අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?
බොහෝ ජනමාධ්‍යවේදීන්ට ජාතිකවාදීන්ට අනුව ඩීල් කාරයකු ගේම් කාරයකු දේව
පිස්සකු වූ මට නිදහස ගැන කතා කිරීමට අයිතියක් ඇත් දැයි ප්‍රශ්න කිරීමට පුළුවන්. තව
දින කිහිපයකින් ජාති ද්‍රෝහියකු වීමට නියම වී ඇති මා ලියන ලිපි කියවන සංඛ්‍යාව
දිනෙන් දින අඩුවෙනවා. ඒත් මේ කරුණු ලියා තැබීම ජාතියට නැති වුවත් කිසිවකුට
උපකාරයක් වෙන්න පුළුවන්.
නිදහස සැමරීමට කියා එඩ්වඩ් වින්ඩ්සර් සහ ඔහුගේ ඇඹේණිය ලංකාවට
ඇවිල්ලා. ඔවුන්ගේ සියළු වියදම් දරන්නේ මෙරට ජනතාවයි. ඔවුන් පැමිණ ඇත්තේ රජයේ
ආරාධනයෙන්. මහින්ද ඒ ආරාධනයට විරුද්ධ ද? මෛත්‍රිපාල විරුද්ධ ද? මෛත්‍රිපාල
නම් බලන් ඇති අත්වැසුම් නැතිව ඊනියා රාජකීයන්ට අතට අත දෙන්න. ඒ දෙදෙනා රනිල්ගේ හා
චන්ද්‍රිකාගේ කට්ටිය. මෛත්‍රිපාලගේවත් මහින්දගේවත් කට්ටිය නම් නො වෙයි. මේ බෙදීම
තවම මෙරට මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි වෙලා. අනුර කුමාර නන්නත්තාර වූ ඊනියා
විද්වතුන්ගේ පිහිටට එන පුද්ගලයකු පමණයි. නදීක ගුරුගේට විප්ලවය අමතක කරලා ඡන්දය
දීමට හිතිලා. ඔහු මෙතෙක් කල් ඡන්දය තමන් වැනි විප්ලවවාදීන්ගේ වැඩක් ලෙස හිතුවේ
නැහැ. ඔහු සුනිල් පෙරේරා සමග එකතු වෙලා. සුනිල්ගේ පත කුරුසයට විප්ලවවාදීන් දොස්
කියන්නේ නැහැ. සමහර විට සුනිල් ද අනාගමික රාජ්‍යයක් පිහිටුවීමට වැඩ කරනවා ඇති.
සමහර විට පල්ලියත් විප්ලවවාදී වෙලා ඇති.
ඊනියා රාජකීයයන් නුවර ගිහිල්ලා. ඔවුන් පත්තිරිප්පුවටත් ගොඩ වෙලා. ඒකට
ප්‍රේමදාසත් ගොඩ වුණා. තමන් ලංකාවේ කීවෙනි (මේ සංඛ්‍යාව මට මතක නැහැ. මට අදහස් මිස
කරුණු මතක නැහැ) රජු ද කියා සිතා සිටි ජේ ආර් පත්තිරිප්පුවට ගොඩ වුණෙ නැත්තෙ මොකද
කියලා අහගන්න විධියක් නැහැ. දැන් පඬියකු කියන්න පුළුවන් පත්තිරිප්පුව දෙමළ වචනයක්
කියලත් ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ කියලත්. ශ්‍රී වික්‍රම ආන්ද්‍ර ප්‍රදේශයේ
තෙළිඟු පෙළපතකින් පැවත එන්නෙක්. ඔහු නමටවත් බුදුදහම වැළඳ ගත්තා පමණක් නොව බුදුසසුන
රකින්නත් කටයුතු කළා. පත්තිරිප්පු කියන එක තෙළිඟු වචනයක් වෙන්න බැරි නැහැ. ඒ මොකක්
වුණත් මෙහි වැදගත් කරුණ ශ්‍රී වික්‍රම රාජසිංහ බුදුසසුන රකින්න බැඳී සිටිය එක.
එඩ්වඩ්ගේ මුත්තණුවකු වූ තුන්වැනි ජොර්ජ් ද 1815 ගිවිසුමෙන් බුදුසසුන රකින්න පොරොන්දු වුණා. ඒ
බ්‍රවුන්රිග්ගේ මාර්ගයෙන්. ඒත් පස්සෙ එංගලන්තෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් ඒ
වගන්තියට විරුද්ධ වුණා. ඒ අනුව 1840 වන
විට ඉංගිරිසින් බුදුසසුන රැකීමෙන් නිදහස් වෙලා දළදා මාළිගාව දියවඩන නිළමෙට ම භාර
දුන්නා. අද එඩ්වඩ් පත්තිරිප්පුවට නැග්ග එකේ වගකීම දියවඩන නිළමෙට භාර වෙනවා. එහෙත්
ඔහුට ආදළ තිරණ ගන්න බැහැ. මහානායක හාමුදුරුවන්ටත් බැහැ. අපේ නිදහසේ තරම එයයි.
