වෙනිසියුලාවේ චාවේස් පමණක් නොව කියුබාවේ කස්ත්‍රෝ ද මාක්ස්වාදියෙක් නො වේ. ඔවුහු ජාතිකවාදීහු වූහ. එපමණක් නොව ඔවුහු ජනප්‍රිය ජාතිකවාදීහු වූහ. කස්ත්‍රෝ බලයට පත්වු විට ලෝකයේ ට්‍රොට්ස්කිවාදීන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූයේ කියුබාවේ ඇත්තේ කම්කරු පංති රාජ්‍යයක් ද යන්න ය. කස්ත්‍රෝගේ නායකත්වයෙන් සිදු වූයේ කම්කරු පංති විප්ලවයක් ද යන්න පිළිබඳ උණුසුම් විවාදයක් ට්‍රොට්ස්කිවාදීන් අතර විය. ලංකාවේ ද විවිධ ට්‍රොට්ස්කිවාදීන් අතර ඒ පිළිබඳ මතවාදී යුද්ධයක් විය. ඊනියා ජාත්‍යන්තර විප්ලවය ගැන සාකච්ඡා කිරීම හැරෙන්නට ප්‍රායෝගිකව වැදගත් යමක් නොකරන බොහෝ ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරුන් යැයි කියාගන්නවුන්ට කියුබාවේ විප්ලවය ඇඟටවත් මනසටවත් නොදැනෙන හොඳ මාතෘකාවක් විය.
කියුබාව තම ජාතික නිදහස දිනාගත්තේ ජාතිකවාදී කස්ත්‍රෝගේ නායකත්වයෙනි. ඊනියා ජාත්‍යන්තරවාදදයකු වූ චේ ගෙවාරා කියුබානුවකු නොවූව ද කියුබන් නිදහස් සටනට සම්බන්ධ විය. එහෙත් ඔහුගේ ජාත්‍යන්තරවාදය එලොවටත් නැති මෙලොවටත් නැති අභූතයක් පමණක් විය. ජාත්‍යන්තර විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට ගිය ඔහු අකාලයේ මිය ගියේ ජාත්‍යන්තරවාදය හිස් වචනයක් පමණක් බව පසක් කරවමිනි. ඇතැම් තරුණයන්ට අභූතය ආකර්ෂණීය වෙයි. එහෙත් අභූතයකට සම්මුතික වූ පැවැත්මක් නැත. චේ ගෙවාරා පසුපස ගිය මෙරට ඊනියා විප්ලවවාදීන්ට ද අත්වූයේ චේ ගෙවාරාට අත් වූ ඉරණම ම ය.
ඊනියා වීරයකු වුව ද පුස්සකු වූ චේ ගෙවාරා ගැන කතාකිරීමෙන් වැඩක් නැත. ඊනියා ලෝක හෙවත් ජාත්‍යන්තර කම්කරු පංති දිනය සමරන අද වැනි දවසක වුව ද ලෝකයේ තබා ලංකාවේවත් කම්කරුවන්ට එකතු වීමට නො හැකි ය. එයට ප්‍රධාන හේතුව මාක්ස්වාදයේ කුමක් සඳහන් වුවත් කම්කරු පංතියක් යනුවෙන් පංතියක් නොමැති වීම ය. කම්කරු පංතියක් ඇත්තේ අද රතු කමිස හැඳගෙන වීදි පුරා පෙළපාලි යන නායකයන්ගේ මනස්වල මිස සම්මුතික ව භෞතිකව නො වේ.
මෙළොව දුක් විඳින අසාධාරණයට ලක් වූ පිරිසක් නැතිවා නො වේ. එහෙත් ඔවුන්ට වර්තමානයේ මාක්ස්වාදයෙන් පිහිටක් නැත. මාක්ස්වාදයට ලෝකය එදාවත් අදවත් ග්‍රහණය කරගත නො හැකි ය. මාක්සාවාදය ආගම ගැන කියනුයේ එය පීඩිත ජනතාවගේ අබිං ලෙස ය. එයින් මාක්ස්වාදයේ කියැවෙන්නේ පීඩිතයන්ට ආගම ආධාරයෙන් විමුක්තියක් ලබාගත නොහැකි බවත් ආගම පීඩිතයන්ට බලාපොරොත්තු ඇතිකරන එහෙත් සුසුමක් පමණක් බවත් ය.
