Main Logo

Showing posts with label දුෂණය. Show all posts
Showing posts with label දුෂණය. Show all posts

Saturday, 18 May 2013

ජාතික ව්‍යාපාරයට වැඩක්

පරිසර දුෂණයත් දේශපාලණයේ ඇති දුෂණයත් අපි දකින ආකාරයට හුදෙක් අකුසල් ක්‍රියාය. බරහිරුන් කරන්නේ මේ අකුසල් හැකි තරම් මිනිසුන්ට නොපෙනෙනෙසේ හැංඟීමය. නමුත් කෙතරම් හැංඟුවත් පව් පලදෙනවාමය. ඒ නිසා පව් නැති කිරීමට මිස පව් හැංඟීමට යාම ඵලක් නැත. පසුගියදා බංගලාදේශයේ ඇඟළුම් කම්හලක් කඩා වැටී මිනිසුන් සිය ගණනක් මිය ඇදිනි. එහි ඇඳුම් මැසුනේ ඇමරිකාවේ පරිභෝජනය සඳහාය. නමුත් බොහෝවිට ඇමරිකාව මේ මිය ගිය ඇත්තන්ගේ පවුල්වලට සහණාදාරයක් නොදෙනු ඇත. ඒ බැරි නිසා නොව එය පුරුද්දක් කර නොගත යුතුයැයි ඔවුන් සිතන නිසාය. මෙසේ ඇමරිකාවේ වෙලඳපලට එන ඇඳුම් සියල්ලක්ම එහි විකිනෙන්නේ නැත. මන්ද විලාසිතා නිතර වෙනස් වෙන බැවිනි. විකුණාගත නොහැකි ඇඳුම් ඉවත් කිරීම ඇමරිකාවේ වියදම් අධික පරිසර දූෂණය වැඩි ක්‍රියාවලියකි. ඒ නිසා ඔවුන් කරන්නේ ඒවා පොට්ටනි ගසා බරට අනුව අප්‍රිකාවට යැවීමය. අවසානයේ මේ නිමි ඇඳුම් නවතින්නේ අප්‍රිකාවේ කසල ගොඩ වලය. එහි සිදුවන පරිසර දුෂණය පවකි. බංගලාදේශයේ කම්කරුවන්ට අඩු පඩි ගෙවීම පවකි. රටින් පිට සිදුවෙන නිසා ඇමරිකානුවන් බොහෝ දෙනෙකු තමන් පව් සිදු කර ගන්නා බවවත් නොදනිති. ඒ හැරත් මේ සියලු පව් බටහිර දැනුම පාවිච්චි කර අපෙන් වසං කර ඇත. බරහිරුන් අපට උගන්වා ඇත්තේ මේ අකුසල් ක්‍රියා ආර්ථිකයේ ස්වභාවික සිදුවීම් ලෙස සැලකීමටය. නමුත් එය එසේ අර්ථ දැක්වීම පව් හැංඟීමක් පමණි.
බටහිර සිදුවන විවිධාකාර දුෂණ අප නොදකින්නේ ඔවුන් මේ ආකාරයට සූක්‍ෂම ලෙස තම පාප ක්‍රියාවන් හංඟන බැවිනි. අපි ඔවුන් පසු පස වසරක පණහක් පමණ පිටුපසින් සිටින නිසා අපි තවමත් ඔවුන්ගේ පව් හංඟන කලාව හරි හැටි ඉගෙන ගෙන නැත. උගත් පාඩම් කොමිසමක් ඇමරිකානුවන් කලානම් එය තමන්ට අවාසි සහගත විදිහට පවත්වා ගන්නේ නැත. නමුත් අපි ඔවුන්ගේ ඊනියා කලාව නොදන්නා නිසා ඔවුන්ට ඔවුන්ගේ මහා පරිමාණ දුෂණ හංඟාගෙන අපේ කුඩා පරිමාණ දුෂණවලට ඇඟිලි දික් කරන්නට හැකිවී ඇත. එපමණක් නොවේ අපේ කුඩා පරිමාණ දුෂණ මහා දුෂණ ලෙස දකින්නටද අපට උගන්වා ඇත. අද අප රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ සිදුවන ක්‍රියාවන් මහා දුෂණලෙස දකින එක් හේතුවක් එයය. දේශපාලණ ක්‍ෂේත්‍රයේ දුෂණ ඇත. අපි ඒ නැති කල යුතුය. නමුත් ඒවා හැංඟිය යුතු නොවේ.
