Main Logo

Showing posts with label විශේෂ-සාපේක්‍ෂතාවාදය. Show all posts
Showing posts with label විශේෂ-සාපේක්‍ෂතාවාදය. Show all posts

Sunday, 6 November 2011

ඊනියා ඒකිකෘත ප්‍රවාදය

බටහිර භෞතික විද්‍යාවට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහනවවැනි සියවස අගභාගයේ දී නම් 1930 පමණ වන තෙක් එය ජයකෙහෙළි නැංවී යැයි කීම පරස්පර යැයි සිතන පඬියෝ මෙරට සිටිති. කණකොකා හැඬීම ආරම්භ වීමත් සමග බටහිර භෞතික විද්‍යාව කඩා වැටීම ආරම්භ විණි යැයි සිතන්නන්ට නම් ඉහත සඳහන් ප්‍රකාශ දෙකෙහි පරස්පරයක් දැකිය හැකි ය. කණකොකා හැඬීම ආරම්භ වූයේ ම ප්ලෑන්ක් නම් විද්‍යාඥයා ආලෝකයට අංශුවල ගුණ ඇති බවත් ආලෝකය තරංග වශයෙන් පමණක් නොව ක්වොන්ටා (Quanta) හෙවත් පොදි (පැකට්ටු) වශයෙන් ද ගමන්කරන බව ප්‍රකාශ කිරීමත් සමග ය.

වත්මන් ක්වොන්ටම් භෞතිකයේ ආරම්භය එසේ සිදුවිණි. ක්වොන්ටම් භෞතිකය ගැන නොදන්නවුන් නොදැන සිටිය ද ක්වොන්ටම් භෞතිකය බටහිර භෞතික විද්‍යාවෙහි සංස්කෘතියට හා චින්තනයට එරෙහිව යයි. එය බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පටහැණි වෙයි. එහි න්‍යාය ඇරිස්ටෝටලීය නොවන බව දන්නේ පිටරට සිටින බටහිර භෞතික විද්‍යාඥයන් හා දාර්ශනිකයන් කිහිප දෙනකු පමණ ය. ජනප්‍රිය පොත් කියවා (ඇතැමුන් කියවා ඇත්තේ සෝවියට් රුසියාව පැවති කාලයේ රුසියන් බසින් නිකුත්කර පසුව ඉංගිරිසියට පෙරළුෑ ජනප්‍රිය පොත් කිහිපයක් පමණකි) බටහිර විද්‍යාව නොව බටහිර විද්‍යාව ගැන තම තම නැණ පමණින් ඉගෙන ලූලා නැති වලට කණයන් වීමට දඟලන පඬියෝ මේ කිසිවක් නො දනිති. මේ කණයන් මහාචාර්යවරුන් අතර ද දැකගත හැකි ය.

ක්වොන්ටම් භෞතිකය යම්තමින් වුව ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි රැකුණේ, තවත් පරස්පරයක් ලෙස පඬියන්ට පෙනී ගිය ද, චීන සංස්කෘතියෙන් ආභාසය ලත් බෝර්ට පින් සිදුවන්නට ය. ඔහු යින් යැන් දර්ශනය මත පදනම් ව ක්වොන්ටම් භෞතිකය බටහිර ඉන්ද්‍රියානුභූතවාදයෙහි (positivism) රඳවා ගත්තේ ය. එහෙත් එයට බටහිර යථාර්ථවාදීහු (realists) තරයේ විරුද්ධ වූහ. එහි දී බෝර්ගේ ප්‍රධාන විරුද්ධවාදියා වූයේ අන් කිසිවකු නොව අයින්ස්ටයින් ය. අද වන විට ක්වොන්ටම් භෞතිකය බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පාවෙන එහෙත් පදනමක් නැති හුදෙක් ගණනය කිරීම්වලට සීමාවන උපයෝගිතාවට බර දැනුම් පද්ධතියක් බවට පත් වී ඇත.

