Main Logo

Showing posts with label ආධ්‍යාත්මික. Show all posts
Showing posts with label ආධ්‍යාත්මික. Show all posts

Wednesday, 24 July 2013

බටහිර විද්‍යාව හා අදෘශ්‍යමානය

බටහිර විද්‍යාව ප්‍රවාද නිර්මාණය මත රුඳෙයි. එහි ප්‍රවාද හෙවත් කතන්දර වෙනත් කතන්දරවලින් ප්‍රතික්‍ෂෙප වෙයි. මේ කතන්දර වියුක්ත ය. ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වේ. පොතක පතක තිබුණත් ගුරුවරුන් කීවත් පට්ටපල් බොරු වූ මේ කතන්දර එක් කාලයක දී බටහිරයන් විසින් ද ඔවුන් අනුකරණය කරන අනෙක් අය විසින් ද පිළිගැනෙයි. එහෙත් පසුව ඔවුන් විසින් ම ඒ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එය හා කාළාම සූත්‍රයෙහි දැක්වෙන ආකල්පය අතර කිසිම සමානත්වයක් නැත. ඒ ගැන තවදුරටත් කතාකිරීමට පෙර බටහිර විද්‍යාවේ ප්‍රවාද, අපේ ප්‍රවාද හා අපේ දැනුම් නිර්මාණය පිලිබඳ යමක් කිව යුතුව ඇත.  

අපේ ප්‍රවාද ලිපි පෙළ ලියන්නේ කරුණු දෙකක් හේතුකොටගෙන ය. පළමුවෙන් ම ප්‍රවාද යනු කවරේ දැයි පාඨකයනට දැනගැනීමට සැලැස්වීමට ය. දෙවනුව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට අඩුම තරමෙන් අනාගත පරම්පරාවවත් උනන්දු කිරීමට ය. එහෙත් ඒ කරුණු දෙකින් එකක්වත් ස්ථිතිකව පවත්නා දේ නො වේ. ඒ කරුණු දෙක ද නිරන්තරයෙන් වෙනස් වෙයි. මෙහි පහත සඳහන් වන්නේ අප ඒ පිලිබඳ ව අද දරණ මතය ය. එය කලින් දැරූ මතයේ වර්ධනයක් පමණකි. මෙහි දී මතක තබාගත යුත්තක් නම් එය වර්ධනය වන්නේ එක් දිශාවකට බව ය. වරක් එක් දිශාවකටත් තවත් විරුද්ධ එයට ප්‍රතිවිරුද්ධ  දිශාවකටත් වර්ධනය වනු මෙහි දක්නට නො ලැබෙයි. වර්ධනය සිදුවන්නේ නිශ්චිත තේමාවක ය. 

ප්‍රවාද යනු බටහිර වියුක්ත දැනුම් ය.වියුක්ත ප්‍රවාද හෙවත් වියුක්ත කතන්දර ගෙතීම ලෝකයාට කියා දුන්නේ ගැලීලියෝ ය. ඔහු එය එකල දකුණු යුරෝපයේ යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙමින් සිදු කළේ ය. එයට පෙර වෛදික බමුණෝ ද ප්‍රවාද ගොතා තිබුණහ. එහෙත් ඒ ප්‍රවාද බටහිරයන්ගේ ප්‍රවාද තරමට වියුක්ත නො වී ය. ඒ ඉතා වැඩි වශයෙන් සංයුක්ත ප්‍රවාද හෙවත් කතන්දර විය. 

අද ලෝකයේ දැනුම් ආධිපත්‍යය බටහිරයන් සතු ය. අපට ඔවුන්ගෙන් නිදහස් වීමට නම් අපේ දැනුම් පද්ධතියක් තිබිය යුතු ය. එමෙන් ම අපට ඔවුන්ගේ දැනුම් පද්ධතිය, විශේෂයෙන් ම සමාජයීය විද්‍යාවන්හි දී සුණු විසුණු කර දැමීමට හැකිවිය යුතු ය.  බටහිර සමාජයීය විද්‍යාවන් යනූ බටහිර භෞතීය විද්‍යාවන් පිටුපස නොන්ඩි ගසමින යන දැනුම් පද්ධතියක් පමණකි. එයින් විශේෂයෙන් ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව,  මානව විද්‍යාව යොදා ගැනෙන්නේ අප වැනි රටවල් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ය. සාහිත්‍යය ආදී මානව ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙන විෂයවල ද මේ කාර්යය සිදුවෙයි.

බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු පට්ටපල් බොරු බව අපි දැන් දනිමු. කලකට පෙර අපට මේ දැනුම නො තිබිණි. කෙසේ වෙතත් බටහිර විද්‍යාව අනුව යමින් අපේ ප්‍රවාද නිර්මාණයකර බටහිර දැනුමේ ප්‍රවාද පරාජය කිරීම එකල අපේ වෑයම විය. අප එකල කළේ සිංහල බෞද්ධ චින්තනයෙහි යම් ආකාරයක වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිංහලයන් උනන්දු කරවීම ය. එහෙත් එහි යම් ගැටළුවක් විය. සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්තය ඇත්තේ ඉතා අඩුවෙනි. එය නැත්තේ නැති තරම් ය. 

මෙරට හරිහමන් බටහිර විද්‍යාඥයකු හෝ බටහිර ගණිතඥයකු බිහි වී නැත්තේ එබැවිනි. අප බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇති පරිදි බටහිර විද්‍යාව හෝ බටහිර ගණිතය ඉගෙනීම එතරම් ප්‍රශ්නයක් නො වේ. එසේ ඉගෙනගත් අය, ඇතැම් විට උපාධි පරීක්‍ෂණයේ එතරම් උසස් සාමාර්ථයක් නැතිව වුව ද ජනප්‍රිය පොතපත කියවා වියුක්ත බටහිර ගණිතය ගැන හෝ වියුක්ත බටහිර විද්‍යාව ගැන හෝ යම් අවබෝධයක් ලබාගෙන ඇති අය වියුක්තය වෙනුවෙන් කියති. ලියති. එහෙත් ඔවුන්ට බටහිර වියුක්ත විද්‍යාවේ හෝ බටහිර ගණිතයේ හෝ වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට තබා බොහෝ අයට මෙන් නොව උපාධි පරීක්‍ෂණයෙහි දී උසස් පංති සාමාර්ථයක් ලබාගැනීමටවත් නො හැකි ය. 

වියුක්ත ප්‍රවාද නිර්මාණය කරමින් දැනුම එකතු කිරීම අපේ ක්‍රමයක් නො වේ. අපට එසේ කිරීමට සිදුවූයේ අප පෙළන බටහිර ප්‍රවාද පරාජය කිරීමට කලකට පෙර අපට වෙනත් ක්‍රමයක් නොතිබූ බැවිනි. සුළුවෙන් අනුගමනය කළ හැකි මේ ක්‍රමය එතරම් සාර්ථක නොවන බව පැහැදිලි ය. එහෙත් ජීවිතයේ වියුක්ත ප්‍රවාදයක් සංකල්පයක් ගොඩනගනු තබා උසස් පෙළ පරීක්‍ෂණයවත් හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරති. ඔවුන්ට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇති බවක්වත් නො හැඟෙයි.

මා මෙහි දී උසස් පෙළ හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය ගැන සඳහන් කරන්නේ ඔවුන්ට කරන අගෞරවයක් ලෙස නො වේ. බටහිර වියුක්ත අධ්‍යාපනයට අප වැඩි වශයෙන් යොමු කෙරෙන්නේ උසස් පෙළ පංතියේ දී ය. කිනම් විෂයකින් වුවත් උසස් පෙළ පංතියේ දී ලබා දෙන අධ්‍යාපනය තරමක් වියුක්ත ය. උසස් පෙළ පරීක්‍ෂණයෙන් සමත්වීමට තරමකට වියුක්ත ව සිතීමේ හැකියාවක් තිබිය යුතු ය. ඒ හැකියාව නොමැතිව වුව ද කටපාඩම් කිරීමෙන් (ස්මරණ ශක්තියේ ආධාරයෙන්) උසස් පෙළ සමත්වන්නෝ ද සිටිති. සාධාරණ වශයෙන් උසස් පෙළ පරීක්‍ෂණය අසමත්වන්නේ බොහො විට වියුක්ත ව සිතීමට එතරම් හැකියාවක් නැති අය ය.  (සෑම විෂයයකින් ම එකම මට්ටමේ වියුක්ත ව සිතීමේ හැකියාවක් අපේක්‍ෂා කරන්නේ යැයි නොසිතිය යුතු ය. සාහිත්‍යයට වඩා ගණිතයේ දී වියුක්ත ව සිතීමේ වැඩි හැකියාවක් අවශ්‍ය වෙයි)   

අපට කලකට පෙර පැහැදිලි වූයේ මෙරට දැනුම නිර්මාණය කිරීම ආධ්‍යාත්මික ව සිදු වී ඇති බව ය. සෘජු ව හෝ වක්‍ර ව හෝ ආධ්‍යත්මික ව දැනුම නිර්මාණය කිරීම සිංහල බෞද්ධ චින්තනයට එකඟ වෙයි. අද අපි එතරම් නුහුරු වුව ද තරමක පරස්පරයක් වුව ද සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන අතර ම හැකියාවක් ඇති පුද්ගලයන් මගින් ආධ්‍යාත්මික ව ද දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. එයට ඇතැම්හු විරුද්ධ වෙති. එසේ වන්නේ අදෘශ්‍යමාන බලවේග ගැන ඔවුන්ට විශ්වාසයක් නොමැති බැවිනි. 

ඒ අවිශ්වාසය ගැන අපට එතරම් ප්‍රශ්නයක් නැත. තම පංචෙන්ද්‍රියට ගෝචරවන ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නිර්මාණය කරගැනීමට නොහැකි යැයි ඔවුහු සිතති. මෙය තරම් මෝඩකමක්, උද්ධච්ඡකමක් තවත් නැත. ඇතැම් සතුනට ගෝචරවන බොහෝමයක් දේ අපට ගෝචර නො වේ. අපේ ලෝක නිර්මාණය වන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතිය මත පදනම් වෙමිනි. එහෙත් නිර්මාණය කළ හැක්කේ ඒ ලෝක පමණක් ය යන්න මානව කේන්ද්‍රීය උද්ධච්ඡකමක් මිස වෙනත් දෙයක් නො වේ. අපට දැන් තිබෙන ඉන්ද්‍රිය පහ වෙනුවට හෝ එයින් කිහිපයක් සමග හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප නිර්මාණය කරන ලෝකය කෙබඳු විය හැකි ද?

බල්ලන්ගේ හෝ පක්‍ෂීන්ගේ හෝ වෙනත් සතුන්ගේ හෝ ලෝක ගැන අපට කිව හැක්කේ කුමක් ද? අප ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් නැත යනුවෙන් තීරණය කරන්නේ සියල්ලන් ම අප දකින අයුරින් ලෝක නිර්මාණය කළ යුතු බවත් අපේ ලෝක හැරෙන්නට වෙනත් ලෝක නැති බවත් නිගමනය කරමිනි. මෙය බටහිරයන්ගේ ආකල්පයකි. ඔවුහු අප වැනි බටහිර නොවන මිනිසුන්ට ද වෙනත් සතුන්ට ද ඔවුන්ගේ ලෝක පමණක් නිර්මාණය කිරීමට කියති. අපි ද ඔවුන් අනුකරණය කරමින් පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ලෝක නැතැයි කියමු.

එවැනි නිගමනයක් අසාධාරණවනවා පමණක් නොව අධිපතිවාදී ද වෙයි. බටහිරයෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පමණක් ඇතැයි සිතති. අපට නොඇසෙන ඇතැම් ශබ්ද, එනම් ඔවුන් කියන ආකාරයට ඇතැම් තරංග ආයාමවලින් යුත් ශබ්ද වෙනත් සතුනට ඇසෙන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ඔවුන්ගේ, එනම් බටහිර විද්‍යාඥයන්ගේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිර විද්‍යාඥයන්ට දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද? එය කණෙන් අසාගත නොහැකි බව පැහැදිලි ය. මනස ඉන්ද්‍රියයක් ලෙස නොසලකන බටහිර විද්‍යාඥයන්ට බල්ලන්ට ඇසෙන ඇතැම් ශබ්ද අපට නොඇසී ද, එවැනි ශබ්ද ඇතැයි අප දැනගන්නේ මනස ආධාරයෙන් යැයි කිවහැකි නො වේ. 

අපට නොඇසෙන ඇතැම් ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යැයි බටහිර විද්‍යාඥයන් කියන්නේ පංචෙන්ද්‍රියන්ට ගෝචර අත්දැකීමක් ලෙස නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් වනුයේ බල්ලන්ගේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් පමණකි. අපට අමුතු යමක් ගෝචර නොවද්දී බල්ලන් කන් කෙලින් කරමින්, බුරමින් ආදී වශයෙන් විවිධ ප්‍රතිචාර දක්වනු අප දැක ඇත, අසා ඇත. බල්ලන්ගේ ඒ ප්‍රතිචාර නම් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වෙයි. දැන් අප මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගන්නේ කෙසේ ද? 

බටහිරයෝ සුපුරුදු පරිදි එයට කතන්දරයක් හදති. ශබ්ද තරංග, ආයාම දිග, ඒ ඒ සතුනට ඇසෙන ආයාම දිග සහිත ශබිද ආදී වශයෙන් මේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ගෝචර නොවන වියුක්ත කතන්දරය දිග හැරෙයි. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිරයන් නිගමනය කරන්නේ ඒ කතන්දරය අනුව ය. එය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් තේරුම් ගැනීම සඳහා නිර්මාණය කරන ලද ඉන්ද්‍රිය ගෝචර නොවන කතන්දරයකි. බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් අනුකරණය කරන්නන්ට මේ ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර විශ්වාස කිරීම කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් මේ කතන්දර අදෘශ්‍යමාන ය. එසේ අදෘශ්‍යමාන බලවේග ගැන විශ්වාසය තබමින් ම බටහිර විද්‍යාඥයෝ හා ඔවුන් අනුකරණය කරන මෙරට පුස්සෝ අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන බව කියති. 

