Main Logo

Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Tuesday, 14 May 2013

පළාත් සභා හා උතුරේ ඡන්දය

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වෙනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශකර ඇත. අනෙක් පළාත් සභා මැතිවරණ පවත්වා තිබිය දී උතුරු පළාතේ පමණක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස හැමදාමත් සිටි බටහිරයන්ට හා ඉන්දියාවට වඳුරන්ට ඉණිමං බැඳීමක් විය. එහෙත් අප අපේ රට සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බටහිර රටවල් හා ඉන්දියාව දෙස බලා නො වේ. අපේ රටේ ස්වෛරීභාවය, ආරක්‍ෂාව, භෞමික අඛණ්ඩතාව, ඒකීය භාවය (එක්සේසත් බව) ආදිය එහි දී වැදගත් වෙයි. ඉහත සඳහන් කරුණක් හෝ කරුණු කිහිපයක් නිසා හෝ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු යැයි අපට වැටහේ නම් අප ඒ අනුව අදාළ මැතිවරණය නොපැවැත්විය යුතු ය. එහෙත් අපේ තීරණය යුක්තියුක්ත කිරීමට අපට හැකි විය යුතු ය.

පළාත් සභා අහෝසි කරනු දැකීම මගේ අභිප්‍රාය වෙයි. එයට ප්‍රධාන හේතුව පළාත් සභා මෙරට ඇති ප්‍රශ්නයකට විසඳුමක් නො වීම ය. පළාත් සභා ඇතිකරනු ලැබුයේ ඉන්දියාවේ අවශ්‍යතාවට ය. එය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නවලට ඊනියා විසඳුමක් ලෙස ඉන්දියාව විසින් බලයෙන් පටවන ලද්දේ එංගලන්තයේ හා ඇමරිකාවේ ආශිර්වාදය හා අනුග්‍රහය යටතේ ය. එහෙත් මෙරට ඇති ප්‍රශ්නය අන් කිසිවක් නොව ඉංගිරිසි හා ලන්දේසි යටත්විජිත යුගවල දී සිංහල බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් ය. මේ අසාධාරණකම්වලට තවමත් විසඳුම් ලැබී නැත. සිංහල බෞද්ධයෝ තවමත් අසාධාරණකම්වලට ලක්වෙති. මෙයට යම් ප්‍රමාණයකට වගකිව යුත්තෝ සිංහල බෞද්ධයන්ගේ ඊනියා නායකයෝ ය. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවට තවමත් පිළිගැනී නැත. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාවගේ සංස්කෘතිය සිංහල බෞද්ධ විය. මෙරට ජනතාවගේ ජීවන රටාව සිංහල බුද්ධාගම විසින් සකස් කෙරිණි. මෙරට ජනතාවගේ චින්තනය, අවශ්‍ය නම් ජාතික චින්තනය, සිංහල බෞද්ධ චින්තනය විය. දැනුම ද ඇතුළත් වූ සංස්කෘතිය ගොඩනැගෙන්නේ යම් චින්තනයක ය. එයින් අදහස් වන්නේ චින්තනය යන්න මූල හේතුවවත්, චින්තනය වෙනස් නොවන බවක්වත් නො වේ. චක්‍රීය චින්තනයක මූල හේතු නැත. අනිත්‍ය ගැන කියැවෙන සංස්කෘතියක නිත්‍ය චින්තනයක් තිබිය නො හැකි ය.

ඇතැම් සිංහල බෞද්ධයන් ම, ඇතැම් භික්‍ෂූන් වහන්සේ ම, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු සුවිශේෂ තත්ත්වය අහිමිකිරීමට කටයුතු කරනු දැක්ම කණගාටුදායක ය. ඊනියා සර්ව ආගමික සංකල්පය මගින් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු විශේෂ තත්ත්වය අහිමි කිරීම ය. මෙරට බහු සංස්කෘතික රටක් වන්නේ කිනම් අර්ථයකින් ද? ඕනෑම රටක සංස්කෘතීන් එකකට වඩා තිබිය හැකි මුත් ඒ සෑම රටකම අධිපතිවාදී සංස්කෘතියක් හෝ විශේෂිත සංස්කෘතියක් හෝ පවතී. එහෙත් ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස හැඳින්වෙන්නේ මෙරට සෑම සංස්කෘතියක් ම සමාන ය යන අර්ථයකිනි. සර්ව ආගමික භික්‍ෂූන්වහන්ස්ලා ද සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැතිකරති. අප පළමු කොට ම මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීමට සැලැස්විය යුතු ය. අපේ ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො ලැබීම ය. මෙරට චින්තනය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ චින්තනය බව විශ්වවිද්‍යාලවල සිටින බටහිර ගැති නිවට පුස්සන්ට කියා දිය යුතු ය. මේ පුස්සෝ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලොවේ ම අධිපතිවාදී චින්තනය බව පිළිගනිති. දැනුම හා සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල මේ පුහු නිවටයෝ වෙනත් කිසිම සංස්කෘතියකට හෝ චින්තනයකට හෝ ඉඩක් නො දෙති. එහෙත් බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම පට්ටපල් බොරුවක් බව පෙන්වූ විට ඔවුන්ට එයට විරුද්ධව කීමට දෙයක් නැත. ඔවුහු දිගට ම නිවටකම නිසා ම පට්ටපල් බොරුවේ ගැලී සිටිති.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ අසාධාරණයක් නොමැති බව පෙන්වා දශක දෙකකට වැඩි ය. එහෙත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනාට ඒ ගැන වැටහීමක් නැත. සිංහල භාෂාව මෙරට ඈත අතීතයේ සිට රාජ්‍ය භාෂාව විය. එසේ නොවූයේ ඉංගිරිසින්ගේ කාලයේ පමණ ය. රාජ්‍ය භාෂාව යන සංකල්පය අද අරුතින් නිර්වචනය කර නැති වුවත් මෙරට රාජ්‍ය කටයුතු කෙරී ඇත්තේ සිංහලෙනි. ඒ බව දිවයින පුරා විසිරී ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. මෙරට ඇති දෙමළ සෙල්ලිපි සංඛ්‍යාව කෙතෙක් ද? ඒ දෙමළ සෙල්ලිපි ද ඇත්තේ දෙමළ වෙළෙන්දන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙරට කිසිම දිනෙක දෙමළ රාජ්‍ය භාෂාව වි නැත. එසේ වී ඇත්නම් ඒ බව ඔප්පුකරන මෙන් මෙරට සිටින වීරයන් වීමට දඟලන පුස්සන් වූ කසිකබල් ඉතිහාසඥයන්ට අභියෝග කරමු. පෘතුගීසීන් හා සංකිලි අතර වූ ගිවිසුම ද ඇත්තේ සිංහල හා පෘතුගීසි භාෂාවලින් මිස දෙමළ භාෂාවෙන් නොවන බව ගාමිණී ඊරියගොල්ල මහතා පෙන්වා දී ඇත. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ අවාසියක් නැත. ඒ දෙමළ ජනයා යම් පිරිසක්වත් ඉංගිරිසියට වඩා සිංහල දත් බැවින් ඔවුන්ට අත්වූයේ වාසියකි. සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා අවාසියක් වී නම් ඒ ඉංගිරිසි දත් එහෙත් සිංහල නොදත් ප්‍රභූ දෙමළ වෙල්ලාලයන්ට පමණකි. මෙරට 1931 සිට සිදු වී ඇත්තේ සර්වජන ඡන්දය ලැබීමත් සමග ඉංගිරිසි දත් දෙමළ වෙල්ලාලයනගේ වරප්‍රසාද අඩුවීම ය. ඒ වරප්‍රසාද අඩුවීම දෙමළ වෙල්ලායෝ හා ඉංගිරිසිහු සාමාන්‍ය දෙමළ ජනයාට වූ අසාධාරණයක් ලෙස ප්‍රචාරය කළහ. දෙමළ ජනයාට නිදහසෙන් පසුව සිදුවිණි යැයි කියන අසාධාරණකම්වල මුල ඇත්තේ එතැන ය. පළාත් සභා ගෙන ආවේ දෙමළ ජනයාට නැති ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට ය. එහි බලාපොරොත්තුව මුළු රටේ ම නායකයන් වීමට සිටි දෙමළ වෙල්ලාලයන්ට අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල නායකකම් ලබා දී පසුව ඒ පළාත් වෙන ම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීම ය.

දෙමළ වෙල්ලාලයන්ට සාකච්ඡා හා ගිවිසුම් මගින් කරගැනීමට නොහැකි වූ දේ කිරීමට බටහිර්යෝ හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදය යොදාගත්හ. දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති දෙමළ ජාතිවාදයට අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පිහිට කරගැනීමට සිදු විය. එහෙත් දෙමළ ත්‍රස්තවාදය අවුරුදු තිහක සටනකින් පසු පරාජයට පත්විය. අද දෙමළ ත්‍රස්තවාදය නැත. එහෙත් දෙමළ ජාතිවාදය ඇත. එයට පොහොර දමමින් එය රැකගන්නේ බටහිර රටවල් හා ඉන්දියාව ය. විසුරුණු දෙමළ ජනතාව බටහිරයන්ගේ ආයුධයක් පමණ ය. දෙමළ ජාතිවාදයට ලංකාවේ තනිව ම ගත්කල ඉඩක් නැත. බටහිරයන් හා ඉන්දියාව එය ක්‍රියාත්මක කරන්නේ දෙමළ ජාතික සංධානය, රාජ්‍ය නොවන සංවිධාන, පුහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් (විශේෂයෙන් ම එතරම් ඉහළ පංති සාමාර්ථ නැති අය හා විවිධ ඊනියා පර්යේෂණවල යෙදී තරමක් වයස්ගත වූ පසු කථිකාචාර්යකම් ලබාගෙන ශාස්ත්‍ර පීඨවල සේවය කරන පුස්සන්), එ ජා ප, කසිකබල් මාක්ස්වාදී පක්‍ෂ ආදිය මගින් ය. ඔවුන් මොන තරම් දැඟළුවත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටිනා තෙක් දෙමළ ත්‍රස්තවාදයට ඉඩක් නැත. මේ ආණ්ඩුව බලයට පත්වූයේ සිංහල, ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ ඡන්දවලිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ඡන්ද පදනම නැතිකරගනු ඇතැයි සිතිය නො හැකි ය.

අද තත්වය පසුගිය අවුරුදු තිහට වඩා වෙනස් ය. ඇතැම් ජාතිකවාදීන් ඒ බව අවබෝධ කරගෙන නැත. අද බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා කෙසේ නමුත් දංගෙඩියට යැවීම ය. ඔවුන් ජෙනීවා සමුළු ආදිය යොදාගන්නේ ඒ සඳහා ය. ඒ මහතා ඡන්දයෙන් පරාජය කර හෝ වෙනත් ක්‍රමයකින් හෝ දංගෙඩියට යැවීමට ඔවුහු උත්සාහ කරති. කිනම් අඩුපාඩුකම් මැද වුව ද මේ ආණ්ඩුව රැකගැනීම අද වැදගත් වන්නේ එසේ නොවුනහොත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව මෙරට ඊළමක් පිහිටුවන බැවිනි. රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දත කට මැදගෙන සිටියි. දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාව ද මෙරට සැබෑ පූවැසියන් කරගැනීමේ අවශ්‍යතාව ඇත. ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොවන බව ඔවුන්ට අවබෝධවන අයුරින් ජාතිකවාදීන් කටයුතු කළ යුතු ය. පසුගිය දා මම නැගෙනහිර පළාතේ දින කිහිපයක් ගතකෙළෙමි. ඇතැම් මුස්ලිමුන් කාත්තන්කුඩිය ඉඳිගස් ද සහිත පුංචි අරාබියක් කරගැනීමට උත්සාහ කරනු දුටුවෙමි. මෙරට රෝමානු කතෝලිකයෝ අද වන විට සිංහල කතෝලිකයන් බවට පත්වී සිටිති. මෙරට මුස්ලිමුන් අරාබි මුස්ලිමුන් නොව හෙළ මුස්ලිමුන් බවට පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. එහෙත් ඒ සඳහා පළාත් සභා අවශ්‍ය නො වේ. කුමාරතුංග මුනිදාස මහතාගේ අදහසක් සුළුවෙන් වෙනස්කර හෙළ බොදුනුවන්, හෙළ කිතුණුවන්, හෙළ හින්දූන් හා හෙළ මුස්ලිමුන් (ඉස්ලාමිකයන්) වීමට අපි උත්සාහ ගනිමු.

අද හැකිනම් කළයුත්තේ පළාත් සභා අහෝසි කිරීම ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමකු වූ අභාවප්‍රාප්ත රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇත. ඒ කෙසේ වෙතත් පළාත් සභා අහෝසිකිරීමට තවමත් වාතාවරණය සකස් වී නැත්නම් අද කළ යුත්තේ පොලිස් බලතල ඉඩම් බෙදීමේ බලතල ආදිය පළාත් සභාවලට අහිමි කිරීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම බටහිරයන්ගේ බලාපොරොත්තුව බව ඉහත සඳහන් කළෙමි. පසුගිය දිනෙක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ ප්‍රාන්ත පොලීසියක් මගින් අත්අඩංගුවට ගැණිනි. යම් අයුරකින් පොලිස් බලතල සහිත උතුරු පළාතේ පළාත් සභාවේ පොලීසිය බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහායෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පළාතට ගිය විට අත්අඩංගුවට ගෙන කිසියම් ආකාරයකින් බටහිරට ගෙන ගොස් ඊනියා ජාත්‍යන්තර අධිකරණයක යුද්ධාපරාධ සම්බන්ධයෙන් නඩු පවරා වරදකරු කර රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් බටහිර ගැත්තකු හෝ බලයට පත්කළහොත් ඇතිවන තත්ත්වය කුමක් ද? උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම එතරම් හිතකර නො වේ. එහෙත් එයට පළමුව පොලිස් බලතල, ඉඩම් බෙදීමේ අයිතිය පළාත් සභාවලට අහිමි කළ යුතු ය.
(13/05/05)

නලින් ද සිල්වා

Saturday, 27 April 2013

ආපසු හැරී ඉදිරියට යමු!

කුඩා කාලයේ අපි සිතාගෙන සිටියේ හෘදයාබාද හැදෙන්නේ පොහොසත් උදවියට පමණක් යැයි කියාය. මන්ද එකල හෘදයාබාද රෝගීන් ගම්වලවත් ගමින් කොළඹට පැමිණ සිටි මගේ දෙමව්පියන් වැනි අය අතරවත් කලාතුරකින්වත් දකින්නට නොසිටි බැවිනි. නමුත් රැකියාව සඳහා කොළඹ පදිංචියට පැමිණ වසර හතලිහකට පමණ පසුව ත්‍රස්තවාදීන්ටවත් මරා දමන්ට බැරිවූ අපේ අම්මා රෝගාතුරව හිඳ මිය ඇදුනේ හෘදයාබාදයකිනි. කොළඹ ජීවිතය ඇගේ ගැමි සිරුරටත් ගැමි මනසටත් ඔරොත්තු නොදුනි. කෙසේමුත් ඇගේ පිහිටෙන් ඒ වනවිට අපි ඊනියා දියුණුවක් ලබා සිටියෙමු. අවසානයේ ඇගේ මාරයා වුනේ ඒ දියුණූව බව මම දැන් දනිමි. මගේ මවට ජීවත්වන්නට ලැබුනේ අවුරුදු හැට දෙකක් පමණක් මුත් උපන් ගමෙහිම වෙසෙමින් බණ භාවනා කරමින් ගොවිතැනින් දිවි ගෙවූ ඇගේ මවට, එනම් අපේ මිත්තණියට, අවුරුදු අසූ ගණනක් නිරෝගීව ආයු වළඳන්නට වාසනාව තිබිනි. මෙසේ තිබියදී අපි ඉගෙන ගන්නේ ගැමි ජීවිතය නොදියුනු යැයි සැලකීමටය. ජාතියක් වශයෙන් අපි කෙතරම් වැරදි දිසාවකට ගමන් කර ඇත්ද යන්න ඉන් පැහැදිලි විය යුතුය.

නගර අවට ජීවත්වන වැඩිහිටි කී දෙනෙක් අද දියවැඩියාව, හෘදයාබාද හා පිළිකා වැනි මාරාන්තික රෝග වලට ගොදුරුවී සිටිත්ද? ඉන් මිය ගොස් සිටිත්ද? අද රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙන්නේ මෙවැනි රෝගීන්ගෙන් නොවේද? මේ ව්‍යාදීන් අපේ සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් හා තදින් බැඳී ඇති බැවින් ඇත්තෙන්ම ඒවා හැඳින්විය යුත්තේ සමාජ රෝග ලෙස. මීට වසර තිහ හතලිහකට ඉහතදී මේ සමාජ රෝග මෙතරම් ව්‍යප්තව නොතිබිනි. එ පමණක් නොවේ එකල රටේ සිදුවුනු අපරාධද ගණනින් පමණක් නොව දාමරික බවින්ද මෙතරම් දරුණු නොවිනි. පරිසරයද අද තරමටම විනාශවී නොතිබිනි. මේ සියලු ව්‍යසනයන් සිදුවී ඇත්තේ වසර තිහක් හතලිහක් පමණවෙන ඉතා කෙටි කාලයක් තුල දීය. මේ දෑ අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරවූ සිදුවීම් නොවේ. පරිසර විනාශයද, සමාජ රෝග පැතිරීමද අපරාධ බහුලවීමද එකිනෙකින් වෙන් කල නොහැකි මිනිස්-පරිසර පද්ධතියක වෙන් කල නොහැකි සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් තුලින් බිහිවෙන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණ විසඳීමට නම් අපි අනිවාර්යයෙන්ම මේ සිද්ධීන් අතර ඇති පොදු බව හඳුනාගත යුතුය.

සමස්ථයක් ලෙස සැලකුවිට මේ සියලු ව්‍යසනයන්ට මූලික හේතුව අපි කෙළවරක් හෝ සංවරයක් හෝ නැතිව සිත කය පිනවීම අරභයා ලබන්නට තනන ඊනියා දියුණුව බව අවබෝධ කර ගැනීමට බෞද්ධයින්ට අපහසු නැත. පොළවේ පය ගසාගෙන සිටින වැඩිහිටි බොහෝ දෙනෙකු ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දනිති. නමුත් අපි මේ හොඳින් දන්නවා යැයි සිතන දේ විදග්ධ දැනුමක් ලෙස අපේ සිංහල බෞද්ධ සමාජයවත් පිළිගන්නේ නැත. එසේ නොපිළිගන්නේ ඒ බව පාසලේදීවත් විශ්ව විද්‍යාලයේදීවත් ඉගැන්වෙන්නේ නැති නිසාය.

කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට නොහැකි බව හා එසේ පිනවීමට යාමෙන් දුකක් මිස සැපක් නොලැබෙන බව බෞද්ධයින් දන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. සාමාන්‍ය සිංහල බෞද්ධයින් පවා අවබෝධ කරගෙන ඇති ඒ ගැඹුරු විදග්ධ දැනුම බටහිරුන්ට නැති බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ බව මම ඒ සමාජයේ ජීවත්වීම තුලින් දනිමි. බටහිරුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන් යමක් දැන ගන්නට ශක්තියක් නැත. යම් හෙයකින් ඔවුන් ඒ ගැන දැන ගෙන සිටියා නම් ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුයැයි අපට අද පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් ඉගැන්වෙනවාට කිසිම සැකයක් නැත. බටහිරුන් ඉන්ද්‍රීයන් පිනවීම අරභයා කෙරෙන ඊනියා සංවර්ධණයක් කරා හඹා යන්නේ ඔවුන්ට එහි නිෂ්ඵලබව නොවැටහෙන නිසාය. ඔවුන්ගේ ගමනෙහි ව්‍යාජත්වයක් නැත. නමුත් ඒ බව දැන දැනත් ඔවුන් පසු පස යන අපේ ගමනේ ව්‍යාජත්වයක් ඇත. අවාසනාවකට අපි ඉන් පැන නඟින ප්‍රශ්ණ විසඳන්නට බලන්නේත් ඔවුන් පසු පස යමිනි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම වැනි ප්‍රශ්න බටහිරුන් විසින් විසඳන්නට උත්සාහ කරන්නේ ඉන්ද්‍රීය පිනවීමත් එලෙසම පවත්වාගෙන යමිනි. එනම් ඒ සඳහා ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කරමිනි. ඔවුන් දැනුම ගොඩනඟන්නේ කොටස් වලට කඩා ගෙන නිසා පරිසර විනාශය පිළිබඳ ප්‍රශ්ණ පරිසර විද්‍යාඥයෝත් සමාජ රෝග පිළිබඳ ප්‍රශ්ණ වෛද්‍ය විද්‍යාඥයෝත් ආදී වශයෙන් වෙන් කර ගෙන විසඳන්නට තැත් කරනවා විනා එහි පොදු බවක් දැකීමට ඔවුන්ට හැකියාවක් නැත.
ඒ අනුව සමාජ රෝග වලට බටහිරුන් දෙන මූලික පිළිතුර රෝග වලට ප්‍රතිකාර කිරීමය. බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට හැකිවී නැතත් යම් දුරකට පාලනය කර ගැනීමට තාක්‍ෂණයේ උපකාරයෙන් බටහිර විද්‍යාව සමත් වී ඇත. ඒ නිසා හැටේ දශකයේ මැද භාගය වනතුරු වැඩි වෙමින් පැවතුනු හාර්දික රෝග නිසා සිදුවුනු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අද වෙන විට ඇමරිකාවට හැකිවී ඇත. නමුත් හෘදයාබාද නිසා රෝහල්ගතවුනු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දශකයේ මැද භාගය වනතුරුත් වැඩි වෙමින් පැවතිනි. ඉන් පෙනී යන්නේ හෘද රෝග වැලඳීම වලක්වා ගන්නට ඔවුන්ට නොහැකි වී ඇති බවය එනම් බටහිර සමාජයට ඒ සම්බන්ධයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට නොහැකි වී ඇති බවය. ගිලන්ව නමුත් නොමැරී ජීවත්වීම සාර්ථක පිළියමක් ලෙස සැලකිය නොහැකිය.