ආණ්ඩුවට කැමති වුවත් අකමැති වුවත් බහුතරයක් සිංහල බෞද්ධයින්ගේ දේශපාළන චින්තනයෙන් ජාතිකත්වය තවමත් ගිලිහී නැත. ඒ නිසා මේ ආණ්ඩුව නෙරපා විදේශ බල වලට අවශ්‍ය ජාතික විරෝධී ආණ්ඩුවක් පිහිටුවොත් ඒ අණ්ඩුව මීටත් වඩා දූෂිත ආකාරයට පවත්වාගෙන යාමට සිදුවනු ඇත. මන්ද එවැනි ආණ්ඩුවක පැවැත්ම සඳහා ජාතික ව්‍යාපාරය මැඩ පවත්වා ගන්නට සිදුවන නිසාය. නමුත් විජාතික ආණ්ඩුවක් මීට වඩා කාර්යක්‍ෂම ලෙස තම දුෂණය වසං කරනු ඇත නමුත් ඒ අපේ විසඳුම නොවේ. අපට අවශ්‍ය මේ ආණ්ඩුවේ දුෂණය නවතා දමන්නේ කෙසේද යන්නය. මේ අණ්ඩුව බලයට ගෙන ආ ජාතික ව්‍යාපාරයට ඒ ගැන කල හැක්කේ කුමක්ද?
ජාතික ව්‍යාපාරය දේශපාලණ සංවිධානයක් තබා සංවිධාණයක්වත් නොවේ. එහි විවිධ මත නිර්මාණය කරන්නෝ වෙති. විවිධ නියමුවෝ වෙති. විවිධ මත දරන අනුගාමිකයෝ වෙති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයට අනුව අවසානයේ ගත් කල මේ සැම දෙනාම ඡන්ද දායකයෝය. ඒ ක්‍රමය තුල ජාතික ව්‍යාපාරය යනු ජාතිකත්වය මත පිහිටා තම ඡන්දය පාවිච්චි කරන මිනිසුන් සමූහයක් පමණි. ආණ්ඩුවේ දූෂිත බවට එරෙහිව ඒ මිනිසුන්ට කල හැක්කේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමය. එය කළ හැක්කේ මැතිවරණයකදීය. ඒ නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල රජයේ දුෂණය නතර කර ගන්නා ලෙස ඊට දැනෙන බලපෑමක් කිරීමට අද රජයට පක්‍ෂ ඡන්ද දායකයින්ටවත් විපක්‍ෂ ඡන්ද දායකයින්ටවත් අවකාශයක් නැත. ආණ්ඩුවේ ඇතුලතින්ද එය කෙරෙන බවක් නොපෙනේ. ඒ ගැන පුදුම විය යුතු නැත්තේ රජයට සම්බන්ධ මැති ඇමති වරුන් සහ නිළධාරීන් බොහොමයකට ජාතිකත්වයක් නැති බැවිනි. මේ නිසා පක්‍ෂ විපක්‍ෂ සියලු ඡන්ද දායකයින්ට තම අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ඊලඟ ඡන්ද විමසුම එන තෙක් බලා සිටිනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැත. එසේ නම් ඊලඟ ඡන්ද විමසුමේදී ජාතික ව්‍යාපාරයේ කාර්ය භාරය කුමක් විය යුතුද?