එඩ්වඩ් නුවර දි ත්‍රිත්ව විදහලටත් බාලිකාවන්ගේ උසස් පාසලටත් (හයි
ස්කූල්) ගිහින්. ත්‍රිත්ව විදුහල අදත් ලංකා සභාවෙ පාසලක්. ලංකා සභාව කියන්නෙ
එඩ්වඩ්ලාගේ ඇංග්ලිකන් සභාවෙ ලංකා ශාඛාව කියන්න පුළුවන්. උසස් බාලිකා පාසල අද කෙසේ
වෙතත් පටන් ගත්තෙ ඇංග්ලිකන් පාසලක් ලෙස. එඩ්වඩ් ධර්මරාජයට මහාමායා විදුහලට තබා
කතෝලික ශාන්ත අන්තෝනි විදුහලටවත් යන්න කල්පනා කර නැහැ. එඩ්වඩ්ලා තම ආගමට ඇති බැඳීම
එබඳුයි. එලිසබෙත් වින්ඩ්සර් තමයි ඇංග්ලිකන් සභාවෙ නායිකාව. කැන්ටබරියේ හා යෝක්හි
ආච් බිෂොප්වරුනුත් එලිසබෙත් එන විට නැගිටින්න ඕන. එඩ්වඩ් ඇවිල්ල ඉන්නෙ ඇංග්ලිකන්
සභාවෙ නායිකාවගෙ නියෝජිතයා ලෙස. තුන්වැනි ජෝර්ගෙන් පැවතෙන්නක් ලෙස.
එඩ්වඩ් එන දවස්වල ම බූටෑවෙ රාළගෙ පිළිමයෙ කඩුව හොරු අරන්
ගිහින්. ඒ මෛත්‍රිපාලට දෙන්න කියලා මා
හිතන්නෙ නැහැ. පිළිමයටත් අලාභ හානි කරලා. බූටෑවෙ රාළ කොහුකුඹුරෙ රාළ ආදීන් තමයි 1817-18 අපේ පළමු නිදහස් සටන මෙහෙයවූවෙ. ඔවුන් යක්‍ෂ
ජනතාවගෙන් පැවතෙන්නන්. අපට යක්‍ෂ ජනතාව අමතක කරලා නිදහස දිනාගන්න බැහැ. අද බොහෝ ජාතිකවාදීන් එඩ්වඩ්ට කළ ආරාධනය
ගැන විරුද්ධ වෙනවා. එහෙත් තවමත් මහින්දවත් ඒ ගැන වචනයක් කතා කරලා නැහැ. මහින්ද
තමන්ගෙ ළමයින්ට ඉගැන්නුවෙ ඇංග්ලිකන් පාසලක් ලෙස ඇරඹි ශාන්ත තෝමස් විදුහලේ. අදත් එය
ලංකා සභාවෙ පාසලක්.
අද ජාතිකවාදීන් විශාල සංඛ්‍යාවක් සිටීම ගැනත් ඔවුන් එඩ්වඩ්ගෙ
ලංකාගමනයට විරුද්ධ වීම ගැන සතුටුයි. ඔවුන් මට විරුද්ධ වීම වෙනත් කරුණක්. මේ අයට
මතක නැහැ අවුරුදු විස්සකට ඉස්සර අපේ ඊනියා පනස්වැනි නිදහස් සමරුවට චාල්ස්
වින්ඩ්සර් ආ බව. එකල ජනාධිපතිනි චන්ද්‍රිකා. මහින්දත් ඒ අමාත්‍ය මණ්ඩලේ හිටියා.
චන්ද්‍රිකාගෙ සීයා ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රනිල්ගෙ තාත්තා ඇංග්ලිකන් ක්‍රිස්තියානි.
රනිල්ගෙ බාප්පා කුරණෑගල ඇංග්ලිකන් බිෂොප් වෙලා හිටියා. චාල්ස්ට කියන්නේ වේල්ස්
කුමාරයා කියලා. එංගලන්තෙ මීළඟට රජ වෙන්න ඉන්න තැනැත්තා හඳුන්වන්නෙ වේල්ස් කුමාරයා
කියලා. මොරටුවෙ වේල්ස් කුමර කුමරි විදුහල් තනලා තියෙන්නෙ එකල වේල්ස් කුමරු ලංකාවට
පැමිණි අවස්ථාව සිහි කරන්න ඇංග්ලිකන් භක්තිකයන් වූ මොරටුවෙ සොයිසාලා.
චාල්ස් පැමිණි වෙලාවෙ අප කිහිප දෙනකු වෙල්ලස්සට ගියා වේල්ස් කුමරු
නොව වෙල්ලස්සේ කුමරු සැමරීමට. වෙල්ලස්සේ කුමරු ලෙස අප සැලකුවෙ බූටෑවෙ රාළ ආදීන්.