බරහිරුන් අපරාධ මර්ධනය කිරීමට තනන්නේද එවැනි ක්‍රියා කලාපයක් තුලිනි. එනම් මූලික වශයෙන් අපරාධ කරුවන් අල්ලා දඬුවම් කිරීම මඟිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ලෝකයේ වැඩිම පිරිසක් සිර බත් කන්නේ ඇමරිකානු සිර ගෙවල් වලය. ඉනුත් බහුතරයක් කළු ඇමරිකානුවෝය. ඇමරිකාවේ සිරකරුවන්ගේ ජනගහනය හැත්තෑවේ දශකයේ මැද භාගයේ සිට, එනම් තැචර්-රේගන් යුවල ලෝක ආර්ථිකය වෙනස් කල සමයේ සිට අද දක්වා සීග්‍රව වර්ධනය වෙමින් පවතී. ඉන් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ සිදුවෙන අපරාධ වැඩිවෙනවා මිස අඩුවී නැති බවය. බටහිරුන්ට ඔවුන්ගේ ඊනියා ආර්ථික සංවර්ධනයේත් අපරාධ බහුලවීමේත් ඇති සම්බන්ධතාව හඳුනා ගන්නට නොහැකිය. එපමණක් නොවේ සමාජ රෝග හා පරිසර විනාශය ඊට අදාල වන්නේ කෙසේද යන්න ගැනත් අවබෝධයක් නැත. මීට මුලික හේතුව ඔවුන්ට සමස්ථය දැකීමට ඇති නොහැකියාවය. ඔවුන් ඒ ඒ විශය සඳහා ඉදිරිපත් කරන විසඳුම් වලින් කෙරෙන්නේ ප්‍රශ්ණ යම් තරමකට කළමණාකරණය වීම පමණි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම ආදියට හේතුව සංවරයක් නැතිව සිත කය පිනවීමට යාම බව සිංහල බෞද්ධයින්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමය. එයට එකම පිළියම ඉන්ද්‍රීය සංවරය පිහිටුවා ගැනීමය. මේ දැනුම බටහිරුන්ට නැත. ඔවුන් ඉන්ධන භාවිතය අඩු කල යුතු යැයි කියන්නේ එමඟින් පරිසරයට එකතුවන විශවායු, පරිසර උශ්නත්වය ඉහල යාම, හා ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ඔවුන් විසින් ගොතා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. ඔවුන් එළවළු පළතුරු වැඩියෙන් ආහාරයට ගත යුතු යැයි පවසන්නේ සමාජ රෝග, ශරීර ශක්ති සමතුලිතතාව වැනි දෑ පිළිබඳ ඔවුන් විසින් ගොඩනඟා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. මේ කිසිම බටහිර දැනුමක් බෞද්ධයින්ගේ ඉන්ද්‍රීය සංවරය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ දැනුම හා කොහෙත්ම සම්බන්ධයක් නැත. ඒ නිසා මතු පිටින් එසේ යැයි පෙනුනත් සිංහල බෞද්ධයින් ඉන්ද්‍රීය සංවරය තුලින් ලබා ගන්නා විසඳුම් වලට බටහිරුන්ට ඔවුන්ගේ දැනුම තුලින් කෙදිනකවත් ලඟාවිය නොහැකිය. යන මඟ නොදැන අයාලේ යන බටහිර දැනුම පසු පස නොගොස් අප දන්නා මඟේ අපි ඉදිරියට යා යුතු වෙමු.

ජානක වංශපුර

Sunday, 7 April 2013

මේ දැන් හෙවත් තව ටිකකින්

සිංහලයන්ට ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හැඳින්වීම සඳහා වචනයක් තිබී නැති බව පැහැදිලි ය. එපමණක් නොව සිංහල භාෂාවේ වර්තමාන කාලය හඟවන ක්‍රියා පද ද නැත. සිංහලයේ ඇත්තේ අතීත කාලයක් හා අනාගත කාලයක් පමණකි. සිංහලයේ ඇත්තේ අතීත හා අනතීත කාල පමණක් බව කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දී ඇත. ඒ අනතීත කාලය යනු අනාගත කාලය මිස වර්තමාන කාලය නො වේ. මම යමි හා මම යන්නෙමි අතර ඇති වෙනස කුමක් ද? සිංහලයේ වර්තමාන කාලයක්, එනම් වර්තමාන කාලය සඳහා රූපයක් නැත්තේ වර්තමානය යනු අතීතය හා අනාගතය වෙන් කරන මොහොත පමණක් වීම නිසා ය. ඒ මොහොත මෙපමණ කාලයක් යැයි අර්ථදැක්විය හැකි නො වේ. අපට අවශ්‍ය පරිදි ඒ මොහොත හෙවත් ක්‍ෂණය කුඩා කර ගත හැකි ය. පැන්සල් තුඩ තව තවත් සිහින් කළ හැකි අයුරින් ක්‍ෂණය ද තව තවත් කුඩා කළ හැකි ය.

ක්‍ෂණය යනු කුමක් දැයි අර්ථදැක්විය හැකි අයකු ඇත්නම් ඒ චතුස්කෝටික න්‍යාය යොදාගන්නා අයකු විය යුතු ය. අවශ්‍ය නම් ක්‍ෂණයක් යනු කාලාන්තරය ශූන්‍ය හා ශූන්‍ය නොවූවක් යැයි කිව හැකි ය. එහෙත් එය ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය) ගෝචර ලෝකය සඳහා වැදගත් නො වේ. ක්‍ෂණයක් යනුවෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් අර්ථදැක්වීය නොහැකි බැවින් සිංහලයන් ක්‍ෂණය ද වර්තමානය ද ඉවත දමන්නට ඇත. තුන්වැනි සංගායනාවෙන් අප ලද ක්‍ෂණවාදය එතරම් ජනතාව අතරට ගිය බවක් නො පෙනෙයි.

ක්‍ෂණයක් යනුවෙන් පවත්නා දෙයක් (කාල පරිච්ඡෙදයක්) නැති බව සිංහලයන් තේරුම් ගන්නට ඇත්තේ ඔවුන් බෞද්ධයන් වීමට ද පෙර විය යුතු ය. එබැවින් ථෙරවාදයෙහි සඳහන් ක්‍ෂණවාදයට ලංකාවේ වැදගත් කමක් හිමි වී ඇති බවක් නො පෙනෙයි. වර්තමානය සඳහා ක්‍රියා පද රූපයක් සිංහලයෙහි නොමැති වුවත් පාළි භාෂාවෙහි එසේ ඇති බව පැහැදිලි ය. අප ගච්ඡාමි යනුවෙන් නිතර සඳහන් කරන පදය යමි යන්න සඳහා යෙදෙයි. එය පාළි භාෂාවෙහි අදාළ ක්‍රියා පදයෙහි වර්තමාන රූපය වෙයි. එහි අතීත රූපය ගච්ඡති ද අනාගත රූපය ගච්ඡන්ති වෙයි. ගච්ඡාමි හා ගච්ඡන්ති අතර වෙනසක් තිබුණ ද, යමි හා යන්නෙමි අතර වෙනස කුමක් ද?

පාළි භාෂාවෙහි ආභාසය ලැබීමට පෙර වර්තමානය හා අනාගතය සඳහා සිංහලයෙහි තිබූ රූප කවරේ ද යන්න සොයා බැලීමට මෙරට විද්වතුන් උනන්දුවන්නේ නම් මැනවි. කෙසේ වෙතත් සිංහලයන් වර්තමානයක් යනුවෙන් අර්ථදැක්විය හැකි කාලයක් නැති බව තේරුම් ගන්නට ඇත. වර්තමානය යන්න ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. වර්තමානය යනු මේ යැයි අපට කිව හැකි ද? ඒ නැති නිසා ම දෝ සිංහලයෙහි මේ දැන් යනුවෙන් ව්‍යවහාරයක් වෙයි. එහෙත් අපේ මේ දැන් යන්න ද තවත් විනාඩි කිහිපයකින් සිදුවන්නක බව අපි දනිමු.

වර්තමානය යනුවෙන් කාලයක් පවතින්නේ යැයි ගැනීම ප්‍රත්‍යක්‍ෂයක් නොව අනුමානයකි. අතීතය පසු වී ඇත. එය පඤ්ඤත්තියක් වශයෙන් ප්‍රත්‍යක්‍ෂයක් ලෙස අත්දැක ඇත. අනාගතය ඒමට ඇත. එය ද අපට පඤ්ඤත්තියක් ලෙස ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි ය. වර්තමානය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. මේ දැන් යන්නෙහි අප මේ යන්න කියන විට ද දැන් යන්න අනාගතයෙහි වෙයි. එබැවින් සිංහලයන්ගේ මේ දැන් යන්න ද තව විනාඩි කිහිපයකින්, ඇතැම් විට පැයකින් දෙකකින් වීම පුදුමයක් නො වේ. ක්‍ෂණවාදය පාළියෙන් කිවහැකි වුව ද සිංහලෙන් කීම ප්‍රශ්නයක් වෙයි.

වර්තමානය යනු අතීතයෙහි හා අනාගතයෙහි ඡෙදනය පමණක් යැයි සිතිය හැකි ය. එය පඤ්ඤත්තියක් ලෙස වුව ද ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට තරම් කාලයක් නැත. අතීතය අනාගතයට වෙනස් වන (හැරෙන) ලක්‍ෂ්‍යයක් කාල රෙඛාවෙහි (කාලය සෘණ ඉතා විශාල සංඛ්‍යාවක සිට ධන ඉතා විශාල සංඛ්‍යාවක් දක්වා විහිදෙන්නේ යැයි උපකල්පනය කරමින් අඳීන රේඛාව) ඇතැයි අපි සිතමු. එය අනුමානයක් පමණක් වන්නේ එබැවිනි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වෙයි. එනම් කාලයෙහි වර්තමානය පමණක් නොව කාලය යන සංකල්පය ම පඤ්ඤත්තියක් පමණක් බව ය. වර්තමානය යනු එක අතෙකින් ගත්කල සීමාකාරී ලක්‍ෂ්‍යයකි.

ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ ද? එය මාර්ටින් වික්‍රමසිංහ මහතා ෆැක්ට්ස් යන්න සඳහා තැනූ ප්‍රකාශයක් යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ෆැක්ට්ස් යන්න ඉංගිරිසියෙහි යෙදෙන්නේ කලින් සඳහන් කර ඇති පරිදි ඉර පායා ඇත ආදී ප්‍රකාශවලින් කියැවෙන්න ගොනු කර ගැනීම සඳහා ය. එහෙත් ඒවා ද හුදු සංජානන නොවන බව අපි දුටුවෙමු. බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් තේරුම් නොගන්නා කාරණයක් නම් හුදු සංජානන නොමැති බව ය. හුදු සංජානන ඇතැයි යන්න හුදු බොරුවක් පමණකි.

රසල් යනු ලොව පුරා ප්‍රසිද්ධියට පත් කෙරුණු (විශේෂයෙන් ම ඉංගිරිසි ජනමාධ්‍ය මගින්) දාර්ශනිකයකු වුවත් ඔහු දැනුම නිර්මාණය කළේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පදනම් වෙමින් යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ඔහුගේ ඊනියා විවෘත මනස විවෘත මනසක් නොමන බව පැහැදිලි ය. විවෘත මනස් ඇත්තේ මියගිය අයට ය. බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින් විසින් ප්‍රසිද්ධියට පත්කෙරෙන බුද්ධිමතුන්, කතුවරුන්, ක්‍රීඩකයන්, නළු නිළියන් ආදීන් ගැන අප දෙවරක් නොව කිහිපවරක් සිතා බැලිය යුතු ය.

රසල් සිතුවේ ඔහුගේ සංස්කෘතියෙහි ය. ඒ සංස්කෘතිය කෙතරම් වියුක්ත වුවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් පදනම් කරගනියි. කතෝලික සංස්කෘතිය පදනම් වූ කතෝලික චින්තනය සංයුක්ත වූවකි. අප බොහෝ අවස්ථාවල පවසා ඇති පරිදි ආසියාවේ, විශේෂයෙන් ම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිර කතෝලික සංස්කෘතියට අවශෝෂණය කර ගැනීම බටහිරයන්ට ප්‍රශ්නයක් විය. ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම ද ඉන්ද්‍රිය ගෝචර විය. එහෙත් මෙහි දී ඉන්ද්‍රිය වූයේ මනස ය. බටහිරයන්ට මනස ඉන්ද්‍රියයක් නො වේ.

අපට මනස ද ඉන්ද්‍රියයකි. මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රිය පහ ඔස්සේ ලබාගන්නා දැනුමට බටහිරයෝ ඉන්ද්‍රිය ගෝචර දැනුම යැයි කියති. ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ද බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙහි කොටසකි. මේ දැනුම් සංකල්පවලින් ස්වායත්ත යැයි බටහිරයෝ උපකල්පනය කරති. එහෙත් පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා කිසිම දැනුමක් (සංජාන, ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇතුළුව) සංකල්පවලින් ස්වායත්ත නො වේ. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙන් ය. පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගන්නා සියළු දැනුම මනස සමග බැඳී ඇත. බටහිරයන්ගේ පංචෙන්ද්‍රියවලට මනසෙන් තොරව කිසිම දැනුමක් නිර්මාණය කළ නො හැකි ය.

එහෙත් මනසට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව දැනුම නිර්මාණය කළ හැකි ය. මනස හා අනෙක් ඉන්ද්‍රිය අතර ඇති මේ ප්‍රධාන වෙනස බටහිරයන්ට තේරුම් ගත නො හැකි ය. එයට ප්‍රධානම හේතුවක් වනුයේ බටහිරයන් මනස ඉන්ද්‍රියයක ලෙස නො සැලකීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිරයෝ අද බටහිරයෝ මනසෙහි පැවැත්ම ද ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට මනස යන්න මොළය නමැති අවයවයට ඌනනය කළ හැකි ය. බටහිරයන්ට ඉන්ද්‍රියයක් හා අවයවයක් අතර වෙනසක් ඇති බව තේරුම් ගත නො හැකි ය.

එයට ද හේතුව මනස ඉන්ද්‍රියයක් ලෙස නො සැලකීම ය. කණ යනු අවයවයකි. එහෙත් කණ තිබූ පමණින් අපට ශබ්ද නො ඇසෙයි. ශබ්ද ඇසීමෙහි දී මනස වැදගත් වෙයි. කණ මනස සමග එකතු නොවන්නට ශ්‍රවණෙන්ද්‍රියයක් නැත. එහෙත් මනෙන්ද්‍රියට පැවතීමට (සම්මුති අර්ථයකින්) වෙනත් ඉන්ද්‍රියක් හෝ අවයවයක් හෝ අවශ්‍ය නො වේ. මනෙන්ද්‍රියෙහි පැවැත්මට මොළය අවශ්‍ය නො වේ. සිත මිස කය නැති බඹ ලොව පවතින්නේ මනසෙහි පැවැත්මට මොළය හෝ වෙනත් අවයවයක් හෝ අනවශ්‍ය බැවිනි. මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියක සම්මුති වශයෙන් වුවත් පැවැත්මට මනෙන්ද්‍රිය මෙන් ම යම්කිසි අවයවයක් ද අවශ්‍ය වෙයි.

සංකල්පවලින් තොරව සංජානන නොපවතින බව බටහිරයෝ තේරුම් නොගනිති. රසල් නිල්බවක් ගැන සඳහන් කළේ නිල්යන සංකල්පයෙන් තොරව නිල්බව (බලඋඉසහනඑසස) නම් සංජානනයක් ඇතැයි ගැනීමෙනි. නිල්බව යන්න නිල් නම් සංකල්පය සමග බැඳී ඇත. අප ගිය සතියේ ද සාකච්ඡා කළ ආකාරයට හුදු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ නැත. සිංහලයන් ඒ බව දැන සිටියාට සැකයක් නැත. නැති වර්තමානයකට ක්‍රියා රූපයක් නොතැනූ සිංහලයෝ නැති (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට ද වචනයක් නිර්මාණය නො කළහ. මාර්ටින් වික්‍රමසිංහ මහතාටවත් කාලෝ ෆොන්සේකා මහතාටවත් ඒ බව අවබෝධ නොවීම පුදුමයට කරුණක් නො වේ.

අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුම බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් වෙනස් වෙයි. අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුමට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ලබාගන්නා දැනුම ද අයත් වෙයි. පැරණි භාරතීයයන් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහවස්තු චලනය වන බව දැනගත්තේ ආධ්‍යාත්මික ව බව පැහැදිලි ය. ඔවුන් එය එක්කෝ සෘජුව ලබාගන්නට ඇත. එසේත් නැත්නම් දෙවියන්ගෙන් භූතයන්ගෙන් ආදි වශයෙන් වූ ප්‍රාණීන්ගෙන් ලබාගන්නට ඇත. කෙසේ ලබාගත්ත ද ඒ පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගත් දැනුමක් නො වී ය.

පහළොස්වැනි සියවසට පෙර යුරෝපයේ ද දෙවියන්ගෙන් ආදී වශයෙන් දැනුම ලබාගත් බවට සාක්‍ෂි වෙයි. එහෙත් ඉන්පසු ඒ හැකියාව බටහිරයන්ට සමස්තයක් ලෙස අහිමි වී ඇත. භාරතයෙන් යුරෝපයට ගිය ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිරයන්ට තම සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට මගක් නො වී ය. ඔවුන් වියුක්ත දැනුම් නිර්මාණයට පෙළඹුණේ භාරතීය දැනුම අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම නිසා යැයි අපේ ප්‍රවාදයක් වෙයි.

කෙසේ වෙතත් ඊනියා (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හා දැනුම බටහිරයන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) නොහැකි වීම නිසා ඇති වූ සංකල්පයක් වෙයි. ඔවුන්ගේ ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් හා දැනුම ද වෙයි. ඒ අන්කිසිවක් නොව ඔවුන් නිර්මාණය කරන වියුක්ත දැනුම ය. වියුක්ත දැනුම (පංච)ඉන්ද්‍රිය ගෝචර නො චේ. සාධාරණ හෙවත් පොදු පුටුවක් ඉන්ද්‍රිය ගෝචර නො වේ. එපමණක් නොව පොදු පුටුව සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. එය හුදෙක් මනසින් නිර්මාණය කරගන්නා සංකල්පයකි. ඒ කිසිසේත් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් බටහිරයෝ ඒ පිළිබඳ කතා නොකිරීමට වග බලාගනිති.

Sunday, 24 March 2013

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - II

සිංහල බෞද්ධයනට ඉදිරි දර්ශනයක් නොමැතිවීම පිළිබඳ වගකිවයුත්තෝ මෙරට උගත්තු වෙති. සිංහල බෞද්ධයන් සිතන පතන ආකාරය ගැන අධ්‍යයනයක් කර බටහිර දැනුමට අභියෝගයක් වනසේ දැනුම් පද්ධතියක් නිර්මාණය නොකර ඔවුහු විවිධ බටහිර දැනුම් අනුකරණය කළහ. මෙය නවකතාව හා කෙටිකතාව ඇතුළු සිංහල සාහිත්‍යයෙහි ද බෞද්ධ දර්ශනයෙහි ද බටහිර මානව ශාස්ත්‍රවල ද සමාජ විද්‍යාවන්හි ද ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඉංජිනේරු ශිල්පයෙහි හා වෛද්‍යවිද්‍යාවෙහි ද ආදී වශයෙන් දැකගත හැකි ය. බටහිර දැනුම හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට සිංහල උගත්තු ඒ දැනුම ගෙඩිය පිටින් අනුකරණය කළහ. එහි තවත් පැත්තක් ද විය. බුදුදහම බටහිරයන්ට අවශ්‍ය කරන අන්දමෙන් විවරණය කිරීමේ ප්‍රයත්නයක් ද විය…. බෞද්ධ උගතුන් පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා බොහෝ විට ගියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට ය. එහි දී ඔවුන්ට ඉංගිරිසි ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලවල සම්ප්‍රදාය අනුගමනය කිරීමට සිදු විය. බුදුදහම ඊනියා ගුඩු දහමක් නො වේ යැයි බටහිර උගතුන්ට පෙන්වා තමන් ද ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක චින්තනයක් ඇති පිරිසක් ය යන්න බටහිරට හඬනගා කීම ඔවුන්ගේ අරමුණක් විය. බුදුදහම විද්‍යාත්මක යැයි කීමට පෙරට පැමිණියෝ ද ඔවුහු සහ බෞද්ධ විද්‍යාඥයෝ වූහ. කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයි කීවෝ ද ඔවුහු ම ය. ජාතක කතාව බටහිර කෙටිකතාවේ යථාර්ථවාදී රීතියෙන් ලියැවී ඇති බවට බොරු බේගල් පතුරවනු ලැබුවේ ද ඔවුන් විසින් ම ය. ඈරිස්ටෝටලීය න්‍යාය හා යථාර්ථවාදය නිරපේක්‍ෂකත්වය හා බටහිර විද්‍යාව ඇසින් බැලූකල නිවන ගුඩු දහමකි. අප එය එසේ නො වේ යැයි කීමට බියවිය යුතු නො වේ. නිවන වචනයෙන් පැවසිය හැකි නො වේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථදක්වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යැයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යැයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයක ද? බුදුදහම යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට එකඟ යැයි පැවසීම නිවට කමකි.

අද ලෝකයේ ඇත්තේ චින්තන තුනක් අතර සටනකි. ඒ බටහිරයන්ගේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයත්, මුස්ලිම් චින්තනයත්, ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයත් ය. ඉන්දියාව හා චීනය බටහිර චින්තනය අනුගමනය කරයි. අද රුසියාවේ ඇත්තේ තුන්වැනි චින්තනය ය. මේ චින්තනය ගසා කෑ කතෝලික චින්තනයේ මාක්ස්වාදය (නිරවුල් ව කිවහොත් ලෙනින් සැටැලින් වාදය) රුසියාවේත් පසුව නැගෙනහිර යුරෝපයේ ග්‍රීක ඕතොඩොක්ස් සංස්කෘතියේ රටවලත් ස්ටැලින්වාදී සමාජවාදයක් ගොඩනැගීමට උත්සාහ කළේ ය. කතෝලික චින්තනය මත පදනම් ව ෆැසිස්ට් රාජ්‍යයක් බිහිකළ හිට්ලර්ගේ පරාජයෙන් පසු පාප්තුමා ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සිරකරුවෙක් විය. ඔහු අද මු්‍රළුමනින් ම සේවය කරන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ය. පෝලන්ත ජාතිකයකු පාප් පදවියට පත්කරගත් බටහිරයෝ වැවෙන්සා මගින් පාප්තුමාගේ පිහිටෙන් පෝලන්තයේ ලෙනින් ස්ටැලින් වාදය පරාජය කළහ. ඒ ක්‍රියාදාමය අවසන් වූයේ බර්ලින් තාප්පය කඩාවැටීමෙනි. අද රුසියාවේ ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට විරුද්ධ එහෙත් එතරම් ශක්තියක් නැති ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයේ රාජ්‍යයකි. බටහිරයන්ට එරෙහිව ප්‍රබල සටනක් කිරීමට හැකියාව ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. එහෙත් මේ අතර ථෙරවාදී බෞද්ධ චින්තනය ද වෙයි. එවැනි රටවල්වලින් බටහිරයන්ට ඇත්තේ යුදමය තර්ජනයක් නොව ආධ්‍යාත්මික විකල්පයකි. පසුගිය අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ මේ රටවල් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට කා ඇත. පොල්පොට් සහ මියන්මාර හමුදා නිලධාරීන් පිළිවෙළින් කම්පූචියාවේ හා මියන්මාරයේ බෞද්ධ රාජ්‍ය පිහිටුවීමට වෑයම් කළ මුත් ඔවුන්ට පැහැදිලි දර්ශනයක් හා දැනුමක් නොමැතිවීම හේතුකොටගෙන බටහිරයන්ට ඔවුන් පරාජය කිරීමට හැකි විය. අද යමක් කළ හැකි ථෙරවාද බෞද්ධ රටවල්වලින් ඉතිරි වී ඇත්තේ ලංකාව පමණ ය. එහෙත් මෙරට අනුකාරක බෞද්ධ උගතුන් සමගින් බටහිරයන් පරාජය කිරීමට නො හැකි ය.