මී ලඟට එන ඡන්ද විමසුමේදී පමණක් නොව තව ඡන්ද විමසුම් ගණනාවක් යන තෙක් රටේ දේශපාලණ බෙදීම සිදුවනු ඇත්තේ දූෂණය සම්බන්ධයෙන් නොව ජාතිකත්වය මතය. මෙරට රාජ්‍ය බලය විදේශ බලවේග වලට මුහුණදීමට හැකි තරම් ශක්තිමත් වනතාක් කල් එය එසේ විය යුතුය. මේ වනවිට බටහිරුන් තම රටවල ශක්තිමත් රාජ්‍යයන් ගොඩනඟාගෙන ඇත. ඒ රාජ්‍යයන්ට විදේශ බලවේග වලට බලපෑම් කල නොහැක. බටහිර රටවල බෝම්බ පිපිර වීම මඟින් ත්‍රස්තවාදීන්ට කළ හැක්කේ බටහිරුන් කෙරෙහි ඔවුන්ගේ ඇති වෛරය ප්‍රකාශ කිරීමට පමණි. ඒ හරහා ඒ රටවල කෙරෙන විජාතික දේශපාලණයක් නැත. බටහිරුන්ට ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා ඇත්තේ ජීවිත හා දේපළ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්ණයකි. ඒ හැරෙන්නට ඔවුන්ට තම ස්වෛරීය බව පිළිබඳ ප්‍රශ්ණයක් පැන නැගෙන්නේ නැත. ඒ නිසා බටහිර රටවල ත්‍රස්තවාදී ප්‍රශණයත් අපට තිබූ ත්‍රස්තවාදී ප්‍රශ්ණයත් එකම නොවේ. අපි ඒ දෙකම එක යැයි කියන්නට යෑමෙන් කරන්නේ බටහිරුන්ට කොලේ වසා ගැසීමට ඉඩක් ලබා දීම පමණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් පසුත් අදත් ජාතික ව්‍යාපාරයට එරෙහිව ක්‍රියා කෙරෙන විජාතික බලවේග ඇත. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ සිට මෙරට ක්‍රියාත්මක වුනු එන්ජීඕ කණ්ඩායම්, මෙරටට විටින් විට පැමිණ බලය පෙන්වා ගිය විදේශ ඇමතිවරු එදා උත්සාහ කලේත් අද ඇමරිකාව හා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සම්මේලණය හරහා උත්සාහ කරන්නේත් මෙරට ජාතික ව්‍යාපාරය ආම්බන් කිරීමට කිරීමය. බටහිරුන් එසේ කරන්නේ ජාතික ව්‍යාපාරය විරුද්ධව සිටින්නේ ඔවුන්ට මිස මෙරට සුලු ජාතීන්ට නොවන බව දන්නා නිසාය. මේ බලවේග සැමදා නොවපතිනු ඇත. නමුත් ඒ පවතිනතාක් කල් ඉදිරි මැතිවරණ හා ජනාධිපතිවරණ වලදී රටේ දේශපාලණ බෙදීම සිදුවිය යුත්තේ ජාතික හා විජාතික ව්‍යාපාර අතරය. ජාතික ව්‍යාපාරයේ වගකීම එය එසේ වන බවට වග බලා ගැනීමය.
