උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වෙනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශකර ඇත. අනෙක් පළාත් සභා මැතිවරණ පවත්වා තිබිය දී උතුරු පළාතේ පමණක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස හැමදාමත් සිටි බටහිරයන්ට හා ඉන්දියාවට වඳුරන්ට ඉණිමං බැඳීමක් විය. එහෙත් අප අපේ රට සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බටහිර රටවල් හා ඉන්දියාව දෙස බලා නො වේ. අපේ රටේ ස්වෛරීභාවය, ආරක්‍ෂාව, භෞමික අඛණ්ඩතාව, ඒකීය භාවය (එක්සේසත් බව) ආදිය එහි දී වැදගත් වෙයි. ඉහත සඳහන් කරුණක් හෝ කරුණු කිහිපයක් නිසා හෝ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු යැයි අපට වැටහේ නම් අප ඒ අනුව අදාළ මැතිවරණය නොපැවැත්විය යුතු ය. එහෙත් අපේ තීරණය යුක්තියුක්ත කිරීමට අපට හැකි විය යුතු ය.
පළාත් සභා අහෝසි කරනු දැකීම මගේ අභිප්‍රාය වෙයි. එයට ප්‍රධාන හේතුව පළාත් සභා මෙරට ඇති ප්‍රශ්නයකට විසඳුමක් නො වීම ය. පළාත් සභා ඇතිකරනු ලැබුයේ ඉන්දියාවේ අවශ්‍යතාවට ය. එය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නවලට ඊනියා විසඳුමක් ලෙස ඉන්දියාව විසින් බලයෙන් පටවන ලද්දේ එංගලන්තයේ හා ඇමරිකාවේ ආශිර්වාදය හා අනුග්‍රහය යටතේ ය. එහෙත් මෙරට ඇති ප්‍රශ්නය අන් කිසිවක් නොව ඉංගිරිසි හා ලන්දේසි යටත්විජිත යුගවල දී සිංහල බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් ය. මේ අසාධාරණකම්වලට තවමත් විසඳුම් ලැබී නැත. සිංහල බෞද්ධයෝ තවමත් අසාධාරණකම්වලට ලක්වෙති. මෙයට යම් ප්‍රමාණයකට වගකිව යුත්තෝ සිංහල බෞද්ධයන්ගේ ඊනියා නායකයෝ ය. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවට තවමත් පිළිගැනී නැත. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාවගේ සංස්කෘතිය සිංහල බෞද්ධ විය. මෙරට ජනතාවගේ ජීවන රටාව සිංහල බුද්ධාගම විසින් සකස් කෙරිණි. මෙරට ජනතාවගේ චින්තනය, අවශ්‍ය නම් ජාතික චින්තනය, සිංහල බෞද්ධ චින්තනය විය. දැනුම ද ඇතුළත් වූ සංස්කෘතිය ගොඩනැගෙන්නේ යම් චින්තනයක ය. එයින් අදහස් වන්නේ චින්තනය යන්න මූල හේතුවවත්, චින්තනය වෙනස් නොවන බවක්වත් නො වේ. චක්‍රීය චින්තනයක මූල හේතු නැත. අනිත්‍ය ගැන කියැවෙන සංස්කෘතියක නිත්‍ය චින්තනයක් තිබිය නො හැකි ය.
ඇතැම් සිංහල බෞද්ධයන් ම, ඇතැම් භික්‍ෂූන් වහන්සේ ම, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු සුවිශේෂ තත්ත්වය අහිමිකිරීමට කටයුතු කරනු දැක්ම කණගාටුදායක ය. ඊනියා සර්ව ආගමික සංකල්පය මගින් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු විශේෂ තත්ත්වය අහිමි කිරීම ය. මෙරට බහු සංස්කෘතික රටක් වන්නේ කිනම් අර්ථයකින් ද? ඕනෑම රටක සංස්කෘතීන් එකකට වඩා තිබිය හැකි මුත් ඒ සෑම රටකම අධිපතිවාදී සංස්කෘතියක් හෝ විශේෂිත සංස්කෘතියක් හෝ පවතී. එහෙත් ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස හැඳින්වෙන්නේ මෙරට සෑම සංස්කෘතියක් ම සමාන ය යන අර්ථයකිනි. සර්ව ආගමික භික්‍ෂූන්වහන්ස්ලා ද සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැතිකරති. අප පළමු කොට ම මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීමට සැලැස්විය යුතු ය. අපේ ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො ලැබීම ය. මෙරට චින්තනය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ චින්තනය බව විශ්වවිද්‍යාලවල සිටින බටහිර ගැති නිවට පුස්සන්ට කියා දිය යුතු ය. මේ පුස්සෝ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලොවේ ම අධිපතිවාදී චින්තනය බව පිළිගනිති. දැනුම හා සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල මේ පුහු නිවටයෝ වෙනත් කිසිම සංස්කෘතියකට හෝ චින්තනයකට හෝ ඉඩක් නො දෙති. එහෙත් බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම පට්ටපල් බොරුවක් බව පෙන්වූ විට ඔවුන්ට එයට විරුද්ධව කීමට දෙයක් නැත. ඔවුහු දිගට ම නිවටකම නිසා ම පට්ටපල් බොරුවේ ගැලී සිටිති.
මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ අසාධාරණයක් නොමැති බව පෙන්වා දශක දෙකකට වැඩි ය. එහෙත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනාට ඒ ගැන වැටහීමක් නැත. සිංහල භාෂාව මෙරට ඈත අතීතයේ සිට රාජ්‍ය භාෂාව විය. එසේ නොවූයේ ඉංගිරිසින්ගේ කාලයේ පමණ ය. රාජ්‍ය භාෂාව යන සංකල්පය අද අරුතින් නිර්වචනය කර නැති වුවත් මෙරට රාජ්‍ය කටයුතු කෙරී ඇත්තේ සිංහලෙනි. ඒ බව දිවයින පුරා විසිරී ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. මෙරට ඇති දෙමළ සෙල්ලිපි සංඛ්‍යාව කෙතෙක් ද? ඒ දෙමළ සෙල්ලිපි ද ඇත්තේ දෙමළ වෙළෙන්දන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙරට කිසිම දිනෙක දෙමළ රාජ්‍ය භාෂාව වි නැත. එසේ වී ඇත්නම් ඒ බව ඔප්පුකරන මෙන් මෙරට සිටින වීරයන් වීමට දඟලන පුස්සන් වූ කසිකබල් ඉතිහාසඥයන්ට අභියෝග කරමු. පෘතුගීසීන් හා සංකිලි අතර වූ ගිවිසුම ද ඇත්තේ සිංහල හා පෘතුගීසි භාෂාවලින් මිස දෙමළ භාෂාවෙන් නොවන බව ගාමිණී ඊරියගොල්ල මහතා පෙන්වා දී ඇත. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ අවාසියක් නැත. ඒ දෙමළ ජනයා යම් පිරිසක්වත් ඉංගිරිසියට වඩා සිංහල දත් බැවින් ඔවුන්ට අත්වූයේ වාසියකි. සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා අවාසියක් වී නම් ඒ ඉංගිරිසි දත් එහෙත් සිංහල නොදත් ප්‍රභූ දෙමළ වෙල්ලාලයන්ට පමණකි. මෙරට 1931 සිට සිදු වී ඇත්තේ සර්වජන ඡන්දය ලැබීමත් සමග ඉංගිරිසි දත් දෙමළ වෙල්ලාලයනගේ වරප්‍රසාද අඩුවීම ය. ඒ වරප්‍රසාද අඩුවීම දෙමළ වෙල්ලායෝ හා ඉංගිරිසිහු සාමාන්‍ය දෙමළ ජනයාට වූ අසාධාරණයක් ලෙස ප්‍රචාරය කළහ. දෙමළ ජනයාට නිදහසෙන් පසුව සිදුවිණි යැයි කියන අසාධාරණකම්වල මුල ඇත්තේ එතැන ය. පළාත් සභා ගෙන ආවේ දෙමළ ජනයාට නැති ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට ය. එහි බලාපොරොත්තුව මුළු රටේ ම නායකයන් වීමට සිටි දෙමළ වෙල්ලාලයන්ට අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල නායකකම් ලබා දී පසුව ඒ පළාත් වෙන ම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීම ය.
දෙමළ වෙල්ලාලයන්ට සාකච්ඡා හා ගිවිසුම් මගින් කරගැනීමට නොහැකි වූ දේ කිරීමට බටහිර්යෝ හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදය යොදාගත්හ. දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති දෙමළ ජාතිවාදයට අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පිහිට කරගැනීමට සිදු විය. එහෙත් දෙමළ ත්‍රස්තවාදය අවුරුදු තිහක සටනකින් පසු පරාජයට පත්විය. අද දෙමළ ත්‍රස්තවාදය නැත. එහෙත් දෙමළ ජාතිවාදය ඇත. එයට පොහොර දමමින් එය රැකගන්නේ බටහිර රටවල් හා ඉන්දියාව ය. විසුරුණු දෙමළ ජනතාව බටහිරයන්ගේ ආයුධයක් පමණ ය. දෙමළ ජාතිවාදයට ලංකාවේ තනිව ම ගත්කල ඉඩක් නැත. බටහිරයන් හා ඉන්දියාව එය ක්‍රියාත්මක කරන්නේ දෙමළ ජාතික සංධානය, රාජ්‍ය නොවන සංවිධාන, පුහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් (විශේෂයෙන් ම එතරම් ඉහළ පංති සාමාර්ථ නැති අය හා විවිධ ඊනියා පර්යේෂණවල යෙදී තරමක් වයස්ගත වූ පසු කථිකාචාර්යකම් ලබාගෙන ශාස්ත්‍ර පීඨවල සේවය කරන පුස්සන්), එ ජා ප, කසිකබල් මාක්ස්වාදී පක්‍ෂ ආදිය මගින් ය. ඔවුන් මොන තරම් දැඟළුවත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටිනා තෙක් දෙමළ ත්‍රස්තවාදයට ඉඩක් නැත. මේ ආණ්ඩුව බලයට පත්වූයේ සිංහල, ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ ඡන්දවලිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ඡන්ද පදනම නැතිකරගනු ඇතැයි සිතිය නො හැකි ය.
