Main Logo

Friday, 23 June 2017

ද්විකෝටිකය ගැන  



ද්විකෝටිකය ගැන



පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන සෑම ප්‍රතිචාරයක් ම මා කියවන්නේ නැහැ. කියවන ඇතැම් ප්‍රතිචාරවලට පමණක් මා පිළිතුරු ලියනවා. ඒත් එයත් කලාතුරකින්. මුහුණු පොතේ අන් අයගේ ගිණුම් මා කියවන්නේ නැහැ. ඇතැම් විට මගේ මුහුණු පොත් මිතුරන්ගේ කැමැත්ත පළ කරන හෝ බෙදා හදා ගන්නා හෝ ලිපි ආදිය මගේ මුහුණු පොත් ගිණුමටත් ලැබෙනවා. මා ඉන් සමහරක් කියවා ඉතා සුළු ප්‍රමාණයකට පමණක් ප්‍රතිචාර දක්වනවා.





මුහුණු පොත පරිහරණය කරන්නන් බොහෝ බුද්ධිමත්. සයිටම් ගැන ඔවුන් දරණ මතය කෙතරම් විදග්ධ දැයි මට හිතෙනවා. ඔවුන් දන්නේ එක ම විසඳුමයි. ඒ සයිටම් අහෝසි කිරීම. ඔවුන්ගේ විසඳුම පමණක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඔවුන් කියනවා. ආණ්ඩු විරෝධී, අපේ කම ගැන කතාකරන ජනමාධ්‍යත් ඒ මතයට පක්‍ෂයි. ඒ අයට අනුව මා නිදහස් අධ්‍යාපනයට විරුද්ධයි. ඔවුන් නිදහස් අධ්‍යාපනය ගැන කියන්නේ කුමක් ද යන්න පැහැදිලි නැහැ. මේ ගැන මා ලිපි රාශියක් ලියා තිබෙනවා. එහෙත් මා ඉදිරිපත් කරන තර්ක බුද්ධිමතුන්ගේ තර්ක බුද්ධියට හසුවන බවක් පෙනෙන්නේ නැහැ. මා සයිටම් සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා, අනුරුද්ධ පාදෙණිය  සමග විවාදයකට කැමතියි. චතුර අල්විස්ට එය සංවිධානය කළ හැකි ද?





ඇතැම් විට මගේ ලිපි ගැන ප්‍රතිචාර ඒ ඒ අයගේ  ගිණුම්වල පළ කරන බව මට ඇතැමුන් කියා තිබෙනවා. ඒ සමහරුන් එවැනි ප්‍රතිචාර තම ගිණුම්වල පළ කරන්නේ මගේ ගිණුමෙහි අදාළ ලිපියට ප්‍රතිචාර දක්වන ගමන් බව කියා තිබෙන බවත් ආරංචියි. එහෙත් එවැනි ප්‍රතිචාර මගේ ගිණුමේ නම් පළ වී නැහැ. චින්තනය සම්බන්ධයෙන් ජෙරමි ලෙන්ට් ගැන මා ලියු ලිපියට දැක් වී යැයි කියන ප්‍රතිචාර එයට උදාහරණයක්. ජෙරමි ලෙන්ට් යථාර්ථයක් තිබෙන බව පිළිගන්නවා. ඔහු යථාර්ථයට එක් එක් සංස්කෘතියෙහි එක් එක් තේරුම් දෙන බව කියනවා. එහෙත් මා දක්වන ඥානවිභාගයෙහි යථාර්ථයක් කියා දෙයක් නැහැ. ඊනියා යථාර්ථ ද අපේ නිර්මාණ!  බුදුදහමෙහි ද ඊනියා යථාර්ථයක් නැති බව මගේ විශ්වාසයයි. එහෙත් වයි කරුණාදාස මහතාගේ සහ තවත් අයගේ පොත්පත්වල සඳහන් දෙයින් ගම්‍යවන්නේ යථාර්ථයක්, ධර්ම වාදයක්, ක්‍ෂණ වාදයක් මෙරට ථෙරවාදයට යම්  කිසිවකු යම් කාලයක එකතු කර ඇති බවයි. 





ඇතැමුන් ක්වොන්ටම් භෞතිකය නිවැරදි යැයි සිතන බවක් පෙනෙනවා. තවත් සමහරුන් සිතන්නේ චතුස්කෝටිකය නිවැරදිය කියා. මේ හැම එකක් ම මිනිසුන්ගේ නිර්මාණ බව බොහෝ දෙනා සිතන්නේ නැහැ.  නිව්ටෝනීය භෞතිකය ඇතුළු සම්භාව්‍ය භෞතිකය ද්විකෝටිකයේ. අප බොහෝ විට නිව්ටෝනීය හා සම්භාව්‍ය භෞතිකය නිවැරදි ලෙස සලකනවා. මතක තබා ගත යුතු කරුණක් නම් අයින්ස්ටයින්ගේ විශේෂ මෙන් ම සාධාරණ සාපේක්‍ෂතාවාදයත් සම්භාව්‍ය භෞතිකයට අයත් බව. අයින්ස්ටයින් සම්මත ක්වොන්ටම් විවරණවලට විරුද්ධ වුණා.





අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය භෞතිකයෙන් (හා ආශ්‍රිත ගැලීිලිය සාපේක්‍ෂතාවදයෙන්) වෙනස් වන්නේ අවකාශය හා කාලය එකම අවකාශ –- කාලයක් ලෙස සැලකීමෙන්. නිව්ටන් අවකාශය හා කාලය වෙන වෙන ම ගත්තා. ඒ වගේ ම කාලය ඒ ඒ නිරීක්‍ෂකයාට නිරපේක්‍ෂ ලෙසත් ගත්තා. එහෙත් අයින්ස්ටයින්ට කාලයත් සාපේක්‍ෂයි. අයින්ස්ටයින්ගේ පරිණාමන සමීකරණ නිව්ටන්ගේ පරිණාමන සමීකරණවලින් වෙනස්.





අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය විශේෂ සාපේක්‍ෂතාවාදයෙන් වෙනස් වන්නේ මූලික වශයෙන් අවකාශ –- කාලය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වන බව කීමෙන්. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද්‍රව්‍ය හා විකිරණ නිර්ණිත අවකාශ –- කාලයක චලනය වෙනවා. එහෙත් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි අවකාශ - කාලය නිර්ණය වන්නේ ද්‍රව්‍ය හා විකිරණ මගින්. එමෙන් ම ද්‍රව්‍ය හා විකිරණ එලෙස නිර්ණිත අවකාශ –- කාලයෙහි චලනය වෙනවා! එය තරමක් දුරට පොළොව සකස් කරමින් නටනවා වගේ වැඩක්.





නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යාය පිළිගත්තා. එක් අංශුවකට එක් මොහොත පැවතිය හැක්කේ එක් තැනක පමණක් බව ඔවුන්ගේ අදහස වූවා. එය අපේ අත්දැකීමයි. අප අපේ ලෝක නිර්මාණ කර ගන්නේ මේ අත්දැකීම් මතයි. එමෙන් ම යමක් සත්‍ය නම් එහි නිෂේධය අසත්‍ය යැයි අප කියනවා. යමක් අසත්‍ය නම් එහි නිෂේධය සත්‍ය යැයි අප කියනවා. එයත් අපේ පෘථග්ජන අත්දැකීම් මත පදනම් වන්නක්. එක් අංශුවක් එක් මොහොතක එක් තැනක පවතිනවා යන්න සත්‍ය නම් එහි එක් නිෂේධයක් වන (යම් ප්‍රස්තුතයක නිෂේධය ප්‍රකාශ කරන අයුරු කිහිපයක් ම තිබෙන්න පුළුවන්)  අංශුව ඒ මොහොතෙහි වෙනත් තැනක ඇත යන්න අසත්‍යයක්. ද්විකෝටිකය පදනම් වන්නේ අපේ පෘථග්ජන අත්දැකීම් මත. ද්විකෝටික න්‍යාය දෙවියන් දුන් දෙයක් නොව අපේ නිර්මාණයක්.





නාථ දෙවියන් ගැන අප කලකට ඉහත කතා කළා. දෙවියන් සමග කටයුතු කරන අය දන්නවා නාථ දෙවියන් යන්නෙන් එ දේව මණ්ඩලයෙහි විවිධ අය කියැවෙන බව. මේ ඇතැමුන් බූමාටු දෙවියන් වන්න පුළුවන්. නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගන්නවා කියන්නේ මේ දේව මණ්ඩලයෙන් දැනුම ලබා ගන්න එක. කොහොමටත් අප දැනගත් දෙයක් තමයි නාථ දෙවියන්ට එක් විට තැන් හයක ඉන්න පුළුවන් කියන එක. එය මගේ අත්දැකීමක් නොවන බව කිව යුතුයි. මට දෙවියන් සමග සංනිවේදනය කිරීමේ හැකියාවක් නැහැ.





චතුස්කෝටික න්‍යායෙහි ප්‍රස්තුතයක් සත්‍ය වන්නේ නම් එහි නිෂේධයත් සත්‍ය විය හැකියි. එමෙන් ම යම් ප්‍රස්තුතයක් අසත්‍ය නම් එහි නිෂේධයත් අසත්‍ය විය හැකියි. එය සමහරුන්ගේ අත්දැකීමක් නොවන්න පුළුවන්. අප අපේ ලෝක තනා ගන්නේ අපේ අත්දැකීම් මත පදනම් ව. අංශුවක් මේ මොහොතේ මෙතන ඇතැයි කියන එක මෙන් ම වෙනත් තැනක ද ඇතැයි කියන එකත් සත්‍ය වන්න පුළුවන්. අංශුවක් මෙතන ඇත කියන එකේ එක් නිෂේධයක් විය හැකියි අංශුව වෙනත් තැනක ඇතැයි කීම. (මෙහි දී කිව යුත්තක් නම් නිෂේධය යන්න ද්වි අගය මත පදනම් වූ සංකල්පයක් බව.)  ඇරිස්ටෝටලීය න්‍යාය කෝටික දෙකක් පමණක් නොව ද්වි අගය (අගය දෙකක්) සහිත න්‍යායක්. සාමාන්‍යයෙන් භාවිත චතුස්කෝටික න්‍යාය කෝටික හතරක් මත ද අගය දෙකක් මත ද පදනම් වූ න්‍යායක්. විවිධ අගය හා විවිධ කෝටික මත පදනම් වූ න්‍යාය තිබෙනවා. මේ ඇතැම් න්‍යාය අත්දැකීම් මත පදනම් නොවූ වියුක්ත න්‍යාය වෙන්න පුළුවන්.





ක්වොන්ටම් භෞතිකයේ ඇතැම් නිරීක්‍ෂණ ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් ව විස්තර කරන්න බැහැ. බටහිරයන් තමන්ට ක්වොන්ටම් භෞතිකය නොතේරෙනවා යැයි කියන්නේ එබැවිනුයි. ක්වොන්ටම් භෞතිකයේ ඒ නිරීක්‍ෂණ චතුස්කොටික න්‍යාය මත පදනම් ව විස්තර කරන්න පුළුවන්. අංශුවක් එක විට දෙතැනක තිබිය හැකි බව චතුස්කෝටික න්‍යායට එකඟයි. මා ක්වොන්ටම් භෞතිකය සිංහල බෞද්ධයනට තේරෙනවා යැයි කියන්නේ නාථ දේව කතා අප අසා ඇති බැවින්. ඒ අපේ අත්දැකීම් නොවුණත් දෙවියන් සමග ගනුදෙනු කරන අයගේ අත්දැකීම්.





