Main Logo

Thursday 28 March 2013

ආසනික් කතාව

මේ සතියේ ද ලබන සතියේ ද අපේ ප්‍රවාද වෙන්වන්නේ ප්‍රවාද නිර්මාණයට හෙවත් කතන්දර ගෙතීමට නො වේ. අප රටට ඉතා වැදගත් වූ රජරට හා තවත් ප්‍රදේශ කිහිපයක පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ගැන සාකච්ඡා කිරීම අද දවසේ අපේ ප්‍රධාන කටයුත්තක් බවට පත් වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැමුන් මහත් බලාපොරොත්තුවෙන් සිටි වාර්තාවක් පසුගිය සතියේ පිටවීම ය. ඒ නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසාන වාර්තාව ය.

අප ඒ වාර්තාව ගැන සුළුවෙන් නමුත් මෙහි දී කතාකරන්නේ බටහිර විද්‍යාවේ විධික්‍රමය, දර්ශනය, චින්තනය ආදිය නොසලකමින් නො වේ. මෙහි දී විධික්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවේ දර්ශනයේ සඳහන් වන විධික්‍රමයක් නො වේ. බටහිර විද්‍යාවට විශේෂිත වූ පර්යේෂණය ඇතුළත් ඊනියා විධික්‍රමයක් ඒ අරුතින් නැත. අප විධික්‍රමය යන්න යොදාගන්නේ ප්‍රත්‍යක්‍ෂය, අනුමානය, උද්ගමනය ආදිය ගැන කතාකිරීමේ දී ය. එමෙන් ම අදාළ දැනුමේ වියුක්තබව, සාධාරණීකරණය ආදිය ද අපි එහි දී සාකච්ඡා කරමු. එවැනි කරුණු සම්බන්ධයෙන් විවිධ දැනුම් පද්ධති අතර වෙනස්කම් වෙයි. එහෙත් බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි අපි නො පිළිගනිමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු අපට වැදගත් වූ සංවිධානයක් නො වේ. එය අවසාන වශයෙන් ගත්කල බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදාගැනෙන තවත් ව්‍යාජ ගාම්භීරත්වයක් සහිත සංවිධානයක් පමණකි. මේ සංවිධානයෙන් මූලික වශයෙන් කෙරෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනෙක් වෛද්‍ය විද්‍යාවන්ගෙන් උසස් කර ඊනියා ජාත්‍යන්තරභාවයක් එයට ලබා දී අනෙක් වෛද්‍ය විද්‍යාවන් ප්‍රාදේශීය භාවයකට හා සීමිත කාල වකවානුවකට යටකිරීම ය. අනෙක් වෛද්‍ය විද්‍යාවන් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට එකඟ නොවන විද්‍යාත්මක විධික්‍රමයක් නැති දැනුම් පද්ධතීන් ය යන හැඟීම ලොව පුරා තහවුරු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වගබලාගනියි. අනෙක් ඊනියා ජාත්‍යන්තර සංවිධාන මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් ලෝකයෙහි තම ආධිත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන තවත් එක් සංවිධානයක් පමණකි.

එවැනි සංවිධානයකට මගේ කිසිදු පිළිගැනීමක් හෝ ගෞරවයක් හෝ නැත. එසේ වුවත් කිසියම් ක්‍ෂෙත්‍රයකින් වුවත් බටහිර දැනුමක් කටගාගත් බොහෝ දෙනාට ලෝක සෞඛ්‍ය සංවිධානය යනු වැදගත් සංවිධානයකි. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් මෙරට බටහිර උගතුන්ගේ පිළිගැනීමට ලක්වෙයි. එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගැන ජනතාවට වාර්තා කිරීමට ඉදිරිපත් වූයේ එකම එක රූපවාහිනි නාළිකාවකි. අනෙක් විද්‍යුත් ජනමාධ්‍ය මෙන් ම මුද්‍රිත මාධ්‍ය ද ඒ වාර්තාව පිළිබඳ නොඇසූ කන් හා නොදුටු ඇස් අතිව සිටියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාව එවා ඇති නමුත් අමාත්‍යාංශය ඒ පිලිබඳ කිසිවක් ස්වේච්ඡාවෙන් කීමට ඉදිරිපත් නො විණි.