රටේ බහුතරයක් සිංහලුන්ගේ දේශපාලණය තවමත් ජාතිකත්වය මත පදනම්ව පවතී. ඒ නිසා ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී දේශප්‍රේමී ජනතාව තමන්වෙත නම්මවා ගැනීමට විජාතික බලවේග උත්සාහ කරනු ඇත. ඒ එසේ නොකර ඡන්දයක් දිනිය නොහැකි නිසාය. සමහරක් විජාතික බලවේග වඩාත්ම ජාතිකත්වයක් ඇත්තේ තමන්ට යැයි කියනු ඇත. තව කොටසක් රාජ්‍යයට එරෙහිව පවත්නා විදේශ බලවේග නැතැයි කියමින් විවාදය වෙනතකට යොමු කරනු ඇත. මේ සියලු කතන්දර වල පොදුබවක් ඇත. ඒ සියල්ලක්ම ගෙතී ඇත්තේ ජාතික පිලේ සිටින ඡන්ද දායකයින් තම පිලට ඇද ගැනීම සඳහාය. ඔවුන් එසේ කරනු ඇත්තේ තමන්ට ජාතිකත්වයක් ඇති බව පෙන්වමිනි. ජාතික ව්‍යාපාරය මෙසේ ජාතික වෙස් මුහුණු දමා ගෙන පැමිණෙන විජාතික බලවේග වල වෙස් මුහුණු ගැලවිය යුතුය. ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී ජාතික ව්‍යාපාරයේ මූලික වගකීම විය යුත්තේ ජාතිකත්වයක් ඇති රජයක් බිහි කර ගැනීමය. ඒ සඳහා ජාතික ව්‍යාපාරය සෘජුවම මැදිවී තමන් වෙත ඡන්දය ඉල්ලමින් පැමිණෙන දේශපාලකයින්ට ජාතිකත්වය මත පදනම්ව චරිත සහතිකදී ඔවුන් පාර්ලිමේන්තු යවනවාද නොයවනවාද යැයි තීරණය කල යුතුය. අවසානයේ ජාතික ව්‍යාපරයෙන් හොඳ චරිත සහතිකයක් නොමැතිව රටේ දේශපාලණ බලයක් ලබා ගත නොහැකි තත්වයක් රටේ දේශපාලණ ක්‍ෂේත්‍රය තුල ඇති කර ගත යුතුය.
මෙතෙක් කල් ජාතික ව්‍යාපාරය සටන් කලේ මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමටය. නමුත් අද පාර්ළිමේන්තුවේ සිටින මැති ඇමති වරුන්ගෙන් ජාතිකත්වයක් ඇති අය සිටිනවානම් ඒ අතලොස්සක් පමණි. ඒ නිසා ඉදිරියේදී ජාතික ව්‍යාපාරයේ සටන හුදෙක් ආණ්ඩු බලය ලබා ගැනීමට පමණක් නොව ජාතිකත්වයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීම දක්වා වර්ධණය කර ගත යුතුය. හැකි නම් ජාතිකත්වයක් ඇති පළමු පෙලේ නිළධාරී මණ්ඩළයක් ඇති කර ගැනීම දක්වාම සටන දිගු කර ගත යුතුය. එවැනි පුද්ගලයින්ගෙන් සමන්විත ආණ්ඩුවක දුෂණය අවම වෙතැයි අපේක්‍ෂා කල හැකිය. ඉන් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ බලයද වැඩි වනු ඇත. ආණ්ඩු මූලික වශයෙන් දුෂිත වෙන්නේ බලය රැක ගැනීම අරභයා කටයුතු කිරීම නිසා වක්‍රාකාරයෙන්ද ඒ හරහා ආණ්ඩුවේ දුෂණය අවම කර ගත හැකිය. වඩා වැදගත් ලෙස ඒ හරහා ජාතික ව්‍යාපාරයත් රාජ්‍ය බලයත් අතර අන්නෝන්‍ය සම්බන්ධකමක් ගොඩ නැඟෙනු ඇත. අද මූලික ප්‍රශණය වී ඇත්තේ රජයත් ජාතික ව්‍යාපාරයත් අතර තිබිය යුතු මේ අන්නෝන්‍ය සම්බන්ධකම ගිලිහී තිබීමය.