ඔවුන් විශ්වාස කරන අදෘශ්‍යමාන, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බලයක් වූ ඊනියා ගුරුත්වාකර්ෂණ බලය  පිළිබඳ අපි සඳහන්කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය වැනි කිසිවකු කිසි දිනෙක දැක නැති, අසා නැති, ස්පර්ශකර නැති, රස බලා නැති, ගඳ සුවඳ බලා නැති, පට්ටපල් බොරුවක් විශ්වාස කරන බොහෝ බටහිර විද්‍යාඥයෝ හා ඔවුන්ගේ නිවට අනුකාරකයෝ දෙවියන් අද්‍යශ්‍යමාන යැයි ද ඒ විශ්වාස නොකළ හැකි යැයි ද කියති. අඩුම තරමෙන් මෙරට යම් පිරිසක් දෙවියන් භූතයන් ආදී ප්‍රාණීන් දැක තිබියදීත් ඔවුහු ඒ විශ්වාස නො කරති. පඬියන් එහි දී තම පඬි වදන් යුක්තයුක්ත කරන්නේ එසේ ඇතැමුන් දෙවියන් භූතයන් ආදීන් දැකීම මානසික භ්‍රාන්තියක් නිසා සිදුවන බව කියමිනි.


කිසිවකු කිසදා දැක නැති ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ මානසික භ්‍රාන්තියක් යැයි කිවහොත් පඬියන් උරණ වනු ඇත. එහෙත් එය, එනම් ගුරුත්වාකර්ෂණය කිසි දිනෙක නිවුටන්ගේවත් පංචෙන්ද්‍රියට ගෝචර වී නැත. මා දන්නා තරමින් ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරායවරයකුට පමණ ය. එහෙත් ඔහු ද ඔහු සතු ඒ සුවිශේෂ අවයවය අන් අයට නො පෙන්වයි. ඔහුට ඇත්තේ නිවුටන්ගේ මානසික භ්‍රාන්තිය නොවූවත් ඔහුට ද යම් භ්‍රාන්තියක් ඇති බව පැහැදිලි ය.   


නලින් ද සිල්වා

2013-07-24

Wednesday, 12 June 2013

දැනුම අවශෝෂණය කිරීම

අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය බටහිර විද්‍යාවේ දැනුම ලබාගැනීමේ ක්‍රමයට හාත්පසින් වෙනස් ය. බටහිර විද්‍යාව උද්ගමනය හා කතන්දර ගෙතීම තම විධික්‍රමය ලෙස සලකයි. බටහිර විද්‍යාවේ දර්ශනයෙහි සාමාන්‍යයෙන් දැනට සඳහන්වන, එනම් බටහිර විද්‍යාඥයන් වැඩිදෙනා පිලිගන්නා, අදහස කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාගේ ඊනියා අසත්‍යකරණ ප්‍රවාදය මත පදනම් වෙයි. පොපර්ට අනුව බටහිර විද්‍යාවේ දැනුම අසත්‍යකරණයට ලක්කළ හැකි ය. එහෙත් ලෝකයේ තිබූ හෝ තිබෙන හෝ අනෙක් දැනුම් පද්ධතීන් එසේ අසත්‍යකරණයට ලක්කළ නො හැකි ය. ඒ අනෙක් දැනුම් මිථ්‍යා ලෙස සැලකීමට බටහිරයන් යොමු වී ඇත. එහෙත් මේ මිථ්‍යා යැයි කියැවෙන දැනුම් ඊනියා විද්‍යාවට වඩා ලොවට හිතකර බවත් සංගත බවත් පෙනී යයි.

බටහිර විද්‍යාව පළමුවෙන් නිරීක්‍ෂණ කරන බව කියයි. මේ නිරීක්‍ෂණ, හුදු නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, එසේත් නැත්නම් සම්පරීක්‍ෂණ විය හැකි ය. ඒ කුමක් වුවත් යම්කිසි ගහණයක් සම්බන්ධයෙන් යම් ගුණයක් පූර්ණ වශයෙන් නිරීක්‍ෂණ කිරීමේ හැකියාවක් බටහිර විද්‍යාඥයන්ට නොමැත. එබැවින් ඔවුහු තම නිරීක්‍ෂණ යම් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයකට පමණක් සීමා කරති. ප්‍රායෝගික ව ගත්කල මුළු ගහණයෙහි ම අදාළ ගුණය නිරීක්‍ෂණ කිරීමට බටහිර විද්‍යාඥයන්ට පරම්පරා ගණනාවක දී වුවත් සිදුකළ නො හැකි ය.

මේ හේතුවෙන් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයක් මුළු ගහණයට ම පොදු යැයි උද්ගමනය කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.   එම උද්ගමනය යුක්තියුක්ත කිරීම උදෙසා ඔවුහු ඊනියා සංඛ්‍යානාත්මක ක්‍රම උපයෝගී කර ගනිති. අසවල් පරීක්‍ෂාව සිදුකිරීමෙන් තම උද්ගමනය යම් සම්භාවිතාවක් ඇතුළත නිවැරදි යැයි කීමට ඔවුහු පුහුණුු කෙරෙති. එහෙත් එය උද්ගමනයක් පමණක් බව අපට අමතක කළ නො හැකි ය. මේ බව වසන්කිරීමට මෙන් යම් ගහණයකින් නියැදි තෝරාගැනීම පිළිබඳ ඊනියා විද්‍යාත්මක ක්‍රම ගැන සඳහන්කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.

උද්ගමනය සාධාරණීකරණයක් බැවින් එහි ප්‍රතිඵලය වියුක්ත වෙයි. සමස්ත ගහණය සඳහා ම අදාළ නිරීක්‍ෂණ කළ හැක්කේ උසස් ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තකුට ය. පෘථග්ජන විද්‍යාඥයකුට කෙතරම් බුද්ධිමත් වුවත් ගහණය සඳහා ම නිරීක්‍ෂණ කළ නො හැකි ය. එබැවින් බටහිර විද්‍යාවේ උද්ගමනය ද තවත් වියුක්ත කතන්දරයක් පමණ ය. කෙසේ වෙතත් උද්ගමනයක් කිරීමෙන් පසුව අදාළ නිරීක්‍ෂණය තේරුම් ගැනීමට බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය වෙයි. මෙහි දී බටහිර විද්‍යාඥයන් ඒ ඊනියා තේරුම් ගැනීම කරනුයේ වියුක්ත කතන්දර ගෙතීමෙනි.

බටහිර විද්‍යාවේ වියුක්ත කතන්දර ගෙතීම ඇරඹුණේ කොපර්නිකස් හා ගැලීලියෝගෙන් පසුව ය. එය ශක්තිමත් ක්‍රමයක් බවට පත්කෙරුණේ නිවුටන් අතිනි. පොළොව ඉර වටා යෑම අපේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වේ. ලංකාවේ කිසිවකු තම දෑසින් පොළොව ඉර වටා යන බව නිරීක්‍ෂණය කර නැත. අඩුම තරමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බවවත් ලංකාවේ කිසිවකු විසින් නිරීක්‍ෂණය කෙරී ඇතැයි නො සිතමි. ඒ සියල්ල අප විශ්වාස කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබගත් දැනුමක් නිසා නොව අපට හා අපේ ගුරුවරුන්ට ද වැඩිහිටියන්ට ද බටහිරයන් සෘජුව හෝ වක්‍රව හෝ කියා දී ඇති බැවිනි.

කොපර්නිකස්ට පෙර භාරතයේ ජීවත් වූවෝ පොළොව ඉර වටා ගමන්කරන බව දැනසිටියෝ ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂයක් විය. ඒ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ලබාගත්තකි. භාවනාවෙන් යෝගී අභ්‍යාසවලින් ආදී වශයෙන් මේ රටවල සිටි පඬිවරුන්ට ඒ දැනුම ලබාගත හැකි විය. එහෙත් මේ දැනුම පළමුව නැගෙනහිර යුරෝපයටත්, දෙවැනුව දකුනු යුරෝපයටත් ගිය විට එහි වැසියන්ට (බුද්ධිමතුන්ට) එය ආධ්‍යාත්මික ව ලබාගැනීමට නොහැකි විය.  ඔවුන්ට එය මනසෙන් ග්‍රහණය කරගත හැක්කක් නො විය. ඔවුන්ට එය වියුක්ත කතන්දරයක් පමණක් විය. ඒ කතන්දරය ඔවුන්ට සුර්යග්‍රහණ ඇතුළු ග්‍රහණ ආදිය තේරුම් ගැනීමට යොදාගත හැකි විය.

මෙය එක් සංස්කෘතියක ඇති දැනුමක් තවත් සංස්කෘතියකට අවශෝෂණය කෙරෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමේ දී ද වැදගත් වෙයි. පොළොව සූර්යයා වටා යන්නේ ය යන දැනුම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමක් විය. එය ඇතැම් පඬිවරුන්ට ප්‍රත්‍යක්‍ෂ දැනුමක් විය. ඒ සංස්කෘතියේ විඤ්ඤූන් වූ එම පඬිවරුන්ගෙන් ලබාගත් දැනුම අනෙක් අයට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වුවත් විඤ්ඤූන්ගෙන් ලබගත් විශ්වාස කටයුතු දැනුමක් විය.

එහෙත් බටහිර පඬිවරුන් ඒ දැනුම ලබගත්තේ වියුක්ත කතන්දරයක් ලෙස ය. බටහිර සංස්කෘතියෙහි ඒ දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි පඬිවරු නො සිටියහ. එහෙත් එම සංස්කෘතියෙහි භාරතයෙහි තිබුණාට වඩා වියුක්ත චින්තනයක් විය. බටහිර පඬිවරු භාරතීයයන්ගේ ආධ්‍යාත්මික දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගත්තේ තම සංස්කෘතියට සාපේක්‍ෂව වියුක්ත දැනුමක් ලෙස ය. ඔවුන්ට එය උද්ගමනයක් ද විය. පොළොව ඉර වටා යෑම සියළු කාලයට ම නිරීක්‍ෂණය කළ නොහැකි වත ඔවුහු පරිමිත නිරීක්‍ෂණ යම් ප්‍රමාණයක් සියළු කාලයට ම සාධාරණ වූ දැනුමක් බවට පත්කර ගත්හ.       

අද අපි බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූ බටහිර විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට අනුකරණය කරන්නෙමු. ඒ අනුකරණය හේතුවෙන් මෙරට බිහිවන්නේ අනුකාරක බටහිර විද්‍යාඥයන් පිරිසක් පමණකි. ඔවුන්ට ආචාර්ය උපාධියක් ලබාගත හැකි වුවත් විද්‍යාවේ මධ්‍යයෙහි දැනුම නිර්මාණය කළ නො හැකි ය. මෙරටින් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි නොවන්නේ එබැවිනි. වියුක්ත චින්තනයක් නොමැති අපේ සංස්කෘතියෙහි බටහිර විද්‍යාව ජනප්‍රිය කළ නො හැකි ය. එය ඉතා සුළුවෙන් වියුක්ත ව සිතිය හැකි පඬියන් කිහිප දෙනකු හා බටහිර දැනුමෙන් සිහි විකල්කර ගෙන ඇති අනුකාරකයන් කිහිප දෙනකු අතර පමණක් ජනප්‍රිය වෙයි.

එහෙත් බුදුදහම එසේ නො වේ. සිදුහත් කුමරු කොහේ උපන්නත් එතුමා ඉප දී ඇත්තේ වෛදික සමාජයක නො වේ. වෛදික සමාජයක උපත ලැබුවේ නම් බමුණන්ගේ තරමක වියුක්ත දැනුමෙහි හා විශ්ලේෂණයෙහි කොටු වී එතුමාට බුද්ධත්වය ලබාගැනීමට නොහැකි වනු ඇත. සිදුහත් කුමරු ඉපදීමට පෙර පස්මහ බැලුම් බලා ඇත්තේ බුදුවීමට සුදසු සංස්කෘතියක උපත ලැබීමට ය. සිදුහත් කුමරු ඇස්කිමෝවරයකු ලෙස උපත ලැබීනම් බුදුවීමට නොහැකි වනු ඇත.

මහින්දාගමනයට පෙර මෙරට හෙළ බෞද්ධයන් සිටි බව අපි කීවෙමු. මේ අයට බෞද්ධයන් වීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියෙහි බුදුදහම බිහිවුවත් නැතත් එම සංස්කෘතිය බුදුදහමට තෝතැන්නක් වූ බැවිනි. මහින්දාගමනයෙන් පසුව හෙළ බෞද්ධ චින්තනයෙහි වෙනසක් සිදු වී නැත. සිදුව ඇත්තේ ක්‍රමයෙන් හෙළ බෞද්ධයන් සිංහල බෞද්ධයන් බවට පත්වීම ය. මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්නවලට කිසිදු ආයාසයකින් තොරව පිලිතුරු දීමට දේවානම්පිය තිස්ස රජුට හැකිවීීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට සංස්කෘතිය මහින්දාගමනයට පෙර සිට ම බුදුදහම පිලිගැනීමට සූදානමින් සිටි බව ය.

බුදුදහම මෙරට ප්‍රචලිත වීමටත් ජනප්‍රියවීමටත් හේතුව රාජ්‍ය අනුග්‍රහයවත් වෙනත් කරුණක්වත් නොව මෙරට සංස්කෘතිය, එනම් හෙළයන්ගේ සංස්කෘතිය බුදුදහමෙහි පදනම් සංස්කෘතිය ම හෝ එයට ඉතාමත් සමීප සංස්කෘතියක් වීම ය. රාජ්‍ය අනුග්‍රහ සහිත ව වුවත් බටහිර විද්‍යාව මෙරට ජනප්‍රිය නොවන්නේත් මුල්බැස නොගන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර විද්‍යාව නිර්මාණය වන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඉතා දුරස්ථව පිහිටි නිසා ය.

භාරතයෙන් බුදුදහම නැතිවී යැමට මුස්ලිම් ආක්‍රමණය ආදිය හේතු වී ඇති නමුත් වෛදික සංස්කෘතිය බුදුදහමේ සංස්කෘතියට ආගන්තුක වීම වඩා වැදගත් හේතුව වී යැයි සිතිය හැකි ය. මුස්ලිම් ආක්‍රමණය හේතුවෙන් වෛදික සංස්කෘතිය හා හින්දු ආගම නැති නො වී ය. මුස්ලිම් ආක්‍රමණයට වෛදික සංස්කෘතිය හා හින්දු ආගම අතුගා දැමීමට නොහැකි විය. එයට හේතුව භාරතය යනු වෛදික සංස්කෘතියෙහි නිජභූමිය වීම ය. එහෙත් මුස්ලිම් ආක්‍රමණයට බුදුදහම භාරතයෙන් පහසුවෙන් ම අතුගා දැමීමට හැකි විය.