එහෙත් මෙයින් කියැවෙන්නේ නැහැ ක්වොන්ටම් භෞතිකයවත්, එහි අර්ථකථනවත් සත්‍ය යැයි කියා. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ චතුස්කෝටික න්‍යාය සත්‍ය යැයි කියා. මේ සියල්ල අපේ නිර්මාණ. මේ සියල්ල බොරු. බොරුවෙහි නිෂේධය සත්‍ය විය යුතු නැහැ. එසේ වන්නේ ද්විකෝටිකයට අනුව. බොරුව බොරුවක් බව අවබෝධ කර ගැනීම සත්‍යය අවබෝධ කර ගැනීමක් විය හැක්කේත් ද්විකෝටිකයේ. ඉංගිරිසි භාෂාව ද්විකෝටිකයේ. සිංහල භාෂාව චතුස්කෝටිකයේ. අප යනඑන ගමන් වැනි ප්‍රකාශ කරන්නේ එබැවිනුයි.











මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.





http://www1.kalaya.org





නලින් ද සිල්වා





2017 ජූනි 23


 

Thursday, 22 June 2017

සිංහල බෞද්ධයන් හා ඩීල්  




සිංහල බෞද්ධයන් හා ඩීල්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් කියලා ප්‍රසිද්ධියේ කීමට සූදානම් ද? පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් කී දෙනකු සිටිනවා ද කියා කීමට මා දන්නේ නැහැ. ජනගහන අනුපාතය අනුව නම් එකසිය හැටක් පමණ සිටිය යුතුයි. ඒ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් බව ප්‍රසිද්ධියේ කියාවි ද? මේ මන්ත්‍රීවරුන්ගෙන් යම් පිරිසක් එ ජා පක්‍ෂයේ. ඔවුන් නම් ඊනියා සංහිඳියාව වෙනුවෙන් මෙය සිංහල බෞද්ධ රටක් කියලා කියන එකක් නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය පනහක්වත් මෙරට සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න තෙක් මේ රටට සෙතක් වන්නේ නැහැ. දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් සිංහල බුද්ධාගමට විශේෂිත තැනක් දෙනවාට කැමති වෙන්නෙත් නැහැ.

Wednesday, 21 June 2017

අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන  




අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන



ජාතික ව්‍යාපාරයට සටන් කාමීන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන් ආදී වශයෙන් දැන් තරුණ ජවය එකතු වී තිබෙනවා. ඔවුන් ජනමාධ්‍යයෙහි වීර වික්‍රම ප්‍රකාශ කරනවා. මා එවැනි කිසිවකුවත් නො වෙයි. එවැන්නන්ට අනුව මා වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් මෙරටට වී ඇති හානිය පිළිබඳ මගෙන් තොරතුරු ඉල්ලුවා. මා ළඟ එහෙම තොරතුරු නැහැ. උන්වහන්සේ ඒ බව විශ්වාස කළා ය කියා මා හිතන්නේ නැහැ. මා දන්නේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ගැන මිසක් ඔවුන්ගේ එදිනෙදා කටයුතු ගැන නො වෙයි. මා දත්ත බැංකුවක් නො වෙයි.  මා දන්නා දේට කියන දේට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. අපේ රැස්වීම් වාර්තා කිරීමටවත් අපේ යැයි කියා ගන්නා ජනමාධ්‍ය එන්නේ නැහැ. ඔවුන් අපේ රැස්වීම් ආවරණය කරනවා. ඉංගිරිසි කවර් කියන වචනයට තේරුම් කිහිපයක් තිබෙනවා. සිංහලෙන් ආවරණය කරනවා කියන්නේ වසා දැමීමට. එක් ජනමාධ්‍ය ප්‍රධානියකු කීවේ මා ගේම්කාරයකු බවයි. අවුරුදු විසිපහකට පමණ පෙර මා ඔහුගේ ජීවිතය වෙනුවෙන් ගේමක් ගැසූ බව ඔහු කියනවා ද කියා මා දන්නේ නැහැ.

Tuesday, 20 June 2017

අපි ඔක්කොම බොරු කාරයෝ  


අපි ඔක්කොම බොරු කාරයෝ



සංස්කෘතික ආක්‍රමණයක දී හැරෙන්න යම් සංස්කෘතියක ඇති දැනුමක් ගැන වෙනත් සංස්කෘතියක් මත පදනම් වී විග්‍රහ කිරීමෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය වාද විවාද ඇති වෙනවා. යමකු මිය ගිය පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ දී බොහෝ දෙනා කරන්නේ තමා විශ්වාසය කරන දැනුම මත පදනම් වී අනෙක් දැනුම් විග්‍රහ කිරීම. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අති විශාල බහුතරය තම උපකල්පන හා අනුමාන නීති කවරේ දැයි කල්පනාවටවත් ගන්නේ නැහැ. ඒවා ඇති වුණේ කෙසේ ද කියන එක හිතන්න පෙළඹෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට එවැන්නකට පසුබිමක් ඇති වන්නේ නැහැ.