ජානක වංශපුර

Saturday, 1 September 2012

නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයෝ

සරසවි ඇදුරන්ගේ වර්ජනයට මාස දෙකක් ගත වී ඇත. මේ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළේ වැරදි ප්‍රතිපත්තියකි. ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රතිපත්තියක් නොමැති වර්ජනය සම්බන්ධයෙන් නිසි පිළිතුරු නො දුන්නේ ය. වර්ජනයට කෙළින්ම සම්බන්ධ නොමැති වුවත් එයට ඉන්ධන එකතුකරන ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය, උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල වැරදි හා දැන් පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්නය පිළිබඳ ව ආණ්ඩුවට පිළිතුරු ඇතත් ජනමාධ්‍ය භාරව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරු එසේ පිළිතුරු දීමට අවස්ථාව නොසැපයූහ. ඒ සියල්ලෙන් සිද්ධ වූයේ අධ්‍යාපනයේ ඊනියා අර්බුදයක් ගැන කතාකිරීමට ආණ්ඩු විරෝධීන්ට යම් අවස්ථාවක් සැපයීම ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය භාරව සිටින්නන් නොදුන් පිළිතුරු ජනතාව පළාත් සභා මැතිවරණයේ දී දෙනු ඇත. නැගෙනහිර පළාතේ ජනවර්ග ව්‍යාප්තිය හේතුකොටගෙන අනෙක් පළාත් දෙකෙන් වෙනස් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබුණ ද එහි දී ද එ ජ නි සංධානයට පළාත් සභාව හැසිරවීමට අවස්ථාවක් ලැබෙනු ඇත. අද ජ වි පෙරමුණට හෝ එ ජා පක්‍ෂයට හෝ හිතවත්කම් දක්වන විශ්වවිද්‍යාල හා පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට අධ්‍යාපනයේ නැති අර්බුදයක් මවා පෑමට අවස්ථාවක් ලැබී ඇත. ඔවුන්ට අර්බුදයක් වී ඇත්තේ අර්බුදයක් නැති කම ය. එහෙත් ඔවුහු නැති අර්බුදය වුව ද ගසා කා, හැකිනම් තරුණයකු හෝ වෙනත් අයකු හෝ බිල්ලට දී, බලයට පත්වීමට උත්සාහ කරති. අද ඇතැම්හු ඊනියා අධ්‍යයන වසන්තයක් ගැන කතාකරති. මේ වසන්තය අරාබි වසන්තය මෙන් ආණ්ඩු පෙරළීමට සමත්වනු ඇතැයි ඔවුහු සිතති. මොවුන් සිතන්නේ අසූවේ දශකයේ අග මෙන් තත්වයක් උදාකිරීමට ය. අසූවේ අග ප්‍රශ්න ඇතිවූයේ අධ්‍යාපනය පමණක් මුල්කරගෙන නො වේ. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම හා ඉන්දීය ආක්‍රමණය, කොටි ත්‍රස්තවාදය ද එහි පසුබිමේ විය. ආණ්ඩුවේ ඉහළ නිලතල දරණ සරසවි ඇදුරන් දෙතුන් දෙනකු ආණ්ඩුව වැටුනොත් තම වරප්‍රසාද නැතිවේ ය යන බියෙන් අසූවේ දශකය මතක්කරමින් ආණ්ඩුව නොමග යැවීමට උත්සාහ කරන බව පෙනෙයි. ඔවුන් ජනමාධ්‍යයේ ඉහළ තනතුරු දෑරීම හා ජනමාධ්‍යට අරක්ගෙන තිබීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇත. අරාබි වසන්තයක් ඇති කරන්නේ කාගේ නායකත්වයෙන් ද? ඇතැමුන් සිතන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එසේ කළ හැකිය කියා ය. අසූවේ දශකයේ දී උන්වහන්සේට සිංහල බෞද්ධ කුමේනි කෙනකු වශයෙන් දොස් පැවරුවන් ම අද උන්වහන්සේගේ නායකත්වය අපේක්‍ෂා කිරීම දෛවයේ සරදමක් යැයි නො කියමි. එය ඒ ඒ අයගේ ප්‍රතිපත්ති වෙනස්වීම පිළිබඳ ප්‍රශ්නයකි.

