Main Logo

Monday 18 March 2013

ආසනික් සටන

බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ පොත පිළිබඳ සම්මන්ත්‍රණයක් එය නිකුත් වී මාස පහකට පමණ පසුව පසුගිය බදාදා පැවැත්විණි. එහි දී මතු වූ හා මතු නොවූ කරුණු කිහිපයක් පිළිබඳ ව සඳහන් කිරීමට සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ යනුවෙන් පළවන ලිපි පෙළට තාවකාලිකව සමු දීමට සිදුවෙයි. පොතෙහි තේමාව වනුයේ දැනුම නිර්මාණය කිරීම ය. බොහෝ දෙනා තවමත් තේරුම් නොගත්තත් අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම ලෝකයේ ආධිපත්‍යය දරන අතර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තවමත් ලෝ පුරා පවත්වාගෙන යෑමට එම දැනුම, එනම් පසුගිය සියවස් පහක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරී ඇති දැනුම, යොදා ගැනෙයි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු කිරීමට යොදාගන්නා තවත් බටහිර දැනුමක් වනුයේ බටහිර ඥානවිභාගය ය. එහි ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන සඳහන් වෙයි. එවැනි විධික්‍රමයක් නැති බව බටහිර ම දාර්ශනිකයකු වූ ෆෙයරාබන්ඩ් විද්වතා පෙන්වා දී ඇත. එහෙත් උක්ත කෘතියෙහි සඳහන් වන්නේ ෆෙයරාබන්ඩ්, කූන් ආදී විද්වතුන් විසින් සඳහන් කර ඇති ඇතැම් කරුණු පමණක් නො වේ. මා විසින් සිංහල බෞද්ධ චින්තනයක නිර්මාණය කෙරී ඇති දැනුම් ද වෙයි. සම්මන්ත්‍රණයෙහි දී කියැවුණු එක් අදහසක් වූයේ පොතෙහි සඳහන් වනුයේ බටහිර විද්‍යාවේ සීමා ගැන බව ය. එහෙත් එය එසේ නො වේ. අපට වැදගත් වනුයේ බටහිර විද්‍යාවේ දර්ශනය ය. එහි ආධිපත්‍ය ය. එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පැතිරවීමේ දී හා තහවුරු කිරීමේ දී සිදුකරන කාර්යභාරය ය. බටහිර විද්‍යාවේ ආරම්භය ගැලීලියෝ හා නිවුටන් කරා දිවයන නමුත්, එයට පදනම් වූ චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චි්න්තනය ඇරඹුණේ පහළොස්වැනි සියවස අගභාගයේ දී ය. මුළු ලෝකයම අගාධයට යොමුකර ඇති මේ චින්තනයට විකල්ප ව ඇත්තේ චින්තන දෙකක් පමණ ය. එකක් මුස්ලිම් චින්තනය ය. අනෙක ථෙරවාද බෞද්ධ චින්තනය ය. මුස්ලිම් චින්තනය ආක්‍රමණශීලීව බටහිර ක්‍රිස්තියානි චින්තනයට අභියෝග කරයි. ෂර්යා නීතිය බටහිර රටවල ද ක්‍රියාත්මක කරවීමට බලපෑම් වෙයි. හලාල් භාණ්ඩ අද ලෝ පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ කෙරෙන්නේ ද බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වූ ලෝක ආහාර හා වෙළෙඳ ප්‍රතිපත්තිය පරාජය කිරීමට ය. මෙරට සිංහල බෞද්ධ රටකි. මේ රටෙහි මූලික වශයෙන් තිබිය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියකි. එහෙත් චිකන් හෙවත් කුකුල් මස් නොමැතිව භික්‍ෂූන් වහන්සේලාට දානය දීමටවත් නොහැකි රටක දානය වළඳා හාමුදුරුවන් පන්සලට වැඩම කිරීමටත් පෙර නිවසෙහි සුරාව රජයන රටක මොන බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් ද? අපේ වත්මන් ආහාර ප්‍රතිපත්තිය බටහිර යුදෙවු ක්‍රිස්තියානි ය. හලාල් සහතිකය පිටුපස සිටින උල්ලමාවරුන්ට අවශ්‍ය වනුයේ මුස්ලිම් ආහාර (භාණ්ඩ) ප්‍රතිපත්තියක් ලංකාවෙහි ද ක්‍රියාත්මක කිරීමට ය. එහෙත් මෙහි දී එයට විරුද්ධ වන්නේ බෞද්ධයන් පමණක් වීම තරමක් ගැටළු සහගත ය. ක්‍රිස්තියානීන්ගෙන් හෝ හින්දුන්ගෙන් හෝ විරුද්ධත්වයක් පැන නැගී නැත්තේ ඇයි? ලෝක ව්‍යාප්ත යුදෙවු ක්‍රිස්තියානි –- මුස්ලිම් ගැටුමේ එක් අංගයක් පමණක් වූ හලාල් භාණ්ඩ ව්‍යාපෘතියෙහි දී ලංකාවේ දී ක්‍රිස්තියානි පල්ලිය නිහඬ වන්නේ ඔවුන්ට අවශ්‍ය කාර්යය බෞද්ධයන් සිදුකරන බැවින් ද?