Monday, 19 June 2017

අපි මහා විහාරයේ


වෙල්ලස්සේ කුමරු සමරා පැමිණ මසකට පසු 1998 මාර්තු 04 වැනි දා මගේ පියා මිය ගියා. මේ ඒ නිමිත්තෙන් මා ලියූ ලිපිය. එය 1998 අප්‍රේල් 05 වැනි දා ඉරිදා දිවයින පුවත්පතේ පළ වුණා. මේ ලිපිය නැවත පළ කරන මෙන් භික්‍ෂූන් වහන්සේ නමක හා කිහිප දෙනකු ඉල්ලා සිටියා. ඒ අනුවයි මෙය පළ වන්නේ. එකල පුවත්පතකට ලියූ ලිපියක් බැවින් මෙය තරමක් දිගයි. මේ ලිපිය ලිවීමෙන් පසු මෙරට ඉතිහාසය ගැන මගේ අදහස් මූලික වශයෙන් වෙනස් වි නැහැ. ඉතිහාසය ගැන එකල නොකී සමහර දේ පසුව එකතු වී ඇති කරුණුත් සමග මා මෙකල කියනවා. ඒ පිළිබඳ විස්තරයක් පසුව පළ කරන්නම්. මේ ලිපිය මට ලබා දුන් මිත්‍රයකුට මගේ කෘතඥතාව හිමි වෙනවා.



2017 ජූනි 19









අපි මහා විහාරයේ



මෙම ලිපිය එක් අතෙකින් ගත්කල පසුගියදා මිය ගිය මගේ පියාගේ ගුණ සැමරීම සඳහා ලියැවෙන්නකි. අනෙක් අතින් පිය (මව්පිය) උරුමය හා ජාතික උරුමය හඳුනාගැනීම නිමිති කරගෙන ලියැවෙන්නකි. අප පියාගේ ගුණ සැමරීම ජාතික පුවත්පතක් මගින් කළයුත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පළමුව පිළිතුරක් දිය යුතුය. එයට ප්‍රධාන හේතුව අප පියා මා නිසා ජනමාධ්‍යයෙහි කතාබහට ලක්වී තිබීමය. වරක් සංදේශය වැඩසටහනෙහි ප්‍රධානියා මා දේවාදිත්‍ය කෙනකු බව පවසමින් (පාරම්පරිිකව ?) සිංහලයකු නොවන බවත් ඇඟවීමට උත්සාහ කළේය. තමන් මහා පඬිවරුන් යැයි සිතා සිටින ඇතැම් ජනමාධ්‍යකරුවන් මගේ නම සඳහන් කරන්නේ දේවාදිත්‍ය නලින් ද සිල්වා යනුවෙනි. ඔවුන් සිතන්නේ පිය උරුමයෙන් මට ලැබුනු දේවාදිත්‍ය යන්න සැඟවීමට මා උත්සාහ කරන බවය. එහෙත් ඔවුන් නොදන්නා කරුණක් වෙයි. මගේ දරුවන් ලෝකයෙහි පෙනීසිටින්නේ දේවාදිත්‍ය නමින් ය. පෘතුගීසි ද සිල්වා යන්නට වඩා ආසියාතික දේවාදිත්‍ය (ආදිත්‍ය යන්න උතුරු ඉන්දියාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ ද භාවිතයෙහි ඇති නමකි) අපට මනාප ය.

Sunday, 18 June 2017

සිංහල බුද්ධාගම හා ස්වාධීනත්වය


 සිංහල බුද්ධාගම හා ස්වාධීනත්වය


කියුබාව එක්සත් රාජ්‍යයන්හි දොරකඩ ඉඳගෙන ස්වාධීන රාජ්‍යයක් ව පැවතීම ගැන ඇතැමුන් විශ්මය පළ කරනවා. මහා බලවත් රාජ්‍යයක් අසළ කුඩා රාජ්‍යයක් පවත්වාගෙන යෑම ගැන ෆිඩෙල් කස්ත්‍රෝට පසසනවා. කස්ත්‍රෝ මරා දැමීමට සි අයි ඒ සංවිධානය කිහිප වරක් ම උත්සාහ කළ බව  ප්‍රසිද්ධ කාරණයක්. දැනුත් කියුබාවේ නායකයා කස්ත්‍රෝ කෙනෙක්. කියුබාව කොමියුනිස්ට් රාජ්‍යයක් තබා සමාජවාදී රාජ්‍යයක්වත් නො වෙයි. එය කාලයක් සෝවියට් දේශයෙන් ආධාර ලබා ගත්තා.

Saturday, 17 June 2017

රනිල්ගෙ ජ වි පෙ  


රනිල්ගෙ ජ වි පෙ



ජ වි පෙ ඉන්නෙ කොතන ද කියන එක පැහැදිලියි. ව්‍යාජ රංගන කළත් ඔවුන් ඉන්නේ රනිල් එක්ක, එ ජා පක්‍ෂය එක්ක. 2015 ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල ජනාධිපති කිරීමේදීත් අගෝස්තු මැතිවරණයේදීත් ජ වි පෙ හිටියෙ රනිල් - මෛත්‍රිපාල එක්ක. ජාතික හෙළ උරුමයේ ඇත්තන් ඊනියා යුග පෙරළියක් ගැන කතා කෙරුවා. ඔවුන් හිතන්න ඇති අර සිවල් සමාජ කාරයන් වගේ ම මේ ආණ්ඩුව බලයට පත් කෙරුවෙ ඒගොල්ලන් කියලා.  ඒත් එහෙම එකක් වුණෙ නැහැ. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම ඔත්තු සේවා මගින් මහින්ද රාජපක්‍ෂ ගෙදර ඇරියා. රනිල්ට බටහිරයන් පොවපු වචනවලින් නම් රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැව්වා. එහි දී සිවල් සමාජ කාරයන් වගේ ම ජාතික හෙළ උරුමයත් ජ වි පෙරමුණත් යොදා ගත්තා. ඒ හැමටමත් වඩා මුහුණු පොත යොදා ගත්තා. එය කෙලින් ම බටහිරයන්ගෙ වැඩක්.

