Main Logo

Showing posts with label අභයගිරිය. Show all posts
Showing posts with label අභයගිරිය. Show all posts

Wednesday, 13 November 2013

දැනුම අවශෝෂණය කිරීම


බටහිර සංස්කෘතිය නැඟීමට පෙර පුරාණ සංස්කෘතීන් කිහිපයක ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු යැයි අමරතුංග මහතා පවසයි. බොහෝ ලේඛකයන් අනුගමනය කරන කපටි පිළිවෙතක් අමරතුංග මහතා ද මෙහි දී අනුගමනය කරයි. මෙහි අපි යනුවෙන් හැඳින්වෙන්නේ ඒ මහතා පමණක් නොවන බව පැහැදිලි ය. ඔහු සියුම් ව කරන්නේ පාඨකයන් ද තමා දරණ මතය පිළිගන්නා බව කීම ය. එමගින් බොහෝ පාඨකයෝ මහාචාර්යවරයකු සමග එකම මතයක් දරන්නේ ය යන මතයෙන්  එක්තරා අයුරකින් මානසික නිද්‍රාශීලීභාවයකට පත්වෙති. කොහොමටත් සිතන්නට පුරුදු නොකරන අධ්‍යාපනයකින් බිහිවන්නෝ ඉන්පසු අමරතුංග මහතා කියන දේ ප්‍රශ්න නො කරති.

චීනය ඉන්දියාව වැනි රටවල තාරකා විද්‍යාව, ගණිත ශ්‍රාස්ත්‍රය, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්ට අදාළ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවත් වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය හා මුද්‍රණ යන්ත්‍රය පළමුව චීනයේ නිෂ්පාදනය වූ බවත් අමරතුංග මහතා කියයි. ඒ මහතා ඇතැම් බටහිරයන් කියන මේ කරුණු පුනරුච්චාරණය කරන්නේ ලංකාවේ මහාචාර්යවරයකුට ම සුදුසු ආකාරයෙනි. මෙරට බොහෝ බටහිර උගත්තු මේ සම්බන්ධයෙන් අමරතුංග මහතා දරණ මතය ම දරණ බව ද සඳහන් කළ යුතු ය.

මෙහි දී අපට උගත් මහාචාර්යවරයාගෙන් ප්‍රභ්න කිහිපයක් ඇසීමට ඇත. පළමුවෙන් ම අද ඉන්දියාවෙන් හෝ චීනයෙන් හෝ එවැනි දැනුම් නිර්මාණය නොවන්නේ ඇයි ද යන්න ය. බොහෝ උගතුන් එයට දෙන පිළිතුර නම් මේ වන විට ඒ රටවල ඒ සඳහා පහසුකම් නොමැති බව ය. එහෙත් චීනයෙන් හා ඉන්දියාවෙන් පහසුකම් ඇතැයි කියන බටහිර රටවලට දේශීය බටහිර විද්‍යාඥයෝ විශාල වශයෙන් ඇදී යති. ඔවුන්ගෙන් කී දෙනකුට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත් ද? ඔවුන්ගෙන් කී දෙනකු බටහිර විද්‍යාවේ හරිහමන් දැනුමක් නිර්මාණය කර ඇත් ද? එදා විද්‍යාවේ ජයකෙහෙළි නැංවී යැයි කියන ඉන්දියානුවන්ට හා චීනුන්ට අද එසේ කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඉන්දියානු හා චීන ශිෂ්‍යයෝ බටහිර රටවල දී පරීක්‍ෂණවලින් ඉහළින් සමත්වන නමුදු දැනුම නිර්මාණයෙහි දී යුරෝපීයයන් මෙන් දක්‍ෂතාවක් නො දක්වති.  ලංකාවෙන් බටහිරට යන ශිෂ්‍යයෝ ද එසේ ම වෙති.