1930 යනු දළ වශයෙන් ගත්කල බෝර් - අයින්ස්ටයින් විවාද බෝර්ගේ ජයග්‍රහණයෙන් කෙළවර වූ වසර ය. දහනවවැනි සියවසේ අවසාන දශකයේ සිට 1930 පමණ දක්වා අවුරුදු තිස්පහක් පමණ ක්වොන්ටම් භෞතික විද්‍යාව ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තේ ය. එහෙත් එතැන් සිට ක්වොන්ටම් භෞතික විද්‍යාව ක්‍රියාත්මක වන්නේ ගණක යන්ත්‍රයක් ලෙසින් යැයි කිවහොත් නිවැරදි ය. එහි ෙසෙද්ධාන්තික, දාර්ශනික ගැඹුරක් නැත. ක්වොන්ටම් භෞතිකය යථාර්ථවාදීව හෝ ඉන්ද්‍රියානුභූතවාදීව හෝ තේරුම් ගත නොහැකි බව මේ වන විට බටහිර භෞතික විද්‍යාඥයන්ට වැටහිය යුතු නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හිරවී සිටින ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නැත.

1930 පමණ වන තෙක් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ද වර්ධනය විය. 1905 දී විශේෂ සාපේක්‍ෂතාවාදය ද 1915 දී සාධාරණ සාපේක්‍ෂතාවාදය ද එළිදැක්වීමට අයින්ස්ටයින් සමත් විය. ක්වොන්ටම් භෞතිකය මෙන් නොව සාපේක්‍ෂතාවාදය හුදෙක් එක් පුද්ගලයකුගේ, එනම් අයින්ස්ටයින්ගේ දායකත්වයෙන් බිහිවූවක් විය. 1916 වන විටත් විශ්වවවේදය (Cosmology) බිහිවී තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය විශ්වයට ම යොදා ගැනීමේ ප්‍රතිඵලය විය. හබල් හෝ අද ඇතැම් බටහිර විශ්වවේදීන් සිතන අයුරින් නම් ඔහුට පෙර වෙනත් අය හෝ විශ්වය ප්‍රසාරණය වීමේ අදහස ඉදිරිපත් කර තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග අගේට ගැළපිණි.

එහෙත් මේ අතර බටහිර භෞතික විද්‍යාවට ප්‍රධාන ප්‍රශ්නයක් පැන නැගෙමින් තිබිණි. එය ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵලයක් විය. සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නම් ඒ සියල්ල එක්කරන ඉතා සාධාරණ ප්‍රවාදයක් තිබිය යුතු බැව් බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙය මුළුමනින් ම ඒක දේව නිර්මාණයකින් ගලා එන්නක් බව පැහැදිලි ය. ඌනිතවාදය (reductionism) ද, එනම් සියල්ල ප්‍රත්‍යක්‍ෂ කිහිපයකට ඌනනය කිරීම ද දේව නිර්මාණය මත පදනම් වෙයි. අනේකහේතුවාදී හෙවත් බහුහේතුවාදී වූ සිංහල බෞද්ධ චින්තනයෙහි සියල්ල විස්තර කරන එක් ප්‍රවාදයකට ඉඩක් නැත.

බටහිර භෞතික විද්‍යාඥයන් එලෙස එක් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමේ දිශාවට කලින් පියවර නගා තිබිණි. ආරම්භයේ දී ම ගැලීලියෝ පොළොව මත සිදුවන දෑ හා ග්‍රහ වස්තුවල සිදුවන දෑ එකම ප්‍රවාදයකින් විස්තර කළ හැකි බව අඩුම තරමෙන් දුරේක්‍ෂ සම්බන්ධයෙන් එතරම් තර්කානුකූලව නොවන නමුත් අනෙක් අය ඒත්තුගන්වා තිබිණි. පසුව නිව්ටන් නැති ගුරුත්වාකර්ෂණයක් පොළොව මත මෙන් ම පිටත ද ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේ ය.

බටහිර විද්‍යාඥයන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් කෙතරම් උද්දාමයට පත්ව සිටියේ ද කිවහොත් ඔවුන් ඒ ප්‍රවාදය හැඳින්වූයේ සර්වත්‍ර නියමයක් (universal law) ලෙස ය. ඉන් පසු කලෙක මැක්ස්වෙල් ෆැරඩේගේ පරීක්‍ෂණ මත පදනම් ව චුම්බකත්ව හා විද්‍යුත් ගුණ එක් කෙළේ ය. අයින්ස්ටයින් අවකාශය හා කාලය එක් කෙළේ ය. පසුව බටහිර භෞතික විද්‍යාවට දුර්වල අන්තර්ක්‍රියා (weak interactions) හා ශක්තිමත් අන්තර්ක්‍රියා (strong interactions) එකතු විය. එවිට බටහිර භෞතික විද්‍යාවේ බල වර්ග හතරක් විය. එනම් විද්‍යුත්චුම්බක බලය, දුර්වල බලය, ශක්තිමත් බලය හා ගුරුත්වාකර්ෂණ බලය විය.

අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකවාදය එක්කිරීමට ඩිරැක් නම් ඉංගිරිසි භෞතික විද්‍යාඥයා සමත් විය. එහි ප්‍රතිඵලයක් වූ ක්වොන්ටම් විද්‍යුත්ගතිකය (Quantum Electrodynamics) මෙතෙක් බිහි වී ඇති ඉතාමත් සාර්ථක බටහිර භෞතික විද්‍යා ප්‍රවාදය ලෙස හැඳින්වෙයි. එහෙත් එය සාර්ථක වන්නේ හුදෙක් පරීක්‍ෂණවල මිනුම් ගැන කියන ප්‍රවාදයක් ලෙස මිස දාර්ශනික පදනමක් ඇති ප්‍රවාදයක් ලෙස නො වේ. සලාම් (දැනට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත් වූ එක ම ඉස්ලාම් භක්තිකයා හා එක ම පකිස්ථාන ජාතික ජන්මයක් හිමි ව සිටි තැනැත්තා) සහ ග්ලැෂෝ විසින් දුර්වල බල විද්‍යුත් චුමිබක බල එකතු කරනු ලැබිණි. එහෙත් අද වන විටත් ඊනියා ගුරුත්වාකර්ෂණ බලය වෙනුවට අද ඇති අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතික විද්‍යාව එකතු කර ඒකිකෘත ප්‍රවාදයක් (unified theory) නිර්මාණය කරගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් අසමත් වී ඇත. එබැවින් ඊනියා ගුරුත්වාකර්ෂණය හා අනෙක් බල එකිනෙකින් වෙන් වී පවතියි. මෙය දෙවියන් වහන්සේ ඇදහුවත් නැතත් එක් තැනකින් කෙරෙන පටන් ගැනීමක් ගැන විශ්වාස කරන බටහිරයන්ට මහත් හිසරදයකි.

බටහිරයන්ට අවශ්‍ය කෙසේ වුවත් ඒකිකෘත ප්‍රවාදයක් ගොඩ නැගීමය. අයින්ස්ටයින්ට ද ඒ අභිලාෂය විය. ඔහු 1930 පමණ සිට මිය යන තුරුම විද්‍යුතය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග එකතුකිරීමට අසාර්ථක උත්සාහයක නිරත විය. අද වන විට පැහැදිලිව පෙනෙන කරුණ නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය යා දෙක නොරත රත මෙන් එකිනෙක සමග පෑහීමක් නො වීම ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතමය භෞතික විද්‍යාව හදාරණ සිව්වැනි වසරේ ශිෂ්‍යයකු මේ පිළිබඳ මූලික අධ්‍යයනයකින් පසු ඒ ක්‍ෂෙත්‍ර නොගැළපෙන (incompatible) බවට කරුණු දක්වා ඇත.

ක්වොන්ටම් භෞතිකය, සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග පමණක් නොව විශේෂ සාපේක්‍ෂතාවාදය සමග ද නො ගැළපෙයි. ඩිරැක් විශේෂ සාපේක්‍ෂතාවාදය ක්වොන්ටම් භෞතිකයට යොදාගත් බව ද ඩිරැක් සාපේක්‍ෂතාවාදී සමීකරණය එහි ප්‍රතිඵලයක් බව ද සැබෑ ය. එහෙත් පසුගිය සියවසේ විසි ගණන්වල පැවති බෝර් - අයින්ස්ටයින් විවාදවල දී අයින්ස්ටයින් හා ඔහුගේ සහායකයන් ඉදිරිපත් කළ අයින්ස්ටයින් - පොඩොල්ස්කි - රොසන් පරස්පරය (EPR paradox) මේ ක්‍ෂෙත්‍ර දෙක අතර ඇති නොගැළපීම තව තවත් මහත් කර ඇත.

