Main Logo

Friday 3 May 2013

චින්තනය හා ජාතික චින්තනය

මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ ඇයි යන ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දී ඇත. එහෙත් මේ ප්‍රශ්නය එයට වඩා පළල් ව ඇසිය යුතු ය. මාක්ස්වාදය කිසිම රටක මුල් බැසගෙන නැත. බටහිර යුරෝපයේ එය කිසි දිනෙක මුල් බැස ගත්තේ නැත. අද ඇමරිකාව ලෝකයේ දියුණු ම රට ලෙස පිළිගැණුනු ලැබුණ ද, මාක්ස්වාදය බිහිවූ කාලයේ ද, ඉන්පසු ඊනියා දෙවැනි ලෝක යුද්ධය තෙක් ම බටහිර යුරෝපය හා ඉනුදු එංගලන්තය ලෝකයේ දියුණුම රටවල් (රට) ලෙස හැඳින්විණි. මාක්ස්වාදයට අනුව ලෝකයේ පළමු කම්කරු පංතික විප්ලවය සිදුවිය යුතුව තිබුණේ ඒ දියුණු ම රටවල ය.

එහෙත් එය එසේ සිදු නොවිණි. ඒ වෙනුවට ඊනියා කම්කරු පංතික විප්ලවය කෙසේ වෙතත් කොමියුනිස්ට් පක්‍ෂයක් බලයට පත්වූයේ රුසියාවේ ය. රුසියාව එකී පෙරළිය සිදුවන කාලයෙහි දී ඉතා අඩු දියුණු රටක් විය. එහි පැවතියේ සාර් (රජු) ගේ රාජාණ්ඩුවකි. එහි අඩුම තරමෙන් මාක්ස්වාදී භාෂාවෙන් කියන්නේ නම් ධනේශ්වර රාජ්‍යයක්වත් නො වී ය. එය එසේ සිදුවූයේ ඇයි ද යන්න තේරුම් ගැනීමට කෘති රාශියක් පළ වී ඇත. ඒ කෘති මාක්ස්වාදී දෘෂ්ටි කෝණවලින් මෙන් ම වෙනත් කෝණවලින් ද ලියැවී ඇත.

මේ අතර එක්තරා ලේඛකයකුට අනුව රුසියාවේ දී ලෙනින්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කර ඇත්තේ මාක්ස්වාදී ප්‍රවාදයක් නොව රුසියානු ජාතික චින්තනය ය. ඒ ලේඛකයා එය හඳුන්වා දී ඇත්තේ නැෂනල් තෝට් (නඅටඉඔනඅල ටහඔඋගහට) ලෙස ය. ගුණදාස අමරසේකර මහතා අතින් එය සිංහලයට පරිවර්තනය වූයේ ජාතික චින්තනය ලෙස ය. මේ චින්තනය අප විසින් චින්තනය යනුවෙන් යොදාගැනෙන්න නො වේ. එහෙත් අද වන විට එය නොවන්නේ ද නො වේ.

අමරසේකර මහතා තෝට් යන්න චින්තනය ලෙස පරිවර්තනය කළේ ය. එය ඉතා ලිහිල් විසිරුණු අදහසකි. ඉංගිරිසියෙන් තෝට් යන්නෙහි ඇත්තේ දාර්ශනික අදහසක් නො වේ. තෝට් යන්න නාම පදයක් ලෙස සිතුවිල්ල සමග සම්බන්ධ ය. එය තින්ක් යන පදය සමග ද සම්බන්ධ ය. කෙසේ වෙතත් ජාතික චින්තනය යන්න බොහෝ කලක සිට මෙරට ජාතිකවාදීන් යොදාගන්නා පදයකි. පනහේ දශකයේ මුල් අවධියේ හරිශ්චන්ද්‍ර විජයතුංග, බැසිල් සිල්වා, රත්නකාර, ජේ ආර් පත සූරියප්පෙරුම ආදී මහතුන් විසින් ද, ඉන් පසු අසූවේ දශකයේ මුල දී පමණ ජී අයි ඩී ධර්මසේකර, කුලියාපිටියේ ප්‍රනන්ද ආදී මහතුන් විසින් ද ජාතික චින්තනය යන්න යොදා ගනු ලැබ ඇත.

