ නැහැ.

අද තිබෙන ප්‍රශ්නය එයයි. අද දේශපාලනය මුළුමනින් ම මෙන් තීරණය වන්නේ ඩීල් හෙවත් ගණුදෙනු මත. මුහුණු පොතට අනුව නම් මාත් ඩීල් කාරයෙක්. ජනමාධ්‍යයට අනුව නම් ගේම් කාරයෙක්. ඒ කුමක් වුවත් දේශපාලනය මේ තරමට ඡන්දදායකයාගෙන් පිටතට ගත් අවධියක් මෙරට තිබී නැහැ. අද ඡන්දදායකයා වටින්නේ පළමු වරට මන්ත්‍රීවරයකු වීමට උත්සාහ කරන දේශපාලනඥයකුට පමණයි. දැනටමත් මන්ත්‍රීවරුන් වී ඇති අයට ඡන්දදායකයා වටින්නේ නැහැ. දේශපාලන පක්‍ෂවලට තවමත් අලුත් මන්ත්‍රීවරුන් අවශ්‍ය නිසා පක්‍ෂවලටත් ඡන්දදායකයා තරමක් වටිනවා.

එහෙත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී හෝ වෙනත් ආයතනයක දී හෝ හැසිරෙන ආකාරය, ඡන්දය දෙන ආකාරය ජාත්‍යන්තරයට (බටහිර හා ඉන්දියාව) හා වෙනත් ධන කුවේරයන්ට මෙහෙයවන්න පුළුවන්. අවශ්‍ය මුදල් හා වෙනත් අල්ලස් පමණයි. සමහර විට කොමිස් හා වෙනත් අල්ලස් මගින් ධනය උපයාගත් මන්ත්‍රීවරුන් මේ බලපෑමෙන් නිදහස් කියලා හිතන්න එපා. අද ප්‍රතිපත්ති දේශපාලනයක් නැත්තේ නැති තරම්. මේ තත්වය යටතේ ජාතික දේශපාලනය තව තවත් ඈතට යනවා.

ජාතික ව්‍යාපාරයක් අද නැත්තේ නැති තරම්. එය චම්පක, විමල්, ගම්මන්පිළ ආදීන් විසින් ගසා කනු ලැබුවා. එහෙම කියනවාට ඇතැමුන් විරුද්ධ වේවි. පළාත් පාල මැතිවරණයෙන් පසු මූලික වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් විකල්ප අතර (1) රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව විවිධ ජාත්‍යන්තර බලපෑම් යටතේ 2019 වන තුරු පවත්වාගෙන යෑම, (2) මෛත්‍රිපාලට දෝෂාභියෝගයක් ගෙන ඒම හා රනිල් මුලින් වැඩබලන ජනාධිපති හා පසුව ජනාධිපති ලෙසත් මලික් හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙසත් 2019 දක්වා ආණ්ඩුව පවත්වා ගෙන යෑම, (3) රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු පත්කර 2019 දක්වා යම් ආකාරයක භාරකාර හෝ පරිවාස හෝ වෙනත් නමකින් හෝ කියැවෙන ආණ්ඩුවක් පවත්වාගෙන යෑම  ආදිය වෙනවා. ජේ ආර් කළාක් මෙන්  (2)  යටතේ පාර්ලිමේන්තු කාලය දික්කර ගන්නත් උත්සාහ කරන්න පුළුවන්.  පළමු හෝ දෙවැනි හෝ විකල්ප යටතේ නව ව්‍යවස්ථාවක් ගෙනෙනවා. එය වැළැක්වීමට තමා විරුද්ධ වුවත් පළමු විකල්පය යටතේ වුවත් මෛත්‍රිපාලට බැහැ.

මේ විකල්පවලින් සිදු වන්නේ සිදුවන්නේ කුමක් ද යන්න අද නිශ්චිත ව කියන්න බැහැ. සමහර විට වෙනත් ම දෙයක් වෙන්නත් පුළුවන්. කුමක් සිදු වුවත් එය උඩින් සිදුවන්නක්. නව ව්‍යවස්ථාව තමයි මේ ආණ්ඩුවේ මූලික කටයුත්ත. මේ ආණ්ඩුව පත් කර ගත්තේ ඒ සඳහා. එය වැළැක්විය හැක්කේ මෛත්‍රිපාල යටතේ තුන්වැනි විකල්පය ක්‍රියාත්මක කිරීම මගින්. මගේ ම නොවන මගේ ධනය හා වත්කම් හා තිබෙන රටක පළමු හෝ දෙවැනි හෝ විකල්ප යටතේ පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙක ලබා ගැනීම වැළැක්වීම ප්‍රායෝගික නැහැ.

මෛත්‍රිපාල රනිල් එක්ක ඉන්න විට ක්‍රියා කරන අන්දම හා චන්ද්‍රිකාගේ නියෝජිතයකු නොවන  වෙනත් අයකු එක්ක ඉන්න විට ක්‍රියාකරන අන්දම වෙනස්. අප හැමෝම මෙන් එහෙමයි. අපේ හැසිරීම් අපේ සම්බන්ධකම් අනුව වෙනස් වෙනවා. එබැවින් මෙහි දී මෛත්‍රිපාලගේ කොන්ද ගැන කියමින් ඔහුට පඹයා කීමේ තේරුමක් නැහැ. අප උත්සාහ දැරිය යුත්තේ රනිල් අගමැති කමෙන් ඉවත් කර චන්ද්‍රිකාගේ නොවන වෙනත් අයකු අගමැති කිරීමටයි. ඒ ආණ්ඩුවක කාර්යභාරය විය යුත්තේ භාරකාර ආණ්ඩුවක කටයුත්ත. භාරකාර ආණ්ඩුවක් යනු අගවිනිසුරුගේ හෝ වෙනත් එවැන්නකුගේ ආණ්ඩුවක් නො වෙයි. එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මැතිවරණයකින් නැවත ආණ්ඩුවක් පිහිටුවන තෙක් පවත්වා ගෙන යන ආණ්ඩුවක්. අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. එහෙත් එතෙක් ද ආණ්ඩුවකට භාරකාර ආණ්ඩුවක් මෙන් ක්‍රියා කළ හැකියි. මේ යෝජනාවට වැඩියෙන් ම විරුද්ධ වන්නේ ජාතිකවාදීන් බව මා දන්නවා!  


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-01