Main Logo

Showing posts with label බටහිර විද්‍යා. Show all posts
Showing posts with label බටහිර විද්‍යා. Show all posts

Wednesday, 19 March 2014

වා පිත් සෙම් ප්‍රවාද නොව ප්‍රත්‍යක්‍ෂ වෙයි


මමත්වය තුනී කිරීම සඳහා සෑම සතියක ම තම ඩී එස් සී උපාධිය ගැන සඳහන් කරන සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මාර්තු 12 වැනි දා ලිපියෙන් මට අභියෝගයක් කර ඇත. “වෛද්‍ය විද්‍යාලවල (මේ පීඨ විය යුතු ය. සංකල්ප ගැන කිසිම තැකීමක් නැති අමරතුංග මහතා තවමත් ජීවත්වන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්වීමට පෙර වූ යුගයේ ය.) සිසුන් හා ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳ ව නලින් මහතා දේශන පැවැත්විය යුතු” යැයි ඒ මහතා කියයි. මම ඒ අභියෝගය පිළිගනිමි. කරුණාකර ඒ සඳහා දේශනයක් හෝ දේශන කිහිපයක් හෝ පේරාදෙණියෙහි හෝ වෙනත් විශ්වවිිද්‍යාලයක හෝ වෛද්‍ය පීඨයක (දන්ත වෛද්‍ය පීඨයෙහි වුව ද කම් නැත) සංවිධානය කරන්න.  

ඒ මහතා සාපේක්‍ෂතාවාදය ගැන කියන 90% කතාව වැරදි ය. විශේෂ සාපේක්‍ෂතාවාදයේ ඒ සම්බන්ධ වැදගත් සාධකය වනුයේ (1- v2/c2) ½  යන්න ය. මෙහි v යනු යම් රාමුවකට සාපේක්‍ෂව අංශුවක හෝ වස්තුවක හෝ ප්‍රවේගය ද c යනු ආලොකයේ ප්‍රවේගය ද වෙයි. v = 0.9 c (එනම් 90%) ලෙස ගතහොත් ඒ සාධකය ආසන්න වශයෙන් 0.44 ක් වෙයි. එය එතරම් කුඩා සංඛ්‍යාවක් නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය වැදගත් වන්නේ ආලෝකයේ වේගයට ඉතා ආසන්න වශයෙන් චලනය වන අංශූ හෝ  වස්තු හෝ සඳහා ය. v, c කරා ළඟා වන විට ඉහත සඳහන් සාධකය ශූන්‍යය කරා ළඟා වෙයි. අමරතුංග මහතා තමා මේ කරුණ ලබාගත් පොතෙහි ඡෙදය උපුටා දක්වන්නේ ද? නැතහොත් එය අසා දැනගත්තේ කවරකුගෙන් දැයි පවසන්නේ ද? විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි දී අවස්ථිති සමුද්දේශ රාමු පවතින්නේ යැයි විශ්වාස කෙරෙයි. බටහිර විද්‍යාඥයන්ට ගුරුත්වාකර්ෂණ බලයක් ගැන සඳහන් කිරීමට සිදු වී ඇත්තේ නිරීක්‍ෂකයන් එවැනි අවස්ථිති සමුද්දේශ රාමු පවතින්නේ යැයි විශ්වාස කරන බැවිනි. අවස්ථිති සමුද්දේශ රාමුවකට සාපේක්‍ෂව වස්තු පොළොවට වැටීම තේරුම් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය යොදා ගැනීමෙනි. එහෙත්  සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවස්ථිති සමුද්දේශ රාමු නැත. අවස්ථිති සමුද්දේශ රාමු ගුරුත්වාකර්ෂණය මෙන් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒ රාමු මාක්ගේ දැඩි විවේචනයට හසුවිය. තරුණ අයින්ස්ටයින්ට මාක්ගේ ආභාසය වැදගත් විය. අයින්ස්ටයින්ට අවස්ථිති සමුද්දේශ රාමු බටහිර භෞතික විද්‍යාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ය. 

අපි දැන් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් දැයි දැනගනිමු. “අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය රඳා පවතින්නේ සමුද්දේශ රාමු මත යෑයි කීවාට වරදක්‌ නැත. ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවට පමණක්‌ වන හෙයිනි. ඒ විද්වතාණන්ට අවශ්‍ය වූයේ අනෙකුත් නැත හොත් සාමාන්‍ය සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රයත්නයන් ද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ ගොඩනැගීමට ය. මේ මතවාද එකතු කරනවා යන්නේ තේරුම එය ය. ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය බිහි වීම ය. මේ සඳහා ඔහු ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ අවකාශ-කාල වක්‍රතාව නිසා යෑයි නව අදහසක්‌ ඉදිරිපත් කළේ ය.” මෙය සම්පූර්ණයෙන් ම වැරදි අදහසකි. මෙහි දී ද අමරතුංග මහතා තමා ඒ ලබාගත් පොතෙහි අදාළ ඡෙදය උපුටා දක්වනනේ ද? නැතහෙත් තමා ඒ බව දැනගත්තේ කාගෙන් දැයි පවසන්නේ ද? ගුරුත්වාකර්ෂණය යන ප්‍රවාදය අවශ්‍ය වන්නේ නිරීක්‍ෂකයා තමා නිරික්‍ෂණය කරන්නේ අවස්ථිති සමුද්දේශ රාමුවක ය යන වැරදි උපකල්පනය නිසා ය. වස්තු පොළොවට වැටෙන්නේ (හා වෙනත් එවැනි සංසිද්ධි ඇතිවන්නේ ) ගුරුත්වාකර්ෂණය නිසා බවට නිවුටන් පට්ටපල් බොරු කතාවක් නිර්මාණය කළේ ඒ වැරදි උපකල්පනය නිසා ය. අවස්ථිති සමුද්දේශ රාමු බටහිර භෞතික විද්‍යාවෙන් ඉවත්කළ විට වස්තු පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන පට්ටපල් බොරුව අවශ්‍ය නො වේ.  එවිට ගුරුත්වාකර්ෂණය එකතු කිරීම යන ප්‍රශ්නය පැන නො නගී. අමරතුංග මහතාගේ ප්‍රශ්නය ඔහු වස්තු පොළොවට වැටීම හා ගුරුත්වාකර්ෂණය අතර සම්බන්ධයක් දැකීම ය. 

වස්තු පෙළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. (ප්‍රත්‍යක්‍ෂ ද බොරු බව මා මාර්තු 12 ලිපියෙහි සඳහන් කළ ද්වයතානුපස්සනා සූත්‍රයෙහි ගාථාවෙන් පැහැදිලි වෙයි). මේ ප්‍රත්‍යක්‍ෂය තේරුම්ගැනීම සඳහා යැයි කියමින් බටහිර භෞතික විද්‍යාඥයෝ පට්ටපල් බොරු කතා ගොතති.  එ කතා පංචෙන්ද්‍රිය ගෝචරවත් නො වේ. ගුරුත්වාකර්ෂණය යනු වස්තු පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම්ගැනීම සඳහා ගොතා ඇති එක් පට්ටපල් බොරුවක් පමණකි. අයින්ටයින් කියා සිටියේ වස්තු පොළොවට වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාවය නිසා බව ය. (එය ද පට්ටපල් බොරුවකි) ඔහු කිසි දිනෙක ගුරුත්වාකර්ෂණය සිදුවන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා යැයි කියා නැත. අයින්ස්ටයින් එසේ කී බව ජනප්‍රිය ලේඛකයකු සඳහන් කර ඇත්නම් අමරතුංග මහතා අදාළ ඡෙදය උපුටා දක්වන්නේ ද? වස්තු පොළොවට වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු එකක් නො වේ. පළමුවැන්න පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. දෙවැන්න එය තේරුම් කිරීමට යැයි කියමින් නිවුටන් ගෙතූ පට්ටපල් බොරුවකි. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි මා තව ම ඔප්පු කර නැත. ඒ මහතා ඔප්පු කිරීම යන්නෙන් කුමක් අදහස් කරන්නේ දැයි නො දනිමි. එහෙත් 2013 දෙසැම්බර් 25 දීන ගැලීලියෝ බොරු කීවේ මැයෙන් ලියූ ලිපියෙන් පටන්ගෙන ලිපි කහිිපයක ම බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා පෙන්වා දී ඇත. එහෙත් අමරතුංග මහතාට කෙසේ වෙතත් අනෙක් පාඨකයන්ට ප්‍රයෝජනවත් වේ ය යන අරමුණෙන් එය නැවතත් පැවසීමට අමරතුංග මහතා මාර්තු 5 වැනි දා සිංහල වෙදකම හා ආයුර්වේදය ගැන ලියා ඇති දෙයින් අවස්ථාවක් උදා වී ඇත. 

එහෙත් එයට පළමුව කාලාම සූත්‍රය ගැන කිව යුත්තේ තමාට ඒ සූත්‍රය නොතේරී ඇති බවට මා සාක්‍ෂි ඉදිරිපත් කර නැතැයි අමරතුංග මහතා පවසන බැවිනි. මාර්තු 5 වැනි දා ඒ මහතා මෙසේ කියයි. “තව ද කාලාම සූත්‍රයේ ද ලිච්ඡවි රජ දරුවන්ට කළ දේශනාවල ද උන්වහන්සේ පැවසුවේ තමන් පැහැදිලි ලෙස වටහා නො ගෙන කවුරුන් හෝ කී පලියට කිසිවක්‌ නො පිළිගන්නා ලෙස ය. මෙය මා වටහා නො ගෙන ඇති බවක්‌ නලින් මහතා කියයි. එහෙත් මා වටහා නො ගෙන ඇත්තේ ඒ සූත්‍රයේ කොතැන දැයි ඔහු නො කියයි.”  කාලාම සූත්‍රය දිර්ඝ වශයෙන් උපුටා දක්වා මෙයට පිළිතුරක් සැපයිය යුතුව ඇති නමුත් දැනට සනත් නානායක්කාර මහතා ලියා පළකර ඇති කාලාම සූත්‍රය හා චින්තන නිදහස යන කෘතියේ 41 වැනි පිටුවේ පහත සඳහන් ඡෙදය පමණක් උපුටා දක්වමි.  “කාලාම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන උපදේශය වරදවා තේරුම් ගැනීමට හේතු වුණු තවත් වැදගත් කාරණයක් වෙයි. එනම්, බුදුන් වහන්සේ සත්‍යාවබෝධය පිණිස තර්කනය, විග්‍රහය, ආදිය ම උපායමාර්ග වශයෙන් යොදාගත් භාස්තෘවරයාණන් වහන්සේ කෙනෙක් යෂ බුදුදහම ඒකාන්ත වශයෙන් තර්කනය හා විග්‍රහය මත පදනම් වූ විද්‍යානුකූල දහමක් ය, බුද්ධිවාදයක් ය, යන විශ්වාසයන් බොහෝ බෞද්ධයන් තුළ මුල් බැසගෙන තිබීම ය.” මෙහි මා එකඟ නොවන්නේ බොහෝ බෞද්ධයන් යන යෙදුමට පමණ ය. එය බොහෝ ඊනියා උගත් බෞද්ධයන් යැයි සඳහන් වී නම් මැනවි.  

වෙදකම ගැන අමරතුංග මහතා ඒ ලිපියෙහි ම මෙසේ කියයි. "කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව වන්නේ විද්‍යාවේ පදනම සැමට පොදු වූ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි වන නිසා ය. මෙය වටහාගත නොහැකි ව නලින් මහතා බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෙදකම අතර වෙනසක්‌ නැති දැයි අසයි. (විදුසර 26-02-2014). මේ ක්‍රම තුනේ ම පදනම ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි වන්නේ ය. එය නැති තැන ඇත්තේ මිථ්‍යාව ය. යම්කිසි රෝගයකට ප්‍රතිකාරයක්‌ හෝ බෙහෙතක්‌ හෝ සුදුසු බව සොයාගන්නේ එය අත්හදාබැලීමෙන් ය. රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ සුව කළ හැකි බෙහෙතක්‌ ඇතොත් එය සාක්‌ෂි ලෙස පිළිගැනේ. රෝගකාරකය සොයාගන්නේ ද රෝග විනිශ්චය සිදු වන්නේ ද මේ ලෙස ම ය. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක්‌ නැත. සිංහල වෙද මහතා තම දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් ය. ආයුර්වේද වෛද්‍යවරයා ද කළේ එය ම ය. මොවුන් රෝග පිළිබඳ තම අදහස්‌ තුළින් මතවාද ඉදිරිපත් කළ අවස්‌ථා ද නැත්තේ ම නො වේ. උදාහරණයක්‌ වශයෙන් ආයුර්වේදයට අනුව රෝග හටගැනෙන්නේ වාත පිත කප්හ යන පද්ධතියේ සමබරතාව බිඳුණු විට ය. එහෙත් අද වන තෙක්‌ මේ පද්ධතියේ ඇත්ත ස්‌වභාවය සොයාගෙන නැත. ආයුර්වේද බෙහෙත්වලින් නොයෙකුත් රෝග සුව කළ හැකි ය. එහෙත් එය සිදු වන්නේ අත්දැකීම්වලින් ලබාගත් සාක්‌ෂි මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් මිස වාත පිත කප්හ පද්ධතිය ගැන ඇති දැනුමක්‌ නිසා නො වේ. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද තිබිය හැකි අනෙකුත් මතවාද පිළිබඳව ද කිව හැක්‌කේ ඒවා පිළිගැනීමට සාක්‌ෂි නොමැති බව ය. මේ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ගේ මතවාද පිළිබඳව ගැඹුරෙන් පර්යේෂණ කොට අවශ්‍ය සාක්‌ෂි සොයෑගැනීමට වෙහෙසෙන නිසා ය.

කළ යුතු ව ඇත්තේ සාක්‌ෂි නොමැති වාත, පිත, සෙම වැනි අදහස්‌ අතහැර ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ පාවිච්චි කරන බෙහෙත්වල අඩංගු රෝගයට නිශ්චිත ව පහර දෙන රසායනික ද්‍රව්‍ය කුමක්‌ දැයි සොයාගැනීමට පර්යේෂණ විධිමත් ලෙස කිරීම ය. මේ පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රම සහ තාක්‌ෂණය යොදාගත යුතු ය. පුරාණ ඉන්දියාවේ ද වෛද්‍ය තාක්‌ෂණය වර්ධනය විය. සුශ්‍රැත (ක්‍රි.පූ.4 වැනි ශ.ව) නමැති භාරතයේ විසූ ශල්‍ය වෛද්‍යවරයා විසින් නිර්මාණය කරන ලද විකෘති වූ නාසය ප්‍රතිසංස්‌කරණය කරන ක්‍රමය අද පවා යුරෝපයේ භාවිත වන බව කිව යුතු ව ඇත. එම වෛද්‍යවරයා විසින් ලියන ලද "සුශ්‍රැත සංහිතා" නමැති ග්‍රන්ථයේ විස්‌තර වන වෛද්‍ය විශේෂඥ අංශ, ශරීරයේ කොටස්‌ සහ ක්‍රියාවන්, වෛද්‍යවරුන් පුහුණු කිරීම් වැනි දේ අද බටහිර වෛද්‍ය විද්‍යාවේ එම දේවලට සමාන ය. ලක්‌දිව පොළොන්නරු යුගයේ (අලහර පිරිවෙන ආශ්‍රිත) (මෙය ආලාහන පිරිවෙන විය යුතු ය) පැවැති ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්‌ කර ඇති ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා පවසන්නේ එකල ලක්‌දිව ශල්‍ය කර්ම සහ අද බටහිර ශල්‍ය කර්ම අතර වෙනසකට ඇත්තේ තාක්‌ෂණය පමණක්‌ බව ය. එකල අප ගේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම සහ අද බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක්‌ නැත."  

පරස්පරවලින් පිරුණු ඉහත සඳහන් උද්ධෘත අනුව අපේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම හා බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක් නැත. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද දැනුම ලබාගෙන ඇත්තේ අත්දැකීමෙන් ය. එහෙත් ආයුර්වේදයේ ඇති වා පිත් සෙම් සංකල්ප ආශ්‍රිත දැනුම (එනම් මූලධර්ම) බොරු ය. ඒ පිළිගැනීමට සාක්‍ෂි නැත. මේ සාක්‍ෂි යනු කවරේ ද? ආයුර්වේදයේ මෙන් ම සිංහල වෙදකමේ ද ආවේණික වූ ශාස්ත්‍ර  ඇත. ඒ බටහිර වෙදකමේ ප්‍රවාදවලින් වෙනස් බව පමණක් නොව බොරු බව ද අමරතුංහ මහතා කියයි. පැහැදිලිව ම බටහිර වෙදකම සිංහල වෙදකමේ වර්ධනයක් නොවන බව අමරතුංග මහතා කියයි. බටහිර වෛද්‍ය විද්‍යාව බොරුවල වර්ධනයක් යැයි අමරතුංග මහතා කියන්නේ යැයි අපි නො සිතමු. එසේ නම් එකම වෛද්‍ය විද්‍යාවක් පමණක් ඇතැයි කීම අමරතුංග මහතාට අනුව ද පට්ටපල් බොරුවකි. මෙහි ඇත්තේ පංචෙන්ද්‍රිය හා ෂඩෙන්ද්‍රිය අත්දැකීම් අතර වූ වෙනසකි. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද රෝග විනිශ්චයේ දී ද ප්‍රතිකාරයේ දී ද මනස ද වෙන ම ඉන්ද්‍රියයක් ලෙස ගැනෙයි. පංචෙන්ද්‍රිය අත්දැකීම් යනු ඉන්ද්‍රිය පහ මනස සමග එකතු වීමෙන් ලැබෙන අත්දැකීම් ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ය. බටහිර විද්‍යාවට ඇත්තේ පංචෙන්ද්‍රිය අත්දැකීම් ය, ප්‍රත්‍යක්‍ෂ ය. බුදුන් වහන්සේගේ හා රහතන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ වෙනස් ය. මම මාර්තු 5 වැනි ද ලිපියෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියැවෙන බුදුන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහන් කළෙමි. අමරතුංග මහතාට කෙසේ වෙතත් අප බෙහෝ දෙනකුට නිවන පසක් කිරීමේ අරමුණ වෙයි. රහත්භාවයට පත්නොවුණ ද, මනස සමග එකතු වී ලැබෙන පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට අමතර ව පංචෙන්ද්‍රිය නොමැතිව මනසින් පමණක් ලබාගන්නා අත්දැකීම්, ප්‍රත්‍යක්‍ෂ ද වෙයි. පැරණි සෘෂිවරුන් වා පිත් සෙම් වැනි සංකල්ප ආශ්‍රිත අත්දැකීම් ලබාගෙන ඇත්තේ එලෙස පංචෙන්ද්‍රියයන්ගෙන් තොරව මනසින් ය. ඔවුහු ඒ මනසින් දුටුවෝ ය. මේ ප්‍රත්‍යක්‍ෂ බටහිර විද්‍යාවට නැත. එබැවින් වා පිත් සෙම් බටහිර දන්ත වෛද්‍යවරුන්ට ද නැත. බටහිර විද්‍යාවට මනසින් පමණක් ලබාගන්නා ප්‍රත්‍යක්‍ෂ නොමැති බැවින් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් විස්තර කිරීමට පට්ටපල් බොරු කතන්දර ගෙතීමට සිදු වී ඇත. ගැලීලියෝ ද නිවුටන් ද අයින්ස්ටයින් ද කළේ පට්ටපල් බොරු ගෙතීම ය. ඔවුන්ට වෙනත් විකල්පයක් නොවූයේ ඔවුන් ආධ්‍යාත්මික දියුණුවක් අත්කර ගත් සෘෂිවරුන් (දකින්නන්) නොවූ බැවිනි.                               