ලංකාව සිංහල බෞද්ධ රටක් වන්නේ නාමිකව ය. මෙරට සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි ය. දහසය වැනි බෙනඩික්ට් පාප්තුමා මේ මස අවසානයේ දී පාප් පදවියෙන් ඉල්ලා අස්වෙයි. එසේ පාප්තුමකු පදවියෙන් ඉල්ලා අස්වන්නේ අවුරුදු හයසියයකට පමණ පසුව යැයි කියැවෙයි. මේ හුදෙක් සෞඛ්‍ය හේතු නිසා කරන ඉල්ලා අස්වීමක් යැයි සිතීමට අපි මැළිවෙමු. මෙය පිටුපස සංස්කෘතික සටන වේ යැයි අපි සිතමු. ග්‍රීක් ඕතොඩොක්ස් චින්තනය, මුස්ලිම් චින්තනය හා ආයුධ ශක්තියක් නැති බෞද්ධ චින්තනය පරාජය කිරීමට නව පාප්තුමා යෙදා ගැනීමට බටහිරයෝ බලාපොරොත්තු වෙති. වර්තමානයෙහි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි වඩාත් ම ප්‍රබල ව ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික සංරචකය ය. ආර්ථික හා දේශපාලනික සංරචක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර (ස්වායත්ත) නොවූව ද සංස්කෘතික සංරචකය අද ශක්තිමත් ය. අද බටහිරයන්ට තර්ජනයක් එල්ලවිය හැකි එකම ථෙරවාද බෞද්ධ රට බවට පත් වී සිටින ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී අරගල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. චැනල් ෆෝ, මානව හිමිකම් කොමිසම ආදිය සංස්කෘතික සංරචකයේ උපකරණ වෙයි. අප ඔවුන් නොසලකා හැරිය යුතු ය. මාර්තු මාසයේ දී ඇමතිවරුන් ජෙනීවා නොගොස් නිලධාරීන් පමණක් යවන්නේ නම් එය අගය කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ කිසි දිනෙක මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ හිතවතකු නො වී ය. ඔහු හලාල් ප්‍රශ්නයෙහි දී සිිංහල බෞද්ධ ස්ථාවරයක් ගැනීමට වෑයම් කළේ පිරිසිදු චේතනාවකින් නම් විය නො හැකි ය. ඔහු අගමැතිව සිටිය දී පෘතුගීසීන් පැමිණීමේ පන්සියවැනි සංවත්සරය උත්සව ශ්‍රීයෙන් සැමරීමට යෝජනා කළේ ය. එයට පළමු ඔහු අගමැති ධුරයෙන් ඉවත්කිරීමට සිංහල බෞද්ධයෝ සමත්වූහ. පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ යෝජනාවක් අනුව ලංකාවේ පාර්ලිමේන්තුව අස්ව යන පාප්තුමාගේ ගුණ සැමරී ය. මෙරටට මහඟු සේවාවන් කර අපවත්වූ භික්‍ෂූන් වහන්සේලා කී නමකගේ ගුණ සිංහල බෞද්ධ යැයි කියන රටේ පාර්ලිමේන්තුවේ සමරා ඇත් ද? එහෙත් මට එයටත් වඩා ප්‍රශ්නයක් ඇත. නව පාප්තුමාට සුබ පැතීමට පාර්ලිමේන්තුව රැස්වේවි ද? සිංහල බෞද්ධයන් මේ කරන්නේ තම වළ තමන් ම කපා ගැනීම ද? පෝලන්තයේ සිදු වූ දේ මෙරට ද සිදු වීමට ඉඩක් ඇද්ද?

හලාල් ප්‍රශ්නය ඇතිවූයේ බටහිර ක්‍රිස්තියානි –- මුස්ලිම් සංස්කෘතියේ ගැටුම නිසා ය. අප ගිය සතියේ ද කී පරිදි මෙරට ආහාර ප්‍රතිපත්තිය යුදෙව් ක්‍රිස්තියානි ය. බටහිර ආධිපත්‍යයෙන් අපි ජීවන රටාව ද වෙනස් කර ගත්තෙමු. අද මුස්ලිම් සංස්කෘතිය මුළු ලෝකයේ ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කරයි. හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිමුන් පෙළඹෙන්නේ එබැවිනි. ඒ ගැන අපට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය වනුයේ හලාල් භාණ්ඩ මුස්ලිම් නොවන්නන්ට ද පරිභෝජනය කිරීමට බල කිරීම ය. මේ ප්‍රශ්නය හින්දු, කතෝලික, ක්‍රිස්තියානි භක්තියනට ද බලපාන නමුත් බෞද්ධයන් පමණක් ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය බළලුන් ලවා කොස් ඇට බා ගැනීමේ ක්‍රියාවක් අනුගමනය කළේ ද? ඒ කුමක් වුවත් ප්‍රශ්නයට පිළිතුර පෙබරවාරි 10 වැනි දා ඉරිදා දිවයිනෙන් ද පෙබරවාරි 20 වැනි දා අයිලන්ඩ් පූවත්පතෙන් ද ඉදිරිපත් කළෙමු. හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීමට මුස්ලිමුන්ට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අදාළ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර භාණ්ඩවලින් යම් ප්‍රතිශතයක් (මුස්ලිම් ජන අනුපාතය හා පරිභෝජනය සලකමින්) පමණක් හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර හලාල් සහතිකය සමගින් නිකුත්කිරීමට වගබලාගැනීම ය. එහි දී ආණ්ඩුව සහතික නිකුත් කිරීමට මැදිහත් නොවිය යුතු ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ය. අප පෙබරවාරි 10වැනි දා කී පරිදි “එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.” මෙය හුදෙක් උලමාවරුන්ගේ කරුණාව නිසා සිදුවිය යුත්තක් නොවේ.

සංස්කෘතික වශයෙන් ද තවත් වැදගත් කරුණක්් වන්නේ ආසනික් ය. ආසනික් සම්බන්ධයෙන් කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම දිගින් දිගට ම කී දේ දැන් තහවුරු වෙමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලද තම අවසන් වාර්තාවෙන් රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික් අතර ඇති සම්බන්ධය හෙළිදරවු කරයි. මෙහි දී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වාසි සඳහා ආසනික් සම්බන්ධයෙන් රජයට එරෙහිව කරන කතා අපි ප්‍රතික්‍ෂේප කරමු. රෝසි සජිත් දයාසිරි කණ්ඩායම අපට දැනුම ලැබුණු ආකාරය පිළිගන්නේ ද? ආසනික් හෙළිදරවුවේ දී වැදගත් ම කාර්යයන් කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය ය. සේනානායක මහත්මිය නොවන්නට අපට ආසනික් පිළිබඳ දැනුම නාථ හා විපස්සක දෙවිවරුන්ගෙන් (ඔවුන් කවුරුන් වුවත්) නොලැබෙනු ඇත. එයටත් වඩා පරණගම මහත්මිය අපහාස බාධක හමුවේ කරන ලද පර්යේෂණ නොවන්නට බටහිර විද්‍යාවට අනුව ආසනික් ඇති බව පෙන්වීමට නොහැකි වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන මගේ ගෞරවයක් නැතිවුවත් දෙවිවරුන්ගෙන් ලත් දැනුම ඔවුන් ලවා ද සනාථ කරවීමට ලැබීම ගැන මම සතුටු වෙමි. පරණගම මහත්මිය කවදා නමුත් ජාතික සම්මානයක් ලැබිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් පසු දෙවියන් භූතයන් ඇති බව කසිකබල් ද්‍රව්‍යවාදීන්ට ද පිළිගැනීමට සිදුවෙයි. එහෙත් එක් රූපවාහිනී නාළිකාවක් හැර අනෙක් මාධ්‍ය වාර්තාවක් නැති අයුරෙන් කටයුතු කළේ ය. වාර්තාවට ප්‍රසිද්ධියක් දුන් නාළිකාව අතුරලියේ රතන හාමුදුරුවන්ට ප්‍රසිද්ධිය දෙමින් උන්වහන්සේ ලවා තමන්ට සහතිකයක් නිකුත්කර ගැනීමට කටයුතු කළේ ය. සියල්ලන්ට කැලණිය අමතක විය. එක් දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවිය ජයසුමන මහතාගේ ප්‍රකාශයක් මත පදනම් වන්නේ යැයි කිියමින් සේනානායක මහත්මියගේ ද පරණගම මහත්මියගේ ද සේවය නොතකා හැරියේ ය. ඔවුහු කැලණි රජරට කණ්ඩායමක් ගැන කතා කළෝ ය. රජරට ජයසුමන මහතා පරීක්‍ෂණයට සම්බන්ධවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස ය. ඔහුට අකුල් හෙළන කුහක ඇදුරන්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද පරණගම මහත්මියට ය. ඒ කුමක් වුවත් අපට වැදගත් කමක් නැති වුවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවෙන් ආණ්ඩුවට කෘෂිරසායන සම්බන්ධයෙන් කෙටිකාලීන පියවර ගැනීමටත් දිරඝකාලීනව කෘෂිරසායන තහනම් කිරීමටත් බලකෙරෙයි. වකුගඩු රෝගයෙන් මිනිසුන් මියයද්දී ආණ්ඩුවට කෘෂිරසායන සමාගම්වලට යටවීමට ඉඩ දිය නො හැකි ය.

(2013/02/24)

Tuesday, 12 March 2013

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - I

නැවතත් සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර අසහනයක් පැන නැගෙමින් ඇත. එය මෙවර මුස්ලිම් බලපෑම් හේතුකොටගෙන ඇතිවන අසහනයක් ලෙස මතුවෙයි. නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය, හලාල් සහතික, කූරගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම්වරුන් අයිතිකරගැනීම, නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයනට අහිමි වීමට යෑම, ආදී වශයෙන් මේ අසහනය ප්‍රකාශ වෙයි. එහි දී මුස්ලිම් ජනයාට හිරිහැර කරන සිංහල බෞද්ධයන්ගේ අඬු කඩන බවට ඇමතිවරයකු තර්ජනය කර ඇතැයි පැවසෙයි. එවැනි තර්ජනයක් කෙරිණි දැයි මම නො දනිමි. එහෙත් තමන්ට ඡන්දය දෙන සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වුවත් වෙනත් ජනවර්ගයකට එලෙස තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වේ යැයි සිතිය නො හැකි ය. බොහෝ සිංහල දේශපාලනඥයන්ට තමන් මන්ත්‍රීවරුන් වන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් බව අමතක වෙයි. එය අමතක වීමකටත් වඩා සිංහල බෞද්ධයන් නිවටයන් ලෙස සැලකීමට පුරුදු වී ඇති නිසා යැයි ද සිතිය හැකි ය. කිසියම් දේශපාලනඥයකු සිංහල බෞද්ධයන්ගේ අඬු කඩා දැමීමට කතාකර ඇත්නම් ඡන්දදායකයන් කළ යුත්තේ ඔහුගේ මන්ත්‍රීධුරය ලබන වර අහිමිකර අඬුකඩා තටු ගලවා දැමීම ය. මේ අතර බොහෝ බෞද්ධයන් ප්‍රසිද්ධියේ නො කීව ද රජයේ උසස් යැයි සම්මත තනතුරු, විවිධ රාජ්‍ය හා වෙනත් සම්මාන සිංහල බෞද්ධ නොවන්නන්ට හිමිවීම පිළිබඳ මැසිවිලි නගන බව රහසක් නො වේ. එවැනි තනතුරක් හෝ සම්මානයක් හෝ ලැබීමට අඩුම තරමින් කලත්‍රයාවත් එක්තරා ආගමකට අයත්විය යුතු බවට කතාවක් පැතිර ගොස් ඇත.

මේ අසහනය පවතින්නේ බොහෝ විට මධ්‍යම පාංතිකයන් අතර ය. එහෙත් සිද්ධස්ථන බෞද්ධයනට අහිමිවීම පිළිබඳ ප්‍රශ්නය සමාන්‍ය බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ද වෙයි. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයනට ප්‍රශ්න නැත්නම් පමණක් අප පුදුම විය යුතු ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් හැමදාමත් වැඩියෙන් බැටකෑවේ සිංහල බෞද්ධයන් ය. කිසිම ප්‍රබුද්ධකමක් හෝ නිර්මාණශීලීත්වයක් හෝ නැති සරසවි ඇදුරන් ද තම ව්‍යාජ වීරත්වය ප්‍රසිද්ධයට පත්කරගන්නේ සිංහල බෞද්ධයන්ට බැට දීමෙනි. ඔවුන්ගේ නායකයකු පසුගිය දා කියා සිටියේ ජූලම්පිටියේ අමරේ ද බිහි වී ඇත්තේ මෙරට ජාතික චින්තනය හෝ ජාතික චින්තන ව්‍යාපාරය හෝ හේතුකොටගෙන බව ය. කිසිදාක ප්‍රවාදයක් ඉදිරිපත් කර නැති මෙවැන්නන්ගේ ප්‍රකාශවල කිසිම සංගත බවක් නැත. මොහුට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ජාතික චින්තනයේ ප්‍රතිඵලයක් බව කියා ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ජූලම්පිටියේ අමරෙලා බිහිවී ඇති බවත් කීමට ය. ඔහුට අනුව මේ ආණ්ඩුවෙන් වෙනත් කිසිවක් කෙරී නැත. චොප්පෙලා, ගෝනවිල සුනිල්ලා ද බිහිවූයේ ජාතික චින්තනය නිසා ද යන ප්‍රශ්නය නැගිය හැකි වුවත් මේ කසිකබල් සරසවි ඇදුරන්ට අසංගත කරුණු දැක්වීම් ගැන කියා දීමේ ප්‍රතිඵලයක් නැත. මේ ආණ්ඩුව හා ජාතික චින්තනය අතර සම්බන්ධයක් නැත. ගුණදාස අමරසේකර මහතා ජාතික චින්තනය යැයි හඳුන්වන්න හා මා ජාතික චින්තනය යැයි හඳුන්වන්න අතර ප්‍රබල වෙනස්කම් ඇති නමුත් ඒ මහතා ද ඉහත සඳහන් කියමන සමග එකඟවන්නේ යැයි සිතමි. එසේ වුවත්, එනම් ජාතික චින්තනය හා ආණ්ඩුව අතර සම්බන්ධයක් නැතිවුවත් බටහිරයන් (හා ඉන්දියාව) විසින් ඇති කෙරී පෝෂණය කෙරී ඔවුන්ගේ අනුග්‍රහයෙන් හැදුණු වැඩුණු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ආණ්ඩුවත් ජාතික චින්තනයත් එකට සිටි බව නම් අපි පිළිගනිමු. එහෙත් එතැනින් ඔබ්බට යන සම්බන්ධයක් ආණ්ඩුව හා ජාතික චින්තනය අතර නැත. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව නිසි පියවර ගෙන ඇතැයි අපි නො සිතමු.

නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය නිසි අයුරෙන් විසඳී නැත. ප්‍රශ්නය වූයේ කවරදාවත් නැතිව මෙවර ජන අනුපාතයට වඩා ඉතා ඉහළ අනුපාතයකින් මුස්ලිම් සිසුන් නීති විද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත්වීම ය. මුස්ලිම් සිසුන් හදිසියේ උගත්බවක් අත්කර ගැනීමට තරම් හේතුවක් අපි නො දකිමු. ප්‍රශ්නයට හේතුව සිංහල ප්‍රශ්නපත්‍රවල පරිවර්තනයේ වරදක් යැයි පැවසෙයි. ඒ ගැන අපට යමක් නිශ්චිත ව කිව නො හැකි ය. කෙසේ වෙතත් පරිවර්තන හා වෙනත් දෝෂ ඇතිවිය හැකි බැවින් මාධ්‍ය අනුව උසස් පෙළ ආදී පරීක්‍ෂණවල දී ලකුණු ප්‍රමිතිකරණය කළ යුතු යැයි අප කියා සිටින්නේ් බොහෝ කලක සිට ය. එහෙත් මේ රටේ එයට විරුද්ධත්වයක් පැන නැඟෙයි. ප්‍රමිතිකරණය යනු කුමක්දැයි නොදන්නා ජඩමාධ්‍යවේදියකු අවුරුදු පහළොවකට පමණ ඉහත දී ප්‍රමිතිකරණයට විරුද්ධ විය. ප්‍රමිතිකරණය යනු කුමක් දැයි ඇසු විට ඔහු නිහඬ විය. බොහෝ දෙනා නොදනිතත් ඉසෙඩ් ලකුණූ ක්‍රමයෙන් කෙරෙන්නේ විෂය අනුව ප්‍රමිතිකරණයකි. එය භාෂා මාධ්‍යයෙන් ද කෙරෙන ප්‍රමිතිකරණයක් දක්වා දික්කළ යුතු ය. මේ ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නො වේ යැයි කියා ඇඟ බේරාගැනීමට ආණ්ඩුවට නො හැකි ය. ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නවල දී තීරණ ගැනීම ආණ්ඩුවේ කාර්යභාරය වෙයි. එසේ වුවත් නීති විද්‍යාල ප්‍රශ්නයේ දී කෑ ගසන බොහෝ විට මධ්‍යම පාංතිකයන් වූ සිංහල සිසුන් රෝම ලන්දේසි නීතියට විරුද්ධව කටයුතු කිරීමට සූදානම් ද ? අඩුම තරමෙන් ඔවුන්ට එහි ප්‍රශ්නයක් ඇති බවවත් පෙනෙන්නේ ද? අප පාලනය වන්නේ අපේ සංස්කෘතියට විරුද්ධ වූ සංස්කෘතියක බිහි වූ නීති පද්ධතියකින් බවට ඔවුන්ට තේරුම් ගත හැකි ද? නීතිය ද ඇතුළු මුළු මහත් බටහිර දැනුම ම අපට විරුද්ධ ය. එහෙත් ප්‍රශ්නය එයට වඩා බොහෝ දුර දිග යයි. අවාසනාවකට සිංහල බෞද්ධ මධ්‍යම පංතියට එහි බැරෑරුම්කම නො තේරෙයි.

බටහිර දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වුවත් නැතත් ඒ දැනුම පට්ටපල් බොරුවකි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතියට හෝ බුදුදහමට එරෙහිව යෑම අපට ප්‍රශ්නයක් නො වේ. පුදුමය එසේ නොවූවා නම් ය. එකිනෙකට විරුද්ධ වූ චින්තන දෙකක් මත පදනම් ව විරුද්ධ සංස්කෘතින් දෙකක බිහිවූ දැනුම් පද්ධති දෙකක් අතර විරුද්ධකම් තිබීම අපට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් විය හැක්කේ ප්‍රශ්න පටළවා තම ව්‍යාජ පාණ්ඩිත්වය රැක ගැනීමට උත්සාහ දරන පුස්සන්ට පමණ ය. අපට වැදගත් වන්නේ වෙනත් ප්‍රශ්න ය. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම උද්ගමනය මත පදනම්ව ගොතන ලද බොරු කතන්දර වීම, බටහිර දැනුම් ආධිපත්‍යය අප මත බලෙන් පැටවීම, බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන මැත දෙඩවීම, මෙරට බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදනු ලැබූ කසිකබල් උගතුන් (ඔවුහු කසිකබල් උගත්තු පමණක් ම වෙති) බටහිරයන් විසින් යොදා ගැනීම ආදිය එහි දී ප්‍රධාන වෙයි. අපේ දැනුම් පද්ධතියක් ගොඩනැගීමට බටහිරයෝ අපට ඉඩ නො දෙති. පසුගිය දා ඇති වූ ආසනික් ප්‍රශ්නයේ දී එය මනාව පැහැදිලි විණි. මා බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ යන කෘතිය පළ කළේ ඒ කරුණු ඉස්මතු කිරීම සඳහා මිස බටහිර විද්‍යාව බුදුදහම සමග එකඟ නොවන්නේ ය යන්න කීම සඳහා නො වේ. ලබන බදාදා ජේ ආර ජයවර්ධන කේන්ද්‍රයේ දී ඒ පොත පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ම බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුව හා ආධිපත්‍යය සාකච්ඡා කිරීම සඳහා ය. ඒ සාකච්ඡාව වෙනත් පැත්තකට යොමු නොකිරීමට වග බලාගත යුතු ය. එය සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට වැදගත් වේ යැයි සිතමි.