හින්දු ආගම භාරතයේ කෙතරම් මුල්බැසගෙන තිබේ ද යන්න සික් ආගමෙන් පැහැදිලි වෙයි. සික් ආගම යනු අන් කිසිවක් නොව ඉස්ලාම් ආගම වෛදික සංස්කෘතිය තුළට ගැනීමේ ප්‍රතිඵලයකි. අඩු තරමෙන් භාරතයේ එක් ප්‍රදේශයක ඉස්ලාම් ආගම තම සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට වෛදිකයන්ට හැකි විය. එහෙත් බුදුදහම භාරතයෙන් අතුගෑවී ගියේ ය. මුස්ලිම් ආක්‍රමණය එසේ අතුගෑවී යෑමට හේතුවක් වී ඇති නමුත් එය එකම හේතුව ලෙස සැලකිය නො හැකි ය. බෞද්ධ සංස්කෘතිය වෛදික භාරතයට ආගන්තුක විය.

මුස්ලිම් සංස්කෘතිය ද යම් ප්‍රමාණයකට භාරතයේ මුල් බැස ගෙන ඇත. අප සිතන තරම් මුස්ලිම් සංස්කෘතිය භාරතීය වෛදික සංස්කෘතියෙන් ඈත් නො වේ. සංස්කෘති දෙකෙහි ම ලෝක නිර්මාණයක් හා නිර්මාපකයෝ වෙති. සංස්කෘති දෙකම ආත්මවාදී වෙයි. ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද ඒ දැකිය හැකි නමුත් සමස්තය දක්නට නැත. ඇතැම් විට සාමූහිකත්වය අගයන කතෝලික සංස්කෘතිය භාරතයේ ද මුල් බැස ගැනීමට තිබිණි.

එහෙත් බුදුදහම ලෝක නිර්මාණයක් ප්‍රතික්‍ෂෙප කරයි. එහි නිර්මාපකයකු නැත. විශ්ලේෂණයක් ද කිඳා බැස නැත. තුන්වැනි සංගායනාවෙන් පසු විශ්ලේෂණයක් (විභජ්ජවාදයක්) එකතු වුණ ද එය එතරම් ජනතාව අතරට නො ගියේ ය. තුන්වැනි සංගායනාවේ විභජ්ජවාදයට එරෙහි ව ක්‍රියාකර ඒ පරාජය කිරීමට වෛදික බමුණෝ වැඩිකල් නොගොස් ම සමත්වූහ. බුදුදහම භාරතයේ ප්‍රචලිත වූයේ ධර්මාශෝක රජු දවස හා ඉන් පසුව ටික කලකට ය. අශෝක රජුට පෙර භාරතයේ කිසිම පෙදෙසක බුදුදහම මුල් බැසගෙන තිබූ බවක් කිව නො හැකි ය.

අශෝක සමයේ හා ඉන් පසුව භාරතයේ බුදුදහම පැතිර ගියේ රාජ්‍යානුග්‍රහයෙන් බව පැහැදිලි ය. එමෙන් ම පසු කලෙක මහායාන බුදුදහම පැතිරීමට ද රාජ්‍යානුග්‍රහය හේතු විය. රාජ්‍යානුග්‍රහය නැති වූ විට බුදුදහමට හා බෞද්ධ සංස්කෘතියට භාරතයේ වැදගත් තැනක් හිමි නොවූ බව කිව හැකි ය. මෙය ඉතා වැදගත් කරුණක් වෙයි. එහෙත් ලංකාවේ බුදුදහම ප්‍රචලිත වූයේ රාජ්‍යානුග්‍රහයක් නොමැතිව ය. බුදුදුහම මෙරට සංස්කෘතිය, එනම් හෙළ සංස්කෘතිය සමග ගහට පොත්ත මෙන් බැඳිණි. පසු කලෙක අග්නිදිග ආසියාවට බුදුදහම පැතිරී ගියේ ද ලංකාවෙනි. ආගමකින් සංස්කෘතියක් වෙනස් කළ හැකි ය. එහෙත් ආගමක් බිහිවන්නේ ම එයට අදාළ සංස්කෘතියක ය.

2013-06-12


නලින් ද සිල්වා

Saturday, 10 September 2011

ආධානග්‍රාහී අයින්ස්ටයින්

බටහිර විද්‍යාවේ ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාරතොටේ හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ නොව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නොකියැවෙනවා පමණක් නොව ජනතාවට වැරදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසමින් ඒ පාරතොටේ හමුවන ඕනෑම අයකුට වුව ද කළහැකි පරීක්‍ෂණ ලෙස ඒත්තුගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්තරා තක්කඩි අදහසකින් යැයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හැඳිනගැනීමට සැලැස්වූ කල අනෙක් දැනුමි පද්ධතියක් ද ඕනෑම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක් පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වා ගෙන යෑම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක් වේ. බටහිරයන් අනෙක් අයගෙන් ඉල්ලන්නේ තමන් ද නොරකින ප්‍රතිපත්තියක් රැකීමට ය. පාරතොටේ හමුවන ඕනෑම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් ලත් අයකුටවත් ගිබ්ස් බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක් කළ නො හැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්ඩායමක් සමග එකතු විය යුතු ය. එවැනි කණ්ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක් මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවීම ය. තමන්ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්ඩායමක් ඇතිකර ගැනීමට හැකියාවක් හා උනන්දුවක් ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. හිග්ස් බෝසෝනය ඕනෑම අයකුට කළ නොහැකි පරීක්‍ෂණයක් සඳහා දිය හැකි එකම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑම අයකුට කළ හැකි නො වේ.

අනෙක් අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්ටමටවත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැතිවීම එයට එක් හේතුවක් පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක් නැතිවීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමති මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්ත චින්තනයක් අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විිද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්ත චින්තනයක් තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්ත චින්තනයක් නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන්ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැනි ම කරුණු ය. ඕනෑම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන්ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන්ගේ පරීක්‍ෂණ ඕනෑම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක් වශයෙන් ගත්කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහණයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අයගේ ප්‍රතිශතය එයටත් වඩා අඩුවිය යුතු ය. සමස්ත සත්ව සංඛ්‍යාව ගතහොත් මිනිස් භවයක් ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක් බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්තියෙන් හෙබි අයගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක් නො වේ. ඒ සඳහා කුසල් ශක්තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් කුසල් ශක්තියක් නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක් නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්ට්‍රෝන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලකේට්‍රෝන දැක නැති සන්දර්භයක අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්ට්‍රෝන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්ට්‍රෝන ගැන නොව විද්‍යුතය ගැනවත් කිසිම පරීක්‍ෂණයක් නොකළ අය ඉලෙක්ට්‍රෝන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නොවන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නගී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොරව ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරති.

උගත් යැයි සම්මත අය ආධ්‍යාත්මික ශක්තිය ඔස්සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නොකරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක් ඇතිකර ගැනීමට සමාජයෙන් ඉඩක් නොලැබෙන බැවිනි. මෙරට උගතුන් යැයි සම්මත වූවනට අයින්ස්ටයින් කියා ඇති මෝඩ කතාවක් වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුචිචාරණය කිරීමට බාධාවක් නැත. දෙවියන් වහන්සේ දාදු කෙලින්නේ නැතැයි අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇතිව ප්‍රකාශ කළ හැකි විය යුතු යැයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක් පමණකි. ක්වොන්ටම් අංශු හා ඊනියා සම්භාව්‍ය අංශු එකම ආකාරයකින් හැසිරිය යුතු යැයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක් ද? එහෙත් අයින්ස්ටයින්ගේ ප්‍රකාශය මහදැනමුත්තකුගේ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යැයි සම්මත අයගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සෑදි පෑදි සිටිති. ක්වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉතාමත් ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නොකරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනකු හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්සක දෙවියන්, ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන එක් කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳ ව විවිධ උපදෙස් දෙති. මට දෙවිවරුන් සමග සම්බන්ධවීමට තරම් කුසල් ශක්තියක් නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක් සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක් ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක් ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන්ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පුද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක් නොව ඔවුන්ගෙන් කිහිප දෙනකු පුද්ගලික ව විපස්සක හා නාථ දෙවිවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ නම් ගම් හෙළිදරවු කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (ආසනේට්) බව ද ඇතැම් පෙදෙස්වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍යවන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බෝසතාණණ් වහන්සේ යැයි ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරදි සිදුවිය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක් ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදුවිය යුතු යැයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගෙස් ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන්ගේ සෑම ක්‍රියාවක් සමග ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩ නැගීම හා සිංහල බෞද්ධ සමාජයක් නැවත ඇතිකිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ නොවන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමග එකඟ නොවන්නේ වෙනත් අයකු සමග එකඟ නොවන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරීමේ දී මාධ්‍යයක් ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්සක දෙවියන්ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක් ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටියහ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන් ඇති අය සිටීම අරුමයක් නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන්ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ තාක්‍ෂ’ණ ශිල්පීන්ට කරන අගෞරවයක් ලෙස නොසැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යැයි පෙන්නුම් කරමිනි. අයින්ස්ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක් කළත් එය පිළිගැනීමටත් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සංයුක්තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂෙප කිරීමටත් ඊනියා විිද්‍යාඥයන් පෙළඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක් පැත්තෙන් ඒ සංකල්ප ඔස්සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි.

Wednesday, 25 May 2011

ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීම

අවුරුදු දෙකකට ඉහත දී බොහෝ පඬියන් කළ නොහැකි යැයි කී දෙයක් අපට කළ හැකි විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම, රණවිරුවන්ගේ කැපවීම හා සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ආධාරය හේතුකොටගෙන අවුරුදු තිහක් පමණ කාලයක් තිස්සේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් ආධාරයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි විණි. එහෙත් දෙමළ ජාතිවාදය තවමත් බටහිර හා ඉන්දියාවේ අනුග්‍රහය යටතේ නොනැසී පවතියි. දෙමළ ජාතිවාදය අද පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසිනි. ඔවුන් නොවන්නට මේ වන විටත් දෙමළ ජාතිවාදය ද තුරන් වී අවසන් ය.

දෙමළ ත්‍රස්තවාදය දෙමළ ජාතිවාදය විසින් බිහිකෙරුණු අතර එහි මතවාද ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුග්‍රහයෙන් දහනවවැනි සියවසේ සිට ම නිර්මාණය කෙරිණි. මෙි සියල්ල විටින් විට පසුගිය අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ විස්තර කෙරී ඇති බැවින් මෙහි දී නැවතත් සඳහන්කිරීම අනවශ්‍ය යැයි සිතමි. අප අද වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ නුදුරු අනාගතයේ දී සිදුවිය හැකි දේ පිළිබඳ ව ය. එයට පළමුව කොටි ත්‍රස්තවාදය පැරදවීමෙි දෙවැනි සංවත්සරය ගැන ද සුළුවෙන් වුව ද සඳහන් කළ යුතු ය.

කොටි පැරදවීමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සව දිනවල ම ය. මෙරට සිංහල බෞද්ධ ජනතාව ද ඇතැමි අන්‍යයෝ ද කළයුතු පරිදි ම සම්බුද්ධත්ව ජයන්තියට මුල් තැන දුන්හ. ජනාධිපතිතුමා හැරෙන්නට සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ ව යමක් සඳහන් කරන්නට ඇමතිවරුන් අතර සිටියේ  අතළොස්සක් පමණ ය. අනෙක් බොහෝ ඇමතිවරුන්ට සම්බුද්ධත්ව ජයන්තියක් නොතිබුණා සේ ය. එහෙත් ජනතාවට ඒ කිසිසේත් අමතක වී තිබුණේ නැත. ඇමතිවරුන්ගේ හා වෙනත් දේශපාලනඥයන්ගේ මගපෙන්වීමක් ඊනියා උපදේශයක් (මෙරට සෑම දෙයක් ම කෙරෙන්නේ දේශපාලනඥයන්ගේ උපදෙස් මත බව දේශපාලනඥයෝ දනිති) නොමැතිව ජනතාව ඉතා මැනවින් සංවිධානය වී සම්බුද්ධත්ව ජයන්තිය සෑමරූහ.

එය ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. රජයේ මැදිහත්වීමක් නොමැතිව ද ඔවුන්ට තම කටයුතු සාමූහික ව සංවිධානය කළ හැකි ය. පසුගිය සුනාමි අවස්ථාවේ දී ඒ බව කාහටත් ඉතා මැනවින් දැකගත හැකි විය. සිංහල බෞද්ධ ජනතාවගේ සාමූහික කටයුතු අදත් මෙහෙයවෙන්නේ සිංහල බෞද්ධ සම්ප්‍රදායෙහි ය. එය ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුත්තක් නො වේ. පන්සලේ පින්කම් කටයුතුවල දී ශාන්තිකර්ම හා වෙනත් සාමූහික ක්‍රියාකාරකම්වල දී අවශ්‍ය පුහුණුව ඔවුන්ට ලැබේ. ඊනියා සංවිධානවීම පිළිබඳ විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය පවත්වාත් සිංහලයන්ට බටහිර සංවිධාන ක්‍රමය ඉගැන්වීමට නොහැකි වී ඇත. එය අප ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය.