නලින් ද සිල්වා

2014-03-19

Sunday, 16 February 2014

ජෙනීවා පරදවමු -2


ජෙනීවා ප්‍රශ්නයක් වී ඇත්තේ මෙරට ඊනියා උගතුන්ට ය. බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් ලබා ඇති මේ උගත්තු බටහිරයන්ගේ බටහිර විද්‍යාව ඇතුළු පට්ටපල් බොරුවලින් මුළා වෙති. ඔවුන්ට තම ඊනියා උගත්කම පෙන්වීමට ද ජෙනීවා උදවු වෙයි. ජෙනීවාහි දී කුමක් වේ ද? ආර්ථික සම්බාධක පැණවීමට ඉඩක් වේ ද? ආදී ප්‍රශ්න මේ උගතුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. එහෙත් නියම ප්‍රශ්නයට උගතුන්ට මගහැරෙන්නේ ඔවුන් උගතුන් පමණක් වූ බැවිනි. ඔවුන්ට අනුව අද ඇත්තේ මානුෂික මෙහෙයුම්වල අවසාන සති දෙකෙහි මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් දෙමළ ජාතිවාදයට ඇතැම් දේ දෙන්නේ නම් මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ චෝදනා අස්කර ගැනීමට බටහිරයන් කැමත්ත පළකර ඇති බව ඔවුහු අමතක කරති. බටහිරයන්ට ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීමේ ප්‍රශ්නයක් නොව සිංහල බෞද්ධ චින්තනය හා ඔවුන්ට අවනත නොවී කොටින් පැරද වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පැරදවීමේ  අභිලාෂයකි. අද එ ජා පක්‍ෂයේ කිරිඇල්ලත් ජ වි පෙ නව නායකයාත් බෙරිහන් දෙමින් කියන්නේ ජෙනීවා ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ආණ්ඩුවේ වරදින් බවත් ජෙනීවා යෝජනා ආණ්ඩුවට මිස රටට විරුද්ධ ව නොවන බවත් ය. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට තමන්වහන්සේ එකඟ බවත් වරදක් කර නැත්නම් එවැනි පරීක්‍ෂණයකට බිය නොවිය යුතු බවත් ය. උන්වහන්සේ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂක (අපේක්‍ෂකයන් වහන්සේ) බවට පත්වීමටත් කැමැත්ත පළකර ඇත. 

සෝභිත හිමියන් ජනාධිපතිවරණයේ දී තරග කළහොත් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට විසිපහකට අඩුවන බැවින් ඒ ගැන කතා නොකර සිටීම වැඩදායක ය. එහෙත් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන කතා නොකර සිටීමට නො හැකි ය. මේ ජාත්‍යන්තරය යනු කවු ද? දෙමළ ජාතික සංධානයේ සිංහල විරෝධී ඊළාම්වාදී ප්‍රේමචන්ද්‍රන්ලා ද ඉල්ලා සිටින්නේ ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු මෙරට දී සිදු කෙරෙන පරීක්‍ෂණයකට විරුද්ධ වෙති. ඔවුහු ජනගනන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට ද විරුද්ධ වෙති. ඒ ඔවුන් මෙරට රාජ්‍යයෙන් වෙන් වී ඊනියා ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත ඊළමක් පිහිටුවීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින බැවිනි. සෝභිත හිමියන්ට එවැනි අවශ්‍යතාවක් නැතැයි අපි තවමත් උපකල්පනය කරමු. එහෙත් ඊනියා ජාත්‍යන්තරය යනු ලෝක ජාත්‍යන්තරයක් නොව එංගලන්තය, ඇමරිකාව ආදී බටහිර රටවල් කිහිපයක ව්‍යාජ ජාත්‍යන්තරයකි. අප රටේ දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. එංගලන්තයත් ඇමරිකාවත් ඇතුළු ව්‍යාජ ජාත්‍යන්තරයට අවශ්‍ය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝ පුරා පැතිරවීමට ය. එහි දී ඔවුන්ට සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය කුඩු පට්ටම් කර දැමීමට අවශ්‍ය වෙයි. ඔවුන් 1650න් පසු ගෙන් වූ දෙමළ වෙල්ලායන් ද දැන් බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා ද යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හා චින්තනයට එරෙහි ව ය. මුළු මහත් දෙමළ ප්‍රශ්නය ම සිංහල බෞද්ධයනට එරෙහිව අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් ඇතිකරන ලද්දකි. අවාසනාවකට අද බටහිරයන් සිංහල බෞද්ධ චින්තනය සමග නැති භික්‍ෂූන්ගේ පල්ලි නිකායක් ද ඇතිකර සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධ ව එය යොදාගනු පෙනෙන්නට ඇත. ව්‍යාජ ජාත්‍යන්තරය පහළොස්වැනි සියවසේ සිට අද දක්වා ම නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් කඩකරමින් අපේ රණවිරුවන් අතින් සිදු වී යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම් ගැන පරීක්‍ෂණ කළ යුතු යැයි කියන්නේ එ ජා ප හා ජ වි පෙ වැනි සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂ කියන ආකාරයට ආණ්ඩුවට විරුද්ධව නොව සිංහල බෞද්ධ චින්තනයට හා සංස්කෘතියට එරෙහි ව ය. ඉහත කී පක්‍ෂ ජෙනීවා චෝදනා ආණ්ඩුවට විරුද්ධව යැයි කියන විට ඔවුන් තැත්කරන්නේ එහි ඇති සිංහල බෞද්ධ විරෝධය වසා දැමීමට ය. ව්‍යාජ ජාත්‍යන්තරය පරීක්‍ෂණවලින් රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට බලාපොරොත්තු වෙයි. 

අනෙක් අතට අප නිවැරදි නම් පරීක්‍ෂණයකට  බිය විය නැතැයි යන්න සත්‍යයක් වුවත් එයින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එකඟ විය යුතු බවක් ගම්‍ය නො වේ. අද අපේ ප්‍රධාන ම සතුරා එංගලන්තය ය. මෙරට කසිකබල් උගත්තු, විශේෂයෙන් ම ඉංගිරිසි උගත්තු එසේ කීම ගැන අසතුටු වෙති. එහෙත් එංගලන්තය අපේ ප්‍රධාන ම සතුරා බව අවබෝධ කරගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය මුළුමනින් ම පැරදවිය නොහැකි ය. අප නොකළ වරදක් ගැන අපේ ප්‍රධාන ම සතුරා කිසිම සාක්‍ෂියක් නොමැතිව කෑ ගෑසූ පමණින් අප සතුරා විසින් ම කෙරෙන පරීක්‍ෂණවලට එකඟ විය යුතු ද? සතුරාගේ මෙරට නියෝජිතයන් වූ දෙදෙනකු වූ රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් යන බිෂොප්වරු ඇසින් දුටු සාක්‍ෂි ඇතැයි කියමින් රසායනික ප්‍රහාර හා සාමාන්‍ය වැසියන්ට බෝම්බ දැමීම් ගැන කතා කරති. අප ව්‍යාජ ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟ විය යුත්තේ සාක්‍ෂිකරුවන් නැතිව කරන මෙවැනි අභූත චෝදනා මත පදනම් වී ද? අප කළ යුත්තේ රටට එරෙහිව එලෙස පදනම් විරහිත චෝදනා ඉදිරිපත්කරන බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන්නන් අධිකරණය ඉදිරියට පැමිණවීම සඳහා නීති රීති සම්පාදනය කිරීම ය. අපේ නිවැරදිකම ප්‍රදර්ශනය කිරීමට යැයි කියමින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟවන්නන් ද ඉටුකරන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතා ය. ආර්්ථික සම්බාධක පැණවීමට ජෙනීවා සමුළුවට නීතියෙන් ඉඩක් නැතිවුවත් බටහිරයන් අපට දඬුවම් කර අප මෙල්ලකිරීම සඳහාත් ආණ්ඩුව පළවා හැරීම සඳහාත් සිංහල බෞද්ධ සංස්කෘතිය පොඩි පට්ටම් කිරීම සඳහාත්  වක්‍ර ව ආර්ථික වශයෙන් හිරිහැර කරනු ඇත. අද ආණ්ඩුව පෙරළා දැමීමට ඊනියා වසන්ත මෙහෙයවීමට තරම් නායකත්වයක් මෙරට කිසිම විපක්‍ෂ කණ්ඩායමකට  හෝ දේශපාලන පක්‍ෂයකට හෝ නැති බව දත් කැමරන් තම එංගලන්ත අගමැතිකමට අමතරව ලංකාවේ විපක්‍ෂ නායක පදවිය ද තමන් අතට ගෙන ඇත. අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ජෙනීවා, ලන්ඩන්, වොෂිංටන් නගරවල මිස කොළඹ නො වේ.  බටහිරයන් ලන්ඩන් හා වොෂිංටන් සිට පනවන වක්‍ර ආරථික සම්බාධක  ඊනියා උගතුන්ට ප්‍රශ්නයක් වනු ඇත. එහෙත් ඔවුහු (අඩුම තරමෙන් ඔවුන්ගේ දෙමවුපියෝ) දෙවැනි ලෝක යුද්ධය යනුවෙන් හැඳින්වෙන බටහිරයන්ගේ යුද්ධයේ දී සුද්දන් වෙනුවෙන්, සුද්දන්ගේ ලෝක ආධිපත්‍යය වෙනුවෙන්, බජිරි කෑවෝ ය. සුද්දන් වක්‍ර ව ආර්ථික වශයෙන් අපට හිරිහැර කළහොත් එයට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඊනියා උගතුන්ට බජිරි කැවීමට අවශ්‍ය නම් අප එය ද කළ යුතු ය. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2014-02-16

Wednesday, 12 February 2014

වචන හා වචන


පළමුකොට ම සඳහන් කළ යුත්තක් නම් පසුගිය සතියේ මේ තීරුව යටතේ පළ වු වෙබ් සම්බන්ධය (ඈඳීම - link)  වැරදියට මුද්‍රණය වී ඇති බව ය. එය පහත සඳහන් ආකාරයට නිවැරදි විය යුතු ය. http://www.youtube.com/watch?v=kiLHfmfYoS4 අවශ්‍ය අයකුට සම්පුර්ණ දේශනයට සවන් දීමට පහත සඳහන් සම්බන්ධ ද යොදාගත යුතු ය. http://www.youtube.com/watch?v=-35_bat62mQ; http://www.youtube.com/watch?v=AMPlnr7LCoI නැතහොත් www.kalaya.org යන චින්තන පර්ෂදයේ වෙබ් අඩවියට පිවිස දේශනයට සවන්දිය හැකි ය.

අපි දැන් ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ විද්වත් ප්‍රකාශ කිහිපයක් සලකා බලමු. ඔහු ජනවාරි 08 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. …“එනමුත් ඔහුට එක් දෙයක් අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්ටම රැකගන්නට බැරි වන්නේ විශ්වවවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක් නිසා ද නැතිනම් සහජ දුර්වලතාවක් නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක් අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්සේරුවට ලක්කරන්නේ මිදි ඇඹුල් බව පැවසු උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක වත ඇත.”

ඉහත සඳහන් වාක්‍යය ලියා ඇත්තේ ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්යවරයා මිස ඔහු කියන අන්දමට විශ්‍රාම යන විට මහාචාර්ය පට්ටම රැකගැනීමට බැරි වූ මා නො වේ. එහෙත් එහි සඳහන්වන එවැනි විධිමත් මාර්ගය කුමක් දැයි මහාචාර්යතුමා නො කියයි. එවැනි යනුවෙන් සඳහන් කිරීමට ඒ විධිමත් ක්‍රමය කුමක් දැයි පළමුව ප්‍රකාශ කළ යුතු ය. එසේ නැතිව එවැනි යන වචනයට ලැබෙන වැදගත්කම, ඒ වචනයෙන් විස්තර වන්නේ කුමක් ද ආදිය පිළිබඳ ව අවබෝධයක් පාඨකයාට නො ලැබෙයි. මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යනවිට අවසන් විය. අමරතුංග මහතාගේ මහාචාර්ය පදවිය ද එතුමා විශ්‍රාම ගිය  දිනයේ සිට අවසන් විය. 

එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක් වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ නම් එක් නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩුම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක් දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නොවන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදුවූයේ අවුරුදු හතක් පමණ ය. එය ද මට කිසිදු පත්වීමක් ලබා නොදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට විරුද්ධව කිසිම නීතිඥයකුගේ සහායක් නොමැතිව ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්ඩලය ඉදිරියේ නඩු කීමෙන් ලබාගත් ජයග්‍රණයක ප්‍රතිඵලයකි. හැත්තෑවේ දශකයෙහි අග පේරාදෙණිය විශ්වවිද්‍යාලය (එවකට මණ්ඩපය) මට පත්වීමක් ලබා නොදීමට තීරණය කළ විට අමරතුංග මහතා ඒ විශ්වවිද්‍යාලයෙහි  සේවය කළේ දැයි මම නො දනිමි.     

කෙසේ වුවත් අවුරුදු අටක් මහාචාර්ය ධුරය නොදැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවද්‍යාලයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක් නොකරන බව මම දනිමි. මා එම පිඨයෙහි පීඨාධිපති ධුරය අවුරුදු තුනක් දැරූ නමුත් පීඨයෙහි මාණ්ඩලික රැස්වීම් ශාලාවෙහි පීඨාධිපතිවරුන්ගේ ඡායාරූප අතර මගේ ඡායාරූපය නැත්තේ  මගේ සහජ අවලක්‍ෂණයක් (දුර්වලකමක්)  නිසා යැයි මම නො සිතමි. මට මහාචාර්ය නමින් ආමන්ත්‍රණයක් අවශ්‍ය නැත. මගේ ඡායාරූපය සතපහක් නොවටිනා විශ්වවිද්‍යාලයක බිත්තියක එල්ලා තැබීමට ද මට අවශ්‍ය නැත. මට මගේ ස්වාධීනත්වය, විශේෂයෙන් ම බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙන් සිංහලයන් ස්වාධීන කරගැනීම සඳහා කරන අරගලයේ දී මගේ ස්වාධීනත්වය, වැදගත් වෙයි. අමරතුංග මහතාගේ අපහාසාත්මක ප්‍රකාශ නොවන්නට මට ඉහත සඳහන් සටහන ලිවීමට අවශ්‍යතාවක් ඇති නොවීමට තිබිණි. 

අමරතුංග මහතාට මහනුවර දී මා පැවැත්වූ දේශනයකට සහභාගිවීමට ආරාධනය කළෙමි. ලිපියක සඳහන් කළ හැකි දෙයට වඩා බොහෝ දේ පැය දෙකහමාරක දේශනයක සඳහන් කළ හැකි  ය. ඒ දේශනයට සහභාගි වී නම් ඒ මහතාට යමක් ඉගෙන ගැනීමට තිබිණි යැයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ මහතා පෙබරවාරි 05 වැනි දින පළ වූ ලිපියෙන් කියන්නේ තමා මගෙන් කිසිවක් ඉගෙන ගෙන නැති බවත් මා තමන්ගේ ම දේශනයක ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව මා නොදන්නා බව පෙනී යන බචත් ය. 

මා මගේ දේශනය ගැන කළ පුරසාරමක් නැත. මා කළේ මගේ දේශනයට සහභාගි වීමට ඔහුට ආරාධනය කිරීමත් එයට සහභාගි වීමෙන් ඔහුට යමක් ඉගෙන ගැනීමට හැකි බවත් කීම පමණ ය. මා කොහේ දේශන පැවැත්වුවත් එයින් බලාපොරොත්තු වන්නේ අසන්නන්ට යමක් ඉගැන්වීමට ය. අමරතුංග මහතා දේශන පවත්වන්නේ ඉගැන්වීමට නොව දිමනාවක් (වැටුපක්) ලබාගැනීමට විය හැකි ය. මම එය නො දනිමි. බොහෝ මහාචාර්යවරුන්ගේ දේශනවලින් පොතක පතක ඇති දෙයකට වැඩි කිසිවක් ඉගෙන ගැනීමට නොහැකි බවත් මම අත්දැකීමෙන් ම දනිමි. විශ්වවිද්‍යාලයේ දී හැකිතාක් දේශනවලින් ඉවත් ව සිටීම මට ප්‍රිය විය.

මා දේශන පවත්වන්නේත් ලියන්නේත් අලුත් යමක් කියා දීමට ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ මිථ්‍යාව නොඉවසන ඔහුට මගෙන් ඉගෙනීමට කිසිවක් නැති බව ය. බටහිර විද්‍යාව නමැති පට්ටපල් බොරු විශ්වාස කරන ඔහු මගෙන් කිසිවක් ඉගෙන නොගන්නා බව නම් පැහැදිලි ය. ඒ බව ඔහුගේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ද පැහැදිලි වෙයි. ෆැක්ට්ස්  (facts) යන්න වෙනුවට  සිද්ධාන්ත යන්න යෙදිය නොහැකි බව මගේ ජනවාරි 22 වැනි දා ලිපියෙන් ශබ්දකෝශවලින් හා පාරිභාෂික ශබ්දමාලාවලින් උදාහරණ ගෙන පෙන්වීමි. එහෙත් පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ඔහු කියන්නේ කුමක් ද? 