එහෙත් ඒ සියළු දෙනා එකම අරුතකින් ජාතික චින්තනය යන්න ව්‍යවහාර කළේ යැයි මෙයින් නො කියැවෙයි. ඔවුහු එය කුමක් දැයි පැහැදිලි නො කළහ. මේ ව්‍යවහාරය යොදාගත් බොහෝ දෙනා එසේ කළේ මාක්ස්වාදී ව්‍යාපාරය හරිමග යැවීමට ය. ඔවුන්ගේ අදහස වූයේ මාක්ස්වාදී පක්‍ෂ ගොරහැඩි ලෙස මාක්ස්වාදය අනුකරණය කළ බවත් එහෙත් එය අපේ රටේ ව්‍යවහාර කළ යුත්තේ යම් ජාතික චින්තනයක් සමගින් බවත් ය. ඔවුන්ගෙන් ඇතැමකුට අනුව මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ මාක්ස්වාදී පක්‍ෂ එය නිර්මාණාත්වයකින් දේශයට ගැලපෙන ආකාරයකින් යොදා නොගැනීම නිසා ය.

ඒ අයට අවශ්‍ය වූයේ මාක්ස්වාදයට ජාතිකත්වයක්, ජාතික චින්තනයක් ලබා දී එය දේශයට ගැලපෙන ආකාරයකින් යොදා ගැනීමට ය. ගුණදාස අමරසේකර මහතාට අවශ්‍ය වූයේ ද එවැන්නකි. විශ්ලේෂණාත්මක මනසක් ඇති බවක් පෙන්වා නොමැති ඒ මහතා අබුද්දස්ස යුගයක් පොතෙහි ඒ පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එය කියවූ සූරියප්පෙරුම මහතා ඒ පිළිබඳ ව කළ තම විවේචනයක අනගාරික ධරමපාලතුමා මාක්ස්වාදී ද යන ප්‍රශ්නය නගා ඇත. ගුණදාස අමරසේකර මහතාගේ ඊළඟ කෘතිය අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ලෙස නම් කෙරිණි.

ඉන්පසු අමරසේකර මහතා ලියූ එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන කෙටි නවකතා දෙක මාක්ස්වාදය හා ජාතිකත්වය එකතු කළ යුතු ය යන අදහස මත පිහිටා ලියුවේ වෙයි. එහෙත් ඒ එකතු කරන්නේ කෙසේ ද යන්න එහි දී සාකච්ඡා නො කෙරිණි. අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගත්තේ 1986 දී ය. මේ වන විට ද අපි චින්තනය යන සංකල්පය නිර්මාණය කර තිබිණි. අපට එය දාර්ශනික සංකල්පයක් විය. අපට දැනුම ලබාගැනීම කෙරෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් විය. දැනුමේ පදනම කුමක් ද ආදී ප්‍රභ්න එකල අප අතින් සාකච්ඡා විණි.

යුදෙවු චින්තනය යන්න අප විසින් යොදාගැණුනු පළු සංකල්පයක් විය. බටහිර දැනුම යුදෙවු චින්තනය යන්න මත පදනම් වී ඇත යන්න අපේ මුල් ම ප්‍රවාදයක් විය. යුදෙවු චින්තනය යන්න වැඩිකල් නොගොස් ම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස සංශෝධන ය විය. කෙසේ වෙතත් චින්තනය යන්න කූන්ගේ සුසමාදර්ශනය යන්නට වඩා ගැඹුරු විය. කූන්ට අනුව සුසමාදර්ශ බිහිවන්නේ බටහිර විද්‍යාවේ අසාමාන්‍ය හෙවත් විප්ලවීය යුගවල ය. බටහිර විද්‍යාවේ සෙසු කාල සාමාන්‍ය කාල ලෙස හැඳින්විණි. බටහිර විද්‍යාවේ සාමාන්‍ය කාලවල දී විද්‍යාඥයෝ පවත්නා සුසමාදර්ශයක ගැටළු විසඳීමේ යෙදී සිටිති. එහෙත් සුසමාදර්ශය වෙනස්වන අසාමාන්‍ය කාලවල බටහිර විද්‍යාවේ විප්ලව සිදුවෙයි.

