හරි වැරැද්ද
බටහිර දැනුමේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතර වියුක්තය, ද්වෛතය, ඇරිස්ටෝටලීය න්‍යාය, උද්ගමනය (ඉන්ඩක්ෂන්), අනපෝහනය (ඇබ්ඩක්ෂන්) වැදගත් වෙනවා. මේ දැනුමේ ප්‍රධානීන් යුදෙව්වන් ග්‍රීකයන් හා ක්‍රිස්තියානින්. මෙහි ක්‍රිස්තියානින් යනුවෙන් සැලකෙන්නේ මාටින් ලූතර් ආදීන්ගෙන් පසුව පැවතෙන ඇතැම් ක්‍රිස්තියානීන්. එයට කතෝලිකයන් අයත් වන්නේ නැහැ. බටහිර දැනුම පදනම් වන්නේ මේ අය විසින් ඇති කෙරුණු චින්තනය මත. එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හැඳින්වෙනවා. හැඳින්වෙනවා කියන්නෙ ලෝකෙ අනෙක් අය එහෙම හඳුන්වනවා කියන එක නොවෙයි. විවිධ චින්තන රටා තියෙනවා. මා ඉන් එකක් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා.
අනපෝහනය කියන එක බොහෝ දෙනාට අලුත්. එය චාල්ස් පයර්ස් කියලා දහනවවැනි සියවසේ අග හා විසිවැනි සියවසේ මුල එක්සත් රාජ්‍යවල ජීවත් වූ දාර්ශනිකයෙකුගෙ නිර්මාණයක්. ඔහුට බටහිර බුද්ධිමතුන් බොහෝ දෙනකු කැමති වෙලා නැහැ. එහෙත් අනපෝහනය යන්න ඉතා වැදගත් සංකල්පයක්. අප දැනුම නිර්මාණය කිරීමේ දී එය යොදා ගන්නවා. මට තේරෙන විධියට සතුනුත් එය යොදා ගන්නවා. මෙරට ඡන්දදායකයන් ද මුහුණු පොතේ අය ද එය යොදා ගන්නවා. එහෙත් ඔවුන් ඒ බව දන්නේ නැහැ.
අනපෝහනය එක්තරා ආකාරයකට ගතහොත් තැත් - වරද ක්‍රමය (ට්‍රයල් ඇන්ඩ් එරර්) වගේ කියන්න පුළුවන්. තැත් - වරද ක්‍රමයේ දී අප යම්කිසි දෙයක් හිතා ගෙන යමක් කරනවා. එය හරි ගියොත් අප එය දිගට ම කරනවා. හරි ගියෙ නැත්නම් වෙනත් දෙයක් තැත් කරනවා. තැත වැරදි නම් එය අත් හරිනවා. වෙනත් තැතක් කරනවා. හරියන තැතක් වන තෙක් අප අත්හදා බලනවා.
මීයන් කුඩු කරලා බාධක ඇති කරලා ඔවුන්ට මාර්ගය හොයා ගන්න කිව්වෙත් ඔවුන් යම් මාර්ගයක යනවා. එය හරි ගියොත් හොඳයි. නැත්නම් වෙනත් මාර්ගයක් අත්හදා බලනවා. අප බොහෝ දෙනා වැඩ කරන්නේත් එහෙමයි. ආණ්ඩු, පක්‍ෂ හා මන්ත්‍රීවරුන් තෝරා ගන්නේත් එහෙමයි. වැරදුනා ම අප වෙනත් පක්‍ෂයක් තෝරා ගන්නවා. තියෙන්නෙ පක්‍ෂ දෙක නම් කලින් තෝරා ගෙන තිබූ පක්‍ෂය ම නැවත තෝරා ගන්නවා. යන එන මං නැති රාජ්‍ය නොවන ගැත්තන්, ප්‍රසිද්ධිය අපේක්‍ෂා කරන අය, ව්‍යාජ විප්ලවවාදීන් වැනි අය තුන්වැනි පක්‍ෂයක් තෝරා ගැනීමට ඉඩ තියෙනවා. එහෙත් ඒ ඉතාම තාවකාලිකයි. බටහිර ද්වෛතය අනුව එක් කාලයක බලවත් පක්‍ෂ තියෙන්නෙ දෙකයි. ඒ දෙක යම් සන්දර්භයක පමණක් එකිනෙකට විරුද්ධ වෙනවා. පක්‍ෂ කියන්නෙ බටහිර නිර්මාණයක්. සමහරුන්ට පරම්පරාවෙන් හිමි වූ පක්‍ෂ තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට තැත් - වැරදි ක්‍රමය යොදා ගන්න අවශ්‍ය නැහැ.
තැත් - වැරදි ක්‍රමය අවශ්‍ය වෙන්නෙ නැත්තෙ අපට යම් දැනුමක් හිමි වෙලා තියෙනවා නම් හා එය හරි කියලා අප හිතනවා නම්. අපට සංස්කෘතියෙන් හා චින්තනයෙන් උරුම වුණු දැනුමක් තියෙනවා. අප තේරුම් නොගත්තාට අධ්‍යාපනයෙන් ජනමාධ්‍යයෙන් කෙරෙන්නේ ඒ දැනුම උරුම කිරීමයි. මෙහි ඇති ප්‍රශ්නයක් නම් එය හරි ද කියලා දැන ගැනීමට ක්‍රමයක් නැති වීම. අප දන්නේ හරියන බව පමණයි. හරියනවා කියන්නෙ හරි කියන එක නො වෙයි.