ඔහුට අනුව ෆැක්ට්ස් යන්නට සුදුසු වචනයක් නොමැති බැවින් ඔහු දිගට ම ඒ සඳහා සිදාධාන්ත යන වචනය යොදා ගන්නා බව කියයි. ෆැක්ට් යන්නට තනි වචනයක් පැරණි සිංහලයේ තිබී නැත. එයට  හේතුව ෆැක්ට් යන්න සිංහලයන්ට විෂය වූවක් නොවූ බැවින් යැයි සිතිය හැකි ය. එහෙත් දැන් පාරිභාෂික ශබ්දමාලාවෙහි පරිසිද්ධිය යනුවෙන් ඒ සඳහා වචනයක් වෙයි. අමරතුංග මහතා ඒ වචනයට අකමැති නම් ඔහුට වෙනත් සුදුසු වචනයක් නිර්මාණය කරගත හැකි ය. එහෙත් ඔහු එසේ නොකර ෆැක්ට් යන්නෙන් දෙන අදහසට ඉඳුරා විරුද්ධ අර්ථයක් දෙන සිද්ධාන්තය යන්න යොදා ගනියි. මෙයින් පැහැදිලිවන්නේ අමරතුංග මහතාට වචන පිළිබඳ නිරවුල් අවබෝධයක් නැති බව ය. අපි ලිපියෙහි අග මේ ගැන තවදුරටත් කතාකරමු. 

ඒ අතර අමරතුංග මහතා පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් තවදුරටත් කියන්නේ මා කිසිදාක කිසිවිටෙක කියා නැති බව ය. ඔහුට අනුව මා ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන්ගේ අදහස්වල එල්බගෙන (බටහිර) විද්‍යාව බොරුවක් බව පවසයි. මා ෆෙයරාබන්ඩ්ගෙන් පමණක් නොව කූන්ගෙන් ද ආභාසය ලබා ඇත. ඔවුන් නිර්මාණය කළ ඇතැම් දැනුමක් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය  කරගෙන ඇත. එය මා බොහෝ විට පවසන කරුණකි. එහෙත් මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් හෝ කූන් හෝ පොපර් හෝ බටහිර විද්‍යාව පිළිබඳ වෙනත් දාර්ශනිකයකු හෝ බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියා නැත. එසේ කියා ඇත්නම් රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුන් මෙන් සාක්‍ෂි නොමැතිව හිස් ප්‍රකාශ නොකර බටහිර දාර්ශනිකයකු බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියා ඇත්තේ කොතනක දැයි සාක්‍ෂි සහිතව සඳහන් කරන මෙන් ඉල්ලමි.

මා කිසිම අලුත් සත්‍ය දෙයක් කියා නැති බව කී පළමු තැනැත්තා අමරතුංග මහතා නො වේ. මෙයට කලින් කාලෝ ෆොන්සේකා මහතා එක්තරා රූපවාහිනී සාකච්ඡාවක් අවසානයේ දී මට පිළිතුරකට කාලය නොතබා ඉතා නිවට ආකාරයකට ඒ අරුත දෙන ප්‍රකාශයක් කළේ ය. ඔහු බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ නිවට බව හෙළිදරවු කිරීමට මම ඒ අවස්ථාව ම යොදා ගත්තෙමි. මෙයට කලකට පෙර කලක් ජ වි පෙ අනුගාමිකයකු ව සිට පසුව චින්තන පර්ෂදයේ කටයුතුවලට ද සහභාගි ව ජාතිය මලකඳක් යැයි  කියමින් නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවීර දේශපාලනයට 1994 දී ගිය පාඨලී චම්පික රණවක මහතා ද මා රැම්සේ වෙත්තිමුනි මහතාගේ අදහස් හැරෙන්නට වෙනත් දෙයක් (බටහිර) විද්‍යාව හා බුදුදහම පිළිබඳ කියා නැතැයි මහා ඝෝෂාවක් කළේ ය. වෙත්තිමුනි මහතාගේ අදහස් සමග මා එකඟ නොවූ බව ඒ මහතාට නොවැටහුණේ ඔහුට වෙනත් දේශපාලන ප්‍රශ්නයක් තිබූ නිසා බව මම දැන සිටියෙමි. 

අද අමරතුංග මහතා කියන්නේ මා මහායාන දහමේ අදහස්වල එල්බගෙන බුදුදහම විකෘත කරන බව ය. එය චම්පික රණවක මහතා කී දේට පටහැණි ය. දෙදෙනා ම හෝ අඩුම තරමෙන් ඔවුන්ගෙන් එක් අයකු හෝ බොරු කියන (කී) බව පැහැදිලි ය. මා අශෝක බුදුදහමෙහි සඳහන් ඇතැම් දේ නොපිළිගත් පමණින් මා බුදුදහම විකෘත කරන බව අමරතුංග මහතා පවසන්නේ කෙසේ ද? අපි කාලෝ ෆොන්සේකා මහතා හා අමරතුංග මහතා බටහිර දැනුමට අවශ්‍ය කරන ආකාරයට කාළාම සූත්‍රය විකෘත කර ඇති ආකාරය පසුව සාකච්ඡා කරමු. මහනුවර දේශනයට සවන් දෙන්නකුට එය පැහැදිලි විය යුතු ය. 

අපි සංවාදයක යෙදී ඇත්තෙමු. අප වැන්නන් සංවාද කරන්නේ, බොහෝ විට සන්නිවේදනය කරන්නේ භාෂාවක වචන යොදා ගනිමිනි. එබැවින් අපි වචන යොදා ගැනීමේ දී හැකිතාක් නිරවුල්වීමට උත්සාහ දැරිය යුතු වෙමු. එහෙත් අමරතුංග මහතා ඒ ගැන කිසිම සැලකිල්ලක් නො දක්වයි. ඔහු වරක් ඉන්කන්සිස්ටන්සි යන වචනය වෙනුවට අවිනිශ්චිතතාව යන පදය යෙදී ය. එය වැරදි බව ජනවාරි 15 වැනි දා මගේ ලිපියෙන් පෙන්වා දුනිමි. මගෙන් කිසිවක් ඉගෙනීමට නැතැයි කීයන අමරතුංග මහතා ජනවාරි 29 වැනි දා ලිපියෙන් ද ඒ වරද කරයි. ඔහු “නිව්ටන්ගේ න්‍යාය තුළ අවිනිශ්චිතතාවන්, අස්ථිරතාවන්, නිරවද්‍ය නොවූ තැන් (inconsistency, impreciseness, uncertainty, inexactitude) තිබිය හැකි” යැයි පවසයි. මෙහි න්‍යාය යනුවෙන් යොදාගෙන ඇත්තේ තියරී යන්නට විය යුතු ය. එය ද වැරදි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා සිංහල වචන තුනක් වෙනුවට වරහන් තුළ ඉංගිරිසි වචන හතරක් යොදයි. පැහැදිලි ව ම මෙය කපටි උපක්‍රමයකි. තමන් කිනම් සිංහල වචනයක් කිනම් ඉංගිරිසි වචනයක් වෙනුවෙන් යොදාගන්නේ දැයි පාඨකයාට නොකීමට ඔහුට ඉන් අවස්ථාව ලැබෙයි. කෙසේ වෙතත් අප කතාකරන්නේ නිවුටෝනීය විද්‍යාවේ බොරුව ගැන මිස ඊනියා අස්ථිරතාවන්, අවිනිශ්චිතතාවන් ගැන නො වේ. බොරුව වචන දමා ගැසීමෙන් වැසිය හැකි නො වේ. මේ සියල්ලටත් වඩා අමරතුංග මහතා තම අනවබෝධය ප්‍රදර්ශනය කරන්නේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් වියුක්තය ගැන කතාකිරීමේ දී ය. ඔහු වියුක්තය යනුවෙන් වටහා ගෙන ඇත්තේ විවික්තය ය! අපි මේ සියල්ල පසුව විස්තරාත්මක ව සාකච්ඡා කරමු. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්ත ප්‍රවාද බැවින් අමරතුංග මහතා ඉගෙන ගත්තත් නැතත් අප ඉක්මනින් එය පැහැදිලි කළ යුතු ය.


නලින් ද සිල්වා

2014-02-12

Wednesday, 5 February 2014

නිවුටන්ට හා අයින්ස්ටයින්ට අනුව වැටීම



ජනවාරි මස 23 වැනි දා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් මා විසින් මහනුවර දී පවත්වන ලද දේශනය http://youtu.be/kiLHfmfYoS4 යන ජාල සම්බන්ධය හා එක්වීමෙන් ශ්‍රවණය කළ හැකි බව ප්‍රථමයෙන් ම දැනුම් දෙන්නේ එම දේශනය මෙම සංවාදයට අදාළ බැවින් හා එයට මහාචාර්ය අමරතුංග මහතා නොපැමිණි බැවින් ය. එමෙන් ම එම දේශනයෙහි සඳහන් කරුණු පිළිබඳ තුන්වැනි පාර්ශ්වයකින් කියැවෙන දේ අසා නිගමනවලට එළඹීම වෙනුවට තමන්ට ම එය ශ්‍රවණය කිරීමෙන් ඒ පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැකි බැවින් වෙබ් අඩවියකට පිවිසීමට පහසුකම් ඇති පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ද අදාළ සම්බන්ධය මෙහි දක්වා ඇත.

පසුගිය ජනවාරි 22 වැනි දා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විසින් ලියන ලද ලිපියට පිළිතුරු දීම අවසන් නැති වුවත් ඒ මහතා 29 වැනි දා සඳහන් කරන ලද කරුණක් දෙකකක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. ඒ කාන්ට්ගේ දැනුම පිළිබඳ නිර්වචනය හා ගුරුත්වය සම්බන්ධව ය. කාන්ට්ගේ දැනුම පිළිබඳ නිර්ණායක (නිර්වචනය) ලෙස අමරතුංග මහතා ඉදිරිපත් කළේ තම ජනවාරි 1 වැනි දා ලිපියෙනි. ඔහු එහි දී කියා සිටියේ මෙයයි. “දැනුම යන්න කුමක් දැයි එමානුවෙල් කාන්ට් නමැති දාර්ශනිකයා අර්ථදක්වා ඇත. එනම් යම්කිසි විශ්වාසයක් (belief) සිද්ධාන්ත (facts) සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනේ. නලින් ද සිල්වා මහතා විද්‍යාව බොරුවක් යැයි විශ්වාස කරන බව පෙනේ. එනමුත් එම විශ්වාසයස මත එකඟ වන සිද්ධාන්ත කිසිවක් ඔහු ඉදිරිපත් කොට නැත.”

ඒ මහතා සිද්ධාන්ත යනු කුමක් දැයි නොදන්නා බවත් එය (facts) යන්නට යොදාගත නොහැකි බවත් පෙන්වූ. මම දැනුම යනු කුමක් ද යන්න පිළිබඳ ව කාන්ට්ගේ නිර්වචනය (අර්ථකථනය - නිර්ණායක) යොදාගැනීම පිළිබඳ මූලික ප්‍රශ්නයක් මතු කෙළෙමි. ඒ දැනුම පිළිබඳ කාන්ට්ගේ නිර්වචනය දැනුමක් ද යන්න ය. එය දැනුමක් බව අප දැනගන්නේ කිනම් නිර්ණායක යොදාගනිමින් ද? සත්තකින් ම  ඒ සඳහා කාන්ට්ගේ නිර්වචනය ම යොදාගත නො හැකි ය. අප පළමු කොට කාන්ට්ගේ නිර්වචනය දැනුමක් බව පෙන්වා දිය යුතු ය. අමරතුංග මහතා කෙතරම් උත්සාහ කළත් එය කළ නො හැකි ය. ඔහු ඒ සඳහා වෙනත් දැනුමක් (නිර්ණායක) යොදා ගත යුතු ය. එවිට එය කාන්ට්ගේ නිර්වචනයට වඩා මූලික නිර්වචනයක් වෙයි. අනෙක් අතට ඒ නව නිර්ණායකය දැනුමක් බව අප තීරණය කරන්නේ කෙසේ දැයි පෙන්වාදීමට අමරතුංග මහතාට සිදුවෙයි.

අප කතාකරන්නේ දැනුම පිළිබඳව ය. එහි දී රේඛීය දැනුමක් වූ බටහිර දැනුමට මුහුණ පෑමට සිදුවන මූලික ප්‍රශ්නයක් මම මතු කළෙමි. අමරතුංග මහතා තමන්ට නොතේරෙන දාර්ශනික වචනවලින් දමාගැසුව ද ඔහුට බොහෝ මහාචාර්යවරුන්ට මෙන් ම මූලික ප්‍රශ්න ගැන කල්පනා කිරීමට තරම් ශක්තියක් නැත. එබැවින් ඔහු මගේ මූලික ප්‍රශ්නයට සිය ජනවාරි 23 වැනි දා ලිපියෙන් පිලිතුරක් නොදී මා මෝඩ ප්‍රශ්නයක් අසා ඇති බව කියමින් පැන යන්නේ පහත සඳහන් ප්‍රකාශය කරමිනි. “ඔහු රේඛීය වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ද පුරුදු පරිදි ඇඳාගනියි. මිනිසා බිහි වූ දා පටන් ඉන්ද්‍රිය ගෝචර දැනුම ලබාගත්තේ ය. ඉන්ද්‍රිය ගෝචර නොවූ දේ තේරුම්ගැනීමට සමහර අය මිථ්‍යාවේ පිහිට පැතූහ. සමහරෙක් විද්‍යාත්මක පර්යේෂණවල පිහිට පැතූහ. ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි ඉදිරිපත් කළ හ. මෙය දිගු ගමනක් විය. මේ දැනුම්  මාර්ගයේ එක් කඩඉමකි එමානුවෙල් කාන්ට් ගේ දැනුම පිළිබඳ නිර්වචනය.”

මා අසා ඇත්තේ මෝඩ ප්‍රශ්නයක් යැයි සිතමු. ඒ මහතා එයින් කියන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීම අනවශ්‍ය බව ද? එහෙත් ඒ මහතා මිථ්‍යා හා විද්‍යාත්මක පර්යේෂණ ගැන කියන්නේ එයට පිළිතුරක් ලෙස ය. අවසානයේ දී ඔහු කියන්නේ කාන්ට් ගේ නිර්වචනය ඒ ඊනියා දැනුම් මාර්ගයේ කඩඉමක් බව ය. දැනුම් මාර්ගයේ කඩඉමක් යනුවෙන් ඔහු අදහස් කරන්නේ දැනුමක් බව පැහැදිලි ය. එහෙත් මගේ ප්‍රශ්නය ද එය දැනුමක් බව තීරණය කරන්නේ කෙසේ ද යන්න ය. කාන්ට් ඉදිරිපත් කර ඇත්තේ මිථ්‍යාවක් ද? ඔහු ඒ සඳහා කළ ඊනියා විද්‍යාත්මක පර්යේෂණයක් වේ ද? ඒ කිසිවක් අමරතුංග මහතා සඳහන් නො කරයි. ඔහු එය දැනුමක් බව පමණක් ප්‍රකාශ කරයි. කාන්ට්ගේ දැනුම පිළිබඳ නිර්වචනය දැනුමක් බව තීරණය කරන්නේ කෙසේ දැයි ඇසූ කල එය දැනුමක් යැයි පැවසීම ප්‍රශ්නයට පිළිතුරක් නො වේ. මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ කල බොහෝ විට ලැබෙන පිළිතුරු එබඳු ය. 

බටහිර විද්‍යාවේ ප්‍රශ්නය එය පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර (ප්‍රවාද) මගින් තේරුම් කිරීමට යෑම ය. පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ ගැන කතාකරන බටහිර විද්‍යාවට තම කතන්දර පංචෙන්ද්්‍රිය ගෝචර නොවන බව අමතක වෙයි. බටහිර විද්‍යාඥයෝ කතන්දර ගොතති. මේ කතන්දර පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒවා පට්ටපල් බොරු ය. ගුරුත්වාකර්ෂණය යනු එවැනි පට්ටපල් බොරුවකි. එය නිවුටන් ගෙතූ කතාවකි. පොල් ගෙඩි පොළොවට වැටීම (වක්‍ර) පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් සෑම ප්‍රත්‍යක්‍ෂයක් ම, පංචෙන්ද්‍රිය ගෝචර වුවත් නැතත්, සංකල්පයක් සමග බැඳී ඇත. පොළොවට වැටීම යන්න ඇතැමුන් සිතන තරම් සරල පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් හෝ සංජානනයක් හෝ නො වේ. එහි පොළොව යන සංකල්පය අඩංගු වෙයි. එයට අමතර ව වැටීම යන සංකල්පය වෙයි. පොළොව සෘජු ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. එය ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? පොළොව යන සංකල්පය පංචෙන්්ද්‍රිය ගෝචර සංජානන රාශියක් එකට ගැනීමෙන් මනස විසින් සකස් කරනු ලැබ ඇති සංකල්පයකි. එය මනසේ මායාවකි. එය බොරුවකි. එහෙත් තද බව යන්න සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි, අවශ්‍ය නම් සංජානනයකි. තද බව ස්පර්ශයට (ශරීරයට) දැනෙයි. එහෙත් එය ද දැනෙන්නේ සංකල්පයක් සමගිනි. කිසිම පංචෙන්ද්‍රිය ගෝචර සංජානනයක් (සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්) සංකල්පයකින් තොරව ඇති නො වෙයි. එහෙත් සංකල්ප නම් පංචෙන්ද්‍රිය ගෝචර සංජානනවලින් තොරව ඇති වෙයි. 

තද බව යන්න ද බොරුවකි. එය ද මනසෙහි මායාවකි. එහෙත් එය පොළොව වැනි බොරුවක්, මායාවක් නො වේ. තද බව යන්න පංචෙන්ද්‍රයයන්ගෙන් එකකට ගෝචර ය.  එහෙත් පොළොව යන්න එලෙස පංචෙන්ද්‍රියයකට ගෝචර වූවක් නො වේ. එය මනසේ තද බවට වඩා වෙනස් මැවීමකි. මායාවකි. තද බව ද මනසේ මායාවකි. එය පොළොව මෙන් නොව එක් පංචෙන්ද්‍රියයක් සමග බැඳී ඇත. තද බව යන්න ද බොරුවක් වුවත් එය පොළාව තරම් ම බොරුවක් නොවේ යැයි සැලකිය හැක්කේ මේ ඉන්ද්‍රිය ගෝචර සම්බන්ධය නිසා ය. මෙයින් පංචෙන්ද්‍රියට ගෝචර වන දේ ඇත්ත යැයි නො සැලකෙයි.  එහෙත් කිවයුත්ත නම් තද බව යන්න ද ඊනියා යථාර්ථයක් නොවන බවත් එය ද බොරුවක්, මායාවක්, රැවටීමක් පමණක් බවත් ය. මේ සම්බන්ධයෙන් වැඩි දුර පැහැදිලි කිරීමක් පූජ්‍ය කටුකරුන්දේ ඥානානන්ද හිමියන්ගේ පොත් ඇසුරු කිරීමෙන් ලබාගත හැකි ය.             