හලාල් ප්‍රශ්නය කිසි විටෙකත් හලාල් සහතික විරෝධීන් අතින් නිසි ලෙස ඉදිරිපත් නො විණි. එහි දී කවරදාවත් නැතිව රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ ස්ථාවරයක් වැන්නකට තල්ලු වීම ගැන අප දෙවරක් නොව දසවරක් සිතිය යුතු ය. හලාල් යන්නෙහි තේරුම අනුමත කිරීම බව පැවසෙයි. එනම් මුස්ලිම්වරුන්ට පරිභෝජනය කිරීම සඳහා අනුමත කිරීම ය. අප රට නමට වුවත් සිංහල බෞද්ධ රටකි. එංගලන්තය හා ඇමරිකාව ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙහි ක්‍රිස්තියානි රටවල් වන්නාක් සේ ම ඉන්දියාව හින්දු රටක් වන්නා සේ ම, පකිස්ථානය මුස්ලිම් රටක් වන්නා සේ ම අප රට ද සිංහල බෞද්ධ රටකි. ඒ රටවල ව්‍යවස්ථාවල කුමක් සඳහන් වුව ද ඒ කිසිදු රටක් ඓහික (අනාගමික) රාජ්‍යයක් පවත්නා රටක් නො වේ. ඔබාමා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ බයිබලයේ අත තබාගෙන මිස ඔහුගේ සීයාගේ ආගමේ කෝරාණය මත අත තබාගෙන නො වේ. ඔහු ඇමරිකාවේ (ක්‍රිස්තියානි) ව්‍යවස්ථාව රැකීමට දෙවියන් වහන්සේගේ උදවු පැතීය. පසුගිය දා හින්දි තීරයේ ජනප්‍රිය නළුවකු වූ ෂාරුක් ඛාන් තමාට ඉස්ලාම් භක්තිකයකු වීම නිසා ඉන්දියාවේ මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු ගැන කතා කළේ ය. එය ගොඩින් වසා දැමීමට ඉන්දියාවට බටහිර රටවල ද සහාය ලැබිණි. ඒ බටහිර රටවල් මුස්ලිම් සංස්කෘතියට ඇති විරෝධය නිසාත් ඉන්දියාව අද බටහිරයනගේ අතකොළුවක් වී ඇති නිසාත් ය. යම් අයුරකින් මෙරට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ නළුවකු තමන්ට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ වීම නිසා අසාධාරණකම් සිදුවේ යැයි කීවේ නම් බටහිර මාධ්‍යය විශේෂයෙන් ම බීබීසිය හා එහි අගුපිලේ ඇති සන්දේශය කෙසේ ක්‍රියා කිරීමට තිබිණි ද?

අප රට සිංහල බෞද්ධ වන්නේ නමින් පමණකි. ක්‍රියාවෙන් අප තවමත් ක්‍රිස්තියානි නූතනත්වයේ රටකි. අප අනුගමනය කරන්නේ චොප්පෙලා බිහිකරන ඇමරිකන් ආයුධ සහිත මිනීමරන සංස්කෘතිය මිස සිංහල බෞද්ධ සංස්කෘතියක් නො වේ. බටහිරයන් ආරම්භ කර ජේ ආර් ජයවර්ධන වර්ධනය කළ බටහිර ක්‍රිස්තියානි යුදෙවු සංස්කෘතිය පරාජය කිරීමට තවමත් සිංහල බෞද්ධයන්ට නොහැකි වී ඇත. සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට කතාකරන ඇමතිවරුන් ඇතැයි කියන රටක ආණ්ඩුව එසේ කරාවි යැයි සිතිය නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපන හිණිමගේ ඉහළට නැගීමට තම ජීවිතය ම කැපකරන සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට සිංහල බෞද්ධත්වයක් අවශ්‍ය නැත. ඔවුහු ඕල්කට් බෞද්ධයෝ වෙති. රනිල් වික්‍රමසිංහ හලාල් ප්‍රශ්නයේ දී පෙරට ආවේ සිංහල බෞද්ධත්වයක් නිසා නොව ඒ ඔස්සේ ආණ්ඩුවට මඩ ගැසීමටත් හැකිනම් භේද මගින් ආණ්ඩුවට ප්‍රශ්න ඇතිකිරීමටත් ය. යම්කිසි ආකාරයකින් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් මෙරට ඇතිවුවහොත් එහි වාසිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ය. බටහිර යටත්විජිතවාදයට ය. රනිල් වික්‍රමසිංහ රවි කරුණානායක ආදීන් පමණක් නොව සජිත් ප්‍රේමදාස ද නියෝජනය කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය. එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.

Saturday, 8 December 2012

ආත්මාභිවර්ධණය

කිසි හිරියක් සංයමයක් නැතිව තම අභිවෘද්ධිය තකාම වැඩ කටයුතු කිරීම ශීලාචාර නොවෙන බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ හැඟීමය. එසේ සිතන්නේ කිසිවෙක් තම අභිවෘද්ධිය උදෙසා කටයුතු නොකර ඉඳිනා නිසා නොවේ. නමුත් එලෙස කටයුතු කිරීමේදී යම් සංවර බවක් නිහතමානී බවක් හා යම් සීමාවක් තිබිය යුතුය යන්න ඔවුන්ගේ අදහසය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල එලෙස නිහතමානී වීම හුදෙක් කෙනෙකුගේ සද් ගුණයක් පමණක් නොවේ එය ඔවුන්ට සදාචාරාත්මක රීතියකි. ඒ නිසා යමෙකු කිසි හිරියක් සංයමයක් නැතිව තමන් වෙනුවෙන් වැඩ කටයුතු කරනු දැකීම සිංහල බෞද්ධයන්ට රුස්සන්නේ නැත. නමුත් බටහිර සංස්කෘතිය මේ ශීලාචාර බව පිළි නොගනී. බටහිර සංස්කෘතිය තුල අයෙකුට තම අභිවෘද්ධිය උදෙසා සිත් සේ කටයතු කිරීමට සදාචාරාත්මක වැට කඩොලු නැත. අනුන්ගේ ඒ අයිතියට බාධාවක් නොවන තාකකල් (ඔවුන් සිතන පරිදි) තම අභිවෘද්ධිය උදෙසා තමුන්ට රිසි පරිදි වැඩ කර ගැනීමට අයිතියක් ඇතැයි ඔවුහු සලකති. අද බටහිර සංස්කෘතිය ඔවුන්ගේ මේ අශීලාචාර බව ශීලාචාර බවක් ලෙස සලකන්නට අපට බල කර සිටී. එමඟින් ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට තැත් කරති. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්‍ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති.

පෘතග්ජන වූ අපි මේ භවය පුරා මිල මුදල් යාන වාහන ඉඩ කඩම් නෑදෑ හිත මිතුරන් දූ දරුවන් බල පුලුවන්කාරකම් ගරු නම්බුකාරකම් එක් රැස් කරමින් සිටින්නෙමු. මේ සියලු දේ එකතු කිරීමෙන් කෙරන්නේ මම යන සංකල්ප අප තුල තවදුරටත් තහවුරු වීමය. ඒ නිසා ඒ දෑ කෙරෙන්නේ ආත්ම අභිවෘද්ධිය සඳහායැයි සැලකිය හැකිය. නමුත් ආත්ම අභිවෘද්ධිය අරභයා කරන කටයුතු වලින් අවසානයේ දුකක් ගෙනදෙන බව අවබෝධ නොවුනත් අඩු තරමින් එය එසේ වේ යැයි දැඩි විශ්වාසයක් අප තුල ඇත. ඒ බුදුන් වහන්සේ විසින් සියලු දෑ අනාත්මයැයි වදාරා ඇති බැවිනි. බුදු බණ අනුව යමින් අපි මතු භවයකදී හෝ අනාත්ම බව අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තු වෙන් සිටින්නෙමු. ඒ නිසා මේ භවයේ දීත් සිංහල බෞද්ධයන් ආත්ම අභිවෘද්ධිය අරයා වැඩ කරන්නේ ලැජ්ජා භය ඇතුවය. සංයමයකින්ය.

ආත්මාභිවර්ධණය හරහා පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමක්ද සිදුවේ. සිංහල බෞද්ධ දැනුමට අනුව ලෝකයෙන් ස්වායත්තවූ මම යැයි කෙනෙකුගේ පැවැත්මක් අප විසින් වෙන් කර ගන්නේ අවිද්‍යාව නිසාය. ලෞකික වශයෙන්ද සිංහල බෞද්ධ සමාජය තුල අයෙකුට කැපී පෙනීමට එතරම් බධාවක් නැති වුවත් වෙන් වී සිටීමට එතරම් ඉඩක් නොදෙන්නේ මේ දැනුම පදනම් කරගෙන විය යුතුය. වෙන්වීමට ඉඩ නොදීමේ ලක්‍ෂණය අප සංස්කෘතියේ පුද්ගල නාම භාවිතා වෙන ආකාරයෙන්ම පිළබිඹු වෙයි. සිංහලයන් ගේ නම් යෙදෙන්නේ එක්කෝ අහවලා ගේ අහවලා නැත්නම් අහවල් ගමේ අහවලා යන ආකාරයටය. එහි පුද්ගලයාට ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මකි. ඔහු සමාජයෙන් ස්වායත්තව පවතින අයෙකු නොවේ. ඒ අනුව යමින් ශ්‍රී ලාංකිකයෝ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ සමාජයෙන් ස්වායත්තව කටයුතු කිරීමට ලැජ්ජාවක් සහ බයක් දක්වති.

අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ බුදු දහමින් ලද ආභාශය නිසා ආත්ම අභිවර්ධණය කෙරෙහි වූ මේ ලැජ්ජා භය අද අපේ සංස්කෘතියේ සදාචාරාත්මක රීතියක් බවට පත් වී ඇත. අප විසින් පමුණුවා ගත් මෙවැනි සදාචාරාත්මක රීති අප සමාජය සමස්තයක් ලෙස බුදු මඟට යොමු කරවන බව පැහැදිලිය. පරම්පරාවෙන් පරම්පරාවට මේ ගතිගුණ දායාද කර දීමට අපට හැකි වී ඇත්තේද එය සදාචාරාත්මක රීතියක් ලෙස සමාජ සම්මත වී තිබෙන නිසාවෙනි. අවසානයේ ජාතියක් වශයෙන් අපගේ පැවැත්ම රඳාපවත්නේද මේ සදාචාරාත්මක රීති රැක ගැනීම මතය. මේ නිසාම ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට බටහිරයෝ අද වලිකති. ආත්මාභිවර්ධණය සුභවාදීව දකින යුදෙව් ක්‍රිස්තියානි චින්තනය එය අසුභවාදීව දකින සිංහල බෞද්ධ චින්තනයට හාත්පසින්ම විරුද්ධය. ඔවුහු තම ආධිපත්‍යය උපයෝගී කර ගනිමින් ආත්මාභිවර්ධණයට හරස් කැපීම පුද්ගල නිදහස සීමා කිරීමක් බවත් එවැනි සදාචාරාත්මක රීති පවත්වාගෙන යාම මිනිස් විකසනයේ ආපස්සට යාමක් බවත් කියමින් අපේ සදාචාරාත්මක දැනුම යටපත් කරන්නට උත්සාහ කරති. නමුත් ඒ උත්සාහය පදනම් විරහිතය.

අපෙන් සැඟවුවත් බටහිර සංස්කෘතියේද මේ ආකාරයේ නමුත් මීට විරුද්ධ අදහසක් ඇති සදාචාරාත්මක රීතියක් ඇත. ඊට අනුව පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරෙන අතර ඔහු තම ආත්මාභිවර්ධණය සඳහා කටයුතු කල යුතුවේ. බටහිර සංස්කෘතිය තුල අවශ්‍යය අයෙකුට සමාජය හා බැඳී සිටීමට ඉඩක් නැත. ඔවුන් සමාජයෙන් වෙන් කරනු ලබන්නේ අප සංස්කෘතියට අනුව නම් හයක් හතරක් නොතේරෙන කුඩා අවධියේ දීමය. මෙසේ වෙන් කෙරෙන දරුවා මහලු විය දක්වාම තමාගේ පැවැත්ම උදෙසා ආත්මාභිවර්ධණය කර ගත යුතුය. මේ රීතියට එරෙහි වන්නන් බටහිර සමාජයට රුස්සන්නේ නැත. ඒ බටහිර සංස්කෘතියේ සදාචාරයය. එය මිනිස් විකසනයේ ඉදිරියට යාමක්ද ආපස්සට යාමක්ද යන්න අවශ්‍ය අයෙකුට තීරණය කල හැකි නමුත් හුදෙක් සදාචාරාත්මක රීති පැණවීම ගැන අපට එරෙහි වීමට බටහිර සංස්කෘතියට ඉඩක් නැත්තේ එම සංස්කෘතියේද එවැනි රීති ඇති නිසාය.

ඊළඟට බටහිරයන් පවසනු ඇත්තේ ආත්මාභිවර්ධණයට බාධා කිරීම තුලින් අපි පුද්ගලයින්ගේ නිදහස සීමාකරන බවය. එක් අයෙකුගේ ආත්මාභිවර්ධණය තව කෙනෙකුගේ ආත්මාභිවර්ධණයට බාධාවක් නොවේ නම් එහි ඇති වරද කුමක් දැයි ඔවුන් අසනු ඇත. එවිට අප පෙරළා ඇසිය යුත්තේ අන් අයට කිසි බලපෑමක් නොකර තම ආත්ම අභිවෘද්ධිය අරභයා සීමා රහිතව කටයුතු කර ගෙන යාමට කෙනෙකුට හැකිද කියාය. එය කල නොහැකිය. ආත්මාභිවර්ධණයට බටහිර සංස්කෘතිය තුල සදාචාරාත්මක වැට කඩොළු, එනම් ස්වයං බාධක, නැති බව සත්‍ය නමුත් කෙනෙකු එසේ කටයුතු කිරීමේදී බාහිරෙන් ඇතිවෙන බලපෑම් වලට අනිවාර්යයෙන් මුහුණ දීමට සිදුවේ. එහිදී එක්කෝ ඔහු තම කටයුතු සීමා කර ගත යුතුය නැත්නම් ඒ බාහිර බලපෑම් සමඟ ගැටුම් ඇති කර ගත යුතුය. එසේ තම කටයුතු සීමා කර ගන්නේ නම් එය පුද්ගල නිදහස සීමා වීමකි. අද බටහිර සමාජ ක්‍රමයට ජීවත්වන අප සියලු දෙනාම පාහේ යම් යම් පමණින් අපේ පුද්ගල නිදහස සීමා කරගෙන සිටින්නෙමු. නමුත් එය නිදහස සීමාවීමක් නොව ඊනියා දියුණු ජීවන රටාවක ලක්‍ෂණයක් යැයි සිතන්නට බටහිර සංස්කෘතිය විසින් අපව පුරුදු කර ඇත.

මම මා මගේය යන හැඟීම් වර්ධනය කර ගැනීම හා මම සෙසු ලෝකයෙන් වෙන් කර ගැනීම, එනම් ආත්මාභිවර්ධණය, සුභදායක බව යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ පූර්වාදර්ශයයි. බටහිර ආර්ථික-දේශපාලණ-සමාජ ක්‍රමය ගොඩනැඟී ඇත්තේ මේ පූර්වාදර්ශයේ පිහිටාය. මේ ක්‍රමය තුල ආත්මාභිවර්ධණයෙහි යෙදෙන පුද්ගලයා මැඩපවත් වන්නේ ඔහුගේ අභ්‍යන්තරයෙන් ඇතිකර ගන්නා ලැජ්ජා භය හෝ සංයමය නොව ඔහුගෙන් පිට බලවේගය. ඔහු වඩ වඩා ආත්මාභිවර්ධණයෙහි යෙදෙන විට මේ බාහිර බලවේග මඟින් ඔහුගේ නිදහස වඩා වඩා සීමා කරයි. අද මේ හිරවීම බටහිර රටවල මිනිසුන්ට පමණක් නොව කොළඹ නගරයේ වෙසෙන සාමාන්‍ය වැසියකුට පවා අත් විඳින්නට සිදුවී ඇත්තේ ඔහුද බටහිර ආරටම කල් ගෙවන නිසාවෙනි. ඔහු තම නිවසේදීත් රැකියාවේදීත් අතරමඟදීත් තමන්ට වැඩ කර ගන්නට යාමේදී පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු අපමණය. ඔහුට අනිකුන් අභිබවා තමන්හට කර ගන්නට නම් උදාහරණයක් වශයෙන් රැකියාවේ ඉහලට යන්නට අවශ්‍යය නම් පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටි ඊටත් වඩා වැඩිය. මේ සියලු දෙයින් සිදු වන්නේ ඊනියා පුද්ගලික නිදහස සාපේක්‍ෂ ලෙස සීමා වීම නමුත් ඒ බව පිළිනොගන්නේ බටහිර දැනුමේ ඇති කුහක බව නිසාය. අපි මේ බව අවබෝධ කර ගත යුතුය.

බටහිරුන් ආත්මාභිවර්ධණය සුභදායක යැයි සිතන තාක් කල් බාහිර බලපෑම් වලින් ගැලවීමක් නැත. ප්‍රජාවක් ලෙස මේ කාර්යයේ නියැලෙන විට තත්වය ඊටත් වඩා දරුනුය. එවිට ඔවුන් එම ප්‍රජාවෙන් බාහිර වූ සත්ව-මිනිස් සමාජය සමඟත් පරිසරය සමඟත් ගැටුම් ඇති කර ගනී, හැකි නම් ඒ බාහිර බලපෑම් විනාශ කිරීමට කටයුතු කරයි. බටහිරයන් පසුගිය අවුරුදු පන්සියයක් පමණ කාලයක් තිස්සේ කර ගෙන එන්නේ එයයි.
ආත්මාභිවර්ධණය පිළිබඳ ලැජ්ජා භයක් සංවරයක් ඇති කර ගැනීම, එසේත් නැත්නම් එය අභ්‍යන්තරයෙන්ම මැඩ පවත්වා ගැනීම තමාගේත් හුදු මහත් ලෝකයාගේත් හිත සුව පිණිසවේ. එය අපේ සදාචාරාත්මක දැනුමය. එයට පහර දීමට තරම් බටහිර දැනුමට ශක්තියක්වත් පදනමකවත් නැත.

ජානක වංශපුර

Friday, 23 November 2012

වියුක්ත මිනිසා


මිනිස්සු කුලකයක සාමාජිකයෝ වෙති. මිනිස්සු යනුවෙන් මෙහි දී පිරිමි මෙන් ම ගැහැණු ද සැලකෙති. මිනිස් කුලකයෙහි සාමාජිකයන් අවශේෂ සත්වයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ය. අවශ්‍ය නම් සියලු සත්වයන්ගේ කුලකය ගෙන මිනිස් කුලකය සත්ව කුලකයෙහි උපකුලකයක් ලෙස සෑලකිය හැකි ය. එමෙන් ම පිරිමින්ගේ කුලකය මිනිස් කුලකයෙහි උප කුලකයක් ලෙස සෑලකිය හැකි ය. ඒ කුමන ආකාරයකට සැලකුවත් යම් කුලකයක හෝ උප කුලකයක හෝ සාමාජිකයන්ගේ හෝ අවයවවල යම් පොදු බවක් දැකිය හැකි ය. සියළු මිනිසුන්ට පංචෙන්ද්‍රිය පොදු ය. ඇතැම් අයකුගේ ඉන්ද්‍රියක හෝ කිහිපයක හෝ අඩුපාඩුවක් තිබිය හැකි නමුදු එය මෙහි දී වැදගත් නො වේ.

එසේ පොදු බවක් තිබුණ ද ඒ ඒ මිනිස්සු අසමාන වෙති. මේ පොදු බව හා පොදු බවට අමතර ව ඇති විශේෂිත්වය තේරුම් ගැනීම වැදගත් ය. බටහිර විද්‍යාව රඳා පවතින්නේ පොදු බව මත ය. බටහිර විද්‍යාවෙහි අනෙක් දැනුම් පද්ධතීන්වල නොමැති විශේෂිත ක්‍රම වේදයක් හෙවත් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැත. එහි ඇත්තේ චින්තනමය වූ වෙනසකි. පහළොස්වැනි සියවසේ අගභාගයෙහි බටහිර බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කුලකයක අවයවවල ඇති පොදු බව කෙරෙහි අවධානය දැක්විණි. මිනිසුන්ගේ කුලකයෙහි පොදු අවයවය මිනිසා ලෙස හැඳින්විණි. එමෙන් ම බල්ලන්ගේ කුලකයෙහි පොදු අවයවය බල්ලා ලෙස හැඳින්විණි. බල්ලා යනු අප දන්නා අසවල් බල්ලා (the dog) හෝ බල්ලකු (a dog) හෝ නො වේ. බල්ලා යනු පොදු බල්ලා ය. සිංහලයෙහි පොදු බල්ලා හැඳින්වීමට විශේෂිත වචනයක් නැත.

එයට හේතුව සිංහලයෙහි පොදු බල්ලා නො වීම ය. පොදු බල්ලා හැඳින්වීමට අවශ්‍ය වූ විට සිංහලයෝ බල්ලෝ යන බහුවචනය යොදා ගනිති. මෙය කලකට පෙර පැහැදිලි කර ඇති නමුත් එය නැවත වරක් සඳහන් කිරීමේ වරදක් ඇතැයි නො සිතමි. නැන්දලාගේ බල්ලා යනු අප දන්නා හඳුනන බල්ලෙකි. නැන්දලාගේ ගෙදර ගොස් බල්ලා බැඳ ඇත්දැයි අප අසන්නේ නැන්දලාගේ බල්ලා ගැන ය. ඉංගිරිසියෙන් නම් එහි දී අසන්නේ දන්නා විශේෂිත බල්ලා (the dog) ගැන ය. ඒ අප නොදන්නා බල්ලකු ගැන නො වේ. එහෙත් අප බල්ලෙක් දුව ගෙන ගියා යැයි කියන්නේ අප නොදන්නා බල්ලකු ගැන ය. එය ඉංගිරිසියෙන් නම් බල්ලෙක් (a dog) ලෙස කියැවෙයි.

එහෙත් ඉංගිරිසියෙහි ඒ දන්නා බල්ලා (the dog) හා නො දන්නා බල්ලා (a dog) හැර බල්ලා (dog) ද වෙයි. එහි බල්ලා යනුවෙන් කියැවෙන්නේ පොදු බල්ලා ය. මේ පොදු බල්ලාට සිංහලයෙහි, අඩුම තරමෙන් කලකට පෙර සිංහල සම්ප්‍රදායෙහි, වචනයක් නො තිබිණි. එවැනි ව්‍යවහාරයක් සිංහලයෙහි නො තිබිණි. සිංහල භාෂාවෙහි පොදු බල්ලා වෙනුවට යොදා ගැණුනේ බල්ලෝ යන බහුවචන ස්වරූපය ය. එහෙත් වත්මන් සිංහලයෙහි නම් ඒ ගැන තැකීමක් නොකර පොදු මිනිසා හැඳින්වීමට මිනිසා යන්නත් පොදු බල්ලා හැඳින්වීමට බල්ලා යන්නත් යොදාගනු දැකිය හැකි ය.