රජරට හා අනෙක් පෙදෙස්වල ද පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ කණ්ඩායම් කිහිපයක් ම බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කර තිබිණි. එයට හේතුව කුමක් දැයි ඒ කිසිවකුටවත් කීමට හැකියාවක් නො තිබිණි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි මේ රෝගය නම්කර තිබුණේ හේතුව නොදත් වකුගඩු රෝගය ලෙස ය. එහෙත් විවිධ කණ්ඩායම් රෝගයට හේතුව ලෙස විවිධ රසායන ද්‍රව්‍ය අනුමාන කර තිබිණි.

කැලණි කණ්ඩායම මේ රෝගය පිළිබඳ කරුණු සෙවීමට පෙළඹුණේ මෙවන් පසුබිමක ය. මේ කණ්ඩයමේ විවිධ පුද්ගලයෝ සිටියෝ ය. කිහිප දෙනෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට සෘජුව ම සම්බන්ධ වූහ. දෙවියන් (හෝ භූතයන් හෝ) සමග සන්නිවේදනය කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය. ඇය කවුරුන් සමග සන්නිවේදනය කළ ද ඔවුන් මනුෂ්‍යයන් නොවූ බව නම් පැහැදිලි ය. සේනානායක මහත්මිය ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකට සෘජුව ම සම්බන්ධ නො වී ය. කණ්ඩායමේ සාමාජිකයන් අතර විශ්වවිද්‍යාලයකට සම්බන්ධ නොවූ බටහිර වෛද්‍යවරු සිටිය හ.

එක් බටහිර වෛද්‍යවරයෙක් පමණක් රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. මේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ මා ය. මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි පීඨාධිපති වීම පර්යේෂණවලට විශේෂ අනුග්‍රහයක් විය. එසේ නොවන්නට පර්යේෂණ ආරම්භ කිරීමටවත් නොහැකි වීමට තිබිණි. වෙනත් විශ්වවිද්‍යාලයක අපේ කණ්ඩායමට කිසිම ඉඩක් නො විණි. කණ්ඩායමේ එක් අයකු පමණක් රජරට විශ්වවිද්‍යාලයේ පරිවාස කථිකාචාර්යවරයකු වීම නිසා අපේ කණ්ඩායම රජරට කැලණි කණ්ඩායම ලෙස හැඳින්වීම නිවැරදි නො වේ. අදාළ රජරට කථිකාචාර්යවරයා ද අවසානයේ දී පර්යේෂණයට එකතු වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි වීමෙන් පසුව ය.

කරුණු එසේ තිබිය දී අප කණ්ඩායම රජරට කැලණිය කණ්ඩායම ලෙස හැඳින්වීම කැලණියට ලැබිය යුතු ගෞරවය එයට අහිමි කිරීමකි . පර්යේයෂණය ආරම්භයේ දී ඇතැමුන් රජරට කැලණිය කණ්ඩායම ලෙස අප කණ්ඩායම හැඳින්වීමට උත්සාහ ගත්ත ද පසුව අප කණ්ඩායමට විවිධ පැතිවලින් බැට වදින විට රජරට හැලී ගොස් කැලණිය කණ්ඩායම ලෙස පමණක් අප හැඳින්විණි.

එසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පිටවීමත් සමග නැවතත් රජරට කැලණි කණ්ඩායම යන නමින් අප හැඳින්වීමට ඇතැමුන් කටයුතු කරනු පෙනෙයි. එ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ආසනික් හා රජරට නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ය. අප කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් වරියන්ගෙනගෙන් ලැබුණේ ද ගල්මුල් ය. එහෙත් ඒ සියළු අපහාස, දුක්ඛ දෝමනස්සයන් විඳ දරාගනිමින් මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය උදයකාන්ති වර්ණවීර, ආචාර්ය කිත්සිරි සේනානායක යන මහත්ම මහාත්මීහු පර්යේෂණවල නිරත වූහ. ඒ කිහිප දෙනා හේතුවෙන් හා මේ පර්යේෂණ කෙරුණේ කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල බැවින් අප කණ්ඩායම කැලණි කණ්ඩායම යනුවෙන් හැඳින්වීම නිවැරදි වෙයි.