සම්බුද්ධත්ව ජයන්තියත් සමග කොටි පැරදවීම යටගියේ ය. කොටි පැරදවීම දැන් ජනතාවට අමතක වී ඇතැයි පෙන්වා දීමට කසිකබල් පඬියන් ඇතැම් විට ඉදිරිපත්වනු ඇත. එහෙත් ඔවුන් ඒ සමග ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථක ව පැවැත්වූ බව නො කියනු ඇත. සිංහලයන් කොටි පැරදවූයේ ප්‍රධාන වශයෙන් ම බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා ය. ඒ ගැමුණු රජු දවස සිට එන සම්ප්‍රදායකි. කොටි සංවිධානයත් එයට පදනම් වූ දෙමළ ජාතිවාදයත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවශ්‍යතා පරිදි බිහිවූ දෑ ය. සිංහල බෞද්ධයන් ක්‍රියාකරන්නේ කෙසේ දැයි පඬියන්ට තබා ඔවුන්ගේ ස්වාමිවරුන්ටවත් නො තේරෙයි. ඒ තේරුම් කර දීමට ද අප අද සූදානම් නැත. කොටි පැරදවීම කිසිසේත් ම සිංහල බෞද්ධයනට අමතක නැත. එහෙත් ඔවුහු ඒ ඒ අවස්ථාවෙහි දී ප්‍රධාන තැන දිය යුත්තේ කුමකට දැයි දනිති.

දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන බටහිරයන් හා ඉන්දියානුවන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල හා ඉඩම් බලතලත් දහතුන ද ඉක්මවා යන තවත් බලතලත් පළාත් සභාවලට දිය යුතු යැයි කියා සිටිති. ඉන්දියානුවන්ට එහා යන බටහිරයෝ එමගින් ඊනියා යුද්ධාපරාධිකරණ චෝදනා නගමින් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දරුණු යුධ අපරාධකරුවන් ලෙස හඳුන්වා මරණ දඩුවම දීමට කැූස කවති. ලංකාවේ පළාත් සභාවලට දිය යුතු බලතල තීරණය කිරීමට බටහිරට හා ඉන්දියාවට ඇති අයිතිය කුමක් ද? උතුරු අයර්ලන්තයට, ස්කොට්ලන්තයට දිය යුතු බලතල කවරේ දැයි ලංකාණ්ඩුව කිසි දවසක කියා තිබේ ද?  ඉන්දියාවේ  බෞද්ධයන්ට හිමිවිය යුතු බලතල කවරේ දැ්‍රයි ලංකාණ්ඩුඬ ඉන්දියාවට සැළකර ඇත් ද?

ඉන්දියාවේ දෙමළ ජනයා සිටි පමණින් ලංකාවේ දෙමළ ජනයා ගැන කතාකිරීමට පෙළපාලි යෑමට උද්ඝෝෂණය කිරීමට තමිල්නාඩුවේ දෙමළ ජනයාට ඇති අයිතිය කුමක් ද? ඒ අයිතිය ගලා එන්නේ යාපනයේ දෙමළ ජනයාගේ ආධිපත්‍යය උසුලන වෙල්ලාලයන් මැතක දී 1650න් පසුව ලංකාවට ගෙනෙු ලැබූ නිසා ද? ඒ එසේ නම් ඉන්දියාවේ අනුග්‍රහය ලබන ඊනියා නිජභූමි හෙවත් සාම්ප්‍රදායික වාසභූමි කතාව යුක්තියුක්ත කරන්නේ කෙසේ ද? ඉන්දියාවෙි සිටින බෞද්ධයන් ගැන සිංහල බෞද්ධයන් පෙළපාලි පැවැත්වීමට උද්ඝෝෂණය කිරීමට ගියහොත් ලංකාණ්ඩුව ගතයුතු පියවර කුමක් ද? ඉන්දියාවට ලංකාවේ දෙමළ ජනයා ගැන උද්ඝෝෂණය කිරීමටවත් ඉන්දීය ආණ්ඩුවට ලංකාවට ඒ පිළිබඳව කොන්දේසි පැනවීමටවත් ඇති අයිතිය ගලා එන්නේ කිනම් සම්ප්‍රදායකින් ද? තමිල්නාඩුවේ අවස්ථාවාදී දේශපාලනය පරාජය කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ඇති නොහැකියාවට ලංකාව වගකිව යුූතු නැත. තිස්ස විතාරණ මහතා පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට පැවරිය යුතු යැයි කියන්නේ නම් එය ඒ මහතාගේ හා ල ස ස පයේ අදහස මිස රජයේ අදහස නො වේ.  එය අඩු තරමින් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවට සහභාගි වූ සියළු පක්‍ෂවලවත් අදහස නො වේ. 

බටහිරයන්ගේ ව්‍යාජ ඊනියා ජාත්‍යන්තර නීති රීති පදනම් කරගනිමින් බටහිරයන් සූදානම් වන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන කාලයේ ඊනියා මානව අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා විවිධ කොමිසම් හා උප්පරවැට්ටි මගින් ලංකාව ආක්‍රමණය කිරීමට ය. එහි දී අප ඔවුන් පරාජය කරන්නේ කෙසේ ද? එයට ද ඇත්තේ ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනේ දී අනුගමනය කළ ප්‍රතිපත්තිම ය. බටහිරයන් ඊනියා ආර්ථික සම්බාධක ද  පැනවිය හැකි බැවින් අප ඒ සියල්ලට සූදානම් විය යුතු ය. අද කෙරීගෙන යන ගෙවතු වගාව එහි දී ඉතා වැඩදායක බව අමුතුවෙන් කිවයුතු නො වෙි. අප ආහාරයෙන් ස්වයංපොෂිත වීම ප්‍රධාන කටයුත්තක් වෙයි. කෙතරම් සම්බාධක පැනෙව්ව ද මියන්මාරය වැට්ටවීමට බටහිරයන්ට නොහැකි වී ඇත.  

දෙවනුව අපේ හමුදා ශක්තිය මෙන් ම ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කරගත යුතු ය. ගැමුණු කුමරු යුද්ධය ජයගත්තේ රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කිරීමෙන් පසුව ය. හමුදා ශක්තිය වර්ධනය කිරීම ගැන ආරක්‍ෂක ලේකම්තුමාට අමුතුවෙන් කිවයුතු නො වේ. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමෙහිලා ජනාධිපතිතුමා දැනටමත් කටයුතුකර තිබීම සතුටට කරුණකි. පන්සිල් රකින සමාජයක් අපට වහා අවභ්‍ය වෙයි. පසුගිය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පොහෝ දා එතුමා ද ඇතුළුව දස ලක්‍ෂ ගණනින් ජනතාව පෙහෙවස් සමාදන් වූහ. ඇතැමිවිට අනුරාධපුර යුගයෙන් පසු වැඩිම ප්‍රතිශතයක් පෙහෙවස් සමාදන් වූයේ පසුගිය වෙසක් පොහොදා විය හැකි ය. අපි එතැනින් ඉදිරියට යා යුතු වෙමු. නිර්මාංශ ආහාරයෙන් සෑහීමට පත්වීමට අප ඉටාගත යුතු ය. අසූවෙි දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මැටිමෝල් ශිෂ්‍ය සංවිධානයක් අපට විරුද්ධව පොස්ටර අලවා තිබුණේ අප බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට උත්සාහ ගන්නේ යැයි කියමිනි. ඔවුන්ගෙන් ඇතමකු අද අනුරාධපුරය ගැන උද්‍යෝගයෙන් කතාකරනු දැකීම සතුටට කරුණකි. අප අනුරාධපුරයේ ආකල්පවලට ආපසු යා යුතු ය. එකල මෙන් මෙකල ද ජනතාව භාවනා මාර්ගයට හැකි පමණින් යොමු වන්නේ නම් ඉන් රටේ ආධ්‍යාත්මක ශක්තිය වැඩිවනු ඇත.  

අප දෙමළ ජාතිවාදයට හා දෙමළ කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුවත් දෙමළ ජනයාට විරුද්ධ නැත. අපි ඔවුන්ට ද මෛත්‍රී කරමු. එපමණක් නොව මහත් වූ පව් කන්දරාවක් එකතුකරගත් ප්‍රභාකරන්ට වුව ද මෛත්‍රී කිරීමට අපට බාධකයක් නැත. ඔහු ඒ මෛත්‍රිය ලබාගැනීමට හැකි තැනක ඉප දී ඇත්දැයි අපි නො දනිමු. අපි ඔහුට දඬුවම් දුන්නෙමු. එහෙත් මෛත්‍රී කිරීමට එය බාධාවක් නො වේ. ඉන් රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය වෙයි. ජනාධිපතිතුමාට ද එතුමා දැනටමත් රටේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට ගන්නා උත්සාහයට අමතර ව  බෞද්ධ ලෝකය එකතුකිරීමෙන් රටේ ද බෞද්ධ ලෝකයේ ද ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමේ අවස්ථාවක් උදා වී ඇත. ඒ කාම්බෝජ තායිලන්ත අර්බුදය විසඳීමට මැදිහත් වීමෙනි.(දිවයින - 2011/05/22.)


Saturday, 14 May 2011

බ්ලේක්ට නො රැවටෙමු යුද්ධයට සූදානම් වෙමු

පසුගිය දා ලංකාවට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙින්තුවේ දකුණු අසියාව භාර සහකාර ලේකම් රොබටි බ්ලේක් ප්‍රසිද්ධියේ ලංකාව වර්ණනා කර ඇත. ඔහුට අනුව ලංකාව වැදගත් රටකි. සන්හිඳියාව ඇතිකිරීම සඳහා ලංකාව හොඳින් ක්‍රියාකරයි. එසේ කියන අතර ඔහු යුද්ධාපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට ලංකාව පියවර ගත යුතු යැයි ද පවසයි. ලංකාව ගැන ඇමරිකාව විශ්වාසයක් තබන බවක් මේ කිසිවකින් නො කියැවෙයි.   අපට අවශ්‍ය වන්නේ ඔහු අප්‍රසිි්ධියේ ජී එල් පීරිස් ඇමතිවරයාට කුමක් කීවේ ද යන්න ය. බ්ලේක් ලංකාවට පැමිණ කිලිනොච්චි යෑමෙන් පසුව තම මතය වෙනස්කර ලංකාව ගැන යහපත් සිතුවිලි ඇතිකර ගත්තේ යැයි සිතන්නේ ඔහුට රැවටුණු අයකු පමණ ය. ඔහු කිලිනොච්චියට ගොස් කවුරුන් හමුවූවේ දැයි අපි නො දනිමු. එහෙත් ඔහු ලංකාවට පැමිණියේ ලංකාවට එරෙහිව කරන ඊනියා ජාත්‍යන්තර යුද මෙහෙයුමකට පසුබිම සකස් කිරීමට ය. නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව අප සිටින්නේ ඊනියා පශ්චාත් යුද අවධියක යැයි පඬියෝ කියති. පඬියන්ට කළ හැක්කේ බටහිර උගතුන් කියන යමක් ඔවුන්ගේ ඊනියා කතිකාවතක පුනරුච්චාරණය කිරීම පමණකි. ප්‍රභාකරන් සමග අපේ යුද්ධයක් නො තිබිණි. බටහිරයන්ගේ ආධාරයෙන් හා අනුග්‍රහයෙන් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට මෙන් ම හින්දු සංස්කෘතියට ද එරෙහිව කැරැල්ලක් ගසා උතුරු හා නැගෙනහිර පළාත්වල බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යටතේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ය. ඔහු ඉංගිරිසින් දහනවවැනි සියවසේ මුල්භාගයේ සිංහලයන්ට විරුද්ධව ආරම්භ කළ දෙමළ ජාතිවාදයේ විකාශයෙන් බිහි වූ ත්‍රස්තවාදී නායකයා විය. ඔහුගේ කැරැල්ල මැඩ පැවැත්වීම ලංකාණ්ඩුවෙි යුතුකමක් හා වගකීමක් විය. එය යුද්ධයක් ලෙස අර්ථදක්වන්නේ නම් ජ වි පෙ භීෂණ සමයෙහි ද මෙරට පැවතියේ යුද්ධයක් බව පිළිගතයුතු වෙයි. එහෙත් එය යුද්ධයක් ලෙස හඳුන්වන බටහිර උගතකු හෝ මෙරට පඬියකු හෝ නැත. ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව උදාවූ පශ්චාත් යුද සමයක් ගැන පමණක් ඔවුහු කියති. මෙය සිදුවන්නේ බටහිර බංකොළොත් ඊනියා පශ්චාත්නූතනවාදී දුනුම අනුව නම් කතිකාවතක ය. මෙරට පඬියන්ට අමතක වන දෙය නම් ඊනියා කතිකාවත් ද (ඩිස්කෝස් නමින් ඉංගිරිසියෙන් හැඳින්වෙන මේවාට අප බෞද්ධ සංස්කෘතික නම් යොදා නොගනිමින් යාතිකාවත යැයි කියමු.) සාපේක්‍ෂ බව ය. මේ තකතීරු පශ්චාත් යුද්ධ යාතිකාවතේ නිර්මාතෘවරු බටහිරයෝ ය. මෙය පශ්චාත් යුද සමයක් වනුයේ බටහිරයන්ගේ යාතිකාවතෙහි ය. එය ලෝකයේ අධිපතිවාදී යාතිකාවත වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි (ආගමින් බෞද්ධ නොවන එහෙත් සංස්කෘතියෙන් සිංහලයන් වන්නෝ ද වෙති) අප දැන් පිවිස ඇත්තේ පූර්ව යුද්ධ සමයකට ය.