අද ඉංගිරිසියෙහි කියැවෙන දි ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් (The evolution of man) යන්න ඇතැම් විට මිනිසාගේ විකාශය යනුවෙන් පරිවර්තනය කෙරෙයි. එය වැරදි ය. එසේ පරිවර්තනය කරන්නෝ සිංහල සම්ප්‍රදාය නොදත් අය වෙති. එය එක්තරා රුපවාහිනී නාලිකාවක නෙක්ස්ට් චේන්ජ් (next change) යන්න මීළඟ වෙනස ලෙස පරිවර්තනය කිරීමට සමාන ය. ඒ අදහස් නොව වචන පරිවර්තනය කිරීමකි. ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් යන්න එක්කෝ මිනිස් විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. එසේත් නැත්නම් මිනිසුන්ගේ විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. මෙහි ඇති මෑන් යන්න පොදු මිනිසා හෙවත් වියුක්ත මිනිසා යනුවෙන් ඉංගිරිසියෙහි යෙදෙයි. එවැනි වියුක්ත යෙදුමක් සිංහලයෙහි නැත. සිංහලයෙහි මිනිසා යන්න යෙදෙන්නේ වියුක්ත ඊනියා පොදු මිනිසකු සඳහා නොව දන්නා මිනිසකු සඳහා ය. අප මිනිහ අමාරුකාරයා යැයි කියන්නේ වියුක්ත පොදු මිනිසකු ගැන නොව දන්නා මිනිසකු ගැන ය. ඉංගිරිසියෙහි නම් ඒ යෙදෙන්නේ ද මෑන් (the man) ලෙස ය.

පැරණි සම්ප්‍රදායෙහි නැති නිසා ම අප නව සම්ප්‍රදායක් ඇතිකර ගැනීම වැරදි දැයි කිසිවකු අසනු ඇත. නව සම්ප්‍රදාය ඇති කර ගැනීමේ වරදක් නැත. එහෙත් සම්ප්‍රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව තේරුම් ගත යුතු ය. ඉංගිරිසි බසෙහි පොදු මිනිසකු ඇත්තේ ඉංගිරිසින්ගේ චින්තනයෙහි වියුක්ත බවක් ඇති නිසා ය. එහෙත් වියුක්ත චින්තනයක් නොවන සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත පොදු මිනිසකු ගැන කතා කරන මිනිසා යනුවෙන් ව්‍යවහාරයක් තිබිය නො හැකි ය. අද මිනිසාගේ විකාශය ගැන කතා කිරීමේ දී මිනිසා යන්න පොදු වියුක්ත මිනිසා ලෙස සලකන සිංහලයෝ කෙතෙක් වෙත් ද?

සිංහලයන් වියුක්ත චින්තනය යම් ප්‍රමාණයකට ලබා ගැනීම වරදක් යැයි නො කියමි. බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යය බිඳීමේ දී වියුක්ත චින්තනය ද අවශ්‍ය වෙයි. අපට අපේ ප්‍රවාද ඇතිකරගත හැක්කේ යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනය යොදා ගැනීමෙනි. අද දවසේ අපේ දැනුමක් නිර්මාණය කිරීමේ දී අප අනුගමනය කළ යුතු ක්‍රම තුනක් වෙයි. එයින් ප්‍රධාන එක නම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගෙන සෘජුව ම හෝ වෙනත් උසස් ආධ්‍යාත්මික තත්වයන් ලබාගත් අයගෙන් වක්‍රව හෝ දැනුම ලබාගැනීම ය. දෙවැන්න අපේ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය. තුන්වැනුවට ඇත්තේ බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශ්‍ය හා අදාළ පරිදි අවශෝෂණය කිරීම ය. දෙවැනි හා තුන්වැනි ක්‍රම සඳහා යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනයක් අපේ චින්තනයට එකතුකර ගත යුතු ය.

වියුක්ත චින්තනයක් එකතු කර ගැනීම ම නව සම්ප්‍රදායක් බිහිකර ගැනීමකි. වැඩි වශයෙන් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ මාවතකට අප එළඹන තුරු අපට දෙවැනි හා තුන්වැනි ක්‍රමවලට දැනුම ලබාගැනීම අවශ්‍ය වන බැවින් වත්මන් යුගයෙහි යම් වියුක්ත චින්තනයකට අප හුරු විය යුතු ය. එසේ හුරුවීමකින් පසුව නමි මිනිසාගේ විකාශය ගැන කතාකිරීම ප්‍රශ්නයක් නො වේ. එතෙක් අප සිංහල සම්ප්‍රදායට අනුව බහුවචනයෙන් මිනිසුන්ගේ විකාශය ගැන කතාකළ යුතු ය. කෙසේ වෙතත් ඉංගිරිසියෙහි ඇති මෑන් (man) ද මෑන් (the man) හා අ මෑන් (a man) වෙනුවට අපට සිංහලයෙහි ඇත්තේ මිනිසා හා මිනිසකු යන වචන පමණ ය. මෑන් යන්න යෙදීමට සිදුවන අවස්ථාවල දී, එනම් වියුක්ත මිනිසා ගැන සඳහන් කිරීමට අවශ්‍ය වූ විට අපි මිනිසුන්ගේ ආදී වශයෙන් බහුවචන ස්වරූපය යොදා ගනිමු.

නව සම්ප්‍රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව පැහැදිලි විය යුතු ය. සිංහල සම්ප්‍රදාය ගැන දැනුමක් නොමැතිව නව සම්ප්‍රදාය ඇතිකර ගැනීම යෑමෙන් බසටත් ජාතියටත් සිදුවන්නේ අවැඩකි. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් වෙයි. සිංහල සම්ප්‍රදාය හරිහැටි නොදැන හෝ ඒ පිළිබඳ තැකීමක් නොකර හෝ ඊනියා නව සම්ප්‍රදාය ඇතිකර ගැනීමට වළිකන්නෝ බටහිර දැනුම ලබාගත් උගත්තු වෙති. ඔවුහු සිංහල සම්ප්‍රදාය දැන හෝ නොදැන හෝ පැත්තකට දමා බටහිර දැනුම සිංහලෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ කරති. ඔවුන්ට සිංහල සම්ප්‍රදාය නිරුත්සාහයෙන් ලැබෙන්නක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් ඔවුන්ගේ ඇඟේ සිංහල සම්ප්‍රදාය නැත. තිබුණත් ඔවුහු එය බුද්ධියෙන් මග හරිති.

එහෙත් බටහිර උසස් අධ්‍යාපනයක් නොලද ගැමියයෝ එසේ නො වෙති. ඔවුහු සිංහල සම්ප්‍රදායෙහි ජීවත් වෙති. ඔවුන්ට ඒ සම්ප්‍රදායෙහි හිඳිමින් නව සම්ප්‍රදායන් වුව ද බිහිකර ගත හැකි ය. ඔවුන්ට සිංහල සම්ප්‍රදාය බුද්ධියෙන් මගහැරීමට නො හැකි ය. එයට හේතුව ඔවුන්ගේ බුද්ධිය බටහිර අධ්‍යාපනයෙන් කුරුවළු නො
වීම ය. ඔවුන්ට මිනිසාගේ ගති පැවතුම් යනුවෙන් යෙදුමක් නැත. ඔවුහු එක්කෝ මිනිස් ගති පැවතුම් ගැන කතා කරති. නැත්නම් මිනිසුන්ගේ ගති පැවතුම් ගැන සඳහන් කරති. මිනිසාගේ විකාශය ගැන කතා කිරීම අප සිතනවාට වඩා හානිකර ය.

මිනිසුන්ගේ කුලකයෙහි හෝ මිනිස් කුලකයෙහි හෝ සාමාජිකයෝ මිනිස්සු වෙති. කලින් සඳහන් කරන ලද ආකාරයට මිනිසුන්ගේ පංචෙන්ද්‍රිය සමාන ය. එබැවින් ඊනියා වියුක්ත හෙවත් පොදු මිනිසකු නිර්මාණය කිරීම ද අපහසු නො වේ. මේ වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ බොහෝ දේ නොසලකා හරිති. මිනිස්සු සාමාන්‍යයෙන් උසින් අසමාන වෙති. එහෙත් වියුක්ත මිනිසාගේ උස බටහිරයන්ට ප්‍රශ්නයක් නො වේ. බර ගැන ද කිව හැක්කේ එවැන්නකි. ඊනියා වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ උස, බර, හමේ පාට කෙස්වල ස්වභාවය ආදිය නො සලකති.

වියුක්ත මිනිසා යනු මිනිසුන්ගේ පොදු ලක්‍ෂණ සහිත ව නිර්මාණය කෙරුණු මිනිසෙකි. බටහිර විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙන්නේ මේ ඊනියා පොදු මිනිසා ගැන ය. බටහිර සත්ත්ව විද්‍යාවේ දී පොදු සතුන් ගැන කතා කෙරෙයි. එහෙත් පසුගිය දශක කිහිපයක සිට බටහිර ඇතැම් උගතුන්ට එසේ පොදු මිනිසුන් ගැන කතා කිරීම ප්‍රශ්නයක් වී ඇත. බටහිර සත්ත්ව විද්‍යාඥයන් තවමත් ඊනියා පොදු සත්ත්වයන් ගැන කතා කරතත් මිනිසුන් ගැන අධ්‍යයන කිරීමේ දී පොදු මිනිසකු ගැන කතාකිරීම ප්‍රශ්නයක් වී ඇත. පොදු මිනිසා යන සංකල්පය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ලැබී ඇත්තේ යුරෝපීය වැඩවසම් ක්‍රමයෙනි. එය යුදෙවුවන්ගේ වියුක්ත චින්තනය හා සමග සම්බන්ධිත ය.

එහෙත් බටහිර නූතනත්වය වර්ධනය වීමේ දී පෞද්ගලිකත්වය වඩ වඩා ඉස්මතු වෙයි. ඒ සමග එක් පැත්තකින් පොදු බවට වඩා විශේෂිත බව ඉස්මතු වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි මෙය ප්‍රශ්නයක් බවට පත්වෙයි. පෞද්ගලිකත්වය ඉස්මතු කරන සමාජයක ඊනියා පොදු මිනිසකු, සාධාරණ මිනිසකු, වියුක්ත මිනිසකු යන්න ප්‍රශ්නයක් වෙයි. බටහිර ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඒ ප්‍රශ්නය මිනිස් නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි දී අධ්‍යයනය කෙරෙණුයේ මිනිසුන් ම බැවින් එහි දී ප්‍රශ්නය වඩාත් බැරෑරුම් වෙයි.

සියලු නිරීක්‍ෂකයන් එක හා සමාන යැයි සැලකීම වැරදි ය. සම්භාව්‍ය බටහිර විද්‍යාවෙහි දී පොදු නිරීක්‍ෂකයෙක් වෙයි. කවුරුන් නිරීක්‍ෂණය කළත් එකම ප්‍රතිඵලයක් ලැබෙන්නේ යැයි කීමේ දී පොදු නිරීක්‍ෂකයකු ගැන මෙන් ම පොදු නිරීක්‍ෂ්‍යයක් ගැන ද කියැවෙයි. කවුරුන් කුමක් නිරීක්‍ෂණය කළත් නිරීක්‍ෂකයා මෙන් ම නිරීක්‍ෂ්‍යය ද වියුක්ත ලෙස සැලකෙයි. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණෙන් ස්කන්ධ අසමාන යකඩ බෝල දෙකක් එක්විට එක් උසකින් අත්හැරියත් අද කවුරුන් හෝ උස ගසකට නැග ස්කන්ධ අසමාන පොල් ගෙඩි දෙකක් එක්විට
එක් උසකින් අත්හැරියත් එකම දෙයක් නිරීක්‍ෂණය කෙරෙයි. ඒ ඒ අවස්ථාවේ දී වස්තු (පොල් ගෙඩි හෝ යකඩ බෝල හෝ) එක්විට පොළොවට වැටෙයි.

මෙහි දී නිරීක්‍ෂකයා කවුරුන් ද යන්නවත් නිරීක්‍ෂණය කෙරෙන්නේ පොල් ගෙඩි ද යකඩ බෝල ද යන්නවත් ප්‍රශ්නයක් නො වේ. නිරීක්‍ෂකයා මෙන් ම නිරීක්‍ෂ්‍යය ද වියුක්ත වෙයි. ඒ සියල්ල වියුක්ත වී ඊනියා වාස්තවික කරුණක් බවට පත් වී නිරීක්‍ෂකයා සිටියත් නැතත් එක්විට එක් උසකින් අත්හැරෙන වස්තු එක්විට පොළොවට වැටෙයි යනුවෙන් අවසානයේ දී ප්‍රකාශ වෙයි. ජීව විද්‍යාව වැනි වෙනත් බටහිර විද්‍යාවන්හි ද එලෙස ම වියුක්ත ප්‍රතිඵල ලෙස ඒ ඒ දෑ ප්‍රකාශ වෙයි. බටහිර නූතනත්වය විකාශයවත් ම අඩුම තරමින් කිහිප දෙනකු අතර මේ වාස්තවිකත්වය ප්‍රශ්න කිරීම්වලට භාජනය විය.



Sunday, 17 June 2012

වඳිම් සිදුහත් මගින් හෙළිවන සිංහල බෞද්ධ උරුමය

සිංහල බෞද්ධ උරුමය වෙනත් අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය ය. එහෙත් දැනට වසර පන්සියයකට අධික කාලයක් සිංහල බෞද්ධ සංස්කෘතියට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට වැදෙයි. එහි දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යයට යටවීමට අපට සිදු වී ඇත. ඒ ආධිපත්‍යයෙහි මෙරට නියෝජිත පුහු පඬියෝ ඔවුන් නොදන්නා බටහිර විද්‍යාවක් කරපින්නාගෙන සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිර්මාණය වී ඇති දැනුමට ගරහතිෂ ඒ දැනුම් බොහෝමයක් මිථ්‍යාවන් යැයි අපට කියති. ඔවුහු අපේ දැනුම් ඊනියා විද්‍යාත්මක ආකල්පවලට යටකිරීමටත් එමගින් විකෘති කිරීමටත් උත්සාහ ගනිති. එමගින් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම අර්ථවිවරණය කරති. බුදුදහම යථාර්ථවාදයක් වාස්තවික භාණ්ඩයක් කිරීමට උත්සාහ ගනිති. එමගින් එහි ඇති ඊනියා මිථ්‍යාවන් හා ගූඪත්ව බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවේ දුම්මල අල්ලා පළවා හැරීමට වැර වෑයම් කරති. බුදුදහමේ අයිතිකරුවන් ලෙස හා සැබෑ ථෙරවාදීන් ලෙස පෙනී සිටින්නෝ එහි දී නිහඬ වෙති. එහෙත් වාසනාවකට මෙරට ගැමිකම රැකගත් ගැමියන් හා බටහිර අධ්‍යාපනයෙන් මෝහනයට පත් නොවූවන් හේතුකොට ගෙන වුදුදහමේ හරය තවමත් අප සමාජයෙහි පවතින අතර සිංහල බෞද්ධ සංස්කෘතිය ද යම් පමණකින් වුව ආරක්‍ෂා වෙයි.

බුදුදහම බටහිර විද්‍යාත්මක නො වේ. බටහිර විද්‍යාව මුළුමනින් ම රඳා පවතින්නේ උද්ගමනය මත ය. එහෙත් බුදුදහමේ හරය ප්‍රත්‍යක්‍ෂය වෙයි. එසේ වුවත් නිවන පසක් කරගැනීම හා අලියා පසක් කරගැනීම එකක් නො වේ. එකක් ලෝකෝත්තර ය. අනෙක ලෞකික ය. පඬියන් කටයුතු කරන්නේ නිවන පසක් කිරීම ද ලෞකික වූවක් බවට පත්කිරීමට ය. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද වෙයි. බුදුදහමෙහි ප්‍රවාද නැත. මා මේ පඬියන්ට, පුස්සන් ආදී වශයෙන් පරිභව කරන්නේ මූලික වභයෙන් ම ඔවුන් අපට ජාතිවාදීන් කොදෙව් මානසිකත්වයක් ඇතියවුන් ජාත්‍යන්තර දැනුමක් නැති ලිංමැඬියන් ආදී වශයෙන් ගරහන බැවිනි. බෞද්ධයකු ලෙස මා එසේ පරිභව නොකළ යුතු බවත් ඔවුන්ට මෙත් වැඩිය යුතු බවත් දනිමි. එහෙත් අපට ඇතැම් දේ කල් නොදමා මේ භවයෙහිම කිරීමට සිදු වී ඇත. ඒ අතර අප පාලනය කරන බටහිර ක්‍රිස්තියානි විද්‍යාව ඇතුළු දැනුමට පහර දීම ද වෙයි. මෙරට සිටින ඊනියා උගත් බෞද්ධයන්ගෙන් මම ප්‍රශ්න දෙකක් අසමි. ප්‍රශ්න දෙකක් වුව ද හරය වශයෙන් ගත්කල ඇත්තේ එක් ප්‍රශ්නයකි. ඔබ පිළිගන්නේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් විකාශය ද (එය ඊනියා පරිණාමවාදයක් නො වේ) , එසේත් නොමැති නම් ඩාවින් බයිබල් ආකෘතිය මත පදනම් වෙමින් නිර්මාණය කළ කතාව වූ පරිණාම වාදය ද? දෙවැනුව ඔබ පිළිගන්නේ සංවට්ටකප්ප විවට්ටකප්ප සහිත කෙළවරක් නොමැති කල්පවලින් යුත් විශ්වය ද එසේත් නැත්නම් අයින්ස්ටයින් ගේ කතන්දරයක් වූ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගලා එන මහා පිපුරම් වාදය ද? ඊනියා උගත් බෞද්ධයන්ට ඒ දෙක දෙකක්, අප එතැන දී එය පිළිගන්නවා මෙතැන දී මෙය පිළිගන්නවා ආදී පිළිතුරු දී පැනගිය හැකි නො වේ. මේ ප්‍රශ්නවලට ඒකාන්ත පිළිතුරු අවශ්‍ය වෙයි. මහා පිපිරුම සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකට මට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් එහි සනාතන සභාවේ විශේෂ තීරණයක් මත උපාධියක් පිරිනැමුව ද මම මහා පිපිරුම්වාදය ප්‍රතික්‍ෂෙප කරමි. සනාතන සභාවේ විශේෂ අවසරයක් මත අඩු කාලයකින් මට උපාධියක් ලබාදීමට මුල් වූ මගේ ගුරුවරයාට ඇති ගෞරවය නොවන්නට මම එම උපාධිය ආපසු දීමට පියවර ගනිමි. ඒ මා දැන් විශ්වවිද්‍යාල සේවයේ නැති නිසා කරන පාරම් බෑමක් නොවන බව ද කියනු කැමැත්තෙමි.

කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ආකල්පයක් නැත. බුදුන්වහන්සේ කාලාම සූත්‍රය අවසානයේ දී දේශනා කළේ එළොවට හා මෙළොවට වැඩදායක වන පරිදි සමාජයේ විඤ්ඤූන් කරන දේ කිරීමටත් නොකරන දේ නොකිරීමටත් ය. අද සමාජයට නම් එය එතරම් නොගැලපෙන්නේ දැන් විඤ්ඤූන් ලෙස සැලකෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෑනුමෙන් හිස් පුරවාගත් පඬියන් බැවිනි. කාළාම සූත්‍රය ගැන කට කියවන්නන්ගෙන් එහි අවාසනය දක්වාම කියවා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අද සමාජයේ උගතුන් බුද්ධිමතුන් ලෙස පැවතීමට නම් ගැමි බව අත්හැරිය යුතු ය. කාලාම සූත්‍රය බටහිර ඇසකින් ඇගයිය යුතු ය. නිවන වචනයෙන් කිවහැකි ඊනියා යථාර්ථයක් ලෙස පෙන්වා දිය යුතු ය. බුදුන් වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේගේ ධර්මයෙහි යථාර්ථවාදී බව අගය කළ යුතු ය. බුදු සිරිත යථාර්ථවාදීව විග්‍රහ කළ යුතු ය. එහි දී බුදු සිරිත විකෘතිවන්නේ නම් ඒ විකෘතිකිරීම්වලට විරුද්ධව ගැමියන් ගැමි පදනමක් ඇති භික්‍ෂූන් වහන්සේ විරුද්ධවන්නේ නම් කළ යුත්තේ ඒ ගිහියන්ගේ හා භික්‍ෂූන් වහන්සේගේ ආචීර්ණ කල්පික මතවලට එරෙහිව ඊනියා විද්‍යාත්මක මත ගෙනහැර දැක්වීම ය. ජාතික පුවත්පතක් වූ සිළුමිණෙහි කතුවරයකුව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඊනියා යථාර්ථවාදයකු ලෙස බුදුසිරිත පදනම් කරගෙන බවතරණය නමින් කෘතියක් නිර්මාණය කර තමන් සිංහල සංස්කෘතිය ගැන කෙතරම් කතා කළත් ලීවත් අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාව ඉදිරියේ තම සංස්කෘතික අදීනත්වය නසා ගත්තේ ය.

ගාමිණී සුමනසේකර මහතා ද ජාතික පුවත්පතක් වූ දිවයිනෙහි ප්‍රධාන කර්තෘ (අවශ්‍ය නම් සංස්කාරක) වෙයි. ඔහු පේරාදෙණිය විශ්වවිිද්‍යාලයෙහි උපාධිධාරියෙකි. ඒ මහතා කලක් සිළුමිණ පුවත්පතෙහි ද සේවය කළේ ය. ශිෂ්‍ය අවධියේ සිට ම මා දන්නා අයෙකි. මා නව සමසමාජ පක්‍ෂයෙහි සාමාජිකත්වයෙන් අස්වෙමින් මාක්ස්වාදය විද්‍යාත්මක ද මැයෙන් ලියු දීර්ඝ ලිපිය 1980 වසරෙහි සිළුමිණ පත්‍රයෙහි කොටස් වශයෙන් පළකිරීම භාරව සිටියේ ඒ මහතා ය. ඒ මහතා ඇතුළු පිරිසක් සිළුමිණෙන් දිවයිනට පැමිණෙන විට මම ද ඔවුන් සමග සංක්‍රමණය වීමි. එදා සිට නිිදහස් ලේඛකයකු ලෙස මම නිතිපතා දිවයිනට හා උපාලි පුවත්පත් ප්‍රකාශනවලට ලියමි. මා සිතන අයුරින් දිවයින පුවත්පතට බාහිර ලේඛකයකු ලෙස වැඩිම ලිපි සංඛ්‍යාවක් ලියා ඇත්තේ මා ය. ඒ ලිපි පළකිරීම පිළිබඳ ව මා ඒ මහතාට වඩාත් ම කෘතඥවන්නේ ඇතැම් කාලවල පඬියන්ගේ මැති ඇමතිවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ විරුද්ධතාව මැද ද මගේ ලිපි පළකිරීමට කටයුතු කිරීම නිසා ය. එහෙත් ඒ මහතාට මා ගරුකරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැඳිනගත් ගැමිකම අත්නොහැරි ගැමියකු වීම නිසා ය. එක් කලක අපි කිහිප දෙනෙක් එකතු වී දිවයින පුවත්පත ඔස්සේ පඬියන්ට පරාජය කළ නොහැකි ජාතික මතවාදයක් ගොඩ නැගුවෙමු. ඒ මතවාදය දිනෙන් දින ශක්තිමත් වෙයි. ඩික්සිත් ට ග්ලැඩ්ස්ටන්ට බ්ලේක්ට එරෙහිව නැගී හිටියේත් දැන් රැන්කින්ට (රැන්කින් ගෙදර යැවිය යුතු බව තවත් උපාලි ප්‍රකාශනයක් වු දි අයිලන්ඩ් පුවත්පත ඔස්සේ අප දැනටමත් යෝජනා කර ඇත) විරුද්ධව නැගී සිටින්නේත් සම්බන්දන් පසුගිය දා නැවතත් ලේ හලන කැරැල්ලකට දෙමළ ජනයා මෙහෙයවමින් තම පක්‍ෂයට කළ කතාව සාර්ථකව පරාජය කළ හැක්කේත් ඒ මතවාදයට ය.