අප තේරුම් නොගත්ත ද බටහිරයෝ ථෙරවාදී රටවල් විනාශ කිරීමට කටයුතු කරති. තායිලන්තය හෙවත් සියමි රට නිල නොවන වශයෙන් ඇමරිකානු යටත්විජිතයකි. ලාඕසය ගැන කතාකිරීමටවත් දෙයක් නැත. කම්පූචියාව පොල්පොට්ගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන බටහිරයන් විසින් පරාජය කෙරිණි. මියන්මාරය හමුදා නිලධාරීන්ට පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොතිබීම හේතුවෙන් අවුං සාන් සුකී හරහා යටකර ගැනීමට බටහිරයන්ට හැකිවිය. අද නමට වුවත් ඉතිරි වී ඇත්තේ ලංකාව ය. අපට ලංකාවෙහි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව මතවාද පරාජය කිරීමට හැකි වී තිබේ. ලංකාවට සුදුසු ආහාර ප්‍රතිපත්තියක් සකස් කරගත හැක්කේ සඟ වෙද ගුරු ගොවි රණවිරු පංච මහා බලවේගය මගිනි. එනම් එය කළ හැක්කේ පනස්හයේ දරුවන්ට ය. අපේ ආහාර ප්‍රතිපත්තිය අපේ දැනුම මත පදනම් විය යුතු ය. සිංහල ගොවිකම, සිංහල (ආයුර්වේද නොවේ) වෙදකම පදනම් කරගත් දැනුමක් මත අපේ ආහාර ප්‍රතිපත්තිය පදනම් විය යුූතු ය. සිංහල කලාව ද සිංහල ගොවිකම ද සිංහල වෙදකම ද අද නොසලකා හැරෙන්නේ පොදුවේ සිංහල බෞද්ධ දැනුම ප්‍රතික්‍ෂෙප කෙරෙමිනි. අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මතවාද පරාජය කිරීමට හැකිවූයේ බටහිර වියුක්ත ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීම මත ම පදනම් වෙමිනි. එය අපේ ක්‍රමයක් නො වේ. එහෙත් පෘතුගීසීන් පරාජය කිරීමට ඔවුන්ගේ තුවක්කු අධ්‍යයනය කර වඩාත් හොඳ තුවක්කු නිෂ්පාදනය කළ අපේ මුතුන්මිත්තන් අනුගමනය කරමින් අපි බටහිර වියුක්ත ප්‍රවාද අනුව යමින් වඩාත් හොඳ ප්‍රවාද නිර්මාණය කළෙමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. එහි ඇත්තේ උද්ගමනය (මෙය බේකන්ගේ උද්ගමනය නොවේ) හා ප්‍රවාද නමින් හැඳින්වෙන කතන්දර හෙවත් පට්ටපල් බොරු බව තහවුරු කිරීමට අපට පසුගිය සතියේ දී ඉහත සඳහන් සම්මන්ත්‍රණයෙහි දී ද රූපවාහිනී සාකච්ඡාවක දී ද හැකිවිය. අපට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇත. අපේ සංස්කෘතියෙහි අපි දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් ද දැනුම ලබාගනිමු. බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ ඒ දැනුම මිථ්‍යාවක් යැයි කියති. ආසනික් සටන දෙවියන්ගෙන් (භූතයන්ගෙන්) ලබාගත් දැනුම තහවුරු කිරීම සඳහා තැබූ ප්‍රධාන පියවරක් විය. 