යුද්ධයට තව වැඩි කලක් නැත. අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ඇත්තේ ත්‍රස්තවාදී ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් ය. ඇමරිකාව තරමි ත්‍රස්තවාදී රටක් අද ලෝකයේ නැත. ඔසාමා බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අපි අනුමත නො කරමු. එහෙත් බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා ඇමරිකාව වෙනත් ස්වෛරී රටක් වූ පකිස්තානයට බලයෙන් ඇතුල් විය. එය අමු අමුවේ ඊනියා ජාත්‍යන්තර නීතිය කඩා බිඳ දැමීමකි. බින් ලාඩන් මරාදමා ඇත්තේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. බින් ලාඩන් ඇමරිකන් සෙබළුන්ට ප්‍රතිවිරෝධයක් දක්වා නැති බව පැහැදිලි ය. බිරිතානි බීබීසියේ හතරවැනි නාලිකාව අද බින් ලාඩන් ඝාතනය ගැන උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගනියි. අප මේ බොරුවට ද නො රැවටිය යුතු ය. බටහිරයන් මානව අයිතිවාසිකම්වලට ගරු කරන බව පෙන්වීම මේ උත්සාහයේ අරමුණ වෙයි. එහෙත් සියල්ල අවසානයේ දී කියනුු ඇත්තේ ඇමරිකාව දැන් සිට ම කියන ආකාරයෙන් බින් ලාඩන් අත් අඩංගුවට ගැනීමට විරුද්ධවීම නිසා ඔහු භාතනය කිරීමට සිදු වූ බව ය. බින් ලාඩන් අවසාන මොහොතෙහි නිරායුධ ව සිට ඇත. එවැන්නකුගේ විරුද්ධතාවක් ආයුධ යොදා නොගනිමින් යටපත් කිරීමට ඇමරිකන් සුපිරි භටයන්ට නොහැකි වී යැයි අපි නො සිතමු. බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අනුමත නොකළ ද නිරායුධ මිනිසකු අත් අඩංගුවට ගෙන මරාදැමීම පිළිබඳ ව බටහිරයන් හා මානව හිතවාදී පඬියන් කුමක් කියන්නේ දැයි දැනගැනීමට අපි පුළ පුළා බලා සිටින්නෙමු. එදා ප්‍රභාකරන් මියගියේ අත්අඩංගුවේ සිටිය දී බවට බොරු ප්‍රචාරයක් ගෙන යෑමට සිංහල විරෝධී ජනමාධ්‍ය උත්සාහ කළ බව අපි දනිමු. කෙසේ වෙතත් බින් ලාඩන් ඝාතනය ගැනත් ඉන් පෙර අවුරුදු දහයක පමණ කාලයක් තිස්සේ බින් ලාඩන් සෙවීමට ගිය ඇමරිකානුන් අතින් ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ මියගිය දසදහස් ගණනක් වූ අහිංසක නිරායුධ සිවිල් වැසියන්ගේ ඝාතන ගැනත් සොයා බැලීමටත් කොමිසම් පත්කිරීමට ලංකාව පියවර ගතයුතු යැයි සිතමි. ඔසාමාගේ ත්‍රස්තවාදයට විරෝධය දක්වන අතර ම  ඔබාමාගේ ත්‍රස්තවාදයට ද අප විරුද්ධ විය යුතු ය.

බින් ලාඩන් ත්‍රස්තවාදියකු කළේ ඇමරිකාව ය. ඔවුහු රුසියාවට විරුද්ධව ඔහුට ත්‍රස්තවාදී පුහුණුවක් ලබා දුන්නෝ ය. එහෙත් පසුව ඊශ්‍රායලයෙහි ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ඔහු එයට සහාය දුන් ඇමරිකාවට ද විරුද්ධ විය. ඇමරිකාව හා බටහිර රටවල් පලස්තීනයේ මුස්ලිම් ජනයාට විරුද්ධව හැකිනම් ඔවුන් නැතිකිරීමට බටහිර ආසියාවෙි ඊශ්‍රායලය ඇටවී ය. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය තහවුරු කරගැනීමට ය. බටහිරයෝ (පළමුව ලන්දේසිහු දෙවනුව ඉංගිරිසිහු) සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජනයා ආනයනය කර දෙමළ ජාතිවාදය ඇතිකළහ. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදී නායකයා වූයේ ප්‍රභාකරන් ය. ඔහුගේ ආධ්‍යාත්මික නායකයෝ හින්දු පූජකවරුන් නොව ක්‍රිස්තියානි/කතෝලික පූජකවරු වූහ. ප්‍රභාකරන් යොදාගනු ලැබුයේ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කර හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට ය. බටහිරයන් ප්‍රභාකරන්ට මුදල් හා ආයුධ සැපයූ නමුදු පසු කලෙක ප්‍රභාකරන් බටහිරයන්ට ද කරදරයක් විය. ඔහු තම සීමා නොදැන ක්‍රියා කළ උන්මන්තකයකු ලෙස බටහිරට පෙනී ගියේ යැයි සිතිය හැකි ය. බටහිරයන්ට ඔහු ලවා දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරවීමට නොහැකි බව පෙනී යන්නට ඇත. එහි ප්‍රතිඵලය ලෙස නමිබියාර් හා පිල්ලෙයි වැන්නන් කෙතෙක් උත්සාහ කළ ද බටහිරින් ප්‍රභාකරන්ට ලැබුණු සහාය අඩුවන්නට ඇත. එහෙත් බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි තම අධිපතිවාදී ක්‍රියා අත් නොහළහ. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාට නොයෙකුත් බලපෑමි කළහ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන යෝජනා ඔවුහු ජනාධිපති තුමාට ඉදිරිපත් කළහ. මෙහි දී ඉන්දියාව ද බටහිරයන් සමග එකට කටයුතු කර ඇති බව පෙනී යයි. එහෙත් ජනාධිපතිතුමා බටහිරයන් ඉදිරිපත්කළ යෝජනාවලට එකඟ නො වී ය. අවසානයේ දී පරාජය වූයේ ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පමණක් නොව බටහිරයන්ගේ හා ඉන්දියාවේ ද අවශ්‍යතාවන් ය. බටහිරයන් තමන් පරාජය වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට වඩා දක්‍ෂ’යකු බවත් තේරුමි ගත්තේ ප්‍රභාකරන් මිය යෑමට ආසන්න මොහොතේ ය. එදා සිට ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් දංගෙඩියට යැවීමට හා ආණ්ඩුව වෙනස්කිරීමට උත්සාහ කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සරත් ෆොන්සේකා මහතා ලවා ඒ කරවීමට ය. සුදු කොඩි කතාව ඇරඹුණේ එලෙස ය. අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අදක්‍ෂයකු වූ රනිල් වික්‍රමසිංහ (ඔහු එංගලන්තයේ ඉපදිණි නමි අගමැති වන්නට තිබිණි) වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරියට පැමිණියේ එලෙස ය.

බටහිරයන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට, එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට, ප්‍රභාකරන්ගෙන් පසුව යොදා ගැනීමට බලාපෙරොත්තු වූයේ විසිරුණු දෙමළ ජනයා ය. එහෙත් ඔවුන්ට ප්‍රභාකරන් නැතිව පැවැත්මක් නො වී ය. අද ඇමරිකානුවන් හා ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයෝ තුමූ ම ඒ සඳහා ඉදිරිපත් වී සිටිති. බ්ලේක් ප්‍රසිද්ධියේ කුමක් කීව ද, ඔහු පැමිණ ඇත්තේ යුද්ධයේ පිඹුරුපත් ද සමගින් ය. ඇතැමිවිට බටහිරයන් කිනමි ක්‍රමයකින් වුවත් තවත් ඊනියා ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමට ඉඩ ඇත. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට එහා යන සංශෝධන ඉදිරිපත් කරනු ඇත්තේ ආක්‍රමණයක තර්ජන ද ඉදිරිපත් කරමිනි. ලංකාවෙි තෙල් හෝ වෙනත් එවැනි සම්පත් හෝ නැතිව අප ආක්‍රමණය කිරීමට ඇමරිකාවට හා යූරෝපයට ඇති අවශ්‍යතාව කුමක් දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත. ඔවුන් ලෝකය දකින්නේ බටහිරයන් ඔවුන්ට දී ඇති දේශපාලන ආර්ථික ඇහෙනි. එහෙත් බටහිරයෝ තම සංස්කෘතික හා දේශපාලන (ආර්ථික නොවන) වුවමනාවන් පඬියන්ට නො කියති.   බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සංස්කෘතික (ආධ්‍යාත්මික) වශයෙන් ඇති ප්‍රධාන අභියෝගය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය ය. බටහිරයන්ගේ ආක්‍රමණයකට අප අද සිට ම සූදානම් විය යුතු ය. ජනාධිපතිතුමා ආරක්‍ෂා කරගන්නා අතර රට ජාතිය ආගම (සසුන) ආරක්‍ෂා කරගැනීම අපේ කාර්යභාරය වෙයි. අපේ හමුදා ශක්තිය වර්ධනය කරගැනීමට ක්‍රියා කරන අතර අපි ආධ්‍යාත්මික වශයෙන් ද සන්නද්ධ විය යුත්තෙමු. එහි දී අපේ ගුරුවරයා අන් කිසිවකු නොව ගැමුණු කුමරු ය. එළාරට විරුද්ධව කළ සටන ආයුධවලින් පමණක් කළ සටනක් නො වී ය. එහි දී ආධ්‍යාත්මික ශක්තිය ද එතුමා යොදා ගත්තේ ය. ජාතියක් ලෙස ආධ්‍යාත්මික ශක්තිය වැඩිකර ගැනීමට අප කළ හැකි සෑම දෙයක් ම කළ යුතු ය. අඩුම තරමින් ජාතියේ විශාල පිරිසක් පන්සිල් රකින්නන් බවට පත්විය යුතු ය. අනුරාධපුර යුගය අපේ ස්වර්ණමය යුගය වූයේ අපේ ආධ්‍යාත්මික ශක්තිය ද ඒ යුගයේ ඉහළ මට්ටමක තිබූ බැවිණි. එකල රජ කුමරුවෝ ද භාවනා කළහ. රජවරු බෝසත්වරු වූහ. එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියට අපි අලුත් පැතිකඩක් එකතු කරමු. ජාතියේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.

Sunday, 8 May 2011

අන්තිම සටනට සැරසෙමු

අවුරුදු පන්සියයකට අධික අඳුරු යුගයක අවසාන වසර කිහිපයට අපි ළඟා වී සිටින්නෙමු. මුළු ලෝකයට ම සමස්තයක් ලෙස ගත්කල 1492 දී ද  ලංකාවට 1506 දී ද ඇරඹි මෙම අඳුරු යුගයෙහි අපේ ස්වාධීනත්වය යටගියේ ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මුළු ලෝකයෙහි ම ආධිපත්‍යයට පැමිණියේ ය. එහෙත් අද බටහිරයන්ගේ ආධිපත්‍යය ගිළිහී යන අයුරු බටහිරයන්ට ම දැනෙන තත්වයකට පත් වී ඇත. එබැවින් ඔවුහු අද වියරුවෙන් හැසිරෙති. ඇමරිකාව එංගලන්තයේ ද සහාය ඇතිව ලිබියාවට පහර දෙන්නේ ද බෑන් කි මූන් බටහිරයන්ගේ වුවමනාවට ඊනියා විද්වත් කමිටු වාර්තාවක් හරහා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් ද රණවිරුවන් ද ඊනියා යුද්ධාපරාධි චෝදනා ඔස්සේ දංගෙඩියට දැක්කීමට උත්සහ ගන්නේ ද හැකිනම් ගිලිහෙමින් පවතින බලය රැකගැනීමට ය. එහෙත් ඔවුන්ට කළහැකි දේ අල්ප ය. 1492 සිට බටහිර නායකත්වය දැරූ ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය ආදී රටවල් සමග සංසන්දනය කරන විට අද එහි නායකත්වය දරණ ඇමරිකාව නාගරික ධනවත් මැරයකු පමණකි. ඇමරිකාවට රාජ්‍ය තන්ත්‍රික කුසලතා නොමැත. ඔවුන් දන්නේ නග්න ආක්‍රමණය පමණ ය. ඇමරිකාවට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය ලැබුණේ ඒ සඳහා පුහුණු වීමෙන් හා පරිවාස කාල පරිච්ඡෙදයක් ගෙවීමෙන් නො වේ. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ආර්ථික හා ආයුධ ශක්තියෙන් ඉදිරියට පැමිණ සිටි ඇමරිකාව දේශපාලන වශයෙන් පරිණත බවකට පත් නොවී සිටිය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වයට පත්විණි. ඒ සමග දේශපාලන වශයෙන් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්නට පටන් ගත්තේ ය. එහි දැනුමි පද්ධතියේ පදනමෙි බොල් බව හෙළි වී දැනට අවුරුදු අසූවකට වඩා කල් ගත වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග අන්තිම සටන සඳහා සැරසීමට කාලය පැමිණ ඇත. අපි ඒ සටනින් ජය ලබන්නෙමු.

අන්තිම සටනට සැරසියවි යනු සමසමාජ ගීතයෙහි පද කිහිපයකි. සමසමාජ පක්‍ෂයට අවශ්‍ය වූයේ ලෝක ධනේශ්වරයට එරෙහිව සියළු ජාතින් එක් වී අන්තිම සටනට සැරසීමට ය. ඔවුන්ට අන්තිම සටනින් පසුව ඊනියා කමිකරු පංති රාජ්‍ය පිහිටුවීමෙි සිහිනයක් විය. එහෙත් එය සදාකාලික සිහිනයක් පමණක් බවට පත්වූයේ මාක්ස්වාදයේ හා එහි කියැවෙන පංති සටනේ බංකොළොත් බව හෙළිදරවු කරමිනි. අදට යෙදෙන මැයි දිනයෙහි ද ඇතැමුන් සිහිනයෙන් අවදි නොවී අන්තිම සටනට සැරසීම සඳහා පෙළපාළි යනු ඇත. එහෙත් මෙවර මැයි දිනය ලංකාවේ පැවැත්වෙන්නේ ඊනියා පංති සටනක් පෙරදැරි කරගෙන නොව ජාතිකත්වය මුල් කරගෙන රොබට් බ්ලේක් හිලරි ක්ලින්ටන් ආදීන්ගේ යුද්ධාපරාධ චෝදනාවලට අභියෝග කරමිනි. මින් මතු අප මැයි දිනය පැවැත්විය යුත්තේ බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් මුල්කරගෙන නොව ජාතිකත්වය පදනම් කරගනිමිනි. බෑන් කි මූන් ට ඊනියා විද්වතුන් ලියා දුන් වාර්තාව පිටුපස ඉන්නේ බ්ලේක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයන් කිහිප දෙනකු බව අපි දනිමු. එය දරුස්මාන් වාර්තාවක් නොව බ්ලේක් වාර්තාවකි. එහූ බ්ලේක් හෙට අනිද්දා ලංකාවට එන්නේ ජනාධිපතිතුමාට ඇති ආදරයකින් නම් නො වේ. ඔහු නොතැකීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් මැනවි. සතුරන් සමග අතට අත දී ආචාර සමාචර පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර නො වෙි යැයි අපි කියමු. බ්ලේක් පමණක් නොව ඔහුගේ කසිකබල් වාර්තාව ද නොසළකා හැරීමටත් එයට ප්‍රතිචාර නොදැක්වීමටත් අප වග බලාගත යුතු ය. අපට තිබෙන එක ප්‍රශ්නයක් නමි වාර්තාව දැමීමට තරම් සුදුසු කුණු කූඩයක් නොමැති වීම ය. ඕනෑම කුණු කූඩයක් වාර්තාවට වඩා වටී. බටහිරයන් පෙන්වන තරම් ඔවුන් ශක්තිමත් නොමැති බැව් අපි දනිමු. බටහිරයන්ගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන් හා ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කොටි සංවිධානයට කෙතරමි ශක්තියක් ඇත් දැයි බටහිරයෝ සහ ඔවුන්ගේ ගැත්තෝ කීවෝ ද? බටහිරයෝ සිංහල බෞද්ධයන්ට එරෙහි ව කොටි පෝෂණය කර රැකීමට  ඕනෑම දෙයක් කිරීමට සිතා සිටියහ. එහෙත් අඩු තරමෙන් නන්දිකඩාල් කලපුවටවත් ආධාර එවීමට ඒ වෙනුවෙන් ම ඒ දිනවල ලංකාවට එවනු ලැබූ මූන්ගේ ගෝලයා වූ නම්බියාර් හරහාවත් බටහිරයන්ට නොහැකි විය. ඔවුන් අද වුවත් හැකි නම් ලිබියාවට මෙන් ලංකාවට පහර දෙනු ඇත. එහෙත් මේ වන විට තුන් ලෝකයෙහි කෙසේ වෙතත් අඩුම තරමෙන් අපේ ලෝකයෙහි ආධ්‍යාත්මික ශක්තියෙහි වෙනසක් සිදු වී ඇත. බටහිරයන්ගේ යුද්ධ ශක්තිය හමුවෙි අප භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරගත යුතු ය. අපට බටහිරයන් පැරදවිය හැකි ය. මෙහි දී ඉන්දියාව ගැන ද වචනයක් කිව යුතු ය. ඔවුහු බොර දියේ මාළු බාති. වාර්තාව මුවාවෙන් ඔවුන් තැත් කරන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යන බලතල බෙදීමකට ය. බටහිර අනුග්‍රහයෙන් දෙමළ සංධානය ද වාර්තාවෙි එල්ලී තවත් බලය ලබාගැනීමට වෙහෙසෙයි. ඒ කිසිවකට කිසිසේත් ම ඉඩ දිය යුතු නො වෙි.  