වඳිම් සිදුහත් ගාමිණී සුමනසේකර මහතාගේ නවතම කෘතිය වෙයි. මෙය දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළ වූ ලිපි පෙළක එකතුවකි. මම මුල සිට ම එහි පාඨකයෙක් වීමි. පොත දොරට වැඩි දා කතාකළ ඇතැමුන් ලිපි පෙළ තබා පුවත්පතවත්, පොතවත් කියවා නො තිබිණි. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ ම පිහිට ය. ඔවුහු ජාතික මතවාදවලට විරුද්ධ වෙති. ගාමිණි සුමනසේකර මහතා වඳිම් සිදුහත් ලියා ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පිහිටා ය. ඒ මහතා පැරණි පොතපත පරිශීලනය කර ඇත. ගමක හැදී වැඩී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඒ මහතාගේ ගැමිකම නැති කිරීමට නොහැකි වී ඇත. වඳිම් සිදුහත් ලියා ඇත්තේ ඒ ගැමියා මිස සාම්ප්‍රදායික ජාතික පුවත්පතක කතුවරයකු නො වේ. නොඑසේ වී නම් ඔහු අතින් ලියැවෙන්නේ බවතරණයකි. මම පසුගිය වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගෙනගත් ශිෂ්‍යයන් ඉදිරියේ මේ ලිපි පෙළ ඇගයීමි. මට එය නිව්ටන්ගේ ගතිකයට වඩා ලක්‍ෂ සංඛ්‍යාත වරක් වටිනේ ය. බුදුහිමියන් හා සසඳන විට නිව්ටන්ලා අයින්ස්ටයින්ලා කවරහු ද? බුදදහම සමග සෑසඳිය හැකි දැනුමක් ලෝකයේ තිබේ ද? අනන්ත වූ බුදුගුණ අගය කළ හැක්කේ බුදු කෙනකුට ම ය. අප වැනි පුහුදුන්නන්ට කළ හැක්කේ එහි අංශු මාත්‍රයක් අගය කිරීම පමණකි. බෝසතාණන් වහන්සේ කෙනකු යනු මහරජ ගාමිණී කෘතියෙහි සඳහන් ආකාරයට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දාගත් වීර පුරුෂයෙකි. දිපංකර බුදුන්වහනසේගේ පාද මූලයෙහි සුමේධ තවුසාණෝ තමන්ට පසක් කරගත හැකිව තිබූ නිවන තාවකාලිකව (එය තාවකාලික වුවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් දිව ගියේ ය.) කල් දැම්මේ ය. නිවන් දැකීම සඳහා අත්හැරීම ප්‍රගුණ කළ යුතු ය. එහෙත් අනුන් වෙනුවෙන් නිවන අත්හැරීම කෙසේ විස්තර කරම් ද? එය ප්‍රඥාවෙන් නොව කරුණාවෙන් ම කළ දෙයකි. ඒ සඳහා දැඩි විර්යයක් ද තිබිය යුතු ය. සිංහල බෞද්ධයන් මිස බුදුදහම ඊනියා ප්‍රඥාවකින් අවබෝධ කරගත් ඊනියා බුද්ධිමතුන් නොවූ අපට බුදුන් වහන්සේ හැමදාමත් මහා කාරුණිකයන් වහන්සේ මිස මහා ප්‍රාඥයන් වහන්සේ නුවූහ. ශීල සමාධි ප්‍රඥා හා අලෝභ, අද්වේෂ අමෝහ යනුවෙන් මිස අපි අනෙක් පැත්තට නො කියවමු. මහා කරුණාව ඌනිත බටහිර විද්‍යාවේ කරන ආකාරයට ප්‍රඥාවට ඌනනය කළ හැකි නො වේ. ගාමිණී සුමනසේකර මහතා උත්සාහ කරන්නේ අනන්ත වූ බුදු ගුණවලින් අංශු මාත්‍රයක් විස්තර කිරීමට ය. එහි දී ඒ මහතා යොදාගෙන ඇති භාෂාව ඒ කාර්යය සඳහා ම සකස් කරගත්තක් සේ පෙනෙයි. මේ කතා කියවද්දී පුහුදුන් මගේ නෙතග කඳුලෙන් තෙත්වූයේ වරක් දෙවරක් නොවන බව මා සඳහන් කරන්නේ ලජ්ජාවකින් නො වේ. ආඩම්බරයකින් ද නො වේ. ගාමිණී සුමනසේකර මහතා සැදැහැයෙන් වඳිම් සිදුහත් ලියා සසර ගමන කෙටිකරගෙන ඇතැයි සිතේ.

Saturday, 26 May 2012

ජයග්‍රහණය සැමරීම හා නූගත් පාඩම්

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් හි දී ශ්‍රී ලංකා හමුදාව හා රණවිරුවන් ලත් ජයග්‍රහණය සැමරිය නොයුතු යැයි කියන සුළු පිරිසක් රටේ වෙති. ඔවුන්ට අනුව ජයග්‍රහණය සෑමරීමෙන් දෙමළ ජනයාගේ සිත් රිදෙන්නට හැකි ය. එය ඊනියා සංහිඳියාවට හෙවත් ප්‍රතිසංධානයට (ශබිදකොෂයට අනුව රෙකන්සිලේෂන් යන්නෙහි සිංහල පරිවර්තනය) බාධාවක් විය හැකි යැයි ඔවුහු සිතති. ඒ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් එංගලන්තය, ඇමරිකාව හා රුසියාව ජයගැනීම තවමත් අනුස්මරණය කරති. ඒ ජර්මනිය, ඉතාලිය හා ජපානය ඒ ගැන නොසිතන නිසා විය හැකි ය. අද ඒ යුද්ධයෙහි ජයග්‍රහකයන් මෙන් ම පරාජිතයන් ද ආර්ථික හා දේශපාලනික අර්බුදයක ගිලී ඇති අයුරු දැකගත හැකි ය. රෙකන්සිලේෂන් යන වචනය අපට කිසිසේත් ම අදාළ නැති දකුණු අප්‍රිකානු සිද්ධිවලින් ණයට ගත්තකි. එය ලංකාවට හඳුන්වාදුන් පඬියා කවුදැයි අපි නො දනිමු. දකුණු අප්‍රිකාවේ සුද්දෝ කල්ලන් යටපත් කරගෙන සිටියහ. සුද්දන්ගෙන් කල්ලන්ට දේශපාලන බලය මාරුවීමේ දී කල්ලන් රවටා සුද්දන්ට නොසරිලන බලයක් ලබාදීමට සැලසුම් කිරීම (ඇතැම් විට ජීවිත ද ඇතුළු ව) ඒ ඊනියා ප්‍රතිසංධානයේ අරමුණ විය. අවුරුදු තුනකට ඉහත දී ලංකාවේ දේශපාලන බලය කාගෙන් කාහට මාරුවිණි ද? පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිධුරයේ හෝ වෙනසක් පසුගිය අවුරුදු තුනෙහි සිදු වී නැත. නන්දිකඩාල් කලපුවේ දී සිදුවූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය වීම ය.

දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ විකාශයෙහි එක් අවස්ථාවක බිහිවුණු ප්‍රපංචයකි. අප දිගින් දිගට ම කියා ඇත්තේ දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් ඉංගිරිසින් එය හදා වඩා පෝෂණය කර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහි ව සිංහලයන් හා සිංහල සංස්කෘතිය හැකිනම් නැති කිරීමට නැත්නම් අඩුම තරමෙන් දුර්වල කිරීමට යොදාගත් බවත් ය. එහි දී ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයන්ට මෙරට නායකත්වය ලබාදීමට කටයුතු කළේ ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ඔවුන් බවට පත්කිරීමට උත්සාහ කරමිනි. එහෙත් මෙරට අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය, සංස්කෘතිය, ජනගහණ ව්‍යාප්තිය ආදිය මකාදැමීමට ඉංගිරිසින්ට නො හැකි විය. අවසානයේ දී සර්වජන ඡන්දය ලබාදීමත් සමග සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවිණි. දෙමළ ලෙස සිතා රටේ නායකත්වයට පත්වීමට බැරි බව දුටු චෙල්වනායගම් ඉන් නිසි පාඩම උගත්තේ නැත. ආණ්ඩුව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමක් පත්නොකර නූගත් පාඩම් කොමිසමක් පත් කළේ නම් දෙමළ නායකයන් නූගත් ප්‍රධාන ම පාඩම අනාවරණය වීමට තිබිණි. අදත් මෙරට දේශපාලඥයන් හා ඊනියා උගතුන් බහුතරය මේ පාඩම ඉගෙනීමට මෑළි වී ඇත්තේ ඔවුන්ට බටහිරයන්ගෙන් ලැබී ඇති මැකෝලේ අධ්‍යාපනය නිසා ය.

මේ පාඩම අන් කිසිවක් නොව මෙරට තබා කිසිම රටක් මහා අර්ථයකින් බහු සංස්කෘතික රටක් නොවන බවත්, ලංකාව සිංහල බෞද්ධ රට බවත් දෙමළ යනුවෙන් වාර්ගික ව සිතීමෙන් කිසිම දිනෙක දෙමළ නායකයකුට මෙරට ජන නායකයා විය නොහැකි බවත් ය. මේ රට සිංහල බෞද්ධ රට බවත් මෙහි අධිපතිවාදී සංස්කෘතියක් නොමැති බවත් (බෞද්ධයනට අධිපතිවාදී සංස්කෘතියක් තිබිය නො හැකි ය), එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවත් ඒ බව පිළිගත යුතු බවත් දෙමළ ජාතිවාදී නායකයන් ඉගෙනීමට ප්‍රතික්‍ෂෙප කිරීම අවසානයේ දී දරුණු ලේ හැලීමකින් කෙළවර විය. ඒ පාඩම නූගත් චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ප්‍රභාකරන්ට පාර කපමිනි. තවමත්් බොහෝ දෙමළ නායකයන් ඒ පාඩම ඉගෙනීමට සූදානම් නැත. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඔවුන්ට ඒ පාඩම ඉගෙනීමට නො දෙති. දෙමළ නායකයන් බටහිරයන්ගෙන් ද ඉන්දියානුවන්ගෙන් ද නිදහස් නොවන්නේ නම් නැවතත් ලේ වැගිරීමක් සිදුවනු වැළැක්විය නො හැකි ය.

2009 මැයි 19 වැනි දා ආරක්‍ෂක ලේකම්තුමා ප්‍රධාන රණවිරුවන් විසින් පරාජයට පත්කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. එහි දී ඉන්දියානුවෝ ද එංගලන්තය හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයෝ ද ජනාධිපතිතුමා විසින් පරාජය කරනු ලැබුණහ. ඒ එතුමාගේ දේශපාලන නායකත්වයෙනි. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් ද ඒ පරාජයෙන් පාඩමක් ඉගෙන නැත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබිණි ද, බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් දෙමළ ජාතිවාදය තවමත් පවත්වාගෙන යනු ලැබේ. අද බටහිර රටවල විසුරුණු දෙමළ ජනයා ද (ඩයස්පෝරා යන පණ්ඩිතමානී බයිබල් වචනයෙන් වෙනත් අර්ථකථන දෙන බව ඇතැම් සිංහල දේශහිතෛශීන්ට ද නො වැටහෙයි.) දෙමළ ජාතික සංධානයේ ඇතැම් පිරිස් ද බටහිර දැනුම එකම දැනුම යැයි සිතන පඬියෝ ද දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යෑම සඳහා බටහිරයන් හා ඉන්දියානුවන් විසින් යොදාගනු ලැබෙති. දෙමළ ජාතිවාදය තිබෙනතාක් මෙරටට සාමය උදා නොවනු ඇත. පඬියන් සහ වෙනත් බටහිර ගැත්තන් බොහෝ විට පණ්ඩිතමානී ව කියන්නේ ආණ්ඩුව යුද්ධය දිනුවත් සාමය උදාකර නැති බව ය. එයට හේතුව අන් කිසිවක් නොව පඬියන්ගේ ද ආධාරයෙන් බටහිරයන් හා ඉන්දියානුවන් පවත්වාගෙන යන දෙමළ ජාතිවාදය ය. අප දෙමළ ජාතිවාදය න්‍යායිකව පරදවා ඇති නමුත් තවමත් එය දේශපාලනික ව පරාජය කෙරී නැත. මේ තීරුවෙහි වරක් සඳහන් වී ඇති අන්දමට අපි විජිතපුරය ජයග්‍රහණය කළෙමු. එහෙත් අප තවමත් අනුරාධපුරයට ගොස් නැත. එළාර ඔබාමාගේ හා කැමරන්ගේ වෙසින් තවමත් පවතියි. ජී එල් පීරිස්ලා දයාන් ජයතිලකලා ක්‍ෂෙණුකා සෙනෙවිරත්නලා අනුරපුර සටනට සුදුස්සෝ නො වෙති. අපට ඒ සටන සඳහා විජාතික, විදේශීය වූ විදේශ අමාත්‍යාංශයක් වෙනුවට ජාතික වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි.

එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණය ඉතා උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට එය බාධාවක් නොවිය යුතු ය. නන්දිකඩාල් කලපුවේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. ඒ අතර දෙමළ ත්‍රස්තවාදය ඇතිකර පෝෂණය කළ බටහිර රටවල් ද පරාජය කෙරිණි. ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්තවාදී නඩයක් (බටහිර බලවතුන්ගේ සහාය ලෑබුණු) පරාජය කරනු ලැබීණි. එවැනි ජයග්‍රහණයකින් පසුව උත්සව පවත්වන්නේ නැතිනම් උත්සව පවත්වන්නේ කවදා ද? උත්සව පැවැත්වීමෙන් දෙමළ ජනයාගේ සිත් නරක් විය යුතු නො වේ. එසේ කියන්නෝ කලින් කී පාඩම නූගත් අය වෙති. නන්දිකඩාල් ජයග්‍රහණය ගැන දෙමළ ජනයා ද සතුටු විය යුත්තේ ඔවුන්ට එමගින් දෙමළ ත්‍රස්තවාදයේ වියගහෙන් නිදහස්වීමට හැකිවුණු බැවිනි. අප ඔවුන්ට ද මෙරට සිංහල බෞද්ධ රට බව කීමට මෑළි විය යුතු නො වේ. මෙරට සිංහල බෞද්ධ රට යන්නෙන් දෙමළ හින්දු සංස්කෘතියට මෙරට තැනක් නැති බවක්වත් දෙමළ ජනයා දෙවැනි පංතියේ පුරවැසියන් බවවත් නො කියැවෙයි. පුද්ගලයන් වශයෙන් ගත්කල සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමානයෝ වෙති. එහෙත් සංස්කෘතීන් වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා විශේෂ තැනක් ගනියි. කරුණාකර එක් පඬියකුවත් සියළු සංස්කෘතීන් සමාන වන රටකට උදාහරණයක් පවසන්නේ ද? පඬියන් බොහෝ විට පරමාදර්ශී රටක් ලෙස සලකන පුර රාජ්‍යයක් වූ සිංගප්පූරුවේ ද අධිපතිවාදී සංස්කෘතියක් වෙයි. ඒ මැන්ඩරීන් චීන සංස්කෘතියෙහි විශේෂයකි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන් ම මෙරට සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙනි. අද ඒ මහතා වටකරගෙන සිටින ඇතැම්හු ඒ මහතාට ඡන්දය දුන් අයවත් නො වෙති. ඔවුහු ඒ මහතාට විරුද්ධව ලිපි ලිවූහ. මැතිවරණ හා ජනාධිපතිවරණ ව්‍යාපාරවල නියුක්ත වූහ. අද ආණ්ඩුව නැංගුරමක් නැති නැවක් මෙන් ඇදී යන බවක් යම් කිසිවකුට පෙනෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව ප්‍රතිගාමී සිංහල බෞද්ධ විරෝධී පිරිස් ඒ මහතා වටකරගෙන ජාතිකත්වයට පටහැණි උපදෙස් ලබාදීම ය. “යුද්ධය” දිනීමට නොහැකි යැයි කීවෝ අද “යුද්ධය” ගැන ලියති. යම් අයුරකින් බටහිරයන්ගේ සැලසුම් මල්ඵල ගැනී මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකම අහෝසි වුවහොත් මේ පුද්ගලයන් ටයි මාරුකරනු දැකගත හැකිවනු ඇත. අවාසනාවකට අද ඇමති මණ්ඩලයේ සිටින්නන්ට ද “යුද්ධය” ජයග්‍රහණය කිරීම ගැන කිසිදු විශ්වාසයක් නො තිබිණි. ඔවුහු කී දෙනෙක් පැකේජ් ඇමතියෝ වූවෝ ද? අප සැමදාමත් කියා සිටියේ මෙරට යුද්ධයක් නොතිබූ බව ය. අපේ හමුදාවට සිදුවූයේ සතුරු රටක් සමග යුද්ධ කිරීමටවත්, සිවිල් යුද්ධයක පැටලීමටවත් නොව නීත්‍යානුකූල ව බලයත් පත් රාජ්‍යයට විරුද්ධව බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන්, ඔවුන් ම සැපයූ ආයුධ අතට ගත් ත්‍රස්තවාදීන් පිරිසකට එරෙහිව මානුෂික මෙහෙවරක් දියත් කිරීමට ය. එය කිසිසේත් ම දෙමළ ජනයාට එරෙහිව කරන ලද සටනක් නො වී ය.

දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් මෙන් සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ද හැකිවිය යුතු ය. කළ යුත්තේ සිංහල බෞද්ධ විරෝධී කොටස් ඉවත්කර නැවතත් බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ කටයුතු කිරීම පමණකි. දරුස්මාන් ලවා ලියාගත් රොබට් බ්ලේක් -බෑන් කි මූන් වාර්තාව, සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතා, චැනල් ෆෝ කුණුහරුප, ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්, ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ජෙනිවා යෝජනා ආදී සියල්ල එක් දම්වැලක පුරුක් මිස තනි තනි සිද්ධි නො වේ. එබැවින් ඒවා තනිතනිව ගෙන ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවන්ත නො වේ. අද බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් මහින්ද රාජපක්‍ෂ මහතා (පඬියන්ගේ ඊනියා රෙජීම ය) ඉවත්කර ඒ වෙනුවට ඔවුන්ගේ ඉත්තකු පත්කර ගැනීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා තමාට ඡන්දය දුන් මෙරට ලක්‍ෂ ගණන් සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටිනතාක් වයිමාට නොව මාරයාටවත් ඒ මහතා ඉවත්කිරීමට නො හැකි වනු ඇත. අප වටහාගත යුත්තක් වේ. මේ 1506වත්, 1815වත් නො වේ. පහළොස්වැනි සියවස අග ඇති වූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අද යන ගී ගයයි. ආර්ථික අර්බුදයක ගෙලවට දක්වා එරී ඇති ක්‍රිස්තියානි නූතනත්වයට ගොඩ ඒමක් නැත. රොබට් බ්ලේක්ට රොබට් බූවුන්රිග්ගේ ශක්තියවත් නැත.

Saturday, 19 May 2012

සිංහල බෞද්ධයන්ගේ කරුමය

සිංහල බෞද්ධයන් තරම් අන්‍ය ආගමිකයන්ගේ ද ඊනියා බුද්ධිවාදීන්ගේ ද බටහිරයන්ගේ ද වෙනත් ඒ අයගේ ආවතේවකාරයන්ගේ ද අවඥාවට, විවේචනයට, දෝෂ දර්ශනයට ලක්වන තවත් පිරිසක් ලෝකයේ නැති තරම් ය. එයට පළමුවැනි වරදකරුවන් වනුයේ අන් කවරකුවත් නොව සිංහල බෞද්ධයන් ය. තවමත් අවසන් නැති අවුරුදු පන්සියයකට අධීක යටත්විජිත පාලනයකින් සිංහල බෞද්ධයන්ගේ පිටකොන්ද කඩා දමා ඇත. එහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙන්නේ ඉංගිරිසින් විසින් අපට දෙනු ලැබූ මැකෝලේගේ අධ්‍යාපනය ය. අදත් මෙරට බටහිර දැනුමේ ආධිපත්‍යය අප මත පැටවී ඇත. සිංහල බෞද්ධ බලයක් යනුවෙන් තබා සිංහල යනුවෙන් කිවහැකි අධ්‍යාපනයක් මෙරට නැත. අප කල්පනා කරන්නේ, නැත අප කතාකරන්නේ, ලියන්නේ බටහිරයන්ගේ යටත්විජිතවාදී දැනුමෙහි සංකල්ප, ප්‍රවාද ආදිය යොදාගනිමිනි. මෙරට තුට්ටු දෙකේ අනුකාරක විශ්වවිද්‍යාල මෙහි දී ප්‍රධාන තැනක් ගනියි. සුද්දන්ගේ (බටහිර යටත්විජ්තවාදීන්ගේ යන අරුතින්) කසිකබල් මත වැමෑරීම හැරෙන්නට මෙරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයක් කරන වෙනත් කාරියක් නැත. මෙරට සිංහල බෞද්ධ රටක් බව නොබියව කීමට ඉදිරිපත්වන්නේ මෙරට ජනතාවගෙන් කී දෙනකු ද? පඬියෝ ඒ පිරිසට ලිංමැඩියන්, අන්තවාදීන්, ජාතිවාදීන් ආදී නම් පටබඳිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා සෑම පාසලක ම භාවනාකිරීම සඳහා වෙනම කාමරයක් තිබීමේ වැදගත්කම ගැන කතා කළේ ය. එයට කලකට පෙර මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධීපති වශයෙන් සේවය කරද්දී භාවනාකිරීම සඳහා කාමරයක් සතියේ එක් දිනක් සවස හතරෙන් පසු වෙන් කළෙමි. පීඨයේ අබෞද්ධ ගුරුවරුන්ගෙන් මෙන් ම ඊනියා බෞද්ධ විද්‍යාඥයන්ගෙන් ද එයට තදබල විරුද්ධතාවක් එල්ල විණි. ඒ සම්බන්ධයෙන් විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යන මැයෙන් දිවයින ඉරිදා සංග්‍රහයට ලිපියක් ලිවීමට ද මට සිදුවිය. කෙසේ වෙතත් අද භාවනා වැඩසටහනකට පංති කාමරයක් වෙන්කිරීමට වත්මන් බෞද්ධ පීඨාධිපතිවරයා අකමැති වෙයි. ඒ කතෝලික සිසුන්ට යාඥාකිරීමට ද පංති කාමරයක අවස්ථාව ලබා දී තිබිය දී ය. අද සිංහල බෞද්ධ දැනුමක් ගොඩනැගීමට විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර විද්‍යාව කටගාගත් එහෙත් උපන්තේකට බටහිර විද්‍යා සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩනගා නැති ඊනියා බෞද්ධ ගුරුවරු ද විවිධාකාරයෙන් අකුල් හෙළති. අවශ්‍ය නම් මේ කරුණු සම්බන්ධයෙන් විවාදයකට එළඹීමට කැමැත්තෙමි.