අනෙක් අතට චීනයේ වසර ගණනාවක් තිස්සේ චීන දැනුම ගැන අධ්‍යයනය කර ඒ පිළිබඳ වෙළුම් රාශියක් පළකළ ජෝසෆ් නීඩ්හම් මහතා ඉතා වැදගත් ප්‍රශ්නයක් අසා ඇත. අමරතුංග මහතාට ඒ ප්‍රශ්නය පිළිබඳ දැනුමක් ඇත් දැයි මම නො දනිමි. නීඩ්හම් මහතා අසා ඇත්තේ විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කී චීන ජාතිකයන්ට බටහිර (නවීන) විද්‍යාවට හිමිකම් කීමට නොහැකි වූයේ ඇයි ද යන්න ය. පැහැදිලිව ම නීඩ්හම් මහතා චීන විද්‍යාව හා බටහිර විද්‍යාව අතර වෙනසක් දකියි. නීඩ්හම් මහතාට අමරතුංග මහතාට තරම් වැටහීමක් නොතිබූ බැවින් ඒ ප්‍රශ්නය ඇසී දැයි නො දනිමි.

නීඩ්හම් මහතා කිසි තැනක චීන විද්‍යාව දියුණු වී ඉන්දීය විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක් හෝ සමග සම්බන්ධ වී හෝ නොවී හෝ බටහිර විද්‍යාව ඇති වූ බවක් සඳහන් නො කරයි. මා මෙයින් කියන්නේ අප නීඩ්හම් මහතා කියා ඇති දේ අවසාන වාක්‍යය ලෙස පිළිගත යුතු බව නො වේ. එක් එක් අයගේ නම් සඳහන් කරමින් තමා බොහෝ ඇසු පුරූ තැන් ඇත්තකු ය යන අදහස පාඨකයාට ලැබෙන පරිදි ලියන අමරතුංග මහතා තමා නීඩ්හම් ගැන අසා නැතැයි කියන්නේ ද? ඒ මහතාට තමා ඉහළින් අගයන ගුණදාස අමරසේකර මහතාගෙන් නීඩ්හම් යනුවෙන් මිතුරකු මාර්ටින් වික්‍රමසිංහ මහතාට සිටි බව දැනගත හැකි ය.

කෙසේ වෙතත් නීඩ්හම් මහතා තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ද සැපයී ය. ඔහුට අනුව චීනයේ බටහිර විද්‍යාව බිහිනොවූයේ එහි ධනවාදය නොතිබූ බැවිනි. නීඩ්හම් මහතා තම ප්‍රශ්නයට දී ඇත්තේ ඉතා ම බංකොළොත් පිළිතුරකි. බටහිර විද්‍යාව බටහිර ඇතිවූයේ එහි ධනවාදය තිබූ නිසා නො වේ. ගැලීලියෝ මියගියේ 1642 වසරෙහි දී ය. නිව්ටන් උපන්නේ ද ඒ වසරෙහි දී ය. ඒ වන විට ඉතාලියේ හෝ එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක හෝ ධනවාදය බිහි වී නො තිබිණි. ගැලීලියෝට හෝ නිව්ටන්ට හෝ ධනවාදය අවශ්‍ය නො වී ය. අවාසනාවකට අමරසේකර මහතා ධනවාදය ඇතිවූයේ බටහිර විද්‍යාව ඇතිවීමට පසුව යැයි නොදන්නා බව පසුගිය  ඉරිදා පුවත්පතකට කරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