වැටීම යන සංකල්පය අප තනාගෙන ඇත්තේ අත්හරින (මුදාහරින) ලද වස්තු පොළොව දෙසට චලනය වීම නීරීක්‍ෂණය කරමිනි. එසේ මුදාහරිනු ලැබූ වස්තු සමහරක් පොළොවෙන් ඉවතට ඇදී ගියේ නම් අපට වැටීම යන සංකල්පය තනාගැනීමට නොහැකි වන්නට තිබිණි. කෙසේ වෙතත් මුදා හරින ලද වස්තු (වස්තුව යන්න ද මායාවක් බොරුවක් මිස ඊනියා වාස්තවික වූවක් නො වේ.) සියල්ල පොළොව දෙසට චලනය (චලනය ද සංකල්පයකි) වන බැවින් අපට වැටීම පහළ උඩ ආදී සංකල්ප නිර්මාණය කරගැනීමට හැකි වී තිබේ. 

ඉහත සඳහන් දේ ප්‍රකාශ කිරීමෙන් මා විඥානවාදියකු බවට පත් නො වෙයි. එයට හේතුව මා විසින් මනස ද පවත්නා ඊනියා යථාර්ථයක් ලෙස ගනු නො ලැබීම ය. මනස ද මනසෙහි නිර්මාණයක් වෙයි. ඒ බව සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි විස්තර  කෙරී ඇත. අමරතුංග මහතාට නොතේරුණත් රේඛීය චින්තනයක හා චක්‍රීය චින්තනයක ඇති වෙනස හේතුවෙන් සිංහල බෞද්ධයනට එක් තැනකින් පටන්ගෙන රේඛාවක් දිගේ ඉදිරියට යෑමක් නැත. චක්‍රීය චින්තනයක මනස මනසෙහි නිර්මාණයක් විය හැකි ය. පටිච්ච සමුප්පදායෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඤ්ඤාණ යනුවෙන් ද කියැවෙන්නේ එබැවිනි.  

මනසක් ඇත, මනසක් පවතින්නේ ය යනුවෙන් ගන්නා අයගෙන් ඇසීමට  ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණකි. නිවන් අවබෝධයෙහි දී හා පිරිනිවන්පෑමෙහි  දී ඇතැයි කියන මනසට සිදුවන්නේ කුමක් ද? කලකට පෙර දී  අයිලන්ඩ් පුවත්පත මගින් මා බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු වූ වයි කරුණදාස මහතාගෙන් මේ ප්‍රශ්නය ඇසූ නමුත් මේ වන තුරු ඒ මහතා පිළිතුරක් දී නැත. ඒ ප්‍රශ්නයට දන්ත වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්යවරයකු වූ ද ඩී එස් සී උපාධිධාරියකු වූ ද  අමරතුංග මහතාට පිළිතුරු  දිය හැකි ද?   

මනස ද ඇතුළු සියල්ලට ඇත්තේ පටිච්ච වූ පැවැත්මකි. යම් යම් දේ ඇත්නම් යම් යම් දේ පවතියි. එය සාපේක්‍ෂ ය. ඒ ඒ දේ නැතිවිට ඒ ඒ දේ නො පවතියි. යම් යම් දේ යනුවෙන් කියැවෙන්නේ ද ඊනියා වාස්තවික ව පවත්නා දේ නොව සාපේක්‍ෂව සම්මුතියෙන් පවත්නා දේ ය. සම්මුතියෙන් තොරව පැවැත්මක් නැත. මනස ද පවතින්නේ සම්මුතියෙන් පමණකි. ඒ අර්ථයෙන් මනසක් නැතැයි ගන්නා අතර මනස ද මනසෙහි නිර්මාණයක් ලෙස ගැනෙයි.        
    
ඉහත සඳහන් සියළු අඩු ලුහුඬුකම් මැද පොළොවට පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් යැයි ගනිමු. දැන් නිවුටන්ට මෙන් ම පසු කලෙක අයින්ස්ටයින්ට වූ ප්‍රශ්නය වූයේ පොළොවට පොල් (වස්තු) වැටෙන්නේ ඇයි ද යන්න ය. එයට ඔවුන් දෙදෙනා ම දී ඇත්තේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත පිළිතුරු ය. එය ඔවුන් දෙදෙනාගේ ප්‍රශ්නයක් නොව බටහිර විද්‍යාවේ ප්‍රශ්නයකි. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ වියුක්ත කතන්දර ගෙතීම ය. ඒ කතන්දර තද බව යන්නට වඩා කිහිප ආකාරයකින් බොරු ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචරවත් නො වේ. ගුරුත්වාකර්ෂණ බලය යනු හුදු කතන්දරයක් පමණකි. අයින්ස්ටයින් ඒ ප්‍රශ්නයට දුන් පිළිතුර වූයේ අවකාශ කාලයේ වක්‍රතාව යන්න ය.

අමරතුංග මහතා තන්තුවාදය ආදිය ගැන මහදැනමුත්තකු ලෙස දෙඩෙව්ව ද ඔහුට ඒ ගැන කිසිම වැටහීමක් නැත. අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ගැන ද ඔහු දන්නා දෙයක් නැත. ඒ දැනගැනීම සඳහා ඔහුට ගණිත දැනුමක් නැත . බොහෝ මහාචාර්යවරුන් කරන පරිදි ම ඔහු වචන ගසා දමා තම පඬි බව විදහා දැක්වීමට උත්සාහ දරයි. හැකිනම් මා සහභාගි වන රැස්වීමක දී  තන්තුවාදය, සාධාරණ සාපේක්‍ෂතාවාදය ආදිය ගැන දේශනයක් පවත්වා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ආරාධනා කරමි. 

වැටෙන පුද්ගලයකුට ගුරුත්වාකර්ෂණයක් නො දැනෙයි. එසේ දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? එසේ නම් අයින්ස්ටයින්ට අනුව වැටෙන පුද්ගලයකුට දැනෙන්නේ අවකාශ කාල වක්‍රතාව විය යුතු ය. වැටෙන අයකුට දැනෙන්නේ වැටීම මිස ගුරුත්වාකර්ෂණ බලයක් නො වේ. වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු දෙකක් මිස එකක් නො වේ. එකක් අයකුගේ හුදු පංචෙන්ද්‍රිය සංජානනයක් නොවූවත් වක්‍ර ව ප්‍රත්‍යක්‍ෂයක් ලෙස ගත හැකි අතර, අනෙක නිවුටන් ගෙතූ කතාවක් පමණකි. වැටෙන අයකුට නිවුටන්ට අනුව එක් අයුරකිනුත් අයින්ස්ටයින්ට අනුව තවත් ආකාරයකටත් දැනෙන්නේ ද? 


නලින් ද සිල්වා

2014-02-05

Wednesday, 1 January 2014

පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට


බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ ඇයි දැයි ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට  තවමත් වැටහෙන්නේ දැයි නො දනිමි. බොහෝ විට අපට වැටහෙන්නේ අප ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණ ය. අනෙක් දේ අපට නො තේරෙයි. එවිට අප බොහෝ විට කියන්නේ අදාළ කරුණ නිසි ලෙස තේරුම්කර දී නොමැති බව ය. පස්වැනි පංතිය තෙක් ඉගෙන ඉන්පසු පාසල හැර යන සිසුවකුට සාමාන්‍ය පෙළ මට්ටමේ උගන්වන ආකාරයෙන් (ආකෘතියෙන්) යමක් තේරුම්කර දුනහොත් බොහෝවිට ඔහුට එය අවබෝධ නොවීමට ඉඩ ඇත.

මෙරට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දළ වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි ය. ඉංගිරිසින්ගෙන් ලබාගත් මේ අධ්‍යාපනය රැකියාව සමග බැඳී ඇත. අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලට මුල අධ්‍යාපනය රැකියා සමග බැඳී තිබීම ය. ළමුන් පාසල්වලට ඇතුළත්කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්කාර සම්බන්ධය සමග ගැට ගැසී ඇත. අධ්‍යාපනඥයන් තම රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත් සියයයට අනූනමයක් නොව එයටත් වඩා වැඩි පිරිසක් ඉගෙන ගන්නේ හොඳ යැයි කියන සමාජ වැදගත්කමක් ඇති රැකියාවක් කිරීමට මිස දැනුම ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හෝ ඊනියා පූර්ණ මිනිසුන් වීමේ බලාපෙරොත්තුවෙන් හෝ නො වේ.

බටහිර රටවල මෙය ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය ඒ රටවල ආර්ථිකය විසින් ඇතිකෙරෙන රැකියාවලට පුහුණු කිරීම සඳහා සැකසී ඇති බැවිනි. එහෙත් අප වැනි රටවල එසේ නො වේ. අපේ අධ්‍යාපනය කලින් ම සකස් කෙරී ඇත. ඒ බොහෝ දුරට බටහිර අනුකරණයකි. අප රැකියා ඇතිකරන්නේ ඉන්පසුව ය. එය ද අතනින් මෙතනින් කෑලි එල්ලූ මෙරටට නොගැලපෙන ආර්ථිකයක් හා ඊනියා සංවර්ධනයක් ඉලක්ක කරගනිමිනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇති නමුත් සමාජයවත් ආණ්ඩුවවත් ඒ පිළිගැනීමට තවමත් සූදානම් නැත. බොහෝ විට කෙරෙන්නේ විසඳුම ලෙස ඉංගිරිසි කලිසමට ( ඇඳුමට - මෙය චීන ද ඉංගිරිසි ද යන පඬිකතා අවශ්‍ය නො වේ) අණ්ඩ දැමීම, කෑලි එල්ලීම, පමණ ය. එයින් ප්‍රශ්නය තවත් අවුල් වෙයි.

ප්‍රාථමික අධ්‍යාපනයෙන් කෙරෙන්නේ දරුවන්ට ඉතා සංයුක්ත දැනුමක් තොරතුරු ලෙස ලබා දීම ය. එහි වියුක්ත බවක් නැතිවා නො වේ. අකුරු කියවීම හා ලිවීම වුව ද තරමක් වියුක්ත ය. ශබ්දයක් සංකේතයකින් නිරුපණය කිරීම සු්‍රළු වශයෙන් වුව ද වියූක්ත ක්‍රියාවකි. ඇතැම් සිසුනට අකුරු කියවීම ද ප්‍රශ්නයක් වන්නේ එබැවිනි. අංක ගණිතය කෙසේ වුවත් එයටත් වඩා වියුක්ත ය. සිසුන් සෑහෙන සංඛ්‍යාවකට අංක ගණිතය අමාරු වීම පුදුමයක් නො වේ.

හයවැනි ශ්‍රේනියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයට වඩා විශ්ලේෂණයට තරමක් බර අධ්‍යාපනයකි. එහි වියුක්ත බව වැඩි ය. එහෙත් ඔරොත්තු නොදෙන්නක් නො වේ. එසේ වුවත් වියුක්ත චින්තනය අසීරු සිසුහු මේ අවස්ථාවේ දී අධ්‍යාපනයෙන් සමුගනිති. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයේ ගණිතය බොහෝ සිසුන්ට අසීරු ය. බොහෝ සිසුහු ගණිතයෙන් අසමත් වෙති. බටහිර විද්‍යාව දිගට ම හැදෑරීමට බලාපොරොත්තු නොවන සිසුන් සඳහා වියුක්ත බව අඩු ගණිත නිර්දේශයක් සකස් නොකරන්නේ එයින් ඒ සිසුන්ගේ සමාජ වැදගත්කම අඩුවන්නේ යැයි සිතන බැවින් ද? ඒ සිසුන්ට තමන්ට හැකි ගණිතයකින් සමත්වීමට ඉඩ නොදී වියුක්ත බවින් වැඩි ගණිතයකින් අසමත් කිරීමෙන් ඔවුන්ගේ සමාජ වැදගත්කම වැඩිවන්නේ ද? 

උසස් පෙළ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. සෞන්දර්ය විෂය වුව ද හැදෑරෙන්නේ වියුක්ත පසුබිමක ය. ප්‍රායෝගික පරීක්‍ෂණ නොවන්නට ගීතයක් ගැයීමට, චිත්‍රයක් ඇඳීමට නොහැකි සිසුන් වුව ද චිත්‍රකලාවේ ඉතිහාසය, එනම් බටහිරයන්ට සාපේක්‍ෂව ලියැවුණු ඉතිහාසය බටහිර විචාරය ආදී කරුණු දැනගෙන අදාළ විෂයයන්ගෙන් උසස් පෙළ සමත්වනු ඇත. අනෙක් අතට හොඳින් වියුක්ත ව සිතීමට හැකි එහෙත් ප්‍රායෝගික ව පරීක්‍ෂණ කිරීමට අසමත් සිසුන්ට බටහිර විද්‍යාවේ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් අසාධාරණයක් සිදුවෙයි. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. බුදුදහමෙහි සමාජ දර්ශනය වැනි බුදුන්වහන්සේවත් සිතී යැයි කිව නොහැකි බටහිර පට්ටපල් බොරුවලට විශ්වවිද්‍යාලවල දී ලැබෙන වැදගත්කම වැඩිවෙයි. කිසිම ශ්‍රද්ධාවක් නැති බෞද්ධ සංස්කෘතිය පිලිබඳ උපාධිධාරීන් බිහිවන්නේ එවැනි පසුබිමක ය. විශ්වවිද්‍යාලයෙහි දී වියුක්ත බව වැඩිවුවත්  උසස් පෙළ දී තිබූ විචාරශීලී බව ගිලිහෙයි. නිර්මාණශීලී බව මොට වෙයි. ප්‍රශ්නපත්‍ර සකස් කරනු ලබන්නේ ගුරුවරුන් විසින් වීම හේතුවෙන් සහ ගුරුවරුන්ට නිර්මාණශීලීව ප්‍රශ්නපත්‍ර සකස්කිරීමට නොහැකි බැවින් වියුක්ත බව ද කටපාඩම් කිරීමෙන් ලබාගත හැකි අවස්ථාවක් උදාවෙයි. පංති සාමාර්ථ ලබාගත් බොහෝ උපාධිධාරීන්ට ඇත්තේ කටපාඩමින් ලබාගත් වියුක්ත අධ්‍යාපනයකි. එයටත් වඩා අභාග්‍යයක් තිබිය හැකි ද? ඔවුහු ආකෘතික උගත්තු වෙති.

ඉතා කෙටියෙන් නමුත් මේ වෙනස්කම් මෙහි සඳහන් කළේ පහේ ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් පුහුණු කරන සිසුන් තෝරාගැනීම සඳහා සුදුසු පරීක්‍ෂණයක් නොවන බව කීමට ය. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණය ගැන ද කිව යුත්තේ එය ය. සුපශාස්ත්‍ර පර්යේෂණකරුවකුට සිසුන්ගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල හා විශ්වවිද්‍යාල උපාධි ප්‍රතිඵල අතර සහසම්බන්ධයක් තිබේ දැයි ඊනියා පර්යේෂණයකින් දැනගත හැකි ය. 

එක් එක් අවස්ථාවල දී ඒ ඒ අවස්ථාවේ රාමුවට හැඩගැසීමට හැකි සිසුවෝ ඒ ඒ අවස්ථාවේ දක්‍ෂ යැයි නම් කෙරෙති. ප්‍රාථමික පාසලේ දක්‍ෂකම් පෙන්නුම්කර උසස් යැයි සම්මත පාසල්වලට ඇතුළත්වන සිසුන්ගෙන් යම් පිරිසක් දිගින් දිගට ම තම දක්‍ෂකම රැකගැනීමට අසමත් වෙති. එයට නව පාසල් පරිසරයට හැඩගැසීමට නොහැකි වීම ආදී වෙනත් හේතූන් ද, තිබිය හැකි නමුත්, ප්‍රාථමික අධ්‍යාපනයේ හා ද්විතීයික තෘතීයික අධ්‍යාපනවල අතර ඇති වෙනස ද එහි දී බලපාන බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය විචාරයට තෝතැන්නක් නොවන බව මම අත්දැකීමෙන් ම දනිමි. එහි දී බොහෝ විට දක්‍ෂතා පෙන්වන්නෝ අදාළ ආකෘතියට හැඩගැසීමට හැකි වූවෝ ය. යමකු  දක්‍ෂයකු වන්නේ යම් පරිසරයකට ආකෘතියකට සාපේක්‍ෂව ය. 

ඊනියා පර්යේෂණ හා එහි ප්‍රතිඵල ලෙස ලැබෙන පශ්චාත් උපාධි ගැන කීමට ඇත්තේ වඩාත් ශෝචනතය කතාවකි. එංගලන්තයේ, අමෙරිකාවේ, බටහිර යුරෝපයේ හා නැගෙනහිර යුරෝපයේ ආචාර්ය උපාධිවලට පුහුණු කිරීමේ දී යොදාගන්නා විධික්‍රම එකිනෙකින් වෙනස් වෙයි. එහෙත් එහි පොදු බවක් ද ඇත. මුලික වශයෙන් ගත්කල පශ්චාත් උපාධිවලින් කෙරෙන්නේ බටහිර රටවලට ඇති ප්‍රශ්නවලට එතෙක් තමන් දන්නා (නිර්මාණය කරගත්) දැනුම ඇසුරෙන් විසඳුම් සෙවීම ය. එහෙත් එය ද නොකෙරෙන, උපාධි නිබන්ධනයට හුදු දත්ත එක්රැස්කිරීම් පමණක් කෙරෙන අවස්ථා ද ඇතැම් විට දැකිය හැකි ය. 

කාල් පොපර්  විසින් කියන ලද ආකාරයේ අසත්‍යකරණ එහි දී නො සිදුවෙයි. එමෙන් ම ආචාර්ය උපාධිවලට හෝ ඊනියා පර්යේෂණ මත ප්‍රදානය කෙරෙන විද්‍යාපති, ශාස්ත්‍රපති, දර්ශනපති ආදී උපාධිවලට හෝ ඉදිරිපත් කෙරෙන නිබන්ධවලින් දැනුමට ප්‍රදානයක් කෙරෙන්නේ  යැයි කීම ද වැදගත් කම රකින බොරුවක් පමණකි. ගැටළු විසඳීම් හැරෙන්නට ඉන් සිදුවන ඊනියා ප්‍රදානයක් නැත. ඇතැම් නිබන්ධවලින් කෙරෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට දත්ත එක්රුස්කිරීම් පමණකි. 

කෙසේ වෙතත් මේ නිබන්ධන ඉදිරිපත් කිරීමේ ආකෘති වෙයි. අවශ්‍ය වන්නේ ආකෘතිය අනුව දත්ත රැස්කර, ඇතැම් විට ගැටළුවක් විසඳා නිබන්ධය ලිවීම ය. එහි දී නිර්මාණශීලීත්වය ප්‍රථම උපාධි මට්ටමෙන් ද පහතට වැටෙයි. වැදගත් වන්නේ ආකෘතිය ය. මේ සූපශාස්ත්‍ර පර්යේෂණ ය. සූපශාස්ත්‍රයේ දී ඒ ඒ අවස්ථාවෙහි දී කළ යුත්තේ කුමක් දැයි පොතේ සඳහන් කෙරී ඇත. නිබන්ධ ඉදිරිපත් කිරීමට වැඩ කෙරෙන්නේ ද ඒ අයුරෙන් ය. අද ඊනියා පර්යේෂණ විධික්‍රම (research methodology)  යනුවෙන් ඉගැන්වෙන්නේ මේ සූපශාස්ත්‍ර ක්‍රමවේදය ය. 