අප බටහිරයන් පරාජය කළ යුතු යැයි කීම මෙරට උගතුන් යැයිි සම්මත ඇතැමුන් අනුමත නොකරන බව අපි දනිමු. ඔවුන්ට අනුව ඒ කළ නො හැකි ය. බටහිරයන්ගෙන් උගත් ඔවුන්ට ගැති මොවුන් ආවේගයන්ට යට නො වී බුද්ධිමත්ව තීරණ ගැනීමට අපට කියනු ඇත. එහෙත් අප ඉහතින් සඳහන් කර ඇත්තේ ආවේගයෙන් පැමිණි නිගමන නො වේ. අප ද නිගමනවලට පැමිණෙන්නේ කල්පනා කිරීමෙන් පසුව ය. වෙනස ඇත්තේ අප කල්පනා කරන ක්‍රමයෙහි හා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත්් ඊනියා උගතුන් කල්පනා කරන ආකාරයෙහි ය. ඊනියා උගත්තු බටහිරයන්ගේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙති. අපි අපේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙන්නෙමු. ඇතැම් උගතුන් මෙන් බටහිරයන්ගේ ප්‍රවාදවලට සරිලන ආකාරයෙන් අපේ සංස්කෘතිය හා දහම විවරණය කිරීමෙි අවශ්‍යතාව ද අපට නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පසුගිය අවුරුදු පන්සියයක අඳුරු කාලයෙහි කරනු ලැබ ඇති අපරාධ විස්තර කිරීමට ජීවිත කාලය ද ප්‍රමාණවත් නො වේ. ඔවුන් කර ඇති ප්‍රධාන ම අපරාධයක් නම් ඊනියා උගතුන් බිහි කිරීම ය. එහෙත් ඒ අපේ පැත්තෙන් බැලූ කල ය. බටහිරයන් ද ඔවුන් අනුකරණය කරන ඊනියා උගතුන් ද කියනු ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මේ ඊනියා උගතුන්ගෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. දහනවවැනි සියවසේ දී මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නමි නැතිකර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කිරීමට බව මේ උගත්තු කිසි දිනෙක තේරුම් ගනිත් ද?

බටහිරයන්ගේ අපරාධවල එක් ප්‍රතිඵලයක් ලෙස රජරට ගොවීහු වකුගඩු රෝගයෙන් පෙළෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් මිය යති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නො මැත. එපමණක් නො වෙි. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් ද කියාවත් ඔවුහු නො දනිති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ තවත් ආයුධයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් එවැනි ලෝකයන්ගේ සංවිධානවලින් ලැබෙන ණය යොදා ගනිමින් මෙරට ජනයා රෝගීන් බවට පත්කිරීමට අමතර ව ණයකාරයන් ද බවට පත්කරවමින් ඇතැමි ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා අය කර ඇති පර්යේෂණවලින් පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ අප දැනගෙන ඇත්තේ කුමක් ද? අවුරුදු විස්සක් මේ උගතුන්ට දැනගැනීමට නොහැකි වූ දෙය අපි කැලණිය විශ්වවිද්‍යාලයේ දී අවුරුද්දකට අඩු කාලයක දී දැන ගත්තෙමු. එපමණක් නොව රෝගයට ප්‍රතිකාර ද අපි දනිමු. අප ඒ දැනගත්තේ අපේ විද්‍යාවෙනි. අපට එහි හැංගීමට කිසිවක් නැත. අපේ කණ්ඩායම අපේ විද්‍යාවෙන් දැනගත් දෙය අපට බටහිරයන්ගේ මහන්තත්ත ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවේ බසට ද පරිවර්තනය කළ හැකි ය. මේ උද්ධචිචයන්ට එය විඳ දරාගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු අපට අවළාද නගති. ඔවුන්ට කළ හැක්කේ ද එපමණ ය. තකතීරුවන් වූ මොවුහු අහුමුළුවල අපේ විද්‍යාවට ගරහමින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සේවය කරති. මා කලකට පෙර බටහිර විද්‍යාව කටගාගත් මේ උද්ධචිචයන්ගෙන් පංචෙන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන ඉල්ලූ නමුත් ඔවුන් මේ වන තුරු ඒ සපයා නැත. 

රජරට වකුගඩු රෝගයට හේතුව පානීය ජලය යන බටහිර මහප්‍රාණයෙන් හැඳින්වෙන බොන වතුරෙහි (බටහිරයන්ගේ තකතීරුකම කෙසේ ද යත් අද බොන වතුර මෙන් ම වාතය ද වස වී ඇත) ආසනික් වස තිබීම ය. විශේෂයෙන් ම ලිංවල ආසනික් ප්‍රමාණය අධික ය. ලිංවලට මෙන් ම වැව්වලට ද ආසනික් එකතුවන්නේ බටහිරින් ආනයනය කරන කෘ’ෂිරසායනික ද්‍රව්‍ය හේතුවෙනි. ඉනුදු කෘමිනාශකවලින් ඉහළ ආසනික් ප්‍රමාණයක් ලැබේ. ආසනික් එකතුවීම නිසා මිය යන්නේ කෘමීන් පමණක් නො වෙි. මිනිස්සු ද මිය යති. රජරට මෙන් ම දිවයිනේ අනෙක් පළාත්වල ද ජලයට ආසනික් එකතු වී ඇත. රජරට ලිංවල කිවුල හේතුවෙන් ඒ වතුර බොන ජනතාවගේ වකුගඩුවල ආසනේටි තැන්පත් වෙයි. එමගින් පිළිකා විශේෂයක් නිසා වකුගඩු නරක් වෙයි. අනෙක් පළාත්වල ද ආසනික් විෂ ශරීරගත වීමක් වෙයි. ඒ පළාත්වල දියවැඩියාව ආදී රෝග ඒ හේතුවෙන් ද වැළඳෙයි. අද, විශේෂයෙන් ම 1977 -80න් පසුව ජනතාවට විවිධ රෝග වැළඳීමට ඉන්පසු වැඩි වැඩියෙන් භාවිතා වූ කෘෂි රසායනික ද්‍රව්‍ය ද හේතු වී ඇත. මේ වස විස නැතිව අපට හෙළ ගොවිකමෙන් ආහාර සපයා ගත හැකි ය. අපි කැලණියේ දී ඒ අත්හදා බැලුවෙමු. පෘථිවිය ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්කළෝ ඉන්ද්‍රිය පිනවීමෙි නොසංසිඳෙන ආශාවෙන් පෙළෙන බටහිරයෝ ය. ඔවුන්ට පරිසරය රැකිය නො හැකි ය. ඔවුන් අපට තව තවත් වස විස දෙනු ඇත. අපේ විනාශය අපේක්‍ෂා කරන්නෝ බ්ලේක් හා පිරිස පමණක් ම නො වෙති. බටහිර උගත්තු ද එහි දී එක්වෙති. අපි මෙි අඳුරු යුගය නිමා කරමු. අප එය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මික ශක්තිය යොදා ගනිමිනි. අපේ අන්තිම සටන ලේ සොළවන විප්ලවයක් නො වේ.(2011/05/01)

Saturday, 16 April 2011

අපේ අවුරුද්ද

තව දින කිහිපයකින් තවත් අවුරුද්දක් උදාවනු ඇත. ඒ සූර්යයා මීන රාශියේ සිට මෙිෂ රාශියට සංක්‍රමණය වීමත් සමග ය. සූර්යයා පෘථිවිය වටා චලනය වීමෙි දී දළ වශයෙන් දින 365 1/4කට වරක් මෙි සංක්‍රමණය සිදුවෙයි. සූූර්යයා ගමන් නොකරන බවත් පෘථිවිය නමි සූර්යයා වටා චලනය වන බවත් එබැවින් මෙය මිථ්‍යාවක් බවත් පඬියන් කියනු ඇත. කොපර්නිකස් පෘථිවිය සූර්යයා වටා චලනය වන බව දැනගෙන අවුරුදු පන්සියයක් පමණ වන බවත් එහෙත් අප ඒ ගැන නොදැනීම පුදුමයට කරුණක් බවත් පඬියන් තවදුරටත් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. එහෙත් මෙරට පඬිවරු, විශේෂයෙන් ම බටහිර දැනුමෙන් හිස පුමිබාගත් පඬිවරු බටහිර දැනුම සමිබන්ධයෙන් ද බොහෝ දේ නො දනිති. චලිතය සාපේක්‍ෂ බවත් නිරපේක්‍ෂ චලිතයක් නොමැති බවත් ඔවුන් නොදන්නා සේ ය. සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය චලනය වන්නා සේ ම පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ද චලනය වෙයි. අවුරුද්ද උදාවන්නේ සූර්යයා පෘථිවියට සාපේක්‍ෂව අවකාශයේ තරු පොකුරු (රාශි) පසුබිමි කරගෙන චලනය වන බැවිනි. අවශ්‍ය නමි කෙනකුට සූූර්යයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය පදනමි කරගෙන ද අවුරුද්ද උදාවන ආකාරය ප්‍රකාශ කළ හැකි ය. අපේ අවුරුද්ද උදාවන විට දළ වශයෙන් සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය කන්‍යා රාශියේ සිට තුලා රාශියට සංක්‍රමණය වෙයි. පඬියන්ට අවශ්‍ය නමි එසේ ප්‍රකාශ කිරීමෙි වරදක් ද නැත. අවුරුද්ද උදාවන දිනය හා වෙිලාව ක්‍රමයෙන් ඉදිරියට ඇදී යයි. රොබටි නොක්ස් පැමිණි දිනවල එකල ඉංගිරිසින් යොදාගත් ජුලියස් දින දර්ශනය අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු මස අග දී ය. එහෙත් අද ලෝකයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය යටතේ යොදාගැනෙන ග්‍රෙගරි දින දර්ශනය අනුව නමි එදා අවුරුද්ද උදා වී ඇත්තේ අප්‍රියෙල් මස මුල දී ය. අවුරුද්ද සාමාන්‍යයෙන් දින 76කට වරක් එක් දිනයකින් ඉදිරියට යයි. තව අවුරුදු සියයකින් පමණ අවුරුද්ද අප්‍රියෙල් 15 හා 16 දිනවල උදාවනු ඇත. මෙයට හේතුව පෘථිවියේ අයනය ය. එනමි පෘථිවි අක්‍ෂය පෘථිවි (සූර්ය) ගමන් මාර්ගයට ලමිබ වූ අක්‍ෂය වටා භ්‍රමණය වීම ය. (වැඩි විස්තර සඳහා සිංහල අවුරුද්ද නමින් පළ වී ඇති පොත කියවන්න). අවුරුද්ද උදාවීම හා මෙකල මන්නාරමට හෝ දෙවුන්දරට හෝ හිරු මුදුන්වන දිනය අතර සමිබන්ධයක් නැත. බටහිරට ගැති පඬියන් මෙන් ම කිසිම තර්කයකට නැතිව හුදෙක් ආවෙිගීව අදහස් ප්‍රකාශකරන අය ද මෙරට වෙති. උත්තරායනයේ දී දෙවුන්දරට හිරු මුදුන්වන්නේ අප්‍රියෙල් මස 5 වැනි දා ය. අප්‍රියෙල් 14 වැනි දාට හිරු මුදුන්වන්නේ දකුණු ඉන්දියාවට ය. ඒ බව විශ්වාස නොකරන අයකු වෙි නමි කළ යුත්තේ අප්‍රියෙල් 14 වැනි දාට දෙවුන්දරට හෝ පේදුරුතුඩුවට හෝ ගොස් සෘජු කෝටුවක් පෘථිිවියට ලමිබව සිටුවා එහි හෙවනැල්ල නැතිවන වෙිලාවක් ඇත් දැයි දැනගැනීම පමණ ය. මෙි පුද්ගලයෝ අවුරුදු පතා තමන්ගේ මතය වැරදි බව පෙන්වාදී තිබිය දී ද ඒ වැරදි මතය ම පුනරුචිචාරණය කරති. හැකිනමි මෙි අයට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවැනි අවුරුද්දේ ශිෂ්‍යයකු සමග විවාද කර තම මතය නිවැරදි බව පෙන්වීමට අභියෝග කරමු.