Friday, 16 June 2017

රනිල් එන්නේ මොකාට ද?


රනිල් එන්නේ මොකාට ද?



බටහිරයන් වැඩ කරන්නේ සැලසුමකට අනුව. ඇතැමුන් බටහිර කුමන්ත්‍රණ කීවාට එහි ඇත්තේ සැලසුම්. අපට සැලසුම් නැති නිසා අප බටහිර සැලසුම් කුමන්ත්‍රණ ලෙස සලකනවා. මේ දිනවල මා ගැමුණු මහරජ 2 හා මුතුකුඩ නාට්‍ය නරඹනවා. ගැමුණු රජු සැලසුම්වලට වඩා ශක්තිය පදනම් කර ගත්තා. එළාරටත් විශේෂිත සැලසුමක් තිබුණේ නැහැ. එළාර ගැමුණු රජු දුටුගැමුණු ලෙසත් තිස්ස කුමරු සද්ධාතිස්ස ලෙසත් සිංහලයන් අතර ප්‍රචලිත කිරීමට නම් සමත් වී තිබෙනවා. එහෙත් විහාර මහා දේවිය හා දශ මහා යෝධයන් දැනගෙන හිටියා එළාර පරාජය කළ හැක්කේ ගැමුණු කුමරුට බව.

Thursday, 15 June 2017

ලංකා විශ්වවිද්‍යාලයට හැත්තෑපහයි

ලංකා විශ්වවිද්‍යාලයට හැත්තෑපහයි

ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවා මේ වසරට අවුරුදු හැත්තෑපහක් වෙනවා. 1921 දී ලන්ඩන් විශ්වවිිද්‍යාලයට අනුබද්ධිිත විද්‍යාලයක් කොළඹ කුමාරතුංග මුනිදාස (එකල තර්ස්ටන්) පාරේ පිහිටුවනු ලැබුවා. ඒ සඳහා යොදා ගත්තේ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිලි. අදත් පවතින සැම්ප්සන් බංගලාව ඒ ඉතිහාසය කියනවා. සැම්ප්සන් එවකට රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පති. ඔහුගේ නිල නිවස සැම්ප්සන් බංගලාව ලෙස හඳුන්වනු ලැබුවා. ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යලයීය ආයතනය පිහිටුවීමත් සමග රාජකීය විද්‍යාලය අල්ලපු වැටට ගෙන ගියා. විශ්වවිද්‍යාලයීය ආයතනය ලංකා විශ්වවිද්‍යාලය බවට පත් කෙරුණේ 1942 දී.

Wednesday, 14 June 2017

චීන සංස්කෘතික ආක්‍රමණය හා නිවන  


චීන සංස්කෘතික ආක්‍රමණය හා නිවන



කිහිප දෙනකු අසන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්න අසන ආකාරය වෙනස් වුණත් ඔවුන්ගේ ප්‍රශ්නවල පසුබිමේ ඇත්තේ අප තෝරාගත යුත්තේ කිනම් දැනුම් පද්ධතියක් ද යන්නයි. දැනුම් පද්ධති රාශියක් තිබෙන ලෝකයක සංස්කෘතින් රාශියක් තිබෙන ලෝකයක අප තෝරා ගන්නේ කිනම්  සංස්කෘතියක් ද? එයට පිළිතුරක් දෙන එක පහසු නැති වුවත් පුළුවන්. කාළාම සූත්‍රයේ පිළිතුරෙහි වුවත් විඤ්ඤූන් හඳුනාගැනීමේ නිර්ණායක කවරේ දැයි අහන්න පුළුවන්. මේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ දැනුම් පද්ධති සියල්ල ප්‍රතික්‍ෂෙප කිරීම මතයි. මේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් නො වෙයි. එහෙත් එයට යම් ආකාරයකට අදාළයි.

Tuesday, 13 June 2017

හතරවැනි වගන්තිය අනතුරේ  


හතරවැනි වගන්තිය අනතුරේ



සිංහලයන්ට සැලසුම් කිරීමට තේරෙන්නේ නැහැ. මා හිතන්නේ යක්‍ෂ ජනතාවටත් එකල ඒ දුර්වලකම තිබුණා කියා. සිංහල සංස්කෘතියෙහි වැදගත් සංරචකයක් වන්නේ යක්‍ෂ සංස්කෘතිය. එය අඩුම තරමෙන් අවුරුදු පන්දහක් පමණ පැරණි බව රාජ් සෝමදේව ආදීන්ගේ කැණීම්වලින් තහවුරු වෙනවා. අනුරාධපුර වෙස්සගිරියේත් ඉසුරුමුනියේත් අභයගිරියේත් යක්‍ෂ සංස්කෘතිය දැක ගන්න පුළුවන්. යක්‍ෂ ජනතාව නැටුම් ගැයුම් වැයුම් රස විඳි ජනතාවක්. ඔවුන්ගේ කලා ශිල්ප ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. පෙරේදා අප රුවන්වැලි සෑ සළ පතළ මළුවේ දී ආටානාටිය සූත්‍රයට සවන් දුන්නා. එය පිරිත් පොතේ තිබෙනවා. එය දෙවරක් සජ්ඣායනය කෙරෙනවා. වරක් වෙස්සගිරියට සම්බන්ධ වෙසමුණි යක්‍ෂ නායකයා කරන ප්‍රකාශයක් ලෙස. දෙවනුව බුදුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට දේශනා කරන ලද්දක් ලෙස. ආටානාටිය අපේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සිතෙනවා. මෙය එක්තරා ආකාරයකින් යක්‍ෂ ජනතාවගේ ඇතැම් නායකයන් හා මහාවිහාරය අතර ඇති වූ ගිවිසුමක් ලෙස සැලකිය හැකි බව කියන්න පුළුවන්. ඒ ගිවිසුම 1815 ගිවිසුමට සමාන බවක් පෙනෙනවා.