එසේ වුවත් බුදුදහම මිනිසුන්ගේ පමණක් නොව සියළු සත්ත්වයන්ගේ දුක විග්‍රහ කරන්නේ ලෞකික වශයෙන් පමණක් නොව සාංසාරික වශයෙනි. බුදුදහම බුදුන්වහන්සේ තමන්වහන්සේට පමණක් සුවිශේෂ වූ ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත්තකි. බුදුන්වහන්සේ ගැන ශ්‍රද්ධාවක් හා විශ්වාසයක් ඇති බෞද්ධයෝ ඒ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිති. ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත් කරුණු අනුව සසරින් ගැලවෙන ආකාරය බුදුන් වහන්සේ උගන්වා ඇත. ඒ අනුව කටයුතු කිරීමෙන් සත්ත්වයන්ට ද සසරෙන් එතරවිය හැකි ය.
එසේ සසරෙන් එතර වූ රහතන් වහන්සේ ගේ උදාන වැකි ථෙරගාථාවල හා ථෙරිගාථාවල සඳහන් වෙයි. ඒ සුසුමක් හෝ බලාපොරොත්තුවක් හෝ නො වේ. එය තෙරුන් වහන්සේලා තෙරණින් වහන්සේලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගත්තකි. මාක්ස්වාදය නම් පීඩිතයන්ට බලාපොරොත්තු ඇතිකරයි. එහෙත් එය විසින් පීඩිතයන්ට අත්කර දී ඇති විමුක්තියක් නැත. මාක්ස්වාදය පීඩිතයන්ගේ කෙසේ වෙතත් ඊනියා කම්කරු පංති නායකයන්ගේ අබිං ය. බටහිර විද්‍යාවට ප්‍රත්‍යක්‍ෂයක් නැත. බටහිර විද්‍යාවේ ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ නොව කතන්දර ය, ඒවාට බටහිරයෝ ප්‍රවාද යැයි කියති. එහෙත් ප්‍රවාද යනු අප අත්දකින ඇතැම් දේ පැහැදිලි කිරීම සඳහා අප ගොතන කතන්දර පමණකි. මේ කතන්දර පට්ටපල් බොරු ය.
බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ වෑන් ෆ්‍රේසන්ගෙන් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිතය හා විද්‍යාවේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයා වූ අර්ජුන සොයිසා මහතා බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර යැයි පැවසීම ගැන ඔහුගේ ප්‍රතිචාරය කුමක් දැයි ඇසූ විට ඔහු කියා ඇත්තේ බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර නම් ඒ කතන්දර මෙතෙක් ඉතිහාසයේ ගොතා ඇති හොඳම කතන්දර බව ය.
බටහිර විද්‍යාවේ පමණක් නොව වෙනත් දැනුම් පද්ධතිවල ද කතන්දර ඇත. එහෙත් ඒ කතන්දර බොහෝ විට සංයුක්ත කතන්දරව ය. ඇතැම් සංස්කෘතියක වියුක්ත කතන්දර තිබිණි ද ඒ බටහිර විද්‍යාවේ තරම් වියුක්ත නො වේ. සංයුක්ත දැනුම ප්‍රත්‍යක්‍ෂය වෙයි. බුදුන් වහන්සේගේ සුවිශේෂ ප්‍රත්‍යක්‍ෂය හැරෙන්නට අනෙක් අයගේ ප්‍රත්‍යක්‍ෂ ද බොරු වෙයි. දැනුම සංයුක්තයෙන් ඉවතට යත් ම ඒ තව තවත් බොරු වෙයි. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රත්‍යක්‍ෂ සංයුක්තයෙන් ඉතා ඈත් වෙයි. ඒවා බොරු නොව පට්ටපල් බොරු වන්නේ එබැවිනි.
බටහිර විද්‍යාවේ කතන්දර ලෝකයේ මෙතෙක් ගොතා ඇති හොඳ ම කතන්දර නො වේ. බටහිර විද්‍යාවේ තරම් පට්ටපල් බොරු වෙනත් දැනුම් පද්ධතියක නැත. වෑන් ෆ්‍රේසන් මහතා හොඳම කතන්දර යැයි කියන්නේ පට්ටම පට්ටපල් බොරුවලට ය. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා සංයුක්ත ය. අපට වියුක්ත ව සිතීමේ දී ප්‍රශ්න ද ඇත. අප සිතන්නේ සාධාරන ව ගතහොත් සංයුක්තව ය.