බටහිර ගැති පඬියන් නොදැන සිටිය ද දැනට අවුරුදු 1500කට පමණ පෙර ද භාරතීයයෝ සූර්යයාට සාපේක්‍ෂව සිදුවන පෘථිවියේ චලිතය ගැන දැන සිටියහ. පෝලන්තයේ විසූ කොපර්නිකස්ට ඒ පිළිබඳ දැනුම ලැබී ඇත්තේ ද භාරතයෙනි. කොපර්නිකස් ඒ දැනුම ඉතාලියට රැගෙන ගියේ ඔහු කතෝලික පූජකවරයකු ලෙස පුහුණු වීමට එහි ගිය අවස්ථාවෙි දී ය. ඒ දැනුම යුරෝපයට බෙදාදීමෙි දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ගැලීලියෝ ය. බටහිර විද්‍යාව උපත ලැබීමෙි දී මෙි සංසිිද්ධිය බෙහෙවින් බල පෑවෙි ය. පෘථිවිය චලනය වන බව භාරතීයයන් බොහෝ කලක සිට දැන සිටිය ද ගැලීලියෝගේ කාලයේ දී ද ඒ බව යුරෝපයට ඒත්තු ගැන්වීම ඉතා අසීරු කටයුත්තක් විය. පෘථිවිය චලනය වන බව පෙන්වීමට ගැලීලියෝ ට අභියෝග කෙරිණි. ගැලීලියෝ අවසානයේ දී ඒ සඳහා වියුක්ත දැනුම යොදා ගත්තේ ය. එහෙත් භාරතීයයන්ට එය ප්‍රත්‍යක්‍ෂ සංයුක්ත දැනුමක් විය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවූව ද (පඬියන් කී දෙනකු පෘථිවිය චලනය වනු දැක ඇත් ද? එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වෙි. මා කලකට පෙර පඬියන්ගෙන් ඉල්ලූ ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන දුසිම තවම ලැබී නැත. අවශ්‍ය නමි ඒ සඳහා ඊළඟ අවුරුද්ද තෙක් කල්ගත හැකි ය) දියුණු කරන ලද මනසට සූූරයයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය දැකගත හැකි විය. ධ්‍යාන මාර්ගයෙන් හා භාවනාවෙන් දැනුම ලබාගැනීමට භාරතීයයන් හා සිංහලයන් පුරුදු වී සිටිය ද යුරෝපීයයනට ඒ කළ නොහැකි විය. ඔවුන් දැනගෙන සිටියේ පංචෙන්ද්‍රියන්ගේ ඇසුරෙන් පමණක් දැනුම ලබාගැනීමට ය. බටහිර විද්‍යාවට අදත් දැනුම ලබාගැනීමෙි දී පංචෙන්ද්‍රිය ප්‍රධාන වන්නේ ඔවුන්ට මනසින් පමණක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගැනීමට නොහැකි නිසා ය. එබැවින් ඔවුහු වියුක්ත දැනුමකට ආකර්ෂණය වූහ. මෙයින් කියැවෙන්නේ මෙරට පඬියන් ද වියුක්ත චින්තනයෙහි දක්‍ෂයන් බව නො වෙි. ඔවුන් දක්‍ෂවන්නේ අනුකරණයෙහි දී පමණ ය. අදත් මෙරට ඇතැමිහු භාවනාවෙන් සිත දියුණු කරගෙන හෝ වෙනත් ආකාරයකින් දෙවියන්, අමනුෂ්‍යයන් ආදීන් සමග සමිබන්ධ වී හෝ දැනුම ලබාගනිති. ඔවුන් අතර මිථ්‍යාදෘෂ්ටික අමනුෂ්‍යයන්ගෙන් දැනුම ලබාගන්නෝ ද වෙති. එසේ මිථ්‍යාදෘ’ෂ්ටිකයන් ඔස්සේ මෙරට ඉතිහාසය විකෘත කිරීමට උත්සාහ ගන්නෝ ද වෙති. එහෙත් ඒ කිසිවෙක් ප්‍රසිද්ධියේ තමන් දැනුම ලබාගත් ආකාරය නො කියති. ඒ පඬියන්ට ඇති බිය නිසා ය. වැඩිකල් නොගොස් ම පඬියන් තුටිටුවකටවත් මායිමි නොකරන කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අපි කිහිප දෙනෙක් ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමි පිළිබඳ ව ඊනියා ලෝකයාට කෙසේ වෙතත් සිංහලයන්ට කියන්නෙමු. ලෝකයන් වූ ලෝක බැංකුකාරයන් අපට ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය, මෘදු කුසලතා හෙවත් මොත්තෙ දැමීමි, ඊනියා ජනවාර්ගික සංහිඳියා ගැන කිනමි උපදෙස් දුන්න ද සමිබුද්ධත්වයෙන් විසිහත්වැනි සියවසේ සිට නැවත වරක් දැනුම ආධ්‍යාත්මික ව නිර්මාණය කෙරෙනු ඇත. ඊනියා විසිඑක්වැනි සියවසේ දැනුම ලෝක බැංකුවට නොව අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරමු. ලෝක බැංකුවෙන් දෙන මිලියන කිහිපයක ණයකට අපි රට උගස් නො තබමු. අප ණයකාරයන් බවට පත්කිරීමට තිත තබමු.

අපේ අවුරුද්ද යනු ඓතිහාසික ව ගත්කල සිංහලයන්ගේ අවුරුද්ද ය. එය සිංහල හින්දු අවුරුද්දක් බවට පත්කළෝ ඉංගිරිසිහු ය. චින්තන පර්ෂදයේ පිරිසක් කලකට පෙර යාපනයට ගොස් දෙමළ හින්දු ජනයා අවුරුද්ද නොපවත්වන බව නිරීක්‍ෂණයෙන් ම දැනගත්හ. අද ද තමිල්නාඩුවෙි හින්දු ජනයා පවත්වන අවුරුද්දක් නැත. අවුරුද්ද වැඩි වශයෙන් ම පැවැත්වෙන්නේ මියන්මාරය, තායිලන්තය වැනි ථෙරවාදී බෞද්ධ රටවල ය. ඒ රටවල සංස්කෘතියේ යමි සංරචකයක් සිංහල බෞද්ධ බව බොහෝ දෙනාට අමතක වෙයි. එසේ වී ඇත්තේ සංස්කෘතික යටත්විජිතවාදයක ප්‍රතිඵලයක් නිසා නොව ගැමුණු රජු (අවුරුදු ගණනාවක සිට එළාරලා පටබැඳි දුටු යන්න එතුමන්ගේ නාමය ඉදිරියෙන් නොයොදන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු) මෙරටට උරුම කරදුන් සිංහල බෞද්ධත්වයේ උදාරත්වය නිසා ය. කෙසේ වෙතත් අද අවුරුද්ද සිංලයන්ගේ මෙන් ම දෙමළ ජනයාගේ ද අවුරුද්දක් බවට පත්කෙරෙන්නේ නමි අප එයට විරුද්ධ විය යුතු නො වෙි. ගැමුණු රජු හඳුන්වා දුන් සිංහල බෞද්ධ රාජ්‍යයට, ඒ (අලිඛිත) ව්‍යවස්ථාවට දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමි ජනයා ද සංස්කෘතික වශයෙන් එකතු කරගත යුතු ය. සිංහල කිතුණුවන් ආගමින් කෙසේ වෙතත් සංස්කෘතික වශයෙන් සිංහල බෞද්ධයන් මෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණකි.

අප මෙරට ජනයා එකතුකිරීමට ක්‍රිකටි නොව අවුරුද්ද වැනි සංස්කෘතිකාංග යොදාගත යුතු ය. අපේ අවුරුද්ද මුළු මහත් රටෙි ම, එනමි අප සියල්ලන්ගේ ම අවුරුද්ද බවට පත්කරගත යුතු ය. එහෙත් ඒ කළ හැක්කේ බටහිර දැනුමට ගැති වී බටහිරින් ලැබෙන ව්‍යවස්ථා අනුකරණය කරමින් ඔිල්කටි බෞද්ධයන් හෝ කෝනල් සිංහලයන් හෝ වීමෙන් නො වෙි. අවුරුද්ද ගොවි සංස්කෘතියක කොටසකි. මෙි රට ගොවි රටකි. ඒ ගොවිකම බටහිර කෘෂිකර්මයක් නොව සිංහල බෞද්ධ ගොවිකමකි. රසායනික පොහොර, වල්නාශක, කෘමිනාෂක ආදිය යොදාගැනෙන්නේ අපේ ගොවිකමෙි නො වෙි. අපේ අවුරුද්ද අපේ ගොවිකම සමග බද්ධ නොවුණු කල ඇත්තේ වාණිජ්‍ය අවුරුද්දකි. අද අපේ අවුරුද්ද බොහෝ දුරට වාණිජ්‍ය අවුරුද්දක් බවට පත් වී ඇත. එහෙත් අවුරුදු දිනයේ දී අපි තවමත් පන්සල් යමු. අපට තවමත් පුණ්‍ය කාලය නමින් වෙන් කෙරුණු කාල පරිචිඡෙදයක් වෙයි. අප ඒ සියල්ල රැකගත යුතුවා පමණක් නොව වර්ධනය කරගත යුතු ය. අද ආණ්ඩුව ගෙවතු වගාවක් ආරමිභ කර ඇත. ඒ ඉතා වැදගත් කරුණකි. ඒ වගාව බටහිර කෘෂිකර්මය අනුව නොව මෙරට තිබූ සිංහල ගොවිකම අනුව, පිටරටින් විදේශ විනිමය වැයකර පොහොර වල්නාශක කෘමිනාෂක යනුවෙන් හැඳින්වෙන වස විස නොයොදා කෙරෙන්නේ නමි වඩාත් වැදගත් වනු ඇත. අවශ්‍ය නමි ඒ සමිබන්ධයෙන් උපදෙස් දීමට කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සූදානමි ය. එහෙත් එකක් කිව යුතු ය. සිංහල ගොවිකම ආවට ගියාට කළ හැක්කක් නොවෙි. සිංහල සංස්කෘතියේ සෑම දෙයක් ම අධ්‍යාත්මය සමග බැඳී ඇත. ගැමුණු රජු ආධ්‍යාත්මික ව යුද්ධකරන ආකාරය ද අපට ඉගැන්වී ය. පසුගිය මානුෂික මෙහෙයුමෙි දී අපි ඒ යොදාගත්තෙමු. පස්පවිවල ගිලී සිංහල ගොවිකමෙන්් ඵල නෙලාගත හැකි නො වෙි. සිංහල ගොවියා පළමු කොට ම පන්සිල් රකින්නකු විය යුතු ය. ඔහු භාවනාවෙහි ද යෙදෙන්නේ නමි වඩාත් යහපත් ය. අද අපේ ආහාර රටාව ද ඇතුළු ජීවන රටාව වෙනස් වී අප රෝගීන් වී ඇත. අපට නීරෝගී විම සඳහා සිංහල ගොවිකම හා ජීවන රටාව සමග බැඳුණු සිංහල වෙදකම වෙයි. බටහිර වෛද්‍යවිද්‍යාවට වඩා සිංහල වෙදකම කෙතරමි දියුණු ද යන්න මම දිනපතා අත්දකිමින් සිටින්නෙමි. මෙි සමිබුද්ධත්ව ජයන්ති අවුරුද්දේ අපි නැවතත් සිංහල බෞද්ධ වෙමු.
(2011/04/10 - දිවයින)

Tuesday, 1 March 2011

හමුදාවට ආධ්‍යාත්මික ශක්තිය ලබාදුන් යතිවරයාණෝ

ගැමුණු කුමරු එළාර රජු පැරදවීමට ගියේ යුද්ධ හමුදාවක් පමණක් සමග නො වෙි. එතුමා පන්සියයක් මහරහතන් වහන්සේලා ද හමුදාව සමග වැඩම කිරීමට කටයුතු කළ බව පොතපතෙහි සඳහන් වෙයි. එහෙත් බොහෝ දෙනා නොදන්නා එමෙන් ම පොතපතෙහි සඳහන් නොවන කරුණක් නමි එතුමා දෙවරක් ම යුද්ධයට ගොස් පැරදුණු බවත් තුන්වැනි වර යුද්ධයට යෑමට පෙර රටෙි ආධ්‍යාත්මික ශක්තියෙන් යුත් පිරිසක් ඇතිකරගත් බවත් ය. මහරහතන් වහන්සේ හමුදාව සමග වැඩම කරවන ලද්දේ හුදෙක් දන් පිරීනැමීමට නොවන බව පැහැදිලි ය. ගැමුණු කුමරුට දන් පිරිනැමීම සඳහා භික්‍ෂූන් වහන්සේලා, විශේෂයෙන් ම මහවැලි ගඟෙන් නැගෙනහිර, වැඩම නොසිටියේ යැයි සිතීමට නො හැකි ය. සිංහල බෞද්ධයාගේ ප්‍රධාන ම ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය වෙයි. අපේ දැනුමෙි ද පදනමෙහි ඇත්තේ ආධ්‍යාත්මික ශක්තිය බව අපි දනිමු. අපි අධ්‍යයනයට වඩා ධ්‍යානයට මුල් තැන දුනිමු. අප කැලණිය විශ්වවිද්‍යාලයෙහි සිසුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය නඟා සිටුවීමට මෛත්‍රි බෝසතාණන් වහන්සේ මුල්කරගෙන භාවනා වැඩසටහනක් ඇරඹු විට හා ඒ සමග සිංහල බෞද්ධ විද්‍යාවක් ඉගැන්වීමට කටයුතු කළ විට සකල විධ සිංහල බෞද්ධ විරෝධීහු එයට විරුද්ධව අවි අමෝරා ගෙන සටන් වදිති. ඔවුන් අතර සිංහල විරෝධී ඔිල්කටි බෞද්ධ එ ජා පාක්‍ෂිකයන් හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද පසුබාගොස් ඇති නන්නත්තාර වූ ජ වි පෙ අනුගාමිකයන් මෙන් ම තනතුරු ලබාගැනීමෙි චෙිතනාවෙන් ශ්‍රි ල නි පක්‍ෂය සමග සමිබන්ධ වී ඇති ආචාර්යවරු ද ආචාර්යවරියෝ ද වෙති. මෛත්‍රී බෝසතාණන් වහන්සේ යනු නාථ දෙවියන් බව නොදන්නා මුග්ධයෝ අප විශ්වවිද්‍යාලයෙහි නාථ දේවාලයක් ඉදිකර ඇතැයි මැසිවිලි නගති. කැලණිය විශ්වවිද්‍යාලයෙහි නමි දේවාලයක් නැත. එහෙත් සිංහල බුද්ධාගමෙහි දේවාල ඇත.