ඊනියා පර්යේෂණ පත්‍රිකාවලින් ද සමස්තයක් ලෙස ගත්කල දැනුමට කෙරෙන ප්‍රදානයක් නැත. ආකෘතියට අනුව දත්ත රැස්කර ආකෘතික විශ්ලේෂණයක් මගින් ඊනියා නිගමනවලට එළඹීම මෙහි දී ද සිදුකෙරෙයි. එහෙත් මේ දත්ත රුස්කිරීම් හා ගැටළු විසඳීම් මගින් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කිරීමට දක්‍ෂයන්ට ඇතැම් විට කල්පනා කිරීමට අවස්ථාව උදාවෙයි. ඔවුහු බොහෝ විට අනෙක් අයගේ දත්ත හා විසඳුම්වල යම් පරස්පර දකිති. ඒ පරස්පරවලට විසඳුම් නිර්මාණය කිරීම නම් දැනුම නිර්මාණය කිරීමකි. 

එහෙත් එලෙස දැනුම නිර්මාණය කරන්නෝ විරල වෙති. ඔවුහු ග්‍රීක යුදෛවු ක්‍රිස්තියානි චින්තනයෙහි කිමිදුණු අය වෙති. එසේ නොමැතිව කළ හැකි නිර්මාණයක් නැත. බටහිර අධ්‍යාපනයෙන් බටහිර රටවල එවැන්නෝ ද බිහිකෙරෙති. ඔවුන් සමහර විට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පරීක්‍ෂණවල දී  එතරම් දක්‍ෂතා නොපෙන්වූ අය ද විය හැකි ය. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එවැන්නන් සොයාගැනීම ප්‍රශ්නයක් නො වේ. ඇල්බට් අයින්ස්ටයින් එවැන්නෙක් විය. 

අපේ රටෙන් එලෙස බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කරන්නන් බිහි නොවන්නේ අපට ඒ චින්තනය ආගන්තුක බැවිනි. අපෙන් බිහිවන්නේ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය ආදිය ඉහළින් සමත්වන්නන් පමණකි. මෙරට ජනමාධ්‍ය එවැන්නන්ට විශාල ප්‍රචාරයක් ලබාදෙන්නේ අපට අදාළ රාමුවල  එවැනි ආකෘතික දක්‍ෂයන් මිස දැනුම නිර්මාණය කරන්නන් බිහිකර ගැනීමට නොහැකි බැවින් විය හැකි ය. කෙසේ වෙතත් මෙරට සිංහල බෞද්ධ චින්තනයෙහි වුවත් දැනුම නිර්මාණය කරන්නන්ට සමාජ වැදගත්කමක් හිමි නො වේ. එනම් සමාජය විසින් එවැන්නෝ එලෙස නො පිලිගැනෙති. එයට හේතුව මහාවිහාරික සම්ප්‍රදාය විසින් දැනුම නිර්මාණය කිරීමට වැටකඩුළු බැඳ ලැබ තිබීම ය. 

මේ කරුණු අපට වැදගත් වන්නේ ගැලීලියෝගේ බොරුව තේරුම් ගැනීමට යෑමෙහි දී ය. මහාචාර්ය අමරතුංග මහතාට ගැලීලියෝගේ බොරුව අවබෝධ වීමට ඉඩක් නැත්තේ ඔහු මෙරට ආකෘතික රාමු අධ්‍යාපනයෙන් බිහිවූවකු බැවිනි. එමෙන් ම ඔහු මහාවිහාර සම්ප්‍රදායේ පතාක යෝධයකු වූ බැවිනි. ගැලීලියෝ නිවුටන් හෝ අයින්ස්ටයින් හෝ මෙන් සුසමාදර්ශී වෙනසක් කළ අයෙක් නො වූහ. එහෙත් ඔහු නව චින්තනය මත පදනම් ව රාමු වෙනසක් සිදු කළේ ය. 

අප පසුගිය සතියේ සාකච්ඡා කළේ  මේ රාමු වෙනස ය. ඒ වෙනස සමග ඔහු බටහිර විද්‍යාවේ අත්තිවාරම ද දැමී ය. ඒ අත්තිවාරම අන්කිසිවක් නොව ප්‍රත්‍යක්‍ෂය නොවූ වියුක්ත පට්ටපල් බොරු ගෙතීම ය. දැනුම ප්‍රත්‍යක්‍ෂය නොවූ කල, සංයුක්තය නොවී වියුක්තය වූ කල, බොරු ගෙතීම අමාරු කාර්යයක් නො වේ. අමාරු කාර්යය වනුයේ සංගත ව බොරු ගෙතීම ය.  ගැලීලියෝ බොරුව සංගත කිරීම සඳහා එතෙක් පැවති රාමුව වෙනුවට වෙනත් රාමුවක් ඉදිරිපත් කළේ ය. පොල් ගෙඩිය අල්ලපු වත්තේ නොවැටී ගහ මුල වැටෙන්නේ ඇයි ද යන්න ඔහු තේරුම් කළේ රාමුව වෙනස් කිරීමෙනි.     


නලින් ද සිල්වා

2014-01-01

Wednesday, 19 June 2013

අපට පවු තැවීම අහිමිවීම

සිංහල බෞද්ධ සංස්කෘතිය හා බටහිර විද්‍යාව අතර ඇති සම්බන්ධකම සඳහා බොහෝ දෙනා දක්වන උදාහරණ වනුයේ කාලාම සූත්‍රය හා චුල්ලහත්ථිපදොපම සූත්‍රය ය. මේ සූත්‍රවල ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි කියැවෙයි. එවැනි සම්බන්ධයක් ඇත්නම් බටහිර විද්‍යාව සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර ලැව් ගින්නක් මෙන් පැතිරී යා යුතු ය. එහෙත් ඒ එසේ වී නැත. බටහිර විද්‍යාව වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමට උත්සාහ කරන අය අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතු පද්ධතියක් පමණක් බවට පත් වී ඇත.

සිංහල බෞද්ධයන්ගෙන් කී දෙනකු බටහිර විද්‍යාඥයන් වීම සඳහා අදාළ විෂය හදාරන්නේ ද? එවැනි ශිෂ්‍යයන් අද පාසල්වල නැති තරම් ය. දැනට අවුරුදු හතළිහකට පනහකට පමණ පෙර එවැන්නන් පාසල්වල සිටියත් ඔවුන් විශ්වවිද්‍යාලයට ගොස් ඒ ඒ විෂයයෙන් විශේෂ උපාධි පාඨමාලා සාර්ථක ව නිමකර පසුව ආචාර්ය උපාධි ලබාගත්තත් ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට වී ඇති සේවය කුමක් ද? ඔවුන් බොහෝ දෙනකු අද ඇමරිකාවේ හෝ වෙනත් රටවල හෝ විශ්වවිද්‍යාලවල තම තම විෂයයෙන් මහාචාර්යවරුන් වී ඇති බව සැබෑ ය. එහෙත් මේ කිසිවකුට හරිහමන් විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත.

ලංකාව ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් බැවින් මෙරට පුරවැසියන්ට ලෝකයේ කොහේ ජීවත්වුවත් එංගලන්තයේ ලන්ඩන් රාජකීය සංගමයේ අධිසමාජිකයන් වීමට හැකි ය. එහෙත් රාජකීය සංගමය යමකු තම අධිසාමාජිකයකු කරගන්නේ බටහිර විද්‍යාවේ කේන්ද්‍රිය ප්‍රවාදයක් සංකල්පයක් නිර්මාණය කර ඇත්නම් හෝ පර්යේෂණයකින් යම් වැදගත් හඳුනාගැනීමක් කර ඇත්නම් හෝ පමණකි. දැනට ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය දරණ ලාංකිකයන් ඇත්තේ එක් අයකු පමණකි. ඔහු හොංකොං විශ්වවිද්‍යාලයේ සේවය කරන අතර කුරුළු උණ වෛරසය හඳුනාගත් වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය දැරීම හේතුවෙන් ඔහුට එසේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් පිරිනමනු ලැබිණි.

එය ද පර්යේෂණ ක්‍ෂෙත්‍රයෙහි බව අප අමතක නොකළ යුතු ය. මෙතෙක් කිසිම ලාංකික පුරවැසියකුට සෙන්ධාන්තික ක්‍ෂෙත්‍රයෙහි රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් හිමි වී නැත. එපමණක් නො වේ. ලන්ඩන් රාජකීය සංගමය අනුකරණය කරමින් ඇමරිකාවේ හා වෙනත් රටවල ජාතික විද්‍යා ශාස්ත්‍රාල (National Academy of Science) පිහිටුවා ඇත. ඇතැම් ලාංකිකයන් ඇමරිකාවේ පුරවැසිකම් ලබාගෙන ඇති නමුත් ඒ කිසිවකුටවත් ඇමරිකන් විද්‍යා ශාස්ත්‍රාලයේ අධිසාමාජිකත්වයක් ලැබී නැත. ඒ ඔවුන් බටහිර විද්‍යාවට කේන්ද්‍රිය වශයෙන් වැදගත් දෙයක් නිර්මාණය කර හෝ හඳුනාගෙන නොමැති බැවින් ය.

මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ඇමරිකන් පුරවැසියකු වුවත් ඔහු ගැන මෙරට බොහෝ ඉහළින් කතාකෙරුණත් ඔහුට ඇමරිකන් විද්‍යා ශාස්ත්‍රාලයේ අධිසාමාජිකත්වයක් නො ලැබිණි. මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වුවත් ඔහුට ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් නැත. මෙරට වැසියන් අතර ඔවුන් සුප්‍රසිද්ධ පුද්ගලයන් වන නමුත් ඔවුන්ට එතෙර දී වැදගත් විද්‍යාඥයන් ලෙස සම්මාන ලැබී නැත.

මෙහි තේරුම කුමක් ද? අද බරහිර රටක ජීවත්වන මෙරට උපන් බටහිර වි්‍යාඥයකුට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එසේ පහසුකම් තිබියදීත් ඔවුන් වැදගත් බටහිර විද්‍යාඥයන් ලෙස සැලකිලි නොලබන්නේ ඔවුන්ට බටහිර විද්‍යාවේ පරිධියෙහි මිස කේන්ද්‍රයෙහි නිර්මාණ කළ නොහැකි බැවිනි. එය ලංකාවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් ද නො වේ. බොහෝ ආසියාතික රටවලට මේ ප්‍රශ්නය පොදු ය. එයට ප්‍රධාන හේතුව බටහිර විද්‍යාවේ චින්තනය ආසියාවේ චින්තනවලට ආගන්තුක වීම ය. අපට බටහිර විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ලබාගත හැකි වුවත් බටහිර විද්‍යා විෂයයක මහාචාර්යවරයකු විය හැකි වුවත් බටහිර විද්‍යාවේ නිර්මාණ කළ හැකි නො වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ලංකාවේ බටහිර විද්‍යා ශාස්ත්‍රාලයේවත් අධිසාමාජිකයකු නො වේ. ඇතැම් විට ඔහු එවැනි අධිසාමාජිකත්වයක් අපේක්‍ෂා නොකළා විය හැකි ය. ඒ කෙසේ වෙතත් ඔහු මෙරට ඉදිරි පෙළේ විද්‍යාඥයකු ලෙස පමණක් නොව ඉහළ ම බුද්ධිමතකු ලෙස ද සැලකෙයි. ඇතැමුනට අනුව ඔහු ලංකාවේ අද ජීවත්වන විශිෂ්ටතම බුද්ධිමතා ය. එහෙත් ඔහුගෙන් බටහිර විද්‍යාවට සිදු වී ඇති දායකත්වය කුමක් ද? ඔහු කුප්‍රසිද්ධ ගිනිපෑගිමෙන් පසුව කර ඇති පරීක්‍ෂණය නිරීක්‍ෂණය කුමක් ද? ගිනිපෑගීම වුවත් බටහිර විද්‍යාවේ වුව ද කියැවෙන ආකාරයට  ඔහු අතින් නිරීක්‍ෂණය වී ද?

ඒ කුමක් වුවත් ගිනිපෑගීමෙන් ඔහු කර ඇත්තේ හෝ ඔහු කිරීමට බලාපොරොත්තු වූයේ හෝ කුමක් ද? මෙරට සාමාන්‍යයෙන් ගිනිපෑගීම කෙරෙන්නේ හින්දුන් හා බෞද්ධයන් අතිනි. බුදුන් වහන්සේ ගිනිපෑගීමක් ගැන දේශනාකර නොතිබුණත් එය අද වන විට සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක් බවට පත් වී ඇත. කාලෝ ෆොන්සේකා මහතා පෙන්නුම් කිරීමට තැත්කළේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊනියා අවිද්‍යාවක් එසේත් නැතහොත් මිථ්‍යාවක් බව ය. ඔහු එලෙස ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ සංස්කෘතියේ අවිද්‍යාත්මක බවක් පෙන්වීමට ඊනියා විද්‍යාත්මක උත්සාහයක් ගෙන තිබේ ද? ඔහු දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා විය හැකි ය. එහෙත් එපමණකින් ඔහු ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ සංස්කෘතියට අභියෝග නොකරයි. දෙවියන් වහන්සේ පිලිබඳ ප්‍රශ්නය දාර්ශනික, අවශ්‍ය නම් දේවධර්මය පිළිබඳ ප්‍රශ්නයකි. සාමාන්‍ය ක්‍රිස්තියානින්ගේ හෝ කතෝලිකයන්ගේ හෝ සංස්කෘතියට දෙවියන් වහන්සේ ඇත් ද යන ප්‍රශ්නය වැදගත් නො වේ. දෙවියන් වහන්සේ පිලිබඳ ප්‍රශ්නය ඇත්තේ දාර්ශනික තලයක ය.

අනෙක් අතට අද බටහිර රටවල දෙවියන් වහන්සේ නොමැති ක්‍රිස්තියානි සංස්කෘතියක් පැතිරී ගොස් ඇත. අවුරුදු පන්සියයක් තිස්සේ යුරෝපයේ සිදුවෙමින් පවතින්නේ එයයි. සංස්කෘතිය යනු ආගම නොවන බව පැහැදිලි ය. ආගමක් බිහිවන්නේ සංස්කෘතියක ය. යම් සංස්කෘතියක ආගමක් බිහිවීමෙන් පසු ආගම විසින් සංස්කෘතිය ද යම් ප්‍රමාණයකට වෙනස් කෙරෙයි. කතෝලික චින්තනය පසුපස්සට දමමින් පැන නැගි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කතෝලික නොවන ක්‍රිස්තියානි ආගම් උපත ලැබී ය. ඒ බව මා බොහෝ ලිපිවල පෙන්වා දී ඇත. කාලෝ ෆොන්සේකා මහතා හෝ වෙනත් අයකු හෝ මේ ලිපියට ප්‍රතිචාර දක්වන්නේ නම් කරුණාකර ප්‍රථමයෙන් ඒ ලිපි කියවන මෙන් ඉල්ලා සිටිමි. නැතහොත් මා ලියා ඇති කරුණු නැවත නැවතත් ලිවීමට සිදුවනු ඇත. පසුගිය සතියේ පළ වූ කොටන්දෙනිය මහතාගේ ලිපිය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එය ය.

මාටින් ලූතර් නම් දේවගැතිතැන කතෝලික චින්තනයට ආගම පැත්තෙන් අභියෝග කළ ප්‍රසිද්ධ තැනැත්තා විය. ඔහු කතෝලික චින්තනයේ සමස්තයට අභියෝග කළේ ය. ඔහු දෙවියන් වහන්සේ යනු පෞද්ගලික අත්දැකීමක් බවට පත්කළේ ය. ඔහු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දරුවෙක් විය. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි සමස්තය වෙනුවට පෞද්ගලිකත්වය වෙයි. මේ චින්තනයෙහි බිහි වී ඇති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අද ලෝකයේ අධිපතිවාදී සංස්කෘතිය බවට පත් වී ඇත. මෙරට ද අද අධිපතිවාදී සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි වෙයි. මෙරට අද අපරාධ වැඩි වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ  වරදක් නිසා නොව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අද මෙරට අධිපතිවාදී සංස්කෘතිය බවට පත් වී ඇති බැවිනි. අද ලෝකයේ අපරාධ වැඩියෙන් ම කෙරෙන්නේ ඇමරිකාවේ යැයි කීම අතිශයෝක්තියක් නො වේ. අපේ රටෙහි ද ඉන්දියාවෙහි ද වෙනත් ආසියාතික රටවල ද කාමුකත්වය ඉතා භයානක ආකාරයකට පැතිරී ඇත්තේ අප ඉවක් බවක් නැතිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කරන බැවිනි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති වරද එය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවීම ය.

එය එසේ වී ඇත්තේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මිනිසුන්ගේ ඇඟට ඉල්ලන දෙය දීමට සූදානම් වීම හේතුවෙනි. මිනිසුන් පාපයට පෙළඹීම ස්වාභාවික ය. එය මිනිසුන්ගේ ස්වභාවය ය. අපට අවශ්‍ය වන්නේ අපේ ඉන්ද්‍රිය පිනවීම මිස තැවීම නො වේ. තවුසා යනු මේ ඉන්ද්‍රිය පිනවීමට ඇති කමැත්ත තවන්නෙකි. කතෝලික චින්තනයෙහි ද කතෝලික ආගමෙහි ද යම් තැවීමක් වෙයි. බොහෝ සංස්කෘතීන්හි මේ තැවීම දැකිය හැකි ය. තවුසෝ හෙවත් තාපසයෝ මේ ඉන්ද්‍රිය පිනවීමට ඇති කැමැත්ත අනෙක් අයට වඩා තවති. තාපයෙන් කෙරෙන්නේ තැවීමකි. තාපසයෝ අනෙක් අයට වඩා පවු තවති. එහෙත් අනෙක් අය ද තාපසයන් පමණට ම නොවුවත් පවු තවති. ගිනිපෑගීම ද එක්තරා ආකාරයකින් පවු තැවීමට සම්බන්ධ ය.

