Main Logo

Monday 19 February 2018

රනිල් ඉවත් කිරීම තීරණය කිරීම නීතිපතිට නොපැවරිය යුතුයි



රනිල් ඉවත් කිරීම තීරණය කිරීම නීතිපතිට නොපැවරිය යුතුයි


පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා සතියකට වඩා කල් ගත වෙලා. ඒත් තාමත් ආයතනවල මන්ත්‍රීන් මන්ත්‍රිනියන් තෝරා ගෙන නැහැ. එයට එක් හේතුවක් වී ඇත්තේ පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ ඇති නොපැහැදිලි තැන්. පනත අනුව සමානුපාතික ක්‍රමය යටතේ 40%ක් නොව 100% ක්ම මන්ත්‍රීවරු පත්වෙලා. මනාපත් නැහැ. ඒ නිසා පක්‍ෂ ලේකම්ලාට කණ්ඩායම් නායකයන්ට මන්ත්‍රීවරුන් බොහෝ ගණනක් නම් කිරීමේ අවස්ථාව හිමිවෙලා. කාන්තා නියෝජනය ගණනය කරන්නේ කෙසේ ද යන්න ආඥා පනතේ සඳහන් වන්නේ නැහැ. 25%ක් කාන්තා නියෝජනය තිබිය යුතු ය කී පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.


මෙවර පළාත් පාලන මැතිවරණය මහින්ද හා අනෙක් සියල්ල අතර තරගයක් වුණා. ඒ නිසා මැතිවරණයේ ප්‍රතිඵල ගමෙන් ඔබ්බට දැනෙනවා. ඡන්දදායකයන් බොහෝ දෙනකු තම කොට්ඨාසයට තරග කෙළේ කවුරුන් වුණත් ඡන්දය දුන්නේ මහින්දට. මහින්දගේ ජයග්‍රහණයට හේතුව ගම ඔහු වටා රොක් වීම නො වෙයි. 2015 ජනවාරි 8 වැනි දාත් ගම හිටියේ මහින්ද සමග. ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵල දැක්වෙන සිතියම අරන් බලන්න. මෙවර මහින්ද දිනුවේ නගරය  මහින්දට ඡන්දය දුන් නිසා. ප්‍රතිඵල සිතියම් දෙක සැසඳූ විට එය පැහැදිලි වේවි.

එහෙත් මෙවරත් මහින්දට ලැබුණේ 45%ක ඡන්දයක් පමණයි. සිතියමෙන් එය පෙනෙන්නේ නැහැ. සිතියමෙන් පෙන්නුම් කරන්නේ ඒ ඒ ප්‍රදේශ ඡන්දය දී ඇති ආකාරයයි. 2015 දී මහින්දට 47.6%ක් ලැබුණු බව අමතක කරන්න එපා. එහෙත් නගරවල ඡන්දය ලැබුණේ නැහැ. මෙවර කොළඹ හා තවත් එකක් දෙකක් හැරෙන්න නගරත් මහින්දට හිමි වුණා. නාගරිකයන් තම වරද නිවැරදි කර ගෙන. විශේෂයෙන් ම විජාතික නිර්හෙළ උරුමයෙන් නොමග ගිය නාගරිකයන් තම වරද නිවැරදි කර ගෙන. උරුමයේ කරුමය අද රනිල්ගේ ඔඩොක්කුවේ. උරුම කරුමය යුග පෙරළිකරුවන් 2015 යුග පෙරළියක් කරලා, මෛත්‍රිපාල රනිල් මගින් තමන් බලයට පත්වීමට සැලසුම් කළා.  උරුමයටවත් විමුක්තිය ගෙන දීමට ජනතාව මැරූ ජ වි පෙටවත් අනාගතයක් නැහැ.  මා මේ දේ කියන්නේ මට මානුෂිකත්වයක් නැති නිසා කියා යුතුකම් නොදන්නා අය කියාවි. 

මහින්ද දිනුවේ කාගේවත් සංවිධාන ශක්තියක් දක්‍ෂකමක් නිසා නො වෙයි. එය ඔහුගේ ම ජයක්. එය ජාතිකත්වයේ ජයක්.  මහින්දගෙන් නිරුපණය වූයේ ජාතිකත්වයක්. මුහුණු පොතේ ඇතැමකු කියන පරිදි එය නලින් ද සිල්වාගේ මුග්ධ ජාතිකත්වය නො වෙයි. මා ඒ බව දන්නවා. අප එකිනෙකාගේ ජාතිකත්ව වෙනස්. රෝහණ බැද්දගේගේ ජාතිකත්වය පබිලිස් සිල්වාගේ ජාතිකත්වය චතුර අල්විස්ගේ ජාතිකත්වය ආදී වශයෙන් විවිධ ජාතිකත්ව තියෙනවා. ඒ මොකක් වුවත් පළාත් පාලන ආයතන මැතිවරණයේ දී යම් ජාතිකත්වයක් ජයග්‍රහණය කළා. පළාත් පාලන මැතිවරණය ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනක් ද වූවා. ඒ නිසයි එහි ප්‍රතිඵල අද එය ජාතික දේශපාලනයේ කම්පන ඇති කරන්නේ.