අනෙක් අතට අද බටහිර ඇති ගණිතය ඉන්දියාවේ තිබූ ගණිතයෙහි වර්ධනයක් නො වේ. පැරණි භාරතීය ගණිතය වියුක්ත ගණිතයක් නො වී ය. යම් යම් ගණිත කර්ම සිදුකිරීම  සඳහා සූත්‍ර රාශියක් පැරණි භාරතීය ගණිතයෙහි විය. (සූත්‍ර යනු අසා ඇති දේ ය. බුදු දහමෙහි සඳහන් සූත්‍ර බොහෝ විට බුදුන්වහන්සේගෙන් ඈසූ දේ ය.) උදාහරණයක් වශයෙන් ගතහොත් බටහිර ගණිතයෙහි දක්නට ලැබෙන පෛතගරස් ප්‍රමේයයෙහි ප්‍රතිඵලය පැරණි භාරතීයයෝ දැන සිටියහ. එහෙත් ඒ දැනුම එ ඒ සෘජු කෝණී ත්‍රිකෝණය සඳහා වූ සංයුක්ත දැනුමක් විය. ඕනෑම සෘජු කෝණී ත්‍රිකෝණයක් සඳහා වියුක්ත ව ප්‍රතිඵලය සාධනය කිරීමට තබා ප්‍රකාශ කිරීමටවත් පැරණි භාරතීය ගණිතඥයෝ දැන නො සිටියහ.

පැරණි භාරතයේ තිබූ දැනුම අරාබීන් හරහා යුරෝපයට ගිය බව සැබෑ ය. එහෙත් ඒ දැනුම හෝ චීනයෙන් ලැබුණු දැනුම හෝ වෙනත් එවැනි දැනුමක් හෝ බටහිරයෝ ගෙඩිය පිටින් අනුකරණය නො කළහ. ඔවුහු ඒ සියළු දැනුම් තම නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කළහ. අමරතුංග මහතා ඒ බව නොදන්නවා විය හැකි ය. ඒ මහතා චින්තනය යන සංකල්පයට ගරහයි.  ඒ මහතා වරක් කියා තිබුණේ මා අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන සොඳුරු අදහස අවලස්සන කර ඇති බව ය. මේ පිළිබඳ පැහැදිලි කිරීමට ද මේ අවස්ථාවක් කර ගනිමි.

මට ජාතික චින්තනය යන අදහස අවලස්සන කිරීමට අවශ්‍යතාවක් නො වී ය. එයට හේතුව 1986 වසරේ දී ම මා චින්තනය යන සංකල්පය ඉදිරිපත්කර තිබීම ය. 1986 පළ කළ මගේ ලෝකය කෘතියෙහි ද චින්තනය යන සංකල්පය විස්තර කර ඇත. මා අද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වන්න එදා හැඳින්වූයේ යුදෙවු චින්තනය ලෙස ය. පසුව බටහිරයන්ගේ වත්මන් චින්තනය චින්තන තුනක සංකලනයක් බව අවබෝධ වීමෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි යන්න ව්‍යවහාරයට ගත්තෙමි.

අමරසේකර මහතා ජාතික චින්තනය යන අදහස 1986 දී ඉදිරිපත් කලේ රුසියන් ජාතිකයකුගෙන් ලබාගත් නැෂනල් තෝට් (national thought) යන්න සිංහලට පරිවර්තනය කරමිනි. ඔහුට ඒ පිළිබඳ පැහැදිලි සංකල්පයක් නො වී ය. විසිරුණු අදහස් මිස සංකල්ප හඳුන්වාදීමෙ හැකියාවක් නැති  අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ඉතාමත් ලිහිල් ආකාරයකින් යොදා ගත්තේ ය. අර රුසියන් ලේඛකයාට අනුව රුසියන් විප්ලවය ජයග්‍රහණය කළේ මාක්ස්වාදය මත නොව රුසියන් ජාතික චින්තනය මත පදනම් වී ය. 