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පරස්පරය ක්වොන්ටම් භෞතිකයේ පැටළුණු අංශු (entangled particles) සම්බන්ධයෙන් වෙයි. ක්වොන්ටම් භෞතිකයට අනුව පැටළුණු අංශු දෙකකින් එකක යම් ගුණයක් මැනගතහොත් ඒ ක්‍ෂණයෙහි ම අනෙක් අංශුව ද එම ගුණයට අදාළ වූ පිහිටුමකට (අවස්ථාවකට) පැමිණෙයි. මෙයින් කියැවෙන්නේ එක් අතකින් දෙවැනි අංශුවෙහි අදාළ ගුණය මැනීමට පෙර ඒ අගය කුමක් දැයි නිරීක්‍ෂකයා දන්නා බවත් එය බෝර්ගේ කෝපන්හේගන් විවරණයට පටහැණි බවත් ඉන් යථාර්ථවාදය තහවුරු වන බවත් යැයි අයින්ස්ටයින් කියා සිටියේ ය. එමෙන් ම අනෙක් අතට අංශු දෙක අතර සංනිවේදනයක් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බවක් ඉන් ගම්‍ය වන්නේ යැයි පැවසූ අයින්ස්ටයින් තම සාපේක්‍ෂතාවාදය අනුව එය එසේ සිදුවිය නොහැකි යැයි කියා සිටියේ ය.

බෝර් ඒ පිළිබඳ ව කියා සිටියේ පැටළුණු අංශු එක් සමස්ත පද්ධතියක් මිස අංශු දෙකක් නොවන බව ය. සමස්ත පද්ධතියක අංශු එකිනෙකින් කෙතරම් දුරෙන් පිහිටිය ද ඒවා පද්ධතියක් ලෙස එකට ක්‍රියා කරන බව බෝර් කියා සිටියේ ය. මේ පරස්පරයට පසු කලෙක ජෝන් බෙල් නම් අයිරිෂ් ජාතික භෞතික විද්‍යාඥයා ගණිතමය ප්‍රකාශනයක් ලබා දුන්නේ ය. එය අද බෙල් අසමානතා නමින් හැඳින්වෙයි. මෙරට යථාර්ථවාදීන් නොදැන සිටිය ද 1982 දී පමණ ප්‍රංශ ජාතික ඇස්පෙ හා පිරිස විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු පැටළුණු අංශු අතර සංනිවේදනයක් වන බවත් අයින්ස්ටයින්ට වඩා බෝර් කී දේ පිළිගත හැකි බවත් අඩුම තරමෙන් ස්ථානීය යථාර්ථයක් නැති බවත් බටහිර භෞතික විද්‍යාඥයන් සුළු පිරිසකට වුවත් වැටහී ඇත.

එහෙත් බෝර් නිවැරදි බවක් මෙයින් ගම්‍ය නො වේ. අංශු පද්ධතියක් ලෙස ගත්ත ද ඒ අතර අන්තර්ක්‍රියාවක් වන්නේ කෙසේ ද යන්න ඔහු විස්තර නො කළේ ය. එහෙත් අපට වඩා වැදගත් වන්නේ පැටළුණු අංශු අතර ක්‍රියාකාරීත්වය විශේෂ සාපේක්‍ෂතාවාදය සමග නො ගැළපීම ය. අද වන විට න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩ වේගයකින් චලනය වන බවට තොරතුරු ලැබෙමින් පවතියි. බෝර් කෙසේ කීවත් පැටළුණු අංශු අතර අන්තර්ක්‍රියා ක්‍ෂණික ව සිිදු නොවී ආලෝකයට වැඩි වේගයකින් සුළු වුවත් යම්කිසි කාලයකින් පසුව සිදුවන්නේ යැයි විශ්වාස කළ හැකි ය. මේ පිළිබඳ පත්‍රිකාවක් මෙවර කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදයට ඉදිරිපත් කෙරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ බටහිර විද්‍යාඥයන්ගේ ඒකිකෘත ප්‍රවාදය ඉටු නොවන මංගල්‍යයක් බව ය.