Monday, 12 June 2017

රවි උච්ච වීම රනිල්ට ජයක්  


රවි උච්ච වීම රනිල්ට ජයක්



ඇමති මණ්ඩලය වෙනස් කළ ආකාරය විද්‍යාත්මක නැහැ කියලා ඇතැමුන් කියනවා. එයින් වැඩි දෙනකු ඒකාබද්ධ විපක්‍ෂයේ. ටික දෙනකු ආණ්ඩු පක්‍ෂයේ. ජනමාධ්‍යයේ පඬියනුත් ඒ විද්‍යාත්මක නැහැ කියලා කියනවා. මට නම් තේරෙන්නෙ නැහැ මේ විද්‍යාත්මක නොවීම කියන්නේ මොකක් ද කියලා. ඒ කියන අය අතර විද්‍යාඥයන් නැති බව මා දන්නවා. ඒ ලංකාවෙ විද්‍යාඥයන් නැති නිසයි. ඒ වුණත් ජනමාධ්‍ය පඬියන් කියන්නේ පරීක්‍ෂණය, නිරීක්‍ෂණය, නිගමනය යන්න විද්‍යාත්මක විධි ක්‍රමය කියලයි. ඒක ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය නොවන බව ඇතැමුන් දන්නවා. බටහිර විද්‍යාවෙ තියෙන්නෙ වියුක්ත හිතළු, කතන්දර කීමයි. මෛත්‍රිපාලට නම් ඒක බැරි බව අප දන්නවා. ලංකාවෙ කාටවත් බැරි එකේ මෛත්‍රිපාලට විතරක් වියුක්ත කතන්දර කියන්න බැහැ. මෛත්‍රිපාල පරීක්‍ෂණය, නිරීක්‍ෂණය, නිගමනයට පයින් ගහල ද? මොකක් ද මේ පඬියන් විද්‍යාත්මක නැහැ කියන එකෙන් කියන්නෙ.

Sunday, 11 June 2017

බුද්ධාගමට හිමි විශේෂ තැන

බුද්ධාගමට හිමි විශේෂ තැන

අද අප පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑ සළ පතළ මළුවේ සවස හතරට පැවැත්වෙන අධිෂ්ඨාන පූජාවකට සහභාගි වෙනවා. අධිෂ්ඨාන පූජාවෙන් පසු අනුරපුර දෑ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් රටට සෙත් පතා පිරිත් දෙසුමක් පැවැත්වෙනවා. මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය හා සංස්කෘතිය රැක ගැනීම හා පෝෂණය කිරීම අපේ අරමුණයි. අප සිංහල බෞද්ධ අනන්‍යතාවක් ගැන කතා කිරීමට පටන් ගත්තේ අද ඊයේ නො වෙයි. ඒ සඳහා අවශ්‍ය සංකල්ප හා ප්‍රවාද අප ගොඩ නගා තිබෙනවා. වෙනත් බොහෝ කාර්යයන්හි මෙන් ම මෙහි දී ද ඇතැමුන් දැන් සිංහල බෞද්ධ අනන්‍යතාව තම ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට උත්සාහ කරනවා. ඒ සඳහා ඔවුන් ඔළුව ඉස්සීමට යැයි කියමින් ඔළුව චීනය පැත්තට හරවනවා. අප ඔවුන්ට ඔළුව උස්සන්න දෙන්නේ නැති බවට චෝදනා කරනවා.

Saturday, 10 June 2017

ජනමාධ්‍ය නිදහස හා වාරණ

ජනමාධ්‍ය නිදහස හා වාරණ

අප රැස්වීමක් පැවැත්වුවත් එයට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ (රැස්වීම්වලට සෙනග එන්නෙත් නැහැ). ජනමාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවත් ලැබෙන ප්‍රචාරයක් නැහැ. මේ පිළිබඳ බොහෝ දේ කීමට තිබෙනවා. එහෙත් එය පසුවට තබමු. මෙරට ජනමාධ්‍ය වාරණ දෙකක් තියෙනවා. එකක් රාජ්‍ය වාරණය. අනෙක ආයතන වාරණය. ආණ්ඩුවේ ජනමාධ්‍ය අයිතිකාරයන් ලෙස පෙනී සිටින මැති ඇමතිවරුන් වැනි අය කියාවි දැන් සුදු වෑන් නැහැ, ජනමාධ්‍ය වාරණ නැහැ කියා. මේ කියන්නේ රාජ්‍ය මර්දනයක් නැහැ කියන එකයි. මේ රටේ පමණක් නොව ඊනියා දියුණු රටවලත් රාජ්‍ය මර්දනය තිබෙනවා. රාජ්‍ය මර්දනය ඒ රටවල ක්‍රියාත්මක වන්නේ ඉතා සියුම් ව. අපේ රටවල එය ගොරහැඩි ව ක්‍රියාත්මක වෙනවා. වෙනස එපමණයි.

Friday, 9 June 2017

එංගලන්ත මැතිවරණය හා මානව අයිතිවාසිකම්  


එංගලන්ත මැතිවරණය හා මානව අයිතිවාසිකම්



එංගලන්ත මැතිවරණය අවසන්. එහි ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතිනවා. දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලින් කියැවෙන ආකාරයට නම් තෙරේසා මේගේ කොන්සර්වෙටිව් පක්‍ෂය ජයගැනීමට හැකි නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබීමට ඇති ඉඩ අඩුයි. තෙරේසා මේට වෙනත් පක්‍ෂයක සහාය නැතිව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙන්න පුළුවන්. එය සමහර විට වෙනස් වන්නත් පුළුවන්.