මේ ආණ්ඩුව සර්ව සම්පුර්ණ ආණ්ඩුවක් යැයි කිසිවකු නොකියනු ඇත. දුෂණය, නාස්තිය ඉහවහා ගොස් ය. ආණ්ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් හැර අනෙක් කටයුතුවල දී බොහෝ වැරදි කර ඇත. එහෙත් අපට නිසැකව කිව හැකි දෙයක් වෙයි. වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුවහොත් දූෂණය හා නාස්තිය තවත් ඉහළ යනු මිස අඩු නොවනු ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අප වැනි රටවලට උරුම කර දී ඇත්තේ සර්ප්ිලාකාරයෙන් ඉහළ යන දුෂණයකි. 1948න් පසු පත්වූ ආණ්ඩුවල ක්‍රියාකාරිකම් සැලකීමේ දී ඒ බව මොනවට පැහැදිලි වෙයි. බටහිර ගැති, බටහිර රාජ්‍යවලින් සෘජුව හෝ වක්‍රව හෝ මුදල් ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍යවන්නේ දුෂණයෙන් තොර ආණ්ඩුවක් නො වේ. බටහිර රටවල ද ඇත්තේ දූෂිත රාජ්‍ය ය. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයකි. අද ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයන්ට හා වෙනත් එවැන්නන්ට අවශ්‍ය බටහිරයන්ගේ ආශිර්වාදය, අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව ඉටුකර ගැනීම ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව පළවාහැර වෙනත් ආණ්ඩුවක් ඇතිකර නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීම යෂ දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා කටයුතු කිරීම ය. මේ ආණ්ඩුව පළවා හැර පිහිටුවන වෙනත් ඕනෑම ආණ්ඩුවක් කාගේ නායකත්වයෙන් පිහිටුවත් රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් ලබාගත් ජයග්‍රහණය, එනම් දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ආපසු හරවනු ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත්කර හමුදාව ආපසු කැඳවනු ඇත. කොටි ත්‍රස්තවාදීන් ඊනියා දේශපාලන සිරකරුවන් සේ සළකා නිදහස් කෙරෙනු ඇත. කොටි ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙනු ඇත. එපමණක් නොව අද නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ යැයි කියන පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇති කරනු ඇත. පෞද්ගලික විශ්වවිද්‍යාල යනු මකරාක්‍ෂකයෙක් නො වේ. පෞද්ගලික විශ්වවවිිද්‍යාල ඇතිකිරීම සඳහන් කෙරෙන්නේ නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ බොරු උපාසකකම හෙළිදරවු කිරීමට ය. අද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගසන ඇතැම් සරසවි ඇදුරෝ උපාධිවලට සිසුන් සූදානම් කරන පෞද්ගලික ආයතනවල උගන්වති. මුදල් අයකර උසස් පෙළ පරීක්‍ෂණයට සිසුන්ට උගන්වන පංති හෙවත් ටියුෂන් කඩ පවත්වාගෙන යති. එහෙත් ඒ අතර උසස් පෙළ පරීක්‍ෂණයේ පිළිතුරු පත් ලකුණු කිරීමෙන් වළකිති. මේ සියල්ලෙන් සිිදුවන්නේ ඔවුන් කියනා නිදහස් අධ්‍යාපනය රුකගැනීම ද? බොහෝ දෙනා නොදනිතත් අද විශ්වවි්‍යාලවල ද මුදල් අයකරන පාඨමාලා පැවැත්වෙයි. ඒ පශ්චාත් උපාධි සඳහා පමණක් නො වේ. ප්‍රථම උපාධි මට්ටමෙන් පහළ සහතික පත්‍ර හා ඩිප්ලෝමා සඳහා පාඨමාලා රාශියක් අද විශ්වවිද්‍යාලවල පැවැත්වෙන්නේ ගාස්තු අයකරමිනි. ඒ ගාස්තුවලින් විශාල කොටසක් සරසවි ඇදුරෝ ලබාගනිති. මේ පාඨමාලා පවත්වාගෙන යෑමට ප්‍රතිපත්තියක් වශයෙන් නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ විය යුතු ය. එහෙත් ඇදුරන්ගේ වෘත්තීය සමිති හෝ ඊනියා අන්තරය හෝ ඒ පාඨමාලාවලට ඵලක් ඇති විරුද්ධතාවක් දක්වා නැත.