කූන්ගේ සුසමාදර්ශය යන සංකල්පයෙන් අපි යම් ආභාසයක් ලැබුවෙමු. එහෙත් අප වඩාත් ම ආභාසය ලැබුයේ බෞද්ධ දර්ශනයෙනි. දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය නිර්මාණාත්මක සාපේක්‍ෂතාව ලෙස හැඳින්වෙයි. එයට අනුව දැනුම නිපදවෙන්නේ යම් සංස්කෘතියකට සාපේක්‍ෂව යම් චින්තනයක් පදනම් කරගනිමිනි. චින්තනය යන්න සුසමාදර්ශනයට වඩා ගැඹුරු ය. චින්තනයක සුසමාදර්ශ කිහිපයක් තිබිය හැකි ය. සංස්කෘතියක ද පදනමේ ඇත්තේ චින්තනය ය. අප සංස්කෘතියක් වුව ද නිර්මාණය කරන්නේ චින්තනයක් මත පදනම් වෙමිනි.

එහෙත් එයින් කියැවෙන්නේ චින්තනය වෙනස් නොවන බව නො වේ. සියල්ල, එනම් සියළු සංකල්ප වෙනස්වන ලෝකයක චින්තනය පමණක් වෙනස් නොවී තිබෙන්නක් නො වේ. චින්තනය ද වෙනස් වෙයි. චින්තනයක් පදනම් කරගනිමින් වෙනස්වන සංස්කෘතිය හේතුවෙන් අවසානයේ දී චින්තනය ද වෙනස් වෙයි. සංස්කෘතිය හුදෙක් දෙන ලද චින්තනයක වෙනස් වන්නක් පමණක් නො වේ. සංස්කෘතික ආක්‍රමණවල ප්‍රතිඵල ලෙස ද සංස්කෘතිය වෙනස් කෙරෙයි. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක් තිස්සේ බටහිර සංස්කෘතික ආක්‍රමණය හේතුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ද වෙනස් කෙරී ඇත.

එහෙත් අපේ චින්තනය එපමණට ම වෙනස් වී නැති බව පැහැදිලි ය. බටහිරයන් කෙතෙක් උත්සාහ කළ ද බොහෝ ආසියාතික රටවල මාර්ග සංස්කෘතිය බටහිරයන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට නොහැකි වී ඇත. බොහෝ ආසියාතික රටවල මිනිසුන් රථ ධාවනය කරන්නේ තමන් තවමත් පයින් යන්නන් ලෙස සලකමිනි. අපට සුද්දන්ගේ මාර්ග නීති හදවතින් ග්‍රහණය කරගැනීමට නොහැකි වී ඇත.

ඒ කුමක් වුවත් අපේ චින්තනය යන සංකල්පය දාර්ශනික සංකල්පයක් විය. එය අමරසේකර මහතාගේ ජාතික චින්තනය පිලිබඳ විසුරුණු අදහස නො වී ය. චින්තනය යන්න දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම, සම්බන්ධයෙන් විය. එහෙත් ජනමාධ්‍යයට හා දේශපාලනයෙහි යෙදෙන්නන්ට වඩා වැදගත් වූයේ ජාතික චින්තනය යන සංකල්පය ය. අමරසේකර මහතාගේ අදහස ප්‍රචලිත වූයේ 1986 අගභාගයෙහි දී රත්නපුර නගර ශාලාවෙහි දී ජාතික චින්තනය සම්බන්ධයෙන් කරන ලද කතාවකින් පසුව ය. ඒ මහතා තම දේශනය කල්තබා ලියාගෙන විත් කතාව කිරීමෙන් පසුව දිවයින බදාදා අතිරේකයෙහි පළ කළේ ය.

රත්නපුර නගර ශාලාවෙහි දී එදින ම මා ද කතාවක් කළ නමුත් ඒ පිලිබඳ ලියවිල්ලක් මා සතු නොවූයේ මා දේශන කලින් පිළියෙළ කර ඒ නොලියන බැවිනි. මා එදින ද කතාකළේ බටහිර විද්‍යාව හා චින්තනය පිලිබඳ ව ය. ඒ කතාව පුවත්පතක පළ නො වී ය. අමරසේකර මහතාගේ ලිපිය පළවීමෙන් පසුව විවිධ කුලවල මාක්ස්වාදීහු ද එයට විරුද්ධව ලිපි පළ කළහ. එහි දී ජාතික චින්තනය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කිරීමට මට ද සිදු විය. එහි ප්‍රතිඵලයක් වූයේ අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍ය විශාරදයාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු ලෙස මා සලකනු ලැබීම ය.