Thursday, 8 June 2017

ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද  


ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද



රනිල් ඉවත් කරමු ව්‍යවස්ථාව පරාද කරමු යන තේමාවෙන් ඊයේ (7 වැනි දා) සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහැණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය මගින්. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ එහි මුලසුන හෙබවූ අතර පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේත් සරත් වීරසේකර මහතාත් මාත් දේශන පැවැත්වූවා. සම්මන්ත්‍රණයට හැත්තෑපස් දෙනකු පමණ සහභාගි වුණා. ජනමාධ්‍යවලින් හිරු හා සිරස විද්‍යුත් මාධ්‍යයත් ලංකාදීප පුවත්පතත් පමණක් වාර්තා කිරීම සඳහා පැමිණ සිටියා. මා කතාවක් පැවැත්තුවේ නැත්නම් වෙනත් ජනමාධ්‍යයත් එන්න තිබුණා.

Wednesday, 7 June 2017

සිංහල අනන්‍යතාව


සිංහල අනන්‍යතාව



සිංහල අනන්‍යතාව ගැන කතා කිරීම ඉතා වැදගත්. මෙය එක ලිපියකින් සාකච්ඡා කරන්න පුළුවන් එකක් නො වෙයි. සිංහල ජාතිය ඇති වුණේ කොහොම ද එය අනන්‍ය වන්නේ කෙසේ ද ආදී ප්‍රශ්න රාශියක් මෙහි තියෙනවා. ඒත් කාට හරි අහන්න පුළුවන් සිංහල අනන්‍යතාව ගැන කතා කරන්න මට තියෙන සුදුසුකම මොකක් ද කියලා. මා පුරාවිද්‍යාඥයකුවත්, ඉතිහාසඥයකුවත්, සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ විශාරදයකුවත් නො වෙයි. එහෙම නම් මට තියෙන සුදුසුකම මොකක් ද? එක් අතකින් මා එක්තරා සිංහල මහාචාර්යවරයකු (සේවාර්ජිත) මෙන් නොව අනන්‍යතාව කියන්නෙ මොකක් ද කියන එකවත් දන්නවා. එහෙත් මගේ ප්‍රධාන සුදුසුකම මා පුරාවිද්‍යාව, ඉතිහාසය වගේ විෂයක් විශ්වවිද්‍යාලයක දී තබා පාසලේ ඉහළ පන්තිවලවත් හදාරා නො තිබීම. එසේ හදාරා තිබුණේ නම් මට බටහිරින් ලැබෙන සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර දැනුම අනුව ප්‍රශ්නය දිහා බලන්න වෙනවා. බටහිර විද්‍යාව ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න පුළුවන්. ඒත් බටහිර සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න බැරි ගානයි.

Tuesday, 6 June 2017

ආසියාව පාලනයට බුද්ධාගම  


ආසියාව පාලනයට බුද්ධාගම



ඊයේ (ජූනි 05) පළ වූ ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව චීනය නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තේ දී ඉන්දියාව පරාජය කරලා. පුවත්පතට අනුව ඉන්දියාව නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට අත ගසා ඇත්තේ 2007 දී මන්මෝහන් සිං ආණ්ඩුවෙන්. එහෙත් ඒ සඳහා පත්කරන ලද උපදේශකවරුන්ගේ නොසැලකිලිමත් ප්‍රවිෂ්ටය හේතුවෙන් 2014 දී නාලන්දා විශ්වවිද්‍යාලය බිහාරයේ පටන් ගෙන ඇත්තේ සිසුන් 14 දෙනකුගෙන් හා ආචාර්යවරුන් 11 දෙනකුගෙන් පමණකින්. ඒ උපදේශකවරුන් අතර නොබෙල් ත්‍යාගලාභී අමාර්ත්‍යා සිං ද සිට ඇතැයි කියැවෙනවා. එහෙත් පසුගිය මැයි මස චීනය නැන්හයි (උච්චාරණය වැරදි විය හැකිය) බෞද්ධ විද්‍යාලයට සිසුන් ඇතුළත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ විද්‍යාලය සිසුන් 220 දෙනකුගෙන් සමන්විත ව සැප්තැම්බරයේ දී ආරම්භ කිරීමට නියමිත බව පුවත්පතෙහි සඳහන් වෙනවා. 

Monday, 5 June 2017

සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ


සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ



මා දන්නා කියන එක්තරා ක්‍රිස්තියානි විද්වතකු කියා තිබුණා බෞද්ධයන්ට කොපමණ දුන්නත් මදි කියා. ඔහුට ඔහුගේ සංස්කෘතියෙහි ඔලිවර් ට්විස්ට් අමතක වීම පුදුමයක්. මේ අය ක්‍රිස්තියානි වුණේ කෙසේ ද යන්න ම ප්‍රශ්නයක්. ඔවුන්ට අමතක වුණත් ඔවුන්ගේ මුතුන් මිත්තන් බෞද්ධ. ඔවුන්ගේ පරම්පරාවන් යම් අවධියක දී ක්‍රිස්තියානි වූයේ බුදුදහම වැරදි යැයි ද ක්‍රිස්තියානි ආගම හරි යැයි ද අවබෝධ වීමෙන් ද? අප බොහෝ දෙනා යම් ආගමක් අදහන්නේ පරම්පරාවෙන්. ඔබ රටවැසියකු වන්නේ පරම්පරාවෙන් ද ලියා පදිංචියෙන් ද කියා ඇතැම් විට අහනවා. ඔබ යම් ආගමක් අදහන්නේ පරම්පරාවෙන් ද  අවබෝධයෙන් ද හරවා ගැනීමෙන් ද කියා ඇසුවහොත් බොහේ දෙනකුට දීමට සිදු වන පිළිතුර කුමක් ද?