එකල අද තරම් ජාතිකවාදීන් හිටියෙ නැහැ. දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ සහ චින්තන පර්ෂදය
පමණයි වෙල්ලස්සට ගියෙ. එදා දේශ හිතෛශීන් හිටියෙ නැහැ. ඔවුන් ජාකිකවාදයට විරුද්ධව ජ
වි පෙ හිටියෙ. අපට වෙල්ලස්ට යන්න හිටියෙ
කිහිප දෙනකු පමණයි. එහි දී අපට සුමේධ විරවර්ධනගෙන් හා විශේෂඥ වෛද්‍ය කමලදාසගෙන්
නොමඳ සහායක් ලැබුණා. එදා සිසුවකු වූ සුමේධ අද පේරාදෙණියේ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්යවරුයෙක්. කමලදාස අපෙන් ඈත්වෙලා අපට වඩා දේශහිතෛශීන් සොයා ගෙන.
අපට වෙල්ලස්සේ දී විජිතමුනි සොයිසාගේ ආධාර කරුවන්ගෙන් හා පොලීසියෙන්
තර්ජන එල්ල වුණා. මා සමග මගේ භාර්යාවත් එකල කුඩා දැරියක වූ මගේ දියණියත් හිටියා.
විජිතමුනි එදත් චන්ද්‍රිකාගෙ ගෝලයෙක්. පස්සෙ ඔහු පිළිවෙළින් මහින්දටත් මෛත්‍රිපාලටත්
එකතු වුණා. අප තර්ජන සතපහකට ගණන් ගත්තෙ නැහැ. අද ජාතිකවාදීන් වෙලා ඉන්න බොහෝ අය
එදා ජ වි පෙ නැත්නම් චම්පක එක්ක. ගුණදාස අමරසේකරවත් අප සමග ආවෙ නැහැ. ඔහු කිසි
දිනෙක චින්තන පර්ෂදයෙ හිටියෙ නැහැ. අපට පුවත්පත්වලින් ප්‍රචාරයක් ලබා දුන්නෙත්
නැහැ. අප වෙල්ලස්සේ කුමරු වෙනුවෙන් ස්මාරකයක් තැනීමට මුල්ගලක් තැබුවා. එහෙත් අපට
එය ඉදිකරන්න බැරි වුණා.
අප එදා එවැන්නක් කළ බවවත් හෙට අනිද්දා මට ද්‍රෝහියා කියන්න බලන් ඉන්න
ජාතිකවාදීන් දන්නෙ නැතිව ඇති. දේශහිතෛශීන්ට මා අවිශ්වාස නම් කමලදාසගෙන් මේ කරුණු
අහන්න පුළුවන්. අද අපට එවැන්නක් කරන්නවත් ශක්තියක් නැහැ. නැත්නම් අප වෙල්ලස්සට
ගොස් ඉංගිරිසින්ට විරුද්ධව කළ පළමු නිදහස් සටන සමරනවා. අපට පෙබරවරි හතරවැනි දා
ලැබුණු නිදහසක් නැහැ. අපට ලැබුණෙ ඩොමීනියන් තත්වය. අප අපේ රජතුමා/රැජින ලෙස
ඇංග්ලිකන් සභාවෙ නායකයා/නායිකාව පිළිගත්තා. අග්‍රාණ්ඩුකාරයා එංගලන්තයෙ
රජුගෙ/රැජිනගෙ මෙරට නියෝජිතයා. ෆ්‍රෙඩිරික් නෝත්ගේ සිට විලියම් ගොපල්ලව දක්වා අපට
එවැනි නියෝජිතයන් සිටියා. 1948 පෙබරවාරි හතරවැනිදා පාණදුරේ ආතර් වී
දියෙස් මහතා හෙවත් කොස් මාමා කළු කොඩි එසවූ බව අපේ පියා අපට කියා තිබෙනවා. 1948 දී මට වයස අවුරුදු තුනයි. අප ඒ තත්වයෙන්වත්
නිදහස් වී ජනරජයක් වුණෙ මැයි විසිදෙවැනිදා. ප්‍රභාකරන් පරාජය කළ මැයි දහඅට සිට
විසිදෙක දක්වා උත්සව පවත්වන ලෙස මා යෝජනා කළත් මහින්ද ඒ ගණන් ගත්තේ නැහැ. අඩුම
තරමෙන් මැයි විසිදෙක නිවාඩු දිනයක් කළේවත් නැහැ. මහින්දගේ පොඩි වරදක්වත් කීම
පංචානන්තරීය පාපකර්මයක් බව මා දන්නවා. නමුත් මා අපායෙ යන්න සූදානම්. (මතු
සම්බන්ධයි)
________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-03
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-03