එය වර්තමානයේ දී ප්‍රශ්නයක් වෙයි. එයට හේතුව බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අද ලෝකය ම ග්‍රහණයට ගෙන ලෝකය ම මත තම ආධිපත්‍යය පතුරණ දැනුම් පද්ධතිය වීම ය. අපට බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට විකල්ප ව විරුද්ධ ව දැනුම් පද්ධතියක් ගොඩ නැගීමට සිදු වී ඇත. අපට එහි දී අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් වෙයි. එකක් ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම ය. අනෙක අප ද යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත දැනුමක් නිර්මාණය කිරීම ය.
අපට කලකට පසුව ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීම පිළිබඳ යම් අවබෝධයක් ලැබී ඇත. එහෙත් අපේ ජීවන පැවැත්ම අනුව අද අපේ ආධ්‍යාත්මය එතරම් පිරිසදු නැත. අද පන්සිල් රකින්නන් සොයාගැනීම වුව ද ප්‍රශ්නයක් වී ඇත. එවන් සමාජයක ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීම ටික කලකට වුව ද කල්දැමීමට සිදුවෙයි. එතෙක් අපට සුළුවෙන් වුවත් කළහැක්කේ අපේ ප්‍රවාද නිර්මාණය කිරීම ය. විදුසර පුවත්පත මගින් අපේ ප්‍රවාද නමින් ලිපි පෙළක් පළවන්නේ අපේ ප්‍රවාද ගැන සුළුවෙන් වුවත් සිසුන්ට කරුණු පැහැදිලි කිරීමට ය.
අප ඇතැම් විට පවසා ඇති ආකාරයට මිනිසුන් ප්‍රවාද නිර්මාණය කරන්නේ තම මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට සාපේක්‍ෂව යම් චින්තනයක් පදනම් කරගනිමිනි. චින්තනය මත පදනම් වන්නේ දැනුම පමණක් නො වේ. සංස්කෘතිය ද චින්තනය මත පදනම් වෙයි. සංස්කෘතිය ද දැනුමක් බව අමතක නොකළ යුතු ය. මෙයින් කියැවෙන්නේ චින්තනය වෙනස් නොවන ප්‍රපංචයක් බව නො වේ. වෙනස්වන සංස්කෘතිය විසින් චින්තනය ද වෙනස් කෙරෙයි. අපට එය ප්‍රශ්නයක් නො වේ. අපේ චින්තනය චක්‍රීය වෙයි. චක්‍රීය චින්තනයක සියල්ල එක් තැනකින් පටන්ගත යුතු නො වේ. එසේ වන්නේ රේඛීය චින්තනයක ය. බටහිර චින්තනය රේඛීය වෙයි.
රේඛීය වන්නේ බටහිර වත්මන් චින්තනය පමණක් නො වේ. අවුරුදු පන්සියයකට පමණ පෙර බටහිර චින්තනය වූ කතෝලික චින්තනය ද රේඛීය වෙයි. ඒ චින්තන දෙකෙහි ම දෙවියන් වහන්සේගේ නිර්මාණය වෙයි. ලෝක නිර්මාණයක් ඉගැන්වෙන සංස්කෘතීන් (ආගම් ද සංස්කෘතීන් හි නිර්මාණය වන අතර ආගම් විසින් සංස්කෘතීන් වෙනස් කෙරෙයි.) රේඛීය චින්තන මත පදනම් වෙයි.
කෙසේ වෙතත් අපි අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට උත්සාහ ගනිමු. මේ ලිපියෙහි අපි තවදුරටත් මාක්ස්වාදය ගැන අපේ ප්‍රවාද නිර්මාණය කරමු. අප මෙයට පෙර මාක්ස්වාදය ගැන නිර්මාණය කළ ප්‍රවාද යම් ප්‍රමාණයක් මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය නම් කෘතිවල සඳහන් වෙයි. කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාට අනුව මාක්ස්වාදය. ජ්‍යොතිෂය හා මනෝ විශ්ලේෂණය ඊනියා විද්‍යාව නො වේ.