අද තත්වය පසුගිය අවුරුදු තිහට වඩා වෙනස් ය. ඇතැම් ජාතිකවාදීන් ඒ බව අවබෝධ කරගෙන නැත. අද බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා කෙසේ නමුත් දංගෙඩියට යැවීම ය. ඔවුන් ජෙනීවා සමුළු ආදිය යොදාගන්නේ ඒ සඳහා ය. ඒ මහතා ඡන්දයෙන් පරාජය කර හෝ වෙනත් ක්‍රමයකින් හෝ දංගෙඩියට යැවීමට ඔවුහු උත්සාහ කරති. කිනම් අඩුපාඩුකම් මැද වුව ද මේ ආණ්ඩුව රැකගැනීම අද වැදගත් වන්නේ එසේ නොවුනහොත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව මෙරට ඊළමක් පිහිටුවන බැවිනි. රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දත කට මැදගෙන සිටියි. දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාව ද මෙරට සැබෑ පූවැසියන් කරගැනීමේ අවශ්‍යතාව ඇත. ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොවන බව ඔවුන්ට අවබෝධවන අයුරින් ජාතිකවාදීන් කටයුතු කළ යුතු ය. පසුගිය දා මම නැගෙනහිර පළාතේ දින කිහිපයක් ගතකෙළෙමි. ඇතැම් මුස්ලිමුන් කාත්තන්කුඩිය ඉඳිගස් ද සහිත පුංචි අරාබියක් කරගැනීමට උත්සාහ කරනු දුටුවෙමි. මෙරට රෝමානු කතෝලිකයෝ අද වන විට සිංහල කතෝලිකයන් බවට පත්වී සිටිති. මෙරට මුස්ලිමුන් අරාබි මුස්ලිමුන් නොව හෙළ මුස්ලිමුන් බවට පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. එහෙත් ඒ සඳහා පළාත් සභා අවශ්‍ය නො වේ. කුමාරතුංග මුනිදාස මහතාගේ අදහසක් සුළුවෙන් වෙනස්කර හෙළ බොදුනුවන්, හෙළ කිතුණුවන්, හෙළ හින්දූන් හා හෙළ මුස්ලිමුන් (ඉස්ලාමිකයන්) වීමට අපි උත්සාහ ගනිමු.
අද හැකිනම් කළයුත්තේ පළාත් සභා අහෝසි කිරීම ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමකු වූ අභාවප්‍රාප්ත රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇත. ඒ කෙසේ වෙතත් පළාත් සභා අහෝසිකිරීමට තවමත් වාතාවරණය සකස් වී නැත්නම් අද කළ යුත්තේ පොලිස් බලතල ඉඩම් බෙදීමේ බලතල ආදිය පළාත් සභාවලට අහිමි කිරීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම බටහිරයන්ගේ බලාපොරොත්තුව බව ඉහත සඳහන් කළෙමි. පසුගිය දිනෙක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ ප්‍රාන්ත පොලීසියක් මගින් අත්අඩංගුවට ගැණිනි. යම් අයුරකින් පොලිස් බලතල සහිත උතුරු පළාතේ පළාත් සභාවේ පොලීසිය බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහායෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පළාතට ගිය විට අත්අඩංගුවට ගෙන කිසියම් ආකාරයකින් බටහිරට ගෙන ගොස් ඊනියා ජාත්‍යන්තර අධිකරණයක යුද්ධාපරාධ සම්බන්ධයෙන් නඩු පවරා වරදකරු කර රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් බටහිර ගැත්තකු හෝ බලයට පත්කළහොත් ඇතිවන තත්ත්වය කුමක් ද? උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම එතරම් හිතකර නො වේ. එහෙත් එයට පළමුව පොලිස් බලතල, ඉඩම් බෙදීමේ අයිතිය පළාත් සභාවලට අහිමි කළ යුතු ය.
(13/05/05)
නලින් ද සිල්වා