අප අමතක නොකළ යුතු කරුණ නම් තවමත් දෙමළ ජාතිවාදය හා ඒ අනුව පැවැත්වෙන මුස්ලිම් ජාතිවාදයක් මෙරට ක්‍රියාත්මක වන බව ය. දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලැබෙන්නේ බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන් ම තමිල්නාඩුව විසිනි. ඉන්දියාව ක්‍රියාත්මක වන්නේ බටහිරට අවශ්‍ය ආකාරයට හා චීනයට විරුද්ධවන ආකාරයකට ය. දෙමළ ජාතිවාදය තිබෙනතාක් දෙමළ ත්‍රස්තවාදයට යළි හිස එසවීමට අවස්ථාවක් ඇත. අද අපේ අවශ්‍යතාව වනුයේ සියල්ලට ම වඩා දෙමළ ජාතිවාදය පැරදවීම ය. රටේ ආරක්‍ෂාව සඳහා දෙමළ ජාතිවාදය පැරදවිය යුතු ය. එයට මුදල් වෙන්කිරීම අපේ ප්‍රමුඛතාව වෙයි. මෙරට ඊනියා නිදහස් අධ්‍යාපනයේ ආරක්‍ෂකයන්ගෙන් ඒ සඳහා ලැබෙන උපකාරය කුමක් ද? ඔවුන් දන්නා එකම දෙය බටහිර මතවාද පුනරුච්ඡාරණය කරමින් දෙමළ ජාතිවාදයට ආවැඩීම ය. කසිකබල් මාක්ස්වාදී, පශ්චාත් මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී, ලිබරල් මතවාද හැර ඔවුන් දන්නා ජාතික මතවාදයක් නැත. ඔවුහු ජාතික මතවාදවලට ජාතික දැනුමට මිථ්‍යාවන් යැයි කියමින් සිනහසෙති. පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ඊනියා නිදහස් අධ්‍යාපනයක මුවාවෙන් උගන්වති. තම දැනුම අනුව දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි යැයි කීවෝ ද මොවුහු ම වෙති. දෙමළ ජාතිවාදය වෙනුවෙන් අද මෙරට ප්‍රධාන වශයෙන් දේශපාලන පක්‍ෂයක් ලෙස පෙනී සිටින්නේ දෙමළ ජාතික සංධානය ය. දෙමළ ජාතිවාදයට අනුගත වූ මුස්ලිම් ජාතිවාදය (ආගමිකවාදය) වෙනුවෙන් පෙනී සිටින්නේ මුස්ලිම් කොංග්‍රසය ය. අද මේ පක්‍ෂ දෙක නැගෙනහිර පළාතේ කරන්නේ ආණ්ඩුවේ සංහිඳියා ප්‍රතිපත්තිය යැයි කිවහැකි ප්‍රතිපත්තියට එරෙහිව දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ජාතිවාදය පැතිරවීම ය. සංහිඳියා ප්‍රතිපත්තිය යනුවෙන් බටහිරයන් අදහස් කරන්නේ ද ජාතිවාදය පතුරවමින් සිංහල බෞද්ධයනට හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ය. නැගෙනහිර පළාතේ ඡන්දදායකයන් මේ බව සිහි තබාගත යුතු ය. පසුගිය දා ඊනියා නිිදහස් අධ්‍යාපනය රැකගැනීමට යැයි කියමින් කොළඹ පැවති රැළියකට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිට අනෝමා ෆොන්සේකා දක්වා සියළු ආණ්ඩු විරෝධීහු සහභාගි වූහ. එයට සහභාගි නොවූ පක්‍ෂ අතර (පක්‍ෂ නිල වශයෙන් සහභාගි නොවීම වෙන ම කරුණකි. එහෙත් ඒ ඒ පක්‍ෂවල දැවැන්තයෝ එයට සහභාගි වූහ) දෙමළ ජාතික සංධානය ද මුස්ලිම් කොංග්‍රසය ද දේශපාලනයේ කිසිදු බලපෑමක් කළ නොහැකි ඇතැම් පක්‍ෂ ද විය. එහි අරමුණ ආණ්ඩු විරෝධීන් 6% ඉල්ලීම උඩ ඒකරාශි කර පසුව දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඒ බලවේග මෙහෙයවීම ය. දෙමළ ජාතික සංධානය රැස්වීමෙන් පිට සිටියේ මැතිවරණ කටයුතුවල නිරතවී සිටි බැවින් නොව සංවිධායකයන්ට තම නියම අරමුණ වසංකිරීමට අවශ්‍ය වූ නිසා ය. මේ රැස්වීම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් සංවිධානය කළ එකක් යැයි කීව ද එය සංවිධානය කළේ ආණ්ඩු විරෝධී පක්‍ෂ හා සංවිධාන විසිනි. ආචාර්ය සමිති සම්මේලනයට එවැනි රැස්වීමක් සංවිධානය කිරීමට ශක්තියක් නැත. රැ්ස්වීමෙහි අරමුණ වූයේ ආණ්ඩුව දළ ජාතික නිශ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු ය යන්න වටා ජනතාව පෙළ ගැස්වීම ය. දැනටමත් යුනෙස්කෝ වාර්තාවෙන් කියන ආකාරයට දළ ජාතික නිෂ්පාදීතයෙන් 6%ට වඩා අධ්‍යාපනයට වෙන් වෙයි. යුනෙස්කෝ වාර්තාවෙහි කිසිම තැනක ආණ්ඩුව දළ ජාතික නිශ්පාදීයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වැය කළ යුතු යැයි කියා නැත. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂ හා එවැනි වෘත්තීය සමිති සමග එක් වී මේ බොරුව ජනතාවට කියන්නේ ඊනියා නිදහස් අධ්‍යාපනයක් රැකගැනීමට නො වේ. රූපවාහිනී නාලිකා දෙකක අපත් සහභාගි වූ වැඩසටන් දෙකක දී හා චින්තන පර්ෂදය විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක දී ආචාර්ය සමිති සම්මේලනයට සම්බන්ධ ඇදුරන් ඉදීිරියේ ඊනියා 6% ඉල්ලීම අමු බොරුවක් බව අපි පැහැදිලි කළෙමු. ආණ්ඩුව දැනටමත් තම වියදමෙන් 8%ක් පමණ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරයි. ආණ්ඩුවේ මුළු වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් 23%ක් පමණ ය. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වැය කිරීම යනු ආණ්ඩුව තම මුළු වියදමෙන් 25%ක් පමණ අධ්‍යාපනයට වියදම් කිරීමකි. එය කළ හැක්කක් නො වේ. සෞඛ්‍යය කෘෂිකර්මය ආදී ක්‍ෂෙත්‍ර ගණනාවක පමණක් නොව දෙමල ජාතිවාදයට එරෙහිව රණවිරුවන් වෙනුවෙන් කෙරන වියදම් ද කපාහැරීමෙන් තොරව එය කළ හැකි නොවේ. නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ අරමුණ කුමක් දැයි පැහැදිලි ය. මෙරට අධ්‍යාපන අර්බුදයක් නැත. අද පාසල්වල පහසුකම් එදාට වැඩි ය. ඉසෙඩ් අවුල ඇති කළේ තටිල් මහතා, ආණ්ඩු විරෝධී ගුරු සංගම් හා ඇතැම් ජඩමාධ්‍යවේදීන් ය. ප්‍රශ්න පත්‍රවල වැරදි සැම අවුරුද්දක ම වෙයි. ඒ කිසිවකට අදාළ ඇමතිවරු වරදකරුවෝ නො වෙති. ඒ වැරදි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොටගෙන ඇති වූවා නො වේ. අද ආචාර්ය සමිති සම්මේලනයට සම්බන්ධ හා වෙනත් දෙමළ ජාතිවාදීන්ට ආණ්ඩු විරෝධී බලවේග එකතු කිරීමට සටන් පාඨයක් අවශ්‍ය වී ඇත. මුල දී 6% යෝජනාව කවුරු කළත් අද එය ඒ සඳහා යොදා ගැනෙයි.