එක් සංස්කෘතියක් ඉන්ද්‍රිය පිනවීමට අපේ ඇති කැමැත්ත තැවීමට අනුබල දෙද්දී අනෙක් සංස්කෘතියක් වැඩි වැඩියෙන් ඉන්ද්‍රිය පිනවීමට අනුබල දෙද්දී මිනිසුන් තෝරා ගන්නේ කුමන සංස්කෘතිය ද? යුරෝපීයයන් පැමිණීමට පෙර අපි පවු තැවීමට අනුබල දෙන සංස්කෘතියක ජීවත්වීමු. අද සිටින කසිකබල් ජනමාධ්‍යවෙිදීන් කලාකරුවන් ආදීන් කියාගන්නන් බොහෝ විට කියන්නේ මිනිසුන් ඉල්ලන දේ අප දිය යුතු ය යන්න ය. මේ ජනමාධ්‍යවේදීන් කලාකරුවන් තවුසන් නොවන බව අපි දනිමු. මිනිසුන් මූලික වශයෙන් ඉල්ලන්නේ ඉන්ද්‍රිය පිනවීමට ය. ජනමාධ්‍යවේදීහුව ද කලාකරුවෝ ද ජනප්‍රිය ආකාරයෙන් මෙන් ම ඊනියා සම්භාව්‍ය ආකාරයෙන් ද බොහෝ විට ඒ ලබා දෙති. එය එලොවටවත් මෙලොවටවත් වැඩදායක නො වේ. එලොවක් ගැන විශ්වාස නොකරන අනුකාරක ද්‍රව්‍යවාදී පුස්සකුට වුවත් සීමාවක් නොමැතිව ඉන්ද්‍රිය පිනවීම මෙලොවට වුවත් වැඩදායක නොවන බව තේරුම් යා යුතු ය.

අද ලෝකයේ සීමිත ස්වාභාවික සම්පත් සිඳී යන්නේ අපේ අසීමිත ආශාවන්, එනම් ඉන්ද්‍රිය පිනවීමට ඇති ආශාවන් සපුරාලීමට යෑම හේතුකොටගෙන ය. කසිකබල් මාක්ස්වාදය ද ඉන්ද්‍රිය පිනවීම සඳහා ස්වාභාවික සම්පත් නැසීමට සෑදී පෑදී සිටියේ ය. පරිසරය රැකීම මාක්ස්වාදයේ අංගයක් නො වේ. එංගල්ස් අවිඥානිකව පරිසරය ගැන ලියා ඇති වාක්‍යයක් දෙකක් හැරෙන්නට පැරණි (මම එයට සම්භාව්‍ය යැයි නො කියමි)  මාක්ස්වාදයේ පරිසරය රැකීම ගැන කියා ඇත්තේ කොහේ ද? මාක්ස්වාදී වේවා ලිබරල්වාදී වේවා ඊනියා පරිසරවාදී වේවා  බටහිරයන්ට පරිසරය රැකිය නො හැකි ය. මේ පිලිබඳ මා ලියා ඇති ලිපිවලින් සමහරක් පොතක් වශයෙන් ද පළ වී ඇත. කොටන්දෙනිය මහතා වැන්නන් ඒ පොත කියවන්නේ නම් මැනවි.

පෘතුගීසීන් සමග මේ රටට කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා සංස්කෘතිය පැමිණියේ ය. ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් ආගමෙන්  කතෝලිකයන් වුව ද ඔවුන් ලෝකයට ගෙන ගියේ කතෝලික විරෝධී නැගී ආ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. අවුරුදු පන්සියයකට ආසන්න කාලයක් අපි මේ මානව විරෝධී සත්ත්ව විරෝධී පරිසර විරෝධී සංස්කෘතියට ඉඩ නො දුන්නෙමු. අපේ ගැමියෝ බටහිර අධ්‍යාපනයේ  අවලම් බලපෑම ඉදිරියේ ද පාපය තැවීමට කටයුතු කළහ. එහෙත් එය තවදුරටත් කරගෙන යෑමට අපට අවාසනාවකට  1956න් පසු බැරි විය. පනස්හය බටහිර සංස්කෘතියට  විරුද්ධව කරන ලද යටත්විජිතවිරෝධී සටනක් වුව ද එය හරිමග ගෙනයෑමට අපට නොහැකි විය. අපට ඒ හේතුවෙන් ම යම්තමින් වුව අපේ යැයි කිවහැකි අධ්‍යාපනයක් තිබිණි ද ඒ නැති විය. බටහිර අධ්‍යාපනයට අප යටවීමේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් අපට අහිමි විය.  තකතීරු අනුකාරක ආයතන දෙකක් වූ ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල අපට හිමිවූයේ පවු තවන්නන් තැවීමෙනි. කාලෝ ෆොන්සේකා මහතා කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති වීම ඒ ක්‍රියාදාමයේ සංකේතයක් පමණකි. මෙය තවදුරටත් විස්තර කළ යුතුව ඇත.


නලින් ද සිල්වා

2013-06-19

Thursday, 28 March 2013

ආසනික් කතාව

මේ සතියේ ද ලබන සතියේ ද අපේ ප්‍රවාද වෙන්වන්නේ ප්‍රවාද නිර්මාණයට හෙවත් කතන්දර ගෙතීමට නො වේ. අප රටට ඉතා වැදගත් වූ රජරට හා තවත් ප්‍රදේශ කිහිපයක පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ගැන සාකච්ඡා කිරීම අද දවසේ අපේ ප්‍රධාන කටයුත්තක් බවට පත් වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැමුන් මහත් බලාපොරොත්තුවෙන් සිටි වාර්තාවක් පසුගිය සතියේ පිටවීම ය. ඒ නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසාන වාර්තාව ය.

අප ඒ වාර්තාව ගැන සුළුවෙන් නමුත් මෙහි දී කතාකරන්නේ බටහිර විද්‍යාවේ විධික්‍රමය, දර්ශනය, චින්තනය ආදිය නොසලකමින් නො වේ. මෙහි දී විධික්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවේ දර්ශනයේ සඳහන් වන විධික්‍රමයක් නො වේ. බටහිර විද්‍යාවට විශේෂිත වූ පර්යේෂණය ඇතුළත් ඊනියා විධික්‍රමයක් ඒ අරුතින් නැත. අප විධික්‍රමය යන්න යොදාගන්නේ ප්‍රත්‍යක්‍ෂය, අනුමානය, උද්ගමනය ආදිය ගැන කතාකිරීමේ දී ය. එමෙන් ම අදාළ දැනුමේ වියුක්තබව, සාධාරණීකරණය ආදිය ද අපි එහි දී සාකච්ඡා කරමු. එවැනි කරුණු සම්බන්ධයෙන් විවිධ දැනුම් පද්ධති අතර වෙනස්කම් වෙයි. එහෙත් බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි අපි නො පිළිගනිමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු අපට වැදගත් වූ සංවිධානයක් නො වේ. එය අවසාන වශයෙන් ගත්කල බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදාගැනෙන තවත් ව්‍යාජ ගාම්භීරත්වයක් සහිත සංවිධානයක් පමණකි. මේ සංවිධානයෙන් මූලික වශයෙන් කෙරෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනෙක් වෛද්‍ය විද්‍යාවන්ගෙන් උසස් කර ඊනියා ජාත්‍යන්තරභාවයක් එයට ලබා දී අනෙක් වෛද්‍ය විද්‍යාවන් ප්‍රාදේශීය භාවයකට හා සීමිත කාල වකවානුවකට යටකිරීම ය. අනෙක් වෛද්‍ය විද්‍යාවන් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට එකඟ නොවන විද්‍යාත්මක විධික්‍රමයක් නැති දැනුම් පද්ධතීන් ය යන හැඟීම ලොව පුරා තහවුරු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වගබලාගනියි. අනෙක් ඊනියා ජාත්‍යන්තර සංවිධාන මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් ලෝකයෙහි තම ආධිත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන තවත් එක් සංවිධානයක් පමණකි.

එවැනි සංවිධානයකට මගේ කිසිදු පිළිගැනීමක් හෝ ගෞරවයක් හෝ නැත. එසේ වුවත් කිසියම් ක්‍ෂෙත්‍රයකින් වුවත් බටහිර දැනුමක් කටගාගත් බොහෝ දෙනාට ලෝක සෞඛ්‍ය සංවිධානය යනු වැදගත් සංවිධානයකි. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් මෙරට බටහිර උගතුන්ගේ පිළිගැනීමට ලක්වෙයි. එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගැන ජනතාවට වාර්තා කිරීමට ඉදිරිපත් වූයේ එකම එක රූපවාහිනි නාළිකාවකි. අනෙක් විද්‍යුත් ජනමාධ්‍ය මෙන් ම මුද්‍රිත මාධ්‍ය ද ඒ වාර්තාව පිළිබඳ නොඇසූ කන් හා නොදුටු ඇස් අතිව සිටියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාව එවා ඇති නමුත් අමාත්‍යාංශය ඒ පිලිබඳ කිසිවක් ස්වේච්ඡාවෙන් කීමට ඉදිරිපත් නො විණි.

රජරට හා අනෙක් පෙදෙස්වල ද පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ කණ්ඩායම් කිහිපයක් ම බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කර තිබිණි. එයට හේතුව කුමක් දැයි ඒ කිසිවකුටවත් කීමට හැකියාවක් නො තිබිණි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි මේ රෝගය නම්කර තිබුණේ හේතුව නොදත් වකුගඩු රෝගය ලෙස ය. එහෙත් විවිධ කණ්ඩායම් රෝගයට හේතුව ලෙස විවිධ රසායන ද්‍රව්‍ය අනුමාන කර තිබිණි.

කැලණි කණ්ඩායම මේ රෝගය පිළිබඳ කරුණු සෙවීමට පෙළඹුණේ මෙවන් පසුබිමක ය. මේ කණ්ඩයමේ විවිධ පුද්ගලයෝ සිටියෝ ය. කිහිප දෙනෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට සෘජුව ම සම්බන්ධ වූහ. දෙවියන් (හෝ භූතයන් හෝ) සමග සන්නිවේදනය කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය. ඇය කවුරුන් සමග සන්නිවේදනය කළ ද ඔවුන් මනුෂ්‍යයන් නොවූ බව නම් පැහැදිලි ය. සේනානායක මහත්මිය ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකට සෘජුව ම සම්බන්ධ නො වී ය. කණ්ඩායමේ සාමාජිකයන් අතර විශ්වවිද්‍යාලයකට සම්බන්ධ නොවූ බටහිර වෛද්‍යවරු සිටිය හ.

එක් බටහිර වෛද්‍යවරයෙක් පමණක් රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. මේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ මා ය. මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි පීඨාධිපති වීම පර්යේෂණවලට විශේෂ අනුග්‍රහයක් විය. එසේ නොවන්නට පර්යේෂණ ආරම්භ කිරීමටවත් නොහැකි වීමට තිබිණි. වෙනත් විශ්වවිද්‍යාලයක අපේ කණ්ඩායමට කිසිම ඉඩක් නො විණි. කණ්ඩායමේ එක් අයකු පමණක් රජරට විශ්වවිද්‍යාලයේ පරිවාස කථිකාචාර්යවරයකු වීම නිසා අපේ කණ්ඩායම රජරට කැලණි කණ්ඩායම ලෙස හැඳින්වීම නිවැරදි නො වේ. අදාළ රජරට කථිකාචාර්යවරයා ද අවසානයේ දී පර්යේෂණයට එකතු වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි වීමෙන් පසුව ය.

කරුණු එසේ තිබිය දී අප කණ්ඩායම රජරට කැලණිය කණ්ඩායම ලෙස හැඳින්වීම කැලණියට ලැබිය යුතු ගෞරවය එයට අහිමි කිරීමකි . පර්යේයෂණය ආරම්භයේ දී ඇතැමුන් රජරට කැලණිය කණ්ඩායම ලෙස අප කණ්ඩායම හැඳින්වීමට උත්සාහ ගත්ත ද පසුව අප කණ්ඩායමට විවිධ පැතිවලින් බැට වදින විට රජරට හැලී ගොස් කැලණිය කණ්ඩායම ලෙස පමණක් අප හැඳින්විණි.

එසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පිටවීමත් සමග නැවතත් රජරට කැලණි කණ්ඩායම යන නමින් අප හැඳින්වීමට ඇතැමුන් කටයුතු කරනු පෙනෙයි. එ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ආසනික් හා රජරට නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ය. අප කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් වරියන්ගෙනගෙන් ලැබුණේ ද ගල්මුල් ය. එහෙත් ඒ සියළු අපහාස, දුක්ඛ දෝමනස්සයන් විඳ දරාගනිමින් මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය උදයකාන්ති වර්ණවීර, ආචාර්ය කිත්සිරි සේනානායක යන මහත්ම මහාත්මීහු පර්යේෂණවල නිරත වූහ. ඒ කිහිප දෙනා හේතුවෙන් හා මේ පර්යේෂණ කෙරුණේ කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල බැවින් අප කණ්ඩායම කැලණි කණ්ඩායම යනුවෙන් හැඳින්වීම නිවැරදි වෙයි.

එසේ වුවත් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන්ගෙන් කුහක බහුතරය තවමත් තමන්ට හැකි ආකාරයෙන් කැලණි කණ්ඩායමට අවහිර කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට ලියා පදිංචි වී අදාළ පර්යේෂණ කළ චන්න ජයසුමන මහතාට උපාධිය දීම වැළැක්වීමට මේ කුහකයෝ දැනට කටයුතු කරති. අවශ්‍ය වුවහොත් එා සියල්ල නමෝ විත්තියෙන් ම කීමට මම සූදානම් ව සිටින්නෙමි. මෙරට විද්‍යාඥයන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන සමස්තයක් ලෙස ගත්කල මට ඇත්තේ පිළිකුළකි. කිසි දිනෙක නව සංකල්පයක් හෝ නව ප්‍රවාදයක් හෝ ඉදිරිපත්කර නොමැති මේ පිරිස බොහෝමයක් අන්‍යයනට අකුල් හෙළන කුහකයෝ වෙති.

අප කණ්ඩායම සාම්ප්‍රදායික බටහිර විද්‍යාඥයන්ගේ කණ්ඩායම්වලින් වෙනස් විය. රජරට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව අප දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන්ගෙනි. ඔවුන්ට අනුව රෝගය පැතිරීම සඳහා කිවුල් ජලය ද, අවශ්‍ය වෙයි. එසේ මනුෂ්‍ය නොවන්නන්ගෙන් දැනුම ලබාගත් අපට අවශ්‍ය වූයේ ඒ දැනුම බටහිර විද්‍යාව අනුව ද සනාථකිරීම ය. එසේ කළේ බටහිර විද්‍යාවේ ඇති ආධිපත්‍යය නිසා හෝ වෙනත් ආනුභාවයක් නිසා හෝ නො වේ. බටහිර විද්‍යාව අනුව ම වක්‍ර ව වුවත් දෙවියන් (හෝ භූතයන්හෝ) සිටින බව පෙන්වීමත් බටහිර විද්‍යාවේ ව්‍යාජ විධික්‍රමය හාස්‍යයට ලක්කිරීමත් කණ්ඩායමේ අන් අයගේ කෙසේ වෙතත් මගේ අරමුණක් විය.

එමෙන් ම මෙරට ආණ්ඩුව ද තීරණ ගැනීමේ දී බලපාන ඉහළ නිලධාරීන් ද ඇතුළු පිරිස බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් බටහිර විද්‍යාව හා එහි දර්ශනය හා ඇතැයි කියන විධික්‍රමය පිළිබඳ මළපතේ අකුරක්වත් නොදන්නා නමුත් බටහිර විද්‍යාව සත්‍ය වූ එකම දැනුම ලෙස සලකති. මොවුන්ගෙන් ඇතැමකු බුදුදහම විශ්වාස කරන්නේ ද එය බටහිර විද්‍යාව සමග එකඟවනනේ ය යන පදනමිනි.

එවැනි ප්‍රාථමික දැනුමක් සහිත වුවත් තීරණ ගැනීමේ දී ඔවුන් බලපාන බැවි්න් ඔවුන් ඉදිරියේ ආසනික් පිළිබඳ දැනුම බහිර විද්‍යාව මගින් ද සනාථ කිරීමේ අවශ්‍යතාව අපට විය. එබැවින් ආසනික් පිලිබඳ පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල දී එහි උපකරණ යොදා ගනිමින් පර්යේෂණ සහායකයන්ගේ ආධාරය ද ලබාගනිමින් ආරම්භ කළෙමු. ඉතා වෙහෙස මහන්සියෙන් කරන ලද පරයේෂණවල ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශවලින් ලබාගත් විවිධ නියැදිවල ආසනික් ඇති බව අපට පැහැදිලි විය.

මෙහි දී කිවයුතු ප්‍රධාන කරුණක් වෙයි. අපට ආසනික් පිළිබඳ දැනුම ලැබුණේ මේ පර්යේඃණවලින් නො වේ. ඒ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් දෙවියන්ගෙන් ය. එහෙත් ඒ ප්‍රාණීන් දෙවියන් ද භූතයන් ද යන්න පිළිබඳ ව ප්‍රශ්න ඇත. අපි ඔවුන් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ලෙස හඳුන්වමු. එහෙත් මේ නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යැයි මම විශ්වාස නොකරමි. එතුමා යම් දිනෙක බුදුබව ප්‍රාර්ථනා කරන්නකු විය හැකි ය.

කෙසේ වෙතත් ප්‍රියන්තා සේනානායක මහත්මියට බටහිර හෝ සිංහල හෝ වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දැනුමක් නො තිබිණි. ඇය බටහිර සත්ත්ව විද්‍යාව හදාරා ඇති නමුත් බටහිර රසායනික විද්‍යාව පිළිබඳ විශේෂිත දැනුමක් ඇති තැනැත්තියක් නො වූවා ය. එබැවින් කිවුල් ජලයේ ලවණ තුළ ආසනික් සැඟවී සිටින ආකාරය ගැන කීමට හෝ නිදන්ගත වකුගඩු රෝගයට හේතු ආසනික්, කිවුල් ජලය හා කුඹුරු පස යැයි කීමට තරම් දැනුමක් ඇය තම ආකෘතික හෝ අනාකෘතික හෝ අධ්‍යාපනයෙන් ලබා නො තිබිණි.

එබැවින් ඒ කරුණු සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ඇය ලත් දැනුමකි. මේ අපේ සංස්කෘතියේ මෙන් ම වෙනත් පැරණි සංස්කෘතීන්හි ද දැනුම ලබාගත් ක්‍රමයක් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය තමන්ගේ හෝ තමන්ගේ ගෞරවයට විශ්වාසයට පාත්‍රවන අයගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම මත පදනම් වෙයි. නාථ හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම පිලිබඳ මට අවිශ්වාසයක් නැත. ඔවුන්ගේ දැනුම මත පදනම් වී මා සුවපත් වූ අවස්ථා කිහිපයක් වෙයි.