එසේ වුවත් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන්ගෙන් කුහක බහුතරය තවමත් තමන්ට හැකි ආකාරයෙන් කැලණි කණ්ඩායමට අවහිර කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට ලියා පදිංචි වී අදාළ පර්යේෂණ කළ චන්න ජයසුමන මහතාට උපාධිය දීම වැළැක්වීමට මේ කුහකයෝ දැනට කටයුතු කරති. අවශ්‍ය වුවහොත් එා සියල්ල නමෝ විත්තියෙන් ම කීමට මම සූදානම් ව සිටින්නෙමි. මෙරට විද්‍යාඥයන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන සමස්තයක් ලෙස ගත්කල මට ඇත්තේ පිළිකුළකි. කිසි දිනෙක නව සංකල්පයක් හෝ නව ප්‍රවාදයක් හෝ ඉදිරිපත්කර නොමැති මේ පිරිස බොහෝමයක් අන්‍යයනට අකුල් හෙළන කුහකයෝ වෙති.

අප කණ්ඩායම සාම්ප්‍රදායික බටහිර විද්‍යාඥයන්ගේ කණ්ඩායම්වලින් වෙනස් විය. රජරට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව අප දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන්ගෙනි. ඔවුන්ට අනුව රෝගය පැතිරීම සඳහා කිවුල් ජලය ද, අවශ්‍ය වෙයි. එසේ මනුෂ්‍ය නොවන්නන්ගෙන් දැනුම ලබාගත් අපට අවශ්‍ය වූයේ ඒ දැනුම බටහිර විද්‍යාව අනුව ද සනාථකිරීම ය. එසේ කළේ බටහිර විද්‍යාවේ ඇති ආධිපත්‍යය නිසා හෝ වෙනත් ආනුභාවයක් නිසා හෝ නො වේ. බටහිර විද්‍යාව අනුව ම වක්‍ර ව වුවත් දෙවියන් (හෝ භූතයන්හෝ) සිටින බව පෙන්වීමත් බටහිර විද්‍යාවේ ව්‍යාජ විධික්‍රමය හාස්‍යයට ලක්කිරීමත් කණ්ඩායමේ අන් අයගේ කෙසේ වෙතත් මගේ අරමුණක් විය.

එමෙන් ම මෙරට ආණ්ඩුව ද තීරණ ගැනීමේ දී බලපාන ඉහළ නිලධාරීන් ද ඇතුළු පිරිස බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් බටහිර විද්‍යාව හා එහි දර්ශනය හා ඇතැයි කියන විධික්‍රමය පිළිබඳ මළපතේ අකුරක්වත් නොදන්නා නමුත් බටහිර විද්‍යාව සත්‍ය වූ එකම දැනුම ලෙස සලකති. මොවුන්ගෙන් ඇතැමකු බුදුදහම විශ්වාස කරන්නේ ද එය බටහිර විද්‍යාව සමග එකඟවනනේ ය යන පදනමිනි.

එවැනි ප්‍රාථමික දැනුමක් සහිත වුවත් තීරණ ගැනීමේ දී ඔවුන් බලපාන බැවි්න් ඔවුන් ඉදිරියේ ආසනික් පිළිබඳ දැනුම බහිර විද්‍යාව මගින් ද සනාථ කිරීමේ අවශ්‍යතාව අපට විය. එබැවින් ආසනික් පිලිබඳ පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල දී එහි උපකරණ යොදා ගනිමින් පර්යේෂණ සහායකයන්ගේ ආධාරය ද ලබාගනිමින් ආරම්භ කළෙමු. ඉතා වෙහෙස මහන්සියෙන් කරන ලද පරයේෂණවල ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශවලින් ලබාගත් විවිධ නියැදිවල ආසනික් ඇති බව අපට පැහැදිලි විය.