Sunday, 4 June 2017

රනිල් ඉවත් කරමු


බුදුහාමුදුරුවො අපේ  






බුදුහාමුදුරුවො අපේ



ඇතැම් තරුණයන් මගේ ලිපියක වාක්‍යයක් දෙකක් කියවා ප්‍රතිචාර දක්වනවා. ඔවුන් අඩුම තරමෙන් කාලය වෙබ් අඩවියේ (www.kalaya.org) හා (www1.kalaya.org) ඇති ලිපිවත් කියවලා නැහැ. මේ තරුණයන් ජෙරමි ලෙන්ට් මෙන් කල්පනා කරන අය නො වෙයි. ලෙන්ට්ට කරුණු ටිකකින් චින්තනය කියන සංකල්පය ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. ඒ ඔහු සම්මත බටහිර ආකාරයෙන් පිටත කල්පනා කරන නිසා. එහෙත් මේ තරුණයන් ලංකාවේ හිටියත් පිටරට හිටියත් ජාතික ව්‍යාපාරයට හිතවත් වුවත් විරුද්ධ වුවත් ඉන්නේ බටහිර චින්තනයේ. ඔවුන්ට අවුරුදු තිහක් තිස්සේ මා කියන දේ ගැන වැටහීමක් නැහැ.

Saturday, 3 June 2017

ගංවතුරෙන් පාඩම්


ගංවතුරෙන් පාඩම්



ආපදා තත්වය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කී විධියට නොවූවත් ක්‍රමයෙන් පහව යනවා. දැන් ඇත්තේ සාමාන්‍ය මෝසම. ඒ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යමක් කියන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කියන්න බැරි අසාමාන්‍ය දේ. ඒවාට පදනම්වන කරුණු නිව්ටන්ට හසුවන්නේ නැහැ. තව කොපමණ ඊනියා දියුණු උපකරණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙනත් දුන්නත් ඔවුන්ට නිව්ටන්ට හසු නොවන කරුණු ගැන කියන්න බැහැ. දෙවියන් භූතයන් නිව්ටන්ගේ සමීකරණවලට අහුවෙන්නෙ නැහැ. පංචෙන්ද්‍රිය ගෝචර නොවන කිසිවක් නිව්ටන්ගෙ විද්‍යාවෙ උපකරණවලට හසු වන්නේ නැහැ. ඇතැමුන් හිතන්නෙ මේ කරුණු තවමත් බටහිර විද්‍යාව හොයා ගෙන නැහැ කියලා. ඒ බටහිර විද්‍යාව ගැන විශ්වාසය නිසා කියන දෙයක්. බටහිර විද්‍යාවට කවද හරි නිවන තේරුම් ගන්න පුළුවන් වෙයි ද? එහෙම වුණොත් විද්‍යාඥයන් නිවන් දකීවි ද?

Friday, 2 June 2017

ක්‍රිස්තියානිය රාජ්‍යාගම වීම


ක්‍රිස්තියානිය රාජ්‍යාගම වීම



බුද්ධාගම රකින බවට ගිවිසුමකින් පොරොන්දු වූයේ ඉංගිරිසින්. ඔවුන් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් පොරොන්දු වූ ප්‍රධාන කරුණු දෙක වූයේ බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) රැකීම හා සිංහල නීතියට අනුව රට කරවීම. ගිවිසුමේ තිබුණු වචන නිශ්චිත ව නොකීවත් ඉංගිරිසින් එවැන්නක් සිංහල නායකයන්ට ද භික්‍ෂූන් වහන්සේට ද පොරොන්දු වුණා. එහෙත් 1817 දී ම ඉංගිරිසින් ගිවිසුම කඩා දැම්මා. 1840 වන විට මේ වගන්ති දෙක ම ඉතිහාසයට එක් වී අවසන්. 1848 වන විට ටොරිංටන් ආණ්ඩුකාරයා හාමුදුරුවරුන්ට වෙඩි තියන තත්වයට පැමිණ සිටියා.

Thursday, 1 June 2017

ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ


ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ



ට්‍රම්ප් පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කරලා. ඒ පිළිබඳ නිල ප්‍රකාශය ඉදිරි දින කිහිපයෙහි කිරීමට නියමිතයි. ට්‍රම්ප් මොන තරම් වැරදි කළත් ජාතිකවාදියෙක්. ඔහු දේශපාලනඥයකු ලෙස පරිණත නැහැ. ඔහු වැරදි කරන්නේ එබැවිනුයි. එහෙත් ඔහු ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට විරුද්ධයි. ට්‍රම්ප් ප්‍රංශයේ ලෙ පෙන් ආදීන්ගේ දේශපාලනය හුදු ජනප්‍රියවාදයක් නො වෙයි. මොවුන් ඊනියා ගෝලීයකරණයට, ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වන්නේ කරුණු කිහිපයක් හේතුකොට ගෙන. ඒ අතර ආර්ථික හේතු තියෙනවා. පැරිස් සම්මුතියෙන් නිෂ්පාදනයට පහරක් වදින බව ඔහු සිතනවා. ඒ අතර තවත් වැදගත් හේතුවක් තියෙනවා. ඔහු කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි. අද විද්‍යාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි ආගම බවට පත්වෙලා. විද්‍යාඥයන් තමයි පූජකයන්. ඒ් ආගම හා පූජකයන් විවේචනය කරන විට ඒ ආගමිකයන්ට කේන්ති යනවා.  ට්‍රම්ප් ඒ පූජකයන්ට අකමැතියි. ඔහු විද්‍යාවට වෙන් කරන මුදල් කපා හරිනවා.