මේ හැඟිම එක්තරා ව්‍යාජ මාක්ස්වාදී සතිඅන්ත පුවත්පතක කතුවරයා අතින් කදිමට විස්තර කෙරිණි. ඔහු කිියා සිටියේ ගුණදාස අමරසේකර මහතා නම් නමක් දිනාගත් ප්‍රාඥයකු වුවත් නලින් ද සිල්වා යනු කවුද යන්න ය. මට එකල තබා අදවත් කිසිම රාජ්‍ය සම්මානයක් හෝ වෙනත් සමාජය පිළිගත් සම්මානයක් ලැබී නැත. එකල මම කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාන්‍ය කථිකාචාර්යවරයෙක් පමණක් වීමි. මා සමග එකට පමණක් නොව පසුව ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇතැම්හු ඒ වන විටත් මහාචාර්යවරු වූහ. මම විශ්‍රාම යන විට ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් නො වීමි. මට සම්මානිත (සේවාර්ජිත) මහාචාර්ය පදවියක් ලැබීම සඳහා සුදුසුකම් නැත. එබැවින් මම අද මහාචාර්යවරයෙක් නො වෙමි. උසස් අධ්‍යාපන ඇමතිතුමා ද මා සේවයේ යෙදී සිටින අවධියේ කියා තිබුණේ මට වඩා දැනුම් තේරුම් ඇති මහාචාර්යවරුන් සිටින බව ය. මා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු මගේ සේවය දීර්ඝකිරීමට ද ඇමතිතුමා මුල දී විරුද්ධ විය. මගේ සේවයෙන් විශ්වවිද්‍යාලයට ඇති වැඩක් නැතැයි එතුමා සිතන්නට ඇත. කෙසේ වෙතත් ප්‍රබුද්ධයකු වූ ඒ මහතා නාථ දෙවියන් ඇතුළු අදෘශ්‍යමාන බලවේග නො පිලිගනියි.

මා මේ කරුණු සඳහන් කරන්නේ චින්තනය යන සංකල්පය මෙරට සමාජයට කාන්දුකිරීමට තරම් මට දක්‍ෂතාවක් නොවූ බවත් නව සංකල්පයක් බිහිකිරීමට තරම් නිර්මාණශීලීබවක් නොවූ බවත් සමාජය විසින් තේරුම්ගෙන තිබූ බව පෙන්වීමට ය. මේ හැඟීම අදත් සමාජයේ පවතියි. පසුගිය දා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මා යමක් අළුතෙන් ප්‍රකාශ කර ඇත්නම් එය සත්‍යයක් නොවන බවත් මා සත්‍යයක් පවසා ඇත්නම් එය අළුත් දෙයක් නොවන බවත් කීවේ එබැවින් විය යුතු ය. එතුමා එය නිවට අයුරෙන් සාකච්ඡාව අවසානයේ දී සඳහන්කිරීම පිළිබඳ ව නම් මම කණගාටුවෙමි.

කෙසේ වෙතත් අමරසේකර මහතාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු වීම හැරෙන්නට වෙනත් විකල්පයක් මෙරට ප්‍රබුද්ධ සමාජය විසින් මට ලබා දී නො තිබිණි. එහෙත් චින්තනය පිළිබඳ ව මගේ අධ්‍යයනය දිගට ම කරගෙන ගියේ එය සමාජයේ තහවුරු කිරීමේ හැකියාවක් ඇතැයි යන අදහසක් නොමැතිව ය. වෙනත් විකල්පයක් නොමැතිවීම හේතුවෙන් ජාතික චින්තනය යනු ඒ ඒ ජාතිය සතු චින්තනය යැයි හැඳින්වීමි.

එසේ වුවත් මාක්ස්වාදයට පසුබිම් වූ චින්තනය අන්කිසිවක් නොව කතෝලික චින්තනය බව මම පසුව තේරුම් ගතිමි. එපමණක් නොව භැසිස්ට්වාදයට ද පසුබිම් වී ඇත්තේ කතෝලික චින්තනය ය. මාක්ස්වාදය මෙරට පමණක් නොව අනෙක් රටවල ද මුල්බැස නොගන්නේ අද කතෝලික චින්තනයට දකුනු ඇමරිකානු රටවල හැරෙන්නට අන් රටවල කිසිදු තැනක් නොමැතිවීම නිසා ය. දකුණු ඇමරිකානු රටවල ද වඩා වැදගත් වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රදස්තියානි චින්තනය ය. ඒ රටවල ඉඳහිට චාවේස් කෙනකු මතුවුව ද ඒ තාවකාලිකව ය. චාවේස්ලා ද මාක්ස්වාදීහු නො වෙති.

(13/04/24)

නලින් ද සිල්වා