අමරසේකර මහතාට ජාතික චින්තනය යනු කුමක් දැයි පැහැදිලි කිරීමට පවා නොහැකි වූ බව එකල දිවයින බදාදා අතිරේකය කියවූවෝ දනිති. ඒ මහතා සාමාන්‍යයෙන් කරන ආකාරයට බටහිර ලේඛකයන්ගේ අදහස් සිංහලට පරිවර්තනය ඒ ඔස්සේ ඊනියා ජාතික චින්තනය තේරුම් කිරීමට උත්සාහ ගත්තේ ය. විශේෂයෙන් ම එරික් ෆ්‍රොම්ගේ අදහස් ඒ මහතාට ප්‍රයෝජනවත් විය. ෆ්‍රොම්ගේ සිවිලිසේෂන් කොන්ෂස්නස් ~ (civilisation consciousness) යන්න සභ්‍යත්ව විඥානය ලෙස පරිවර්තනය කරගත් අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ෆ්‍රොම් ඇසුරෙන් තේරුම් කිරීමට උතාසාහ කළේ ය. සතියකට පෙර ඒ මහතා ජාතිය යන්න ඊනියා සභ්‍යත්ව විඥානය ඔස්සේ තේරුම් කිරීමට කලින් කී පුවත්පත මගින් අසාර්ථක උත්සාහයක් ගෙන තිබිණි.

මට මෙරට ජාතික චින්තනය යන්න සිංහලයන්ගේ චින්තනය විය. එය අද වන විට සිංහල බෞද්ධ චින්තනය ලෙස හැඳින්වෙයි. ලිහිල් විසුරුණු අදහස් කෑලි මත නොව සංකල්ප මත පදනම් වූ මට ප්‍රධාන සංකල්පය වූයේ චින්තනය ය. සිංහල බෞද්ධ චින්තනය යන්න අපට වැදගත් වුවත් ප්‍රධාන වුවත් එය තවත් එක් චින්තනයක් පමණක් විය. දැනුම නිර්මාණය කෙරෙන්නක් බවත් එය චින්තනය මත පදනම් ව සංස්කෘතියකට සාපේක්‍ෂව සිදුවන්නක් බවත් මම සඳහන් කළෙමි. එමෙන් ම දැනුම නිර්මාණය කෙරෙන්නේ අවිද්‍යාව (බුදු දහමෙහි සඳහන්) නිසා බවත් සඳහන් කළෙමි. මේ සියළු සංකල්ප වර්ධනය කිරීමට යම් කාලයක් ගත වූ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

මා කළ වරද වූයේ චින්තනය යන සංකල්පයෙන් ලබාගත් සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය අමරසේකර මහතාගේ ජාතික  චින්තනය යන විසිරුණු අදහස සමග එකට භාවිතා කිරීම සහ එසේ කිරීමට ඉඩ හැරීම ය. බොහෝ දෙනා තේරුම් ගත්තේ මගේ සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය හා අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන විසිරුණු අදහස එකක් ලෙස ය. ඇතැම් අවස්ථාවල මෙරට ජාතික චින්තනය යන අදහස ගෙන දෙන ආකාරයට ජාතික චින්තනය යන්න යොදා ගැනීමෙන් මා මගේ අනන්‍යතාව පළුදු කරගත් බව ද මම පිළිගනිමි. 

මේ අදහස් මෙසේ පළකිරීමට සිදු වී ඇත්තේ අමරතුංග මහතාගේ ප්‍රකාශ නිසා ය. අමරසේකර මහතා මගේ සංකල්ප ද ඒ මහතාගේ අදහස් ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස අවශෝෂණය යන්න ම ගනිමු. අමරසේකර මහතාට කිසි දිනෙක චින්තනය යන සංකල්පය නො වී ය. ඔහුට සැමදාමත් තිබුණේ ජාතික චින්තනය යන විසුරුණු අදහස පමණ ය. දැනුම එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට හෝ චින්තනයකින් තවත් චින්තනයකට අවශෝෂණය කිරීම ඒ මහතා සාකච්ඡා කළ කරුණක් නො වේ. දැනුම හෝ දැනුම නිර්මාණය කිරීම ආදිය අමරසේකර මහතාගේ විෂය පථයෙහි නො වී ය. දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය අමරසේකර මහතා ඇළුම් කළ විෂයයක් නො වී ය.   
එහෙත් අනුකරණය යන්න නම් ඒ මහතා දිගින් දිගට යොදාගත් අදහසක් බව කිව යුතු ය. එසේ වුවත් අනුකරණය යන්න පැහැදිලිව දැනුම සම්බන්ධයෙන් හෝ අවශෝෂණය සග සංසන්දනය කරමින් හෝ ඔහු යොදා නොගත්තේ ය. මා මගේ ලෝකය කෘතියෙහි දැනුම සම්බන්ධයෙන් අවශේෂණය යන්න අනුකරණය සමග යොදා ගෙන ඇත්තේ 1986 තරම් ඈත කාලයක ය. සේ වුවත් සති දෙකකට පෙර කලින් සඳහන් පුවත්පතට ම  අමරසේකර මහතා දැනුම සම්බන්ධයෙන් අවශෝෂණය යන්න යොදා ගන්නේ තමන්ගේ ම සංකල්පයක් ලෙස ය.   