අපි සාම්ප්‍රාදියක ව්‍යාජ විද්‍යාඥයන්ගෙන් අපේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී ද වෙනස් වූයෙමු. සාම්ප්‍රාදායික ක්‍රමය අනුව ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ ඊනියා පර්යේෂණ පත්‍රිකා මගිනි. එහෙත් අපි එසේ නො කළෙමු. අපි කෙලින් ම ප්‍රතිඵල ජනතාවට හා ආණ්ඩුවට දැනගැනීමට සැලැස්වූයෙමු. එයට ප්‍රධාන හේතුව වූයේ වකුගඩු රෝගය හේතුවෙන් විශාල පිරිසක් මිය යෑම ය. ඔවුන්ට ඉක්මන් සුවයක් ලබාදිය යුතුව තිබිණි. ඊනියා පත්‍රිකා ඔස්සේ දැනුම ලබාදීමට කාලයක් ගත වෙයි. අනෙක් අතට ඒ පත්‍රිකා මගින් දැනුම ලබාදුන්න ද එහි සත්‍යාසත්‍යභාවය ඉන් තහචුරු නොවෙයි. නේචර් සයන්ස් ආදී ප්‍රධාන සඟරාවල ද පළවන පත්‍රිකාවල අන්තර්ගත දැනුමෙන් ද ඉතා විශාල ප්‍රමාණයක් වැරදි බව පසුව හෙළි වෙයි. ඒ වෙනත් විද්‍යාඥයන් ද ඒ පත්‍රිකා සමාලෝචනය කිරීමෙන් පසුව ය. (මතු සම්බන්ධයි)

Monday, 18 March 2013

ආසනික් සටන

බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ පොත පිළිබඳ සම්මන්ත්‍රණයක් එය නිකුත් වී මාස පහකට පමණ පසුව පසුගිය බදාදා පැවැත්විණි. එහි දී මතු වූ හා මතු නොවූ කරුණු කිහිපයක් පිළිබඳ ව සඳහන් කිරීමට සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ යනුවෙන් පළවන ලිපි පෙළට තාවකාලිකව සමු දීමට සිදුවෙයි. පොතෙහි තේමාව වනුයේ දැනුම නිර්මාණය කිරීම ය. බොහෝ දෙනා තවමත් තේරුම් නොගත්තත් අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම ලෝකයේ ආධිපත්‍යය දරන අතර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තවමත් ලෝ පුරා පවත්වාගෙන යෑමට එම දැනුම, එනම් පසුගිය සියවස් පහක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරී ඇති දැනුම, යොදා ගැනෙයි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු කිරීමට යොදාගන්නා තවත් බටහිර දැනුමක් වනුයේ බටහිර ඥානවිභාගය ය. එහි ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන සඳහන් වෙයි. එවැනි විධික්‍රමයක් නැති බව බටහිර ම දාර්ශනිකයකු වූ ෆෙයරාබන්ඩ් විද්වතා පෙන්වා දී ඇත. එහෙත් උක්ත කෘතියෙහි සඳහන් වන්නේ ෆෙයරාබන්ඩ්, කූන් ආදී විද්වතුන් විසින් සඳහන් කර ඇති ඇතැම් කරුණු පමණක් නො වේ. මා විසින් සිංහල බෞද්ධ චින්තනයක නිර්මාණය කෙරී ඇති දැනුම් ද වෙයි. සම්මන්ත්‍රණයෙහි දී කියැවුණු එක් අදහසක් වූයේ පොතෙහි සඳහන් වනුයේ බටහිර විද්‍යාවේ සීමා ගැන බව ය. එහෙත් එය එසේ නො වේ. අපට වැදගත් වනුයේ බටහිර විද්‍යාවේ දර්ශනය ය. එහි ආධිපත්‍ය ය. එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පැතිරවීමේ දී හා තහවුරු කිරීමේ දී සිදුකරන කාර්යභාරය ය. බටහිර විද්‍යාවේ ආරම්භය ගැලීලියෝ හා නිවුටන් කරා දිවයන නමුත්, එයට පදනම් වූ චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චි්න්තනය ඇරඹුණේ පහළොස්වැනි සියවස අගභාගයේ දී ය. මුළු ලෝකයම අගාධයට යොමුකර ඇති මේ චින්තනයට විකල්ප ව ඇත්තේ චින්තන දෙකක් පමණ ය. එකක් මුස්ලිම් චින්තනය ය. අනෙක ථෙරවාද බෞද්ධ චින්තනය ය. මුස්ලිම් චින්තනය ආක්‍රමණශීලීව බටහිර ක්‍රිස්තියානි චින්තනයට අභියෝග කරයි. ෂර්යා නීතිය බටහිර රටවල ද ක්‍රියාත්මක කරවීමට බලපෑම් වෙයි. හලාල් භාණ්ඩ අද ලෝ පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ කෙරෙන්නේ ද බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වූ ලෝක ආහාර හා වෙළෙඳ ප්‍රතිපත්තිය පරාජය කිරීමට ය. මෙරට සිංහල බෞද්ධ රටකි. මේ රටෙහි මූලික වශයෙන් තිබිය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියකි. එහෙත් චිකන් හෙවත් කුකුල් මස් නොමැතිව භික්‍ෂූන් වහන්සේලාට දානය දීමටවත් නොහැකි රටක දානය වළඳා හාමුදුරුවන් පන්සලට වැඩම කිරීමටත් පෙර නිවසෙහි සුරාව රජයන රටක මොන බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් ද? අපේ වත්මන් ආහාර ප්‍රතිපත්තිය බටහිර යුදෙවු ක්‍රිස්තියානි ය. හලාල් සහතිකය පිටුපස සිටින උල්ලමාවරුන්ට අවශ්‍ය වනුයේ මුස්ලිම් ආහාර (භාණ්ඩ) ප්‍රතිපත්තියක් ලංකාවෙහි ද ක්‍රියාත්මක කිරීමට ය. එහෙත් මෙහි දී එයට විරුද්ධ වන්නේ බෞද්ධයන් පමණක් වීම තරමක් ගැටළු සහගත ය. ක්‍රිස්තියානීන්ගෙන් හෝ හින්දුන්ගෙන් හෝ විරුද්ධත්වයක් පැන නැගී නැත්තේ ඇයි? ලෝක ව්‍යාප්ත යුදෙවු ක්‍රිස්තියානි –- මුස්ලිම් ගැටුමේ එක් අංගයක් පමණක් වූ හලාල් භාණ්ඩ ව්‍යාපෘතියෙහි දී ලංකාවේ දී ක්‍රිස්තියානි පල්ලිය නිහඬ වන්නේ ඔවුන්ට අවශ්‍ය කාර්යය බෞද්ධයන් සිදුකරන බැවින් ද?

අප තේරුම් නොගත්ත ද බටහිරයෝ ථෙරවාදී රටවල් විනාශ කිරීමට කටයුතු කරති. තායිලන්තය හෙවත් සියමි රට නිල නොවන වශයෙන් ඇමරිකානු යටත්විජිතයකි. ලාඕසය ගැන කතාකිරීමටවත් දෙයක් නැත. කම්පූචියාව පොල්පොට්ගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන බටහිරයන් විසින් පරාජය කෙරිණි. මියන්මාරය හමුදා නිලධාරීන්ට පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොතිබීම හේතුවෙන් අවුං සාන් සුකී හරහා යටකර ගැනීමට බටහිරයන්ට හැකිවිය. අද නමට වුවත් ඉතිරි වී ඇත්තේ ලංකාව ය. අපට ලංකාවෙහි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව මතවාද පරාජය කිරීමට හැකි වී තිබේ. ලංකාවට සුදුසු ආහාර ප්‍රතිපත්තියක් සකස් කරගත හැක්කේ සඟ වෙද ගුරු ගොවි රණවිරු පංච මහා බලවේගය මගිනි. එනම් එය කළ හැක්කේ පනස්හයේ දරුවන්ට ය. අපේ ආහාර ප්‍රතිපත්තිය අපේ දැනුම මත පදනම් විය යුතු ය. සිංහල ගොවිකම, සිංහල (ආයුර්වේද නොවේ) වෙදකම පදනම් කරගත් දැනුමක් මත අපේ ආහාර ප්‍රතිපත්තිය පදනම් විය යුූතු ය. සිංහල කලාව ද සිංහල ගොවිකම ද සිංහල වෙදකම ද අද නොසලකා හැරෙන්නේ පොදුවේ සිංහල බෞද්ධ දැනුම ප්‍රතික්‍ෂෙප කෙරෙමිනි. අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මතවාද පරාජය කිරීමට හැකිවූයේ බටහිර වියුක්ත ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීම මත ම පදනම් වෙමිනි. එය අපේ ක්‍රමයක් නො වේ. එහෙත් පෘතුගීසීන් පරාජය කිරීමට ඔවුන්ගේ තුවක්කු අධ්‍යයනය කර වඩාත් හොඳ තුවක්කු නිෂ්පාදනය කළ අපේ මුතුන්මිත්තන් අනුගමනය කරමින් අපි බටහිර වියුක්ත ප්‍රවාද අනුව යමින් වඩාත් හොඳ ප්‍රවාද නිර්මාණය කළෙමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. එහි ඇත්තේ උද්ගමනය (මෙය බේකන්ගේ උද්ගමනය නොවේ) හා ප්‍රවාද නමින් හැඳින්වෙන කතන්දර හෙවත් පට්ටපල් බොරු බව තහවුරු කිරීමට අපට පසුගිය සතියේ දී ඉහත සඳහන් සම්මන්ත්‍රණයෙහි දී ද රූපවාහිනී සාකච්ඡාවක දී ද හැකිවිය. අපට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇත. අපේ සංස්කෘතියෙහි අපි දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් ද දැනුම ලබාගනිමු. බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ ඒ දැනුම මිථ්‍යාවක් යැයි කියති. ආසනික් සටන දෙවියන්ගෙන් (භූතයන්ගෙන්) ලබාගත් දැනුම තහවුරු කිරීම සඳහා තැබූ ප්‍රධාන පියවරක් විය. 

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කුමක්දැයි බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නො කියැවෙයි. එහි එයට ප්‍රතිකාර ද නැත. දින දෙකකට එක් රෝගියකු මරණයට පත්වෙයි. මේ පිළිබඳ මගේ අවධානය යොමු කළේ රජරට විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයෙහි කථිකාචාර්යවරයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ය. ඒ වන විටත් අධිමානුෂික දැනුම ගැන සාර්ථක අත්දැකීම් ලබා සිටි මම ඔහු පිට්ටුගල ප්‍රියන්තා සේනානායක මහත්මිය වෙත යොමු කළෙමි. එහි දී ඇය ඔස්සේ අපට දැනගැනීමට හැකිවූයේ රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායන මගින් එකතුවන ආසනික් රසදිය හා සයනයිඩ් ද, ඒ ප්‍රදේශවල ඇති කුඹුරු පස ද, කිවුල් ජලය ද බව ය. අපට අවශ්‍ය වූයේ මේ හේතු බටහිර විද්‍යාව මගින් ද තහවුරු කිරීමට ය. ජයසුමන මහතා ඒ සඳහා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය යටතේ, පශ්චාත් උපාධියක් සඳහා වූ නිර්ණායක සපුරා අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි විය. ඒ සමග මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියගේ ද සහභාගීත්වයෙන් කරන ලද පර්යේෂණවලින් කෘෂිරසායනවල ද ජලයේ ද, ශාකවල ද ආසනික් බැර ලෝහය අඩංගු බව තහවුරු විණි. ඒ බව අපි වහාම ජනතාවට කීවෙමු. ඊනියා පත්‍රිකා ගැන මගේ විශ්වාසයක් නැත. නේචර් සඟරාවේ ද පළවෙන පත්‍රිකාවල අඩංගු කරුණු පසුව වැරදි බව පෙනී ගොස් ඇත. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් මේ පිළිබඳ තොරතුරු ආණ්ඩුවට හා ජනතාවට කීමට ය. එහෙත් මෙරට කසිකබල් විද්‍යාඥයෝ හා විද්‍යාඥවරියෝ අපට විරුද්ධවූහ. මේ ඇතැමෙක් ජාත්‍යන්තර සංවිධාන මගින් ලබාගත් ඩොලර් ලක්‍ෂ ගණනින් වියදම් කර කැඩ්මියම්, ෆ්ලෝරයිඩ් ආදී රසායන ද්‍රව්‍ය ගැන කතාකළහ. ආසනික් ගැන කීමෙන් ඔවුහු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් ක්‍රියාකළහ. කැලණි විශ්වවිිද්‍යාලයෙහි අදාළ උපකරණ කැඩී ඇතැයි ඔවුහු කීහ. අප කණ්ඩායම පර්යෙෂණ නොකළ බවත් දෙවියන් කී දෙයක් පමණක් කියන බවත් කීහ. එක් මහාචාර්යවරියක් එහි දී සැපින්නක මෙන් ක්‍රියාකළාය. ඇගේ මහාචාර්ය සැමියා අපට පිස්සු යැයි වෙනත් සරසවියක තම පීඨයේ නවක ශිෂ්‍යයන්ට කීවේ ය. ඉංජිනේරු විද්‍යාවෙන් ද සමාජ විද්‍යාවෙන් ද තුන්වැනි පංතියේ උපාධි ලබා මහා පඬියකු බව පෙන්වීමට තැත්කරන ප්‍රෝඩාකරුවෙක් විද්‍යාභිවර්ධන සංගමය මගින් මට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළේ ය. ජීවිතයට නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩනගා නැති ඊනියා ප්‍රභූ විද්‍යාඥයන්ගෙන් සමන්විත ජාතික විද්‍යා ඇකඩමිය මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේ ය. අප ඊනියා විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කර නැතැයි කීහ. මහාචාර්ය යුවළ අපට විරුද්ධව ඇමතිවරුන්ට ගතු කීහ. ඉච්ඡා බස්වලට පමණක් සවන්දෙන මුග්ධ ඇමතියෝ ඒවා පිළිගත්හ. එක් අමාත්‍යාංශයක් ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ආසනික් නැතැයි කීවේ ය. ආහාර තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයකු යැයි කියන මහාචාර්යවරයෙක් ආසනික් ටිකක් කැවාට වරදක් නැතැයි කීවේ ය. ඔහු නිතරම කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයෙහි පර්යේෂණාගාර පිළිගෙන නොමැති බව ය. එහෙත් ඔහුගේ කසිකබල් පර්යේෂණ කෙරී ඇත්තේ පිළිගත් පර්යේෂණාගාරවල ද යන්නවත් ලංකාවේ පිළිගත් යැයි කියන පර්යේෂණාගාර කොපමණ ඇත් ද යන්නවත් ඔහු නොකියයි. මේ අය සියළු දෙනාට පාහේ සම්මන්ත්‍රණයට පැමිණ ඔවුන්ගේ අදහස් දක්වන ලෙස ආරාධනය කෙරුණ ද ඔවුහු ඒ ප්‍රතික්‍ෂෙප කළහ. මේ අතර අතුරලියේ රතන හිමියන් මලයාසියාවේ පිළිගත් පරික්‍ෂණාගාරයක් ලවා කරන ලද පරීක්‍ෂණවලින් අදාළ නියැදිවල ආසනික් හා වෙනත් බැර ලෝහ ඇති බව පෙනී ගියේ ය. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ද රෝගීන්ගේ ශරීර කොටස්වල ආසනික් අඩංගු බව ප්‍රකාශ කළේ ය. දැනට මාස කිහිපයකට උඩ දී මධ්‍යම දකුණු ඇමරිකාවේ රටවල සහභාගීත්වයෙන් කොස්ටාරිකාවේ පවත්වන ලද සම්මන්ත්‍රණයක දී චන්න ජයසුමන මහතා ආසනික් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අදහස් මහත් පැසසුමට ලක්විය. ඒ රටවල ද උක්වගාවේ යොදාගන්නා කෘෂි රසායන හේතුවෙන් ගොවීන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳී ඇත. කෘෂිරසායන යොදා නොගන්නා කියුබාවේ පමණක් උක්ගොවීන්ට මේ රෝගය නැත. සති දෙකකට පමණ ඉහත දී ඇමරිකන් විද්‍යාඥයන් පිරිසක් පළකළ පත්‍රිකාවක සඳහන් වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගය සමග ආසනික් සම්බන්ධ බව ය. එහෙත් මුළු ලෝකයෙන්ම නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව පළමුවෙන් ම ප්‍රකාශ කළේ කැලණි කණ්ඩායම ය. එහි ගෞරවය වඩාත්ම හිමිවිය යුත්තේ මහාචාර්ය පරණගම මහත්මියට ය. ඇය බොහෝ දිනවල අලුයම තුන හතර පමණ වන තුරු පර්යේෂණ කළේ තම සෞඛ්‍ය තත්වය ගැන ද නොසළකා ය. ඒ සම්බන්ධයෙන් වූ ඇගේ කැපවීමට ජාතික සම්මානයක් හිමිවිය යුතු නමුත් ඇයට ලැබුණේ අපහාස ය. ඇයට හිමිවිය යුතු රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරය අවසානයේ දී පිරිනැමුණේ කුහක ඇදුරන්ගේ බාධා මධ්‍යයෙහි හ. මේ කුහක ඇදුරෝ අද චන්න ජයසුමන මහතාට පශ්චාත් උපාධියක් දීමට එරෙහිව කටයුතු කරති.

ඇතැම් ඇමතිවරු අප කණ්ඩායමේ සාමාජිකයන් ප්‍රීමා සමාගමෙන් මුදල් ගෙන සහල්වල ආසනික් ඇති බව ප්‍රචාරය කරන්නේ යැයි කීහ. අපි මේ ඇමතිවරුන්ට එකක් කියමු. අපට ප්‍රීමා සමාගමෙන් සතපහකවත් මුදලක් ලැබී නැත. එහෙත් මේ සමහරුන්ට කෘෂිරසායන ගෙන්වන සමාගම් සමග සම්බන්ධකම් ඇති බව අපි දනිමු. ආණ්ඩුව වසවිස නැති ආහාර ලබාදිය යුතු ය.

Friday, 23 November 2012

ආසනික් හා ජනමාධ්‍ය සන්නිවේදනය

2012 නොවැම්බර් 7 වැනි දා විදුසර 25 වැනි සංවත්සර කලාපයට මා ලියු ලිපියක තිබූ ඇතැම් කොටස් කර්තෘගේ අදහස අනුව සෙසු පාර්ශවයන්ට තදබල ලෙස මානසික ව පීඩාකාරී වන බැවින් හෝ සෙසු පාර්ශ්වයන් අසීරුතාවට පත්විය හැකි වන බවින් හෝ කපා දමා ඇත. මෙහි කළු අකුරෙන් සඳහන් වන්නේ එසේ කපා දැමූ කොටස් ය. එසේ කපා දැමීමෙන් එකතුකර ඇති කොටස් ද මෙහි සඳහන් වෙයි. මෙයට වගකිව යුත්තේ කවුරුන් දැයි නොදනිමි. එහෙත් මෙයට මුල් වූ තැනැත්තා ඊනියා යන වචනය තබාගෙන කියාගන්නා, යැයි කියන්නන් ආදී වචන කපා දමයි. ඔහුගේ සිංහල දැනුමේ තරම එයින් ම හෙළි වෙයි. ඉවත්කර ඇති කොටස්වලින් තදබල මානසික පීඩාවක්, අසීරුතාවක් ඇතිවන්නේ දැයි ඔබට ම තීරණය කළ හැකි ය. මේ කොටස් ඉවතකිරීමට මුල් වූ තැනැත්තා පරාජයෙන් වියරු වැටුණු ඊනියා විද්‍යාඥයකු වීමේ විශාල සම්භාවිතාවක් ඇත. 
- නලින් ද සිල්වා.