කලකට ඉහත ප්‍රභාකරන් සමග ඊනියා සාම සාකචිඡා අවශ්‍ය නැතැයි දෙසූ බුද්ධ පුත්‍රයන්ට විශ්වවිිද්‍යාලවල, රාජ්‍ය නොවන සංවිධානවල හා වෙනත් ආයතනවල පඬියෝ යුද්ධ පුත්‍රයන් යැයි අපහාස කළහ. ගැමුණු රජතුමන් හමුදාව සමග රහතන් වහන්සේලා වැඩම කරවීම ඔවුන්ගේ නින්දා අපහාසවලට භාජනය විය. බෞද්ධ සළු පිළි පොරවා ගෙන සකල කලා විභූෂණ ලෙස රඟපාන එක් කතෝලික වෛද්‍ය පඬියෙක් සිංහලයන් තෝරාගත් ජාතියක් යැයි කියමින් පහර දුන්නේ ය. ඒ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී විෂ්ණු දෙවිඳුට ලංකාව භාරකිරීමෙි කතාව පදනමි කරගනිමිනි. මෙි තකතීරු පඬියන් ගැන මම දනිමි. විශ්වවිද්‍යාල ප්‍රවෙිශ පරීක්‍ෂෂණයෙහි ද භෞතික විද්‍යාවෙන් අසමත් ඉහත කී පඬියා අද ක්වොන්ටමි භෞතික විද්‍යාව ගැන කතාකිරීමට පෙළඹෙන්නේ එහි නිර්මාතෘවරුන්ගේ ජීවන චරිත කියවීමෙනි. මෙවැනි පඬියෝ විෂය නොදනිති. ඔවුන් දන්නේ විෂය ගැන ය. ඒ ජනප්‍රිය පොතපත කියවීමෙනි. ඇතැමි ඇමතිවරු ද ජනප්‍රිය පොතපත පමණක් කියවා ක්වොන්ටමි භෞතිකය ගැන කතාකරති. බටහිර විද්‍යාවෙි යුදෙවි ක්‍රිස්තියානි සංකල්පයක් වූ ශක්ති සංස්තිථි නියමය ගලා එන්නේ දේව නිර්මාණයෙන් බව මා කිහිප වතාවක් කියා ඇත. සංස්ථිති නියම බටහිර විද්‍යාවෙහි උපකල්පන නොවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුහු ද උගනිති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවෙි හා බටහිර ඉංජිනේරු විද්‍යාවෙි ඇතැමි උපාධිධාරීහු එය බටහිර විද්‍යාවෙි උපකල්පනයක් නොවන බව නො දනිති. ඉහත කී පඬියන්ගේ සියළු චෝදනාවලට අපි පිළිතුරු දී ඇත්තෙමු. ගැමුණු කුමරු අපට සිංහල බෞද්ධයන් යුද්ධ කරන්නේ කෙසේ දැයි කියා දුන් බවත් එතුමා තරමි සතුරනට සාධාරණය ඉටුකළ, යුද්ධයේ දී මියගිය අය ගැන කණගාටු වූ රජකු ගැන ලෝක ඉතිහාසයේ සඳහන් නොවන බවත් අපි කීවෙමු. එතුමා මගේ විරයා බව මා කියා ඇත්තේ එක්වරක් දෙවරක් නො වෙි. පඬියන් අතර කෙසේ වෙතත් සිංහල බෞද්ධ ජනසමාජයේ එතුමාණෝ මෛත්‍රී බෝසතුන් වහන්සේ ලෙස සැලකෙති. සතුරු ආක්‍රමණ හමුවෙි නවගුණ වැල අතට ගැනීම සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිපත්තිය නොවන බවත් ද්වෙිෂයෙන් තොරව යුද්ධ කිරීම නිවන් දැකීමට බාධාවක් නොවන බවත් අංගුලිමාල තෙරුන් වහන්සේ ගැන දන්නා ඔිනෑම කුඩා එකකු ඒ දන්නා බවත් පඬියෝ නො දනිති. ඒ ගැන දැනගත හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවත්වන්නන්ට මිස රසල්, මාක්ස, නිවිටන්, වෙබර්, ඩෙරීඩා හෝ වෙනත් එවැන්නකු හෝ පසුපස යන ඊනියා යථාර්ථවාදීන්ට ද්‍රව්‍යවාදීන්ට ආදී විවිධවාදීන්ට නො වෙි. යුද්දෙට නැති කඩුව කොස් කොටන්ට ද යන පිරුළ සිංහල බෞද්ධ සමාජයේ නිර්මාණය වූවක් බව පඬියෝ නොදනිත් ද? අප පඬියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ෙසෙද්ධාන්තිකව ය. ඒවාට ඉතා සාර්ථක ව ප්‍රායෝගිකව පිළිතුරු දුන් හිමි නමක් අප අතර වෙසෙති. ඒ පූජ්‍යපාද බෙංගමුවෙි නාලක හිමියෝ ය. මම උන්වහන්සේගෙන් බොහෝ දේ ඉගෙන ගතිමි. අවුරුදු දහහතරේ දී පමණ බටහිර විද්‍යාව ඉගෙනීමත් සමග සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වූ මා නැවත සිංහල බෞද්ධ සංස්කෘතිය වෙත ඇදී ආවෙි වයස තිස්පහේ දී පමණ ය. ඉන් පසු ගත වූ අවුරුදු තිහක පමණ කාලයෙන් ඉතා වැඩි කොටසක් මම නාලක හිමියන් ඇසුරු කර ඇත්තෙමි. මගේ දෙමවිපියන් සහෝදර සහෝදරියන්, භාර්යාව, දරුවන්් හා ළඟ නෑයන් හැරුණු විට මා සුහදව අඛණ්ඩව වැඩි කලක් ඇසුරු කර ඇත්තේ නාලක හිමියන්ය.

උන්වහන්සේ මෙරට සංස්කෘතිය හඳුනති. උන්වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන දන්නේ ඒ පිළිබඳ බටහිර ගැති ආචාර්ය උපාධි නිබන්ධයක් ලියා නො වෙි. උන්වහන්සේ ජීවිතයෙන් ම ඒ හඳුනති. නාලක හිමිපාණන් වහන්සේ තරමි සිංහල ජාතිය වෙනුවෙන් ගමන් කළ (පයින් රියෙන් නැවෙන් ගුවනෙන් ) භික්‍ෂූන් වහන්සේ නමක් තවත් ඇතැයි නො සිතමි. උන්වහන්සේ නොවැඩි හමුදා කඳවුරක් බංකරයක් නැතැයි කීම අතිශයොක්තියක් නො වෙි. උන්වහන්සේ රණවිරුවන් සමග පැවැත් වූ සමිබන්ධතා අළලා ලියන ලද විරුවන් ඇසුරේ සූවිසිවසරක් නමි කෘතිය පසුගිය දා එළි දකේවිණි. ඒ පොත ජනාධිපතිතුමාට පිළිගැන්වූ අවස්ථාවෙහි මට එයට සහභාගි වීමට අවස්ථාව ලැබුණු නමුත් එය ජනතාවට පිළිගැන්වූ දින මගේ පදිංචිය තාවකාලික ව වෙනස්වීම හේතුවෙන් එයට සහභාගි වීමට නොහැකි වීම ගැන අතිශයින් කණගාටු වෙමි. මෙි ලිපිය එම කෘතිය හඳුන්වාදීම සඳහා කරන කෙටි සටහනක් පමණකි. ගැමුණු කුමරුගේ හමුදාවට දිනපතා දැකගැනීමට වන්දනාමාන කිරීමට ආශිර්වාද ලබාගැනීමට ආධ්‍යාත්මික ශක්තිය ලබාගැනීමට රහතන් වහන්සේලා වැඩම කළහ. අපේ වත්මන් හමුදාවට නිතිපතා ආධ්‍යාත්මික ශක්තිය ලබාදුන්නෝ නාලක හිමිපාණෝ ය. උන්වහන්සේ සමග බොහෝ අවස්ථාවල දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණේ සභාපති තුරුවිල විමලධමිම හිමියන් ද වැඩම කළ බව මෙහි දී සඳහන් කළ යුතු ය. නාලක හිමිපාණන් වහන්සේ ජාතිය වෙනුවෙන් කරන ලද සේවයෙන් බිඳක් පමණක් පොතෙහි සඳහන් වෙයි. රණවිරුවන් සමග සමිබන්ධකමි පැවැත්වීම හැරෙන්නට කරන ලද අනෙක් සේවාවන් පිළිබඳ එහි සඳහන් නො වෙි. බෙංගමුවෙි නාලක හිමියෝ තමන්වහන්සේගේ ගම වූ බෙංගමුව යක්‍ෂයන්ගේ ගම ලෙස අභිමානයෙන් හඳුන්වති. ඒ උන්වහන්සේ මෙරට ඉතිහාසය හා සංස්කෘතිය දන්නා බැවිනි. උන්වහන්සේ විශ්වවිද්‍යාලයෙන් උගත් දෙයක් නැති බවත් තමන්වහන්සේගේ දෙමවිපියන්ගෙන් විශේෂයෙන් මවගෙන් උගත් බවත් පවසති. විශ්වවිද්‍යාලයේ දී උන්වහන්සේට ත්‍රිපිටකය කියවීමෙි අවස්ථාව නමි ලැබී ඇත. උන්වහන්සේ 1982 දී ඉටාගෙන ඇත්තේ භික්‍ෂුවක විසින් කෙරෙන සමිමත කාර්යයට වඩා ත්‍රස්තවාදය පරාජය කිරීමෙි කාර්යයට මුල් තැන දිය යුතු බව ය. උන්වහන්සේ පංසලේ දියුණුවට වඩා ජාතියේ දියුණුවට කටයුතු කළහ. කණගාටුවෙන් වුවත් කිව යුත්තේ ඇතැමි ප්‍රධාන යැයි සමිමත භික්‍ෂූන් වහන්සේ තමන්වහන්සේගේ වැඩ කටයුතුවලින් නොව ප්‍රභූ පංසලක කීරතියෙන් බැබළෙන බව ය. නාලක හිමිපාණන් වහන්සේගේ පංසල බැබළෙන්නේ උන්වහන්සේගේ කාර්යයන්ගේ කීර්තියෙනි. නාලක හිමියෝ දිනපතා පැයක් පමණ භාවනාවෙහි යෙදෙති. උන්වහන්සේ පොතෙහි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ඒ ඔසසේ තමන් වහන්සේට ඇතැමි දේ සිතෙන බව ය. සිරිමා බෝ සමිඳුන් සමීපයෙහි දීි උන්වහන්සේට සිතී ඇති දෑ බොහෝ ය. සිංහල භාෂාවෙි සිතනවා හා සිතෙනවා යනුවෙන් වචන දෙකක් ඇත. මෙි ගැන මා ලියා ඇති මුත් ඒ ෙසෙද්ධාන්තිකව ය. ඇතැමි මහාචාර්යවරියන්ට නොතේරුණත් නාලක හිමියන් පොතෙහි සඳහන් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම ලබාගන්නා ප්‍රධාන ම ආකාරය ගැන ය. යකුන්ට වැඩ භාර දීම ගැන හා තේනුවර මහත්මියගේ විෂ්ණු පහන ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ ඒ සංස්කෘතික දැනුම ඔස්සේ ය.

නාලක හිමියෝ සෙන්පති කොබිබෑකඩුව මහතා ඉතා කිටිටුවෙන් ඇසූැරු කළහ. එතුමාගේ එක් කියමනක් වී ඇත්තේ යුද්ධය දනුවාට මදි දිනාගන්නා බිමිවල මිනිසුන් පදිංචි කිරීම ඊටත් හොඳින් කළ යුතු ය යන්න ය. යාපනයේ දෙමළ ජනයා ආණ්ඩුව සමග තවමත් එතරමි සුහද නැතිවා විය හැකි ය. දෙමළ ජාතිවාදී මතවාද පරාජය කිරීමට හැකිවුවත්, ත්‍රස්තවාදය පරාජය කර ඇති නමුත් දෙමළ ජනයාගේ සිත්සතන්වලට දෙමළ ජාතිවාදීන් ඇතුල්කළ හැඟීමි තවමත් පහ වී නැත. එහෙත් පඬිමත කෙසේ වුවත් දෙමළ ජනයා හමුදාවට කැමති වෙති. ඒ හමුදාවෙි ක්‍රියාකාරකමි නිසා බව නාලක හිමියෝ පවසති. ආණ්ඩුව අද කළ යුත්තේ දෙමල ජනයාගේ ඊළඟ පරමිපරාවෙි හැඟීමි වෙනස් කිරීම ය. ඒ සඳහා උපදෙස් ගැනීමට නාලක හිමිපාණන් වහන්සේට වඩා සුදුස්සකු ඇතැයි නො සිතමි. කොටින් පරාජය කිරීමෙි දී ජනාධිපතිතුමා දේශපාලන නායකත්වය දුන්නේ ය. රණවිරුවෝ ජීවිත පූජාවෙන් තම යුතුකම වීරත්වයෙන් ඉටුකළහ. එයට ආධ්‍යාත්මික ශක්තිය ද එක්කළ යුතුව තිබිණි. මාවිල්ආරු මෙහෙයුමි ඇරඹුණේ සේරුවිල සරණකිත්ති හිමියන්ගේ ද නාලක හිමියන්ගේ ද ආධ්‍යාත්මික ශක්තිය එකතු කරමිනි. ඒ මෙහෙයුමි ඇරඹි දිනවල බුදුපිළිමවලින් බුදුරැස් විහිදුවීම මගින් දෙවියෝ තමන්ගේ හා මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ද එකතු කළහ. නාලක හිමියන් ද ඒ බව දන්නේ යැයි සිතමි. පොත කියවීමෙන් නාලක හිමියන්ගේ රණවිරු ඇසුර පිළිබඳ තවත් කරුණු දැනගත හැකි ය.