Main Logo

Monday 5 February 2018

උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වීමට නියමිත ව තිබූ සරත් වීරසේකරගේ ගාමිණී චිත්‍රපටිය උඩින් ආ අණක් නිසා විකාශය වී නැහැ කියනවා. මේ අණ උඩින් ආවා නම් කෙතරම් උඩකින් ආවා දැයි දැනට දැන ගැනීමට නැහැ. ඒ අතර මහින්දගේ 360 සඳහා පූර්ව ප්‍රචාරයකට ද අවසර දී නැති බව කියැවෙනවා. මේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් කියා පඬියකු කියාවි. ඊනියා මාධ්‍ය නිදහසක් කිසිම රටක නැහැ. ඒ පඬි සංකල්පය පැත්තකට දැම්මත් මෙයින් කියැවෙන්නේ දෙරණට තමන් කැමති වැඩසටහනක් ප්‍රචාරය කිරීමට නොහැකි බවයි.

වැඩ සටහන් නීතියෙන් මෙන් ම සංස්කෘතියෙන් ද සීමා වෙනවා. ඒ ඒ රටවල සංස්කෘතීන් වෙනස්. එක් රටක ප්‍රචාරය කිරීමට හැකි දේ තවත් රටක ප්‍රචාරය කිරීමට ඉඩ දිය යුතු යැයි කියන්නේ තම නිදහස නැති කර ගත් අනුකාරකයකුට පමණයි. බටහිර රටවලත් ඒ රටවල සංස්කෘතියෙන් යම් යම් දේ ප්‍රචාරය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. මෙරට පඬියන් කියන දේ නම් අප තුට්ටුවකට මායිම් කරන්න ඕන නැහැ.

මෙරට ජීවමාන  විශ්වවිද්‍යාලයීය උගතුන්ගෙන් අතිමහත් බහුතරය හැඳින්විය හැක්කේ ජෙනිංග්ස්ගේ අවජාතක දරුවන් ලෙසයි. ජෙනිංග්ස් ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති. ඔහු 1942 උපකුලපති පදවියට පත් වූවා. එකල අවුරුදු විස්සක් පමණ වූ ශිෂ්‍යයන් අද ජීවත් ව සිටී නම් වයස අවුරුදු අනූහයක් පමණ වෙනවා. ලංකා විශ්වවිද්‍යාලය පමණක් නොව ඉන් පසුව බිහි වූ සියලු විශ්වවිද්‍යාල ජෙනිංග්ස්ගේ ආකෘතියේ. මෙරට ජීවමාන උපාධිධාරීන්ගෙන් අතිවිශාල බහුතරය ජෙනිංග්ස්ගේ අවජාතක දරුවන් ලෙස හැඳින්විය හැකියි. ඒ අවජාතක දරුවන් තමන්ගේ ම වූ මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. මෙරට පඬියන් එක්කෝ ඒ අවජාතක දරුවන් නැත්නම් ඒ දරුවන්ගේ අනුකාරකයන්. අප පඬියන් කියන දේ තුට්ටුවකටවත් මායිම් නොකළ යුතුයි.

පඬියන් කුමක් කීවත් ඔවුන්ගේ බටහිර සංකල්ප කුමක් වුවත් දෙරණට නැති වී ඇත්තේ මෙරට මෑත ඉතිහාසය පිළිබඳ චිත්‍රපටියක් පෙන්වීමේ අයිතිය. එය සංස්කෘතික ප්‍රශ්නයකුත් වෙනවා. මේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයයි. එය මැතීිවරණයක් අත ළඟ තිබිය දී නැවැත්වීමත් ප්‍රශ්නයක්. නමුත් මෙහි දී කෙරෙන්නේ අපේ ඉතිහාසය මකා දැමීමක්. සංස්කෘතිය ඉතිහාසයත් සමග බැඳී තිබෙනවා. අප අදත් රුවන්වැලි සෑය වන්දනා කරනවා. ඒ අපේ සංස්කෘතියයි. ගැමුණු රජු ඉතිහාසයෙන් මකා දැමීමට අර ජෙනිංග්ස්ගේ අවජාතක දරුවන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දේශපාලනඥයන් විසින් මෙහෙයවෙනවා. අපේ ඈත ඉතිහාසය වගේ ම මෑත ඉතිහාසයත් වැදගත්. සරත් වීරසේකරගේ චිත්‍රපටිය මෑත ඉතිහාසය පිළිබඳවයි.

ඊනියා නිදහස් දිනයේ එය ප්‍රචාරය කිරීම වැළැක්වූයේ කිනම් පදනමකින් ද? දෙරණ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුයි. ඔවුන් සිය කැමැත්තෙන් එය විකාශය නොකෙළේ නම් ඒ බවත් කිව යුතුයි. ඉහළින් අණක් ලැබිණි නම් එය කාගේ අණක් දැයි කිව යුතුයි. අද සංහිඳියාවක නාමයෙන් සිංහලයන්ගේ ඇත ඉතිහාසය මෙන් ම මෑත ඉතිහාසය ද අකා මකා දැමීමට කටයුතු කෙරෙනවා. මෛත්‍රිපාල මේ සියල්ල සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? අණක් දුන්නේ නම් ඒ කවුද කියා ඔහු අපට කියනවා ද? අණක් දී නැත්නම් ඒ බවත් කියනවා ද? එවිට දෙරණට චෝදනා පත්‍රයක් යවන්න පුළුවන්.

මා ඊනියා නිදහස් උත්සවය රූපවාහිනියේ නැරඹුවේ නැහැ. අර ලැප්ටොප් උකුල්උඩ විගඩම  පැවැත්වුණා ද? උකුල්උඩ විගඩමක් අවශ්‍ය නම් ඒ සඳහා අකිල විරාජ්ට වෙනත් ක්‍රමයක් අනුකරණය කරන්න තිබුණා. උකුල්උඩ විගඩම කුළු නැටුමක් නො වෙයි. දුරේක්‍ෂ හෙවත් බම්බු විගඩමත් එසේමයි. බටහිර විද්‍යාවේ හා තාක්‍ෂණයේ උපකරණ පාවිච්චි කිරීම එකක්. ඒ උපකරණ අපේ නැටුම්වලට ඇතුල් කිරීම තවත් එකක්. මේ විගඩම්වලට ඇති පදනම කුමක් ද? 

මේ විගඩම්වල කිසිම සෞන්දර්යාත්මක වටිනාකමක් නැහැ. අකිල මේ විගඩම් කරන ලෙස නියෝග කළා නම් එයින් පෙන්වන්නේ ඔහුගේ සෞන්දර්යය. කලාව හා තාක්‍ෂණය මුසු කිරීම හැමෝට ම කරන්න පුළුවන් දෙයක් නො වෙයි. කොහොමටත් ඒ විගඩම නොතිබුණා නම් හොඳයි. අපේ නිර්මාණ නොවූ උපකරණ කලාවට ඇතුල් කරන්නේ කොහොම ද?

අණ කාගෙන් ආවත් මේ ආණ්ඩුවේ වැඩ විගඩම් කියා හඳුන්වන්න බැහැ. ඒවා ඊට වඩා බරපතළයි. ආණ්ඩුව කටයුතු කරන්නේ අපේ සංස්කෘතිය හා ඉතිහාසය ඊනියා සංහිඳියාවක නමින් විනාශ කිරීමටයි. මෛත්‍රිපාලට තමන් විරුද්ධ වුවත් මේ කිසිවක් නවත්වන්න බැහැ. මැතිවරණයෙන් පසුව ගන්නා තීරණ අනුව රටේ අනාගතය තීරණය වේවි.  


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-05