Saturday, 19 November 2011

අපට විපක්‍ෂ වූවෝ හා පක්‍ෂ වූවෝ

බටහිර විද්‍යාව එලෙස හැඳින්වීමට දැන් බොහෝ දෙනා පසුබට නොවන බව පෙනී යයි. ටික කලකට පෙර බටහිර විද්‍යාව හඳුන්වනු ලැබුයේ එක්කෝ විද්‍යාව නමින් ය. එසේත් නැතහොත් නූතන විද්‍යාව නමින් ය. විද්‍යාව යන්නෙන් ගම්‍ය වූයේ එනමින් හඳුන්වනු ලැබූ දැනුම් පද්ධතිය හැරෙන්නට අනෙක් දැනුම් පද්ධතීන් විද්‍යාව නොවන බව ය. නුතන විද්‍යාව යන්නෙන් පැරණි විද්‍යාවන් ද තිබූ බව ගම්‍ය විය හැකි නමුත් භාවිතයේ දී එයින් එවැන්නක් ගම්‍ය නො වී ය. එයින් අදහස් වූයේ නූතනයෙහි, එනම් පසුගිය සියවස් කිහිපයක ඉදිරිපත් කෙරුණු විද්‍යාව ය. නූතනත්වයෙහි විද්‍යාව නූතන විද්‍යාව විය. වෙනත් අදහසක් එයින් ගම්‍ය නො වී ය. නූතන විද්‍යාවට එරෙහිව පැරණි විද්‍යාවක් ගැන කතාකළ අයකු ගැන දැනගැනීමට නොහැකි විය.

එහෙත් එයින් අදහස් වූයේ වෙනත් දැනුම් පද්ධතීන් නැති බව නො වේ. වෙනත් දැනුම් පද්ධති ගැන මිනිස්සු දැන සිටියහ. අඩුම තරමෙන් ආයුර්වේදය, සිංහල වෙදකම ගැන සියළු දෙනාම පාහේ දැන සිටියහ. ඒ දැනුම් පද්ධතීන් වූ බවට කිසිවකුට සැකයක් තිබිණි යැයි සිතිය නො හැකි ය. එහෙත් ඒ විද්‍යාත්මක දැනුම, එසේත් නැත්නම් නූතන විද්‍යාත්මක දැනුම නො වි ය. බොහෝ බටහිර වෛද්‍යවරුන්ට එය මිථ්‍යාවක් විය. එහෙත් සිංහල වෙදකමෙන් ද රෝග සුව වන බව බටහිර වෛද්‍යවරු ද දැන සිටියහ. එයින් යම්කිසි ආකාරයක ප්‍රයෝජනයක් සිදුවන බව ද ඒ වෛද්‍යවරුන් නොදැන සිටියා නො වේ.

අද බටහිර විද්‍යාව ගැන වෙනත් දෙයක්, එනම් එහි ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්, වෙනත් දැනුම් පද්ධතියක නැති සත්‍යයක් ආදී වශයෙන් විශේෂයක් තිබීමක් ගැන කතාකළ නොහැකි ඇතැම් බටහිර විද්‍යාඥයෝ එහි ඇති ප්‍රයෝජ්‍යතාව, විශ්වාසනීයත්වය ගැන කතාකිරීමට පෙළඹී සිටිති. එහෙත් ඔවුන් නොදැන සිටිය ද පැරණි සමාජයෙහි වාසය කළ අය ඒ සමාජයෙහි දැනුමෙහි තිබූ ප්‍රයෝජ්‍යතාව ගැන දැන සිටියහ. එමෙන් ම ඒ පිළිබඳ විශ්වාසයක් ද ඇති කරගෙන සිටියහ. එසේ නොවන්නට ඒ දැනුම් පද්ධතීන් අදට ද ඉතිරි වී ඇත්තේ කෙසේ ද?

අද ඒ දැනුම් පද්ධතීන් බටහිර දැනුම පසුපස ඇති ආකාරයට දේශපාලන බලයක් ද නැත. දේශීය කෘෂිකර්මය ගැන අදාළ ඇමතිවරයා ද කතාකරන්නේ නමට පමණකි. බටහිර කෘෂිකර්්මයට එරෙහිව ඇමතිවරයාට කළහැකි විශේෂිත කාර්යයක් ද නැත. අද ආධිපත්‍යය ඇත්තේ බටහිර කෘෂිවිද්‍යාවට මිස දේශීය ගොවිකමට නො වේ. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් ගලා එන මේ ආධිපත්‍යයට එරෙහිව දුර්වල ඇමතිවරයකුට කළහැකි කාර්යය කුමක් ද? දේශීය වෙදකම ද (ආයුර්වේදය ද ඇතුළත් ව) එසේම ය. 1956න් පසු දේශිය වෙදකමට, ඇත්තටම සිංහල වෙදකමට වඩා ආයුර්වේදයට ඊනියා වැදගත්කමක් දීමට ආණ්ඩු කටයුතු කළේ ය. අද දේශීය වෙදකම පිළිබඳ ව වෙනම ඇමතිවරයෙක් වෙයි. එහෙත් මෙරට වැසියන් 1956 දීට වඩා අද දේශීය වෙදකමට නැඹුරු වී තිබේ යැයි කිව හැකි ද?

1956 දී සිංහල වෙදකමට තිබූ වැදගත්කම අද එයට නැත. අඩුම තරමෙන් ආයුර්වේදයටවත් නැත. එදා ලංකාව පුරා ගම්පහෙන් බිහි වූ ආයුර්වේද වෛද්‍යවරු විසිරී සිටියහ. ඒ වෛද්‍යවරුන් හඳුන්වනු ලැබුයේ ගම්පහ වෙදමහත්වරුන් නමිනි. අද යක්කළින් බිහිවන වෛද්‍යවරුන් ඇත්තේ කොහේ ද? ඔවුන් තැන තැන විසිරී ඇති බව කවුරුත් දනිති. මෙහි දී අපට ප්‍රශ්නය වන්නේ එය නොව ඔවුන්ගේ අනන්‍යතාව ය. ප්‍රතිශතයක් ලෙස ගතහොත් අද ගම්බදව ද වැඩි පිරිසක් බටහිර දෛ්‍යවරුන් වෙත යන බව රහසක් නො වේ. මේ සම්බන්ධයෙන් ඇතැම් බටහිර වෛද්‍යවරුන් විසින් කරන ලද සමී’ක්‍ෂණවල ප්‍රතිඵල ද වෙයි.

පාසල් පද්ධතිය හා ජනමාධ්‍ය ඔස්සේ බටහිර දැනුමේ ප්‍රබලත්වය ගැන මිථ්‍යාවක් සමාජය ඔස්සේ වපුරද්දී, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට වූ රටක මෙරට දේශීය වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට ඇති ආයතන ද ක්‍රමයෙන් බටහිරකරණයට ලක්වෙයි. මෙරට උසස් අධ්‍යාපන ඇමති දේශී්ීයත්වයක් ගැන එතරම් දෙයක් දන්නා බවක් පෙනෙන්නට නැත. ඔහු දන්නේ ඉංගිරිසියෙහි හා තොරතුරු තාක්‍ෂණයෙහි ඇති වැදගත්කම ය. 1956න් පසුව මෙරට ඇතැම් ඇමතිවරුන් අතර නොවුවත් ජනතාව අතර ජනවාර්ගික වශයෙන් ගත්කල ජාතිකත්වය පිළිබඳ හැඟීමක් අද වන විට වර්ධනය වී තිබුණ ද, බොහෝ දෙනා පැරණි සිංහලයන්ගේ වාරි තාක්‍ෂණය හා දාගැබ් කර්මාන්තය ගැන ආඩම්බරයෙන් කතාකළ ද, දැනුම සම්බන්ධයෙන් ගත්කල අද අපි එදාට වඩා බටහිර ගැත්තන් බවට පත්වී සිටින්නෙමු.

එහෙත් ඒ සියළු බාධක මධ්‍යයෙහි ද අදත් ජනතාවගෙන් යම් කොටසක්් දේශීය වෛද්‍යවරුන්ගේ පිහිට පතා යන්නේ ඒ වෙදකමෙහි ඇති ප්‍රයෝජ්‍යතාව නිසා පමණක් නොව ඒ පිළිබඳ ඇති විශ්වාසය ද නිසා ය. දේශීය වෙදකමට අද ඇති තවත් බාධක මහත් ර්ශියකි. කලක් කොළඹ වෛද්‍ය පීඨයෙහි ඉගැන්වූ මහාචාර්යවරයකු තම දේශනවල දී කියා ඇත්තේ ඇතැම් රෝග සුවකළ නොහැකි බවත්, ඇතැම් රෝග නිසි ප්‍රතිකාර දීමෙන් සුවකළ හැකි බවත් තවත් රෝග කිසිදු ප්‍රතිකාරයක් නැතිවත් සුවවන බවත් ය. ඔහුට අනුව ආයුර්වේදයෙන් සුවවන්නේ කිසිදු ප්‍රතිකාරයක් නැතිව වුව ද සුවවන රෝග ය! ආයුර්වේදයේ ප්‍රයෝජ්‍යතාව ගැන ඔහුට ඇත්තේත් ඔහු බටහිර වෛද්‍යවරුන්ට දී ඇත්තේත් එවැනි අදහසකි. එහි තේරුම අන්කිසිවක් නොව ආයුර්වේදය මිථ්‍යාවක් පමණක් බව ය. බටහිර විද්‍යාව පිළිබඳ එතරම් දැනුමක් නැතිව වුව ද බටහිර වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු (බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුම් වර්ගීකරණය අනුව තාක්‍ෂණයක් මිස විද්‍යාවක් නො වේ.) එවැනි අදහස් පවසන්නේ බටහිර දැනුමේ දාසයන් වීම නිසා බව පැහැදිලි ය. එවැනි විෂම මත අධ්පති මතවාදය බවට පත් වී තිබියදීත් තවමත් යම් පිරිසක් දේශීය වෛද්‍යවරුන් වෙත යන්නේ ඒ දැනුමෙහි ප්‍රයෝජ්‍යත්වය නිසා ය. අනෙක් අතට බොහෝ විට ඒ නිසා ම ඇතිවන විශ්වාසනියත්වය නිසා ය.

බටහිර විද්‍යාව ගැන අද වෙනත් දෙයක් කීමට නැතිව හුදෙක් ප්‍රයෝජ්‍යත්වය හා විශ්වාසනීයත්වය ගැන කතාකරමින් දේශීය දැනුම මිථ්‍යාවක් බව ප්‍රචාරය කරන අයට පැවසීමට ඇත්තේ බටහිර දැනුමේ ආධිපත්‍යය හමුවේ වුවත් මෙරට තවමත් යම් පිරිසකට දේශීය දැනුමෙහි ඇති ප්‍රයෝජ්‍යත්වය ගැන දැනුමක් ඇති බවත් ඒ පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති බව පමණක්් නොව සුළු පිිරිසකට වුවත් බටහිර දැනුමේ අයහපත් බව ගැන යම් අවබෝධයක් ඇති බවත් ය. බටහිර දැනුම හා තාක්‍ෂණය හේතුකොටගෙන අද රජරට ප්‍රදේශයේ වකුගඩු රේගය වැළඳී දහස් ගණන් ජනතාව මියයති. මේ රෝගයට ප්‍රධාන හේතුව බටහිර කෘෂිවිද්‍යාව මත පදනම් ව ගොවීන් කෘෂි රසායන ද්‍රව්‍යවලට පුරුදු කිරීම ය. කෘෂි රසායනවල ඇති ආසනික් රජරට ප්‍රදේශවල ඇති පස හේතුවෙන් කිවුල සහිත ජලයට මිශ්‍ර වී රජරට වකුගඩු රෝගය ඇතිකරන බව අද රහසක් නො වේ. මෙරට බටහිර වෛද්‍ය විද්‍යාවේ චර්මරෝග පිළිබඳ විශේෂඥවරු රජරට වකුගඩු රෝගීන්ට ආසනික් විෂවීම පිළිබඳ සා’ක්‍ෂි දරති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කෘෂිරසායනවල ඇති ආසනික් වුව ද එය එකම හේතුව නො වේ. රජරට ඇති කුඹුරු පස නමින් හැඳිනේවෙන පස හා කිවුල් ජලය නොවන්නට ආසනික් කෘෂි රසායන මගින් පැතිරී ගිය ද මේ රෝගය නො වැළඳෙයි.

බටහිර විද්‍යාවෙන් වී ඇති එකම හානිය රජරට වකුගඩු රෝගය වැළඳී අහිංසකයන් දහස් ගණනින් මිය යෑම නො වේ. පරිසර හානිය, වෙනත් රෝග ද පැතිර යෑම, මිනිසුන් සිත් පිත් නැති රොබෝ බවට පත්කිරීමට දරණ උත්සාහය ද ඒ අතර වෙයි. බටහිර දැනුම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් වෙන්කළ හැකි නො වේ. බටහිර දැනුමට හා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට පරිසරය රැකගත හැකි නො වේ. බටහිරයන්ට අද කිසිම ප්‍රශ්නයකට දුර දිග යන පිළිතුරක් දිය හැකි නො වේ. ඔවුන්ට අද කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. පරිසර කළමනාකරණය අද ශබිදකෝශයට එකතු වී ඇත්තේ එබැවිනි.

අනෙක් බොහෝ දැනුම් පද්ධතීන් අවුරුදු දහස් ගණනක් පැවතී ඇත. බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදී ආධිපත්‍යය නොවන්නට ඒ දැනුම් පද්ධති තවත් බොහෝ කල් පැවතීමට ඉඩ තිබිණි. අද ඒ දැනුම් පද්ධති බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයට හසු වී මියැදෙමින් පවතියි. අපට බටහිර දැනුම් පද්ධතිය ගැන කිවහැක්කේ කුමක් ද? එයට අවුරුදු දහස් ගණනක් පැවතිය හැකි ද? කිසිසේත්ම නැත. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මුළු ලෝකය ම විනාශයට ඇදගෙන යමින් පවතියි. අද අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය පරාජය කිරීමට තරම් දේශපාලන හෝ ආර්ථික හෝ ශක්තියක් නැත. අප එය පිළිගත යුතු ය, එහෙත් එයින් කියැවෙන්නේ අප කිසිවක් නොකර සිටිය යුතු බව නො වේ. අපි අපේ දැනුම් පද්ධතිය වර්ධනය කරගන්නා අතර එය මහජනතාවට ද නොයෙකුත් බාධක හමුවේ නමුත් බෙදාහැරීමට කටයුතු කරමු. එහෙත් ඒ අතර ස්වභාව ධර්මය හා බටහිර දැනුමේ පරස්පර විසින් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පරාජය කරනු ලැබීම බලා සතුටු වෙමු.

බටහිර දැනුමේ දාසයන්ට අමතර ව අප සමග සිටින්නේ යැයි අඟවමින් අපට පහර ගසන්නෝ ද වෙති. ඇතැමුන් අප විවේචනය කරන්නේ අප මෙහි දී ආගම්වලට පහර ගසන්නේ යැයි කියමිනි. ඔවුහු තම වෙබ් අඩවවිල ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නොවීමට අපට උපදෙස් දෙති. එහෙත් එහි කිසිදු සත්‍යයක් නැත. අප යුදෙව් ක්‍රිස්තියානි ආදී වශයෙන් යොදාගන්නේ සංස්කෘතිකාර්ථයකින් මිස ආගමිකාර්ථයකින් නො වේ. එහෙත් ඇතැම්හු ඒ බව නො දනිති. නැතහොත් නොදන්නා බව අඟවති. මේ අතර ඇතැම්හු අපට පහර ගැසීමට බලාපොරේත්තු වන්නේ අප බෞද්ධයන් නොවන බව කියමිනි. අපි කිසිම ආකාරයක ආත්මවාදීහු නො වෙමු. අඩුම තරමෙන් දැනුම සම්බන්ධයෙන්වත් ආත්මවාදීහු නො වෙමු. කාලය යන්න පඤ්ඤත්තියක් පමණක් වන කල ක්‍ෂණයක් යනුවෙන් වාස්තවික වූ කාල අන්තරයක් ඇතැයි ගැනීමට අපි විරුද්ධ වෙමු. අපේ දැනුම පිළිබඳ දැනුමේ එක් මුල්ගලක් වනුයේ සංකල්පීය වූ සියළු දැනුම් සාපේක්‍ෂ බවත් ඒ නිර්මාණය කරන බවත් සංකල්පීය ලෝකය ඒ හේතුවෙන් ම ශූන්‍ය වන බවත් ය. ඒ අතර බුදුදහමේ සඳහන් වන නිවන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදිය සංකල්ප නොවන බව අපි කියා සිටිමු. සංකල්පීය දැනුම තර්කයෙන්, ලෞකික අත්දැකීමෙන් ලබාගත හැකි වුවත් අනිත්‍ය ආදී නිර්සංකල්පීය දැනුම එසේ ලෞකික ක්‍රම භාවිතයෙන් ලබාගත නොහැකි බවත් අපි කියා සිටිමු. එක් ක්‍ෂණයකට වුවත් පවතින ඊනියා වාස්තවික යථාර්ථයක් වූ ධර්ම නැති බවත් එසේ පවතින්නේ යැයි කියන දහමක් වේ නම් ඒ ආත්මවාදී බවත් අපි පවසමු.

අපත් සමග සිටින්නේ යැයි බොරුවට කියමින් අප විවේචනය කරන්නන්ට එතරම් නිරවුල් දැනුමක් නැති බවත් ඒ බොහෝ දෙනාට දේශපාලන හෝ පෞද්ගලික හෝ න්‍යාය පත්‍ර ඇති බවත් අපි දනිමු. පොපර්ගේ අසත්‍යෙක්‍ෂණය (falsification) හෙවත් අසත්‍යකරණයට ලක්කිරීම ගැන මෙලෝ හසරක දැනුමක් නැතිව ඒ ගැන ලියන්නන් මෙන් ම සංස්කෘතිකාර්ථයකින් හෝ වෙනත් අර්ථයකින් හෝ සාපේක්‍ෂවීමක් ගැන කතා නොකර අපේ විද්‍යාවන් ගොඩනැගීම ගැන ලියන්නන්ගෙන් ද අවසානයේ දී සිදුවනු ඇත්තේ බටහිර දැනුමට දාසකම් කිරීම පමණකි.