මෙහි දී කිවයුතු ප්‍රධාන කරුණක් වෙයි. අපට ආසනික් පිළිබඳ දැනුම ලැබුණේ මේ පර්යේඃණවලින් නො වේ. ඒ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් දෙවියන්ගෙන් ය. එහෙත් ඒ ප්‍රාණීන් දෙවියන් ද භූතයන් ද යන්න පිළිබඳ ව ප්‍රශ්න ඇත. අපි ඔවුන් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ලෙස හඳුන්වමු. එහෙත් මේ නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යැයි මම විශ්වාස නොකරමි. එතුමා යම් දිනෙක බුදුබව ප්‍රාර්ථනා කරන්නකු විය හැකි ය.

කෙසේ වෙතත් ප්‍රියන්තා සේනානායක මහත්මියට බටහිර හෝ සිංහල හෝ වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දැනුමක් නො තිබිණි. ඇය බටහිර සත්ත්ව විද්‍යාව හදාරා ඇති නමුත් බටහිර රසායනික විද්‍යාව පිළිබඳ විශේෂිත දැනුමක් ඇති තැනැත්තියක් නො වූවා ය. එබැවින් කිවුල් ජලයේ ලවණ තුළ ආසනික් සැඟවී සිටින ආකාරය ගැන කීමට හෝ නිදන්ගත වකුගඩු රෝගයට හේතු ආසනික්, කිවුල් ජලය හා කුඹුරු පස යැයි කීමට තරම් දැනුමක් ඇය තම ආකෘතික හෝ අනාකෘතික හෝ අධ්‍යාපනයෙන් ලබා නො තිබිණි.

එබැවින් ඒ කරුණු සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ඇය ලත් දැනුමකි. මේ අපේ සංස්කෘතියේ මෙන් ම වෙනත් පැරණි සංස්කෘතීන්හි ද දැනුම ලබාගත් ක්‍රමයක් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය තමන්ගේ හෝ තමන්ගේ ගෞරවයට විශ්වාසයට පාත්‍රවන අයගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම මත පදනම් වෙයි. නාථ හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම පිලිබඳ මට අවිශ්වාසයක් නැත. ඔවුන්ගේ දැනුම මත පදනම් වී මා සුවපත් වූ අවස්ථා කිහිපයක් වෙයි.

අපි සාම්ප්‍රාදියක ව්‍යාජ විද්‍යාඥයන්ගෙන් අපේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී ද වෙනස් වූයෙමු. සාම්ප්‍රාදායික ක්‍රමය අනුව ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ ඊනියා පර්යේෂණ පත්‍රිකා මගිනි. එහෙත් අපි එසේ නො කළෙමු. අපි කෙලින් ම ප්‍රතිඵල ජනතාවට හා ආණ්ඩුවට දැනගැනීමට සැලැස්වූයෙමු. එයට ප්‍රධාන හේතුව වූයේ වකුගඩු රෝගය හේතුවෙන් විශාල පිරිසක් මිය යෑම ය. ඔවුන්ට ඉක්මන් සුවයක් ලබාදිය යුතුව තිබිණි. ඊනියා පත්‍රිකා ඔස්සේ දැනුම ලබාදීමට කාලයක් ගත වෙයි. අනෙක් අතට ඒ පත්‍රිකා මගින් දැනුම ලබාදුන්න ද එහි සත්‍යාසත්‍යභාවය ඉන් තහචුරු නොවෙයි. නේචර් සයන්ස් ආදී ප්‍රධාන සඟරාවල ද පළවන පත්‍රිකාවල අන්තර්ගත දැනුමෙන් ද ඉතා විශාල ප්‍රමාණයක් වැරදි බව පසුව හෙළි වෙයි. ඒ වෙනත් විද්‍යාඥයන් ද ඒ පත්‍රිකා සමාලෝචනය කිරීමෙන් පසුව ය. (මතු සම්බන්ධයි)