Sunday, 9 October 2011

ආලෝකයේ වේගයට වැඩි අංශුවලින් දෙදරන සත්‍යය

අපි සති තුනකට පෙර ආලෝකයේ වේගයට වැඩි වේගයකින් කෙරෙන සංනිවේදන ගැන කතා කළෙමු. එහි දී ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කෙරෙන බව බටහිර භෞතික විද්‍යාවේ විශේෂයෙන් ම පැටළුණු අංශු සම්බන්ධයෙන් සාකචිඡා කිරීමේ දී පිළිගැනෙන බව පෙන්වා දුනිමු. එහෙත් එසේ සංනිවේදනය කෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව එහි දී කිසිවක් සඳහන් නො විණි. එයට හේතුව ඒ පිළිබඳ ව කිසිම හෝඩුවාවක් බටහිර භෞතික විද්‍යාවේ නො වීම ය.

බටහිර භෞතික විද්‍යාවේ දැනගෙන තිබුණේ ආලෝකයේ වේගයට අඩු වේගයකින් චලනය වන සාමාන්‍ය (සම්භාව්‍ය - classical) හා ක්වොන්ටම් අංශු ගැන ය. ෆෝටෝන ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ යැයි පිළිගැණිනි. ෆෝටෝන හෙවත් ආලෝකය කිරණ හා සම්බන්ධ විය. එබැවින් කිරණවල වේගය ආලෝකයේ වේගයට සමාන වූ අතර අංශුවල වේගය ආලෝකයේ වේගයට අඩුවිය. කිරණවල වේගය ආලෝකයේ වේගයට සමාන ය යන්න එක් අතකින් ගත්කල නිවැරදි නො වේ. මෙහි කිරණ යනු විද්‍යුත් චුම්බක කිරණ බැවින් හා ආලෝකය යනු විද්‍යුත් චුම්බක කිරණවලින් කොටසක් පමණක් බැවින් අප කිව යුත්තේ ආලෝකයේ වේගය විිද්‍යුත් චුම්බක කිරණවල වේගය බව ය.

එහෙත් සැප්තැම්බර් විසි දෙවැනි බ්‍රහස්පතින්දා ස්විට්සර්ලන්තයේ සර්න් පරීක්‍ෂණාගාරයෙන් නිකුත් වූ ආරංචි අනුව ඒ පරීක්‍ෂණාගාරයෙහි දී ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන අංශු නිරීක්‍ෂණය කෙරී ඇත. මෙය වැදගත් පුවතකි. බොහෝ බටහිර භෞතික විද්‍යාඥයෝ මෙය පිළිගැනීමට අකමැති වෙති. එයට හේතුව එමගින් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය බිඳ වැටෙන්නේ යැයි ඔවුන් සිතන බැවිනි. ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන අංශුවල පැවැත්ම සාපේක්‍ෂතාවාදයට එකඟ නො වේ.

සර්න් පර්යේෂනාගාරයේ කෙරුණු නිරීක්‍ෂණය වැරදි වීමට හැකි ය. එහි විද්‍යාඥයන් එකී පරීක්‍ෂණය කිහිප වරක් ම කර ඇතැයි කියැවෙයි. එය අනෙක් පරීක්‍ෂණාගාරවල ද කෙරිය යුතු බව කාගේත් අදහස වෙයි. එසේ කිරීමෙන් අනතුරුව ඒ ප්‍රතිඵලය ම ලැබෙන්නේ නම් පමණක් එය පිළිගත යුතු ය යන්න බටහිර භෞතික විද්‍යාඥයන් සියළු දෙනාගේ ම පාහේ අදහස වෙයි. ඒ අදහස ගැන අපට ප්‍රශ්නයක් නැත. එහෙත් අවාසනාවකට ඒ පරීක්‍ෂණය ලංකාවේ දී සිදුකළ හැක්කක් නො වේ.