පසුගිය දා දඹුල්ලේ ප්‍රජා භූමියේ හෝ ඒ සමීපයේ හෝ මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන යෑමට බෞද්ධයෝ විරුද්ධ වූහ. එයට නායකත්වය දුන් භික්‍ෂූන්වහන්සේ මේ අවස්ථාවේ කිනම් කරුණක් නිසා මැදිහත්විණි දැයි නො දනිමි. උන්වහන්සේ අතීතයේ දී ක්‍රියා කර ඇති ආකාරය හා අරමුණ කුමක් වුවත් මෙහි දී සිංහල මුස්ලිම් භේදයක් ඇතිකිරීමට ඇතැම්හු උත්සාහ කළහ. මෙවැනි ප්‍රශ්න මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල ඇති නොවන්නේ ඇයි? එයට ඇත්තේ එකම එක හේතුවක් පමණකි. ඒ රටවල අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමේ දී ම නීතියෙන් බාධා පැමිණවීම ය. පඬියන් කියනු ඇත්තේ මුස්ලිම් රටවල් තිබුණ ද ක්‍රිස්තියානි රටවල් නැති බව ය. බටහිර ඇත්තේ ඓහික (අනාගමික) රටවල් බව ඔවුන් කියනු ඇත. ඒ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ සුද්දන්ගේ ප්‍රවාද පුනරුච්චාරණය කිරීම මිස අනෙකක් නො වේ. සුද්දන්ගේ දැනුම යනු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අධිපතිවාදී දැනුම බව පඬියන්ට පුන පුනා කියා දිය යුතුව ඇත. සුද්දන් විසින් සිංහල බෞද්ධයන් මේ දැනුමට බියකරනු ලැබ ඇත. එංගලන්තයේ රාජ්‍ය නායිකාව මෙන් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියේ නායිකාව ද එලිසබෙත් වින්ඩ්සර් හෙවත් ඔවුන්ගේ රැජන ය. මුළු මහත් බටහිර සංස්කෘතිය ම යුදෙව් ක්‍රිස්තියානි වන අතර බටහිර දැනුම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වෙයි. ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට උපුටා දක්වනු ලබන එරික් ෆ්‍රොම් මහතා පවසන්නේ අද බටහිර ඇත්තේ කාර්මික ක්‍රිස්තියානියක් මිස ක්‍රිස්තියානියක් නොවන බව ය. එහෙත් ඒ එසේ නො වේ. බටහිර ක්‍රිස්තියානි නිකායන් බිහිවූයේ ඊනියා පුනරුදයෙන් පසුව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. අද බටහිර පවත්නේ ඒ චින්තනයෙහි බිහිවුණු මාටින් ලූතර්, කැල්වින් ආදීන්ගේ ක්‍රිස්තියානියේ විකාශයක් මිස ඊනියා කාර්මික ක්‍රිස්තියානියක් නො වේ.

දඹුල්ලට අමතරව කූරගල ද නගෙනහිර පළාතේ ද සිංහල බෞද්ධ උරුමයට පහර එල්ල වෙමින් ඇත. කූරගල ප්‍රශ්නය තාවකාලිකව පසුගිය දා උසාවියෙන් විසඳුණි. මඩකලපුවේ භික්‍ෂූන් වහන්සේ නමකට එක්තරා දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් විසින් පහර දෙනු ලැබිණි යැයි පසුගිය දා වාර්තා විණි. උන්වහන්සේගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ අයකු නැත. එහි දී බෞද්ධයන්ට විරුද්ධව අවි අමෝරාගෙන සටන් වදින, බටහිර රාජ්‍යවලින් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මුනිවත රැක්කේ ය. යම් අයුරකින් අන්‍යාගමික පූජකවරයකුට සිංහල බෞද්ධයන් විසින් පහර දෙනු ලැබිණි නම් කුමක් සිදුවිය හැකිව තිබිණි ද? මේ සිංහල බෞද්ධ රටේ මෙසේ සිදුවන්නේ කුමක් නිසා ද? බටහිරයන් අපට කියන්නේ සිංහල බෞද්ධයන් අන්‍යයන්ට අසාධාරණකම් කරන බව ය. එහෙත් සුළුතර ජනවර්ගවලට මෙරට තරම් වරප්‍රසාද හිමි වී ඇති රටක් තවත් නැත. බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකර සිල් රුකිය යුතු පිරිසක් යැයි බටහිර සුදු පඬුවෝ හා ඔවුන්ගේ මෙරට හෙංචයියලා හා හෙංචක්කලා අපට කියති. අපිදු ගැමුණු කුමරු අමතක කර සිල් රැකීමට යමු.

සිංහලයෝ කිසිවකුට කිසි දා යටත් නොවුහ. ඒ අපේ සංස්කෘතියෙහි හා ජානවල ඇති යක්‍ෂ හා නාග උරුමය නිසා සිදුවූවකි. අවසානයේ දී 1815 දී අපි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි ප්‍රධාන බලකොටුවක් වූ කේම්බ්‍රිජ් විශ්වවි්‍යාලයෙහි උගත් ඩොයිලිගේ ගිවිසුමට රැවටී සුද්දන්ට රටකරවීම භාර කළෙමු. සිංහලයෝ් යුද්ධයෙහි හා වෙනත් ශිල්පවල දක්‍ෂයන් වුවත් ගිවිසුම් සම්බන්ධයෙන් රැවටෙති. අපි පෘතුගීසීන්ට මුළා වී ඊනියා ගෙරිහමක ප්‍රමාණයට කොළඹ ලබා දුන්නෙමු. 1776 දී ලන්දේසීන් සමග නැගෙනහිර පළාත සම්බන්ධ ගිවිසුමක් අත්සන් කර අමාරුවේ වැටුනෙමු. ඉන්දු ලංකා ගිවිසුම තවමත් අප පාලනය කරයි. ඒක පාර්ශිකව ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කළ හැකි දැයි සොයා බැලිය යුතු ය. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් ද අගය කරන සුද්න්ගේ ඊනියා ජාත්‍යන්තර නීති, එක්සත් ජාතින්ගේ ඊනියා ප්‍රඥප්ති එහි දී අපට හරහට සිටිනු නො අනුමාන ය. ගෙරිමස් කන සුද්දන්ගේ ගෙරිහම් මෙන් ම ඔවුන්ගේ ගෙරිදැනුම ද අවශ්‍ය පරිදි ප්‍රතික්‍ෂෙප කිරීමට අප පසුබට විය යුතු නො වේ. අප 1815 සිට පරදින්නේ සුද්දන්ගේ ගිවිසුම්වලට හා කසිකබල් එහෙත් දේශපාලන ආධිපත්‍යය නිසා රැකෙන බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට ය. මැකෝලේගේ දරුවෝ ඒ වෙනුවෙන් පෙනී සිටිති. ඒ කෙසේ වෙතත් 1815 ගිවිසුම එංගලන්තයේ රජු හා සිංහල නායකයන් අතර සමානත්වතාව පදනම් කරගෙන ඇතිවූවකි. එය ජයග්‍රාහකයන් හා පරාජිතයන් අතර වූ ගිවිසුමක් නො වේ. සිංහල නායකයන් ඒ ගිවිසුම අත්සන් කළේ බ්‍රවුන්රිග් හා ඩොයිලි බුද්ධාගම රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු වූ බැවිනි. එංගලන්ත පාර්ලිමේන්තුවේ එයට විරුද්ධත්වයක් ඇතිවූයේ ක්‍රිස්තියානි රජුට ඊනියා මිථ්‍යාදෘෂ්ටික ආගමක් රැකීමට සිදුවීම නිසා මිස ගිවිසුමෙන් අන්‍යාගම්වලට අසාධාරණයක් වේය යන හේතුවක් නිසා නො වේ. අද අපට එහි වැදගත්කම ඇත්තේ මේ ගිවිසුම මත පදනම් ව දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැනවූ “නීතියක්” හේතුකොටගෙන ය. එයට අනුව අන්‍යාගමික සිද්ධස්ථානයක් ගොඩනැගීමේ දී ඒ සඳහා ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු ය. ඒ නීතිය අදත් වලංගුවන අතර බෞද්ධ සිද්ධස්ථාන සඳහා අදාළ නො වේ. මේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් දඹුල්ලේ හෝ කූරගල හෝ මුහුදු මහා විහාරයේ හෝ ලංකාවේ වෙනත් කිසිම තැනක හෝ අනවශ්‍ය සිද්ධි ඇති නොවනු ඇත. අද කළ යුත්තේ මේ නීතිය වහාම ක්‍රියාත්මක කිරීම ය. එය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතු යැයි අප කියන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන් බොහෝ දෙනකු චන්ද්‍රිකාගේ ඇමතිවරුන් වීමත් සුද්දන්ගේ දැනුමට ආවඩන්නන් නිසාත් ය.

සිංහල බෞද්ධයන්ගේ කරුමය සුද්න්ගේ (බටහිර ක්‍රිස්තියානි යටත්විජ්තවාදීන්ගේ මිස ඇතැම් නිවට පුහු පඬියන් සිතන ආකාරයට පාරේ යන ඕනෑම සුද්දකුගේ නො වේ. බටහිර රටවල සුදු හිඟන්නෝ ද වෙති) දැනුමට ඇති බය ය. මේ බය නැතිකිරීමට ධර්මපාලතුමා කී දෙයක් සංශෝධනය කරමින් බටහිර මහා බුද්ධිමතුන් යැයි කියන්නන්ගේ පඹයන් තනා ඒවාට පහර දීය යුතු ය. පඬියන් මෙයට විරුද්ධව මැසිවිලි නගනු ඇත. එහෙත් පඬියෝ පඹයෝ ම වෙති. අවාසනාවකට මෙරට මැති ඇමතිවරු ද සුද්දන්ගේ දැනුමට බිය වෙති. එංගලන්තය පැහැදිලිව ම ක්‍රිස්තියානි රටක් වුව ද එහි රාජ්‍ය සංකේත මගින් ක්‍රිස්තියානි නොවන ආගම් හෝ ඇග්ලො සැක්සන් නොවන ජනවර්ග නියෝජනය නොවුණ ද අප සිංහල බෞද්ධ රටක් යැයි කීම තහනම් ය. බටහිර රටවල ඊනියා බහුසංස්කෘතියක් නැත. එහි ක්‍රිස්තියානි සංස්කෘතිය අධිපතිවාදී සංස්කෘතිය වෙයි. එංගලන්තයේ, ප්‍රංශයේ ඕස්ටේ‍රිලියාවේ මුස්ලිම් කාන්තාවන් පර්දාව ඇඳීමට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්විණි. ඇතැම් රටවල එසේ ඇඳීම තහනම් ය. මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල හෝ පල්ලි මිස අන්‍යාගමික සිද්ධස්ථාන දැකිය හැක්කේ කලාතුරකිනි. එහෙත් ලංකාවේ හතර දිග්භාගයේ ම ආගම් හතරක සිද්ධස්ථාන දැකිය හැකි ය. ඒ ආගම්වවල වැදගත් දිනවල ලංකාවේ නිවාඩු ලබා දී ඇත. එංගලන්තයේ හෝ ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක වෙසක් දා අඩුම තරමෙන් බෞද්ධයනට නිවාඩු ලැබිණි ද? ඒ රටවල බෞද්ධයන්ට වෙසක් උදාවන්නේ වෙසක් පෝයට පසුව එන ඉරිදා ය. එහෙත් අපි සුද්දන්ගේ හා ඔවුන්ගේ හෙංචයියන් හා හෙංචක්කලා වූ පඬියන්ගේ දැනුමට යටත්ව බැට කන්නේ ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙනි. අප බැටකෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විදේශ අමාත්‍යාංශය ය. අප ලවා තව තවත් බටහිරයන්ට හිස නැම්මවීමට අද විදේශ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙයි. ජෙනීවා හි අප තානාපති ව සිටි දයාන් ජයතිලක වැන්නන්ට වඩා ලංකාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් කල තමරා කුණනායගම් මහත්මිය එතැනින් මාරුකර යවන්නේ බටහිර ගැති විදේශ ඇමතිගේ හා ලංඩනයේ මහා කොමසාරිස් ලෙස කටයුතු කළ එවැනි ම වූ ගැත්තියකගේ අවශ්‍යතාව පරිදි ද? සියළු ආකාරවල පඬියෝ තමන් බටහිර ක්‍රිස්තියානි දැනුමෙහි දාසයන් බව නො දනිත් ද? ඔවුහු නිවටයෝ වෙති. මේ නිවටයන් නිසා මුළු මහත් ජාතියක් සුද්දන්ට හා ඔවුන්ගේ දැනුමට හිස නැමිය යුූතු ද? අප මේ කරුමය වහා අහෝසි කර්මයක් කළ යුතු ය.

Sunday, 5 February 2012

නැවතත් සිංහල දැනුමට

බටහිර දැනුමෙන්වත් බටහිර ජීවන ක්‍රමයෙන්වත් අවසානයේ දී අපටවත් සෙසු ලෝකයාටවත් වන යහපතක් නැත. අප සමහර විට වත්මන් දැනුමෙන් හා තාක්‍ෂණයෙන් විශ්මයට පත්වනවා විය හැකි ය. එහෙත් බටහිර දැනුම හා ජීවන ක්‍රමය පදනම් වන චින්තනය මුළුමනින් ම මානව හා පරිසර විරෝධී වෙයි. එය දිගින් දිගට ම පැවතුණහොත් අවසානයේ දී ලෝකය විනාශ වීම හැරෙන්නට වෙනත් ප්‍රතිඵලයක් අත් නොවනු ඇත. මෙය ධනපති ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. ධනපති ක්‍රමය ද ජනිත වී ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. අනෙක් අතට බටහිරයන් විසින් පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක් තිස්සේ නිර්මාණය කර ඇති දැනුම අද අවරට යමින් පවතියි. නව සංකල්ප, වැදගත් ප්‍රවාද අද බටහිර නිර්මාණය නො වේ. බටහිර දැනුමේ කඩාවැටීම පෙන්නුම් කරන ප්‍රධානම පද්ධතිය නම් ඊනියා පශ්චාත් නූතනවාදය යි. එතරම් දුර්වල ගරා වැටෙන පද්ධතියක් ඇතැම් විට ලෝක ඉතිහාසයෙහි ම බිහි වී නැතැයි සිතිය හැකි ය. එහෙත් මේ සියල්ලට විකල්පය මාක්ස්වාදය හෝ පශ්චාත් මාක්ස්වාදය හෝ නො වේ. මාක්ස්වාදය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් ආපසු කතෝලික චින්තනය වෙත යෑමට කරන ලද අසාර්ථක හා දුර්වල උත්සාහයක් පමණකි. ෆැසිස්ට්වාදය ද එලෙස ම කතෝලික චින්තනය වෙත යෑමට කරන ලද උත්සාහයකි. ෆැසිස්ට්වාදය මෙන් ම මාක්ස්වාදය ද කතෝලික රටවල් වූ ජර්මනිය ඉතාලිය ආශිත ව බිහිවීම පුදුමයට කරුණක් නො වේ. ඉතාලියේ ද එක්තරා කාලයක ශක්තිමත් කොමියුනිස්ට් ව්‍යාපාරයක් විය. මාක්ස් එංගලන්තය සමාජවාදී වෙතැයි අපේක්‍ෂා කළ ද එරට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ කම්කරු පක්‍ෂයෙන් එහාට හෝ මෙහාට (තමන් බලන ආකාරය අනුව) නො ගියේ ය. අපට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් මිදිය හැක්කේ කසිකබල් මාක්ස්වාදයක් පසුපස යෑමෙන් නොව අපේ මගක් ගැනීමෙන් බව වටහා ගත යුතු ය. ජනරළ කණ්ඩායම මාක්ස්වාදී වීම ගැන මම සතුටු වෙමි. ඒ නිසා ම ඔවුන්ට පැවැත්මක් නැත.

අද බටහිර රටවලට ප්‍රශ්නවලට උත්තර නැත. ඔවුන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය කිරීම පමණකි. මෙයට ප්‍රධාන වශයෙන් ම දායක වූයේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙහි නායකත්වයට පැමිණි ඇමරිකාව ය. විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨවලට වැදගත් තැනක් ලැබුණේ පසුගිය වසර හැටක පමණ කාලයෙහි ඇමරිකාවෙහි ය. අද එංගලන්තයේ ද ඒ තත්වය දකින්නට ඇත. එදා විද්‍යා හා ශාස්ත්‍ර පීඨවලට හිමි වූ තැන කළමනාකරණ පීඨවලට ලැබී ඇත. ලංකාවේ ද මේ තත්වය ක්‍රමයෙන් උද්ගත වෙමින් පවති. එයින් කියැවෙන්නේ බටහිර අධ්‍යාපනයෙහි හා බටහිර විශ්වවිද්‍යාලවල කඩා වැටීම මිස අනෙකක් නො වේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට ඩෙංගු (පඬි බටහිර වෛද්‍යවරයකු එය ඩෙංගු නොව ඩෙංගි යැයි කියනු ඇත) සුව කිරීමට නො හැකි ය. ඔවුන්ට එය කළමනාකරණය කිරීමට හැකි ද යන්න ද ප්‍රශ්නයකි. පිළිකා රෝගීන්, දියවැඩියා රෝගින් රජරට වකුගඩු රෝගින් ගැන කතාකිරීම අනවශ්‍ය ය. දියවැඩියා රෝගීන් අසාධ්‍ය තත්වයට පත්වන්නේ ඉන්සියුලින් එන්නත් කිරීම නිසා ද? බටහිර වෛද්‍ය ශිෂ්‍යයකුට හෝ වෛද්‍යවරයකුට හෝ මේ සම්බන්ධයෙන් ඊනියා පර්යේෂණයක් කළ හැකි ය. රෝගියාට කුමක් වුවත් අඩුම තරමෙන් පර්යේ’ෂකයාට පර්යේෂණ පත්‍රිකාවක් හෝ කිහිපයක් හෝ ලැබෙනු ඇත. එහෙත් මේ රෝගවලට පාරම්පරික සිංහල වෙදකමේ ප්‍රතිකාර ඇත. සිංහල පාරම්පරික වෙදකම ආයුර්වේදය සමග පටලවා ගත යුතු නො වේ. සිංහල වෙදකම මෙන් ම ආයුර්වේදය ද දෙවියන්, බඹුන් නාගයන් සමග සම්බන්ධ වෙයි. ආයුර්වේදයටත් වඩා සිංහල පාරම්පරික වෙදකම මෙහි දීි විශේෂත්වයක් ගනියි. සිංහල වෙදකම සමග සම්බන්ධවන්නෝ බෞද්ධ දෙවිවරු ආදීහු ය. මේ දුනුම ලැබෙන්නේ ආධ්‍යාත්මිකව දියුණු තත්වයකට පත්වූවන්ට ය. ඇතැමුන්ට සෘජුව ම දෙවියන්ගෙන් බඹුන්ගෙන් හා නාගයන්ගෙන් (නාග ගෝත්‍රිකයන් නොව දෙවිවරුන් විශේෂයකි) දැනුම ලැබෙන අතර තවත් අයට නිසි ආධ්‍යාත්මික තත්වයට පත්වීමෙන් ඒ දැනුම ලබාගත හැකි ය. සිංහල නිල වෙදකම සම්බන්ධයෙන් මම මෙය අත්දැකීමෙන් ම දනිමි. මගේ අළුත්ම අත්දැකීම පසුගිය නත්තල් දිනයේ වැටී ආබාධ තත්වයකට පත්වීම නිසා ලබාගැනීමට හැකි විය. නිල වෙදකම දන්නා මහතකු මගේ නාඩි අල්ලා කීවේ කොඳු ඇට පේළියේ පහතින් කූඤ්ඤයක හැඩයට සුළු පිපිරීමක් සිදු වී ඇති බව ය. බටහිර වෛද්‍ය විද්‍යාව පිරික්සීම සඳහා මම එක්ස් කිරණ රූපයක් ද ලබාගත්තෙමි. එය බැලූ බටහිර විශේ’ෂඥ වෛද්‍යවරයා කීවේ ඒ රූපය අනුව නම් කිසි වරදක් දැකිය නො හැකි බව ය. එම රූපය මම දින කිහිපයකට පසුව සිංහල නිල වෙදකම ඉගෙන ගන්නා තරුණ බටහිර වෛද්‍යවරයකුට පෙන්වීමි. ඔහු කියා සිටියේ එකී රූපයෙහි පියවි ඇසට වරදක් නොපෙනන බව ය. පසුව ඔහු යම් ආධ්‍යාත්මික තත්වයකට පත්ව රූපය දෙස බලා කීවේ කූඤ්ඤයක හැඩයට සුළු පිපිරීමක් කොඳු ඇට පේළියේ පහත ස්ථරයක සිද වී ඇති බව ය. බටහිරයෝ අපට ආධ්‍යාත්මික ශක්තිය මිථ්‍යාවක් යැයි කියා අප ආධ්‍යාත්මික දියුණුවෙන් ඈත්කර ඔවුන්ගේ පුරාජේරු විද්‍යාව ඊනියා සත්‍ය යැයි කියමින් තම දේශපාලන ආධිපත්‍යය යොදා ගනිමින් අප මත පැටවූහ. දැනුම යනු අපෙන් තොරව පවත්නා ඊනියා වාස්තවික ලෝකයක් පිළිබඳ ව ඊනියා පර්යේෂණ මගින් ලබාගන්නා එකක් යැයි කියමින් අපව නොමග යවන පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් ද? තව තවත් බටහිරට ගැති වීම ද?

රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ය. මම ඔවුන් කවුදැයි නමින් හැරෙන්නට නො දනිමි. ඔවුන් සමග මගේ සෘජු සම්බන්ධයක් ද නැත. ඔවුන් සමග මගේ සියයට සියයක පෑහීමක් ද නැත. එහෙත් ඔවුන්ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත. එමෙන් ම මට නොහැකි වුව ද ආධ්‍යාත්මික ව දියුණු අයට (පාරමි දම් පුරා ඇති අයට) දෙවියන්ගෙන් බඹුන්ගෙන් නාගයන්ගෙන් දැනුම ලබාගත හැකි බවට ද මට සැකයක් නැත. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව ද ආසනික් එකතුවන්නේ කෘමිනාශක ඔස්සේ බව ද රජරට ප්‍රදේශවල ජලයේ කිවුල් බව හා පසෙහි ස්වභාවය එයට බලපාන බව ද දෙවියෝ අපට කියා දුන්හ. අපි ඒ අනුව රසායන විද්‍යාවෙහි කළ හැකි පර්යේෂණ කළෙමු. මා අවුරුද්දකට මඳක් වැඩි කාලයක් කැලණියෙහි සේවා දිගුවක් ලබාගත්තේ ද මේ පර්යේෂණ සඳහා අවශ්‍ය නිල ශක්තිය ලබා දීමට ය. අප ඒ පර්යේෂණ කළේ තමන් බටහිර විද්‍යාඥයන් යැයි සිතා සිටින නිවට පුස්සන්ගේ බලවත් විරෝධතාව මධ්‍යයෙහි ය. ඇතැම් මහාචාර්යවරියෝ ඇමතිවරුන් හමු වී අපට විරුද්ධව කරුණු කීහ. විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කිරීමට අවශ්‍ය උපකරණ නැතැයි කීහ. අප කළ පර්යේෂණයක් නැතැයි කීහ. මේ බොරුකාර පුහු අදක්‍ෂයන් හා අදක්‍ෂියන් පරාජය කිරීම අපට ප්‍රශ්නයක් නො වී ය. එහෙත් මා පීඨාධිපති නොවන්නට එසේ කිරීමේ හැකියාවක් නොතිබුණු බව ද පැහැදිලි ය. කෙසේ වෙතත් අද වන විට රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව තහවුරු වී ඇත. අද ඒ සඳහා ප්‍රතිකාර කිරීමට කිහිප දෙනෙක් පුහුණු කෙරෙති. බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාරයක් නැති අතර අද දින දෙකකට එක් රෝගියකු මිය යන තත්වයට පත් වී ඇත. රෝගයට ප්‍රතිකාරයක් නොමැතිවා පමණක් නොව එය පාලනය කිරීමට ද නොහැකි බටහිර වෛද්‍ය විද්‍යාවට වැඩි කලක් සිංහල වෙදකමට අකුල් හෙලීමට නොහැකි වනු ඇත. අද බටහිර වෛද්‍යවරු ම රාශියක් නිල වෙදකමේ ප්‍රතිකාර ලබති.

වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන බව තහවුරු වී ඇත. ඊනියා විද්‍යාත්මක කෘෂිකර්මය මිනිසුන් ජීවත් කරනු වෙනුවට මරා දමයි. අප කළ යුත්තේ මේ කෘෂි රසායන ගොවිකමෙන්, ඊනියා කෘෂිකර්මයෙන් විකල්ප සිංහල ගොවිතැනට හැකි ඉක්මණින් මාරු වීම ය. එයට විරුද්ධව ඊනියා කෘෂි විද්‍යාඥයෝ නොයෙකුත් චෝදනා කරති. කැෂි විද්‍යාඥයන්ගේ කර්මය ගැන දැනට අවුරුදු විසි පහකට පමණ පෙර අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකොාන් මහතා දිවයින බදාදා අතිරේකයට විශේෂ ලිපි පෙළක් ලිවී ය. අපි ඒ අදහස් ඇතුළත් වැඩිදුර අධ්‍යාපනයක් දෙවිවරුන්ගෙන් හා නාගයන්ගෙන් ලබා ගන්නෙමු. (මේවා මිථ්‍යාවන් යැයි කියන ඕනැම බටහිර ගැති නිවට පුස්සකු සමග වාද කිරීමට මම සූදානමින් සිටිමි.) නාගයෝ වැව් කර්මාන්තය හා ගොවිතෑන ගැන හසළ දැනුමක් ඇත්තෝ වෙති. පිලිපීනයේ ඊරි පර්යේෂණාතනයේ මෙහෙයවීමෙන් අපේ ගොවිතැන නැති කළේ කෙසේ දැයි අවුරුදු විසිපහකට පෙර ද අපි දැන සිටියෙමු. හෙළ ගොවිතැන ඉතා සරළ ය. එහි දී යොදා ගැනෙන්නේ සරළ විධි ක්‍රම ය. පොහොර සාදා ගැනීමට විශේෂ මහන්සියක් දැරිය යුතු නො වේ. අපේ පොහොර බටහිර සංකල්පයක් වන කොම්පෝස් පොහොර නො වේ. අපේ ගොවිතැන ඊනියා කාබනික ගොවිතැන ද නො වේ. කාබනික ගොවිතැනින් අපට ජීවත්විය හැකි නො වේ. බටහිරයන් කොම්පෝස් පොහොර අපට ලබා දී ඇත්තේ අප ඉන් අධෛර්යමත් කර අප බටහිර කෘෂිකර්මාන්තයෙහි ම රඳවා ගැනීමට ය. අපේ පොහොර නිපදවා ගන්නේ ශාඛ වලිනි. වෙල් යායකට ඒ පොහොර මහා පරිමාණයෙන් අවශ්‍ය නො වේ. එමෙන් ම විවිධ වර්ගවල ගොයම් අවශ්‍ය පරිදි උසින් පඳුරු දැමීම ආදී වශයෙන් හැසිරවීමේ ශක්තිය ද ඒ ඒ පොහොර වට්ටෝරුවලට ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය විසින් කරන ලද අත්හදාබැලීම්වලින් ඒ බව තහවුරු විය. අද ලංකාවේ විවිධ පළාත්වල මේ ගොවිකම සුළු පරිමාණයෙන් නමුත් සිදු කෙරේ. බටහිර දැනුම පසුපස නොගොස් අපේ දැනුමක් ඔස්සේ අපට මේ ජාතිය ස්වයංපෝෂිත කළ හැකි ය. කඩා වැටෙන බටහිරත් සමග කඩා වැටීමට මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට ඉඩ දී අපි රට කරවමු.

Saturday, 24 December 2011

කේරළය සහ ලංකාව

සිංහලයන්ට වඩාත්ම සමීප ඉන්දියාවේ ප්‍රාන්තය කුමක් ද යන ප්‍රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් පමණක් යැයි සිතමි. ඒ කේරළය ය. කේරළය බෞද්ධ ප්‍රාන්තයක් නො වේ. එහි බෞද්ධ ජනගහණය 0.5% ක් තරමවත් නැත. එහෙත් සිංහලයන් හා කේරළ මලයාලම් ජනතාවගේ සංස්කෘතික සම්බන්ධකම් බොහෝ ය. එමෙන් ම දේශගුණය, තුරුලතා ආදිය සම්බන්ධයෙන් ද කේරළය හා ලංකාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ ඒ පිළිබඳ දිර්ඝ සාකච්ඡාවක් කිරීමට නොව එවැනි සාකච්ඡාවක් සඳහා මට වඩා අත්දැකීම් ඇති අයගේ අවධානය ඒ සඳහා යොමු කිරීම ය. කේරළය නමින් ප්‍රාන්තයක් ඇතිකරන ලද්දේ ඉන්දියාව ඉංගිරිසින්ගෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් ලබාගැනීමෙන් පසුව ය. ප්‍රදේශ හා රාජ්‍ය කිහිපයක් එකතුකිරීමෙන් කේරළ ප්‍රාන්තය ගොඩනැගී ඇත. මූලික වශයෙන් භාෂාව මත පදනම් ව ප්‍රාන්ත පිහිටුවීමේ දී මලයාලම් භාෂාව කතාකරන පිරිස ඉතා වැඩි වශයෙන් ජීවත් වූ ප්‍රදේශය කේරළය නමින් බෙදා වෙන් කෙරී ඇත. ආගමික වශයෙන් ගතහොත් හින්දු ජනතාව බහුතරය වෙයි. එහෙත් එය අති විශාල බහුතරයක් නොව යම්තම් හරි අඩක් ඉක්මවූ බහුතරයකි. සෙසු ජනතාව ප්‍රධාන වශයෙන් ඉස්ලාම් හා කතෝලික භක්තිකයෝ වෙති.

දේශපාලන වශයෙන් ගතහොත් ඉන්දීය කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී) ශක්තිමත් වෙයි. කලක් කොමියුනිස්ට් පාක්‍ෂික නම්බුදිරිපාද් මහතා කේරළයේ මහාඇමති ලෙස පත් වී සිටියේ ය. අද ද කේරළයේ සෑම ප්‍රදේශයක ම පාහේ ඒ පක්‍ෂයේ ශාඛා ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි ය. ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂ බලවත් වූයේ කේරළයේ හා බටහිර බෙංගාලයේ වීමත් ඒ ප්‍රදේශ ලංකාවට යම්කිසි ආකාරයකින් සම්බන්ධවීමත් ලංකාවේ ද කලක මාක්ස්වාදී පක්‍ෂ ඉන්දීය ප්‍රාන්තවල තරම් බලවත් නොවුවත් යම් බලපෑමක් කිරීමේ හැකියාව සහිත වීමත් අතර කිසියම් වූ සම්බන්ධයක් ඇති බවත් සිතාගත හැකි ය. එහෙත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් ලංකාවේ වඩා බලපෑමක් කිරීමට හැකිවූයේ ස්ටැලින්වාදීන්ට වඩා ට්‍රොට්ස්කිවාදීන්ට බව ය. එමෙන්ම කේරළයේ මෙන් ගමෙන් ගමට ව්‍යාප්ත වූ මාක්ස්වාදී ව්‍යාපාරයක් ජ වි පෙ බිහිවන තුරු ලංකාවේ ඇති නොවීමත් සඳහන් කළ යුතු ය. ට්‍රොට්ස්කිවාදය නාගරික උගතුන්ට වඩා ආකර්ෂණීය වීමට අමතර ව මාක්ස් එංගල්ස් ට්‍රොට්ස්කි භාවිතා කළ අපෝහකවාදය රූපිකත්වයෙන් කෙළවර වුවත් එය චතුස්කෝටිකයේ දුර්වල ප්‍රකාශයක් වීම ලංකාවේ ට්‍රොට්ස්කිවාදය නගරවල පැතිරීමේ දී හේතුවක් වී ඇතැයි සිතිය හැකි ය. ට්‍රොට්ස්කිගේ යුද්ධය ද නො වේ සාමය ද නොවේ වැනි ප්‍රකාශ දිරවා ගැනීමට සිංහල බෞද්ධයන්ට කිසිම අපහසුවක් නැත.

කේරළයේ පහත් ප්‍රදේශවල පොල් ඉතා බහුල වශයෙන් දැකගත හැකි ය. ලංකාවේ ඇති සෑම ගසක් ම පාහේ කේරළයේ ද ඇත. කේරළයේ ම පවතින එක් ජනප්‍රවාදයකට අනුව කේරළය යන්න පොල් හා විල් යන අර්ථ ඇති වචන දෙකක් එකතු වීමෙන් සෑදී ඇත. ඒ කෙසේ වෙතත් කේරළයේ පොල් ගස් මෙන් ම ඉතා විශාල විල් ඇත. විල් පැවතීම හේතුවෙන් එහි බෝට්ටු සේවාවල යෙදීමට ද බොහෝ දෙනාට අවස්ථාව ලැබී ඇත. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල මෙන් නොව කේරළයේ පොල් ගස ප්‍රධාන ගස වීම ද ලංකාව හා කේරළය අතර සමානත්වය වැඩිවීමට හේතු වී ඇත. කේරළයේ ජනතාව ද පොල් ගස කප් රුකක් ලෙස සලකති. ඔවුහු ද පොල් ගසේ ඉවත දමන කිසිවක් නැතැයි පවසති. ලංකාවේ මෙන් ම අප රටේ රටාවට ම වියන ලද පොල් අතුවලින් සෙවිලි කළ නිවෙස් කේරළයේ ද දැකගත හැකි ය.

ආප්ප, ඉදිආප්ප පිට්ටු වැනි කෑම පමණක් නොව මුංගුලි ද කේරළයේ ඇත. ඒ කෑම වඩාත් ම ඇත්තේ තරමක් උතුරට වූ මලබාර ප්‍රදේශයේ යැයි කියනු ලැබේ. කුරුම්බා ගෙඩියක් බී එය පළා ඇස්සක් ගසාගෙන ලොඳ කෑමට කේරළ වැසියෝ ද හපන්නු වෙති. පෘතුගීසින්ට යටත් ව සිටි සමයේ දී හඳුන්වාදෙනු ලැබූ හැට්ටය සමග රෙදි (රෙද්ද හැට්ට) හා විලුඹ තෙක් ඇති දිග ගවුම් අඳින කාන්තාවන් අද ද කේරළයේ පාර තොටේ දැකගත හැකි ය. ලුංගිය (සරම වැනි එහෙත් මූට්ටු කර නොමැති) හැඳගත් පිරිමි කැසපටක් කවා ගමන් බිමන් යති. ලංකාවේ තරමට කලිසම කේරළයේ ප්‍රචලිත වී නැත. කේරළයේ කාන්තාවන් සාරිය ඇඳීමේ දී ද සිංහල කාන්තාවන්ට සමාන කමක් දැකිය හැකි ය. එය දෙමළ හෝ උතුරු ඉන්දියාවේ හෝ කාන්තාවන් සාරිය ඇඳීමට වඩා වෙනස් වෙයි. කේරළයේ භාෂාව මලයාලම් වෙයි. එය සිංහලයට නොව දෙමළට සමීප වෙයි. එහෙත් කේරළ වැසියන් භාෂාව කතාකරන රිද්මය සිංහල කතාකරන රිද්මයට සමීප වෙයි. ඇතැම් අවස්ථාවක ඔවුන් කතාකරන්නේ සිංහල දැයි සිතෙන තරමට මේ සමීපත්වය වෙයි. ඔවුන්ගේ ගීත ද සිංහල ගීත මෙන් ඇසෙන අවස්ථා වෙයි. මලයාලම් භාෂාවේ අකුරු ලියන ආකාරය හා සිංහල භාෂාවේ අකුරු ලියන ආකාරය සමාන වෙයි. මේ සමානත්වය මියන්මාර තායි ආදී භාෂා සම්බන්ධෙැයන් ද දැකගත හැකි වෙයි. මලයාලම් අකුරු දෙමළ අකුරුවලට වඩා සිංහල අකුරුවලට සමීප වන්නේ කෙසේ ද? මලයාලම් හොාඩියේ ඇකාරය නැත. ඇකාරය සිංහලයන්ගේ ම නිර්මාණයකි. එහෙත් මලයාලම් හෝඩියේ ඉරු (සෘ) සහ ඉලූ දැකගත හැකි ය. භාෂා හා ආගම් වෙනස් වුව ද සිංහලයන්ගේ ජීවන රටාව හා ජීවන රිද්මය ඉන්දියාවේ ජන කොටස් අතරින් වඩාත් සමීප වන්නේ කේරළ වැසියන්ගේ ජීවන රටාවට හා ජීවන රිද්මයට ය.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල නිවෙස් පැතලි වහළකින් සමන්විත වෙයි. එහෙත් කේරළයේ නිවෙස්වල වහළ හැඩතල ස්වරූපයක් ගනියි. පහළොස්වැනි සියවසේ පමණ බිහි වූ ත්‍රිවන්ද්‍රම් අගනුවර කරගත් ත්‍රාවන්කොර් රජවරුන්ගේ මාළිගා හා නුවර ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාළිගාව අතර සමානත්වයක් වෙයි. ඇම්බැක්කේ වැනි කැටයම් ද ඒ රජවරුන්ගේ මාළිගාවල දැකගත හැකි ය. ඒ රජ පරම්පරාවේ දහහත් දෙනෙක් අද ද ඒ මාළිගාවල වෙසෙති. ඔවුන්ට කිසිදු ආකාරයක රාජ්‍ය බලයක් අහිමි වුවත් පැරණි සිරිත් විරිත් පවත්වාගෙන යෑමට ඔවුහු සමත් වී සිටිති. මේ අතර යුද්ධ ශිල්ප අතින් ද සමානත්වයක් දැකිය හැකි ය. අංගම්පොර ශිල්පය මෙයට උදාහරණයකි. මේ ශිල්පය අනුරාධපුර සමයෙහි ද මෙරට තිබී ඇත.

කේරළය හා ලංකාව අතර ඇති සමානත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශගුණය හා භූගෝලය වැනි භෞතික සාධක බවට සැකයක් නැත. එහෙත් සිංහලයන් හා කේරළ වැසියන් අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් ඇති වී තිබෙන්නේ කෙසේ ද? එයට හේතු ගණනාවක් වෙයි. ඉතා මෑත ම හේතුව ලෙස සෑලකිය හැක්කේ පෘතුගීසි ආක්‍රමණය ය. පෘතුගීසින් කේරළ වැසියන්ට හා සිංහලයන්ට ලබා දී ඇති හැට්ට කබා ආදිය එහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. සිංහලයන්ටත් වඩා කේරළ වැසියෝ පෘතුගීසි බලපෑමට හසු වී සිටිති. කතෝලික ආගම කේරළයේ වඩා පැතිර ගොස් ඇත. එය පුදුමයට කරුණක් නොවන්නේ පෘතුගීසින් ගෝව හා කේරළය පදනම් කරගනිමින් අපේ කලාපය පාලනය කිරීම නිසා ය. ආසියාවේ ප්‍රථම කතෝලික පල්ලිය ලෙස සෑලකෙන ශාන්ත ෆ්‍රැන්සිස් පල්ලිය කොචින් නගරයේ පිහිටා ඇත. වස්කෝ ද ගාමාගේ සිරුර පළමුවෙන් භූමදාන කර ඇත්තේ මේ පල්ලියේ ය. දෙවැනි ආසන්න හේතුව දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට කේරළ ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනතාව ය. මේ ජනතාවගෙන් යම් පිරිසක්් මෙරට විවිධ කුලවලට අවශෝෂණය කෙරී ඇත. ඔවුන් සමග විවිධ ආහාරපාන ද මිරිස් ද ගුරුකම් ද අපට ලැබී ඇත. තුන්වැනුව අපට දැක්විය හැක්කේ මෙරටට විටින් විට ගෙන්වන ලද මලයාලම් බස කතාකළ වේලක්කාර හමුදා ය. මේ පිරිස් නාගදීපයේ සිංහලයන් සමග පදිංචි වී සිට ඇත. ලන්දේසීන් වත්මන් තමිල්නාඩුවෙන් දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනෙන විට නාගදීපයේ හෙවත් යාපන අර්ධද්වීපයේ සිටියෝ සිංහලයෝ හා වේලක්කාරයෝ ය. යථා කාලයේ දී මේ සියල්ලන් දෙමළ වී ඇති නමුදු යාපනයේ දෙමළ බසට මලයාලම් වචන එකතු වී ඇත්තේ ඒ වේලක්කාරයන්ගෙනි. එහෙත් එයටත් වඩා ඈතට යන සම්බන්ධයක් මෙරට සිංහලයන් හා කේරළ වැසියන් අතර වූ බව පෙනෙයි. දෝශපාලන වශයෙන් ගතහොත් පැරණි පාණ්ඩ්‍ය දේශයට වත්මන් කේරළයෙන් කොටසක් අයත් වත ඇති අතර චේර රාජ්‍යයට ද කේරළයේ සම්බන්ධයක් ඇත. පැරණි පාණ්ඩ්‍යයෝ ද්‍රවිඩයෝ නොවුහ. සිංහලයන් පාණ්ඩ්‍යයන් හා චේරයන් සමග සමගියෙන් වාසය කර ඇති අතර චෝලයන්ට එරෙහිව එකිනෙකාට උපකාර ද කර ඇත. විශේෂයෙන් ම දෙපැත්තේ ම වාසය කළ නාවිකයන් වූ නාග ගෝත්‍රිකයන් අතර සම්බන්ධකම් ගොඩ නැගී ඇති බව ද පැහැදිලි ය. ඒ සඳහා සෘජු නිදර්ශනයක් නොවුණ ද නාගසලම් යනුවෙන් හැඳින්වෙන සංගීත භාණ්ඩය ගැන වචනයක් කිව යුතු ය. පඬිවරු නාගසලම් යන්න ශුද්ධකර නාදස්වරම් ලෙස භාවිතාකරති. එහෙත් කේරළයේ නාගසලම් යන්න කියැවෙන්නේ නාගස්වරම් යනුවෙනි. සිංහලයේ ර සහ ල අකුරු මාරුවීමේ රීතිය අනුව නාගස්වරම් නාගසරම් හා නාගසලම් බවට පත්වී ඇතැයි සිතිය හැකි ය. නාගස්වරම් හෙවත් නාගස්වර යන්නෙන් නාගයන්ගේ ස්වර හෝ නාගයන්ට ආමන්ත්‍රණය කරන ස්වර යන තේරුම දෙනවා විය හැකි ය. මේ සියල්ල පිළිබඳ පු්‍රළුල් ගවේෂණයක යෙදිය යුතු ය. උපසම්පදාව ලංකාවෙන් සියමට ගෙන ගොස් ආපසු ගෙන ආ පරිදි ඇතැම් සංස්කෘතික ලක්‍ෂණ පළමුවෙන් ලංකාවෙන් කේරළයට ගෙන ගොස් ආපසු ලංකාවට ගෙනැවිත් ඇති බව පෙනී යයි. ඈත අතීතයේ දී සිංහලයන් (සිංහල වූ නාගයන්) කේරළයට සංක්‍රමණය වී යැයි කියන ජනප්‍රවාදය ද අමතක නොකළ යුතු ය.