මෙරට සිටින තමා පොපර්වාදියකු යැයි සිතන ඇතැම් බටහිර වෛද්‍යවරයකුට අනුව මනෝ විශ්ලේෂණය හා මාක්ස්වාදය විද්‍යාව ය. එහෙත් ජ්‍යොතිෂය විද්‍යාව නො වේ. මේ බටහිර වෛද්‍යවරයා මෙරට බොහෝ දෙනකුට අනුව අද ලංකාවේ සිටින ඉහළම බුද්ධිමතා නොවේ නම් ඉහළම බුද්ධිමතුන් දෙතුන් දෙනාගෙන් එක් කෙනෙකි. එහෙත් ඔහු කාල් පොපර් කියන්නේ කුමක් දැයි වටහාගෙන ඇති බවක් නො පෙනෙයි. ඔහුට යමක් කී පමණින් මතක තබාගත හැකි නමුත් සිය සැරයක් කීව ද තේරුම් ගැනීමට නොහැකි බව මගේ අත්දැකීම ය. ඔහු අවුරුදු විසිපහක් ගතවීත් කාලාම සූත්‍රය හරිහැටි නො දනියි.
පොපර් කියන්නේ මාක්ස්වාදය ඊනියා විද්‍යාවක් නොවන බව ය. පොපර්ට අනුව බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කළ හැකි බැවින් ය. මාක්ස්වාදී දැනුම අසත්‍යකරණයට ලක්කළ නොහැකි යැයි පොපර් පවසයි. එබැවින් ඔහුට අනුව මාක්ස්වාදය බටහිර විද්‍යාවක් නො වේ. එහෙත් පොපර් නොකියු දෙයක් ඇත. ඒ බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්කිරීම නොව එසේ නොකර බැරි වීම ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වූ විට එය කොහොමටත් අසත්‍යකරණයට ලක්කිරීමට හැකි වෙයි.
අපි මේ පිළිබඳ වැඩිදුර පසුව සාකච්ඡා කරමු. අපේ මූලික ප්‍රශ්නය වූයේ මාක්ස්වාදය කිසිම රටක මුල් බැස නොගත්තේ ඇයි ද යන්න ය. චාවේස් හෝ කස්ත්‍රෝ හෝ මාක්ස්වාදී නො වී ය. අප කලින් සඳහන් කළ පරිදි ඔවුහු ජාතිකවාදීහු වූහ. කියුබාව මෙන් ම වෙනිසියුලාව ද ස්පාඤ්ඤ යටත්විජිතවාදයට හසු වූ රටවල් ය. එහෙත් ඒ රටවල් ස්පාඤ්ඤයෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් දිනාගත් රටවල් ය. එහෙත් එයින් කියැවෙන්නේ ඒ රටවල සිටි ස්වදේශිකයන්ට දේශපාලන නිදහසක් හෝ සංස්කෘතික නිදහසක් හෝ ලැබුණු බව නො වේ.
දේශපාලන බලය ලැබුණේ ස්පාඤ්ඤ සම්භවයක් ඇති පිරිසට ය. ඔවුන්ට ස්වදේශික මිශ්‍රණ තිබිණ ද වඩාත් බලපෑවේ ස්පාඤ්ඤ සම්භවය ය. සංස්කෘතික වශයෙන් ද තත්ත්වය එසේ ම ය. මේ රටවල් ඇමරිකාවෙන් එනම් ඇමරිකා එක්සත් ජනපදය නමින් හැඳින්වෙන රටෙන් එතරම් ඈත පිහිටියේ නො වේ. එමෙන් ම ඔවුන් හා බටහිර ඉන්දීය කොදෙවු නමින් හැඳින්වෙන රටවල් අතර ද වෙනස්කම් වෙයි. බටහිර ඉන්දිය කොදෙවු ඉංගිරිසින් විසින් ගෙනෙන ලද අප්‍රිකානුවන්ගෙන් ද එඩ් රටවලට සංක්‍රමණය වූ ඉන්දියානුවන්ගෙන් ද (එකල ඉන්දියාව හා පකිස්තානය ඉන්දියාව නමින් හැඳින් වූ එකම රටක් විය.) සමන්විත වෙයි. බටහිර ඉන්දීය කොදෙවුවල ඇත්තේ ඉංගිරිසි සංස්කෘතික ආධිපත්‍යයකි.
(13/05/01)
නලින් ද සිල්වා