මෙය බටහිරයන් කියන අයුරෙන් ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණයක් නො වේ. මොන පුහුණුව ලබා තිබුණ ද ඕනෑම බටහිර භෞතික විද්‍යාඥයකුට තනිව ම තම පෞද්ගලික පරීක්‍ෂණාගාරයක දී ඒ කළ හැක්කක් නො වේ. ඒ සඳහා පුහුණුව ලත් කණ්ඩායමක් සිටිය යුතු අතර ඉහළ මට්ටමේ උපකරණ සහිත පරීක්‍ෂණාගාර් අවශ්‍ය වෙයි. එවැනි පරීක්‍ෂණාගාර ලෝකයේ ම ඇත්තේ තුනකි. ඉන් එකක් සර්න් පරීක්‍ෂණාගාරය වෙයි. තවත් එකක් ජපානයේ වෙයි. අනෙක ෆර්මි පරීක්‍ෂණාගාරය වෙයි. එයින් ජපානයේ ඇති පරීක්‍ෂණාගාරය එරට සුනාමියෙන් පසු මන්දගාමී වී ඇත. ෆර්මි පරීක්‍ෂණාගාරයේ උපකරණ ද සර්න් පරීක්‍ෂණාගාරයේ තරම් සියුම් නො වේ යැයි පැවසෙයි. බටහිර විද්‍යාඥයන් පරීක්‍ෂණ නැවතත් කිරීම පිළිබඳ කෙතරම් පුරසාරම් බස් දෙඩුවත් ඔවුන්ට අද මේ සම්බන්ධයෙන් යම් තරමකින් වුව ද පරීක්‍ෂණ කළ හැක්කේ පරීක්‍ෂණාගාර දෙකක දී පමණ ය. ඒ සර්න් හා ෆර්මි පරීක්‍ෂණාගාර ය.

සර්න් පරීක්‍ෂණාගාරයෙහි කළ පරීක්‍ෂණයෙහි දී න්‍යුට්‍රීනෝ අංශු ඉතාලියේ කිලෝමීටර 730ක දුරකට යවා ඇත. එහි දී හෙළි වී ඇත්තේ ඒ අංශු ආලෝකය එම දුර ගෙවීමට ගන්නා කාලයට නැනෝතත්පර 60ක් අඩුවෙන් කාලයක දී ඒ දුර ගෙවා ගොස් ඇති බව ය. කාලය සම්බන්ධයෙන් ගත්කල එ ඉතා සුළු වෙනසකි. මේ මැනීම වෑරදි විය හැකි බව ද දැනට මේ සුළු වෙනස නොසලකා හැරිය නො හැකි ය. සර්න් පරීක්‍ෂණාගාරයෙහි ඒ පරීක්‍ෂණය කිහිප වතාවක් ම කර ඇතැයි කියැවෙයි.

මෙහි දී කිවයුතු කරුණු කිහිපයක් වෙයි. අපේ ආසනික් පරීක්‍ෂණයෙහි දී මෙන් කිසිවෙක් සර්න් පරීක්‍ෂණයෙහි ප්‍රතිඵල එකහෙළා ම වැරදි යැයි කීමට ඉදිරිපත් නො වුහ. බටහිර භෞතික විද්‍යාඥයන්ට අවශ්‍ය ඒ පරීක්‍ෂණය ෆර්මි පරීක්‍ෂණාගාරයෙහි දී ද කර බැලීම ය. අප රටේ ආසනික් හැඳිනගැනීම සම්බන්ධයෙන් අපේ ක්‍රමය කුමක් දැයි අප කියද්දීත් අනෙක් බටහිර රසායනික වි්‍යාඥයෝ ඒ අනුව පරීක්‍ෂාකිරීමට ඉදිරිපත් නොවූහ. පසුව ආණ්ඩුවේ හා රේගුවේ අවශ්‍යතාව පරිදි එක් පරීක්‍ෂණාගාරයක දී එසේ පරීක්‍ෂණය කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එහෙත් අද වන විට අඩුම තරමෙන් පලිබෝධනාශකවල ආසනික් පමණක් නොව කැඩ්මියම් හා රසදිය ද ඇති බව හෙළි වී අවසන් ය. එසේ වුවත් ඒ රසායනික ද්‍රව්‍ය අඩංගු පලිබෝධනාශක මෙරටට ආනයනය කිරීම නවතා ඇත්දැයි කිසිවකුට නිශ්චිත ව කිව නො හැකි ය.

අනෙක් අතට බටහිර භෞතික විද්‍යාඥයෝ සර්න් පරීක්‍ෂණාගාරයෙහි උපකරණ අක්‍රීය යැයි කීමට තරම් පහත් තත්වයකට නො වැටුණ හ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඒ පරීක්‍ෂණය තව තවත් කරවීම පමණ ය. එහෙත් අපේ බටහිර රසායනික විද්‍යාඥයන් යැයි කියාගන්නා අය තැන තැන ඇවිද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ අදාළ උපකරණ ක්‍රියා විරහිත බව කියමිනි. ඔවුන් තවදුරටත් කීවේ ඒ පරීක්‍ෂණ කැලණියෙහි කෙරී නොමැති බවත් පලිබෝධනාශකවල, පසෙහි හා ජලයෙහි ආසනික් ඇති බව කියා ඇත්තේ දෙවිවරුන් පමණක් බවත් ය.