අද ජනතාව ඉල්ලා සිටින්නේ රනිල් අගමැති කමෙන් ඉවත් කරන ලෙසයි. අද නාගරිකයන්ගේත් (බහුතරයේ) ඉල්ලීම එයයි. මෙය දේශපාලන ඉල්ලීමක්. එයට බටහිර රටවල් හා ඉන්දියාව විරුද්ධයි. ඒ රටවල තානාපතිවරු මහා කොමසාරිස්වරු ජනාධිපතිට හා වෙනත් දේශපාලනඥයන්ට කවදාවත් නොවූ ආකාරයකට බලපෑම් කරනවා. තානාපතිවරුන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඊනියා සංහිඳියාවයි. අද දෙමළ ජාතික සංධානයත් ඡන්ද පදනම අහිමි කර ගෙන. ජනතාව යහපාලනය ප්‍රතික්‍ෂෙප කරලා.

ඊනියා සංහිඳියාව යනු අනෙකක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම  ඒ බැරි නම් ඒ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම. සම්බන්ධන්ට කෙසේ නමුත් ඊනියා යහපාලනය අවශ්‍යයි. විග්නේස්වරන් ඉතා පැහැදිලි ව කියා තිබෙනවා ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර දෙකක් පවතින බව. අද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ඊනියා ජාත්‍යන්තර අවශ්‍යතා මත ද?

රනිල් ඉවත් කිරීම දේශපාලන ප්‍රශ්නයක් මිස නෛතික ප්‍රශ්නයක් නො වෙයි. ජනාධිපති ඒ ප්‍රශ්නය නීතිපතිට යොමු කළ යුතු නැහැ. නීතිපති දේශපාලන තීරණ  ගත යුතු නැහැ. නීතිපති කියන්නේ එක් පුද්ගලයකු පමණයි. දේශපාලන තීරණ ගැනීම එක් අයකුට පැවරීම වැරදියි. නීතිය එක් එක් අය එක් එක් ආකාරයට අර්ථකථනය කරනවා. නීතිපතිත් මේ අවස්ථාවේ දී එක් අයකු පමණයි. දේශපාලන තීන්දු ගැනීම එක් අයකුට පමණක් පැවරීම වැරදියි.

රනිල් ඉවත් කිරීම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ව සිදුවිය බව ඇත්ත. එහෙත් එසේ කළ යුත්තේ කෙසේ දැයි තීරණය කිරීම එක් අයකුට පමණක් පැවරිය යුතු නැහැ. අද ජනතාව තීන්දුවක් දී අවසන්. ජනාධිපති දේශපාලන තීන්දුවක් ගත යුතුයි.  ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ දහනවවැනි සංශෝධනය නිසයි. එය සම්මත කර ගැනීම ගැන සියළු පක්‍ෂ වගකිව යුතුයි. අද ජනාධිපති දේශපාලන තීන්දුවක් ගෙන එය පාර්ලිමේන්තුවට යොමු කළ යුතුයි. රනිල් ඉවත් කර භාරකාර සම ආණ්ඩුවක් එ ජා ප නොවන අගමැති කෙනකු යටතේ පිහිටුවා එය රැක ගැනීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීම හෝ පාර්ලිමේන්තුවට පැවරිය යුතුයි. රනිල් ඉවත් කිරීම යනු එ ජා ප වෙනත් අයකු අගමැති කිරීම නො වෙයි.

දෙපැත්තේ ම ලැයිස්තුවලට අත්සන් කරන මන්ත්‍රීවරුන් (මන්ත්‍රීවරු ද මේ සමාජයෙන් බිහි වූ අය) සිටින රටක 113 සෙවීම කළුනික සෙවීමක් වෙනවා. අත්සන් ගැනීම මාස ගණනකට කෙළවර නොවන එකක් වෙන්න පුළුවන්. අත්සන් කළ අය තම අත්සන් අස්කර ගන්නත් ඉඩ තියෙනවා. අද ජනතාවට (බහුතරයට) අවශ්‍ය රනිල් ඉවත් කිරීමයි. එයට මහින්දගේ හා මෛත්‍රිපාලගේ (45+13) ක ප්‍රතිශතයක් තියෙනවා. අතට හා බුලත් කොළයට දුන් ඡන්ද අලියට එකතු කරන්න බැහැ. ඒ එකතු කරන්න පුළුවන් පොහොට්ටුවට පමණයි. අලියා + අත + බුලත් කොලය = හංසයා වෙන්නේ නැහැ. එ ජා ප දෙමළ මුස්ලිම් පක්‍ෂ නොවී මෛත්‍රිපාලට 2015 දී ලැබුණු ඡන්ද 0.1%ක් වත් තියෙන්න නැතිව ඇති. අද සියයට පනස් අටක ඡන්දයට ඇති බලය පාර්ලිමේන්තුවේ නිරුපණය කරගන්නේ කෙසේ ද? එ ජා ප කවරකු නමුත් අගමැති ධුරය දරණ විට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනා සම්මත කර ගත හැක්කේ මුහුණු පොතේ පමණයි.                                                                               


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-19