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කුමක්දැයි බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නො කියැවෙයි. එහි එයට ප්‍රතිකාර ද නැත. දින දෙකකට එක් රෝගියකු මරණයට පත්වෙයි. මේ පිළිබඳ මගේ අවධානය යොමු කළේ රජරට විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයෙහි කථිකාචාර්යවරයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ය. ඒ වන විටත් අධිමානුෂික දැනුම ගැන සාර්ථක අත්දැකීම් ලබා සිටි මම ඔහු පිට්ටුගල ප්‍රියන්තා සේනානායක මහත්මිය වෙත යොමු කළෙමි. එහි දී ඇය ඔස්සේ අපට දැනගැනීමට හැකිවූයේ රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායන මගින් එකතුවන ආසනික් රසදිය හා සයනයිඩ් ද, ඒ ප්‍රදේශවල ඇති කුඹුරු පස ද, කිවුල් ජලය ද බව ය. අපට අවශ්‍ය වූයේ මේ හේතු බටහිර විද්‍යාව මගින් ද තහවුරු කිරීමට ය. ජයසුමන මහතා ඒ සඳහා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය යටතේ, පශ්චාත් උපාධියක් සඳහා වූ නිර්ණායක සපුරා අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි විය. ඒ සමග මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියගේ ද සහභාගීත්වයෙන් කරන ලද පර්යේෂණවලින් කෘෂිරසායනවල ද ජලයේ ද, ශාකවල ද ආසනික් බැර ලෝහය අඩංගු බව තහවුරු විණි. ඒ බව අපි වහාම ජනතාවට කීවෙමු. ඊනියා පත්‍රිකා ගැන මගේ විශ්වාසයක් නැත. නේචර් සඟරාවේ ද පළවෙන පත්‍රිකාවල අඩංගු කරුණු පසුව වැරදි බව පෙනී ගොස් ඇත. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් මේ පිළිබඳ තොරතුරු ආණ්ඩුවට හා ජනතාවට කීමට ය. එහෙත් මෙරට කසිකබල් විද්‍යාඥයෝ හා විද්‍යාඥවරියෝ අපට විරුද්ධවූහ. මේ ඇතැමෙක් ජාත්‍යන්තර සංවිධාන මගින් ලබාගත් ඩොලර් ලක්‍ෂ ගණනින් වියදම් කර කැඩ්මියම්, ෆ්ලෝරයිඩ් ආදී රසායන ද්‍රව්‍ය ගැන කතාකළහ. ආසනික් ගැන කීමෙන් ඔවුහු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් ක්‍රියාකළහ. කැලණි විශ්වවිිද්‍යාලයෙහි අදාළ උපකරණ කැඩී ඇතැයි ඔවුහු කීහ. අප කණ්ඩායම පර්යෙෂණ නොකළ බවත් දෙවියන් කී දෙයක් පමණක් කියන බවත් කීහ. එක් මහාචාර්යවරියක් එහි දී සැපින්නක මෙන් ක්‍රියාකළාය. ඇගේ මහාචාර්ය සැමියා අපට පිස්සු යැයි වෙනත් සරසවියක තම පීඨයේ නවක ශිෂ්‍යයන්ට කීවේ ය. ඉංජිනේරු විද්‍යාවෙන් ද සමාජ විද්‍යාවෙන් ද තුන්වැනි පංතියේ උපාධි ලබා මහා පඬියකු බව පෙන්වීමට තැත්කරන ප්‍රෝඩාකරුවෙක් විද්‍යාභිවර්ධන සංගමය මගින් මට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළේ ය. ජීවිතයට නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩනගා නැති ඊනියා ප්‍රභූ විද්‍යාඥයන්ගෙන් සමන්විත ජාතික විද්‍යා ඇකඩමිය මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේ ය. අප ඊනියා විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කර නැතැයි කීහ. මහාචාර්ය යුවළ අපට විරුද්ධව ඇමතිවරුන්ට ගතු කීහ. ඉච්ඡා බස්වලට පමණක් සවන්දෙන මුග්ධ ඇමතියෝ ඒවා පිළිගත්හ. එක් අමාත්‍යාංශයක් ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ආසනික් නැතැයි කීවේ ය. ආහාර තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයකු යැයි කියන මහාචාර්යවරයෙක් ආසනික් ටිකක් කැවාට වරදක් නැතැයි කීවේ ය. ඔහු නිතරම කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයෙහි පර්යේෂණාගාර පිළිගෙන නොමැති බව ය. එහෙත් ඔහුගේ කසිකබල් පර්යේෂණ කෙරී ඇත්තේ පිළිගත් පර්යේෂණාගාරවල ද යන්නවත් ලංකාවේ පිළිගත් යැයි කියන පර්යේෂණාගාර කොපමණ ඇත් ද යන්නවත් ඔහු නොකියයි. මේ අය සියළු දෙනාට පාහේ සම්මන්ත්‍රණයට පැමිණ ඔවුන්ගේ අදහස් දක්වන ලෙස ආරාධනය කෙරුණ ද ඔවුහු ඒ ප්‍රතික්‍ෂෙප කළහ. මේ අතර අතුරලියේ රතන හිමියන් මලයාසියාවේ පිළිගත් පරික්‍ෂණාගාරයක් ලවා කරන ලද පරීක්‍ෂණවලින් අදාළ නියැදිවල ආසනික් හා වෙනත් බැර ලෝහ ඇති බව පෙනී ගියේ ය. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ද රෝගීන්ගේ ශරීර කොටස්වල ආසනික් අඩංගු බව ප්‍රකාශ කළේ ය. දැනට මාස කිහිපයකට උඩ දී මධ්‍යම දකුණු ඇමරිකාවේ රටවල සහභාගීත්වයෙන් කොස්ටාරිකාවේ පවත්වන ලද සම්මන්ත්‍රණයක දී චන්න ජයසුමන මහතා ආසනික් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අදහස් මහත් පැසසුමට ලක්විය. ඒ රටවල ද උක්වගාවේ යොදාගන්නා කෘෂි රසායන හේතුවෙන් ගොවීන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳී ඇත. කෘෂිරසායන යොදා නොගන්නා කියුබාවේ පමණක් උක්ගොවීන්ට මේ රෝගය නැත. සති දෙකකට පමණ ඉහත දී ඇමරිකන් විද්‍යාඥයන් පිරිසක් පළකළ පත්‍රිකාවක සඳහන් වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගය සමග ආසනික් සම්බන්ධ බව ය. එහෙත් මුළු ලෝකයෙන්ම නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව පළමුවෙන් ම ප්‍රකාශ කළේ කැලණි කණ්ඩායම ය. එහි ගෞරවය වඩාත්ම හිමිවිය යුත්තේ මහාචාර්ය පරණගම මහත්මියට ය. ඇය බොහෝ දිනවල අලුයම තුන හතර පමණ වන තුරු පර්යේෂණ කළේ තම සෞඛ්‍ය තත්වය ගැන ද නොසළකා ය. ඒ සම්බන්ධයෙන් වූ ඇගේ කැපවීමට ජාතික සම්මානයක් හිමිවිය යුතු නමුත් ඇයට ලැබුණේ අපහාස ය. ඇයට හිමිවිය යුතු රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරය අවසානයේ දී පිරිනැමුණේ කුහක ඇදුරන්ගේ බාධා මධ්‍යයෙහි හ. මේ කුහක ඇදුරෝ අද චන්න ජයසුමන මහතාට පශ්චාත් උපාධියක් දීමට එරෙහිව කටයුතු කරති.

ඇතැම් ඇමතිවරු අප කණ්ඩායමේ සාමාජිකයන් ප්‍රීමා සමාගමෙන් මුදල් ගෙන සහල්වල ආසනික් ඇති බව ප්‍රචාරය කරන්නේ යැයි කීහ. අපි මේ ඇමතිවරුන්ට එකක් කියමු. අපට ප්‍රීමා සමාගමෙන් සතපහකවත් මුදලක් ලැබී නැත. එහෙත් මේ සමහරුන්ට කෘෂිරසායන ගෙන්වන සමාගම් සමග සම්බන්ධකම් ඇති බව අපි දනිමු. ආණ්ඩුව වසවිස නැති ආහාර ලබාදිය යුතු ය.