හරි කියන්නෙ මොකක් ද කියලා කියන්නත් බැහැ. අපට හරියන බව හැරෙන්න වෙනත් දෙයක් නිර්මාණය කර ගන්න බැහැ. මුළු ලෝකය ම මගේ නිර්මාණයක් මිස වෙනත් දෙයක් නො වෙයි. මෙය ඊනියා විඥානවාදී අදහසක් කියලා කියන්නේ විඥානවාදය හා ද්‍රව්‍යවාදය කියන ද්වෛතයේ ඉන්න බටහිරයන් හා ඔවුන් අනුකරණය කරන අය. විඥානවාදී ද නොවන ද්‍රව්‍යවාදී ද නොවන දැනුම් අපට නිර්මාණය කිරීමේ බාධාවක් ඇති වන්නේ ද්වෛතවාදීන්ට පමණයි. ද්වෛතය ගැන කතා කළ යක් ඩෙරීඩාත් අවසාන විග්‍රහයේ දී ද්වෛතවාදියෙක්. ඊනියා විසංයෝජනයත් (ඩිකන්ස්ට්‍රක්ෂන්) සංයෝජනයක් පමණයි. කතෝලික පූජකවරයකු ව සිටි නලින් ස්වාරිස් විසංයෝජනය බුදුහාමුදුරුවන්ටත් හිමි කරන්න උත්සාහයක් දැරුවා. අප ඒ දවස්වල ම ඔහු විවේචනය කළා. දැන් ඩෙරීඩා ගැන එතරම් කතාවක් නැහැ. ගයාත්රි චක්‍රවර්ති ස්පිවැක් ගැන ඒතරම්වත් කතාවක් නැහැ. ස්වාරිස් ගැන කතාවන්නෙ මෙවැනි ලිපියක සඳහන් වුණොත් පමණයි.
අප දැනුම නිර්මාණය කරන්නේ සංස්කරණය කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍යය කරගෙන. අවිජ්ජයා පච්චයා සංඛාරා. මේ පචිචයා කියන්නේ හේතුව නො වෙයි. පටිච්චසමුප්පදාය හේතුවාදයක් නො වෙයි. ඕන නම් එය හේතුඵල චක්‍රයක් කියලා කියන්න පුළුවන්. මෙහි අවිද්‍යාව යනු කුමක් දැයි එකිනෙකා විවිධ ආකාරයෙන් කියනවා. ඇතැමුන්ට එය චතුරාර්ය සත්‍යය අනවබෝධය. චතුරාර්ය සත්‍යයෙ යම් හේතුවාදයක් තියෙනවා. මට නම් අවිද්‍යාව කියන්නෙ ත්‍රිලක්‍ෂණ නොදැනීම. ත්‍රිලක්‍ෂණ කියන්නෙත් ලෝකය පිළිබඳ දැනුමක් නො වෙයි. එය මගේ ලෝකයේ කොටසක්.
ලෝකය මගේ නිර්මාණයක් වූ විට එහි හරි වැරදි ගැන කියන්නෙ කොහොම ද? දැන් කාට හරි අහන්න පුළුවන් හරි යනවා කියන්නෙත් මගෙන් බාහිර ලෝකයක් තියෙන නිසා නො වේ ද කියලා. එහෙම නැහැ. මෙතන දී වන්නේ අප නිර්මාණය කරගෙන තියෙන ලෝකය සමග සංසන්දනයක්. ඒ ලෝකය සමග සංගත වන දේට අප හරියන දේ කියලා කියනවා. මීයන්ට වුණත් කූඩුව හිරවෙලා කියන සංකල්ප (වචනවලින් නැති වුවත්) තියෙන්න ඕන. උන් කූඩුවෙන් නිදහස් වෙන්න හදනවා. ඒ සඳහා තැත් කරනවා. සමහර තැත්වලින් උන්ට නිදහස ලැබෙනවා. ඒවා හරි යන නැත්නම් හරි ගිය තැත්. කූඩුව නිදහස වැනි සංකල්ප නැත්නම් නිදහස එළියට යෑම වගේ සංකල්පත් නැහැ. සංසාරයක් නැතැයි කියන අයගේ ලෝකයේ නිවනක් තියෙන්න විධියක් නැහැ. ඒ කියන්නෙ සංසාරය හා නිවන යන්න එකක් හරි නැත්නම් එකක් අනෙකෙහි ඇති බව හරි නො වෙයි. නාගර්ජුන හාමුදුරුවන්ට සියල්ලට උඩින් ශූන්‍යතාව කියලා දෙයක් තිබුණ. දැන් අහන්න පුළුවන් සංසාරය කාගෙ නිර්මාණයක් ද කියලා. නිවනත් අදහසක් පමණක් ද කියලා. මෙතන ඇත්තේ නිර්මාණය, පංචෙන්ද්‍රිය ගෝචර අනාර්ය ප්‍රත්‍යක්‍ෂය හා ආර්ය ප්‍රත්‍යක්‍ෂය අතර ප්‍රශ්නයක්. මේ පිළිබඳ යම් අදහසක් නිර්මාණය කර ගන්න පුළුවන් ද්වායතානුපස්සනා සූත්‍රය කියවීමෙන්.
_______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-08