මේ අමන කතා මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන් කෙතරම් විශ්වාස කළේ ද යතහොත් ඔවුහු විදුසර පුවත්පතට ද අපට ප්‍රසිද්ධිය ලබාදෙන්නේ යැයි කියමින් චෝදනා කළහ. එහෙත් ඒ ඊනියා විද්‍යාඥයන්ට ම ඇතැම් කුහකයන් විසින් තමන් නොමග යවා ඇති බව පිළිගැනීමට දැන් සිදු වී ඇත. මේ අතර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඔස්සේ මා අපකිර්තියට පත්කිරීමට කටයුතු කළෝ ද වූහ. කිසි දිනෙක අලුත් ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත්කර නැති හුදු තාක්‍ෂණ ශිල්පීන් වූ මෙරට කසිකබල් බටහිර විද්‍යාඥයන්ට බටහිර සැබෑ විද්‍යාඥයන්ගෙන් ඉගෙනීමට තවත් බොහෝ දේ ඇත. බටහිර විද්‍යාවේ හා බටහිර විද්‍යාඥයන්ගේ කෙතෙක් වැරදි තිබුණ ද බටහිර ජීවත්වන සැබෑ බටහිර විද්‍යාඥයන්ගෙන් මෙරට ව්‍යාජ බටහිර වි්‍යාඥයන්ට ආදර්ශයට ගැනීමට කරුණු වෙයි.

මෙහි දී කිවයුතු වැදගත් ම කරුණක් වෙයි. මා දන්නා තරමින් සර්න් පරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයන් මේ වැදගත් පරීක්‍ෂණය පිළිබඳ ව සාම්‍ය සමාලෝචනයට බඳුන්කළ පත්‍රිකාවක් පළකර නැත. පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන් මේ පරීක්‍ෂණය සම්බන්ධ තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව දැනට ලැබී ඇති තොරතුරු අනුව හෙළි වෙයි. සර්න් විද්‍යාඥයන්ගෙන් සාම්‍ය සමාලෝචනයට ලක්කළ පත්‍රිකා ඉල්ලීමට මෙරට බටහිර විදාඥයන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. කැලණියේ අපෙන් ආසනික් පැවතීම සම්බන්ධ පරීක්‍ෂණ පිළිබඳ ව සාම්‍ය සමාලෝචනයට ලක්කළ පත්‍රිකා ඉල්ලූ මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට සර්න් විද්‍යාඥයන්ට අඩු තරමෙන් මේ සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් කළ හැකි ය.

ඒ කෙසේ වෙතත් සර්න් පරීක්‍ෂණය නිවැරදි නම් ඉන් මුළු මහත් බටහිර විද්‍යා ලෝකය ම කැලඹෙනු ඇත. න්‍යුට්‍රෝන අංශුව හේතු කොටගෙන ද බටහිර භෞතික විද්‍යාඥයන්ට එහි ආරම්භයේ සිට ම ප්‍රශ්න තිබී ඇත. එහි ස්කන්ධය කෙතෙක් ද යන්න නොවිසඳුණ එක් ප්‍රශ්නයකි. ඇතැමුනට අනුව ෆෝටෝනයකට මෙන් න්‍යුට්‍රිනෝවට ද ස්කන්ධයක් නැත. ස්ලන්ධයක් තිබිිණි ද එය ඉතා කුඩා විය යුතු ය. න්‍යුට්‍රීනෝව වර්ග තුනකින් එක් වර්ගයකට එක් අවස්ථාවක දී අයත් වුවත් ඒ අංශු සූර්යයාගේ සිට පොළොවට ළඟාවන විට වර්ගය වෙනස්වන බව බටහිර භෞතික විද්‍යාඥයෝ දනිති. එනම් ඔවුන්ගේ ප්‍රවාද හා සංකල්ප අනුව න්‍යුට්‍රීනෝවල වර්ගය එසේ වෙනස්විය යුතු ය. සර්න් පරීක්‍ෂණාගාරයෙන් ඉතාලියට යැවුණු න්‍යුට්‍රීනෝවල ද එසේ වර්ගය වෙනස්විණි දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ විද්‍යාඥයන් සාම්‍ය සමායෝජනයට ලක්කරන පත්‍රිකාවක ඒ බව සඳහන් කරනු ඇත.