මම ද වෙනත් දැනුම් පද්ධතීන්ගෙන් ඇතැම් සංකල්ප සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කර ඇත්තමි. ඒ සඳහා හොඳම උදාහරණය කූන්ගේ සුසමාදර්ශය (paradigm) යන්න ය. එක් චින්තනයක සුසමාදර්ශ කිහිපයක් ඇති බව මගේ වැටහීම ය. ඒ බව මම නොයෙකුත් අවස්ථාවල ප්‍රකාශ කර ඇත්තෙමි. සිංහල බෞද්ධ චින්තනයෙහි ද සුසමාදර්ශ කිහිපයක් වෙයි. අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි සිංහල බෞද්ධ චින්තනයෙහි ප්‍රධාන සුසමාදර්ශය වී ඇත්තේ තුන්වැනි සංගායනාවේ හෙවත් මහාවිහාරයෙහි සුසමාදර්ශය ය. අභයගිරි සුසමාදර්ශය ද සිංහල බෞද්ධ චින්තනයෙහි එක් සුසමාදර්ශයක් විය. මේ සුසමාදර්ශ අතර ද දැනුම් අවශෝෂණ සිදුවෙයි.



නලින් ද සිල්වා

2013-11-13

Saturday, 10 September 2011

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්

මෙරට විශ්වවිද්‍යාල හයක් කඩිමුඩියේ ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්වයට පත්කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව ද ඒ සමග පැවසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්ථාවෙහි මට මතක් වූයේ අවුරුදු හතළිස් අටකට පෙර මා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිිද්‍යාලයේ බටහිර විද්‍යා පීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුල් වී වැඩිකල් නොගොස් අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක් මෙසේ ය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රී ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නො සිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක් උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු බීපු වෙලාවට කී අමන බයිලාවක් ලෙස අමතක කළ හැකි නො වේ. සමස්ත සරසවි ජීවිතය ම එහි ගැබ් වී තිබිණි යැයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් බව ය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්ඩප දෙකක් විය. එකක් පේරාදෙණියේ හන්තාන කඳුපාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහි ම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්ථාව ලැබිණි.

ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් නොවූ බව මම වැඩිකල් නොගොස් ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නො වේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහිකර ඇත. එහෙත් අනෙක් විෂයන් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික් සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොන තරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇතිවුවක් නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටවූ අවධියේ සිට ම දක්නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයක වුවත් නව සංකල්පයක් ප්‍රවාදයක් බිහිකළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවති සමුළුවක දී සංකාර යන්නට නව අර්ථකථනයක් දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්න ය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම් එකතුකිරීමට නො වේ. යම් කරුණක් පිළිබඳ ව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතුකර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් යැයි මම කිසිසේත් නො කියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහිකර ගත හැකි නො වේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිනොවන බව උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කළ යුතු ය. ඇදුරන්ගේ වැටුප් වැඩිකිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිකළ හැකි නො වේ. ඇල්බට් අයින්ස්ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට් කාර්යාලයක සේවය කළ අයකු ලෙස ය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්වයට පැමිණ සිටියේ ස්‍රළු වැටුපකට පේටන්ට් කාර්යාලයෙහි සේවය කරමින් සිටිය දී ය. අයින්ස්ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක් නො වේ. පහසුකම් පිළිබඳ තත්වය ද එසේම ය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක් වැයවන බව සැබෑ ය. එහෙත් ලෝක පූජිත අදහස් බිහිකිරීමට ලෝක මට්ටමේ පහසුකම් අවශ්‍ය නො වේ.

අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස් (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහිකරන්නන් නො වීම ය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. එක් කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක් ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැගීමට ය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දැලා යැයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින් ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලුහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා ඒ අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්වරයකු (අද මේ තනතුරු නැත) ලෙස ගතකළ ආටෝප සහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයන් කොටසක් ශාස්ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිට ම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමට ය. ඔවුන් සියළු දෙනා ම අයින්ස්ටයින්ලා වී යැයි මම නො කියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වී ය යනු මගේ මතකය වෙයි. ශාස්ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙක ම කෙරෙහි අවධානය යොමුකළ අය ද සිටියහ. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස් පරිසරයට ද ඇතැම්හු ඇළුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින් ම වලංගු නො වේ.

මට ද අවුරුදු පහළොවේ සිට ම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු වීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස් ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිට ම මට විය. එය ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් ඔබ්බට ගියේ ය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස් තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක් නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස් ඉදිරිපත් කෙරී නැත. අනෙක් බොහෝ අයගේ නම් බිත්තිවල නොලියැවුණ ද ශාස්ත්‍රීය ගවේෂණය සඳහා යොමු වූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස් බිහි වී නැත. මෙයට හේතු දෙකක් වෙයි. 1921 සිට ම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස් ඉදිරිපත් කිරීම නො වේ. අප නව අදහසක් ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්ත අදහසක් විය. සඳකඩ පහන ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස් මේ ගණයට නිදසුන් වෙයි. අප කිසි විටෙකත් වියුක්ත අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්කෘතියෙන් ද පිටිවහලක් නොලැබෙන බව ය. දෙවැනි කරුණ ඒ නිසා ම පැන නගින්නක් විය හැකි ය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්ත නව අදහස් ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකි ය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්ටමේ අනුකරන පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නො හැකි ය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීන්, ටින්කර් බාසුන්නැහැලා පමණක් වෙමු. ගුණදාස අමරසේකර මහතා වුව ද මේ ශාස්ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක් නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසා ය.

අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්ටමේ ඇදුරන් බිහිකරගත හැකි යැයි මම විශ්වාස නො කරමි. ඒ නිසා ම ඊනියා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ද බිහිකරගත නො හැකි ය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්ටමක ජාතික විශ්වවිද්‍යාලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයේ විශ්වවිිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල් ම ආයතන වී ඇත්තේ මහාවිහාරය හා අභයගිරිය ය. නාලන්දා තක්‍ෂිලා ද ඉන්පසු ඇතිවිය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්ටමේ නව අදහස් එකල අනුරාධපුරයෙන් බිහි වී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තු ම නව අදහස් ඉදිරිපත්කළ විට ඒ ඇත්තේ කිනම් පොතක දැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොර බැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහිකළ හැකි තරුණයන් පිරිසක් අපට අපේ සංස්කෘතිය පසුබිම් කරගෙන බිහිකළ හැකි යැයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක් නිරූපණය නොවන බව දැන දැනම ය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක් බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහි වූ සාර්ථක ම කතාවක් බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශූන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන් ම යම් යම් දෑ පැහැදිලි කර ගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතු ය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත්නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වා දීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත්කළ හෝ තැත්කරන හෝ පුස්සන් අපට අනවශ්‍ය ය.