න්‍යුට්‍රීනෝවේ ස්කන්ධය ශූන්‍ය නම් එය චලනය විය යුත්තේ ආලෝකයේ වේගයෙනි. එහෙත් එයට ඉතා කුඩා වුව ද ස්කන්ධයක් ඇත්නම් දැනට බටහිර භෞතික විද්‍යාවේ කියැවෙන ආකාරයට නම් එහි වේගය ආලෝකයේ වේගයට අඩු විය යුතු ය. එහෙත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි විද්‍යාඥයන් අපට ජනමාධ්‍ය ඔස්සේ කියන්නේ න්‍යුට්‍රීනෝ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව ය. මේ තත්වය යටතේ බටහිර භෞතික විද්‍යාඥයන් කෙසේ ක්‍රියාකරනු ඇත්දැයි අපට කිවහැකි නො වේ. අපට කිවහැක්කේ ඔවුන් පළමුව ඒ පරීක්‍ෂණය ෆර්මි පරීක්‍ෂණාගාරයෙහි දී සිදුකිරීමට කටයුතු කරන බව පමණ ය.

මේ පරීක්‍ෂණ නිවැරදි නම් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතවාදය අඩුම තරමෙන් සංශෝධනය විය යුතු ය. ඇතැම් විට එය බොහෝ දුරට ප්‍රතික්‍ෂෙපවීමට ද සුළු ඉඩක් ඇත. අද ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකුට ඉතිහාසගත වීමේ අවස්ථාව උදා වී ඇත. ඒ සර්න් පරීක්‍ෂණයේ ප්‍රතිඵල තේරුම් කරන ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමෙනි. ඒ ප්‍රවාදය කුමක් වුවත් බටහිර භෞතික විද්‍යාඥයන් අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප නොකරනු ඇත. ඔවුන් නිව්ටෝනීය ගුරුත්වාකර්’ණ ප්‍රවාදය උගන්වන අයුරින් සාපේක්‍ෂතාවාදය ද තවදුරත් උගන්වනු ඇත. අනෙක් දැනුම් පද්ධතිවල මෙන් ම බටහිර භෞතික විද්‍යාවේ ද පරස්පර තිබීම වැළැක්විය නො හැකි ය.

අප ලෝකය ග්‍රහණය කරගන්නේ ය යන කතාව අමූලික අසත්‍යයක් බව මේ සියල්ලෙන් පැහැදිලි වෙයි. අපි අපෙන් තොරව පවතින ලෝකයක් ග්‍රහණය නොකරන්නෙමු. අප කරන්නේ අපේ ඉන්ද්‍රිය ඔස්සේ සංකල්ප හා ප්‍රවාද යොදාගනිමින් ලෝකයක් නිර්මාණය කිරීම ය. ඒ ලෝකය අප නිර්මාණය කරන්නේ මනසෙන් ය. මනසට වඩා වැදගත් ඉන්ද්‍රියක් අපට නැත. එහෙත් බටහිර විද්‍යාඥයෝ මනස ඉන්ද්‍රියක් ලෙස සෑලකීම ම ප්‍රතික්‍ෂෙප කරති.

නිව්ටන් නිර්මාණය කළ සරල සුන්දර ලෝකය අද නැත. අප ඉන්ද්‍රිය ගෝචර ලෝකය ගැන පමණක් කතාකළ ද අප ඉන්ද්‍රිය ඔස්සේ දකින ලෝකය නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මගින් නිර්මාණය කරගත නොහැකි බව අපි දනිමු. එනම් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හා ඉන්ද්‍රිය මගින් නිර්මාණය කෙරෙන ලෝකය අතර පරස්පර වෙයි. ඉන්ද්‍රිය ගෝචර නොවන ක්වොන්ටම් ලෝකයෙහි මේ පරස්පර තව තවත් වැඩිවෙයි. සර්න් පරීක්‍ෂණයෙන් කියැවෙන්නේ ඒ බව ය. ඊනියා වාස්තවික සත්‍යයක් කරා යෑමට බටහිර විද්‍යාවට ද නොහැකි බව මේ සියල්ලෙන් පැහැදිලි වෙයි.